Monday, June 17, 2013

සුපීරියර් විලේ සිතුවම් ගල්

සුපීරියර් විල කියල කියන්නේ පංච මහා විල් වලින් ලොකුම එක. පංච මහා විල් කියන්නේ මොකද්ද කියලනම් අහන්න එපා හොඳේ. :) එක සැරයක් නයගරා ගැන ලියපු පෝස්ට් එකේදී ඔය විල් හැදුන හැටි, විස්කොන්සින් ග්ලැසියේෂන් ගැන එහෙම කිව්වා මතකයි.

ඉතින් මේ සුපීරියර් විලේ කොනක එක්තරා පුංචි ඉවුරක් තියනවා "Pictured Rocks" කියලා. ඒ ඉවුරට මේ නම ලැබෙන්න හේතුවකුත් තියනවා.



ඔය ඉවුරේ බිත්තිය දිහා හොඳට බැලුවොත් පෙනේවි නිකන් ඉරි ඉරි චිත්‍රයක් වගේ එකක්. ටිකක් වම් පැත්තට වෙන්න. ඒ වගේ ස්වාභාවික චිත්‍ර ඉවුර දිගටම පිහිටලා තියනවා. මෙතන ඉවුරෙන් බොහොම පොඩ්ඩයි පේන්න තියෙන්නේ.  හරියටමනම් මේ ඉවුරුවල දිග හැතැප්ම ගානක්. ඉතින් ඒ ඉවුරු දිගටම අර විදියේ චිත්‍රත් පිහිටලා තියනවා.

හැබැයි මේවා ගොඩ ඉඳගෙන නම් දැකගන්න බැහැ. ඒකට පුංචි පහේ ක්රූස් එකක් සූදානම් කරලා තියනවා අපිව එක්ක ගිහින් ඒවා පෙන්නන්න. ඔය යන්නේ එයින් එකක්.


ඔහොම ඉවුරු අයිනෙන් යාත්‍රා කරගෙන යනකොට ඔන්න චිත්‍ර පොතක වගේ අපූරු සිතුවම් පේන්න පටන් ගන්නවා. මේ සිතුවම් රතු, නිල්, කළු, කොළ වගේ වර්ණ වලින් දකින්න පුළුවන්. 





මම කලින් කිව්වනේ සුපිරියර් විල තමයි පංච මහා විල් වලින් ලොකුම සහ ගැඹුරුම එක කියලා. ඒ වගේම එදා දැනගත්ත තවත් කාරණයක් තමයි මේ විලේ ජලය සාපේක්ෂව ඉතාමත් පිරිසුදුයි ලු. ඒ කතාවනම් ඇත්ත වෙන්න ඕනේ. වතුරේ පාට දිහා බැලුවමත් ඒක පේනවා.

මේ තියෙන්නේ සාමාන්‍ය පොයින්ට් & ශූට් කැමරාවකින් ගත්ත විල් පතුලේ පින්තුරයක්.



මේ ආරුක්කුවක් වගේ පේන ස්ථානයට කියන්නේ "lover's leap" කියලා. ඔතන විල ගැඹුරුයි වගේ පෙනුනට ඉතාමත් නොගැඹුරු තැනක්. කවුරු හරි ගිලිලා මැරෙන්න හිතාගෙන වතුරට පැන්නට වැඩක් වෙන්නේ නෑ. විලේ පතුලේ වැදිලා තමයි මැරෙන්න වෙන්නේ.

 

හැබැයි මේ ගමනේ උපරිම විනෝදය ලැබෙන්නේ ක්රූස් එකෙන් ගියොත් නෙමෙයි. තනි මනුස්සයෙක්ට විතරක් යන්න පුළුවන් kayak කියන බෝට්ටු විශේෂය ගැන අහල ඇතිනේ. ඉතින් කැමති අයට පුළුවන් කයැක් එකක් බද්දට අරගන්න. ඉන් පස්සේ කයක් එකයි මිනිහවයි දෙන්නවම වෙනත් බෝට්ටුවකින් ඈතට අරගෙන ගිහින් සිතුවම් ඉවුරු අතරේ අත ඇරලා එනවා. හිතේ හැටියට පැදලා කැමති වෙලාවක ගොඩට පැදගෙන එන එකයි තියෙන්නේ. මේ ඉන්නේ එහෙම kayak කාරයෝ ටිකක්. ක්රූස් එකට යන්න බැරි අහුමුලු අස්සට මේ අයට යන්න පුළුවන්.




මමනම් ඉතින් ඔය kayak වැඩේට කැමති නෑ. ඒක මේ දැන් පෙරලෙන්න බලාගෙන ඉන්නේ කියලමයි  මට හිතෙන්නේ. ඊට වඩා ටිකක් ස්ථායි canoe කියන ජාතිය. ඩබල් දාලා තමා යන්නේ. ඒවායේ නම් අපි ගිහින් තියනවා දෙතුන් පාරක්. දෙන්නෙක් ඉන්නකොට වැඩිය හොඳයි නේ :)

                                                                 ~~~~~~~~~~~~~~

පින්තූර දදා හිටියා මිසක් මේ විදියේ සිතුවම් ගල් වල මැවුනේ කොහොමද කියලා කිව්වේ නෑ නේ. ඒකට හේතුව තමයි ඛනිජ ලවණ. මේ උස ඉවුරු වැඩි හරියක්ම සමන්විත වෙන්නේ ගල් වලින්. ඒවායේ අඩංගු වෙනවා එක එක වර්ගයේ ඛනිජ ලවණ.

මෙන්න මේවා තමයි අපිට දකින්න ලැබෙන සිතුවම් වර්ණ වලට හේතු

යකඩ - රතු පැහැය
මන්ගනිස් - සුදු සහ කලු
ලිමොනයිට් - කහ දුඹුරු
තඹ - රෝස කොළ පැහැය

ඒ වගේමයි කාලාන්තරයකට කලින් විලේ ජල මට්ටම තිබිලා තියෙන්නේ මීට ගොඩක් උසින් ලු. කාලයත් එක්ක ජල මට්ටම පහළ බහිද්දී ඉවුරු ඛාදනය වීමත් එක්ක අර ඛනිජ ලවණ දිය වුන සලකුණු ඉතිරි කරලා ජලය වාෂ්ප වෙලා ගිහින්. ඕක තමා එයාලා අපිට දීපු පැහැදිලි කිරීම.

ආ..තව පොඩ්ඩෙන් අමතක වෙනවා. හොඳම පින්තුරේ දැම්මේ නැහැනේ. ඔන්න බලන්න. මුකුත් අමුත්තක් එහෙම පේනවද?



තෙතමනයක් නැති කාෂ්ඨක ගල් පර්වතයක් උඩ පුංචි පැලයක් පැල වෙලා. ටික ටික ලොකු වේගෙන එද්දී තමයි වැඩේ තේරෙන්නේ. නෝ වෝටර්...නෝ ෆුඩ්...

දැන් ඉතින් මොකෝ කරන්නේ. ගහත් වැඩේ අත ඇරලා නැහැ. පේනවද පර්වතයේ වම් පැත්තෙන් ගහේ මුල් වගයක් ඇදිලා ගිහින් ප්‍රධාන ගොඩ බිමත් එක්ක සම්බන්ධ වෙන හැටි? ඒක තමා නොමැරී ඉන්න ගහ හොයා ගතිපු ක්‍රමය. හරියට පිටරටකින් ආහාර ආනයනය කරනවා වගේ. කෝම හරි ගහ තවමත් සුවෙන් :)

Tuesday, June 4, 2013

අසමගි නෑයෝ - රාජාවලිය XXIX

කට්ටියට මතකද මන්දා දැන් අපි කොහෙද ඉන්නේ කියලා. එච්චර වේගෙන් මේකේ ලිපි ලියවෙනවනේ දැන් :) කමක් නෑ....දැන් අපි ඉන්නේ පොළොන්නරු යුගයේ. අන්තිම ලිපියෙන් අපි කතා කරේ මහා විජයබාහු රජතුමා චෝලයින්ගෙන් රට නිදහස් කරගෙන රජ වෙච්ච හැටි.

ඒ ලිපියේම අපි කතා කරා ජගතිපාල කියලා අයෝධ්‍යාවෙන් පැමිණිලා පාලන කටයුතු අල්ල ගත්තු නායකයෙක් ගැන. අන්තිමට චෝලයින් ඔහුවත් පරාජයට පත් කරලා ඔහුගේ බිරිඳ සහ දියණිය සිර කරුවන් විදියට ඉන්දියාවට ගෙන යනවා. මෙන්න මේ කාලයේදී ඔවුන් දෙදෙනා නිදහස් වෙලා නැවත ලංකාවට එනවා. ඉතින් විජයබාහු රජතුමාත් ඔවුන්ව පොළොන්නරුවට ගෙන්වාගෙන හොඳින් සත්කාර කරනවා. අන්තිමේදී රජතුමාගේ අගබිසව වීමේ වාසනාව ලැබෙන්නේ මේ දියණියට, එනම් "ලීලාවතී" කුමරියට. ඔවුන් දෙදෙනාට යශෝධරා නම් දියණියක්ද ලැබෙනවා.


විජයබාහු රජතුමාට "මිත්තා" නම් බොහොම ලස්සන සහෝදරියක් ඉන්නවා. මේ කුමරියට හැම පැත්තෙන්ම මංගල යෝජනා එද්දී චෝල රටෙන් ආපු කුමාරයෙකුත් කුමරිය ගැන අදහසක් තියාගෙන ඉන්න බව රජුට දැනගන්න ලැබෙනවා. මේකට නොසෑහෙන්න උදහස් වෙන රජතුමා අර කුමාරයාට ඒ ගැන තරවටු කරනවා. අච්චර කාලයක් තිස්සේ තමන්ගේ රටට වින කළ අයට තමන්ගේ සොයුරියක් දෙන්න රජතුමා කැමති උනානම් තමයි පුදුමේ. ඒත් මේ ක්‍රියාව නිසා පසුව කරදර ඇති විය හැකි බව සිතා රජතුමා පසුතැවෙනවා. ඒ නිසා ඉක්මනින්ම මිත්තා කුමරිය පාන්ඩ්ය කුමරෙක්ට සරණපාවා දෙනවා. මේ මගුල් තුලා කටයුතු වලිනුත් එතුමා කළේ උපක්‍රමශිලිව විදේශ සබඳතා තර කර ගැනීම. එහි තවත් පියවරක් විදියට තමන්ගේ දෙවන බිසව ලෙස කාලිංග රජ පරපුරෙන් "තිලෝකසුන්දරී" කුමරිය සරණපාවා ගන්නවා. එමෙන්ම පිරිහී තිබුණු භික්ෂු ශාසනය රැක ගැනීමට බුරුමයේ අනුරාධ රජුගේ අනුග්‍රයෙන් නැවත උපසම්පදාව පිහිටුවනවා. මේ සබඳතා නිසා තවත් කාලයක් යනතුරු චෝලයින්ගෙන් ලංකාවට කරදර ඇති වෙන්නේ නැහැ.  ඒත් චෝල අධිරාජයා පිටින් නොපෙන්නුවත් ලංකාවත් සමග සිටියේ නොසතුටින්.

මේ අතරේ චෝල සහ කර්නාට යන දෙරටින් ලංකාවට පැමිණි සාම දූත පිරිසක් රජතුමා හොඳින් පිළිගෙන ප්‍රති උත්තර විදිහට මෙරටින් තෑගි බෝග රැගෙන සාම දූතයින් එහි යවනවා. චෝලයින් සමග වෛරය යටපත් කරගන්නට රජතුමා උත්සාහ කරන්න ඇති.  එහෙත් සිදු වන්නේ අනෙකක්. චෝලයින් කරන්නේ මෙහෙන් ගිය සාම දූතයින් අල්ලාගෙන කන්, නාසා ආදිය කපා නැවත ලංකාවට එවීම. මෙයින් කුපිත වෙන රජතුමා "කුලෝත්තුංග" නම් එවකට සිටි සොලී රජුට අභියෝග කරනවා සටනකට එන ලෙස. සොලී රජුගෙන් ප්‍රතිචාරයක් නැති තැන සොලී රටට ගොස් පහර දීම සඳහා සේනාව රැස් කරන රජතුමාට තවත් නොහිතූ කරදරයකට මුහුණ දෙන්න සිද්ද  වෙනවා. ඒ තමයි රජතුමාගේ චෝල කුලී භටයින් විසින් අභ්‍යන්තර කැරැල්ලක් ඇති කිරීම. මේ චෝල භටයින් වැඩි හරියක් අර ගජබා රජතුමා දකුණු ඉන්දියාවෙන් අරගෙන ආපු අය.  ඒ ඉතින් අපේ රජෙක් කරපු තවත් මෝඩ කමක් තමා. ඉතින් මේ කැරැල්ල නිසා අපේ සේනා වලට වරායෙන් පිටත් වෙන්නවත් ලැබුනේ නැහැ. විජයබාහු රජතුමාට සිද්ද උනේ උපක්‍රමශීලිව වාකිරිගලට පලා යන්න. වාකිරිගලදී රජු තමන්ගේ සහෝදර වීරබාහු උප රජු සමග එක්ව නැවත සේනා සංවිධානය කර පොළොන්නරුව බලා යනවා. එහිදී ඇති වෙන ඉතාමත් දරුණු සටනකින් පසුව සොලී කුලී හේවායින් පරදවන්න ඔවුන්ට හැකි වෙනවා. ජීවග්‍රහයෙන් අල්ලාගත් කුලී හේවායින්, කැරැල්ලේදී මරා දැමූ සිංහල සෙනෙවියන්ගේ සොහොන් කොත් වලට තබා බැඳ, ගිනි තැබූ බවත් කියවෙනවා.


මේ අතර යුව රජ වූ වීරබාහුගේ වියෝව නිසා ඉතාමත් දුකට පත් වෙන රජතුමා ඔහුගෙන් හිස් වුනු යුවරජ තනතුරට පත් කරන්නේ බාලම සොහොයුරු "ජයබාහු". රුහුණේ පාලකයා ලෙස  පත් කරන්නේ තිලෝකසුන්දරී බිසවගෙන් ලද පුත් "වික්‍රමබාහු".

මහා විජයබාහු රජතුමාගේ මරණය සිද්ධ වෙන්නේ ක්‍රි.ව. 1110 දී. සිංහලේ මහා ගැලවුම්කරු ලෙස විරුදාවලිය ලැබිය යුතු, අති දක්‍ෂ මෙන්ම ගුණ ගරුක (තමාට උදව් කළ බුදල්නාවන්ට කළගුණ සැලකීම සඳහා කරවූ පනාකඩුව තඹ සන්නසෙන් පැහැදිලි වන පරිදි ) උතුම් රජෙකුගේ මරණය රටටම දුකක් බව අමුතුවෙන් කිව යුතු නැත.

විජයබාහු රජතුමාගේ මරණින් පස්සේ උදා උනේ තවත් කලබලකාරී කාලයක්. රජ කිරුල ලබා ගැනීම සඳහා උරුමක්කාරයින් සටන් වැදීම තමා එයට හේතුව. රජුගේ සොයුරිය, මිත්තා කුමරියට පුතුන් තිදෙනෙක් සිටි අතර ඔවුන් රාජ්‍ය බලය ලබා ගැනීමට යුහුසුළු උනා. මේ සඳහා ඔවුන් කළේ ඇමතියන් සහ සංඝයා වහන්සේලාගේ උපකාර ඇතුව දැනට යුවරාජ ව සිටි රජුගේ සොහොයුරු "ජයබාහු" (ක්‍රි. ව. 110 - 1111) රජකමට පත් කිරීම. මේ කටයුත්ත කළේ විජයබා රජුගේ පුත් වික්‍රමබාහු ට නොදන්වා. ජයබාහුට රජකම ලැබුනත් රාජ්‍ය පාලන බලය සම්පූර්ණයෙන්ම අතට ගත්තේ මිත්තා කුමරියගේ පුතුන් තිදෙනා. එයින් වැඩිමහල් "මානාභරණ" කුමරු යුවරජ බවට පත් වුනා. සියලු කටයුතු කෙරුනේ ඔවුන්ට උවමනා විදියට. ජයබාහු රූකඩ රජෙක් බවට පත් උනා.   

මෙයින් නොනැවතුණු ඔවුන් තමන්ගේ මස්සිනා වන වික්‍රමබාහු කුමරු අත්අඩංගුවට ගැනීම සඳහා රුහුණු දේශය බලා යාමට සූදානම් වෙනවා. මේ බව ඇසූ වික්‍රමබාහු කුමරු සේනාවකුත් රැගෙන පොළොන්නරුවට ගොස් මුලින්ම තම පියාගේ සොහොනට ගෞරව දක්වනවා. ඉන් පස්සේ ඔහු හා සටනට එන තෙසොහොයුරන් පැරදවීමට වික්‍රමබාහු කුමරු සමත් වෙනවා. මෙහිදී පලා යන මානාභරණ සහ සොහොයුරන් නැවත නැවතත් සංවිධානය වී සය වරක්ම වික්‍රමබාහු කුමරු පරාජය කිරීමට උත්සාහ කරත් ඔවුන්ට නැවත නැවතත් පරාජයම අත් වෙනවා. මේ නිසා ඔවුරුහුණට පලා ගොස් එය හවුලේ පාලනය කරන අතර වික්‍රමබාහු රජු (ක්‍රි. ව. 1111 - 1132) රාජ්‍ය පාලනය බාර ගන්නවා.

කෙසේ වෙතත් මානාභරණ ඇතුළු පිරිස වික්‍රමබාහු රජු සමග ඇති උදහස යටපත් වන්නට දෙන්නේ නැහැ. ඔවුන් නැවතත් රජුට විරුද්ධව සටනට පිටත් වෙනවා. මේ ආරංචිය ලැබුන විගසම වික්‍රමබාහු රජුත් සේනාව සමග ඉදිරියට පැමිණෙනවා. ඒ සටනෙනුත් පැරදෙන සොහොයුරන් පස් යොදුන් රටට පලා යනවා. කොරේ පිටට මරේ කියන්න වගේ මේ වෙලාවේ වික්‍රමබාහු රජුට විදේශ ආක්‍රමණයකටත් මුහුණ දෙන්න වෙනවා. ඒ වීරදේව නම් සෙනෙවියාගෙන්. වීරදේව ඇතුළු පිරිස මාතොටට ගොඩබැස කරන සංහාරය ගැන ඇසූ රජු ඔවුන් හා සටනට පිවිසියත් රජුගේ හමුදාව දුර්වල වීමට පටන් ගන්නා නිසා රජුට සිදු වෙන්නේ සියලු වටිනා වස්තුවත් රැගෙන පලා ගොස් සැඟවීමට. මහකරදාම දුර්ගයේ සැඟවුණු රජුගේ සේනාවට පහර දීමට පැමිණි වීරදේව ගේ සේනාව විනාශ කිරීමට රජු සමත් වෙන්නේ භූ විෂමතාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා නිසා. මේ ජයග්‍රහණයෙන් පසුව රජුගේ බල පරාක්‍රමය හැම දිසාවේම ප්‍රසිද්ධ වෙද්දී මානාභරණ ඇතුළු සොහොයුරන් පසු බා රජුට විරුද්ධ සටන් අතහැර දමා රුහුණට ගොස් ජිවත් වෙනවා.

වික්‍රමබාහු රජුගේ මරණයෙන් පස්සේ රජ වෙන්නේ ඔහුගේ පුත් ගජබාහු II (ක්‍රි. ව. 1132 - 1153). මේ සිද්ධිය නිසා නැවතත් රුහුණේ සිටින තෙසොහොයුරන් කලබල වෙනවා. මෙවර කරලියට බහින්නේ බාල සොයුරන් දෙදෙනා වන "කීර්ති ශ්‍රී මේඝ" සහ "සිරි වල්ලභ". ඔවුන් පොළොන්නරුවේ ද්‍රවිඩ කුලී හේවායින්ට පගා දී තමන් දෙසට හරවා ගෙන ඥාතිත්වයෙන් තම බෑණනුවන් වන ගජබා රජු හා සටන් කිරීම සඳහා පොළොන්නරුවට ගොස් දෙපැත්තකින් කඳවුරු බඳිනවා. මේ බව ඇසූ රජතුමා රාජකීය සේනාව යොදවා ඔවුන් පරාජයට පත් කරනවා.

මේ ආකාරයට අවුරුදු 20 ක් පමණ රජකම් කිරීමට ගජබාහු සමත් වෙනවා. එකම පවුලේ ඥාතීන් බලයට පොර කෑම පිළිකුල් සහගත උනත් මේ එහි අවසානය නොවේ. ඊ ළඟ රාජාවලිය ලිපියෙනුත් මේ පවුල් අතර ඇති වෙන හැලහැප්පීම් ගැන විස්තර බලාපොරොත්තු වන්න.

Wednesday, May 15, 2013

මාළු කටු මන්තරේ



"ඕං රීං ඒස්වා... 
 භූත බන්ධ ප්‍රේත බන්ධ ඒස්වා හඃ.. 
 #&*&@#^*#$%#%$%^........"

 ඒ මන්තර හඬ ඇහෙන්නේ මගේ උගුරේ හිර වෙච්ච මාළු කට්ට එලියට අරන් දෙන්න ආපු ගුරුන්නාන්සේ ගෙන්. මට ඔය මාළු කට්ට හිර උනේ ඊට සති ගානකට කලින්. අර හීනි මාළු කුරීයෝ ජාතියක් ඉන්නේ හුරුල්ලෝ කියලා, උන් බැදලා කනකොට හරිම රහයි. ඒ උනාට මම වගේ පොඩි උන්ට (ඒ වෙද්දී වයස 7 ක් විතර) ඔය ජාතියේ මාළුන්ගෙන් ටිකක් අපලයි. මාළු කට්ටක් හරස් කරන්න තරම්වත් උගුර ඉඩ නැහැනේ.

කෝම හරි ඉතින් මේ කටුව හිර වෙච්ච එකෙන් මම සති ගානක් දුක් වින්දා. කිසිම දෙයක් හරියාකාරව කන්න බොන්න විදියක් නැහැ උගුරේ වේදනාව හින්දා. සේරටම වඩා අමාරු කට්ට යන්න කියලා අම්මා හදල දෙන බත් ගුලි ගිලින එක. කෙසෙල් ගෙඩිද අරවද මේවද හපන්නේ නැතුව කුට්ටි පිටින් ගිලලා එපා වෙලා තිබුනේ. කොච්චර කරත් ඒක තව හිර වෙනවා මිසක් ගැලවෙන පාටක් නැහැ. වැඩේ හරි යන්නෙම නැති තැන තමයි තාත්තගේ යාලුවෙක් ඔය ගුරුන්නාන්සේ එක්කගෙන ආවේ. ඇයි අප්පා නැත්නම් දොස්තර කෙනෙක් ලඟට ගිහින් අඬුවකින් කටුව අරන් දාගන්න කියලද? මන්තරේකින් කටුවක් අරන් දාන විදිහ ගැන හිතා ගන්නත් බැරි උනත් අන්තිම තුරුම්පුව හැටියට ඒකත්  කරලා බලන්න අම්මලා තීරණය කරා.

ඉතින් ගුරුන්නාන්සේ අර මතුරන්නේ බත් ගුලියකට. තඩිම තඩි බිත්තරයක හැඩේට ගුලි කරපු බත් ගුලියකට. ඒ ලඟම වතුර කෝප්පෙකුත් තියනවා. මම පැත්තකට වෙලා මන්තරෙත් අහගෙන අර තඩි බත් ගුලිය ගිලින ක්‍රමයක් ගැන හිත හිත ඉන්නවා. පැය බාගයක් විතර මතුරලා මතුරලා අන්තිමට අර බත් ගුලිය අම්මගේ අතට දුන්නා මට ගිල්ලවන්න කියලා. ඒ ගුලිය දෙකට කඩලා පුංචි ගුලියක් හැදුවට පස්සේ ඒකෙනුත් බාගයක් වගේ තමයි මට ගිලගන්න පුළුවන් උනේ. ඒත් එක්කම අර වතුර කෝප්පෙන් ටිකකුත් බිව්වා.

දැන් ඉතින් මට තියෙන්නේ කටුව යනකන් බලන් ඉන්න...විනාඩියක් හිටියා.. දෙකක් හිටියා.. මෙන්න බොලේ ටිකක් උගුරේ රිදිල්ල අඩුයි වගේ. ආපහු අර වතුර ටිකක් බීලා බැලුවා. කලින් වතුර බොද්දි දැනුනු රිදිල්ල දහ ගුණේකින් විතර අඩු වෙලා. ඔහොම ටිකෙන් ටික වතුර කෝප්පෙම බිලා ඉවර වෙද්දී මාළු කට්ට කොහේ ගියාද නෑ. වේදනාවත් අන්තරස්දාන වෙලා.

                                                                 ~~~~~~~~~~~~~~

යන්තර මන්තර කියන එව්වා සමහරු විශ්වාස නොකළට මේකනම් මමම අත්විඳපු දෙයක්. එහෙම වෙන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි උනත් එහෙම වෙච්ච බව අත්දැකීමෙන් දන්නවා.

අපේ සීයාත් (තාත්තගේ තාත්තා) හොඳ මන්ත්‍රාචාර්යවරයෙක්. ගොවිතැනට අමතරව සීයා ඒක රැකියාවක් හැටියට කළා. ගමේ අය සීයාව හැඳින්නුවේ "යකැදුරු  මහත්තයා" කියලා. මේකත් ඒ දවස්වල "වෙද මහත්තයා" තනතුර වගේම ගමකට වැදගත් තනතුරක්. අපේ ගමේ ගෙදර (හිච්චා ගේ කතාවේ මේ ගෙදර ගැන වතාවක් ලිව්වා මම) තොවිලයක් ශාන්තිකර්මයක් කෙරෙනවා කියන එක හරිම සාමාන්‍ය දෙයක්ලු ඒ කාලේ. ගමේ මිනිස්සු ලෙඩක් දුකක් උනාම වෙද මහත්තයාගේ බෙහෙත් අහන්නේ නැති වෙද්දී දුවගෙන එන්නේ සීයා ලඟට. මොකද අර මට උනා වගේ, ඒක තමයි අන්තිම තුරුම්පුව. ඉතින් ඒ මිනිස්සුන්ට සීයා දෙවි කෙනෙක් වගේ.

පොඩි කාලෙදී ඉනට බඳින කිරි කවඩි වැල, නින්දෙන් බය වෙනවට කොට්ට උරේ අස්සට දාන යන්තර, රත් හඳුන් කල්ක, අත් බෙහෙත්, සුර... මේ හැම දෙයක්ම අපිට සීයා මතක් කරවන දේවල්. ඒ දවස්වල කල්ක බොන්න මමනම් පුදුම කැමතියි. ඒවා බොන්න දෙන්නේ මිහිපිට තියන මිහිරිම දියරයක් එක්ක. මී පැණි ටිකකට දෙහි ඇඹුල් ටිකක් දාලා ඒකට ගම්මිරිස් කුඩු පොඩ්ඩකුත් දාගත්තම අන්න ඒ දියරය ලැබෙනවා. මම දැනටත් ඕක හදාගෙන බොනවා කල්ක නැතුව. හෙහෙ.

සියාගේ මේ යන්තර මන්තර සම්බන්ධ වැඩ හින්දා අපේ අත්තම්මානම් ටිකක් කරදර විඳලා තියනවලු. අත්තම්මා කියන හැටියට ඒ ගමේ ගෙදර ගෑනු කෙනෙක්ට ලෙඩක් දුකක් නැතුව ඉන්න අමාරුයි. ආත්තම්මට එහෙ ඉන්නකන් මොකක් හරි ලෙඩක් නැති දවසක් තිබුනේ නැහැලු. එක්කෝ වාත අමාරුවක් නැත්නම් සෙම. ඔය වගේ මොනවම හරි ලෙඩක් තියනවලු හැමදාම. හැබැයි කසාද බැඳලා එහෙන් ගියපු නැන්දලාටවත් අවුරුදු දෙක තුනක් විතරක් එහෙ පදිංචියට ගිය අපේ අම්මටවත් ඒවා බලපෑවේ නෑ. ගමේ ගෙදර අයිති වුනේ පුංචි තාත්තට. ඉතින් පුංචි තාත්තා කැන්දාගෙන ආපු පුංචිටත් ආත්තම්මට වගේ හැමදාම ලෙඩ තමා. සීයා තොවිල් වලට ගිහින් ආතුරයා හොඳ කරලා එනකොට ආතුරයාට වැහිලා හිටපු භූත ප්‍රේත යක්කු ඔක්කොම සීයා එක්ක ගෙදර එනවා කියන එක තමයි ආත්තම්මාගේ තියරිය :) අනේ මන්දා ඕවයේ ඇත්ත නැත්ත. මේ හින්දා සීයා තොවිලෙකට හරි ශාන්තිකර්මෙකට හරි පිට ගියපු දවස්වලට ආත්තම්මා ළමයි ටික ගෙට අරගෙන හතර වටේම දොරවල් වහලා වේලාසනින්ම නින්දට යනවලු. මොනම හදිසියකටවත් කාටවත් එලියට බහින්න දෙන්නේ නැහැලු. ඒ කාලේ ගෙවල්වල Attached bathroom කියලා ජාතියක් තිබුනේ නැහැ කියලත් මතක තියාගන්න ඕන :)

කොහොමහරි ඉතින් සීයා ගමට කරේ සුළු පටු සේවයක්නම් නෙමෙයි. ඒ බව අපිට හොඳින්ම වැටහුනේ සීයාගේ මළගම දවසේ. සීයා නැති පාඩුව අද අපිට දැනෙනවටත් වඩා ගමට දැනෙනවා. නවීන විද්‍යාවට පැහැදිලි කළ නොහැකි මහා දැනුම් සම්භාරයක් සීයත් එක්කම වැළලිලා ගියා කියලා මට හිතෙනවා. රාජ්‍ය පරිපාලන නිලයක් දරන අපේ තාත්තවත් විදුහල්පති කෙනෙක් වෙච්ච පුංචි තාත්තවත් නූතන උගත් පරපුරත් එක්ක මුහු උනා ඇරෙන්න මේ දේවල් ගැන උනන්දුවක් දක්වලා නැහැ. ලොකු තාත්තා විතරක් තරමක් දුරට විෂය ප්‍රගුණ කරලා තිබුනත් තෙල් මැතිරිමක් නූල් බැඳීමක් ඇරෙන්න ඊට වැඩි දෙයක් කරන්න තරම් දැනුමක් නෑ මගේ හිතේ. අපි නවීන ලෝකයේ ඉදිරියට යන තරමටම මේ දේවල්වලින් පසු පසට යනවා නේද? කොටින්ම මටත් මෙහෙම අත්දැකීම් නොතිබුනානම් මේ දේවල් සතේකටවත් විශ්වාස කරන එකක්වත් නැහැ.


ප. ලි. - කාලෙකින් ලිපියක් දැම්මට මට පහුගිය දවස් හතර පහක්ම කාගේවත් බ්ලොග් බලන්න ලැබුනේ නෑ. දවස් කීපයක්ම ගෙදරින් ඈත ගිහින් හිටියා පොඩි නිවාඩුවකට. ඊයේ තමා ආවේ. ඒ විස්තරත් "හඳ අල්ලපු රටේ විත්ති" ලිපියකින් කියන්නම් ඉස්සරහට.  දැන් ඉතින් අත ඇරිච්ච එව්වා කියවන්න ඕන. :)

Friday, April 19, 2013

වසන්තේ අරන් ඇවිල්ලා...

මතකනේ මම මීට සෘතු දෙකකට කලින් ලියපු සරත් සිරිය ලිපිය. (ඒකෙදි තමයි තිසර යෝජනාවක් ගෙනාවේ මේ සෘතු වලට හරිනම් දාන්න ඕන පිරිමි නම් නෙමෙයි ගෑණු නම් කියලා. හේතුව හැටියට කිව්වේ ඉක්මනින් වෙනස් වෙන ලක්ෂණයක්ද මොකක්ද එකක් ගෑනුන්ට තියනවලු. අනේ මන්දා ඕවා ඉතින් :O කොහොම හරි සරත් සෘතුවට චමිලා සෘතුව කියලා නමකුත් දාලා තිබුනා). ඉතින් ඔය සෘතු භේදය ඇති වෙන හැටිත් මම ඒ ලිපියෙදි විස්තර කරලා ඇති. ඒ හින්දා ආපහු කියන්න ඕන නෑ නේ.

ඉතින් සරත් සෘතුව හිමින් සැරේ ගෙවිලා ගිහිල්ලා ගස් වල තියන ඔක්කොම කොළ හලලා දැම්මනේ. ඊට පස්සේ ඔන්න පටන් ගත්තා හිම වැටෙන්න. ඒ ගැනත් මම පින්තුර කතාවක් ලිව්වා සීතල හිම රටේ කියලා. මේ පාර සිසිර සෘතුව ඕනවට වඩා දික්ගැස්සුනා කියලා මටනම් ෂුවර්. මාර්තු මාසේ වෙනකනුත් හිම වැටුනා මදි නොකියන්නම. කොහොම හරි ඔන්න අප්‍රේල් මැද හරිය වෙද්දී අපි ඇස් දල්වා බලාගෙන හිටපු ලස්සන, මෘදු,සෙනෙහෙබර, වසන්තේ එන ලකුණු පෙනුනා batting eyelashes.

පින්තූර කතාව මෙතැන් සිට...

පොළව වහගෙන හිටපු හිම තට්ටුව දිය වෙලා ඒ වතුර ටික උරාගෙන පොළව තෙතබරිත උනාට පස්සේ මුලින්ම ඔලුව උස්සන්නේ ටියුලිප් සහ ඩැෆඩිල් නටු. පොළවේ වැලලිලා තිබිච්ච බල්බ පණ ගහලා ඇවිත් සති දෙකෙන් තුනෙන් ලොකු වෙලා මල් පිපෙන්න ගන්නවා.

ඔය තියෙන්නේ පුංචි ටියුලිප් යායක්. යායක් කිව්වට යාය කෑල්ලක්...



ආ එතකොට මේ තියෙන්නේ  ඩැෆඩිල්. බලන්නකෝ හිත හොරාගෙන යන්න පුළුවන් ගතියක් එහෙම තියද කියලා?



මේ අතරේ තවත් ලස්සන සංසිද්ධියක් වෙනවා. අර කොළ හැලිලා නාටු වෙලා තියන ගස් තියනවා නේද, ආන්න ඒවා අතුරු සිදුරු නැතිව මල්වලින් වැහිලා යනවා. හැබැයි කොළ නෑ. කොළ එන්නේ පස්සේ. වැඩි හරියක්ම රෝස සහ සුදු මල් තමයි පිපෙන්නේ.

මෙන්න මේ වගේ...




දැන් ඔහොම තව දවස් දෙක තුනක් යනකොට අර මල් පිපිච්ච ගස්වල කොළ එන්න පටන් ගන්නවා. එහෙම කොළ එද්දී අර මල් හැලිලා යනවා ඉබේම.

මේ ගහ බලන්නකෝ. කොළ එන්න පටන් අරගෙන. තව ටික දවසෙන් මේ මල් හැලිලා ගහ තනිකර ලා කොළ පාට වෙනවා.



ගස්වල මල් හැලිලා ගියාට පස්සේ ඉතිරි වෙන්නේ අමුතුම ලා කොළ පාටක්. වසන්තෙට අලුතෙන් ආපු දළු නේ. මේවා ඉතින් ඊ ළඟ සරත් සෘතුව වෙනකම්ම ගහත් එක්ක ඉන්නවා. ආ ඒ විතරක් නෙමෙයි මැරිලා ගිහින් හිටපු තණකොළ පිට්ටනිත්  ආපහු කොළ පාටට දිලිසෙන්න ගන්නවා.




දැන් තමා වැදගත්ම එක. මගේ ටියුලිප් වගාව :) ගිය සරත් සෘතුවේ සීතල බලන්නේ නැතුව, අමාරුවෙන් වෙලාව හදාගෙන, අපේ පුංචි මිදුල් කෑල්ලේ ටියුලිප් බල්බ හිටවපුවගේ ප්‍රතිඵල...




නරකම නෑ නේද?

Thursday, April 11, 2013

ජාතියේ පිනට උපන් විජයබා - රාජාවලිය XXVIII

අපි ගිය පාර රාජාවලිය ලිපියෙන් අනුරාධපුර යුගයේ අවසානෙටම ආවනේ. අද ඉඳන් එහෙනම් අලුත් යුගයක්. පොළොන්නරු රාජධානියේ ඇරඹුම...
අනුරාධපුර රාජධානියේ අවසානය සිද්ධ උනේ ඉතාමත් ශෝචනීය විදියට බව කට්ටිය කලින් ලිපියේ දකින්න ඇති. පස්වන මිහිඳු රජතුමා සිරකරුවෙක් විදිහට චෝල දේශයට අල්ලාගෙන ගියා. අපේ දිවයින චෝල පාලනයට නතු උනා. දිවයින කිව්වට මුළු දිවයිනම නෙමෙයි. කවදත් රට ජාතිය වෙනුවෙන් නැගී හිටි රුහුණ මෙදා පාරත් චෝල පාලනයට එරෙහිව ස්වාධීනව නැගී සිටින්න උත්සාහ කරා. රුහුණට ඇතුළු වීමට උත්සාහ කළ චෝලයින්ට දේශ සිමාවේ සිට ඔවුන් පසු බසින තුරු පහර දුන්නා. චෝලයින්ට බදු ගෙවීම ප්‍රතික්ෂේප කරමින් බදු එකතු කිරීමට පැමිණි සිංහල නිලධාරීන්ට අවඥාවෙන් සළකපු රුහුණු ජනතාව එයින් නොනැවතී තවත් මහඟු කාර්යයක් රහසේම කරගෙන යමින් සිටියා. ඒ, තවමත් ළමා වියේ පසු වූ පස්වන මිහිඳු රජුගේ පුත්‍රයා ආරක්ෂා කර ගැනීම.

තමන්ගේම රජෙකුගේ අවශ්‍යතාවය දුටු ඔවුන් මේ කුමාරයාව රජ කමට පත් කරනවා. ඔහු රජ වෙන්නේ "වික්‍රම බාහු" නමින්. මේ පුවත අසා කුපිත වෙන චෝලයින් රුහුණට කඩා වැදී ගම් දනව් වනසද්දී සිංහලයින් ඊට එරෙහිව සටන් අරඹනවා. "කීර්තී" සහ "බුද්ධ" නම් සෙන්පතියන් දෙදෙනෙකු අතින් මෙහෙයවෙන සිංහල හමුදාවට  නිර්භීතව සටන ජයග්‍රහණය කිරීමට හැකි වෙනවා. යුධමය අතින් රුහුණ ශක්තිමත් වන ආකාරය දුටු චෝලයින් තවත් චෝල හමුදා ලංකාවට ගෙන්වීමට කටයුතු කරනවා.

රුහුණ ශක්තිමත් වීමෙන් ඇතිවෙන නරක ප්‍රතිඵලයක් තමයි ප්‍රාදේශීය නායකයින් බිහි වීම. ඔවුන් එකිනෙකා පරයා බලය ලබා ගැනීමට තැත් කළ නිසා රුහුණේ ඇති වෙන්නේ අස්ථාවර තත්වයක්. ඒ නිසා චෝලයින් නැවතත් රුහුණට පහර දීමට එය අවස්ථාවක් කර ගන්නවා. මේ චෝල සේනාවට මුහුණ දීමට වික්‍රමබාහු රජු සේනා සංවිධානය කළත් පහර දීමට පෙරම අසනීපයක් හේතුවෙන් ඔහු මිය යනවා.  මේ කාලයේදීම  චෝල දේශයේ සිරකරුවෙකුව සිටි මිහිඳු රජතුමාත් එහිදීම මිය යනවා.

වික්‍රමබාහු ගේ මරණින් පස්සේ කිර්ති සෙනෙවියා පාලන කටයුතු භාර ගත්තත් ඔහුට දවස් 8 කට වඩා ජිවත් වෙන්න ලැබෙන්නේ නැහැ. ඒ "මහාලන කීර්ති" නම් තවත් සෙනෙවියෙක් ඔහු මරා බලය ලබා ගන්නා නිසා. මහාලාන කිර්ති නිර්භීත වගේම රණකාමී පාලකයෙක් උනා. චෝලයින්ගෙන් නැවතත් ඇති වුනු ප්‍රහාර හමුවේ ඉතා නිර්භීතව සටන් කොට, එයින් පරාජය අත් වන බව දැක, සිය දිවි හානි කර ගන්නවා. ඔහුගෙන් පසුව බලයට එන්නේ "වික්‍රම පණ්ඩු" නම් කුමාරයා. ඔහු මහාලාන කිර්තිගේ පුතෙක් බවටත් පිළිගැනීමක් තියනවා. කොහොම උනත් මේ කුමරුවා නිසා චෝලයින්ගේ හිරිහැරයට ලක් වෙමින් තිබුණු රුහුණ නැවතත් සංවිධානය වී සාමාන්‍ය තත්ත්වයට පැමිණෙනවා.

ඔය අතරෙදි ඔවුන්ට නැවතත් සතුරු කරදරයක් එල්ල වෙනවා. ඒ චෝලයින්ගෙන් නෙමෙයි, අයෝධ්‍යාවෙන්. අයෝධ්‍යා සේනාවේ නායක "ජගතිපාල" අතින් මරණයට පත් වීමට වික්‍රම පණ්ඩු ට සිද්ධ වෙනවා. සිංහල ජනතාවගේ අකමැත්ත නොතකා ජගතිපාල දකුණේ පාලන කටයුතු අතට අරගෙන එය හොඳින් කරගෙන යාමට උත්සාහ කරන අතරේ චෝලයින් ජගතිපාල එලවා ගැනීමට මාන බලනවා. ඒ නිසා නැවතත් ප්‍රහාරයක් දියත් කරන චෝලයින් ජගතිපාලව පරාජය කිරීමට සමත් වෙනවා. ඉන්පස්සේ වික්‍රමපණ්ඩු ගේ පුත්‍රයා "පරාක්‍රම පණ්ඩු" පාලනය අතට ගත්තත් ඔහුත් අවු. 2 කට පස්සේ චෝලයින්ගෙන් මැරුම් කනවා.

ඔහොම කාලය ගත වෙද්දි මිනිස්සු අතර කසුකුසුවක් පැතිරෙනවා රාජ පරම්පරාවට සෘජුවම සම්බන්ධ කමක් ඇති කුමාරයෙක් ගැන. ඒ තමයි "කීර්ති" කුමාරයා. ඔහු පස්වන මිහිඳු රජුගේ මාමා කෙනෙකුගෙන් පැවතෙන අයෙක්. මේ කුමාරයා කුඩා කල පටන්ම පැරණි රජවරුන්ගේ වීර කතා තම මවගෙන් අසා ගැනීමට ඇලුම් කළා වගේම තමන්ගේ රට පරදේසක්කාරයින් අතින් පාලනය වීම ගැන බලවත් අකමැත්තකින් පසු වුනා. තමාට අවුරුදු 15 වන විට මලය රටට ගොස් සේනා සංවිධානය කිරීම ආරම්භ කළ කීර්ති කුමාරයා සෙබළුන්ට මනා පුහුණුවක් ලබා දීමටත් කටයුතු කළා.

මේ අතර "ලෝකේශ්වර" නම් නිර්භීත, තද ගතිගුණ ඇති සෙනෙවියෙක් කතරගම ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලනයක් ගෙන ගියා. චෝලයින් පවා ඔහුට එරෙහි වීමට බිය වූ නිසා ඔහු මිය යන තුරුම චෝලයින්ගෙන් හිරිහැර එල්ල උනේ නැහැ. මේ ලෝකේශ්වරගේ බොහොම කුළුපග ඇමතියෙක් තමයි බුද්ධරාජ ඇමති. ලෝකේශ්වර සමග ඇති වුන අමනාප කමක් නිසා සියලු තනතුරු අතහැර පලා යන බුද්ධරාජ ඇමැතිත් මලය රටට ගොස් කීර්ති කුමාරයාට එකතු වෙනවා. මේ බුද්ධරාජ ඇමති වගේම කිර්ති කුමාරයාට බොහොම උදව් කළ තවත් කෙනෙක් තමයි දේවමල්ල ඇමති. කිර්ති කුමාරයා සේනාවෙන් සහ බලයෙන් පොහොසත් වන හැටි බලා සිටිමටම අපහසු වූ ලෝකේශ්වර කුමරු සමග සටනට එන්නේ මේ අතරවාරයේ දී. වතාවක් නොවෙයි දෙවතාවක්ම සටන් මෙහෙයෙව්වත් ලෝකෙශ්වරට අයිති වෙන්නේ පරාජයක්. ඒ වගේම මලය රටේ පාලනය සම්පුර්ණයෙන්ම කිර්ති කුමාරයාට නතු වෙනවා.

කීර්ති කුමාරයාගේ මීළඟ ඉලක්කය උනේ රුහුණ සහ මලය රට එක්සේසත් කිරීම. චෝලයින් එළවීමට පෙර රටේ අනෙක් ප්‍රදේශ එකට එකතු විය යුතු බව ඔහුට වැටහුනා. ඒ  විතරක් නෙමෙයි, කුමරුගේ ඉලක්කය රුහුණ බව ලොකේශ්වරටත් වැටහුණා. ඉතින් ඔහු කරන්නේ නැවතත් කුමරු සමග සටනට යාම. ගම් බිම් විනාශ කරමින් සටනට පැමිණි ලෝකේශ්වරගේ ක්‍රියාකලාපය ගැන බෙහෙවින් උරණ වූ කීර්ති කුමරු ඉතාමත් දරුණු සටනකින් අනතුරුව නැවතත් ලෝකේශ්වර පරාජය කරනවා. මේ පරාජය නිසා සිත් තැවුලෙන් නැවතත් කතරගමට ගිය ලෝකේශ්වර ක්‍රි. ව. 1054 දී අසනීප වී මිය යනවා.

ඔහුගෙන් පසුව එහි පාලනය බලය ලබා ගන්නේ "කේසධාන කාශ්‍යප" නම් අයෙක්. ඔහු ලෝකේශ්වර තරම්ම තද පාලකයෙක් නොවුනත් එතරම්ම ජන ප්‍රසාදයට ලක් වූ පාලකයෙකුත් නෙවෙයි. ඔහුගේ අභිලාශය වුනෙත් චෝලයින් පලවා හැරීම. ඔය අතරේ චෝලයින්ගෙන් රුහුණට එල්ල වෙන ප්‍රහාරයක් සාර්ථකව මැඩපැවැත්වීම නිසා ඔහුට යම් ජනතා ප්‍රසාදයකුත් ලැබෙනවා. ඒත් කීර්ති කුමාරයාගේ අරමුණට මේක බාධාවක්. රුහුණ යටත් කරගැනීම හැර වෙන මගක් නැති බව දකින ඔහු සේනාවත් සමග රුහුණ යටත් කර ගැනීමට පැමිණෙනවා.

කුමාරයාගේ එක ප්‍රතිපත්තියක් උනේ සටන් වලදී සාමාන්‍ය ජනයාට සහ දේපල වලට වන හානිය හැකි තරම් අවම කිරීම. මේ ආකාරයට රුහුණට ඇතුල් වෙන කුමාරයාට රුහුණු ජනයාගේ සහය නොමදව ලැබෙනවා. රජ කමට නිත්‍යානුකුල අයිතියක් තිබූ කීර්ති කුමරුට ඔවුන් වඩා කැමති උනා. ඒ වගේම මිනිසුන් ආකර්ෂණය වන ආකාරයේ හොඳ ගති ගුණත් ඔහුට තිබුණා. මේ නිසා බයට පත්වෙන කේසධාන, උපක්‍රමශීලිව කතරගමින් පහු බැහැලා පසුව එක්වරම ප්‍රහාරයක් එල්ල කරනවා. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ කුමරු අතින් කේසධාන මරණයට පත් වීම. මේ සමගම රුහුණේ පාලනයත් කීර්ති කුමරු යටතට එනවා. පසුව කුමාරයා හැඳින්වෙන්නේ "විජයබාහු" නමින්.

මේ සිද්ධි දැනගත් චෝලයින් නැවතත් සන්ත්‍රාසයට පත් වී රුහුණට ශක්තිමත් සේනාවක් එවනවා. තමන්ට එකවරම චෝලයින් පැරදවිය නොහැකි බව දුටු විජයබාහු, නුවණැති තීරණයක් ගන්නවා තාවකාලිකව මලය රටට පසු බැසීමට. ඒ වගේම චෝලයින් පලවා හැරීම සඳහා විදේශ ආධාර ලබා ගැනීම සඳහා බුරුමයේ අනවරත රජු වෙතට දූතයින් යවනවා. සාර්ථක දූත ගමනකින් පසු එරටින් සේනාවක් වගේම සෙබළුන්ගේ වියදමට වස්තුවත් ලැබෙනවා.

එයින් පස්සේ තමයි චෝල දේශයන් විශාල සේනාවක් ලංකාවට එවන්නේ. ලංකාවට ගොඩ බසින ඔවුන් පොලොන්නරුව දක්වා යන ගමනේදී මිනිසුන්, දේපල විනාශ කරමින් හැසිරෙන්නේ ඉතා තුච්ඡ විදියට. රජරට අනෙක් චෝලයින් සමග එක්වන ඔවුන්ගේ මී ළඟ අභිප්‍රාය වන්නේ රුහුණ ආක්‍රමණය. මේ අතරේ විජයබාහු රජතුමා ළඟ සිටි රවී සහ චාලා සෙන්පතියන් දෙදෙනෙක් රජුට ද්‍රෝහී වී චෝලයින්ට එක් වෙනවා. ඔවුන්ගේ උදව් ඇතිව  චෝලයින් රුහුණට කඩා වැදී රුහුණ විනාශ කරනවා. එහෙත් මලය දේශයේ සිටි විජයබාහු රජු අල්ලාගැනීමට හැකි වන්නේ නැහැ. විජයබාහු රජු පාලටුපහන නම් ස්ථානයේ කඳවුරු ගසාගෙන සිටින බව සැල වී ද්‍රෝහී සෙන්පතියන් විසින් එය චෝලයින්ට දැනුම් දෙනවා. එය ඇසූ චෝලයින් වහාම පලටුපහන බලා පිටත් වෙනවා.

එහිදී ඇවිලෙන්නේ ඉතාමත් දරුණු සටනක්. සිංහයින් මෙන් නිර්භීතව සටන් කරන සිංහල හමුදාව අවසානයේ ජයග්‍රහණය කරා ලඟා වෙද්දී චෝල ප්‍රධාන සෙන්පතියා පලා යනවා. එහෙත් ඔහු පසු පස හඹා යන හමුදාව ඔහුව මරණයට පත් කරනවා. ජයග්‍රහණයෙන් උදම් වෙන රුහුණු සහ මලය වැසියන් උත්සව පවත්වා ජයග්‍රහණය සමරන අතරේ පොළොන්නරුවේ චෝලයින් ඉතාමත් සිත් තැවුලෙන් පසු වෙනවා. සිංහල හමුදාව වැඩි කල් නොයවාම ඔවුන්ගේ ඊ ළඟ ඉලක්කය වන පොලොන්නරුව වෙත ගමනාරම්භ කරද්දී චෝලයින්ට අත් වූ පරාජය ගැන උදහස් වූ චෝල අධිරාජයා තවත් චෝල සේනාවක් ලංකාවට එවනවා. විජයබාහු රජු ඇතුළු හමුදාව පොළොන්නරුවට ලඟා වෙද්දී තමයි ඔවුන්ට සැල වෙන්නේ මාන්තොටින් තවත් චෝල හමුදාවක් ගොඩබසින බව. එනිසා ඔවුන් හා සටනට සේනාවෙන් කොටසක් යවා ඉතිරිය පොළොන්නරුවට පහර දීම සඳහා රඳවා ගැනීමට රජු තීරණය කරනවා.

මාන්තොට බලාගිය සේනාව චෝලයින් හමුවී කළ දරුණු සටනකින් පරාජයට පත් වෙන අතර මෙය ඇසූ රජු ඇතුළු සේනාව දකුණට පසුබැස කඳවුරු ගසා ගන්නවා. තමන් ඇල්ලීමට චෝලයින් එන බව ඇසූ රජතුමා, වටගිරි පර්වතයේ බලකොටුවක් සාදාගෙන එහි කඳවුරු බඳිනවා. මේ පර්වතය වට කරන චෝලයින් මාස 3 ක පමණ කාලයක් සටන් වැදුනත් ඔවුන්ට මුදුනට ලඟා වීමට හැකි වන්නේ නැහැ. ගල් පෙරලීම ආදී උගුල්වලින් චෝලයින්ට උපරිම හානි අත්කර දීමට සිංහලයින් සමත් වෙනවා. කොහොම උනත් විජයබාහු රජතුමාට කරදරවලින් නම් අඩුවක් වෙන්නේ නැහැ. රජු අතින් කතරගමදී මැරුම් කෑ කේසධාන ගේ සොහොයුරා රජුට විරුද්ධව දකුණේ කැරලි ඇති කරන්නේ මේ අතරේදී. ඔහුට පහර දී ඒ කැරලි මැඩපැවැත්වීමට රජු සමත් වෙන අතර කෙසධාන ගේ සොහොයුරා පලාගොස් සොළින්ට එකතු වෙනවා.

ඉන්පසුව විජයබාහු රජතුමා වලවේ ගඟ ඉහත්තාවේ සිට අවසාන සටනට සේනා සංවිධානය කිරීම අරඹනවා. මේ කාලයේ තමයි චෝල අධිරාජයා වන රාජ රාජ රජු මිය යන්නේ. ඒ සමගම චෝල අධිරාජ්‍යයේ අනික් යටත් රටවලුත් නිදහස් වීමේ අරගල ආරම්භ කළ නිසා එය චෝලයින්ට කිසිසේත්ම හොඳ කාලයක් උනේ නැහැ. මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සිතූ රජතුමා වහාම තුන් පැත්තකින් පොළොන්නරුවට පහර දීම අරඹනවා. ගමෙන් ගම දිනා ගනිමින් ඒ ගම් වැසියන්ට හැකි තරම් කරුණාවන්ත වෙමිනි ඔවුහු රජරට බලා ගමන් කරනවා. කිහිප දිශාවකින් එල්ලවන ප්‍රහාර හමුවේ පසුබසින චෝලයින් ඔවුන්ගේ කඳවුරට වැදී ආරක්ෂාව තර කර ගන්නා අතර සිංහල හමුදාව මාස 3 කට අධික කාලයක් කඳවුර බිඳීමට උත්සාහ කරනවා. මේ අවස්ථාවේදී "රවිදේව" නම් නිර්භීත සෙනෙවියෙක් ඉදිරිපත් වී තවත් කිහිප දෙනෙක් සමග කඳවුරු බැම්මෙන් ඇතුලට පැන එහි ආරක්ෂකයින් මරා දමා දොරටු විවර කරනවා. එහිදී ඇතිවන අවසාන සටනෙන්, 50 වසරකට අධික කාලයක් ලංකාවේ බලපැවැත්වූ චෝල පාලනය නිමාවට පත් වෙනවා.

ඒ වන විට වැනසී තිබුණු රජරට ප්‍රතිසංස්කරණය කිරීම අරඹන රජතුමාට තවත් සතුරු කරදර වලට මුහුණ පෑමට සිද්ධ වෙන්නේ චෝලයින්ට පක්ෂව සිටි සිංහල නිලධාරීන්ගෙන්. ඒත් වෙහෙර ගිලපු රජතුමාට අග්ගලත් කජ්ජක්ද? ඒවාත් සාර්ථකව මැඩපැවැත්වීමට ඔහුට හැකි වෙනවා.

ඔන්න ඔය ආකාරයට තමයි මහා විජයබාහු රජතුමා (ක්‍රි. ව. 1070 - 1111) අපේ රට එක්සේසත් කලේ.

ක්‍රි. ව. 1017 දී පාලනය චෝලයින් අතට ගිය තැන් පටන් රට පාලනය කළ චෝල රජවරු -

රාජේන්ද්‍ර චෝල I (ක්‍රි. ව. 1017 - 1044)
රාජාධිරාජ චෝල (ක්‍රි. ව. 1018 - 1054)
රාජේන්ද්‍ර චෝල II (ක්‍රි. ව. 1051 - 1063)
විරාජේන්ද්‍ර චෝල (ක්‍රි. ව. 1063 - 1070)
අතිරාජේන්ද්‍ර චෝල (ක්‍රි. ව. 1063 - 1070)

ප. ලි.

දවස් ගානක් ටයිප් කරපු ටික මැකිලා මුල ඉඳන් ලියන්න උනා. ලිපිය පොඩ්ඩක් අංජබජල්ද මන්දා. මීට වඩා කොට කරන්නනම් බැරි උනා.  මේ ලිපියත් සම්පූර්ණ එකක් නෙමේ. විජයබාහු රජතුමා ගැන එච්චරට විස්තර තියනවනේ :)

Tuesday, March 26, 2013

නිල් අහසට නිල කොයින්ද?

"තාත්තේ තාත්තේ...අහස නිල් පාට මොකද?"  confused

ඔයාල පොඩි කාලේ මෙහෙම ප්‍රශ්න අහල ඇතිනේ. නැතත් දැන් පොඩි එවුන් ඉන්න අයටනම් මෙහෙම ප්‍රශ්න දහයක්වත් එනවා ඇතිනේ දවසකට. (මෙතන "අම්මේ" කියලා නොලිය " තාත්තේ කියලා ලිව්වේ මමනම් පොඩි කාලේ ඔය වගේ බරපතල ප්‍රශ්න අහන්න ගොඩක් වෙලාවට තෝරගන්නේ තාත්තා හින්දා.)

දැන් ඉතින් දීපන්කෝ උත්තර... thinking


ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් වර්ණාවලිය ගැන දැනගෙන ඉන්න ඕනා. කට්ටිය දන්නවනේ දේදුන්න ගැන. ඉස්සර අපි දේදුන්නේ පාට හත පාඩම් කරේ "න් තැඹිලි ඩන කොල්ලා නිල් රක් කී" කියලා.



ඕන් ඔය කියන පාට හතෙන් තමා සුදු ආලෝකය / හිරු එළිය නිර්මිත වෙලා තියෙන්නේ. පාට හත කිව්වට මේකට ඔය පීච් කලර්, අයිවරි ගෝල්ඩ්, ගොම කොළ අරක මේක සේරම අහු වෙනවා හරිද. ඒවා ඉතින් සංකලන. ඔන්න ඔය අපේ ඇහැට ගෝචර වෙන පාට  ටික තමයි "ආලෝකයේ දෘශ්‍ය පරාසය" හැටියට හඳුන්වන්නේ. සිංහලෙන් කිව්වොත් "Visible Color Spectrum". ඔය තියෙන්නේ ඒක තමයි.




එතකොට මේ විදියේ තරංග වර්ග 7 ක් හිරු එළියේ අඩංගුයි. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ හිරු එළියේ අඩංගු ඔය කිරණ වර්ග විතරයි කියලා. "අධෝ රක්ත", "පාරජම්බුල" කිරණ එහෙමත් තියනවා. ඒවා අපිට පේන්නේ නැත්තේ ඒවා දෘශ්‍ය පරාසයට අයිති නොවෙන නිසා.

දැන් මේ තරංග එකිනෙකට වෙනස් වෙන්නේ ඒවායේ තරංග ආයාමයෙන් (මේක ඕලෙවල් වලටත් උගන්නන නිසා හැමෝටම තේරෙන්න ඕනේ :). වර්ණාවලියේ වමට වෙන්න තියන තරංගවල ආයාමය වැඩියි. දකුණට යන්න යන්න ආයාමය අඩු වෙනවා. බලන්නකො පහල පින්තුරේ පාරජම්බුල වල ආයාමය අනෙක්වට වඩා අඩුයි.



ඔන්න ඔය වගේ එකිනෙකට වෙනස් තරංග ආයාමයන් අඩංගුයි හිරු එළියේ. දැන් ඉතින් හිරු එළිය ඉහල වායු ගෝලයේ තියන ඉතා කුඩා අංශු අතරෙන් පෙරිලා පොලව දිහාවට එද්දී, මේ තරංග අර අංශුවල ගැටිලා විසිරෙන්න ගන්නවා. එහෙම වෙද්දී වැඩිපුරම විසිරීමේ හැකියාවක් තියෙන්නේ තරංග ආයාමය වැඩි කිරණ වලට. ඒ කිව්වේ දෘශ්‍ය පරාසයේ තරංග ගැන හිතුවොත් දකුණට වෙන්න තියන පාට වලට (නිල් සහ දම් වැනි).

එහෙම වඩාත් හොඳින් විසිරෙන තරංග වල පාටින් අපට අහස පෙනෙන එක පුදුමයක් නෙමෙයි නේද? හැබැයි බුද්ධිමත් පොඩි එකෙක්නම් ඔතනින් නවතින්නේ නැතුව තව ප්‍රශ්නයක් අහනවා.

එතකොට දම් පාට තියෙන්නේ නිල් පාටට වඩා දකුණෙන් නේ. ඉතින් ඇයි අපිට අහස දම් පාටට පේන්නේ නැත්තේ? worried

ඕවට පහු බහින්න එපා. මෙන්න උත්තරේ...

ඒකට හේතුව තමයි අපේ ඇහැ.

මිනිස් ඇසේ තියන දෘෂ්ටි විතානයේ අඩංගු වෙන කෝණාකාර සෛල (මේවට කියන නම මතක් කරගන්න හැදුවට හරි ගියේ නෑ) තමයි අපිට පේන පාට ගැන වගකියන්නේ. මිලියන පහක් පමණ වෙච්ච මේ කෝණාකාර සෛල කොටස් තුනකට බෙදෙනවා. එක එක වර්ණ පරාසයන් අඳුරා ගැනීම සඳහා ඒ සෛල කොටස් ක්‍රියා කරනවා. ඇතැම් අවස්ථාවල මේ සෛල පරාසයන් සමපාත වෙන වෙලාවලුත් තියනවා. ඒ වගේ වෙලාවට වර්ණ සංකලනයක් උනත් පේන්නේ තනි පාටක් හැටියට. ඉතින් අහස දිහා බැලුවම අපේ ඇහැට එන ආලෝකයේ අඩංගු වෙන නිල් දම් වර්ණ සංකලනයත් අපේ ඇහැ ගෝචර කර ගන්නේ අර විදියේ සමපාත වෙච්ච සෛල වලින්. ඒක අපේ ඇහැට පේන්නේ තනි ලා නිල් පාටක් හැටියට. එහෙම නැත්නම් "අහස් නිල" හැටියට.

තේරුනාද මන්දා.

නැත්නම් මෙහෙම වැඩක්වත් කරලා බේරෙන්න බලන්ට ඉතින්...පොඩි එකා ඔය ප්‍රශ්නේ ඇහුවම ආපහු මෙන්න මෙහෙම අහන්න. :)

නිල් අහසට නිල කොයින්ද 
ඒ අහසෙම තරු කොයින්ද 
එහෙම අහන මගේ දෝණිට 
මේ නිල් තරු ඇස් කොයින්ද?

ඕක හරිම ලස්සන සින්දුවක්. තිබුනේ "නිල් අහස" කියන ටෙලි නාට්ටියේ. නැලවිලි ගීයක් හැටියටත් හොඳයි. අහල බලන්නකෝ.

ප. ලි. - වැලේ වැල් නැතුව ඉද්දි සිංහල ප්ලගීන්ස් ගැන ඔත්තු දීපු සෙන්නටයි හරීටයි තෑන්ක්ස් හොඳේ. මට මොනවා වෙලාද කියලා අහපු දිනේෂ් මලයා, අසාර්, වී අයියා ඇතුළු හැමෝටමත් ස්තුතියි. මාස ගානකින් පෝස්ට් එකක් (වගේ එකක්) දාගත්තා. මක්කරන්නද ඉතින් පොඩ්ඩක් වැඩ අඩු වෙනකන් ඉඳලා නොලියපුවටත් එක්ක ලියන්න ඕනේ. කට්ටියගේ බ්ලොග් බලන්න බැරි වෙන්න ඇති ගොඩක් ඒවා. ඒකටත් සමාවෙන්න හොඳේ.

හසල - රාජාවලියත් ඉක්මනට ලියන්නම් :)



Monday, February 11, 2013

ඔබ සතුටින්ද ?

"ඔබ සතුටින්ද?" කියන ප්‍රශ්නේ කවුරුහරි ඔබෙන් ඇහුවොත් දෙන පිළිතුර මොන වගේ එකක් වේවිද? ඒකට පිළිතුරක් දෙන්න කලින් තවත් ප්‍රශ්නයක් ඔබේ හිතට ඒවි.

"සතුට කියන්නේ මොකක්ද?"



කෙනෙක්ගේ සතුටින් සිටීමේ හැකියාව කියන එක තීරණය වෙනවා කාරණා 3 ක් මත.

* 50% ජාන මගින්. සර්වසම නිවුන් දරුවන් යොදාගෙන කළ පරීක්ෂණ වලින් මේ බව ඔප්පු වී තිබෙනවා. ඒ නිසා යමෙක් උපදින විටම ඔහුට කොයි තරම් සතුටින් සිටීමේ හැකියාවක් ඇත්ද යන්න 50% කින් තීරණය වී අවසානයි.
* 10% මුදල්, පහසුකම්, සමාජ තරාතිරම ආදිය. මේ දේවල් සතුටට බලපාන්නේ කොයි තරම් සුළුවෙන්ද යන්න පැහැදිලියි නේද?
* 40% තමන් එදිනෙදා ජීවිතයේදී කිරීම සඳහා තෝරා ගන්නා දේවල්. මේ කොටස ගැන තමයි අප සැළකිලිමත් විය යුත්තේ. සතුට සොයා යාමට අපට කළ හැක්කේ මොනවාද?

අපිට සතුටක් කියා දෙයක් දැනෙනවානම් ඒ සඳහා හේතු වෙන්නේ මොළයේ ඇති "ඩොර්පොමින්" නම් රසායන ද්‍රව්‍යයයි. ස්නායු දිගේ පැමිණෙන විද්‍යුත් සංඥා තවත් ස්නායුවක් හා සම්බන්ධ වන සන්ධිස්ථානයක ගැටීමේදී මේ රසායන ද්‍රව්‍ය වහනය වී අනෙක් ස්නායුවට ප්‍රවාහනය වෙනවා. මේ සංසිද්ධිය හඳුන්වන්නේ "නියුරෝට්‍රාන්ස්මිට්" නමින්.

වැදගත්ම කාරණේ තමයි මේ ඩොර්පොමින් දිගු කලක් තිස්සේ භාවිතයට නොගැනීම නිසා අක්‍රිය වෙලාම යන්නත් ඉඩ තියනවා. ඩොර්පොමින් වල නිසි ක්‍රියාකාරිත්වය සඳහා උත්තේජනය වීමක් අවශ්‍යයි. ඒ නිසා ඉඳල හිටලවත් සතුටු වෙන යමක් නොකළොත් පහු කාලීනව අප්සෙට් මූඩ් එකේම හිර වෙන්න ඉඩ තියනවා. ඒ වගේමයි ක්‍රීඩා කිරීම, කඳු නැගීම, සර්ෆින් වැනි ශාරීරික අභ්‍යාස කිරීම නිසා මේ රසායන ද්‍රව්‍යයේ ක්‍රියාකාරිත්වය වර්ධනය වීමක් වෙනවලු.

සතුට සඳහා ධනවත් කමේ බලපෑම කොයි තරම් කියලද ඔබ හිතන්නේ. ඇත්තම කිව්වොත් බලපෑමක් නැති තරම්. මිනිසෙකුගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ උනාට පස්සේ වැඩිපුර ධනය ලැබුණා කියලා සතුටේ වැඩි වීමක් දකින්න නැහැ. පහළින් තියෙන්නේ ඇමරිකාවේ ධනවත් කමත්, මිනිසෙකුගේ මධ්‍යනය සතුටත් කාලයත් සමග ප්‍රස්ථාරගත කරලා තියන හැටි. පේනවා නේද ආදායම වැඩි උනා කියලා සතුටේ වැඩි වීමක් වෙලා නැහැ.



ඉන්දියාවේ මුඩුක්කුවක ජීවත් වෙන රික්ෂෝ කරුවෙකුගේ සතුට සාමාන්‍ය ඇමරිකානුවෙකුගේ තරම්ම වන බව ඇසුවොත් ඔබ පුදුම වෙන එකක් නැහැ.

රික්ෂෝ කරු ඔහුගේ ජීවිතය ගැන කියන්නේ මෙහෙමයි...

"සමහර මගීන් අපට කරදර කරනවා...විශේෂයන් බේබද්දන්. එහෙත් මම ඔවුන් සමග රණ්ඩුවට යන්නේ නැහැ. මම එහෙම කළොත් ඔවුන් හෙට මගේ රික්ශෝවේ යන්න එන්නේ නැති නිසා.....මගේ ගෙදර එක පැත්තක් සම්පූර්ණයෙන් විවෘත නිසා හොඳ වාතාශ්‍රයක් ලැබෙනවා. කරදරයකට ඇත්තේ වැසි දවසට ගෙතුල තෙමීමයි. ඒ හැරුණු විට අපි හොඳින් ජීවත් වෙනවා...මම හවස ගෙදර එන තුරු තේ කඩය ළඟ බලා සිටින මගේ පුතා "තාත්තා" කියා කෑ ගසන විට මට දැනෙන්නේ සතුටක්. මගේ අසල්වැසියෝ හොඳයි...අපි හැමෝම යාළුවෝ...මගේ දරුවාගේ මුහුණ දකින විට දැනෙන්නේ පොහොසත්ම මිනිසා මම බවයි. සමහර විටෙක අපි ලුණුයි බතුයි කනවා. ඒත් අපි සතුටින්"

                                                               ~~~~~~~~~~~~~

මේ පර්යේෂණ වලදී සොයාගත් තවත් වැදගත් කාරනාවක් තියනවා. ලෝකයේ ඉතාමත් සතුටින් ජිවත් වෙන හැම කෙනෙක්ටම පාහේ ඉතා හොඳ පවුල්/නෑ සබඳතා තිබීමයි ඒ. රැකියාව තුළ තමාගේ තත්ත්වය හා ප්‍රතිරූපය ගැන වද වෙමින් සමාජ සබඳතා පසෙක හෙලීම සතුට වනසා දැමීමට දායක වේ. ඒ සම්බන්ධයෙන්, ලෝකයේ දියුණු රටවල් අතරින් අඩුම සතුටක් ඇති රට ජපානය බව හෙළි වී ඇත.

මේ, ජපන් ශ්‍රමිකයෙකුගේ සම්මුඛපරීක්ෂණයකින් කොටසකි. (වෙලාව- රාත්‍රී 11.50. ස්ථානය- කඩපිලක් අසළ )

Interviewer : What day is it today?
Japanese worker : (Umm) My birthday 
Interviewer : Is it ok to hang out with your colleagues on your birthday? is your girlfriend or family OK with that?
Worker : (smiling) I didn't even think about it...They invited me..I already explained to her...Business is more important. I will see her tomorrow.

ඒ ජපානයේ තත්ත්වයයි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව අන්තිම අගාධයටම ඇද වැටුණු ඔවුන් අද වන විට බටහිර රටවල් හා කරට කර සිටින තත්ත්වයකට පැමිණ ඇති බව සැබෑය. එහෙත් ඒ සඳහා ඔවුන්ට තම ජිවිතයෙන්, සතුටෙන් කොටසක්ද පූජා කිරීමට සිදු වී ඇත. අධික වැඩ සහිත පමණ ඉක්මවූ සේවා මුර නිසා ශ්‍රමිකයින් මිය යාම ජපානයේ සුලබ දෙයකි.ජපන් ආභාෂයක් ඇති "කරෝෂි" යන වචනයෙන් විස්තර වන්නේ එයයි.

කරෝෂි ගැන වීඩියෝවක්

ජපානයේ එහෙම වෙද්දී ආසියාවේ පුංචි රටක් වන භූතානය ඊට වෙනස්ම ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටිනවා. ඔවුන්ගේ පරමාර්ථය වන්නේ මිනිසුන්ගේ ධනවත් බව නොව, සතුට වර්ධනය කිරීමයි. දළ ජාතික සතුට (Gross National Happiness :) යනු තම ආණ්ඩුවේ වගකීමක් බව ඔවුන්ගේ අදහසයි. එහෙත් තවමත් ඔවුන් ඒ අරමුණ බලා ගමන් ඇරඹුවා පමණයි.

මේ අතර ලෝකයේ සතුටින්ම සිටින මිනිසුන්ගේ රට ලෙස හඳුනා ගැනෙන්නේ "ඩෙන්මාර්කය" යි. ජිවිත කාලය පුරාවටම නොමිලේ සෞක්‍ය පහසුකම් සහ වි. විද්‍යාලය දක්වා නොමිලේ අධ්‍යාපනය ඔවුන්ට ලැබෙනවා. පවුල් කිහිපයක් එක්වී එක ගොඩනැගිල්ලක (එහෙත් වෙන් වෙන් නිවෙස් වල) සහයෝගයෙන් ජිවත් වීම ඩෙන්මාකයේ දකින්න පුළුවන්. එම පවුල් සැන්දෑවට, රාත්‍රී කෑම වෙලාවට එකට එකතු වෙනවා.


සහයෝගීතාවය ඔවුන්ගේ කැපී පෙනෙන ලක්ෂණයක්. තරඟකාරිත්වයට වඩා සහයෝගිතාව, ආදරය, අනුකම්පාව යන දේවල් සතුට සඳහා ඉහළින්ම දායක වේ.

                                                                    ~~~~~~~~~

පරිගණක ක්‍රීඩා, විදුලිය, රථ වාහන ආදිය සොයා ගැනීමට පෙර යුගයේ මිනිසා සතුට සොයා ගියේ කෙසේද?

ලෝකයේ ආදී වාසීන්ට සමානකම් කියන ජන කොටස් ජිවත් වන නැමීබියාව මේ පර්යේෂණ සඳහා තෝරා ගෙන ඇත. මේ මිනිසුන් ප්‍රධාන වශයෙන් ආහාර සපයා ගන්නේ දඩයමෙන් වන අතර නොයෙක් බෙරි වර්ග, අල වර්ග මෙන්ම පළතුරුද ආහාරය සඳහා ගැනේ. සොබාදහමත් සමගම ජීවත් වන ඔවුන්ට විලි වසා ගැනීම සඳහා රෙදි කඩක් පමණක් සෑහේ. ජීවත් වීම, දඩයමේ යාම වැනි සියලුම දේ ඔවුන් කරන්නේ සමූහ වශයෙන්. කෙනෙක් ලෙඩ වූ විට පවා ඔහු සුව කිරීමට සියලු දෙනාම එකා මෙන් සහාය දෙනවා. ඔවුන් කියන්නේ තමන් එකට සිටින තාක් කල් කරන්නේ කුමක්ද යන්න තමාට නොවැදගත් බවත් එහෙයින් ඔවුන් සිටින්නේ සතුටින් බවත්ය.




සතුට සොයා යන්නන්ට තවත් සුබදායී ආරංචියක් ඇත. අනුන්ට උදව් කිරීමෙන් ලැබෙන සතුට තරම් සතුටක් වෙනත් දෙයකින් නොලැබෙන බව පර්යේෂකයින් කියති. අපි "ඇන්ඩි විමර්" නම් බැංකු නිලධාරියාට මදක් සවන් දෙමු..

"මට ඕනා උනේ ලාබාලම බැංකු අද්‍යක්ෂකවරයා වෙන්න. මට හොඳ ආදායමක් තිබුණා. ඇති තරම් මුදල් වියදම් කරා වගේම ජීවිතය සතුටින් ගෙව්වා. ඒත් කල් යද්දී ඒ දේවල් තව දුරටත් වැදගත් නැති බව මට දැනුනා. මොනවා හෝ යමක් අඩු බව දැනුනා. හොඳ ආදායමක් සහිත හොඳ රැකියාවක්, බිරිඳක්, දූ දරුවන්, මේ හැම දේකටම වඩා තවත් යමක් ජිවිතයේ තිබිය යුතුයි. "

ඉන් පස්සේ තමයි ඔහු කල්කටාවේ තෙරේසා මවු තුමිය විසින් අරඹන ලද ප්‍රථම "Home for the Dying and Destitute" ආයතනය සමග සම්බන්ධ වී දුප්පත් රෝගීන්ට පිහිට වීම අරඹන්නේ.

"ඒ ආයතනයට මුලින්ම ගිය දවසේ මම දුටුවේ රෝගී වී මිය යමින් සිටි පිරිමි ළමයෙක්. මට සිදු උනා ඔහුට කවන්න. මම කවන විට ඔහු අපහසුවෙන් එය අනුභව කරා. ඉන් පස්සේ ඇස් ඇරලා මා දිහා බැලුවා. මට සිතුනා...මේ තමයි මම සොයපු දෙය..."

ඔහුගේ කතාවෙන් වඩාත්ම හිතට වැදුනේ මේ කොටස

"මට මේ ජීවිතය ලැබිලා තියනවා...දෙමව්පියන්, යහළුවන් සිටිනවා...මම කෙදිනකවත් දරුණු ලෙස රෝගී වී නැහැ....අවශ්‍ය තරම් ආහාර ලැබෙනවා....කිසි දිනක යුද්ධයක් අත්නොදුටු මගේ පරම්පරාවේ පළවෙනියා මමයි...මට මගේ ජීවිතය දෙවියන් විසින් දුන් ණයක් වගෙයි...මා එය පොළියත් සමග නැවත ගෙවිය යුතුයි."

ඉතින් ඔබ සතුටින්ද? දැන් ඔබට පිළිතුරක් දෙන්න පුළුවන් වෙයි.

මෙන්න සතුට සොයා යන්නන්ට මගෙන් සුළු තෑග්ගක්..ෆුල් ස්ක්‍රීන් දාගෙන තනියම බලන්න :)



The Mountain from TSO Photography on Vimeo.



ප. ලි.

හැපී නම් වාර්තා වැඩසටහන ඇසුරෙන් සකසන ලදී. මෙය එහි ඉතාමත් සංක්ෂිප්ත සටහනකි. එය නැරඹීමට අවශ්‍ය නම් මෙතනින් යන්න.

ස්තුතියි - සයුරු ට :)
Related Posts Plugin for WordPress, Blogger...