කට්ටියට මතකද මන්දා දැන් අපි කොහෙද ඉන්නේ කියලා. එච්චර වේගෙන් මේකේ ලිපි ලියවෙනවනේ දැන් :) කමක් නෑ....දැන් අපි ඉන්නේ පොළොන්නරු යුගයේ. අන්තිම ලිපියෙන් අපි කතා කරේ මහා විජයබාහු රජතුමා චෝලයින්ගෙන් රට නිදහස් කරගෙන රජ වෙච්ච හැටි.
ඒ ලිපියේම අපි කතා කරා ජගතිපාල කියලා අයෝධ්‍යාවෙන් පැමිණිලා පාලන කටයුතු අල්ල ගත්තු නායකයෙක් ගැන. අන්තිමට චෝලයින් ඔහුවත් පරාජයට පත් කරලා ඔහුගේ බිරිඳ සහ දියණිය සිර කරුවන් විදියට ඉන්දියාවට ගෙන යනවා. මෙන්න මේ කාලයේදී ඔවුන් දෙදෙනා නිදහස් වෙලා නැවත ලංකාවට එනවා. ඉතින් විජයබාහු රජතුමාත් ඔවුන්ව පොළොන්නරුවට ගෙන්වාගෙන හොඳින් සත්කාර කරනවා. අන්තිමේදී රජතුමාගේ අගබිසව වීමේ වාසනාව ලැබෙන්නේ මේ දියණියට, එනම් "ලීලාවතී" කුමරියට. ඔවුන් දෙදෙනාට යශෝධරා නම් දියණියක්ද ලැබෙනවා.
විජයබාහු රජතුමාට "මිත්තා" නම් බොහොම ලස්සන සහෝදරියක් ඉන්නවා. මේ කුමරියට හැම පැත්තෙන්ම මංගල යෝජනා එද්දී චෝල රටෙන් ආපු කුමාරයෙකුත් කුමරිය ගැන අදහසක් තියාගෙන ඉන්න බව රජුට දැනගන්න ලැබෙනවා. මේකට නොසෑහෙන්න උදහස් වෙන රජතුමා අර කුමාරයාට ඒ ගැන තරවටු කරනවා. අච්චර කාලයක් තිස්සේ තමන්ගේ රටට වින කළ අයට තමන්ගේ සොයුරියක් දෙන්න රජතුමා කැමති උනානම් තමයි පුදුමේ. ඒත් මේ ක්‍රියාව නිසා පසුව කරදර ඇති විය හැකි බව සිතා රජතුමා පසුතැවෙනවා. ඒ නිසා ඉක්මනින්ම මිත්තා කුමරිය පාන්ඩ්ය කුමරෙක්ට සරණපාවා දෙනවා. මේ මගුල් තුලා කටයුතු වලිනුත් එතුමා කළේ උපක්‍රමශිලිව විදේශ සබඳතා තර කර ගැනීම. එහි තවත් පියවරක් විදියට තමන්ගේ දෙවන බිසව ලෙස කාලිංග රජ පරපුරෙන් "තිලෝකසුන්දරී" කුමරිය සරණපාවා ගන්නවා. එමෙන්ම පිරිහී තිබුණු භික්ෂු ශාසනය රැක ගැනීමට බුරුමයේ අනුරාධ රජුගේ අනුග්‍රයෙන් නැවත උපසම්පදාව පිහිටුවනවා. මේ සබඳතා නිසා තවත් කාලයක් යනතුරු චෝලයින්ගෙන් ලංකාවට කරදර ඇති වෙන්නේ නැහැ. ඒත් චෝල අධිරාජයා පිටින් නොපෙන්නුවත් ලංකාවත් සමග සිටියේ නොසතුටින්.
මේ අතරේ චෝල සහ කර්නාට යන දෙරටින් ලංකාවට පැමිණි සාම දූත පිරිසක් රජතුමා හොඳින් පිළිගෙන ප්‍රති උත්තර විදිහට මෙරටින් තෑගි බෝග රැගෙන සාම දූතයින් එහි යවනවා. චෝලයින් සමග වෛරය යටපත් කරගන්නට රජතුමා උත්සාහ කරන්න ඇති. එහෙත් සිදු වන්නේ අනෙකක්. චෝලයින් කරන්නේ මෙහෙන් ගිය සාම දූතයින් අල්ලාගෙන කන්, නාසා ආදිය කපා නැවත ලංකාවට එවීම. මෙයින් කුපිත වෙන රජතුමා "කුලෝත්තුංග" නම් එවකට සිටි සොලී රජුට අභියෝග කරනවා සටනකට එන ලෙස. සොලී රජුගෙන් ප්‍රතිචාරයක් නැති තැන සොලී රටට ගොස් පහර දීම සඳහා සේනාව රැස් කරන රජතුමාට තවත් නොහිතූ කරදරයකට මුහුණ දෙන්න සිද්ද වෙනවා. ඒ තමයි රජතුමාගේ චෝල කුලී භටයින් විසින් අභ්‍යන්තර කැරැල්ලක් ඇති කිරීම. මේ චෝල භටයින් වැඩි හරියක් අර ගජබා රජතුමා දකුණු ඉන්දියාවෙන් අරගෙන ආපු අය. ඒ ඉතින් අපේ රජෙක් කරපු තවත් මෝඩ කමක් තමා. ඉතින් මේ කැරැල්ල නිසා අපේ සේනා වලට වරායෙන් පිටත් වෙන්නවත් ලැබුනේ නැහැ. විජයබාහු රජතුමාට සිද්ද උනේ උපක්‍රමශීලිව වාකිරිගලට පලා යන්න. වාකිරිගලදී රජු තමන්ගේ සහෝදර වීරබාහු උප රජු සමග එක්ව නැවත සේනා සංවිධානය කර පොළොන්නරුව බලා යනවා. එහිදී ඇති වෙන ඉතාමත් දරුණු සටනකින් පසුව සොලී කුලී හේවායින් පරදවන්න ඔවුන්ට හැකි වෙනවා. ජීවග්‍රහයෙන් අල්ලාගත් කුලී හේවායින්, කැරැල්ලේදී මරා දැමූ සිංහල සෙනෙවියන්ගේ සොහොන් කොත් වලට තබා බැඳ, ගිනි තැබූ බවත් කියවෙනවා.
මේ අතර යුව රජ වූ වීරබාහුගේ වියෝව නිසා ඉතාමත් දුකට පත් වෙන රජතුමා ඔහුගෙන් හිස් වුනු යුවරජ තනතුරට පත් කරන්නේ බාලම සොහොයුරු "ජයබාහු". රුහුණේ පාලකයා ලෙස පත් කරන්නේ තිලෝකසුන්දරී බිසවගෙන් ලද පුත් "වික්‍රමබාහු".
මහා විජයබාහු රජතුමාගේ මරණය සිද්ධ වෙන්නේ ක්‍රි.ව. 1110 දී. සිංහලේ මහා ගැලවුම්කරු ලෙස විරුදාවලිය ලැබිය යුතු, අති දක්‍ෂ මෙන්ම ගුණ ගරුක (තමාට උදව් කළ බුදල්නාවන්ට කළගුණ සැලකීම සඳහා කරවූ පනාකඩුව තඹ සන්නසෙන් පැහැදිලි වන පරිදි ) උතුම් රජෙකුගේ මරණය රටටම දුකක් බව අමුතුවෙන් කිව යුතු නැත.
විජයබාහු රජතුමාගේ මරණින් පස්සේ උදා උනේ තවත් කලබලකාරී කාලයක්. රජ කිරුල ලබා ගැනීම සඳහා උරුමක්කාරයින් සටන් වැදීම තමා එයට හේතුව. රජුගේ සොයුරිය, මිත්තා කුමරියට පුතුන් තිදෙනෙක් සිටි අතර ඔවුන් රාජ්‍ය බලය ලබා ගැනීමට යුහුසුළු උනා. මේ සඳහා ඔවුන් කළේ ඇමතියන් සහ සංඝයා වහන්සේලාගේ උපකාර ඇතුව දැනට යුවරාජ ව සිටි රජුගේ සොහොයුරු "ජයබාහු" (ක්‍රි. ව. 110 - 1111) රජකමට පත් කිරීම. මේ කටයුත්ත කළේ විජයබා රජුගේ පුත් වික්‍රමබාහු ට නොදන්වා. ජයබාහුට රජකම ලැබුනත් රාජ්‍ය පාලන බලය සම්පූර්ණයෙන්ම අතට ගත්තේ මිත්තා කුමරියගේ පුතුන් තිදෙනා. එයින් වැඩිමහල් "මානාභරණ" කුමරු යුවරජ බවට පත් වුනා. සියලු කටයුතු කෙරුනේ ඔවුන්ට උවමනා විදියට. ජයබාහු රූකඩ රජෙක් බවට පත් උනා.
මෙයින් නොනැවතුණු ඔවුන් තමන්ගේ මස්සිනා වන වික්‍රමබාහු කුමරු අත්අඩංගුවට ගැනීම සඳහා රුහුණු දේශය බලා යාමට සූදානම් වෙනවා. මේ බව ඇසූ වික්‍රමබාහු කුමරු සේනාවකුත් රැගෙන පොළොන්නරුවට ගොස් මුලින්ම තම පියාගේ සොහොනට ගෞරව දක්වනවා. ඉන් පස්සේ ඔහු හා සටනට එන තෙසොහොයුරන් පැරදවීමට වික්‍රමබාහු කුමරු සමත් වෙනවා. මෙහිදී පලා යන මානාභරණ සහ සොහොයුරන් නැවත නැවතත් සංවිධානය වී සය වරක්ම වික්‍රමබාහු කුමරු පරාජය කිරීමට උත්සාහ කරත් ඔවුන්ට නැවත නැවතත් පරාජයම අත් වෙනවා. මේ නිසා ඔවුරුහුණට පලා ගොස් එය හවුලේ පාලනය කරන අතර වික්‍රමබාහු රජු (ක්‍රි. ව. 1111 - 1132) රාජ්‍ය පාලනය බාර ගන්නවා.
කෙසේ වෙතත් මානාභරණ ඇතුළු පිරිස වික්‍රමබාහු රජු සමග ඇති උදහස යටපත් වන්නට දෙන්නේ නැහැ. ඔවුන් නැවතත් රජුට විරුද්ධව සටනට පිටත් වෙනවා. මේ ආරංචිය ලැබුන විගසම වික්‍රමබාහු රජුත් සේනාව සමග ඉදිරියට පැමිණෙනවා. ඒ සටනෙනුත් පැරදෙන සොහොයුරන් පස් යොදුන් රටට පලා යනවා. කොරේ පිටට මරේ කියන්න වගේ මේ වෙලාවේ වික්‍රමබාහු රජුට විදේශ ආක්‍රමණයකටත් මුහුණ දෙන්න වෙනවා. ඒ වීරදේව නම් සෙනෙවියාගෙන්. වීරදේව ඇතුළු පිරිස මාතොටට ගොඩබැස කරන සංහාරය ගැන ඇසූ රජු ඔවුන් හා සටනට පිවිසියත් රජුගේ හමුදාව දුර්වල වීමට පටන් ගන්නා නිසා රජුට සිදු වෙන්නේ සියලු වටිනා වස්තුවත් රැගෙන පලා ගොස් සැඟවීමට. මහකරදාම දුර්ගයේ සැඟවුණු රජුගේ සේනාවට පහර දීමට පැමිණි වීරදේව ගේ සේනාව විනාශ කිරීමට රජු සමත් වෙන්නේ භූ විෂමතාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා නිසා. මේ ජයග්‍රහණයෙන් පසුව රජුගේ බල පරාක්‍රමය හැම දිසාවේම ප්‍රසිද්ධ වෙද්දී මානාභරණ ඇතුළු සොහොයුරන් පසු බා රජුට විරුද්ධ සටන් අතහැර දමා රුහුණට ගොස් ජිවත් වෙනවා.
වික්‍රමබාහු රජුගේ මරණයෙන් පස්සේ රජ වෙන්නේ ඔහුගේ පුත් ගජබාහු II (ක්‍රි. ව. 1132 - 1153). මේ සිද්ධිය නිසා නැවතත් රුහුණේ සිටින තෙසොහොයුරන් කලබල වෙනවා. මෙවර කරලියට බහින්නේ බාල සොයුරන් දෙදෙනා වන "කීර්ති ශ්‍රී මේඝ" සහ "සිරි වල්ලභ". ඔවුන් පොළොන්නරුවේ ද්‍රවිඩ කුලී හේවායින්ට පගා දී තමන් දෙසට හරවා ගෙන ඥාතිත්වයෙන් තම බෑණනුවන් වන ගජබා රජු හා සටන් කිරීම සඳහා පොළොන්නරුවට ගොස් දෙපැත්තකින් කඳවුරු බඳිනවා. මේ බව ඇසූ රජතුමා රාජකීය සේනාව යොදවා ඔවුන් පරාජයට පත් කරනවා.
මේ ආකාරයට අවුරුදු 20 ක් පමණ රජකම් කිරීමට ගජබාහු සමත් වෙනවා. එකම පවුලේ ඥාතීන් බලයට පොර කෑම පිළිකුල් සහගත උනත් මේ එහි අවසානය නොවේ. ඊ ළඟ රාජාවලිය ලිපියෙනුත් මේ පවුල් අතර ඇති වෙන හැලහැප්පීම් ගැන විස්තර බලාපොරොත්තු වන්න.
විජයබාහු ගැන අහලා තිබුනට මෙච්චර විස්තර දැනගෙන හිටියේ නෑ. යශෝධරා සහ මිත්තා ගැන අදමයි දැනගත්තේ මගේ හිතේ. ඒකත් ඔන්න හරියට ෂුවර් නෑ. මෙහෙම වෙන්නේ ටීචර්ගේ වැරැද්ද හන්දා. හිටපු ගමන් ක්ලාස් තියෙනවා. ආයේ මාස ගාණක් යනකල් පන්තිය මකුළු දැල් බැඳෙමින් තියෙනවා. අපි ස්ට්‍රයික් කරන්ට ඕනි. නැත්නම් මේ වැඩේ හරියන්නේ නෑ.:D
ReplyDeleteවරද පිළිගනිමි :)) පන්තිය පවත්වන වාර ගණන සෑහෙන්න අඩු වී ඇත. බලමුකෝ ඉස්සරහටවත් වැඩි කරගන්න.
Deleteමෙච්චර විස්තර දන්නේ මෙයා ඒ කාලේ හිටියා වත්ද? :)
ReplyDeleteවෙන්ඩැති අනේ..ඔයත් ඉන්න ඇති ෂුවර් එකටම ;)
Deleteමාත් ඔන්න හොඳ ළමයා වගේ දෙවෙනියට ආවා . කෝ මේ පොඩි ඉස්සෙල්ලම ඇවිත් . ඒගොල්ලන්ට අපිට කලින් ඉර පායනවා නේ .
ReplyDeleteලස්සනට ලියන නිසා කියවන්න ආසයි මන් ඉන්නේ මේ ලිපි පෙළ ආයේ මුල ඉඳන් කියවන්න . ඇයි බොලේ අපේ ඉතිහාසේ අමතක වෙන්න දෙන්න පුලුවන්ද
ඒක නේන්නං ඒක නේන්නං.
Deleteමාත් හිතන්නේ එක දිගට කියෙව්වොත් මෙහෙම යලට මහට කියවනවට වඩා හොඳ වෙයි කියලා
සයුරි ඉතිහාසයට මේ හැටි උනන්දුවක් දක්වන්නේ ඇයි කියන රහසට කවුරු හරි උත්තරයක් දෙන්න දන්නවද?
ReplyDeleteඒකටනම් මටවත් උත්තරයක් නෑ අප්පා :)
Deleteලංකාවේ එදා ඉදන්ම රට හදන්න පුදුම තරඟයක්නේ තිබිල තියෙන්නේ...අදත් රට ගොඩ දාන්න කොච්චර නම් රජවරු ඉන්නවද අප්පා... මහා රජාට අමතරව පොඩි පොඩි රජවරු නම් කීයක්ද...
ReplyDeleteමෙයාලට රට ගොඩ දාන්න තියන අමාරුවක් නේද? ඔය පොඩි රජවරු ටික රණ්ඩු වෙන්න ගත්තොත් මෙහෙම තමා වෙන්නේ
Deleteමම නම් ඉතිහාසයට එතරම් කැමැත්තක් නැහැ ඉස්සර ඉඳන්ම..ඒ කිව්වේ උපතින්ම..රජ කාලේ කතා , සුරංගනා කතා එහෙම අහන්න ප්‍රිය කරාට ඉතිහාසය විශයක් වශයෙන් නම් ඉගෙන ගන්න කොහොම වත් කැමැත්තක් නැහැ..
ReplyDeleteඒත් අද වෙනකොට මම ආසාවෙන් ඉගෙන ගන්නවා , පාඩම් කරනවා , අභ්‍යාස කරනවා , පැවරුම් කරනවා..වැඩ කෝටියයි...
ඒ වෙන මොකක් නිසා වත් නෙවේ ටීචර්ගේ හිත දිනා ගන්න ..:)
( ඇයි මගේ දිහා අමුතු විදිහට බලන්නේ...? මීට කළින් ටීචර්ට ආදරේ කරන පිරිමි ළමයි දැකලා නැද්ද ? )
//ඒත් අද වෙනකොට මම ආසාවෙන් ඉගෙන ගන්නවා , පාඩම් කරනවා , අභ්‍යාස කරනවා , පැවරුම් කරනවා..වැඩ කෝටියයි//
Deleteඅඩේ අප්පා..මරුනේ. හිත දිනාගන්න හරි මොකකට හරි මෙහෙම වැඩ කරනවානම් මක් වේවිද... :))
වටින ලිපි පෙළක්..ජය!
ReplyDeleteස්තුතියි දිලිනි
Deleteඅම්මෝ... මෙන්න මෙයාට පාඩම මතක් වෙලා..... අපිට පාඩම් අමතකත් වෙලා ගිහින් දැන්.....
ReplyDeleteවෙනදා වගේම මං නොදන්නා කරුණු ගොඩක් ඉගෙන ගත්තා මේ ලිපියෙන්. ස්තුතියි ටීචර්.... :)
හරිම හොඳයි සමනලී ළමයත්..උනන්දුවෙන් ඉගන ගන්නවා :)
Deleteයකෝ මිස්..!!! දැන් මතක නෑනෙ බන්...උඹ මහ කම්මැලි මිස් කෙනෙක් වෙලා.. ඒකෙ පාඩුව අපිටයි.. දැන් අන්තිමට කිව්වෙ මොනාද කියලත් මතක නෑ..
ReplyDeleteඕන් විභාගෙට ලකුණු අඩු වුනා කියලා අපිට එහෙම බනිනවා නෙමේ.. හරිය ?
>> එකම පවුලේ ඥාතීන් බලයට පොර කෑම පිළිකුල් සහගත උනත් <<
අන්න ඒකට දැන්.. ඔය වික්‍රමබාහුලට, ගජබාහුලට ගන්න ආදර්ශ එමටයි..
// අන්න ඒකට දැන්.. ඔය වික්‍රමබාහුලට, ගජබාහුලට ගන්න ආදර්ශ එමටයි.. //
Deleteහෙහ් හෙහ් හෙහ් .... එක බඩයි, කටවල් ගොඩයි. සහෝදරයො, තාත්තල පුතාල බාප්පල උනාම ඉන්නෝන එහෙම තමා.
අපි සල්ලි දීල තියෙන්නේ හරිය... නැද්ද මචං.
Delete//උඹ මහ කම්මැලි මිස් කෙනෙක් වෙලා//
Deleteසහතික ඇත්ත..කන් දෙක පාත් කරලා වරද පිලිගනිමි..හිහි. නෑ නෑ මේ පාර විබාගේ කැන්සල්.
දැන් කාලේ වගේ ආදර්ශමත් රජ පවුල් ඉස්සර ඉඳලා නෑ වගේ.
අම්මපා අසරණයෝ අල්ලස් දීම වරදකි
අඩේ මං සෑහෙන කාලෙකින් එදිදි ඔයාලත් පරක්කු වෙලානේ ඈ
ReplyDeleteඒකනේ. ඒ හින්දා අවුලක් නෑ :)
Deleteමේ විස්තර ඉතින් ඔයගෙන්ම තමා දැනගන්න වෙන්නේ. මෙච්චර සරලව. ඉතින් තව ටිකක් වේගෙන් ලිපි දන්නා හැකියාවක් තියෙනවනම් මාරු.
ReplyDeleteස්තුතියි.
බලමුකෝ අසර් මීට වඩා වේගෙන් දාන්න
Deleteමොකද සයුරිටත් වැඩ වැඩිද මේ දවස්වල.
ReplyDeleteඒ කාලෙ යුධ අපරාධ චෝදනා කරන්න ලෝක පොලිස් ඉන්න නැතිව ඇති. අද කාලෙ එහෙම යුද්ධකරල අල්ලගත්ත අය පනපිටින් පිච්චුවොත් උඩින් ඇවිත් ගහල යයි.
අනෙක කොච්චර ධාර්මික රජවරු උනත් මේ වගේ දරුණු දඬුවම් දීපු එක හරියි කියල මට නම් හිතෙන්නෙ නෑ. ධාතුසේන රජ්ජුරුවොත් තමන්ගෙ සොහොයුරිය උනු මිගාර සෙනෙවිගෙ මව මැරෙව්වෙත් පනපිටින් පුච්චලය කියල මම කොහේදි හරි කියෙව්ව මතකයි. කොච්චර දියුණු සංස්කෘතියක් අපට තිබුනයි කිව්වත් සිංහල දඬුවම් ක්‍රමනම් මිලේච්ඡයි කියල මට හිතෙනව.
අනේ ඔව් DDT. වැඩ වැහි වැහැලා :(
Delete// අද කාලෙ එහෙම යුද්ධකරල අල්ලගත්ත අය පනපිටින් පිච්චුවොත් උඩින් ඇවිත් ගහල යයි.//
මානව අයිතිවාසිකම්ද අරවද මේවද ඉවරයක් නෑ නේ දැන් කාලේ. මමත් එකඟයි ඒ කතාවට. ඇත්තටම සිංහල දඬුවම් ක්‍රම විතරක් නෙමෙයි, ඉස්සර කාලේ යුරේපේ පවා තිබුන දඬුවම් ක්‍රම අන්තිම ම්ලේච්ඡයි මම හිතන්නේ.
// ඉස්සර කාලේ යුරේපේ පවා තිබුන දඬුවම් ක්‍රම අන්තිම ම්ලේච්ඡයි මම හිතන්නේ. //
Deleteමේ තියෙන්නෙ ඔය ගැන දිනේෂ් ලියපු ලිපියක්
තවත් කවුරු හරි ඔය ගැන ලියල තිබුන බොහොම කාලෙකට කලින්, කොටස් වශයෙන් ලිපි තුනක් ද හතරක්ද තිබුන. මම ඒ කාලෙ කියෙව්වට කාගෙ බ්ලොග් එකක්ද කියල මට දැන් මතක නෑ.
අපි අහල තියෙනව නේද පල්ලියේ ඉගැන්වීම්වලට පටහැනි වුනු නව සොයා ගැනීම් කළ විද්‍යාඥයොන්ට අත්වුනු ඉරණම. නපුරු මායාකාරයෝය කියල හංවඩු ගහල ඔවුන්ටත් ඉතා කෲර මරණයක් අත්කරපු යුරෝපා සමාජයන් ගැන මට අමතක උනේ නෑ සයුරි. මම සිංහල කියල විශේෂයෙන් සඳහන් කළේ එය අපේ රට නිසාම විතරක් නෙවි, අවිහිංසාවාදී බුදුදහමෙන් පෝෂණය උනු උසස් සංකෘතියක් තිබුනු රටක්ය කියල කියන නිසා. හිටපු හුඟක් රජවරු භික්‍ෂූන් වහන්සේලාගෙන් නිරන්තර අවවාද අනුශාසනා ලබාගත්බව දක්වන නිසා. පින් පව් ගැන භිය මුසු ගෞරවයක් තිබුනු මිනිස්සු හිටපු රටක් නිසා.
මේ ලිපිය කලින් දැකලා තියනවා වගේ යන්තම් මතකයක් තියනවා. මට මතක් වෙන්න ඇත්තේ ඒක වෙන්නත් ඇති සමහර විට.
Delete//අපි අහල තියෙනව නේද පල්ලියේ ඉගැන්වීම්වලට පටහැනි වුනු නව සොයා ගැනීම් කළ විද්‍යාඥයොන්ට අත්වුනු ඉරණම.//
අර අස්සයගේ දත් ගණන් කිරීමේ සිද්ධියත් ඔය වගේ එකක් නේද?
ඔව් බෞද්ධ රටක් හැටියට ඒ ගැන විශේෂයෙන් සඳහන් කරපු එක හරි. ඔයාගේ කලින් කමෙන්ට් එකෙන් මට ඒක පැහැදිලිව තේරුනේ නැහැ :) කොහොමත් මට හිතෙන හැටියට අනුන්ට වධ හිංසා කිරීමේ පුංචි හෝ මානසික විකෘතියක් මිනිසුන්ට පිහිටලා තියනවා. ඒක ඉස්මතු වෙනකොට අනෙක් සාධක වලින් ගොඩක් දුරට ස්වායත්තයි.
@ DDT
Delete//....අනෙක කොච්චර ධාර්මික රජවරු උනත් මේ වගේ දරුණු දඬුවම් දීපු එක හරියි කියල මට නම් හිතෙන්නෙ නෑ....//
මේ ගැටලුව එන්නේ අපි බුදු දහමයි රාජ්‍ය පාලනයයි පටලවා ගන්න නිසා. ඇත්තටම බුදු දහමේ එන රාජ්‍ය පාලනය සංකල්ප ලක් රජවරු පිළිපැද්දා තමයි. ඒත් සෘජු වෙන්න ඕනේ තැන සෘජු වුණා වගේම මෘදු වෙන්න ඕනේ තැන මෘදු වුණා.
අනික ධර්මාශෝක රජතුමා පවා එච්චරම හොඳ බෞද්ධයෙක් වුණත් තමන්ගේ හමුදාව විසිරවපු බවක් දැක්වෙන්නේ නැහැ. අජාසත් රජතුමා වුණත් හොඳ බෞද්ධයෙක් වුණත් වජ්ජි ජනපදය වසර 14 ක් විතර යුද්ධ කරලා අල්ලා ගන්නේ පස්සේ කාලේ.
ඒක නිසා සරලවම කියන්න තියෙන්නේ රජවරු බෞද්ධ වූ පමණින් 100% ක් ඒ කරුණුම පිළිපැද්දේ නැහැ. රාජ්‍ය පාලනයේදී ගන්න ඕනේ තීරණ ගත්තා. ඒත් පස්සේ කාලේ තමා සිංහල බුද්ධාගම කියලා එකක් හැදිලා හුඟක් ඒවා හරි කියලා දෙන්න පටන් ගත්තේ. අර දුටුගැමුණු රජ්ජුරුවෝ දෙමළ අය මැරුව එක එච්චර පව් නෑ වගේ කතා ආවේ ඒකත් එක්ක.
ඔව් හසිත, මමත් පැහැදිලිවම විශ්වාස කරනවා ආගමත් රාජ්‍යපාලනයත් පටලවාගත යුතු නැහැ කියල. මේ අච්චාරුව නිසා අද දවසේ අපිට මුහුණ දෙන්නවෙලා තියෙන අර්බුධම මැදෑ.
Deleteකිසිම රජ කෙනෙක්ට ධර්මයෙන් පමණක් රටේ විනය පවත්වා ගෙන යා හැකියි කියල මමත් හිතන්නෙ නැහැ. ඒ වගේම රජකෙනෙක් සිල්ගත යුතු ප්‍රමාණයක් තිබෙනවා, ඊටත් එහා යනවනම් අනිවාර්යෙන් ඔහු රජකම වෙනත් අයෙකුට පවරා තමන්ට අවශ්‍ය මාර්ගයක යා හැකියි. නොඑසේනම් රාජ්‍යයටත් වැසියන්ටත් වන්නෙ මහත් විපතක්. ඒ වගේම රාජ්‍යයේ ආරක්‍ෂාවට සිටින හමුදාවක් විසිරවීමත් සිහිබුද්ධිය ඇති කිසිවෙක් අනුමත කරන්නෙ නැහැ.
වැරදි කරන්නන්ට අනිවාර්යෙන් දඬුවම් ලබාදිය යුතුයි. නොඑසේ නම් ඒ සමාජයට පැවැත්මක් නැහැ. විනයක් නැති තැන රට අර්බුධයකට යනවා. මම අදහස් කළේ බුදු දහමින් පෝෂණය වුනු සංස්කෘතියක් තිබෙන සමාජයක තෙරුවන් සරණ ගිය රජකෙනෙක් මනුෂ්‍යත්වයටත් තරම් නොවන අතිශය මිලේච්ඡ දඬුවම් නිර්දේශ කරන්නෙ කෙසේද කියල විතරයි.
@ DDT
Delete//...බුදු දහමින් පෝෂණය වුනු සංස්කෘතියක් තිබෙන සමාජයක තෙරුවන් සරණ ගිය රජකෙනෙක් මනුෂ්‍යත්වයටත් තරම් නොවන අතිශය මිලේච්ඡ දඬුවම් නිර්දේශ කරන්නෙ කෙසේද....//
අපේ රටේ තියෙන සිංහලබුද්ධාගමට අනුව එහෙම කරන්න පුලුවන් :D
ඇත්තටම ලංකාවේ පාලන තන්ත්‍රයට බමුණු ආභාෂය ලැබුණු තැන් ටිකක් වැඩියි. ඒක නිසා මේකත් ඒ පැත්තට දාන්න පුලුවන්
මේවා බැලුවම අද ලංකාවේ සහෝදර සමාගම අඩුගානේ සමගියෙන් සමාදානෙන්වත් ඉන්නවානේ?
ReplyDeleteහිහි...ඒකනම් ඇත්ත
Deleteඒ මට අන්තිම පාඩම මතක නෑ ලොකු.. මං අන්තිමට ආවට දැන් මෙයත් හොර වෙලානේ..
ReplyDeleteනෑයෝ ගැන කියන්නනම් මට ඉතිහාසේ ඕන නෑ.. පහුගිය අවුරුදු කීපය එකතු කරලම කියන්න පුළුවන් බව ලොකූ දන්නවනේ..
අන්තිම පාඩම මතක නැති උනාට ඔන්න මුකුත් කියන්නේ නෑ.
Delete//නෑයෝ ගැන කියන්නනම් මට ඉතිහාසේ ඕන නෑ//
අයි නෝ අයි නෝ ළමයෝ..
මටත් මේක මුල ඉඳන් නිවාඩුවේ කියවන්න හිතෙනවා. ජේ.ආර්. පප්පා පෙළ පොත් වලින් ඉතිහාසය අයින් කරපු නිසා සාමජ් අධ්‍යනය කියන විෂයට ඉගෙන ගත්ත අවම කොටස විතරි දැන ගත්තේ. ඒකත් දැන් අමතක වෙලා.
ReplyDeleteජේ ආර් සීයා එහෙම වැඩකුත් කරාද. අනේ ඇත්තට මෙහෙමත් ජනපතියෝ. ආපහු ඉතිහාසය ඇඩ් කරේ කවුද දන්නේ නෑ නේද
Deleteඇතුවත් බැරි...නැතුවත් බැරි..ඥාතීන්..!!රජ පවුල් වලටත් ප්‍රශ්නයක් වෙලා..ඉස්සර නේ.?
ReplyDeleteමේ චිත්‍ර කොහෙන්ද කියන ප්‍රශ්නෙහැමදාම මට එනවා..?
ඒකනේ වී අයියේ.
Deleteමේ චිත්‍ර ඉස්සර සන්ඩේ ටයිම්ස් පත්තරේ ගියපු ආටිකල් සෙට් එකකින්
මම සිංහල රජ පෙළපතේ කැමතිම අජවරු කීපදෙනා අතරින් එක් අයෙක්.තමයි මේ විජයබාහු රජතුමා. මට මතක හැටියට ඔබ මීට පෙර රාජාවලිය සටහනිනුත් මේ රජතුමා ගැන කතාකළා.
ReplyDeleteඑහි අවසන් කොටස සෑහෙන දවසකට පස්සේ කියෙව්වේ. ඒත් මම මේ රජු ගැන මේතරම් දෙයක් දැනගෙන හිටියෙ නෑ නමුත් ඔහු සිංහල රාජ වංශයේ ඉතාමත් අප්‍රකට ලෙසයි සඳහන් වන්නේ මට හිතෙන හැටියට මේ චෝල සහ පාණ්ඩ්‍ය බලපැම නිසා වෙන්න ඇති. මම නිතරම එහු ගැන සදහන් කරන්නේ " අපේ ඉතිහාසය විසින් සැඟවූ විජය බාහු" නමින්.
පනාකඩුව තඹ සන්නස ගැන අහල තිබුණත් එහි හරි සහ නිවැරදි තොරතුරක් දැනගත්තේ සයුරිගේ මේ අගනා සටහන නිසා..
හැමදාමත් කියනව වගේ ඔබේ මේ අමිල මෙහෙවර අනාගත පරපුරට හොඳ ආයෝජනයක්
/අපේ ඉතිහාසය විසින් සැඟවූ විජය බාහු//
Deleteඇත්තටම ඔව්, ඔහුට ලැබෙන්න ඕන ගෞරවය හරියාකාරව ලැබිලා නැහැ. මීට කලින් ලිපියෙන් කතා කලෙත් ඔහු ගැන තමා. එතුමා සිංහලය චෝලයින්ගෙන් ගලවා ගත්ත හැටි. ඒ ලිපියෙනුත් ඔක්කොම කියල ඉවර කරන්න බැරි උනා :)
බොහොම ස්තුතියි හැමදාම වගේ මේකට සහාය ලබා දෙනවට..
ස්තුතියි ටීචර් අද පාඩමටත්..ඊළඟ පන්තියත් ඉක්මනට තියන්න..
ReplyDeleteබලමුකෝ රූ..පුළුවන් තරම් ඉක්මනට තියන්නම්
Deleteසුපුරුදු පරිදි ර කම්මැලි තොටි ළමයා අන්තිමට පංතියට ඇවිල්ලා. මේ ලිපියේ තියෙන ලීලාවතී බිසවයි අර වල්ලභයෝ ගොඩාක් තියාගෙන හිටපු ලීලාවතී රැජින කියන්නේ දෙන්නෙක්ද? එක්කෙනාමද?
ReplyDeleteනම ඇහුවම මටත් එකපාරම මතක් උනේ ඒ රැජින. ඒත් පස්සෙ හිතුනා එයා එන්නෙ තව කාලයක් ගිහින් වෙන්නෝන කියල. රැජිනක් උනාම ඉන්නෝන එහෙමනේ, අන්න ගෑනු. :)
Deleteකමක් නෑ අනේ තොටි ළමයා, අන්තිමට හරි ආවනේ :) ඔන්න ඩිඩිටි ට නම් ටිකක් හරි මතකයි...තොටි ළමයට නම් අමතකයි හිහි...
Deleteඑයාගේ නම අනුලා රැජින. ලීලාවතී නෙමෙයි. එයා හිටියෙත් මිට ගොඩක් කලින්. මේ තියෙන්නේ එයා ගැන ලියපු ලිපිය
http://pahanyaaya.blogspot.com/2012/01/ix.html
//රැජිනක් උනාම ඉන්නෝන එහෙමනේ, අන්න ගෑනු. :)//
අන්න කතාව. :))
නෑ සයුරි මමත් වැරදියි. මම හිතන් හිටියෙ ඇය රජ වන්නෙ පොළොන්නරු යුගයෙ කියල. සයුරිගෙ ඒ ලිපිය මම කියවල තිබුනෙ නෑ. ඒ දවස්වල මම ඉතිහාසය පන්තියෙ ඉඳල නෑ. ඊට මාස ගානකට පස්සෙ තමා මම සෙට් වෙල තියෙන්නෙ. ඒත් ඉතිහාසය නිසා නෙවි, ‘සබෝර්‘ නිසා.
Deleteඔන්න අනුලා රැජිණ ගැන ලින්ක් එකේ ලිපියත් කියෙව්වා. ලීලාවතී කියලා වෙන රැජිණකුත් ඉතිහාසයේ හිටියා නේද?
Deleteඔව් ඔව් දෙන්නටම ටැපලිලා :) අර කිව්වා වගේ ඒ දවස්වල පන්තියේ හිටියේ නැති නිසා කමක් නෑ ඉතින්. මේ ලිපියේ ඉන්න ලීලාවතී බිසවක් විතරයි නේ තොටියෝ. රැජිනක් නෙමේ.
Delete//...අන්තිමේදී රජතුමාගේ අගබිසව වීමේ වාසනාව ලැබෙන්නේ මේ දියණියට, එනම් "ලීලාවතී" කුමරියට.ඔවුන් දෙදෙනාට යශෝධරා නම් දියණියක්ද ලැබෙනවා....//
ReplyDeleteලීලාවතිය වගේම තිලෝකසුන්දරී මෙහෙසියන් විදිහට අභිෂේක කරනවා කියලා තමා මහාවංසයේ තියෙන්නේ. අග මෙහෙසි කියලා දක්වලා නැහැ. යශෝධරා දියණියව වීර්වම්ම කියන කුමාරයටා සරණ පාවා දෙනවා. ඒ දෙපළට ලැබෙන දරුවෝ තමා ලීලාවතී සහ සුගලා [සුගලාව කට්ටිය දන්නවානේ]
//..අච්චර කාලයක් තිස්සේ තමන්ගේ රටට වින කළ අයට තමන්ගේ සොයුරියක් දෙන්න රජතුමා කැමති උනානම් තමයි පුදුමේ. ඒත් මේ ක්‍රියාව නිසා පසුව කරදර ඇති විය හැකි බව සිතා රජතුමා පසුතැවෙනවා.ඒ නිසා ඉක්මනින්ම මිත්තා කුමරිය පාන්ඩ්ය කුමරෙක්ට සරණපාවා දෙනවා. ..//
මෙතනදී රජතුමා උත්සහ කරන්නේ චෝල විරෝධී පෙරමුණේ සමඟිය ආරක්ෂා කරගන්න වගේම යහපත් සබඳතාවක් මේ විවාහය හරහා පවත්වාගන්න. ඒ වගේමයි මේ චෝල විවාහය විජයබාහු රජතුමා ප්‍රතික්ෂේප කරන්න තව හේතුවක් තියෙනවා. ලංකාවේ ක්ෂත්‍රියයන් සූර්ය වංශිකයන් වීමත් චෝළයන් චන්ද්‍ර වංශිකයන් වීමත් ඒ අනෙක් හේතුව.
//...ඒ තමයි රජතුමාගේ චෝල කුලී භටයින් විසින් අභ්‍යන්තර කැරැල්ලක් ඇති කිරීම...//
මේ කුලී භටයෝ චෝළයෝම කියලා කියන්න බැහැ. වංස කතාවේ මොවුන් දක්වනෙන වේලයික්කාර භටයෝ කියලා. මෙයාලත් දකුණු ඉන්දියානුවන් තමා.
//..ජීවග්‍රහයෙන් අල්ලාගත් කුලී හේවායින්, කැරැල්ලේදී මරා දැමූ සිංහල සෙනෙවියන්ගේ සොහොන් කොත් වලට තබා බැඳ, ගිනි තැබූ බවත් කියවෙනවා....//
මේ දඬුවමට භාජනය වෙන්නේ වේලයික්කාර භට හමුදාවේ සෙන්පතියන් විතරයි. අනෙක් පිරිස ඊට පස්සෙත් සුපුරුදු පරිදි තමන්ගේ කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම පොළොන්නරුව දළදා මළුවෙන් හමුවෙන වේලයික්කාර ලිපියෙන් දළදාව සුරක්ෂිත කිරීමේ කාර්යය පවා මේ වේලයික්කාර භට හමුදාවට විජයබාවන් පවරපු බව පේනවා.
//..රජුගේ සොයුරිය, මිත්තා කුමරියට පුතුන් තිදෙනෙක් සිටි අතර ඔවුන් රාජ්‍ය බලය ලබා ගැනීමට යුහුසුළු උනා. මේ සඳහා ඔවුන් කළේ ඇමතියන් සහ සංඝයා වහන්සේලාගේ උපකාර ඇතුව දැනට යුවරාජ ව සිටි රජුගේ සොහොයුරු "ජයබාහු" (ක්‍රි. ව. 110 - 1111) රජකමට පත් කිරීම...//
යුවරාජ තනතුරේ හිටිය ජයබාහුව රජ කරවීමේ කිසිම ගැටලුවක් නැහැ. පුබ්බ චාරිත්ත මග්ග යටතේ රජකම හිමිවිය යුත්තේ ජයබාහුට තමා. ගැටලුව තියෙන්නේ ආදිපාද තනතුරේ හිටිය වික්‍රමබාහුට පුබ්බ චාරිත්ත මග්ගයට අනුව යුවරාජ තනතුර හිමි නොවෙන එක.
ඒ වගේමයි ජයබාහුගේ රාජ්‍යත්වය වික්‍රමබාහු පවා පිළිගත්තු බව හිතන්න පුලුවන් හොඳ කාරණයක් තමා වික්‍රමබාහු පස්සේ පොළොන්නරුව අල්ලා ගත්තත් රජතුමා විදිහට අභිෂේක නොවුණු නිසා. මොකද ඒ වෙද්දී අභිෂේක කළ රජතුමා වුණු ජයබාහු ජීවත් වෙලා හිටිය නිසා
// [සුගලාව කට්ටිය දන්නවානේ] //
Deleteම්ම්ම්......මේ කොයි සුගලාද? :D:D:D
@ Podi Kumarihami
Deleteපරාක්‍රමබාහුත් එක්ක ගේමට එන සුගලා :P
ඔව් තිලෝකසුන්දරීත් මෙහෙසියක් තමයි. අගමෙහෙසිය නෙමෙයි. රජතුමාට පුතෙක් ලැබෙන්නෙත් ඇගෙන්.
Delete@ සයුරි
Deleteමම කිව්වේ මහාවංසයේ ලීලාවතී සහ තිලෝකසුන්දරී කියන දෙන්නාම මෙහෙසියන් බවට පත් කරගන්නවා හැරෙන්න ලීලාවතී අගමෙහෙසිය/අග බිසව බවට පත් කරගත්තා කියලා සඳහනක් නැහැ කියලා.
hammo kaalekata passe....passe post eka kiyawanangko...godak kal enda beri wunata daala thiyenne aluthin post 1k witharada koheda :P
ReplyDeleteනෑ නෑ ඔයා ආපු නැති කාලේදී නම් එකකට වඩා දැම්මා..ෂුවර් :)
Deleteකාලෙකින් නේද පාඩම???
ReplyDeleteමංදා, අතීතෙ ඉදන්ම මේ වේයෝ මීයෝ වගේම නෑයොන්ගෙ කරදදර තිබිලානෙ. :D
කාලෙකින් තමා අප්පා...ඔයත් කාලෙකින් ;)
Deleteපගාව දෙන එක ඒ කාලෙ ඉඳන් පැවතගෙන එන රාජකීය පුරුද්දක් එහෙනම් ඈ... ඒකයි මේ කස්ටිය කිසි ලැජ්ජාවක් නැතුව පගා ගන්නේ :P .පහන්යායේ භාෂා ශෛලිය වෙනස්වෙලා ද මන්ද ටිකක්! ඒ කොහොම උනත් දන්නැති දේවල් ගොඩක් දැනගත්තා, ඒකට පින්!
ReplyDeleteභාෂා ශෛලියත් වෙනස් වෙලාද :) පගාව අනාදිමත් කාලෙක පටන් එනවා වගේ තමා පේන්නේ
Deletetest
ReplyDelete