Monday, August 21, 2017

හිරු අල්ලපු හඳ ළමයා

හඳ අල්ලපු රටේ මිනිස්සුන්ට පහු ගිය දවස් ටිකේ වෙන වැඩක් තිබුනේ නෑ. ශත වර්ෂෙකට පස්සේ සිද්ධ වෙනවයි කියන පූර්ණ සූර්යග්‍රහණයක් බලන්න ලක ලෑස්ති උනා ඇරෙන්න.

ආරක්‍ෂිත ඇස් කණ්නාඩි එහෙම විකුණපු එවුන් හොඳ ගානක් හොයා ගත්තා. ඇමසන් එකේ,  සුපර් මාකට් වල, ගමේ කඩේ ඔය කොතනත් SOLD OUT !! වෙන කවදාවත් නැති තරමට පිට රටවල් වලින් මිනිස්සු ආවා ඇමරිකාවට මේක බලන්න. ඒ විතරක් නෙමෙයි, ඇමරිකාවේ ඉන්න අයත් මේක හොඳට බලාගන්න පූර්ණ ග්‍රහණයම පේන පැති වලට ගියා නිවාඩුත් දාගෙන.

ඉතින් ඔන්න අද තමයි මේ මහාර්ඝ සූර්යග්‍රහණය වෙච්චි දවස. අගෝස්තු 21.

මේකේ විශේෂත්වේ තමයි බටහිර වෙරළේ ඉඳන් නැගෙනහිර වෙරළ දක්වාම පටු බිම් තීරුවක් දිගේ පැය දෙකක් වගේ ඇතුළත මේ ග්‍රහණය දර්ශනය වෙන එක.

බලන්නකෝ පහත මැප් එක.



ඔන්න ඔය ඇඳලා තියන තීරුව දිගේ ඉන්න අයට තමයි පූර්ණ ග්‍රහණය දර්ශනය උනේ. අනිත් අයට පෙනුනේ අර්ධ සූර්යග්‍රහණයක්.

අපි හිටපු පැත්තටත් 95% ක් පෙනුනා. මුළු රටම ඕකට සූදානම් වෙද්දී අපිත් ඉතින් නිකන් ඉඳලා පුලුවනෑ. අපිත් ගෙන්න ගත්තා කණ්නාඩි. ටිකක් පහු වෙච්ච නිසා ඉතින් අස්ස ගනං දීලා තමයි ගන්න උනේ. අපායට ගියත් කලින් යන්න කියන එක ආයේ ආයේ පසක් උනි :( ඉතිං ඒ කොරලත් සයුරුට මදි. එයාට ඕන උනා මේකේ පින්තූර ගන්නත්. ඒකත් ලේසි නෑ. ඇස් දෙකටත් වැඩිය පරෙස්සම් කරන කැමරාවේ සෙන්සරේ පරෙස්සම් කරගන්නත් එපැයි. පස්සෙදී අර  අස්ස ගනං දීලා ගත්ත කණ්නාඩි වලින් එකක් කපලා film එක අරගෙන කැමරා කාචේට උඩින් ආවරණයක් විදියට හයි කරා.

ඉතින් ඔක්කොම හරි .

කවුරුත් දන්නව ඇතිනේ සූර්යග්‍රහණයක් වෙන්නෙ කොහොමද කියන එක? දන්නෙ නැත්තම් අහගන්. සූර්යයා සහ පෘතුවිය (ඒ කිව්වේ අපි හිටගෙන ඉන්න මේ ලෝකේ) අතරට හඳ හාමි ආවම තමයි ඔය වැඩේ වෙන්නේ. එතකොට හඳෙන් ඇති කරන හෙවනැල්ල අපේ පොළවට වැටෙනවා. අන්න ඒ හෙවනැල්ල ගමන් කරපු මාර්ගේ තමයි උඩ සිතියමේ තියෙන්නේ. හඳ ප්‍රමාණයෙන් පොඩි හින්දා තමයි ඒ හෙවනැල්ලට පොඩි තීරුවක් විතරක් වැහෙන්නේ.  ඒ නිසා පූර්ණ ග්‍රහණයක් පේන්නේ සීමිත ප්‍රදේශයකට විතරයි.

ඉතින් පල්ලෙහා තියෙන්නේ සයුරු ගතිපු පින්තූර ටිකක්.


ඔය තියෙන්නෙ හද සීන් එකට එන්ටර් වෙච්ච ගමන්ම ගත්ත එකක්. තැබිලි පාටට තියෙන්නෙ ඉර. හරියට ඉරෙන් කෑල්ලක් කඩා ගෙන කාලා වගේ.


මේ තවත් ටික වෙලාවකින්. නිකන් අටවක වගේ නේද? :)

මේ වෙලාව වෙද්දි සමර් එකේ ගිනි ගහන ඉර එලිය ටික ටික අඩු වෙලා අදුරු ගතියක් ඇවිත් සිසිලක් දැනෙන්න පටන් ගත්තා.


මේ තමයි අපිට පෙනුන උපරිමය. මෙතනින් පස්සේ තියෙන්නෙ කලින් ෆොටෝ වල mirror image වගේ එව්වා. පූර්ණ ග්‍රහණය පෙනුන පැති වලනම් රෑ වගේම කලුවර උනා ලු.

ඔන්න ඔහොමයි උනේ.

                                                      ~~~~~~~~~~~~~~~~~~~~~
දැන් ඉතින් කැමතිනම් ඉතුරු ටිකත් කියවන්නකො.

මේ සූර්යග්‍රහණ කියන්නේ හරි ලස්සන සන්සිද්ධියක් නේද? පොතේ හැටියටනම් මේක වෙන්නේ ඉරයි පෘතුවියයි අතරට හද ආවම නේ. ඒ කියන්නේ ඔය ලමයිට හිතෙන්නේ නැද්ද එහෙනම් හැම මාසෙ පෝය දවසකම මේක වෙන්න ඕන නේද කියලා? ඒත් එහෙම නම් වෙන්නේ නෑ හොදේ. මෙන්න මේකයි හේතුව.




දැන් ඔය උඩ තියන පින්තූරේ විස්තර කරන්නේ හදේ අටවක, පසලොස්වක, අමාවක වගේ කලා ඇති වෙන විදිහ නේ. හැබැයි ඔය ද්විමාන රූපේ පේන විදියට හද පරිභ්‍රමණය වෙන තලයයි පෘතුවිය පරිභ්‍රමණය වෙන තලයයි එකම තලයක් කියල හිතුවම තමයි අපිට වැඩ වරදින්නේ.

ඇත්ත කතාව ඔයිට වෙනස්.

හද පරිභ්‍රමණය වෙන්නෙ පෘතුවි පරිභ්‍රමණ තලයට ආනතියක් තියන වෙනමම තලයක. මේ බලන්න.




ඒ විතරක් නෙමේ. ඔය පථයත් තමන්ගෙ අක්ශය වටේ කැරකෙනවා. ඉතින් හරිම කලාතුරකින් තමයි හදේ හෙවනැල්ල හරි කෙලින් පෘතුවියට වැටෙන්නේ, ඔය දෙවනි අවස්ථාවේ ඇදලා තියනවා වගේ. තෙරුනේ නැත්නම් අහන්නකෝ.


එහෙනම් මම ගියා.

29 comments:

  1. ඉතිහාස ටීචර්ගෙන් අද තාරකා විද්‍යා පාඩමක් - හරි ෂෝයි. :)

    ඔයාලාගේ අත්දැකීමත්, ඡායාරූපත් අපිත් එක්ක බෙදාගත්තට ස්තූතියි. පහළින් තියෙන පැහැදිලි කිරීමත් හරි වටිනවා. ඇත්තටම පෘථිවියයි හඳයි එකම තලයක පරිභ්‍රමණය වුණානම් හැම අමාවක දවසකම සූර්යග්‍රහණයක් ඇතිවෙනවා විතරක් නෙවෙයි, හැම පසළොස්වක දවසකම චන්ද්‍රග්‍රහණයකුත් ඇති වෙන්න ඕනෙ. ඒක එහෙම නොවෙන්නේ ඔයා කිව්වා වගේ චන්ද්‍රයා වෙනස් තලයක පරිභ්‍රමණය වෙන නිසා කියන එක මම අද තමයි දැනගත්තේ. ඒත් ඉඳහිට හරි සූර්යග්‍රහණයක් වෙන්නේ අමාවක දවසක, චන්ද්‍රග්‍රහණයක් වෙන්නේ පසළොස්වක දවසක, මම හරි නේද? මම හරියට පාඩම තේරුම් අරන් තියෙනවා නේද ටීචර්? :)

    හැබැයි මේ හඳ මාමයි ඉර මාමයි මේ සැරේ බටහිර කුමන්ත්‍රණකාරයොත් එක්ක එක්කාසු වෙලා ඔය ග්‍රහණේ ඇමරිකාවට විතරක් පෙන්නාපු එකටනං මගේ බලවත් විරෝධය!

    ReplyDelete
    Replies
    1. හරියට හරි...සිත්තමී ළමයට හොඳට තේරිලා තියෙන්නේ :) ඔව් එහෙම කුමන්ත්‍රණයක් නම් වෙලා තියනවා තමයි. ආයෙත් 2024 දී එකක් එනවලු. ඒක පේන්නේ ඇමරිකාවේ යට ඉඳලා උඩට තීරුවකට ලු.

      Delete
    2. කෙටි කාල පරතරයක් තුළ එකම ප්‍රදේශයකට පූර්ණ සූර්යග්‍රහණයක් දකින්ඩ ලැබෙන දුර්ලභ අවස්ථාවක් එහිදී උදා වෙනවලු නේද සයුරි.

      Delete
    3. ඒ කිව්වේ 2024 දී ද. ඒ ගැනනම් තාම වැඩිය කියෙව්වේ නෑ

      Delete
    4. ඔව් සයුරි සඳ හෙවනැල්ල යන ගමන් මාර්ග දෙක එකිනෙක කැපෙන ප්‍රදේශයට මේ අවස්ථාව ලැබෙන බව කියවෙනවා

      Delete
    5. ආ දැන් නේ තේරුණේ. ඔව් ඔව්, ඉලිනොයි ප්‍රාන්තයේ කාබන්ඩෙල් කියන නගරයට මේ සූර්යග්‍රහණ දෙකම පේනවා.

      Delete
  2. තාරකා විද්‍යාව කියන්නේ මම ආසම විෂයයන්ගෙන් එකක්. මම අන්තිමට සූර්යග්‍රහණයක් දැක්කේ 2010. සාමාන්‍යය පෙළ ඉවර වෙලා. එකත් අර්ධ තමා. අම්මෝ එදා..
    මමත් අපේ අක්ක කෙනෙක්ට කියල ෆොටෝ ගෙන්නගත්තා ඇමරිකාවේ ඉඳන්. එයාලටත් අර්ධ තමා පෙනිලා තියන්නේ. අපිට 2019 ද කොහෙද එකක් ෂෙඩියුල් එකේ තියනවා.
    අඟහරු වලට නම් ඉතිං හඳවල් දෙකක්ම තියනවා!

    ReplyDelete
    Replies
    1. මාත් මේ අහන්න කියල හිටියේ. ඔය අඟහරුවා කියන නම දාගන්නත් හේතුවක්ද ඒක? 2019 දී ලංකාවට පූර්ණ එකක් තියනවද? අපිටත් හඳවල් දෙකක් තිබුනානම් සෝයි

      Delete
  3. ඔය ග්‍රහනය සන් ග්ලාස් එකක් දාගෙන බලන්න බැරි ද?
    ඉර හඳට වැහෙනකොට වෙනදා නැති අමුතු ශක්තියක් එයාට එනව ද ?
    වද කහ විකුණුනා කියලා ආරංචි එහෙම නැත් ද?

    ReplyDelete
    Replies
    1. හපොයි සන් ග්ලාසස් මදි ලු. බලන්න ගිහින් ඇහැ පුච්චගන්න එහෙම එපා. ම්ම් අමුතු ශක්තියක් එනවා කියන්නේ අර gravitational forces කියන එව්වා නිසා භූ වාතය උඩට තෙරපිලා ඇවිත් පොලවේ මැණික් එහෙම හැදෙන්න බලපානවා කියලා කොහේ හරි තිබුනා. ඒත් හරියටම දන්නේ නැති නිසා ලිව්වේ නෑ. කට්ටිය උදලු නගුල් එහෙම අරගෙන ලේස්ති වෙලා ඉන්න. මොකද්ද සෙන්නෝ වදකහ සිද්ධිය?

      Delete
    2. ඇයි කලින් පාර එකක් තියද්දි වදකහ බිව්වම ලස්සන වෙනවා කියල මෙහෙ පත්තර වල ගිහිං. ඉතිං වැඩියෙන් ලස්සන වෙන්න කියල අපේ උන්දැලා හැලි ගනං බීලා!

      Delete
    3. හහා...දැනගෙන හිටියේ නෑ නේ. දැන් ඉතින් පරක්කු වැඩි :D

      Delete
    4. ඇයි අනේ සිංදුවකුත් තියෙන්නේ "බිව්වා නේද වදකහ සුදිය" කියලා..

      Delete
    5. ඔව්නෙ.සින්දුවනම් මතකයි. සූර්යග්‍රහණ සම්බන්ධයක් නම් අහලම තිබුනේ නෑ

      Delete
  4. ඉස්තුතියි නෝනා අපූරු විස්තරේට...

    /ටිකක් පහු වෙච්ච නිසා ඉතින් කුණු කොල්ලෙට තමයි ගන්න උනේ./

    මෙතන නම් සුට්ටි වරදක් ඇත.මම හිතන්නෙ ඔහේට කියන්ට ඕන වෙලා තිබ්බෙ පහුවෙච්චි නිසා ආරක්ෂිත කන්ණාඩි වලට නොවටිනා මිලක් ගෙවන්ට උනා කියල වෙන්ට ඕන.

    එහෙමනම් කුණු කොල්ලෙට කියන යෙදුම වැරදියි. මොනව හරි කුණුකොල්ලෙට ගන්නව කියන්නෙ ඉතාම අඩු මුදලකට ගන්නව කියන එක. මෙතන ඔයාට ලියන්න තිබ්බෙ මෙහෙම.

    ටිකක් පහු වෙච්ච නිසා ඉතින් අස්ප ගණං දීල තමයි ගන්න වුනේ....

    ReplyDelete
    Replies
    1. හප්පද බොල ඔව්ම නේන්නම්. ඕක ඉස්සර සිංහල පොතකත් තිබුනද මන්දා. මගේ සිංහල නම් අන්තිමයි. මේ හදනවා..මේ හදනවා. බොහොම ස්තුතියි රවී මහතාණෙනි වරද පෙන්නා දුන්නට :)

      Delete
  5. මං වදකහ සුදිය ඉම්පෝට් කරන්න පොඩ්ඩක් පරක්කු උනා නැත්නං.. බලාගන්න තිබුනා..

    ඈ ටීචර්.. කුණු කොල්ලෙට ගත්තා කියන්නේ හෙන ලාබෙට ගත්ත කියන එක නේද??

    ReplyDelete
    Replies
    1. දැන් සූර්යග්‍රහනේ වෙලාවට වදකහ බිව්වම අමුතු මෙව්වා එකක් එනවද? ඔව් ඔව් කුණු කොල්ලේ වැරදී. රවී තුමා ගේ වචනේ දාලා අන්න හැදුවා :)

      Delete
  6. "හඳ රාහු මුඛයේ ගිලුනා" කියන්නේ කොහොම කතන්දරයක්ද ?

    අනේ මන්දා මේ තාරකා සාස්තර නම්.

    ReplyDelete
    Replies
    1. ආ ඒ මේකෙම අනිත් පැත්ත නේ. චන්ද්‍රග්‍රහණ. ඒක ගැනත් පස්සේ ලියන්නම්. එක්කෝ ඕන නෑ. සරලවම මේකෙම අනිත් එක. ඉරයි හඳයි අතරට පෘතුවිය එනවා. පෘතුවියේ හෙවනැල්ලෙන් හඳ වැහෙනවා.

      Delete
  7. හරි ලස්සන ජයාරූප ටිකක් වගේම විස්තරයත් වැදගත්.
    ඉතිහාසෙට වඩා නම් තාරකා විද්‍යාව හරි රසවත් ;-)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනස්ගාත. ඔව් ඔව් ගොඩක් දෙනා ඉතිහාසෙට කැමතිම නෑ :)

      Delete
    2. මම ඉතිහාසෙට කැමති නෑ කිව්වේ නෑ

      Delete
  8. පාඩම නම් ශෝක්... ටීච

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් හොඳ සිසුවෙක්..බොහොම ස්තුතියි :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...