Wednesday, May 15, 2013

මාළු කටු මන්තරේ



"ඕං රීං ඒස්වා... 
 භූත බන්ධ ප්‍රේත බන්ධ ඒස්වා හඃ.. 
 #&*&@#^*#$%#%$%^........"

 ඒ මන්තර හඬ ඇහෙන්නේ මගේ උගුරේ හිර වෙච්ච මාළු කට්ට එලියට අරන් දෙන්න ආපු ගුරුන්නාන්සේ ගෙන්. මට ඔය මාළු කට්ට හිර උනේ ඊට සති ගානකට කලින්. අර හීනි මාළු කුරීයෝ ජාතියක් ඉන්නේ හුරුල්ලෝ කියලා, උන් බැදලා කනකොට හරිම රහයි. ඒ උනාට මම වගේ පොඩි උන්ට (ඒ වෙද්දී වයස 7 ක් විතර) ඔය ජාතියේ මාළුන්ගෙන් ටිකක් අපලයි. මාළු කට්ටක් හරස් කරන්න තරම්වත් උගුර ඉඩ නැහැනේ.

කෝම හරි ඉතින් මේ කටුව හිර වෙච්ච එකෙන් මම සති ගානක් දුක් වින්දා. කිසිම දෙයක් හරියාකාරව කන්න බොන්න විදියක් නැහැ උගුරේ වේදනාව හින්දා. සේරටම වඩා අමාරු කට්ට යන්න කියලා අම්මා හදල දෙන බත් ගුලි ගිලින එක. කෙසෙල් ගෙඩිද අරවද මේවද හපන්නේ නැතුව කුට්ටි පිටින් ගිලලා එපා වෙලා තිබුනේ. කොච්චර කරත් ඒක තව හිර වෙනවා මිසක් ගැලවෙන පාටක් නැහැ. වැඩේ හරි යන්නෙම නැති තැන තමයි තාත්තගේ යාලුවෙක් ඔය ගුරුන්නාන්සේ එක්කගෙන ආවේ. ඇයි අප්පා නැත්නම් දොස්තර කෙනෙක් ලඟට ගිහින් අඬුවකින් කටුව අරන් දාගන්න කියලද? මන්තරේකින් කටුවක් අරන් දාන විදිහ ගැන හිතා ගන්නත් බැරි උනත් අන්තිම තුරුම්පුව හැටියට ඒකත්  කරලා බලන්න අම්මලා තීරණය කරා.

ඉතින් ගුරුන්නාන්සේ අර මතුරන්නේ බත් ගුලියකට. තඩිම තඩි බිත්තරයක හැඩේට ගුලි කරපු බත් ගුලියකට. ඒ ලඟම වතුර කෝප්පෙකුත් තියනවා. මම පැත්තකට වෙලා මන්තරෙත් අහගෙන අර තඩි බත් ගුලිය ගිලින ක්‍රමයක් ගැන හිත හිත ඉන්නවා. පැය බාගයක් විතර මතුරලා මතුරලා අන්තිමට අර බත් ගුලිය අම්මගේ අතට දුන්නා මට ගිල්ලවන්න කියලා. ඒ ගුලිය දෙකට කඩලා පුංචි ගුලියක් හැදුවට පස්සේ ඒකෙනුත් බාගයක් වගේ තමයි මට ගිලගන්න පුළුවන් උනේ. ඒත් එක්කම අර වතුර කෝප්පෙන් ටිකකුත් බිව්වා.

දැන් ඉතින් මට තියෙන්නේ කටුව යනකන් බලන් ඉන්න...විනාඩියක් හිටියා.. දෙකක් හිටියා.. මෙන්න බොලේ ටිකක් උගුරේ රිදිල්ල අඩුයි වගේ. ආපහු අර වතුර ටිකක් බීලා බැලුවා. කලින් වතුර බොද්දි දැනුනු රිදිල්ල දහ ගුණේකින් විතර අඩු වෙලා. ඔහොම ටිකෙන් ටික වතුර කෝප්පෙම බිලා ඉවර වෙද්දී මාළු කට්ට කොහේ ගියාද නෑ. වේදනාවත් අන්තරස්දාන වෙලා.

                                                                 ~~~~~~~~~~~~~~

යන්තර මන්තර කියන එව්වා සමහරු විශ්වාස නොකළට මේකනම් මමම අත්විඳපු දෙයක්. එහෙම වෙන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි උනත් එහෙම වෙච්ච බව අත්දැකීමෙන් දන්නවා.

අපේ සීයාත් (තාත්තගේ තාත්තා) හොඳ මන්ත්‍රාචාර්යවරයෙක්. ගොවිතැනට අමතරව සීයා ඒක රැකියාවක් හැටියට කළා. ගමේ අය සීයාව හැඳින්නුවේ "යකැදුරු  මහත්තයා" කියලා. මේකත් ඒ දවස්වල "වෙද මහත්තයා" තනතුර වගේම ගමකට වැදගත් තනතුරක්. අපේ ගමේ ගෙදර (හිච්චා ගේ කතාවේ මේ ගෙදර ගැන වතාවක් ලිව්වා මම) තොවිලයක් ශාන්තිකර්මයක් කෙරෙනවා කියන එක හරිම සාමාන්‍ය දෙයක්ලු ඒ කාලේ. ගමේ මිනිස්සු ලෙඩක් දුකක් උනාම වෙද මහත්තයාගේ බෙහෙත් අහන්නේ නැති වෙද්දී දුවගෙන එන්නේ සීයා ලඟට. මොකද අර මට උනා වගේ, ඒක තමයි අන්තිම තුරුම්පුව. ඉතින් ඒ මිනිස්සුන්ට සීයා දෙවි කෙනෙක් වගේ.

පොඩි කාලෙදී ඉනට බඳින කිරි කවඩි වැල, නින්දෙන් බය වෙනවට කොට්ට උරේ අස්සට දාන යන්තර, රත් හඳුන් කල්ක, අත් බෙහෙත්, සුර... මේ හැම දෙයක්ම අපිට සීයා මතක් කරවන දේවල්. ඒ දවස්වල කල්ක බොන්න මමනම් පුදුම කැමතියි. ඒවා බොන්න දෙන්නේ මිහිපිට තියන මිහිරිම දියරයක් එක්ක. මී පැණි ටිකකට දෙහි ඇඹුල් ටිකක් දාලා ඒකට ගම්මිරිස් කුඩු පොඩ්ඩකුත් දාගත්තම අන්න ඒ දියරය ලැබෙනවා. මම දැනටත් ඕක හදාගෙන බොනවා කල්ක නැතුව. හෙහෙ.

සියාගේ මේ යන්තර මන්තර සම්බන්ධ වැඩ හින්දා අපේ අත්තම්මානම් ටිකක් කරදර විඳලා තියනවලු. අත්තම්මා කියන හැටියට ඒ ගමේ ගෙදර ගෑනු කෙනෙක්ට ලෙඩක් දුකක් නැතුව ඉන්න අමාරුයි. ආත්තම්මට එහෙ ඉන්නකන් මොකක් හරි ලෙඩක් නැති දවසක් තිබුනේ නැහැලු. එක්කෝ වාත අමාරුවක් නැත්නම් සෙම. ඔය වගේ මොනවම හරි ලෙඩක් තියනවලු හැමදාම. හැබැයි කසාද බැඳලා එහෙන් ගියපු නැන්දලාටවත් අවුරුදු දෙක තුනක් විතරක් එහෙ පදිංචියට ගිය අපේ අම්මටවත් ඒවා බලපෑවේ නෑ. ගමේ ගෙදර අයිති වුනේ පුංචි තාත්තට. ඉතින් පුංචි තාත්තා කැන්දාගෙන ආපු පුංචිටත් ආත්තම්මට වගේ හැමදාම ලෙඩ තමා. සීයා තොවිල් වලට ගිහින් ආතුරයා හොඳ කරලා එනකොට ආතුරයාට වැහිලා හිටපු භූත ප්‍රේත යක්කු ඔක්කොම සීයා එක්ක ගෙදර එනවා කියන එක තමයි ආත්තම්මාගේ තියරිය :) අනේ මන්දා ඕවයේ ඇත්ත නැත්ත. මේ හින්දා සීයා තොවිලෙකට හරි ශාන්තිකර්මෙකට හරි පිට ගියපු දවස්වලට ආත්තම්මා ළමයි ටික ගෙට අරගෙන හතර වටේම දොරවල් වහලා වේලාසනින්ම නින්දට යනවලු. මොනම හදිසියකටවත් කාටවත් එලියට බහින්න දෙන්නේ නැහැලු. ඒ කාලේ ගෙවල්වල Attached bathroom කියලා ජාතියක් තිබුනේ නැහැ කියලත් මතක තියාගන්න ඕන :)

කොහොමහරි ඉතින් සීයා ගමට කරේ සුළු පටු සේවයක්නම් නෙමෙයි. ඒ බව අපිට හොඳින්ම වැටහුනේ සීයාගේ මළගම දවසේ. සීයා නැති පාඩුව අද අපිට දැනෙනවටත් වඩා ගමට දැනෙනවා. නවීන විද්‍යාවට පැහැදිලි කළ නොහැකි මහා දැනුම් සම්භාරයක් සීයත් එක්කම වැළලිලා ගියා කියලා මට හිතෙනවා. රාජ්‍ය පරිපාලන නිලයක් දරන අපේ තාත්තවත් විදුහල්පති කෙනෙක් වෙච්ච පුංචි තාත්තවත් නූතන උගත් පරපුරත් එක්ක මුහු උනා ඇරෙන්න මේ දේවල් ගැන උනන්දුවක් දක්වලා නැහැ. ලොකු තාත්තා විතරක් තරමක් දුරට විෂය ප්‍රගුණ කරලා තිබුනත් තෙල් මැතිරිමක් නූල් බැඳීමක් ඇරෙන්න ඊට වැඩි දෙයක් කරන්න තරම් දැනුමක් නෑ මගේ හිතේ. අපි නවීන ලෝකයේ ඉදිරියට යන තරමටම මේ දේවල්වලින් පසු පසට යනවා නේද? කොටින්ම මටත් මෙහෙම අත්දැකීම් නොතිබුනානම් මේ දේවල් සතේකටවත් විශ්වාස කරන එකක්වත් නැහැ.


ප. ලි. - කාලෙකින් ලිපියක් දැම්මට මට පහුගිය දවස් හතර පහක්ම කාගේවත් බ්ලොග් බලන්න ලැබුනේ නෑ. දවස් කීපයක්ම ගෙදරින් ඈත ගිහින් හිටියා පොඩි නිවාඩුවකට. ඊයේ තමා ආවේ. ඒ විස්තරත් "හඳ අල්ලපු රටේ විත්ති" ලිපියකින් කියන්නම් ඉස්සරහට.  දැන් ඉතින් අත ඇරිච්ච එව්වා කියවන්න ඕන. :)

81 comments:

  1. ඔය ක‍ටු ගිලුනම කෙම් කරනවනෙ එක එක.මටත් ඒ කාලෙ හරියට මාළුක‍ටු හිරවෙනව. ඉතින් උණු උණු බත් ගුලියක් බෝල කරල ගිල්ලනව. ගොඩක් වෙලේට හරියනව,මම හිතන්නෙ ක‍ටුව ඇමිනිල බත් එක්ක බඩට යනව. කොහොම හරි ඉදල හිටල මොනම ක්‍රමේකින්වත් බඩට යවාගන්න බැරි ක‍ටු උගුරෙ ‍රැදෙනව. මම ගොඩාක් පොඩිකාලෙ මගේ අම්මගේ තාත්ත(අපි කියන්නෙ ඉතින් ලොකු තාත්ත කියලනෙ) ගෙත් අම්ම මගේ "ග්‍රේට් ග්‍ර‍රැන්ඩ් මදර්" ජිවත් වෙලා උන්න. යවාගන්නම බැරි ක‍ටුවක් හිර උනාම එයා "ඔරසමක්" කියල උගුර අතගානව ඔන්න බොලේ අර ක‍ටුව උගුරෙ නෑ ඊටපස්සෙ. පුදුමයි තමයි මාත් විස්වාස කරන්නෙ නෑ අත් වින්දෙ නැත්නම්. එක පාර්ක් නෙමේ කීප විටක්ම උනා. ඒ වගේම ගමේ ඉන්න තව අයත් එයා ගාවට එනව පොඩි බබාලගෙ එහෙම උගුරෙ ක‍ටු හිර උනාම. ඒ ආච්ච් මම්මත් සීය පප්පත් දෙන්නම පල්ලියෙ එහෙම ඉහල තනතුරු දරපු අය. ඉතින් කට්ටිය එයා කරන්නෙ හාස්කමක් වගේ විස්වාසයක් එහෙම තිබුණ. තව ඔය ගැන විස්තර මහගොඩක් තියනව ඒව ලිව්වොත් මෙතන පෝස්ට් එකක් වෙනව. කොහොම නමුත් සයුරි මටත් කියන්න තියෙන්නෙ විද්‍යාවට අහු නොවන දේවල් තිබේ කියල තමා ඔන්න.

    ReplyDelete
    Replies
    1. //"ඔරසමක්" කියල උගුර අතගානව ඔන්න බොලේ අර ක‍ටුව උගුරෙ නෑ ඊටපස්සෙ//

      මේකත් හරිම පුදුමයි නේද? අපිට හිතාගන්නවත් බැරි දේවල් උනාට ඒවා අත්විඳපු අය ඉන්නවනේ. මටත් මාළු කටු ඕන තරම් හිර වෙලා බත් ගුලි ගිල්ලම හරි ගිහින් තියනවා. මේ කටුව නම් මොකක් හරි සුළු කෝනෙකට හිර වෙලාද කොහෙද. බත් ගුලි ගිලිනකොට තවත් හිර වෙන එක තමයි උනේ.

      ඔයාගේ ආච්චි අම්මා ගැන විස්තර පෝස්ට් එකකින්වත් දැම්මොත් හොඳයි නේද රෝස කුමාරි

      Delete
  2. සයුරි කොල්ලෙක්වත් උණා නම් පරම්පරාව ගෙනියන්න තිබබා. ඒත් එහෙම කරන ගෑණු අයත් ගොඩක් ඉන්නවා හැබැයි.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ පූමා. එහෙම ගෑනු අයත් ඇති තමා. ඒත් වැඩි හරියක් ඔය වගේ වැඩ ගැලපෙන්නේ පිරිමින්ට තමයි නේද :)

      Delete
  3. මටත් මතක් උනේ පොඩි කාලේ උගුරෙ කටු හිර උනාම වෙච්ච දේවල්
    ඒත් සයුරිට තරම් නම් අමාරු උනේ නෑ.
    නිකන්ම හොන්දා උනා.

    හැබැයි ඉස්සර බඩ රිදෙන්න ගත්තම නම් තාත්ත එන්න මම මතුරන්න කියල අත ගානව
    මන්තරයක් නම් කියන්නෙ නෑ.
    ඒත් හොඳ වෙනව.
    ඔලුවෙ රිදිල්ලක් හැදුනත් තාමත් මම ඔලුව අත ගාව ගන්නව.

    එක දවසක් උණ හැදිල වැඩට එද්දි තාත්ත කෝච්චියේ කොලඹට එනකල්ම ඔලුව අතගෑව.
    එහෙමම හොඳ වෙනව,

    :)

    ReplyDelete
    Replies
    1. ඔව් යසිනි ඔලුවේ කැක්කුමක් එහෙම හැදුන වෙලාවට ඔය වගේ ආදරණිය කෙනෙක් ඔලුව අතගාන එක තරම් බෙහෙතක් තවත් නැහැ.

      Delete
    2. අයියෝ නම වැරදියට ලියලනේ. යසිනි නෙමෙයි සසිනි..:) සොරි හොඳේ

      Delete
  4. ඕක මරු සීන් එකක් සයුරි...

    බත් ගුලි නම් ගිලලා ඇති අම්බානක... මාළු කටු හිරවෙලා.. හැබැයි මතුරලා නම් නැත්ද කොහෙද කවදාවත්....

    ඔන්න මේකයි කතාව... ඔය අපේ මහත්තයා ඉන්නවානේ.. එයාගේ තාත්තා නැකත් වැඩ එහෙම දන්න ( යන්තර මන්තර වැඩත් දන්නවලු...) කෙනෙක්.. ඉස්සර එයාගේ කාමරේ සායිබාබාගේ ඉඳලා හැම දෙවි කෙනෙක්මත් හිටියා.... මට මතක ඇති කාලේ ඒ.... ඒත් දැන් ඒවා හැම දෙයක්ම අතෑරලා බුද්ධාගම පැත්තට ගොඩාාාාක් නැඹුරු වෙලා ඉන්න කෙනෙක්.. ( ‌තේරෙනවා ඇතිනේ.. හි හි)

    බැඳලා ආපු මුල් දවස්වල මට සෑහෙන අපල තිබ්බා... පුටු වල කකුල් වැදෙනවා, කොන්ද කැඩෙනවා.. ( කොන්දේ සීන් එක නම් තරමක් බරපතලෙට ආවා..) කොහොම හරි ඔය වෙලාවට මෙයාලගේ අම්මා කරන්නේ ඉතිපිසෝ ගාථාව කිය කිය තෙල් ගාන එක.... ඇත්තම කියනවා නම් මට ඒකෙන් සහනයක් ලැබුනේ නෑ මුලදි...

    පස්සේ අපි වෙනම ගේකට ආවට පස්සේ අපේ මහත්තයා තමයි ඔය තෙල් ගෑම කළේ මට... ( කොන්දට මාස කීපයක් යනකම් තෙල් ගාන්න කියලා තිබ්බ නිසා... ) එයත් ඔය වගේ ඉතිපිසෝ ගාථාව කිය කිය තෙල් ගෑවා... පුදුමේ කියන්නේ එයාගේ අම්මා තෙල් ගානකොට දැනුනට වඩා සනීපයක් මට දැනුන එක....

    දැන් මාත් එයා අඬු කඩාගෙන ආවම ඔය විදියට ඉතිපිසෝ ගාථාව කිය කිය තෙල් ගානවා... හි හි

    තව කතාවක් මේ සම්බන්ධවම... ඉස්සර මං ඉඳලා හිටලා ගිහින් බේත් ගන්නේ අපේ ගෙවල් ගාව ෆාමසියේ ඩොක්ට සිරිල්ගෙන්... සාමාන්‍යයෙන් එයාගේ බේත්වලින් මට එක පාරින් ලෙඩේ හොඳ වෙනවා.. ඒ කිව්වේ මට කවදාවත් උණකට එහා ලෙඩක් හැදිලා නැති නිසා.... ඒත් බැඳලා ආවට පස්සේ එක දිගට ලෙඩ වෙන්න ගත්තම එයාලා එයාලගේ ෆැමිලි ඩොක්ට ගාවට එක්කන් ගියා මාව... විශ්වාස කරනවා නම් කරන්න, මට තාමත් ඒ මනුස්සයගේ බේත් අල්ලන්නේ නෑ.. මොන ලෙඩටවත්.... ඒ බේත් බිව්වමත් මට හෙනට අමාරුයි... ( ඇත්තටම ඒ ඩොක්ට ටිකක් සැර බේත් තමයි දෙන්නේ හොයලා බැලුවම... ඒක වෙනම කතාවක්..)

    මං දැන් තේරුම් අරන් තියෙන විදියට ඔතන තියෙන්නේ බේතේ අමුතු බලයක් වත් කියන මන්තරේ අමුතු බලයක්වත් නෙවෙයි... ඒක කරන කෙනා ගැන අපේ හිතේ තියෙන විශ්වාසේ කියලා.... මෙයාලගේ අම්මා ගැන මට අමුතු විශ්වාසයක්වත්, එයාලගේ වෙද මහත්තුරු, දොස්තරලා ගැන මට විශ්වාසයක්වත් තිබ්බේ නැති නිසා මට ඒ බේත් හරිගියේ නෑ.. හැබැයි අපේ මහත්තයා ගැන තිබ්බ විශ්වාසය සහ අර පොඩි කාලේ ඉඳන්ම මාවයි මල්ලිවයි දන්න දොස්තර ගැන තියෙන පුරුදු කමත් හින්දා තමයි මට තාමත් ඒ බේත් අල්ලන්නේ...

    ඔන්න ඔහොමයි මං ඔය ගැන හිතන්නේ.. ඔය හැම එකටම මුල විශ්වාසය කියලා.....

    ReplyDelete
    Replies
    1. //පස්සේ අපි වෙනම ගේකට ආවට පස්සේ අපේ මහත්තයා තමයි ඔය තෙල් ගෑම කළේ මට... ( කොන්දට මාස කීපයක් යනකම් තෙල් ගාන්න කියලා තිබ්බ නිසා... ) එයත් ඔය වගේ ඉතිපිසෝ ගාථාව කිය කිය තෙල් ගෑවා... පුදුමේ කියන්නේ එයාගේ අම්මා තෙල් ගානකොට දැනුනට වඩා සනීපයක් මට දැනුන එක....//

      so obvious...

      නැද්ද මන් අහන්නේ .

      Delete
    2. හි හි... බින්දි.. අනිවා... ඒක ඉතිං කියන්නත් දෙයක් යෑ......

      Delete
    3. හිහිහ්..බින්දි අක්කා දීලා තියෙන්නේ නියමෙටම උත්තරේ. ඒකෙ අහන්න දෙයක් නෑ නේන්නම්.

      අනිවාර්යෙන්ම ඔතන තියෙන්නේ මානසික සැත්කමක් වෙන්න ඕනේ. ඒ ඇරෙන්න බෙහෙතකුත් වැටෙනවා ඇති තෙල් ගෑම වගේ දේවල් වලින්. කොහොම උනත් මේ මාළු කටු සිද්ධියෙදිනම් මට අර මනුස්සයා ගැන විශ්වාසයක් තියා කිසිම හැඟීමක් තිබුනෙත් නෑ. මම ගොඩක් පොඩියි ඒ දවස්වල.

      මොනවා උනත් ඔයා කියලා තියන විදියට බෙහෙතක් ඇඟට අල්ලන්නනම් විශ්වාසය බලපානවා කියලා මමත් අත්දැකීමෙන් දන්නවා.

      Delete
    4. මගෙත් ඔය වගේ අත්දැකීමක් තියෙනවා පුංචි කාලෙ වෙච්චි දෙයක්.... මට ඒ දවස්වල හරියට සෙම්ගෙඩි හැදෙනවා.... නිතර ඉස්පිරිතාලෙ ඉන්නත් උනා... පෙනිසිලින් විදලම ඒකත් ඇලර්ජික් උනා... ඒ කාලෙ අපේ අම්මා වැඩ කළ ඉස්කෝලෙ හිටිය විදුහල්පතිතුමා ඔය මන්තර ශාස්ත්‍රය දන්න වෙදකමත් කරපු කෙනෙක්.... අම්මා මගේ ගැන ඒ මහත්මයාට කීවම එයා තෙල් වගයක් පොඟවලා මතුරපු පුළුන් ගුලියක් අම්මට දීලා කියලා තියෙනවා, මට ඒක උගුරට තියලා තෙල් ටික හොඳට උරන්න දෙන්න කියලා.... ඒ අම්බානක තිත්ත තෙල මාත් ඉරුවා.... විශ්වාස කරන්න එදායින් එදා ඉඳලා මේ අද වෙනතුරුත් මට ආයෙ කවමදාකවත් සෙම් ගෙඩි නම් හැදුනේ නෑ.... සයුරිට වගේම ඒ පුංචි කාලෙ ඔය විශ්වාසය කියන දෙයක් නම් මගේ හිතේ තිබුණෙ නෑ.... අම්මා කිව්ව නිසා ඒක කළා මිසක්..... දැන් ඒ විදුහල්පතිතුමා ආරණ්‍යයක මහණ දම් පුරනවා කියලා තමයි ආරංචිය....

      Delete
    5. අනිත් කියන්න බැරි වෙච්චි දේ තමයි ඒ මහත්මයගෙ බේතෙන් ලෙඩේ හොඳ උනාද දන්නෙත් නෑ කියන එක.... ඒ උනාට මට තියෙන එකම පුදුමය තමයි අද වෙනකොටත් මං නිතරම සෙම ආශ්‍රිත ලෙඩ වලට ලක් වෙන කෙනෙක් වෙච්චි කොට මේ ලෙඩේ විතරක් අද දක්වාම ආයෙ නොහැදුනු එක...

      Delete
    6. ඔව් මියුරු අක්කා, සමහර දේවල් අපිට හිතාගන්නත් බැරි තරම් පුදුමාකාර උනත් එහෙම දේවලුත් තියනවා. ඒ විදුහල් පති තුමාත් ශාස්ත්‍රය හොඳට ප්‍රගුණ කරපු දැනුවත් කෙනෙක් වෙන්න ඇති. මේ වගේ දේවල් යන්තම් දැනගෙන වෙදකම් කරන අය නිසා තමයි අද මේවා ගැන කාටවත් විශ්වාසයක් නැති වෙලා තියෙන්නේ..

      Delete
  5. අපිත් පොඩි කාලේ ඔය පොඩි පොඩි නුල් බඳින වගේ වැඩ අපේ දිහා කළා මතකයි . අපේ අක්කට සුරයකුත් දාල තිබ්බ . අපේ ගෙවල් පැත්තේ ලොකු තොවිල් බලන්නත් අපි ගිහින් තියෙනව . තොවිල් බලලා ගෙදර එද්දී තමා පන බය ඉතින් . ආතුරයාගේ යකා මග ඉඳලා අපේ ඇඟට පැන්නොත් කියල කෝකටත් පාරේ මැදින් තමයි යන්නේ..හික්

    මන් ඒ කාලේ ඉඳන්ම හැම උලව්වටම විද්‍යාත්මක හේතු හොයන්න ගත්තු හින්දා බක පණ්ඩිත කියල අපේ අම්මා මට කිවේ . හැබැයි එයාම වුනත් එච්චර විස්වාස කරපු බවක් පෙනුනේ නැහැ . කොවුර් එක්ක පයිරු පාසානම් පටන් ගත්තට පස්සේ මන් කොහොමටත් ඕවට නැහැ . හැබැයි ඔය දේවල් වල ඇත්තේ මානසික බලපෑම බවයි මන් හිතුවේ හැමදාම . පෙති කරල්ම ගිලිනවට වඩා පිටින් කරන ඔයවගේ දේවල් වලින් පොඩි පොඩි ලෙඩ හොඳ කරගන්න තියෙනව නම් හොඳයි එක අතකට .
    මාළු කටු නම් හිරවෙලා ඇති දාස් ගානක් . අපේ දිහා මාළු ඉව්ව හැමදාම වගේ . බත් ගුලියක් ගිලින එක තමා කලේ . අපේ උන්ද නම් අදටත් පොඩි මාළු කන්නේ නැහැ . කටු හිරවෙයි කියල .

    ReplyDelete
    Replies
    1. // පෙති කරල්ම ගිලිනවට වඩා පිටින් කරන ඔයවගේ දේවල් වලින් පොඩි පොඩි ලෙඩ හොඳ කරගන්න තියෙනව නම් හොඳයි එක අතකට//

      මේකනම් ඇත්ත අප්පා. මමත් අකමැතිම දෙයක් තමයි ඔය පෙති කරල් ගිලින එක. පුළුවන් තරම් බෙහෙත් නොබී ඉන්න එක තමයි හොඳ. එක පැනඩෝල් පෙත්තක උනත් පුංචි හරි අතුරු විපාකයක් තියනවනේ.

      Delete
  6. මේක කියද්දී මතක් උනේ මට කවමදාවත් ඔය අනම් මනම් හිර වෙලා නැහැනේ.ඒත් කෙසෙල් ගෙඩි පිටින් ගිලපු අවස්ථා නම් තියෙනවා.මොකටද කියලා දැන් මතක නැහැ.ඕකට එක හේතුවක් තමයි මම කෑම බීම ගන්නේ බොහොම අඩුවෙන්.ඉස්සර තාත්ත මට බත් කටක් කවන්න පුදුම දුකක් විඳින්නේ.හරි ඒවා වෙනම කතා...


    යන්ත්‍ර මන්ත්‍ර කරන අයගෙන් 90% විතර අද ඉන්නේ බොරු කාරයෝ සයුරි.ඔය සාස්තරේ විහිලුවට ලක් වෙලා තියෙන්නෙත් ඒ නිසා.ඒ වගේම තවත් දෙයක් තමයි මනුස්ස ලෝකේ ඉන්න දුක් විඳින සත්වයන්ව දුකින් මුදවන්න කිසම දෙවියෙක් බ්‍රහ්මයෙක් එන්නේ නැහැ.එනවනම් එන්නේ හිත් කියවන්න පුළුවන් , එහෙම නැත්නම් අනාගතය දකින්න පුළුවන් හැකියාවක් තියෙන ප්‍රේත ආත්ම.එහෙම එන ප්‍රේතයෝ ඔක්කොමටම හපන්.ඒවත් වෙනම කතා ගොඩටම දාමුකෝ..

    අනිත් දේ අර ඉතිප්සෝ ගාථාව හිරුත් සඳහන් කරලා තියෙන්නේ.මටත් නිකන් දැනිලා තියෙනවා වගේ ඩිංගක් විතර සමහර තැන් වලදී ඒ ගාථාවෙන් ගුණයක් එන තැන්.


    සියල්ල අවසානයේ මට කියන්න තියෙන්නේ මේ ඔක්කොම දැන් දැන් මම විස්වාස නොකරන තැනට එමින් ඉන්නේ.අඩුම තරමේ මම දන්න දේවල් පවා දැන් මට විහිළුවක් වෙමින් එන්නේ.

    කෙසේ උනත් සයුරිගේ පෝස්ට් එකේ පටන් ගැනීම නම් හරි ලස්සනයි.මාළු කට්ට සහ සිඟිති දැරිය.ඒ ගැන ලියවුන විදිහ හරි ලස්සනයි.ඒ දේ දැනෙන්නේ සයුරිගේ කිමෝනාව එක්ක.මට චිත්ත රූප මැවෙන්නේ පුංචි ජපන් බෝනික්කියෙක්ව...හෙහෙ ......................

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත සහන්. අද බලන බලන පැත්තෙන් ඉන්නේ බොරු කාරයෝ. අලුත්ම ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ දේව හාස්කමින් ලෙඩ හොඳ කරන අයනේ. ඒක මේ සබ්ජෙක්ට් එකට වඩා ටිකක් වෙනස් නේද? ඒවානම් මුදල් ගරා ගැනීමේ උපක්‍රම තමයි.

      ලිපිය ලස්සනයි කිව්වට බොහොම ස්තුතියි :)

      Delete
  7. මටත් ඉස්සර අනන්තවත් මාළු කටු හිර වෙනවා. අම්මා නං කියන්නේ කෑම කන වේ‍ගෙ වැඩි නිසා කියලා. ඒකෙත් ඉතින් ඇත්තකුත් තියෙනවා. කොහොම වුණත් කවදාවත් ඔය වගේ මතුරලා නං නැහැ. අනේ මන්දා, ඔය දේවල් ගැන මගේ නං ඒ හැටි විශ්වාසයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. මගෙත් මේ ගැන අදහගත්ත විශ්වාසයක් නැහැ ධාරා. ඒත් අත්දැකීමක් තියනවනේ :)

      Delete
  8. Mama 1 wasare iddi lena paraw maalu kattak hira unaamayi aaya maalu kate thibbe na!
    Eda nam appachchi dunna 1 bath guliyen hari giya. Onema shaasthrayaka prathipala dakinna nam e de hariyata karanna one. Ada wennema naththe ekane. Mama nam manthra shaasthraya wishwaasa karanawa.

    ReplyDelete
    Replies
    1. අඟහරුවා ඒ කට්ට හිරවෙච්ච පාරට සෑහෙන්න බය වෙලා වගේ :) ඒ කතාව ඇත්ත. හරියට කලේ නැත්නම් කිසිම දේකින් ප්‍රතිඵලයක් නැහැ.

      Delete
  9. අෆ්ෆා.. මටත් පේන්නම බැරි වැඩක්.. මාළුකටු හිරවුනාම තියෙන දුකක්. ඇනිච්ච පාර වුනත් ටික දවසක් යනකම් අමාරුයිනෙ. මටත් ඔහොම වෙලා, ඩොක්ටර් ගාවට ගියාම බලලා කිව්වා කට්ටක් නෑ, ඇනුන පාර කියලා..

    මමත් අහලා තියෙනවා එක එක කෙම් ක්‍රම ගැන එහෙම, කටු හිරවුනාම ...

    ReplyDelete
    Replies
    1. ඔව් නේන්නම් සමහර වෙලාවට කටුව ගිහිල්ලත් දවසක් විතර යනකම් රිදෙනවා උගුර

      Delete
  10. මහා මන්ත්‍රාචාර්යණී සයුරී, මටත් ඕවගේ අත්දැකීමක් තියෙනවා. මගෙත් එක පාරක් ඔහොම දත් කැක්කුමක් හැදිලා දුක් විඳිනකොට අපේ බාප්පා (මන්ත්‍රාචාර්යනම් නෙවෙයි නිකම්ම මනුස්සයෙක්) කෙමක් කියලා එකක් කලා. මොකක්හරි දෙයක් බුලත් කොලේක ඔතලා ඒකට මතුර මතුර හිටියා ටිකක් වෙලා. ඉන් පස්සෙ මට ඒක අරන් අර දතෙන් හපන්න කියලා දුන්නා. හපලා ටිකකින් වේදනාව අඩු වුනා. පස්සෙ නැත්තටම නැතිවුනා. පස්සෙ කාලෙකදි ඒක ගලවලා දානකල් කවදාවත් ඒ දත් නෙවෙයි රිදුනේ. මට ඒක අදටත් පුදුමයක්.

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ තවත් අත්දැකීම්..බුලත් කොලේ කිව්වම මතක් උනේ මම අහපු තව ඔය වගේ සිද්ධියක්. අපේ ගමේ කෙනෙක්ට කකුලේ තුවාලයක් හැදිලා මොන විදියකින්වත් හොඳ කරන්න බැරි. අන්තිමට මේ වගේ කෙම් ක්‍රම දන්න මනුස්සයෙක් බුලත් කොළ 7 කට මතුරලා ඒ කොළ ටික අර තුවාලෙට තියලා බැන්දලු. දවසට එක කොලේ ගානේ අයින් කරන්න කියලා. දවස් 7 ක් ගිහින් අන්තිම කොලේ අයින් කරද්දී කකුල හොඳටම හොඳයිලු. මේකනම් ඉතින් අහපු කතාවක් විතරයි.

      Delete
  11. ඉතාම වටින කතාවක් සයුරි අමෙරිකාවේ ඉදන් මතක් කළේ..මේවා වෙන්න විදයත්මක හේතුවක් නොදත්තත් සමහර කෙම් ක්‍රම එකළ අපේ ගමේත් භාවිත වුණා.. උලුක්කුවට තෙල් ගාගන්නේ මතුරන වෙද මහත්තයා.. වරු තුනෙන් ලේඩේ හොදයි.. දත් කැක්කුමට මතුරන්න ගියාම නම කියල කොස් ගහට යකඩ ඇනයක් ගහනවා.. ලේඩේ ඉවරයි... මේවා කොහොම වුණාද කියන්න අදටත් කවුරුවත් දනනේ නෑ..ඒවත් පරම්පරාවට තිළිණ වෙලත් නෑ..

    ReplyDelete
    Replies
    1. අප්පේ ඔය ඇන ගහන වැඩේ සෑහෙන ජනප්‍රියයි වගේ. අපේ සයුරුත් පොඩි කාලේ දත් කැක්කුමක් ඇවිත් දතට ඇනයක් ගහන්න කියලා එක්ක ගියාලු. එයා පණ බයේ ගිහින් තියෙන්නේ දතට ඇනයක් ගහවි කියලා. ඒත් මතුරලා ඉවර වෙලා ඇනේ ගහලා තියෙන්නේ උළුඅස්සට :) දත් කැක්කුමත් හොඳ උනාලු ඒ එක්කම.

      Delete
  12. මාත් හිතන්නෙ ඕක බෙහෙතකට වඩා කරන මනුස්සය ගැන විශ්වාසයක් ඇතිවෙන හින්ද වෙන දෙයක් කියලයි.

    ReplyDelete
    Replies
    1. ඒක හරි මෙතන බලපාන්නේ බෙහෙත විතරක්ම නෙමෙයි. මානසිකවත් හෙද කමක් වෙනවා. මනුස්සයා මත හෝ ක්‍රමය මත තියන විශ්වාසයත් බලපානවා ඇති. එත් මගේ සිද්ධියෙදිනම් එහෙම කිසිම දෙයක් තිබුනේ නැහැ මට.

      Delete
  13. ඔය දේවල්වල අැත්තක් තියනව ද නැද්ද කියන ඒක මට නම් ලොකු ගැටලුවක්.

    ReplyDelete
    Replies
    1. ඕක ගොඩක් අයට ගැටළුවක් තමයි දිලිනි. :)

      මම හිතන්නේ මේ ඔයා මේ පැත්තේ ආපු මුල්ම වතාව වෙන්න ඕන.

      Delete
  14. යන්ත්‍ර මන්ත්‍ර ගැන තිබුණු දැනුම් සම්භාරයක් අපේ මුතුන්මිත්තන් ගේ අභාවයත් එක්ක වැළලිලා ගියා. අධ්‍යත්මික ව ලබා ගත්ත අපේ සාම්ප්‍රදායික දැනුම් එක්ක බලද්දි නවීන (බටහිර) විද්‍යාව තියෙන්නෙ බොහොම ප්‍රාථමික අවධියක. බොහොමයක් දෙනා අපේ සාම්ප්‍රදායික දැනුම සමච්චලයට ලක් කරන යුගයක තමයි අපි දැන් ඉන්නෙ.
    මටත් සීයගෙන් ගන්න තිබුණු දැනුම ගොඩක් ගන්න බැරුව ගියා. සීය නැති වෙද්දි මට අවුරුදු 7යි :(

    රසවත් ලිපියක්. මාළු කටු මන්තරේත් ඇත්තක් තියෙනව. කොහොම නමුත් මම නම් සෑහෙන කාලෙක ඉඳන් අනුගමනය කරන්නෙ නිර්මාංශික ප්‍රතිපත්තියක් :) අපේ පැවැත්මට මොකට ද තවත් සතෙක් ජීවිතෙන් වන්දි ගෙවන්නෙ.

    ReplyDelete
    Replies
    1. //බොහොමයක් දෙනා අපේ සාම්ප්‍රදායික දැනුම සමච්චලයට ලක් කරන යුගයක තමයි අපි දැන් ඉන්නෙ.//

      මේක තමයි හසල අවාසනාව. දැනුමෙන් උගත් කමෙන් ඉස්සරහට යද්දී අර දේවල් වලට සමච්චල් කරනවා. ඔයාගේ සීයත් එහෙනම් මේ දේවල් ගැන දන්නා කෙනෙක් වගේ.

      නිර්මාංශික ප්‍රතිපත්තියනම් ඉතාම හොඳයි. මමත් එහෙම වෙන්න කොච්චර ට්‍රයි කරත් හරි ගියේම නෑ නේ. ඒත් හරක් මස්, ඌරු මස් එහෙම ගෙදරටවත් ගේන්නේ නෑ.

      Delete
  15. මම නම් හිතන්නේ ඔය මන්තර සීන් එකෙන් වෙන්නේ හිත හදන එක කියලා. හිතේ විශ්වාසයක් ඇති කරනවා වගේ එකක්..

    අනේ මන්දා අප්පා. ඒත් විස්වාස නොකරන්නත් බෑ.. අපේ ගෙදරත් විස්වාස කරන්ඩ බැරි තරමේ දෙයක් වුනා ඔය මන්තර ගුරෙක්ගෙන්..

    ReplyDelete
    Replies
    1. පැතුම් ගේ ගෙදර වෙච්ච සිද්ධියත් අපිට කියන්නකෝ. එහෙම විශ්වාස කරන්න බැරි දේවල් වෙනවා තමා. ඉතින් මේවා 100% ම අහක දාන්නත් අමාරුයි.

      Delete
  16. හ්ම්ම් මටත් ඔය මන්තරේ කියලා දෙන්න බැරිද? සමහර වෙලාවකට අඬුවෙන් කට්ට ගන්න එක ෆේල් වුනාම ප්ලෑන් බී එක විදිය පාව්ච්චි කරන්න පුලූවන්නේ... ආ ආ.. එහෙමත් ඕන නෑ. මන්තරේ තියෙද්දී අඬු මොකටද? මන්තරේම පාවිච්චි කොරනවා. අර #&*&@#^*#$%#%$%^ කෑල්ල තමා පොඩ්ඩක් කියන්න අප්සෙට්.

    ReplyDelete
    Replies
    1. හයියෝ තොටියාස් මොනවද මෙඩිකෝකෙනෙක් හැටියට ඉගෙන ගත්තේ මේ වගේ සරළ මන්තරයක් වත් කියාගන්න බැරිනම්. මෙහෙමයි ඕක කියන්නේ.
      ඕං රීං ඒස්වා...
      භූත බන්ධ ප්‍රේත බන්ධ ඒස්වා හඃ..
      හෑෂැන්ස්ටා ඇඬැට්නාම්බා
      අප්ස්ටානාම්බා
      ඩොලර්පසෙන්ට්
      නම්බාපසෙන්ට්ඩොලාපසෙන්ටප්
      ඒස්වා පුහ්

      Delete
    2. ඩූඩ්, හදිසි අවස්තාවක මෙය ප්‍රයෝජං ගැනීමට ගොස් මගේ දිව උළුක් වී ඇත..කරුණාකර දිව උළුක්කුව හොඳ කරගැනීමට අදාල මන්තරය දන්වන්න..

      Delete
    3. ඕකම රිවර්ස් එකට කියන්න ඕනෙ රූ. :D
      Very user friendly!

      Delete
    4. තොටිස් අයියේ ඔයා ඕවා කරන්න ගියොත් ලෙඩ්ඩු ඔයාට යකදුරු දොස්තර කියලා කියාවි.. :)ඇත්තටම මමනම් කැමතියි අඬුවෙන් ගන්න ක්‍රමේ ප්ලෑන් බී වෙනවට.

      @ඩුඩ් : හපෝ මේක කියවලා හිනා වෙලා බඩත් රිදෙනවා. නියමෙට ට්‍රාන්ස්ලේට් කොරල තියෙන්නේ.

      @රූ : ඔයාට වෙච්ච දේම තමයි මටත් උනේ

      Delete
    5. හයියූ මගෙ දිවත් ටැපලිලා මොනවාද වෙන්න ගියා. ඩූඩ්ගේ මන්තරේට හිරවුන කටු ඇඹරිල ගැලවෙන එක අහන්නත් දෙයක්ද? යකැදුරු දොස්තර කිව්වාම මතක්වුනේ. අපේ ඩයල් එකක් හිටියා ඔය පොඩ්ඩිත්තක් කේන්දර අංශේ දන්න. ඒකා ලෙඩාගෙන් ලෙඩේ ඉතිහාසේ අහනකොට ලග්නෙත් අහනවලු. ඊට පස්සේ පොඩ්ඩක් අල්ලත් බලලා කියනවලු 'හරියට හරි මේ කාලේ ඔයාගේ අපලෙට මේවගේ එකක් නැහැදුනොත් තමා පුදුම'කියලා

      Delete
    6. //ඒකා ලෙඩාගෙන් ලෙඩේ ඉතිහාසේ අහනකොට ලග්නෙත් අහනවලු. ඊට පස්සේ පොඩ්ඩක් අල්ලත් බලලා කියනවලු 'හරියට හරි මේ කාලේ ඔයාගේ අපලෙට මේවගේ එකක් නැහැදුනොත් තමා පුදුම'කියලා//

      හිකිස්

      Delete
  17. කෝවුර් ගොයියගෙන් ඇහුවනම් ඕකට හොඳ විග්‍රහයක් හම්බෙයි.. :D

    මම ඕවා විශ්වාස නොකරන්නෙත්නෑ, කරන්නෙත් නෑ.. අතර මැද තැනක ඉන්නෙ. මටනම් අද වෙනකම් පොඩි යම් දෙයක් හරි අත්දැකීමේ වාසනාව ලැබිලා නෑ..

    ඔය පොඩි මාළුනම් අදටත් මට කන්න බෑ, බැදලා මිසක්.. නිකන් උයපු ඒවා කෑවොත් වමනෙ යනවා ශුවර් එකටම..

    පරම්පරාගත අපේ දැනුම ටිකෙන් ටික අභාවයට යනවා තමා. එකක් ගුරු මුශ්ඨි තියා ගැනීම. අනික දැන් දැන් අපි ඕවා විකාර කියලා කෙලින්ම ඉවත දාන මානසිකත්වයකින් ඉන්න එක.

    ReplyDelete
    Replies
    1. මාත් ඉතින් අතරමැද තැනක තමා ඉන්නේ. එකම වෙනස මට අත්දැකීමක් තියන එක :)

      පොඩි මාළු බැද්දමනම් මාර රහයි අප්පා. ඒත් දැන් අවු. 2 කින් විතර කන්න ලැබුනේ නෑ.

      ඒක තමා සෙන්නයියේ දැන් ඉන්න අය මේවා ගැන හිතන්නේ විකාර කියලා තමා.

      Delete
  18. හහහා...මේක පට්ට!

    ඇයි අපේ සීයත් ඔය වගේ. හැබැයි ඔය පැත්තෙන් නෙමේ. එයා වෙදෙක් :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අයියෝඕ ඉතින් රජා ට බැරි උනාද පොඩ්ඩක් සීයාගෙන් වෙදකම ඉගන ගන්න

      Delete
  19. අප්පේ සයුරි අක්ක මන්තර පන්තියක් දාල කියලයි මම මුලින්ම හිතුවේ කාලෙකින් දැක්කේ ලියල තියෙනවා. ඔය දේවල් බොරු කියල මම වාද කරා කාලෙකට කලින් දැන් එහෙම නැහැ අත්දැකීම් සහිතයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මලයෝ කාලෙකින් තමයි ආවේ බ්ලොග් පැත්තේ. ඒක නෙමෙයි ඔයත් කාලෙකින් ලියනවා දැක්කේ නෑ මුකුත්.

      ඉතින් ඔයාගේ අත්දැකීමත් අපිට කියනවනම් හරිම අගෙයි :)

      Delete
  20. යන්තර මන්තර කියන ඒවා නම් ඇත්තයි.හැබැයි මේ කලේ ඕව හරියට කරන අය නෑ.ඕව කරන්න හොද පැවැත්මක් එක්ක ජීවත් වෙන්න ඕන.එහෙම නැත නම් හරි යන්නේ නෑ.අනික ශබ්ද වලට භෘතික දේවල් වෙනස් කරන්න පුළුවන් කියල මම අහල තියනව විද්යාත්මක හේතුවක් අහල තියනව.

    ReplyDelete
    Replies
    1. ඔව් මගියෝ ඔය ශබ්ද තරංග වල ගැබ් වෙන යම්කිසි බලයක් තියනවා කියලා මමත් අහල තියනවා. බෝධි පූජා, පිරිත් වගේ දේවල්වල හරයත් ඒකම නේද?

      Delete
    2. ඔව් මේ ගැන මම ටිකක් උනන්දු නිසා පොඩ්ඩක් දන්නවා.මා ගාවත් තියනව ඔය මන්තර වලින් පොත් වගයක්.ඒ උනත් ටෙස් කරන්න යන්නේ නෑ.මගේ පැවැත්ම හොද නෑනේ ..:)

      Delete
    3. //ඒ උනත් ටෙස් කරන්න යන්නේ නෑ.මගේ පැවැත්ම හොද නෑනේ ..:)//

      අම්මෝ ලොකු දෙයක් :ඩි ඒ පොත් ටිකනම් ආරක්ෂා කරගත්ත එක හොඳයි

      Delete
  21. අඩේ ඔය මාළු එහෙම කනකොට හොඳට හපලා ගිලහං..මේක එහෙමද බඩජාරි කමට ගිලගෙන ගිලගෙන යනව ඉතිං හිරවෙන්නෙ නැතුව තියෙයිද?

    එක පාරක් මට වෙච්චි දෙයක් අහගංකො..ඔය වගෙ මයෙ උගුරෙ හිර උනා..මාළු කට්ටක් නං නෙවෙයි කිව්වම මොකද කුකුල් කට්ටක්...අපෙ අම්මගෙ ලොකු අයිය මයෙ මාම දුන්න ඔන්න ඔය වගෙ මතුරල බත් ගුලියක්..කිව්වට විස්වාස කරපං කුකුල් කට්ට නම් බූස් ගල ගියා බඩට. ඊට පස් සෙ මම ඇස් උඩ තියාන දැඟලුවෙ අර බත් ගුලිය හිරවෙලා.අන්තිමට දොස්තර ගාවට ගිහිල්ල පත අඬුවක් දාල තමයි බත් ගුලිය එලියට ගත්තෙ...හෙහ්, හෙහ්,

    ReplyDelete
    Replies
    1. අලෙ බඩජාරි කමකට නෙමෙයි අප්පා ඒ දවස්වල මගේ උගුර හරි සුට්ටියි..ඒකයි එහෙම උනේ :ඩි

      කුකුල් කට්ටක් හිර වෙච්ච මනුස්සයෙක් ගැන ඇහුවමයි මේ.

      //අන්තිමට දොස්තර ගාවට ගිහිල්ල පත අඬුවක් දාල තමයි බත් ගුලිය එලියට ගත්තෙ//

      හිහ හිහ්...අම්මපා මෙහෙමත් කතා කාරයෙක් ඇත්තට. මට මතක් වෙන්නෙම අර කිඹුලාගේ කටින් අත දාලා නැට්ටෙන් අල්ලලා ඌව කණපිට ගැහුවා කිව්ව මාමව. :)

      Delete
  22. හැමදේම විද්‍යාව දාලා පැහැදිලි කරගන්න උත්සාහ කරනවට වඩා ඒකෙන් ලැබෙන ප්‍රථිපලයගැන සතුටු වෙන එක ඇඟට ගුණයි කියලා හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත රූ. ප්‍රතිඵලයක් ලැබෙනවානම් එච්චරයි නේ.

      Delete
  23. 100% නැතත් මමත් විශ්වාස කරනවා. පුංචි පුංචි අත්දැකිම් හින්දා. :) ඉගන ගන්න අසා උනත් මම ඔවුවට බයයි. :පී

    ReplyDelete
    Replies
    1. මදාරාටත් අත්දැකීම් තියනවා එහෙනම් :) මමත් මේවා ඉගනගන්නනම් ටිකක් බයයි තමා. හරියට දැලි දෙපැත්ත කැපෙන පිහියක් වගේ මේක.

      Delete
  24. මගේත් එච්චරම මේවා ගැන විශ්වාසයක් නම් නෑ සයුරි. ඒ උනාට අපේ තාත්තාගෙ තාත්තා ඒ කියන්නෙ අපේ සීයා මේ දේවල් කලා දත් කැක්කුමට. බිත්තියේ කොටු වගයක් ඇඳලා ඒකට ඇනයක් ගහනවා දත තියෙන තැන බලාලා. ඒ වෙලාවට මොනවාදෝ මන්ත්‍රයක් මතුරනවා මට මතකයි. හැබයි හරියට හරි කැක්කුම කොහෙන් යනවද මන්දා. ස්තූතියි! මේ දැනුවත් කිරීම් වලට.

    ReplyDelete
    Replies
    1. දත් කැක්කුමට ඇන ගහන එක ගැන ගොඩක් දෙනෙක්ට අත්දැකීම් තියනවා වගේ. ඒවා හරියටම හරියනවත් එක්ක. ඒ නිසා මමත් මේවා සම්පුර්ණයෙන්ම බැහැර කරන්නෙත් නෑ.

      Delete
  25. මට ඔහොම මන්තර ගැන අත්දැකීම් නැති උනත් මගේ යාලුවෙක් කිව්වා එයා පොඩි කාලේ කතා නොකර ඉඳල අන්තිමට කතා කරේ තොවිලයක් කරාට පස්සේ කියල.
    මානසික බලපෑම් වෙන්නත් පුළුවන්. උඩ හිරු කියලා තියෙනවා වගේ.

    මට නම් මාළු කටු හිර වෙලා නැහැ. ඒත් මට මතකයි අම්මිට ඉස්සෝ කටුවක් හිර වෙලා යම යුද්ධයක් නැටුවා! මහා රෑ කොළඹත් එක්කන් ගියා දොස්තරට පෙන්නන්න. ඒ දොස්තර ත් අම්මිව හොඳටම බය කළා මිසක් කටුව ගත්තේ නෑ. අම්මිත් හරි බයයි නේ. දොස්තර එදාම හොස්පිටල් ඇඩ්මිට් වෙන්න කිව්වා. මායි මල්ලිත් ගොඩක් බය උනා. අපි බෑ කියල ආපහු ගෙදර යන ගමන් තාත්ති මටයි මල්ලිටයි දෙහිවලින් පීට්සා එකක් අරන් දුන්න. අම්මිත් ඒකෙන් කෑල්ලක් කාල මෙන්න කියනවා 'ආ දැන් අරක ගියා' කියල!! :D

    ReplyDelete
    Replies
    1. //පොඩි කාලේ කතා නොකර ඉඳල අන්තිමට කතා කරේ තොවිලයක් කරාට පස්සේ කියල.//

      හ්ම්ම්...එතනත් මානසික බලපෑමක් ඇති. මේ වගේ දේවල්වලට බටහිර වෛද්‍ය ක්‍රමයට වඩා මේ ක්‍රම සාර්ථකයි මම හිතන්නේ.

      හිහි..හොඳ වෙලාවට එහෙනම් ඔයාලා පීට්සා කෑවේ...ඒකෙන්ම බෙහෙත හම්බ උනා නේ.

      Delete
  26. අපෝ... මාළු කටු ගැන නම් මතක් කරන්න එපා... පොඩි කාලේ හරියට දුක් වින්දා... දැනුත් කලාතුරකින් දවසක ඔය වගේ දේවල් වෙනවා.....

    යන්ත්‍ර මන්තර ගැන මහා ලොකු විශ්වාසයක් නැහැ. ඒත් නැත්තෙත් නැහැ. හැබැයි අද කාලේ නම් ඔය සාත්තරේ හරියට දන්නා අය බොහොම අඩු ඇති. ඉස්සර නම් ඕවා තිබ්බ කියල අපේ ආච්චිල සියල කියනවා ඇහිලා තියෙනවා. මම නම් අත්දැකලා නැත.

    ReplyDelete
    Replies
    1. ඔව් සමනලී, අද කාලේ මේවා කරන අය උඩින් පල්ලෙන් මේවා හදාරපු අය. ඉතින් මිනිස්සුන්ගේ විශ්වාසය නැති වෙන එක සාධාරණයි එක අතකට

      Delete
  27. මටත් නම් ඔය මාලු කටු හිරවෙන සෙල්ලම තියනවා. කොච්චර ලොකු මාලු ජාතියක උණත්, නැති කටුවක් හරි හිරවෙලා ඇති.ගෙදරදි බත් ගුලි ගිල්ලට පහලට යන්නේ නැති මාලු කටු, දොස්තර ගාවට ගෙනියනවා කීව හැටියේ කොහොමදෝ පහලට යනවා.:)

    ඔය මන්තර හිතට බෙහෙතක් කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. //පහලට යන්නේ නැති මාලු කටු, දොස්තර ගාවට ගෙනියනවා කීව හැටියේ කොහොමදෝ පහලට යනවා.:) //

      හිහි...මෙයාට මාළු කටු හිර වෙන්නේ හොරටද කොහෙද . බය උනහම පහලට යන ජාතියේ එව්වා. හිහි

      Delete
  28. අපේ පාරම්පරික බේත්හේත් වගේම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ශාස්ත්‍රවල යම් යම් සැගවුණ රහස් තියෙනවා. කිසිවෙකුටත් හොයාගන්න බැරි විදියට සැගවිලා.

    අනෙක් අතට මම ඉදහිටල කරපු පොඩි පර්යේෂණ ටිකක් අනුව මට හිතෙන්නේ මේ මන්ත්‍ර කියන ඒවා බුද්ධ භාෂිතයේ යම් යම් කොටස් වලින් අසිමිත බලයක් පෙන්වන අවස්ථා වන්.

    මාලු කටුවක් උගුරේ හිරවුනාම, පත්තෑයෙක් කෑවාම, ගෝනුස්සෙක් විද්දාම ක්ෂණිකව විෂ බස්සන ක්‍රම තියෙනවා. මේවා බොරුය කියලා අහක දාන්න කිසිවකුටත් බෑ. අද සිදුවෙන්නේ මුදල මත හැම දේම තක්සේරුවී වටිනාම සාස්ත්‍රයන් ඒතුළ සැගවී යාමයි. කමුත් තවමත් බොහොම ගෞරවනීය විදියට මේ දේවල් කරන වැඩිහිටියන් ඉන්නවා. ඔවුන් පැසසිය යුත්තේ ඒ නිසිසයි.

    ReplyDelete
    Replies
    1. //අනෙක් අතට මම ඉදහිටල කරපු පොඩි පර්යේෂණ ටිකක් අනුව මට හිතෙන්නේ මේ මන්ත්‍ර කියන ඒවා බුද්ධ භාෂිතයේ යම් යම් කොටස් වලින් අසිමිත බලයක් පෙන්වන අවස්ථා වන්.//

      ඔබට ඉඩක් තිබුනොත් ඒ පර්යේෂණ ගැන අපව දැනුවත් කරන්න කියලා බැගෑපත්ව ඉල්ලා සිටිනවා :) එහෙම දේවල් ගැන දැනගන්න තියනම් ගොඩක් වටිනවා.

      ඇත්ත..තවමත් මේවා හරියටම කරන අය අතලොස්සක් හරි ඉන්නවා මම හිතන්නේ

      Delete
  29. //ඒවා බොන්න දෙන්නේ මිහිපිට තියන මිහිරිම දියරයක් එක්ක.//
    හිනාත් ගියා අප්ප මෙව කියෝල..අපි පොඩිකාලෙ පණු අමාරුවට කියල අම්ම එනසාල් එක්ක මීපැණි දුන්න මතකයි..අම්මෝ රහ.

    සයූට මතකද මම පීරගම මාමා කියල පෝස්ට් එකක් දැම්ම.ඇත්ත නම පොරවගම මාමා.
    ඒ වගේ මිනිස්සු දැන් නෑනෙ.
    ඕය තෙල් මතුරන වගේ ඒවා තාමත් අපේ දිහාවල වෙනව.

    ReplyDelete
    Replies
    1. එනසාල් එක්ක මී පැණි...හ්ම්ම් කාලා බලන්න වටිනවා..

      ඇත්තටම මම කියපු මිශ්‍රනේනම් නිකන් අමෘතය වගේ..බිලා බලන්නකෝ. පිරගම මාමා ගැනනම් මතකයක් නෑ. මම ඒ පැත්තේ යන්න කලින් ලියපු එකක්ද දන්නේ නෑ. බලමුකෝ වෙලාවක ගිහින් බලන්න ඕන.

      Delete
  30. ස්තීරවම කියන්න පුළුවන් කට්ටඩියා මතුරන කොට සයුරිගෙ උගුරෙ මාළුකට්ට තිබුණෙ නැහැයි කියලා. ඒක ඉවත් වෙලා බොහොම කල් වුනත් ඒක උගුරෙ තියෙන බවට "දැනෙන" එක කට්ටඩියා එනතුරුම තිබුණා. කට්ටඩියා මතුරලා කළේ අන්න ඒ "දැනෙන" එක නැති කළ එක විතරයි.

    (මේ ගැන කෙටියෙන් යමක් ලියන්න අමාරුයි. ඉඩක් ලද වහාම පෝස්ටුවක්ම දාන්නම්)

    ReplyDelete
    Replies
    1. හප්පේ ඔබ තුමා දැකපු කල්.. :) එහෙනම් පෝස්ට් එකකින්ම දාන්නකෝ. ඒත් ඔය තියරියේත් ප්‍රශ්නයක් තියනවා. ඇයි කට්ටඩියා එනකන්ම වේදනාව නැති නොවුනේ. මතුරපු වෙලාවේම හරියටම ඒක හොඳ උනේ කොහොමද? ඒවා ගැන විශ්වාසයක් හරි හැඟීමක් හරි මගේ හිතේ ඒ වෙද්දී තිබුනේ නෑ කියලත් මට ෂුවර්

      Delete
  31. මං ඉතින් නිර්මාංසාහාරික හින්දා අවුලක් නෑ...)))))

    ReplyDelete
  32. ඒ ඒ රටවලට ආවේනික ක්‍රම තියෙනවා. මොකද මමත් ඒ සම්බදව මම ඉන්න රටේ දේවල් හොයාගෙන ගියා නේ. ඒ නිසා මේවා බොරු වෙන්න විදියක් නැහැ. නමුත් විස්වාස කරන්න බැරි වැඩ දන්නා කට්ටඩියෝ ඉන්නේ ටිකයි ඉතින් හැමෝම බොරුවට අහුවෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව. අපිට අසරණයා වීඩියෝවකුත් පෙන්නුවනේ...අර මොකද්ද්ද බන්ධනයක් කරලා තිබුනේ කපල් එකකට.. හිහි .ඒකත් ඉතින් බොරුවක් වෙන්න බැහැනේ. මොකද උන් දෙන්නා එහෙම හිටියේ ආසාවට වෙන්න බැහැ නේ.

      Delete
  33. මන්තර වලින් සර්ප විෂ අයින් කරනව එහෙම නම් දැකල තියනව. ඕවත් බොරු කියල අපිට කියන්න බෑ. අවුල තියන්නෙ මන්තරේ පරීක්ෂන නලයක් අස්සට දාලා පරීක්ෂා කරන්න බැරි එකයි. :)

    ReplyDelete
    Replies
    1. //අවුල තියන්නෙ මන්තරේ පරීක්ෂන නලයක් අස්සට දාලා පරීක්ෂා කරන්න බැරි එකයි. :)//

      සහතික ඇත්ත. ඒක තමා එකම අවුල

      Delete
  34. සිරාවටම කියන්නෙ සයුරි මමනම් මන්තර ගුරුකම් විශ්වාස කරනවා. අද තමයි මේ පැත්තට ගොඩ වැඩුනේ. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ඔයාව සාදරයෙන් පිළිගන්නවා පොඩි ශාන්..ම්ම් අත්දැකීම් ඇති එහෙනම් නේද

      Delete

Related Posts Plugin for WordPress, Blogger...