Thursday, August 9, 2012

ග්‍රීසියේ සිට එන ඔලිම්පික් ගිනි සිළුව

පෙරහැර ගියාට පස්සේ "සාදු" කියලා වැඩක් නැහැලු. ඒ හින්දා පෙරහැර යන අතරතුරේ ම සාදු කියන්නයි මම මේ හදන්නේ. මේ දවස්වල ලන්ඩන් නගරයේ 30 වන නූතන ඔලිම්පික් ක්‍රීඩා උත්සවය පැවැත්වෙන බව හැමෝම දන්නවා. ඉතින් ඔලිම්පික් ගැන සැඟවුණු විස්තර හොයලා ලියන්න මීට වඩා සුදුසු කාලයක් නැහැ. එහෙනම් පටන් ගමු :)

                                                              ~~~~~~~~~~~~~~



ඔලිම්පික් ක්‍රීඩා ආරම්භ උනේ ග්‍රීසියේ. ඒක සිද්ධ උනේ මොන කාලයේද කියලා හරියටම නිශ්චිතව කියන්න අමාරු උනත් සංවිධානාත්මකව වසර හතරේ කාල සීමා වලින් ඔලිම්පික් පැවැත්වීම ආරම්භ කරලා තියෙන්නේ ක්‍රි. පූ. 776 දී කියලයි සඳහන් වෙන්නේ. හ්ම්ම්...අවුරුදු 2800 ක පමණ ඉතිහාසයක් නේද? ඒ ප්‍රථම ඔලිම්පික් උත්සවය පවත්වලා තියෙන්නේ ග්‍රීසියේ එලිස් නගරයේ පිහිටි "ඔලිම්පියා" නම් ප්‍රදේශයේ. ඔලිම්පියාව සැළකුනේ පූජ්‍ය භූමියක් විදිහට. Zeus (සියුස්) දෙවියා සහ ඔහුගේ බිරිඳ වන Hera (හේරා) දෙවඟන ඇතුළු බොහොමයක් ග්‍රීක දෙවිවරුන්ගේ පිළිම සහිත දේවස්ථාන තනා පුද පූජා සිදු කළ ස්ථානයක් තමයි ඒ. මේ මුල්ම ක්‍රීඩා භුමිය පිහිටලා තියෙන්නේ ඒ දේවස්ථාන වලට සමීපයෙන්.

ක්‍රි. පූ. 776 දී පැවැත්වුණු ප්‍රථම ඔලිම්පික් උත්සවයට ඇතුලත් වෙලා තියෙන්නේ එකම එක තරඟයක් විතරයි. ඒ, මීටර් 200 දිවීම. ඒ වගේම මේ කාලයේ තරඟ වලට සහභාගී වෙලා තියෙන්නේ ග්‍රීකයින් පමණයි (ග්‍රීක පිරිමින් පමණයි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ මම හිතන්නේ :). ක්‍රි. පූ. 724 දී තමයි මීටර් 400 තරඟය එයට ඇතුලත් වෙන්නේ. ඉතින් ඔලිම්පික් තරඟයකින් දිනනවා තරම් ගෞරවයක් වෙනත් විදිහකින් ලබන්න බැහැ කියලලු ඔවුන් හිතුවේ. ජයග්‍රාහකයින්ට ත්‍යාග විදියට ලැබුනේ ඔලිව් කොළ වලින් සැදූ හිස් පළඳනාවක් පමණයි. ඒත් එයින් ලැබුණ ගෞරවය අති මහත්.


ඔලිව් ගස ග්‍රීකන්ගේ පූජනිය ගසක්. ඔලිව් ගස ලෝකයට මැවුවේ සියුස් දෙවියාගේ දියණිය වන "ඇතීනා" දෙවඟන විසින් කියලා මධුරංග ලියපු ලිපියක තිබුණා. ඉතින් මේ පළඳනාව හදන්න ඔලිව් කොළ අරගෙන තියෙන්නේ සියුස් දේවාලය පිටුපස තිබුණු ඔලිව් ගසකින්. ඒ ගස රෝපණය කළේ සියුස් දෙවියාගේ පුත්‍රයා වන "හර්කියුලිස්" විසින් කියලයි ග්‍රීකයින් විශ්වාස කරන්නේ.

දැන් අපි බලමු ග්‍රීක විශ්වාසවලට අනුව ඔලිම්පික් බිහි උනේ මොන විදියටද කියලා.

දැන් ඔය සියුස් දෙවියාගේ පුතා හර්කියුලිස් නේ. ඔහු අර්ධ දෙවියෙක් හැටියට තමයි සැළකෙන්නේ. ඒ කියන්නේ, ඔහුගේ මව මනුෂ්‍ය දුවක්. හර්කියුලිස්ට තිබුනලු පුදුමාකාර ශක්තියක් සහ දක්ෂ කම් ගොඩක් (මිශ්‍ර ළමයි කොහොමත් දක්ෂයි කියනවනේ). සාමාන්‍යයෙන් සිද්ධ වෙන විදිහටම හර්කියුලිස්, හේරා ගේ (ඔහුගේ කුඩම්මා ගේ) දැඩි ඉර්ශ්‍යාවට ලක් උනා. මේ හේරා දෙවඟන කරපු කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විදියට ඇපලෝ දෙවියා විසින් හරිකියුලිස්ට ඉතා අමාරු වැඩ 12 ක් නියම කරනවා. එයින් පස් වෙනි එක තමයි එවකට එලිස් නගරයේ රජතුමා වුනු "ඕගියස්" රජුගේ ජරාවාස වූ ස්තාල පිරිසුදු කිරීම. හර්කියුලිස් මේ රජතුමා හමු වෙලා ගිවිසුමකට එනවා රජුගේ ගව පට්ටියෙන් 1/10 ස්තාල පිරිසුදු කිරීමේ ගාස්තුව වශයෙන් ගන්නා බවට. ඉන් පස්සේ ඔහු මොකද කරන්නේ "ක්ලැඩිඕස්" සහ "ඇල්පිඕස්" ගංගා හරස් කරලා අර ස්තාල හරහා යන්න සළස්වනවා. වැඩේ ඉවර කරලා ගාස්තුව ඉල්ලාගන්න ගියත් ඔහුට එය ලැබෙන්නේ නැහැ. මෙයින් උරණ වෙන හරිකියුලිස්, රජතුමා මරා දමනවා. ඒ ජයග්‍රහණයේ සංකේතයක් විදිහට ඔහු ඔලිම්පික් ක්‍රීඩා උත්සවය ආරම්භ කරන්නේ තම පියා සියුස් දෙවියාටත් ගෞරවයක් වශයෙන්. 

මේ නිල් පාටින් කියපු කතාව ග්‍රීකන්ගේ ආගමික විශ්වාසයක් පමණයි. හේරා, සියුස් සහ හර්කියුලිස්ගේ කතාන්දරය ටිකක් දිග එකක්. ඒක ඔයාලට කියන්න හොඳම කෙනා තමයි මධූ. හරි දැන් ආපහු අපේ කතාවට හැරෙමු.

ක්‍රි. පූ. 776 දී ආරම්භ වුනු ඔලිම්පික් උත්සවය නොකඩවා අවුරුදු 4 න් 4 ට අවු. 1100 ක් පමණ පැවතෙනවා. මේ අවු. 4 ක කාලය ඔවුන් හැඳින්වුවේ "ඔලිම්පියාඩ්" එකක් විදිහට. ඔවුන්ගේ නක්ෂත්‍රය පවා සැකසුනේ එය මුල් කරගෙන. ක්‍රි. පූ. 146 දී රෝමය විසින් ග්‍රීසිය යටත් කරගත්තාට පස්සේ ඔලිම්පික් උත්සවය රෝමයට ගෙන යනවා. එයින් පස්සේ තමයි ග්‍රීසිය හැරෙන්න අනෙක් රටවල් මේ උත්සවයට සහභාගී වීම අරඹන්නේ. ක්‍රි. ව. 393 දී තියඩෝසියස් නම් රෝම අධිරාජයා විසින් ඔලිම්පික් උත්සවය තහනම් කරන්නේ රෝමය ක්‍රිස්තියානිකරණය වීමේ ප්‍රතිඵලයක් විදියට. එහෙම කරේ මොන හේතුවකටද කියලානම් මම දන්නේ නැහැ (ප. ලි බලන්න). එතනින් තමයි පුරාණ ඔලිම්පික් යුගය අවසන් වෙන්නේ.

                                                     ~~~~~~~~~~~~~~~~~

දැන් අපි බලමු නූතන ඔලිම්පික් ආරම්භ වෙන්නේ කවදද? කොහොමද? කියලා. 19 වන සියවසේදී කිහිප විටක්ම ඔලිම්පික් ක්‍රීඩා නැවත ස්ථාපිත කරන්න ප්‍රංශය මූලික තවත් අය උත්සාහ ගත්තත් එය අසාර්ථක වෙනවා. අවසානයේ, 1894 දී "බාරොන් පියරේ" නම් ප්‍රංශ ජාතිකයෙක් සමත් වෙනවා අන්තර්ජාතික ඔලිම්පික් කොන්ග්‍රසය (InternationalOlympic Committee - IOC) පිහිටුවා නැවතත් ඔලිම්පික් ස්ථාපිත කරන්න.

මෙහි ප්‍රතිඵලයක් විදියට 1896 දී ප්‍රථම නූතන ඔලිම්පික් උත්සවය පැවැත්වෙනවා. ඒ කොහෙද කියලා හිතන්න පුළුවන්ද? ඔලිම්පික් නිජබිම වුනු ග්‍රීසියේ. ඒ සඳහා ග්‍රීසිය ඇරෙන්න වෙනත් සුදුසු තැනක් තියනවද? අදට උනත් සමාරභක උත්සව වල ක්‍රීඩකයින්ගේ පෙළපාලියේ මුල්ම ස්ථානය හිමි වෙන්නේත්  ග්‍රීසියට. "ඇතන්ස්" නුවර පැනතිනයිකෝ නම් ක්‍රීඩාගාරයේ සමාරම්භක උත්සවය පැවැත්වුණු හැටි තමයි මේ තියෙන්නේ.



මේ උත්සවය සඳහා රටවල් 13 කින් ක්‍රීඩකයින් 250 ක් පමණ සහභාගී වෙලා තියනවා. එහිදී මුල්ම තරඟය ජයග්‍රහණය කරලා තියෙන්නේ "ජේම්ස් කොනොලි" නම් ඇමරිකානුවෙක්. ඉතින් ඒ වෙද්දීත් ක්‍රීඩිකාවන්නම් ඉඳලා නැහැ. කාන්තාවන්ට ඔලිම්පික් සඳහා සහභාගී වෙන්න අවස්තාව ලැබිලා තියෙන්නේ 1900 දී පැරිසියේ පැවැත්වුණු උත්සවයේදී. ඉතින් ඔය විදියට ආරම්භ වුන නූතන ඔලිම්පික් තමයි අද දවස වෙනකන්ම පැවතෙන්නේ.

දැන් අපි කතා කරන්න යන්නේ මේ ඔලිම්පික් හා සම්බන්ධ ලස්සන සම්ප්‍රදායයන් හා සංකේත කිහිපයක් ගැන.

මුලින්ම "ඔලිම්පික් ලාංඡනය" සහ ධජය. ධජය ගැන කිව්වම  ලාංඡනය ගැනත් ඉබේම කියවෙනවා. සුදු පැහැ පසුබිමක වර්ණ පහකින් රවුම් පහක් දැක්වෙන්නේ මහාද්වීප 5 නියෝජනය කිරීමට. දැන් කවුරුහරි අහවි "ඈ බොලේ මේ ලෝකේ මහාද්වීප 7 ක් තියනවා නේද කියලා". 7 ක් තියනවා තමයි. හැබැයි ඇන්ටාක්ටිකාවේ මිනිස්සු නැහැ. ඉතින් ඔලිම්පික් එන්න කවුරුත් නැහැ. ඊ ලඟට උතුරු සහ දකුණු ඇමරිකාව සැළකෙන්නේ එකක් විදියට. පාට 5 බෙදලා තියෙන්නේ මෙහෙමයි.

නිල් - යුරෝපය
කළු - අප්‍රිකාව
රතු - ඇමරිකාව
කහ - ආසියාව
කොළ - ඔස්ට්‍රේලියාව


මේ රවුම් පහ එකිනෙකට පටලවලා තියෙන්නේ බැඳීම එහෙම නැත්නම් සහයෝගය පෙන්නුම් කරන්නලු. සමාරම්භක උත්සවයේ ධජය ඔසවන වෙලාවේ ඔලිම්පික් තේමා ගීතය ගායනා කරනු ලබනවා. ග්‍රීක බසින් ලියවුනු ගීතයේ ඉංග්‍රීසි පරිවර්තනයකුත් තියෙනවා.

ඊ ලඟට තමයි ලස්සනම එක. ඔලිම්පික් පහන සහ පන්දම් ගෙන ඒමේ සම්ප්‍රදාය. මේකට ආභාෂය ලැබෙන්නෙත් පැරණි ග්‍රීක සම්ප්‍රදායකින්. ඔලිම්පියා වල පැරණි ඔලිම්පික් ක්‍රීඩා පවත්වන විට ග්‍රීකන්ගේ සිරිතක් තිබුණලු ක්‍රීඩා පවත්වන කාලය පුරාවට "හෙස්ටියා" සහ "ඇතීනා" දෙවඟනන් වෙනුවෙන් ඔවුන්ගේ අල්තාර මත ගින්දර දල්වා තබන්න. ඇතීනා දෙවඟනගේ අල්තාරය දැල්වීමට ගින්දර රැගෙන ආවේ කිලෝ මීටර් ගණනක් ඈතින් පිහිටි ප්‍රොමිතියස් දෙවියාගේ (මිනිසා මැවූයේ මොහු යයි සැලකෙනවා) දේවස්ථානයේ සිට. මේ ක්‍රියාව සංකේතවත් කිරීම සඳහා  1928 දී නෙදර්ලන්තයේ පැවතී ඔලිම්පික් උත්සවයේදී ඔලිම්පික් පහනක් දල්වනු ලබනවා. ඒත් මෙය සම්ප්‍රදායක් විදිහට පවත්වාගෙන යන්න තීරණය කරන්නේ 1936 දී. මේ තියෙන්නේ එදා ජර්මනියේ පහන දල්වපු හැටි.





ඔලිම්පික් වීරයන් කිහිප දෙනෙක්ගේ අතින් ඔලිම්පික් පහන දක්වා පැමිණෙන මේ ඔලිම්පික් ගිනි සිළුව සැබවින්ම උපදින්නේ ග්‍රීසියේ කියලා ඔබ දන්නවාද? ඔව්, ඔලිම්පික් ගිනි සිළුව බිහි වෙන්නේ ග්‍රීසියේ ඔලිම්පියා වල (ක්‍රි. පූ. 776 දී ඔලිම්පික් පැවැත්වුණු ස්ථානයේ). හරියටම කිව්වොත්  හේරා දෙවඟනගේ දේවස්ථානය අභියස. ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. පුරාණ ග්‍රීක සම්ප්‍රදායික ඇඳුමින් සැරසුණු ග්‍රීක කන්‍යාවන් කණ්ඩායමක් විසින් මුල්ම ගිනි සිළුව දල්වනවා. ඒකට යොදා ගන්නේ ලයිටරයක්වත් ගිනි ගලක්වත් නෙමෙයි. සූර්ය කිරණ. පරාවලීය කණ්නාඩියක් යොදාගෙන සූර්ය කිරණ නාභිගත කරලා තමයි ඒ ගිනි සිළුව ලබා ගන්නේ.


හේරා දේවස්ථානය ඉදිරිපිටදී දල්වන මේ ගිනි සිළුව මේ කාන්තාවන් විසින් රැගෙන එනවා ඒ අසළ ඇති ක්‍රීඩාගාරය ලඟට (ඉපැරණි ඔලිම්පික් තරඟ පැවැත්වුණු ස්ථානය). එතැනදී තමයි මුල්ම පන්දම් කරුගේ පන්දම අර ගිනි සිළුවෙන් දල්වන්නේ. ඉන් පස්සේ පන්දම් කරුවන් සිය ගණනක් අතින් අතට මාරු වෙවී මේ ගිනි සිළුව ග්‍රීසිය වටා ගොස් අවසානයේ ඇතන්ස් නුවර  පැනතිනයිකෝ ක්‍රීඩාගාරයට පැමිණෙනවා (මතක ඇතිනේ...මේ තමයි මුල් වරට නූතන ඔලිම්පික් පැවැත්වුණු ස්ථානය). මෙහිදී තමයි ග්‍රීසිය විසින් ඒ අවුරුද්දේ ඔලිම්පික් පවත්වන රටට ගිනි සිළුව බාර දෙන්නේ. ඒකටත් අර කලින් කියපු කන්‍යාවන් පිරිසම සහභාගී වෙනවා. ඉන් පස්සේ ඒක තමන්ගේ රටට ගෙනියන විදිය තීරණය කරන්නේ ඔවුන්. ගමන් මාර්ගයට ගුවන් ගමන්  ඇතුලත් වෙනවානම් ගිනි සිළුව ගෙනියන්න විශේෂ ලාම්පුවක් තියනවා. ඉතින් මේ ගිනි සිළුවේ ගමන් මාර්ගයෙන් අපි දන්නේ බොහොම ටිකයි. සමාරම්භක උළෙලේ දී දල්වන ඔලිම්පික් පහන නිමා කිරීමේ උළෙලේ දී නිවා දමන තෙක්ම නොනිවී දැල්වෙනවා.

මෙවර ලන්ඩන් හි පැවැත්වෙන ඔලිම්පික් උත්සවය සඳහා ඔලිම්පියා හිදී ගිනි සිළුව දල්වපු විදිහ මේ වීඩියෝවෙන් බලාගන්න පුළුවන්.



ඔන්න ඔහොමයි එහෙනම් ඔලිම්පික් ගැන කතාව. ලිපිය ටිකක් දිග වැඩිද මන්දා. ඒත් මේ විස්තර එකක් හරි මග අරින එක මේ තරම් ලස්සන ඔලිම්පික් සම්ප්‍රදායට කරන අසාධාරණයක් කියලා මට හිතුණා.



ප. ලි. තියඩෝසියස් අධිරාජයා ඔලිම්පික් තහනම් කළේ, සියුස් දෙවියා වෙනුවෙන් පවත්වපු ක්‍රීඩා උත්සවයට ක්‍රිස්තියානින් අකමැති වුනු නිසා වෙන්න ඇති කියලා හරී පහලින් අදහස් දක්වලා තියනවා. 

75 comments:

  1. අද පාඩම ඔලිම්පික්... හරිම දිග වුණත් රසවත්!

    ReplyDelete
  2. මහද්වීප ගණනාවක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සිහිනයේ මුදුන් මල්කඩ ඔලිම්පික්..පොඩි කාලේ ඉඳන් එයාලා තමන්ගේ මහන්සිය කැප කරන්නෙ මේ සිහිනය හැබෑ කරගන්න..

    ස්තුතියි සයුරි..නොදැන සිටි බොහෝ දේවල් දැනගත්තා..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව් රූ...පොඩි කාලේ ඉඳලම ගොඩක් අය ඔලිම්පික් වලට සූදානම් වෙනවා...

      Delete
  3. ග්‍රීසයේ මැරතන් ඇති වෙච්ච හැටිත් මරු.
    ඒක වෙන්නේ ග්‍රීක ජාතිකයින් පර්සියානුවනුත් එක්ක යුද්ධ කරනවා. ඒ යුද්ධය තියෙන්නේ 'මැරතන්' කියන නගරයේ.. කොහොමින් කොහොම හරි ග්‍රීකයෝ යුද්ධය දිනනවා. ඊට පස්සේ මේ සතුටුදායක ආරංචිය ඇතෑන්ස් වලට අරගෙන යනවා.

    ඒ පණිවිඩය අරගෙන යන්නේ ප්ඩිපස් කියන හමුදා සෙබලා. ඒකා දුවගෙන යනවා ඇතෑන්ස් වලට හරියටම දුර කිව්වොත් කිලෝමීටර් 42.195 ක් !!!

    කොහොමහරි ඇතෑන්ස් වලට ඇවිත් පණිවිඩේ බාර දීලා මැරිලා වැටෙනවා.

    තමන්ට පවරපු රාජකාරියක් දිවි දෙවෙනිකොට අකුරට ඉටු කරපු මේ හමුදා සෙබලට ගරු කිරීමක් වශයෙන් අදටත් ඔලිම්පික් මැරතන් එකේ දුරකිලෝමීටර් 42.195ක් කරලා තියෙනවා.

    මේන් බලන්න දුරවල් ටික...

    (දුරවල් කිලෝමීටර් වලින්...)

    Athens (1896) 40
    Paris (1900) 40.26
    St Louis (1904) 40
    Athens (1906) 41.86
    London (1908) 42.195
    Stockholm (1912) 40.2
    Antwerp (1920) 42.75
    Paris (1924) 42.195

    වැඩිය ඕනැන්නේ නෑ මෙදාපාර ඔලිම්පික් මැරතන් එකත් කිලෝමීටර් 42.195ක් දුවනවා. ඒ එකපාර නෙමෙයි .. කොටස් හතරකටකට !!!!

    1 x කි මි 3.571
    3 x කිමි 12.875
    මට මේ ලිපිය කියෙව්වම හොයන්ඩ හිතුන දේ...
    ජය වේවා
    සුබ දවසක් !!!

    ReplyDelete
    Replies
    1. ප්ඩිපස් නෙමෙයි බන්.. පොයිඩ්පීඩ්ස්.. 7වසරෙ අච්චු පොතේ තිබ්බෙ එහෙමයි..

      Delete
    2. ආහ් සොරි මචං... මට ඔය ග්‍රීක නම් කියෝ ගන්න හෙන අමාරුයි..
      නම තිබ්බේ මෙන්න මෙහෙම Pheidippides !! හික්ස් :)

      Delete
    3. @හරී :
      ඒක නෙමේ සුදු පුතේඉ.. උබයි මායි ඉගෙන ගත්තේ එකම සිලබස් එකද ? අපට ඕවා ඉගැන්නුවේ නෑනේ.. කොතන හරි වැරැද්දක් තියෙනවා... :)

      Delete
    4. @ මධුරංග,

      මම දන්නේ කොහොමද කළු පුතේ, උඹයි මායි හිටියෙ එක පන්තියෙයැ?

      Delete
    5. සුදු පුතේ සහ කළු පුතේ, මටත් ඔය කතාව ඉස්කෝලේ කාලේදී ඇහුවා මතකයි. හැබැයි අච්චු පොතේ තිබුනද කියලනම් මතක නෑ.

      එතකොට අර රටවල් වෙනස් වෙනස් කිලෝ මීටර් ගණන් නේද දුවලා තියෙන්නේ? එතකොට සම්ප්‍රදායට විරුද්දයි නේද? නැත්නම් මට ඒ ටික තේරිලා නැහැ.

      මේ මේ සුබ දවසක් කියලා හරි යන්නේ නැහැ. අපිට හරිකියුලිස් ගේ කතාව ඕන හරිද?

      Delete
    6. ඒක නම් මටත් පුදුමයි... ඒක සත්කාරක රටවල් අනුව වෙනස් උනාද මන්දා. මොනා උනත් ආසන්න වශයෙන් සමානවම අරගෙන වගේ.

      ඔයාට කතාව තේරිලා තියෙනවා. මට තියෙන ප්‍රශ්නේ ඔයාටත් ඇවිදින්.. හික්ස් :)

      Delete
    7. එහෙනම් කමක් නෑ ඉතින් :)

      Delete
    8. @ සයුරි,

      පෞර රාජ්‍යය ගැන ඉගැන්වුවා මතක නැද්ද?

      Delete
    9. නෑ නේ අප්පා. ඒ කාලේ මට ඉතිහාසේ අරහං

      Delete
  4. "ක්‍රි. ව. 393 දී තිඩෝසියස් නම් බිෂොප් තුමා විසින් ඔලිම්පික් උත්සවය තහනම් කරනවා." තියොඩෝසියස් රෝම ඇදිරාජ්‍යයෙක් මිසක් බිශොප් කෙනෙක් නෙමෙයි නේද?

    http://en.wikipedia.ඔර්ග්/විකි/ථෙඔඩොසිඋස්_ඓ

    ඔය විස්තරේ හැටියට තියොඩෝසියස් ක්‍රිස්තියානි කාරයෙක්. ග්‍රීක දෙවියන්ට ගෞරවයක් විදිහට පවත්වන ඔලිම්පික් මිත්‍යා විශ්වාසයක් කියලා හිතලා වෙන්න ඇති තහනම් කරන්න ඇත්තෙ.

    ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. http://en.wikipedia.org/wiki/Theodosius_I

      Delete
    2. හපොයි ලොකු වැරදීමක් වෙලා. ඕක නිවැරදි වෙන්න ඕනේ "මලෝන් හි බිෂොප් තුමාගේ උපදෙස් මත තියොඩෝසියස් අධිරාජයා ඒක තහනම් කළා කියලා. දැන්ම හදන්නම්. ඔව් ඒ ක්‍රිස්තියානිකරණයේ ප්‍රතිඵලයක් තමයි ඒක..තෑන්ක්ස් හොඳේ..

      Delete
  5. මට මේක කියවපුවම ග්‍රීක දේව කතා ගැන කියවන්ඩ ආසවක් ඇති වුනා. පහනෙ කතාවනම් මරු.. ඕක කොච්චර කාලෙකට කලින්ද ග්‍රීසියේදි දල්වන්නෙ කියලා දන්වද සයුරි මිස් ? හරි පුදුමයි ඒක නොනිවී පවත්ව ගන්නවා කියන එක..

    ReplyDelete
    Replies
    1. ග්‍රීක දේව කතා හරිම ලස්සනයි. ඔලිම්පියාවලදී ගින්දර දල්වන්නේ ඔලිම්පික් උත්සවය පටන්ගන්න මාසෙකට විතර කලින්. ඒ මාසය ඇතුලත ගිනි සිළුව නියමිත රටට අරන් එනවා. ඒක ඇහුවම මටත් පුදුම හිතුනා.

      Delete
  6. දිග වුනත් යාළු ගොඩාක් හොඳ ලිපියක්...හැබැයි මොනා වුනත් මිනීමැරුමක් සමරන්න නේ ඔලිම්පික් පටන් අරන් තියෙන්නේ.. හ්ම්ම්.. බලමුකො ඒකෙත් හැටි.. දෙවිවරු හින්දා හොඳයි.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රෙඩ්. හ්ම්ම්..ඔව්, හැම තැනකම වගේ ලේ සෙලවීමක් මුල් වෙනවා ඔය වගේ වැඩකට. ඒත් ඒ වංචාකාරයෙක් මරපු එක මිනීමැරීමකට වඩා ජයග්‍රහණයක්‌ හැටියටයි ඔවුන් පිළිගන්නේ. අපේ මිනිස්සු කරන එව්වගේ හැටියට දෙවිවරු ටිකක් සාධාරණයි වගේ නේද? :)

      Delete
  7. ස්තූතියි සයුරි, හොඳ ලිපියක්. ඔලිම්පික් කියන්නෙ කොච්චර කියෙව්වත් එපා නොවෙන මාතෘකාවක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි DDT. මටත් මේ මාතෘකාව නම් එපා වෙන්නෙම නැහැ.

      Delete
  8. වටිනම ලිපියක් අප්පා...ලොකු දුවගේ ඉස්කෝලෙට ඔලිම්පික් එක ගැන ලිපියක් හදාගෙන එන්න කියලා...මේක එහෙ මෙහෙ දාලා ප්‍රින්ට් කරලා දෙනවා...බොහෝම ස්තූතියි නැන්දේ.....

    ReplyDelete
    Replies
    1. ඔන්න බලන්න ඉතින් තාත්තලා දෙන ආදර්ශ. :) අඩේ ඔයාගේ දුව ඉස්කෝලෙත් යනවද? මරුනේ...මම හිතුවේ තාම සුට්ටි එකෙක් කියලා.

      Delete
    2. ලොකු දරුවා 3, අනික් එක්කෙනා 1...හික් හික් මම ඉස්කෝලෙට යනකොට උගන්නගෙන යන්නේ අයියා කියලා කථා කරන්න කියලා.....
      අනේ තරහා අවසර...ඔන්න මම මේ පෝස්ට් එකෙන් කෑලි අරගෙන ඉස්කෝලෙට ලිපියක් හදනවා හොඳේ.....

      Delete
    3. හලේ...සෑහෙන ලොකුයිනේ..නියමයි

      //මම ඉස්කෝලෙට යනකොට උගන්නගෙන යන්නේ අයියා කියලා කථා කරන්න කියලා//

      හපෝ ඔයා අයියා වගේද පේන්නේ. හික් හික්.. හරි හරි ලිපියක් බැරිනම් ලිපි 10 ක් ලියන්ටකෝ...

      Delete
  9. //ඒත් මේ විස්තර එකක් හරි මග අරින එක මේ තරම් ලස්සන ඔලිම්පික් සම්ප්‍රදායට කරන අසාධාරණයක් කියලා මට හිතුණා.//

    සම්පූර්ණ ඇත්ත. බොහොම වටිනා විස්තරයක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට...

      Delete
  10. වැදගත් ලිපියක්...

    ජය !

    ReplyDelete
  11. ග්‍රීක කතාවලට මම කොහොමත් ආසයි ගොඩක්. ඔලිම්පික් ගැන විස්‌තරේ බොහොම වටිනවා. ඒ වගේම පින්තුර ටිකත් වටිනවා. ගොඩක් ස්තුතියි අක්කේ මහන්සි වෙලා අපිට තොරතුරු දැනගන්න සැලස්සුවට.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...ග්‍රීක කතා පුදුමාකාර ලස්සනයි නේද?. බොහොම ස්තුතියි මල්ලි.

      Delete
  12. ගොඩක් දේවල් ඉගන ගත්තා..ස්තූතියි ඈ..

    ReplyDelete
  13. දිග වුනාට හරිම රසවත් අක්කේ. කොච්චර දේවල් දැන ගත්තද මේකෙන්

    ReplyDelete
    Replies
    1. මම බයේ හිටියේ, දිග වැඩි හින්දා කම්මැලි වෙයි කියලා :)

      Delete
  14. වටිනා ලිපියක්...ක්‍රීඩා තරඟ යද්දීම දාපු එක හොඳයි. බලද්දි, ඔයාගේ පෝස්ටුව මතක් වෙනවා...:)

    ReplyDelete
    Replies
    1. මේවයේ තේරුම් දැනගත්තට පස්සේ ඔලිම්පික් බලන්න වැඩියෙන් ආස හිතෙනවා නේද :)

      Delete
  15. ඔලිම්පික් ඉතිහාසය පත අට එකට සිඳවා පෙරා අපුර්ව ආකාරයෙන් ලියලා තියෙනවා. මේ වගේ ලිපිවල වටිනාකම කාලිනයි. ආයෙ ඔලිම්පික් නාලය පහු වුණාම මේවගේ ලිපියක් පළකරන එකේ තේරුමක් නැහැ. ඒ නිසා මේ යුගයට හොඳයි.

    ඔලිම්පික් ඉතිහාසය ඒකියන්නේ ක්‍රි.පූ. 776 කියන්නේ බුදුන් වහන්සේ ලොව පහළ වීමටත් වසර සියයකට විතර කලින්නේද?..

    ඉතිහාසයේ සදහන් නොවුනත් බුදුන්වහන්සේ වැඩහිටි යුගයෙත් ඔලිම්පික් තරග තිබිල තියෙන බව පේනවා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ. තව අවුරුදු 4 ක් යනකන් ආපහු ඔලිම්පික් නැහැ. ඉතින් ලහි ලහියේ පෝස්ට් එක දැම්මා. ඇත්තටම එහෙම බලනකොට බුදුන් වහන්සේගේ කාලයේත් ඔලිම්පික් තිබිලා තියනවා තමා. එච්චරට පරණයි. බොහොම ස්තුතියි ඔබේ කමෙන්ටුවට.

      Delete
  16. ආගමීක උත්සවයක් විදියට පැවැත්වුනු පැරණි ඔලිම්පික් උළෙල ක්‍රි.පූ. 776 ඉඳන් ක්‍රි.ව. 393 දක්වා අවුරුදු 1169 තිස්සේ පැවැත්විලා තියෙනවා. එක උළෙලක ඉඳන් පසළොස්වක 51 ක් නැත්තම් පූර්ණ චන්ද්‍රයන් 51 කින් පස්සෙ උදාවෙන පසොළොස්වක දිනයේදී ඊලඟ උළෙල ආරම්ච වෙලා තියෙනවා. ඉස්සර උළෙලවල් දෙකක් අතර කාලය අවුරුදු හතරක් විදියට ගණන් අරගෙන තියෙන්නෙ එහෙමලු.

    ReplyDelete
    Replies
    1. //එක උළෙලක ඉඳන් පසළොස්වක 51 ක් නැත්තම් පූර්ණ චන්ද්‍රයන් 51 කින් පස්සෙ උදාවෙන පසොළොස්වක දිනයේදී ඊලඟ උළෙල ආරම්ච වෙලා තියෙනවා.//

      ස්තුතියි ලිහිණි විස්තරේට. මේකට 51 කියන එක තීරණයේ කරේ ඇයි කියලත් දන්නවනම් කියන්න.

      Delete
  17. නියම පෝස්ට් එකක්.. කලින් දාපු පෝස්ට් එකක් කෙටි වැඩී කියලා කට්ටිය කිව්ව නිසාද මන්දා ටිකක් දිග වුනේ. හැබැයි ලිපිය කියවනකොට නම් දිගයි කියලා හිතුනෙන නෑ එක හුස්මටම කියවන් ගියා... අපි ඔලිම්පිම් බැලුවට මේ තරම් විස්තරයක් දැනගෙන හිටියේ නෑනෙ

    ReplyDelete
    Replies
    1. ඒකනේ අනේ කලින් එක හොඳටම කොටයි කියලා හැමෝම කිව්වා. ඔන්න ඒකටත් එක්ක හරියන්න දිග එකක් දැම්මා :) කම්මැලි නැත්නම් ඒ ඇති.

      Delete
  18. ආ තව දෙයක් මතක් උනා... 1896 දී නූතන ඔලිම්පික් උළෙලේ පියා කියන විරුදාවලියෙන් හදුන්වන ලබන පියරේ ඩී. කොබර්ටීන් 1938 දී මිය යනවා. ඔහුගේ සිරුර ස්විස්ටර්ලන්තයේ ලෝසාන් හිදී මිහිදන් කලත් පියරේගේ අවසන් ඉල්ලිම පරිදි සිරුරින් වෙන් කෙරුන හදවත ග්‍රීසියේ පැරණි ඔලිම්පියා ක්‍රීඩාංගනයේ විසල් කුළුණක් පාමුල තැම්පත් කලාලු. ඒ පියරේ ඔලිම්පික් උළෙල කෙරෙහි දක්වපු උනන්දුව , ආදරය හා කැපවීමට ගෞරව කරන්නලු

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්, ඔය පියරේ නිසා තමයි අද ඔලිම්පික් පැවැත්වෙන්නේ. ඒකට හෙන සටනක් කරන්න උනාලු ඔහුට. හදවත මිහිදන් කරපු කතාව අදමයි ඇහුවේ. හරිම සිත් ගන්නා සුළුයි.

      Delete
  19. (InternationalOlympic Committee - IOC
    අපේ රටෙත් තියෙන්නේ IOC ෂෙඩ්..

    ගොඩාක් විස්තර දැනගත්තා තැනින් තැනින් දැනගෙන හිටපු විස්තර අද එක පෙලට දැනගත්තේ.

    වටිනාකම විස්තර කරන්න බැහැ
    ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. " IOC ෂෙඩ්" :))

      බොහොම සතුටුයි මේකෙන් වැඩක් උනානම්

      Delete
  20. අයියෝ...ළිහිණි ව දැන් සයුරි මේ පැත්තෙන් එලවනවා කියලා නම් ෂුවර්...:P
    ඒත් කමක් නෑ මේ ටිකත් කියන්නම ඕනෙ.
    පළමුවෙන් පැවැත්තුන නූතන ඔලිම්පික් උළෙලට සහභාගි වෙලා තියෙන සහ එදා මෙදා අතර සහභාගි උන ලාබාලම ක්‍රීඩකය විදියට සටහන් වෙන්නේ 1896 දී ජිම්නාස්ටික් ක්‍රීඩාවට සහභාගි උන අවුරුදු දහයක් වයස ග්‍රීසියේ දිමිත්‍රියෝස් ලොන්ඩ්‍රාස් කියන කෙනාලු. ඒ වගේම නූතන උළෙලකට සහභාගි උන වයස්ගතම කෙනා ස්වීඩනයේ ඔස්කාර් ස්වෝන්ග් කියන කෙනාලු. ඒ වෙනකොට ඔස්කාර්ගේ වයස අවුරුදු 72 ක් ලු. 1920 දී පැවැත්වුනු ඔලිම්පික් තරඟයකදී දුවන මුවෙකුට වෙඩි දෙකක් තැබීමේ ඉසව්වට සහභාගී වෙලා රන් පදක්කම් දෙකක් දිනා ගත්තලු

    The oldest medalist at a Summer Games was Swedish shooter Oscar Swahn, who was 72 when he won a silver medal at the 1920 Antwerp Games, according to the IOC.

    ReplyDelete
    Replies
    1. පිස්සුද ලිහිණි? එහෙමත් එළවනවද :) මෙහෙම උනන්දුව තියන අය එලවනවට වඩා මමනම් කැමති වැඩි වැඩියෙන් ගෙන්න ගන්න. මේකට හරවත් විස්තර එකතු කරනවට ඔයාට ගොඩක්ම ස්තුතියි.

      Delete
  21. නියම විස්තරයක් නේ
    අදමයි ඔය පහන ගැන ඔහොම විස්තරයක් ඇහුවේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතිය් පුබුදු. පහනේ කතාවනම් පුදුමයි නේද..

      Delete
  22. වැදගත් තොරතුරු ටිකක් ලොකු අක්කේ.. ඉතිහාසේ ගැන ටිකක් වගේ දැනන් හිටියා ඒත් දෙවඟනන්ගේ සම්බන්දේ සමහර තොරතුරු නම් අළුත්...

    හැමදාම එක උන මට දැන් හිමි තැන.. දුකේ බෑ අෆ්ෆා... :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලොකු මල්ලි :)

      ඒම තමා ඉතින් වැඩ වැඩි වෙනකොට නේද...හිහි

      Delete
  23. හෆ්ෆා.. මගෙනම් දැනුම අන්තිමයි.. මේ ලිපිය කියෙව්වාමයි ඒක තේරුනෙත්.. මම අර වලලු 5 පාටවල් වලින් පෙනන රටවල් ටික දැනගෙන උන්නෙවත් නෑනෙ...

    ReplyDelete
    Replies
    1. ඒක හරි ප්‍රසිද්ධයිනෙ හිතූ..!!

      Delete
    2. දැන් දන්නවනේ අනේ...ඒ ඇති හොඳටම :)

      Delete
  24. මං නං පහන් යායට අළුත්. ඒකට මොකද? ලංකාවට මං අවුරුදු විසි ගානක් පරණයිනේ. ගොඩක් හොඳ පෝස්ට් එකක්.නොදන්න තොරතුරු ගොඩක් දැනගත්තා. මගේ සුභපැතුම්.....

    ReplyDelete
    Replies
    1. අලුත් මල්ලිව සාදරයෙන් පිලිගන්නවා එහෙනම් පහන්යායට...:) ස්තුතියි මේ පැත්තේ ඇවිත් අදහසක් දීලා ගියාට. ආපහු එන්න...

      Delete
  25. ඊ.... ඒ කියන්නෙ අප මහා බුදු රජාණන්වහන්සේ මේ ලෝකෙට පහල වෙනකොටත් එහේ ඔලිම්පික්... මාලයි ඈ.. එතකොට දුටුගැමුණු රජතුමා එළාර රජතුමත් එක්ක යුද්ධ කරනකොටත් එහේ ඔලිම්පික්, පරාක්‍රම සමුද්‍රය කපනකොටත් එහේ ඔලිම්පික්, සීගිරි චිත්‍ර අඳිනකොටත් එහේ ඔලිම්පික්.. මාලම මාලයි ඈ... මම දැනං උන්නෙ නෑනෙ ඔලිම්පික් ඔච්චර නාකියි කියල. ඔච්චර නාකි වෙලත් පරණ චාරිත්‍ර එහෙම්මම කරන එක නං සතුටුයි, ඒකෙ තියෙනව අමුතුම ගතියක්. මේ වීඩියෝ එකේ පහන පත්තු කරන කොටසේ උනත් අමුතුම ගාම්භීර බවත් තියෙනව. හැබැයි අර ග්‍රීක අක්කගෙ කටහඬ නං ටිකක් දරුණු වැඩිද මන්ද, කෑ ගහපු පාරට පුටුවෙනුත් නැගිට්ටුනා.. :P :D :D හැක්..හැක්.. පොඩි පස්නයක් තියෙනව සයුරි අක්කේ, අතර මගදි අර පන්දම නිවුනොත් මොකද කරන්නෙ, මම කිව්වෙ අදාල රටට ගෙනියන අතරතුරදි. නිවෙන්නෑ කිව්වට නිවෙන්න පුළුවන් සම්භාවිතවකුත් ඇති නේද..? ශේප් එකේ කාටවත් නොපෙනෙන්න පැත්තකට ගිහිල්ල පත්තු කරගන්නවද දන්නෑ නේ...? :D :D හැමදාමත් වගේ පෝස්ට් එක නම් මරු, මේවගේ දෙයක් දැන ගත්තොත් ඉතිං සයුරි අක්කගෙ සිංහල ඩිස්කවරි චැනල් එකෙන් තමා.. :))) ජය ශ්‍රී හොඳේ...!!
    ප.ලි. හැමදාම ට්‍රයි කරනව #1 කොමෙන්ටුව දාන්න, ඒත් හැමදාම #maximumValue කොමෙන්ටුව තමා වැටෙන්නෙ, සිකේ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්...අනාදිමත් කාලෙක ඉඳලා එහෙ ඔලිම්පික් තිබිලා. මරු නේද?

      //ඔච්චර නාකි වෙලත් පරණ චාරිත්‍ර එහෙම්මම කරන එක නං සතුටුයි, ඒකෙ තියෙනව අමුතුම ගතියක්.//

      අන්න ඒ ගතිය ගැන තමයි මාත් කියන්න හැදුවේ. ඒකෙ තියෙන්නේ අමුතුම ලස්සනක්. මගදී පන්දම නිවුනොත් එහෙම බැක්අප් එකකුත් තියාගෙන ඇති. මටත් ආපු ප්‍රශ්නයක් තමයි ඕක. චැනල් එකට ගොඩ වැදිලා යනවට බොහොම තැන්කු මන්ඩ්යා මල්ලි.

      Delete
  26. මටත් ඔලිම්පික් ගැන ලියන්න තොරතුරු වගයක් හෙව්වා....හොයාගන්න බැරි උනා..!
    ක්‍රීඩකයින් තමන්ගේ රටේ අභිමානය වෙනුවෙන්..තරඟයේදී තුවාලවෙලත්..සටන් කරන හැටි ගැන..!!

    ReplyDelete
    Replies
    1. ඔව් වී අයියේ...එහෙම ක්‍රීඩකයෝ ඉන්නවා තමා. තමන්ගේ රටට හරිම ආදරෙයි ඒ අය.

      Delete
  27. හප්පේ මම අන්තිම මේ පාරත්. හ්ම්ම්...:(
    නිවැරදි කිරීමක් කරන්න තියනවා. ප්‍රොමිතියස් කියන්නේ දෙවියෙක් නෙමෙයි. ඔහු මනුෂ්‍යයෙක්. ගින්දර හොයා ගත්තේ ඔහුයි. මේ සොයාගැනීම හින්ද දෙවියන්ගේ කෝපයට ලක්වෙන ප්‍රොමිතියස් ට මොකක්ද කලේ කියන එක මතක නැහැ. 1996 විතර පළකරපු මුතුහර සඟරා ටික ආපහු කියවන්න වෙනවා වගේ...
    මම මේ දවස් වල ඔලිම්පික් වල ඇපල් විකුණන හින්ද තමයි පරක්කු උනේ... හික් හික්

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඔයා නෙමෙයි අන්තිම :) ආහ් ප්‍රොමිතියස් කියන්නේ මනුෂ්‍යයෙක්ද? හැබැයි මෙහෙම කේස් එකක් තියනවනේ ඇපල්. මැටි වලින් අඹලා මිනිසා මැවුවේ මෙයාලු නේ. එතකොට එයා මිනිහෙක් වෙන්න බෑ නේද. මම කෝකටත් විකිපීඩියාවේ බැලුවා. ඒකෙ ඔහු හැඳින්වෙන්නේ "trickster" (දෙවියෙක්ට සමාන) කෙනෙක් හැටියට. හැබැයි මිනිසා මැවුවට පස්සේ ඔහු මිනිස්සුන්ගේ පැත්ත අරගෙන දෙවියන්ගෙන් ගින්දර හොරකම් කරලා මිනිස්සුන්ගේ පාවිච්චියට දුන්නලු. මේ ගැන තව ටිකක් හොයන්න වටිනවා :)

      බොහොම ස්තුතියි මේ කාරනාව මතු කරාට...ඇපල් බිස්නස් එක නැගලා යන්න ඇති නේද

      Delete
  28. හරිම ලස්සන විස්තරයක් සයුරි.... මමත් ගොඩක් දේවල් දැනගත්තා අලුතින්.... බොහොම ස්තුතියි... අර ගිනි සිළුවේ කතාවට මටත් පුදුම හිතුනා...

    ReplyDelete
    Replies
    1. හනේ මියුරු අක්කා කාලෙකට පස්සේ...ආපහු එහෙම අතුරුදහන් වෙනවා නෙමෙයි. පුදුම කම්මැලියෙක් වෙලානේ මෙයා...

      Delete
  29. හා හා හා හා අන්තිමෙදි දෑම්ම නේද sports ගෑන post එකක්........නියමාමාමාමාමාමාමායි!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් පුළු පුළුවන් විදියට මාත් ඉස්පෝර්ට් ගැන පොඩ්ඩක් ලිව්වා :) :ඩි තෑන්ක්ස් එල කොල්ලෝ.

      Delete
  30. සයුරි මිස්ගෙන් කාලින ඉතිහාස පාඩමක්.... :)))

    ReplyDelete
    Replies
    1. "කාලීන ඉතිහාසය" නියම වචනේ :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...