Tuesday, December 27, 2011

මරුසිරා අක්කා



මගේ කැම්පස් ජීවිතේ මම හතරවෙනියට හිටපු බෝඩිම හැඳින්නුවේ "වලි බෝඩිම" කියලා. නම වගේ තමයි වැඩත්. ඒක අසූ හාර දාහට වලි යන බෝඩිමක් pirate. කොටින්ම කියනවනම් කැම්පස් එකේදි ලැබුන අත්දැකීම් සම්භාරේට වඩා වැඩි අත්දැකීම් ගානක් ඔය බෝඩිමේ දි ලැබුණා :) මේ වලි දිහා බලා ගෙන ඉන්න එකත් එක්තරා විදියක ආතල් වැඩක්. හැබැයි ඉතින් වලියට සම්බන්ධ නොවෙන තාක් විතරයි. කොනක් හරි ගෑවුනොත් නම් බඩුම තමයි, ආයේ ගොඩ එනවා බොරු. ගෙදර අයිතිකාරයොත් ඉන්නේ ටිකක් ඈත නිසා බේරන්න කවුරුවත් ඇත්තෙත් නැහැ.

මේ බෝඩිමේදි ත් මගේ කාමර සගයා උනේ මෙහෙමත් මුදලාලිලා කතාවේ හිටපු චාරු. තෝරු මෝරුන් ගේ වලි වලට යන්න බැරි නිසා අපි දෙන්නා හාල් මැස්සෝ දෙන්නෙක් වගේ පැත්තකට වෙලා ඔබ්සර්වර් මට්ටමේ තමයි හිටියේ. මොකද මේ බෝඩිමේ වැඩි හරියක්ම හිටියේ රස්සාවල් කරන අක්කලා. කැම්පස් ළමයිට හිටියේ අපි දෙන්නයි, තව යාළුවෙකුයි (ඉෂ්), ඔය මාතෘකාවේ ඉන්න මරුසිරා අක්කයි විතරයි.

මරුසිරා අක්කා ගැන කියනවනම් එයා තනියම කාමරේක බොහොම හයි ලෙවල් එකෙන් තමයි හිටියේ. පොදු භාණ්ඩ පරිහරණයක් ඇත්තෙම නැහැ. එයා වැරදිලා හරි හිනා උනොත් එදාට හම්බන්තොට ට වහිනවලු. බාත් රූම් එකට ගියොත් පැයකින් මෙහා එන්නේ නැහැ. හැබැයි අපේ අනිත් අක්කලා ටික නිකන් ඉන්නෙත් නෑ. එයා එනකන්ම දොරට මල්ටි බැරල් එල්ල කරනවා. ඊට පස්සේ දොර බිත්තියේ හැපෙන්න ඇරගෙන එලියට එන මරුසිරා අක්කා මල්ටි බැරල් වලට වඩා දරුණු වාග් ප්‍රහාරයක් එල්ල කරනවා දොර වටේ රැස් වෙලා ඉන්න සභාව ට angry. හොඳම වැඩේ කියන්නේ බෝඩිමේ ඉඳපු "ඩිල්" අක්කා   මරුසිරා අක්කා ගේ ලෙක්චරර් කෙනෙක් ලු. හැබැයි ලෙක්චරර් කියල නෑ අනිත් අයට බනින විදියටම තමයි එයා "ඩිල්" අක්කා ටත් බැන්නේ.


මරුසිරා අක්කට යාළුවො නම් හිටියෙම නැති තරම්. අළුතෙන් බෝඩිමට ගියපු මම, චාරු, ඉෂ් ඇරෙන්න අනිත් හැමෝම එයා එක්ක අවුලෙන් හිටියේ. දවසක් මහ රෑ මරුසිරා අක්කා මර බියෙන් කෑ ගහනවා ඇහිලා නිදිමතේ ම මොකද බලන්න ගියෙත් මම විතරයි. හැබැයි ඉතින් ගියපු මෝඩ කම මට තේරුනේ

ඇඳ උඩ නැගගෙන හිටපු මරුසිරා අක්කා, "අනේ නංගි මකුළුවෙක්" කියල  කිව්වහම :-|

සිංහල භාෂාවේ ශුද්ධ වචනත් මතක් උනා ඒ වෙලාවෙනම්. (ආ.. ඒවා වැඩි හරියක් ඉගන ගත්තෙත් මේ බෝඩිමේ හිටපු කාලේ තමයි. අක්කලගෙන් නම් නෙමෙයි. එහා ගෙදර අංකල් ගෙන්. ඒවා පසුවට :). ඇයි යකෝ..හොරෙක් වත් පනින්න ඕන එච්චර සද්දෙට කෑ ගහන්න frustrated.


මේ බෝඩිමේ අමාරුම කාරිය වෙලා තිබුනේ ඉස්සරහ දොරේ යතුර පරිහරණය කිරීම. කවුරු හරි බෝඩිම ඇතුලේ ඉන්නවනම් දොර ඇතුලෙන් යතුරු දාගෙන නේ ඉන්නේ. ඉතින් ඔය අතරේ තව කෙනෙක් ආවොත් ඇතුලේ ඉන්න කෙනා දොර අරින්න ඕන. හැබැයි ඇතුලේ ඉන්න කෙනා මරුසිරා අක්කා උනොත් නම් කොච්චර තඩි බෑවත් දොර නම් ඇරෙන්නෙ නැහැ. එදාට ඉතින් ගිනි වලි. ඕකම අනිත් පැත්තටත් උනා ඉතින්. කට්ටියම එකතු වෙලා මරුසිරා අක්කව එළියේ තියපු වෙලාවල් අනන්තයි. හැබැයි මායි චාරුයි මේ විකාරේ බලන් ඉන්න බැරුව ඩුප්ලිකේට් යතුරු දෙකක් කපා ගත්තට පස්සේ අනිත් අයත් ඒක අනුගමනය කරපු නිසා ඊට පස්සේ යතුරු වලි නැවතිලා ගියා.

කොහොම උනත් මේ බෝඩිමේ තිබුණ අසමගිය නම් අඩු උනේ නෑ. අන්තිමේදී ඔය අසමගිය පුපුරලා ගියේ බෝඩිමේ වැසිකිලියෙන්. කවුරුවත් ඉදිරිපත් උනේ නෑ ඒක සුද්ද පවිත්‍ර කොරන්න. අනිත් අයට බැරිනම් අපි මොකට කරනවද කියල තමයි කවුරුත් හිතුවේ. දැන් ඉතින් එන්න එන්නම ඒකෙ තත්වේ අසාධ්‍ය වෙනවා. පුදුම වැඩේ කියන්නේ අච්චර පොෂ් එකට හිටපු මරුසිරා අක්කත් ගානක් නැතුව ඕක පාවිච්චි කරපු එකනේ.


ඉතින් මේ වැඩේ හරි යන්නේ නැති නිසා කට්ටිය එකතු වෙලා (මරුසිරා හැර) අකාරාදී පිළිවෙලට (නෑ නෑ Aකාරාදී පිළිවෙලට) නම් ලිස්ට් එකක් හදලා ගැහුවා දොරේ. දැන් ඉතින් නම් ලිස්ට් එකේ පිළිවෙලට සතියට සැරයක් පිරිසිදු කිරීම කරන්න ඕන. අනේ අපේ චාරුවා තමයි මුලින්ම ඕකට අහු උනේ. නහයෙන් අඬ අඬ එයා උඩින් පල්ලෙන් වැඩේ කරලා නම ඉස්සරහින් කතිරෙකුත් දාලා ආවා whew!. ඊට පස්සේ "ඩිල්" අක්කා. එයානම් බ්ලිචින් පවුඩර් වගයක් දාලා ලස්සනට වැඩේ කරලා තිබුණා. ඊ ලඟට ඉෂ්. ඔය විදියට සති කීපයක් කිසි අවුලක් නැතුව වැඩේ ගියා. ඊට පස්සේ බලද්දී මේක ආපහු අපිරිසුදු වේගෙන එනවා. සේදෙන පාටක් නැහැ. බලනකොට මරුසිරා අක්කා තමයි ලිස්ට් එකේ ඊ ලඟට ඉන්නේ. සතියක් බැලුවා. දෙකක් බැලුවා. ම්හු..වැඩේ හරි යන්නේ නැහැ.

ආපහු සභාව රැස් වෙලා මරුසිරා අක්කව අල්ලගත්තා.

ඉෂ් : මරුසිරා අක්කේ ඔයා දැක්කේ නැද්ද ලිස්ට් එකේ ඊ ලඟට ඉන්නේ ඔයා කියලා
මරුසිරා : මට වැඩ තිබුණා හරියට...කරන්න උනේ නැහැ..
ඩිල් අක්කා : ආ..එහෙනම් මේ වීක්‌ එන්ඩ් එකේ සෝදලා තියන්න
මරුසිරා : මට කැතයි අනේ worried
ඊට පස්සේ එතන උද්ගත උන තත්වේ ගැන මම කියන්න ඕන නැහැනේ not listening  . මායි චාරුයි කාමරේට රිංගලා දොර වහ ගෙන දොරට කන තියාගෙන හිටියා :) අන්තිමේදී වීක් එන්ඩ් එකේ වැඩේ කරන්න මරුසිරා අක්කා එකඟ වෙනවා ඇහුනා. හැබැයි ඉතින් ඒ වීක් එන්ඩ් එක එන්න කලින් දුම්මල ගහලාවත් බෝඩිමෙන් යවාගන්න බැරි (ඩිල් අක්කා කියන හැටියට) මරුසිරා බඩුත් පැක් කරගෙන බෝඩිමෙන් අයින් වෙලා ගිහින් තිබුණා.

ඉතින් ඔයාලා හිතනවා ඇති ඊට පස්සේ බෝඩිමේ වලි නවතින්න ඇති කියලා. හපොයි නැහැ :)

Saturday, December 24, 2011

සයුරු මැදට බඹු අත හළ බිමයි සකී



සුනිල් රුවට පැහැයෙන් දුල පිලක             සිකී
උපන් මෙ බිම බැඳි අනුහස කිම්ද               සකී
විසල් තුසිතයෙන් ගෙන පස් පිඬක්            රැකී 
සයුරු මැදට බඹු අත හළ බිමයි                  සකී 

සුසිනිඳු වලා නිබඳව දඟ කරන                  එතී
නිල් කඳු 'තුර මැදුර කිම හද සදන               බැතී
බුදු බණ පහස විඳි ධා සඳ වෙසෙන           නිතී
දළදා මැදුර සෙවණයි මුළු දැයට                ඇතී

යාය ම පැසී විළසට රන් මසු ඇති                    රූ
නිල් කෙත උනේ කෙළෙසක මෙතරම් සොඳු   රූ
මිහි ගැබ නිදන පෙර අප විරුවන් රුහි              රූ 
කරලින් නැමෙන රන් කෙත් වතු කරයි          සරූ

නෙක වන් දිදී දිදුලන සුර පුරය                 මෙනී
මෙහි ඉපදුනේ කෙළෙසක ලෝ පතල        මිණී
මේ බිම වෙසෙන පින් සිත් වල පැහැය       දැනී
කළු ගල්, වයිරෝඩි රතු නිල් කැට ද            වුනී 


ප. ලි.
නීල සිකි පිලක පැහැයෙන් සදා දිදුලන්නේ,  මේ බිම ට බැඳි යම් අනුහසක් වේද? එසේය..මේ බිම නම්, මහ බඹු තුසිතයෙන් ගෙන රක්ෂා කළ පස් පිඬක් සයුර මැදට අත හළ නිසා ඉපදුනු සොඳුරු පින් බිමයි....

සිනිඳු වලාකුළු එතී දඟ කරන නිල් කඳු වැටි අතර ඇති, හද බැතියෙන් පුරවන මහ මැදුර කිම? ශ්‍රී සද්ධර්මස්කන්ධයේ පහස අන් කවරෙකුටත් වඩා හොඳින් නිබඳව විඳි දසන් සඳ, ශ්‍රී දන්ත ධාතුව වෙසෙන, මුළු දැයට සෙවණ දෙන දළදා මැදුරයි...

රන්මසු යායක් ඇතිරූ ලෙසට නිල් කෙත පැසෙන්නේ කෙළෙසද? දැයට දිවි දුන් විරුවන්ගේ රුහිරු, නිල් කෙතට සාරය දෙන බැවිනි...

නේක වර්ණයෙන් දිදුළන, සුර පුර සිහි කරවන, ලෝ පතල මිණි කැට මෙහි ඉපදුනේ කෙළෙසද? ලක් දෙරණේ වෙසෙන මනු සිත්වල පින් පැහැයෙන් හැඩ වී, කළු ගල් මිණි කැට වූ බැවිනි....

Friday, December 16, 2011

මා චණ්ඩාලියකී - රාජාවලිය VII



නැවතත් රාජාවලියට :) (මධු මල්ලිගේ නොතේරෙන කවි රික්වෙස්ට් එක පස්සට දාන්න උනාට තරහ වෙන්න එපා හොඳේ....උණක් හැදිලා තිබිලා යාන්තම් රිකවර් උනා විතරයි.)

                                             ~~~~~~~~~~~~~~~~~~~~~~~~~
අපි කලින් රාජාවලිය ලිපිය අවසාන කලේ දුටුගැමුණු රජතුමා (ක්‍රි. පූ. 161 - 137) ලඟින්. මී ළඟ ඔටුන්න හිමි කුමාරයා වෙලා හිටියේ අපේ "සාලිය" කුමාරයා බව කවුරුත් දන්නවා නේ. සාලිය කුමාරයා තමයි දුටුගැමුණු රජතුමාගේ එකම (නිත්‍යානුකුල) පුත්‍ර රත්නය. හැබැයි ඉතින් මේ කුමාරයා ඉතිහාසගත වෙන්නේ ශ්‍රේෂ්ට රජෙක් හැටියට නම් නෙමෙයි, රජ කම දෙවෙනි කොට පෙම් කළ ප්‍රේමවන්තයෙක් හැටියට.


"අශෝක මාලා" නම් අති සුරූපී චණ්ඩාලියකට පෙම් කළ කුමාරයා ට පිය රජතුමා ගෙන් අනතුරු ඇඟවීමක් ලැබුනලු  ඇය අග බිසව කර ගැනීමට අදහසක් ඇත්නම් රජ කමත් නොදෙන බවට. මේ කුල ප්‍රශ්නය අදටත් වඩා තදින් එදා තියෙන්න ඇති. ඉතින් කුමාරයා මොකද කළේ? රජ කම එපා කියපු එක. ඉතින් සිහසුනට වෙනත් උරුමක්කාරයෙක් හිටියේ දුටුගැමුණු රජතුමා ගේ මලනුවන් සද්ධාතිස්ස විතරයි. ඒ නිසා දුටුගැමුණු රජු ගේ මරණින් පස්සේ සද්ධාතිස්ස රජතුමා - ක්‍රි. පූ. 137 - 119 (බු. ව. 407 - 425) ට සිහසුන හිමි වෙනවා. ඔන්න ඔහොමලු රාජාවලියේ එක් වැදගත් සන්ධිස්ථානයක් ඇති වුනේ. දුටුගැමුණු රජුගේ දරුවන් වෙනුවට සද්ධාතිස්ස රජුගේ දරුවන්ගෙන් ඇති වෙන පරපුර හෙළ රජ පෙළපත ට එක් වෙනවා.

සද්ධාතිස්ස රජතුමා දැහැමෙන් සෙමෙන් අවුරුදු 18 ක් රජ කළා ට පස්සේ රජකම උරුම වෙන්නේ ඔහුගේ  පුත්‍රයෙක් උන "ථුල්ලතනතිස්ස" රජතුමා (ක්‍රි. පූ. 119) ට. ඒත් පේනවා නේද, එතුමා රජ කරලා තියෙන්නේ අවුරුද්දකට අඩු කාලයක්. හරියටම කිව්වොත් මාසයකුත් දවස් ගානක්. හේතුව තමයි ඔහුගේම වැඩිමහල් සොහොයුරු "ලජ්ජිතිස්ස" ගෙන් මැරුම් කන්න සිද්ධ වීම. සද්ධාතිස්ස රජු ගේ මරණින් පස්සේ ථුල්ලතනතිස්ස රජ වෙන්නේ සංඝයාගේ අනුදැනුම සහ අනුග්‍රහය ඇතුව. ඒත් ඒ ක්‍රියාවට ඔහුගේ වැඩිමල් සොහොයුරා කොහෙත්ම කැමති වෙන්නේ නැහැ.  මේ නිසා ඔහු තමන්ගේම සොහොයුරු මරා රජ වෙනවා. මේ විදියට තමන්ගේ මල්ලි  මරා සිහසුන උදුරා ගත් ලජ්ජිතිස්ස රජතුමා (ක්‍රි. පූ. 118 -109)  අවුරුදු නවයක් රජකම් කර මිය යනවා.

ඉන් පස්සේ සිහසුන උරුම වෙන්නේ ඔහුගේ බාල සොහොයුරු "ඛල්ලාටනාග" රජතුමා (ක්‍රි. පූ. 109 - 104)  ට.   එතුමාගේ රාජ්‍ය කාලය අභ්‍යන්තර කුමන්ත්‍රණ වලින් පිරුණු අස්ථාවර කාල පරිච්චේදයක්. අවසානයේදී ඛල්ලාටනාග රජතුමා "මහාරත්ථක" නම් සෙනෙවියෙක් අතින් මැරුම් කන්නේ රජවාසළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විදියට.

ඒත් වැඩි දවසක් යන්න කලින්ම මේ සෙනෙවියාටත් මැරුම් කන්න සිද්ධ වෙන්නේ සද්ධාතිස්ස රජතුමා ගේ බාල පුත්, එහෙම නැත්නම් ඛල්ලාටනාග රජතුමා ගේ බාල සොහොයුරු "වට්ටගාමිණි අභය / වළගම්භා" අතින්. වළගම්බා රජු, මියගිය ඛල්ලාටනාග රජු ගේ බිසව වූ "අනුලා" දේවිය තම අග බිසව හැටියටත්, පුතු වූ "මහාචූලී මහාතිස්ස" පුත්‍රයෙක් හැටියටත්  බාරගන්නවා. ඒ එක්කම මතක් කරන්න ඕන එතෙක් කල් ඔහුගේ බිසව වෙලා හිටියේ "සෝමා" දේවිය බව. ඉතින් වළගම්බා රජු කළ මේ ක්‍රියාව හොඳ ක්‍රියාවක් උනත් ඒකෙන් සෝමා දේවියට සිද්ධ උනේ අසාධාරණයක්.

කොහොම නමුත්, තමන්ගේ සොහොයුරා මැරූ සෙනෙවියාගෙන් පළි ගෙන ඔහුගේ පවුලත් බාර ගෙන සිංහල රාජාවලිය නැවත හරි මගට ගත් වළගම්බා රජතුමාටත් වසරක් යන්නත් මත්තෙන් තවත් විශාල කරදරයකට මුහුණ දෙන්න වෙනවා. ඒ ගැන අපි ඊ ළඟ රාජාවලිය ලිපියෙන් කතා කරමු.

Thursday, December 8, 2011

නාසා විසිතුරු


මිට දශක ගණනාවකට කලින් හඳ අල්ලපු රටේ විතරක් නෙමෙයි, ලෝකයේ එවකට බලවත් රටවල් කිහිපයකම ප්‍රධාන ඉලක්කය වෙලා තිබුණේ හඳ ඇල්ලීම කියලා කිව්වොත් මම හිතන්නේ මම වැරදි නැහැ. මේ  හීනය සඵල කර ගැනීමේ ආසාව නිසාම ඒ වටා ගොඩ නැගුණු තාක්ෂණික දියුණුව, තරඟකාරීත්වය (විශේෂයෙන්ම වසිලීස්සගේ රටත් එක්ක) මේ රටවල් වලට නව මුහුණුවරක් / පිබිදීමක් ගෙන දුන්නා. ඒ කාලේ ඇති වුනු සීතල යුද්ධයටත් මේ කාරණය දායක වෙන්න ඇති.

කොහොම නමුත් මේ ලිපියෙන් මම කියන්න යන්නේ හඳ ගැන කතා කරද්දී කතා නොකරම බැරි නාසා ආයතනය බලන්න ගිය ගමනක් ගැන. නාසා මධ්‍යස්ථාන කිහිපය අතරෙන් ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පිහිටි "කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානය" නරඹන්න තමයි අපිට අවස්ථාව ලැබුනේ. අක්කර ගානක විශාල ප්‍රදේශයක් පුරාවට ආයතනයේ ගොඩනැගිලි, ප්‍රදර්ශනාගාර, යානා අභ්‍යවකාශගත කරන ස්ථාන, ගබඩා, අභ්‍යවකාශ යානා ප්‍රවාහනය කරන වේදිකා වැනි අමුතුම මාදිලියේ වාහන සහ තවත් බොහෝ දේ විසිරිලා තිබුණා. මේවා බලන්න තැනින් තැනට අපිව අරගෙන ගියේ මෙන්න මේ වගේ බස් රථ වලින්.



ඇතුල් වෙන දොරටුව



මේ පහළින් තියෙන්නේ ඔවුන්ගේ ප්‍රධාන ගොඩ නැගිල්ලක්. ඒක ඇතුලටනම් සාමාන්‍ය ජනතාවට යන්න දෙන්නේ නැහැ. ඔය බිල්ඩිමේ ඇඳලා තියන කොඩිය තමයිලු විශාලම පින්තාරු කළ ඇමරිකන් කොඩිය.



ඇතුලත භූමි දර්ශනයක්



ඔන්න මේ තමයි අපි දැකපු වැදගත්ම දේ. ඇපලෝ 18 මෙහෙයුම යටතේ අභ්‍යවකාශ ගත කිරීම සඳහා අවසානයට තැනූ සැටර්න් V යානාව. මේකේ සම්පුර්ණ පින්තුරයක් ගන්න එකනම් අමාරු වැඩක්.



ඉතින් මේක මේ ප්‍රදර්ශනයට තියල තියෙන්නේ හඳට ගිහින් ඇවිත් එහෙම නෙමෙයි. හඳට යන්න හිටපු ගමන කැන්සල් කරපු නිසා තමයි මේ යානය අපිට දැක බලා ගන්න ඉතුරු වෙලා තියෙන්නේ. හඳට ගියානම් මේ යානාවේ ඉතුරු වෙන්නේ යානයේ මුහුණ කොටස විතරයි. ඔය අපිට පේන කොටස් දෙක වගේ තවත් කොටස් ගණනාවක් හඳට යන අතරමගදී ගැලවිලා ඉවත් වෙනවලු  (පින්තුරේ පේන්නේ නැහැ සම්පුර්ණ කොටස් ටික). ඒ කොටස් භාවිතා කරන්නේ ඉන්ධන ගෙනියන්න. ඉතින් ඉන්ධන ඉවර වෙද්දී ඒ තෙල් ටැංකිත් උස්සගෙන යන එකේ තේරුමක් නැහැනේ. ඒ නිසා ඒවා අභාවකාශයට අත අරිනවලු.

ඉතින් ඇමරිකාව හඳ අල්ලන සිහිනය සැබෑ කර ගත්තේ ඇපලෝ 11 මෙහෙයුම යටතේ, 1969 ජුලි 20 වෙනිදා "නීල් ආම්ස්ට්‍රෝන්ග්" හඳ මත පා තැබූ ප්‍රථම මිනිසා බවට පත් වීමත් සමගම. ඒ වෙද්දී ඇමරිකාවෙන් වගේම රුසියාවෙනුත් මිනිසුන් රහිත යානා හඳට ගොඩ බස්වා තිබුනත් මිනිසෙකු හඳට ගිය ප්‍රථම අවස්ථාව තමයි මේ.   ඔහු සමග ගමනට එක් වුනු "එඩ්වින් ඕල්ඩ්‍රින්" දෙවනුවට සඳ මත පා තැබුවා. ඔවුන්ගේ අනෙක් ගමන් සගයා "මයිකල් කොලින්ස්" ට යානයෙන් එලියට එන්න අවස්ථාව ලැබුනේ නැහැ. ඔහුගේ කාර්ය භාරය උනේ අනිත් දෙන්නා පැමිණෙන තුරු යානයේ ඉඳගෙන චන්ද්‍රයාගේ කක්ෂය වටේ කැරකෙන එක.

මේ විදියේ කණ්ඩායම් 6 ක්, එනම් 18 දෙනෙක් හඳට යන්න වාසනාවන්ත උනා. එයින් හඳ මත පා තැබුවේ 12 දෙනයි. ඉතිරි 6 දෙනා ට පැවරුණේ මයිකල් කොලින්ස්  කරපු රාජකාරිය. අවසාන වතාවට මිනිසුන්ගේ හඳ ගමනක් සිද්ද උනේ 1972 දී (ඇපලෝ 17 මෙහෙයුම). ඉන් පස්සේ ඇපලෝ 18 අහෝසි කරාට පසු නැවත හඳේ පා තැබීමක් සිද්ධ වෙලා නැහැ. එක අතකට මෙච්චර වියදමක් දරලා අජීවී හඳේ පය තියලා නිකන්ම ආපහු එන එක තේරුමක් නැති වැඩක් කියලා හිතෙන්න ඇති.  ඔන්න ඔහොමලු ඉතින් මිනිසුන්ගේ හඳ ගමන අවසාන උනේ.

නාසා බලන්න යන අයට අවස්ථාව තියනවා ඔය විදියේ රොකට් සිමියුලේටරයක් ඇතුලට ගිහින් අභ්‍යවකාශ ගමනක අත්දැකීම කෘතිමව ලබා ගන්න. ඒකනම් ඇත්තටම ආස හිතෙන අත්දැකීමක්. ඒ වගේම යානයක් අභ්‍යවකාශගත කරන දවසක නම් ඒක නරඹන්නත් අවස්ථාව ලබා දෙනවාලු.

මට තවත් කියන්න ඕන වුනු කාරනාවක් තමයි මේ නාසා කෙනඩි ආයතනය ෆ්ලොරිඩා වල පිහිටවන්න හේතුව. බලන්නකෝ ඇමරිකා සිතියමේ ෆ්ලොරිඩා තියන තැන. ඔය තැඹිලි පාටට තියෙන්නේ ෆ්ලොරිඩා ප්‍රාන්තය. එකෙත් තුඩුව කොනේ මුහුදට ආසන්නයේ තමයි නාසා එක පිහිටලා තියෙන්නේ.



ඔය පිහිටීමට හේතු කීපයක් තියනවා. එකක් තමයි එතන සමකයට ආසන්නම තැනක් වීම. සමකය ආසන්නයේදී පෘතුවිය මතුපිට රේඛිය ප්‍රවේගය අනෙක් තැන් වලට වඩා වැඩියි නේ. ඒ නිසා අඩු ඉන්ධන ප්‍රමාණයක් යොදා ගෙන යානා වලට පෘතුවි ගුරුත්වයෙන් මිදෙන්න පහසු වෙන විදියට තමයි මෙතන තෝර ගෙන තියෙන්නේ.

ඒ වගේම මුහුද අයිනක් තෝරාගෙන තියෙන්නේ යානා අභ්‍යවකාශ ගත කිරීම් නිසා මිනිසුන්ට වෙන හානි අවම කරන්න. මුහුද අයිනේ ඉඳන් මුහුද පැත්තට බර වෙන්න යානාව නිදහස් (ලෝන්ච්) කරාම ඒක කඩා වැටුනත් වැටෙන්නේ මුහුදට.

දැන් ඔයාලට අහන්න පුළුවන් ඇයි එහෙනම් මිට සමාන්තරවම බටහිර වෙරළේ (කැලිෆෝනියා) පැත්තට වෙන්න මේක හදන්න බැරි උනේ මොකද කියලා. එතකොටත් පැසිෆික් සාගරේට බර වෙන්න යානා නිදහස් කරන්න පුළුවන් නේ. හැබැයි එහෙම කරොත් ලොකු පාඩුවක් වෙනවා. ඒ තමයි අර කලින් කියපු පෘතුවියේ භ්‍රමණය නිසා ලැබෙන ප්‍රවේගයෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වීම. මොකද පෘතුවිය  කැරකෙන්නේ වාමාවර්තව. අපි පෙරදිග දිශාවට යානය නිදහස් කළොත් විතරයි ඒ ප්‍රවේගයෙන් වැඩක් ගන්න ලැබෙන්නේ. බටහිර පැත්තට නිදහස් කරන්න ගියොත් වෙන්නේ පාඩුවක්.

ඔන්න ඔය විදියට හොඳට හිතලා මතලා තමයි මේ ස්ථානය ඔය වැඩේට තෝර ගෙන තියෙන්නේ :)

ඔන්න එහෙනම් නාසා විස්තරේ අවසානයි....

Monday, December 5, 2011

ගොළු මුහුද සහ හැඩි දෙමළු - රාජාවලිය VI


පසු ගිය ලිපියෙන් අපි කතා කරේ ක්‍රි. පූ. 205 න් පසු කාලයේ ලක් දිව ඇති වෙලා තිබුණ දේශපාලනික තත්ත්වය ගැන. ඒ කාලය වෙද්දී අනුරපුර බලය අල්ලා ගෙන තිබුණේ චෝල ජාතිකයෙක් වුනු "එළාර". ඔහු ක්‍රි. පූ 205 දී අසේල රජු මරා බලය පැහැර ගෙන ක්‍රි. පූ 165 (බු. ව. 379) වන තුරු අවු. 40 ක් රාජ්‍ය කරනවා.

මේ අතර මාගම රජ කලේ "කාවන්තිස්ස" රජු බවත් කැලණියේ රජ කලේ "කැලණිතිස්ස" රජු බවත් අපි කිව්වා නේ. ඉතින් මේ කැළණිතිස්ස රජතුමා අතින් ඒ දවස්වල ලොකු පාප කර්මයක් වෙලා තියනවා. ඒ තමයි රහතන් වහන්සේ කෙනෙක් මරා මුහුදට දැමීම. මේ නුනුවණ ක්‍රියාවට හේතුව රජ බිසවගේත් රජුගේ සොහොයුරා (අරිය උත්තිය) ගේත් පෙම් පලහිලව්වුක් කියලයි කියන්නේ. අරිය උත්තිය, බිසවට ලියුමක් යැවීම සඳහා මහණ වෙස් ගත් මිනිසෙක් යොදා ගෙන තියනවා. ඔහු අනෙක් රහතන් වහන්සේලාත් එක්කම දානය වෙලාවේ රජ මැදුරට ඇතුළු වෙලා අර ලියුම දේවියට පේන විදියට බිම දැම්මලු. ඒත් ඒක රජුගේ ඇසට අහු වෙලා. ලියුම වැටිලා තියෙන්නේ කිසිම වරදක් නොකරපු සිල්වත් රහතන් වහන්සේ කෙනෙක් ආසන්නයෙන්. ඉතින් රජතුමා වරදවා වටහා ගත්තලු ලියුම මේ රහතන් වහන්සේ ලියපු එකක් කියලා. ඒ නිසා තමයි අර වගේ ක්‍රියා මාර්ගයක් අරගෙන තියෙන්නේ. මේ කතාව හරිද කියලා මම හරියටම දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවනම් නිවැරදි කරන්න.

ඉතින්  අපිට ඉතිහාසයේ අහන්න ලැබෙන දෙවන සුනාමිය ඇති වුනේ රජු ගේ මේ පාප කර්මය නිසා ලු. එවෙලේ ඇති වුනු මුහුද ගොඩ ගැලීම නවත්වන්න නම් රජ පවුලේ කෙනෙක් මුහුදට බිලි විය යුතු බව දයිවඥයන් කියා සිටියාම ඒ සඳහා එඩිතරව ඉදිරිපත් වුනේ රජුගේ දුවණිය වූ  "දේවී කුමරිය / විහාරමහා දේවිය". රට බේරා ගැනීම ට මුහුදට බිලි වුන දේවී කුමරිය රැගත් පුංචි ඔරුව පාවී ගොස් අවසානයේ සේන්දු වුනේ "කිරින්ද" වෙරළ ට. මේ රාජකීය ඔරුව ගැන මිනිස්සු දැනුම් දුන්නේ මාගම රජ කළ කාවන්තිස්ස රජතුමා ට. ඉතින් විහාරමහා දේවිය හරසරින් පිළිගත් රජතුමා ඇය තමන්ගේ බිසව කර ගන්න පසුබට උනේ නැහැ.


මේ රාජකීය විවාහයේ ප්‍රතිඵලයක් විදියට තමයි "ගැමුණු / ගාමිණි අභය" කුමාරයා සහ "සද්ධා තිස්ස" කුමාරයා මෙලොව එලිය දකින්නේ. ගැමුණු කුමාරයා ලැබෙන්න ඉඳිද්දී විහාරමහා දේවිය ට අපූරු දොළ දුකකුත් පහළ වෙලා තියනවා. එළාර රජුගේ අග්‍ර සෙන්පතියාගේ හිස සිඳ ඒ සඳහා පාවිච්චි කළ කඩුව සේදූ ජලය එම හිස මත සිට පානය කිරීමටත් ඒ අවස්තාවේදී අනුරාධපුරයෙන් ගෙනා පර නොවූ නෙළුම් මල් වලින් තැනූ මාලයක් පැළඳීමටත් ය. මේ දොළ සම්පුර්ණ කරන්න කැප වුනේ "වේළුසුමන" යෝධයා ලු. දමිළ සෙන්පතියා ට බොරළු මගක් දිගේ තමා ලුහු බැඳ ඒමට සළස්වා දුහුවිලි ඇවිස්සුණු පාර අයිනේ නැවතී සිට සෙන්පතියාගේ ගෙලට කඩුව අල්වා ගෙල සිඳ ඔහුගේ හිසත්, කඩුවත් නෙළුම් මලුත් රැගෙන හවස් වන විට මාගම ට පැමිණියා ලු.

ඉතින් මේ ගැමුණු කුමාරයා එසේ මෙසේ කෙනෙක් නොවන බව ඔය වගේ සිද්ධි වලින් පැහැදිළිව පෙනුනා. කුමාරයා ට අවු. 12 දී කාවන්තිස්ස රජතුමා දරුවන් දෙන්නාගෙන් පොරොන්දු 3 ක් වෙන්න කියලා ඉල්ලලා තියනවා. බත් ගුලි තුනක් සාදා "බුදු දහමට හෝ සංඝයා ට පිටු නොපාන බව " ට දිවුරා පළමු බත් ගුලිය බෙදා ගෙන කන ලෙසත් "දෙසොහොයුරන් අතර කිසි දින ගැටුමක් ඇති කර නොගන්නා බව" ට දිවුරා දෙවන බත් ගුලිය කන ලෙසත් ඉල්ලූ විට කුමාරවරු දෙදෙනා ම එය පිළිපැද්දා ලු. තුන් වන බත් ගුලිය සඳහා කළ ඉල්ලීම, එනම් "දමිළ රජු සමග සටන් නොවදින බව" පිළි ගන්න ගැමුණු කුමාරයා එකඟ වෙලා නැහැ. ඔහු බත් ගුලිය කෑම පසෙක තබා ඇඳට ගොස් වකුටු වී නිදන්න පටන් ගත්තා ලු. වකුටු වෙලා නිදන්නේ ඇයි දැයි විහාරමහා දේවිය විමසද්දී ඒකට දීලා තියෙන්නේ ලස්සන පිළිතුරක්...

"උතුරින් හැඩි දෙමළුත්...දකුණින් ගොළු මුහුදත් ඇති විට කොහොමනම් අත පය දිග හැර නිදා ගන්නද?"

ඔය විදිහේ ජාතික ආලයක්‌ ඇතුව ඇති දැඩි උන ගැමුණු කුමාරයා ට අවු. 16 වන විටම උවමනා උනේ එළාර සමග සටන් වදින්න. මේ අදහසට කාවන්තිස්ස රජතුමා අකමැති වීම නිසා හැම විටම පිය පුතු මතභේද ඇති උනාලු. අන්තිමේදී කුමාරයා නිවස අත හැර කොත්මලේ ප්‍රදේශය ට පැන ගියා ලු. ගෙදරින් පිට වෙසෙන කාලයේදීත් පියාට අපහාස කිරීම ට ගැහැණු ආභරණ යැවීම වැනි දේ කළ ගැමුණු කුමාරයා මේ හේතු නිසාම දුෂ්ට ගාමිණි හෙවත් දුටුගැමුණු ලෙස හැඳින්වුවා ලු. මොන තරම් අපහාස වින්දත් කාවන්තිස්ස රජතුමා ත් නිකන් හිටියේ නැහැ. අනාගතයේ දි තම පුත්‍රයා කරන්න යන යුද්ධය සඳහා සේනා සංවිධානය ත් රටේ ආර්ථික ස්ථාවර බව තහවුරු කිරීමත් ඔහු කරගෙන ගියේ ඉතාමත් නුවණැති විදියට.

මේ නිසා යුද්ධය ඇරඹෙන කාලය වන විට ගැමුණු කුමරුට ඉතා‍මත් ශක්තිමත් සේනාවක් ලැබී තිබුණා. මෙයට  කණ්ඩුල ඇතු සහ දස මහා යෝධයින් (නන්දිමිත්‍ර, ඝෝඨයිම්බර, වේළුසුමන, සුරනිමල, ලභිය වසභ, මහාසෝන, ථෙරපුත්තාභය, කඥචදේව, පුස්සදේව, මහාභරණ) ද ඇතුලත්. සංඝ රත්නයේ ආශිර්වාද සහ විහාරමහා දේවිය ගේ මග පෙන්වීම ඇතුව ආරම්භ කළ සටන අවසාන වෙන්නේ සිංහලද්වීපයේ පින් බිම වූ අනුරපුර රාජධානිය දශක 4 ක් දමිළයන් බාරයේ තබා ගැනීමට කටයුතු කළ එළාර රජුගේ මරණයෙන්. මේ ජයග්‍රහණයෙන් පසුව මුළු රට ම එක්සේසත් කළ රජු ලෙස අභිෂේක ලබන්නේ දුටුගැමුණු රජතුමා - ක්‍රි. පූ. 161 - 137 (බු. ව. 383 - 407).


යුධ ජයග්‍රහණයෙන් පස්සේ එතනින් නොනැවතුණු දුටුගැමුණු රජතුමා බුදු දහමේ උන්නතිය සඳහා  කටයුතු කළ අතර ලෝවාමහාපාය, රුවන් වැලි සෑය, මිරිස වැටිය වැනි අගනා නිර්මාණ ද කරවිය (රුවන්වැලි සෑයේ වැඩ නිම වීමට ප්‍රථම දුටුගැමුණු රජතුමා මිය ගිය අතර සද්ධා තිස්ස විසින් සුදු රෙදි ඇද සෑයේ වැඩ නිම වූ ආකාරයෙන් දුටුගැමුණු රජුට සෑය ප්‍රදර්ශනය කර ඇත).

ඉතින් ලක් ඉතිහාසයේ රන් අකුරින් ලියවුනු පරිච්චේදයක් මෙලෙස නිමා වෙද්දී ඉතිහාස ගත පෙම් පුවතක් සමගින් මී ළඟ රාජාවලිය ලිපියෙන් මුණ ගැහෙමු :)

ප. ලි. උඩම පින්තුරයේ තියෙන්නේ දුටුගැමුණු ධජය.

Wednesday, November 30, 2011

"ඔළුවට ම තියහං"


මෙහෙමත් මුදලාලිලා කතාවේ හිටපු මගේ යාළුවා "චාරු" හිටියේ මට පල්ලෙහා බැච් එකේ. එයාටත් හිටියා එක එක ජාතියේ බැචාලා සෙට් එකක්. ඔය සෙට් එකේ හිටියා ගේම් පප්පෙකුත්. එයා විතරක් නෙමෙයි එයාගේ මල්ලිත් කම්පියුටර් ගේම් වලට පුදුම ඇබ්බැහියක් ලු තිබුනේ. ජාන වල කේස් එකක් වෙන්නත් ඇති. සමහර දවස් වලට අයියා එක ලෙවල් එකක් කම්ප්ලිට් කරලා කැම්පස් ආවම මල්ලි එතන ඉඳන් ඉතුරු ටික කරගෙන යනවලු. කොහොම හරි ඒ දෙන්නා ෆෝන් එකෙන් කතා කරන්නෙත් ගේම් ගැනම ලු.

ඉතින් එක දවසක් මේ අයියා මොකක්ද උවමනාවකට බස් එකක කොහෙටද යන ගමන්ලු හිටියේ. බස් එක පිරෙන්න සෙනග ඉඳල නැති නිසා සීට් එකකුත් ලැබිලා. එතකොටම ඔන්න මලයගෙන් කෝල් එකක් ඇවිත්. හිතාගන්න පුළුවන්නේ මාතෘකාව....ගේම් එකේ ලෙවල් එකක් ගොඩ දා ගන්න හැටි අහන්න තමයි කෝල් කරලා තියෙන්නේ...

ඉතින් අයියත් හරිම උද්යෝගෙන් උත්තර දෙන්න ගත්තලු...

"එහෙං යන්න එපා බන්...ෂෝට් කට් එකෙන් පලයන්...එතන ඉන්න එකාගෙ ඔළුවට ම තියහන්...ඊට පස්සේ ඉන්න දෙන්න ගාව වෙපන්ස් නැහැ...ඔව්, කඩුවෙන් ගැහුවම හරි....උඹ ගේට් එක ලඟට යනකන් ගොඩ දාපං...ඉතුරු ටික මං බලා ගන්නම්...ඔව් මේ එන ගමන්...."

ඉතින් මෙයා සංවාදේ ඉවර වෙලා ඔළුව උස්සලා බලනකොට ලු දැක්කේ බස් එකේ මිනිස්සු ඇස් නළලේ තියාගෙන එයා දිහා කන්න වගේ බලන් ඉන්න හැටි. එතකොටලු එයාට මීටර් උනේ තමන් කියපු දේවල් වල බරපතල කම. මොකද ඒ තමයි අපේ රටේ ත්‍රස්තවාදී ප්‍රශ්නේ උග්‍ර වෙලා තිබුන අන්තිම කාලේ...ඉතින් ඒ කාරණෙත් හිතේ තියා ගෙනම මෙයා මල්ලි ට දීපු උපදෙස් ටික ආපහු කියවල බලන්නකෝ...

කොල්ලා ඊ ළඟ හෝල්ට් එකෙන් බැස්සා කියලා තමයි ආරංචිය...

Saturday, November 26, 2011

තමේව අනුකම්පාය - රාජාවලිය V



කාලෙකින් රාජාවලිය ට ලිපියක් ලියන්න බැරි උනා නේ. ඉතින් මට හිතුනා තවත් කොටසක් පළ කරන්න. අපි කලින් ලිපියෙදි නැවතුනේ පණ්ඩුකාභය රජ තුමා ගාවින්. එතන ඉඳන් තවත් කාල පරිච්චේදයක් ඉස්සරහට යමු එහෙනම්.

පණ්ඩුකාභය රජතුමා අවුරුදු 70 ක් ම දැහැමෙන් රජ කරලා මිය පරලොව යන්නේ ක්‍රි. පූ. 367 දී. ඉන් පසුව රජ වෙන්නේ ඔහුගේත් ස්වර්ණ පාලි බිසව ගේත් පුත් "මුටසිව". එතුමාත් සාමකාමී විදියට අවුරුදු 60 ක් දිවයින පාලනය කරනවා - ක්‍රි. පූ. 367 - 307 (බු. ව. 177 - 237). පසු කාලෙකදි පූජා භූමියක් බවට පත් වුන "මහමෙව්නා උයන" කරවූයේ මෙතුමා කියලයි සඳහන් වෙන්නේ. මේ උයනට භුමිය තෝරා ගතිපු වෙලාවේ මහා කළු වළාකුළු අහසේ එකතු වෙලා අකාල වැස්සක් ඇද වැටුනලු. ඒ නිසා උයනට මහා මේඝ වර්ණ / මහමෙව්නා කියන නම දුන්නලු.

මුටසිව රජතුමාට ඉඳල තියනවා පුතුන් දස දෙනෙකුත් දූවරු දෙදෙනෙකුත්. මෙයින් දෙවන පුතා තමයි "තිස්ස". පුතුන් අතරෙන් වැඩිපුරම බුද්ධිමත්, කැපී පෙනෙන්නා තමයි ඔහු. එනිසා මුටසිව රජු ගේ අභාවයෙන් පස්සේ "දේවානම්පිය තිස්ස / දෙවන පෑතිස්‌" නමින් රජ වෙන්නේ ඔහුයි - ක්‍රි. පූ. 307 - 267 (බු. ව. 237 - 277).

ලංකාවේ මේ දේවල් මෙහෙම වෙද්දී ඉන්දියාවේ අශෝක රජතුමා දික් විජය කරලා අන්තිමේදී කළ කිරිලා ධර්ම විජය ව්‍යාපාරයට බැහැපු කාලය තමයි ඒ.  එතුමා රටවල් කිහිපයකටම බුදු දහම හඳුන්වා දෙන්න ධර්ම දූත කණ්ඩායම් පිටත් කර හැරියා ලු. අශෝක අධිරාජයා ට  හිටියා පෑනේ මිතුරෙක්.  ඒ තමයි අපේ දේවානම්පිය තිස්ස රජතුමා. ඉතින් මේ මිතුරු කම හින්දම එතුමා කල්පනා කරාලු ලංකාවට ටිකක් විශේෂයක් කරන්න.

                                    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ඉතින් පොසොන් මාසයේ පොහොය යෙදී තිබුණු දවසක තිස්ස රජ තුමා පිරිවරත් සමග විනෝදය පිණිස මුවන් දඩයමේ යෙදී හිටියා ලු. කිසිම දඩයමක් හරි නොගිය නිසා වෙහෙසට පත්ව ඉඳපු රජතුමා ට එක පාරටම මුව පොව්වෙක් දකින්න ලැබිලා. ඌ පස්සේ එළවද්දී පිරිසෙන් මග ඇරුන රජතුමා ට මිස්සක පවුව (මිහින් තලය) ආසන්නයේදී ඇහුනලු කවුරු හරි තමන්ගේ නම කියල කතා කරනවා..

"තිස්ස....තිස්ස..."

තමන් ගේ නම කියල කතා කරන්න තරම් නිර්භීත උන මෝඩයා කව්ද කියල විපරම් කරලා බලද්දී රජතුමා දැක්කලු මිස්සක පව්ව උඩ ඉන්න කහවත් ඇඳපු ශ්‍රමණයන් 6 දෙනෙක්. මේ හය දෙනා තමයි "මහින්ද මහ රහතන් වහන්සේ, ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්ධාසාල සහ සුමන සාමනේර". තව "භණ්ඩුක" කියල උපාසකයෙකුත් හිටියා. ඉතින් ඔවුන් කවුද කියලා විමසපු රජතුමා ට ලැබුනේ මෙන්න මෙහෙම පිළිතුරක්...

"සමනාමයං මහාරාජ ධම්ම රාජස්ස සාවකා....
තමේව අනුකම්පාය ජම්බු දීපා ඉධාගතා...."

"මහරජ, අපි බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයින් වෙමු.....ඔබට අනුකම්පාවෙන් දඹ දිව සිට පැමිණියෙමු...."

ඉන් පස්සේ මිහිඳු හිමියෝ රජතුමා ගේ බුද්ධි පරික්ෂාවකුත් කරා ලු ප්‍රශ්න 2 ක් අහලා (අඹ ගස් ප්‍රශ්නය සහ ඥාති ප්‍රශ්නය). ඉතින් දුනු හී බිම දමපු රජතුමා ත් රජු සොයා පැමිණි අනෙක් පිරිසත් එවෙලේම තෙරුවන් සරණ ගියාලු. බුදු දහම ලංකාවේ ස්ථාපිත කිරීමේ පළමු අදියර ඒ විදියට සාර්ථක ව නිම කරපු මිහිඳු හිමියෝ ඉතාමත් ක්‍රමානුකුලව සහ බුද්ධිමත් ව ඒ උත්තම කටයුත්ත දිගටම කරගෙන ගියා ලු.

ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව තම නැගණිය වූ සංඝමිත්තා තෙරණිය අතින් ලංකාවට වැඩමවා අර්ථවත් වෘක්ෂ වන්දනාවකට මිනිසුන් පෙළඹවීමත් භික්ෂුණි ශාසනය ඇති කිරීමත් ඉතාමත් වැදගත්. තිස්ස රජුගේ සොහොයුරෙකු ගේ බිසව වූ "අනුලා" දේවිය ඇතුළු කාන්තා පිරිස මිහිඳු හිමිගෙන් බණ අසා මාර්ග ඵල වලට පැමිණුනා ලු. එනිසා ලංකාවේ පළමුවෙන් මාර්ග ඵල ලබා ගත් අය වන්නේ කාන්තාවන්. දෙවනපෑතිස් රජතුමා මහමෙවුනා උයන සඟ සතු කොට  පූජා කළ අතර සංඝ රත්නයට වාසය කිරීම සඳහා මහා විහාරය කෙරෙව්වා ලු.  බුදුන්ගේ දකුණු අකු ධාතුව නිදන් කර ථූපාරාමය ඉදි කරන්නෙත් දේවානම්පිය තිස්ස රජතුමා.

මිහිඳු මහ රහතන් වහන්සේ ත් සංඝමිත්තා තෙරණියත් අශෝක රජුගේම දරුවන්. ඒක නිසයි ඔහු ලංකාවට විශේෂයක් කළා කියලා මම කලින් කිව්වේ. ඉතින් දෙවනපෑතිස් රජ සමය නිසැකවම ලක් ඉතිහාසයේ ස්වර්ණමය කාල පරිච්චේදයක්.

                                      ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~`

දෙවනපෑතිස් රජ සමය දේශපාලනමය වශයෙනුත් තීරණාත්මක අවධියක්. රටේ උප රාජධානි බිහි වෙන්න හේතු වෙන සිද්ධියක් වෙනවා මේ කාලේදී. දේවානම්පිය තිස්ස රජු ට පොඩි පුතෙක් ඉඳල තියනවා. රජු ගෙන් පසුව රජ කම ඔහුගේ සොහොයුරු "මහානාග" ට ලැබේවි කියලා බය වුනු රජුගේ බිරිඳ උපායක් යොදලා මහානාග මරවන්න. වැවක වැඩ පරීක්ෂා කරමින් ඉඳපු මහානාග කුමරුට විෂ අඹ සහිත පැසක් සේවකයෙක් අතේ යවන්නේ ඔහු ඒ අඹ කා මිය යාවි යන බලාපොරොත්තුවෙන්. එහෙත් සිදු වන්නේ අනෙකක්. එතන ඉඳපු තිස්ස රජුගේ පුංචි පුතු කාටත් කලින් අඹ රස බලනවා. ඉතින් බිසවට සිදු වෙන්නේ තමන්ගේම පුතාගේ මළ කඳ දැක ගන්න. මේ සිද්ධිය නිසා කළකිරෙන මහානාග කුමරු තම බිරිඳ (පසුව මාර්ග ඵල ලැබූ අනුලා දේවිය )  පවා අතහැර මාගම ට ගොස් උප රාජධානියක් අරඹනවා. තිස්සමහාරාම කිරි වෙහෙර කරවූයේ එතුමා බවට මතයක් තියනවා.

එනිසා දෙවනපෑතිස් රජුගේ මරණින් පස්සේ රජකම ලැබෙන්නේ ඔහුගේ තවත් සොහොයුරෙකු වන "උත්තිය" රජු ට - ක්‍රි. පූ. 267 - 257. ඉන්පසුව ඔහුගේ බාල සොහොයුරු වන "මහාසිව" රජු අවුරුදු 10 ක් ද (ක්‍රි. පූ. 257 - 247)  ඔහුගෙන් පසු ඊටත් බාල සොහොයුරු "සූරතිස්ස" රජු අවුරුදු 10 ක් ද (ක්‍රි. පූ. 247 - 237) රජකම් කරනවා. ඔය අතරෙදි තමයි සිංහල රාජධානිය ට ප්‍රථම සතුරු ආක්‍රමණය එල්ල වෙන්නේ. ලංකාවට අශ්ව වෙළඳාමේ ආපු දමිළ ජාතික "සේන සහ ගුත්තික" සූරතිස්ස රජු මරා රාජ්‍ය පැහැර ගෙන අවු. 22 ක් (ක්‍රි. පූ. 237 - 215) රාජ්‍ය කරනවා. ගිලිහුණු රාජ්‍ය නැවතත් ලබා ගන්න සූරතිස්ස රජුගේ බාලම සොහොයුරු "අසේල" රජු  -ක්‍රි. පූ. 215 - 205 (බු. ව. 329 - 339) සමත් වෙනවා. ඒත් අසේල රජුටත් වැඩිකල් රජකම් කරන්න ලැබෙන්නේ නැහැ. තවත් දමිළ ආක්‍රමණිකයෙක් වන "එළාර" ඔහු මරා රාජ්‍ය නැවතත් පැහැර ගන්නවා.

අපි බලමු මේ අතරෙදි මාගම රාජධානිය පැත්තේ මොකද වෙන්නේ කියලා. මහානාග රජු ගේ අභාවයෙන් පස්සේ මාගම රජ වෙන්නේ ඔහුගේ පුත් "යටාල තිස්ස". යටාල විහාරය මෙතුමාගේ නිර්මාණයක්. යටාල තිස්ස රජුගෙන් පසුව රජ වන්නේ ඔහුගේ පුත් "ගෝඨාභය".

මේ අතර යටාල තිස්ස රජුගේ තවත් පුතෙක් වන "තිස්ස" කැලණියේ උප රාජධානියක් බිහි කරමින් "කැළණි තිස්ස" නමින් රජ වෙනවා. මේ කැළණි තිස්ස රජ තුමාට ලැබෙනවා ලස්සන දූ කුමරියක් ("දේවී" කුමරිය).

ගෝඨාභය ගෙන් පසුව මාගම රජ වෙන්නේ ඔහුගේ පුත් "කාවන් තිස්ස" (ඔහු වර්ණයෙන් කළු නිසා මේ නමින් හැඳින්වුවා ලු). ඉතින් දැන් ඔයාලට පේනවා ඇති කාවන් තිස්ස රජු සහ දේවී කුමරිය නෑනා මස්සිනා වෙන බව :)

ඉතින් මේ අඳුන්වලා දීපු චරිත රටපුරා විසිරිලා හිටියත් (මාගම, කැලණිය, අනුරපුර ආදී වශයෙන්) පස්සේදී අපූරු විදියකට හමු වෙනවා. අපේ ඉතිහාස කතාවේ වැදගත්ම පරිච්චේදයක් සරසන්න මේ චරිත එකට එකතු වෙනවා. ඒ ගැන අපි ඊ ළඟ ලිපියෙන් කතා කරමු.

Saturday, November 19, 2011

ධීවර බිරිඳ



වෙසක් සඳේ නුඹ සැන්ගී බලන්න ට           එපා
මං තනිවම අද නෑවිත් ඉඳින්න ට                 එපා
පාළු ගෙපැල අඳුර ට අත හරින්නට             එපා
හිරු එන තුරු නුඹ අහසින් මැකෙන්න ට     එපා

මා වවුලෝ මා සිත තව තලන්න ට              එපා
රෑන සොයා මා හැර පිය සලන්න ට            එපා
අමල් බිසෝ ගෙපැලේ දොර හරින්න ට      එපා
කී ඔහු හෙට එන තුරු නුඹ නිදන්න ට         එපා

වලා කුලේ ඉතින් කඳුළු සලන්න ට             එපා
දියඹේ දිවි සටනක ඔහු තෙමන්න ට           එපා
සුළං රැලේ නුඹ වේගෙන් හමන්න ට           එපා
ඔරුවට වින කර මට දුක් ගෙනෙන්න ට       එපා

එහා පැලේ පොඩි පැටවුන් හඬන්න ට        එපා
පොඩි පුතු සිහි වී මට දුක හිතෙන්න ට        එපා
සඳ නැති ලෝකේ මට තනි දැනෙන්න ට     එපා
මගෙ දිනකර නුඹ අහසින් මියෙන්න ට       එපා

Wednesday, November 16, 2011

පොඩ්ඩන්ගේ කටවල්


පොඩ්ඩන්ගේ කටවල් එක්ක වැඩ කරන්න ඕන හරිම පරෙස්සමින්. උන් කටක් ඇරියොත් කියන්නේ ඇත්තය...ඒත් ඒ ඇත්ත නිසා වැඩිහිටියන්ට පොළව පලාගෙන යන්න හිතෙන වෙලාවල් අනන්තය. මම මේ කියන්න යන්නේ මම දන්න අඳුනන කීප දෙනෙක් පොඩි කාලේ කියපු කතා වගයක්.

අපේ ලොකු නැන්දට ඉන්නවා නසරානි පොඩි එවුන් දෙන්නෙක්. දෙන්නම මල්ලිලා. මුන් දෙන්නා පොඩි කාලේ හරිම සුවිට්. දවසක් නැන්දයි මාමයි පොඩි මලයා වත් එක්කගෙන අසල්වැසි ගෙදරකට ගියාලු. ඒ මිනිස්සු ඉතින් තේ එහෙම හදල බිස්කට්, කේක්, මාෂ් මෙලෝස් වගේ දේවල් එහෙම ගෙනත් අල්ලලා. මේ පොඩ්ඩට කලින් වතාවක අවවාදයක් හම්බ වෙලාලු තිබුනේ "පිට ගෙදරක ගියාම ඕනවට වඩා කන්න එපා, හරි නැහැ නේ" කියලා (නැත්නම් ඉතින් කේක් කෑලි 10 ක් කන ජාතියේ බඩුවක් තමයි මෙයා).  දැන් ඉතින් පොඩි එකා ඕක අකුරටම පිළි පැදලා හැම වර්ගෙන්ම එකයිලු ගත්තේ :) ටික වෙලාවකින් ඒ ගෙදර ඇන්ටි කියනවලු තව ගන්න කියලා. මෙයා ඇඹරෙනවලු.

ඇන්ටි : පුතා..තව ගන්න, එකයි නේ කෑවේ
පොඩ්ඩා : worried
ඇන්ටි : අයියෝ...ලැජ්ජ වෙන්න එපා පුතා.....තව එකක් ගන්න      
කියලා කේක් එක ඇල්ලුවලු. මෙයා ඇඹරි ඇඹරි නැන්දා දිහා බලනවලු.
නැන්දා : කමක් නෑ එකක් ගන්න
පොඩ්ඩා : (කේක් කෑල්ලක් ගන්න ගමන් නැන්දා දිහා හොරාට බලමින්) හැබැයි ඔන්න ගෙදර ගිහින් බනින්න බෑ හොඳේ.......
නැන්දා : thinking
                                     ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ඔය කියපු පොඩ්ඩාගේ අයියාත් එසේ මේසේ පොරක් නෙමෙයි. කාටවත් බය නැහැ. මේ කියන කාලේ එයාට අවුරුදු 4 ක් විතර ඇති.ඉස්සර අපේ පුංචි තාත්තාට ලොකු බඩක් තිබුණා. අපිනම් ඒක නිසා ටිකක් බයයි පුංචි තාත්තට. පොඩි එකෙක්ව බය කරලා කෑම එහෙම කවා ගන්න ඕන උනොත් ඕඩරේ එන්නේ පුංචි තාත්තට. දවසක් ලොකු නැන්දා ඔය විදියේ ඕඩරයක් දැම්මා මේ කොලුවව බය කරලා දෙන්න කියලා.

පුංචි තාත්තා : බත් ටික කෑවේ නැත්නම් මම දෙනවා හොඳ දඬුවමක්...
කොලුවා :  අපි බය නෑ...හා මොකද්ද කරන්නේ....
පුංචි තාත්තා : ගිලිනවා.....
කොලුවා : එතකොට මම ඔයාගෙ බඩ ඇතුලේ ඉඳගෙන බඩ කනවා....tongue

                                      ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

මේ නම් ඇත්ත කිවු පොඩි එකෙක් නෙමෙයි, බොරු කිවු ඇට්ටර පොඩි එකෙක් ගැන කතාවක්‌. අපි අඳුරන අයියා කෙනෙක් ඉන්නවා ජයේ අයියා කියලා. එයාලා A/L කරලා තියෙන්නේ බෝඩ් වෙලා ඉඳගෙන. ඒ ගෙදර ඉඳලා තියනවා 5 වසරේ පොඩි එකෙක් (මේ කාලේ වෙනකොට පොඩි එවුන්ගේ අවංක ඇත්ත කීමේ ගතිය නැති වෙලා අතේ පත්තු වෙන බොරු කියන කාලේ නේ). ඔය කාලේ ලු ටයිටැනික් චිත්‍රපටිය ආවේ. ඉතින් මේ අයියලා සෙට් එක කොහෙන්ද ෆිල්ම් එක හොයා ගෙන ඇවිත් බලන්න හදනකොටම අර පොඩි එකත් දුවගෙන ඇවිත්. එයාව යවාගන්න බැරිලු කොහොමවත්ම. ඉතින් කියන වෙලාවට ඇස් වසා ගැනීමේ පොරොන්දුව මත එයාටත් අවසර දුන්නලු ෆිල්ම් එක බලන්න. දැන් ඔන්න අදාළ වෙලාව ආවම අයියලා කිව්වලු ඇස් වහ ගන්න කියලා. පොඩි එකාත් "හා..." කිව්වලු. අදාළ දර්ශනය ඉවර වෙනකොටම මූ අහනවලු

"දැන් ඇස් ඇරියට කමක් නැද්ද....?? " 

                                    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

මේ කතාවනම් පොඩි එවුන් ඉන්න අම්මල තාත්තලා ආදර්ශෙට ගන්නවානම් හොඳා....මේ වැඩේ කරේ අපේ ලොකු අම්මගේ දුව පොඩි කාලේ. ලොකු අම්මලා එක්ක ටිකක් හිතවත් ගෙදරක් තිබිලා ළඟ පාත. එහාට ගිහින් දොරට තට්ටු කරාම ගොඩක් වෙලාවට දොර අරින්න එන කෙනා ඇඳුමක් ඇඳ ඇඳ ලු එන්නේ. ඇන්ටි නම් හවුස් කෝට් එකක්, අන්කල් නම් ෂර්ට් එකක්, වගේ. ඕක ඉතින් සාමාන්‍ය දෙයක් නේ. දවසක් ලොකු තාත්තයි ලොකු අම්මයි ගෙදරදි විහිළුවට මේ ගැන කියලා හිනා වෙලා. "ඒ ගෙදර මිනිස්සු ඇඳුම් නැතුව ඉන්නවද මන්දා හැම වෙලේම ඇඳුමක් ඇඳ ඇඳ ඇවිත් දොර අරින්නේ" කියලා.

අඳෝමැයි...අර නසරානි කෙල්ලගේ කනට මේක වැටී, නැවත ඒ ගෙදරට ගිය විටක ඔවුන් ඉන්නේ ඇඳුම් නැතුව දැයි විමසා ඇති අතර එයින් නොනැවතී, එසේ කිවුවේ අම්මා සහ තාත්තා යැයිද පවසා ඇත. thumbs down

Saturday, November 12, 2011

සිංහලය ම සමගි කළ රාජ අභිෂේකය - රාජාවලිය IV



ඔයාලට මතක ඇති නේ රාජාවලිය III ලිපියෙදි, විජය රජු මිය යන්න ලං උනාම තමාගෙන් පස්සේ රාජ්‍ය බාර ගන්න කෙනෙක් එවන්න කියල ඔහුගේ මල්ලි සුමිත්ත ට සන්දේශයක් යවපු හැටි. ඉතින් මේ පනිවිඩේට උත්තරයක්‌ එන්න කලින්ම විජය රජු මිය ගියා (ක්‍රි. පූ. 505 දී) කියලත් කිව්වනේ.

සුමිත්ත තමයි මේ වෙද්දී "සිංහපුර" රජ තුමා (සිංහබාහු ගෙන් පස්සේ). මේ සංදේශය සුමිත්තට ලැබුණම ඔහු තමන්ගේ පුතුන් තිදෙනාගෙන් ඇහුවලු "ලක්දිව" යන්න කැමති කවුද කියලා. ඉතින් මේකට කැමති වෙලා තියෙන්නේ බාලම පුතා "පන්ඩුවාසදේව (පඬුවස්දෙව්)". පඬුවස්දෙව් කුමාරයා ඇමති පුත්‍රයින් තිස් දෙකකුත් සමග නැව් නැගලා මහකනදරා ඔය අසළින් ලක් දිවට ගොඩ බහින්නේ ක්‍රි. පූ. 504 දී. විජයගේ මරණින් පස්සේ ඒ වෙනකන් අවුරුද්දක් ම රටේ පාලන කටයුතු කරලා තියෙන්නේ උපතිස්ස ඇමති, අපතිස්ස ගම අග නුවර කරගෙන. පඬුවස් දෙව් රජ තුමාත් උපතිස්ස ගම අග නුවර කරගත්ත බව  විශ්වාස කළත් ඇතැම් අය කියන්නේ එතුමා අගනුවර කරගත්තේ හලාවත ආසන්නයේ පිහිටි පඬුවස්නුවර බවයි.

ඉතින් මෙහෙම ටික කලක් ගත වෙද්දී පඬුවස්දෙව් රජතුමා ටත් විජයට උන දේ ම උනා. "අභිෂේකය සඳහා කුල කාන්තාවකගේ අවශ්‍යතාවය" පැන නැගුනා. මේ සඳහා ලංකාවට ගෙන්වා ගත්තේ භද්‍රකච්චායනා නම් කුමරිය. මේ කුමරියගේත් විශේෂත්වයක් තියනවා. අපේ බුදුන් වහන්සේ ගේ පියා වන සුද්ධෝදන රජතුමා ගේ සහෝදරයා තමයි "අමිතෝධන" රජ තුමා.  ඔහු ගේ පුත්‍රයා තමයි "පන්ඩුශාක්‍ය" කියන්නේ. ඔහු ට පුතුන් සත් දෙනෙකුට පසුව ලැබුණ දියණිය තමයි මේ භාද්‍රකච්චායනා කුමරිය. ඉතින් මේ කුමරිය පරිවාර කාන්තාවන් 32 ක් සමග ලංකාවට ඇවිත් පඬුවස්දෙව් රජුගේ මෙහෙසිය බවට පත් වෙනවා (කාන්තාවන් 32 ක් ගෙන්නෙව්වේ අර ඇමති පුත්‍රයින්ගේ භාර්යාවන් විදියට ලු). අන්න ඒ විදියට ලු සිංහල රජ පෙළපත ට බුදුන් ගේ ලේ නෑ කමක් ආවේ.

භාද්‍රකච්චායනා කුමරියට පුතුන් 10 දෙනෙක් සහ අන්තිමේදී එක දුවක් ලැබුනලු. ඒ දියණිය ගේ නම තමයි "චිත්‍රා". ඇයට දුටුවන් උමතු කරවන සුළු රූ සපුවක් තිබුණු නිසා "උන්මාද චිත්‍රා" කියල හැඳින්වුවා ලු. ඉතින් මේ චිත්‍රා ඉපදුන වෙලාවේ දෛවඥයන් අනාවැකි පළ කරාලු අනාගතේදී චිත්‍රා ට පුතෙක් ලැබුනොත් ඔහුගෙන් චිත්‍රාගේ සහෝදරයින් මැරුම් කන බවට. ඉතින් මේකට කලබල උන සහෝදරයෝ ටික තීරණය කරාලු චිත්‍රා එවෙලේම මරා දමන්න. එත් ඉතින් කොයි දෙමාපියෝද එහෙම දේකට කැමති වෙන්නේ. වැඩිමහල් ම සොහොයුරා උන "අභය" ත් මේකට කැමති වෙලා නැහැ. ඒ නිසා අන්තිමේදී තීරණය කරාලු චිත්‍රා ට කිසිම පිරිමියෙක් මුණ නොගැසෙන විදියට ඇයව එක් ටැම් ගෙයක සිර කරලා තියන්න. මේ එක් ටැම් ගෙය මුර කරන්න සේවයේ යොදවල තිබුනේ "චිත්ත රාජ" සහ "කාලවේල" කියන යක්ෂ ගෝත්‍රික සේවකයන් දෙදෙනෙක්.



මේ නටබුන් දකින්න ලැබෙන්නේ "පඬුවස්නුවර" යි. එක් ටැම් ගෙය පිහිටියේ මේ ස්ථානයේ බවට මතයක් ඇත. එහෙත් ගඩොල් යොදා කළ ප්‍රතිසංස්කරණ නම් පොළොන්නරු යුගයේ ඒවා විය යුතුය.









මේ විදියට කොයි තරම් රැකවල් මැද හැදුවත් වැඩක් උනේ නැහැ. දිනක් චිත්‍රාව ට දරුවෙක් ලැබෙන්න ඉන්න බව රජ මැදුරේ අයට දැන ගන්න ලැබුනලු. මේක අහල කෝප උන සොහොයුරන් එක් ටැම් ගෙය මුර කළ චිත්තරාජ සහ කාලවේල ට මරණ දඬුවම දුන්නලු. ඔවුන් දෙදෙනා චිත්‍රාගේ දරුවා ආරක්ෂා කරන්න යක්ෂ ආත්ම වල ඉපදුනා කියලයි කියන්නේ. චිත්‍රා ත් මරා දමන්න හැදුවත් නැවත වතාවක් මවු පියන්ගේ සහ  වැඩිමල් සොයුරාගේ අනුකම්පාව නිසා චිත්‍රා ගේ ජීවිතය බේරුනා. පිරිමි දරුවෙක් ලැබුනොත් ඔහු මරා දමන්නත් ගැහැණු දරුවෙක් ලැබුනොත් හදා ගන්නත් එකඟ උනා. ඉතින් කවුද මේ දරුවගේ පියා? භාද්‍රකච්චායනා ගේ බෑනා කෙනෙක් වන "දීගගාමිණි" ද? නැත්නම් යක්ෂ ගෝත්‍රික "චිත්තරාජ" ද? මේක ගොඩක් දෙනා තර්ක කරන කාරණයක්.

ඉතින් කොහොමහරි මේ දරුවා බිහි වෙන දවසේදී එදාම ඉපදුන ගෑනු දරුවෙක් සුදානම් කරගෙන හිටියලු පුතෙක් ලැබුනොතින් ළමයි දෙන්නව මාරු කරන්න. ඒක ඒ විදියටම සිද්ධ උනා. ලැබුනේ දුවෙක් කියලා මාමලා රැවටුනා. කුමාරයට නම තැබුවේ පඬුවස්දෙව් රජුගේ ත් අභය කුමරු ගේ ත් නම් එකතු කර "පණ්ඩුකාභය" කියලා. ඉතින් මේ කුමාරයාව යක්ෂ ගෝත්‍රිකයින් වෙසෙන දොරමඩලාව ගමට රහසින් පිටත් කරා.  සේවිකාවක විසින්, පැසක දාගෙන තමයි කුමාරයව ගෙනිච්චේ. ඇයට අතරමගදී හමු වෙනවා දඩයමේ ගිය, කුමාරයාගේ මාමාවරු කිහිප දෙනෙක්. ඔවුන් මේ පැස පරික්ෂා කරන්න හදද්දී චිත්තරාජ සහ කාලවේල වල් ඌරු වෙස් ගෙන එතනින් දුවපු නිසාත් මාමාවරු උන් පස්සේ දුවපු නිසාත් කුමාරයා බෙරුනාලු (මේ කතා නම් හුදු අලංකාර පමණක් වීමට ඉඩ කඩ ඇත).

දොරමඩලාවේදී කුමාරයා හැදී වැඩෙන්නේ යක්ෂ ගෝත්‍රිකයින් ගේ රැකවල් මැද. ඔහුට අවු. 7 ක් වෙද්දී මාමාවරු දෛවඥයින්ගෙන් දැන ගන්නවා කුමාරයා ගැන. කුමාරයා ගොපළු ගමක ඉන්න බව දැනගත් පසු සේවකයින් ලවා ගොපළු ගම් එකක් නෑර ගිනිබත් කර බිලිඳු සංහාරයක් කරනවා. මේ වෙලාවේදී කුමාරයා යහළුවන් සමග දිය කෙළියට ගිහින්. රාජ පුරුෂයන් එතනට කඩා වදිද්දී කුමාරයා ඉන්නේ ගස් බෙනයක හැංගිලා. ඒක කුමාරයා යහළුවන් පුදුම කරවන්න නිතරම වගේ කරපු දෙයක්. ඒ නිසා එදා ඔහුගේ ජීවිතය බේරුණා. කුමාරයට දොළොස් විය ලැබූ පසු නැවතත් මාමාවරුන්ට සැක පහළ වෙනවා. මේ වතාවේදී කුමාරයා බේරෙන්නේ ගින්දර ගෙන ඒමට ගෙදර යන අතරමග සිටි නිසා. කෙසේ වුවත් සම වයස් ළමයින් බොහෝ ගණනක් කුමාරයා නිසා දිවි පුදනවා.

සොළොස් විය පිරුණු කුමරු ශිල්ප ඉගෙන ගැනීම සඳහා "පණ්ඩුල" නම් බ්‍රාහ්මණයෙකු ළඟට යනවා. පණ්ඩුල බමුණාගේ පුත් "චන්ද්‍ර" ද පසු කලෙක පණ්ඩුකාභය ගේ සේනාව සමග එකතු වෙනවා. මේ කාලයේදී තමයි කුමරුට "පාලි" කුමරිය හමු වෙන්නේ. ඇය කුමරුගේ එක් මාමා කෙනෙකුගේ(ගිරිකන්ඩසිව) දියණියයි. ඇය තම පියා යටතේ වැඩ කරන මිනිසුන්ට ඇඹුල ගෙන යමින් සිටියදී පණ්ඩුකාභය සහ පිරිස හමු වී ඇත. ඔවුන්ටත් ඇඹුල කොටසක් බෙදා දීමට අසල නුග ගසකින් නුග පත් කඩා ඇඹුල බෙදීමට සැරසෙද්දී නුග පත් රන් වන් පාට වූ නිසා ඇය එදා පටන් "ස්වර්ණ පාලි" නම් විය. අවසානයේ පණ්ඩුකාභය කුමරුගේ මෙහෙසිය වන්නේ ඇය යි.

පණ්ඩුකාභය කුමරු ඉපදුන වසරේම පඬුවස්දෙව් රජුතුමා මිය යනවා, ඒ අවු. 30 ක රාජ්‍ය කාලයකට පසුව. එනම් ක්‍රි. පූ. 504 - ක්‍රි. පූ. 474  (බු. ව. 40 - බු. ව. 70). ඉන් පසුව රජ වෙන්නේ අභය රජ තුමා (කුමරුගේ වැඩිමහල් මාමා). ඔහු අවු. 20 ක් (ක්‍රි. පූ. 474 - ක්‍රි. පූ. 454) හොඳින් රජකම් කරනවා. අභය රජු පණ්ඩුකාභය කුමරුට පක්ෂව කටයුතු කරන බවට සැක ඇති වීම නිසා අනෙක් සොහොයුරෝ ඔහුට විරුද්ධ වී රජ කම දෙවැනි සොහොයුරු "තිස්ස" ට ලබා දෙනවා. ඒත් තිස්ස රජුට (ක්‍රි. පූ. 454 - 437) හරියාකාරව රජකම් කරන්න ලැබෙන්නේ නැහැ. පණ්ඩුකාභය කුමරු ඔවුන්ට විරුද්ධව සටන අරඹන නිසා. ඒ කාලයේ රට අරාජික තත්වයක තිබුණා කිව්වොත් වඩාත් හරි.

මේ වෙද්දි හෙළ ජනතාව හිටියේ සිංහ වංශිකයින් එක්ක අමනාපයෙන්. මොකද විජය විසින් හෙළයින්ගේ රාජ්‍ය පැහැර ගත් නිසා. මේ දෙගොල්ලන්ගේ ගැටුම් ඕන තරම් තියෙන්න ඇති. සිංහ වන්ශිකයින්ට විරුද්ධ වෙන්න අවස්ථාවක් බල බල හිටපු හෙළයින්ට (විශේෂයෙන්ම යක්ෂ ගෝත්‍රිකයින්ට) මේක කදිම අවස්ථාවක් උනා. පණ්ඩුකාභය කුමරුට ඔවුන් සැළකුවේ තමන්ගේම කෙනෙක්ට වගේ (කුමරුගේ පියා චිත්තරාජ යැයිද මතයක් ඇත). කුමරුන්ව දිවි දෙවැනි කොට ආරක්ෂා කලේ නැවත මේ රටේ තමන්ගේ කෙනෙකු රජ කරවන අදහසින් සහ සිංහ වන්ශිකයින්ව පරාජය කරන අදහසිනි. එනිසා සිංහ වන්ශිකයින්ට එරෙහිව පණ්ඩුකාභය දියත් කරන සටනට සම්පුර්ණ සහයෝගය යක්ෂ ගෝත්‍රිකයින්ගෙන් ලැබුණා.

ඉතින් අවසානයේදී හෙළයින්ගේ සම්පුර්ණ උදව් ඇතිව පණ්ඩුකාභය කුමාරයා සටන් මෙහෙයවා මාමාවරුන් මරා තිස්ස රජුගෙන් රාජ්‍ය ලබා ගන්නවා. වැඩිමහල් මාමා අභයටත් ස්වර්ණපාලිගේ පියා ගිරිකන්ඩසිව ටත් අභය දානය දෙනවා. ඒ ජයග්‍රහණය හෙළයින්ගේ ජයග්‍රහණයක්‌ හැටියට තමයි සැළකුවේ. අන්තිමේදී සිංහ වන්ශිකයින්ට එරෙහිව තමන්ගේ කෙනෙක් රජ කරවන අදහස මුදුන් පත් වෙනවා. ඉන් පස්සේ දෙපැත්තේම අය එකිනෙකාට විරුද්ධව ඇන කොටා ගැනීම් නවත්තලා දෙපක්ෂයටම අයිති රජෙක් යටතේ වාසය කරනවා. රටේ අග නුවර අනුරාධපුර ට ගෙන යනවා. අභය මාමා ට "නගරගුත්තික" (නගරය රකින්නා) තනතුර ලැබෙනවා. චිත්තරාජ සහ කාලවේල උදෙසා දේවාල දෙකකුත් ඉදි වෙනවා.


"බසවක්කුලම" නම් වැවක් ද තැනවූ පණ්ඩුකාභය රජ තුමා අවු. 70 ක් රජකම් කර එනම්, ක්‍රි. පූ. 437 - 367 (බු. ව. 107 - 177)  ශ්‍රේෂ්ඨ රජෙක් ලෙස මිය යනවා.

                                      ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

උඩ ම පින්තුරයේ තියෙන්නේ ඉසුරුමුණියේ දක්නට ලැබෙන "මිනිසා සහ අශ්ව හිස" ප්‍රතිමාව. ඒ පණ්ඩුකාභය සහ ඔහු සටනට ගෙන ගිය කළු වෙළඹ යැයි මතයක් තියනවා. ඒ වෙළඹ ඉපදිලා තියෙන්නෙත් කුමරු ඉපදුන දිනම යි.

Wednesday, November 9, 2011

විජයාවතරණය හෙවත් කිරි මුට්ටියට මුහුම් දැමීම - රාජාවලිය III



                                                          සත් සියක් මායා බෙලෙන් මම
                                                          සත් සියක් බන්ධන බෙලෙන් මම
                                                          සත් සියක් සක්වල සොයා මම
                                                          ගෙන්වු කුමරුන් අද එතේ.....// - කුවේණි නාටකය

පහුගිය රාජාවලිය I සහ රාජාවලිය II ලිපි දෙකෙන්ම අපි කතා කරේ ප්‍රාග් ඓතිහාසික යුගය ගැන නේ. ඔන්න අද මම පුර්ව ඓතිහාසික යුගයට අවතීර්ණ වෙන්නයි හදන්නේ.

ඉතින් මේ කියන දවස ටිකක් තීරණාත්මක දවසක්. අපේ ගෞතම බුදු රජාණන් වහන්සේ පිරිණිවන් පාන අදහසින් කුසිනාරා නුවර විදී දිගේ ශ්‍රාවකයින් පිරිවරාගෙන වැඩම කරන මොහොත.  තමන්ගේ වැඩිමහල් පුත්‍රයාගේ නොහොබිනා ක්‍රියා වලට දඬුවමක් විදියට සිංහබාහු රජ තුමා විසින් ඔහුව වංග දේශයෙන් පිටුවහල් කරේත් මේ වෙලාවෙදි.

මේ විජයගේ සුල මුල හොයා ගෙන ගියොත් ඒ ගැන සඳහන් වෙන්නේ මෙහෙමයි. "කලෙකදී වංග (වගු) රටේ රජු කාලිංග දේශයේ කුමරියක් සරණපාවා ගත් පසු ඔවුන්ට ලැබුන දියණිය "සුප්පා දේවි" නම් විය. ඇය සිංහයෙකුගෙන් ලද දරුවන් දෙදෙනා සිංහබාහු සහ සිංහ සීවලී නම් වේ (සින්හයෙකුගෙන් දරුවන් ලද බව අතිශයෝක්තියක් බව ඇතැමෙකුගේ අදහස වන අතර මේ සිංහයා සැබවින්ම සිංහයෙකු නොව "සිංහ" නම් වූ පෙරළි කරුවෙකු බව කියති). මේ සිංහයාගේ කතාව නිසා තමයි මොවුන් සිංහ වංශිකයින් ලෙස හඳුන්වන්නේ. සිංහයා විසින් ගල් ලෙනක රඳවා රැකවල් කළ සුප්පා දේවිය, සිංහබාහු සහ සිංහ සීවලී,  සිංහයා වනයට ගිය විටෙකදී ගල් ලෙන බිඳ ගෙන සිංහයා ගෙන් පලා ගියා ලු.

"ගල් ලෙන බිඳලා....ලෙන් දොර ඇරලා.....සිංහ බා.........."

ඉතින් වනයෙන් එලියට ආපු සිංහබාහු, සිංහපුර නම් රාජධාණියක් තනා ගෙන, තම නැගණිය වන සිංහ සීවලී විවාහ කරගෙන වාසය කරද්දී,  බිරිඳ හා දරුවන් සොයා ගෙන වියරුවෙන් පැමිණි  සිංහයා ව මරා දැම්මා ලු. මේ සිංහබාහු ට සහ සිංහ සීවලී ට ලැබුන දරුවන්ගෙන් වැඩිමලා තමයි විජය. විජයගේ නිවුන් සොහොයුරා සුමිත්ත (මොහු පසු අවස්ථාවකදී අපේ රාජාවලිය ට  ප්‍රයෝජනවත් වන අයෙකි). මේ විජය කියන්නේ කොටින්ම දාමරික වැඩ කරපු කෙනෙක් කියලා තමයි සඳහන් වෙන්නේ. මං පැහැරීම්, ස්ත්‍රී දුෂණ, මිනී මැරුම් කරන්න ඔහුටම හරියන අනුගාමිකයෝ ටිකකුත් ඉඳල තියනවා. මේවා දරා ගන්න බැරි උන සිංහපුර වැසියෝ සිංහබාහු ගෙන් ඉල්ලුවලු විජය මරා දමන්න කියලා. ඒත්, තමන්ගේ පියා මරපු සිංහබාහු තමන්ගේ පුතා මරන්න කැමති උනේ නැහැ. ඒ වෙනුවට විජය සහ සත් සියක් අනුගාමිකයින්ගේ හිස මුඩු කරලා වංග දේශයෙන් පිටුවහල් කරා ලු.

මේ විදිහට රටින් පිටුවහල් කරපු විජය ඇතුළු පිරිස රැගත් නෞකාව ලක් වෙරළට සැපත් උනෙත් බුදුන් වහන්සේ පිරිණිවන් පෑවෙත් එකම දවසේ කියලයි සඳහන් වෙන්නේ. මෙදා ඉඳල තමයි අපේ ඉතිහාසඥයෝ බුද්ධ වර්ෂ ගණනය කිරීම ආරම්භ කරල තියෙන්නෙත් (එනම් බුද්ධ වර්ෂ 1 (ක්‍රි, පු. 543) එදවසින් ඇරඹිණි). ලංකා වෙරළට ගොඩ බැහැපු පිරිස අත්ල බිම තබා වෙරළේ හිඳ ගෙන අත්ල දිහා  බලද්දී ඒවා තඹ පාට වී තිබූ නිසා ඒ ප්‍රදේශය තම්බපන්නිය (තම්මැන්නාව) කියා නම් තැබුවා ලු.

ඉතින් මේ පිරිස ටිකක් වට පිට විපරම් කරල බලද්දී මුලින්ම මුණ ගැහිලා තියෙන්නෙ "කුවේණි" නම් කුමරිය. කුවේණිය කපු කටිමින් ලු හිටියේ. ඇය යක්ෂ ගෝත්‍රයට අයත් කෙනෙක්. විජය දැක ඔහුට සිත බැඳුනු කුවේණිය ලංකා රාජ්‍ය විජයට ලබා ගන්න උදව් කරන්න පොරොන්දු උනා ලු. මේ කාලය වෙද්දී ලක් දිව රජ කරලා තියෙන්නේ "මහා කාලසේන" කියන රජ තුමා. ඔහු ඇතුළු පාලක පක්ෂය රාවණා පෙළපතට සම්බන්ධ අය හැටියට තමයි සැලකෙන්නේ.



         ~~~~~~~~~~~~~~ තම්මැන්නා රාජධාණිය - ක්‍රි. පූ. 543 - 505 (බු. ව. 1 - 39) ~~~~~~~~~~~


කොහොම හරි කුවේණි ගේ උදව් නිසා විජය ට පුළුවන් උනා ලු මහා කාලසේන රජුගෙන් රජකම පැහැර ගන්න. ඉන්පසු විජය කුවේණිය විවාහ කර ගත්තත්  මේ පාවා දීම නිසා ඇගේ ගෝත්‍රයේ ජනතාව නම් කුවේණි ගැන අප්‍රසාදයෙන් තමයි ඉඳල තියෙන්නෙ.  කුවේණි ට විජයගෙන් ලැබුණු දරුවෝ දෙන්නා තමයි "ජීවහත්ත" සහ "දිසාලා".

ඔහොම ටික කලක් ගත වෙද්දී විජයගේ පිරිසට ඕන වෙලා විජය සාම්ප්‍රදායික විදියට අභිෂේක කරන්න (අනේ මන්දා ඉතින් එහෙ ඉන්නකං මැර කම් කරපු අයට සම්ප්‍රදාය ගැනත් මතක තිබුනද කියලා). සම්ප්‍රදායේ හැටියට අභිෂේක කරන්න නම් අග බිසව සම කුල කෙනෙක් වෙන්න ඕනලු. මේ නිසා ඉන්දියාවෙන් කුමාරිකාවක් ගෙන්න ගතිපු විජය කුවේණි ත් ළමයි දෙන්නත් එළවලා දැම්මලු. අන්ත අසරණ උන කුවේණි ළමයිනුත් අරන් තමන්ගේ නෑයින් ළඟට යන්න හැදුවත් ඔවුන් හැතිරියක් හැටියට සළකපු කුවේණිව බාර ගන්න කැමති වෙලා නැහැ. ඔවුන් කුවේණි ට ගල් ගසා මැරුව ලු. ළමයි දෙන්නා කැලයේ ජීවත් වන ජන කොට්ටාශයක් වූ "පුලින්දයන්"  ළඟට ගියා කියල තමයි සඳහන් වෙන්නේ.

අපිට අදත් දකින්න ලැබෙන වැදි ජනයා පැවතෙන්නේ පුලින්දයින්ගෙන් කියල විශ්වාස කරනවා. එහෙම බලද්දී විජය සිංහලේ මුත්තා නෙමෙයි, වැදි ජනයාගේ නෑයෙක් :) මොකද ඔය ඉන්දියාවෙන් ගෙනා කුමාරි ටයි විජය ටයි ළමයි හිටියේ නැහැලු නේ. තවත් දෙයක්, වැදි ජනතාව අපේ ආදි වාසීන් ලෙස හඳුන්වන එක කොයි තරම් වැරදිද කියල මේකෙන් තේරෙනවා ඇති.

ඉතින් ක්‍රි. පූ. 505 වෙන තුරු අවු. 38 ක් රජ කම් කරපු විජය ට ඔහුගේ මරණින් පස්සේ රජ කම බාර දෙන්න දරුවෙක් ඉඳල නැහැ. මේ නිසා විජය මිය යන්න කලින් මේ බව ඔහුගේ සොහොයුරා සුමිත්ත ට දැනුම් දුන්න ලු. සුමිත්ත මේ ගැන ක්‍රියා මාර්ගයක් ගන්න කලින් විජය රජු මිය ගිහින්. ඉන් පස්සේ අවුරුද්දක් (ක්‍රි. පූ. 504 වන තෙක්) රට පාලනය කරල තියෙන්නෙ "උපතිස්ස" නම් විජයගේ අනුගාමිකයෙක්. ලක් දිව අග නුවර, තම්මැන්නාවෙන් උපතිස්ස ගම ට ගෙන ගියා ලු.

ක්‍රි. පූ. 504 දී ලංකාවේ රජ කම බාර ගන්න තවත් කෙනෙක් එනවා. ඒ ගැන මම ඊ ළඟ ලිපියෙන් කියන්නයි හිතා ගෙන ඉන්නේ.

                                             ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඉතින් මොකක්ද මේ කිරි මුට්ටියේ කතාව?

විජය ලංකාව ට අවතීර්ණ වෙනකොට මේ රට දියුණු ශිෂ්ටාචාරයක්. යක්, රකුස්, නා, දේව යන ගෝත්‍ර වලට අයත් සිවු හෙළය, රාවණ පෙළපතෙන් පැවතෙන රජුන් යටතේ ලක් දිව ජීවත් උනා. ඔවුන්ට අවේනික භාෂාවක්, සම්ප්‍රදායයක් තිබුණා. විජය ට අළුතින් ජනාවාස ඇති කරන්න ඕන කමක් තිබුනේ නැහැ.  වංග රටෙන් ආපු ආර්යයෝ මේ රටේ ජනාවාස ඇති කරා කිව්වොත් ඒක සම්පුර්ණ වැරදියි.

විජය විසින් රාජ්‍ය බලෙන් පැහැර ගත්තත් ඔහු ඇතුළු සත් සියයක් පිරිසට සහ ඉන් පසුව පැමිණි සිංහ වංශිකයින් ට සිද්ද උනා මේ රටේ සිවු හෙළය සමග මුහු වෙන්න. මේ මුහු වීමේදී දෙගොල්ලන්ගේම සම්ප්‍රදායයන්, භාෂාව, සිරිත් විරිත් එකට එකතු වෙලා ස්ථාවර තැනකට ආවා කියලා හිතන්න පුළුවන්. හෙළ භාෂාවේ සහ වංග භාෂාවේ මිශ්‍ර වීම සහ අනුගත වීම මේ ලිපියේ ලස්සනට පැහැදිළි කරල තියනවා.

ඉතින් අදත් අපි ආඩම්බරයෙන් කතා කරන භාෂාව, සිරිත් විරිත්, මේ හැම දේකම උපත සිදු උනේ එහෙමයි. හරියට කියනවනම් "සිංහලේ උපත". අපි අද කතා කරන භාෂාව පිරිසුදු හෙළ භාෂාව වත් සිංහ වංශිකයින්ගේ වංග භාෂාව වත් නොවෙයි. ඒ තමයි "සිංහල" භාෂාව. සිංහල සිරිත් විරිත් උනත් ඒ විදියට මිශ්‍ර වී අනුගත උන ඒවා විය යුතුයි.

ඉතින් සිවු හෙළය කිරි මුට්ටියකට උපමා කළොත් විජයාවතරණය හරියට ඒකට කරපු මුහුම් දැමීමක් වගේ. සිවු හෙළය ට සිංහ වංශිකයින් මුහුම් දමා අවසන අපිට ලැබුනේ  "සිංහලය" නම් වූ මුදවපු කිරි මුට්ටිය යි.

Saturday, November 5, 2011

සුනාමියෙන් සේදී ගිය රාවණ රාජධාණිය - රාජාවලිය II



රාජාවලිය I  ලිපියෙදි අපි කතා කරේ ප්‍රාග් ඓතිහාසික යුගය ගැන නේ. ඒ යුගයේ රජ කම් කරපු රාවණා රජු ගැනත් ඒ ලිපියෙදි කතා කරා. මේ ලිපියෙන් විජයාගමනය ට එන්න හිතා ගෙන හිටියත් හේතු කීපයක්ම නිසා මේ ලිපියෙනුත් ප්‍රාග් ඓතිහාසික යුගය ගැන කතා කරන්න වෙන පාටක් තමයි තියෙන්නේ :)

චතු ගේ කතා ලියන චතුරංග රාවණා යුගය ගැන ලියවුනු වටින ලිපි එකතුවකට පාර කියල තිබුණා. සිතක සංකල්පනා මධු මල්ලිත් e අටුවාව ට පාර කිව්වා. තවත් අය වැදගත් තොරතුරු දුන්නා වගේම ප්‍රාග් ඓතිහාසික යුගය ගැන ලියවුනා මදි කියලත් කියල තිබුණා. ඉතින් අර ලිපි ටිකත් කියවලා කල්පනා කරලා බැලුවහම වැඩේ ඇත්ත. වාර්තාගත රාජාවලිය ඇරඹෙන්නේ අපේ ගෞතම බුදුන් වහන්සේත් පිරිනිවන් පෑවට පස්සේ. එත් අපි ජීවත් වෙන මහා භද්‍ර කල්පයේ (මහා භද්‍ර කල්පයකට බුදුන් වහන්සේලා පස් නමක් බිහි වෙනවා ලු) තවත් බුදුන් වහන්සේලා තුන් දෙනෙක් ඉඳල තියනවා (කකුසඳ, කෝණාගම, කාශ්‍යප).  ඉතින් අපි කතා කරන ඉතිහාසයට වඩා කතා නොකරන දේ බොහොම වැඩියි.

රාජාවලියේ සඳහන් වෙන විදියට රාවණ රජු ලක් දිව පාලනය කරන්නේ බුද්ධ වර්ෂයට පෙර, 1844 දී පමණ. මේ කාලය කාශ්‍යප බුදුන් ගේ කාලය බවට මතයක් ඇති අතර සමහරු එය කකුසඳ බුදුන් ගේ කාලය බව කියති.  ඒත් කාල පරාසය ගැන හිතල බැලුවම එය කාශ්‍යප බුදුන්ගේ කාලය විය යුතුයි (ගෞතම බුදුන් පිරිනිවන් පා අවුරුදු 2500 ක් ගත වුවද වෙනත් බුදුවරයෙක් තවමත් පහළ වී නැත. එනිසා අවුරුදු 2000 ක් ඇතුලත බුදුවරුන් 4 දෙනෙකු පහළ උනා යයි සිතීම ට අපහසුය - මතයක් පමණි).

කොහොම උනත් රාවණ රාජධාණිය ඒ යුගයේ ඉතාමත් සමෘදිමත් ව, බලවත් ව තිබුනා ලු. රාවණ රජතුමා ත් ඉතාමත් නුවණැති, ශිල්ප දත්, අභිමානවත් කෙනෙක් ලු. රාමායණය වීර කාව්‍ය නිසා රාවණ රජු ගේ චරිතයට අසාධාරණයක් වී ඇති බව තමයි පේන්නේ. වාල්මිකී, රාමායණය ලියද්දී රාමා වීර චරිතයක් හැටියටත්  රාවණා දුෂ්ට චරිතයක් හැටියටත් පෙන්වා දීම ඔහුගේ පැත්තෙන් ස්වාභාවිකයි. රාමායණය සාහිත්‍යමය කෘතියක් මිස ඉතිහාස මුලාශ්‍රයක් නෙමෙයි. අනිත් කරුණ, රාවණාගේ සොයුරියක් වූ සුපර්ණකා ට රාමා ගෙන් හිරිහැර වූ නිසා පළි ගැනීමක් විදියට සීතාව පැහැරගෙන ආවා කියල තමයි සඳහන් වෙන්නේ. අන්තිමේදී සීතා පතිවත ඔප්පු කරන්න ගිනි ගොඩට පැන්නම පිච්චුනේ නැති එකෙන්ම ඔප්පු වෙනවා නේ  රාවණා ගේ නිර්දෝෂී බව :) ඒ විතරක් නෙමෙයි කිසිම වරදක් නොකරපු සීතා ලවා ඒ වගේ දෙයක් කරවන්න රාමා කොයි තරම් සැහැසි වෙන්න ඕන ද? මේවා ඉතින් අපිට තර්ක කරලා කතා කරන්න පුළුවන් උනත් ඉන්දියානුවොනම් කීයටවත් රාම ගේ වැරදි පිළිගන්න එකක් නැහැ. ඒ වගේ තමයි අපිත් කැමති නැහැ රාවණ දුෂ්ටයෙක් කියල කියනවට :-\

ඉතින් මේ රාවණ යුගයේ දී ලංකාවත් ඉන්දියාවත් වෙන් වෙලා තිබුනේ ගඟක් තරම් පටු මුහුදු තීරයකින් ලු. ඒ නිසා වෙන්න ඇති ඔය තරම් ලේසියෙන් ඉන්දියාවත් ලංකාවත් අතර ගමන් බිමන් සිද්ද උනේ. මුලින්ම අපේ බුදුන් වහන්සේගෙන් බුදුන් දහම් සරණ ගිය උපාසකයෝ උනෙත් ලංකාවෙන් ඉන්දියාවට වෙළඳාමේ ගිය තපස්සු, භල්ලුක වෙළඳ දෙබෑයෝ ලු නේ. මේ දෙන්නා ගෙනාපු කේශ ධාතු නිදන් කරලා "ගිරි හඬු සෑය" හැදුවලු. ආදම් ගේ පාලම හදන්නත් කිසිම අමාරුවක් වෙන්න නැතුව ඇති. ඉතින් මේ ලංකා පුරය රාවණා ගේ මරණින් පස්සේ සිද්ද උන මුහුද ගොඩ ගැලීමක් හින්දා වැඩි හරියක් ම මුහුද ට යට උනා කියල තමයි කියන්නේ. ඒ තමයි අපිට අහන්න ලැබෙන පළවෙනි සුනාමි ය.  ඒ සුනාමියෙන් රාවණා රාජධාණිය එහෙම පිටින්ම විනාශ වෙලා මුහුදට යට උනා ලු. සමහර විට ඒ නටබුන් මුහුදු පත්ලක තියෙන්නත් බැරි නැහැ. ලංකාවත් ඉන්දියාවත් ඈත් වෙන්න ඇත්තෙත් මේ සුනාමිය නිසා. කොහොම උනත් රාවණා රජ පෙළපත නම් දිගටම පැවතුනා (ඔහුගේ පුත් ඉන්ද්‍රජිත් ගෙන්).

මේ යුගයේදී ලංකා පුරයේ ඉඳල තියෙන්නේ ජන කොට්ටාශ 4 ක්. යක් (ලෝහ කර්මාන්ත කළ අය), රකුස් (ගොවි තැන් කළ අය), නාග (නාවික කටයුතු කළ අය) සහ දේව (අධ්‍යාපන \ ආගමික කටයුතු) වශයෙන්. රාවණා රජ අයත් උනේ රාක්ෂ (රකුස්) ජන කොටසට. මේ ගෝත්‍ර 4 සිවු හෙළය කියලත් හඳුන්වනවා. මේ "සිව් හෙළය" කියන වචනයෙන් "සිංහලය" වචනය බිහි උනා කියලත් මතයක් තියනවා. ඒවා ගැන ඉතින් පස්සේ කතා කරමුකෝ.


ප්‍රාග් ඓතිහාසික යුගයේ වැදගත් සිද්ධි අතර අමතක නොකරම බැරි දෙයක් තමයි ගෞතම බුදුන් වහන්සේ ගේ ලංකා ආගමන.  උන් වහන්සේ තුන් වතාවක් ලක් දිව ට වැඩම කරා කියල තමයි මහා වන්ශේත් සඳහන් වෙන්නේ. පළවන වතාවේ මහියංගනය ට වැඩම කරලා තියෙන්නේ යක්ෂ හා නාග ගෝත්‍රිකයන් අතර ඇති වෙන්න ගිය සටනක් වලක්වන්න. මේ සිදු වීම වෙන්නේ බුද්ධත්වයෙන් මාස 9 කට පස්සේ. මේ වෙලාවේදී ලබා ගත්ත කේශ ධාතු නිදන් කරලා තමයි මහියංගන චයිත්‍යය (මියුගුණ සෑය) හදල තියෙන්නේ. දෙවැනි වතාවට වැඩියේ නාග දීපය ට. ඒ, චූලෝදර සහ මහෝදර නා රජවරුන් අතර මැණික් පුටුවක් හේතුවෙන් ඇති වීමට ගිය සටනක් වැලක්වීමට. පස්සේදී ඒ මැණික් පුටුව නිදන් කරලා නාග දීපයේ රාජායතන විහාරය තැනුවා ලු. මේ අවස්ථාවේදී මණි අක්ඛිත නා රජු බුදුන් වහන්සේ ට ආරාධනා කරා ලු පසු කාලෙකදී කැලණියට වඩින්න. ඒ ආරාධනාව අනුව තමයි උන් වහන්සේ බුද්ධත්වයෙන් අවුරුදු 8 කට පස්සේ කැලණිය ට වඩින්නේ.  ඒ ගමනේදී උන් වහන්සේ සමනල කන්ද, තිස්ස මහාරාමය, කතරගම, දිවා ගුහාව ඇතුළු ස්ථාන කිහිපයකටම වැඩම කරනවා. උඩ පින්තුරයේ තියෙන්නේ බුදුන්ගේ තෙවන වර පැමිණීම දැක්වෙන කැළණි විහාර සිතුවමක්.

මේ සියළු කාරණා සහ දැනට හමු වී ඇති ප්‍රාග් ඓතිහාසික මානවයින්ගේ පුරා විද්‍යාත්මක සාධක සලකා බැලුවම ලංකාද්වීපය විජයාගමනයට බොහෝ කලකට පෙර සිටම දියුණු ශිෂ්ටාචාරයක් ව තිබූ බව හොඳින්ම පැහැදිළි වෙනවා. ඉතින් සිංහල ජාතිය ආරම්භ උනේ විජයගෙන් නම් වෙන්න බැහැ. කොහොම උනත් ඊ ළඟ ලිපියෙන් විජය ගැන කියන්නයි  හිතාගෙන ඉන්නේ. වාර්තාගත රාජාවලියේ ආරම්භය තමයි එතන. ඒකත් රාජ්‍ය බලෙන් පැහැර ගැනීමක්.

රාවණා පෙළපතේ බලය පැහැරගත් සිංහ වංශිකයන් ගේ කතාව ඊ ළඟ ලිපියෙන්....

                                         ~~~~~~~~~~~~~~~~~~~~~~~
ප. ලි.   රාවණ රජ පෙළපත ඉන්ද්‍රජිත් ගෙන් නොනැසී පැවතුන බව කීමෙන් වැරදි අදහසක් ගම්‍ය වේ. රාවණා ගෙන් පසු රජ උනේ ඔහුගේ සොහොයුරු විභීෂණ (මොහු රාම ට උදව් කළ කෙනෙක්) වන අතර ඉන්ද්‍රජිත් ගේ දරුවන් දෙදෙනා වන රවිශෛලාෂ හා කේවේසස්‌ථ විභීෂණ පරදවා රට පාලනය කළ බව සඳහන් වේ. එනිසා ඉන්ද්‍රජිත් ගේ පුතුන් රජ වුනත් ඉන්ද්‍රජිත් රජ උනේ නැත.  මෙය පෙන්වා දුන් නිසංස සහ ලහිරු ට ස්තුතියි...


ප. ප. ලි.  මහා භද්‍ර කල්පයකට බුදුන් වහන්සේලා පස් නමක් බිහි වෙන අතර අනෙක් කල්ප වල බිහි වෙන්නේ හතර නමයි ලු. මේ කල්පය මහා භද්‍ර කල්පයක් කියල හඳුන්වන්නේ ඒ නිසා. මෙය පෙන්වා දුන් හසිතට ස්තුතියි... 


                                      ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
වැඩි විස්තර දැන ගැනීමට කැමති කෙනෙකුට...චතුරංග, මධුරංග සහ චා විසින් ලබා දුන් සබැඳි,
හෙල යුගය
Sinhala Literary Association - බ්ලොග් අවකාශයේ ඉතිහාස ගවේෂණය 
ඊ අටුවාව
http://apethana.com/drupal/helayugaya
http://www.sriravana.tk/
http://www.sriravana.com/
http://www.ravanabrothers.com/

Wednesday, November 2, 2011

සිංහලේ මුල සොයා - රාජාවලිය I



"මුල" හොයා ගෙන යන්න ගොඩක් අය වගේම මමත් හරි කැමතියි. හැබැයි මේක ලේසි කටයුත්තක් නම් නෙමෙයි. ඇත්තටම අපේ මුල කොතනද කියලා අපි හරියටම දන්නේ නැහැ නේද? මගේ තාත්තාගේ තාත්තා (මගේ සීයා) ගේ පවුලේ විස්තර වත් මම හරියට දන්නේ නෑ :(. සීයා ගේ තාත්තා "කොටවිල" කෙනෙක් කියලා විතරයි දන්නේ. ඉතින් කොහොම මුල හොයන්නද? අග ඉඳං මුලට බැරි උනාට මුල ඉඳං අගට හොයන්න පුළුවන් යම්තාක් දුරකට හරි. අඩු තරමේ රජ පෙළපත ගැන වත්.

ලංකාවේ පූර්ව ඓතිහාසික යුගය ඇරඹෙන්නේ "විජය" ගේ ආගමනය ත් සමඟ නිසා ගොඩක් වෙලාවට අපේ "මුල" කියලා හඳුන්වන්නේ "විජයාගමනය". ඒත් අපේ ප්‍රාග් ඓතිහාසික යුගය ගැන මොකද කියන්නේ?

"ප්‍රාග් ඓතිහාසික යුගය" කියල හඳුන්වන්නේ ක්‍රි. පූ. 6 වන සියවසට පෙර යුගය. බුදුන් වහන්සේ පිරිණිවන් පෑ දවසට (බුද්ධ වර්ෂ ගණනය ආරම්භ කළ දවසට), එහෙමත් නැත්නම් විජය තම්බපන්නියට සැපත් උන දවසට පෙර කාලයට. අපේ ලිඛිත ඉතිහාසය ආරම්භ වෙන්නේ මේ විජය පැමිණි දවසේ ඉඳල නිසා තමයි වසර 2550 ක ඉතිහාසයක් අපිට තියනවා කියල කියන්නේ. බුද්ධ වර්ෂ ගණන් කිරීම ආරම්භ උනෙත් එදා ඉඳල නිසා අපේ ඉතිහාස කාලය හරියටම බුද්ධ වර්ෂ ගණනට සමානයි. ඒත් ඊට පෙර යුගය (ප්‍රාග් ඓතිහාසික යුගය ) මේ ගණන් කිරීමට අයිති වෙලා නැහැ. ඒ ගැන පිළි ගත හැකි ලිඛිත සාක්ෂි නැති උනාට "රාවණා" පුවත වගේ කතා නම් හමු වෙනවා ප්‍රාග් ඓතිහාසික යුගයෙන්.

අපේ ඉතිහාස කතාව වසර 2550 ක් තිස්සේ නොකැඩි ගලා ගෙන යන හැටි, පරපුරෙන් පරපුරට ලේ උරුමයෙන්  රජ කම පවත්වාගෙන ගිය හැටි, සමහර විටෙක ඒ උරුමය පෙළපතෙන් පිට පැන්න හැටි, ඉස්සර ඉඳලම අපිට ආක්‍රමණික තර්ජන එල්ල උන හැටි, ඒවායින් ගොඩ ආපු හැටි  හොයල බලන්න මට පුදුම ආසාවක් ආවේ, "ජයතු ලංකා" පොත කියෙව්වට පස්සේ තමයි. අපිට පොඩි කාලේ ඉස්කෝලෙදි බලෙන් ඉතිහාසය උගන්නද්දී නම් කිසිම ආසාවක් දැනුනේ නැහැ මේවට. ඒත් 9, 10, 11 වසර වලට තිබුණ ඉතිහාස පොත් ටික දැන් නම් සල්ලි දීල හරි ගන්න හිතෙනවා....

ඉතින් අපේ ඉතිහාසය ගඟක් වගේ ගලා ගෙන යන එකක් නම් නෙමෙයි. පොත් පත් වල උනත් සමහර තැන් පැහැදිලි නැහැ. "මහා වංශය", "දීප වංශය" ගත්තොත් පරස්පර විරෝධී තැන් එහෙමත් තියනවා. කොහොම උනත් පුළුවන් තරමින් මේ තොරතුරු ටික ගැට ගහලා අපේ ඉතිහාස කතාව මුල ඉඳලම බ්ලොග් එකේ ලියන්න මට හිතුනා. මට හිතෙන්නේ මේ කතාවට බහුතරයක් ආස නැති වෙයි. ඉතින් මගේ බ්ලොග් එක ජන ශුන්‍ය වෙනවාට මම අකමැති නිසාත් මේ කතාව නොලියාම බැරි යැයි මට සිතෙන නිසාත් එක දිගට නොලියා ඉඳ හිට කොටසක් බැගින් පළ කරන්න තමයි හිතුවේ :).

ප. ලි  - මේ බ්ලොග් අවකාශයේ ගොඩක් හොඳින් ඉතිහාසය ගැන දන්න අය ඉන්න පුළුවන්. ඉතින් මේ ලියන තොරතුරු වල වැරදි තිබුනොත් නිවැරදි කරන්න එයාලට පුළුවන් වෙයි......ඒක මට කරන ලොකු උදව්වකුත් වෙයි.........
                               

                          ~~~~~~~ඉතින් වැඩි කතා මොකටද? දැන්ම පටන් ගන්නම්~~~~~~~~


සාම්ප්‍රදායික විදියට "විජය" ගෙන් පටන් ගන්නේ නැතුව අපි ඊට ටිකක් එහාට යමු....."ප්‍රාග් ඓතිහාසික යුගය" ට.

දැනට විශ්වාස කරන විදියට නම් සිංහලේ පළමු රජු හැටියට සැලකෙන්නේ "මහා සම්මත මනු" කියන රජ තුමා.  ඊට පස්සේ කාලෙකදි තමයි රාවණ රජ තුමා රජ කරලා තියෙන්නේ.  මේ රාවණ රජ තුමා ගැන තමයි "රාමායණය" පුරාවෘතයේ සඳහන් වෙන්නේ. ඒ කතාව නම් අහපු නැති කෙනෙක් නැතුව ඇති.

"රාවණ රජ තුමා දඬු මොනරයෙන් ජම්බුද්වීපය ට ගිහින් රාම රජුගේ දේවිය වූ සීතාවන් පැහැර ගෙන ලංකා පුරය ට ආ බවත් මේ නිසා කිපුන රාම රජු තමන්ගේ මලනුවන් වන ලක්ෂ්මන් ගේ සහ හනුමන්තා ගේ උදව් ඇතිව එහි සිට ලංකාවට පාලමක් තනා, හනුමාගේ වලිගයෙන් ලංකා පුරය ගිනි තබා, රාවණා රජු හා සටන් කොට සීතාව නැවත ගෙන ගිය බවත්" එහි සඳහන් වෙනවා.

ඉතින් මේ රාවණා පුවතත් එක්ක සම්බන්ධ අතුරු කතා ත් බොහොමයි. රාවණා "සීතා" ව ගෙනත් හංගලා තිබුනේ "සීතා එළිය" කියන ගමේ කියලත් කතාවක් තියනවා. ඒ වගේම "රිටිගල" ශේෂ කන්ද හනුමා ලංකාවට එද්දී අරන් ආපු එකක් කියලත් කියනවා. ඉන්දියාවට ආවේනික පැළෑටි ඒ කන්දෙන් හමු උන නිසාලු එහෙම කියන්නේ. "ආදම් ගේ පාලම" නමින් හැඳින්වෙන ලංකා පුරට එන පාලම හනුමා හැදුවේ කොරල් පර උදව් කර ගෙන ලු. ඒ කතාව නම් ඇත්ත වෙන්න පුළුවන්. දැනටත් ඉන්දියාව හා ලංකාව සම්බන්ධ කරන කොරල් පාලමක් දකින්න ලැබෙනවා. අතීතයේ මේ කොරල් පර මීට වඩා ස්ථාවර ඛාදනය නොවූ පාලමක් විදියට තිබුණා වෙන්න පුළුවන්. පහලින් තියෙන්නේ කොරල් පාලමේ සැටලයිට් ඡායා රූපයක්.



ඉතින් මේ කතා අපි කියන්නේ සාහිත්‍යමය පුරා වෘතයක් පදනම් කරගෙන මිසක් ස්ථාවර සාක්ෂි ඇතුව නෙමෙයි. ප්‍රාග් ඓතිහාසික යුගයේ ඉතිහාසය හරියට කළු සිදුරක් වගේ. දන්න දේට වඩා නොදන්නා දේ බොහොම වැඩියි.

ඉතින් මේ යුගය ගැන මීට වඩා දෙයක් කියන්න මම දන්නේ නැහැ. ඊ ළඟ ලිපියෙන් තමයි හරියාකාර ව "රාජාවලිය" පටන් ගන්න පුළුවන් වෙන්නේ. ඒ ක්‍රි. පූ. 543 දී සිදු වෙන "විජයාගමනය" ත් එක්ක. එතන ඉඳන් අවුරුදු 2550 ක් පුරාවට අපේ වංශ කතාව දන්න තරමින් ලියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කවද හරි මේවා ගැන ආපහු හොයන්න හිතුනොත් ලේසියෙන් හොයා ගන්න පුළුවන් තැනක ලියල තියන එක කෝකටත් හොඳයි නේ :).

ආ...අර උඩ පින්තුරේ තියෙන්නේ හනුමා රිටිගල උස්සගෙන ආපු හැටි......

Monday, October 31, 2011

ගියේ දිය තලාවෙනම් කොහොමද කළු ගඟෙන් මතු උනේ ?


මේ කියන්න යන කතාව මට මතක් උනේ, සමහර බිරින්දෑවරුන් තමන්ගේ ස්වාමි පුරුෂයාව පාලනය කරගෙන ඉන්න විදිය ගැන පත්තරේක ගියපු ලිපියක් දැක්කම.

ඉස්සර අපේ තාත්තගේ ඔෆිස් එකෙන් හැම අවුරුද්දෙම වගේ ට්‍රිප් එකක් යනවා. අපිත් ඒකට යන්න සැදී පැහැදී තමයි ඉන්නේ. ඉතින් මේ ඔෆිස් එකේ අංකල් කෙනෙක් හිටියා "විජේ අංකල්" කියලා. එයාගේ නෝනා හරිම සැරයි ලු. කොටින්ම විජේ අංකල් ටත් පොඩි එකෙක්ට වගේ තහංචි ගොඩක් දාල ලු තියෙන්නේ shame on you.
හැබැයි මේ අන්කලුත් හොඳවයින් කණ මදයෙක්. ඒක නිසා තහංචි දැම්මට කමක් නෑ කියලයි මට නම් හිතුනේ.


ඉතින් දැන් විජේ අංකල්ට බයයි ලු  "ට්‍රිප් එක යන්නද?" කියලා නෝනගෙන් අහන්න. ඇහුවොත් කීයටවත් යන්න දෙන්නේ නැති බව හොඳටම ෂුවර් ලු. ඉතින් විජේ අංකල් මේකට මරු වැඩක් කලා. ඔපීසියේ ටයිප් රයිටරේකින් තමන්ටම ලියුමක් ටයිප් කර ගත්තලු මෙන්න මේ විදියට....

විජේපාල මහතා
--- නිවස
---- ගම
                                   පුහුණුව සඳහා කැඳවීම
                                  __________________


දියතලා ---- මුලස්ථානයේ පැවැත්වෙන දින 4 ක පුහුණුව සඳහා ඔබව කැඳවා ඇත. මේ පුහුණුව සඳහා ඔබේ සහභාගිත්වය අනිවාර්ය වන අතර පුහුණුව පිළිබඳ වැඩි විස්තර පහත සඳහන් වේ..
..........................
(පුහුණුව පළිබඳ ගල් පැලෙන විස්තර)
...........................

මොකක්දෝ සීල් එකකුත් හොයාගෙන ප්‍රොෆෙෂනල් ගතිය එන්න සීල් එකකුත් ගැහුවලු. අංකල්ගේ අපාය සහාය මිත්‍රයෝ ටික තමයි මේකට සප් එක දීලා තියෙන්නේ.  කොහොමහරි ඉතින් ඔය ටයිප් කර ගත්තු ලියුම සාක්කුවේ දාගෙන ගෙදර ගියපු විජේ අංකල් ෂර්ට් එක එල්ලලා තියලා නෝනට අහු වෙන විදියට. ඉතින් වැඩේ ටක්කෙටම හරි ගිහිල්ලා.ෂර්ට් එක හෝදන්න අරගෙන යද්දී ලියුම දැකපු නෝනා,

"දැන් ඉතින් යන්න වෙයි නේද?" කියල ඇහුවලු.

අංකල් (කටින්) : "හ්ම්"
අංකල් (හිතින්) : dancing

කොහොම හරි ගෙදරට ගල් පැලෙන බොරු කියලා අන්තිමේදී විජේ අන්කලුත් ආවා ට්‍රිප් එක යන්න. ඔන්න ඉතින් උඩ රට, මැද රට ඔක්කොම කවර් කර ගෙන අවසාන බාගේ දි අපි ආවේ කළුතර දිහාට. කට්ටියට ඕන උනා කළු ගඟේ බෝට්ටු සවාරියක් යන්න. ඉතින් හොඳටම පදම් වෙලා හිටපු විජේ අන්කලුත් ඇවිත් නැග්ගේ අපි හිටපු බෝට්ටුවට. දැන් ඔන්න බෝට්ටුව යන්න ගත්තා....

වැහැලා වැහැලා වතුර හොඳටම මඩ පාටයි. සැඩ පාරත් ඒ වගේ. බෝට්ටුවත් එහාට මෙහාට පැද්දෙන්න ගත්තම කටිටියම පොඩ්ඩක් බය උනා. ඉතින් කටිටියම බය නැති වෙන්නත් එක්ක එක එක කතා කියද්දී විජේ  අංකල් විතරක් පැත්තකට වෙලා ෆුල් අප්සෙට් එකේ ඉන්නවා worried

ඕක දැකපු අනිත් කට්ටිය විජේ පාල අංකල්ව බයිට් කරන්න ගත්තා. එක්කෙනෙක් කිව්වා "මැරෙන්න ඔච්චර බය වෙන්න එපා" කියලත්. ඒකට විජේ අංකල් දුන්නා මරු උත්තරයක්‌....

"කවුඩ අයිෂේ මැරෙන්ඩ බය?...... මම ගෑනිට කියල ආවේ දියතලාවේ යනවා කියලා....දැන් කළු ගඟෙන් මිනිය ගොඩ ගන්න උනොත් එහෙම....මට විෂුමක් වෙන එකක් නෑ"

බෝට්ටුව එළවපු කොලුවටත් හිනා මේ කතාව අහලා.....

Friday, October 28, 2011

මැමත් කේව්



මැමත් කේව් පිහිටල තියෙන්නේ හඳ අල්ලපු රටේ "කෙන්ටකි" ප්‍රාන්තයේ. කියන විදියට නම් මේක තමයි ලෝකේ ලොකුම / දිගම, පොළව යට පිහිටි (අන්ඩර් ග්‍රවුන්ඩ් :) හිරි ගල් ගුහාව. මේකට "මැමත් කේව්" කියල නම වැටිලා තියෙන්නෙත් ඔය විශාල කම හින්දලු (අලි ගුහාව කියන තේරුම වෙන්න ඇති).

"මැමත්" දන්නවා නේද? අර අයිස් ඒජ් ෆිල්ම් එකේ හිටපු අලියා. උන්ට කියන්නේ මැමත් ලා කියලනේ. ඉතින් මේ කියන ගුහාව බලන්න යන්න මටත් අවස්ථාවක් ආවා....ඉතින් මං හිතුවා ඒ ගැන විස්තර ටිකක් කිව්වොත් හොඳයි කියලා.

මේ ගුහාව පිහිටලා තියෙන්නේ සම්පුර්ණයෙන් ම පොළව යට. ඒකේ දිග හැතැප්ම 367 ක් ලු. ඉතින් හිතා ගන්නකො සයිස් එක. මේක හැදිලා තියෙන්නේ "හිරි ගල්" එහෙම නැත්නම් "ලයිම් ස්ටෝන්" වලින්. මේ රටේ ඔය හිරිගල් කියන ජාතිය බහුල යි නේ. ඒ නිසා මේ වගේ ගුහා ගොඩක් පිහිටලා තියනවා. ඇතුලට ගිහින් බැලුවම හිතා ගන්නත් බැහැ මෙහෙම නිර්මාණයක් කොහොම හැදුනද කියලා. ඒක හරියට පොළව යට පිහිටි ගංගා, කඳු, තැනිතලා, නිම්න වලින් සමන්විත වෙනමම ලෝකයක් වගේ.

 "ටොම් සෝයර්" පොත කියවල තියන අයට මතක ඇති නේද ටොම් සහ බෙකී අතරමං වෙච්ච ගුහාව ගැන. මෙන්න මේ වගේ ගුහාවක් ගැන තමයි ඒ පොතේ කියන්නේ. හපොයි..මේ ගුහාවේ අතරමං උනොත් ඉතින් දෙයියන්ගේම පිහිට තමයි. මොකද මේ ගුහාවේ තට්ටු 5 ක් තියනවා. යටම තට්ටුව ගඟක්.


පේනවා නේද වහලේ ඉඳං එල්ලෙන කූරු වගේ ඒවා. කාලාන්තරයක් තිස්සේ කැල්සියම් කාබනේට් දිය උන වතුර බින්දු වහලෙන් කාන්දු වෙද්දී තමයි මේවා නිර්මාණය වෙන්නේ. ඉතින් මේ බොහොමයක් ගුහා තවමත් සක්‍රීය යි. ඒවා තවමත් වර්ධනය වෙනවා. මේ වගේ ගුහාවක් ඇති වෙන්න හේතු හොයල බැලුවම මට හම්බ උනේ මෙන්න මේ විස්තර.

මේ රටේ පොළවේ ගොඩක් වෙලාවට මතුපිට පස් තට්ටුවට යටින් හිරි ගල් ස්ථර තියනවා. ඉතින් වැස්ස වැටෙන කොට වැහි වතුර පස් වලින් කාන්දු වෙලා මේ හිරිගල් ස්ථර අතරට යනවා. මේ වැහි වතුරේ තියන ආම්ලික ගතිය නිසා හිරිගල් දිය කරගෙන වතුර ටික පහලට බහිනවා. හිරි ගල් ස්ථර දිය උන තැන් වල ගුහා විදියට විශාල හිඩැස් හැදෙනවා. මෙතනට ගියොත් ඒ සංසිද්ධිය ලස්සනට බලා ගන්න පුළුවන්.  මේ පහළට බහින වතුර වලින් තමයි යටම තට්ටුවේදී ගංගාවක් හැදෙන්නේ.




ඉතින් මේ වගේ ගුහා ගවේෂණය කරන එක හරිම අපූරු වගේම ටිකක් භයානක වැඩක්. කොයි මොහොතේ ඔළුවට උඩින් ගල් පෙරලෙයිද කියන්න බැහැ. මොනවා උනත් ගුහාව ඇතුල නම් හරිම ලස්සනයි. කඳු, නිම්න, ගංගා, පුංචි දිය ඇලි, මහා ආගාධ මේ හැම දේම තිබුනා ඒකේ. ඇතුලේ දාල තිබුන ලයිට් නිවලා "තිත්ත කළුවර" කියන දේ අත් විඳින්න අවස්ථාවකුත් ලැබුනා අපිට.



නරඹන්නන්ගේ පහසුව සඳහා අත් වැටක් සහිත කෘතීම පාරවල් හදලා තිබුනා. නැත්නම් ඉතින් මේ පහලින් තියනවා වගේ අගාධෙකට වැටිලා තමයි නවතින්න වෙන්නේ. මේ පාරවල් හදපු මිනිස්සු කොච්චර දුකක් වින්දද කියලා හිතා ගන්න පුළුවන්.


මෙහෙම ඒවා ලංකාවේ තියනවද කියල නම් මම දන්නේ නැහැ. මම අහල නම් නැහැ. සමහර විට තියනවත් ඇති අපි දන්නේ නැති උනාට.
Related Posts Plugin for WordPress, Blogger...