Thursday, June 28, 2012

වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ - රාජාවලිය XIX



ගියවර රාජාවලිය ලිපිය අපි නතර කළේ ධාතුසේන රජතුමා (ක්‍රි. ව. 453 - 479) ලඟින්. ඔහුගේ අවසාන කාලය ඒ තරම් මිහිරි එකක් නෙවෙයි කියලත් අපි කිව්වනේ. අද අපි බලමු ඇයි එහෙම උනේ කියලා.

ධාතුසේන රජතුමාට හිටියා පුතුන් දෙදෙනෙක් සහ රූමත් දුවක්. මෙයින් වැඩිමල් කුමාරයා තමයි "කාශ්‍යප". ඒත් කාශ්‍යපගේ මව අග මෙහෙසිය නමෙයි. අග මෙහෙසියගෙන් ලැබුන පුතා තමයි "මුගලන්" කුමරු. (ධාතුසේන රජතුමාගේ මුල් බිසව ගෙන් කාශ්‍යප කුමරු ලැබුන බවත් ඇගේ මරණින් පසු සරණපාවා ගත් බිසව ගෙන් මුගලන් කුමරු ලැබුණු බවටත් මතයක් තියනවා. ඒවා ඉතින් එකිනෙකට වෙනස් මත). කොහොම උනත් රජකම නීත්‍යානුකුලව හිමි වෙන ලකුණු තිබුනේ මුගලන් කුමරුට.

මේ අතරේ ධාතුසේන රජතුමාගේ දියණිය සරණපාවා දෙනවා රජතුමාගේ සොයුරියගේ පුත් "මිගාර" ට. මිගාරත් ඔහුගේ මවත් රජ දියණියත්  අතර ඇති වෙන ගැටුමක් නිසා මිගාර විසින් රජුගේ දියණියට දඬුවම් කරනවා. මේ නිසා කුපිත වුනු ධාතුසේන රජතුමා මිගාරගේ මව එනම් තමන්ගේ සොයුරිය, වීදියක නිරුවත් කරලා ගිනි තබා මැරුව ලු. ඒකෙන් වෙන්නේ මිගාර, රජතුමා සමඟ වෛර බැඳ ගන්න එක. රජතුමාගෙන් පළිගන්න අවස්ථාවක් හොය හොයා ඉඳපු මිගාර දකිනවා රජ පවුලේ දුර්වල තැනක්...

ඒ තමයි කාශ්‍යප කුමාරයා.  නීත්‍යානුකුලව රජකම හිමි වෙන්න තිබුනේ මුගලන් ට නිසා කාශ්‍යප හරියට ඇවිලෙන්න බලාගෙන ඉන්න පිදුරු ගොඩක් වගේ කියලා මිගාරට තේරුණා. ඔහු කළේ පුංචි ගිනි සිළුවක් පිදුරු ගොඩට ලං කරන එක විතරයි. ධාතුසේන රජතුමා ළඟ අති විශාල ධනයක් සඟවලා තියනවා කියලා කාශ්‍යප උසි ගන්වපු මිගාර, කාශ්‍යපට රජ කම ලබාගන්න උදව් කරන්නත් පොරොන්දු උනා. 


ඉතින් කාශ්‍යප මොකද කළේ, සම්පුර්ණයෙන්ම මිගාරගේ බසට අවනත වෙලා සඟවපු වස්තුව ඉල්ලමින් රජතුමාට කරදර කරපු එක. මේ අතරෙදි මුගලන් කුමාරයාත් ආරක්ෂාව පතා ඉන්දියාවට යනවා. අන්තිමේදී ධාතුසේන රජතුමා කියනවා කාශ්‍යපට, වස්තුව දෙන්න කලා වැව ලඟට එක්ක යන්න කියලා. එතනට ගියාම කලා වැවට නැඹුරු වෙලා දිය දෝතක් අරගෙන රජතුමා කියනවා "මේ තමයි මගේ ළඟ තියන එකම වස්තුව" කියලා.

"බලන්න දෙටු පුත මේ දිය තලයම කෙත්වතු සාර කරන්නේ...
මට ඇති වස්තුව මට ඇති සම්පත මේ නිල් දිය කඳ වන්නේ"

මේක අහලා හොඳටම කුපිත වෙන කාශ්‍යප, රජතුමා ව වැව් බැම්මේ තියලා මැටි ගසා මරා දමන්න නියෝග කරනවා.

"සිටුවා පස් ගස්වා මා මැරුමට කවුරුද පුත සිත බින්දේ...
මගේ කලා වැව සදා රකිනු මැන අවුකන පිළිම සමින්දේ"

ඉතින් ධාතුසේන රජතුමාගේ මරණය ඔහුගේම පුතා අතින් සිද්ධ වෙන්නේ හරිම ශෝචනීය ආකාරයට. රජතුමා කලා වැව හදද්දී භාවනානුයෝගීව ඉඳපු රහතන් වහන්සේ කෙනෙක් සමාධිය බිඳලා එතනින් අයින් නොවුණු නිසා රහතුන් යට කර පස් දැමීමේ විපාකය පල දුන්නේ මේ විදියට කියලත් මතයක් තියනවා. කොහොම හරි රජකමත් කාශ්‍යප කුමාරයා විසින්ම පවරා ගන්නවා. ඉතින් මේ පීතෘඝාතක කාශ්‍යප රජතුමා කොයි මොහොතේ හෝ මුගලන් ගෙන් ඇති වෙන්න පුළුවන් ආක්‍රමණයක් ගැන සැකයෙන් තමයි ඉන්නේ.

ඒ නිසා කාශ්‍යප රජතුමා (ක්‍රි. ව. 479 - 497) සීගිරි පර්වතය (මේ වෙද්දීත් සීගිරිය බලකොටුවක් ව තිබුනා කියල තමයි කියන්නේ) වෙත ගොස් එහි සකලාංග සම්පූර්ණ රජ මාලිගාවක් සහ බලකොටුවක් කරවලා එහි වාසය කරනවා. මේ වෙලාවේදී සීගිරිය ගැනත් පොඩ්ඩක් නොකිව්වොත් හොඳ නැහැ නේ.

සීගිරියේ ඉතිහාසය රාවණා රජ දවස තරම් ඈතට විහිදෙන බව හුඟ දෙනෙක් විශ්වාස කරනවා. ඒ කාලයේ සීගිරිය හඳුන්වලා තියෙන්නේ "ආලකමන්දාව" යන නමින්. රාවණා රජු ගේ අර්ධ සොහොයුරෙකු වූ "කුවේර", ආලකමන්දාව වාස භවන කර ගත්තා ලු. ඉතින් ඊට ගොඩක් පස්සේ කාලෙක තමයි කාශ්‍යප රජතුමා ඒක වාස භවන කරගෙන තියෙන්නේ. සීගිරි චිත්‍ර, කුරුටු ගී, කැටපත් පවුර සහ ජල පද්ධතිය වගේ සීගිරිය ගැන කතා කරන්න ගොඩක් දේවල් තිබුනත් මේ රාජාවලිය ලිපි පෙළ පුරාවිද්‍යාත්මක පැත්තට වැඩි නැඹුරුවක් නැති නිසා ඒ ගැන වැඩි දුර කතා නොකර ඉන්නම්. ඒ ගැන තොරතුරු ඕනෑ තරම් ජාලගත වෙලා තියනවා කියලා හිතනවා.

ආපහු කතාවට එමුකො. ඉන්දියාවට ගියපු මුගලන් කුමාරයා සේනාවක් අරගෙන ආපහු එනවා කාශ්‍යප රජුට විරුද්ධව සටන් කරන්න. කාශ්‍යප රජතුමාත් සේනාව අරගෙන ඇතා පිටේ නැගලා පෙරමුණට ගියාලු. මේ ගමන් මාර්ගයේ තිබුණු විශාල මඩ වලක් හින්දා කාශ්‍යප රජතුමාගේ ඇතා ආපසු හැරෙනවා දැකපු සේනාව, රජු සටනින් පළා යනවා කියලා හිතලා ඔවුනුත් පළා යන්න ගත්තලු. සටනින් පරදින්න වෙන බව දැකපු කාශ්‍යප රජතුමා තමන් විසින්ම දිවි තොර කර ගත්තා කියල තමයි කියන්නේ.

ඉන් පස්සේ මුගලන් රජතුමා නැවත අනුරාධපුරයට රාජධානිය ගෙන ගොස් තම පියා මැරීමට හවුල් වූ අයට දඬුවම් දී, අවුරුදු 18 ක් (ක්‍රි. ව. 497 - 515) රට පාලනය කරනවා. 

Tuesday, June 19, 2012

මිහිපිට විසූ විශ්වකර්මයා



ඔය විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ඉන්නවා නේද? එයා තමයි දිව්‍ය ලෝකේ ඉංජිනේරුවා. පොදුවේ ඉංජිනේරුවන්ට විශ්වකර්මයෝ කියලත් කියනවනේ.

මම අද කියන්නේ යන්නේ දිව්‍ය ලෝකේ හිටපු කෙනෙක් ගැනනම් නෙමෙයි. මේ පෘතුවියේ වාසය කරපු විශ්වකර්මයා ගැන.

කවුද ඒ?

ඒ තමයි නිකොලා ටෙස්ලා. කී දෙනෙක් මාත් එක්ක එකඟ වෙනවද?

                                                             ~~~~~~~~~~~~~~~~~~

ඔහු ඉපදුනේ ක්රොඒශියාවේ සර්බියානු යුවළකට දාව, 1856 දී...ඒත් වැරදි කාලයක (ඒ ගැන පසුව කියන්නම්කෝ).  අවු. 4 ක පාසල් වාරයක් අවු. 3 කින් අවසන් කරන ටෙස්ලා, විදුලි ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට ඔස්ට්‍රියාවේ, ග්‍රේස් වෙත යනවා. ඒත් උපාධිය අවසන් වන තෙක් එහි නොරැඳෙන ඔහු, 1878 දී විශ්ව විද්‍යාලයත් තමන්ගේ පවුල සමග තිබූ සම්බන්ධතා ත් අත් හරිනවා. හේතුවනම් පැහැදිළි නැහැ. 1880 දී ඔහු බුඩාපෙස්ට් වෙත යන්නේ ටෙලිග්‍රාප් ආයතනයක සේවය සඳහා. එහිදී ඔහු නිපදවන ටෙලිෆෝන් ඇම්ප්ලිෆයරය, ලොව ප්‍රථම ශබ්ද විකාශන යන්ත්‍රය ලෙස හැඳින්වීමේ වරදක් නැහැ. ඉන්ඩක්ෂන් මෝටරය ගැන අදහස ඔහුගේ හිතට එන්නෙත් මේ කාලයේදී. අද අපේ නවීන ලෝකයේ පාවිච්චි වෙන බොහොමයක් උපකරණ වල භාවිතා වෙන මෝටරය තමයි ඒ.

1882 දී ටෙස්ලා පැරිස් වෙත යන්නේ. කොන්ටිනෙන්ටල් එඩිසන් ආයතනයේ සේවය සඳහා. ඔහු මුල් වරට ඇමරිකාවට පා තබන්නේ 1884 දී. ඔහුගේ මුල් ව්‍යවසායකයා(චාර්ල්ස් බැචලර්) ගෙන් ලැබුණු රෙකමදාරු ලියුමත් රැගෙන ටෙස්ලා යන්නේ "තෝමස් අල්වා එඩිසන්" මුණ ගැහෙන්න. චාර්ල්ස් බැචලර් දීපු මේ රෙකමදාරු ලියුමේ තිබුනේ මෙච්චරයි...

"I know two great men in this world. One is you. The other one is the young man who's carrying this letter"

( "මේ ලෝකයේ සිටින ශ්‍රේෂ්ට මිනිසුන් දෙදෙනෙක් ගැන මම දනිමි. එක්කෙනෙක් ඔබය. අනෙකා මේ ලියුම රැගෙන එන්නාය" )

ඒ වෙද්දී තෝමස් අල්වා එඩිසන් හිටියේ ඉතාමත් ඉහළ තැනක. හැබැයි තමන්ගේ උත්සාහයෙන්ම නෙමෙයි. ගොඩක් දුරට තමන් යටතේ වැඩ කරන අයගේ නිමැවුම් වලට පේටන්ට් බලපත්‍ර ගෙන ඒවා අලෙවි කිරීමෙන් තමයි ඔහු නමක් හදාගෙන තිබුනේ. ඔහු වඩා දක්ෂ උනේ අනුන් කරන නිපැයුම් මාකට් කරන්න. විශ්වාස නැද්ද? බලන්නකෝ ඔහු ටෙස්ලා ට කරන දේ...

එඩිසන්ගේ ආයතනයේ තිබුණු විදුලි ජනක යන්ත්‍ර ප්‍රතිනිර්මාණය කිරීම ටෙස්ලාට බාර වෙන්නේ එය සාර්ථකව නිම කලොත් ඩොලර් පනස් දහසක් ලබා දීමේ පොරොන්දුව මත. තමන්ට නියම වුනු කාර්යය ඉතාමත් හොඳින් නිම කරන ටෙස්ලා, එඩිසන් ගෙන් ඩොලර් පනස්දාහ ඉල්ලා හිටියම ඔහුට ලැබෙන්නේ මෙන්න මේ වගේ පිළිතුරක්.

"ටෙස්ලා...ඇමරිකන් විහිලු ගැන ඔබ දන්නේ නැහැ"

මෙවෙලේ එඩිසන්ගේ ආයතනයෙන් ඉල්ලා අස් වෙන ටෙස්ලා, නිව් යෝක් නගරයේ කම්කරු කටයුතු වල නිරත වෙනවා. ඒක ඔහුට ඉතාමත් කටුක කාල පරිච්ඡේදයක් උනා. මඩ වලක හිටියත් මැණිකේ අගය අඩු වෙන්නේ නැහැ කියන්න වගේ ටෙස්ලාගේ නිසඟ කුසලතා යටපත් කරන්න දෛවය ට හැකි උනේ නැහැ.

මේ කාලේ වෙද්දී විදුලිය සම්ප්‍රේෂණය කරලා තියෙන්නේ සරල ධාරා (Direct current) යොදා ගෙන. මේ ක්‍රමයේදී සිද්ධ වෙන්නේ සන්නායකය (කම්බිය) හරහා ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගැලීම. කම්බියේ ප්‍රතිරෝධය නිසා විශාල වශයෙන් බල ශක්තිය හානි වීමක් මේ ක්‍රමයේදී වෙනවා. ඒ වගේමයි ඒකට යොදා ගන්න කම්බිත් විශ්කම්භයෙන් ඉතාම වැඩියි(ඇයි ඉතින් පුළුවන් තරම් ප්‍රතිරෝධය අඩු කරන්න ඕනනේ) . ඒ නිසා මේකේ තිබුණ ලොකුම අවාසිය තමයි වැඩි දුරකට විදුලිය සම්ප්‍රේෂණ කරන්න අපහසු වීම. සැතපුමෙන් සැතපුමට සම්ප්‍රේෂණ කුළුණු සවි කරන්න උනා වගේම හැම තැනකම ඝන කමින් ඉතා වැඩි අති විශාල කම්බි ප්‍රමාණයක් අදින්නත් සිද්ධ උනා. කොටින්ම කියනවනම් නගරයේ එක තැනක අහසත් නොපෙනෙන තරමට කම්බි ඇදලා තිබුණලු. එහෙම කරලත් විදුලිය ලබා දෙන්න පුළුවන් උනේ ඉතාමත් සීමිත ප්‍රදේශයකට. පහළ වම් පැත්තේ පින්තුරේ බලන්නකෝ...



හ්ම්...දැන් බලන්නකෝ දකුණු පැත්තේ තියන පින්තුරේ. ඒ ස්ථානයමයි, ඒත් අර වයර් ගොඩ නැති වෙලා. ඒ ස්ථානය මේ තත්ත්වෙට ගත්තේ කවුද දන්නවද? "ටෙස්ලා....ඒ කොහොමද?

 "ප්‍රත්‍යාවර්ථ ධාරා" එහෙම නැත්නම් "Alternating current" කියන සංකල්පය ටෙස්ලා ට පහළ වෙන්නේ මේ වයර් ගොඩවල් දැක්කට පස්සේ. මේ ක්‍රමයේදී ඉලෙක්ට්‍රෝන ගැලීමක් සිද්ධ වෙන්නේ නැති නිසා කම්බිය දිගේ බල ශක්ති හානියක් සිද්ධ වෙන්නේ නැහැ. සරල ධාරා ක්‍රමයට වඩා සැතපුම් සිය ගානක් ඈතට විදුලිය සම්ප්‍රේෂණය කරන්න ඕන උනේ ඉතාමත් සීමිත සම්ප්‍රේෂණ කුළුණු ගානක්. ඒ වගේම ඉතාමත් සිහින් කම්බි මේ සඳහා යොදා ගන්න පුළුවන් උනා. මේ ක්‍රමය ඉතාමත් කාර්යක්ෂම වගේම ලාබදායී ක්‍රමයක්. මේ සංකල්පයේ වැදගත් කම තේරුම් ගත්ත "ජෝජ් වෙස්ටින්ග්හවුස්" කියන ධනවතා ඩොලර් 60000 කට එහි පේටන්ට් බලපත්‍රය ටෙස්ලාගෙන් මිල දී ගෙන ප්‍රත්‍යාවර්ථ විදුලි පද්ධති ස්ථාපිත කිරීම අරඹනවා. 


ඉතින්, අද මුළු ලෝකයම ඒකාලෝක වෙලා තියෙන්නේ, ඕනෑම අහුමුල්ලකට ඉතාමත් පහසුවෙන් විදුලිය ලබා ගැනීමේ හැකියාව ලැබිලා තියෙන්නේ ටෙස්ලා නිසා කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ නේද?


දැන් එතකොට තෝමස් එඩිසන් ඉන්නවා නේද? එයා සම්පුර්ණයෙන් අනුග්‍රහය දක්වමින් හිටියේ සරල ධාරා ක්‍රමයට. ඔහු විදුලි බල්බයටත් පේටන්ට් අරගෙන තිබුනේ (එයත් ඔහුට අයිති නිර්මාණයක් නෙමෙයිලු. වෙන කෙනෙකුගේ නිර්මාණයක් වැඩි දියුණු කිරීමක් පමණයි). ටෙස්ලා අස් වෙලා ගිය දවසේ ඉඳන් එඩිසන් ඔහුගේ විරුද්ධ කාරයා. ඔහුට මේක අල්ලන්නේ නැහැ. ඉතින් ඒකට උපායක් කල්පනා කරන එඩිසන් අන්තිමට මෙහෙම දෙයක් කරනවා. බල්ලෝ පූසෝ වගේ සත්තු අල්ලාගෙන ඇවිත් උන්ට ප්‍රත්‍යාවර්ථ ධාරාවක් වදින්න සලස්වලා එයින් උන් මැරෙන බව පෙන්නපු එඩිසන් කිව්වේ මෙය ඉතාමත් අනතුරුදායක දෙයක් නිසා භාවිතය නැවැත්විය යුතු බවයි. ඒත් ඉතින් අදටත් අපේ ගෙවල්වලට විදුලිය ගේන්නේ ඔය ප්‍රත්‍යාවර්ථ ධාරාව, ටෙස්ලාට පින් සිද්ද වෙන්න. හැබැයි එඩිසන් මහත්තයම තමයි ආණ්ඩුවට යෝජනා කරලා තියෙන්නේ හිර කාරයින්ට මරණ දඬුවම දීම සඳහා ප්‍රත්‍යාවර්ථ ධාරාව යොදා ගන්න කියලා.

කොහොම හරි මේ සිද්ධි වෙන අතරේ "ක්‍රිස්ටෝපර් කොලොම්බස්" ගේ ඇමරිකා ආගමනයේ 400 වන සංවත්සරය සමරන දවස ලං වෙනවා. ඒ සඳහා උත්සවාකාරයෙන් චිකාගෝ නගරයේ ප්‍රදර්ශන සහ සංදර්ශන පැවැත්වීමට (World's Colombian Exposition / World's Fair කියන්නේ ඒකට) සූදානම් වන අතරේදී එය ආලෝකවත් කිරීම බාර දෙන්න ටෙන්ඩර් කැඳවීමක් කරනවා. ඒක දිනාගන්නේ ටෙස්ලා, වෙස්ටින්ග්හවුස් ගේ අනුග්‍රහයෙන්. හේතුව තමයි සරල ධාරා යොදාගෙන කරන ආලෝකකරණය ට වැය වන මුදලින් අඩක් පමණක් මේ සඳහා වැය වීම. ඉතින් ටෙන්ඩරය ලැබෙන එක පුදුමයක් නෙමෙයි. දැන් මෙතන තව ප්‍රශ්නයක් වෙනවා. අර ටෙන්ඩර් එක ගන්න එඩිසන් මහත්මයත් ලන්සු තිව්වට ඔහුට ඒක ලැබුනේ නෑ. ඉතින් ඔහු කරන්නේ ටෙස්ලා ට අකුල් හෙලන එක. විදුලි බල්බයේ පේටන්ට් බලපත්‍රය තිබුනේ එඩිසන් අතේ නිසා ආලෝකකරණය සඳහා බල්බ යොදා ගන්න ටෙස්ලාට තහනම් කරනවා...

දැන් ඉතින් බල්බ් නැතුව මොන ආලෝකකරණද? ඒත් ටෙස්ලා නෙමෙයි ඒවායින් සැලුනේ. ඔහු ඒ සඳහා වෙනස්ම ආකාරයේ බල්බයක් ඔහු විසින්ම නිපදවනවා (පසු කලක ඔහු නිපදවන ගෑස් බල්බයේ සංකල්පය තමයි අද සී එෆ් එල් බල්බ වල භාවිතා වන්නේත්). අදාළ දවසේ දහස් ගණන් බල්බ දල්වමින් ආලෝකකරණ කටයුත්ත අති සාර්ථක ලෙස නිම කරන්න ඔහුට පුළුවන් වෙනවා. ඒ තමයි ඉතිහාසයේ ප්‍රථම වරට එවන් දෙයක් විදුලියෙන් ආලෝකකරණය කළ අවස්ථාව. ඉන් පස්සේ තමයි ටෙස්ලා ගේ නම ලොව පුරාම ප්‍රසිද්ධ වෙන්නේ.



ටෙස්ලා ගේ අති සාර්ථකත්වය දකින නයගරා ඇල්ල භාරව තිබූ කොමිසම, ජල බලය යොදාගෙන ප්‍රත්‍යාවර්ථ ධාරා නිපදවීම අත්හදා බැලීමට ටෙස්ලාට අවසර දෙනවා. නයගරා ඇල්ලෙන් විදුලිය නිපදවුවොත් එය භාවිතා  කළ හැකි ලඟම නගරය උනේ "බෆලෝ නගරය". එයට ඇල්ලේ ඉඳන් සැතපුම් 20 ක් පමණ ඇති නිසා සරල ධාරා සම්ප්‍රේෂණය කොහෙත්ම ප්‍රයෝගික නැහැ. ඒ නිසා ටෙස්ලා ගේ ප්‍රත්‍යාවර්ථ අත්හදා බැලීම් වලට නිතරඟයෙන් ඉඩ ලැබෙනවා. නයගරා ඇල්ලේ ජල විදුලි සම්ප්‍රේෂණය ස්විචය  විවෘත කරන අවස්ථාවේ ටෙස්ලා එතන ඉඳලත් නැහැ. එය නිවැරදිව වැඩ කරන බවට ඔහුට ඒ තරමටම  විශ්වාසයක් තිබුනා. ලොව ප්‍රථම ජල විදුලි බලාගාරය තමයි ඒ. නයගරා ඇල්ල අසල ටෙස්ලාගේ ප්‍රතිමාවක් තියෙන්නේ මොන එකකටදැයි කල්පනා කරන අයට උත්තරේ තමයි මේ දුන්නේ :)






1898 දී පමණ ටෙස්ලා කළ තවත් සොයා ගැනීමක් තමයි දුරස්ථ පාලනය. අද, රූපවාහිනියේ පටන් සැටලයිට් දක්වා හැම උපකරණයකම වගේ පාවිච්චි වෙන්නේ ටෙස්ලාගේ මේ සොයා ගැනීම. 1917 දී ටෙස්ලා ගෙන ආ තවත් සංකල්පයක් තමයි රේඩියෝ තරංග පරාවර්තනය කිරීම මගින් වස්තුවක වේගය සහ ස්ථානය නිර්ණය කිරීම. එය ආරක්ෂක කටයුතු සඳහා යොදා ගැනීම ටෙස්ලා ගේ අදහස උනත් එවකට නාවික හමුදාව සම්බන්ධ නිලයක් දැරූ එඩිසන් විසින් එය වළක්වනවා. රොබර්ට් වොට්සන් "රේඩාර්" සොයා ගත්තේ ඉන් අවු. 17 කට පස්සේ. ඇත්තටම එහි ගෞරවය ලැබෙන්න ඕන ටෙස්ලා ට. "විල්හෙල්ම් රෙන්ට්ගන්" එක්ස් රේ සොයා ගැනීමට අවු. 8 කට පෙර, ටෙස්ලා එක්ස් රේ යොදා ගෙන පරීක්ෂණ කර තිබෙනවා. ටෙස්ලාට ඒ දේවල්, ඔහුගේ පරීක්ෂණ වලට යොදා ගත් අතුරු නිපැයුම් පමණයි.

අනාගතයේ නිසැකවම ඇති විය හැකි බලශක්ති අර්බුදය (ඛනිජ තෙල්, ගල්අඟුරු වැනි දේ නැවත උත්පාදනය නොවන සම්පත් බැවින්) ගැන අනුමාන කරන ටෙස්ලා, විකිරණ බල ශක්තිය හඳුන්වා දෙනවා. විශ්වයෙන් අපට ලැබෙන අසීමිත ශක්තිය ප්‍රයෝජනයට ගැනීම සඳහා සූර්ය කෝෂ නිපදවීම ඇරඹෙනවා.

නොබෙල් ත්‍යාග ලාභී "ගුග්ලිමෝ මාර්කෝනි" රේඩියෝව සොයා ගත් බව හැමෝම අහල ඇති. ඒත් ඒ සොයා ගැනීමට යොදාගත් අනෙක් සියලු නිමවුම්, ටෙස්ලාගේ බව දන්නේ නැහැ නේද? ඒත් ටෙස්ලා කිව්වේ මෙපමණයි.

"Marconi is a good fellow...Let him continue. He is using 17 of my patents"

රේඩියෝව නිපදවීමට මාර්කෝනි විසින් ටෙස්ලාගේ පේටන්ට් 17 ක් යොදා ගෙන තිබෙනවා. මේ නිසා පසු කලෙක රේඩියෝව සොයා ගැනීමේ ගෞරවය නැවත ටෙස්ලා වෙත පවරනවා.

ටෙස්ලා ගැන කතා කරද්දී තවත් කතා නොකර බැරි දෙයක් තියනවා. "ටෙස්ලා කොයිල්" ගැන. ගැමියාගේ පත් ඉරුවේ මේවා සම්බන්ධ කරගෙන ලස්සන ප්‍රබන්ධයක්‌ ලියවිලා තිබුණා. දැන් බලමුකෝ මොකක්ද මේ සංකල්පය කියලා. "වයර්ලස්" එහෙම නැත්නම් රැහැන් රහිත සම්ප්‍රේෂණය ගැන හැමෝම දන්නවනේ. ටෙස්ලා කොයිල් එකෙන් කරන්නේ රැහැන් රහිත බලශක්ති සම්ප්‍රේෂණය කිව්වොත් මම හිතන්නේ මම වැරදි නැහැ. අවකාශය හරහා විදුලිය සම්ප්‍රේෂණය කරන්න (හරියට රේඩියෝ තරංග ගමන් කරනවා වගේ) හදපු සැළසුමේ මුල තමයි ඒ. මේ වීඩියෝවෙන් බලාගන්න පුළුවන් ටෙස්ලා කොයිල් එකක් මොන වගේද කියලා.



මේ විදියට සම්ප්‍රේෂණය කරන විදුලිය සරලවම ප්‍රතිග්‍රාහකයක් වෙත (බල්බයක් වැනි) ලබා ගන්න හැකියාව තියනවා, කිසිම වයර් ඇදීමක් නැතිව. ඒ කියන්නේ ටෙස්ලා කොයිල් එකක් සම්ප්‍රේෂණය කරද්දී ඒ සීමාව තුල කෙනෙක් බල්බයක් නිකන්ම අතේ තබා ගෙන හිටියොත් එය දැල්වෙනවා, හැබැයි මිනිසාට හානියක් නොවී. කොයි තරම් අපූරු සංකල්පයක්ද? ටෙස්ලා මේ ගැන කොලරාඩෝ ප්‍රාන්තයට ගොස් පරීක්ෂණ පවත්වද්දී මිනිසුන් හිතුවේ ඔහු දෙවියන්ට අයත් වැඩ කරන පිස්සෙක් විදිහට. නැවත නිව්යෝක් වෙත එන ටෙස්ලා ගේ අදහස වෙන්නේ විශාල ටෙස්ලා කුළුණක් තනා ලෝකයටම විදුලිය, සංගීතය, රේඩියෝ තරංග ආදී සියල්ල සම්ප්‍රේෂණය කිරීම. ඔහු මේ සඳහා "මෝගන්" නම් මුදල් අනුග්‍රාහකයෙක් සොයා ගන්නවා.

ඒත්, අවාසනාවකට කුලුන තනාගෙන යද්දී ගුග්ලිමෝ මාර්කෝනි රේඩියෝ තරංග සම්ප්‍රේෂණය කරන නිසා මෝගන් හිතනවා තව දුරටත් මේකට අනුග්‍රහය දක්වන එකේ තේරුමක් නෑ කියලා. ටෙස්ලාගේ සැලසුම රේඩියෝ තරංග සම්ප්‍රේෂණයට වඩා ඉතාමත් එහා ගිය එකක් බව ඔහුට වැටහෙන්නේ නැහැ. කුලුනේ වැඩ අතරමග නතර වෙනවා. මේ නිසා ටෙස්ලා විසින් ලොවට දීමට නියමිතව තිබූ අසිරිමත් ත්‍යාගය අපිට අහිමි වෙනවා.

ටෙස්ලා මිය යන්නේ 1943 දී නිව්යෝකර් හෝටලයේ ඔහුගේ කාමරය තුලදී, තනිවම. ඔහු මිය ගොස් ඇති බව හෝටල් සේවකයින් දැන ගන්නේ දිනකට හෝ දෙකකට පසුව.  ඒත් සමගම ක්‍රියාත්මක වන ඇමරිකන් ආණ්ඩුව ටෙස්ලාගේ සියලුම ලිපි ගොනු තමන් භාරයට ගන්නවා. ඒ හේතුවක් ඇතුව. එය දෙවන ලෝක යුද්ධය පැවතුනු කාලය. ටෙස්ලා කරපු ඇතැම් පරීක්ෂණ සතුරා අතට පත් උනොත් ඉතාමත් විනාශකාරී වන බව ඔවුන් දැනගෙන සිටියා.

ඉන් එකක් තමයි භුමි කම්පා යන්ත්‍රය. ඕනෑම වස්තුවකට  අනන්‍ය අනුනාද සංඛ්‍යාතයක් ඇති බවත් ඒ සංඛ්යාතයම වෙනත් ප්‍රභවයකින් ඇති කලොත් ඒ වස්තුව කඩා බිඳ විනාශ කළ හැකි බවත් දන්නවා ඇති නේ. ඒ තමයි අනුනාදය කියන සංසිද්ධිය (ලතා මන්ගේශ්කාර්ගේ කටහඬ ට පුළුවන්ලු වයින් වීදුරුවක් අනුනාද කරලා බිඳින්න). ඉතින් ටෙස්ලා කලේ වස්තුවක අනුනාද සංඛ්‍යාතය නිර්ණය කරලා එයට සමාන සංඛ්‍යාතයක් ඇති ශබ්දයක් නිකුත් කරන්න පුළුවන් උපකරණයක් හදන එක. ඉතා විශාල ගොඩනැගිලි, පාලම් පවා මේ පුංචි උපකරණය යොදා ගෙන විනාශ කරන්න හැකියාව තියනවා.

ඒ විදියේ තවත් පරීක්ෂණයක් තමයි "Death rays". ඉතාමත් ඈතදී මිසයිලයක් පවා විනාශ කිරීමේ හැකියාව මේ කිරණ වලට තියනවලු.

දැනට මේ ලිපි ගොණු ටෙස්ලා කෞතුකාගාරයේ තිබුනත් කොපමණ ලිපි ප්‍රමාණයක් සැඟවිලා ද කියලා කිසි කෙනෙක් දන්නේ නැහැ.

ටෙස්ලා එදා ඉදිරිපත් කළ සංකල්ප බොහොමයක් මනස්ගාත ලෙස සමාජය විසින් බැහැර කලත් නවීන ලෝකයේ සියයට අසූවක් පමණම භාවිතා වන්නේ එම සංකල්ප. එහෙත් ටෙස්ලාට ඒවායේ ගෞරවය නිසි පරිදි ලැබෙනවාද යන්න සැක සහිතයි. ටෙස්ලා අනාගතයේ ජිවත් වුනු කෙනෙක්.  ඔහු ඉපදුනේ වැරදි කාලයක බව මම කලින් කීවේ ඒ නිසයි. අද කාලෙයේ නම් මෙවැනි සංකල්ප ඉදිරිපත් කරන්නෙක් මහා ධනවතෙකු වනු නියතයි. ඒත් ටෙස්ලා ජිවත් වුනේ දුප්පතෙක් විදියට. සියවසක පමණ අනාගතයට සරිලන පරීක්ෂණ වෙනුවෙන් මුදල් වියදම් කළ නිසා නැවත ඉපැයීමක් සිද්ධ උනේ නැහැ. ඔහුගේ සොයාගැනීම් වලට අන් අය පැසසුම් ලබද්දී, ටෙස්ලා කළේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී තව තවත් අසිරිමත් දේ ලොවට දීම සඳහා තම මුදල්, කාලය කැප කිරීම. ජූලි 10, ටෙස්ලා දිනයයි. ඔහු වෙනුවෙන් අවුරුද්දේ දින කොපමණ වෙන් කළත් වරදක් නැතැයි මට සිතේ. 


ලෝකයක් තැනූ ටෙස්ලා, ලෝකය විසින් අමතක කරන ලදුව...





"Our virtues and our failings are inseparable...like force and matter...When they separate, man is no more..." - Nikola Tesla

Wednesday, June 13, 2012

ලොකු අයියගෙ කතා


අපේ ලොකු අම්මට ඉන්නවා පුතාලා හතර දෙනෙක්. හතර දෙනාම අපිට වඩා වැඩිමල්. පොඩිම අයියා ටිකක් එක විදියක්. තමන්ගේ වැඩ කටයුතු වලට විතරක් මුල් තැන දෙන මේ අයියා ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියාවක් තමයි කරන්නේ nerd. ඊට වැඩිමල් අයියා සුදු අයියා. මෙයානම් හරිම සංවේදී හිතක් තියන ගෙදරටත් ලෙන්ගතු, මගෝඩි වැඩ කරන්නේ නැති, හොඳ කෙනෙක්. අපිත් එක්කත් හරිම ෆිට් batting eyelashes. ඊට වැඩිමල් රාජ් අයියා. මේ අයියා ගිහි ජීවිතේට වඩා පැවිදි ජීවිතේට තමා වැඩියෙන් ගැළපෙන්නේ (ඒත් දෙයියනේ කියලා දැන්නම් ළමයෙකුත් ඉන්නවා). ඊ ලඟට ඉන්නේ ලොකුම අයියා. මෙයා ගැනනම් ලේසියෙන් විස්තර කරලා ඉවර කරන්න අමාරුයි. හරිම හොඳ හිතක් තියන, හැබැයි අහිංසක නැති, අසාධාරණේ දැක්කම අම්මා තාත්තට උනත් විරුද්ධ වෙන, බොහොම විනෝදෙන් ඉන්න කැමති හරිම සරල කෙනෙක් තමයි ලොකු අයියා cowboy.

අපරාදේ කියන්න බෑ අහසට පොළව වගේ වෙනස් ගති පැවතුම් තියන මේ හතර දෙනාව ලොකු අම්මා හරිම හොඳට හදල තියනවා. එක්කෙනෙක්වත් මත්ද්‍රව්‍ය එහෙම පාවිච්චි කරන්නෙත් නෑ. මේ හතර දෙනා ගැනම කියන්න වෙන වෙනම කතා තිබුනත් අද කියන්න යන්නේ ලොකු අයියා ගැන.

ලොකු අයියා ඒ ලෙවල් කරලා ඉවර වෙලා මොකක්දෝ කෝස් එකක් කරන්න අපේ ගෙදර එනකොට අපි හරිම පොඩියි. ඒ ලෙවල් හරියට කරගත්තේ නැති හින්දා තමයි එහෙම එන්න උනේ (ඉගන ගන්න කිසිම  උනන්දුවක් තිබුනේ නැතුව ඒ ලෙවල් කරගත්තා නම් තමයි පුදුමේ). ඒ දවස්වල අපි හිටියේ තිස්ස මහාරාමේ. ඊට පස්සේ ඉතින් කසාද බඳිනකන්ම ලොකු අයියා හිටියේ අපේ ගෙදර. ලොකු අම්මලට වඩා අපේ අම්මලා එක්ක ඉන්න තමයි ලොකු අයියත් කැමති උනේ. අපේ මල්ලි ගොඩක් ලොකු වෙනකන්ම හිතාගෙන හිටියේ ලොකු අයියා අපේම අයියා කෙනෙක් කියලා.

ඔය අතරේ ලොකු අයියට වාහන පිස්සුවක් හැදුන නිසා අර කෝස් එක කරන එකත් අතරමග නැවතුනා. අදත් අපේ අම්මා කියන කතාවක් තමයි "මේ කොල්ලා අර කෝස් එක හරියට කරගත්තානම් අද ටී ඕ කෙනෙක්නෙ" කියන එක. ඒත් ලොකු අයියට ඒවා ගානක් නැහැ. එයා අන්තිමට නැවතුනේ ඩ්‍රයිවින් ජොබ් එකක. තමන් කැමති දේ එපාය කරන්න.

ඉතින් කොහොමහරි ඔය විදියට කාලේ ගෙවිලා යද්දී ලොකු අම්මලා පටන්ගත්තා අයියට මනමාලියෝ හොයන්න. හාපෝ ඒ මිනිස්සු ඒකට කාපු කට්ටක් d'oh. බලන්න යන හැම කෙනාගෙම මොකක් හරි ඇදයක් හොයාගන්න ලොකු අයියා හරි දක්සයි. එයා හේතු හැටියට කිව්වෙත් මහ සහ ගහන හේතු. "එයා ගේ ඇතුලට සෙරෙප්පු දාගෙන හිටියා", "එයා සාරියක්වත් අඳින්නේ නැතුව නිකන්ම ඇඳුමක් ඇඳගෙන නේ හිටියේ", "එයා හරියට මූන බලලා කතා කරන්නේ නැහැ". ඔන්න ඔය වගේ හේතු තමයි කිව්වේ. අන්තිමේදී කට්ටියට මේ වැඩේ එපා වෙලා දමලා ගහලා ඉන්නකොට එයාම හරියන එක්කෙනෙක් හොයාගෙන තිබුනා. චන්දි අක්කා, සේවා ස්ථානයේම කෙනෙක්. හැබැයි අක්කා අයියට වඩා නිලයෙන් උසස්. මේ හින්දා අක්කලාගේ ගෙදරින් බාධක ආවත් අක්කා නෙමෙයි ඒවට සැලුනේ smug. අයියටම හරියන ජාතියේ නේ ඉතින් එයත්.  අන්තිමේදී ඉතින් දෙන්නා ජය සිරි මංගලම් ගමන් ගියා.

මේ අක්කට පුළුවන් උනා සක්‍රයටවත් වෙනස් කරන්න බැරි ලොකු අයියාගේ සමහර ගති වෙනස් කරන්න.

1. කොට්ට උර යනු සෝද සෝදා පාවිච්චියට ගත හැකි දෙයක් බව වටහා දීම (කොට්ට උරේ මඩ පාට වෙනකන් පාවිච්චි කරලා ඒක විසි කරලා අලුතෙන් එකක් දාගන්න එක තමයි ලොකු අයියගේ පුරුද්ද වෙලා තිබුනේ)

2. සුදු ලූණු සමග තිබුණු වෛරය නැති කිරීම

3. අමුඩ ලේන්සුවක දමා පිට්ටු තැම්බූ සත්‍ය කතාවක් අසා පිට්ටු වර්ජනය කරමින් සිටි ලොකු අයියාට පිට්ටු කෑමට පුරුදු කිරීම.

මේ දෙන්නා ඉතින් තකට තක. රයිගමයයි ගම්පලයයි වගේ තමයි. දවසක් දෙන්නා පොලිසි නොගිහින් බේරුනේ අනූ නවයෙන්. තමන්ගේම ගෙට වහලෙන් බහින්න ගිහිල්ලා තමයි ඒ වැඩේ උනේ. ඉස්සරහ දොර ලොක් කරලා තියෙද්දී මෙලෝ සිහියක් නැතුව දෙන්නම ඉබේ ලොක් වෙන කුස්සියේ දොරෙන් එලියට බැහැලා. මම අතීතයේ දවසක් පෝස්ට් එකෙත් මේ දෙන්නා ගැන පොඩ්ඩක් ලිව්වා.

ඉතින් කියන්න ගිය කතාව තාම කිව්වේ නෑ නේ. හැමෝටම සද්දේ දාගෙන ඉන්න ලොකු අයියා, අක්කට ඇරුනහම බය තව දෙයක් තියනවා. ඒ තමයි ඉන්ජෙක්ෂන් කට්ට I don't want to see.

මේ එයා බඳින්න කලින් වෙච්ච වැඩක්. දවසක් අපි ටවුමට ගිය වෙලාවේ මොනවද බඩු වගයක් ගන්න කඩයක් ළඟ නතර කළා. එතන එහා පැත්තේ දත් දොස්තර කෙනෙක් ඉන්නවා දැකපු ලොකු අයියා වැඩර් වගේ ගියා දතක් ගලවගන්න තියනවා කියලා. අපි බඩුත් අරගෙන එයා එනකන් පැය බාගයක් හිටියා...ම්හු....පැයක් හිටියා...ඒත් නෑ. බැරිම තැන අම්මා ගියා බලලා එන්න. යනකොට ලොකු අයියා ඉන්නවලු ඇඳක හාන්සි කරවලා. නර්ස්ලා ටික හිනා වෙවී අම්මට විස්තරේ කියලා. ඉන්ජෙක්ෂන් එක ගහන්න කටුව ලං කරනකොටම ලොකු අයියට කලන්තේ හැදෙනවලු. ඊට පස්සේ ඇඳෙන් තියලා පොඩ්ඩක් හරි ගියාම ආපහු ඉන්ජෙක්ෂන් එක ගහන්න හදනවලු. ඉතින් ආපහු කලන්තෙලු. ඔය විදියට තුන් හතර පාරක්ම වෙලා. එදා දත ගැලෙව්වද කියලනම් මට මතකයක් නෑ. :)

මේක උනේ බැන්දට පස්සේ. දවසක් අක්කගේ දනිස් පොල් කටුව පැනලා අක්කව හොස්පිටල් අරන් ගියා. අම්මෝ ඒක දිහා බලන්න බයයි. දනහිස ඇත්තටම තියන තැන ෆ්ලැට් වෙලා දනිස්ස පැත්තකට පැනලා. ඕක ගණන් ගන්න එපා ඩොක්ටර්ස්ලා ටක් ගාලා ඕක හරි තැනට දාලා දෙයි කියලා අක්කටත් ටෝක්ස් දිදී තමයි ලොකු අයියා හිටියේ. හොස්පිටල් ගෙනිච්චම අක්කව ඇඳකින් තියලා නර්ස් කෙනෙක් ඇවිත් ඉන්ජෙක්ෂන් එකක් දෙන්න හැදුවලු අක්කට. එතකොටම...
"දඩාස්..."
බලද්දී ලොකු අයියට කලන්තේ හැදිලා වැටිලලු...


Tuesday, June 5, 2012

අයිස් යුගය


මේ අයිස් ඒජ් චිත්‍රපටියේ පින්තූරයක් දාලා තිබුනට මම කියන්න යන්නේ නම් චිත්‍රපටිය ගැන නෙමේ හොඳේ.

ඔය චිත්‍රපටිය බලපු අයට "අයිස් ඒජ්" කියන්නේ මොකක්ද කියලා නිකමට හරි අදහසක් ඇති නේ. අයිස් යුගයක් ඇති වෙන හැටි ගැන අපේ ලිපියේ අන්තිමට කතා කරමුකෝ. ඊට කලින් කතා කරන්න කාරණා කීපයක්ම තියනවා.

අපේ පෘතුවියේ අයිස් යුග කීපයක්ම තිබුණා කියලා විශ්වාස කරත් "අයිස් යුගය" කියලා පොදුවේ හඳුන්වන්නේ මිට අවුරුදු 70000 කට කලින් ඇති වෙලා, මිට අවුරුදු 10000 කට කලින් අවසන් වුන අවසාන අයිස් යුගය. අයිස් යුගයක ස්වරූපය ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ :) පෘතුවියෙන් වැඩි හරියක්ම ග්ලැසියර වලින් වැහිලා තියන හැටි හිතේ මවා ගන්නකො. මීට අමතරව ක්‍රි. ව. 1300 සිට 1900 පමණ වන තෙක් යුරෝපයේ "පුංචි අයිස් යුගයක්" ඇති වෙලා තියනවා (Little ice age)

දැන් අපි බලමු පෘතුවිය කොහොමද අයිස් යුගයකට නොයා දැනට මේ තත්ත්වයෙන් තියෙන්නේ කියලා. පිළිතුර තමයි "සාගර දියවැල්". මේ දියවැල් අපිට කොයි තරම් වැදගත්ද කියලා බලන්නකෝ.

දියවැල් කිව්වහම වර්ග දෙකක් තියනවා. එකක් තමයි සාගරය මතුපිට ඇති වෙන දියවැල්. මේවා ඇති වෙන්න හේතු වෙන්නේ ප්‍රධාන වශයෙන් පෘතුවියේ බ්‍රමණය, සුළං සහ මහාද්වීප වල හැඩය සහ පිහිටීම. පහළ රූපයේ තියෙන්නේ මතුපිට දියවැල් ගලන ආකාරය.


මේකේ රතු පාටින් පේන්නේ උණුසුම් දියවැල්. නිල් පාටින් තියෙන්නේ සිසිල් දියවැල්. උණුසුම් දියවැල් ගලන්නේ නිවර්තන කලාප වල ඉඳලා ධ්‍රැව දෙසට බවත්, සිසිල් දියවැල් ගලන්නේ ධ්‍රැව වල ඉඳලා නිවර්තන පෙදෙස් වලට බවත් ඔයාලට පේනවා ඇති. මේ හින්දා සිද්ධ වෙන තාප සංසරණය නිසා ලෝකයේ සමස්ත දේශගුණය සමනය වීමක් වෙනවා. යුරෝපය පැත්තේ සමහර වරාය වල සිසිර සෘතුවේ වත් හිම මිදෙන්නේ නැත්තේ මේ දියවැල් වල බලපෑම නිසා.

අනිත් දියවැල් වර්ගය තමයි ගොඩක්ම වැදගත්. ගැඹුරු සාගර පතුලෙන් ගලන දියවැල්. මේවා ඇතිවෙන්න නම් ප්‍රධාන වශයෙන් බලපාන්නේ ජලයේ ඝනත්ව වෙනස. සාගර ජලයේ ඝනත්වය තීරණය කරන සාධක තමයි උෂ්ණත්වය සහ ලවණ සාන්ද්‍රණය. ධ්‍රැව ආසන්නයේ මුහුදට වඩා නිවර්තන ආසන්නයේ උෂ්ණත්වය ඉතාමත් ඉහළයි. උෂ්ණත්වය වැඩි වීමත් සමග ඝනත්වය අඩු වෙනවා (ලවණ ප්‍රමාණය නියතයි). ඒ කියන්නේ ධ්‍රැව ආසන්නයේ ජලයේ ඝනත්වය වැඩියි. මේ නිසා ජලය පහළට ඇදිලා යනවා දිය වැලක් ආකාරයෙන්. ඒ අතර නිවර්තන ආසන්නයේ ජලයේ ඝනත්වය අඩු නිසා ජලය ඉහළ නගින්න උත්සාහ කරනවා. ධ්‍රැව වලදී පහළ බසින ජලයේ අඩුව පුරවන්න මේ උණුසුම් ජලය ධ්‍රැව දෙසට ගමන් කරනවා. ඒ අඩුව පුරවන්න ධ්‍රැව වලින් පහළ බසින සීතල දිය වැල නිවර්තන දෙසට ඇදී එනවා. මේක හරියට එකම වක්‍රාකාර පටියක් වගේ.

ත්රුනාද මන්දා :-\ . පින්තුරේ බලන්නකෝ...


දැන් පැහැදිලි ඇති නේද? ඔන්න ඔහොමයි දිය වැල් මගින් තාප සමනය සිද්ධ වෙන්නේ.

දැන් බලමුකෝ මේ දවස් වැල වැඩිපුර කතා කරන දෙයක් ගැන. "Global Warming". ඇයි මිනිස්සු මේකට ඔය තරම් බය? වායු ගෝලය උණුසුම් වීම නිසා (අපේ අයගේ වැඩ හින්දා තමයි ඉතින්) සිද්ධ වෙන්න පුළුවන් අහිතකර දෙයක් තමයි දැනට ග්‍රීන් ලන්තයේ සහ ඇන්ටාක්ටිකාවේ තියන ග්ලැසියර දිය වෙන එක (ඒ සංසිද්ධියට කියන්නේ "ග්ලැසියේෂන්" කියලා. අන්තිම අයිස් යුගය අවසානයේ විස්කොන්සින් ග්ලැසියේෂන් නිසා තමයි පංච මහා විල් ඇති වෙලා තියෙන්නේ). එහෙම දිය උනාම අති විශාල මිරිදිය ස්කන්ධයක් සාගරයට එකතු වෙනවා. එතකොට මොකද වෙන්නේ? ධ්‍රැව ආසන්නයේ මුහුදු ජලයේ ලවණ සාන්ද්‍රණය අඩු වීම නිසා ඝනත්වය අඩු වෙන එක. එතකොට අපි කලින් කතා කරපු විදියට දියවැල ගමන් කරන එක නවතීවි කියලා සැකයක් තියනවා. මොකද දියවැලේ ගමනට බලපාන්නේ ඝනත්වය නිසා ඒක වෙනස් උනාම ගමන් කරන්න විදියක් නැහැ නේ.

අන්න එහෙම උනොත් තාප සංසරණය විකෘති වෙලා නැවතත් අයිස් යුගයක් එයි කියලා විද්‍යාඥයින් සැක පහළ කරනවා. කොහොමත් එක අයිස් යුගයක් අවසානයේ උණුසුම් වීමේ කාල සිමාවකුත් ඉන් පස්සේ තවත් අයිස් යුගයකුත්, විදියට මේක චක්‍රයක් වගේ සිද්ධ වෙනවා කියන එක තමයි පිළි ගැනීම. එහෙම බලනකොට දැන් අපි ඉන්නේ මිට අවුරුදු 10000 කට කලින් ඇරඹුණු අනුසුම් වීමේ කාල පරිච්චේදය අවසානයේ ලු.

දැන් ඉතිරි වෙලා තියන ග්ලැසියර ටිකත් දිය වුන දාට නැවතත් අයිස් යුගයක් එයි. ඊට අවුරුදු දහස් ගානකට පස්සේ නැවතත් වායු ගෝලය උණුසුම් වෙන්න පටන් අරගෙන, දිය වැල් ක්‍රියාකාරී වෙලා මේ වගේ කාලයකුත් එයි. ඔය අතරේ අපේ සසර චක්‍රයත් නොනැවතී සිද්ධ වෙයි.සොබා දහමේ නියම වෙනස් කරන්න කාට නම් හැකි වෙයිද?


Related Posts Plugin for WordPress, Blogger...