Thursday, January 9, 2014

හිම වගේද අයිස්

මේ දවස්වල හඳ අල්ලපු රටේ මිනිස්සුන්ට ලොකු ඇබැද්දියකට මුහුණ පාන්න වෙලා බව ටීවී පත්තර එහෙම බලන ඔයාලා කවුරුත් දන්නවා ඇති. ඔය ඇබැද්දිය හින්දා ගේ ඇතුලටම වෙලා ඉද්දි තමයි සහන් කිව්වේ ඒ ගැන ලියන්න කියලා. ඉතින් ඔන්න මං ලියනවා...
හැමදාමත් වගේ මේ පාරත් ශීත කාලය නොහොත් වින්ටර් එක බොහොම සාමාන්‍ය විදියට උතුරු ඇමරිකාව හොයාගෙන ආවා. ටික දවසක් යද්දී අපිට වැටහෙන්න ගත්තා මෙදා පාර වෙනදා වගේ නෙමෙයි, මොකක් හරි ලොකු අමුත්තක් තියන බව. ඕක සිද්ධ උනේ ඉරිදා හවස ජංගම දුරකථනයට ආපු මැසේජ් එකකුත් එක්ක...

"ට්‍රීන්...ට්‍රීන් ..."

අමුතුම නොම්මරයක් වගේ...

"හෙලෝ..."

"Warning..Severe winter weather alert !!........

"මොන ((&(%&^$%#$^....."

"............ Campus will be closed on Monday and Tuesday...."

අම්මටසිරි...කැම්පස් එක වහනවා කියන්නේ ඉතින් මොකක් හරි ගිනි ගෙඩියක් ළඟ එනවා කියන එක. මොකද ඒක වහන්නේ එහෙමත් දවසක. අනික් කාරණේ තමයි ලංකාවේ වගේ නෙමෙයි, මෙහෙ කාලගුණ අනාවැකිය හරියට නිකන් කිරි ගහට ඇන්නා වගේ තමා.

ඉතින් අපිත් ගෙවල් ඇතුලට වෙලා මොකද වෙන්නේ කියලා බලාගෙන හිටියා. එදා රෑ පුරාම වෙලාවකට මල් පෙති වගේ, තවත් වෙලාවකට පුළුන් කුට්ටි වගේ, තව වෙලාවකට ඇමරිකන් පිටි වගේ, අහසින් හිම වැටුනා මදි නොකියන්න. හිටි ගමන් අර හොල්මන් ගුහා වල ඇහෙනවා වගේ "හූ...." සද්ද එහෙම දාගෙන සුළං හැමුවා. ඒක ඉතින් ටිකක් සාමාන්‍ය දෙයක් වින්ටර් එකට. ඒ නිසා අපිත් සාමාන්‍ය විදිහට නින්දට ගියා.

සඳුදා උදේ නැගිටලා මුලින්ම කරේ ජනේලේ තිරේ විදියට දාන පැලැල්ල වගේ එක (අර blinds කියන්නේ) අස්සෙන් එලිය බලපු එක. ඇස් දෙක කඩාගෙන යන තරමට දැනිච්ච ඉර එළිය හරහා බැලුවම සුදු පාට යායක් වගේ එකක් දැක්කා. එච්චරයි. ඊට පස්සේ කරේ උෂ්ණත්වය කීයද බලපු එක. නෑ නෑ එලියට බැහැලා නෙමෙයි. ලැපේ තිරේ ඕන් කරලා...

ඕන් තියනවා...ෆැරන්හයිට් -9 යි. ඒ කියන්නේ සෙල්සියස් -23 ක් විතර.

මෙහාට මේ වගේ සීතලක් අවුරුදු විසි ගානකට මෙහා පැත්තේ දැනිලා නැහැලු. මේ තියෙන්නේ මිචිගන් විල අයිස් බවට පත් වෙලා තියන හැටි.



එලියට බහින්න තියා හිතන්නත් බැහැ. ගේ ඇතුලට වෙලා ඉන්නත් කම්මැලි නිසා අපි කරේ මේ වගේ සීතලක අත්හදා බලන්න පුළුවන් දේවල් ටිකක් හොයාගෙන ඒවා කරන්න ට්‍රයි කරපු එක.

එකක් තමයි කෙහෙල් මිටිය (Banana hammer)

අධික සීතල වෙලාවක කෙහෙල් ගෙඩියක් එලියේ තියෙන්න දීලා ආපහු අරගෙන බැලුවොත් ඒකෙන් ඇනයක් ගහන්න පුළුවන් තරමට සවිමත් වෙනවලු. මේක අත්හදා බලන්න ආස උනත් කරුමෙට කෙහෙල් ගෙඩියක් තිබුනේ නෑ ගෙදර. ඒත් යූ ටියුබ් එකේ Banana hammer කියලා සර්ච් කරලා බැලුවොත් ඕන තරම් වීඩියෝස් හොයා ගන්න පුළුවන්.

තවත් එකක් තමයි ටී ෂර්ට් එකක් උණු වතුරෙන් පොඟවලා එළියේ තියලා තිබුනොත් ඒක යකඩ වගේ හයි වෙනවලු. ඊට පස්සේ ඒක කෑලි කෑලි වලට කඩන්න පුළුවන් ලු. ඕක කරන්න ඉතින් ටී ෂර්ට් එකක් පූජ කරන්න එපැයි. ඉතින් ඒක කරෙත් නෑ.

කරන්න පුළුවන් වෙච්ච එකම දේ තමයි නටන උණු වතුර ටිකක් එලියට විසි කරාම වෙන්නේ මොකද බලන එක. ඒකනම් මරු. ඔන්න බලන්නකො වෙන්නේ මොනවද කියලා...



ඉතින් දවස් දෙකක් පුරාම ඔහොම අධික සීතලක් තිබිලා දැන්නම් ටිකක් දුරට අඩු වෙලා ගිහින්. මේ සීතල නිසා ජිවිත හානි පවා සිද්ධ උනා. සීතල නිසා මිනිහෙක් මැරෙන්න පුළුවන් කියන දේ තේරෙන්නේ මේ වගේ වෙලාවක එලියට බැහැලා බැලුවම තමයි. ඒක ඉතින් විඳලම බලන්න ඕන. එස්කිමෝලා කොහොම ඉන්නවද මන්දා.

මේ තියෙන්නේ කැනඩාවේ කොහේ හරි ගනිපු පින්තූරයක්. හිම වගේ නෙමෙයි අයිස් අන්තිම දරුණුයි.



දැන් ඉතින් කට්ටියට කුතුහලයක් ඇති වෙලා ඇති එක පාරම මෙහෙම උනේ මොකද කියලා. එහෙම කුතුහලයක් ඇති උනේ නැති අයට පහළ ටික නොබලා සතුටින් විසිර යන්නත් පුළුවන් :) නැත්නම් ඔන්න ඔහේ කියවලම යන්නත් පුළුවන්.



                                                                ~~~~~~~~~~~~~~~~

මෙන්න මේකයි වෙලා තියෙන්නේ...

සාමාන්‍යයෙන් උත්තර සහ දක්ෂිණ ධ්‍රැව වල තියනවලු ධ්‍රැව සුලි කියලා ජාතියක්. ධ්‍රැව වලට ඉහල වායු ගෝලයේ සුළියක් විදියට වේගයෙන් කැරකෙමින් හමන මේ සුළං ඉතාමත් සීතල බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

                   
             

ඔය ආර්ක්ටික් එයාර් කියලා තියෙන්නේ ඒ ධ්‍රැව සුලිය තමයි. ඔය සුළිය නිරතුරුවම ආර්ක්ටික් කලාපයට ඉහලින් කැරකෙමින් තිබුනත් ඒකෙන් ඇමරිකාවට කරදරයක් නැහැ. හැබැයි මේ පාර තත්ත්වය ටිකක් වෙනස් වෙලා. මේ පාර ඔය නිල් පාටින් සලකුණු කරලා තියන රවුමේ වපසරිය ටිකක් වැඩි වෙලා. ඒ සීතල ධ්‍රැව සුලිය ඇමරිකාව ඉහළ අහසත් අයිති කරගෙන. ඒ නිසා තමයි අධික ශීතලක් ඇති වුනේ.

ඉතින් ඒ ධ්‍රැව සුළිය  ඒ විදිහට තමන්ගේ බල ප්‍රදේශය වැඩි කරලා තියෙන්නේ ඇයි කියලා හිතන්න පුළුවන් ද?

විද්‍යාඥයින් දැනට දරන මතයක් තමයි මෙය Global warming හි අතුරු ඵලයක් බව. ග්‍රීෂ්ම කාලයේදී උණුසුම නිසා ආක්ටික් වෘත්තය ආසන්නයේ ඇති ග්ලැසියර වැඩි ප්‍රමාණයක් දිය වී යනවා. එවිට පොළව වසාගෙන ඇති අයිස් තට්ටුව සැලකිය යුතු තරමකට අඩු වෙනවා. ශීත කාලය පැමිණි පසු ආක්ටික් ප්‍රදේශයට වැටෙන හිරු එළිය නැවත පරාවර්තනය වීමත් ඒ හා සමානවම අඩු වෙනවා (හිරු එළිය පරාවර්තනය කිරීමේ හැකියාව ඇත්තේ අයිස් තට්ටුවට නිසා). එනිසා හිරු එලිය වැඩි ප්‍රමාණයක් ජලය මත පතිත වීම හේතුවෙන් වාෂ්පීකරණය වැඩි වී අර කලින් කියපු ධ්‍රැව සුළියේ පීඩනය වෙනස් කරනවා.

මම කලින් කිව්වනේ ධ්‍රැව සුළිය ඉතාමත් වේගයෙන් කැරකෙමින් තියෙන්නේ කියලා. මේ පීඩන වෙනස හේතුවෙන් සිද්ධ වෙන්නේ එහි වේගය අඩු වෙන එක. ඔයාල දැකල තියනව නේද  අයිස් ස්කේටින් කරන ලස්සන ගෑල්ලමයි? අර බඹර වගේ කැරකෙන්නේ...අන්න එහෙම එක්කෙනෙක් ඉනට අත් දෙක තියාගෙන කැරකි කැරකි ඉඳලා එක පාරට අත් දෙක දෙපැත්තට විහිදුවාම වේගේ අඩු වෙන හැටි දැකල තියනවා නේද? මෙන්න මේ වගේ...


අර සුලියට වෙන්නේ ඕකේ අනිත් පැත්ත. කැරකෙන වේගේ අඩු වුනාම එයාගේ වපසරිය වැඩි වෙනවා.ආන් එහෙමයි ධ්‍රැව සුළිය ඇමරිකාව පැත්තට විස්තීරණය උනේ.

තේරුනා නේ ළමයිට? :)

ප. ලි.  

ඕන් බලන්න ගහක් අයිස්කරණය වෙලා තියන හැටි. මේක ගත්තේ නම් මේ අවුරුද්දේ නෙමෙයි. අවු. 2 කට විතර කලින්. 



Related Posts Plugin for WordPress, Blogger...