Wednesday, April 25, 2012

සොඳුරිය නයගරා

අද මම ලියන්න යන්නේ හඳ අල්ලපු රටේ ඉන්න සුන්දරියක් ගැන. මෙයා ගැන නම් නාහපු කෙනෙක් නැතුව ඇති.

"නයගරා"


නම වගේම ඇයත් සුන්දරයි.

අපි නයගරා බලන්න ගියේ පහුගිය සමර් එකේ. දැන් ගොඩක් කල්. ඒ වෙද්දි මට බ්ලොග් එක තිබුනේ නැහැ නේ. ඉතින් දැන්වත් මේක ලිව්වොත් හොඳයි කියල හිතුණා.

උඩ පින්තූරේ තියෙන්නේ නයගරා අල්ල ගුවනට පේන හැටි. මේක පිහිටලා තියෙන්නේ ඇමරිකාව සහ කැනඩාව වෙන් වෙන දේශ සිමාවේ. ඇමරිකාවත් කැනඩාව ත් යා කරන "දේදුනු පාලම" මිට ටිකක් පහලින් ගඟ හරහා වැටිලා තියනවා.

නයගරා ඇල්ල කිව්වම ඒකට දිය ඇලි 3 ක් අයිති වෙනවා.

1. Horseshoe Fall - මේක තමයි දිය ඇලි තුනෙන් ලොකුම ඇල්ල. දකුණු අත පැත්තෙන් තියෙන්නේ ඒ ඇල්ල තමයි. අශ්ව ලාඩමක හැඩය ගන්න නිසාලු ඒකට මේ නම ලැබිලා තියෙන්නේ. මේ ඇල්ලෙන් තත්පරයකට ලීටර 2,271,247 ක ප්‍රමාණයක් ජලය වැටෙනවා ලු. එයින් නැගෙන ජල බිඳිති වලින් සෑදුනු දුම නිසා මේ ඇල්ල හරියට බලාගන්නත් අපහසුයි. මෙය ඇමරිකාවටත් කැනඩාව ටත් දෙරටටම අයිතියි. දේශ සීමාව බෙදලා තියෙන්නේ ඇල්ල මැදින් යන විදියට. උඩ පින්තූරේ අරගෙන තියෙන්නේ කැනඩාව පැත්තේ ඉඳන්.

ඔය තියෙන්නේ...



2. American Falls - වම් පැත්තේ තියන ඇල්ල තමයි මේ. මේකේ තනි අයිතිය ඇමරිකාව ට. හැබැයි මේ හැම ඇල්ලක් ම හොඳට පේන්නේ කැනඩාව පැත්තට. ඇමරිකාවේ ඉන්න අපිට බලන්න වෙන්නේ ඔය ඇලි දෙක මැද තියන දූපත් කෑල්ලේ ඉඳගෙන. ඇමරිකන් ෆෝල් එකත් විශාලත්වයෙන් අඩු උනාට සුන්දරත්වයෙන් නම් අඩුවක් නැහැ.


3. Bridal Veil Falls - දැන් බලන්නකෝ ඔය ඇමරිකන් ඇල්ලේ දකුණු පැත්තේ අයිනේම පොඩියට වෙන් වුනු දිය ඇලි කෑල්ලක් පේනවද කියලා? හරියට මනමාලියෙක් ගේ වේල් එක වගේ. අන්න ඒක තමයි බ්‍රයිඩල් වේල් ෆෝල්ස් කියන්නේ. මෙන්න ලං කරපු පින්තූරයක්.


ඔය ඇල්ල පාමුල පේනවා නේද ලීයෙන් හදපු පඩි පේලි දිගේ මිනිස්සු යන හැටි. ඒ පඩි දිගේ ඇල්ල වැටෙන තැනටම යන්න පුළුවන්. එතනට ගියාම ඇල්ලෙන් නෑවිලා යනවා. හොඳ වෙලාවට කට්ටියටම රේන් කෝට් අන්දවලා තමයි යවන්නේ. කැමති කෙනෙකුට  නයගරා ගඟේ වතුරෙන් නාගෙන එන්න අවස්තාව තියනවා :)

ඒත් මේ ගමනේ වැදගත්ම දෙය ඒක නෙවෙයි. ඒ තමයි "Maid of the Mist" බෝට්ටු සවාරිය. ඔය පහළ පින්තූරේ බෝට්ටුව මිනිස්සුත් අරගෙන යන්නේ හෝර්ස්‌ ෂූ ඇල්ල පාමුලට.



ඒ ඇල්ල පාමුලට මීදුම අස්සෙන් යද්දී අමුතුම ලෝකෙකට යනවා වගේ තමයි දැනෙන්නේ. ඇල්ලෙන් නැගෙන හිරිකඩ වැස්සෙන් නෑවිලා ඒ ලබන අත්දැකීම නම් වචනයෙන් විස්තර කරන්න අමාරුයි. එතනට ගියාම ඇල්ලේ පින්තූරයක් ගන්න හැදුවට ඒකනම් සාර්ථක උනේ නැහැ. අහසට නගින දුම අස්සේ මොන පින්තුරද :)



නයගරා ගියොත් එහෙම අමතක නොකර කරන්න ඕන දෙයක් තමයි රෑට ඇල්ල නරඹන එක. හැම රාත්‍රියකම කැනඩාව පැත්තෙන් දිය ඇලි වලට වර්ණවත් ෆ්ලෑෂ් ලයිට් එල්ල කරන නිසා අමුතුම ලස්සනක් දකින්න ලැබෙනවා.




  එහෙනම්...සුන්දරත්වය විතරක් විඳලා යන්න කැමති අයට දැන් සතුටින් විසිර යන්න පුළුවන්. ඊට වඩා ටිකක් කුතුහලාත්මක අයට තව දුරටත් රැඳී ඉන්න පුළුවන් :)

                                                     ~~~~~~~~~~~~~~~~~~~~~~~~~

නයගරා ඇල්ල ට මෙච්චර වතුර කඳක් කොහෙන්ද එන්නේ? මෙහෙම ගිහින් වතුර ටික ඉවර වෙන්නේ නැද්ද?

නයගරා ඇල්ල බිහි වෙලා තියෙන්නේ නයගරා ගඟෙන්. නයගරා ගඟ ගලන්නේ ඊරි විලේ ඉඳලා ඔන්ටෙරියෝ විලට. ඊටත් පස්සේ මුහුදට. මතකයි නේද පොඩි කාලේ ඉගන ගතිපු පංච මහා විල්? සුපිරියර්...මිචිගන්...හියුරන්...ඊරි...ඔන්ටේරියෝ. ඊරි විලත් ඔන්ටෙරියෝ විලත් තියෙන්නේ තල දෙකක (ලෙවල් දෙකක). උසින් තියන ඊරි විලෙන් පහළ තියන ඔන්ටෙරියෝ විලට වතුර ගලද්දී තමයි නයගරා ඇල්ල බිහි වෙන්නේ. 

මේ පංච මහා විල් හැදිලා තියෙන්නේ අවසාන අයිස් ඒජ් එකෙන් (විස්කොන්සින් ග්ලැසියේෂන්) පස්සේ අයිස් දිය වීම නිසා කියලයි කියන්නේ. ඒ කියන්නේ අවුරුදු 10000 කට කලින්. 




මේ පින්තුරෙන් පේන්නේ පංච මහා විල්. දකුණේ පහලින් තියෙන්නේ ඊරි විල සහ ඔන්ටේරියෝ විල. ඒ දෙක සම්බන්ධ වෙන සිහින් රේඛාව හරියට පේන්නේ නැතුව ඇති. ඒත් ඒ තමයි නයගරා ගඟ. ඔය ගඟේ තමයි නයගරා ඇල්ල පිහිටලා තියෙන්නේ. 

පංච මහා විල් වල හරස් කඩ දැක්වෙන පහළ රූපය බැලුවම තවත් හොඳින් පැහැදිළි වෙයි. 


ඔන්ටේරියෝ විල තියෙන්නේ අනිත් විල් 4 ට වඩා පහලින් බව මෙතන හොඳට පේනවා. 

ඉතින්...අපේ රටේ ලෝකාන්තෙන් පහළ බහින කට්ටිය වගේ අය ඇමරිකාවෙත් ඉන්නවනේ. අන්න ඒ අය උත්සාහ කරලා තියනවා නයගරා තරණය කරන්න. 1829 දී "සෑම් පැච්" කියන කෙනා ඇල්ල ළඟ තිබුණ කුළුනක ඉඳලා ඇල්ල ට පැනලා බේරිලා තියනවා. ඉන් පස්සේ තමයි අනිත් අයත් වැඩ පටන් අරන් තියෙන්නේ. 

"ඇනී ටේලර්" නම් 63 හැවිරිදි පාසල් ගුරුතුමියක්‌  බැරල් එකක බැහැලා ඇල්ල උඩින් ආවලු. පහළට වැටුනට පස්සේ එයා බැරල් එකෙන් එලියට ගත්ත ගමන්ම කිව්වේ "මින් පස්සේ කවුරුවත් මේකනම් කරන්න ඕන නෑ" කියලා ලු. ඒත් ඉතින් ඒවා අහයිද "මිනිස්සු"? ඔය වැඩේ කරලා සමහරු බේරිලා වගේම මැරිලත් තියනවා. දැන්නම් විශේෂ අවසරයක් නැතුව ඔහොම වැඩක් කරලා මැරුණේ නැතුව ඉතුරු උනොත් ලොකු දඩයක් එහෙම ගෙවන්න වෙනවලු. ඇනී ගුරුතුමිය බැරල් එකේ යන්න කලින් ඒ බැරල් එකේ පූසෙක් යවලා ටෙස්ටින් පාරක් එහෙම දාලා තියනවා. හරියට ලයිකා හඳට ඇරියා වගේ. සත්තු දාලා ටෙස්ටින් කරන්න නම් මේ රටේ මිනිස්සු හරි දස්සයි. 

මේ තියෙන්නේ 1930 දී කෙනෙක් එහෙම බැරල් එකේ යන වීඩියෝවක්. ඔහුගේ ජීවිතය නම් බේරිලා නැහැ.



තවත් මෝස්තරයක් වෙලා තියෙන්නේ ඇල්ල හරහා ලනුවක් ඇදලා රිටක් අරගෙන ඒක දිගේ යන එක. ඒ ඇරෙන්න කිසිම පාවෙන උපකරණයක් නැතුව (බැරල් එකක් වැනි) ඇල්ලෙන් පහළට වැටිලා දෙදෙනෙක් බේරිලා තියනවා. ඔවුන් සිය දිවි නසා ගන්න උත්සාහ කරපු අයද කියන එක හරියට පැහැදිළි නැතිලු. එහෙම එකකින් බේරුනාට පස්සේ ආපහු නම් දිවි නසාගන්න හිතන්නෙවත් නැතුව ඇති. 

අවසාන වශයෙන් පහළ වීඩියෝවත් බලලම යන්නකෝ. කවදාවත් නයගරා වලින් පැනලා දිවි නසාගන්න හිතෙන එකක් නැහැ. :))








Wednesday, April 18, 2012

මුදුන් මල්කඩ - රාජාවලිය XVI



පහුගිය රාජාවලිය ලිපියෙදි අපි කතා කළේ මහසෙන් රජතුමා ගැන. අද එතැන් සිට...

මහසෙන් රජතුමා ගේ මරණයෙන් පස්සේ රජ උනේ ඔහුගේ පුත් කිත්සිරිමෙවන් රජතුමා (ක්‍රි. ව. 304 - 332). හැමෝම දන්නවනේ මහසෙන් රජතුමා ථෙරවාදී වෙහෙර විහාර වලට කරපු විනාශය ගැන. ඉතින් කිත්සිරිමෙවන් රජතුමා ඔහුගේ රාජ්‍ය කාලයෙන් වැඩි හරියක්ම කළේ තමන්ගේ පියා විනාශ කරපු විහාර ප්‍රතිසංස්කරණය කරවපු එක.

අපි බලමු මේ අතරේ අපේ අල්ලපු රටේ කළිඟු දේශයේ මොනවද උනේ කියලා. ඒ කාලයේ කළිඟු රට රජ කළේ "ගුහසිව" රජතුමා. බුදුන් වහන්සේගේ වාම දන්ත ධාතුව බාර වෙලා තිබුනේ එතුමාට තමයි. ඔය අතරේදී කළිඟු රටට සිද්ධ වෙනවා පන්ඩු නම් රජ කෙනෙක්ගෙන් එල්ල වුනු සතුරු කරදර වලට මුහුණ දෙන්න. මේ වෙලාවේදී ගුහසිව රජතුමාට ඇතිවෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දළදා හිමියන්ගේ ආරක්ෂාව. ඉතින් ඔහු තීරණය කරනවා එය ආරක්ෂාව පිණිස ලක්දිව ට වැඩමවන්න. ඒ කාර්යය කිරීම සඳහා යොදාගන්නේ එතුමාගේ ම දියණිය වන "හේමමාලා" කුමරිය සහ ඇගේ ස්වාමියා වන "දන්ත" කුමරු.

ඉතින් මේ කුමරාත් කුමරියත් බමුණන් විදියට වෙස් වලාගෙන දන්ත ධාතුව කුමරියගේ කෙස් කළඹේ සඟවා ගෙන ලක්දිව ඒමට නැව් නගිනවා. ඔවුන් ලංකාවට ගොඩ බසින්නේ ලංකාපටුන වරායෙන් කියලයි කියන්නේ. අද එහි විහාරයක් දකින්න ලැබෙනවා (ලංකාපටුන විහාරය).


දළදාවත් රැගෙන නිරුපද්‍රිතව ලක්දිවට ගොඩ බහින ඔවුන්, එවකට රජ වුනු කිත්සිරිමෙවන් රජතුමා මුණ ගැහිලා දළදාව ඔහුගේ භාර කාරත්වයට පත් කරනවා. අන්න ඒ විදියට තමයි බෞද්ධයා ගේ මුදුන් මල්කඩ විදියට හැඳින්වෙන දන්ත ධාතුන් වහන්සේ අපිට ලැබුනේ.

කිත්සිරිමෙවන් රජතුමා දළදා වහන්සේට උපරිම පුද සත්කාර කරලා දම් සක් මණ්ඩපයේ වැඩ හිඳුවනවා. එතැන් පටන් හැම රජ කෙනෙක්ම දළදාව මාළිගයක වැඩ හිඳුවලා කලට වෙලාවට පුද සත්කාර කරනවා. රටේ භාරකරු දළදාවේ භාරකරු ලෙසත් දළදාවේ භාරකරු රටේ භාරකරු ලෙසත් පිළිගනු ලබනවා. රජවරුන් එය අතපසු කළ අවස්ථා වල රහතන්වහන්සේලා ඉදිරිපත් වී දිවි දෙවැනි කොට දළදාව ආරක්ෂා කරනවා. අදටත් බෞද්ධ අපේ වටිනාම වස්තුවක් හැටියට සැළකෙන දෙයක් තමයි දළදාව. ඒ වගේම එය ආරක්ෂා කරගැනීමත් රටේ පාලකයාගේ වගකීමක් හැටියට සැලකෙනවා.

ඉතින් මේ සිදුවීම උනේ කිත්සිරිමෙවන් රජතුමාගේ කාලයේදී නිසා එතුමාත් පින්වත් රජෙක් කියලයි මට හිතෙන්නේ. මුලින්ම මිහිඳු පෙරහැර පැවැත්වුවා කියලා සඳහන් වෙන්නෙත් එතුමා තමයි. මේ විදියට ධාර්මිකව අවුරුදු 28 ක් රජකම් කරපු කිත්සිරිමෙවන් රජතුමාට පසුව රජ වෙන්නේ ඔහුගේ බාල සොහොයුරු "දෙටුතිස් II" (කලිනුත් දෙටුතිස් නමින් රජ කෙනෙක් හිටියා මතකයි නේද?).   දෙවන දෙටුතිස් රජතුමා ඇත් දත් කැටයමේ මනා නිපුනත්වයක් තිබුණ කෙනෙක් ලු. තමන් දන්නා ශිල්පය රට වැසියාට උගන්වන්නත් එතුමා කටයුතු කළා ලු. ඒ වගේම එතුමාත් නොයෙක් පින්කම් වල නිරත වෙලා තියනවා.

මේ විදියට දෙවන දෙටුතිස් රජතුමා (ක්‍රි. ව. 332 - 341 ) දැහැමෙන් අවුරුදු 9 ක් රජකම් කරනවා. ඔහුගෙන් පසු රජ වුනු ඉතාමත් සුපතළ රජෙක් ගැන අපි ඊ ළඟ රාජාවලිය ලිපියෙන් කතා කරමු.

Thursday, April 12, 2012

අවුරුදු සිරි


මැදින් වෙසක් දෙක මැදින් සිටින බක් - වසන්තයත් අරගෙන එයි ලූ
සොඳින් දිලෙන රිවි සිනා අරන් දුක් - මකා දමා හෙට පායයි ලූ

රුන්ද රුඳන් නද බැන්ද රබන් පද - තාලෙට නටනා බඹරින්දූ
වෑහෙන මල් මී බින්දු පෙරා මුළු - ගමටම අවුරුදු සිරි කැන්දූ

කොහෝ කොහෝ උඹ කොහේ ඉඳං අද - කොහෝ කියනවද ගම් මැද්දේ
කොහාගෙ තනියට මලිති බටිත්තන් - එරබදු ලන්දේ හරි සද්දේ

සිවුරක් පොරවා ගත්තා වාගේ - සිනා පිපෙනවා කෙහෙල් කැනේ
කැවුම් කොකිස් මුං අතිරහ පවසයි - අත්තම්මා ගේ දෑතෙ ගුණේ

කොටන පොළන කොට පොල් අඹරන කොට - උදව්වකට එනවද නෑනේ
පරණ නොහොඳ කම් කාටත් මොකටද - සිත තුළ කිසි කහටක් නෑ නේ

ඉර ගිර මුදුනින් සඳ ගල මුදුනින් - ඇහෙනා වාරම් කවි තාලේ
ඔලිඳ කෙළින්නට නෑ සියො එක් වී - සිරියාවයි ගෙයි මැද සාලේ

එක දින එක විට එකම නැකතකට - එකා ලෙසින් එක දිසා බලා
හැම දෙන එක් වී අවුරුදු සිරිතට - නව අවුරුද්දට මුල පුරලා

නව සඳ පායන දා පේ වී ගෙන - ඉන්නයි සඳ දුව වඩින තුරා
නව කෙත අපගේ සරු කර දෙනු මැන - පැතුමයි හැම හද සිටින දරා

Saturday, April 7, 2012

සොමී සහ තාලම්පට


"සිරිමා  බෝ මුල විදුරාසන මත - බෝසත් වැඩ වෙසෙනා
පුරනා රැඟුමන් දිනනා නැටුමක - මර දූ වරු තිදෙනා..."

ගායක මඩුල්ල මේ ටික කියල ඉවර වෙද්දී මර දූවරු තුන් දෙනා ස්ටේජ් එකේ තුන් පැත්තකින් නටාගෙන මැදට ඇවිත්. ඊටත් ටිකකට පස්සේ තමයි සොමී කොහෙදෝ ඉඳං දුවගෙන ඇවිල්ලා වාද්‍ය වෘන්දය ට අවතීර්ණ උනේ.

"රතී වයන්නී රඟා රඟන්නී තණ්හා ගී ගයතේ 
මෙකී ලඳුන් බඳු ලඳුන් නටා නැත කිසි දිනයක දියතේ"

සින්දුවේ තාලේ   කොහේවත්. සොමී හති පිට ගහන තාලම්පටේ තාලේ වෙන කොහේවත්. කොහොමහරි දන්න දහන්ගැට දාලා සොමී ටික වෙලාවකින් සින්දුවේ තාලෙත් එක්ක සින්ක්රොනයිස් උනා.

"සවන සනහතී  නයන පිනවතී ඉඟ සුඟ නලවාලා
මනස කළඹතී අනඟ සැර දෙතී රඟ දෙන මර දූලා"

අපරාදේ කියන්න බෑ මර දූලා තුන් දෙනා සින්දුවේ තියන විදියටම නයන පිනවෙන විදියට තමයි නැටුවේ. ප්‍රශ්නෙකට තිබුනේ වාදක මණ්ඩලයේ හිටපු සොමියත් නයන පිනවගන්න ගියපු එක. ටික වෙලාවකින් සොමීට තාලම්පට ගහන්න ඕන බව අමතක වෙලා නැටුම දිහා කටත් ඇරගෙන බලන් ඉන්නවා. ආපහු මතක් උනාම අත ඇරුණු ඒවටත් එක්ක එක ළඟ කීප පාරක්ම ගහලා දානවා.

"සමාධි සම වැද බුදුකුරු සිදුහත් තවුසා වෙසෙනු පෙනේ 
නුරා ලතාවට මර අඟනන් ගේ හිමි නැත වසඟ උනේ"

මේ හරිය වෙද්දී සොමී දැක්කලු සංගීත මිස් සමාධි සම වැදිලා එයා දිහා බලාගෙන ඉන්න හැටි. ඒ තමයි සොමී ට ඉස්කෝලෙදි සංගීත භාණ්ඩයක් වාදනය කරන්න ලැබුණු පළවෙනි හා අවසාන වතාව.

                                                        ~~~~~~~~~~~~~~~~~

මේ සොමී තමයි අර බැට් එක උස්සපු කතාවෙත් හිටියේ. ගොඩක් වෙලාවට එයා තමයි අපේ පන්ති නායිකාව.  ඒ පට්ටමට ඊට වඩා සුදුසුකම් තියන වෙන කෙනෙක් හිටියේ නැහැ. අපේ පන්තියේ නායිකාව වෙන එක තමයි ලෝකේ තියන එපාම කරපු වැඩේ. ඒත් සොමී ඒක බෑ නොකියා බාර ගත්තා. ඕනම වැඩකට ඉදිරිපත් වෙන ගතියකුත් එයාට තිබුනා. ඒ හින්දා තමයි වෙසක් පෝය දවසක ඉස්කෝලෙන් ඉදිරිපත් කරපු "සිරිමා බෝ මුල" රංගනය ට තාලම්පට ගහන්න නහයෙන් අඬලා ඉදිරිපත් උනේ. අර උඩින් දාලා තියෙන්නේ නැටුම ගලා ගෙන ගියපු හැටි තමයි.

මේ සොමී තනිකරම අලියෙක්. අල්පෙනෙත්තකින් ඇන්නොත් එහෙම කොළ පාටට ලේ එනවා. දැන්නම් කොහොමද දන්නේ නෑ. ඒ කාලේ නම් එහෙමයි. සොමී විවාද වලට එහෙම සෑහෙන දක්ෂයි. එයාගේ වාසනාවකටද රටේ වාසනාවකටද මන්දා තාම දේශපාලනය ට නම් අවතීර්ණ උනේ නෑ.

එක දවසක් සිංහල දිනේ දවසේද කොහෙද සහෝදර පාසලෙන් සහෝදරයෝ කට්ටියක් ඇවිත් හිටියා. එයාලත් එක්කම අපිවත් මේන් හෝල් එකට දාලා මොනවද මන්දා දේශන වගයක් තිබුණා. එයින් එකක් තිබුනේ මනමේ නාටකය ගැන. ඊට පස්සේ අසන්නන්ට අදහස් දක්වන්න අවස්ථාව ආවා. ඉතින් සහෝදර පාසලේ ලොකූ අයියා කෙනෙක් ස්ටේජ් එකට නැගලා මනමේ කුමාරිට මොනවද කතා වගයක් කිව්වා. කොල්ලොන්ගේ ඇද කුද හොය හොය හිටපු අපිට ඕක ගැන සිහියක් තිබුනේ නැහැ. එක පාරටම හුරු පුරුදු කට හඬක් මයික් එකෙන් ඇහෙනවා වගේ දැනුනා. කිරි අප්පට බල්ලො පැනපි...අපිත් එක්ක වාඩි වෙලා හිටපු සොමී එතන නැහැ. බැලින්නම් මෙයා ස්ටේජ් එකට නැගලා ස්ත්‍රී සංහතිය වෙනුවෙන් පෙනී සිටිමින් අර අයියට ගේම දෙනවා. අන්තිමට එයා ස්ටේජ් එකෙන් බැස්සේ කිසි දිනක සත්‍ය විය නොහැකි තියරිස්‌ කීපයක්ම සත්‍යයි කියලා ඔප්පු කරලා. අන්න එහෙමයි සොමී ගේ වැඩ. හොඳම වැඩේ කියන්නේ අර දේශනය කරපු කථිකාචාර්යතුමාත් පස්සෙදි සොමීගේ පැත්තට තමයි කතා කරේ.

මොනවා උනත් හරිම හිත හොඳ කෙල්ලෙක් තමා අපේ සොමී. කාටහරි කරදරයක් වෙන්නේ කොතනද සොමී  එතන ඇති. උදව් කරන්න ගිහිල්ලා වැඩේ දෙල් කරන අවස්ථාත් නැතුව නෙමෙයි. ඒත් ඒවා කරන්නෙත් එක හිතින්. ඒ දවස්වල සොමී කිව්වේ එයානම් කවදාවත් බඳින්නේ නැහැ කියලා. ඕක හින්දම කට්ටිය එකතු වෙලා ඉමජිනරි පෙම්වතෙක් සොමීට අනුයුක්ත කරලා තිබුණා. එයාගේ නම "ජනසාන්ත". දැන්නම් සොමී ජනසාන්ත ව පැත්තකට දාලා අර කලින් කියපු කතාව බොරු කරලයි තියෙන්නේ. අනේ මන්දා ඕවා ඉතින්. දේශපාලනය පැත්තෙන් ගියොත් නම් එයාට හොඳ අනාගතයක් තියේවි කියලා හිතෙන්නේ එතකොට තමයි.


ඉස්කෝලේ අපේ සෙට් එකේ යාළුවො 8 දෙනෙක් හිටියා. සොමී එයින් එක්කෙනෙක්. අන්තිමේ අට දෙනා පාරවල් අටක ගියා. ඒ අට දෙනාගෙන් එක්කෙනෙක් අද අම්මා කෙනෙක්. ඉතුරු අයගෙන් 3 දෙනෙක් යුග දිවියට පිවිසිලා (මාත් ඇතුළුව :). තව දෙන්නෙක්ට සහකාරයෝ හොයමින් පවතිනවා (අවාසනාවන්තයෝ ඉන්නවනම් ඇප්ලයි කරන්න) . තව කෙනෙක් ළඟදීම කරත්තේ බඳිනවා. අටවෙනියා...කවදාවත් නොඑන ගමනක් ගිහින්...

Monday, April 2, 2012

මින්නේරිය දෙවියෝ - රාජාවලිය XV



සිරිසඟ බෝ රජතුමා මරා දාලා ගෝඨාභය රජතුමා රජ වෙච්ච හැටි අපි පහුගිය රාජාවලිය ලිපියෙන් කතා කළා. අපි අද බලමු ඉන් පස්සේ මොකද උනේ කියලා.

මේ ගෝඨාභය රජතුමා සිරිසඟබෝ රජු මරවපු පව මැකෙන්න හරි මොනයම් හේතුවක් නිසා හරි වෙහෙර විහාර එහෙම හදලා පින් අතේ වැඩ ගොඩක් කරා ලු. ඒ විතරක් නෙවෙයි,  මහායාන භික්ෂුන් පිරිසක් ඉන්දියාවට පිටුවහල් කරන්නත් කටයුතු කරා ලු. එහෙම කරලා ථෙරවාද දහම අගයමින් මහාවිහාරය ට අනුග්‍රහය දැක්වුවා ලු.

ඔය අතරෙදි අර පිටුවහල් කරපු එක භික්ෂුවක ගේ ගෝලයෙක් වන "සංඝමිත්‍ර" නැවත ලංකාවට එන්නේ කපටි අරමුණක් හිතේ තියාගෙන. ඔහු ප්‍රයෝගකාරී විදියට රජතුමාගේ හිත දිනා ගන්නවා. රජතුමාට හිටියා පුතුන් දෙදෙනෙක්. "දෙටුතිස් / ජෙට්ට තිස්ස " සහ "මහසෙන්". අන්තිමේදී ඔවුන් දෙදෙනාගේ ගුරුවරයා හැටියට පත් වෙන්නේ මේ සංඝමිත්‍ර භික්ෂුව. කොහොම උනත් වැඩිමලා වුනු දෙටුතිස් ඔහුගේ අදහස් වලට නම්ම ගන්න එක නම් එච්චර ලේසි වෙලා නැහැ. ඒ නිසා ඒකට යොදා ගත්තේ මහසෙන් කුමාරයාව. මහසෙන් තමයි සංඝමිත්‍ර භික්ෂුවගේ ආදරණිය ගෝලයා බවට පත් වුනේ. මේ නිසා දෙටුතිස් ගේ නම් භික්ෂුව කෙරේ තිබිලා තියෙන්නේ නොපහන් හැඟීමක්.

ගෝඨාභය රජතුමා ක්‍රි. ව. 267 දී මිය ගියාට පස්සේ රජ වෙන්නේ ඔහුගේ වැඩිමහල් පුතා දෙටුතිස් රජතුමා (ක්‍රි.ව. 267 - 277). සංඝමිත්‍ර භික්ෂුව ගේ අදහස් ක්‍රියාත්මක කරන්න ඒක හොඳ කාලයක් නොවුණු නිසා භික්ෂුව රටින් පිට වුනා ලු. දෙටුතිස් ගේ රාජ්‍ය කාලය අවසානයේ මහසෙන් කුමරු රජ උනාම නැවතත් ලක් දිවට පැමිණි සංඝමිත්‍ර භික්ෂුව තමන්ගේ අභිප්‍රාය ඉෂ්ට කරගන්න පටන් ගත්තලු.

ථෙරවාදී පාර්ශවයට අයත් වෙහෙර විහාර විශාල ප්‍රමාණයක් විනාශ කරන්නත් ථෙරවාදී භික්ෂුන්ට දන් දීම පවා තහනම් කරන්නත් රජු පොළඹවා ගන්න මේ භික්ෂුව සමත් වෙලා තියනවා. මහාවිහාරය විනාශ කරලා එහි උඳු වපුරන්න කටයුතු කළා ලු. මේ හිරිහැර දරා ගන්න බැරුව ථෙරවාදී භික්ෂුන් රජ රටින් පිටමං වෙලා මලය රටට සංක්‍රමණය උනා ලු.  අවසානයේ මේ ක්‍රියා වලට එරෙහිව කැරැල්ලක් මෙහෙයවන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ රජුගේ ඉතාම හිතවත් ඇමතියෙක් වූ "මේඝවර්ණාභය". ඔහු මලය රටින් විශාල සේනාවක් එක් රැස් කරගෙන ආවලු රජුට විරුද්ධව සටන් කරන්න. රජතුමා ත් ඔහුගේ සේනාව රැගෙන මේඝවර්ණාභය සහ පිරිස එන පෙරමග ට ගියාලු. දෙපිරිස මුණ ගැසුන දින රාත්‍රියේ ඔවුන් කඳවුරු බැඳගත්තේ පසු දින සටන් කරන අදහසින්. ඒත් ඒ සටන නොහිතූ විදියකට වැළකිලා ගිහින් තියනවා.

රජතුමා ත් ඇමතිත් ඉතාම හිතවත් බව කලිනුත් කිව්වා නේ. තමන්ට විශේෂ කෑමක් ලැබුනොත් අනිත් කෙනාත් එක්ක බෙදාගෙන කන පුරුද්දක් මේ දෙන්නට තිබුනලු. ඉතින් මේ වෙලාවේ මේඝවර්ණ ඇමතිට ඔය විදියේ විශේෂ කෑමක් ලැබිලා. ඔහු රජතුමාගේ පංගුව දෙන්න රාජකීය කූඩාරම ඇතුලට ගියාලු. ඒ වෙලාවෙදි ඇතිවුණු කතා බහේදී රජතුමා ට තේරුම් ගියාලු ඔහුගේ වැරදි ගැන. මේ නිසා සටන වැලකුනා වගේම ථෙරවාදී නිකාය ට කරන හිරිහැර නවත්වන්නත් රජු එකඟ උනාලු. සංඝමිත්‍ර භික්ෂුව නම් රජ බිසවක ගේ කොන්ත්‍රාත්තුවක් මත මරා දැමුනා ලු.

හැබැයි ඉතින් විනාශකාරී වැඩ නැවැත්තුවට මහායානය ට දක්වපු අනුග්‍රහය නම් අඩු වෙලා නැහැ. ජේතවනාරාම විහාරය කරවලා එය මහායාන, සාගලික නිකායේ භික්ෂුන් ට පූජා කිරීමත් සමගම මෙතෙක් කල් පැවති මහා විහාර, අභයගිරි දෙපාර්ශවය වෙනුවට ජේතවන නමින් තුන් වන පාර්ශවයකුත් එකතු වෙනවා.

මහසෙන් රජතුමා ඉතාමත් ප්‍රසිද්ධියක් උසුලන්නේ වැව් සෑදීම සම්බන්ධව. වළගම්බා රජතුමා ලෙන් විහාර හැදෙව්වා වගේ මහසෙන් රජතුමා කරලා තියෙන්නේ වැව් සෑදීම. මාමිණියා වැව, මාගල්ල වැව, රත්මල්කඩ වැව එයින් සමහරක්. ඒ වැව් අතරින් විශාලම වැව තමයි මින්නේරිය වැව. එයට අක්කර 4000 ටත් වඩා වැඩි වපසරියක් අයත් වෙනවා. මෙයින් රට වැසියාට සැලසුණු යහපත නිසාම මහසෙන් රජතුමා "මින්නේරිය දෙවියන්" ලෙසින් අදටත් හඳුන්වනු ලබනවා.

මහසෙන් රජතුමා ගේ රාජ්‍ය කාලය වෙන්නේ අවු. 27 ක් (ක්‍රි. ව. 277 - 304). ඒ අවුරුදු 27 ඇතුලත එතුමා පව් පින් දෙකම රැස් කරලා තියනවා. කොහොම උනත් අදටත් එතුමා දේවත්වයෙන් අදහනු ලබන රජ කෙනෙක්.

ඊ ළඟ රාජාවලිය ලිපියෙන් "බෞද්ධයින් ගේ මුදුන් මල්කඩ" අපිට ලැබුන හැටි ගැන කතා කරමු.
Related Posts Plugin for WordPress, Blogger...