Thursday, June 15, 2017

ලංකාවේ සිංහල ටෙලි

කට්ටිය මොනා කිව්වත් ලංකාවේ ගොඩක් හොඳ සිංහල ටෙලි බිහි වෙලා තියනවා කියන එක තමයි මගේ අදහස. එදා මෙදා තුර අපි කොච්චර ටෙලි නාට්‍ය ගානක් බලලා ඇත්ද? හොඳ වගේම වැඩකට නැති එව්වත්.




මට මතක ඇති කාලෙක බලපු මුල්ම ටෙලිය තමා "දූ දරුවෝ". නාලන් මෙන්ඩිස් ගේ තවත් එක පවුලේ කතාවක්. ඇච්චා කාලේ බලපු හින්දා ඒකේ කතාව ගැන ලොකුවට මතකයක් නැතත් සුදු සීයා (හෙන්රි ජයසේන), ආච්චි (අයිරාංගනී සේරසිංහ), කලිසම් අඳින දීප්ති(නිල්මිණි තෙන්නකෝන්), ඩයස් (එච්. ඒ. පෙරේරා) එහෙම තවමත් මතක තියන චරිත. ඒ වගේම ඕකේ සමහර දෙබස් එහෙමත් මට මතකයි.

නන්දනී (චාන්දනී සෙනෙවිරත්න)- "මේක හරිම අසාධාරණයි. මම පවුලේ බාලයා. මම පිරිමියෙක් උනානම් මේ ගේ අයිති වෙන්නේ මට. මම ගෑණියෙක් උන නිසා ඒක තුනට බෙදුනා...මේක හරි අසාධාරණයක්නෙ"

පුන්සිරි (ජයලත් මනෝරත්න) - "දැන් ඉතින් ඔයා කොච්චර ගිරිය පුප්පගෙන කෑ ගැහුවත්, ඔයා පිරිමියෙක් වෙන්නේ නෑ නෙ නන්දනී..."





ඊ ලඟට "කන්දේ ගෙදර". මේකටනම් අදටත් මම ආසයි. හරිම ලස්සනට නිර්ව්‍යාජ ගැමි කම කැටි කර ගත්තු ටෙලියක්.  බාල මහත්තයා (රෝහණ බැද්දගේ), හාමිනේ (රම්‍යා වනිගසේකර) වගේම අල්මේදා (සිරිල් වික්‍රමගේ) ගේ රඟපෑම් හරිම ඉහළයි. මේ කතාව පුරාම ගම නගරය, පරම්පරා ගැටුම වගේ දේවල් සරලව වගේම ලස්සනට පෙන්නලා දෙනවා. ඒ වගේම පසුබිම් සංගීතයත් හරිම මිහිරියි. මෙතනින් කන්දේ ගෙදර බලන්න පුළුවන්, කැමති කෙනෙක්ට.



මේ වගේම මට මතක තියන තවත් කතාවක් තමා "හිරුට මුවාවෙන්". ගොඩක් අය ඒකට  කිව්වේ ඉඳි ආප්ප කතාව කියලා. මම හිතන්නේ කමල් අද්දරආරච්චි ගේ, චම්පා ශ්‍රියානි ගේ රඟපෑම් මුලින්ම දැක්කේ මේකෙන්. මේකේ තවත් අමතක නොවෙන චරිත දෙකක් තමා ලොකු අප්පච්චි (ජේ. එච්. ජයවර්ධන) සහ ලොකු අම්මා (රත්නා සුමනපාල). අර "ජෑ..ක්ස...න් ජෑ..ක්ස...න් ජෑ..ක්ස...න්" කියන්නේ. කට්ටියද මතක ඇති නේද "චකබ්ලාස්" එහෙම. ඒ ගේම් එකට කියන ඇත්ත නම සොලිටෙයාර් මම හිතන්නේ. ඒත් ලංකාවේ අපිනම් ඒකට කියන්නේ චකබ්ලාස් කියලම තමයි.



"පලිඟු මැණිකේ" ගැනත් කතා නොකරම බැහැ. මම දන්නා හැටියට මේක තමයි ජැක්සන් ඇන්තනිගේත් (විජේපාල ගේ චරිතය) ශ්‍රියන්ත මෙන්ඩිස්ගේත් (සූරසේන ගේ චරිතය) මුල්ම ටෙලි නාට්‍යය. නගරයේ සංකර සිරිත් ගමට ගේන්නේ මේ සූරසේන. වෙස් මූණු කතාව කියලත් මේක හඳුන්වනවා. මැණිකේ අත්තනායක එහෙමත් රඟපානවා මේකේ. ඕං මෙතන තියනවා පලිඟු මැණිකේ බලන්න ඕනෙනම්.



මෙන්න තවත් සුපිරි ටෙලියක්. ජයන්ත චන්ද්‍රසිරි ගේ "දඬුබස්නාමානය".  එතුමගේ මේ අමුතු විදිහේ ටෙලි නාට්‍ය වලට මම ගොඩක් කැමතියි. තව තියනවා ඉස්සරහට. ඔය දඬුබස්නාමානය කියන එකේ තේරුම, දුන්නකින් ඊ තලයක් විද්දහම ඒ ඊය වැටෙන්න පුළුවන් සීමාව කියන එක මම කොහේදි  හරි කියෙව්වා. මේක මුලින්ම බලද්දී නම් මට මෙලෝ මංගල්ලයක් තේරුණේ නෑ. ඒ කාලේ අපි මේකේ බැලුවේ අංගම්පොර ටික විතරද කොහෙද. හරිම ජවයක් තිබුණ කතාවක්. සේනක විජේසිංහ එහෙම ජනප්‍රිය උනා මේකෙන්. දමිතා අබේරත්න එහෙම කෙට්ටු කාලේ බලා ගන්න පුළුවන්. මේකේ ඉන්න තවත් මම කැමතිම නළුවෙක් තමයි "බුද්ධදාස විතානාච්චි".  හොඳ පෞරුෂයක් තියන දක්‍ෂ නළුවෙක්. කැමතිනම් බලන්න දඬුබස්නාමානය මෙතනින්.




හප්පේ මේකනම් මතක් වෙනකොටත් බය හිතෙනවා. "ගිරය". ඉස්සර මම හරි බයයි ලුසිය හාමිට (ට්‍රිලිශියා ගුණවර්ධන). වසන්ති චතුරානි මනමාලියක් වෙලා එන වලව්වේ වැඩ කරන කෙනෙක් තමයි ලුසිය හාමි. ඒත් එයාට වලව්වේ කුමාරිහාමි කෙනෙක්ගේ තරමට බලයක් තියනවා. ඒකත් මුලින් බලද්දී වැඩිය තේරුනේ නෑ. පස්සේ තව වතාවක් බැලුවා. 



පොඩි ළමයි හැටියට අමතක නොවෙන තවත් ටෙලියක් තමයි "අඹ යාළුවෝ". සුදු අප්පෝ, නපුරු මයිත්‍රී වගේම අත්තම්මත් (රූබි ද මැල්) තවම මතකයි. අනුලා රණවීර, බුද්ධි වික්‍රම එහෙමත් රඟපෑවා. ඒ වගේම තේමා ගීතය වෙච්චි "කටු අකුලේ මල් ඇහැරේ" ගීතයත් "පහන තියා බුදු සාදුට" ගීතයත් තවමත් අපේ හිත් වල තියන ගීත. අඹ යහළුවෝ බලන්න ඕනනම් මෙන්න.




මේ "එක ගෙයි කුරුල්ලෝ" රූප රාමුවක්. මානෙල් ජයසේන, විජේරත්න වරකාගොඩ එහෙම රඟ පෑවා. එක කූඩුවේ හැදෙන කුරුළු පැටව් අන්තිමට අම්මා තාත්තා තනි කරලා ඉගිලිලා යනවා. කතාවේ යන්නෙත් ඒ වගේ තේමාවක්. මෙතන තියෙනවා එකගෙයි කුරුල්ලෝ.



"වෙද හාමිනේ" හැමෝටම මතක ඇති.

සඳ කැන් දහරින් දෙනුවන් තෙමිලා - දෙනුවන් කැලුමින් පියුමන් සැලිලා 

රෙබෙකා නිර්මලී ප්‍රධාන චරිතය කලේ.


ඔය අතරට , "මැණික් නදිය ගලා බසී", "හුමාලය", "රතුරෝස", "ගමන", "කඩවර"  එහෙමත් තිබුනා. එතකොට නාලන් මෙන්ඩිස්ගේම දූ දරුවෝ ස්ටයිල් එකේ තවත් කතා තිබුනා "නෑදෑයෝ", "සූරිය දරුවෝ" එහෙම. චතුරිකා පීරිස් කරලියට ආවේ සූරිය දරුවෝ එකෙන්, මට මතක විදිහට. ඡන්න පෙරේරා, රොෂාන් පිලපිටිය  එහෙමත් හිටියා.




මී ලඟට මට කියන්නම ඕන ටෙලියක් තමා "අකාල සන්ධ්‍යා". ජයන්ත චන්ද්‍රසිරි ගේ තවත් ඇති විශිෂ්ඨ නිර්මාණයක්. කැමැත්තේ අනුපිළිවෙල ට ලිස්ට් එක හැදුවොත් මම අංක එක මේකට දෙනවා. අංගම් පොර, කාල තරණය වගේ දේවල් සම්මිශ්‍රණය කරලා තිතට, නූලට හිතලා හදපු කතාවක්. හරියට ස්ටීවන් ස්පිල්බර්ග් ගේ ෆිල්ම් එකක් වගේ. ජැක්සන් ඇන්තනි, සබීතා පෙරේරා ප්‍රධාන චරිත කළා. මේක විකාශය වෙච්ච දවස්වල මට බලන්න බැරි උනා. පස්සේ ලංකාවෙන් ආවට පස්සේ මේක හොයාගන්න දහ අතේ ට්‍රයි කරා. අන්තිමට ටොරානා එකේ ලොක්කටම ඊ මේල් කොරලා තමයි වැඩේ කරගත්තේ. පස්සේ බලද්දී කොටස් කීපයක් යූ ටියුබ් එකෙත් තිබුනා.  බලලා නැත්නම් අදම බලන්න. සයුරි රෙකමන්ඩේෂන්ස් :)





"සතර දෙනෙක් සෙන්පතියෝ", ඒත් ජයන්ත චන්ද්‍රසිරි ගේ. පුනරුප්පත්තිය තේමා කරගත් කතාවක්. යශෝධා විමලධර්ම, මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස්, රොෂාන් පිලපිටිය තමා සෙන්පතියෝ හතර දෙනා. ඒකත් ආසාවෙන් බලන්න පුළුවන් කතාවක්.




"රම්‍ය සුරම්‍ය", එක ළඟ ගෙවල් දෙකේ ජිවත් වෙන පවුල් දෙකක ගැටීම වගේම ආදර අන්දරයකුත් ගලාගෙන යනවා. සුජානි මෙනකා, බිමල් ජයකොඩි, සුමින්ද සිරිසේන එහෙම ප්‍රධාන චරිත කළේ.



මම තවත් ගොඩක් ආසාවෙන් බලපු කතාවක් "අරුංගල්". උමාලි තිලකරත්න අන්ධ දැරියක් විදිහට ඉන්නේ. කතාව ගෙතෙන්නේ ඇයගේ මල්ලි "චන්ද්‍රරත්න" වටා. හරිම ලස්සන වයලින් වාදන ටිකක් අහන්නත් පුළුවන්.



ඊ ලඟට "අකඩවාරිය". මේකත් අංගම් පොර කතාවක් තමා. අනේ මන්දා මම මෙච්චර අංගම් පොර වලට කැමති මොකද කියලා. පුළුවන් පොරේකුත් නෑ. මොනවා උනත් කතාවේ අවසානේ නම් හිතට ඇල්ලුවේ නෑ. ඒත් මදේ නම් ඉතා ඉහළයි. තාරුකා වන්නිආරච්ච්චි, උද්දික ප්‍රේමරත්න නියමෙට රඟපානවා. නොකියම බෑ පසුබිම් සංගීතය ගැනනම්. හරිම ලස්සනයි. මෙන්න තියනවා බලන්න ඕනෙනම් අකඩවාරිය.






ලඟදි බලපු තවත් හිතට දැනුණු කතාවක් තමා "සුළඟ මත මොහොතක්". හිතට දැනුනා කිව්වේ බරටම දැනුණා. සාරංග දිසාසේකර, තිසුරි යුවනිකා ප්‍රධාන චරිත කරන්නේ. ජීවිතය කියන්නේ ඇත්තටම සුළඟ මත මොහොතක් වගේ. ආදරය, දුක, සතුට  හැමදේම අපිට ඒ මොහොතට දැනෙන දේ. සංසාරය ඊට වඩා කොයි තරම් ගැඹුරුද? කතාව අවසාන වෙන්නේ මේ උපුටා ගැනීමත් එක්ක.

"තව මොහොතකින්, සුළග මත මොහොතක් තුළ ලබන විවේක සුවයකි. ඉක්බිති තවත් ගැහැණියක විසින් මා බිහි කරනු ඇත."

මේ තියෙන්නේ බලනවානම්, සුළඟ මත මොහොතක්.

ඉතින් ඒ ඇරෙන්න මේ දවස්වල දෙවෙනි ඉනිම බලනවා. ලඟදි ගියපු "ප්‍රාණ" කියන කතාවත් බැලුවා. ඒකත් භවය සහ කර්මය ගැන කතාවක්. හිමාලි සයුරංගි, නයනතාරා එහෙම හිටියේ.

ලිස්ට් එක දිග වැඩිදත් මන්දා. මොනවා උනත් මට කියන්න ඕනේ ඉස්සර වගේම තවමත් ඉඳලා හිටලා හරි හොඳ ටෙලි නාට්‍ය බිහි වෙනවා කියන එක.

ඔයාලටත් තවත් මතක් වෙන නාට්‍ය කමෙන්ට් එකකින් කියන්න.


85 comments:

  1. මේකට එකතුකරන්නද තව ටිකක්?

    දුන්හිඳ අද්දර
    දියකැට පහන
    දෙවැනි මනාලි
    කටු ඉඹුල
    ඇල්ල ළඟ වලව්ව
    දළ රළ පෙළ
    අප්පච්චි
    චෙස්
    ඇබෑර්තු ඇත
    පිටගම්කාරයෝ
    කඩවර
    සබඳ පබිලිස්
    යාය අට
    ඉරට හඬන මල්
    නිදිකුම්බා මල්
    අල්ලපු ගෙදර
    අසල්වැසියෝ
    බෝගල සුවන්දිරිස්
    ඉටිපහන්
    දියසුලිය
    වනවදුලේ වසන්තය
    අකරදාරුව
    අවරගිර ( විකාශය අත්හිටෙව්ව මම හිතන්නේ)
    ඔක්සිජන්
    ගමන
    සඳගලතැන්න


    තව තියෙනවා....

    ReplyDelete
    Replies
    1. තැන්කිවු ලිඛිතා. සබඳ පබිලිස් කිව්වම මතක් උනේ ඊට කලින් ආපු "සකිසඳ එළියස්". මනෝරත්න හිටපු එක. ගමන එකේ නේද අර "ආදර සීනුව පෙම් ලොව දොර ළඟ..." සිංදුව තියෙන්නේ? මම අහල නැති ඒවත් මේ ලිස්ට් එකේ තියනවා.

      Delete
    2. ලිඛිතා, මම ටික දවසක ඉඳන් බ්ලොග් එකක් තියද කියලා හොයන්න ට්‍රයි කරා නෑ. එහෙම එකක් නැද්ද? ප්‍රොෆයිල් එකට ගියාට නැහැ නේ

      Delete
    3. ලිඛිත ටත් එකක්තියේ
      කඩදාසි කොලේ කියල.
      :-D :-D :-D
      දියකැට පහණ
      සඳගල තැන්න
      ඒම පට්ටම කතා

      Delete
    4. adding more...
      පුංචි පැටවූ -

      මම ආසම කතාවක්. ( බෑග් පිත්ත, කැවුතු වහල්ල.. හි හි තව හොඳ වචන සෙට් එකක් තිබ්බා)

      Delete
    5. රොමාගේ වාසනාව - අමතක උනානේ

      Delete
  2. රැජින හරි රැජන හරි කියලා එකක් තිබුනා පිටසක්වල සම්බන්ධ කතාවක්. පබෝදා සංදීපනීද කොහෙද හිටියේ. ඇල්ල ලග වලව්ව ආසාවෙන් බලපු වෙනස්ම කතාවක්. සඳගලතැන්නත් ලස්සන කතාවක්.

    ReplyDelete
    Replies
    1. රැජන රැජන. ඒකත් ජයන්ත චන්ද්‍රසිරි ගේ. සිරා කතාවක්. ඇල්ල ළඟ වලව්වත් මේ ලඟදි යූ ටියුබ් එකෙන් බැලුවා.

      Delete
    2. ඇල්ල ළග වලව්වකියන්නෙ අර නදීශා ඉන්න හොල්මං කතාවද
      ජයලත්මනෝරත්න එහෙම ඉන්නෙ

      Delete
    3. //ඇල්ල ළග වලව්වකියන්නෙ අර නදීශා ඉන්න හොල්මං කතාවද
      ජයලත්මනෝරත්න එහෙම ඉන්නෙ/

      නෑ.. මේකේ හිටියේ කමල් අද්දර ආරච්ච් මතක විදියට. හුඟක් පරණයි මම හිතන්නේ. මමත් බැලුවේ පස්සේ.

      හොල්මන් වගේ හොල්මන් නැති කතාවක්.

      Delete
    4. ඇල්ල ලග වලව්වේ හිටියේ ජැක්සන් ඇන්තනි. ලාදුරු සීන් එකක් තියෙන්නේ. මමත් ලඟදි බැලුවේ. මේ තියෙන්නේ https://www.youtube.com/watch?v=-neJXsNGZAw

      Delete
  3. ලිඛිතා කියලා තියෙන කඩවර නාට්‍යත් උදයකාන්තගේ "දිය සුළිය" නාට්‍යත් මම කැමති ටෙලි නාට්‍ය දෙකක්.
    දැන් නම් නාට්‍ය එකක්වත් බලන්නේ නැහැ.කම්මැලි වෙලාවට "ආටක නාටක"බලලා.මමම පොඩ්ඩක් කිතිකවා ගන්නවා.

    ReplyDelete
    Replies
    1. ම්ම් දිය සුලිය මටත් මතකයි. නඩුවක් එහෙමත් යනවා නේද ඒකෙ. හප්පා දැන් කාලේ හොඳ කොමඩියක් හොයා ගන්න එකනම් ලේසි නැහැ.

      Delete
    2. දියසුලිය හැදුවේ 'දියසුළිකට පසු' කියලා පොතකින්. නිල්මිණි තෙන්නකෝන් , පාලිත, ශ්‍රියන්ත එහෙම හිටියේ.

      Delete
    3. ලිඛිතා,
      ඔය පොත හොයා ගන්න විදියක් නැද්ද ? ප්‍රකාශකය කවුද එහෙම දන්නේ නැතිද ?

      Delete
    4. ස්තුතියි ලිඛිතා මේ පොත හොයා ගන්න බලන්න ඕනේ.

      Delete
  4. ඔය සයුරි මුලින්ම කියපු කතා ටිකෙන් වෙදහාමිනේ ළඟට එනකන් ඒවා ඔක්කොම මම බලල තියෙනව. ඉන්පස්සෙ ටිකේ නම් රතුරෝස, නෑදෑයො, අකාල සන්ධ්‍යා විතරයි බලල තියෙන්නෙ. අවුරුදු ගානකට කලින් ළමා වයසෙදි බලපු නිසා සමහර කතා ගැන නම් වැඩිය මතක නෑ.

    සත්පුර වැසියො (නම මතක විදියට) ඔය දූදරුවො පෙරහැරේම කතාවක් නේද? ශ්‍රිනාත් මද්දුමගේ වදකාර පුතෙක්ට ඉන්නෙ, අර ඇඩ් එකකත් යන්නෙ ‘‘පප්පා කතා කරන්නෙපා, සල්ලි දෙනකන් මම බහින්නෙ නෑ‘‘ කියල. ඒ දවස්වල ඉරිදා රෑ අටහමාර රෙජිස්ටර් වෙලා තිබුනෙ ඔය කතාටිකට.

    ලිඛිතා කියපු ලිස්ට් එකෙත් කීපයක් බලල තියෙනවා. කඩුල්ල, දඩබිම (නම මතක හැටියට-පිස්සු පොඩි ළමයෙක් හිටියා වලව්වක කාමරයක ඉන්න-තව තුවක්කුවක් අරන් ඇවිදින හාමු කෙනෙකුත් හිටියා), ගම්පෙරළිය, මඩොල්දූව, සුර අසුර, කීටයා වගේ තව කතාත් තිබුන.

    රූපවාහිනියෙ ගිය හඬකවපු මල්ගුඩිදවස නම් මම ආශාවෙන් බැලුවා. උපසිරැසි එක්ක ගිය රොබින්හුඩ්, නයිට් රයිඩර් වගේ කතාත් වැරැද්දුවෙ නෑ. ටයි මාමගෙ වැඩ අපේ ළමා කාලෙ තවත් ලස්සන කරා කිව්වොත් හරි.

    සිරසෙ හඬකවල පෙන්වපු ශාන්ති වෙන්න ඕන ඔය නූතන මෙගාටෙලිවල මුලම එක. මුල් කාලෙ ශාන්ති ටිකක් බැලුව මතකයි. පස්සෙ ඒක එපා...ම උනා.

    දැන් නම් යන කතා මොනවද කියලවත් දන්නෙ නෑ, ටීවී බැලිල්ලක් නැතිම නිසා.

    ReplyDelete
    Replies
    1. සත්පුර වැසියෝ මට අමතක වෙලා නේ තිබුනේ. ඒකෙ නේද අර යශෝධා "අමන්දා" හරි "අහිංසා" හරි විදිහට හිටියේ. පස්සේ ඇඩ් එකකුත් ආවේ "අහිංසා ඔයා?" කියලා :)

      කීටයා මමත් බැලුවා. පාලිත සිල්වා කොල්ලා කාලේ නේද. අප්පා..රොබින් හුඩ් වගේ සීරිස් ගැනනම් වෙනම ලියන්නවත් වෙයි. ඒකෙත් හෙන ලිස්ට් එකක් තියනවනේ. මම ශාන්ති අන්තිම ටික බලල තියනවා අම්මලා බලද්දී :D

      Delete
    2. මම දුදරුවෝ ඇතුළු ඒ සීරිස් එකේ එකම කතාවකටවත් කැමති නැහැ.

      Delete
  5. හොඳ මාතෘකාවක් ඇදලා ගත්තේ...

    බලලා නැත්නම් මේවත් බලන්න (සෙන් රෙකමන්ඩේෂන්ස් :D)

    තෙත් සහ වියලි
    ජීවිතයට ඉඩදෙන්න

    සාමාන්‍ය තේමාවන්ගෙන් මිදුනු අමුතුම කතා දෙකක්..

    දැන් ආයෙත් පරණ ටෙලි යනවා රූපවාහිනියේ හැමදාම රෑ නවයට. මේ දවස්වල අඹ යාලුවෝ...

    දෙවෙනි ඉනිම බලන්න ගත්තා කවුදෝ රෙකමන්ඩ කරලා තිබුනු නිසා.. මෙලෝ රහක් නැති එකම ජාතියෙ වට්ටෝරු කතාවක්. හැබැයි දැන් බලන්න ගත්තු නිසා බලනවා අවසානෙට මොකද වෙන්නෙ කියන කුතුහලය නිසා.. හැබැයි ඒකෙ සිංදු ටිකනම් පට්ට..අනිත් එක, හිමාලි සයුරංගි, ධර්මප්‍රිය ඩයස් ගේ ඇක්ටින් බොහොම ඉහල මට්ටමේ තියනවා..

    ReplyDelete
    Replies
    1. හහා..බලමුකෝ එහෙනම් සෙන් රෙකමන්ඩේෂන් ටිකත් :) ඇත්තටම ඔය දෙකම මම බලලා නෑ. හොයාගන්න ඕනේ.

      ඒක තමයි එහෙනම් පරණ ටෙලි යූ ටියුබ් එකේ එහෙමත් කල එලි බැහැල තියෙන්නේ. දෙවැනි ඉනිම බලන්න මටත් ප්‍රධානම හේතුවක් තමයි ඒකෙ සංගීත අධ්‍යක්ෂණය. සාමාන්යෙන් මට කතාවක් හිතට අල්ලන්න ඒකෙ සංගීතයත් සෑහෙන බලපානවා.

      Delete
    2. දෙවැනි ඉනිමේ ඉන්න ඉස්කෝලේ ළමයි ටික දැක්කහම බඩ යනවනේ. රඟපෑම අන්තිමයි. මට නම් බලාගෙන ඉන්න ලැජ්ජයි. හිමාලිගේ නම් රංගනය හොඳයි. මම නම් මලාට බලන්නේ නැහැ කොටස් දෙකකට වඩා.

      මටත් සින්දුව නෙවෙයි, සංගීතය වැදගත්. දඬුබස්නාමානයේ සහ වෙදහාමිනේ ආරම්භයේදී යන ගීත පපුව කඩාගෙන යනවා.

      Delete
    3. උන් අවුරුදු දහයක් ෆේල් වෙච්ච එව්වො..අප්පිරියම හිතෙන්නෙ බිමලුයි, හිමාලියි ඉස්කෝලෙ යන ළමයින්ගෙ චරිත කරනකොට...

      Delete
    4. //උන් අවුරුදු දහයක් ෆේල් වෙච්ච එව්වො//

      හික්ස්

      ඒ හරිය නම් ඉතින් ඉස්සරත් එහෙමයි මම හිතන්නේ. අවු 30 පැනලත් ඉස්කෝලේ ළමයිට රග පානවා

      ලිඛිතා, දඬුබස්නාමානේ තේමා ගීතය නම් කියලා වැඩක් නැහැ. ඔහොම ලස්සන තේමා ගීත තවත් ගොඩක් තියනවා, මතකත් නෑ දැන්. ඉස්සර ගියා "දහස් ගව් දුර" කියල එකක්. ඒකෙ එස්රාජ් එකෙන් යන තේමා වාදනයක් තියෙන්නේ. පුදුම ලස්සනයි. "අඹු දරුවෝ" එකේ ඉපනැලිද රඟයි ගීතයත් එහෙමයි.

      Delete
    5. ගජමන් පුවත එකේ - ජිවිතේ කවියක් ( නන්දා මාලිනී ) තේමා ගීතය?

      Delete
    6. තේමා ගීත වගේම තේමා වාදනත්...

      Delete
    7. දෙවෙනි ඉනිම තාම බලනවැයි ..

      Delete
  6. ලංකාවේ හැර වෙන කොහෙවත් සිංහල ටෙලි යනව ද ? :D

    ReplyDelete
    Replies
    1. ඔය අල්ලගත්තෙ පොටක් :D
      ඇයි බන් අයියේ ලංකාවේ සිංහල ටෙලි ඇරෙන්න වෙනත් ටෙලි යනවනේ. උදා: දෙමළ ටෙලි. ඒකයි එහෙම කිව්වේ. ලංකාවේ "සිංහල" ටෙලි කියන එක. :D

      Delete
  7. සයුරි ඔබ හැම පැවසූ මතක හිටින සුවඳහමන ටෙලි වලට වඩා ගඳගස්සන ටෙලි මහ ගොඩක් තියනවා නේද? මං හිතන්නෙ "කවුරුත් මොනවත්" කියන්නෙ ඒවා ගැනයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත. හැබැයි ඒවා මතක හිටින්නේ නම් නෑ

      Delete
  8. බෝඩිම
    සුසීමා
    ඉර පායා (ලාදුරු ‍සීන් එක)
    කුමාරයාණනි
    බලල නැතෙයි.

    ReplyDelete
    Replies
    1. හම්මේ... සුසීමා!!!!

      පුදුම ලස්සන සින්දු නේද ඒකෙ තිබ්බේ...
      ඉරපායා එකේ නේද මුලින්ම සමිතා රඟපෑවේ? ඉර පායා සින්දුව තියෙන්නේ....

      Delete
    2. බෝඩිම, සුසීමා බැලුවා. බෝඩිම නම් ඒ කාලෙ කැමැත්තෙන් බැලුවා.

      ඇත්තටම ප්‍රසන්න අයියෙ ඔහේල පට්ට නාකි පොරවල් උනාට දැන් බලාගෙන යනකොට ඔහේල අපි එකම බෝට්ටුවෙනේ. හැක්...

      Delete
    3. ඔය ඔක්කොම බලල තියෙයි. කුමාරයාණනි කන්ටෙන්ට් එකනම් මතක නෑ. සුසීමා නම් මම හරියටම බැලුවේ මේ ලඟදි. ඒ කාලේ මතක හිටියේ "දෑස පියා ගත් කල" සිංදුව විතරයි. ඉරපායා සමිතගේ කෙට්ටුම කාලේ එකක් නේද :D

      Delete
    4. @DDT, පට්ට නාකි, බොට මම කිවුවයි කියල හිතාගං. හැක්..

      Delete
    5. සුසීමා එකේ තිබ්බ ඔක්කොම සින්දු සුපිරි

      1. මට පෙනෙන්නෑ
      2. දෑස පියාගත්කල මට
      3. තටු සලා යන්න නම්
      4. දේවතාවන්

      එකපාරයි මම ඇහුවේ.. එකෙන්ම පාඩම් හිටියා

      කුමාරයාණෙනි - නිල්මිණි තමන්ගේ තැන්පත් විවාහක සැමියා සහ පොඩි දරුවා හැරදාලා යන කතාවක්.
      ඉරපායා - සමිතා සංගීතය ඉගෙනගන්න තැනකට ඇවිත්, (මතක විදියට කමල් ඉන්නේ) එතන සර් එක්ක පැටලෙනවා.

      Delete
    6. ඉරපායා නම් ටිකක් මතකයි. සමිත ට ලාදුරු හදුනම ඔය සර්මද කොහෙද හොඳ කරන්නේ

      Delete
  9. ඔය හුඟක්එව්ව බලල තියෙයි
    අලුත් එකක් වත් බලල නෑ
    අන්තිමට හතර දෙනෙක් සෙන්පති කතාවයි සඳගල තැන්නයි බැලුවෙ ඒ මීට සෑහෙන කාලෙකට කලිං
    හිහි දැං එව්ව බැලෙන්නෑ
    හුඟක් අය කියනව හොඳ ඒව යනව කියල අනේ මංද කාටුන් විතරයිදැං බලන්නෙ
    :-D :-D :-D :-D
    දැං ආපහු knight rider යනවනෙ itn එකේ
    ඔන්න සෑහෙන දවසකිං ඊයෙ වාඩි වුණා
    නැත්තං බලන එකක් නැති තරං

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලාවට සති අන්තයේ ස්වර්ණවාහිනියේ 8.30-9.30 බෑන්ඩ් එකේ යන ඒවා 'සාමාන්‍යයෙන්' හොඳයි.

      Delete
    2. කාටුන් ඉඳල හිටලා මාත් බලනවා මහේෂ්. :) දැනුත් හොඳ ඒවත් යනවා. නැත්තෙමත් නැහැ. සුළඟ මත මොහොතක් ගියෙත් මේ ලඟදි.

      Delete
  10. ආ... කෝපි කඩේ අමතක උනා. ඉස්සර අනිවාර්යෙන්ම බලනවා. අවුරුදු ගානක් බැලුව. පස්සෙ පස්සෙ ඒක ඕනවට වඩා දේශපාලනික වෙල චා වෙලම ගියා.

    ඉන්ගම්මාරුව කියල කතාවක් එහෙම බලල තියෙනවද සයුරි. තව අර ප්‍රසිද්ධ කතාවක් තිබුනෙ ‘අයි නෝ ද ලෝ පුතා‘ කියල. ඒක තිබුනෙ මොන කතාවෙද මතකද. මට හරියටම නම මතක නෑ.

    අර ජාතික රූපවාහිනියෙ ගිය එතුමා කතාවත් බැලුවා. විජය නන්දසිරිගෙ, රොඩ්නිගෙ, ලියන මහත්තයගෙ (මල්ලි හරි මල්ලි පොර) විහිළු නිසාම.

    පස්සෙ කාලෙක යූ ටියුබ් එකෙන් බැලුවා අහසින් වැටුනා කියල කතාවක්. ටිකක් අමුතු එකක්. ඒ ගැන කාලෙකට කලින් ‘සැහැල්ලුව‘ ලියන ඉන්දිකත් ලියල තිබුනා.

    ReplyDelete
    Replies
    1. ‘අයි නෝ ද ලෝ පුතා‘ - අසල්වැසියෝ

      Delete
    2. අප්පා මාත් පොඩි කාලේ කෝපි කඩේ වරද්දන්නෙ නෑ. මම පොඩි හින්දද කතාවේ කොලිටිය හින්දද මන්දා ඒ දවස්වලනම් ඇත්තටම හිනා ගියා ඒක බලද්දී. තාමත් යනවලු නේද?

      ඔව් ඔව්, ඉන්ගම්මාරුව, එතුමා බැලුවා. ඔය කියන විදියට අහසින් වැටුනා බලන්න ආසයි. ඒත් දැන් නැහැ වගේ.

      Delete
    3. කෝපිකඩේ ට දේශපාලනේ රිංගගත්තට පස්සෙ තමයි ඒක නැති වෙලාම ගියේ. නැත්තං ඉස්සර නොවරදවාම බලපු එකක් තමයි.
      කොටිංම හැම සිංහල අවුරුද්දකම ගණුදෙනු නැකත් වෙලාවෙන් පස්සෙ යන කෝපිකඩේ එපිසෝඩ් එක බලන්න ගිහිල්ල ගෙදරින් බැණුං අහගෙනත් තියෙනව.

      Delete
    4. ඈය්යා..
      මම දන්නා කාලේ ඉඳන්ම කෝපිකඩේ පේන්න බෑ

      Delete
    5. එහෙනම් මම හිතන්නේ ඒකට දේශපාලනේ රිංගන්න කලින් තමයි මම ඒක බලන එක නවත්තන්න ඇත්තේ. ඒ හරිය ගැන මට අදහසක් නැත්තේ ඒකයි

      Delete
  11. මං ගොඩක්ම ආසාවෙන් බලපු සිංහල ටෙලිය තමයි "සෙව්වන්දියකට පෙම්බැන්දා...."

    ReplyDelete
    Replies
    1. එහෙම සිංදුවකුත් තියනවා නේද :) කතාවනම් මම බලල නෑ

      Delete
    2. https://www.youtube.com/watch?v=ffqmovRDGiE

      Delete
    3. හි හි හි....
      මේ අපි නොදන්න ලයිව් ( අල) එකේ ගියපු කතාවනේ... නියමයි තමයි

      Delete
    4. හපෝ මේක බලල තියනවා :D

      Delete
  12. දඬුබස්නාමානය , අකාල සන්ධ්‍යා, හතරදෙනෙක් සෙන්පතියෝ .... අන්න කතා :)

    ReplyDelete
    Replies
    1. සිරාවටම...අන්න කතා. අලියගේ ටේස්ට් එක හොඳයි ;)

      Delete
  13. පරණ ටෙලි ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නොවැ.. මේ ඉන්දියන් දහජරාව ටෙලිකාස්ට් කරන වෙලාවෙ එව්වා පෙන්නන්න පුළුවන් නම් සෑහෙන්න වටිනවා.

    මෑතකදි මම නම් ටෙලියකට කියලා බැලුවෙ බොහීමියානුවා විතරයි.ඒකත් බලන්න ගත්තේ උමාලි ඉන්න නිසා.ඒක ඉතාම ගැඹුරු සමාජ කියැවීමක් සහිත,විශිෂ්ට ගණයේ ටෙලි නාට්‍යයක්..!

    ReplyDelete
    Replies
    1. අමතකම වෙලා ගියා බොහිමියානුවා. උමාලියි සජිතයි දෙන්නම හොඳයි. ඔව් ඒක ඇත්ත.

      Delete
  14. සයුරි,

    මම ඔය නාට්‍ය ඔක්කොම වගේ බලලා තියෙනවා. නමුත් මට හොඳට මතකයි ඔය නාට්‍ය පෙන්නන කාලෙත් ඔය නාට්‍යත් අද නාට්‍ය වගේම බැණුම් ඇහුවා.

    ReplyDelete
    Replies
    1. හිහි...ඒකත් එහෙමද? ඔව් ඉතින් තව අවු. 10 කින් විතර මිනිස්සු කියාවි අන්න 2010 දී 15 දී ගියපු ඒවා නියම ටෙලි නාට්‍ය නේ කියලා

      Delete
  15. මමත් මේකේ හුගක් නාට්‍ය බලලා තියෙනවා. මුලින් ලියලා තියෙන නාට්‍ය ඇතත්ටම ලස්සනයි. හැබැයි මේ ඔක්කොම මතක තිබුණු එකට සයුරිට තෑග්ගක් දෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මටත් ගොඩක් ඒවා මතක හිටියේ පස්සේ දෙවෙනි වතාවේ බැලුවට පස්සේ. :))

      Delete
  16. අම්මෝ සිංහල ටෙලිනාට්ටි නම්.. මට 9 වසර වගේ වෙනකල් ඒ කාලේ සතියට ගිය ටෙලිනාට්ටි (ජාතික රූපවාහිනී) ටික කටපාඩම්. ඉස්සර ඔකේ ටෙලිනාට්‍ය ගියේ 8.30ට ප්‍රවෘති ඉවර වෙලා. පස්සේ 2004 මතක විදියට 7.30ටත් සෙට් එකක් දැම්මා.
    මමත් නෑදෑයෝ, සූරිය දරුවෝ, සත්පුරවැසියෝ එහෙම සෙට් එක බැලුවා. ඔය සෙට් එකේ යශෝධා හිටිය මතකයි මේන් රෝල් එකේ.
    තව ඊළඟට රැජන, දඬුබස්නාමානය එහෙම කතා ටිකත් බැලුවා. අකාල සන්ධ්‍යා මම ආපහු හොයන් බැලුවා.
    තව මතක එකක් තමා භවත්‍රා. මේක කොටස් දෙහෙකට ගියේ මුලින් 2005. අඟහරුවාදා ගියේ. ඒ කාලේ ඕක 8.30ට බලල, ඇඟිලි සලකුණත් බලල තමා නිදාගන්නේ.
    තව දෙවියෝ තුං දෙනෙක් මේ ලෝකෙට ආපු කතාවක් තිබ්බා නම මතක නෑ. 2003 විතර ගියා සුරංගනාවෝ තුං දෙනෙක් ආපු එකක්.
    ඊළඟට මම කැමති තීම් මියුසික් එක තිබ්බේ රතු රෝස එකේ.
    තව එකක් ගියා මායා රංග කියල. ටිකක් විතර අද්භූත කතාවක්. තේ වත්තක එකක්. මේකේ මියුසික් නම් කියල වැඩක් නෑ. අදටත් හිතේ ඇඳෙනවා. හැබැයි මේක තාම මට හොයාගන්න බැරි උනා..

    ReplyDelete
    Replies
    1. ආ තව ටිකක්-
      සිරසේ ගිය සොරි මැඩම්- මේකේ හිටිය මර්සි එදිරිසිංහ එහෙම. ඕකෙත් මරු තීම් සෝන්ග් එකක් තිබුනා.
      තව ස්වර්ණවාහිනියේ තට්ටු ගෙවල්.

      Delete
    2. ඔව් ඔය පවුල් කතා වල වැඩි හරියක් යශෝධා තමා හිටියේ. අඩේ ඔය දෙවියෝ තුන් දෙනාගේ කතාව මටත් ලාවට වගේ මතකයි. මායා රංග හොයා ගත්තොත් මටත් කියන්න. මට දැන් මතක් උනේ කුලවන්තයෝ සහ දෙපත් නයි. ඒ දෙකම මරු.

      Delete
  17. දූ දරුවෝ තමයි මගෙත් ටෙලි නාට්‍ය මතකයේ පටන්ගැන්ම. ඒකේ ඩයස් මහත්තයා බීලා ගෝලයොත් එක්ක කියපු සින්දුත් මට තාම මතකයි. සයුරි කිව්වා වගේ චාන්දනීගෙයි මනෝරත්නගෙයි දෙබස් හරි රහයි. මට මතකයි මනෝරත්න එක වතාවක් කියනවා 'හැමදාම මේ ඉඳි ආප්පම කාලා අපේ ඇඟවලුත් දැන් නිකං වැල් වැල් වෙලා ගිහිල්ලා' කියලා.

    කන්දෙ ගෙදරට මමත් හරි ආදරෙයි. කාලගුණේට රඟපාපු නළුවා ඒ නමින්ම තමයි මම හැමදාම හැඳින්වුවේ. එයාගෙ හැබෑ නම මතක හිටින්නෙම නෑ.

    ඔයා කියපු තුන් වැනි නාට්‍යය ගැන මමත් කතා කරන්නේ ඉඳිආප්ප කතාව කියලා තමයි. ඒකෙ කමල්ගෙයි චම්පාගෙයි නම් දෙක හරි ලස්සනයි. කුසල් කරලියද්ද, කුමුදුමාලි කාංචනමාලා. අපේ අයියත් කඩෙන් චකබ්ලාස් එකක් අරං ආවා ඔය නාට්‍යය බැලුවට පස්සේ.

    පළිඟු මැණිකේත් හරි ලස්සන මතකයක්. තව ඒ වගේම, රෝහණ බැද්දගේ මහත්මයා හිටපු, වෙස් තට්ටුවක කතාවකුත් මට ලාවට මතකේ තියෙනවා. ඒක බොහොම වටින, පාරම්පරික වෙස් තට්ටුවක්. ඒකෙ නමනං මට මතක නෑ හැබැයි. රැවුල තියෙන හැන්ඩි හොරු දෙන්නෙක් හිටියා මතකයි.

    දඬුබස්නාමානය ඒ කාලේ පිස්සු හැදිලා වගේ බැලුවට මොකද වැඩි හරියක් තේරුණෙත් නෑ. ඒකෙ ඛේමදාස මාස්ටර්ගේ සංගීතය තාමත් හිතේ තදින්ම රැඳිලා තියෙනවා.

    ගිරය බැලුවා මතකයි. ඒත් වැඩිය ආසාවකින්නම් නෙවෙයි. ලුසි හාමිට මාත් හරි බයයි ඒ කාලේ.

    අඹ යාළුවෝ. හැම චරිතෙකටම, නපුරු මෛත්‍රීට පවා ආදරේ කරපු නාට්‍යයක්.

    එක ගෙයි කුරුල්ලෝනම් මට ඒ හැටි මතක නෑ.

    වෙද හාමිනේත් දඬුබස්නාමානයේ ආරෙට තිබුණත් ඒ කාලේනම් එච්චර ආසාවෙන් බැලුවෙ නෑ. පස්සෙ මේ ළඟකදි කොටස් ඔක්කොම ටික එක දිගට රූපවාහිනියේ ගියා චිත්‍රපටයක් වගේ, එදා බැලුවම තමයි කතාව තේරුණේ.

    නාලන් මෙන්ඩිස් මහත්මයාගේ දූ දරුවෝ ඇර අනිත් නාට්‍ය ටිකනම් මට කතායි, චරිතයි ඔක්කොම පැටලිලා තියෙන්නේ. කතා ටික ටිකක් එකම ආරේ වගේ නිසා වෙන්න ඇති. අහිංසා, පැතුම්, වංශනාථ, ඒ දෙන්නගේ කට සැර අක්කා, මම්මා, පප්පා හිටපු කතාවනම් ටිකක් මතකයි.

    අකාල සන්ධ්‍යා නියමයි. සතර දෙනෙක් සෙන්පතියෝනම් බලන්න බැරි වුණා. ඒ කාලේ අපේ ගෙදර රූපවාහිනිය කෝමා එකක හිටියේ.

    රම්‍ය සුරම්‍යත් ලස්සනයි කියලා අහලා තියෙනවා, එක දිගට බලලා නෑ, තැනින් තැන තමයි බැලුවේ.

    අරුංගල් මට මතකයි. වයලින් ගහන චන්ද්‍රරත්න පුතාගේ ගුරුතුමීට හිටියේ හිමාලි සයුරංගි නේද? මනෝරත්න, ජයනි සේනානායක හිටියා කියන්නේ ආයෙ අහන්න දෙයක් නෑ. උපරිමෙන්ම තියෙන්න ඇති.

    අකඩවාරිය. ළඟකදි ආසාවෙන්ම බලපු නාට්‍යයක්. තාරුකා වන්නිආරච්චි දිග ගමනක් යන්න පුළුවන් දක්ෂ, ලස්සන තරුණ නිළියක්.

    සුළඟ මත මොහොතක්, ප්‍රාණ බලලා නෑනේ.

    මේ ඇරෙන්න, මගේ රූපවාහිනී මතක ගොන්න ඇවිස්සුවොත් මෙන්න මේ ටිකත් මං ආසාවෙන් බලපු සිංහල ටෙලි නාට්‍ය ගොන්නට එකතු කරන්න පුළුවන්:
    ඉස්සර කෝපි කඩේ - මේ කියන්නේ රත්නේ ළමයා, සාමෙල් මුදලාලි එහෙම හිට්පු කාලේ. පස්සෙ පස්සෙ කෝපි කඩේ සහ ගැමියෝ මොඩ් වෙලා කතාව නීරස වුණා.
    සුසීමා - මේක මං බැලුවේ 'දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව' ගීතය හින්දා.
    යශෝරාවය
    ගංගා සහ නිශ්ශංක - ලස්සන ගීත තිබුණ නාට්‍යයක්. ඒ කාලේ ලක්ෂ්මන් විජේසේකර හරි හැඩයි.
    අන්දර වැට - කෙටි නාට්‍ය මාලාවක්
    ඉංගම්මාරුව - මේකත් කෙටි නාට්‍ය මාලාවක්
    අන්තස්සරයෝ
    ඉසිවරයාණෝ
    රතු රෝස - ඒකෙ කමල් එක්ක හිටිය ගෑනු ළමය වෙන නාට්‍ය වල හිටියද? හරි වෙනස් කටහඬක් තිබ්බේ එයාට.
    කීටයා - මේ ජාතියේ විනෝදයත්, ත්‍රාසයත් එක වගේ දීපු ටෙලි නාට්‍යයක් වෙන ආවේම නැත්ද මන්දා.
    ලෝ නම් ලෝ - නියම කතාවක් අප්පා ඒක. ජයන්ත බෝපෙ ආරච්චි, භානුක මනෝරත්න, ඒ දෙන්නගේ තාත්තා ටෝනි රණසිංහ. ආයෙත් බලන්න තියෙනවානම් ෂෝයි.
    මිහිමඬල ගිනිවදී - මේ නාට්‍යය බලලා මම නිර්මාංශ වුණා. තදින්ම හිතට දැනුණ කතාවක්.
    ඇබෑර්තු ඇත
    සඳගලතැන්න
    තෙත් සහ වියළි
    තාත්තේ අපි ආවා
    තව නම මතක නැති එකක් තියෙනවා - ඒකෙ ලූෂන් බුලත්සිංහල සිත්තරෙක්. සබීතායි, කමලුයි හිටියා. 'මිහිරියි මල් සුවඳ සේ' ගීතය තිබුණේ ඒ නාට්‍යයේ.

    තව මතක් කළොත් තවත් ඒවා මතක් වෙයි අප්පා. ස්තූතියි සයුරි, ගිය අවුරුද්දේ ඉයන් මහත්මයා ගීත මතකය ඇවිස්සුවා වගේ මතකය අවුස්සන්න ආයෙමත් අවස්ථාවක් උදාකරලා දුන්නාට. :)


    ReplyDelete
    Replies
    1. ඇසල කළුවර
      (මම අහපු අන්තිම රොමැන්ටික් සින්දුවක්! හම්මේ...)

      Delete
    2. දිග කමෙන්ටුවට ස්තුතියි සිත්තමී. ඔව් ඩයස් මහත්තයා කුසුමලතා ට හොරෙන් බොන්න එක එක උප්පරවැට්ටි දානවා. තැඹිලි ගෙඩියක් ඇතුලට දාලා බිව්වා කියලත් මතකයි. ඔව් දඬුබස්නාමානය, වේද හාමිනේ වගේ ඒවා මුල් වතාවේ තේරුනේ නැහැ.
      අරුංගල් එකේ වයලින් ගුරුතුමී ට හිටියේ චාන්දනී සෙනෙවිරත්න.
      හයියෝ..ගංගා සහ නිස්සංක මට අමතක උනා. සිනා පිපෙනා මම ආසම සින්දුවක්. රතු රෝස නිළිය නම් මමත් වෙන කොහෙවත් දැකලා නෑ. ලූෂන්, සබීතා කමල් හිටියේ ඇසළ කළුවර. ජැක්සන් ඇන්තනි ගේ.

      Delete
  18. සයුරි,
    බොහොමත්ම ස්තූතියි ඔයාට දෙවරක්. එක මගේ තට්ට්යාගෙකොලමට ගොඩ වැදුනාට. දෙක ඊ හරහා ඔයාගේ හරවත් එමෙන්ම මේ නිර්මාණශීලී කටයුත්තට පාර පෙන්නුවාට. ආයෙත් අලුතින් පටන් ගත්තා "අඹ යලුවෝ" යන්න. ඒකෙ සමාරම්භක වැඩ සටහනට ශිල්පීන් රාශියක් රූපවාහිනියට ගෙන්වා තිබුනා. එහිදී හේමසිරි ලියනගේ මහතා වැදගත් මතයක් ඉදිරිපත්කලා; " ඒ කාලෙ අපට විශාල අවශ්යතාවයක් , වගකීමක් , වගවීමක් තිබුනා ප්‍රේක්ශකයා පිළිබඳව. ඒ වගේම ප්‍රේක්ශකයාගේ බුද්ධිමත්භාවය පිළිබඳව ගරු කිරීමක් තිබුනා. අද නැත්තෙත් මෙයමයි!"

    ReplyDelete
    Replies
    1. මේ අර ගඟක් දිගේ ගමනක් යන තට්ටයා නේද? සාදරයෙන් පිලිගන්නවා පහන්යාය ට. මමත් මේ දවස් දහයක විතර ගමනක් ගිහින් ඊයේ ආවේ. ගඟේ ගමන බලන්න එන්නත් බැරි උනා. ඔව් මමත් දැක්කා අඹ යාලුවන්ගේ ෆොටෝ එකක් ලඟදි

      Delete
  19. මටත් ළමා කාලෙ මතක් වුනා මේක කියෙව්වම. බොහොම ස්තුතියි :)
    ගම් පෙරළිය, ඇල්ල ළඟ වලව්ව වගේ ටෙලි නාට්‍යත් හරිම උසස් ගණයේ නිර්මාණ. මෑත ඉතිහාසයේ ටෙලි නාට්‍ය වලින් නම් මම කැමතිම 'ස්වයංජාත' කතාවට. හරිම හරවත් කතාවක්. තව දුරටත් මෙවැනි අර්ථවත් ලිපි පළ කරන්න ලැබේවා :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හසල. ස්වයංජාත බලන්න ඕනේ. නෙට් එකේ තියද දන්නේ නෑ

      Delete
    2. මේකෙන් බලන්න.
      Episodes 10ක් දැම්මා. ඉතුරු ටික හෙමින් සැරේ දාන්නම් :)
      https://www.youtube.com/watch?v=G8AOVo1W2tg&list=PLQpN2ELGAhRXbM9bXVQmIBScAYeSTfi5l

      Delete
    3. බොහොම ස්තුතියි හසලක.

      Delete
  20. සිතුවිලි සටහන් බ්ලොග් කියවනය - http://sithuwilisatahan.com/

    පොඩි ස්පෑම් පාරක් බ්ලොග් ලියන අය දැනුවත් කරන්න දැම්මේ

    ReplyDelete
  21. පරක්කු වෙලා පොස්ට් එක දැක්කේ. මම ටිකිරි නිළමේ මෙතැන අයට අමතක වෙච්චි එකක්. මං නැති දා මම ඉතා ආසාවෙන් බලපු, ජීවිතය දිහා උපේක්ෂාවෙන් බලන ටෙලි නාට්‍යයක්. අපි බලපු මුල්ම එක දිමුතු මුතු. ඒකෙ දේවිකා මිහිරානි අඬන දර්ශණ තමයි වැඩියෙන් තිබුණේ. ලා හිරු දහසක් මෙතැන ලියවිලා නිඅත් තවත් එකක්.

    ReplyDelete
    Replies
    1. ටිකිරි නිලමේ එකේ හිටියේ සතිස්චන්ද එදිරිසිංහ නේද. යන්තමට මතකයි වගේ. ලා හිරු දහසක් මේ ඊයේ පෙරේදා බැලුවා.

      Delete
  22. නිකන් අතීතෙට ගියා වගෙයි ,
    මම හුගකලෙකින් මේ පැත්තට ගොඩ උනේ ;-)

    අපේ පැත්තටත් ඇවිත් යන්න

    ReplyDelete
    Replies
    1. මනස්ගාත සාදරයෙන් පිළිගන්නවා මෙහාට. ඔන්න මමත් ඒ පැත්තේ ගිහින් ආවා.

      Delete
  23. අර උදික ප්‍රේමරත්න ඉන්න කතාවක් ගියෙ ඒකෙත් අංගම්පොර තියෙයි ඒකෙ උදිකගෙ නම මට මතක විදිහට බූපති කියල ජාතික රූපවාහිනි යෙ ගියෙ ඒකෙ නම දැනගන්න පුළුවන් ද

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ එක්කෝ අකඩවාරිය නැත්නම් භවචක්‍ර ද?

      Delete
  24. ඔයාලට සඳහන් කිරීමට අමතක වුණු ටෙලි නාට්‍ය
    (1)කඩුල්ල
    (2)සත්සර රංගන
    (3)ෆැන්ටසි ඇවනියු
    (4)සින්තටික් සිහින
    (5)ජීවිත මීවිත
    (6)වෙස් ගත්තෝ
    (7)රුපියල් සත
    (8)රේඛා
    (9)සුදු සහ කළු
    (10)සිත නිවන කතා
    (11)තිලකසිරි ගේ වික්‍රමය
    (12)පොකුරු තරු
    (13)දාසියගේ රාත්‍රිය
    (14)රට ගිය ඇත්තෝ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...