Tuesday, February 14, 2017

අජරාමර පා සලකුණු

කලින් පෝස්ට් එක දාලා වැඩි කාලයක් ගියේ නැති හින්දා ආගිය කතා මොකටද කෙලින්ම කාරණේට බහින්නම් එහෙනම්.

මේ ඊයෙ පෙරේදා සයුරුත් එක්ක ඉස්කෝල කාලේ වෙච්ච සිද්ධි ගැන කතා කර කර ඉද්දි මතක් උනා මගේ ජීවිතේ අහගෙන තියන දරුණුම වාග් මාලාව අහගත්ත හැටි. ඉස්කෝල කාලේ කියලා කිව්වට ඔය සිද්ධියට අදාළ හොස්ටල් එක සහ හොස්ටල් එකේ යාළුවො ටික.



සමහරුනම් දන්නවා ඇති මම අවු 4 ක් විතරම ඉස්කෝලේ හොස්ටල් එකේ නැවතිලා හිටියා. අපේ තාත්තගේ රස්සාවේ හැටියට එහාට මෙහාට ට්‍රාන්ස්ෆර් එන හින්දා තමයි මට එහෙම ගෙදරින් පිට ඉඳන් ඉස්කෝලේ යන්න උනේ. ඔය අවුරුදු හතර ගැන ලියලනම් ඉවර කරන්න අමාරුයි. එච්චරට සිරා :D මට තාමත් මතකයි අම්මයි තාත්තයි මුලින්ම මාව එක්කගෙන ගිහින් හොස්ටල් එකට බාර දීපු හැටි. කොට්ටද මෙට්ටද මදුරු දැල්ද පිඟන්, කෝප්ප සූට් කේස්, කොටින්ම හැන්දක් පවා අරගෙන ගියා.

මම එතකොට 6 වසරේ. මම යද්දී මගේ වයසේ එකම ළමයෙක් වත් හොස්ටල් එකේ හිටියේ නෑ. එයාලා එන්නේ පස්සේ. එහෙම ඇවිත් අවුරුද්දක් විතර යද්දී තමයි මගේ අපාය සහාය මිත්‍රයෝ බවට පත් වෙන්නේ. ඉතින් එදා පළවෙනි දවසෙම එක එක මාදිලියේ අක්කලා ගොඩක අතරමං වෙච්ච මගේ ගැලවුම්කාරයා හැටියට එන්නේ පහ වසරේ නංගි කෙනෙක්. එයා තමයි හොස්ටල් එකේ හිටපු එකම නංගි. පුහ්, නංගි කිව්වට මෙයා ලොකු අම්මා වගේ තමයි හිටියේ. මට නෙට් එක ගැට ගහන හැටි ඉඳලා තේ එක හදන හැටි දක්වා ඔක්කොම කියලා දුන්නා.

ඔහොම ටික කලක් යද්දී ආවා ඔන්න හය වසරේ මගේ අනිත් සගයෝ ටික  smug. එයින් කීප දෙනෙක් පස්සේ අස් වෙලා ගිහින් අන්තිමට ඉතුරු උනේ හත් දෙනයි. ඒ තමයි අනෝ, නිශා, ආශා, චතූ, සමී සහ සදී. අහ් ඉතුරු එක්කෙනා මං හොඳේ. අපි හත් දෙනා තමයි අපේ මේට්‍රන් ගේ දඬුවම් වලට නිතරම භාජනේ වෙන්නේ. අනේ මන්දා මොන ග්‍රහයෙක් ලබලද මට එහෙම යාළුවොම සෙට් වෙන්නේ. ඉස්කෝලේ මම හිටපු පන්තියත් ආයේ අහන්න දෙයක් නෑ. හැමදාම ආලවක දමනය, නාලාගිරි දමනය වගේ දේවල් සිද්ධ වෙනවා.

ඉතිං ඔන්න හොස්ටල් එකේ අපි හැමෝගෙම ප්‍රියතම වෙලාව තමයි සෙල්ලම් කරන්න හම්බ වෙන හෝරාව. මුල කාලේ දුන්නේ විනාඩි 45 යි. පස්සේ නහයෙන් අඬලා ඒක දික් කරව ගත්තා කට්ටිය. ඒ වගේම අප්‍රියතම වෙලාවකුත් තිබුණා. බුදුන් වඳින වෙලාව. උස පිළිවෙලට පේළියක් හැදිලා පෝලිමට බෝධිය ගාවට ගිහින් ගාථා සීයක් විතර කියලා ආපහු පෝලිමට එන්න ඕනේ. හම්මෙ. හැබැයි වැස්ස දවසට බෝධිය ගාවට යන්න ඕන නෑ . ස්ටඩි රූම් එකට ගිහින් වඳින්නේ. එතකොට අර මල්, පහන්, හඳුන් කූරු, පැන් එහෙම පූජ කරන ගාථා කියන්න ඕනත් නැහැ. ඇයි ඉතින් එව්වා නැහැ නේ. මොනව උනත් අපි හරිම ප්‍රායෝගික උදවිය.

දැන් ඉතිං මං කිය කියා හිටියේ අපේ ප්‍රියතම වෙලාව සෙල්ලම් කරන වෙලාව කියලනේ. ඔය වෙලාවට ඉතින් සමහර දවසට හැමෝම එකතු වෙලා එල්ලේ, කල්ලි වගේ සෙල්ලමක් කරනවා. නැත්නම් තමන්ගේ ගැන්සියත් එක්ක වෙන මොනවා හරි එකක් කරනවා. ඒත් නැත්තම් කියව කියවා ඉස්කෝලේ පුරා ඇවිදිනවා. ඔන්න ඔය තුන් වෙනියට කිව්ව විදියේ දවසක තමයි මේක උනේ. මට මතක හැටියට අපි එතකොට හත වසරේ.

එදා හිටියේ අපි හතර දෙනයි. අනෝ, නිශා ආශා සහ මම. අපි හතර දෙනා මොනවද මන්දා ඕප කියන ගමන් හතර වටේ කරක් ගගහ හිටියේ. ඔන්න එක පාරටම අපි දැක්කා මහාර්ඝ වස්තුවක්. හප්පේ, මේ දැන් කිරි කිරියේ සිමෙන්ති ගාලා පිරි මැදපු ටැප් එකක්. ටැප් එකක් කිව්වට දන්නව නේද අර ඉස්කෝල වල තියන ටැප්? පොඩි සිමෙන්ති කොටුවක් එක්ක තියෙන්නේ. මෙන්න මේ වගේ.



පිට්ටනිය අයිනේ තියන අඹ ගහ යට ටැප් එක. ඕකේ සිමෙන්තිය කැඩිලා දිය සෙවෙල එහෙම බැඳිලා තමයි තිබුණේ. කවුරුහරි පින්වතෙක් මේ දැන් ඒක හදලා කපරාරු කරලා ගිහින්. හැමෝම දැකලා ඇති නේද ඔහොම තැන් වල තියාපු අඩි සලකුණු, හාට්ස් ඇතුලේ නම් එහෙම කොටලා තියනවා. අන්න ඒ වගේ එකක් කිරීමේ ආසාවාක් ඈත අතීතේ ඉඳලම මට තිබුණා. බලාගෙන යනකොට අනිත් තුන් දෙනාටත් එහෙම ආසාවක් තිබිලා. සහෘදයෝ කියන්නේ ඒකනේ.

අනෝ : අඩේ මෙන්න මේක දැන් හදල තියෙන්නේ.....

ආශා : ඔව්මයි...තාම වේලිලා නෑ 

සයූ : අපි මේකේ අඩි සලකුණක් තියමු 

අනෝ : එතකොට අපිට කවදහරි කියන්න පුළුවන් මේ අපේ අඩි කියලා

ඉතින් කට්ටියම වට වෙලා තිව්වේ නැද්ද ශ්‍රී පාද සලකුණු අටක් විතර 

සයූ : මේකේ දිනෙත් ලිව්වනම් හරි. නැත්තං ගතියක් නෑ 

ඔහොම කියලා දිනේ ලියන්න හැදුවා විතරයි අර කොටුවේ මුල්ලකින් කෑල්ලක් ගලවගෙන ගියපි. හයියෝ සංසාරේ. ඕක වෙලා තප්පර පහක් ගියේ නෑ අපිට ඇහුනා නිකන් අහස ගුගුරන හඬක්. කට්ටියම අන්ද මන්ද වෙලා වටපිට බලද්දි තමයි අපි ශබ්ධ ප්‍රභවය හරියටම දැක්කේ. කිරි අප්පට පිස්සු බල්ලෝ පැනපි කිව්වලු. ඉස්කෝලේ වැඩට හිටපු "සුමනසේන" පිට්ටනිය එහා කෙළවරේ ඉඳන් බෙරිහන් දෙනවා. 

"අඩෝව්...ඔය කෙල්ලෝ ඔතන මොකද කරන්නේ? ඕක විනාස කරලා තිබුනොත් බලා ගෙනයි. හිටු තොපිට...කොටු කොටු කොටු තරු තරු කොටු තරු.....වරහන, හර්ෂයාදී ලකුණ"

හපොයි දෙයියනේ මේ මිනිහා අතේ තිබුණ කැත්තත් අමෝරා ගෙන පිට්ටනිය හරහා දුවගෙන එනවා. අපිත් ඇරියේ නෑ. දිව්වා...විරුද්ධ දිසාවට. ඒ කියන්නේ පන්ති කාමර පේලි තිබ්බ දිසාවට. පන්ති කාමර වල කොට බිත්ති උඩින් පැන පැන ගිහින් හෝල් කීපයක් ම පහු කරද්දී මනුස්සයට අපිව මග ඇරුණා. එහෙම වෙච්ච එක හොඳට ගියා. එහෙම නොවුනානම් එක්කෝ අපි,  නැත්තන් ඒත් අපි තමයි ඉතින් .  

පස්ස නොබලා හොස්ටල් එකටම දුවපු අපි දැන් බයේ ගැහෙනවා. ජිවිත අනතුර පහ උනාට අපි දන්නවනේ ඔය මනුස්සයා ඕක මේට්‍රන්ට කියන බව. හැබැයි හොඳටම ෂුවර් එයා අපිව අඳුරන්නේ නම් නෑ. පොතේ හැටියට නම් වෙන්නේ ඕක කිව්වට පස්සේ අදාළ උදවිය මෙට්‍රන්ම හොයා ගන්න එක thinking. මුලින්ම සැකේට භාජනේ වෙන්නේ මේ අපි තමයි ඉතින් ඒකෙ ආය දෙකක් නෑ. 

ඇත්තම කිව්වොත් ඒක කඩල දාන අදහසක් නම් අපේ තුන් හිතකවත් තිබ්බේ නෑ. අපිට තිබුනේ අපේ අඩි සලකුණු සාඩම්බරෙන් පස්සේ කාලෙක කාට හරි පෙන්නීමේ අහිංසක ආසාව විතරමයි. 

ඉතින් දහ අතේ කල්පනා කරලා අපි හිතුවා සුමනසේන ඇවිත් ඕක දෙක කරලා කියන්න කලින් වෙන දෙයක් උනාවේ කියලා අපිම ඒක සැර බාල කරලා කියල දානවා කියලා. හිතුව ව‍ගේම එහෙම කියපු එක හොඳට ගියා. අපි විසින්ම අපි කරපු වැරැද්ද කිව්වම මෙට්‍රන්ටත් ඉතින් සතුටුයි නේ. කොටින්ම වැරැද්දට බැන්නෙවත් නෑ. "සුමනසේන මහ අණක් ගුණක් නැති මිනිහා, මීට පස්සේ එහෙම වැඩ කරන්න එපා" කියලා විතරයි කිව්වේ praying. පස්සේ සුමනසේන ඇවිල්ලා ඕක කියලත් තිබුනා. මේට්‍රන් ඉතින් මනුස්සයගෙ තරහ නිවෙන්න කතා කරලා යවලා තිබුනා. 

අන්න දැක්කද වැරැද්ද කරලත් අවුලක් නොවී ගැලවෙන හැටි. ඕක පොඩි එවුන්ට විතරක් නෙමේ. මේ ලොකු උන්දලටත් අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි. 

වාර විභාගේ අන්තිමයිද? ලකුණු එන්න කලින් ගෙදරට කියල තියන්න. 
තමන් පෙම්වතා/වතිය ත් එක්ක අත්වැල් පටලා ගෙන ඉන්න හැටි පොඩි නැන්දා දැක්කද? නැන්දා කියන්න කලින් තමන්ම ගිහින් අම්මට කියන්න. 
තමන් ගේ බිරිඳ/සැමියා නොදැන මොකක් හරි මගෝඩි වැඩක් කරාද? යාළුවො කියන්න  කලින් ඔන්න ඔහේ කියල දාන්න.    

එතකොට අර පිටින් ආරන්චි වෙන උද්වේගකර අවස්ථාව එද්දී දෙමව්පියන්ගේ/සහ කරුවාගේ මානසිකත්වය ඒකට සූදානම් වෙලයි තියෙන්නේ. බැනුම් වලින් බාගයක්වත් අඩු වෙනවා අනිවාර්යෙන්. හිහ්. ඒ විතරක් නෙමේ පිට කෙනෙක් කියනකොට එක හත කරලා කියන සිද්ධිය තමන්ම කියද්දී සැර බාගෙට අඩු කරලා කියන්න පුළුවන්. පස්සේ කවුරුහරි ඕක කොහොම කිව්වත් අහන කෙනාගේ හිතේ ඉතුරු වෙන්නේ මුලින්ම ඇහිච්ච අර සැර බාල වර්ෂන් එක. අනික වෙන කවුරුත් කියන්න කලින් තමන් වැරැද්දක් කරා කියලා අදාළ කෙනාම තමන් ඉස්සරහා පිළිගන්නවට ගොඩක් දෙනා කැමතී. එයින් අම්මාට/තාත්තාට/සහකරුට ඇති වෙන මානසික සන්තෘප්තිය නිසා ගොඩක් වෙලාවට දඬුවම් දෙන්න පෙළඹෙන්නේ නැහැ. 

ඉතින් මේ වැලන්ටයින් දවසේ මනෝ විද්‍යා පාඩම අසා සිටි ඔබ සැමට ස්තුතියි batting eyelashes

ප. ලි. අපේ පා සලකුණු සිහිනය හරි ගියේ නෑ. සුමනසේන ආයෙත් පණ කඩාගෙන ඒක පිළිසකර කරලා තිබුණා.  

17 comments:

  1. ලමයි නරක් කරන බ්ලොග් එකක් අන්පලෝකරන්ඩ ඕන

    ReplyDelete
    Replies
    1. මේක ළමයින්ට පෙන්නන්න එපා මෙයා

      Delete
  2. ඉතිහාස පාඩම් වලට වඩා වටිනා ප්‍රයෝගික පාඩමක් කියා දුන්නාට සයුරි ටීචර්ට අපේ මෙව්වා එක.

    ReplyDelete
    Replies
    1. හෙහෙ...කොරලම බලන්ටකෝ... :)

      Delete
  3. ඔය සැර බාල කරන්න මෙහෙමත් පුළුවන්..

    දුව ( වයස 16 යි ) : අම්මා මට ළමයෙක් හම්බෙන්න ඉන්නේ...

    මව : ඈ බොල කො‍ටු තරු ඉරි ඉලක්කම් බැ....යේ ‍තෝ මොන කො‍ටු තරුවක ගිහින්ද ඔය අපරාදේ කරගත්තේ ? හයියෝ ‍තෝ අපේ මූණෙ දැලි ගෑවා...අතරින් වරුවක් කඳූලු පෙරීම් හා හො‍ටු සීරීම්...

    ටිකක් වෙලා යන්න ගිහින් දුව කියනවා මෙන්න මෙහෙම...

    දුව : අම්මේ මම අම්මට බොරුවක් කිව්වේ කියලා...

    ඔන්න එතකොට අම්මගේ ඉහේ මලක් පිපෙනවා.. ආන්න එතකොට දුව කියනවා

    දුව : අම්මේ මම මෙදාපාර පන්තියේ අන්තිමයා.. ඒ වුනාට ඒක අරෙහෙම වෙන එකට වැඩිය කොච්චර හොඳද නේද් අම්මේ ?

    හිතට දෙනුනු සහනය හින්ද අම්මා ඩුව අන්තිමයා නෙමේ ඉස්කෝලෙන් අස්කලා කිව්වත් එච්චර ගනන් ගන්නෑ.. ආයෙ කිරි ගහට ඇන්නා වගේ අත්දු‍ටුවයි සත්තයි.. ඕන්නම් කරලා බලන්න...

    ReplyDelete
    Replies
    1. හිහ්හ්...ඔව් ඔව් මෙහෙමත් පුළුවන්. හැබැයි අර ඉරි කොටු ටිකක් එක්ක පොල්ලකින් ඔලුවට පත බෑවෙයිද කියලත් ෂුවර් නෑ, ප්ලෑන් එකේ දෙවනි බාගෙට එන්න කලින්ම...මොනා උනත් ට්‍රයි කරලා බැලුවට වරදක් නෑ

      Delete
  4. සයුරි ඉස්කෝලේ ගිය කෙනෙක් විත්තිය අදයි දැනගත්තේ :D දිගටම ලියන්න කම්මැලිද ?

    ReplyDelete
    Replies
    1. :D මගෙ වැඩ එච්චරටම අවුල්ද බොලේ. දැන්නම් හිතාගත්තා මාසෙකට එකක්වත් ලියන්න.

      Delete
  5. එක්කෝ මට සයුරිගේ පොස්ට් එක මග අරුණා. ලොකු කාලෙකට පස්සේ තමයි සයුරිගේ පොස්ට් එකක් දැක්කේ. හරි දඟකාරී කියන පොත මතක් වුණා පොත් ප්‍රදර්ශනෙන් අරගෙන කියෙව්වේ. මේ වගේ සීන් තමයි තියෙන්නේ. බොහොමයක් බළල්ලු තමයි ඔය වැඩේට දක්ෂ. ඇවිද්ද පය සලකුණ වගේ එකක් තියෙනවා දැකලයි බලන්න ආවේ. :)

    ReplyDelete
    Replies
    1. හප්පේ..මම බැලුවා මේ දිල්රුක් කන්නන්ගර කියන්නේ කවුද කියලා. නම වෙනස් කොරගෙන නේ. ඔව් අප්පා මේ සෑහෙන කාලෙකින් තමයි ආවේ. මට තමයි ගොඩක් දේවල් මග ඇරිලා තියෙන්නේ. ඔව් ඔව් බළල්ලු කොට්ට කකුල් වලින් යන හැම තැනම සටහන් තියනවනේ

      Delete
  6. මගෙත් වැරැද්දේ සැර බාලකරගැනීමේ ක්‍රමය මේකම තමයි

    ReplyDelete
  7. එච්චරම පෝරිසාද සෙට් එකක් නම් කතා ඇති බර තොගයක්.

    ReplyDelete
    Replies
    1. මගෙනම් අතිතාවර්ජනේ කියන එක එච්චර හරි මදිද කොහෙද. කොනක් මතක් උනොත් තමයි අනිත් ඔක්කොම මතක් වෙලා එන්නේ :) කාලෙකින් දැක්කේ නෙලුම් විලේ අයිතිකාරි...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...