Monday, December 16, 2013

කිරුළු පලන් "වතී" ලා - රාජාවලිය XXXII

ම්ම්ම් රාජාවලියත් අමතක වෙන්න දෙන්න බැහැ නේ...

කලින් ලිපිය අපි නැවැත්තුවේ චෝඩන්ග විසින් දෙවන වික්‍රමබාහු රජතුමා මරා දමපු තැනින්. අද එතැන් සිට...
දැන් ඔය චෝඩංග නිස්සංක මල්ල රජතුමාගේ බෑනා වෙන කෙනෙක්. ඒ උනත් ඔහුටත් වැඩි කලක් රජකම් කරන්න ලැබෙන්නේ නැහැ. ඔහු රජ වෙලා මාස 9 ක් ගත වෙද්දී කිත්ති නම් සෙනෙවියෙක් ඔහු අල්ලා බලයෙන් පහ කරනවා. ඒ සමගම ලංකාද්වීපයේ කිරුල තවත් රැජිනකට හිමි වෙනවා. ඒ තමයි පළමු පරාක්‍රමබාහු රජුගේ බිසව වන "ලීලාවතී" රැජින (ක්‍රි. ව. 1197 - 1200).


ලීලාවතී රැජිනට ජනතාවගේ කැමැත්ත සහ ගෞරවය ලැබුනත් සැබෑවටම රාජ්‍ය පාලනය උනේ කිත්ති සෙනෙවියා අතින්. මේ කාලය ඇතුලත සිදු වෙන චෝල ආක්‍රමණ කිත්ති සෙනෙවියා විසින් මැඩපවත්වනවා. ඔය අතරෙදි තවත් සිද්ධියක් වෙනවා. නිශ්ශංක මල්ල රජුගේ බෑනා කෙනෙක් වන සහස්සමල්ල ඔහුගේ මරණයෙන් පස්සේ රජකම ගැනීමේ බලාපොරොත්තුවෙන් ලංකාව බලා යාත්‍රා කරමින් සිටිනවා. ලීලාවතී රැජින රජ වෙන්නේ ඒ අතරේ. ඉතින් සහස්සමල්ල ලංකාවට ගොඩ බැස්සට පස්සේ කිත්ති සෙනෙවියා මරා දමා, රැජින බලයෙන් පහ කර කිරුල ලබා ගන්නවා. මෙහෙම රජ වෙන සාහස්සමල්ල රජතුමාටත් (ක්‍රි. ව. 1200 - 1202) රජ කරන්න වෙන්නේ අවුරුදු 2 යි. ඒ, අයස්මන්ත නම් ඇමතියා විසින් ඔහු බලයෙන් නෙරපන නිසා. අයස්මන්ත විසින් රජකම පවරන්නේ නිශ්ශංක මල්ල රජුගේ බිසව වන "කල්‍යාණවතී" රැජිනට (ක්‍රි. ව. 1202 - 1208). 

මේ විදියට අවු 8 ක් කල්‍යාණවතී රැජින රජකම් කලාට පස්සේ අයස්මන්ත විසින්ම ඇය බලයෙන් පහ කොට ධම්මාසෝක නම් මාස ගණනක් වයසැති ළදරුවෙක් රජ තනතුරේ තබනවා. එහෙත් චෝල හමුදාවක් සමග පැමිණෙන අනිකංග නම් සෙනෙවියා, ධම්මාසෝක රජු (ක්‍රි. ව. 1208 - 1209) සහ අයස්මන්ත මරා දමා රාජ්‍ය ලබා ගන්නවා. මේ අනිකංග සෙනෙවියා ධම්මාසෝක රජුගේ පියා යයිද මතයක් තිබෙනවා. අනිකංගටත් වැඩි දවස් නොගිහින්ම "වික්කන්ත චමුනක්ක" නම් සෙනෙවියෙක් අතින් මැරුම් කන්න සිදු වෙනවා. චමුනක්ක සෙනෙවියා රජ කිරුල ලබා දෙන්නේ නැවතත් ලීලාවතී රැජිනට (ක්‍රි. ව. 1209 - 1210).

 
මෙවර ලීලාවතී රැජිනට රජ කරන්න ලැබෙන්නේ වසරක කාලයක් පමණයි. "ලෝකිස්සර" නම් කාලිංග කුමරෙක් දමිල හමුදාවක් සමග පැමිණ ලංකාව ආක්‍රමණය කර රාජ්‍ය බලය අල්ලා ගන්නවා. අවි ගත්තෝ අවියෙන්ම නසිති කියන්න වගේ ලෝකිස්සර රජුටත් (ක්‍රි. ව. 1210 - 1211) වැඩි කල් නොගිහින්ම මැරුම් කන්න වෙන්නේ පරාක්‍රම නම් ඇමතියෙක් අතින්. මේ ඇමතියාත් රජ කිරුල ලබා දෙන්නේ ලීලාවතී රැජිනට (ක්‍රි. ව. 1211 - 1212). ඒත් මෙවරත් රැජිනට සිහසුනේ ඉන්න පුළුවන් වෙන්නේ වසරක කාලයක් පමණයි. පරාක්‍රම පාන්ඩ්ය නම් පාන්ඩ්ය කුමාරයෙක් ලංකාව ආක්‍රමණය කරනවා. ඉතින් ඔය විදියට පරාක්‍රම පාන්ඩ්ය රජතුමා (ක්‍රි. ව. 1212 - 1215) රජකම් කරගෙන ඉද්දී තමයි අපේ අසල්වැසි ඉන්දියාවෙන් ලංකාද්වීපයට තවත් මහා ආක්‍රමනයක් එල්ල වෙන්නේ. ඒ "කාලිංග මාඝ" ( (ක්‍රි. ව. 1215 - 1236)) ගෙන්. 

 
යම් යම් අරගල ඇති වුනත් සමස්ථයක් විදිහට සශ්‍රීකව තිබුණු රජ රට රාජධානියට මේ මාඝ ආක්‍රමණය මරු පහරක් උනා. වැව්, ඇල මාර්ග විනාශ කරමින් වෙහෙර විහාර කඩා බිඳ දමා වස්තුව කොල්ල කමින් ජනයාට කළ හිරිහැර දරා ගත නොහැකි වූ ලක් වැසියන් දකුණු ප්‍රදේශ වලට සංක්‍රමණය උනා. මේ විදිහට බලා ඉද්දී පිරිහුණු රජරට කැලෑ වලින් වැහිච්ච මුඩු ප්‍රදේශයක් බවට පත් වෙලා ගියේ ඉබේමයි. අන්තිමේදී දළදාවත් අරගෙන භික්ෂුන් වහන්සේලා පොළොන්නරුවෙන් පිටමං වෙන තැනට කරුණු යෙදුනා. 



ඒත් සමගම තමයි රාජධානි නිරිත දිගට සංක්‍රමණය වීම ඇරඹුණේ. ඔන්න ඔතන තමා ඉතින් පොළොන්නරු රාජධානියේ අවසානය. 

ඉතින් පොළොන්නරුවේ තත්ත්වය ඔය විදිහට තියෙද්දී, නිරිත දිග ප්‍රදේශවල සිංහල ජනාවාස වල බලය තරමක් දුරට පැතිරෙන්න පටන් ගන්නවා. යාපහුව ප්‍රදේශයේ බලය පතුරවන "සුබ" නම් සෙනෙවියා සුබ පබ්බත නම් පර්වතයෙන් මෙපිටට මාඝ සේනාවට ඒමට නොදී ප්‍රදේශයේ ආරක්ෂාව තර කරනවා. බුවනෙකබා නම් කුමාරයෙක් ගෝවින්දමල ප්‍රදේශයේත් සංඛ නම් සෙනෙවියෙක් ගන්දෙනිය ප්‍රදේශයේත් බලය පතුරවනවා. ඒත් මේ අය‍ට කාලිංග මාඝට විරුද්ධව නැගී සිටින්න තරම් ශක්තියක් තිබුනේ නැහැ.

පොළොන්නරු රාජධානියේ අවසානය ඔය විදිහට සිද්ධ වෙද්දී දඹදෙණියෙන් මතුවෙන සිංහල රණ හඬ ගැන අපි ඊ ළඟ ලිපියෙන් බලමු :)

Friday, November 15, 2013

නිකං ඉන්න බැරුවට

 අපේ කට්ටිය නිකන් ඉන්න බැරුවට එක එක ජාතියේ වැඩ කරනවනේ. මට මේ ගැන ලියන්න හිතුනේ අර මධුරංග දාල තිබුණ බූට් වැදිච්ච කෙනෙකුට කරන්න සුදුසු වැඩ ටිකයි ඒකට ආපු කමෙන්ට් ටිකයි දැක්කට පස්සේ. සහන් නම් කිව්වා ඔන්න කඳු නගිනවා වගේ ඒවා හරියන්නේ නෑ මොකද උඩට නැග්ගට පස්සේ අහවල් කෙනා මතක් වෙනවා කියලා. ඒ කියන්නේ එහෙම මුකුත් මතක් නොවෙන දේවල් තමයි කරන්න ඕන. එහෙම ක්‍රියාකාරකම් කීපයක් ගැන තමයි මම ලියන්න හදන්නේ. මේවා කරද්දිනම් මතක් වෙන්නේ දෙයියෝ බුදුන් විතරයි වැඩිම උනොත්.

මුලින්ම මම කරලා තියන එව්වගෙන් පටන් අරගෙන කරලා නැති ඒවාට එන්නම්. හඳ අල්ලපු රටේ ඔහායෝ ප්‍රාන්තයේ තියනවා "සෙඩාර් පොයින්ට්" කියලා තීම් පාර්ක් එකක්. ඇමරිකාවේ හොඳම තීම් පාර්ක් එක හැටියට සැලකෙන්නේ මේක තමයි මගෙ හිතේ. ඉතින් මොනවද මේකේ තියෙන්නේ? මෙන්න මෙව්වා තමයි.



ඒක පිරිලා තියෙන්නේ මේ විදියේ රෝල(ර්) කෝස්ටර් වලින්. ලැබෙන ත්‍රිල් එක (සිංහල වචනයක් මතක් වෙන්නේ නෑ. "ගතිය" කිව්වොත් හරිද මන්දා) අනුව මේ කෝස්ටර් ලෙවල්ස් 5 කට බෙදෙනවා. 4 හෝ 5 වෙනි ලෙවල් වල ඒවගේ යනකොට තමයි අර මම කලින් කිව්වා වගේ දෙයියෝ බුදුන් සිහි වෙන්නේ.

පලවෙනි වතාවට මෙහෙම පාර්ක් එකකට යන කෙනෙක්ට දෙන්න තියන හොඳම උපදේසේ තමයි අඩු ලෙවල් එකකින් පටන් ගන්නේ නැතුව කෙලින්ම 5 න් පටන් ගන්න කියන එක. මුලින් පොඩි ඒවගේ ගියොත් නිකන් බොරු බයක් ඇති වෙනවා ලොකු ඒවයේ යන්න. අපිත් මුලින්ම පටන් ගත්තේ ලෙවල් 5 ට අයිති වෙන ඔය උඩ රූපයේ දාලා තියන එකෙන්. උඩට පහලට හරහට දිගට හැම අතටම කරකැවිලා ඕකෙන් එලියට එද්දී අපි ආවේ නිකන් බීපු මිනිස්සු වගේ තමයි. 

ඊට පස්සේ තමයි මෙන්න මේක ඈතින් බැබලි බැබලි තියනවා දැක්කේ. 

Millennium Force - වේගය 93 kmph



පේනවා නේද ආනතියේ සැර? ඒක අංශක 80 ක් ලු. මටනම් ඕකේ යන්න හිත දුන්නෙම නෑ. ඒත් අපිත් එක්ක ගියපු හොඳටම කෝස්ටර් පිස්සුව තියන යාලුවෙක් අපිවත් ඇදගෙන ගියා කියමුකෝ. අපිව පටව ගත්තු රතු පාට පුංචි cart එක හෙමිහිට හෙමිහිට උඩට ඇදෙද්දී අර යාලුවා අහු වෙන මානෙක හිටියනම් ගුටි කනවා ඇත්තමයි :D. අපේ සයුරු නම් ඒ වෙනකොටත් ඇස් දෙක වහගෙන ඉවරයි. ඉතින් ඔහොම හෙමිහිට හෙමිහිට ගිහින් අන්තිමේ cart එක මුදුනට එනවා. ඔය රූපයේ තියන එක මුදුනට ලඟා වෙමින් තියෙන්නේ. එතන ඉඳලා පහලට වැටෙන්න පටන් ගන්නකොට තමයි මීක් නැතුව හිටපු කට්ටිය ලෝකේ හෙල්ලෙන්න කෑ ගහන්න පටන් ගන්නේ. සමහරු කෑ ගහන්නේ සතුටට. තවත් සමහරු බයට. මටනම් කෑ ගැහුනේවත් නෑ. හික්ස් :) ඇයි දෙවියනේ ආමාෂේ උගුර ගාවට එද්දී කෑ ගහන්න මතක් වෙන්නේ කාටද?


එතන තිබුන ඒවයෙන් තවත් හිතට අල්ලපු එකක් තමයි මේ.



අපිව පුටු වල තියලා කණුව දිගේ උඩට ගෙනිහින් ගුරුත්වය යටතේ අත අරිනවා. ජිවිතේ මුල්ම වතාවට weightless කියන හැඟීම දැනුනේ එතැනදී කිව්වොත් හරි.

ඔන්න ඔහොම එක එක ජාතියේ ගොඩක් දේවල් එතන තිබුනත් ඔක්කොම ලියන්න ගියොත් මෙතන ඉඩ මදි වගේම කට්ටියට එපාත් වෙයි. එහෙනම් කොස්ටර්ස් ගැන මගේ කෙරුවාවල් මෙතනින් අවසානයි. ඊට පස්සෙත් තීම් පාර්ක් කීපෙකට ගියත් ඒ එකක්වත් මේ වගේ හිතට ඇල්ලුවේ නැහැ.

දැන් කියන්න යන්නේ මම තවමත් නොකරපු දේවල් ගැන.

එක්කෝ කියනවට වඩා ලේසියි වීඩියෝ එකක් දාන එක. මොකෝ කියන්න මම කරලා තියන එකක්යැයි...



Sky Diving 





බන්ජි ජම්පින් 





පැරා ග්ලයිඩින් 





මේ ක්‍රියාකාරකම් හැම එකක්ම "ඩොර්පොමින්" වහනය කරවන දේවල්. මතකනේ ඩොර්පොමින්? ඔබ සතුටින්ද? ලිපියෙදි ඒ ගැන කිව්වා. 

ඉතින් ඔය සපත්තු කාපු කට්ටියටත් මේ වගේ මොනවහරි කරලා නාඩා ඉන්න බැරි වෙයිද?


Friday, October 18, 2013

බිනර මලක්

කිරි සයුරෙන් කිරි සුවඳ පොදක් ගෙන
මුතු බෙලි කටුවක සුරැකිව කැටි කොට
ආදරයෙන් මා දෝතට ගෙන දුන්
සුවඳති  හිනා මලක්

රන් හිරුගෙන් රන් කිරණ රොදක් ගෙන
ඒ කිරණින් මට එළියක් අරගෙන
ගලනා සීතල සුදු සඳ එළියේ
සුපිපුණු බිනර මලක්


අත්වැල මම වෙන්නම් නම් දරන ලිපිය හා සබැඳේ




ප. ලි.

කට්ටියට කොහොමද ඉතිං ? මාස එක හමාරකට විතර පස්සේ තමයි ඔන්න මේ පැත්තේ ආවේ. හේතුව පැහැදිලි ඇති නේ :)

කාගෙවත්ම බ්ලොග් වල කමෙන්ට් එකක්වත් දාන්න ලැබුනේ නැතත් අතරින් පතර අහු වෙච්ච පෝස්ට් නම් කියෙව්වා. මම නැත්තේ මොකද කියලා හොයල බලපු අයටත් බොහොම ස්තුතියි.

ඉස්සර වගේ නිතරම බැරි උනත් ඉස්සරහටත් ඉඩ ලැබෙන හැටියට පෝස්ට් කියවන්න වගේම ලියන්නත් බලාපොරොත්තු වෙනවා. මෙව්වා එහෙම අත ඇරලා දාන්නත් හොඳ නැහැනේ :)


Friday, August 30, 2013

බිල් ගේට්ස්ගෙ ගෙදර යමුද?

ඔයගොල්ලො වැඩි දෙනෙක් දැකලා ඇතිනේ ගේට් මහත්තයගෙ ගෙදර විස්තර එහෙම ඊ මේල් වලින් හුවමාරු වෙනවා. ඒවයේ තිබුණ විදියට ඒක නිකන් සුපිරිම ගෙදරක් තමා. අධි තාක්‍ෂණය උපයෝගී කරගෙන අන්තිම සැප පහසු විදියට ගෙදර ඩිසයින් කරලා තියනවා.

ඒත් මමනම් කියන්න යන්නේ ඒවා ගැන නෙමෙයි. අපිට ගේ ඇතුල බලන්න අවසර නෑ නේ. ගේට් මන්දිරය පිටතින් දැක බලාගන්න ලැබිච්ච හැටි ගැන තමයි මම කියන්න යන්නේ.

මේ ගෙදර පිහිටලා තියෙන්නේ හඳ අල්ලපු රටේ වොෂින්ටන් ප්‍රාන්තයේ සියැටල් කියන නගරයේ, "වොෂින්ටන් ලේක්" එකට මුහුණ දාලා හරිම ලස්සන තැනක. ඉතින් ගෙදර බලාගන්න ඕන නම් යන්න වෙන්නේ බෝට්ටුවකින් හරි වතුරේ යන්න පුළුවන් වෙන මොකකින් හරි තමයි. 

හැබැයි ඔය ලේක් එක අද්දර තියන එකම ගෙදර බිල් ගේට්ස්ගේ ගෙදර විතරක් නෙමෙයි. තවත් මහා ධනවතුන්ගේ ගෙවල් ගොඩක් වැව අද්දරින් වටේටම පිහිටලා තියනවා. 


මේ තියෙන්නේ ඒ විදියට වැව අද්දර හදලා තියන ගෙවල්



ඉතින් ඔය වැවේ තියනවා කෘස්‌ සවාරි සපයන සේවාවක්. කෘස්‌ එකකින් වැව වටේ එක්ක ගිහින් අර ගෙවල් ටික පෙන්නගෙන එනවා. අපිත් ඉතින් ටිකට් එකක් අරගෙන ඔය කෘස්‌ එකකට නැග්ගා.

එහෙම යද්දී දැකපු ගෙවල් වලින් කිහිපයක් තමයි මේ...








මේවයේ ඉන්න හැමෝටම වගේ අනිවාර්යෙන්ම බෝට්ටුවක් තියනවා තමන්ට කැමති වෙලාවට වැවේ සවාරි යන්න. පින්තූර වල පේනවා ඇති නේ ගෙවල් ඉස්සරහ බෝට්ටු නවත්තලා තියනවා.

ඔන්න එහෙනම් මේ තමයි ගේට්ස් ගේ ගෙදර :)



වැඩි හරියක් හැංගිලා තමා තියෙන්නේ.

මේ පැත්තෙන් ගත්ත පින්තූරයක්. හැංගිච්ච කොටසක් ඒකේ පේනවා.




ඉතින් ඔයිට වඩා ලඟට ගිහින් බලන්නනම් අපිට අවස්ථාවක් නෑ.

මේ ගමනේදී දැකපු තවත් වැදගත් දෙයක් තමයි මේ පහලින් තියන පාලම. වොෂින්ටන් ලේක් එක හරහා දාලා තියන මේ පාලම සාමාන්‍ය එකක් නෙමෙයි, පාවෙන පාලමක්.



වතුරේ පාවෙන් කොන්ක්‍රීට් තට්ටු උඩ සවි කරපු කුළුණු උඩ තමයි පාලම පිහිටලා තියෙන්නේ. මෙහෙම කරන්න හේතුව වෙලා තියෙන්නේ මේ වැවේ තියන අසාමාන්‍ය ගැඹුර. එච්චර ගැඹුරකදී පතුලේ ඉඳලා කුළුණු සවි කරන එක ප්‍රායෝගික නැහැ වගේම වියදමත් ඉතාම අධික වැඩක් ලු.

එහෙනම් ඉතින් පින්තූර කතාව මෙයින් අවසානයි. තවත් හඳ අල්ලපු රටේ විස්තරයකින් පසුව හමු වෙමු...

Wednesday, August 21, 2013

ලතා මඩුල්ලක් - රාජාවලිය XXXI


අපි පහුගිය ලිපියෙන් කතා කලා නේ මහා පරාක්‍රමබාහු රජතුමා අභිෂේක වෙච්ච හැටි. ඒකට අන්චි අදින්න කී දෙනෙක් උත්සාහ කළාද කියලත් මතක ඇති නේ. ඉතින් ඒ අයගෙන් අන්තිම අන්චිය ඇදපු සුගලා, ඒ සටනින් පැරදුනත් වැඩේ නතර කරන්නේ නැහැ. පලා ගිහින් සැගවී ඉදගෙන දිගටම වැඩ කටයුතු කරගෙන යනවා. මේ අතරේ පරාක්‍රමබාහු රජු විසින් හිර කරගෙන ඉදපු රුහුණේ දක්ශ සෙනෙවියෙකුත් හිරෙන් පැන ගිහින් සුගලාට එකතු වීම නිසා ඔවුන්ගේ හමුදාවට නව පණක් ලැබෙනවා.

මෙළෙස ශක්තිමත්ව රජුගේ හමුදාවට පහර දීම ආරම්භ කරන ඔවුන් මොණරාගල ආසන්නයේ කදවුරු ගසාගෙන කරන පහර දීම නිසා රාජකීය හමුදාවට පසු බැසීමට සිදු වෙනවා. රජුගේ "රක්ඛ" සෙනෙවියා ලෙඩ වී මිය යන්නෙත් මේ අතරමයි. මෙහෙම රටේ නොයෙක් ප්‍රදේශ වලට පහර දුන් රුහුණු සේනාව දියත් කළ තවත් දරුණු ප්‍රහාරයක් තමයි දීඝවාපියට කළ පහර දීම. රජුගේ සේනාව අපහසුවෙන් ඔවුන් පලවා හැරිය පසු නැවතත් සුගලාගේ සෙබලුන් විසින් එය අල්ලා ගන්නවා. පසුව නැවතත් රජුගේ සෙබලුන් විසින් දීඝවාපිය ජය ගන්නවා.

රජුගේ මී ළග ඉලක්කය වෙන්නේ කැරලි කරුවන් බලවත්ව සිටි බුත්තල ප්‍රදේශය අල්ලා ගැනීම. මේ ගමනේදී ගින් ගග, වැලිගම, මාතර, දෙවුන්දර යන ප්‍රදේශ වල සටන් කරමින් සතුරා පළවා හැරීමට රජුගේ සෙබළුන් සමත් වෙන අතර අකුරැස්සේදී නිල්වලා ගග තරණය කරන්න යෑමේදී ඔවුන්ට දරුණු සතුරු ප්‍රහාර වලට මුහුණ දීමටත් සිදු වෙනවා. අවසානයේ බුත්තල ජයග්‍රහණය කර එහි කදවුරු බදින විට, සුගලා දේවිය අටදහස් රට ප්‍රදේශයේ කැලෑ මැද සුලු සෙබළ පිරිසකගේ ආරක්ශාව පමණක් ඇතුව අසරණව පසු වෙනවා. මෙළෙස කොටු වී සිටි සුගලාව කිහිප පැත්තකින් වට කර අල්ලාගෙන සිර භාරයට ගැනීමට සෙනෙවියන්ට හැකි වෙනවා.

සුගලා අල්ලා ගැනීමෙන් පසුව මුළු දිවයිනම පරාක්‍රමබාහු රජු යටතට පත් වුනත් ක්‍රි.ව. 1161 දී පමණ නැවතත් රුහුණෙන් කැරැල්ලක් පැන නගිනවා. ඒ අවස්ථාවේදීත් පොලොන්නරුවෙන් විශාල හමුදාවක් එවා එය මැඩපවත්වන්න රජු සමත් වෙනවා. කොහොම උනත් රුහුණේ ජනතාව හැකි සැම වෙලාවකම රජුට විරුද්ධව පෙරලි කරපු බව පේන්න තියනවා.

මේ සිද්ධි වලින් පස්සේ බුරුමයේ රජු ලන්කාවට කළ අහේතුක හිරිහැර නිසා සේනාව යවා බුරුමය ආක්‍රමණය කරන අතර පාන්ඩ්යයින්ට එල්ල උනු සතුරු කරදරයකදී ඔවුන්ට ආධාර සදහා සේනාවද ලබා දෙනවා.

මීට අමතරව පරාක්‍රමබාහු රජතුමා ගැන ජනප්‍රවාදයේ තියන දෙයක් තමයි ඔහුගේ දුව 'රත්නවල්ලි' සහ රොඩී ජනයා අතර ඇති නෑ කම. මේ ජනප්‍රවාද ගැන මේ ලිපියේ ලියන්න මගේ අදහසක් නැති උනත් පොඩි කුමාරිහාමිගේ හුලවාලි ලිපියේ ඒ ගැන ඉතාමත් ලස්සනට ලියලා තියනවා.

ඉතින් පරාක්‍රමබාහු රජතුමා ක්‍රි.ව. 1186 දී මිය ගියාට පස්සේ රජකම ලැබෙන්නේ ඔහුගේ  බෑනා කෙනෙක් වන (එමෙන්ම දෙවන ගජබාහු රජුගේ පුත්‍රයා වන) "විජයබාහු II" රජතුමාට (ක්‍රි. ව. 1186-1187). කීර්ති විජයබාහු / පණ්ඩිත විජයබාහු කියන නම් වලිනුත් හැදින්වුනේ ඔහුම තමයි. ඒ වගේම ඔහු හොද කවියෙක් හැටියටත් සැළකුණා. ඒත් මෙතුමාට රජ කරන්න වෙන්නේ අවුරුද්දක කාලයක් විතරයි. මිහිදු නම් අයෙක් ඔහු මරා "මිහිදු VI" නමින් රජ වෙනවා (ක්‍රි. ව. 1187). ඒත් ඔහු රජ පවුලට සම්බන්ධ අයෙක් නොවන නිසා ඇමතියන්ගේවත් ජනතාවගේවත් සහාය ඔහුට ලැබෙන්නේ නැහැ.

පරාක්‍රමබාහු රජුගේ කාලින්ග බිසවගේ පාර්ශවයෙන් ඔහුට බෑනා වන "නිශ්ශංක මල්ල" රජතුමා (ක්‍රි. ව. 1187 - 1196) ඔහු මරා දමා රජකම ලබා ගන්නවා. මේ නිසා ඔහු කාලින්ග වන්ශයට අයිති, කාලින්ගයේ උපන් කෙනෙක්. නිශ්ශංක මල්ල රජතුමා ගැන විස්තර හැමෝම අහල ඇතිනේ. අර දකින දකින ගලක් ගානේ සෙල් ලිපි එහෙම කොටලා තවත් ලස්සන ශිලා නිර්මාණයක් වන නිශ්ශංක ලතා මණ්ඩපය එහෙම කරවපු රජතුමා නේ.



අපේ ගල් වඩුවන් කොයි තරම් සියුම් අන්දමට නිර්මාණ කරපු අයද කියන එක මේක දිහා බැලුවම පේනවා. ඒ ඇරෙන්න දන්ත ධාතුව තැනපත් කිරීමට හැටදාගේ, වටදාගේ සහ රන් කොත් වෙහෙර කරවලා තියෙන්නෙත් මෙතුමා තමයි. හොද බෞද්ධයෙක් උනු ඔහු, බුදු සසුනට සහ දුගීන්ට හොදින් සැළකුවා. ඒ වගේම ලක්දිව රජකම ලැබිය යුත්තේ බෞද්ධ රජෙකුට පමණක් බවත් චෝලයින්ට සහ පාණ්ඩ්යයින්ට මෙහි අයිතියක් නැති බවත් පැහැදිළිව සදහන් කළා.

නිශ්ශංක මල්ල රජුගෙන් පසුව රජ වෙන්නේ ඔහුගේ පුත් "වීරබාහු I" රජතුමා. එහෙත් ඔහු එදින රාත්‍රියේදීම 'තවිරු' නම් සෙන්පතියෙක් අතින් මැරුම් කනවා. ඉන් පසුව රජකම ලැබෙන්නේ රජුගේ සොහොයුරු "වික්‍රමබාහු II" ට. ඔහුටත් රජකම් කරන්න ලැබෙන්නේ මාස 3 ක පමණ කාලයක් විතරයි. නිශ්ශංක මල්ල රජුගේ සොයුරියගේ පුත් හැටියට සැළකෙන 'චෝඩගන්ග' (ක්‍රි. ව. 1196 - 1197) විසින් ඔහු මරා දමනවා. 

චෝඩගන්ග ගේ ඉරණම විසදෙන්නේ කා අතින්ද කියන එක අපි ඊ ලග ලිපියෙන් බලමු.



ප. ලි. - අදනම් අනිත් බ්ලොග් බලන්න කලින් කොහොමහරි මේක ලියනවමයි කියල හිතා ගත්තා. දැන් එන්නම්කො හැමෝගෙම බ්ලොග් පැත්තේ...

Thursday, July 18, 2013

පුංචි ආත්තා ගැන මතක



පුංචි ආත්තා කියලා අපි කිව්වෙ නෑ කමින් අපේ සීයගෙ (තාත්තගෙ තාත්තා) නැන්දා කෙනෙක් වෙන කෙනෙක්ට. "ආත්තා" කියන වචනෙ අපිට ඒ තරම් හුරු එකක් නෙමෙයි. අපි පාවිච්චි කරන්නෙ "ආත්තම්මා" / "මී ආත්තම්මා" කියන වචන. නෑ කමට අපේ මී ආත්තම්මා උනත් පුංචි ආත්තට අපි වගේම අම්මලත් කිව්වෙ පුංචි ආත්තා කියල තමයි. ඒක කොහෙන් ආපු නමක්ද කියලා අපි දැනගෙන හිටියෙ නැහැ. හොයන්න ගියෙත් නැහැ.

පුංචි ආත්තා ජිවත් උනේ අපේ තාත්තගෙ ගමේ. ඔය ගමේ ගෙදර ගැන මම හිච්චා ලිපියේ ගොඩක් විස්තර කරලා ඇති. ඒ ගෙදරට ටිකක් උඩහට වෙන්න මැටි පිරියම් කරපු ගෙයක, තනියම තමයි පුංචි ආත්තා ජීවත් උනේ. ඇයට දරු මල්ලෝ කවුරුත් හිටියෙ නැහැ. අපේ අත්තම්මා කියපු හැටියට ඇගේ ස්වාමියා තමයි "සින්හලේ මුත්තා". ඒත් අපි ඉපදෙන්නත් කලින් මිය ගිහින්. දෙන්නා අතර සෑහෙන වයස් පරතරයක් තියෙන්න ඇති.

දරුවෙක් මල්ලෙක් නැති පුංචි ආත්තාට දරුවන් උනේ අපේ තාත්තලා, නැන්දලා. මුනුබුරන් උනේ අපි. ඒ ඇරෙන්න ඇයට තවත් දරුවන් ටිකක් හිටියා. ගේ පිරෙන්නම හිටපු බළල් රන්චුවයි වත්තේ මුල්ලක හිටපු ගව පවුලයි හැමදාමත් ඇගේ තනි නොතනියට හිටියා. අලුතෙන් වහු පැටියෙක් හම්බ උනොත් එහෙම උගෙ අම්මගෙන් මුලින්ම දොවා ගන්න කිරි මුදවලා පුංචි ආත්තා තියාගෙන ඉන්නවලු අපේ තාත්තලා එහෙ යනකම්, අලුත් වහු පැටියගෙ කිරි කියලා කන්න දෙන්න.

මට මතක ඇති කාලෙ ඉදලම ඔය ගව පවුලෙ හිටියා "රත්ති" කියලා රතු පාට වැස්සියෙක්. ඒ එකම වැස්සිද නැත්නම් හිටපු හැම එකාටම රත්ති කියලා නම දැම්මද කියන්න මම අදටත් දන්නෙ නෑ. හැබැයි මම ඌට පට්ට බයයි කියලනම් මතකයි. කොටින්ම මොනම විදියකින්වත් අතෑරවන්න බැරිව තිබුන මගේ "සූප්පු බීම" නැති උනේ "සූප්පුව රත්ති අරන් ගියා" කියලා කිව්වට පස්සෙලු. ඊට පස්සෙ මම නෙමෙයි ඒක ආපහු ගෙනත් දෙන්න කියලා කරදර කලේ. මොනව උනත් රත්ති හින්දා මට උනේ හොදක්. නැත්නම් ඕක දිගටම කටේ ගහගෙන ඉදලා දත් බොල්ලෑවක් ආවනම් එහෙම අපේ එක්කෙනා මගේ දිහාවත් නොබලන්න ඉඩ තිබුනා :)

පුංචි ආත්තාට තිබුනේ හැබෑම ලස්සනක්. එයා තරුණ කාලේ එලිසබෙත් රජිණ පරාදයි කියලා තමයි හැමෝම කිව්වේ. ගෙදරට රෙද්දයි හැට්ටෙයි ඇන්දට ආත්තා ගමනක් යද්දි අනිවාර්යෙන්ම ලස්සනට ඔසරියක් ඇදලා ලොකු මාල පෙත්තක් තියන දිග චේන් එකකුත් දාගන්නවා.  ඒ වගේම හරිම කෙලින්, කාටත් බය නැති කෙනෙක්. ඔන්න එක දවසක් පුංචි ආත්තා පොඩි කාලේ කාගෙදෝ වත්තක් අයිනේ පොල් ගෙඩියක් වැටිලා තියනවා දැකලා අහුලගෙන ආවලු. ආත්තගෙ අම්මා කරල තියෙන්නෙ ආපහු ආත්තව ඇදගෙන ගිහින් පොල් ගෙඩිය තිබුණ තැනටම දැම්මෙව්ව එකලු. ඔය කතාව අපිට කියලා පුංචි ආත්තා කියනවා මෙන්න මෙහෙම... "තමන්ට අයිති නැති දෙයක් හොරෙන් ගන්න එපා වගේම අයිති නැති දෙයක් අහන්නෙ බලන්නෙ නැතුව ගන්නත් එපා".

ඉස්සර පුංචි ආත්තා මට හැම තිස්සෙම කිව්වෙ ලොකු වෙලා පෙරකදෝරු නෝනා කෙනෙක් වෙන්න කියලා. ඇයට අනුව ඒක තමයි කෙනෙක්ට කරන්න පුලුවන් ඉහලම රැකියාව. ඉස්සර ගමේ මිනිස්සුන්ගෙ නඩු හබ වලට එහෙම පුංචි ආත්තා හරියට දුවලා පැනලා උදව් කලා ලු. ඉතින් පුංචි ආත්තගෙ ලෝකේ පෙරකදෝරුවා ඉන්නෙ ඉහලම තැනක. පස්සෙ කාලෙක මම මොරටුව ඉන්ජිනෙරු පීඨෙට ඇතුල් වෙද්දී ආත්තා කෙලින්ම මුකුත් නොකිව්වට මෙන්න මෙහෙම හිතුවා කියලනම් මට ශුවර්. "අනේ මේ කෙල්ලට බැරි උනා නෙව තව ටිකක් මහන්සි වෙලා ඉගනගෙන පෙරකදෝරු ඉස්කෝලෙට යන්න" :-/

අපේ පුංචි ආත්තා පන්චි දාන්න එහෙම කියාපු ක්‍රීඩිකාව. ඉස්සර, ඒ කිව්වේ අපි ඉපදෙන්න කලින් අවුරුදු කාලෙට අපේ තාත්තලගෙ ගෙදර හැමෝම වගේ එහෙ යනවලු පන්චි දාන්න. උදේ පන්චි පැදුර එලුවට පස්සෙ ආපහු අකුලන්නෙ හවසට ලු. අපි පොඩි කාලෙ කියලත් වෙනසක් නෑ. ඒ කාලෙට ආත්තා අපේ ගෙවල්වල ආවම දවස පුරාම ඕක තමයි සෙල්ලම. හැබැයි ඉතින් හොර බොරු කරලා ආත්තගෙ කනින් රින්ගන එකනම් බොරු. (මේ සෙල්ලමට ඇබ්බහි උනාම ඉතින් මී පැණි කෑවා වගේ තමා. කන්න කන්න ආස හිතෙනවා. ආ..පන්චි දාන හැටි දන්නේ නැත්නම් මෙන්න මේක බලන්න).

පුළුවන් කාලේ කොයි තරම් පිළිවෙලට, තමන්ට උවමනා විදියට හිටියත් අන්තිමේදී කාලයක් එනවා කාගේ හරි පිහිටක් නැතුව බැරි වෙන. පුංචි ආත්තටත් එහෙම කාලයක් ආවා. ඒ වෙනකොට අපිත් නැන්දලත් ගමෙන් ගිහින්. ඉදලා හිටලා බලන්න එනවා ඇරෙන්න ලග නැවතිලා ඉදගෙන සාත්තු කරන්න කෙනෙක් හිටියේ නැහැ. අන්තිමේදි ඒ වැඩේ බාර ගත්තේ දරුවෙකුත් එක්ක තනි වෙච්ච, පුංචි ආත්තාගේ දුරින් නෑ වෙන කෙනෙක්. ආත්තගේ ගෙදරත් එයාටම ලියලා දුන්නා. දෙන්නාට දෙන්නා උදව් කර ගත්තේ එහෙමයි. ඉතින් අවසාන කාලෙදි පුංචි ආත්තා විදපු දුක සුළු එකක් එහෙම නෙමෙයි. ඇදෙන් බහින්නත් බැරුව එක් තැන් වෙලාම හිටියා. හරියට පරඩැලක් වගේ ඇග පත වැහැරිලා ගියා. තරුණ කාලේ කොහොමට හිටපු මනුස්සයෙක්ද කියලා හිතද්දී හරිම දුක හිතෙනවා. කාට උනත් ඔය ටිකනේ ඉතින්.

ඔහොම කාලෙ ගෙවිලා යද්දී එක දවසක් හවසක අපිට ආරන්චියක් ආවා ගමෙන්, "පුංචි ආත්තා නැති වෙලා ලු". අපි එදා ගමට යද්දී කළුවර වැටිලා. පුංචි ආත්තාගේ ගෙදරට ටික දෙනෙක් එකතු වෙලා හිටියා. ආත්තව ඇදක් උඩ තියලා ඉහ ඉද්දරින් පහනක් පත්තු කරලා තිබුණා. එදා ඒ මළ ගෙදරින් පස්සේ අපි එහෙ යැවුනෙම නැහැ. ගියා කියලා කවුරු බලන්නද? මම හිතන්නෙ එහෙ හිටපු හරක් ටිකත් දැන් නැහැ. විකුණලා වෙන්න ඕන.

පුංචි ආත්තගෙ නිවසත් එක්ක බැදුන සුන්දර මතක ආත්තත් එක්කම වැළලිලා ගියා කියලා හිතෙනවා. ඇගෙන් මට තෑග්ගක් හැටියට ලැබුණ ඉන්ග්‍රීසි ආණ්ඩු කාලේ පීරිසි කෝප්ප කුට්ටම විතරක් තවමත් මගේ කෞතුක භාණ්ඩ එකතුව අතරේ තියනවා.


Monday, July 8, 2013

සමුද්‍රයක් තැනූ රජෙක් - රාජාවලිය XXX

XXX කිව්වේ  30 කියන එක (දැන් කී දෙනෙක් හැරිලා යාවිද මන්දා :).






අද අපි කතා කරන්න යන්නේ කලින් ලිපියේ අවසානෙට කතා කරපු ගජබාහු රජතුමාගෙන් පස්සේ අපේ රටේ රජ පවුල්වල වෙච්ච සිද්ධි ගැන. මතකයිනේ ඒ ලිපිය පුරාම තිබුනේ මහා විජයබාහු රජතුමාගේ සොයුරිය වෙච්ච මිත්තා කුමාරිගේ පුත්තු තුන් දෙනා (මානාභරණ, සිරි වල්ලභ සහ කීර්ති ශ්‍රී මේඝ), විජයබාහු රජතුමාගේ පුතාටයි (වික්‍රමබාහු) මුණුබුරාටයි (ගජබාහු) කරපු කරදර ගැන. නිදහසේ රජ කරගෙන ඉන්න දුන්නෙම නෑ නේ. මානාභරණගේ මව විජයබාහු රජුගේ සොයුරිය වීමට අමතරව තවත් නෑ කමක් ඔවුන් අතර තියනවා. ඒ තමා මානාභරණ විවාහ කරගත්තේ විජයබාහු රජුගේ දුවක්. එහෙමත් නැත්නම් වික්‍රමබාහු ගේ සොයුරියක්. ඇය රත්නාවලී. තිලෝකසුන්දරී කියන බිසව තමයි ඇගේ මව. එහෙම බලද්දී හතුරුකම් කරලා තියෙන්නේ දෙවිදියකින්ම මස්සිනා වෙච්චි කෙනෙක්ට :)

ඉතින් මේ මානාභරණටයි රත්නාවලී බිසවටයි මිත්තා සහ පබාවතී නම් දූවරු දෙදෙනෙක් සහ එක පුත් කුමරෙක් ඉන්නවා. ඒ පරාක්‍රමබාහු කුමාරයා. නෑ කම අනුවනම් පරාක්‍රමබාහු කුමාරයා මහා විජයබාහු රජුගේ මුණුබුරා. මේ කුමාරයා කුඩා කාලේ ඉඳලම ඉතාමත් නිර්භීත වගේම දක්ෂ කම් පෙන්වපු කුමාරයෙක් ලු. මේ කාලය වෙද්දී දෙවන ගජබාහු රජතුමා පොළොන්නරුවේ රජකම් කරද්දී මානාභරණ ඇතුළු තෙසොහොයුරෝ රුහුණු රටේ පාලන කටයුතු කළා (කෙතරම් උත්සාහ කළත් තමන්ගේ නෑයින් එලවා පොලොන්නරුව අත් කර ගැනීමට ඔවුන්ට නොහැකි උන නිසා). 

ඔය අතරෙදි මානාභරණ අසනීප වී මිය යන නිසා ඔහුගේ ප්‍රදේශය පාලනය කරන්න "සංඛ" නම් සෙනෙවියෙක් යොදවන්නේ කීර්ති ශ්‍රී මේඝ විසින්. 

සැමියා නැතිව තනි වෙන රත්නාවලී බිසවට සිද්ධ වෙනවා දරුවනුත් රැගෙන ඔවුන්ගේ සොයුරා වූ සිරි වල්ලභ ලඟට යන්න. සිරි වල්ලභ ගේ බිසව තමයි "සුගලා". ඇය, විජයබාහු රජුට ලීලාවතී රැජිනගෙන් ලැබුණ දියණිය යශෝදරා ගේ දුවක්. මොවුන් දෙදෙනාගේ පුතාගේ නමත් "මානාභරණ". ඉතින් මේකෙන් වෙන්නේ මිත්තා කුමරිය සහ මානාභරණ අතරේ ප්‍රේම සම්බන්ධයක් ඇති වීම. ඒත් රත්නාවලී බිසව මේ දියණියගේ සම්බන්ධෙට කැමති වෙන්නේ නැහැ. ඇගේ අදහස උනේ ගජබාහු රජතුමාට මේ මිත්තා කුමරියව පාවා දීම. මොනවා උනත් ගජබාහු කියන්නේ තමන්ගේ සොහොයුරාගේ පුතා. ඒ වගේම රටේ රජතුමා. ඉතින් සැමියාගේ සොහොයුරාගේ පුතාට වඩා ගජබාහු කුමාරයාට කැමැත්තක් ඇති වීම සාධාරණයි නේ. මේ බව දැනගත් සිරි වල්ලභ කෝපයට පත් වෙනවා, තමන්ගේ සතුරෙක්ට මිත්තාව පාවා දීමට යන නිසා. ඉතින් සිරි වල්ලභ මොකද කරන්නේ, රත්නාවලී බිසවගේ විරුද්ධත්වය නොතකාම මිත්තාව මානාභරණට පාවා දීම. මෙයින් අසතුටට පත් වෙන රත්නාවලී බිසව, පරාක්‍රමබාහු කුමාරයාත් රැගෙන පිටත් වෙන්නේ ඔවුන්ගේ අනෙක් සොයුරා වූ කීර්ති ශ්‍රී මේඝ ලඟට. කිර්ති ශ්‍රී මේඝ ඔවුන්ව පිළි අරගෙන පරාක්‍රමබාහු කුමාරයාට ඉතා හොඳ අධ්‍යාපනයකුත් ලබා දෙනවා. 

පසුව පබාවතී කුමරියත් මානාභරණගේ බිසවක් බවට පත් වෙන අතර මිත්තා සහ පබාවතී දෙදෙනාටම පුතුන් දෙදෙනෙක්ද ලැබෙනවා. මේ අතරේ සිරි වල්ලභ මිය යන නිසා මානාභරණට ඒ වගකීම් පැවරෙනවා. 

මේ අතරේ අධ්‍යාපනය හමාර කළ පරාක්‍රමබාහු කුමාරයා පසු වෙන්නේ සිත් තැවුලෙන්. හේතුව තමයි රුහුණ සහ රජ රට අසමගිව රට දෙකඩව පැවතීම. මේ ගැන දිගින් දිගටම කල්පනා කරන කුමාරයා රහසේම මාලිගයෙන් පිට වෙලා යන්නේ රට නැවතත් එක්සේසත් කිරීමේ අරමුණින්. කුමාරයා ඒ කාර්යය පටන් ගන්නේ රුහුණේ ප්‍රදේශයක් පාලනය කරමින් සිටි සංඛ සෙනෙවියා මරා දැමීමෙන්. මෙය ආරංචි වෙන කීර්ති ශ්‍රී මේඝ කෝපයට පත් වී කුමාරයා දුර දිග නොබලා ක්‍රියා කරන බව සිතා ඔහු අල්ලාගෙන ඒමට සේනා කිහිපයක් පිටත් කළත් කුමාරයාගේ සෙබළුන් ඔවුන්ව පරාජය කරනවා. 

ඉන් පසුව රජරට බලා ගමන් කරන කුමරු ගැන ඇසූ ගජබාහු රජතුමා ඉතාමත් මිත්‍රශීලි අන්දමින් ඔහුව තම මාළිගාවට කැඳවා ගෙන විත් සත්කාර කරනවා. එලෙස මිත්‍ර වන මේ දෙමස්සිනාලාගේ සම්බන්ධය වඩාත් තර වෙන්නේ පරාක්‍රමබාහු කුමාරයාගේ තවත් සොයුරියක් වන භද්‍රාවතී ගජබාහු රජුට විවාහ කර දීම නිසා. මේ විදියට පරාක්‍රමබාහු කුමාරයා පොළොන්නරු මාළිගාවේ නිදහසේ කල් යවද්දී ගජබාහු රජතුමාට ඔහු ගැන නිතැතින්ම සැක පහළ වෙනවා. පරාක්‍රමබාහු ගේ දක්‍ෂ බවත් තේජසත් එයට බලපාන්න ඇති. මේ නිසා ගජබාහු රජුගේ හැසිරීමේ වෙනසක් ඇති වෙන අතර එය වටහා ගන්නා පරාක්‍රමබාහු නැවතත් රුහුණු රට බලා යනවා. 

කුමරුගේ සුළු පියා වූ කීර්ති ශ්‍රී මේඝ මිය ගිය පසු රුහුණේ පාලනය බාර වන්නේ ඔහුට. ඒත් ඔහුගේ අභිප්‍රාය වෙන්නේ මුළු ලංකාවටම රජු වීමටයි. මුලින්ම රුහුණ සශ්‍රික කිරීම අරඹන ඔහු පසුව වයඹ හා මලය ප්‍රදේශත් ඔහුගේ පාලනයට නතු කරගන්නවා. කුමරුගේ මී ළඟ අරමුණ වෙන්නේ රජරට යටත් කර ගැනීම. ගජබාහු රජු සමග කළ සටන් ලෙහෙසි පහසු ඒවා නොවුනත් අවසානයේ ගජබාහු රජු සිර කිරීමට ඔහුට හැකි වෙනවා. 

මේ අතර පරාක්‍රමබාහුට විරුද්ධව තවත් සතුරෙක් ක්‍රියාත්මක වෙනවා. ඒ, මිත්තාව විවාහ කරගත් මානාභරණ.  තමන්ගේ මස්සිනාට එරෙහිව සටන් වදින මානාභරණට හැකි වෙනවා ඔහුව පරදා කෙටි කලකට පොළොන්නරුවේ පාලනය අල්ලා ගැනීමට. එහෙත් නැවතත් ඔහු සමග සටන් වදින පරාක්‍රමබාහු ඔහුව පලවා හරිනවා. මේ අවසරයෙන් හිරෙන් පැන යන ගජබාහු, ගන්තලාවට පැන ගොස් සේනාව රැස් කිරීමට පටන් ගන්නවා. 

මෙන්න මේ වෙලාවේදී සිද්ධ වෙන්න යන විනාසය දැකලා වහාම ක්‍රියාතමක වෙන්නේ සංඝයා වහන්සේලා. කුමාරවරුන් එකිනෙකා මරා ගැනීමේ ආදීනව දුටු උන්වහන්සේලා තීරණය කරනවා කෙසේ හෝ මොවුන් සමගි කරවීමට. මුලින්ම ගජබාහු රජු ඒ සඳහා කැමති කරගෙන පසුව පරාක්‍රමබාහු හමුවී අනුශාසනා කරනවා. ගජබාහු රජු දැන් මහළු බවත් ඔහුට දරුවන් නැති නිසා ඔහුගෙන් පසු පරාක්‍රමබාහුට රජ කම හිමි කරගත හැකි බව පසක් කර දුන් පසු ඔහුත් සමාදානයට එකඟ වෙනවා. මේ අනුව ඔවුන් සාම ගිවිසුමක් අනුව සමාදාන වූ බවත් ඒ ගිවිසුම සංගමුව රජමහා විහාරයේ සෙල්ලිපි ගත කළ බවටත් විශ්වාස කෙරෙනවා. 

ක්‍රි. ව. 153 දී ගජබාහු රජු මියගිය පසු ඇමතියන් පිරිසකගේ උපදෙස් මත මානාභරණ නැවතත් පොලොන්නරුව අල්ලා ගැනීම සඳහා සටන් වදිනවා. එහෙත් වඩාත් බලවත් පරාක්‍රමබාහු එයින්ද ජය ගන්නවා. ඉන් නොබෝ කලකට පසුව මානාභරණ මිය යන නිසා ඔහුගේ ඇමතිවරුන් කරන්නේ මානාභරණගේ මව වන සුගලා වටා එකතු වී නැවතත් පරාක්‍රමබාහුට පහර දීම සඳහා සටන් වදින එක. පරාක්‍රමබාහු කුමරු "රක්ඛ" නම් සෙනෙවියෙකුගේ සහාය ඇතුව මේ සේනාව සමග සටන් වදිමින් ඔවුන්ව රුහුනටම හඹා යනවා. ඒ අතරේ  දන්ත ධාතුව අයත් කරගන්නා සුගලා, එය රැගෙන උරුවෙල ට පැන යන නිසා පරාක්‍රමබාහු ඇතුළු සේනාව රුහුණ පීරමින් සටන් කර ජයග්‍රහණය කරනවා. දන්ත ධාතුව නැවතත් පොළොන්නරුවට වැඩමවන ඔහු ඒකීය ලංකාවක මහා පරාක්‍රමබාහු රජු (ක්‍රි. ව. 1153 - 1186) ළෙස අභිෂේක ලබනවා. 

ඔය ආකාරයට තමයි ලක්දිව තවත් ශ්‍රේෂ්ඨ නරපතියෙක් බිහි වුනේ. රට වාරිමාර්ගයෙන්, ගොවි තැනින් සශ්‍රික කරා වගේම බුදු සසුනටත් උපරිම අනුග්‍රහයක් දක්වපු රජ කෙනෙක්. පරාක්‍රම සමුද්‍රය එහෙම කට්ටියට මතක් වෙනවා ඇතිනේ. එතකොට අර "අහසින් වැටෙන එක දිය බිඳක්වත් ප්‍රයෝජනයක් නොගෙන මුහුදට ගලා යාමට නොදිය යුතුය" කියන කියමනත් මතක ඇතිනේ...




මේ තියෙන්නේ පරාක්‍රමබාහු රජුගේ මාලිගයේ නටබුන් 



මේ පිළිමය පරාක්‍රමබාහු රජුගේ කියලා සැලකුවත් ඒ ගැන තවත් මතවාද තියන බව ඔබ දන්නවා ඇති.



මෙයින් පස්සේ සුගලාට එහෙම මොකද උනේ කියලා අපි ඊ ළඟ ලිපියෙන් බලමු.




Tuesday, June 25, 2013

විසෙන් විස නැසීම




මේ ලඟදි දවසක මට අහන්න ලැබුනා විශ්වාස කරන්නත් බැරි තරමේ අරුම පුදුම කතාවක්. වෛද්‍ය විද්‍යාවේ තවත් ආශ්චර්යයක් ගැන (ආශ්චර්යයක් කිව්වේ ඇත්තම ඇත්ත ආශ්චර්යයක්).

HIV වෛරසය කිවූ ගමන් අපිට මතක් වෙන්නේ මහා භයානක, සතුරෙකුටවත් නොහදිය යුතු ලෙඩක්. හැබැයි මේ වෛරසයෙන් අපි නොහිතන විදියේ ප්‍රයෝජන ගන්න පුළුවන් බව වෛද්‍යවරු කණ්ඩායමක් ඔප්පු කරලා තියනවා.

පුංචි "එමා" අවුරුදු 6 ක ගැහැණු ළමයෙක්. සාමාන්‍ය ගැහැණු ළමයෙක් නෙමෙයි ලියුකේමියාවෙන් පීඩා විඳින, මරණය අභියස සිටින කෙනෙක්. තවත් කළ හැකි ප්‍රතිකාරයක් ඉතිරි නොවූ තැන වෛද්‍ය විද්‍යාවේ අමුතුම ආකාරයේ පරීක්ෂණයකට ඇයව ලබා දෙන්න එමාගේ දෙමව්පියන් කැමති වෙනවා. ඒ පරීක්ෂණය තමයි HIV වෛරසය යොදාගෙන ලියුකේමියා පිළිකා සෛල නැසීම.

තව දුරටත් රෝගකාරකයක් විය නොහැකි වන පරිදිත් එහෙත් පිළිකා සෛල වලට පහර දීමට හැකි වන පරිදිත් වෙනස් කළ HIV වෛරසය එමාගේ සිරුරට ඇතුල් කරනවා. එයින් පසු ඇයට උණ, හුස්ම ගැනීමේ අපහසුතා, රුධිර පීඩන වෙනස් කම් වැනි දේවල් වලින් දින ගණනක් කරදර විඳින්න සිද්ධ වෙනවා. කෙසේ උනත් ඇය නිසැකවම මිය යාමට සිටි දැරියක් බව හැමෝම දැන සිටියා. කොයි අතින් උනත් විය හැකි දරුණුම දේ මරණය...

නමුත් එක වරම වෛරස් සෛල වර්ධනය වී පිළිකා සෛල විනාශ කිරීමට පටන් ගන්නවා. ඉන් පැය කිහිපයකට පසු එමාගේ උණ සම්පූර්ණයෙන් බැස යනවා. ඇය ඇඳෙන් නැගිටින්නේ ලියුකේමියාවෙන් සම්පූර්ණයෙන් නිදහස් ළමයෙකු ලෙස.

මේ තියෙන්නේ ඒ ගැන පුංචි වීඩියෝවක්. වැඩිය දිග නැහැ. විනාඩි 3.30 යි.




සමහර විට තොටියා අයියා එහෙම මේ පැත්තේ ආවොත් වැඩි විස්තර කියාවි. මටනම් ඒ තරම් වෛද්‍ය විද්‍යාව ගැන දැනුමක් නෑ මේවා පැහැදිලි කරන්න.

කොහොම උනත් පුදුමයි නේද? විසක් උනත් තවත් විසක් නසන්න ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.


Monday, June 17, 2013

සුපීරියර් විලේ සිතුවම් ගල්

සුපීරියර් විල කියල කියන්නේ පංච මහා විල් වලින් ලොකුම එක. පංච මහා විල් කියන්නේ මොකද්ද කියලනම් අහන්න එපා හොඳේ. :) එක සැරයක් නයගරා ගැන ලියපු පෝස්ට් එකේදී ඔය විල් හැදුන හැටි, විස්කොන්සින් ග්ලැසියේෂන් ගැන එහෙම කිව්වා මතකයි.

ඉතින් මේ සුපීරියර් විලේ කොනක එක්තරා පුංචි ඉවුරක් තියනවා "Pictured Rocks" කියලා. ඒ ඉවුරට මේ නම ලැබෙන්න හේතුවකුත් තියනවා.



ඔය ඉවුරේ බිත්තිය දිහා හොඳට බැලුවොත් පෙනේවි නිකන් ඉරි ඉරි චිත්‍රයක් වගේ එකක්. ටිකක් වම් පැත්තට වෙන්න. ඒ වගේ ස්වාභාවික චිත්‍ර ඉවුර දිගටම පිහිටලා තියනවා. මෙතන ඉවුරෙන් බොහොම පොඩ්ඩයි පේන්න තියෙන්නේ.  හරියටමනම් මේ ඉවුරුවල දිග හැතැප්ම ගානක්. ඉතින් ඒ ඉවුරු දිගටම අර විදියේ චිත්‍රත් පිහිටලා තියනවා.

හැබැයි මේවා ගොඩ ඉඳගෙන නම් දැකගන්න බැහැ. ඒකට පුංචි පහේ ක්රූස් එකක් සූදානම් කරලා තියනවා අපිව එක්ක ගිහින් ඒවා පෙන්නන්න. ඔය යන්නේ එයින් එකක්.


ඔහොම ඉවුරු අයිනෙන් යාත්‍රා කරගෙන යනකොට ඔන්න චිත්‍ර පොතක වගේ අපූරු සිතුවම් පේන්න පටන් ගන්නවා. මේ සිතුවම් රතු, නිල්, කළු, කොළ වගේ වර්ණ වලින් දකින්න පුළුවන්. 





මම කලින් කිව්වනේ සුපිරියර් විල තමයි පංච මහා විල් වලින් ලොකුම සහ ගැඹුරුම එක කියලා. ඒ වගේම එදා දැනගත්ත තවත් කාරණයක් තමයි මේ විලේ ජලය සාපේක්ෂව ඉතාමත් පිරිසුදුයි ලු. ඒ කතාවනම් ඇත්ත වෙන්න ඕනේ. වතුරේ පාට දිහා බැලුවමත් ඒක පේනවා.

මේ තියෙන්නේ සාමාන්‍ය පොයින්ට් & ශූට් කැමරාවකින් ගත්ත විල් පතුලේ පින්තුරයක්.



මේ ආරුක්කුවක් වගේ පේන ස්ථානයට කියන්නේ "lover's leap" කියලා. ඔතන විල ගැඹුරුයි වගේ පෙනුනට ඉතාමත් නොගැඹුරු තැනක්. කවුරු හරි ගිලිලා මැරෙන්න හිතාගෙන වතුරට පැන්නට වැඩක් වෙන්නේ නෑ. විලේ පතුලේ වැදිලා තමයි මැරෙන්න වෙන්නේ.

 

හැබැයි මේ ගමනේ උපරිම විනෝදය ලැබෙන්නේ ක්රූස් එකෙන් ගියොත් නෙමෙයි. තනි මනුස්සයෙක්ට විතරක් යන්න පුළුවන් kayak කියන බෝට්ටු විශේෂය ගැන අහල ඇතිනේ. ඉතින් කැමති අයට පුළුවන් කයැක් එකක් බද්දට අරගන්න. ඉන් පස්සේ කයක් එකයි මිනිහවයි දෙන්නවම වෙනත් බෝට්ටුවකින් ඈතට අරගෙන ගිහින් සිතුවම් ඉවුරු අතරේ අත ඇරලා එනවා. හිතේ හැටියට පැදලා කැමති වෙලාවක ගොඩට පැදගෙන එන එකයි තියෙන්නේ. මේ ඉන්නේ එහෙම kayak කාරයෝ ටිකක්. ක්රූස් එකට යන්න බැරි අහුමුලු අස්සට මේ අයට යන්න පුළුවන්.




මමනම් ඉතින් ඔය kayak වැඩේට කැමති නෑ. ඒක මේ දැන් පෙරලෙන්න බලාගෙන ඉන්නේ කියලමයි  මට හිතෙන්නේ. ඊට වඩා ටිකක් ස්ථායි canoe කියන ජාතිය. ඩබල් දාලා තමා යන්නේ. ඒවායේ නම් අපි ගිහින් තියනවා දෙතුන් පාරක්. දෙන්නෙක් ඉන්නකොට වැඩිය හොඳයි නේ :)

                                                                 ~~~~~~~~~~~~~~

පින්තූර දදා හිටියා මිසක් මේ විදියේ සිතුවම් ගල් වල මැවුනේ කොහොමද කියලා කිව්වේ නෑ නේ. ඒකට හේතුව තමයි ඛනිජ ලවණ. මේ උස ඉවුරු වැඩි හරියක්ම සමන්විත වෙන්නේ ගල් වලින්. ඒවායේ අඩංගු වෙනවා එක එක වර්ගයේ ඛනිජ ලවණ.

මෙන්න මේවා තමයි අපිට දකින්න ලැබෙන සිතුවම් වර්ණ වලට හේතු

යකඩ - රතු පැහැය
මන්ගනිස් - සුදු සහ කලු
ලිමොනයිට් - කහ දුඹුරු
තඹ - රෝස කොළ පැහැය

ඒ වගේමයි කාලාන්තරයකට කලින් විලේ ජල මට්ටම තිබිලා තියෙන්නේ මීට ගොඩක් උසින් ලු. කාලයත් එක්ක ජල මට්ටම පහළ බහිද්දී ඉවුරු ඛාදනය වීමත් එක්ක අර ඛනිජ ලවණ දිය වුන සලකුණු ඉතිරි කරලා ජලය වාෂ්ප වෙලා ගිහින්. ඕක තමා එයාලා අපිට දීපු පැහැදිලි කිරීම.

ආ..තව පොඩ්ඩෙන් අමතක වෙනවා. හොඳම පින්තුරේ දැම්මේ නැහැනේ. ඔන්න බලන්න. මුකුත් අමුත්තක් එහෙම පේනවද?



තෙතමනයක් නැති කාෂ්ඨක ගල් පර්වතයක් උඩ පුංචි පැලයක් පැල වෙලා. ටික ටික ලොකු වේගෙන එද්දී තමයි වැඩේ තේරෙන්නේ. නෝ වෝටර්...නෝ ෆුඩ්...

දැන් ඉතින් මොකෝ කරන්නේ. ගහත් වැඩේ අත ඇරලා නැහැ. පේනවද පර්වතයේ වම් පැත්තෙන් ගහේ මුල් වගයක් ඇදිලා ගිහින් ප්‍රධාන ගොඩ බිමත් එක්ක සම්බන්ධ වෙන හැටි? ඒක තමා නොමැරී ඉන්න ගහ හොයා ගතිපු ක්‍රමය. හරියට පිටරටකින් ආහාර ආනයනය කරනවා වගේ. කෝම හරි ගහ තවමත් සුවෙන් :)

Tuesday, June 4, 2013

අසමගි නෑයෝ - රාජාවලිය XXIX

කට්ටියට මතකද මන්දා දැන් අපි කොහෙද ඉන්නේ කියලා. එච්චර වේගෙන් මේකේ ලිපි ලියවෙනවනේ දැන් :) කමක් නෑ....දැන් අපි ඉන්නේ පොළොන්නරු යුගයේ. අන්තිම ලිපියෙන් අපි කතා කරේ මහා විජයබාහු රජතුමා චෝලයින්ගෙන් රට නිදහස් කරගෙන රජ වෙච්ච හැටි.

ඒ ලිපියේම අපි කතා කරා ජගතිපාල කියලා අයෝධ්‍යාවෙන් පැමිණිලා පාලන කටයුතු අල්ල ගත්තු නායකයෙක් ගැන. අන්තිමට චෝලයින් ඔහුවත් පරාජයට පත් කරලා ඔහුගේ බිරිඳ සහ දියණිය සිර කරුවන් විදියට ඉන්දියාවට ගෙන යනවා. මෙන්න මේ කාලයේදී ඔවුන් දෙදෙනා නිදහස් වෙලා නැවත ලංකාවට එනවා. ඉතින් විජයබාහු රජතුමාත් ඔවුන්ව පොළොන්නරුවට ගෙන්වාගෙන හොඳින් සත්කාර කරනවා. අන්තිමේදී රජතුමාගේ අගබිසව වීමේ වාසනාව ලැබෙන්නේ මේ දියණියට, එනම් "ලීලාවතී" කුමරියට. ඔවුන් දෙදෙනාට යශෝධරා නම් දියණියක්ද ලැබෙනවා.


විජයබාහු රජතුමාට "මිත්තා" නම් බොහොම ලස්සන සහෝදරියක් ඉන්නවා. මේ කුමරියට හැම පැත්තෙන්ම මංගල යෝජනා එද්දී චෝල රටෙන් ආපු කුමාරයෙකුත් කුමරිය ගැන අදහසක් තියාගෙන ඉන්න බව රජුට දැනගන්න ලැබෙනවා. මේකට නොසෑහෙන්න උදහස් වෙන රජතුමා අර කුමාරයාට ඒ ගැන තරවටු කරනවා. අච්චර කාලයක් තිස්සේ තමන්ගේ රටට වින කළ අයට තමන්ගේ සොයුරියක් දෙන්න රජතුමා කැමති උනානම් තමයි පුදුමේ. ඒත් මේ ක්‍රියාව නිසා පසුව කරදර ඇති විය හැකි බව සිතා රජතුමා පසුතැවෙනවා. ඒ නිසා ඉක්මනින්ම මිත්තා කුමරිය පාන්ඩ්ය කුමරෙක්ට සරණපාවා දෙනවා. මේ මගුල් තුලා කටයුතු වලිනුත් එතුමා කළේ උපක්‍රමශිලිව විදේශ සබඳතා තර කර ගැනීම. එහි තවත් පියවරක් විදියට තමන්ගේ දෙවන බිසව ලෙස කාලිංග රජ පරපුරෙන් "තිලෝකසුන්දරී" කුමරිය සරණපාවා ගන්නවා. එමෙන්ම පිරිහී තිබුණු භික්ෂු ශාසනය රැක ගැනීමට බුරුමයේ අනුරාධ රජුගේ අනුග්‍රයෙන් නැවත උපසම්පදාව පිහිටුවනවා. මේ සබඳතා නිසා තවත් කාලයක් යනතුරු චෝලයින්ගෙන් ලංකාවට කරදර ඇති වෙන්නේ නැහැ.  ඒත් චෝල අධිරාජයා පිටින් නොපෙන්නුවත් ලංකාවත් සමග සිටියේ නොසතුටින්.

මේ අතරේ චෝල සහ කර්නාට යන දෙරටින් ලංකාවට පැමිණි සාම දූත පිරිසක් රජතුමා හොඳින් පිළිගෙන ප්‍රති උත්තර විදිහට මෙරටින් තෑගි බෝග රැගෙන සාම දූතයින් එහි යවනවා. චෝලයින් සමග වෛරය යටපත් කරගන්නට රජතුමා උත්සාහ කරන්න ඇති.  එහෙත් සිදු වන්නේ අනෙකක්. චෝලයින් කරන්නේ මෙහෙන් ගිය සාම දූතයින් අල්ලාගෙන කන්, නාසා ආදිය කපා නැවත ලංකාවට එවීම. මෙයින් කුපිත වෙන රජතුමා "කුලෝත්තුංග" නම් එවකට සිටි සොලී රජුට අභියෝග කරනවා සටනකට එන ලෙස. සොලී රජුගෙන් ප්‍රතිචාරයක් නැති තැන සොලී රටට ගොස් පහර දීම සඳහා සේනාව රැස් කරන රජතුමාට තවත් නොහිතූ කරදරයකට මුහුණ දෙන්න සිද්ද  වෙනවා. ඒ තමයි රජතුමාගේ චෝල කුලී භටයින් විසින් අභ්‍යන්තර කැරැල්ලක් ඇති කිරීම. මේ චෝල භටයින් වැඩි හරියක් අර ගජබා රජතුමා දකුණු ඉන්දියාවෙන් අරගෙන ආපු අය.  ඒ ඉතින් අපේ රජෙක් කරපු තවත් මෝඩ කමක් තමා. ඉතින් මේ කැරැල්ල නිසා අපේ සේනා වලට වරායෙන් පිටත් වෙන්නවත් ලැබුනේ නැහැ. විජයබාහු රජතුමාට සිද්ද උනේ උපක්‍රමශීලිව වාකිරිගලට පලා යන්න. වාකිරිගලදී රජු තමන්ගේ සහෝදර වීරබාහු උප රජු සමග එක්ව නැවත සේනා සංවිධානය කර පොළොන්නරුව බලා යනවා. එහිදී ඇති වෙන ඉතාමත් දරුණු සටනකින් පසුව සොලී කුලී හේවායින් පරදවන්න ඔවුන්ට හැකි වෙනවා. ජීවග්‍රහයෙන් අල්ලාගත් කුලී හේවායින්, කැරැල්ලේදී මරා දැමූ සිංහල සෙනෙවියන්ගේ සොහොන් කොත් වලට තබා බැඳ, ගිනි තැබූ බවත් කියවෙනවා.


මේ අතර යුව රජ වූ වීරබාහුගේ වියෝව නිසා ඉතාමත් දුකට පත් වෙන රජතුමා ඔහුගෙන් හිස් වුනු යුවරජ තනතුරට පත් කරන්නේ බාලම සොහොයුරු "ජයබාහු". රුහුණේ පාලකයා ලෙස  පත් කරන්නේ තිලෝකසුන්දරී බිසවගෙන් ලද පුත් "වික්‍රමබාහු".

මහා විජයබාහු රජතුමාගේ මරණය සිද්ධ වෙන්නේ ක්‍රි.ව. 1110 දී. සිංහලේ මහා ගැලවුම්කරු ලෙස විරුදාවලිය ලැබිය යුතු, අති දක්‍ෂ මෙන්ම ගුණ ගරුක (තමාට උදව් කළ බුදල්නාවන්ට කළගුණ සැලකීම සඳහා කරවූ පනාකඩුව තඹ සන්නසෙන් පැහැදිලි වන පරිදි ) උතුම් රජෙකුගේ මරණය රටටම දුකක් බව අමුතුවෙන් කිව යුතු නැත.

විජයබාහු රජතුමාගේ මරණින් පස්සේ උදා උනේ තවත් කලබලකාරී කාලයක්. රජ කිරුල ලබා ගැනීම සඳහා උරුමක්කාරයින් සටන් වැදීම තමා එයට හේතුව. රජුගේ සොයුරිය, මිත්තා කුමරියට පුතුන් තිදෙනෙක් සිටි අතර ඔවුන් රාජ්‍ය බලය ලබා ගැනීමට යුහුසුළු උනා. මේ සඳහා ඔවුන් කළේ ඇමතියන් සහ සංඝයා වහන්සේලාගේ උපකාර ඇතුව දැනට යුවරාජ ව සිටි රජුගේ සොහොයුරු "ජයබාහු" (ක්‍රි. ව. 110 - 1111) රජකමට පත් කිරීම. මේ කටයුත්ත කළේ විජයබා රජුගේ පුත් වික්‍රමබාහු ට නොදන්වා. ජයබාහුට රජකම ලැබුනත් රාජ්‍ය පාලන බලය සම්පූර්ණයෙන්ම අතට ගත්තේ මිත්තා කුමරියගේ පුතුන් තිදෙනා. එයින් වැඩිමහල් "මානාභරණ" කුමරු යුවරජ බවට පත් වුනා. සියලු කටයුතු කෙරුනේ ඔවුන්ට උවමනා විදියට. ජයබාහු රූකඩ රජෙක් බවට පත් උනා.  

මෙයින් නොනැවතුණු ඔවුන් තමන්ගේ මස්සිනා වන වික්‍රමබාහු කුමරු අත්අඩංගුවට ගැනීම සඳහා රුහුණු දේශය බලා යාමට සූදානම් වෙනවා. මේ බව ඇසූ වික්‍රමබාහු කුමරු සේනාවකුත් රැගෙන පොළොන්නරුවට ගොස් මුලින්ම තම පියාගේ සොහොනට ගෞරව දක්වනවා. ඉන් පස්සේ ඔහු හා සටනට එන තෙසොහොයුරන් පැරදවීමට වික්‍රමබාහු කුමරු සමත් වෙනවා. මෙහිදී පලා යන මානාභරණ සහ සොහොයුරන් නැවත නැවතත් සංවිධානය වී සය වරක්ම වික්‍රමබාහු කුමරු පරාජය කිරීමට උත්සාහ කරත් ඔවුන්ට නැවත නැවතත් පරාජයම අත් වෙනවා. මේ නිසා ඔවුරුහුණට පලා ගොස් එය හවුලේ පාලනය කරන අතර වික්‍රමබාහු රජු (ක්‍රි. ව. 1111 - 1132) රාජ්‍ය පාලනය බාර ගන්නවා.

කෙසේ වෙතත් මානාභරණ ඇතුළු පිරිස වික්‍රමබාහු රජු සමග ඇති උදහස යටපත් වන්නට දෙන්නේ නැහැ. ඔවුන් නැවතත් රජුට විරුද්ධව සටනට පිටත් වෙනවා. මේ ආරංචිය ලැබුන විගසම වික්‍රමබාහු රජුත් සේනාව සමග ඉදිරියට පැමිණෙනවා. ඒ සටනෙනුත් පැරදෙන සොහොයුරන් පස් යොදුන් රටට පලා යනවා. කොරේ පිටට මරේ කියන්න වගේ මේ වෙලාවේ වික්‍රමබාහු රජුට විදේශ ආක්‍රමණයකටත් මුහුණ දෙන්න වෙනවා. ඒ වීරදේව නම් සෙනෙවියාගෙන්. වීරදේව ඇතුළු පිරිස මාතොටට ගොඩබැස කරන සංහාරය ගැන ඇසූ රජු ඔවුන් හා සටනට පිවිසියත් රජුගේ හමුදාව දුර්වල වීමට පටන් ගන්නා නිසා රජුට සිදු වෙන්නේ සියලු වටිනා වස්තුවත් රැගෙන පලා ගොස් සැඟවීමට. මහකරදාම දුර්ගයේ සැඟවුණු රජුගේ සේනාවට පහර දීමට පැමිණි වීරදේව ගේ සේනාව විනාශ කිරීමට රජු සමත් වෙන්නේ භූ විෂමතාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා නිසා. මේ ජයග්‍රහණයෙන් පසුව රජුගේ බල පරාක්‍රමය හැම දිසාවේම ප්‍රසිද්ධ වෙද්දී මානාභරණ ඇතුළු සොහොයුරන් පසු බා රජුට විරුද්ධ සටන් අතහැර දමා රුහුණට ගොස් ජිවත් වෙනවා.

වික්‍රමබාහු රජුගේ මරණයෙන් පස්සේ රජ වෙන්නේ ඔහුගේ පුත් ගජබාහු II (ක්‍රි. ව. 1132 - 1153). මේ සිද්ධිය නිසා නැවතත් රුහුණේ සිටින තෙසොහොයුරන් කලබල වෙනවා. මෙවර කරලියට බහින්නේ බාල සොයුරන් දෙදෙනා වන "කීර්ති ශ්‍රී මේඝ" සහ "සිරි වල්ලභ". ඔවුන් පොළොන්නරුවේ ද්‍රවිඩ කුලී හේවායින්ට පගා දී තමන් දෙසට හරවා ගෙන ඥාතිත්වයෙන් තම බෑණනුවන් වන ගජබා රජු හා සටන් කිරීම සඳහා පොළොන්නරුවට ගොස් දෙපැත්තකින් කඳවුරු බඳිනවා. මේ බව ඇසූ රජතුමා රාජකීය සේනාව යොදවා ඔවුන් පරාජයට පත් කරනවා.

මේ ආකාරයට අවුරුදු 20 ක් පමණ රජකම් කිරීමට ගජබාහු සමත් වෙනවා. එකම පවුලේ ඥාතීන් බලයට පොර කෑම පිළිකුල් සහගත උනත් මේ එහි අවසානය නොවේ. ඊ ළඟ රාජාවලිය ලිපියෙනුත් මේ පවුල් අතර ඇති වෙන හැලහැප්පීම් ගැන විස්තර බලාපොරොත්තු වන්න.

Wednesday, May 15, 2013

මාළු කටු මන්තරේ



"ඕං රීං ඒස්වා... 
 භූත බන්ධ ප්‍රේත බන්ධ ඒස්වා හඃ.. 
 #&*&@#^*#$%#%$%^........"

 ඒ මන්තර හඬ ඇහෙන්නේ මගේ උගුරේ හිර වෙච්ච මාළු කට්ට එලියට අරන් දෙන්න ආපු ගුරුන්නාන්සේ ගෙන්. මට ඔය මාළු කට්ට හිර උනේ ඊට සති ගානකට කලින්. අර හීනි මාළු කුරීයෝ ජාතියක් ඉන්නේ හුරුල්ලෝ කියලා, උන් බැදලා කනකොට හරිම රහයි. ඒ උනාට මම වගේ පොඩි උන්ට (ඒ වෙද්දී වයස 7 ක් විතර) ඔය ජාතියේ මාළුන්ගෙන් ටිකක් අපලයි. මාළු කට්ටක් හරස් කරන්න තරම්වත් උගුර ඉඩ නැහැනේ.

කෝම හරි ඉතින් මේ කටුව හිර වෙච්ච එකෙන් මම සති ගානක් දුක් වින්දා. කිසිම දෙයක් හරියාකාරව කන්න බොන්න විදියක් නැහැ උගුරේ වේදනාව හින්දා. සේරටම වඩා අමාරු කට්ට යන්න කියලා අම්මා හදල දෙන බත් ගුලි ගිලින එක. කෙසෙල් ගෙඩිද අරවද මේවද හපන්නේ නැතුව කුට්ටි පිටින් ගිලලා එපා වෙලා තිබුනේ. කොච්චර කරත් ඒක තව හිර වෙනවා මිසක් ගැලවෙන පාටක් නැහැ. වැඩේ හරි යන්නෙම නැති තැන තමයි තාත්තගේ යාලුවෙක් ඔය ගුරුන්නාන්සේ එක්කගෙන ආවේ. ඇයි අප්පා නැත්නම් දොස්තර කෙනෙක් ලඟට ගිහින් අඬුවකින් කටුව අරන් දාගන්න කියලද? මන්තරේකින් කටුවක් අරන් දාන විදිහ ගැන හිතා ගන්නත් බැරි උනත් අන්තිම තුරුම්පුව හැටියට ඒකත්  කරලා බලන්න අම්මලා තීරණය කරා.

ඉතින් ගුරුන්නාන්සේ අර මතුරන්නේ බත් ගුලියකට. තඩිම තඩි බිත්තරයක හැඩේට ගුලි කරපු බත් ගුලියකට. ඒ ලඟම වතුර කෝප්පෙකුත් තියනවා. මම පැත්තකට වෙලා මන්තරෙත් අහගෙන අර තඩි බත් ගුලිය ගිලින ක්‍රමයක් ගැන හිත හිත ඉන්නවා. පැය බාගයක් විතර මතුරලා මතුරලා අන්තිමට අර බත් ගුලිය අම්මගේ අතට දුන්නා මට ගිල්ලවන්න කියලා. ඒ ගුලිය දෙකට කඩලා පුංචි ගුලියක් හැදුවට පස්සේ ඒකෙනුත් බාගයක් වගේ තමයි මට ගිලගන්න පුළුවන් උනේ. ඒත් එක්කම අර වතුර කෝප්පෙන් ටිකකුත් බිව්වා.

දැන් ඉතින් මට තියෙන්නේ කටුව යනකන් බලන් ඉන්න...විනාඩියක් හිටියා.. දෙකක් හිටියා.. මෙන්න බොලේ ටිකක් උගුරේ රිදිල්ල අඩුයි වගේ. ආපහු අර වතුර ටිකක් බීලා බැලුවා. කලින් වතුර බොද්දි දැනුනු රිදිල්ල දහ ගුණේකින් විතර අඩු වෙලා. ඔහොම ටිකෙන් ටික වතුර කෝප්පෙම බිලා ඉවර වෙද්දී මාළු කට්ට කොහේ ගියාද නෑ. වේදනාවත් අන්තරස්දාන වෙලා.

                                                                 ~~~~~~~~~~~~~~

යන්තර මන්තර කියන එව්වා සමහරු විශ්වාස නොකළට මේකනම් මමම අත්විඳපු දෙයක්. එහෙම වෙන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි උනත් එහෙම වෙච්ච බව අත්දැකීමෙන් දන්නවා.

අපේ සීයාත් (තාත්තගේ තාත්තා) හොඳ මන්ත්‍රාචාර්යවරයෙක්. ගොවිතැනට අමතරව සීයා ඒක රැකියාවක් හැටියට කළා. ගමේ අය සීයාව හැඳින්නුවේ "යකැදුරු  මහත්තයා" කියලා. මේකත් ඒ දවස්වල "වෙද මහත්තයා" තනතුර වගේම ගමකට වැදගත් තනතුරක්. අපේ ගමේ ගෙදර (හිච්චා ගේ කතාවේ මේ ගෙදර ගැන වතාවක් ලිව්වා මම) තොවිලයක් ශාන්තිකර්මයක් කෙරෙනවා කියන එක හරිම සාමාන්‍ය දෙයක්ලු ඒ කාලේ. ගමේ මිනිස්සු ලෙඩක් දුකක් උනාම වෙද මහත්තයාගේ බෙහෙත් අහන්නේ නැති වෙද්දී දුවගෙන එන්නේ සීයා ලඟට. මොකද අර මට උනා වගේ, ඒක තමයි අන්තිම තුරුම්පුව. ඉතින් ඒ මිනිස්සුන්ට සීයා දෙවි කෙනෙක් වගේ.

පොඩි කාලෙදී ඉනට බඳින කිරි කවඩි වැල, නින්දෙන් බය වෙනවට කොට්ට උරේ අස්සට දාන යන්තර, රත් හඳුන් කල්ක, අත් බෙහෙත්, සුර... මේ හැම දෙයක්ම අපිට සීයා මතක් කරවන දේවල්. ඒ දවස්වල කල්ක බොන්න මමනම් පුදුම කැමතියි. ඒවා බොන්න දෙන්නේ මිහිපිට තියන මිහිරිම දියරයක් එක්ක. මී පැණි ටිකකට දෙහි ඇඹුල් ටිකක් දාලා ඒකට ගම්මිරිස් කුඩු පොඩ්ඩකුත් දාගත්තම අන්න ඒ දියරය ලැබෙනවා. මම දැනටත් ඕක හදාගෙන බොනවා කල්ක නැතුව. හෙහෙ.

සියාගේ මේ යන්තර මන්තර සම්බන්ධ වැඩ හින්දා අපේ අත්තම්මානම් ටිකක් කරදර විඳලා තියනවලු. අත්තම්මා කියන හැටියට ඒ ගමේ ගෙදර ගෑනු කෙනෙක්ට ලෙඩක් දුකක් නැතුව ඉන්න අමාරුයි. ආත්තම්මට එහෙ ඉන්නකන් මොකක් හරි ලෙඩක් නැති දවසක් තිබුනේ නැහැලු. එක්කෝ වාත අමාරුවක් නැත්නම් සෙම. ඔය වගේ මොනවම හරි ලෙඩක් තියනවලු හැමදාම. හැබැයි කසාද බැඳලා එහෙන් ගියපු නැන්දලාටවත් අවුරුදු දෙක තුනක් විතරක් එහෙ පදිංචියට ගිය අපේ අම්මටවත් ඒවා බලපෑවේ නෑ. ගමේ ගෙදර අයිති වුනේ පුංචි තාත්තට. ඉතින් පුංචි තාත්තා කැන්දාගෙන ආපු පුංචිටත් ආත්තම්මට වගේ හැමදාම ලෙඩ තමා. සීයා තොවිල් වලට ගිහින් ආතුරයා හොඳ කරලා එනකොට ආතුරයාට වැහිලා හිටපු භූත ප්‍රේත යක්කු ඔක්කොම සීයා එක්ක ගෙදර එනවා කියන එක තමයි ආත්තම්මාගේ තියරිය :) අනේ මන්දා ඕවයේ ඇත්ත නැත්ත. මේ හින්දා සීයා තොවිලෙකට හරි ශාන්තිකර්මෙකට හරි පිට ගියපු දවස්වලට ආත්තම්මා ළමයි ටික ගෙට අරගෙන හතර වටේම දොරවල් වහලා වේලාසනින්ම නින්දට යනවලු. මොනම හදිසියකටවත් කාටවත් එලියට බහින්න දෙන්නේ නැහැලු. ඒ කාලේ ගෙවල්වල Attached bathroom කියලා ජාතියක් තිබුනේ නැහැ කියලත් මතක තියාගන්න ඕන :)

කොහොමහරි ඉතින් සීයා ගමට කරේ සුළු පටු සේවයක්නම් නෙමෙයි. ඒ බව අපිට හොඳින්ම වැටහුනේ සීයාගේ මළගම දවසේ. සීයා නැති පාඩුව අද අපිට දැනෙනවටත් වඩා ගමට දැනෙනවා. නවීන විද්‍යාවට පැහැදිලි කළ නොහැකි මහා දැනුම් සම්භාරයක් සීයත් එක්කම වැළලිලා ගියා කියලා මට හිතෙනවා. රාජ්‍ය පරිපාලන නිලයක් දරන අපේ තාත්තවත් විදුහල්පති කෙනෙක් වෙච්ච පුංචි තාත්තවත් නූතන උගත් පරපුරත් එක්ක මුහු උනා ඇරෙන්න මේ දේවල් ගැන උනන්දුවක් දක්වලා නැහැ. ලොකු තාත්තා විතරක් තරමක් දුරට විෂය ප්‍රගුණ කරලා තිබුනත් තෙල් මැතිරිමක් නූල් බැඳීමක් ඇරෙන්න ඊට වැඩි දෙයක් කරන්න තරම් දැනුමක් නෑ මගේ හිතේ. අපි නවීන ලෝකයේ ඉදිරියට යන තරමටම මේ දේවල්වලින් පසු පසට යනවා නේද? කොටින්ම මටත් මෙහෙම අත්දැකීම් නොතිබුනානම් මේ දේවල් සතේකටවත් විශ්වාස කරන එකක්වත් නැහැ.


ප. ලි. - කාලෙකින් ලිපියක් දැම්මට මට පහුගිය දවස් හතර පහක්ම කාගේවත් බ්ලොග් බලන්න ලැබුනේ නෑ. දවස් කීපයක්ම ගෙදරින් ඈත ගිහින් හිටියා පොඩි නිවාඩුවකට. ඊයේ තමා ආවේ. ඒ විස්තරත් "හඳ අල්ලපු රටේ විත්ති" ලිපියකින් කියන්නම් ඉස්සරහට.  දැන් ඉතින් අත ඇරිච්ච එව්වා කියවන්න ඕන. :)

Friday, April 19, 2013

වසන්තේ අරන් ඇවිල්ලා...

මතකනේ මම මීට සෘතු දෙකකට කලින් ලියපු සරත් සිරිය ලිපිය. (ඒකෙදි තමයි තිසර යෝජනාවක් ගෙනාවේ මේ සෘතු වලට හරිනම් දාන්න ඕන පිරිමි නම් නෙමෙයි ගෑණු නම් කියලා. හේතුව හැටියට කිව්වේ ඉක්මනින් වෙනස් වෙන ලක්ෂණයක්ද මොකක්ද එකක් ගෑනුන්ට තියනවලු. අනේ මන්දා ඕවා ඉතින් :O කොහොම හරි සරත් සෘතුවට චමිලා සෘතුව කියලා නමකුත් දාලා තිබුනා). ඉතින් ඔය සෘතු භේදය ඇති වෙන හැටිත් මම ඒ ලිපියෙදි විස්තර කරලා ඇති. ඒ හින්දා ආපහු කියන්න ඕන නෑ නේ.

ඉතින් සරත් සෘතුව හිමින් සැරේ ගෙවිලා ගිහිල්ලා ගස් වල තියන ඔක්කොම කොළ හලලා දැම්මනේ. ඊට පස්සේ ඔන්න පටන් ගත්තා හිම වැටෙන්න. ඒ ගැනත් මම පින්තුර කතාවක් ලිව්වා සීතල හිම රටේ කියලා. මේ පාර සිසිර සෘතුව ඕනවට වඩා දික්ගැස්සුනා කියලා මටනම් ෂුවර්. මාර්තු මාසේ වෙනකනුත් හිම වැටුනා මදි නොකියන්නම. කොහොම හරි ඔන්න අප්‍රේල් මැද හරිය වෙද්දී අපි ඇස් දල්වා බලාගෙන හිටපු ලස්සන, මෘදු,සෙනෙහෙබර, වසන්තේ එන ලකුණු පෙනුනා batting eyelashes.

පින්තූර කතාව මෙතැන් සිට...

පොළව වහගෙන හිටපු හිම තට්ටුව දිය වෙලා ඒ වතුර ටික උරාගෙන පොළව තෙතබරිත උනාට පස්සේ මුලින්ම ඔලුව උස්සන්නේ ටියුලිප් සහ ඩැෆඩිල් නටු. පොළවේ වැලලිලා තිබිච්ච බල්බ පණ ගහලා ඇවිත් සති දෙකෙන් තුනෙන් ලොකු වෙලා මල් පිපෙන්න ගන්නවා.

ඔය තියෙන්නේ පුංචි ටියුලිප් යායක්. යායක් කිව්වට යාය කෑල්ලක්...



ආ එතකොට මේ තියෙන්නේ  ඩැෆඩිල්. බලන්නකෝ හිත හොරාගෙන යන්න පුළුවන් ගතියක් එහෙම තියද කියලා?



මේ අතරේ තවත් ලස්සන සංසිද්ධියක් වෙනවා. අර කොළ හැලිලා නාටු වෙලා තියන ගස් තියනවා නේද, ආන්න ඒවා අතුරු සිදුරු නැතිව මල්වලින් වැහිලා යනවා. හැබැයි කොළ නෑ. කොළ එන්නේ පස්සේ. වැඩි හරියක්ම රෝස සහ සුදු මල් තමයි පිපෙන්නේ.

මෙන්න මේ වගේ...




දැන් ඔහොම තව දවස් දෙක තුනක් යනකොට අර මල් පිපිච්ච ගස්වල කොළ එන්න පටන් ගන්නවා. එහෙම කොළ එද්දී අර මල් හැලිලා යනවා ඉබේම.

මේ ගහ බලන්නකෝ. කොළ එන්න පටන් අරගෙන. තව ටික දවසෙන් මේ මල් හැලිලා ගහ තනිකර ලා කොළ පාට වෙනවා.



ගස්වල මල් හැලිලා ගියාට පස්සේ ඉතිරි වෙන්නේ අමුතුම ලා කොළ පාටක්. වසන්තෙට අලුතෙන් ආපු දළු නේ. මේවා ඉතින් ඊ ළඟ සරත් සෘතුව වෙනකම්ම ගහත් එක්ක ඉන්නවා. ආ ඒ විතරක් නෙමෙයි මැරිලා ගිහින් හිටපු තණකොළ පිට්ටනිත්  ආපහු කොළ පාටට දිලිසෙන්න ගන්නවා.




දැන් තමා වැදගත්ම එක. මගේ ටියුලිප් වගාව :) ගිය සරත් සෘතුවේ සීතල බලන්නේ නැතුව, අමාරුවෙන් වෙලාව හදාගෙන, අපේ පුංචි මිදුල් කෑල්ලේ ටියුලිප් බල්බ හිටවපුවගේ ප්‍රතිඵල...




නරකම නෑ නේද?

Thursday, April 11, 2013

ජාතියේ පිනට උපන් විජයබා - රාජාවලිය XXVIII

අපි ගිය පාර රාජාවලිය ලිපියෙන් අනුරාධපුර යුගයේ අවසානෙටම ආවනේ. අද ඉඳන් එහෙනම් අලුත් යුගයක්. පොළොන්නරු රාජධානියේ ඇරඹුම...
අනුරාධපුර රාජධානියේ අවසානය සිද්ධ උනේ ඉතාමත් ශෝචනීය විදියට බව කට්ටිය කලින් ලිපියේ දකින්න ඇති. පස්වන මිහිඳු රජතුමා සිරකරුවෙක් විදිහට චෝල දේශයට අල්ලාගෙන ගියා. අපේ දිවයින චෝල පාලනයට නතු උනා. දිවයින කිව්වට මුළු දිවයිනම නෙමෙයි. කවදත් රට ජාතිය වෙනුවෙන් නැගී හිටි රුහුණ මෙදා පාරත් චෝල පාලනයට එරෙහිව ස්වාධීනව නැගී සිටින්න උත්සාහ කරා. රුහුණට ඇතුළු වීමට උත්සාහ කළ චෝලයින්ට දේශ සිමාවේ සිට ඔවුන් පසු බසින තුරු පහර දුන්නා. චෝලයින්ට බදු ගෙවීම ප්‍රතික්ෂේප කරමින් බදු එකතු කිරීමට පැමිණි සිංහල නිලධාරීන්ට අවඥාවෙන් සළකපු රුහුණු ජනතාව එයින් නොනැවතී තවත් මහඟු කාර්යයක් රහසේම කරගෙන යමින් සිටියා. ඒ, තවමත් ළමා වියේ පසු වූ පස්වන මිහිඳු රජුගේ පුත්‍රයා ආරක්ෂා කර ගැනීම.

තමන්ගේම රජෙකුගේ අවශ්‍යතාවය දුටු ඔවුන් මේ කුමාරයාව රජ කමට පත් කරනවා. ඔහු රජ වෙන්නේ "වික්‍රම බාහු" නමින්. මේ පුවත අසා කුපිත වෙන චෝලයින් රුහුණට කඩා වැදී ගම් දනව් වනසද්දී සිංහලයින් ඊට එරෙහිව සටන් අරඹනවා. "කීර්තී" සහ "බුද්ධ" නම් සෙන්පතියන් දෙදෙනෙකු අතින් මෙහෙයවෙන සිංහල හමුදාවට  නිර්භීතව සටන ජයග්‍රහණය කිරීමට හැකි වෙනවා. යුධමය අතින් රුහුණ ශක්තිමත් වන ආකාරය දුටු චෝලයින් තවත් චෝල හමුදා ලංකාවට ගෙන්වීමට කටයුතු කරනවා.

රුහුණ ශක්තිමත් වීමෙන් ඇතිවෙන නරක ප්‍රතිඵලයක් තමයි ප්‍රාදේශීය නායකයින් බිහි වීම. ඔවුන් එකිනෙකා පරයා බලය ලබා ගැනීමට තැත් කළ නිසා රුහුණේ ඇති වෙන්නේ අස්ථාවර තත්වයක්. ඒ නිසා චෝලයින් නැවතත් රුහුණට පහර දීමට එය අවස්ථාවක් කර ගන්නවා. මේ චෝල සේනාවට මුහුණ දීමට වික්‍රමබාහු රජු සේනා සංවිධානය කළත් පහර දීමට පෙරම අසනීපයක් හේතුවෙන් ඔහු මිය යනවා.  මේ කාලයේදීම  චෝල දේශයේ සිරකරුවෙකුව සිටි මිහිඳු රජතුමාත් එහිදීම මිය යනවා.

වික්‍රමබාහු ගේ මරණින් පස්සේ කිර්ති සෙනෙවියා පාලන කටයුතු භාර ගත්තත් ඔහුට දවස් 8 කට වඩා ජිවත් වෙන්න ලැබෙන්නේ නැහැ. ඒ "මහාලන කීර්ති" නම් තවත් සෙනෙවියෙක් ඔහු මරා බලය ලබා ගන්නා නිසා. මහාලාන කිර්ති නිර්භීත වගේම රණකාමී පාලකයෙක් උනා. චෝලයින්ගෙන් නැවතත් ඇති වුනු ප්‍රහාර හමුවේ ඉතා නිර්භීතව සටන් කොට, එයින් පරාජය අත් වන බව දැක, සිය දිවි හානි කර ගන්නවා. ඔහුගෙන් පසුව බලයට එන්නේ "වික්‍රම පණ්ඩු" නම් කුමාරයා. ඔහු මහාලාන කිර්තිගේ පුතෙක් බවටත් පිළිගැනීමක් තියනවා. කොහොම උනත් මේ කුමරුවා නිසා චෝලයින්ගේ හිරිහැරයට ලක් වෙමින් තිබුණු රුහුණ නැවතත් සංවිධානය වී සාමාන්‍ය තත්ත්වයට පැමිණෙනවා.

ඔය අතරෙදි ඔවුන්ට නැවතත් සතුරු කරදරයක් එල්ල වෙනවා. ඒ චෝලයින්ගෙන් නෙමෙයි, අයෝධ්‍යාවෙන්. අයෝධ්‍යා සේනාවේ නායක "ජගතිපාල" අතින් මරණයට පත් වීමට වික්‍රම පණ්ඩු ට සිද්ධ වෙනවා. සිංහල ජනතාවගේ අකමැත්ත නොතකා ජගතිපාල දකුණේ පාලන කටයුතු අතට අරගෙන එය හොඳින් කරගෙන යාමට උත්සාහ කරන අතරේ චෝලයින් ජගතිපාල එලවා ගැනීමට මාන බලනවා. ඒ නිසා නැවතත් ප්‍රහාරයක් දියත් කරන චෝලයින් ජගතිපාලව පරාජය කිරීමට සමත් වෙනවා. ඉන්පස්සේ වික්‍රමපණ්ඩු ගේ පුත්‍රයා "පරාක්‍රම පණ්ඩු" පාලනය අතට ගත්තත් ඔහුත් අවු. 2 කට පස්සේ චෝලයින්ගෙන් මැරුම් කනවා.

ඔහොම කාලය ගත වෙද්දි මිනිස්සු අතර කසුකුසුවක් පැතිරෙනවා රාජ පරම්පරාවට සෘජුවම සම්බන්ධ කමක් ඇති කුමාරයෙක් ගැන. ඒ තමයි "කීර්ති" කුමාරයා. ඔහු පස්වන මිහිඳු රජුගේ මාමා කෙනෙකුගෙන් පැවතෙන අයෙක්. මේ කුමාරයා කුඩා කල පටන්ම පැරණි රජවරුන්ගේ වීර කතා තම මවගෙන් අසා ගැනීමට ඇලුම් කළා වගේම තමන්ගේ රට පරදේසක්කාරයින් අතින් පාලනය වීම ගැන බලවත් අකමැත්තකින් පසු වුනා. තමාට අවුරුදු 15 වන විට මලය රටට ගොස් සේනා සංවිධානය කිරීම ආරම්භ කළ කීර්ති කුමාරයා සෙබළුන්ට මනා පුහුණුවක් ලබා දීමටත් කටයුතු කළා.

මේ අතර "ලෝකේශ්වර" නම් නිර්භීත, තද ගතිගුණ ඇති සෙනෙවියෙක් කතරගම ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලනයක් ගෙන ගියා. චෝලයින් පවා ඔහුට එරෙහි වීමට බිය වූ නිසා ඔහු මිය යන තුරුම චෝලයින්ගෙන් හිරිහැර එල්ල උනේ නැහැ. මේ ලෝකේශ්වරගේ බොහොම කුළුපග ඇමතියෙක් තමයි බුද්ධරාජ ඇමති. ලෝකේශ්වර සමග ඇති වුන අමනාප කමක් නිසා සියලු තනතුරු අතහැර පලා යන බුද්ධරාජ ඇමැතිත් මලය රටට ගොස් කීර්ති කුමාරයාට එකතු වෙනවා. මේ බුද්ධරාජ ඇමති වගේම කිර්ති කුමාරයාට බොහොම උදව් කළ තවත් කෙනෙක් තමයි දේවමල්ල ඇමති. කිර්ති කුමාරයා සේනාවෙන් සහ බලයෙන් පොහොසත් වන හැටි බලා සිටිමටම අපහසු වූ ලෝකේශ්වර කුමරු සමග සටනට එන්නේ මේ අතරවාරයේ දී. වතාවක් නොවෙයි දෙවතාවක්ම සටන් මෙහෙයෙව්වත් ලෝකෙශ්වරට අයිති වෙන්නේ පරාජයක්. ඒ වගේම මලය රටේ පාලනය සම්පුර්ණයෙන්ම කිර්ති කුමාරයාට නතු වෙනවා.

කීර්ති කුමාරයාගේ මීළඟ ඉලක්කය උනේ රුහුණ සහ මලය රට එක්සේසත් කිරීම. චෝලයින් එළවීමට පෙර රටේ අනෙක් ප්‍රදේශ එකට එකතු විය යුතු බව ඔහුට වැටහුනා. ඒ  විතරක් නෙමෙයි, කුමරුගේ ඉලක්කය රුහුණ බව ලොකේශ්වරටත් වැටහුණා. ඉතින් ඔහු කරන්නේ නැවතත් කුමරු සමග සටනට යාම. ගම් බිම් විනාශ කරමින් සටනට පැමිණි ලෝකේශ්වරගේ ක්‍රියාකලාපය ගැන බෙහෙවින් උරණ වූ කීර්ති කුමරු ඉතාමත් දරුණු සටනකින් අනතුරුව නැවතත් ලෝකේශ්වර පරාජය කරනවා. මේ පරාජය නිසා සිත් තැවුලෙන් නැවතත් කතරගමට ගිය ලෝකේශ්වර ක්‍රි. ව. 1054 දී අසනීප වී මිය යනවා.

ඔහුගෙන් පසුව එහි පාලනය බලය ලබා ගන්නේ "කේසධාන කාශ්‍යප" නම් අයෙක්. ඔහු ලෝකේශ්වර තරම්ම තද පාලකයෙක් නොවුනත් එතරම්ම ජන ප්‍රසාදයට ලක් වූ පාලකයෙකුත් නෙවෙයි. ඔහුගේ අභිලාශය වුනෙත් චෝලයින් පලවා හැරීම. ඔය අතරේ චෝලයින්ගෙන් රුහුණට එල්ල වෙන ප්‍රහාරයක් සාර්ථකව මැඩපැවැත්වීම නිසා ඔහුට යම් ජනතා ප්‍රසාදයකුත් ලැබෙනවා. ඒත් කීර්ති කුමාරයාගේ අරමුණට මේක බාධාවක්. රුහුණ යටත් කරගැනීම හැර වෙන මගක් නැති බව දකින ඔහු සේනාවත් සමග රුහුණ යටත් කර ගැනීමට පැමිණෙනවා.

කුමාරයාගේ එක ප්‍රතිපත්තියක් උනේ සටන් වලදී සාමාන්‍ය ජනයාට සහ දේපල වලට වන හානිය හැකි තරම් අවම කිරීම. මේ ආකාරයට රුහුණට ඇතුල් වෙන කුමාරයාට රුහුණු ජනයාගේ සහය නොමදව ලැබෙනවා. රජ කමට නිත්‍යානුකුල අයිතියක් තිබූ කීර්ති කුමරුට ඔවුන් වඩා කැමති උනා. ඒ වගේම මිනිසුන් ආකර්ෂණය වන ආකාරයේ හොඳ ගති ගුණත් ඔහුට තිබුණා. මේ නිසා බයට පත්වෙන කේසධාන, උපක්‍රමශීලිව කතරගමින් පහු බැහැලා පසුව එක්වරම ප්‍රහාරයක් එල්ල කරනවා. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ කුමරු අතින් කේසධාන මරණයට පත් වීම. මේ සමගම රුහුණේ පාලනයත් කීර්ති කුමරු යටතට එනවා. පසුව කුමාරයා හැඳින්වෙන්නේ "විජයබාහු" නමින්.

මේ සිද්ධි දැනගත් චෝලයින් නැවතත් සන්ත්‍රාසයට පත් වී රුහුණට ශක්තිමත් සේනාවක් එවනවා. තමන්ට එකවරම චෝලයින් පැරදවිය නොහැකි බව දුටු විජයබාහු, නුවණැති තීරණයක් ගන්නවා තාවකාලිකව මලය රටට පසු බැසීමට. ඒ වගේම චෝලයින් පලවා හැරීම සඳහා විදේශ ආධාර ලබා ගැනීම සඳහා බුරුමයේ අනවරත රජු වෙතට දූතයින් යවනවා. සාර්ථක දූත ගමනකින් පසු එරටින් සේනාවක් වගේම සෙබළුන්ගේ වියදමට වස්තුවත් ලැබෙනවා.

එයින් පස්සේ තමයි චෝල දේශයන් විශාල සේනාවක් ලංකාවට එවන්නේ. ලංකාවට ගොඩ බසින ඔවුන් පොලොන්නරුව දක්වා යන ගමනේදී මිනිසුන්, දේපල විනාශ කරමින් හැසිරෙන්නේ ඉතා තුච්ඡ විදියට. රජරට අනෙක් චෝලයින් සමග එක්වන ඔවුන්ගේ මී ළඟ අභිප්‍රාය වන්නේ රුහුණ ආක්‍රමණය. මේ අතරේ විජයබාහු රජතුමා ළඟ සිටි රවී සහ චාලා සෙන්පතියන් දෙදෙනෙක් රජුට ද්‍රෝහී වී චෝලයින්ට එක් වෙනවා. ඔවුන්ගේ උදව් ඇතිව  චෝලයින් රුහුණට කඩා වැදී රුහුණ විනාශ කරනවා. එහෙත් මලය දේශයේ සිටි විජයබාහු රජු අල්ලාගැනීමට හැකි වන්නේ නැහැ. විජයබාහු රජු පාලටුපහන නම් ස්ථානයේ කඳවුරු ගසාගෙන සිටින බව සැල වී ද්‍රෝහී සෙන්පතියන් විසින් එය චෝලයින්ට දැනුම් දෙනවා. එය ඇසූ චෝලයින් වහාම පලටුපහන බලා පිටත් වෙනවා.

එහිදී ඇවිලෙන්නේ ඉතාමත් දරුණු සටනක්. සිංහයින් මෙන් නිර්භීතව සටන් කරන සිංහල හමුදාව අවසානයේ ජයග්‍රහණය කරා ලඟා වෙද්දී චෝල ප්‍රධාන සෙන්පතියා පලා යනවා. එහෙත් ඔහු පසු පස හඹා යන හමුදාව ඔහුව මරණයට පත් කරනවා. ජයග්‍රහණයෙන් උදම් වෙන රුහුණු සහ මලය වැසියන් උත්සව පවත්වා ජයග්‍රහණය සමරන අතරේ පොළොන්නරුවේ චෝලයින් ඉතාමත් සිත් තැවුලෙන් පසු වෙනවා. සිංහල හමුදාව වැඩි කල් නොයවාම ඔවුන්ගේ ඊ ළඟ ඉලක්කය වන පොලොන්නරුව වෙත ගමනාරම්භ කරද්දී චෝලයින්ට අත් වූ පරාජය ගැන උදහස් වූ චෝල අධිරාජයා තවත් චෝල සේනාවක් ලංකාවට එවනවා. විජයබාහු රජු ඇතුළු හමුදාව පොළොන්නරුවට ලඟා වෙද්දී තමයි ඔවුන්ට සැල වෙන්නේ මාන්තොටින් තවත් චෝල හමුදාවක් ගොඩබසින බව. එනිසා ඔවුන් හා සටනට සේනාවෙන් කොටසක් යවා ඉතිරිය පොළොන්නරුවට පහර දීම සඳහා රඳවා ගැනීමට රජු තීරණය කරනවා.

මාන්තොට බලාගිය සේනාව චෝලයින් හමුවී කළ දරුණු සටනකින් පරාජයට පත් වෙන අතර මෙය ඇසූ රජු ඇතුළු සේනාව දකුණට පසුබැස කඳවුරු ගසා ගන්නවා. තමන් ඇල්ලීමට චෝලයින් එන බව ඇසූ රජතුමා, වටගිරි පර්වතයේ බලකොටුවක් සාදාගෙන එහි කඳවුරු බඳිනවා. මේ පර්වතය වට කරන චෝලයින් මාස 3 ක පමණ කාලයක් සටන් වැදුනත් ඔවුන්ට මුදුනට ලඟා වීමට හැකි වන්නේ නැහැ. ගල් පෙරලීම ආදී උගුල්වලින් චෝලයින්ට උපරිම හානි අත්කර දීමට සිංහලයින් සමත් වෙනවා. කොහොම උනත් විජයබාහු රජතුමාට කරදරවලින් නම් අඩුවක් වෙන්නේ නැහැ. රජු අතින් කතරගමදී මැරුම් කෑ කේසධාන ගේ සොහොයුරා රජුට විරුද්ධව දකුණේ කැරලි ඇති කරන්නේ මේ අතරේදී. ඔහුට පහර දී ඒ කැරලි මැඩපැවැත්වීමට රජු සමත් වෙන අතර කෙසධාන ගේ සොහොයුරා පලාගොස් සොළින්ට එකතු වෙනවා.

ඉන්පසුව විජයබාහු රජතුමා වලවේ ගඟ ඉහත්තාවේ සිට අවසාන සටනට සේනා සංවිධානය කිරීම අරඹනවා. මේ කාලයේ තමයි චෝල අධිරාජයා වන රාජ රාජ රජු මිය යන්නේ. ඒ සමගම චෝල අධිරාජ්‍යයේ අනික් යටත් රටවලුත් නිදහස් වීමේ අරගල ආරම්භ කළ නිසා එය චෝලයින්ට කිසිසේත්ම හොඳ කාලයක් උනේ නැහැ. මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සිතූ රජතුමා වහාම තුන් පැත්තකින් පොළොන්නරුවට පහර දීම අරඹනවා. ගමෙන් ගම දිනා ගනිමින් ඒ ගම් වැසියන්ට හැකි තරම් කරුණාවන්ත වෙමිනි ඔවුහු රජරට බලා ගමන් කරනවා. කිහිප දිශාවකින් එල්ලවන ප්‍රහාර හමුවේ පසුබසින චෝලයින් ඔවුන්ගේ කඳවුරට වැදී ආරක්ෂාව තර කර ගන්නා අතර සිංහල හමුදාව මාස 3 කට අධික කාලයක් කඳවුර බිඳීමට උත්සාහ කරනවා. මේ අවස්ථාවේදී "රවිදේව" නම් නිර්භීත සෙනෙවියෙක් ඉදිරිපත් වී තවත් කිහිප දෙනෙක් සමග කඳවුරු බැම්මෙන් ඇතුලට පැන එහි ආරක්ෂකයින් මරා දමා දොරටු විවර කරනවා. එහිදී ඇතිවන අවසාන සටනෙන්, 50 වසරකට අධික කාලයක් ලංකාවේ බලපැවැත්වූ චෝල පාලනය නිමාවට පත් වෙනවා.

ඒ වන විට වැනසී තිබුණු රජරට ප්‍රතිසංස්කරණය කිරීම අරඹන රජතුමාට තවත් සතුරු කරදර වලට මුහුණ පෑමට සිද්ධ වෙන්නේ චෝලයින්ට පක්ෂව සිටි සිංහල නිලධාරීන්ගෙන්. ඒත් වෙහෙර ගිලපු රජතුමාට අග්ගලත් කජ්ජක්ද? ඒවාත් සාර්ථකව මැඩපැවැත්වීමට ඔහුට හැකි වෙනවා.

ඔන්න ඔය ආකාරයට තමයි මහා විජයබාහු රජතුමා (ක්‍රි. ව. 1070 - 1111) අපේ රට එක්සේසත් කලේ.

ක්‍රි. ව. 1017 දී පාලනය චෝලයින් අතට ගිය තැන් පටන් රට පාලනය කළ චෝල රජවරු -

රාජේන්ද්‍ර චෝල I (ක්‍රි. ව. 1017 - 1044)
රාජාධිරාජ චෝල (ක්‍රි. ව. 1018 - 1054)
රාජේන්ද්‍ර චෝල II (ක්‍රි. ව. 1051 - 1063)
විරාජේන්ද්‍ර චෝල (ක්‍රි. ව. 1063 - 1070)
අතිරාජේන්ද්‍ර චෝල (ක්‍රි. ව. 1063 - 1070)

ප. ලි.

දවස් ගානක් ටයිප් කරපු ටික මැකිලා මුල ඉඳන් ලියන්න උනා. ලිපිය පොඩ්ඩක් අංජබජල්ද මන්දා. මීට වඩා කොට කරන්නනම් බැරි උනා.  මේ ලිපියත් සම්පූර්ණ එකක් නෙමේ. විජයබාහු රජතුමා ගැන එච්චරට විස්තර තියනවනේ :)

Tuesday, March 26, 2013

නිල් අහසට නිල කොයින්ද?

"තාත්තේ තාත්තේ...අහස නිල් පාට මොකද?"  confused

ඔයාල පොඩි කාලේ මෙහෙම ප්‍රශ්න අහල ඇතිනේ. නැතත් දැන් පොඩි එවුන් ඉන්න අයටනම් මෙහෙම ප්‍රශ්න දහයක්වත් එනවා ඇතිනේ දවසකට. (මෙතන "අම්මේ" කියලා නොලිය " තාත්තේ කියලා ලිව්වේ මමනම් පොඩි කාලේ ඔය වගේ බරපතල ප්‍රශ්න අහන්න ගොඩක් වෙලාවට තෝරගන්නේ තාත්තා හින්දා.)

දැන් ඉතින් දීපන්කෝ උත්තර... thinking


ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් වර්ණාවලිය ගැන දැනගෙන ඉන්න ඕනා. කට්ටිය දන්නවනේ දේදුන්න ගැන. ඉස්සර අපි දේදුන්නේ පාට හත පාඩම් කරේ "න් තැඹිලි ඩන කොල්ලා නිල් රක් කී" කියලා.



ඕන් ඔය කියන පාට හතෙන් තමා සුදු ආලෝකය / හිරු එළිය නිර්මිත වෙලා තියෙන්නේ. පාට හත කිව්වට මේකට ඔය පීච් කලර්, අයිවරි ගෝල්ඩ්, ගොම කොළ අරක මේක සේරම අහු වෙනවා හරිද. ඒවා ඉතින් සංකලන. ඔන්න ඔය අපේ ඇහැට ගෝචර වෙන පාට  ටික තමයි "ආලෝකයේ දෘශ්‍ය පරාසය" හැටියට හඳුන්වන්නේ. සිංහලෙන් කිව්වොත් "Visible Color Spectrum". ඔය තියෙන්නේ ඒක තමයි.




එතකොට මේ විදියේ තරංග වර්ග 7 ක් හිරු එළියේ අඩංගුයි. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ හිරු එළියේ අඩංගු ඔය කිරණ වර්ග විතරයි කියලා. "අධෝ රක්ත", "පාරජම්බුල" කිරණ එහෙමත් තියනවා. ඒවා අපිට පේන්නේ නැත්තේ ඒවා දෘශ්‍ය පරාසයට අයිති නොවෙන නිසා.

දැන් මේ තරංග එකිනෙකට වෙනස් වෙන්නේ ඒවායේ තරංග ආයාමයෙන් (මේක ඕලෙවල් වලටත් උගන්නන නිසා හැමෝටම තේරෙන්න ඕනේ :). වර්ණාවලියේ වමට වෙන්න තියන තරංගවල ආයාමය වැඩියි. දකුණට යන්න යන්න ආයාමය අඩු වෙනවා. බලන්නකො පහල පින්තුරේ පාරජම්බුල වල ආයාමය අනෙක්වට වඩා අඩුයි.



ඔන්න ඔය වගේ එකිනෙකට වෙනස් තරංග ආයාමයන් අඩංගුයි හිරු එළියේ. දැන් ඉතින් හිරු එළිය ඉහල වායු ගෝලයේ තියන ඉතා කුඩා අංශු අතරෙන් පෙරිලා පොලව දිහාවට එද්දී, මේ තරංග අර අංශුවල ගැටිලා විසිරෙන්න ගන්නවා. එහෙම වෙද්දී වැඩිපුරම විසිරීමේ හැකියාවක් තියෙන්නේ තරංග ආයාමය වැඩි කිරණ වලට. ඒ කිව්වේ දෘශ්‍ය පරාසයේ තරංග ගැන හිතුවොත් දකුණට වෙන්න තියන පාට වලට (නිල් සහ දම් වැනි).

එහෙම වඩාත් හොඳින් විසිරෙන තරංග වල පාටින් අපට අහස පෙනෙන එක පුදුමයක් නෙමෙයි නේද? හැබැයි බුද්ධිමත් පොඩි එකෙක්නම් ඔතනින් නවතින්නේ නැතුව තව ප්‍රශ්නයක් අහනවා.

එතකොට දම් පාට තියෙන්නේ නිල් පාටට වඩා දකුණෙන් නේ. ඉතින් ඇයි අපිට අහස දම් පාටට පේන්නේ නැත්තේ? worried

ඕවට පහු බහින්න එපා. මෙන්න උත්තරේ...

ඒකට හේතුව තමයි අපේ ඇහැ.

මිනිස් ඇසේ තියන දෘෂ්ටි විතානයේ අඩංගු වෙන කෝණාකාර සෛල (මේවට කියන නම මතක් කරගන්න හැදුවට හරි ගියේ නෑ) තමයි අපිට පේන පාට ගැන වගකියන්නේ. මිලියන පහක් පමණ වෙච්ච මේ කෝණාකාර සෛල කොටස් තුනකට බෙදෙනවා. එක එක වර්ණ පරාසයන් අඳුරා ගැනීම සඳහා ඒ සෛල කොටස් ක්‍රියා කරනවා. ඇතැම් අවස්ථාවල මේ සෛල පරාසයන් සමපාත වෙන වෙලාවලුත් තියනවා. ඒ වගේ වෙලාවට වර්ණ සංකලනයක් උනත් පේන්නේ තනි පාටක් හැටියට. ඉතින් අහස දිහා බැලුවම අපේ ඇහැට එන ආලෝකයේ අඩංගු වෙන නිල් දම් වර්ණ සංකලනයත් අපේ ඇහැ ගෝචර කර ගන්නේ අර විදියේ සමපාත වෙච්ච සෛල වලින්. ඒක අපේ ඇහැට පේන්නේ තනි ලා නිල් පාටක් හැටියට. එහෙම නැත්නම් "අහස් නිල" හැටියට.

තේරුනාද මන්දා.

නැත්නම් මෙහෙම වැඩක්වත් කරලා බේරෙන්න බලන්ට ඉතින්...පොඩි එකා ඔය ප්‍රශ්නේ ඇහුවම ආපහු මෙන්න මෙහෙම අහන්න. :)

නිල් අහසට නිල කොයින්ද 
ඒ අහසෙම තරු කොයින්ද 
එහෙම අහන මගේ දෝණිට 
මේ නිල් තරු ඇස් කොයින්ද?

ඕක හරිම ලස්සන සින්දුවක්. තිබුනේ "නිල් අහස" කියන ටෙලි නාට්ටියේ. නැලවිලි ගීයක් හැටියටත් හොඳයි. අහල බලන්නකෝ.

ප. ලි. - වැලේ වැල් නැතුව ඉද්දි සිංහල ප්ලගීන්ස් ගැන ඔත්තු දීපු සෙන්නටයි හරීටයි තෑන්ක්ස් හොඳේ. මට මොනවා වෙලාද කියලා අහපු දිනේෂ් මලයා, අසාර්, වී අයියා ඇතුළු හැමෝටමත් ස්තුතියි. මාස ගානකින් පෝස්ට් එකක් (වගේ එකක්) දාගත්තා. මක්කරන්නද ඉතින් පොඩ්ඩක් වැඩ අඩු වෙනකන් ඉඳලා නොලියපුවටත් එක්ක ලියන්න ඕනේ. කට්ටියගේ බ්ලොග් බලන්න බැරි වෙන්න ඇති ගොඩක් ඒවා. ඒකටත් සමාවෙන්න හොඳේ.

හසල - රාජාවලියත් ඉක්මනට ලියන්නම් :)



Related Posts Plugin for WordPress, Blogger...