Tuesday, December 19, 2017

දස්කොන් සකිසඳ - රාජාවලිය XLVI

දැන් මාස දෙකකට විතර කලින් ලියපු රාජාවලිය ලිපියේ අපි කතා කළා නේ කුණ්ඩසාලේ කුමාරයා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ නමින් රජ වෙච්ච හැටි.

ඒ වගේම එතුමත් තමන්ගේ පියා ගේ අඩි පාරේම යමින් මධුරා පුරයෙන් බිසවක් ගෙන්නවා ගත්තා කියලත් කිව්වා නේ. ඉතිං අන්න ඒ බිසව තමයි "ප්‍රමිලා දේවිය".  මේ බිසව හරිම රූමත් කෙනෙක් කියලයි කියන්නේ.

නරේන්ද්‍රසිංහ රජතුමා ටිකක් සෙල්ලක්කාර කෙනෙක් කියලත් අපි දන්නවනේ. එතුමාට සිංහල කුල කාන්තාවන් කිහිප දෙනෙක් එක්කම අනියම් සම්බන්ධතා තිබුණා කියලා කියනවා.

ඉතින් මේ රජතුමා ගේ රාජ සභාවේ හිටියා "දස්කොන් (ගැස්කොන් )" කියලා ප්‍රංශ පියෙකුට දාව පෘතුගීසි මවකට ලැබුණු කෙනෙක්. ඒ වගේම හොඳ කවියෙක්. දස්කොන් පොඩි කාලේ ඉඳලම රජතුමා ගේ හොඳ මිතුරෙක් ලු. රජතුමාට විරුද්ධව පට්ටියබණ්ඩාර කැරලි ගහපු වෙලාවේ කැරැල්ල මැඩ පවත්වන්න සෑහෙන උදව් උනාලු දස්කොන්. එයින් පස්සේ දස්කොන් ට අධිකාරම් තනතුරකුත් ලැබුණා ලු.

ඉතින් මේ අතරේ දස්කොන් අධිකාරම් තුමා යි රූමත් ප්‍රමිලා දේවියයි සෑහෙන කුළුපග වෙනවා ලු. ඒක අනියම් පෙමක් දක්වාම ඇදිලා ගියා කියලා තමයි ඉතිහාස කතා වල කියවෙන්නේ.


ඔය රූප රාමුව ගත්තේ ජැක්සන් ඇන්තනි ගේ "දස්කොන්" ටෙලියෙන්.

ඉතින් රජතුමාට මේ දෙන්නගේ සම්බන්ධේ අහු උනා කියන්නෙත් හරි අපූරු විදිහකට. ප්‍රමිලා බිසව වෙනුවෙන් පැවැත්වුණු බලි යාගයකට බිසවගේ රූපයක් අඹනවා. බලි ඇදුරන් අඹපු මේ රූපයේ අඩුවක් දකිනවා දස්කොන්. ඒ තමයි බිසවගේ රහස් ප්‍රදේශයේ තිබුණු උපන් ලපයක්. ඉතින් ඔහු මේක ඇදුරන් ට කියලා නිවැරදි කරවනවා. ඉතින් ඕක දැන ගත්තම රජතුමා කරපු දේ හිතා ගන්න අමාරු නැහැ නේද? දස්කොන් ව සිර කරලා අවසානයේ දං ගෙඩියටත් යවනවා.

දස්කොන් ප්‍රමිලා ආදර කතාව කඳුලින් නිමා වෙන්නේ අන්න එහෙමයි. ඒක ඇත්තටම උනේ එහෙමද කියන්න නම් අපි හරියටම දන්නේ නැහැ.

සක්‌මන් කරන මළුවේදී බැඳි          හාද 
සිත් සන්තොසින් දුන් මුව මී        බීවාද 

ඉක්‌මන් ගමන් අහො අද ඔබ   යනවාද 
දස්‌කොන් මගෙ නමට ජීවිතෙ දෙනවාද  

මේ කවිය ගොඩක් අය අහලා ඇති. ඒකට දස්කොන් දුන්නා කියන පිළිතුර තමයි මේ....

විසැස්‌ කමලාව රස පහස නොවිඳ මා 
දසිස්‌ දුනි පොරණ ඇසු දුටු පමණ මා 

වෙසෙස්‌ ඔබගෙ අමයුරු පහස ලත් මෙමා 
මහිස්‌ එකක්‌ දුනි නම් ඔබ නමට කිමා

මේකෙන් කියන්නේ  "රාවණ රජතුමා සිතාව අගේ පහස නොවිඳම හිස් දහයම දුන් එකේ ඔබේ රස පහස විඳි මගේ එක හිසක් දුන්නට මක් වෙනවද" කියලයි.

ඉතින් කොහොමින් කොහොමහරි රජතුමාට ඔටුන්න පවරන්න දරුවෙක් කියල නම් කවුරුවත් හිටියේ නැහැ. උනනම්බුවේ බණ්ඩාර කියලා වෙනත් කාන්තාවකගෙන් ලැබුණු දරුවෙක් හිටියත් ඔටුන්නට හිමි කාරයෙක් සිටියේ නැහැ.

මේ නිසා නරේන්ද්‍රසිංහ රජුගෙන් පස්සේ රජකම හිමි වෙන්නේ ප්‍රමිලා බිසවගේ බාල සහෝදරයා ට. ඔහු රජ වෙන්නේ ශ්‍රී විජය රාජසිංහ (ක්‍රි. ව. 1739 - 1747) නමින්.

ඉතින් ඒ තමා සිංහල රජ පෙළපතේ අවසානය. ලංකාවේ අවසන් සිංහල රජතුමා තමයි නරේන්ද්‍රසිංහ රජතුමා. ශ්‍රී විජය රාජසිංහ රජතුමා තමයි නායක්කර් රජ පෙළපතේ පළමු රජතුමා. එතුමා ගේ රාජ්‍ය කාලය ගැන අපි ඊ ළඟ ලිපියෙන් කතා කරමු.


Related Posts Plugin for WordPress, Blogger...