Monday, October 22, 2012

සරත් සිරිය

හැමෝම අහල ඇතිනේ සෘතු හතර ගැන...

වසන්ත - Spring
ගිම්හාන - Summer
සරත් - Autumn / Fall
සිසිර - Winter

අපිට මේ දවස්වල බැලූ බැලූ අත පේන්නේ රතු, කහ සහ රන්වන් පාට කොළ පිරිච්ච ගස්. ඒ අතරින් පතර සදා හරිත ගසුත් නැතුවම නෙමෙයි. උත්තරාර්ධ ගෝලේට සොඳුරු සරත් සමය ලබලා දැන් මාස දෙකක් විතර ඇති. දැන්නම් කොළ හැලෙන්නත් පටන් අරගෙන.

මේ තියෙන්නේ අපේ ගේ ඉස්සරහ තියන ගහ...
ගහ කිව්වට ඉතින් ගහෙන් බාගයයි.




මේ තියෙන්නේ පහුගිය දවස්වල ගතිපු තවත් පින්තූර ටිකක්. 







දැන් ඉතින් පින්තූර ටිකක් විතරක් පෙන්නලා යන එක හරි නැහැ නේ. ඒ නිසා තව පොඩි දෙයක් ගැනත් කතා කරමු නේද. ඔයාලා දන්නවද සමකයට ඈතින් පිහිටි රටවලට මෙහෙම සෘතු භේදයක් ඇති වෙන්නත් ලංකාව වගේ රටවලට එහෙම නොවෙන්නත් හේතුව මොකක්ද කියලා? ගොඩක් අය දන්නවා ඇති.නොදන්න අයටත් දැනගන්න අපි ඒ ගැන පොඩ්ඩක් බලමු. 

ඕකට බලපාන ප්‍රධානම සාධකය තමයි අපේ පෘථිවියේ තියනවයි කියන අංශක විසිතුන හමාරේ ඇලය. අනික, පෘතුවියේ පරිභ්‍රමණය. 



මෙන්න මේ විදියට අංශක 23 යි 1/2 ක් ඇල වෙච්ච ගමන් තමයි පෘතුවිය බ්‍රමණයේත් පරිභ්‍රමණයේත් යෙදෙන්නේ. මේ වෙලාවේ අපි බ්‍රමණය ගැන හිතන්න යන්නේ නෑ. මොකද බ්‍රමණය හින්දා ඇති වෙන්නේ දවල් රෑ වෙනස නේ. සෘතු භේදයට බලපාන්නේ පරිභ්‍රමණය. 

හරි එහෙනම් අපි බලමු අර උඩින් කියපු සෘතු හතර ඇති වෙන හැටි. 

මුලින්ම මේ රූපයේ June 22 කියලා තියන අවස්ථාව ගනිමු...


ඒ අවස්ථාවේදී උත්තරාර්ධ ගෝලය සූර්යයා දිහාවට බර වෙලා තියෙන්නේ. ඒ නිසා වැඩි සෘජු හිරු කිරණ ප්‍රමාණයක් ඒ ප්‍රදේශ වලට ලැබෙනවා (ඒකීය වර්ගඵලයක් මත වැටෙන කිරණ ප්‍රමාණය වැඩියි). ඒ නිසා උත්තරාර්ධ ගෝලය එකසිය ගානට රත් වෙනවා. ඉතින් ඒ තමයි ගිම්හාන කාලය. ඒ වගේමයි රූපයේ පේනවා ඇති, ඒ අවස්ථාවේදී ඉර එලිය වැටෙන වපසරිය උත්තර ධ්‍රැවයෙනුත් එහාට පැනලා. පෘතුවිය බ්‍රමණය උනාට උත්තර ද්‍රවයට හැම තිස්සෙම එළියයි. ඒ කියන්නේ එහාට රෑ වෙන්නේ නැහැ දිගටම දවාල :) ඒ දවස්වලට කියන්නේ Polar days කියලා. ඒ වගේම මේ වෙලාවේදී දක්ෂිණ ධ්‍රැවයට ඉර පායන්නෙම නැහැ. ඒ දවස්වලට කියන්නේ Polar nights කියලා. ගිම්හාන කාලෙට ඒ රටවල්වල දහවල් කාලය වැඩි වෙන්නත් ශිත කාලයට දහවල අඩු වෙන්නත් බලපාන හේතුවත් මේකයි. 

දැන් බලමු ඔය අවස්ථාවේදීම දක්ෂිනාර්ධ ගෝලයට මොකද වෙන්නේ කියලා. ඒකෙ වැඩි හරියක්ම තියෙන්නේ අඳුරේ. යන්තම් දවල් කාලෙට හිරු කිරණ ටිකක් ලැබුනට දවල් කාලය කෙටියි. බොහොම අඩු කිරණ ප්‍රමාණයක් ලැබෙන නිසා සෑහෙන සීතලක් දැනෙනවා ඒ ප්‍රදේශවලට. අන්න එහෙමයි දක්ෂිනාර්ධ ගෝලයට හිම පිරිච්ච සිසිරය ලබන්නේ. ඒ කියන්නේ උත්තරාර්ධ ගෝලයේ හඳ අල්ලපු රටට ගිම්හානය ලබද්දී දක්ෂිනාර්ධ ගෝලයේ කැන්ගරු දේශේට හිම වැටෙන්න ගන්නවා. 

ඉතින් අපේ පෘතුවිය ඔහොම හෙමිහිට ගිහිල්ලා September 23  කියන තැනට එනවා. ඒ ස්ථානයේදී අංශක 23 1/2 ඇලය බලපාන්නේ නැති බව රූපය බැලුවම පේනවා ඇති. ඒ වෙලාවේ ඇලය පිහිටන්නේ සූර්යයා දෙසටවත් ඉවතටවත් නෙමෙයි. ඉතින් අර්ධ ගෝල දෙකටම ආසන්න වශයෙන් සමානව හිරු කිරණ ලැබෙනවා. මේ කාලේදී (සරත් කාලයේදී) උත්තරාර්ධ ගෝලයට ගිම්හානය ඉවර වෙලා උණුසුම අඩු වෙන කාලේ. ඉතින් ගස් වැල් සිසිරයට සූදානම් වෙන්න උවමනා නිසා කොළ හලන්න පටන් ගන්නවා. ඊට කලින් ඒවා ලස්සන පාට වලට හැරෙන නිසා තමයි සරත් සමය මේ තරම් ලස්සන. 

ඉතින් ඔය විදියට පෘතුවිය එනවා December 22 කියන ස්ථානයට. ඒ වෙද්දී ගස් වල ඉතුරු වෙලා තියෙන්නේ නටු විතරයි. පළාතම හිමෙන් වැහිච්ච කාලයක්. හැබැයි ඒ උත්තරාර්ධ ගෝලයට. දක්ෂිනාර්ධ ගෝලයට නම් මේ කාලෙට ගිම්හානය තමයි. ජුනි 22 රූපයේ විරුද්ධ අවස්තාව තමයි මෙතන තියෙන්නේ. 
ඊ ලඟට මාර්තු 21 වෙද්දී උත්තරාර්ධ ගෝලයට වසන්තය ලබලා. කොළ හැලිච්ච ගස්, මල් වලින් වැහිලා යනවා. හිම අස්සේ හැංගිලා ඉඳපු තණකොළ ලා කොළ පාටට ඔලුව උස්සනවා. මිට සමගාමීව දක්ෂිනාර්ධ ගෝලයට සරත් සමය ලබනවා. 

ඉතින් ඔන්න ඔහොමයි සෘතු විපර්යාස ඇති වෙන්නේ.

අර රුපය බැලුවම ඔයාලට පේනවා ඇතිනේ ලංකාවට සෘතු විපර්යාසයක් නැත්තේ ඇයි කියලා. ලංකාව තියෙන්නේ සමකය ආසන්නයේ. ඒ නිසා පෘතුවිය ඉර දෙසට හෝ ඉවතට ඇල උනා කියලා ලංකාවට ඒක බලපාන්නේ නැහැ. ඒ හින්දා ලංකාව ඝර්මකලාපීය රටක් :)

86 comments:

  1. දැන් නම් සරත් සිරිය ගිහින් ටික ටික ශීත කාලේ එනවානේ ලොකු අක්කේ.. අපිට නම් දැන් රතු කහ පාට අඩු වී ගෙන යන්නේ.. ඊට පස්සේ ඉතින් සුදු පාට තමයි... :)

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ.. ආයෙම පර්ණ සුපුරුදු ප්ලේස් එක අල්ල ගත්තා.. තාම ලොකු අක්ක තෑගි දෙනවද දන්නේ නෑ.. :)

      Delete
    2. හ්ම්ම්...එහෙමද? මෙහාටනම් තාම සරත් තමයි. සුදු උනත් නරක නැහැ. අමුතු ලස්සනක් තියෙන්නේ :) දැන් ඉතින් මේ ලොකු ළමයිට තෑගී ඕන නෑ නේද..:)

      Delete
  2. අද නම් මටත් මොනා හරි දෙන්ට. නැත්නම් මම පව්...:)

    ඉස්කෝලේ කාලේ ඉගෙන ගත්තු පාඩමක් මතක් උනා.
    මගෙත් ප්‍රියතම සෘතුව සරත්. ඒ කීවේ ශිශිරය ලඟට...:D

    ReplyDelete
    Replies
    1. හනේ මමනම් ආසම වසන්තෙට :)) ඒ කාලෙට හිතෙන්නේ මැරිච්ච පොළවට පණ එනවා කියලා...

      Delete
  3. හරිම ලස්සන..ඒ වගේම ඉගෙනගන්නත් දෙයක් තියෙන පෝස්ට් එකක්.

    පිටරටකට ඇවිල්ලා ඉන්න, වකාටත් මේ සෘතු මාරුව අලුත්ම අත්දැකීමක්.
    මේ දවස්වල ගස්වල අලුත් දළු එනවා..පුංචි පුංචි කැලෑ මල් පාර දෙපැත්තෙ ඉඳගෙන හිනාවෙනවා. එක එක විදියෙ කුරුල්ලො හවස් වෙනකල්, අඳුර එනකල්ම කෑ ගහනවා....හරිම ලස්සනයි. පොත්වලින් දැකපු දේවල් ඇත්තටම දෑසින් දකිනකොට නේ අගේ වැඩි. :)

    ජය!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ වකා ඉන්නේ දක්ෂිනාර්ධ ගෝලයේ නේද? කැන්ගරු දේශේ හරි ඇන්කර් දේශේ හරි වෙන්න ඇති :) ඔව් මාත් මාර ආසයි වසන්තෙට

      Delete
    2. හ්ම්ම්..කැන්ගරු දේශේ

      Delete
  4. අක්කලාගේ ගේ ඉස්සරහා තියෙන තණකොල බිස්ස නම් මරු, හවසට ක්‍රිකට් ගහන්නත් පුළුවන් නේද :) polar nights වල දවසම නිදාගන්නවද මිනිස්සු ? ඔෆිස් වල නිවාඩුත් ඇතිනේද!!! ලස්සන පින්තූර ටික!

    ReplyDelete
    Replies
    1. හිහි...ක්‍රිකට් වලට නම් හොඳයි තමයි. polar nights ලබන්නේ ධ්‍රැව වලට විතරනේ මල්ලි. ඒවායේ ඉන්නේ පෙන්ගුයින් ලා තමයි. අපිට වෙන්නේ දවල් කාලය ගොඩක් අඩු වෙලා හවස 4 ට 5 ට විතර කළුවර වැටෙන එක. එව්වා එහෙම උනා කියලා නිදාගන්නනම් හම්බ වෙන්නේ නැහැ :(

      Delete
  5. ලස්සන පිංතූර ටික සයුරී . විස්තරයත් හරිම රසවත් . ගේ ඉස්සරහ තියන ගහනම් හරිම ලස්සනයි .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගිම් :) මමත් ඒ ගහට හරිම කැමතියි...

      Delete
  6. දෙවෙනි ෆොටෝ එකේ පහලින් තියන්නේ ගඟක් ද..? ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්තු ඒවා මතක් උනා. හොඳ විස්තරයක්. ෆොටෝ ටික ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඒක විලක් චන්දන. පොඩි එකක්. බොහොම ස්තුතියි කමෙන්ටුවට.

      Delete
  7. මගේ අම්මෝ ලස්සන . ඒ උනාට ගස් කොළ පාටට නැත්නම් හිතට හරි නැහැ වගේ වගේ.. :'(

    ReplyDelete
    Replies
    1. ඔව් නේද..ගස් කිව්වම අපිට මතක් වෙන්නේ කොළ පාට නේ..

      Delete
  8. අම්මෝ..... ලස්සන. ශික් අපරාදේ මට ඔහෙට එන්න තිබ්බ චාන්ස් ඒක නැතිකොරගත්තේ. දැන් අවුරුදු 21 ක් ම මේ කාන්තාරේ ඉන්නවා මිසක් ඔයවගේ දේවල් දකින්න ලැබෙන්නේ නැහැනේ. දැන් කාලේ හරි වගේ වෙන වසමක රාජකාරී කොරන්ට.අමතක වෙලයි තිබ්බේ සෘතු 4ක් තියෙනවා කියලා මෙට තියෙන්නේ සමර් එකයි වින්ටර් එකයි විතරයිනේ

    ReplyDelete
    Replies
    1. සික් කෝරලේ මහත්තයටත් මේ පැත්තට එන්න තිබුනේ..හැබැයි ඔය රටවල්වලට කවද හරි එන එක මගේ හීනයක්..:) පිරමිඩ එහෙම බලන්න. එහෙ වින්ටර් එක මොන වගේද අප්පා..සීතලයි වෙන්න ඇති..

      Delete
  9. ඉස්කෝලේ යද්දී ඉගෙන ගත්තු පාඩම ආයෙමත් මතක් උනා..සයුරි හරිම වාසනාවන්තයි. ඔය සෘතු වෙනස් වෙන රටක ජීවත් වෙන්න ලැබීම මොන තරම් සුන්දරද...

    අර පින්තූර ටික නම් හරිම ලස්සනයි.ඔය ගස්වල කොළ හරිම ලස්සනයි නේද සයුරි ...

    ReplyDelete
    Replies
    1. අපිට මුලින්ම මෙහෙ ආවම මන්ඥන් වගේ උනා ලිහිණි..හැම තිස්සෙම වෙනස් වෙන ඒකනේ. ඉතින් ඒවාට හරියන්න අපිත් ඇඳුම් එහෙම වෙනස් කරන්න එපැයි. දැන්නම් හිතෙනවා මේ වෙනස හොඳයි කියලා. එතකොට කම්මැලි නැහැ. :)

      Delete
  10. මෙහෙම පින්තූර දැක්කහම මේ වගේ රටක ටික කාලයක් ගිහින් එන්ඩ ඇත්නම් කියලා හිතෙනවා.
    ඒ අතින් සයුරි අක්කා හෙන වාසනාවන්තියක් !

    ReplyDelete
    Replies
    1. ඔයාට යන්න ලැබෙයි ඔහොම යනකොට...වැඩි කල් නොගිහින් :)

      Delete
  11. අපි මේ දවස් වල කියන්නේ "වසන්තයේ අග හමුවෙමු සොඳුරිය", "වසන්ත කාලෙට සුරංගනාවන්", "මිහිරැති වසන්ත කාලේ" වගේ සිංදු.... ගිම්හානයේ දැඩි රශ්මියෙන් ගිලන් වෙන්න තමයි යන්නේ ලඟදිම... ඒත් ගිම්හානේ සොඳුරු දසුන් මතක් වෙනකොට ගිලන් බව බලන් ඉන්දැද්දිම නැතිවෙනවා.

    ReplyDelete
    Replies
    1. තිසර ඉන්නෙත් දක්ෂිණ අර්ධ ගොලයේද? ඔව් ගිම්හානය කොච්චර සැර උනත් ඒක ලං වෙද්දී සතුටුයි. එහෙ මෙහෙ යන්න එහෙම කියාපු කාලේ.

      Delete
  12. සයුරි අක්කා කවදත් ලියන්නෙ මොනාම හරි ඉගනගන්න , දන්නෙ නැති අයට තේරුම්ගනන් දේකුත් එක්කයි!!!

    ආසාවෙ බෑ දකිද්දි!! අපේ රටේ ඔහොම තදබල වෙනසක් දකින්න නැති නිසාමද මංදා දකිද්දි ආසයි!! :D

    ReplyDelete
    Replies
    1. :)) හිතූ ත් දවසක එන්නකො මේ පැත්තට. ලංකාවේ ඉද්දි මාත් ආසාවෙන් හිටියේ සෘතු වෙනස් වෙන හැටි බලන්න. ටිකක් කරදර විඳින්න උනත් ඒක ඇත්තටම ලස්සනයි.

      Delete
  13. සයුරිට ටීචර් කියන එකේ කිසිම වැරැද්දක් නෑ..හරිම සරලයි .. පැහැදිලියි..

    අපරාදේ සයුරි ඇත්තතම ටීචර් එනෙක් උනනම්..කොච්චර හොඳද

    ReplyDelete
    Replies
    1. අනේ මී දරුවෝ, මම ටීචර් කෙනෙක් උනානම් ළමයිට හෙල්මට් දාන්න වෙයි කියලා අපේ මල්ලි කිව්වා :(

      Delete
  14. නියම පිංතූර ටික.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ් :)

      Delete
  15. මේ ලස්සන සෘතු වෙනස දකිනකොට නම් හිතෙනවා ලෝකේ මොන එහෙකට ඇල වුණාද කියලත්.. ඒත් ඉතින් ශීත කාලේ ආවම එයාලා පොරවාගෙන ඉන්න හැටි දැක්කම මට නිකන් පිස්සු වගේ.. හිහි
    ලස්සන පින්තූරු ටිකක් අක්කියෝ.. :D

    ReplyDelete
    Replies
    1. //එයාලා පොරවාගෙන ඉන්න හැටි දැක්කම මට නිකන් පිස්සු වගේ//
      කියල වැඩක් නෑ :) ගේ අතුලනම් ශේප්.හීටර්ස් තියන නිසා. සමහර වෙලාවට අමතක වෙලා ඉන්න ඇඳුමෙන්ම එලියට බහිනවා. එතකොට තමයි තරු විසි වෙන්නේ. තප්පරෙන් ආපහු ගේ ඇතුලේ..

      ස්තුතියි නංගා කමෙන්ටුවට

      Delete
  16. ඉස්කෝලේ ගිය කාලේ උනන්දුවෙන් අහගෙන නොවී හිටපු පාඩම් ටික අයෙමත් මතක් වුණා. ලෝකයේ ප්‍රධාන සෘතු හතර බෙදෙන හැටි ඒකාලේ ඉගනගත්තෙ නැතුවට අද නම් පැහැදිලිවටම ඉගනගත්තා. ඒකට ගැලපෙන සරලම උදාහරනය තමයි අර ගහ.

    පිංතූර ටිකනම් වටිනාකම මෙතෙකැයි කියා නිම කල නොහැකියි. ඒතරමටම වටිනවා.

    අර පෙනෙන වැවේ නිසල බව කියන්නේ හමන සුළං පවා නැවතී තිබෙන බවයි. ඊටත් වඩා වැවැට ඉහලින් ඇති වනය මල් හතයි. පාර දෙපැත්තත්එහෙමයි. ඇත්තටම ඔය ප්‍රදේශය ජන ශූන්‍යද මාර හුදකලාවක්නේ තියෙන්නේ. ඉගනගන්න අයට නම් මාර සැනසිල්ලක් ඇති පාඩමක් කරගන්න.

    ලංකාවටත් එහෙම තිබුනනම් හොඳයි කියල හිතෙනවා.මොකද මෙහෙම විවිධත්වයක් තිබුන නම් අපිත් අපේ දෛනික චර්යාවන් හිතන පතන හැටි පවා තරමක් දුරට වෙනස් කරගන්නවා. එහෙම බලන කොට නම් දකුණු ආසියවේ අපි ඒකාකාරී ජීවිත ගතකරන පිරිසක්.

    සයුරිගේ අද භූගෝල විද්‍යා පාඩම නම් කදිම අධ්‍යාපනික වැදගත් කමකින් යුතු එකක්.

    ReplyDelete
    Replies
    1. මේ පැත්ත තනිකරම ගමක් වගේ දයානන්ද අයියා. ටවුන් එකෙන් හැතැප්ම 5 ක් විතර එලියට ගියාම ඔය වගේ කැලෑ ප්‍රදේශ හමු වෙනවා. ඉතින් පුළුවන් හැම වෙලාවේම අපිත් ඒවායේ ඇවිදින්න යනවා. ගෙවල් තියන හරිය උනත් තදබදයක් නැහැ. තාප්ප එහෙම ඇත්තෙම නැහැ. වෙලාවක තව පින්තූර ටිකක් අරගෙන දාන්නම්කො.

      //මෙහෙම විවිධත්වයක් තිබුන නම් අපිත් අපේ දෛනික චර්යාවන් හිතන පතන හැටි පවා තරමක් දුරට වෙනස් කරගන්නවා.//
      මේකනම් බොහොම ඇත්ත. ඇත්තටම මේ මිනිස්සුන්ගේ දියුණුවට සෘතු විපර්යාසය බලපානවා කියලා මට හිතෙනවා. හිගන්නෙක්ට උනත් වින්ටර් එක සවයිව් වෙන්න යම්කිසි වැඩ කොටසක් කරන්න වෙනවා.

      Delete
    2. ඔහෙ හිගන්නො ඉන්නවද සයුරි හැබෑටම ? මෙහෙනම් ඉන්නවා බෙන්ස් වලින් එන හිගන්නො.. :-)

      Delete
    3. මේ අපි ඉන්න පැත්තේ නැති උනාට සමහර පැති තියලු හරියට හිඟන්නෝ ඉන්න.

      අනේ මටත් බැරිද එහෙ හිඟා කන්න එන්න :) හිහි

      Delete
  17. ඉස්කෝලෙ පාඩම මතක් වුනා සයු..
    ම්..ගේ ඉස්සරහා ගහ දිහා නම් වරුවක් වුනත් බලා ඉඳතෑකි..!!

    ReplyDelete
    Replies
    1. ඔව් රූ..මාත් ඔය ගහට පුදුම ආසයි..

      Delete
  18. ඇත්තටම ඔයාලගෙ ගේ ඉස්සරහ කොච්චර ලස්සනද...? අපේ රටට වඩා වෙනස් නිසා තණකොල ගහත් ලස්සනටමයි පේන්නෙ. එන්න ඇත්නම් කියල හිතෙනව...!
    තණකොල පිස්සෙ නිදාගන්නත් පුලුවන් ව්ගේ..! චිත්‍රයක්ද මන්දා..?

    එකසිය ගානට රත්වෙනව කිව්වට ....මෙහේ මේ දවස් වල දෙසීය ගානට රස්නෙයි..රෑට නිදාගන්න එක පුදුම වදයක්..!
    සයූ ට තිබුනෙ..ඔයාලගෙ නිවසෙත් පිතූරයක් දාන්නනෙ..!

    ReplyDelete
    Replies
    1. මේ තණකොළ නම් වී අයියේ පිඩලි අල්ලපුවා. පාර අයින්වලත් මේ ගොල්ලෝ පිඩලි අල්ලනවා. ඊට පස්සේ ඒවා කපලා නඩත්තු කරනවත් එක්ක. බලමුකෝ වෙන දවසක ගෙදර පින්තුරත් දාන්න :)

      Delete
  19. අනේ ලංකාවටත් ඔය ඍතු භේදය දැනෙනවානම් නියමයි. එත් හැබැයි හිම වැටෙනකොට සීත දරාගන්න බැරි වුනාම මේ විදිහ හොඳයි කියල හිතේවි. ඉස්කෝලේ පාඩම ඉගෙන ගත්තට මතකෙක තිබුනේ නෑනේ. ඔන්න දැන් ආයෙම අප්ඩේට් වුනා මතකේ. තව එකක්. පින්තුර දාල තියනවා මදිනේ. ඒ වුනාට ඒ පින්තුර පුදුම ලස්සනයි. අපිට බලාගන්නත් එක්ක ඔය වගේ පින්තුර සීයක් විතර දාලා පොස්ට් එකක් ලියන්නකෝ සයුරි අක්කේ. බංකුවක් තියාගෙන වාඩිවෙලා කතාවක් ලියන්න කියාපු තැන.

    ReplyDelete
    Replies
    1. මම සෘතු හතරේම පින්තූර දාන්නම්කො මල්ලි වෙලාවක.

      //බංකුවක් තියාගෙන වාඩිවෙලා කතාවක් ලියන්න කියාපු තැන.//
      ඒකනම් ඇත්ත...හැබැයි සීතල තමා ප්‍රශ්නේ...

      ලංකාවටත් මෙහෙම තිබුනනං හොඳයි කියලා මටත් හිතෙනවා. හැබැයි අර කිව්වා වගේ මෙහෙ මිනිස්සුත් සිත කාලෙට ලංකාව වගේ පැති වලටනේ එන්නේ.

      Delete
  20. බලන්ටකෝ ඒකෙත් හැටි නේද? මටත් ඔය සෘතු කතාව ටිකක් අඤ්ඤකොරොස් වගේ... පෝස්ට් එක කියෙව්වමනම් තේරුණා... ඒත් තාම අර ගතිය ගියේ නෑ... හිත නිදහස් කරගෙන ආයෙම හෙමිට කියවලා බලන්න ඕන...

    කාලෙකට පස්සේද කොහෙදෝ මේ පැත්තේ ආවේ... ජය වේවා කියලා මම යන්න යනවෝ එහෙනම්...

    ReplyDelete
    Replies
    1. //අඤ්ඤකොරොස්// හික්ස්..

      මේක ලියා ගත්තේ කොහොමද අප්පා..

      හෙමිහිට කියවන්නකෝ..එතකොට තේරේවි. ඔයාටත් ජය වේවා !!

      Delete
  21. හරිම පැහැදිලියි විස්තරය.. නොදැන සිටි යමක් දැනගත්තා කියන්ඩ බෑනෙ.. එහෙම කිව්වොත් ඉස්කෝලෙ ගියේ නැද්ද කියලා අහයි රටේ මිනිස්සු..

    දවසක එන්නම්කො අක්කලාගෙ ගෙවල් පැත්තෙ ඔය ගහ බලන්ඩත් එක්ක.. එතකන් කොළ ටික හැලෙන්නෙ නැතුව තියාගන්ට පුලුවන් නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එන්නකො දවසක. හරී ලගේ සීයා ඉන්නවා කිව්වා නේද මෙහෙ..මම බලන්නම්කෝ කොළ ටික එහෙමම තියාගන්න :)

      Delete
  22. සරත් සමයෙ පින්තුර ටික නම් ලස්සනයි ... විස්තර ටිකෙත් ගොඩක් එවා කලින් දැනන් උන්නෙ නැ.... ම්ම්ම් නිමා වුනු වසන්තයත් ලගදිම අයෙමත් අලුත් වෙලා එනවා :P

    ReplyDelete
    Replies
    1. // ම්ම්ම් නිමා වුනු වසන්තයත් ලගදිම අයෙමත් අලුත් වෙලා එනවා :P//

      හ්ම්ම්....වසන්තයට ආරාධනාවක්..නේද?

      Delete
  23. විස්තරයත් අපූරුයි! පින්තුර ටිකත් අපූරුයි! ආසා............යි මටත් හරි හරියට යන්න ඔය වගේ දිහාවකට :) :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිමා...වෙලාවක ඇවිත් යන්නකෝ ඉතින් :)

      Delete
  24. Loke adayi kiyalath dannava.irthu 4k thiyenava kiyalath dannava.e ade nisaa me irthu 4 athi venava kiyala danan hitiyath eka pahadili lesa oluvata danune akkage post eken :)

    ReplyDelete
    Replies
    1. එළකිරි මඩයා මල්ලි. මම ලියපු විදිහ තෙරුනානම් හරිම සතුටුයි...

      Delete
  25. අනෙ හරි ලස්සනයි. සයුරි ඉන්නෙත් ලංකාවෙ නෙමේද? අනේ මන්දා.... මම විතරමද මේ ලංකාවෙ ඉන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඒකනේ සිඳු, බ්ලොග් ලියන ගොඩ දෙනෙක් ඉන්නේ එක එක රටවල නේද...මම දැනට ඉන්නේ ඇමරිකාවේ..හැබැයි ආපහු ලංකාවට එනවා

      Delete
    2. @ සිඳු: ඇයි ඇයි අපිත් ලංකාවේ තමා.. හැබැයි මෙතන ඉඳන් ඉන්දියාවට හූ දෙකක විතර දුර

      Delete
  26. හතේ පංතියෙ සමාජ අධ්‍යයනය පාඩමට අපේ සර් පංතියෙ ජනෙල් ඔක්කොටම කළු රෙදි දාල වහල ගුරු මේසෙ උඩ ඉටිපන්දමක් පත්තු කරල ලෝක ගෝලෙ ඒක වටේ යවමින් සෘතු වෙනස ඇතිවෙන හැටි පැහැදිලි කරල දුන්න ආයෙම මතක් උනා මැඩම්...හෙහ්, හෙහ්, බොහෝම ස්තූතියි ඔය විස්තරේ අමතක වෙලයි තිබුණෙ...

    පින්තූර ටිකත් හරිම අපූරුයි කියලත් කියන්නම ඕනෙ...:) :)

    ReplyDelete
    Replies
    1. ශා..මට මැවිලා පේනවා සර් ඒ පාඩම කරන හැටි, කොච්චර හොඳ ගුරුවරයෙක්ද? බොහොම ස්තුතියි රවී අයියේ :)

      Delete
  27. අඩේ..අහන්නම හිටි එක අහන්න බැරි උනා නෙව...හේමන්තය කියල සෘතුවක් ඉහෙන ගත්තනෙ අපි...කෝ දැන් ඒක?

    අර නන්ද නෝන එහෙම කියන්නෙ....

    වසන්තේ නිදාහුන් යොවුන් කෝකිලාවන්,
    ගයන්නී සුපෙම් ගීත හේමන්තයේදී...

    මම අහන්නෙ කොයි ඒක?...:) :)

    ReplyDelete
    Replies
    1. හප්පා ඇත්ත නේන්නම්..මම හිතන්නේ හේමන්තය කියන්නෙත් සරත් කාලයටම තමයි...ම්ම් හරියටම ෂුවර් නෑ. බොහෝ දුරට එහෙම වෙන්න ඕන.

      Delete
    2. හේමන්තය කියන්නේ early winter කියලා කොහේ හරි කියෙව්ව මතකයි... සරත්, සිසිර අතර මැද තියන කාලයක් මං හිතන්නේ.... ඇත්තටම මේවා පිරිමි නම් වලින් නම් කරලා තියෙන්නේ ඇයි? ඉකමනින් වෙනස්වීම ගැහැණු ලක්ෂණයක් නිසා (හරි හරි... ගහන්න එපෝ... සාමාන්‍යයෙන් එහෙම කියනවනේ) ගැහැණු නම් දෙන්න තිබ්බේ මේවට...

      සීතා - Winter
      වර්ෂා - Spring (වැසි කාලය)
      රශ්මි - Summer
      චමිලා - Autamn(කොල හැලෙන කාලය :D)

      Delete
    3. //හේමන්තය කියන්නේ early winter//

      ආහහ්..එහෙමලුද? හැබැයි ඒ කාලය කිසිම ලස්සනක් නැති කාලයක් නේ..ගස් වල කොලත් නැති හිමත් නැති කාලයක්.

      හික් හික්...ඇයි අනේ ඕනනම් ගෑනු නම් දාගන්න එකයි තියෙන්නේ..
      වසන්ති, ගිම්හානි :) වගේ..ඒක නෙමෙයි චමිලා කියන්නේ මොකද කොළ හැලෙන එකට?

      ආ..තව එකක් Spring කියන එකට වැස්ස ඩිරෙක්ට් සම්බන්ධයක් නැහැ නේද?

      Delete
    4. චමින්දගෙ වයිෆ්නෙ චමිලා ඒකයි.. :-)

      Delete
    5. ඔහ්...දැන් නේ තේරුනේ

      Delete
    6. ඔව් ඇත්තටම, වර්ෂා සමය කියන එක කලාපයෙන් කලාපයට වෙනස්... සමාන්‍යයෙන් වහින්නේ ගිම්හානේ කියලත් කියනවා. Spring එකට එහෙනම් වසන්ති කියලා කියමු...

      කොල හැලෙන කාලෙට චමිලා කිව්වෙ ඇයි කියලා සෙන්නා පැහැදිලි කරලා තියෙන්නෙ...

      Delete
    7. හ්ම්ම්..චමින්දගේ වයිෆ් ලු නේ නේද :)

      Delete
  28. සමකය වටේ ලියන මට සමකයට ඇත රටවල පාරිසරික තොරතුරු ගැන ලියැවුණු මේ පෝස්ට් එක ගෙන ආවේ පුදුම සතුටක්. සයුරි ඔබත් හරිම වාසනාවන්ත කෙනෙක්. ඔබට සදා ජය

    ReplyDelete
    Replies
    1. සමකය වටේ තොරතුරු මමත් බලන්නේ හරිම ආසාවෙන්. නිවර්තන වටේ තොරතුරුත් ඒ අඩවියේ ලියවෙයි නේද කවදාහරි? බොහොම ස්තුතියි ඔබටත්...

      Delete
  29. ඉස්කෝලෙ යන කාලෙ ඉගෙන ගත් දේ නැවත අලුත් වුනා.සයුරිගේ ඉගැන්වීමේ හැකියාවනම් අති විශිෂ්ටයි.

    මේ පෝස්ට් එක ඇසුරින් presentation එකක් හදන්න අදහසක් ආවා, ළමයින්ට දෙන්න.(ඔබේ කතෘ අයිතිය සමගම)
    මොකද මේවා ඉස්කෝලවල උගන්වන්නෙ හරිම නීරස විදියට. presentation භාවිතයෙන් ඉතා පහසුවෙන් මෙවැනි විෂයයන් උගන්වන්න පුළුවන්. ඒත් වැටුප දිහා බලාගෙන මොනවා හරි කියෝලා යන ගුරුවරුන්ට එහෙම දෙයක් කල්පනා වෙන්නෙ නෑ. කල්පනා වුනත් කරන්න අවශ්‍ය දැනුමත් නෑ.

    ReplyDelete
    Replies
    1. අනේ මගේ පෝස්ට් එක පාවිච්චි කරලා ඕනෑම දෙයක් කරන්න ඒකෙන් ළමයින්ට වැඩක් වෙනවනම් කොයි තරම් සතුටක්ද.සුමිත් මහත්මයා ගුරුවරයෙක්වත්ද?

      //presentation භාවිතයෙන් ඉතා පහසුවෙන් මෙවැනි විෂයයන් උගන්වන්න පුළුවන්.//

      ඒකනම් ඇත්ත. අර රවී අයියා උඩින් කමෙන්ට් එකක දාලා තියෙන්නේ එයාලට මේ පාඩම උගන්නපු හැටි. ඒකත් හරිම හොඳ ක්‍රමයක් වගේ පේනවා. බොහොම ස්තුතියි ඔබටත්...

      Delete
  30. විස්තරයත් අපූරුයි.. පින්තුර ටිකත් ලස්සනයි.. ආස හිතුණ මටත් මේ ව‍ගේ රටක ටික කාලයක් හරි ඉන්න... ස්තුතියි සයුරි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තරුරසී ඔයාටත්..ඔයාගේ ආසාව හැබෑ වෙන්න කියලා පතනවා..

      Delete
  31. පොඩි කාලෙ ඉඳලා මඥ්ඥන් වෙලා තිබුන සිද්ධාන්තයක් බොහොම සරළ විදිහට පැහැදිලි කලාට සයුරි මිස්ට බොහොම ස්තූතියි..

    // ඊ ලඟට මාර්තු 21 වෙද්දී උත්තරාර්ධ ගෝලයට වසන්තය ලබලා. කොළ හැලිච්ච ගස්, මල් වලින් වැහිලා යනවා. හිම අස්සේ හැංගිලා ඉඳපු තණකොළ ලා කොළ පාටට ඔලුව උස්සනවා. මිට සමගාමීව දක්ෂිනාර්ධ ගෝලයට සරත් සමය ලබනවා. //

    ස්වභාවධර්මයා වුනත් හොඳ වැඩ වලට හොඳ දවසක්ම තෝරගන්නෙ නිකන්ද ආ.. :-)

    ReplyDelete
    Replies
    1. අහා...සෙන්නා ගේ උපන්දිනේද මාර්තු 21? හැබැයි ඉතින් ලංකාවට ඉර මුදුන් වෙන්නෙත් මාර්තු 21 ලු :)

      Delete
  32. පින්තූරු ටික ලස්සනයි.. පෝස්ට් එක කියවද්දී පුදුමත් හිතුණා ඒ මොකද රතු, කහ සහ රන්වන් පාට කොළ පිරිච්ච ගස් පේලියක් තමා මම මේදවස්වල වෝල්පේපර් එකට දමාගෙන ඉන්නේ.. අර අංශක 23 යි 1/2 ක් ඇල වෙච්ච සීන් එක ඉස්සර සමාජ අධ්‍යයනයට පට්ට ගැහුවා හීනෙක් වගේ මතකයි.. ඔයතරම් පැහැදිලි වෙනසක් නොතිබුණාට මේ පැත්තෙත් පොඩිපහේ දේශගුණ වෙනස්කම් තියනවා. මාස කීපෙකට කලින් කරකුට්ටන් වෙන්න තරමට පායලා දුඹුරු පාට වෙච්චි ඈත ඉමේ ගස් දැන් වැස්සට දළු දමා ලියලල. කුඹුරු යායවල් කොලපාට වෙලා.. පස්සේ පිංතුර ටිකක් දාන්නම්කෝ

    ReplyDelete
    Replies
    1. // රතු, කහ සහ රන්වන් පාට කොළ පිරිච්ච ගස් පේලියක් තමා මම මේදවස්වල වෝල්පේපර් එකට දමාගෙන ඉන්නේ..//

      එහෙනම් ඔයාත් මෙහෙ සෘතු විපර්යාසයත් එක්ක සින්ක්රෝනයිස් වෙලා වගේ :)

      ඒකනම් ඇත්ත..ලංකාවටත් පොඩි වෙනසක් හරි තියනවා. ඉස්සර ඉස්කෝලේ යද්දී සමහර කාලවලට කරුවලේ ඉස්කෝලේ යන්නේ (ජනවාරි වල වගේ). ඒ කාලෙට එලි වෙන්නේ පරක්කු වෙලා. අනේ පින්තූර දාන්න තොටියා අයියේ. ආසයි බලන්න.

      Delete
  33. පොඩි කාලේ පොත පතින් ඉගෙන ගත දේවල් . කවි සින්දු වල තිබුනත් අපට පැහැදිලි වෙනසක් නැහැ . අප්‍රේල් මැයි මල් පිපෙන නිසා වසන්තය වගේ තමයි .

    මෙහෙත් හිම වැටෙන තරම් නැතත් අපිටත් වෙනස දැනෙනවා . දැන් ඉතින් සරත් සමය. හැබැයි මෙහෙ කොළ පාට නැති වෙන්නේ නැහැ . සයුරිගේ විස්තරය කදිමයි. කහපාට සරත් සමයක් බලන්න කවද හරි යන්න ඕන

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...මට මතකයි බින්දී අක්කා වසන්තයේ මල් ගැන පෝස්ට් එකක් දාලා තිබුණා. ඇමරිකාවෙමත් එක එක පළාත්වල සෘතු වෙනස එක එක විදියයි නේ. ෆ්ලොරිඩා වගේ සමකයට ළඟ පැතිවල මෙහෙම ගස් කහ පාට වෙලා හිම වැටෙන්නේ නැහැ. ඒවායේ දේශගුණය ටිකක් විතර ලංකාවේ වගේ..

      Delete
  34. අප්පොච්චියේ.... නහින්න කලින් හිම පදින්න තියේ නම් පංකාදුයි ^_^ !!

    ReplyDelete
    Replies
    1. අම්බෝ...අන්කල් දැකපු කල් :)

      Delete
  35. අපෝ winter!!!!!....photos ටික නියමයි ඈ!!!

    ReplyDelete
    Replies
    1. මොකද අනේ අපෝ වින්ටර් කියන්නේ :)

      Delete
  36. අපේ පැත්තට (මම ඉන්න රටට) හවස 5න් පස්සේ කරුවලයි රෑ 10න් පස්සේ තමා එලිය වැටෙන්නේ. මොකද හයියෙන් වැස්සොත් සතියක් විදුලිය නැහැ. එච්චර කාර්යක්ෂම රටක්.

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද :) කමක් නෑ අනේ..සීත කාලේ කියලා හිතාගන්න ඒ වෙලාවට

      Delete

Related Posts Plugin for WordPress, Blogger...