Saturday, August 16, 2014

Thee O Jerusalem

මේ ළඟදී බ්ලොග් අවකාශේ කට්ටිය සෑහෙන කතා කරානේ ඔය ඊශ්‍රායල් පලස්තීන ගැටුම ගැන. මටනම් ඕක මුලින්ම ඇහැ  ගැටුනේ අටම්ස් ගේ මෙන්න මේ පෝස්ටුවෙන්. පස්සේ ඒකෙ කමෙන්ට්ස් කියවගෙන යනකොට තමයි දැක්කේ ඒකෙ මුල් ලිපිය එළකිරියේ සියුස් ගේ කියලා. ඒ ලිපියේ නියම පින්තූර ටිකක් එහෙමත් තියනවා. ඒත් මමනම් අටම් හින්දා තමයි ඒක දැක්කේ. මම ඉතින් එළකිරිය අස්සේ රවුම් ගහන්නේ නැහැ නේ :)

කොහොමහරි ඔන්න ඒක කියෙව්වට පස්සේ තමයි මට මේ යුදෙව්වෝ  ගැන හොයන්න උණක් හැදුනේ. ඊට පස්සේ මට මතක් උනා අර හරී කියලා හරිම ඇක්ටිව් විදියට බ්ලොග් පෝස්ට් දාන එක්කෙනෙක් ඉන්නේ, අන්න එයා සෑහෙන කාලෙකට කලින් ලියපු පොරොන්දු වූ දේශය කරා කියන කතා මාලාව. අන්න ඒක මතක් උනාට පස්සේ අර හැදිච්ච උණ නිව්මෝනියාවට හැරුණා. ඉතින් මේ ගැන හොයලම මිස ගොඩ ඒමක් නැහැ.

ඔන්න එහෙනම් හරියගේ කතා මාලාවෙන් පටන් ගත්තා මුල සිට කියවන්න. හරී ඒ කතාව පටන් අරගෙන තිබුනේ ජාකොබ් කියලා මනුස්සයෙක්ගෙන්. එයාගෙන් ඊශ්‍රායෙල් ජාතිය බිහි වෙච්ච හැටි තමා කියලා තිබුනේ. ඒ ජාතිය බිහි උනේ ජාකොබ් ගේ සීයා වෙච්චේ ආබ්‍රහම් සහ දෙවියන් වහන්සේ අතර ඇති වුන ගිවිසුමකට අනුව කියලත් හරී කියලා තිබුණා. ආබ්‍රහම් කියන්නේ කාටවත් කරදරයක් නැතිව හොඳින් ජීවත් වෙච්ච මනුස්සයෙක් ලු. එයා වයසට යනකන්ම ඔහුටත් ඔහුගේ බිරිඳ  සාරා ටත් දරුවෙක් ලැබුනේ නැහැ ලු. ඉතින් මේකට හොඳටම හිතේ දුකෙන් ඉඳපු ආබ්‍රහම් දවසක් දෙවියන් වහන්සේට මොර ගැහුවලු නේ දරුවෙක් නෑ කියලා. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට ලු අර ගිවිසුම ඇති උනේ. ඒකට අනුව ආබ්‍රහම්ගෙන් මහා ජාතීන් බිහි කරනවා කියලා දෙවියන් පොරොන්දු උනාලු. ඒ ගිවිසුමට අනුව තමා එයාගෙන් පැවතෙන ජාතියේ අය අර "චර්මඡේදනය" කියන එක එහෙම කරන්නේ.



දරුවෙක් නැති කම හින්දා තමන්ගේ මනුස්සයා දුක් වෙන හැටි බලාගෙන ඉන්න බැරි හින්දාම  සාරා තමන්ගේ ඊජිප්තු සේවිකාව වන "හේගාර්" ව ආබ්‍රහම්ට පාවලා දෙනවා, මැය ගෙන් වත් දරුවෙක් ලබා ගන්න කියලා. ඉතින් හේගාර්ට ලැබුන දරුවා තමයි "ඉෂ්මයෙල්". මුස්ලිමුන් පැවතෙන්නේ ඉෂ්මයෙල් ගෙන් කියලයි කියන්නේ. ෆැමිලි ට්‍රී එකේ මේ අත්ත ගැන එච්චර හොයන්න බැරි වෙච්ච නිසා ඒ ගැනනම් වැඩිය කියන්න දන්නේ නැහැ. පස්සේ වෙලාවක ඒ ගැනත් හොයලා බලන්න ආසාවෙන් තමා ඉන්නේ.

කෝම හරි මේ ඉෂ්මයෙල් ලැබුනට පස්සේ ඔන්න සාරාටත් දරු ගැබක් පිහිටියා ලු. සාරාගෙන් ආබ්‍රහම්ට ලැබුණ දරුවා තමයි "ඊසාක්".   ඒ කියන්නේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු වූ දරුවා. පොරොන්දුව අනුව ඊශ්‍රායෙල් ජාතිය බිහි වෙන්නේ මොහු හරහා.






කොහොම උනත් තමන්ගේ සුජාත දරුවා ලැබෙන තුරු ඉවසීමෙන්, දෙවියන් කෙරෙහි විශ්වාසයෙන් නොඉඳ ආබ්‍රහම් අනියම් ආකාරයකින් දරුවෙක් ලබා ගැනීමේ විපාක ඔවුන් පසු පස්සේ අද වන තුරුත් එනවා කියලයි කියන්නේ. ඒ කියන්නේ ඊශ්‍රායෙල් පලස්තීන ගැටුම් ගැන.

එක ජාතියක් වෙනුවට එකම පියාගෙන් පැවතෙන ජාතීන් දෙකක් බිහි වීම (වෙනස් මව්වරුන්ගෙන් උනත්). ඒ ජාතීන් දෙක එකම ශුද්ධ වූ බිම් කඩකට උරුම කම් කියමින් ඇන කොටා ගැනීම. 

නොඉවසිල්ලේ ප්‍රතිවිපාක දැක්කා නේද? ඔන්න කවුරු කවුරුත් මීට පස්සේ ඉවසිල්ලෙන් වැඩ කරනවා හොඳයි මේ වගේ කාරණා සම්බන්ධව ;).

එතකොට ඊසාක් ගේ බාල පුතා තමයි ජාකොබ් කියන්නේ. එතන ඉඳන් ජාකොබ්ගේ දරුවන්ගෙන් ඊශ්‍රායෙල් ජාතිය බිහි වෙච්ච හැටිත් ඔවුන්ට ඔවුන්ගේ පොරොන්දු වූ දේශය වෙච්ච ඊශ්‍රායලය ලැබිච්ච හැටිත් (ඉස්සර නම් කානාන් දේශය) හරිම ලස්සනට හරී ලියලා තියනවා. ඔවුන් මිසරයේ පරම්පරා ගානක් වහල් කම් කරලා අන්තිමේ මෝසස්ගේ නායකත්වය යටතේ එයින් මිදිලා පොරොන්දු වූ දේශයට එන අතර මගදී දස පනත ලැබුන හැටි එහෙමත් ඒකෙ විස්තර කරලා තිබුණා.

ඉතින් එහෙමයි ඔවුන් කානාන් දේශයට ඇවිත් තමන්ගේම කියලා රටක් ගොඩ නගා ගන්න මුල් පියවර තිබ්බේ. ජාකොබ්ගේ පුත්තු දොළොස් දෙනාගෙන් ඇති වෙච්ච ගෝත්‍ර වලට වෙන වෙනම ඊශ්‍රායලයේ ප්‍රදේශ වෙන් කරලා ඒ ප්‍රදේශ පුතුන් ගේ නම් වලින් හඳුන්වපු හැටි හරී ගේ ලිපියේ විස්තර කරලා තිබුණා. ඒ ගෝත්‍ර දොළහෙන් එක ගෝත්‍රයක් තමා ජුදා ගෝත්‍රය. පැහැදිළි වෙන්නත් එක්ක අවසානයේ රට බෙදපු විදිහ දැක්වෙන සිතියම පහලින් දානවා.



කොහොම උනත් ඒ වෙද්දී බිලිඳු බිලි පූජා ආදිය පවත්වමින් ගෝත්‍රික දිවි පෙවෙතක් ගෙවපු කානාන්වරුන්ගේ දේශයට පිවිසෙන එක ඔවුන්ට එච්චර ලේසි උනේ නැහැ. කානාන්වරුන්ගේ තිබ්බ මේ ම්ලේච්ඡ ගති සිරිතුත් හේතුවක් උනාලු දෙවියන් වහන්සේ කානාන් දේශය ඊශ්‍රායෙල්වරුන්ට ලබා දෙන්න පොරොන්දු වෙන්න. කානාන් දේශයේ ජීවත් වෙච්ච හැම ජාතියක්ම වගේ මොවුන් එක්ක සටනට ආවා.

ඒ අතරවාරයේ තමයි ගෝත්‍ර දොළහෙම ඊශ්රායෙල්වරු එකතුවෙලා ඔවුන්ගේ පළමු රජු හැටියට "සාවුල්" පත් කරගන්නේ. ඔහු අර ගෝත්‍ර දොළහෙන් බෙන්ජමින් ගෝත්‍රයට තමා අයිති වෙන්නේ. මේ කාලයේදී පිලිස්තිවරු එක්ක ඇති වෙච්ච සටනකදී ගලායත් කියන යෝධයාව පරද්දපු පුංචි ඩේවිඩ් ගැන හරී ලියලා තියනවා දාවිත්ගේ ගල් පටිය කියන ලිපියේ.  ඒකත් රස කතාවක් තමා.

ඉතින් සාවුල් රජ්ජුරුවොන්ට බැරි වෙච්ච වැඩේ මේ ඩේවිඩ් කියන කොලු ගැටයා කරපු නිසා ඔහු වීරයෙක් බවට පත් වෙනවා වගේම සාවුල් ගෙන් පස්සේ රජ වෙන්නෙත් මේ ඩේවිඩ් එහෙම නැත්නම් දාවිත් තමා.  ඔහු අයත් වෙන්නේ ජුදා ගෝත්‍රයට. ජේසුස් වහන්සේත් මේ දාවිත්ගේ පරම්පරාවේ කෙනෙක් කියලයි කියන්නේ.




දැන් ඉතින් මේ වීර නායකත්වය යටතේ ඔවුන් සටන් ජයග්‍රහණය කරාට පස්සේ ඩේවිඩ් රජතුමාගේ එකම අභිප්‍රාය උනේ ගෝත්‍ර මානසිකත්වයෙන් මිදිලා ඊශ්රායලය එකම රටක්, ජාතියක් බවට පත් කරන එක.

ඒ සඳහා මුලින්ම ඔහු කළේ අගනගරය පිහිටුවන්න සුදුසු තැනක් බලන එක. කිසිම ගෝත්‍රයකට අයිති නොවෙන බිම් කඩක් ඒ සඳහා සුදුසුයි කියලා ඔහු හිතුවා. හරියට ඇමරිකාවේ වොෂින්ග්ටන් D . C . වගේ.  ඒ තමා බෙන්ජමින් ප්‍රදේශයත් ජුදා ප්‍රදේශයත් අතර මායිමේ පිහිටි "ජෙරුසෙලම".

ජෙරුසෙලමේ ඔවුන්ගේ ශුද්ධ වූ දේවස්ථානය (Holy temple එහෙම නැත්නම් Zion) ඉදි කරන්නේ ඩේවිඩ් ගේ පුතා වන "සොලමන්". ඒ ක්‍රි. පූ 957 දී. මෙය ඊශ්‍රායෙල්වරුන්ට ලෝකේ ඇති වැදගත්ම, පූජනීයම ස්ථානය කිව්වොත් හරි. හරියට ලාංකිකයින්ට දළදා මාලිගාව වගේ.

දෙවියන් වහන්සේ ආබ්‍රහම්ව පරික්ෂා කරන්න හිතාගෙන ඔහුගේ පුතා ඊසාක්ව තමන්ට බිලි දෙන්න කියලා අණ කලාලු නේ. අවසාන මොහොතේ දේව දූතයෙක් ඇවිත් මේ වැඩේ නතර කළා ලු. මෙන්න මේ සිද්ධිය උනේ ජෙරුසෙලමේ "මවුන්ට් මොරයා" නම් ස්ථානයේදී ලු. ඒ නිසා Holy temple ඉදි කරන්න එතන තෝරා ගන්න ඇති. අදටත් යුදෙව්වන් යාඥා කරන්නේ ජෙරුසෙලම පිහිටි දිශාවට හැරිලා. ආගමික වශයෙන් විතරක් නෙමෙයි භූගෝලීය වශයෙනුත් ජෙරුසෙලමේ වගේම ඊශ්රායල් රටෙත් ලොකු වැදගත් කමක් තියනවා. කතාවට කියන්නේ ජෙරුසෙලම පිහිටලා තියෙන්නේ ලෝකේ හරි මැද කියලා (දෙවියන් තෝරාගත් ජාතියට ඊශ්‍රයලයම දෙන්න හිතුවේ මේ හින්දද දන්නේ නෑ නේද?).


බටහිරින් යුරෝපයටත් නැගෙනහිරි ආසියාවටත් පහළින් අප්‍රිකාවටත් මැදි වෙච්ච ඊශ්‍රායලය සහ රට මධ්‍යයේ පිහිටි ජෙරුසෙලම.

මේ තියෙන්නේ තවත් ලස්සන පින්තූරයක්.



ඔය පින්තූරේ මැද බුබුලක් වගේ පේන්නේ Holy temple නෙමේ හොඳේ. ඊශ්‍රායෙල්වරුන්ගේ temple එක විනාශ උනාට පස්සේ කාලෙක මුස්ලිම්වරුන් එතන ඉදි කරපු Dome of Rock කියන එක තමා ඔය පේන්නේ. ඒවා ගැන ඉතින් පස්සේ කතා කරමුකෝ.

ඉතින් ඩේවිඩ් අගනගරය බවට පත් කරපු ජෙරුසෙලමේ සොලමන් ඔවුන්ගේ ශුද්ධ වූ පන්සල ඉදි කරනවා. මේ රජවරු සැළකෙන්නේ ඊශ්‍රායල ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ රජවරු හැටියට. හරියට අපිට දුටුගැමුණු විජයබා වගේ. සොලමන්ගේ රාජ්‍ය කාලය ඊශ්‍රායලයේ ස්වර්ණමය කාල පරිච්ඡේදයක් හැටියට සළකන්න පුළුවන්.

ඒත් අවාසනාවකට මේ ශ්‍රේෂ්ඨ සොලමන් රජතුමාත් දෙවියන්ගේ වචනයට පිටින් යනවා. Holy temple එකට නැගෙනහිරින් පිහිටි කඳු ගැටයක මොලැබ්වරුන්ගේ සහ අමොනයිට් වරුන්ගේ දෙවිවරුන් උදෙසා දේවස්ථාන ඉදි කරනවා. ඔහුගේ විදේශීය භාර්යාවන් නිසයි එහෙම කරන්නේ. ඒත් දෙවියන් වහන්සේ දස පනත දෙද්දී මොවුන්ට කිව්වනේ ඔවුන්ගේ එකම දෙවියා තමා විය යුතු බවත් වෙනත් දෙවි වරුන් පිළි නොගත යුතු බවත්.

ඒ නිසා මෙයින් උදහසට පත් වුන දෙවියන් වහන්සේ සොලමන්ට දැනුම් දුන්නලු "මාගේ වචනයට පිටු පෑමේ විපාක වශයෙන් මේ ඊශ්‍රායල රාජ්‍ය කැබලි වී ඔබෙන් ගිලිහී යනු ඇති. එය ඔබගේ පුත්‍රයාගේ කාලයේදී සිදු වනු ඇති. එහෙත් ඩේවිඩ් නිසාවෙන් මුළු රාජ්‍යම ඔහුට අහිමි නොවී එක කොටසක් පමණක් ඔහුට අයත් වෙනු ඇති"

කිව්වත් වගේම ඒක සිද්ධ වෙනවා. සොලමන්ගේ පුත් රෙඔබෝම්, සොලමන් තරම් බුද්ධිමත් කෙනෙක් නෙමේ. ඔහු රජ වුනාට පස්සේ වැඩිහිටි බුද්ධිමත් ඊශ්‍රායෙල්වරුන්ගේ උපදෙස් නොගෙන මෝඩ සගයින්ගේ උපදෙස් පිළිපැදීම නිසා ඊශ්‍රායලය දෙකඩ වෙනවා. රටේ උතුරු කොටසේ ගෝත්‍ර 10 කට අයත් ප්‍රදේශ එක බල ප්‍රදේශයක් විදියටත් (Kingdom of Israel) ජුදා සහ බෙන්ජමින් ගෝත්‍ර වලට අයත් දකුණු කොටස, ජෙරුසෙලමද ඇතුළුව, රෙඔබෝම් යටතේ තවත් බල ප්‍රදේශයක් හැටියත්  (Kingdom of Judaa)  වෙන් වෙනවා.



                                                             ~~~~~~~~~~~~~~~~~~

මෙයින් සෑහෙන කලකට පස්සේ, ඒ කියන්නේ ක්‍රි. පූ 600 දී විතර මේ රාජ්‍ය දෙකෙන් ගෝත්‍ර 10 ක් ජීවත් වෙච්ච ඊශ්‍රායල් රාජ්‍ය අසිරියානුවන් විසින් ආක්‍රමණය කරනවා. ක්‍රි. පූ 586 දී බැබිලෝනියා අධිරාජ්‍ය විසින් දකුණු රාජ්‍ය වූ ජුදා රාජ්‍යයත් ආක්‍රමණය කරනවා. මේ වෙලාවේදී තමයි බැබිලෝනියානුවන් විසින් ජෙරුසෙලමේ පිහිටි Holy temple එක කඩලා බිමට සමතලා කරලා දාන්නේ. ඉන් පස්සේ ජුදෙව්වන් බැබිලෝනියාවේ වහල් සේවයට අරගෙන යනවා.

කට්ටිය අහල ඇති නේද මේ සිංදුව?

"By the rivers of Babylon
There we sat down
Yea-eah we wept
When we remembered Zion"

ඔය තියෙන්නේ සිංදුව අහන්න කැමති අයට. ලස්සන සින්දුවක්...



ජුදා ගෝත්‍රිකයින් බැබිලෝනියාවට අරගෙන යන ගමනේදී බැබිලෝනියාවේ ගං තෙරක වාඩි වෙලා තමන්ගේ විනාස වෙලා ගියපු දේවස්ථානය මතක් කරමින් වැළපෙන හැටි තමයි ඒ ගීතයෙන් කියන්නේ. මධුරංග කාලෙකට කලින් ලියපු ජෙරුසෙලමේ බිඳ වැටීම පොස්ටුවේ මේ සිද්ධිය විස්තර සහිතව ලියලා තියනවා.

මෙතන මේ බැබිලෝනියාවේ ගං තෙර කියලා කියන්නේ යුප්‍රටීස් ගඟට වෙන්න ඕනේ. බැබිලෝනියාව කියන්නේ යුප්‍රටීස් ටයිග්‍රීස් ගංගා දෙක අතර පිහිටි මෙසපොතේමියානු ශිෂ්ටාචාරයට අයත් කොටසක් නේ. වර්තමානයේ හැටියටනම් ඉරාකයේ කොටසක්. මේ තියෙන්නේ ජුදෙව්වන් බැබිලෝනියාවට අරගෙන ගියපු මාර්ගය පෙන්වන සිතියම.








ඉතින් ජුදෙව්වන් බැබිලෝනියාවේ වහල් කම් කරපු කාලය අවසාන වෙන්නේ බැබිලෝනියා අධිරාජ්‍යය බිඳ වැටිලා පර්සියානු අධිරාජ්‍යයේ නැගී ඒමත් එක්ක.

පර්සියානු අධිරාජ්‍යයා වන "සයිරස්" ජුදෙව්වන්ට අවසර දෙනවා නැවත ජෙරුසෙලමට ගිහින් තමන්ගේ ශුද්ධ වූ දේවස්ථානය ගොඩ නංවන්න කියලා. ඒ ක්‍රි. පූ 516 දී. ඒ අනුව නැවතත් ජෙරුසෙලමේ දෙවැනි ශුද්ධ වූ දේව මන්දිරය ගොඩ නංවලා පර්සියන් අධිරාජ්‍යය යටතේ පාලනය වෙන රටක් බවට ඊශ්‍රායලය පත් වෙනවා.

මෙතනින් පස්සේ ප්‍රධාන වශයෙන් ඊශ්‍රායල්වරුන් හැටියට හැඳින්වෙන්නේ ජුදා ගෝත්‍රයේ අය. අර කලින් ගෝත්‍ර 10 ක් වාසය කරපු උතුරු කොටස අසිරියාවට යටත් උන තැන ඉඳලා ඔවුන්ට සිදු වෙච්ච දේ ගැන හරි හැටි තොරතුරක් හොයා ගන්න බැරි උනා. අද ඔවුන්ව හඳුන්වන්නේ 10 Lost tribes විදිහට. ජෙරුසෙලම පිහිටපු දකුණු කොටසේ හිටියේ ජුදා සහ බෙන්ජමින් ගෝත්‍ර නේ. එයිනුත් බහුතරය ජුදා.

ඉතින් second temple period කියන මේ කාලයේ තවත් අවුරුදු 500 ක් විතර යනකන් විශේෂ තොරතුරක් සඳහන් වෙන්නේ නැහැ. ඒ කාලය තුළ බයිබලයත් නිහඩයි, ක්‍රි. ව. 0 දී දවසක රාත්‍රී අහසේ අසිරිමත් වල්ගා තරුවක් පායන තුරු...


                                                              ~~~~~~~~~~~~~~~~~

ශ්‍රේෂ්ඨ නරපති ඩේවිඩ් ගෙන් පැවතෙන ජුදෙව්වෙකු වූ ජේසුස් වහන්සේගේ උප්පත්තිය සිද්ධ වෙන්නේ ජෙරුසෙලමට දකුණින් පිහිටි බෙත්ලෙහෙමේ. ඒ වෙලාවේ ජේසු බිළිඳා බලන්න පෙරදිගින් ගිය රජ තුන් කට්ටුවේ එක්කෙනෙක් අපේ බාතිකාභය රජතුමා කියලත් මතයක් තියනවා.

ජේසුස් වහන්සේගේ ජිවිතයේ වැදගත් අවස්ථා (කැප කිරීම, අවසන් භෝජන සංග්‍රහය, මරණය වැනි) ජෙරුසෙලම සහ ඒ අවට ප්‍රදේශ සමග සම්බන්ධ වන නිසා ජෙරුසෙලම ක්‍රිස්තියානීන් ටත් වැදගත් තැනක් ළෙස සැළකෙනවා. ඉතින් ජේසු තුමාගේ උපතේ සිට මරණය දක්වා කාල පරිච්ඡේදය ගොඩක් දෙනා දන්නා එකක්. හරී ත් තවත් පෝස්ට් වැලක් ලිව්වා ජේසුස් වහන්සේ ගේ ජීවිත කතාව ගැන. ඒ ටික බැලුවොත් ඒ වෙද්දී තිබ්බ ජුදා සමාජය ගැන එහෙම හොඳ වැටහීමක් ගන්න පුළුවන්.





ඒ එක්කම කියන්නේ ඕනේ මේ වෙද්දී ඊශ්‍රායලයට අයත් ප්‍රදේශය රෝම අධිරාජ්‍යයට යටත්ව එහි කොටසක් හැටියටයි පාලනය උනේ. ඒකනේ ජේසුස් වහන්සේට මරණ දඬුවම ඉල්ලලා දෙන්න කියලා රෝමන් ආණ්ඩුකාරවරයෙක් වෙච්ච "පොන්තියුස් පිලාත්" ගාවට අරගෙන යන්නේ.

හැබැයි පිලාත් මරණ දඬුවම නියම කරන්නේ එයාගේ උවමනාවට නෙමෙයි. ජුදෙව්වොන්ගේ කෑගැහිල්ලට (මෙතන වැඩි හරියක්ම පූජක පන්තියේ සහ ඉහළ පන්තිවල අය තමා). අන්තිමට බැරිම තැන "මේ මිනිසාගේ ලේ ගැන මම නිදොස්" ය  කියලා මරණ දඬුවම කැමති විදියට කරගන්න අවසර දීපු හැටි හරී ගේ ලිපියේ තියනවා. එවෙලේ ජුදෙව්වෝ කිව්වලු "එහෙනම් ඒ පාපය අප පිටත් අප දරුවන් පිටත් වැටේවා" කියලා. ඔවුන්ගේ ජාතිය මෙච්චර කලක් තැලිච්ච පොඩි වෙච්ච හැටි පේන්න තියෙද්දී ඒ කතාව ඇත්ත වෙලා කියලා හිතෙනවා නේද?

කොහොමහරි ඔන්න ජුදෙව්වෙක් වී උපන් ජේසුස් වහන්සේ ඉතිහාසය දෙකඩ කරන්න සමත් වෙනවා. ජුදෙව්වන් වගේම යුරෝපීයයනුත් ඔහුගේ අනුගාමිකයින් බවට පත් උනා. ලෝකයේ ආගම් අතරට ක්‍රිස්තියානි ආගමත් එකතු උනා වගේම එය ජුදා ආගමට වඩා ජනප්‍රියත් උනා. රෝමානුවන් හරහා එය යුරෝපයට පැතිරෙන්න ඇති.

ඉතින් ජේසුස් වහන්සේගේ මරණය සිද්ධ වෙන්නේ ක්‍රි. ව. 33 දී. ඊට පස්සේ තවත් අවාසනාවන්ත යුගයක් ජුදෙව්වන්ට උදා වෙනවා. මේ වෙද්දී රෝමන් වරුන් උතුරු ඊශ්‍රායලය (ගලීලය) වගේම දකුණු කොටසේ (ජුදයාව) පාලනයත් අතට අරගෙන නේ තිබුනේ. පාලන කටයුතු විතරක් නෙමෙයි ඔවුන් ජුදෙව්වන්ට හරි හරියට හිරිහැරත් කළා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට කොහෙත් වෙනවා වගේ රෝම අධිරාජ්‍යයට විරුද්ධ කැරළි කණ්ඩායම් බිහි වෙන්න පටන් ගත්තා. ඒවාට ප්‍රති උත්තර දීපු රෝමන්වරුන් අවසානයේදී ජෙරුසෙලමට කඩා වැදිලා ඔවුන්ගේ දෙවැනි ශුද්ධ වූ දේවස්ථානයත් බිමට සමතලා කරලා පුළුස්සලා දානවා.  මේ විනාශය බලාගෙන ඉන්න බැරි වුනු ජුදෙව්වෝ විශාල ප්‍රමාණයක් සිය දිවි නසා ගත්තලු. මේ සිද්ධිය වෙන්නේ ක්‍රි. ව. 70 දී.









මේ තියෙන්නේ දැනට ඊශ්‍රායල් කෞතුකාගාරයේ තියෙන මේ දේව මන්දිරයේ අනුරුවක්.



අන්තිමේ එයින් නටබුන් හැටියට ඉතිරි වෙන්නේ අද western wall නමින් හැඳින්වෙන තාප්ප කොටස විතරයි. ඒ නිසයි ඔවුන්ට මේ තාප්පය අන් හැම දේකටම වඩා අද වටින්නේ. ඔවුන් මේකට යාඥා පවත්වනවා දැකලා ඇති නේද?







ඔවුන්ගේ පළමු දේව මන්දිරයත් දෙවැනි මන්දිරයත් විනාශ කිරීම සිහි කරලා අදත් ඊශ්‍රායල් ජනතාව ජාතික දිනයක් සමරනවා. සමරනවා කිව්වට ඒක "වැළපෙන දිනයක්" හොඳේ. "Mourning day"
කියලයි කියන්නේ.

ජුදා විවාහ උත්සවයකදී මේ සිද්ධි මතක් කරලා මනාල මහත්තයා වීරුවක් බිඳිනවා ලු. ඒ වගේම බොහොමයක් ජුදා ගෙවල්වල මෙය සිහි කිරීමට බිත්තියකින් කොටසක් සම්පූර්ණ නොකර ඉතිරි කරනවලු.

"If I forget thee, O Jerusalem, Let my right hand forget her skill"

ඉතින් මේ විනාශයෙන් පස්සේ ජුදෙව්වෝ 10000 කට අධික ගණනක් වහලුන් විදියට රෝමයට අල්ලාගෙන ගියාලු.

එයින් පස්සේ තමයි ජුදා ජාතිය තමන්ගේ හදවතට සමාන ජෙරුසෙලමෙන් ඈත් වෙලා ගිහින් යුරෝපයේ කොලනි වල ජිවත් වෙන්න පටන් ගත්තේ. ඒ විස්තරත් එයින් පස්සේ මොවුන් ගැන සෑහෙන විස්තරයකුත් තියන නිසා මේ ලිපිය මෙතනින් නැවත්තුවොත් හොඳයි කියලා හිතෙනවා. දැනටමත් හොඳටම දිග වැඩියි වගේ. කී දෙනෙක් මගින් හැරිලා ගියාද කියලා ෂුවර් නෑ  :D

එහෙනම් ඉතින් මින් පස්සේ දෙවියන් වහන්සේ තෝරා ගත් ජාතිය වෙච්චි ජුදා ජාතියට හිමි වෙච්ච ඉරණමත් තවත් අවු. 500 කට විතර පස්සේ තවත් ආගමක් ලෝකෙට පහළ වෙච්ච හැටි එහෙමත් ඊ ළඟ ලිපියේ කතා කරන බලාපොරොත්තුවෙන් මම නවතින්නම්.




ප. ලි. ඔන්න දැම්මම කියන්නේ මේ ලිපියේ වැරදි තැන් ඕන තරම් තියෙන්න පුළුවන්. මොකෝ මම මේවා කියවලා බැලුවේ මේ ලඟදි නිසා. මේවා ගැන මීට වැඩි දැනුමක් තියන ඕන තරම් අය ඉන්නවා මේ බ්ලොග් අවකාසේ. ඉතින් පුළු පුළුවන් හැටියට වැරදි නිවැරදි කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම මේ ලිපිය කිසිම ආගමකට, ජාතියකට අපහාස කරන්න ලියපු එකක් නොවන බවත් කියන්නම ඕන. කොහොමත් මට මේ ගැන පැත්තක් ගන්න විදිහක් නැහැ. මොකෝ මම යුදෙව්වෙක්වත්, ක්‍රිස්තියානිවත් මුස්ලිම්වත්  නෙවෙයි හින්දා. ඕං  එහෙනං මං ගියා. :)


ref
https://www.youtube.com/watch?v=baXIyOOTQBc
http://www.bible-history.com/map_babylonian_captivity/map_of_the_deportation_of_judah_overview.html
http://www.jewishhistory.org/the-destruction-of-the-second-temple/
https://www.youtube.com/watch?v=eg8csSMeC90

Tuesday, August 5, 2014

ද අල්මේදලා - රාජාවලිය XXXVI


ඔන්න එහෙනම් ඊ ළඟ රාජාවලිය ලිපිය. පටන් ගත්ත එකේ ඉවරයක් තියෙන්නත් එපැයි. හාවා හඳ බලනවා වගේ රාජාවලිය දානවා කියලා දැනටමත් බැනුම් අහලා තියෙන්නේ. මාස දෙකකට එකයි :D




එහෙනම් ඔන්න ගියපාර ලිපිය නතර කලේ දෙවන ජයබාහු රජතුමා රජ වෙච්ච තැනින්. මතකයිනේ අර උලකුඩය දේවියට පුතෙක් ඉල්ලලා ශ්‍රී රාහුල හිමියෝ සැළලිහිණි සංදේශය එහෙම ලිව්වේ. අන්න ඒ හම්බු වෙච්ච පුත්‍රයා තමයි මේ ජයබාහු රජතුමා. හැබැයි ඉතින් මෙතුමාට රජ කරන්න වෙන්නේ ටික කාලයයි. හයවන පරාක්‍රමබාහු රජතුමා රට එක්සේසත් කිරීමේ මෙහෙයුමේදි  යාපනේ අල්ලගන්න කියලා යවපු සපුමල් කුමාරයා මතකයි නේද? අන්න එයා මේ ජයබාහු රජතුමාව මරලා බුවනෙකබාහු VI (ක්‍රි. ව. 1472 - 1480) නමින් රජ වෙනවා. වලවේ සහ කළු ගංගා නිම්නවල වැසියන් මේ රජතුමාට ඒ තරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔවුන් රජුට එරෙහිව නැගී සිටිනවා. හේතුව ගොඩක් දුරට පැහැදිළියි. සපුමල් කුමාරයාගේ පියා දෙමළෙක් කියලා කියනවනේ. යාපනයේ නල්ලූර් කෝවිල කෙරෙව්වේත් මෙතුමා බව කියවෙනවා.

ඉතින් මේ කැරැල්ල මැඩපවත්වන්න කියලා රජතුමා ගේ සහෝදරයා වෙච්ච අම්බුලුගල කුමාරයාව පිටත් කරලා හරිනවා. ඒ අවස්ථාවේදී කැරැල්ල නැවතුනත් නැවත නැවතත් සතර කෝරලේ, කන්ද උඩරට වැනි ප්‍රදේශ වලින් රජුට විරුද්ධව කැරලි කරුවන් බිහි වෙනවා. "සේනාසම්මත වික්‍රමබාහු" නම් කුමාරයෙක් කඳු රට ප්‍රදේශය කෝට්ටේ රාජධානියෙන් නිදහස් කරගෙන වෙනම ස්වාධින පාලනයක් පවා ගෙන ගිහින් තියනවා.  මේ හේතු නිසා රටේ නැවතත් අස්ථාවර බවක් ඇති වීම කණගාටුවට කරුණක්.

හයවන බුවනෙකබාහු රජු මිය යාමෙන් පසු ඊ ලඟට පරාක්‍රමබාහු VII (ක්‍රි. ව. 1480 - 1484) නමින් රජ උනේ ඔහුගේ පුත්‍රයා බව කියවෙනවා. දැන් ඉතින් අර සතර කෝරලේ පාලන කටයුතු කරගෙන හිටපු අම්බුලුගල කුමාරයාට මේක හිතට අල්ලන්නේ නැහැ. ඉතින් ඔහු කරන්නේ හමුදාවකුත් අරගෙන මීට විරුද්ධව සටනට එන එක. අම්බුලුගල කුමාරයා සටන් ජයග්‍රහණය කරමින් අගනුවරට පිවිසෙද්දී අසරණ වෙන හත්වන පරාක්‍රමබාහු රජතුමා අන්තඃපුර කාන්තාවන් සතුරන් අතට පත් වෙන්න කලින් ඔවුන්ව මැරෙව්වා ලු. ඉන්පස්සේ මාළිගයේ දොරටු ඇරලා සතුරන් එනතුරු ඉවසීමෙන් බලාගෙන හිටියා ලු. එදා රාත්‍රියේ මාලිගාවට ඇතුල් වෙන අම්බුලුගල කුමාරයා රජු ඇතුළු පිරිස මරා දාලා වීර පරාක්‍රමබාහු VIII (ක්‍රි. ව. 1484 - 1509) නමින් රජ වෙනවා.

දැන් ඉතින් වීර පරාක්‍රමබාහු රජතුමාට උවමනා වෙනවා කන්ද උඩරට ඇති වෙච්ච කැරලි මැඩපවත්වන්න. ඔහු ගඩලාදෙනිය දක්වා භූමිය ජය ගනිමින් සාර්ථකව ගමනේ යෙදෙනවා. ගඩලාදෙණියේදී කැරලි නායකයා රජුට යටත් වී සමාව ඉල්ලනවා.රජතුමා මේ සිද්ධිය ගැන ගඩලාදෙණිය සන්නසේ සටහන් කරවනවා.

මේ රජතුමාට අගබිසවගෙන් පුතුන් හතර දෙනෙකුත් ("ධර්ම පරාක්‍රමබාහු", "විජයරත්න", "රාජසිංහ" සහ රයිගම බණ්ඩාර) අග බිසවගේ සොයුරියගෙන් තවත් පුතුන් දෙදෙනෙකුත් ("සකලකලා වල්ලභ", "තනිය වල්ලභ") සිටියා ලු. මේ කාලයේදී හලාවත ප්‍රදේශයේ මුතු කිමිදීමේ සහ ඇතුන් දඩයමේ යෙදුනු මුස්ලිම්වරයෙක් සමග සටන් කිරීමට පිටත් වෙන මේ "වල්ලභ" අයියා මලෝ දෙදෙනා ඔහුව මරා දමා ඒ ප්‍රදේශයේ සාමය ස්ථාපිත කිරීමට සමත් වෙනවා.

                                                                   ~~~~~~~~~~~~~~

මම හිතන්නේ හැමෝම දන්නවා පරංගින් එහෙම නැත්නම් පෘතුගීසීන් අපේ රටට ගොඩ බැස්සේ  ක්‍රි. ව. 1505 දී බව. ඒ කියන්නේ අටවන වීර පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය කාලයේදී. මේ මුල් පරංගි කණ්ඩායමේ නායකයා උනේ "ලොරන්සෝ ද අල්මේදා". හොඳට අහල පුරුදු නමක් නේද? ඒ වෙද්දී ගෝවේ පාලන කටයුතු කරමින් හිටපු "ෆ්රැන්සිස්කෝ ද අල්මේදා" ගේ පුතා තමයි මේ ලොරන්සෝ ද අල්මේදා. ගෝව අවට මුහුදේ අනවසර අරාබි නැව් ගැන සොයා බලන්න පිටත් කරපු මේ ලොරන්සෝ ඇතුළු කණ්ඩායම තමයි කුණාටුවකට අහු වෙලා අහම්බයකින් ලංකාවට ගොඩ බැහැලා තියෙන්නේ. ඔවුන් ගොඩ බැස්සේ ගාල්ල ප්‍රදේශයට බව සමහරු විශ්වාස කරත් ඔවුන් කොළඹට ගොඩබැස්ස බව තවත් සමහරු විශ්වාස කරනවා.

තවත් මතයක් තමයි ඔවුන් මුලින්ම ගාල්ලේ නැංගුරම් දාලා පසුව කොළඹින් ගොඩ බැස්සා කියන එක. එහෙම ගොඩ බැහැපු පරංගි කණ්ඩායම පාන් කකා වයින් බොන ගමන් මුණ ගැහිච්ච අපේ සිංහල සෙට් එකකින් ඇහුවලු නේ රටේ පාලකයා හම්බ වෙන්නේ කොහොමද කියලා. ඒ පාර අපේ අය මේ කට්ටියව මහා වටරවුම් පාරකින් රජතුමා හම්බ වෙන්න එක්ක ගියාලු දින තුනක් තිස්සේ . ඒ අතරේ කෙටි පාරවල් වලින් වතු උඩින්, ඒ දඬු උඩින් එහෙම පැන පැන මාලිගාවට ගියපු තවත් කට්ටියක් රජතුමාට කලින්ම දැනුම් දුන්නලු "අන්න රජතුමනි තිරුවානා ගල් කකා ලේ බොන මිනිස්සු ජාතියක් ඔබතුමා හමු වෙන්න මග එනවා" කියලා. අන්න එහෙමලු අපේ කට්ටිය පරංගියා කෝට්ටේ එක්ක ගියේ.

ඉතින් මේ පරංගින් රජතුමා එක්ක සාකච්ඡා එහෙම තියලා අන්තිමේ එකඟත්වයකට ආවලු ලංකාවේ කුරුදු ඵලදාවෙන් කොටසක් පරංගි දේශයට යැවීමටත් ඒ වෙනුවට ඔවුන් විසින් ලංකාවේ වෙරළ සතුරන්ගෙන් ආරක්ෂා කර දීමටත්. මේක නිකන් හතරරියන් සහ දෙරියන් ගේ සම්මුතිය වගේ කියලා රජතුමාට එවෙලේ තේරෙන්න නැතුව ඇති (මේ සම්මුති වලට එළඹුණේ අටවන පරාක්‍රමබාහු රජතුමාගේ පුතා වෙච්චි ධර්ම පරාක්‍රමබාහු රජතුමාත් එක්ක කියලාත් සඳහන් වෙනවා).

ඔය පරංගින් මේ රටට ආවට පස්සේ අපේ රටේ සංස්කෘතියට එහෙම සෑහෙන බලපෑම් ඇති උනාලු. ඒ ඇරෙන්න කපිරින්ඥ සංගීතය වගේම අද අපේ භාෂාවේ ගොඩක් වචනත් මෙයාලගෙන් අපිට දායාද වෙලා තියනවා. ඒ වගේම තමයි පුද්ගල නාම සහ වාසගම්. අල්මේදා ලා අසවේදු ලා එහෙම මතක ඇති නේ. ඇයි එතකොට කතෝලික ආගම. මේවා ගැන ඉතින් ඉස්සරහට කතා කරමු.

ඔන්න ඔහොමයි ඉතින් අපේ රටට මෙච්චර කාලෙකට නොතිබිච්ච යුරෝපීය අත පෙවීමක් අහම්බෙන් උනත් සිද්ධ උනේ. මේ වෙලාවේ තමන්ගේ බඩට පහර වදියි කියල බය වුණු මුස්ලිම් වෙළෙන්දෝ මේ පෘතුගාලයත් එක්ක ඇති කරගන්න හදන සම්බන්ධතා වලට දැඩි සේ විරුද්ධ උනත් අපේ රජතුමා ඒක කණකට අරගෙන නැහැ. මේක අපේ රටේ ඉතිහාසයේ ලොකුම හැරුම් ලක්ෂ්‍යයක් කිව්වොත් හරි මං හිතන්නේ.

Thursday, July 3, 2014

චූටි අයියගෙ කතා

මේ පහන්යාය කියවන මගේ යාළුවො සෙට් එකට මතකද දන්නේ නැහැ මම ඉස්සර (ඉස්සර කිව්වේ ඉස්සරෝම ඉස්සර) ලොකු අයියගෙ කතා කියලා ලිපියක් ලිව්වා. එතනදි තමයි මම මුලින්ම අපේ ලොකු අම්මගෙ පුත්තරයෝ හතර දෙනා ගැන මූලික හැඳින්වීම කරේ. එහෙම කිව්වට කාටදෑ මතක? ඒ දවස් වල හිටපු රසික සභාවයි දැන් රසික සභාවයි අතරේ සෑහෙන වෙනස්කම් තියනවනේ. ඉස්සර හිටපු සමහරු ආ ගිය අතක් නැහැ. දැන් ඉන්න ගොඩක් දෙනා පහන්යායට ටිකක් විතර අලුත්. එදා ඉඳලා අද වෙනකන්ම මේ පැත්තේ එන ටික දෙනෙකුත් ඉන්නවා. ඒ අයටනම් සමහරවිට මතක ඇති. ;)

ඉතින් මේ හතර දෙනා හතර විදියක්. ලොකු අයියා ගැනයි රාජ් අයියා ගැනයි වෙන වෙනම ලිපි දැම්මා. අද කියන්න යන්නේ මේ කට්ටියගෙන් බඩපිස්සා වෙච්ච චූටි අයියා ගැන. මෙයා තමා පවුලේ රැඩිකල් චරිතය රඟපෑවේ. විශේෂයෙන්ම විවාහයේදී :D.  කියන්නම්කො ඉස්සරහට.

මම පොඩි කාලේ ලොකු අම්මලාගේ ගෙදර ගියාම මෙයාගේ වැඩේම මාව බයිට් එකට අල්ලගන්න එක frustrated. එක්කෝ දතක් හැලිලා කියයි, නැත්නම් නහය දික් වෙලා කියයි. මාත් ඉතින් අත අරින්නෙ නැහැ. එකට එක, තකට තක තමා smug.

චූටි අයියා උසස් පෙළට කරේ මැත්ස්. ඒ කාලේ ඉතින් එයා පිටු පුරවලා ලියලා තියන සයින්, කොස්, අවකල, අනුකල අරවා මේවා අපිට හෙන මැජික් වගේ. පස්සේ විශ්ව විද්‍යාලයටත් තේරුණා, මට මතක හැටියට පිසිකල් සයන්ස් වලට. පස්සේ HNDE කෝස් එකත් කරා. කෝම හරි ඒ පවුලෙන් ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියාවකට ගියපු එකම කෙනා තමයි චූටි අයියා. දැන් වැඩ කරන්නේ වෝටර් බෝඩ් එකේද කොහෙද. ඉතින් චූටි අයියගේ මේසේ උඩ කොයි වෙලාවකවත් අර අමුතු අමුතු ග්‍රීක් වගේ මැත්ස් ලියපු කොල වලින් නම් අඩුවක් උනේ නෑ. එහෙ ගියාම මගේ වැඩේම ඕවා අවුස්සලා බලන එක.

ඉතින් එක දවසක් ඔහොම එයාගේ මේසේ අවුස්සද්දි මට අහු උනා නියම භාණ්ඩයක්. අයියගේ ඩයරිය. "අපෝ අනුන්ගේ ඩයරි බලන එක නරක වැඩක්". එහෙම හිතෙන්නේ දැන් නේ. ඒ කාලේ ඕවා හිතුන එකක්යැයි. මම ඉතින් ඒක හොඳ හැටි කියෙව්වා. අප්පා...තියෙන්නෙම විෂයානුබද්ධ කරුණු. මලවි ගේ සබ්ජෙක්ට් එක batting eyelashes. අරයට ලියුම් දිපුවයි, මෙයාගෙන් ලැබුණ ලියුම් ආපහු එයාටම බාර දීපුවයි ඕවා තමයි ඉතින් වැඩි හරියක්. කොහොම උනත් අන්තිමට බැඳපු අක්කානම් අර ඩයරියේ හිටපු කෙනෙක් නෙමෙයි මට මතක හැටියට. මම ඕක කියෙව්වා කියලා කාටවත් කියන්න ගියේ නෑ ඉතින්.

එක එක්කෙනා බැඳලා පවුලෙන් අයින් වෙලා ගියාට පස්සේ ගෙදර ඉතුරු උනේ ලොකු අම්මයි ලොකු තාත්තයි චූටි අයියයි විතරයි. අයියටත් රස්සාවක් එහෙම හම්බ වෙලා තමයි හිටියේ ඒ දවස්වල. හැබැයි ඉතින් තමන්ගේ වැඩ ගැනම හොයනවා මිසක් ගෙදරට දායකත්වයක් නැතිලු මෙයාගෙන් rolling eyes. මට මතකයි ලොකු තාත්තා දවසක් කිව්වා "ගෙදරට සබන් කෑල්ලක්වත් ගේන්නේ නෑ නේ මේ ළමයා" කියලා. මම හිතන්නේ පස්සෙ පස්සේ ඒවා හරි යන්න ඇති.

ඉතින් රස්සාව එහෙම සෙට්ල් උනාට පස්සේ ඉස්සරහට එන්නේ කසාදෙ නේ. ලොකු අම්මලට ඔය වැඩේට මහන්සි වෙන්න ඉඩ නොතියා මෙයාම හොයාගත්තු මනමාලි ගැන ඔන්න ගෙදරට කිව්වා. උගත් කම, රස්සාව ඔක්කොම හොඳයි, පොඩි පරහකට තිබුණේ ආගම. අක්කා කතෝලික. පොඩි කියලා කියන්නත් බෑ ඉතින්. අපේ ලොකු අම්මලා මොනවා නැතත් විවාහ කටයුතු වලදී තිතටම ඔය ආගම, ජාතිය එහෙම බලනවා. දැන් ඉතින් කේස් worried. රාජ් අයියගේ කතා කියවපු අයට සමහරවිට මතක ඇති එයා ගෙදරින් කියපු නිසා නෙලූ අක්කගේ සම්බන්ධෙ නවත්තපු හැටි. ඉතින් චූටි අයියත් එහෙම කළා කියලා ඔයාලා හිතනවද? මොන පිස්සුද? එහෙම පුතයෙක් නෙමෙයි මෙයා. අන්තිමේ කොහොමහරි ජය ගත්තා. දෙන්නගේ වෙඩින් එක පල්ලියෙත් අරගෙන පෝරුවෙත් නැගලයි නැවතුනේ love struck.

                                                           ~~~~~~~~~~~~~~~~~~~~

මේ වෙද්දී ලොකු තාත්තානම්  අපෙන් සමු අරන් ගිහින්. මම දවසක් එල්ලෙන හොල්මන කියලා ලිපියක් ලිව්වේ මේ ලොකු තාත්තගේ මළ ගෙදර දවසේ වෙච්ච සිද්ධියක් ගැන තමයි. ලොකු තාත්තා මම දැකපු හරිම සුන්දර මනුස්සයෙක්. තව ටිකක් කල් අපිත් එක්ක හිටියනම් කොයි තරම් දෙයක්ද කියලා හිතෙනවා. ස්වාමියෙක්, පියෙක් විදියට හරිම හොඳ කෙනෙක් කියලයි මට හිතෙන්නේ. ලොකු අම්මව දැකලා ලස්සනයි කියලා හිතිලා වෙන්න ඇති (ඇත්තටම ලස්සනයි තමා. අපේ ලොකු අම්මා හරියට ඔෂින් වගේ :) ආත්තම්මයි සීයයි හම්බ වෙලා කෙලින්ම ඒ ගැන අහන්න තරම් පෞරුෂයක් ලොකු තාත්තට තිබිලා තියනවා (කතාවටනම් කියන්නේ කෙලින්ම ලොකු අම්මගෙන් ඇහුවනම් කනේ පාරක් කන්න වෙන හින්දා කියලා). ඉතින් ඒ කාලේ වයස 16 ක් වෙච්ච පොඩි කෙල්ලව ලොකු තාත්තට දෙන්න සීයා එකඟ වෙලා තියෙන්නේ මේ නම් වගකීමක් තියන හොඳ ඉලංදාරියෙක් බව පෙනුන නිසා වෙන්න ඇති.

චාරිත්‍රානුකූලව මනමාලි බලන්න ලොකු තාත්තා දෙමව්පියොත් එක්ක එහෙ ගියාලු. ලොකු අම්මා බුලත් හෙප්පුව ඇල්ලුවට ලොකු තාත්තගේ මූණවත් බලලා නැහැ නේ. මුලින්ම මූණ දැක්කේ පෝරුවට නගින වෙලාවෙදි ලු d'oh. එක අතකට ඉතින් මූන බලලා මක්කරන්නද? මූන නොබලා කැමැත්ත දුන්නා කියලා ලොකු අම්මටනම් කිසිම අවුලක් උනේ නෑ. ටිකක් විතර අග හිඟ කම් තිබුනත් ළමයි 6 දෙනෙකුත් හදාගෙන කලාතුරකින් ලැබෙන විදිහේ හොඳ සැමියෙකුත් එක්ක ජීවත් වෙන්න ඇයට පුළුවන් උනා.

                                                            ~~~~~~~~~~~~~~~~~~~~~~~~

ඉතින් චූටි අයියගේ වර්තමාන තත්ත්වේ ගැන කියනවනම් බොහොම හොඳින් ඉන්නවා කියලා කිව්වැකි. දැන් මේ කපල් එකට පොඩි කෙල්ලෝ දෙන්නෙකුත් ඉන්නවා. ලොක්කී මට හෙනම ආදරෙයි ඉස්සර angel. දැනුත් ආදරේ ඇති, ඒත් ළඟ නෑ නේ ඉතින්. පොඩ්ඩිව දකින්නෙත් පොටෝ වලින් තමා.


Wednesday, June 25, 2014

දියවන්නාවට මාරු වෙනා - රාජාවලිය XXXV

ඔන්න ගියපාර ලිපියෙන් අපි අන්තිමට කිව්වා වික්‍රමබාහු III රජතුමා ගම්පොළ රජ වෙච්ච බව. අද එතැන් සිට ඉදිරියට...



මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වකවානුව ගැන ඉතිහාසයෙන් හමු වෙන තොරතුරු ඉතාමත් පැටලිලි සහගත සහ පරස්පර විරෝධී බව. ලිපි කිහිපයකින්ම ගත්තු තොරතුරු අනුව කතාව ලියාගෙන ගියත් සත්‍ය අසත්‍ය බව ගැනනම් සහතික වෙන්න හරිම අමාරුයි. :)

මේ කාලය වෙද්දී  උතුරේ ආර්ය චක්‍රවර්ති ගොඩක් බලවත් වෙලයි හිටියේ. ගම්පොළ අවට ප්‍රදේශ වලින් පවා බදු එකතු කරන්න ඔවුන් පසුබට උනේ නෑ. මේ නිසා ඔවුන් යුධමය අතින් වගේම ආර්ථික අතිනුත් ශක්තිමත් උනා.

වික්‍රමබාහු රජතුමාට බොහොම උදව් කරපු කැරලි කාර සෙනෙවියෙක් තමා නිස්සංක අලගක්කෝනාර. ආර්ය චක්‍රවර්තිගේ බදු එකතු කිරිල්ල ගැනත් ඔහු හිටියේ එතරම් කැමැත්තෙන් නෙමෙයි. රජුට උනත් ඒවාට විරුද්ධ වෙන්න හැකියාවක් තිබිලා නැහැ. ඉතින් මේ අලගක්කෝනාර ට උවමනා වෙනවා සතුරාට විරුද්ධව ක්‍රියා කරන්න. ගම්පළ ඉඳගෙන එහෙම කරන එක ඒ තරම් ලේසි කටයුත්තක් නොවන නිසා ඔහු බටහිර මුහුදු තීරයට ආසන්නයේ බලකොටුවක් හදනවා. ඒ බලකොටුව තුන් පැත්තකින්ම දියවන්නා ඔයෙන් වට වෙලා තිබුණ නිසා හොඳ ආරක්ෂා සහිත ස්ථානයක් උනා. පස්සේ කාලෙකදී කෝට්ටේ බලකොටුව කියලා හැඳින්වෙන්නේ මේ බලකොටුව තමා.

ඉතින් මේ අලගක්කෝනාර සෙනෙවියා ආර්ය චක්‍රවර්තින් ට පහර දීලා බටහිර මුහුදුබඩ ප්‍රදේශයම තමන් යටතට ගන්න සමත් වෙනවා. මෙයින් උදහසටත් පරාජයටත් පත් වෙන ආර්ය චක්‍රවර්ති උතුරේ සිට හමුදා දෙකක් එවනවා, එකක් ගම්පලටත් අනෙක මුහුදින් කෝට්ටේටත්.  ඒත් ඒ සේනා දෙකම පරාජයට පත් කරන්න අපේ හමුදාවන්ට හැකි වෙනවා. කොහොම උනත් වික්‍රමබාහු රජතුමා නාමිකව රජ කමේ හිටියත් නියම විදියට රාජ්‍ය පාලනයේ යෙදුනේ අලගක්කෝනාර කියලා කීම සාධාරණයි.

ඉන් පස්සේ රජ වෙන්නේ වික්‍රමබාහු III රජුගේ සොහොයුරියගේ පුත් බුවනෙකබාහු V (ක්‍රි. ව. 1374 - 1392) රජතුමා. ඔහුගේ පියා අලගක්කෝනාර බවට මතයක්ද තියනවා. මේ කාලයේදී නැවතත් ආර්ය චක්‍රවර්ති මුහුදින් සහ ගොඩබිමින් සේනා ඒවා සිංහල පාලන ප්‍රදේශ අල්ලා ගන්න උත්සාහ කරනවා. මේ වෙලාවේ බුවනෙකබාහු රජතුමා අගනගරය සහ තමන්ගේ ජනතාව අතහැර රයිගමට පලා ගොස් සැඟවෙන නිසා ඔහු බියගුළු රජෙක් හැටියට හඳුන්වනවා. මෙවරත් සතුරාට විරුද්ධව සටන් කර ඔවුන් පලවා හැරීමට සමත් වෙන්නේ අලගක්කෝනාර ඇමති. මේ නිසා නාමික රජවරුන් ගේ කාර්ය භාරය තමා විසින් ඉටු කරමින් සිංහල උරුමය බේරා ගැනීමට කැප වූ අලගක්කෝනාර වීරයෙක් හැටියට සැළකෙනවා. ඔහුගේ මරණයෙන් පස්සේ ඔහුගේ පුත් "කුමාර අලකේශ්වර" බලයට පැමිණුනත් ඒ සමගම ඔහුට විරුද්ධ වෙන "වීර අලකේශ්වර" (අලගක්කෝනාර ගේ සොයුරියගේ පුතා) ඔහුගෙන් බලය පැහැර ගන්නවා. වීර අලකේශ්වර බලයට පැමිණීමත් සමගම ඔහුගේම බාල සොහොයුරු "වීරබාහු" ඔහුට විරුද්ධ වෙන නිසා දෙදෙනා අතර සටනක් රයිගමදී පවත්වනවා. එයින් පැරදෙන වීර අලකේශ්වර රටින් පලා යන අතර දිනුම ලබන්නේ වීරබාහු. ඒ අනුව වීරබාහු II රජතුමා (ක්‍රි. ව. 1392 - 1397) ට රජකම හිමි වෙනවා.

වීරබාහු II රජතුමා ශක්තිමත් පාලකයෙකු උනත් නොපැහැදිලි හේතුවක් නිසා ඔහු 1397 දී මිය යනවා. එය වීර අලකේශ්වරගේ සැළසුමක් නිසා වූ බවටත් මතයක් තියනවා. ඉන්පසුව ඔහුගේ පුතුන් දෙදෙනා විසින් රාජ්‍ය පාලනය ආරම්භ කළත් නැවතත් මෙරටට එන වීර අලකේශ්වර විජයබාහු VI (ක්‍රි. ව. 1397 - 1409) නමින් රජ වෙනවා. විජයබාහු VI රජුගේ බිසව තමා සුනේත්‍රා දේවී. ඇය වික්‍රමබාහු III රජුගේ දියණිය හැටියට සැළකෙනවා. මේ දෙපළට ඉන්නවා පුතුන් දෙදෙනෙක්. ඉතින් විජයබාහු රජතුමා මෙහෙම රට පාලනය කරමින් ඉන්න අතරේ අපේ රටට එල්ල වෙනවා අලුත්ම සතුරු තර්ජනයක්. ඒ චීනයෙන්.

 චීන අධිරාජයා දකුණු දිග රටවල් සංචාරය කරන මුවාවෙන් නැව් විශාල සංඛ්‍යාවකින් යුක්ත හමුදාවක් පිටත් කලත් ඒකේ යටි අරමුණක් වන්නේ දන්ත ධාතුව පැහැර ගැනීම බවට මතයක් තියනවා. මේ හමුදාව ලංකාවට මිතුරු වේශයෙන් ගොඩ බැස්සත් විජයබාහු රජතුමාට යම් වෙනසක් තේරෙනවා. මේ නිසා චීනුන්ට විරුද්ධ වීමට තීරණය කිරීමත් ඒ තීරණය චීනුන් විසින් දැන ගැනීමත් නිසා වහාම යුද්ධයක් ඇවිලී යනවා. කොහොමහරි අවසාන ප්‍රතිඵලය වෙන්නේ විජයබාහු රජතුමා ඇතුළු පිරිසක් සිරකරුවන් විදිහට චීනයට රැගෙන යාම. මෙවෙලේ සුනේත්‍රා දේවී සහ දරුවන් දෙන්නා විදාගම තෙරුන් ලඟට පලා ගොස් රැකවරණය ලබනවා.

මේ අතරවාරයේ ලංකාවේ රජ කරන්නේ පරාක්‍රමබාහු ඈපා (ක්‍රි. ව. 1409 - 1412) නම් අයෙක් බව සඳහන් උනත් ඒ ගැන නිශ්චිත තොරතුරක් කියන්න අමාරුයි. චීනයට රැගෙන ගිය පිරිස මරා දැමීමට තරම් චීන අධිරාජයා සැහැසි නොවන නිසා ඔවුන්ට ජිවිත දානය ලැබුනා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ අතර විදාගම තෙරුන් ඇසුරේ ඇති දැඩි වෙන විජයබාහු රජුගේ පුතුන් දෙදෙනා හොඳ අධ්‍යාපනයක් ලබනවා වගේම යුධ ශිල්පත් හදාරනවා. මේ කුමරුවන්ගේ කුඩා කාලය ගැන තොරතුරුත් විවිධාකාරයෙන් තැන් තැන් වල සඳහන් වෙන නිසා හරියටම නිවැරදි තොරතුරක් සොයා ගැනීම අපහසුයි. කොහොම උනත් රටේ මී ළඟ පාලකයා විදිහට පරාක්‍රමබාහු VI (ක්‍රි. ව. 1412 - 1467) නමින් රජ වෙන්නේ මේ වැඩිමහල් කුමරු බවට සඳහන් වෙනවා. එතුමා අවුරුදු තුනක් පමණ රයිගම වාසය කිරීමෙන් පසු කෝට්ටේ අග නගරය බවට පත් කරගන්නවා. ඒ නිසා අලගක්කෝනාර විසින් තැනූ කෝට්ටේ බලකොටුව, රාජධානිය බවට පත් කරගන්නේ පරාක්‍රමබාහු VI රජතුමා.

පරාක්‍රමබාහු VI රජතුමා ලංකා ඉතිහාසයේ වැදගත් රජ කෙනෙක්. ඔහුගේ බාල සොහොයුරා යුව රජ වශයෙන් "මායාදුන්නේ" ප්‍රදේශයේ වාසය කරනවා. පරාක්‍රමබාහු රජුට සහ කීරවැල්ලේ බිසවට ලෝකනාථා නමින් දියණියක් ලැබෙනවා. ගොඩක් අය දන්නා විදිහට ඇය "උලකුඩය දේවිය" නමිනුත් හැඳින්වෙනවා.  මේ රජතුමා කරපු වැදගත්ම කාර්යයක් තමයි ලංකාව එක්සේසත් කිරීම. ලංකාව අවසාන වරට එක්සේසත් කරපු රජතුමා වෙන්නෙත් මෙතුමා තමයි. මේ එක්සේසත් කිරීම එතුමා පටන් ගන්නේ වන්නියෙන්. ඒ වෙද්දී වන්නි ප්‍රදේශ වල ස්වාධින පාලකයින් 18 ක් පමණ ඉඳලා තියනවා ලු. මුලින්ම ඔවුන් එක්ක සටන් කරලා ඒ ප්‍රදේශ තමන් යටතට ගන්න පරාක්‍රමබාහු රජතුමා කටයුතු කරනවා.

ඒ විදිහට රට තරමක් ස්ථාවර උනාට පස්සේ තමයි උතුරේ ආර්යචක්‍රවර්තින් ට පහර දීම සැලසුම් කරන්නේ. ඒ සඳහා රජතුමා පිටත් කරන්නේ ඔහු හදාගත් පුත්‍රයෙක් විදියට සැළකෙන සපුමල් කුමරු. ඔහු උතුර ජය ගැනීමේ කාර්යය සාර්ථකව නිම කරනවා. ජයග්‍රාහී ළෙස කෝට්ටේට පැමිණි කුමාරයාට ගෞරව නම්බු නාම සහිත සැලකිළි ලබා දුන්නාලු. මේ අතරේ උඩරට කැරැල්ලක් ඇති කරපු ජෝතිය සිටුවරයා පරාජය කිරීමට සපුමල් කුමරාගේ සොහොයුරා වන අම්බුලුගල කුමාරයා පිටත් කර හරිනවා. මේ ආකාරයට නැවතත් ලංකාව එකම ධජයක් යටතට ගැනීමට හයවන පරාක්‍රමබාහු රජතුමාට හැකි වෙනවා.

මේ කාලය සාහිත්‍ය පැත්තෙනුත් ඉතා දීප්තිමත් යුගයක්. රජතුමාත් සාහිත්‍යට ලොකු අනුග්‍රහයක් දැක්වුවා ලු. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් "සැළලිහිණි සංදේශය" ලියන්නෙත් මේ කාලයේදී, උලකුඩය දේවියට පුතෙක් ලබා දීමේ පරමාර්ථයෙන්. මේ සංදේශ කාව්‍යයේ අනුහසින්ද කියන්න දන්නේ නැති උනත් දේවියට පුතෙක් නම් ලබුනවා. ඒ කියන්නේ පරාක්‍රමබාහු රජුට මුණුබුරෙක් ලැබෙනවා. අවුරුදු පනස් ගණනක් සාර්ථකව රට පාලනය කළ හයවන පරාක්‍රමබාහු රජතුමා මිය යාමෙන් පසු රාජ්‍ය හිමි වන්නේ මේ මුණුබුරාට. ඔහු ජයබාහු II (ක්‍රි. ව. 1467 - 1472) නමින් රජ වෙනවා.

මින් පසුව කෝට්ටේ තොරතුරු ගැන අපි ඊ ළඟ ලිපියෙන් කතා කරමු.


Friday, May 16, 2014

රොකී කඳු වැටියයි - දෙව් ලොවට අඩියයි

රොකී කඳු කිව්වම නිකන් මොකද්දෝ එකක් මතක් වෙනවා වගේ නේද? ලෝකේ ලොකුම කඳු වැටියක් කියලා ඉස්කෝලෙදි ඉගැන්නුවනේ. ඔය කියන කඳු වැටිය හඳ අල්ලපු රටේ සැතපුම් 3000 පමණ ප්‍රදේශයක් පුරා පැතිරිලා තිබුනත් රොකී ජාතික උද්‍යානය පිහිටලා තියෙන්නේ කොලරාඩෝ කියන ප්‍රාන්තයේ. කඳු වැටියේ උසම මුදුනේ උස මීරට 4400 ක් ලු. මේ අධික උස නිසාම කඳුකරයට හුරු නොවෙච්ච අපි වගේ අය එහෙ ගියාම හුස්ම ගැනීමේ අපහසුතා පවා දැනෙනවා. අඩි දහයක් දිව්වත් හොඳටම හති. ඒත් පුරුදු අයට ඒක එච්චර අවුලක් නෑ කියලා තමයි කියන්නේ.

මටනම් වැඩි පුරම හිතට ඇල්ලුවේ කඳුකරයේ තිබ්බ ලස්සන තමයි.




අපි රොකී ජාතික උද්‍යානයට ලඟා උනේ ටිකක් ගම්බද අතුරු පාරකින්. එහෙම යද්දී ගත්ත පින්තූරයක් තමයි මේ. මැයි මාසේ වෙද්දීත් වැඩි හරියක් කඳු මුදුන් හිම වලින් වැහිලා. ජුනි ජූලි වෙද්දී මේවා ටිකක් දිය උනත් උස කඳු මුදන් නම් සදාතනික හිම කඳු ම තමා මගේ හිතේ. 

මේ පහළින් තියෙන්නෙත් ඒ පාරේම පින්තූරයක්.




ආ එතකොට මේ තියෙන්නේ ඔය පාර අයිනේ තිබිච්ච පුංචි දේවස්ථානයක්. ඒක දැක්ක ගමන්ම ආස හිතිච්ච නිසා ටක් ගාලා එතනට හරවලා පොඩ්ඩක් එතන නැවතිලා එහෙම තමයි ගියේ. පාර හයි වේ එකක් නොවෙච්ච එකේ වාසිය තමයි. නැත්තන් ඉතින් ඔහොම හිතිච්ච හිතිච්ච වෙලාවට පාර අයින් වල නවත්තන්න පුලුවනෑ. 



ඉතින් ඔන්න ඔය වගේ ලස්සන දර්ශන පහු කරගෙන අපි ආවේ Rocky Mountains ජාතික උද්‍යානය ට. ඒ හරියේ නිල් කැටේට දිලිසෙන පුංචි විල් කෑලි (සමහර ඒවායේ උඩින් මිදිච්ච අයිස් තට්ටුව තාමත් දිය වෙලා නෑ ) එහෙම පිරිලා. ඒ විතරක් නෙමෙයි, බැලු බැලු පැත්තෙන් පේන්නේ පුංචි රවුම් ගල් කැට වලින් වැහුන පතුල ක් තියන, අඩි දෙකකට වඩා නොගැඹුරු පුංචි දිය පාරවල්.

මේ තියෙන්නේ එහෙම විලක් තමයි.





ඔය විල වටේට ඇවිදින්න පුළුවන් වෙන විදිහට පුංචි අඩි පාරක් වගේ එකක් තියනවා. අපිට පැයක් විතර ගියා ඒක වටේ ගිහින් එන්න. එහෙම යන ගමන් ගත්තු පින්තූර වලින් එකක් තමයි මේ තියෙන්නේ. :)




ආ...තව වැදගත්ම දෙයක් තියනවා පෙන්නන්න. ඔය පහළ පින්තූරේ තියෙන්නේ "ස්ටැන්ලි" කියන ප්‍රසිද්ධ හෝටලය.





අපි ආපහු එන ගමනේදී තමයි මේක දකින්න ලැබුනේ. "Shinning" කියන චිත්තරපටිය බලලා තියන අයනම් මේක අඳුරනවා ඇති. හොල්මන් හෝටලයක් හැටියට තමා මේක ප්‍රසිද්ධ. මට මතක විදියටනම් හොටෙලේ අයිතිකාරයාගේ බිරිඳ මැරුණට පස්සේ මෙතන හොල්මන් කරනවාලු. එයා ජීවත් වෙලා ඉන්න කාලේ පියානෝ වාදනය කරන්න කැමැත්තක් දක්වපු කෙනෙක්ලු. ඉතින් දැනටත් රෑට රෑට පියානෝ සද්ද ඇහෙනවලු හෝටලයේ.

දැන් ඉතින් කට්ටිය හිතනවා ඇති ඔය හෝටලයේ ඉන්න කැමති වෙන්නේ කවුද කියලා. අපෝ නෑ නෑ, එහෙම ප්‍රශ්නයක් නෑ. මේ හොල්මන් සිද්ධිය හෝටලේට ආශිර්වාදයක් මිසක් පාඩුවක් නෙමෙයි. ඔය හොල්මන් බලන්න කියලම මිනිස්සු ඉහළ ගණන් දීලා මේකේ කාමර වෙන් කරවා ගන්නවලු. මේ මිනිස්සුන්ව සතුටු කරන්න හෝටලයෙනුත් මහ රෑට ghost tour එහෙම සංවිධානය කරනවලු. කොහොමද වැඩේ?

කොහොම උනත් හෝටලය පිහිටලා තියෙන්නේ නම් පුදුම ලස්සන තැනක. ඔය හෝටලේ කාමර වලට පේන ඉදිරිපස දර්ශනය තමයි මේ පහළින් තියෙන්නේ.





මේ කඳුකරයේ තිබ්බ විශේෂත්වයක් තමයි වැඩි හරියක්ම කඳු වල අන්තර්ගතය උනේ විශාල පාෂාණ තට්ටු. පාරවල් හදද්දී කඳු විදපු තැන් වලින් ඒ බව හොඳට පේන්න තියනවා. බලන්නකෝ පහළ පින්තූරේ.





ගොඩක් තැන් වල මාර්ග සංඥා ගහල තිබුනා "ගල් පෙරලීමේ අවධානමක් ඇත" කියලා. අපේ සයුරුත් ඉතින් "ඔන්න ඉස්සරහ දේවදත්ත ඉන්නවලු" කිය කිය ගානක් නැතිව හිටියා. වෙන කරන්න දේකුත් නෑ නේ. එකක් පෙරලුනොත් ඉතින් අල්ලගන්න කියලයැ.


ආහ්හ් එතකොට මේ ඉන්නේ අපිට දකින්න ලැබිච්ච කඳුකර එළුවෝ රන්චුවකින් දෙන්නෙක්. :)




ඉතින් ඔන්න ඕවා තමයි අපේ කොලරාඩෝ ගමනේ විස්තර. මෙච්චර කාලෙකට මම ගියපු හොඳම ගමන කියලා කිව්වොත් වැරදි නෑ . බොහොම නිස්කලංකව නිවාඩු පාඩුවේ හිතේ හැටියට, පාර අයිනේ දකින දකින ලස්සන තැන්වල නැවතෙමින් ආසාවෙන් ගිහින් ආපු ගමනක්. සේරටමත් වඩා ඒ මම දැකපු ලස්සනම පරිසරයක්. හරියට දෙව්ලොව ගියා වගේ තමා දැනුනේ :)

Friday, April 25, 2014

රයිගමයයි ගම්පළයයි - රාජාවලිය XXXIV

ඔන්න අපි ගිය පාර කතා කරා බුවනෙකබාහු කුමාරයා රජ වෙච්ච හැටි ගැන. අද එතැන් සිට.



බුවනෙකබාහු රජතුමා රජ උනාට පස්සේ දැහැමෙන් සෙමෙන් රට පාලනය කරන්න ලැබුණා කියලා කිව්වොත් ඒක වැරදියි. ඔහුට සිද්ද වෙනවා එක එක විදියේ සතුරු කරදර වලට මුහුණ දෙන්න. එක පැත්තකින් වන්නි පාලකයින්. තවත් පැත්තකින් උතුරේ ජාවකයින්. ඒ අස්සේ "රායර්" කියලා කාලිංග සෙනෙවියෙකුත් එනවා ආක්‍රමණයකට. කොහොමහරි බුවනෙකබාහු රජතුමා මේවාට සාර්ථකව මුහුණ දෙනවා. ඉතින් මේ හේතු හින්දම බුවනෙකබාහු රජතුමා තීරණය කරනවා අගනුවර දඹදෙණියෙන් යාපහුවට ගෙනියන්න. මතකයිනේ "සුබ" නම් සෙනෙවියා මාඝ ආක්‍රමණ වලින් ආරක්ෂා වෙන්න හදපු බලකොටුව. පර්වතයක් උඩ පිහිටීම නිසා එතන ගොඩක් ආරක්ෂා සහිත ස්ථානයක් බව රජතුමාට වැටහුණා.  අන්න එහෙමයි රාජධානිය යාපහුවට මාරු වෙන්නේ.

ඉතින් යාපහුවේ පළමු රජතුමා තමයි බුවනෙකබාහු රජතුමා. එතුමා ඊජිප්තුව සමගත් සබඳතා පැවැත්තුවා කියලා වාර්තා වෙනවා. ක්‍රි. ව. 1283 දී බුවනෙකබාහු රජතුමා මියගියාට පස්සේ දකුණු ඉන්දියාවෙන් එන "ආර්ය චක්‍රවර්ති" යාපහුව ආක්‍රමණය කිරීම නිසා ඉන් පස්සේ එන්නේ අරාජික කාලයක්. මේ ආක්‍රමණ වලට මග පෑදුනේ  පරාක්‍රමබාහු කුමරු (විජයබාහු IV රජුගේ පුතණුවන්) සහ බුවනෙකබාහු රජුගේ පුතු අතර සිහසුන සඳහා ඇතිවුණු ගැටුම් හේතුවෙන් බවටත් මතයක් තියනවා. ආර්ය චක්‍රවර්ති දළදාවත් පැහැරගෙන ආපසු ඉන්දියාවට ගිහින් දළදාව භාර දෙනවා කුලසේකර නම් පඬි රජුට. අවසානයේ ඉන්දියාවට ගිහින් දළදාව නැවත වඩමවාගෙන එන්නේ පරාක්‍රමබාහු කුමරු. ඔහු දළදාව ගෙනවිත් පරාක්‍රමබාහු III නමින් රජ වී (ක්‍රි. ව. 1287 - 1293) පොළොන්නරුවේ සිට රට පාලනය කරනවා.

ඔය අතරේ අර බුවනෙකබාහු රජුගේ පුතාත් (ඔහුගේ නමත් බුවනෙකබාහු ම තමා) සිහසුනට ඇහැ ගහගෙන ඉන්න බවට සැක හිතීම නිසා ඔහුගේ ඇස් අන්ධ කිරීමට රජතුමා සැළසුම් කරනවා. මේ බව කනට වැටෙන බුවනෙකබාහු කුමරු වහාම සේනාවක් රැගෙන ගොස් රජු මරා දළදාවත් රැගෙන පලා එනවා. මේ කුමාරයා බුවනෙකබාහු II (ක්‍රි. ව. 1293 - 1302) නමින් රජ වෙනවා. ඔහු රාජධානිය පිහිටුවාගන්නේ කුරුණෑගල. අද අපි පඬුවස් නුවර පැත්තේ ගියාම පේන්න තියෙන්නේ මේ රාජධාණියට අයත් නටබුන් තමයි. ඔහුගෙන් පසුව රජ වෙන්නේ ඔහුගේ පුත් පරාක්‍රමබාහු IV (ක්‍රි. ව. 1302 - 1326). ඔහු ආගමික කටයුතු වලට විශාල අනුග්‍රහයක් දක්වපු රජෙක්. අලුතින් දළදා මාළිගාවක් තනා නියමිත වෙලාවට දළදා පූජා ආදිය පැවැත්වුවා විතරක් නෙමෙයි, ඒවා නොකඩවා කරගෙන යාම සඳහා උදව් වීමට සියලු දළදා පූජා සිරිත් ඇතුලත් "දළදා සිරිත" රචනා කෙරෙව්වා ලු. පන්සිය පනස් ජාතකය සිංහලට නැගුනෙත් මේ කාලයේදී කියලයි සඳහන් වෙන්නේ.



ඉන් පසුව සිහසුනට එන්නේ බුවනෙකබාහු III රජතුමා (ක්‍රි. ව. 1326 - 1332). ඔහු "වන්නි බුවනෙකබාහු" නමින්ද හැඳින්වෙනවා. ඔහු රජ පෙළපතකට සම්බන්ධ නැති නිසාත් වන්නි ප්‍රදේශ වල ජීවත් උන නිසාත් මෙළෙස හැඳින්වුනා වෙන්න පුළුවන්. ඉන් පසුව රජ කම ලබා ගෙන තියෙන්නේ විජයබාහු V රජතුමා (ක්‍රි. ව. 1332 - 1344). ඔහු "රවුලු විජයබාහු" නමින්ද හැඳින්වෙනවා.  ඔහු උතුරේ විසූ චන්ද්‍රබානු නම් ජාවක පාලකයාගේ පුතෙක් හැටියටයි සැලකෙන්නේ. උතුරේ ජාවක කොලනියක් තිබූ බව කලින් ලිපි වලදී ඉගන ගත්තා මතක ඇතිනේ :) රවුලු සහ ජාවක යන වචන දෙකේම තියෙන්නේ සමාන තේරුමක් කියලයි කියන්නේ. ආ තවත් දෙයක්...අරාබි සංචාරක "ඉබන් බථූතා" ලංකාවට ඇවිත් තියෙන්නෙත් මේ කාලයේදී තමයි.

මින් පසුව කාලය දෙශාපාලනමය වශයෙන් ටිකක් විතර අස්ථාවර කාලයක්. ජාවක රජුන් දකුණේ බලය අල්ලා ගැනීමට සැරසෙන අතරේ ඉන්දියාවේ ආර්ය චක්‍රවර්තින් නැවතත් උතුරේ බලයට පැමිණෙනවා. ආර්ය චක්‍රවර්ති උතුරේ මුතු කිමිදීමේ යෙදුනා ලු. ඉබන් බථූතා ගේ සටහන් වලට අනුව මේ කාලයේදී ලංකාවේ අලගක්කෝනාර නම් පාලකයෙකුත් ඉඳලා තියනවා. ඔහු බලවත්ව සිටියේ රයිගම ප්‍රදේශයේ. කොහොම නමුත් කුරුණෑගල අවසාන රජතුමා තමයි විජයබාහු V රජතුමා. මේ අස්ථාවරත්වය නිසා හෝ වෙන යම් හේතුවක් මත රාජධානිය ගම්පොළ ට මාරු වෙන්නේ මේ වෙලාවෙදියි. ගම්පොළ පළමු රජතුමා වෙන්නේ විජයබාහු V රජුගේ පුත් බුවනෙකබාහු IV රජතුමා (ක්‍රි. ව. 1344 - 1354). මීට සමගාමීව ඔහුගේ සොහොයුරු පරාක්‍රමබාහු V රජතුමා (ක්‍රි. ව. 1344 - 1359) දැදිගම සිට රජ කරනවා. මලයාලි සම්භවයක් තිබූ අලගක්කෝනාර රයිගම සිට ගම්පොළ ප්‍රදේශයටත් සතුරු තර්ජන එල්ල කළා ලු. රයිගමයයි ගම්පළයයි බුලත් පුවක් එහෙම විකුණුවේ මේ කාලෙදිද දන්නේ නෑ නේද? :)

ඔන්න ඔහොම අස්ථාවර තත්ත්වයක තමයි ඔය කාලේදී මුළු රටම තිබිලා තියෙන්නේ. 1354 දී බුවනෙකබාහු IV රජතුමා මිය යන නිසා නැවතත් ගම්පොළට රජෙක් ලැබෙනවා 1357 දී. ඒ වික්‍රමබාහු III රජතුමා (ක්‍රි. ව. 1357 - 1374). ඔහු පරාක්‍රමබාහු V රජුගේ බෑනා කෙනෙක් හැටියටයි සැලකෙන්නේ. ඔහුගේ රාජ්‍ය කාලය ගැනත් ඉන්පසුව ගම්පොළ තොරතුරු ගැනත් අපි ඊ ළඟ ලිපියෙන් කතා කරමු.


Tuesday, March 25, 2014

කුලු නැටුම




මම ස්ටේජ් වල නටලා තියෙන්නේ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙන්. ඒ ඉතින් මම වැඩිය නටන්නේ නැති හොඳ ළමයෙක් නිසා තමයි :)

මම දෙක වසරෙදි අපේ පන්තියේ ළමයි ටිකක් එකතු කරගෙන අපේ මිස් කුරුළු නැටුමක් නැටෙව්වා. මමත් ඒකේ කුරුල්ලෙක් හැටියට හිටියා (කිරිල්ලියක් ද මන්දා. එහෙම අඳුර ගන්න ක්‍රමයක් තිබුනේ නෑ) . බ්‍රිසිල් බෝඩ් වලින් කුරුළු තටු දෙකක් කපලා, ලා නිල් පාටින් පිහාටු ඇඳලා ඒ දෙක පිටේ අලවගෙන තව කාඩ් බෝඩ් වලින් හදපු හොටේකුත් ඔලුවේ බැඳගෙන අපේ නැටුම් වාරේ එනකන් අනාථ වෙච්ච කුරුල්ලෝ සෙට් එකක් වගේ ඩෙස්ක් වගයක් උඩට වෙලා හිටියා මතකයි. නැටුම ඉවර වෙලා අපි එක එක්කෙනා බුදු මැදුර ළඟ හිටවලා කොහෙන්දෝ ආපු පොටෝ අංකල් කෙනෙක් පොටෝවකුත් අරන් දුන්නා. ඒක තාම මගේ ඇල්බම් එකේ තියනවා. ලංකාවෙන් එද්දී ස්කෑන් කරගෙන ආවනම් මේකට දාන්න තිබුනා.

ඊට පස්සේ තුන වසරෙදි, කලගෙඩි නැටුමකට හිටියා.

"තාන තනා තඳේ...නා තඳෙනා නා....
...................................
 අහසට පිඹිනා එරන් කලේයා - පොළොවට පිඹිනා භූමි කලේයා  
රන් මසු දහසක් වටින කලේයා - නොබිඳින් නෑනෝ මගේ කලේයා 
....................................
බෙල්ලේ මුතු පොට කිරි සුදු පාටයි - ඊට වඩා අපෙ මව සුදු පාටයි 
.................................................  -  කලගෙඩි නැටුමත් අවසන් පාටයි "

හරියටම මතක නෑ. මොනවා උනත් කවි ටික නම් ලස්සනයි.

ඒ දවස්වල මම සාමාන්‍යයෙන් පන්තියේ උස ළමයෙක් හැටියට තමයි සැලකුණේ. ඒ උස ගියපු විදියට උස ගියානම් මට බඳින්න මනුස්සයෙක් හොයන්න බැරි වෙයි කියලා අපේ අම්මලා බයෙන් තමයි ඉඳල තියෙන්නේ..හිහි. ඉතින් ඔය හින්දා මට නැටුම් කණ්ඩායමේ පේලි වල පිටිපස්සට වෙන්න තැනක් තමයි ලැබුනේ. ඕකට මම අප්සට් වෙලා ඉඳලා පස්සේ හිත හදා ගත්තා :)

හතර වසරෙදි මම හිටපු ඉස්කෝලෙන් අස් වෙලා ලොකු ඉස්කෝලෙකට ආවනේ. ඊටත් පස්සේ ආපහු පහ වසරෙදි තමයි කුලු නැටුමකට ඉන්න චෑන්ස් එක හම්බු වෙන්නේ. ඒ දවස්වල මම නැවතිලා හිටියේ යාලුවෙකුගේ ගෙදර (අපේ ගෙදර ඉඳන් මේ ඉස්කෝලෙට ටිකක් දුර නිසා). එයාගෙ නම උපී. ඉතින් අම්මලා මාව බලන්න ආපු වෙලාවක නැටුම ගැන කියලා බට වලින් වියපු චූටි කුල්ලක් අරගත්තා කඩෙන්. හැට්ටයක් මහන්න කහ පාට රෙද්දකුත් අරන් දුන්නා. ඒක මහලා දුන්නේ උපීගෙ අම්මා. දැන් ඉතින් නැටුමත් හොඳට ප්‍රැක්ටිස් කෙරීගෙන යනවා. අන්තිමට කොන්සර්ට් එකට දවස් දෙක තුනක් තියලා මිස් කියපි නේද කුල්ල කළු පාටින් පාට කරලා රත්තරන් පාට මලක් අලවන්න ඕනේ කියලා. අයියෝ අසරණ මම. අම්මලත් ළඟ පාතක නැහැ. ඒ දවස්වල මගේ මෝඩ කම කියන්නේ උපීගෙ අම්මලගෙන් ඒවා ඉල්ලන්න හිතුනේ නෑ නේ මට. ඒ අයට කරදර නොකර මමම මොනවා හරි කරගන්න තමයි බැලුවේ.

අන්තිමට මගේ ළඟ නිකමට වගේ තිබුන සල්ලි ටිකකින් කෝම කෝම හරි ලැකර් ටින් එකකුයි අර වෙඩින් කේක් ඔතන ජාතියේ ලොකු කොලේකුයි ගත්තා. නැටුමට කලින් දවසේ හවස මම ලොක්කා වගේ ලැකර් ටින් එකත් දිග ඇරගෙන කුල්ල පාට කර කර ඉන්නකොට අපරාදේ කියන්න බෑ  උපී ගේ තාත්තත් ඇවිත් ඒකට  උදව් කළා. දැන් ඉතින් ඉතුරු මල කපලා අලවන එක. මලේ සැකිල්ලක් අපිට හාෆ් ෂීට් එකක ඇඳලා දීලයි තිබුණේ. මම ඉතිං බොහොම අමාරුවෙන් දිවත් හපාගෙන අර සැකිල්ල කොලේ උඩ තියලා මලක් ඇඳලා කැපුවා. හප්පා...රවුමට එන්න ඕන මල නිකන් ඉලිප්සයක් වගේ. ඒ මදිවට කුල්ල ඇතුල් පැත්තෙයි පිට පැත්තෙයි දෙකේම මල් දෙකක් අලවන්න කියලා තිබුණේ. පලවෙනි මලෙන්ම මගේ කොලේ ඉවරයි. කොරන්න දෙයක් නෑ . එක මලයි තියෙන්නේ. ඕන එකක් කියලා ඇලෙව්වා අර ඉලිප්සාකාර මල කුල්ලේ පිට පැත්තේ. දැන් හරි. දැන් ඉතින් හෙට වෙනකන් ඉවසිල්ලක් නෑ කුලු නැටුම නටන්න.

ඉතින් ඊ ළඟ දවසේ නැගිටලා ලේස්ති වෙලා නැටුමේ ඇඳුම් පැළඳුම් එහෙමත් පැක් කරගෙන ඉස්කෝලේ යන්න පිටත් උනා. අපි ඉස්කෝලේ ගියේ ස්කූල් වෑන් එකක. ඔන්න වෑන් එකේ නැගලා ටික දුරක් යද්දී මට දැනෙනවා මොකක් හරි අඩුයි කියලා. "අම්මටසිරි..කුල්ල". ඒක ගෙදර තියලා ඇවිත් තියෙන්නේ. දැන් ඉතින් කුල්ල නැතුව මොන කුලු නැටුම්ද? වෙන මොනවා අමතක වෙලා ආවත් වෑන් එකට නැග්ගට පස්සේ ආපහු කටක් නාරින මම එදා නම් වෑන් එකේ අංකල් ට කියලා වෑන් එක නවත්ත ගත්තා. දුවලා දුවලා ගිහින් කුල්ල අරගෙන ආවා.

ඉස්කෝලෙට ගියාට පස්සේ අපේ පන්තියේ ළමයිට මගේ ඉලිප්සාකාර මල අලවපු කුල්ල හෙනම ප්‍රස්නයක්. ඒ උනාට අපේ ආදරණීය ගුරුතුමී ට ඒක ප්‍රශ්නයක් උනේ නෑ. මලක හැඩට වඩා ළමා හිතක මෙලෙක අඳුරන ගුරුතුමී මාව නැටුමෙන් අයින් කරේ නෑ (ඒත් එහෙම කරන අය ඕන තරම් ඉන්නවා මම හිතන්නේ).  කුලු නැටුම අති සාර්ථකව රඟ දැක්වුනා. කුළු ටික අතරේ ඉලිප්සාකාර මලක් එක්ක කුල්ලකුත් වැනෙන්න ඇති. ඒකෙන් නැටුම කැත වෙන්නත් ඇති. ඒත් මගේ හිත නම් තිබුනේ මලක් වගේ පිපිලා :)

පහ වසරේ ශිෂ්ශ්‍යත්වෙන් සමත් වෙච්ච වෙලාවේ අපේ මිසුත් ළමයි වගේම සතුටු උන හැටි මට මතකයි. සමත් නොවුන අයගෙත් ලකුණු අහලා සනසවපු හැටිත් මතකයි. හය වසරට ගියාට පස්සේ අපි ආපහු මිස් ව දැක්කේ නෑ. පහ වසර දක්වා පන්ති වෙනත් තැනක තිබුණ ප්‍රාථමිකේට ගෙනියපු නිසා මිසුත් ඒ එක්කම ගියා. ඒත් තවත් වැදගත්ම දවසක මිස්ව මුණ ගැසීමේ වාසනාව මට ලැබුණා. ඒ උසස් පෙළ ප්‍රතිඵල ආපු දවසේ. මොකක් හරි වැඩකට අපේ ඉස්කෝලෙට ආපු මිස්, ප්‍රින්සිපල් ඔෆිස් එකේදී මට අහම්බෙන් මුණ ගැහුනා. මිස් නම් ඒ වගේමයි (ලස්සනයි). බින්දුවක්වත් වෙනස් වෙලා නෑ. ඒත් මම සෑහෙන ලොකු වෙලා උස ගිහින්. එහෙම උනත් මටත් කලින් මාව අඳුරගෙන වෙනදා වගේම වාසගම කියලා මට කතා කළේ මිස් මයි. "මිස්, මම මොරටුව ඉංජිනියරින් තේරිලා" කිව්වම එදා ශිෂ්‍යත්වේ පාස් කියපු වෙලාවේ තිබුන හිනාවම මිස්ගේ මූණේ ඇඳිලා ගියා. 

ඒ අපේ ආදරණීය "වාකිෂ්ඨ" ගුරුතුමිය අද කොහේ ඉන්නවද මොනවද කරන්නේ කියලා මම දන්නේ නැහැ. ගොඩක් වෙලාවට විශ්‍රාම සුවයෙන් ඉන්නවා වෙන්න ඇති. ඉතින් මේ ලිපිය ඇයට උපහාරයක් වේවා කියනවා ඇරෙන්න ඇය වෙනුවෙන් වෙන මොනවා කරන්නද?


Related Posts Plugin for WordPress, Blogger...