Monday, December 16, 2013

කිරුළු පලන් "වතී" ලා - රාජාවලිය XXXII

ම්ම්ම් රාජාවලියත් අමතක වෙන්න දෙන්න බැහැ නේ...

කලින් ලිපිය අපි නැවැත්තුවේ චෝඩන්ග විසින් දෙවන වික්‍රමබාහු රජතුමා මරා දමපු තැනින්. අද එතැන් සිට...
දැන් ඔය චෝඩංග නිස්සංක මල්ල රජතුමාගේ බෑනා වෙන කෙනෙක්. ඒ උනත් ඔහුටත් වැඩි කලක් රජකම් කරන්න ලැබෙන්නේ නැහැ. ඔහු රජ වෙලා මාස 9 ක් ගත වෙද්දී කිත්ති නම් සෙනෙවියෙක් ඔහු අල්ලා බලයෙන් පහ කරනවා. ඒ සමගම ලංකාද්වීපයේ කිරුල තවත් රැජිනකට හිමි වෙනවා. ඒ තමයි පළමු පරාක්‍රමබාහු රජුගේ බිසව වන "ලීලාවතී" රැජින (ක්‍රි. ව. 1197 - 1200).


ලීලාවතී රැජිනට ජනතාවගේ කැමැත්ත සහ ගෞරවය ලැබුනත් සැබෑවටම රාජ්‍ය පාලනය උනේ කිත්ති සෙනෙවියා අතින්. මේ කාලය ඇතුලත සිදු වෙන චෝල ආක්‍රමණ කිත්ති සෙනෙවියා විසින් මැඩපවත්වනවා. ඔය අතරෙදි තවත් සිද්ධියක් වෙනවා. නිශ්ශංක මල්ල රජුගේ බෑනා කෙනෙක් වන සහස්සමල්ල ඔහුගේ මරණයෙන් පස්සේ රජකම ගැනීමේ බලාපොරොත්තුවෙන් ලංකාව බලා යාත්‍රා කරමින් සිටිනවා. ලීලාවතී රැජින රජ වෙන්නේ ඒ අතරේ. ඉතින් සහස්සමල්ල ලංකාවට ගොඩ බැස්සට පස්සේ කිත්ති සෙනෙවියා මරා දමා, රැජින බලයෙන් පහ කර කිරුල ලබා ගන්නවා. මෙහෙම රජ වෙන සාහස්සමල්ල රජතුමාටත් (ක්‍රි. ව. 1200 - 1202) රජ කරන්න වෙන්නේ අවුරුදු 2 යි. ඒ, අයස්මන්ත නම් ඇමතියා විසින් ඔහු බලයෙන් නෙරපන නිසා. අයස්මන්ත විසින් රජකම පවරන්නේ නිශ්ශංක මල්ල රජුගේ බිසව වන "කල්‍යාණවතී" රැජිනට (ක්‍රි. ව. 1202 - 1208). 

මේ විදියට අවු 8 ක් කල්‍යාණවතී රැජින රජකම් කලාට පස්සේ අයස්මන්ත විසින්ම ඇය බලයෙන් පහ කොට ධම්මාසෝක නම් මාස ගණනක් වයසැති ළදරුවෙක් රජ තනතුරේ තබනවා. එහෙත් චෝල හමුදාවක් සමග පැමිණෙන අනිකංග නම් සෙනෙවියා, ධම්මාසෝක රජු (ක්‍රි. ව. 1208 - 1209) සහ අයස්මන්ත මරා දමා රාජ්‍ය ලබා ගන්නවා. මේ අනිකංග සෙනෙවියා ධම්මාසෝක රජුගේ පියා යයිද මතයක් තිබෙනවා. අනිකංගටත් වැඩි දවස් නොගිහින්ම "වික්කන්ත චමුනක්ක" නම් සෙනෙවියෙක් අතින් මැරුම් කන්න සිදු වෙනවා. චමුනක්ක සෙනෙවියා රජ කිරුල ලබා දෙන්නේ නැවතත් ලීලාවතී රැජිනට (ක්‍රි. ව. 1209 - 1210).

 
මෙවර ලීලාවතී රැජිනට රජ කරන්න ලැබෙන්නේ වසරක කාලයක් පමණයි. "ලෝකිස්සර" නම් කාලිංග කුමරෙක් දමිල හමුදාවක් සමග පැමිණ ලංකාව ආක්‍රමණය කර රාජ්‍ය බලය අල්ලා ගන්නවා. අවි ගත්තෝ අවියෙන්ම නසිති කියන්න වගේ ලෝකිස්සර රජුටත් (ක්‍රි. ව. 1210 - 1211) වැඩි කල් නොගිහින්ම මැරුම් කන්න වෙන්නේ පරාක්‍රම නම් ඇමතියෙක් අතින්. මේ ඇමතියාත් රජ කිරුල ලබා දෙන්නේ ලීලාවතී රැජිනට (ක්‍රි. ව. 1211 - 1212). ඒත් මෙවරත් රැජිනට සිහසුනේ ඉන්න පුළුවන් වෙන්නේ වසරක කාලයක් පමණයි. පරාක්‍රම පාන්ඩ්ය නම් පාන්ඩ්ය කුමාරයෙක් ලංකාව ආක්‍රමණය කරනවා. ඉතින් ඔය විදියට පරාක්‍රම පාන්ඩ්ය රජතුමා (ක්‍රි. ව. 1212 - 1215) රජකම් කරගෙන ඉද්දී තමයි අපේ අසල්වැසි ඉන්දියාවෙන් ලංකාද්වීපයට තවත් මහා ආක්‍රමනයක් එල්ල වෙන්නේ. ඒ "කාලිංග මාඝ" ( (ක්‍රි. ව. 1215 - 1236)) ගෙන්. 

 
යම් යම් අරගල ඇති වුනත් සමස්ථයක් විදිහට සශ්‍රීකව තිබුණු රජ රට රාජධානියට මේ මාඝ ආක්‍රමණය මරු පහරක් උනා. වැව්, ඇල මාර්ග විනාශ කරමින් වෙහෙර විහාර කඩා බිඳ දමා වස්තුව කොල්ල කමින් ජනයාට කළ හිරිහැර දරා ගත නොහැකි වූ ලක් වැසියන් දකුණු ප්‍රදේශ වලට සංක්‍රමණය උනා. මේ විදිහට බලා ඉද්දී පිරිහුණු රජරට කැලෑ වලින් වැහිච්ච මුඩු ප්‍රදේශයක් බවට පත් වෙලා ගියේ ඉබේමයි. අන්තිමේදී දළදාවත් අරගෙන භික්ෂුන් වහන්සේලා පොළොන්නරුවෙන් පිටමං වෙන තැනට කරුණු යෙදුනා. 



ඒත් සමගම තමයි රාජධානි නිරිත දිගට සංක්‍රමණය වීම ඇරඹුණේ. ඔන්න ඔතන තමා ඉතින් පොළොන්නරු රාජධානියේ අවසානය. 

ඉතින් පොළොන්නරුවේ තත්ත්වය ඔය විදිහට තියෙද්දී, නිරිත දිග ප්‍රදේශවල සිංහල ජනාවාස වල බලය තරමක් දුරට පැතිරෙන්න පටන් ගන්නවා. යාපහුව ප්‍රදේශයේ බලය පතුරවන "සුබ" නම් සෙනෙවියා සුබ පබ්බත නම් පර්වතයෙන් මෙපිටට මාඝ සේනාවට ඒමට නොදී ප්‍රදේශයේ ආරක්ෂාව තර කරනවා. බුවනෙකබා නම් කුමාරයෙක් ගෝවින්දමල ප්‍රදේශයේත් සංඛ නම් සෙනෙවියෙක් ගන්දෙනිය ප්‍රදේශයේත් බලය පතුරවනවා. ඒත් මේ අය‍ට කාලිංග මාඝට විරුද්ධව නැගී සිටින්න තරම් ශක්තියක් තිබුනේ නැහැ.

පොළොන්නරු රාජධානියේ අවසානය ඔය විදිහට සිද්ධ වෙද්දී දඹදෙණියෙන් මතුවෙන සිංහල රණ හඬ ගැන අපි ඊ ළඟ ලිපියෙන් බලමු :)
Related Posts Plugin for WordPress, Blogger...