Saturday, November 26, 2011

තමේව අනුකම්පාය - රාජාවලිය V



කාලෙකින් රාජාවලිය ට ලිපියක් ලියන්න බැරි උනා නේ. ඉතින් මට හිතුනා තවත් කොටසක් පළ කරන්න. අපි කලින් ලිපියෙදි නැවතුනේ පණ්ඩුකාභය රජ තුමා ගාවින්. එතන ඉඳන් තවත් කාල පරිච්චේදයක් ඉස්සරහට යමු එහෙනම්.

පණ්ඩුකාභය රජතුමා අවුරුදු 70 ක් ම දැහැමෙන් රජ කරලා මිය පරලොව යන්නේ ක්‍රි. පූ. 367 දී. ඉන් පසුව රජ වෙන්නේ ඔහුගේත් ස්වර්ණ පාලි බිසව ගේත් පුත් "මුටසිව". එතුමාත් සාමකාමී විදියට අවුරුදු 60 ක් දිවයින පාලනය කරනවා - ක්‍රි. පූ. 367 - 307 (බු. ව. 177 - 237). පසු කාලෙකදි පූජා භූමියක් බවට පත් වුන "මහමෙව්නා උයන" කරවූයේ මෙතුමා කියලයි සඳහන් වෙන්නේ. මේ උයනට භුමිය තෝරා ගතිපු වෙලාවේ මහා කළු වළාකුළු අහසේ එකතු වෙලා අකාල වැස්සක් ඇද වැටුනලු. ඒ නිසා උයනට මහා මේඝ වර්ණ / මහමෙව්නා කියන නම දුන්නලු.

මුටසිව රජතුමාට ඉඳල තියනවා පුතුන් දස දෙනෙකුත් දූවරු දෙදෙනෙකුත්. මෙයින් දෙවන පුතා තමයි "තිස්ස". පුතුන් අතරෙන් වැඩිපුරම බුද්ධිමත්, කැපී පෙනෙන්නා තමයි ඔහු. එනිසා මුටසිව රජු ගේ අභාවයෙන් පස්සේ "දේවානම්පිය තිස්ස / දෙවන පෑතිස්‌" නමින් රජ වෙන්නේ ඔහුයි - ක්‍රි. පූ. 307 - 267 (බු. ව. 237 - 277).

ලංකාවේ මේ දේවල් මෙහෙම වෙද්දී ඉන්දියාවේ අශෝක රජතුමා දික් විජය කරලා අන්තිමේදී කළ කිරිලා ධර්ම විජය ව්‍යාපාරයට බැහැපු කාලය තමයි ඒ.  එතුමා රටවල් කිහිපයකටම බුදු දහම හඳුන්වා දෙන්න ධර්ම දූත කණ්ඩායම් පිටත් කර හැරියා ලු. අශෝක අධිරාජයා ට  හිටියා පෑනේ මිතුරෙක්.  ඒ තමයි අපේ දේවානම්පිය තිස්ස රජතුමා. ඉතින් මේ මිතුරු කම හින්දම එතුමා කල්පනා කරාලු ලංකාවට ටිකක් විශේෂයක් කරන්න.

                                    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ඉතින් පොසොන් මාසයේ පොහොය යෙදී තිබුණු දවසක තිස්ස රජ තුමා පිරිවරත් සමග විනෝදය පිණිස මුවන් දඩයමේ යෙදී හිටියා ලු. කිසිම දඩයමක් හරි නොගිය නිසා වෙහෙසට පත්ව ඉඳපු රජතුමා ට එක පාරටම මුව පොව්වෙක් දකින්න ලැබිලා. ඌ පස්සේ එළවද්දී පිරිසෙන් මග ඇරුන රජතුමා ට මිස්සක පවුව (මිහින් තලය) ආසන්නයේදී ඇහුනලු කවුරු හරි තමන්ගේ නම කියල කතා කරනවා..

"තිස්ස....තිස්ස..."

තමන් ගේ නම කියල කතා කරන්න තරම් නිර්භීත උන මෝඩයා කව්ද කියල විපරම් කරලා බලද්දී රජතුමා දැක්කලු මිස්සක පව්ව උඩ ඉන්න කහවත් ඇඳපු ශ්‍රමණයන් 6 දෙනෙක්. මේ හය දෙනා තමයි "මහින්ද මහ රහතන් වහන්සේ, ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්ධාසාල සහ සුමන සාමනේර". තව "භණ්ඩුක" කියල උපාසකයෙකුත් හිටියා. ඉතින් ඔවුන් කවුද කියලා විමසපු රජතුමා ට ලැබුනේ මෙන්න මෙහෙම පිළිතුරක්...

"සමනාමයං මහාරාජ ධම්ම රාජස්ස සාවකා....
තමේව අනුකම්පාය ජම්බු දීපා ඉධාගතා...."

"මහරජ, අපි බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයින් වෙමු.....ඔබට අනුකම්පාවෙන් දඹ දිව සිට පැමිණියෙමු...."

ඉන් පස්සේ මිහිඳු හිමියෝ රජතුමා ගේ බුද්ධි පරික්ෂාවකුත් කරා ලු ප්‍රශ්න 2 ක් අහලා (අඹ ගස් ප්‍රශ්නය සහ ඥාති ප්‍රශ්නය). ඉතින් දුනු හී බිම දමපු රජතුමා ත් රජු සොයා පැමිණි අනෙක් පිරිසත් එවෙලේම තෙරුවන් සරණ ගියාලු. බුදු දහම ලංකාවේ ස්ථාපිත කිරීමේ පළමු අදියර ඒ විදියට සාර්ථක ව නිම කරපු මිහිඳු හිමියෝ ඉතාමත් ක්‍රමානුකුලව සහ බුද්ධිමත් ව ඒ උත්තම කටයුත්ත දිගටම කරගෙන ගියා ලු.

ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව තම නැගණිය වූ සංඝමිත්තා තෙරණිය අතින් ලංකාවට වැඩමවා අර්ථවත් වෘක්ෂ වන්දනාවකට මිනිසුන් පෙළඹවීමත් භික්ෂුණි ශාසනය ඇති කිරීමත් ඉතාමත් වැදගත්. තිස්ස රජුගේ සොහොයුරෙකු ගේ බිසව වූ "අනුලා" දේවිය ඇතුළු කාන්තා පිරිස මිහිඳු හිමිගෙන් බණ අසා මාර්ග ඵල වලට පැමිණුනා ලු. එනිසා ලංකාවේ පළමුවෙන් මාර්ග ඵල ලබා ගත් අය වන්නේ කාන්තාවන්. දෙවනපෑතිස් රජතුමා මහමෙවුනා උයන සඟ සතු කොට  පූජා කළ අතර සංඝ රත්නයට වාසය කිරීම සඳහා මහා විහාරය කෙරෙව්වා ලු.  බුදුන්ගේ දකුණු අකු ධාතුව නිදන් කර ථූපාරාමය ඉදි කරන්නෙත් දේවානම්පිය තිස්ස රජතුමා.

මිහිඳු මහ රහතන් වහන්සේ ත් සංඝමිත්තා තෙරණියත් අශෝක රජුගේම දරුවන්. ඒක නිසයි ඔහු ලංකාවට විශේෂයක් කළා කියලා මම කලින් කිව්වේ. ඉතින් දෙවනපෑතිස් රජ සමය නිසැකවම ලක් ඉතිහාසයේ ස්වර්ණමය කාල පරිච්චේදයක්.

                                      ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~`

දෙවනපෑතිස් රජ සමය දේශපාලනමය වශයෙනුත් තීරණාත්මක අවධියක්. රටේ උප රාජධානි බිහි වෙන්න හේතු වෙන සිද්ධියක් වෙනවා මේ කාලේදී. දේවානම්පිය තිස්ස රජු ට පොඩි පුතෙක් ඉඳල තියනවා. රජු ගෙන් පසුව රජ කම ඔහුගේ සොහොයුරු "මහානාග" ට ලැබේවි කියලා බය වුනු රජුගේ බිරිඳ උපායක් යොදලා මහානාග මරවන්න. වැවක වැඩ පරීක්ෂා කරමින් ඉඳපු මහානාග කුමරුට විෂ අඹ සහිත පැසක් සේවකයෙක් අතේ යවන්නේ ඔහු ඒ අඹ කා මිය යාවි යන බලාපොරොත්තුවෙන්. එහෙත් සිදු වන්නේ අනෙකක්. එතන ඉඳපු තිස්ස රජුගේ පුංචි පුතු කාටත් කලින් අඹ රස බලනවා. ඉතින් බිසවට සිදු වෙන්නේ තමන්ගේම පුතාගේ මළ කඳ දැක ගන්න. මේ සිද්ධිය නිසා කළකිරෙන මහානාග කුමරු තම බිරිඳ (පසුව මාර්ග ඵල ලැබූ අනුලා දේවිය )  පවා අතහැර මාගම ට ගොස් උප රාජධානියක් අරඹනවා. තිස්සමහාරාම කිරි වෙහෙර කරවූයේ එතුමා බවට මතයක් තියනවා.

එනිසා දෙවනපෑතිස් රජුගේ මරණින් පස්සේ රජකම ලැබෙන්නේ ඔහුගේ තවත් සොහොයුරෙකු වන "උත්තිය" රජු ට - ක්‍රි. පූ. 267 - 257. ඉන්පසුව ඔහුගේ බාල සොහොයුරු වන "මහාසිව" රජු අවුරුදු 10 ක් ද (ක්‍රි. පූ. 257 - 247)  ඔහුගෙන් පසු ඊටත් බාල සොහොයුරු "සූරතිස්ස" රජු අවුරුදු 10 ක් ද (ක්‍රි. පූ. 247 - 237) රජකම් කරනවා. ඔය අතරෙදි තමයි සිංහල රාජධානිය ට ප්‍රථම සතුරු ආක්‍රමණය එල්ල වෙන්නේ. ලංකාවට අශ්ව වෙළඳාමේ ආපු දමිළ ජාතික "සේන සහ ගුත්තික" සූරතිස්ස රජු මරා රාජ්‍ය පැහැර ගෙන අවු. 22 ක් (ක්‍රි. පූ. 237 - 215) රාජ්‍ය කරනවා. ගිලිහුණු රාජ්‍ය නැවතත් ලබා ගන්න සූරතිස්ස රජුගේ බාලම සොහොයුරු "අසේල" රජු  -ක්‍රි. පූ. 215 - 205 (බු. ව. 329 - 339) සමත් වෙනවා. ඒත් අසේල රජුටත් වැඩිකල් රජකම් කරන්න ලැබෙන්නේ නැහැ. තවත් දමිළ ආක්‍රමණිකයෙක් වන "එළාර" ඔහු මරා රාජ්‍ය නැවතත් පැහැර ගන්නවා.

අපි බලමු මේ අතරෙදි මාගම රාජධානිය පැත්තේ මොකද වෙන්නේ කියලා. මහානාග රජු ගේ අභාවයෙන් පස්සේ මාගම රජ වෙන්නේ ඔහුගේ පුත් "යටාල තිස්ස". යටාල විහාරය මෙතුමාගේ නිර්මාණයක්. යටාල තිස්ස රජුගෙන් පසුව රජ වන්නේ ඔහුගේ පුත් "ගෝඨාභය".

මේ අතර යටාල තිස්ස රජුගේ තවත් පුතෙක් වන "තිස්ස" කැලණියේ උප රාජධානියක් බිහි කරමින් "කැළණි තිස්ස" නමින් රජ වෙනවා. මේ කැළණි තිස්ස රජ තුමාට ලැබෙනවා ලස්සන දූ කුමරියක් ("දේවී" කුමරිය).

ගෝඨාභය ගෙන් පසුව මාගම රජ වෙන්නේ ඔහුගේ පුත් "කාවන් තිස්ස" (ඔහු වර්ණයෙන් කළු නිසා මේ නමින් හැඳින්වුවා ලු). ඉතින් දැන් ඔයාලට පේනවා ඇති කාවන් තිස්ස රජු සහ දේවී කුමරිය නෑනා මස්සිනා වෙන බව :)

ඉතින් මේ අඳුන්වලා දීපු චරිත රටපුරා විසිරිලා හිටියත් (මාගම, කැලණිය, අනුරපුර ආදී වශයෙන්) පස්සේදී අපූරු විදියකට හමු වෙනවා. අපේ ඉතිහාස කතාවේ වැදගත්ම පරිච්චේදයක් සරසන්න මේ චරිත එකට එකතු වෙනවා. ඒ ගැන අපි ඊ ළඟ ලිපියෙන් කතා කරමු.

39 comments:

  1. නියමයි කොහොමහරි පරන මාතෘකාවටම ඇවිල්ලා...අනේ ලොකු දෙයක් කරන්නේ මේ අතීතේ මතක් කරලා......ආසාවෙන් කියවනවා...දිගටම ලියන්න...ජය!!!

    ReplyDelete
  2. අද මම පළවෙනියා...
    ඊළග කොටසින් තමයි වැදගත්ම ටික එන්නේ.. මං හිතන විදිහට...

    ReplyDelete
  3. අයියෝ.. මම ටිකක් පරක්කුයිනේ... :(

    ReplyDelete
  4. ගොඩක් ස්තූතියි මේ ඉතිහාස පාඩමට සයුරි.. :)
    ඉතිරියත් කියවන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා..
    සුබ පැතුම් දිර්ඝ ගමනකට..!!!!

    ReplyDelete
  5. දැන් තමයි බුදු දහම ප්‍රචලිත කරන කාලයට ආවේ.ඉතිරි කොටසත් ඉක්මනටම ලියන්න අක්කේ. ඒක නෙමෙයි ඔයා මේ රාජාවලිය කෝට්ටෙට වෙනකම් ගේනවද ? එහෙනම් මරු !!!

    ReplyDelete
  6. //කාවන් තිස්ස රජු සහ දේවී කුමරිය නෑනා මස්සිනා වෙන බව//

    යකඩෝ... මං දැනන් ඉන්නවා කියලා හිතුනට දන්නැති දේ අනන්තයි නොවැ. නෑනා මස්සිනා කථාව හොඳට පැහැදිලි කරලා තියෙනවා සයුරි. වෙනදා වගේම දන්න ටිකට තවත් දේවල් අළුත් කරගත්තා. පරක්කු වුනත් කමක් නෑ දිගටම ලියාගෙන යන්න. රාජාවලිය ඔක්කොම ඉවර කරලා PDF කරන්න. එතකොට අන්තර්ජාලය නැති අයටත් ප්‍රයෝජනයක් වේවි. ස්තුතියි !!!

    ReplyDelete
  7. දිග ගමනකට සුබ පැතුම් !!!!

    ReplyDelete
  8. @ ඔබ නොදුටු ලොවක් : ස්තුතියි...ආපහු පරණ මාතෘකාවට ආවා :)

    @ දිනේෂ් : අනේ මොන පරක්කුවක් ද මලයෝ...ඔව් ඊ ළඟ කොටස වැදගත් එකක් වෙයි...

    @ නන්දු : බොහොම ස්තුතියි...කාලෙකින් ඔයාව දැක්කේ..

    ReplyDelete
  9. @ මධූ : හිතාගෙන ඉන්නෙනම් වර්තමාන රජතුමා දක්වාම ගේන්න තමයි මල්ලි...ඒත් ඉදිරිය තවම පැහැදිළි මදි :)

    @ චතු : මම හිතන්නේ ඔය කතාව කොහෙවත් ලියවිලා නැද්ද කොහෙද...ඒත් ඉතින් නෑ කම දිහා බැලුවම ඒක වරදින්න විදියක් නෑ මගෙ හිතේ...ස්තුතියි ඔයාගේ අදහසට. බලන්නම්කෝ මේක ඉවර වෙලා PDF කරන්න.

    @ විසිතුරු : ස්තුතියි විසිතුරු !!!

    ReplyDelete
  10. ඔයා දන්නවනෙ මේ පොස්ට් පෙලට මම කොහොමත් මනාපයි කියල. ආයෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ හැමදාම වගේ රසවත්. අවසානය දක්වා ලියන්න ගොඩක් වටින පෝස්ට් පෙලක් වෙයි.

    ReplyDelete
  11. හොඳයි හොඳයි මේ ලිපි පෙල නම්.
    ඒත් ලංකාවේ ඉතිහාසය ගැන ලියවිලා තියෙන සියල්ල සත්‍යද කියන එක මටනම් ප්‍රශ්ණයක්. මහ වංශය වුණත් ලියවෙන්නෙ අවරුදු සිය ගාණක් අතීතයට ගිහින් අතීත කරුණුයි. මේ වර්තමානයේ වෙන දේවල් පවා වැරැදි අර්ථකතන ස්ථාපිත කරන තත්වයක් තුළ අතීතයේදීද එසේ නොවූවායැයි කිව නොහැක්කේ එදා මෙන්ම අදත් සමාජ, දේශපාලන පරිසරය සහ ප්‍රභූන්ගේ හැසිරීම එතරම් වෙනස් කමක් දක්වන බව නොපෙනෙන නිසයි.

    ReplyDelete
  12. ලස්සනට ලියලා තියෙනවා හැමදාමත් වගේ ම!

    ReplyDelete
  13. @ රෝස කුමාරි : ඒක මම දන්නවා රෝස කුමාරි :) මම පුළුවන් තරම් උත්සාහ ගන්නවා මේක අවසානය දක්වාම කරගෙන යන්න.

    @ Outsider : ඕක හැමෝටම ප්‍රශ්නයක් Outsider...ඒත් ඉතින් ඉතිරි වෙලා තියන මූලාශ්‍ර පාවිච්චි කරලා පුරා විද්‍යාත්මක කරුණුත් එක්ක සසඳලා පිළිගත හැකි දෙයක් අරගන්නවා ඇරෙන්න අපේ ඉතිහාසඥයින්ටත් වෙන කරන්න පුළුවන් දෙයක් නැහැ නේද?

    @ ලහිරු : බොහොම ස්තුතියි ලහිරු හැමදාමත් මේ පැත්තේ එනවට..

    ReplyDelete
  14. මම දැන් හැමදාම පරක්කුයිනේ,. :( හරිම වැදගත් ලිපි ටිකක් අක්කේ,. මාත් ගොඩාක් ආසයි ඉතිහාසයට,.

    ReplyDelete
  15. මම කොහොමත් පරක්කුයි නේ..:O ඔන්න මම අද අපේ ඉතිහාස කතාව අග ඉදන් මුලට කියෙව්වා..:)ඉතින් ඉතිරි ටිකත් ඉක්මනට ම යමු..:D

    ReplyDelete
  16. @ ප්‍රාර්ථනා : ස්තුතියි නංගා....තාම දවසයිනේ ගියේ..කිසිම පරක්කුවක් නෑ :)

    @ චතුමිතු : ආ..චතු හොඳ ළමයෙක් වෙලා කියලා මට ආරංචියක් ආවා...හොඳා හොඳා, ඉතුරු ටිකත් කියවන්න එන්නකෝ එහෙනම් :)

    ReplyDelete
  17. "ඒත් ඉදිරිය තවම පැහැදිළි මදි :)"

    මට මේ රිප්ලයි එක කියෙව්වම මතක් උනේ ඉස්සර බස් වල ගහලා තිබ්බා 'ඉස්සර කරන්න එපා ඉදිරිය පැහැදිලි නෑ' කියලා බෝඩ් එකක්. :)

    පොඩ්ඩක් හරි බලමු. මේ ආපු ටිකේ ඉතුරු හරියත් කෝම හරි යන්.

    ReplyDelete
  18. ආපහු පරණ වැඩේ පටන් ගත්තු එක ලොකු දෙයක්
    ඉතිහාසයේ අප නොදත් අහුමුළු පහදා දෙන එකට ගොඩක් ස්තුතියි සයුරි
    හැමදාම වගේ බොහෝම ආසාවෙන් කියෙව්වා

    ReplyDelete
  19. @ මධූ : හි හි...අනිවාර්..උපරිම උත්සාහය දරන බවට පොරොන්දු වෙමි....!!!

    @ ලොකු පුතා : හැමදාම වගේ ඔබටත් බොහොම ස්තුතියි ලොකු පුතා ඇගයීමට.....

    ReplyDelete
  20. නෑනා මස්සිනාකම මං දැනගත්තෙත් අද.....
    ඔයා අන්තිමට කියල තියෙන එකෙන් මගේ කුතුහලය ඇවිස්සුවා... ආසාවෙන් බලන් ඉන්නෙ ඊළඟ කොටස කියවන්න.... දිගටම ලියන්න... ආසයි කියවන්න...

    ReplyDelete
  21. කියලා තියෙන විදිහට නෑනා මස්සිනා නෙවෙයි නේද අක්කේ.නෑකම වෙන්නෙ නංගියි,අයියයි නේද?

    ReplyDelete
  22. @ මියුරු : ස්තුතියි මියුරු...ඊ ළඟ කොටස වැදගත් වගේම කවුරුත් වගේ දන්නා කොටසක් තමා ඉතින්...

    @ නිසුපා : හ්ම්ම්...ඔයා කියන එකත් හරි ඇති නංගි. මට මතක් උනේ මේ මම අහල තියන විදිය..
    සහෝදරයෝ දෙන්නෙක්ගේ දුව සහ පුතා නම් "නෑනා මස්සිනා" වන අතර සහෝදරයෙකුගේ සහ සහෝදරියකගේ දුව සහ පුතා "ඇවැස්ස නෑනා මස්සිනා" වේ. අනේ මන්දා හරි කෝකද කියලා...

    ReplyDelete
  23. හොදම කොටස ඊළග එක නේද අක්කේ :)

    ReplyDelete
  24. ඊළඟ කොටස බලන්න ඕනේ ඉක්මනට.. කුතුහලේ වැඩිකරලානේ පොස්ට් එක නවත්තල තියෙන්නේ.. :) :)

    ReplyDelete
  25. @ චම්මා: ඔව් මල්ලී..හොඳ හොඳ දේවල් ඊ ළඟ ලිපියෙන්..:)

    @ අයිස් : හි හි..මෙව්වා ඉතින් කවුරුත් දන්නා කතා නේ නගෝ...

    ReplyDelete
  26. ආයි සුපුරුදු කතාව ලියන්න ආපු එක ගැන සතුටුයි අක්කේ...... අදත් පොඩි එකතු කිරීම් ටිකක් කරන්නම්

    "එනිසා මුටසිව රජු ගේ අභාවයෙන් පස්සේ "දේවානම්පිය තිස්ස / දෙවන පෑතිස්‌" නමින් රජ වෙන්නේ ඔහුයි"

    මුලින් තිස්ස නමින් රජවෙලා ධර්මාශෝක රජතුමාගෙන් ලැබුණු මෞර්ය අභිෂේකයට අනුව දෙවෙනි පාර කරපු අභිෂේකයෙන් පස්සේ තමා තිස්ස රජතුමාව දේවානම් පියතිස්ස/ දෙවන පෑතිස් නමින් හඳුන්වන්න පටන් ගත්තේ.....

    ඒ වගේම මිහිඳු හිමියන් තමන් වහන්සේව හඳුන්වා දීපු ගාථාවේ පොඩි පොඩි වැරදි තැන් කීපයක් තියෙනවා අක්කේ. හරියටම ගාථාව මෙහෙමයි

    සමණා මයං මහාරාජ ධම්මරාජස්ස සාවකා
    තවෙ'ව අනුකම්පාය ජම්බුදීපා ඉධාගතා

    "තිස්ස රජුගේ සොහොයුරෙකු ගේ බිසව වූ "අනුලා" දේවිය ඇතුළු කාන්තා පිරිස"

    දෙවන පෑතිස් රජතුමාගේ සොයුරු යුවරාජ මහානාග තමා අනුලා බිසවගේ සැමියා

    "රටේ උප රාජධානි බිහි වෙන්න හේතු වෙන සිද්ධියක් වෙනවා මේ කාලේදී"

    රටේ ඒ වන විටත් උප රාජධානි කීපයක් තිබුණු බව වංස කතාවලින් තහවුරු වෙනවා. ඒවා තමා චන්දනගාමය සහ කාචරගාමය. ඒවායේත් පාලනය ගෙන ගියා කියන්නේ ක්ෂත්‍රීය වංශිකයන්

    "මහානාග කුමරු තම බිරිඳ (පසුව මාර්ග ඵල ලැබූ අනුලා දේවිය) පවා අතහැර මාගම ට ගොස් උප රාජධානියක් අරඹනවා. තිස්සමහාරාම කිරි වෙහෙර කරවූයේ එතුමා බවට මතයක් තියනවා"

    තිස්සමහාරාමය කරවන්නේ මහානාග රජතුමාගේ මී මුණුබුරෙක් වුණු කාවන්තිස්ස රජතුමා. ඒ වගේම කිරි වෙහෙර මුල්වරට ඉදිකරවන්නේ බුදුන් වහන්සේ එහි වැඩම කරන කාලයේ ඒ ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලකය වුණු මහාසේන. ඒත් පස්සේ කාලක් එහි ඉදිකිරීම් කරවන්නේ මහානාග රජතුමා

    "මහානාග රජු ගේ අභාවයෙන් පස්සේ මාගම රජ වෙන්නේ ඔහුගේ පුත් "යටාල තිස්ස". යටාල විහාරය මෙතුමාගේ නිර්මාණයක්"

    මහානාග කුමාරයා රුහුණට පලා යද්දී යටාල වෙහෙර ආසන්නයේදී පුතා උපන් නිසා යටාල වෙහෙර හා තම වැඩිමහල් සොයුරා සිහිපත් කරමින් යටාලතිස්ස කියලා නම් තැබුවා කියලා තමා මහාවංසේ නම් තියෙන්නේ. එහෙම බලද්දී යටාල වෙහෙර යටාලතිස්ස රජතුමා කරවපු එකක් නෙමෙයි. එතුමා උද්ධකන්දර කියලා විහාරයක් කරවූවා කියලා මහාවංසය කියනවා

    "මේ අතර යටාල තිස්ස රජුගේ තවත් පුතෙක් වන "තිස්ස" කැලණියේ උප රාජධානියක් බිහි කරමින් "කැළණි තිස්ස" නමින් රජ වෙනවා. මේ කැළණි තිස්ස රජ තුමාට ලැබෙනවා ලස්සන දූ කුමරියක් ("දේවී" කුමරිය)"

    මේ කතාවේ නම් ගැටලුවක් තියෙනවා අක්කේ. අක්කට මේ තොරතුරු ලැබුණු මූලාශ්‍රය මොකක්ද ??? මහාවංසයේ විදිහට නම් කැලණියේ රාජ්‍ය කරපු කැලණිතිස්ස රජතුමා මුටසීව රජතුමාගේ මුණුබුරෙක්. මුටසීව රජතුමාගේ පුතෙක් වුණු උත්තිය රජතුමාගේ පුතෙක් තමා කැලණිතිස්ස රජතුමාගේ පියා වෙන්නේ

    "ගෝඨාභය ගෙන් පසුව මාගම රජ වෙන්නේ ඔහුගේ පුත් "කාවන් තිස්ස" (ඔහු වර්ණයෙන් කළු නිසා මේ නමින් හැඳින්වුවා ලු). ඉතින් දැන් ඔයාලට පේනවා ඇති කාවන් තිස්ස රජු සහ දේවී කුමරිය නෑනා මස්සිනා වෙන බව"

    එහෙම බලද්දී මහානාග හා උත්තිය දෙසොයුරන්ගේ පුතුන්ගේ පුතුන් තමා ගෝඨාභය සහ කැලණිතිස්ස. එතකොට කාවන්තිස්ස රජතුමාගේ බාප්පා කෙනෙක් හෝ මහප්පා කෙනෙක් තමා කැලණිතිස්ස රජතුමා. ඒ නිසා කාවන්තිස්ස විහාරමහාදේවි නෑනා මස්සිනා නෙමෙයි

    ReplyDelete
    Replies
    1. උත්තිය රජතුමාගේ පුතෙකුගේ හෝ දියණියකගේ පුතෙක්. උත්තිය රජතුමාගේ පුතෙකු නොවේ

      Delete
  27. @ හසිත : අදත් ඔයාට ස්තුතියි එකතු කිරීම් වලට...

    මේ කලින් තිබුණා කියන උප රාජධානි වල ආරම්භය ගැන කොහේ හරි මුලාශ්‍ර වල ලියවිලා තියද? එහෙමනම් ආසයි ඒවා දැනගන්න. ඒවා මාගම තරම් ම සැළකිල්ලට ලක් වෙන්න නැතුව ඇති නේද?

    යටාලතිස්ස තිස්ස කුමාරයා ඉපදුනේ මාගමට යන අතරමග කියලා මාත් අහල තියනවා. හැබැයි විහාරය හැදුවේ ඔහු ඉපදුන තැන, පස්සේ කාලෙක නෙමෙයිද?

    මේවා ලියන්න පාදක කර ගත්තේනම් මල්ලි, ඉස්සර විද්‍යුත් ටිකාව බලද්දී සංසන්දනය කරලා ලියා ගතිපු කටු සටහනක්..ඔක්කොම පොත් පත් ගෙදර දාලා එන්න උන නිසා ඒවා බලන්න ක්‍රමයක් නැහැ. අන්තර්ජාලයේ මේ ගැන හෙව්වම මට ලැබුනේ මේ ලින්ක් එක විතරයි...

    The Dīpavaṃsa and Mahāvaṃsa and their historical development in Ceylon

    in page 99 - "Kelanitissa was in all probability a brother or cousin of Gothabhaya, the father of Kakavannatissa"

    මේ කියන හැටියටනම් ඔහු සොහොයුරෙක් හෝ ඥාති සොහොයුරෙක් වෙන්න පුළුවන්. නෑනා මස්සිනා කතාව ගැන මම හිතන්නේ නිසුපා ට දීපු පිළිතුරේ තියන විදියට. සහෝදරයෝ දෙන්නෙක්ගේ ළමයි එකිනෙකාට "අයියා නංගි" වෙනවද නැත්නම් "නෑනා මස්සිනා" වෙනවද කියලා තව ටිකක් හොයලා බලන්න ඕන...එතකොට ඇවැස්ස නෑනා මස්සිනා අර්ථ දක්වන හැටිත් වෙනස් වේවි නේද?

    ReplyDelete
  28. උප රාජධානිවල ආරම්භයක් ගැන කතා කරන මූලාශ්‍ර තියෙනවාද කියලා නම් අක්කේ මම දන්නේ නැහැ. මම හිතන විදිහට මුල්ම ආර්ය කණ්ඩායම් තමන්ගේ ජනාවාස පිහිටුවා ගැනීමත් එක්ක මේ ප්‍රදේශවල රාජ්‍ය බිහිවෙන්න ඇති....

    ඒත් ඒවායේ වුණු කටයුතු ගැන නම් මහාවංසයේ වගේම තව වංස කතා කීපයක දක්වනවා. චන්දනගාමය සහ කාචරගාමය කියන උප රාජධානි දෙක ගත්තාම ඒවායේ පාලකයෝ වෙලා තියෙන්නේත් ක්ෂත්‍රීය එහෙමත් නැත්නම් රාජ වංශිකයෝ.

    අනුරාධපුරයේ තිබුණු ශ්‍රී මහා බෝධි රෝපණයට මොවුන් සහභාගි වුණා වගේම මුලින්ම හටගත් අෂ්ට ඵල රූහ බෝධි මේ ප්‍රදේශවලටත් ලබාදීලා තියෙනවා.

    මේකේ දේශපාලන පසුබිම සළකලා බලද්දී අනුරාධපුරය ආදී ප්‍රදේශවලට විතරක් සීමාවෙලා තිබුණු තිස්ස රජතුමාගේ බලය අශෝකගේ මෞර්ය අභිෂේකය ලබාගැනීමත් සමඟ අනෙක් උප රාජ්‍යවල හිටිය පාලකයනුත් පිළිගන මට්ටමට පත්වුණා. ඒ වගේම බුදු දහම හරහාත් දේවානම්පියතිස්සගේ බලය අනෙක් පාලකයන් පිළිගන්නා මට්ටමකට පත්වුණා.

    චන්දනගාමයේ අවසානයක් ගැන සඳහනක් නැතත් කාචරගාමයේ අවසානය ගැන නම් සඳහන් වෙනවා. යටාලතිස්සගේ පුතා වුණු ගෝඨාභය කතරගම "දස බතික හෙවත් දස බෑ" රජවරු සමූල ඝාතනය කරා කියලා වංස කතාවල දැක්වෙනවා....

    ඉතිරිය පසුවට අක්කේ. හදිසියේම පොඩි ගමනක් යන්න වෙලා තියෙනවා :)

    ReplyDelete
  29. @ හසිත : බොහොම ස්තුතියි මල්ලි මේ තොරතුරු වලට...ඔය ක්ෂත්‍රිය වංශිකයෝ කියල කිව්වෙත් පඬුවස්දෙව් ගේ පෙළපතෙන් බිඳිලා ආපු අය වෙන්න ඇති නේද? එහෙම නැත්නම් ඊටත් පෙර මේ රටේ මුල් පදිංචි කාර ක්ෂත්‍රියයෝ ද දන්නේ නැහැ...

    අප්පේ..එහෙනම් ගෝඨාභය තමයි කතරගම රාජ්‍ය ඉවර කරලා තියෙන්නේ...ගමන ගිහින් එන්නකෝ එහෙනම්, මගේ බ්ලොග් එකේ කමෙන්ට් කරන්න ගිහින් ඔයාටත් වැඩක් කරගන්න නැහැ :)

    ReplyDelete
  30. ක්ෂත්‍රිය වංශිකයෝ කිව්වාම පඬුවස්දෙව්ම නෙමෙයි අක්කේ. එයාගේ පුතුන් දහ දෙනාගෙන් අන්තිමට ඉතුරු වුණේ දෙන්නෙක් විතරනේ. සමහර විට මරලා දාපු අයගේ පුතුන් වෙන්නත් පුලුවන්. ඒ වගේම පඬුවස්දෙව්ගේ බිසව වුණු භද්දකච්චානා කුමරියගේ සහෝදරයන්ගෙන් වෙන්නත් පුලුවන් මේ උප රාජධානි ඇතිවුණේ

    කාචරගාමයේ අවසානය වෙන්නේ මම කලින් කිව්වා වගේ කාචරගාමය එහෙමත් නැත්නම් කතරගම පාලනය කරපු සහෝදර රජවරු දස දෙනාව ගෝඨාභය විසින් මරලා දාපු එකෙන්....

    මහාවංසයේ 22 පරිච්ඡේදයේ 7 ගාථාවේ තියෙන්නේ
    යට්ඨාලයවිහාරම්හි මහෙසී තස්ස ගබ්භිනී
    පුත්තං ජනෙසි සො තස්ස භාතුනාමං අකාරයි

    එනම් යටාල විහාරයේදී ගැබ් ගෙන සිටි බිසව පුතෙක් බිහිකළා. එවිට යුවරජ තමන්ගේ සොයුරාගේ නමින් පුතාව නම් කළා කියලා. ඒ වෙනකොට යටාල විහාරය තිබිලා තියෙනවා. ඊට පස්සේ 9 ගාථාවේ දක්වන්නේ උද්ධකන්දර ආදී විහාර යටාලතිස්ස රජු කළා කියලයි.....

    මම කලින් කිව්වා වගේ
    "මහාවංසයේ විදිහට නම් කැලණියේ රාජ්‍ය කරපු කැලණිතිස්ස රජතුමා මුටසීව රජතුමාගේ මුණුබුරෙක්. මුටසීව රජතුමාගේ පුතෙක් වුණු උත්තිය රජතුමාගේ පුතෙක් තමා කැලණිතිස්ස රජතුමාගේ පියා වෙන්නේ.

    මහානාග හා උත්තිය දෙසොයුරන්ගේ පුතුන්ගේ පුතුන් තමා ගෝඨාභය සහ කැලණිතිස්ස. එතකොට කාවන්තිස්ස රජතුමාගේ බාප්පා කෙනෙක් හෝ මහප්පා කෙනෙක් තමා කැලණිතිස්ස රජතුමා. ඒ නිසා කාවන්තිස්ස විහාරමහාදේවි නෑනා මස්සිනා නෙමෙයි"

    ඉතින් ගෝඨාභය සහ කැලණිතිස්ස ඥාති සොයුරන් තමා. කැලණිතිස්ස කියන්නේ කාවන්තිස්ස රජතුමාගේ බාප්පා හෝ මහප්පා තමා කැලණිතිස්ස. [එහෙම කිව්වේ ගෝඨාභය සහ කැලණිතිස්සගෙන් වැඩිමහල් එක්කෙනා දන්නේ නැති නිසා]

    "නෑනා මස්සිනා කතාව ගැන මම හිතන්නේ නිසුපා ට දීපු පිළිතුරේ තියන විදියට. සහෝදරයෝ දෙන්නෙක්ගේ ළමයි එකිනෙකාට "අයියා නංගි" වෙනවද නැත්නම් "නෑනා මස්සිනා" වෙනවද කියලා තව ටිකක් හොයලා බලන්න ඕන...එතකොට ඇවැස්ස නෑනා මස්සිනා අර්ථ දක්වන හැටිත් වෙනස් වේවි නේද?"

    පිය පාර්ශවයේ සහෝදරයන් සහ එයාලගේ දරුවෝ ඒ වගේම මව් පාර්ශවයේ සහෝදරියෝ සහ එයාලගේ දරුවෝ තමා සමාන්තර ඥාතීන් කියන්නේ. සමාන්තර ඥාතීන් අතර විවාහ සබඳතා පවත්වන එක අතීතයේ නොපිළිගත්තු එකක්. මොකද එයාලා සහෝදර සහෝදරියෝ විදිහටයි හඳුන්වන්නේ.

    පිය පාර්ශවයේ සහෝදරියන්ගේ දරුවෝ වගේම මව් පාර්ශවයේ සහෝදරයන්ගේ දරුවෝ හරස් ඥාතීන් එහෙමත් නැත්නම් ඇවැස්ස ඥාතීන්. ඔවුන් තමා නෑනා සහ මස්සිනා වෙන්නේ..... හරස් ඥාතීන් අතර පවතින විවාහ සබඳතා තමා අතීතයේ අනුමත කරලා තියෙන්නේ

    ඒක නිසා සහෝදරයන් දෙදෙනෙක්ගේ ළමයි වගේම සහෝදරියන් දෙදෙනෙක්ගේ ළමයි ඇවැස්ස නෑනලා හෝ මස්සිනාලා වෙන්නේ නැහැ........

    ReplyDelete
  31. ආහ් මට අමතක වුණා කියන්න මම අර කලින් කරලා තියෙන නෑනා මස්සිනා අර්ථ දැක්වීම් සමාජ විද්‍යාවේ පවුල, විවාහය වගේ පාඩම්වල කරන අර්ථ දැක්වීම්. නැතුව මම හදපුවා නෙමෙයි :))

    ReplyDelete
  32. හ්ම්ම්...මේකයි මට හරියටම දැන ගන්න ඕන. ඇවැස්ස නෑනා මස්සිනා කියන්නෙත්, නිකන්ම නෑනා මස්සිනා කියන්නෙත් එකක් නෙමෙයි දෙකක්. ඒ දෙකේ වෙනස ගැන මම දැනගෙන හිටියේ අර විදියට. එනම් සමාන්තර අය නෑනා මස්සිනා වන බවත්, හරස් ඥාතීන් ඇවැස්ස නෑනා මස්සිනා වන බවත්. මමත් මේක දැනගත්තේ ඉස්සර උගන්නපු පාඩමකින් තමයි. "අයියා නංගි" "නෑනා මස්සිනා" සහ "ඇවැස්ස නෑනා මස්සිනා" යන තුනේ වෙනස ඉක්මනින්ම හොයා ගන්නම්.

    කැළණි තිස්සගේ පියා ගැන..මහා වංශය, දීප වංශය එකම මතයක ඉන්නවද? මොකද ඒ දෙකම විශ්ලේෂණය කරලා සඳහන් කරලා තියෙන්නේ මම අර කලින් කියපු විදියට නිසා. එනම් "සොහොයුරෙක් හෝ ඥාති සොහොයුරෙක්". ඒ කියන්නේ මේ දෙකෙන් ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. හරි මොකක්ද කියලා ස්ථිරවම කියන්න අපි දන්නේ නැහැ.

    කොහොම උනත් කාවන්තිස්ස සහ දේවී කුමාරි පැහැදිළිවම සමාන්තරයින්. ඒ නිසා ඔවුන්ගේ විවාහය ත් සම්මත එකක් නෙමෙයි නේද? ඒ කාලේදී ඒවා ගනන් ගන්න නැතුව ඇති. :))

    ReplyDelete
  33. මෙහෙමයි අක්කේ තාත්තගේ සහෝදරයන්ගේ දරුවෝ අපේ සහෝදර සහෝදරියෝ විදිහටයි ගැනෙන්නේ. ඒ වගේමයි අම්මගේ සහෝදරියන්ගේ දරුවොත්.

    ඒත් තාත්තාගේ සහෝදරියන්ගේත් අම්මාගේ සහෝදරයන්ගේත් දරුවෝ අපේ නෑනලා මස්සිනාලා වෙනවා. මෙතන ඇවැස්ස කියන එකෙන් අදහස් වෙන්නේ "අවශ්‍ය" කියන එක. නෑනා මස්සිනා විවාහය ඒ කාලේ අවශ්‍යතාවයක් බවට පත්වෙලා තිබුණු නිසායි "ඇවැස්ස"පදය එකතු වෙලා තියෙන්නේ.

    නෑනලා මස්සිනාලා වගේම ඇවැස්ස නෑනලා මස්සිනාලා කියලත් කට්ටියක් ඉන්නවා තමයි. මොකද නෑනා මස්සිනා වුණත් නෑනා මස්සිනාට වඩා වයසින් වැඩිමල් නම් එතන විවාහයක් සිදුවෙන්නේ නැහැනේ. ඒත් ඔවුන් අතර නෑකම නෑනා මස්සිනා.

    ඒ වගේම නෑනා මස්සිනා සමවයස් හෝ නෑනා බාල නම් එතන විවාහයක් සිදුකරන්න පුලුවන්. ඒක ඇවැස්ස නෑනා මස්සිනා සබඳතාවක්

    කෝකටත් ඔයත් හොයලා බලන්න අක්කේ

    කැලණිතිස්ස ගෝඨාභය කතාව ගැන කිව්වොත් දීපවංසයක් නම් මා ගාව නැහැ අක්කේ ඒ ගැන කියන්න. ඒ වගේම තවත් මතයක් තියෙනවා. යටාලතිස්ස සහ ගෝඨාභය කියන්නේ සහෝදරයෝ කියලත්. කොහොම නමුත් වඩා පැරණි කෘතිය දීපවංසය.

    ඒ වගේම මහාවංස කතුවර මහානාම හාමුදුරුවෝ කෘතිය ආරම්භයේදී කියනවා පුරාණ මූලාශ්‍රවල තියෙනවා අඩුපාඩු ඉවත් කරමින් තමා මහාවංසය ලියන්නේ කියලා. කොහොම නමුත් මම කලින් කිව්වේ මහාවංසයේ ආකාරයට දෙන්නාගේ නෑකම ගැන.

    කාවන්තිස්ස සහ විහාරමහදේවි විවාහය සම්මත එකක් නොවුණත් ඒක දේශපාලනික අවශ්‍යතාවක් වෙන්න ඇති. එළාරට විරුද්ධව එක්සත් රෝහණයක් බිහිකරන්න ඒක පාදක වුණා කිසියම් ආකාරයකට. අනික රජවරු අතර සම්මත දේවල්ම වෙන්නේ හරි අඩුවෙන්නේ.

    විජය කුමාරයාගේ පියාවෙන සිංහබාහු සරණ පාව ගන්නේ තමන්ගේම නංගි වුණු සිංහසීවලීවනේ. ඒ වගේම ශාක්‍ය වංශය ආරම්භ කරපු ඔක්කාක රජතුමාගේ පුතුන් සරණ පාව ගන්නේත් තමන්ගේම නැගණියන්ව

    ReplyDelete
  34. ස්තූතියි හසිත මල්ලි නෑනා මස්සිනා අවුල ලිහලා දුන්නට.මාත් අහලා තියෙනවා ඇවැස්ස කියන්නෙ අවශ්‍ය කියන එකට කියලා.

    දැන් එතකොට ඔය සෙකන්ඩ් කසින් කියලා ඉන්ග්‍රිසියෙන් කියන නෑදෑකම කොහොමද දන්නෙ නෑ.

    ReplyDelete
  35. ඔන්න මට දැන ගන්න ලැබුණු කතාව...ඔය "අවශ්‍ය" කම ඇති වෙන්නේ මෙහෙමලු.

    දැන් අපි දන්නවනේ සහෝදරයෙක් ගේ දරුවෙක් සහ සහෝදරියෙක් ගේ දරුවෙක් නෑනා මස්සිනා වෙනවා කියලා. සහෝදරයාගේ දරුවා ගැහැණු ළමයාත්, සහෝදරියගේ දරුවා පිරිමි ළමයාත් නම් විතරයි ලු "ඇවැස්ස" කියලා කියන්නේ. සහෝදරයාගේ දරුවා පිරිමි ළමයා ත්, සහෝදරිය ගේ දරුවා ගැහැණු ළමයා ත් නම් ඇවැස්ස හැටියට ගනන් ගන්නේ නැහැ. එයාලා නිකන්ම නෑනා මස්සිනා.

    උදාහරණයක් හැටියට මගේ අම්මාගේ අයියාගේ පුතා මගේ මස්සිනා උනත් ඇවැස්ස මස්සිනා නෙමෙයි. ඒත් තාත්තාගේ අක්කාගේ පුතා මට ඇවැස්ස මස්සිනා. වයස ගැන ප්‍රශ්නයක් එතන තිබුණා කියල නම් මට මතක නැහැ...

    කොහොම උනත් නිවැරදිම මතය මේක කියලා මම කියන්නේ නැහැ...එක එක විදියේ අර්ථ දැක්වීම් එකතු වෙනවනේ කාලයත් එක්ක. බොහොම ස්තුතියි ඔයාගේ අදහස් වලට...

    @ නිසුපා : ඕක මටත් තිබුණ ලොකු ප්‍රශ්නයක්...අන්තිමට මේකෙන් තමයි ගොඩ ගියේ...:)

    ReplyDelete
  36. https://www.facebook.com/photo.php?fbid=155540947903834&set=a.124882680969661.8377.124423387682257&type=1&theater

    owa kohomada viswasa karanne

    ReplyDelete
  37. කාවන් තිස්සගේ නෝනා ගේ නම කුමක්ද?

    ReplyDelete
  38. කැළණි තිස්ස කියන්නේ යටාල තිස්ස කුමරුගේ තව පුතෙක් නොව. යටාල තිස්ස කුමරුගේ පියාගේ සහෝදරයා වන උත්තිය රජතුමාගේ පුතෙකුගේ හෝ දියණියකගේ පුතෙක්. ඒ පිළිබඳව වැඩි විස්තර සඳහන්ව නැත. කරුණු දන්නේ නම් දැනුම් දෙන ලෙඅ ඉල්ලා සිටිමි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...