Friday, December 16, 2011

මා චණ්ඩාලියකී - රාජාවලිය VII



නැවතත් රාජාවලියට :) (මධු මල්ලිගේ නොතේරෙන කවි රික්වෙස්ට් එක පස්සට දාන්න උනාට තරහ වෙන්න එපා හොඳේ....උණක් හැදිලා තිබිලා යාන්තම් රිකවර් උනා විතරයි.)

                                             ~~~~~~~~~~~~~~~~~~~~~~~~~
අපි කලින් රාජාවලිය ලිපිය අවසාන කලේ දුටුගැමුණු රජතුමා (ක්‍රි. පූ. 161 - 137) ලඟින්. මී ළඟ ඔටුන්න හිමි කුමාරයා වෙලා හිටියේ අපේ "සාලිය" කුමාරයා බව කවුරුත් දන්නවා නේ. සාලිය කුමාරයා තමයි දුටුගැමුණු රජතුමාගේ එකම (නිත්‍යානුකුල) පුත්‍ර රත්නය. හැබැයි ඉතින් මේ කුමාරයා ඉතිහාසගත වෙන්නේ ශ්‍රේෂ්ට රජෙක් හැටියට නම් නෙමෙයි, රජ කම දෙවෙනි කොට පෙම් කළ ප්‍රේමවන්තයෙක් හැටියට.


"අශෝක මාලා" නම් අති සුරූපී චණ්ඩාලියකට පෙම් කළ කුමාරයා ට පිය රජතුමා ගෙන් අනතුරු ඇඟවීමක් ලැබුනලු  ඇය අග බිසව කර ගැනීමට අදහසක් ඇත්නම් රජ කමත් නොදෙන බවට. මේ කුල ප්‍රශ්නය අදටත් වඩා තදින් එදා තියෙන්න ඇති. ඉතින් කුමාරයා මොකද කළේ? රජ කම එපා කියපු එක. ඉතින් සිහසුනට වෙනත් උරුමක්කාරයෙක් හිටියේ දුටුගැමුණු රජතුමා ගේ මලනුවන් සද්ධාතිස්ස විතරයි. ඒ නිසා දුටුගැමුණු රජු ගේ මරණින් පස්සේ සද්ධාතිස්ස රජතුමා - ක්‍රි. පූ. 137 - 119 (බු. ව. 407 - 425) ට සිහසුන හිමි වෙනවා. ඔන්න ඔහොමලු රාජාවලියේ එක් වැදගත් සන්ධිස්ථානයක් ඇති වුනේ. දුටුගැමුණු රජුගේ දරුවන් වෙනුවට සද්ධාතිස්ස රජුගේ දරුවන්ගෙන් ඇති වෙන පරපුර හෙළ රජ පෙළපත ට එක් වෙනවා.

සද්ධාතිස්ස රජතුමා දැහැමෙන් සෙමෙන් අවුරුදු 18 ක් රජ කළා ට පස්සේ රජකම උරුම වෙන්නේ ඔහුගේ  පුත්‍රයෙක් උන "ථුල්ලතනතිස්ස" රජතුමා (ක්‍රි. පූ. 119) ට. ඒත් පේනවා නේද, එතුමා රජ කරලා තියෙන්නේ අවුරුද්දකට අඩු කාලයක්. හරියටම කිව්වොත් මාසයකුත් දවස් ගානක්. හේතුව තමයි ඔහුගේම වැඩිමහල් සොහොයුරු "ලජ්ජිතිස්ස" ගෙන් මැරුම් කන්න සිද්ධ වීම. සද්ධාතිස්ස රජු ගේ මරණින් පස්සේ ථුල්ලතනතිස්ස රජ වෙන්නේ සංඝයාගේ අනුදැනුම සහ අනුග්‍රහය ඇතුව. ඒත් ඒ ක්‍රියාවට ඔහුගේ වැඩිමල් සොහොයුරා කොහෙත්ම කැමති වෙන්නේ නැහැ.  මේ නිසා ඔහු තමන්ගේම සොහොයුරු මරා රජ වෙනවා. මේ විදියට තමන්ගේ මල්ලි  මරා සිහසුන උදුරා ගත් ලජ්ජිතිස්ස රජතුමා (ක්‍රි. පූ. 118 -109)  අවුරුදු නවයක් රජකම් කර මිය යනවා.

ඉන් පස්සේ සිහසුන උරුම වෙන්නේ ඔහුගේ බාල සොහොයුරු "ඛල්ලාටනාග" රජතුමා (ක්‍රි. පූ. 109 - 104)  ට.   එතුමාගේ රාජ්‍ය කාලය අභ්‍යන්තර කුමන්ත්‍රණ වලින් පිරුණු අස්ථාවර කාල පරිච්චේදයක්. අවසානයේදී ඛල්ලාටනාග රජතුමා "මහාරත්ථක" නම් සෙනෙවියෙක් අතින් මැරුම් කන්නේ රජවාසළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විදියට.

ඒත් වැඩි දවසක් යන්න කලින්ම මේ සෙනෙවියාටත් මැරුම් කන්න සිද්ධ වෙන්නේ සද්ධාතිස්ස රජතුමා ගේ බාල පුත්, එහෙම නැත්නම් ඛල්ලාටනාග රජතුමා ගේ බාල සොහොයුරු "වට්ටගාමිණි අභය / වළගම්භා" අතින්. වළගම්බා රජු, මියගිය ඛල්ලාටනාග රජු ගේ බිසව වූ "අනුලා" දේවිය තම අග බිසව හැටියටත්, පුතු වූ "මහාචූලී මහාතිස්ස" පුත්‍රයෙක් හැටියටත්  බාරගන්නවා. ඒ එක්කම මතක් කරන්න ඕන එතෙක් කල් ඔහුගේ බිසව වෙලා හිටියේ "සෝමා" දේවිය බව. ඉතින් වළගම්බා රජු කළ මේ ක්‍රියාව හොඳ ක්‍රියාවක් උනත් ඒකෙන් සෝමා දේවියට සිද්ධ උනේ අසාධාරණයක්.

කොහොම නමුත්, තමන්ගේ සොහොයුරා මැරූ සෙනෙවියාගෙන් පළි ගෙන ඔහුගේ පවුලත් බාර ගෙන සිංහල රාජාවලිය නැවත හරි මගට ගත් වළගම්බා රජතුමාටත් වසරක් යන්නත් මත්තෙන් තවත් විශාල කරදරයකට මුහුණ දෙන්න වෙනවා. ඒ ගැන අපි ඊ ළඟ රාජාවලිය ලිපියෙන් කතා කරමු.

56 comments:

  1. ඉතුරු ටිකත් කියවන්නට බලා සිටිමු! :)

    ReplyDelete
  2. ඉතුරු ටිකත් ඉක්මනින් දාමු අක්කේ. මමත් ආසම කතා තමයි මේ පරනකාලේ රජ කතා... :))

    ReplyDelete
  3. පොඩි කාලෙ ඉස්කෝලෙදි කියෙව්වට පස්සේ අපේ ඉතිහාසය හරියට කියවන පලවෙනි වතාවද කොහෙද මම

    ReplyDelete
  4. රජ කාලේ කතා තියන පොතක් තියනවා ගෙදරත්.ඒක කියවන්න හිතෙන්නෑනෙ මේ වගේ..මට කල්පනා කලේ ඒ ඇයි කියලා.ඒවා ලියලා තියෙන්නෙ ලියන භාෂාවෙන් හින්දා වෙන්නත් ඇති.
    හැමෝම වගේ මාත් ඉතින් කැමති මේ අලුත් විදිහට හින්දා කතාව ආසාවෙන් කියෙව්වා.
    ඉස්සරත් දැන් වගේ නාහෙට අහන්නැති අය ඉදලා තියනවනෙ රජ ගෙදර.

    කාතාවෙ ඉතිරියත් ඉක්මනට දැම්මොත් මං කැමතියි ඔන්න.

    ReplyDelete
  5. සාලිය-අශෝකමාලා කතාව ලියන්නේ නැත්තේ සාලිය රජ නොවුණු නිසා වෙන්නෝන! කොහොම උනත් ඊළග ටිකත් ඉක්මනට දාන්න...!

    ReplyDelete
  6. @ තනි අලියා : ඉක්මනට දාන්නම් තනි අලියා :)

    @ වර්ණා : අනිවාර්යෙන් දාන්නම් නංගි...

    @ ඔබ්සර්වර් : ඔන්න බලන්නකෝ ඉතින් ඉස්සර කස්ටියත් ඉතිහාසේ ඉගනගෙන නැහැ..අපි ඉගන ගත්තෙත් නැහැ...දැන් ළමයිතුත් එහෙමම වෙන්න ඇති :)

    @ කල්ප : බොහොම ස්තුතියි කල්ප...

    @ අපි අපි වගේ : ඒක නේන්නම් ඉස්සර ඉඳලම ප්‍රේම පලහිලව්, කුමන්ත්‍රණ අරවා මේවා ඔක්කොම තිබිලා තියනවා රජ ගෙදරත් :)

    ReplyDelete
  7. @ ලහිරු : ඔයා හරි :) මම මුලින් හිතාගෙන හිටියේ ඒ ප්‍රේම කතාව ගැන තව ලියන්න...ඒත් ඒ දෙන්නගේ දේවල් රාජාවලියට අදාළ නැහැ වගේ නේ..ස්තුතියි ලහිරු.

    ReplyDelete
  8. මේක හරි වැදගත් දෙයක් සයුරි. දිගටම කරගන යන්ඩ. ඉතිහාසය අපෙන් ඈත්වීගෙන යන අද වැනි කාලයක, මෙවැනි උත්සාහයක් හරිම වැදගත්.

    ReplyDelete
  9. මතකයේ තැනින් රැඳී තිබුණු චරිත සහ සිදුවීම් සියල්ල ඔයාගේ පෝස්ට් එක නිසා යලිත් එක තැනකට ගොනුවෙලා කතාවක් විදිහට ආපහු තැන්පත් වෙනවා
    මේ ඥාති සම්බන්ධයන් මගේ මතකයෙන් ඈත්වෙලා තිබුනේ
    බොහොම ස්තුතියි ඉතිහාසය මේ විදිහට කැටි කරලා අපිට කියා දෙනවට
    මට අපේ ඉතිහාස ගුරුතුමී ඉතිහාසය කියල දීපු හැටි මතක වුනා මේ පෝස්ට් නිසා
    තව ලියමු...

    ReplyDelete
  10. අද තමා හතම කියෙව්වෙ. අපූරුයි ! රාජවලියට දිගාසිරි !

    ReplyDelete
  11. මේ ආදර කතාව නේද??.. මං ඒත් එදා ආදර කතාවකින් හමුවෙමු කිවුවම දහඅතේ කල්පනා කලා මොකද්ද බොලේ මේ ආදර කතාව කියලා.. ඔන්න බලන්න ඉතින් මගේ ඉතිහාස දැනුම ඒකෙන්ම පේනවානේ අක්කේ... :)

    ReplyDelete
  12. ඔබා මාම කිව්වා වගේ ඉස්කෝලෙ ගියාට පස්සේ මේ ඉතිහාසය ඉගෙන ගන්නවමයි.නියමයි චිස්තර ටික,මමත් ඔය චන්ඩාල කුලේ කෙල්ලෙක් එක්ක යළුවෙලා තාත්තා කිව්වා මූ සාලිය කුමාරය යන්න වෙනවාද කොහෙද කියලා......මගෙ නමෙත් මුල් කෑල්ල කුමාර නේ....

    ReplyDelete
  13. /** සාලිය කුමාරයා තමයි දුටුගැමුණු රජතුමාගේ එකම (නිත්‍යානුකුල) පුත්‍ර රත්නය. **\
    අක්කි ඇඟට පතට නොදැනී පොඩි හින්ට් එකකුත් ගහල තියෙන්නේ... හි හි.. නියමයි.. :))

    ReplyDelete
  14. ඔය අනුලා බිසව ගැන මං අහලා තියෙන විදියට එයා රජවරු කිහිපදෙනෙක් වස දීලා මරපු කෙනෙක් නේද.... මට හරියටම විශ්වාස නෑ මේ එයාමද කියලා නම්...

    මේ විස්තරේ කියවනකොට මට මතක් වෙච්චි තවත් දෙයක් තමයි ඉසුරුමුණියෙ තියෙන රජ පවුලෙ කැටයම.... අපට අහන්න ලැබුණු විදියට මේක දුටුගැමුණු රජ පවුලලු... හරිද කියලා නම් දන්නෙ නෑ... එදා එතැන විස්තර කියලා දෙන්න හිටි කෙනෙක් තමයි කිව්වෙ.... ඒකෙ දුටු ගැමුණු රජ බිසව ළඟින් සාලිය කුමාරයගෙ අශෝකමාලාව නෙළලා තියෙන්නෙ අනිත් රූපවලට වඩා බොහොම කුඩාවට.... අඩු කුලේ කෙනෙක් නිසා එහෙම කරලා තියෙනව කියලා තමයි අපට අහන්න ලැබුණෙ....

    හැමදාම වගේ බොහොම ස්තුතියි හොඳ දෙයක් දෙන්න දරන වෙහෙසට.....

    ReplyDelete
  15. ""අශෝක මාලා" නම් අති සුරූපී චණ්ඩාලියකට පෙම් කළ කුමාරයා ට පිය රජතුමා ගෙන් අනතුරු ඇඟවීමක් ලැබුනලු ඇය අග බිසව කර ගැනීමට අදහසක් ඇත්නම් රජ කමත් නොදෙන බවට. මේ කුල ප්‍රශ්නය අදටත් වඩා තදින් එදා තියෙන්න ඇති."

    මෙතන කුල ප්‍රශ්නය තදින්ම ඇදිලා එන්න හේතුව වෙන්නේ සාලිය මහරජතුමාගේ පුතා වීම වගේම මීළඟ රජු වෙන්න ඉන්න පුද්ගලයා වීමත් නිසා. එතකොට සාලිය රජතුමාගේ පුතා උභය කුල පාරිශුද්ධ අයෙක් නොවීමත් එක්ක රාජ්‍ය බලය පිළිබඳ ගැටලු එන්න පුලුවන් නිසා.

    මේ වගේම සිද්ධියක්නේ එංගලන්තෙත් වෙන්නේ. 8 වෙනි එඩ්වඩ් රජතුමා වොලිස් සිම්ප්සන් නිසා රජකම අත හරිනවානේ

    "සද්ධාතිස්ස රජතුමා දැහැමෙන් සෙමෙන් අවුරුදු 18 ක් රජ කළා ට පස්සේ රජකම උරුම වෙන්නේ ඔහුගේ පුත්‍රයෙක් උන "ථුල්ලතනතිස්ස" රජතුමා (ක්‍රි. පූ. 119) ට. ඒත් පේනවා නේද, එතුමා රජ කරලා තියෙන්නේ අවුරුද්දකට අඩු කාලයක්. හරියටම කිව්වොත් මාසයකුත් දවස් ගානක්"

    මේ රජතුමාගේ නම පොත්පත්වල සඳහන් වෙන්නේ "ථූලත්ථන" කියලා....... මේ රජතුමා මාසයකුත් දින 10 කුත් රජ කලා කියලා තමා මහාවංසය කියන්නේ

    "ඒ එක්කම මතක් කරන්න ඕන එතෙක් කල් ඔහුගේ බිසව වෙලා හිටියේ "සෝමා" දේවිය බව. ඉතින් වළගම්බා රජු කළ මේ ක්‍රියාව හොඳ ක්‍රියාවක් උනත් ඒකෙන් සෝමා දේවියට සිද්ධ උනේ අසාධාරණයක්"

    රජතුමා තම සොයුරාගේ බිසව මෙහෙසියක් කරගත්තත් සෝමා දේවියට අසාධාරණයක් කලා කියලා සඳහනක් නැහැ. රජතුමා ද්‍රවිඩ ආක්‍රමණයත් එක්ක පලා යද්දිත් ඒ කරත්තේ සෝමා දේවි හිටියනේ. සෝමා දේවි ස්වේච්ඡාවෙන් කරත්තෙන් බැස්සට පස්සේ එක ද්‍රවිඩයෙක් ඇයව අල්ලාගෙන දකුණු ඉන්දියාවට ගියා.

    පස්සේ රජතුමා නැවත රාජ්‍ය බලය ගත්තාට පස්සේ සෝමා දේවිය ලංකාවට ගෙන්නා ගත්තා වගේම ඇයව සිහිපත් කරමින් ලංකාරාමය ඉදිකලා.

    "ඛල්ලාටනාග රජු ගේ පුතු වූ "මහාචූලී මහාතිස්ස" පුත්‍රයෙක් හැටියටත් බාරගන්නවා"

    මේ ක්‍රියාව නිසා මහජනයා රජතුමාව "පිතුරාජ" කියලා හඳුන්වලා තියෙනවා

    ReplyDelete
  16. සාලිය කුමාරයා රජකම භාර නොගත්තත් තන්තිරිමලේ ප්‍රදේශයේ අශෝකමාලාවන් සමඟ වාසය කරමින් පින් දහම් කරමින් ජීවත් වුණා කියලා කියවෙනවා. ඒ වගේම දුටුගැමුණු රජතුමා තමන්ගේ අවසාන කාලයේදී අශෝකමාලාව රුවන් ගොඩක් මත හිඳුවලා සාලියගේ මෙහෙසිය විදිහට අභිෂේක කරවූවා කියලත් කියනවා

    ReplyDelete
  17. @ සෙන්නා : බොහොම ස්තුතියි ඔබට මේ ලබා දෙන සහයෝගයට..

    @ ලොකු පුතා : බොහොම සතුටුයි :)...මටත් රාජාවලියේ ඥාති සම්භන්ධය ගොඩක් වැදගත්...ඒක කැඩිලා තියනවා දකින්න මම කැමති නැහැ :) ස්තුතියි ඔබට...

    @ රසික : බොහොම ස්තුතියි මල්ලි...සතුටුයි ඔයා ලිපි ඔක්කොම කියවපු එක ගැන...

    @ දිනේෂ් : හප්පේ...සිරාවටම ඔයාට ඒක මීටර් උනේ නැද්ද මල්ලි :)

    @ ඔබ නොදුටු ලොවක් : හික්ස්...ඔයාගේ කමෙන්ට් එක දැකලා හිනා ගියා මදි නොකියන්න...:)

    ReplyDelete
  18. @ අයිස් : රජවරු නේ නංගා...දන්නේ නැද්ද ඉතින් ;)

    @ මියුරු : ඔයා දන්න විස්තරත් කියල දුන්නට බොහොම ස්තුතියි...ඒ රජ පවුලේ පිළිමයේ පින්තුරයක් හොයා ගන්න බලන්න ඕන..මේ ඒ "අනුලා" නෙමෙයි අක්කා...එයාගේ කතාවත් ළඟ ලඟම එනවා..:)

    @ හසිත : රජ කුලයේ නොවන අයටත් ඔය ප්‍රශ්නේ බලපානවා...පේනවනේ අදත් සමහරු ඔහොමයි...

    මෙහෙමනේ මල්ලි :), සෝමා දේවිට අසාධාරණක් කළා කියලා කොහෙවත් සඳහනක් නැති බව සම්පුර්ණ ඇත්ත (මුලාශ්‍ර කතුවරු එහෙම ලිව්වොත් ඉතින් පුදුමයක්)...ඒත් අපිට ඔය කාරණාව තේරුම් ගන්න බැරි නැහැ නේද? මොන ගෑණි ද ඔය වගේ දේකට කැමති වෙන්නේ...ඒකත් අග බිසව තනතුරමයි නේ දීලා තියෙන්නෙත්...ඒක පැහැදිළිවම අසාධාරණයක් තමයි...:ප

    ReplyDelete
  19. මහාවංසයේ නම් තියෙන්නේ සොයුරාගේ බිරිඳවත් මෙහෙසියක් කරගත්තා කියලා විතරයි. අග මෙහෙසියක කතාවක් ඒකේ නැහැ. අක්කට කොහෙන්ද ඒ විස්තරේ හම්බුණේ ???

    කොහොම නමුත් රජ කෙනෙක් පංච කාම සම්පත්තිය භුක්ති විඳිය යුතුයි කියලා සම්මතයක් ගොඩනැගිලා තිබුණේ. ඒ යටතේ රජතුමාට එකම එක බිසවක් නෙමෙයි බිසෝවරු කීප දෙනෙක් ඉන්න එක සාමාන්‍ය තත්වයක්. ඒක නිසා රජ බිසවක් වෙන හැමෝම ඒ දේ දැනගෙන ඉන්නේ....

    එතකොට ඉතින් අකමැත්තෙන් වුණත් ඒ බිසෝවරුන්ට ඉන්න සිද්ධ වෙනවා. සමහර රජවරුන්ට සුළු පටු බිසෝවරු ගණන් නෙමෙයි ඉදලා තියෙන්නේ :))

    ReplyDelete
  20. ආසම කොටස - ඊලඟ කොටස. වලගම්බා රජතුමා කාපු කටු ගැනත් ලියන්නකෝ සයුරි එහෙනම්... අසනීපය සුව ඇතැයි සිතමී...

    ReplyDelete
  21. නියමයි අක්කේ.., අක්කා ඉතිහාසේ ගැන ලියනවනේ.., මන් දැන් තමයි මේවා දැන ගන්නේ....

    ReplyDelete
  22. @ හසිත : නැතුව නැතුව..අපි නොදන්නවය ඉතින් රජවරුන්ගේ වැඩ කිඩ :)) මහා වංශයේ එහෙම නැති උනාට සෝමා දේවිට වඩා වැඩි තැනක් අනුලා ට දීලා තියනවා...පස්සේ රජකම ලැබෙන්නෙත් අනුලා දේවිගේ පුතාට නේ...මොනවා උනත් සෝමා දේවිට උන දේට මම විරුද්ධයි :-|

    @ චතු : ඉක්මනට ලියන්නම්කො..දැන්නම් සුව වෙලා ඉන්නේ..ස්තුතියි...

    @ රහස් : මල්ලිත් ඉතිහාස පීරියඩ් එකේ අන්තිම පේලියේ නේද හිටියේ..

    ReplyDelete
  23. අනුලා දේවියගේ පුත්‍රයාට රජකම ලැබුණු එක ගැන පොඩි දෙයක් කියන්නම් අක්කේ.

    වළගම්බා රජතුමාට භාවිතා වුණු තවත් නමක් තමයි "නීතිමා" කියන්නේ. ඒකේ අර්ථය වෙන්නේ "නීතිය දත් වගේම නීතියට අනුව වැඩ කළ" කියන එක.

    වළගම්බා රජතුමා තමන්ගෙන් පස්සේ තමන්ගේ වැඩිමහල් සොයුරාගේ පුතාට රජකම ලබාදෙන්නේ ඒක නීතිය අනුව විය යුතු නිසයි. ඛල්ලාටනාග අකාලයේ මියගිය නිසා ඛල්ලාටනාගගේ පුතා වුණු මහාචූලි මහා තිස්සට පිය උරුමය වළගම්බා ලබාදුන්නා.

    ඒ වගේම තමන්ගේ පුතා වුණු නාග ලාබාල වියේ පසුවීමත් මහාචූලි මහා තිස්සට රජකම ලබාදෙන්න හේතු වෙන්න ඇති.

    කොහොම නමුත් රජවෙන්න කලිනුත් රජ වුණායින් පසුවත් ඔහු කරපු දේවල් එක්ක "චෝරනාග" කියන නම භාවිතා වුණු එක ගැන පුදුමයක් නැහැ...

    ඒ වගේම කලින් මම කිව්වා වගේ අනුලා දේවිය මෙහෙසියක් කරගත්තා වගේම සෝමා දේවියත් මෙහෙසියක් වශයෙන් හිටියා. රජතුමා ද්‍රවිඩ ආක්‍රමණයත් එක්ක අශ්ව කරත්තෙන් පලා යද්දී සෝමා දේවියත් කරත්තේ හිටියා.

    ඇය ස්වේච්ඡාවෙන්මයි කරත්තෙන් බිමට බහින්නේ කරත්තේ බර අඩු කරන්න. ඒ වගේම රජතුමා ඇයට පාත්‍ර ධාතුවත් තියාගන්න දෙනවා. පස්සේ ද්‍රවිඩයෙක් සෝමා දේවිය ඉන්දියාවට අරන් ගියත් රජතුමා නැවත බලය ලබාගත්තු ගමන් සෝමා දේවිය නැවත ගෙන්වා ගන්නවා වගේම ඇයට ගරු කිරීමක් විදිහට ලංකාරාම දාගැබ ඉදිකරනවා.

    ඒ සිදුවීම්වලින් මට නම් පෙනෙන්නේ නම් රජතුමා ඇයව අමතක නොකළා වගේම රජතුමා සෝමා දේවිය ගැන ආදරයක් තිබ්බා කියලයි

    ReplyDelete
  24. @ හසිත : මෙහෙමයි මල්ලි, මම කිව්වේ නැහැ රජතුමා සෝමා දේවිය ව අමතක කළා කියලවත් ආදරය කළේ නෑ කියලවත්..රජ කෙනෙක් ඕනෑම බිසවකට අඩු හෝ වැඩි වශයෙන් ආදරේ වෙන්න පුළුවන්. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ තමන්ගේ කලින් තිබුන තැන නැති වීමයි. ඒ වගේම චෝරනාග ඒ විදියට හැසිරීමේ පුදුමයක් නැහැ. මොකද එයාටත් උනේ අසාධාරණයක්..

    මට තියන පුදුමේ තමයි ඇයි අනුලා බිසව කරත්තෙන් බැස්සේ නැත්තේ කියලා...

    ReplyDelete
  25. ලංකා ඉතිහාසයේ ප්‍රසිද්ධම ආදරකතාවනෙ ඔය.:) දු‍ටු ගැමුණු රජතුමාගෙත් ප්‍රේම කතාවක් තියනව නේද අර තාත්ත එක්ක තරහවෙලා ගොවිගෙදරක ගිහින් හිටපු අවදියෙ? ඉතිහාසයේ මම අකමැතිම දේ තමා රජකම ගන්න අයියල මල්ලිල මරාගන්න එක.

    ReplyDelete
  26. චෝරනාගට අසාධාරණයක් වුනේ නැහැනේ. එයා ලාබාල වියේ හිටපු නිසා එයාට රාජ උරුමය නොලැබුණත් නිසි කල වයස එළඹුණාම එයාට ඒක හිමි වුණා.

    මහාචූලී මහා තිස්ස රජුට විරුද්ධව කැරලි ගහලා දරුණු පුද්ගලයෙක් විදිහට චෝරනාග ප්‍රකට වෙලා හිටියත් මහා චූලී මහාතිස්ස එයාගෙන් පස්සේ රාජ්‍යත්වය බාප්පාගේ පුතා වෙන චෝරනාගට පවරනවා. තිස්ස නමින් පුතෙක් ඔහුට ඉදිද්දිත් තමා ඒ කාර්යය කරන්නේ. බාප්පා තමාට පිය උරුමය අනුව රජකම දුන්නා වගේම බාප්පාගේ පුතාගේ උරුමයත් මහා චූලී මහා තිස්ස ඒ විදිහට ලබාදෙනවා

    ඒක නිසා චෝරනාගට වුණු අසාධාරණයක් නම් මට පේන්නේ නැහැ

    ඒ වගේම අනුලා බිසව කරත්තෙන් බැස්සේ නැත්තේ ඒ වෙලාවේ අනුලා බිසව ගර්භණී වෙලා හිටපු නිසා

    ReplyDelete
  27. @ රෝස කුමාරි : දුටුගැමුණු රජතුමා ගේ ත් ලස්සන ආදර කතාවක් තියනවලු..මම නම් ඒ ගැන වැඩි විස්තර දන්නේ නැහැ...එයාගේ නම "රන් මැණිකා" නේද? අපොයි ඔව් මමත් ආසම නැති වැඩක් තමයි ඒක...

    @ හසිත : පියාගෙන් පුතාට රජකම හිමි වීමේ සම්ප්‍රදායට ලාබාල වයස ප්‍රශ්නයක් වෙනවද කියලා මම දන්නේ නැහැ...කොහොමත් මහාචුලි ගෙයි නාග ගෙයි ලොකු වයස පරතරයක් තියෙන්න විදියක් නැහැ..මොකද ඇමතියා මරලා වළගම්බා රජතුමා අනුලා සහ මහාචුලී බාර ගනිද්දී මහාචුලි කුමාරයා හිටියෙත් ලාබාල වයසේ. ඒකනේ පුත්‍රයෙක් විදියට බාර ගත්තේ. ඉතින් ඒ වෙනකොටත් නාග කුමාරයා ඉඳල තියනවා...මම හිතන්නේ නැහැ ඔය කියන වයස පරතරය එච්චර පිළිගත හැකි සාධකයක් කියලා...කොහොම නමුත් මම මතු කරන්න අදහස් කළේ සෝමා දේවි ගැන...ඔවුන්ගේ පුත්‍රයින් ගැන නෙමෙයි...

    ReplyDelete
  28. අක්කා කිව්ව චෝරනාගට වුනේ අසාධාරණයක් කියන එකට පිළිතුරක් විදිහට තමයි මම කලින් කමෙන්ට් එකේ මුලින් කරුණු දක්වලා තියෙන්නේ

    මහාචූලි මහා තිස්ස සහ චෝරනාග දෙන්නාගෙන් මහාචූලි මහා තිස්සට මුලින් රජකම හම්බෙන්න හේතුවුණු සාධකය "පිය උරුමය" කියල මම කලින් කියලනේ තියෙන්නේ.

    මහාචූලී මහා තිස්සට වඩා චෝරනාග බාල වීම ප්‍රධාන කරුණක් නොවුනත් යම් බලපෑමක් ඒකෙත් තියෙන්න ඇති.

    කලින් කමෙන්ට් එකෙන් අන්තිමට මම පිළිතුරු දීලා තියෙන්නේ අක්කා අහපු
    "මට තියන පුදුමේ තමයි ඇයි අනුලා බිසව කරත්තෙන් බැස්සේ නැත්තේ කියලා.."
    කියන එකට උත්තරේ.........

    ඔයා මතු කරන්න හදපු දේට උත්තරයක් ලැබෙන්න ඇති කියලා හිතනවා

    ReplyDelete
  29. @ හසිත : ඇත්තෙන්ම නැහැ මල්ලි :) මම මතු කරන්න හදපු දේ, එහෙම නෙමෙයි කියන්න තරම් නම් උත්තර ලැබුනේ නැහැ...

    "පිය උරුමය" ගැන කියනවනම්...මහාචුලි ට පිය උරුමය අහිමි වෙන්නේ ඔහුගේ පියා මිය ගිය දවසේ...ඊට පසුව වළගම්බා තමයි ඇමති මරලා රජකම නැවත ලබා ගන්නේ. එහෙම ලබා ගත්ත රජකමේ උරුමය ලැබෙන්න ඕන ඔහුගේ පුතාට...නැතුව අයියාගේ පුතාට නෙමෙයි...අනිත් එක ඔය කියන විදියට පිය උරුමය ලැබෙනවානම් මහාචුලිටත් කලින් උරුමය ලැබෙන්න ඕන ලජ්ජිතිස්ස ගේ හරි ථුල්ලතන ගේ හරි පුතාට නේද?...මම දන්න විදියටනම් සහෝදරයෙක්ට රජ කම ගියාට පස්සේ උරුමය ලැබෙන්නේ ඔහුගේ දරුවන්ට..ඔහුට කලින් රජ කරපු සහෝදරයන්ගේ දරුවන්ට නෙමෙයි...(එහෙම වෙච්ච අවස්ථාත් ඇති. නෑ කියන්නේ නැහැ)

    ReplyDelete
  30. කවි නම් පසේ ලියන්න බැරුව යෑ. අක්කා හොද වෙලා ඉන්න එකනේ මුලිම්ම වෙන්න ඕනේ.සාලිය අසෝකමාලා ගැන ගොඩක් දේවල් දැනගත්තා.

    ReplyDelete
  31. ලජ්ජතිස්සගේ හෝ ථූලත්ථනගේ පුතුන් ගැන සඳහනක් නැහැ. ඛල්ලාටනාගව මරා දමලා තමා මහාරත්තක බලය ලබාගන්නේ එතන සිද්ධවෙන්නේ බලහත්කාරයෙන් රජකම ගැනීමක්.

    වළගම්බා මහා රත්තක මරා දමලා රාජ්‍ය බලය ලබාගන්නවා වගේම කලින් රජකමේ හිටිය තමන්ගේ සොයුරාගේ පුතාට තමන්ගෙන් පස්සේ රජකම ලබාදෙනවා. ඒක රජතුමා සාධාරණත්වය. මම කිව්වේ රජතුමාට "නීතිමා" කියල අන්වර්ථයක් තිබුණා කියලා.

    තමන්ගේ දරුවන් "ලොකු" කරගන්න අය හිටියට වළගම්බා රජතුමා එහෙම කරලා නැහැනේ.....

    ඒක නිසා වළගම්බා රජතුමා ඛල්ලාටනාගගෙන් මහාචූලි මහා තිස්සට උරුම වෙන්න ඕනේ රජකම කුමාරයා ලබාදෙන්න භාරකරුවෙක්ගේ කාර්යය ඉටු කළා කියල පේනවා. රජතුමාගේ තිබුණු ඒ උදාර ගතිගුණය නිසාමයි මිනිස්සු "පිතු මහරාජ" කියලා හඳුන්වලා තියෙන්නේ

    ඔයා මතු කරන්න හදන දේ පැහැදිලිව කියන්න අක්කේ........ මොකක් හරි උත්තරයක් මට දෙන්න පුලුවන්කමක් තියෙනවා නම් දෙන්න

    ReplyDelete
  32. වෙනදා වගේම ගොඩක් ආසාවෙන් කියෙව්වා සයුරි.. ඉතිහාසය ගැන මේ විදිහට කියවනකොට ඒ ගැන තව හොයන්න හිතෙනවා.. ගොඩක් රසවත් සිද්ධීන් අපේ ඉතිහාසය පුරාම තියෙනවා.. ඔය සාලිය අශෝකමාලා ආදර කතාවත් ඒ වගේ එකක්නේ...

    ReplyDelete
  33. "මම දන්න විදියටනම් සහෝදරයෙක්ට රජ කම ගියාට පස්සේ උරුමය ලැබෙන්නේ ඔහුගේ දරුවන්ට..ඔහුට කලින් රජ කරපු සහෝදරයන්ගේ දරුවන්ට නෙමෙයි...(එහෙම වෙච්ච අවස්ථාත් ඇති. නෑ කියන්නේ නැහැ)"

    සහෝදරයන් පිරිසක් ඉන්නවා නම් ඒ සහෝදරයන් පිරිස අතරේ රජකම ගිහින් ඊට පස්සේ වැඩිමහල් සොයුරාගේ පුතාට රජකම හිමිවීම තමයි ලංකාවේ පැවති සම්ප්‍රදාය. ඒත් ඒක උල්ලංඝනය වුණු අවස්ථා නැතුවා නොවෙයි. ඒත් සම්ප්‍රදාය ඒකයි....

    ඛල්ලාටනාග, වළගම්බා, මහාචූලි මහා තිස්ස, චෝරනාග අතරත් වෙන්නේ ඒක තමා

    ReplyDelete
  34. @ මධුරංග : දැන් නම් බොහෝ දුරට හොඳ වෙලා ඉන්නේ මල්ලි :) ස්තුතියි...

    @ දූපත් වැසියා : බොහොම ස්තුතියි ඔබට...

    @ උදයංග : වෙනදා වගේම ඔයාටත් බොහොම ස්තුතියි මේ දෙන සහයෝගයට...

    ReplyDelete
  35. //ලජ්ජතිස්සගේ හෝ ථූලත්ථනගේ පුතුන් ගැන සඳහනක් නැහැ//

    මේකෙන් කියවෙන්නේ නැහැ නේද එයාලට දරුවන් හිටියේ නැහැ කියලා...හිටියත් මමනම් හිතන්නේ නැහැ එයාලට රජකම දෙයි කියලා..

    //සහෝදරයන් පිරිසක් ඉන්නවා නම් ඒ සහෝදරයන් පිරිස අතරේ රජකම ගිහින් ඊට පස්සේ වැඩිමහල් සොයුරාගේ පුතාට රජකම හිමිවීම තමයි ලංකාවේ පැවති සම්ප්‍රදාය//

    සහෝදරයන් පිරිසක් සිටියත් සහෝදරයන්ට රජකම නොදී දරවන්ට රජකම දීමයි සම්ප්‍රදායිකව කෙරුනේ...සද්ධාතිස්ස ට රජකම ලැබුනෙත් සාලියගේ ප්‍රශ්නය නිසානේ..නැත්නම් රජකම ලැබෙන්නේ සාලියට.

    මම මතු කරන්න හැදුවේ සෝමා දේවිට උනේ අසාධාරණයක් කියලා (ඉතිහාසෙන් කරුණු අරන් පෙන්නලා මේක නැහැ කියන්න බැහැ මල්ලි, ඒක මානුෂිය හැඟීම පිලිබඳ ප්‍රශ්නයක්..එහෙම නේද?)...චෝරනාග ගැනත් මහාචුලි ගැනත් කතා ඇදුනේ පසුව නේ...

    ReplyDelete
  36. puluvannam me link eken gihin youtube eken balanna mahabharata kiyana indiyan epic eken nirmanaya kala teledrama eka..eeka thamai mama jeevithe balapu lassanama teledrama eka.hema episode ekama youtubevala thiyenava.meya minisunge jeevitha venas kala heki aakaraye apurva saha athi vishishta ganaye indian tele drama ekak.avasanaya vana vita mehe charitha samaga apuru bendeemak apata ethi venava.meya ethem vita oba naraba ethi..eya kalakata pera lankaveth vikashaya vuna.meya indiyave vikashaya vana vita ema rate paraval his vu bava pavasenava.ee kiyanne siyaluma indiyanu vesian telenatayaya naraba thibena bava.

    meya avasanaya vana thek belu kenek nisekavama lankave telenatya narabannan gena kanagatu vevi!

    meya liyana ma budhdhagame.. namuth oonema agamaka kenekuta hindu aagama padanam karagath me telenatyaya ihamath ashaven,aadarayen saha gauravayen nerambiya heki..epamanata eya thula jeevithaya,premaya,sanskruthiya saha siyallama geb vee thibenava.

    WATCHING THIS TELEDRAMA IS THE MOST BEAUTIFUL THING EVER HAPPENED TO MY LIFE..

    if you like to watsh it,search google as 'mahabharat with English subtitles'-youtube

    ReplyDelete
  37. සාලිය රජකම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධිය ගත්තොත් දුටුගැමුණු ඇවෑමෙන් රජකම සාලියට හිමිවෙනවාටත් වඩා සද්ධාතිස්ස ඇවෑමෙන් සාලියට හිමිවන රජකමයි ඔහු ප්‍රතික්ෂේප කළේ. සොයුරන් කීප දෙනෙක් සිටින විට ඔවුන් අතර මුල් අවස්ථාවේ රජකම හිමි වී දෙවන වරටයි වැඩිමහල් සොයුරාගේ දරුවාට රජකම හිමිවුණේ....

    ථූලත්ථනගේ හෝ ලජ්ජතිස්සගේ දරුවන් සිටි බවට සඳහනක් නොවුණත් ඔවුන්ට දරුවන් නොසිටියා විය නොහැකියි. පිය රජුන්ගේ ඇවෑමෙන් රජකම ඔවුන්ට හිමි නොවන්නේ මම පෙර කිව්ව සාධකය මත.

    වළගම්බා සමය වන විට තිබූ දේශපාලන අරාජිකත්වයත් එක්ක ඔවුන් ජීවත්ව නොසිටිය නිසා ඒ වනවිට ජීවත් වෙලා සිටි වැඩිමහල් සොයුරාගේ පුත්‍රයාට රජකම ලබාදීමෙන් වළගම්බා කරලා තියෙන්නේ සම්ප්‍රදාය සුරැකීම.....

    ඒ වගේම අක්කා කියන විදිහට
    "සහෝදරයන් පිරිසක් සිටියත් සහෝදරයන්ට රජකම නොදී දරවන්ට රජකම දීමයි සම්ප්‍රදායිකව කෙරුනේ..."

    නම් මහාචූලි මහා තිස්සට තිස්ස නමින් පුතෙක් ඉදිද්දිත් ඔහු "චෝරනාගට" රජකම දෙන්නේ ඇයි කියන එක පැහැදිලි කරන්න පුලුවන්ද ???

    එතනත් සිදුවෙන්නේ මම කලින් දක්වපු සාධකයමයි. චෝරනාග ඇවෑමෙන් රජ වෙන්නේ "තිස්ස" කියන මහා චූලී මහා තිස්සගේ පුතා....

    පඬුවස්දෙව් රජතුමාගෙන් පසුව ඔහුගේ පුතුන් අභයගේ සිට රජකම උසුලන්නේත් මුටසීව රජතුමාගේ පුතුන් වෙන දෙවනපෑතිස්, උත්තිය, මහාසිව, සූරතිස්ස, අසේල රජකම උසුලන්නේත් සංඝතිස්ස, සංඝබෝධි, ගෝඨාභාය කියන සොයුරන් රජකම උසුලන්නේත් අර මම කලින් දක්වපු මුල් අවස්ථාවේ සොයුරන් අතරේ රජකම යන නිසා...

    අක්කා කියපු

    "සහෝදරයන් පිරිසක් සිටියත් සහෝදරයන්ට රජකම නොදී දරවන්ට රජකම දීමයි සම්ප්‍රදායිකව කෙරුනේ.."

    මේක වුණේ නැති එකට හොඳ උදාහරණය තමයි 1 විජයබාහු රජ සමය. 1 විජයබාහු රජතුමාගේ සොයුරන් වුණේ වීරබාහු සහ ජයබාහු. ඒ වෙනකොට වීරබාහු උපරාජ තනතුරේත් ජයබාහු ඈපා තනතුරේත් සිටියා. වීරබාහු අකාලයේ මියගිය නිසා ජයබාහු උපරාජයා වුණා. 1 විජයබාහුගේ පුතා වික්‍රමබාහු ඈපා තනතුරට පත් කෙරුනා.

    1 විජයබාහු රජතුමා මිය ගිය පසු රජ වුණේ ජයබාහු. නමුත් රජතුමාගේ සොයුරිය වුණු මිත්තා කුමරියගේ පුතා වුනු මානාභරණව උප රාජ තනතුරට පත් කෙරුණා. මේකට ඈපා ධූරයේ හිටපු වික්‍රමබාහු විරුද්ධ වුණා. ඒකට හේතුව උපරාජ තනතුර හිමිවිය යුතුව තිබුණේ ඔහුට නිසායි.

    එය "පුබ්බ චාරිත්ත මග්ග" පෙර සිරිත් මග කඩකිරීමක් විදිහටයි සඳහන් වෙන්නේ. වැඩිමහල් සොයුරා වුණු විජයබාහුගෙන් අනතුරුව රජකම වීරබාහුට හිමිවන්නට තිබුණත් ඔහු අකාලයේ මියයාම නිසා විජයබාහු ඇවෑමෙන් එය හිමිවුණේ "පුබ්බ චාරිත්ත මග්ග" අනුව ජයබාහුට [ඒ විජයබාහුට වික්‍රමබාහු නමින් පුතෙක් ඉද්දී]

    ජයබාහු විජයබාහුගේ අවසන් සොයුරා නිසා මීළඟට රජකම පත්වෙන්නේ වැඩිමහල් සොයුරා වන විජයබාහුගේ පුතා වෙන වික්‍රමබාහු. රජකම පෙර තිබෙන උපරාජ තනතුර ඔහුට ලබානොදීම නිසයි පසුව සටනක ඇතිවෙන්නේ.....

    මේ විස්තරේ කියෙව්වාට පස්සේ මම හිතනව චෝරනාගට අසාධාරණයක් නොවුණා වගේම නියමිත වාරයේදී එයාට රජකම හිමිවුණා කියලා කියලා අක්කා තේරුම් ගනියි කියලා

    ReplyDelete
  38. සෝමා දේවියගේ කතාව ගත්තොත් එයාට අසාධාරණයක් වුනා කියනවාටත් වඩා එතන සිද්ධ වුණේ සෝමා දේවිය කරපු ශ්‍රේෂ්ඨ කැප කිරීම.

    සොයුරා බිසව තමන්ගේ මෙහෙසිය කරගන්න එක රජවරුන් අතර සිදුවුණු දෙයක්. ඒ වගේම පියෙක් නැති දරුවෙක්ට පියෙක් වීමකුත් වළගම්බා කරලා තියෙනවා.

    ඒ වගේම අක්කා කිව්ව් "අනුලාව අග මෙහෙසිය කළා" කියලා. මහාවංසයේ නම් සඳහන් වෙන්නේ ඇයත් මෙහෙසියක් බවට පත් කරගත්තා කියලා විතරයි.

    ඒ වගේම සෝමා දේවිය කරපු කැප කිරීම වඩාත් පෙනෙන්නේ රජතුමා ගැබිණියක් වෙලා හිටිය අනුලා දේවිය, කුමාරවරුන් දෙදෙනාඅ බේරන්න අශ්ව කරත්තෙන් බැහැපු එකෙන්

    එයාට අසාධාරණයක් වුණා කියලා කිව්වට සෝමා දේවිය ඒක එච්චර ගණන් ගත්තේ නැති බවත් එයා රාජ්‍ය වෙනුවෙන් අර විදිහට ලොකු කැපකිරීමක් කරපු එකෙන් ඒක පෙනෙනවා

    අක්කාත් කාන්තාවක් නිසා සෝමා දේවියට අසාධාරණයක් වුණා කියලා විශ්වාස කලත් සෝමා දේවිය ඒ කාලයේ පැවති පසුබිම තේරුම් අරගෙන කැප කිරීම් කරපු කාන්තාවක් කියලයි මගේ විශ්වාසය. එතන එයාට වුණු අසාධාරණයකටත් වඩා ඒ කාලයේ සිදුවිය යුතු සිදුවීම් ගැන අවධානයෙන් ඉදලා සෝමා දේවිය ක්‍රියා කළ බවයි ඇගේ ක්‍රියා කලාපයෙන් පෙනෙන්නේ. ඇගේ කැප කිරීම රජතුමා අගය කරපු ආකාරය මම කලින් කියලා ඇතිනේ...

    එපමණයි

    ReplyDelete
  39. පොඩි ඉල්ලීමක් .මට ඉතිහාසේ එක රජ කෙනෙක් ගැන විස්ටර ටිකක් තියෙනවා මං ඒ ගැන ඔයාට කියන්නම් පුලුවන්නම් මේ වගේ පොස්ට් එකක් දන්නා.

    ReplyDelete
  40. @ ඇනොනිමස් : මම හිතන්නේ ඔබ කියන ටෙලි නාට්‍යය මම නරඹලා තියනවා, පොඩි කාලේ. දැන්නම් ඒක එච්චර මතක නැහැ...ආපහු බලන්න හිතෙනවා...ස්තුතියි ඒ ගැන කිව්වට

    @ හසිත : //සාලිය රජකම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධිය ගත්තොත් දුටුගැමුණු ඇවෑමෙන් රජකම සාලියට හිමිවෙනවාටත් වඩා සද්ධාතිස්ස ඇවෑමෙන් සාලියට හිමිවන රජකමයි ඔහු ප්‍රතික්ෂේප කළේ//

    මේ කතාව ටිකක් විශ්වාස කරන්න අමාරුයි...මේ ගැන මහා වංශයේ සඳහන් වෙනවද?

    //වළගම්බා සමය වන විට තිබූ දේශපාලන අරාජිකත්වයත් එක්ක ඔවුන් ජීවත්ව නොසිටිය නිසා//

    ඔවුන් ජීවත්ව නොසිටියා කියන්නත් අපිට සාධක නැහැ නේද? වයස අනුවනම් වළගම්බා රජතුමා ඉඳිද්දී ඔවුන් මිය යන්න විදියක් නැහැ. ඔවුන් ජීවත්ව සිටියත් වළගම්බා රජතුමා කරලා තියෙන්නේ තමන් බාරයට ගත් අයියාගේ පුතාට රජකම දෙන එක...අනිත් අය ගැන හෙව්වා කියලා මම හිතන්නේ නැහැ...

    // මහාචූලි මහා තිස්සට තිස්ස නමින් පුතෙක් ඉදිද්දිත් ඔහු "චෝරනාගට" රජකම දෙන්නේ ඇයි කියන එක පැහැදිලි කරන්න පුලුවන්ද ???//
    චෝරනාගට අසාධාරණයක් වූ බව සිතා පෙරළිකාරයෙක් විදියට හැසිරෙමින් සිටි ඔහුට සාධාරණයක් කරන්න එහෙම කරා වෙන්න බැරිද? (අනික ඔයා කියන විදියට තිස්ස ගොඩක් ලාබාල වයසේ හිටියද දන්නෙත් නැහැ නේ)

    // චෝරනාගට අසාධාරණයක් නොවුණා වගේම නියමිත වාරයේදී එයාට රජකම හිමිවුණා කියලා කියලා //
    චෝරනාග ට අසාධාරණයක් සිදු වුනාද නැද්ද කියන එක ගැන ඕන කෙනෙක්ට තමන්ගේ මතයක් තියෙන්න පුළුවන්...මොකද ඒ වගේ දේවල් මම කලින් කිව්වා වගේ ඉතිහාස සාධක මත ඔප්පු කරන්නවත් බිඳින්න වත් පුළුවන් දේවල් නෙවෙයි...මොනවා උනත් රජ කම සොහොයුරන් අතර යන බවට දුන් උදාහරණ වලට ස්තුතියි..එහෙම අවස්ථාත් තියනවා කියලා මම කිව්වේ ඒකයි...හොඳයි, ඒ නිර්ණායකය මත ඉඳගෙනම බලමුකෝ ඉස්සරහට යන්න...

    //සෝමා දේවියගේ කතාව ගත්තොත් එයාට අසාධාරණයක් වුනා කියනවාටත් වඩා එතන සිද්ධ වුණේ සෝමා දේවිය කරපු ශ්‍රේෂ්ඨ කැප කිරීම//

    අසාධාරණයක් වීම වෙනම කතාවක්, එයා කරපු ශ්‍රේෂ්ඨ කැප කිරීම තවත් කතාවක්...ඒ දෙක පටලව ගන්න එපා...

    //සොයුරා බිසව තමන්ගේ මෙහෙසිය කරගන්න එක රජවරුන් අතර සිදුවුණු දෙයක්. ඒ වගේම පියෙක් නැති දරුවෙක්ට පියෙක් වීමකුත් වළගම්බා කරලා තියෙනවා.//

    ඔව් ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ...සොහොයුරාගේ බිසව මෙහෙසිය කර ගත්තත්, පුතාව බාර ගත්තත් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ, අග මෙහෙසියගේ තැන එහෙමම තිබුනානම්, දැන් මල්ලි කියාවි "අනුලා" සාමාන්‍ය මෙහෙසියක් පමණයි කියලා. හරි, ඊ ළඟ කොටසට යමු...

    //ඒ වගේම අක්කා කිව්ව් "අනුලාව අග මෙහෙසිය කළා" කියලා. මහාවංසයේ නම් සඳහන් වෙන්නේ ඇයත් මෙහෙසියක් බවට පත් කරගත්තා කියලා විතරයි//

    හරි, මහා වංශය විශ්වාස කරලා අපි හිතමු අනුලා ට ලැබුනේ සාමාන්‍ය මෙහෙසියකගේ තැන පමණයි කියලා...එහෙනම් ඔවුන් පලා ගියපු කරත්තයේ අනුලා වගේම අනෙක් මෙහෙසියනුත් හිටියාද? නැත්නම් අනුලාට විතරක් විශේෂයක් කලාද? රජතුමාට වෙනත් මෙහෙසියන් හිටියේ නෑ කියලා කියනවානම්, පැහැදිළිවම අනුලාගේ පැමිණීම සෝමා ට අසාධාරණයක්...මොකද සෝමා පමණක් සිටි තැනටයි අනුලා එන්නේ...

    //එයාට අසාධාරණයක් වුණා කියලා කිව්වට සෝමා දේවිය ඒක එච්චර ගණන් ගත්තේ නැති බවත් එයා රාජ්‍ය වෙනුවෙන් අර විදිහට ලොකු කැපකිරීමක් කරපු එකෙන් ඒක පෙනෙනවා//

    අනිවාර්යයෙන්ම...එයාට උන අසාධාරණය ගණන් ගන්නේ නැතුව එයා කරපු කැප කිරීමෙන් සෝමා දේවියගේ අති ශ්‍රේෂ්ඨත්වය පෙන්නුම් කරනවා....හැබැයි අසාධාරණය ගණන් ගත්තේ නෑ කියන එක සෝමාගේ උතුම් ගතියක් මිසක් අසාධාරණයක් උනා කියන එක ඒකෙන් යටපත් කරන්න බැහැ, ඒක තවත් ඉස්මතු වෙනවා පමණයි...එයා ඒක එච්චර ගණන් ගත්තේ නැහැ කියලා අපිත් ඒක ගණන් නොගෙන ඉන්න ඕන නැහැ නේ...

    //අක්කාත් කාන්තාවක් නිසා සෝමා දේවියට අසාධාරණයක් වුණා කියලා විශ්වාස කලත් සෝමා දේවිය ඒ කාලයේ පැවති පසුබිම තේරුම් අරගෙන කැප කිරීම් කරපු කාන්තාවක් කියලයි මගේ විශ්වාසය//

    ඇත්තෙන්ම ඔව්...මගේ විශ්වාසයත් ඒක තමයි. තමන්ට උන අසාධාරණය අමතක කරලා එහෙම කැප කිරීමක් කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨ කාන්තාවකට පමණයි...ඒත් මම ගැන කියනවානම් මම එතනට ලං උන කෙනෙක්වත් නෙමෙයි...ඉතින් සෝමා දේවිට උන අසාධාරණය මට ඉස්මතු වෙලා පේනවා...ඒක ප්‍රකාශ කරන්න මට අයිතියකුත් තියනවා...ඒක තමයි මම ලිපියේදී කළේ..

    එපමණයි :)

    ReplyDelete
  41. @ අසරණයා : බොහොම සතුටුයි එහෙම විස්තර ලැබෙනවානම්....කවුද ඒ රජතුමා?...අනිවාර්යෙන්ම කතාව ඒ හරියට එනකොට ඒ විස්තර ටික දාන්නම්..බොහොම ස්තුතියි...

    ReplyDelete
  42. සාලියගේ කතාව තර්කානුකූලව සිතා බලන්න ඕනේ එකක්. පෙර කාලය වගේම පසු කාලය එක්ක හිතද්දී එහෙම නිගමනයකට එන්න පුලුවන්. සද්ධාතිස්සට රජකම හිමි නොවී සාලිය සහ ඔහුගේ පුතුන්ට එය හිමිවෙන්න හේතුවක් නැහැ

    තර්කානුකූලව හිතා බැලුවොත් ථූලත්ථනගේ පුතෙක් සිටින්නට නොහැකියි. ලජ්ජතිස්ස ථූලත්ථන මරා දාද්දී පුතෙක් සිටියා නම් මරා දැම්මා විය හැකියි. ඒවගේ දේවල් රජවරුන් කරන දේවල්...... ලජ්ජතිස්සට පුතෙක් සිටියා නම් පුතාට රජකම හිමිනොවී ඛල්ලාටනාගට රජකම හිමිවන්නේ ඇයි කියන එක අක්කා පොඩ්ඩක් හිතලා බලන්න. අක්කාගේ පිළිතුර පුතෙක් නැහැ කියන එක නම් ගැටළුවක් නැහැ... :)

    වයස අනුව වළගම්බා රජතුමා ඉදිද්දී ඔවුන් මිය යන්න විදිහක් නැහැ කිව්වාට වසර 14 ක් සහ මාස 7 ක් පුරාවට රජරට ප්‍රදේශ පුරාම ද්‍රවිඩ පාලනය පැවතුණා වගේම ඒ අතරතුර වසර 12 ක සාගතයක් ලංකාව පුරාම පැතිර තිබ්බා කියන එක අමතක කරන්න හොඳ නැහැ

    තමන්ගේ පුතාට නොදී අයියාගේ පුතාට රජකම දෙන්න වළගම්බා රජතුමා කටයුතු කළේ ඇයි කියන එකට මම කරපු පැහැදිලි කිරීමට එකඟ නැත්නම් අක්කාගේ පැහැදිලි කිරීම මම දැනගන්න කැමතියි

    තිස්ස ලාබාල වියේ හිටි නිසා රජකම නොදුන්නා කිව්වත් අක්කා කියන විදිහට රජකම තාත්තාගෙන් පුතාට හිමිවෙනවා නම් තිස්ස ලාබාල වියේ සිටීම ප්‍රශ්නයක් නෙමෙයි.

    ඒ වගේම පෙරළි කරපු නිසා රජකම හිමිවුණා කියන්න අමාරුයි. රාජ බලයෙන් පෙරළිකාරයන් මරාදමන්න රජතුමාට පුලුවන් :)

    ඒ වගේම මම දක්වපු පුබ්බ චාරිත්ත මග්ග කියන කරුණ ගැන අක්කාගේ අදහස කියලා තිබුණේ නැහැ. ඒකත් එක්ක බලද්දී නම් මේ සිදුවීම් ගැටලුවක් නෙමෙයි. සහෝදරයන් අතර රජකම යනවා කියන එකට මම උදාහරණ දුන්නා විතරක් නෙමෙයි "පුබ්බ චාරිත්ත මග්ග" කියන සම්ප්‍රදායයි මම කිව්වේ

    රජතුමාට හිටපු මෙහෙසියන් තමා සෝමා සහ අනුලා. අනුලාව කරත්තේ අරගෙන ගියේ ඇයි කියලා කියන එකට පිළිතුර තමා අනුලා ගර්භනීයක්ව සිටීම. ගර්භණී කාන්තාවන්ට අද කාලේ පවා සමාජයෙන් කරන සැලකුම් අක්කා දන්නවානේ. ඒ කාලේ එහෙම නොවුණා වෙන්න බැහැනේ

    ඒ වගේම අක්කාගේ අයිතීන් ගැන මට ගැටලුවක් නැහැ. මම ඒකට ගරු කරනවා. ඒත් ඒක ගැන අදහස් දැක්වීමට මටත් අයිතියක් තියෙනවා කියලා මම හිතනවා. පිළිගන්නා එක හෝ නොපිළිගන්නා එක අක්කාට භාරයි :)

    ReplyDelete
  43. //සාලියගේ කතාව තර්කානුකූලව සිතා බලන්න ඕනේ එකක්//

    මම හිතුවේ මල්ලි තර්කානුකුලව සිතීම කෙසේ වෙතත් මහා වංශය මතම ඉන්න කෙනෙක් කියලා....මොකද සෝමා දේවි ගැන අදහස මම කිව්වේ තර්කානුකුලව හිතලා තමයි...එහෙම අසාධාරණයක් ගැන කොහෙවත් සඳහනක් නෑ කිව්වේ ඔයානේ...ඉතින් සද්ධාතිස්සට දුටුගැමුණු ගෙන් පස්සේ රජකම ලැබෙන්න තිබුනා කියලා සඳහනකුත් නැහැ කොහෙවත්...එහෙම තියනවනම් කියන්න...

    //සද්ධාතිස්සට රජකම හිමි නොවී සාලිය සහ ඔහුගේ පුතුන්ට එය හිමිවෙන්න හේතුවක් නැහැ//
    මේ කතාව හරිනම් සාලිය කුමාරයාගේ චණ්ඩාල තරුණියත් සමග තිබුණ සම්බන්ධය ඔච්චර ඉක්මනින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ...ඒ සම්බන්ධය නිසා ඔහුට ඔටුන්න අහිමි වෙලා සද්ධාතිස්ස ට රජකම ලැබුනා කියන එක තමයි හැමෝම දන්න විදිහ..

    //තර්කානුකූලව හිතා බැලුවොත් ථූලත්ථනගේ පුතෙක් සිටින්නට නොහැකියි. ලජ්ජතිස්ස ථූලත්ථන මරා දාද්දී පුතෙක් සිටියා නම් මරා දැම්මා විය හැකියි.//
    මේවා ගැනත් කොහෙවත් සඳහනක් නැහැ නේද මල්ලි :)
    තර්කානුකුලව සිතා බැලුවොත් අපිට ඕන තරම් නිර්ණායක දෙන්න පුළුවන්...එහෙම දෙයක් තමයි මම සෝමා දේවි ගැන කිව්වේ...

    //ලජ්ජතිස්සට පුතෙක් සිටියා නම් පුතාට රජකම හිමිනොවී ඛල්ලාටනාගට රජකම හිමිවන්නේ ඇයි කියන එක අක්කා පොඩ්ඩක් හිතලා බලන්න//
    හරි, දැන් මල්ලි කියන්නේ ලජ්ජිතිස්ස ට පුතෙක් හිටියානම් ඔහුට නැතුව ඛල්ලාටනාගට රජකම හිමි උනේ රජකම සහෝදරයාට යන නිසා කියලා..හරි, එහෙම කියමුකෝ...එහෙමනම් වළගම්බා රජතුමාගෙන් පස්සේ රජකම ලැබෙන්න ඕන මේ කියපු පුතාට මිසක් මහාචුලි ට නෙමෙයි...කොහෙන් බැලුවත් පරස්පර විරෝධී කරුණක් මෙතන තියනවා..

    //වළගම්බා රජතුමා ඉදිද්දී ඔවුන් මිය යන්න විදිහක් නැහැ කිව්වාට// වළගම්බා රජතුමා මහාචුලි ව රැක බලා ගත්තාට අනෙක් අයියලාගේ පුතාලා ගැන හොයලා නැහැ එහෙනම්?

    මගේ පැහැදිළි කිරීම කලින්ම ඔයාට තේරුණා කියලයි මම හිතුවේ...මම හිතන විදියට රජතුමා අනුලා බිසව ටත් ඇයගේ පුතාටත් විශේෂයක් කළා...ඒකයි සෝමා දේවිට අසාධාරණයක් උනා කියලා කිව්වේ...ලාබාල වයස ගැන මම කිව්වේ කලින් ඔයා එහෙම කතාවක් "චෝරනාග" ගැන කියපු නිසා (ඒකත් වෙන්න බැරි දෙයක් කියලා අපිට පෙනුනා නේද?) මම කිව්වේ නැහැ පෙරළි කරාට බයේ රජකම දුන්නා කියලා...මම කිව්වේ ඔහු එහෙම කරන්න ඇත්තේ ඔහුට අසාධාරණයක් උනා කියලා හිතලා සහ ඒකට සාධාරණයක් ඉටු කරන්න වුවමනා නිසා වෙන්න පුළුවන් කියලා...

    රජතුමාට හිටපු මෙහෙසියන් සෝමා සහ අනුලා කියන එක වැරදියි...රජතුමා ට හිටපු මෙහෙසිය සෝමා...පසුව ඒ තැනට අනුලා ත් එනවා...ඒ ගැනයි මම කිව්වේ...ඔයාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියටත් මම ගරු කරනවා...ඒකනේ මේ කමෙන්ට්ස් ඒ විදියටම පබ්ලිෂ් කරන්නේ :) මම කිව්වේ ඔයාගේ අදහස (සෝමා දේවි ගැන) මම පිළිගත්තේ නැහැ කියලා විතරයි...ඒකට අමනාප නොවෙයි කියලා හිතනවා...

    ReplyDelete
  44. ඒ වගේම තමා මෙන්න මේ කතාව ඔයාගෙම කමෙන්ට් එකේ ඔයාමයි කියලා තියෙන්නේ...(මුල්ම කමෙන්ට් එකේ)

    //මෙතන කුල ප්‍රශ්නය තදින්ම ඇදිලා එන්න හේතුව වෙන්නේ සාලිය මහරජතුමාගේ පුතා වීම වගේම මීළඟ රජු වෙන්න ඉන්න පුද්ගලයා වීමත් නිසා.//

    ReplyDelete
  45. මේ වගේ රසවත් විදියට ඉදිරිපත් කරද්දි ඉතින් ඉතිහාසයට අකමැති කෙනෙක් උනත් කියවන්න පෙළඹෙන්න පුළුවනි...රාජාවලියට මගේ සුභ පැතුම් අක්කා..

    ReplyDelete
  46. "මෙතන කුල ප්‍රශ්නය තදින්ම ඇදිලා එන්න හේතුව වෙන්නේ සාලිය මහරජතුමාගේ පුතා වීම වගේම මීළඟ රජු වෙන්න ඉන්න පුද්ගලයා වීමත් නිසා"

    "රජකම හිමිවන්නට තියෙන" කියලා මේ ප්‍රකාශය මම සංශෝධනය කරනවා :p

    "මේ කතාව හරිනම් සාලිය කුමාරයාගේ චණ්ඩාල තරුණියත් සමග තිබුණ සම්බන්ධය ඔච්චර ඉක්මනින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ..."

    ඒක ඉක්මනින් ප්‍රශ්නයක් වෙනවා. සාලිය කියන්නේ රජ පවුලේ කුමාරයෙක්. ඒ වගේම රජකමට උරුමක්කාරයෙක්. එහෙම කෙනෙක් පහත් කුලේකින් විවාහයක් කරගන්න එක කොහොමත් ගැටලුවක් තමා. ඒක සාලියට රජකම හම්බෙන වෙලාව ආපුවාම ප්‍රශ්නයක් වෙන එකක් නෙමෙයි

    "හරි, දැන් මල්ලි කියන්නේ ලජ්ජිතිස්ස ට පුතෙක් හිටියානම් ඔහුට නැතුව ඛල්ලාටනාගට රජකම හිමි උනේ රජකම සහෝදරයාට යන නිසා කියලා..හරි, එහෙම කියමුකෝ...එහෙමනම් වළගම්බා රජතුමාගෙන් පස්සේ රජකම ලැබෙන්න ඕන මේ කියපු පුතාට මිසක් මහාචුලි ට නෙමෙයි...කොහෙන් බැලුවත් පරස්පර විරෝධී කරුණක් මෙතන තියනවා.."

    හරිම සරලයි. මෙතන මම කියලා තියෙන්නේ පුතෙක් හිටියා "නම්" කියලා. පුතෙක් හිටියේ නැහැ වෙන්නත් පුලුවන්

    "/වළගම්බා රජතුමා ඉදිද්දී ඔවුන් මිය යන්න විදිහක් නැහැ කිව්වාට// වළගම්බා රජතුමා මහාචුලි ව රැක බලා ගත්තාට අනෙක් අයියලාගේ පුතාලා ගැන හොයලා නැහැ එහෙනම්"

    මම මේක කියන්න කලින් කියලා තියෙනවා සිටියා නම් කියලා... ඒ ටික පොඩ්ඩක් ආයි කියවන්න

    ".ලාබාල වයස ගැන මම කිව්වේ කලින් ඔයා එහෙම කතාවක් "චෝරනාග" ගැන කියපු නිසා (ඒකත් වෙන්න බැරි දෙයක් කියලා අපිට පෙනුනා නේද?) මම කිව්වේ නැහැ පෙරළි කරාට බයේ රජකම දුන්නා කියලා...මම කිව්වේ ඔහු එහෙම කරන්න ඇත්තේ ඔහුට අසාධාරණයක් උනා කියලා හිතලා සහ ඒකට සාධාරණයක් ඉටු කරන්න වුවමනා නිසා වෙන්න පුළුවන් කියලා..."

    මෙහෙම බලද්දී මහාචූලී මහා තිස්ස එයාගේ පුතාවෙන තිස්සටත් කරලා තියෙන්නේ අසාධාරණයක්නේ :))

    "තමන්ගේ පුතාට නොදී අයියාගේ පුතාට රජකම දෙන්න වළගම්බා රජතුමා කටයුතු කළේ ඇයි කියන එකට මම කරපු පැහැදිලි කිරීමට එකඟ නැත්නම් අක්කාගේ පැහැදිලි කිරීම මම දැනගන්න කැමතියි"

    මේ ගැනත් අක්කාගේ අවධානය යොමු නොවුණු නිසා නැවත යොමු කරන්න කැමතියි

    "ඒ වගේම මම දක්වපු පුබ්බ චාරිත්ත මග්ග කියන කරුණ ගැන අක්කාගේ අදහස කියලා තිබුණේ නැහැ. ඒකත් එක්ක බලද්දී නම් මේ සිදුවීම් ගැටලුවක් නෙමෙයි. සහෝදරයන් අතර රජකම යනවා කියන එකට මම උදාහරණ දුන්නා විතරක් නෙමෙයි "පුබ්බ චාරිත්ත මග්ග" කියන සම්ප්‍රදායයි මම කිව්වේ"

    මම කිව්වේ මේ කොටසේ මේකට ඕන කරන පිළිතුර තියෙනවා අක්කේ.... ඔයා මේක ගැන මොකුත් කියලා තිබ්බේ නැහැනේ.... පුබ්බ චාරිත්ත මග්ග අනුව බලද්දී මේ සිදුවුනු දේවල්වල කිසිම අසාධාරණයක් නැහැ..

    ReplyDelete
  47. "ඒකත් අග බිසව තනතුරමයි නේ දීලා තියෙන්නෙත්...ඒක පැහැදිළිවම අසාධාරණයක් තමයි.."

    අනුලා බිසව අග මෙහෙසිය කරගත්ටහ කියලා තියෙන මූලාශ්‍රය දක්වන්න පුලුවන්ද අක්කේ ?

    ReplyDelete
  48. "සද්ධාතිස්ස රජතුමා දැහැමෙන් සෙමෙන් අවුරුදු 18 ක් රජ කළා ට පස්සේ රජකම උරුම වෙන්නේ ඔහුගේ පුත්‍රයෙක් උන "ථුල්ලතනතිස්ස" රජතුමා"

    ඒ වගේම මේ ථුලත්තනතිස්ස නාමය ???

    ReplyDelete
  49. @ ශානි : සුබ පැතුමටත් මේ පැත්තේ ආවටත් බොහොම ස්තුතියි නංගා...සාදරයෙන් පිළිගන්නවා ඔයාව..

    ReplyDelete
  50. //"රජකම හිමිවන්නට තියෙන" කියලා මේ ප්‍රකාශය මම සංශෝධනය කරනවා :p//

    මටත් මේකට කියන්න වෙන්නේ ":p" කියලා තමයි :) එතකොට ඔයා කියන්නේ දුටුගැමුණු ගෙන් පස්සේ රජ වෙන්න හිටියේ සාලිය නෙමෙයි? ඒක සඳහන් වෙන මුලාශ්‍රය කියන්නකෝ එහෙනම්...

    // පුතෙක් හිටියේ නැහැ වෙන්නත් පුලුවන්//
    ඔව් පුතෙක් හිටියේ නැතිනම් ඛල්ලාටනාග ට රජකම හිමි වුනේ ඔහුට පුතෙක් හිටියේ නැති නිසා...

    //මම මේක කියන්න කලින් කියලා තියෙනවා සිටියා නම් කියලා... ඒ ටික පොඩ්ඩක් ආයි කියවන්න//
    ඔව් සිටියානම් කියන උපකල්පනයේ ඉඳගෙන තමයි මාත් ඒ කතාව කිව්වේ...ඒකත් පොඩ්ඩක් ආයි කියවන්න.

    //මෙහෙම බලද්දී මහාචූලී මහා තිස්ස එයාගේ පුතාවෙන තිස්සටත් කරලා තියෙන්නේ අසාධාරණයක්නේ :))//
    ඔව් වෙන්න පුළුවන්...මම නැහැ කිව්වේ නැහැ

    //මේ ගැනත් අක්කාගේ අවධානය යොමු නොවුණු නිසා නැවත යොමු කරන්න කැමතියි//
    ඔයා මගේ කමෙන්ට් එකේ මේ කොටස කියෙව්වද කියලා මම දන්නේ නැහැ....
    "මම හිතන විදියට රජතුමා අනුලා බිසව ටත් ඇයගේ පුතාටත් විශේෂයක් කළා...ඒකයි සෝමා දේවිට අසාධාරණයක් උනා කියලා කිව්වේ"

    "පුබ්බ චාරිත්ත මග්ග" ගැන පැහැදිළි කරාට තමයි මගේ කලින් කමෙන්ටුවක ඔයාට "ස්තුතියි" කියලත් කිව්වේ...හැබැයි එහෙම සම්ප්‍රදායයක් ඒ කාලේ තිබුණා කියලා ඒක මුළු ඉතිහාසය පුරාවටම අකුරට පිළිපැද්දා කියලා හිතන්න පුළුවන් කමක් නැහැ...කොහොම උනත් මේ සම්ප්‍රදාය පැහැදිළි කිරීමෙන් සෝමා දේවි සම්බන්ධ කාරනාව පැහැදිළි කරන්න බැහැ...

    ReplyDelete
  51. "එතකොට ඔයා කියන්නේ දුටුගැමුණු ගෙන් පස්සේ රජ වෙන්න හිටියේ සාලිය නෙමෙයි? ඒක සඳහන් වෙන මුලාශ්‍රය කියන්නකෝ එහෙනම්..."

    පුබ්බ චාරිත්ත මග්ග කියන සම්ප්‍රදාය අනුව සාලියට රජකම හිමිවෙන්නේ දෙවෙනි වටයේදී කියන එක මගේ අදහසක්. අක්කා මූලාශ්‍ර ඉල්ලුවානේ. සාලිය සම්බන්ධ කතාව තියෙන්නේ මහාවංසයේ විතරයි. නිකාය සංග්‍රහය, රාජාවලිය, රාජරත්නාකරය වැනි පොත්වල කිසිම සඳහනක් නැහැ

    ඒ වගේම

    "අනුලා බිසව අග මෙහෙසිය කරගත්තා"

    "සද්ධාතිස්ස රජතුමා දැහැමෙන් සෙමෙන් අවුරුදු 18 ක් රජ කළා ට පස්සේ රජකම උරුම වෙන්නේ ඔහුගේ පුත්‍රයෙක් උන "ථුල්ලතනතිස්ස" රජතුමා"
    ඒ වගේම මේ ථුලත්තනතිස්ස නාමය ???

    මේ දෙකම හොයාගත්තු මූලාශ්‍රය ගැන ඔයා උත්තරයක් දීලා නැහැනේ

    "කොහොම උනත් මේ සම්ප්‍රදාය පැහැදිළි කිරීමෙන් සෝමා දේවි සම්බන්ධ කාරනාව පැහැදිළි කරන්න බැහැ..."

    පුබ්බ චාරිත්ත මග්ග කරුණ යොදා ගත්තේ අක්කා කිව්ව විදිහට චෝරනාගට අසාධාරණයක් වුණා කියන එක එහෙම නෙමෙයි කියලා පැහැදිලි කරන්න.

    "පුබ්බ චාරිත්ත මග්ග" ගැන පැහැදිළි කරාට තමයි මගේ කලින් කමෙන්ටුවක ඔයාට "ස්තුතියි" කියලත් කිව්වේ...හැබැයි එහෙම සම්ප්‍රදායයක් ඒ කාලේ තිබුණා කියලා ඒක මුළු ඉතිහාසය පුරාවටම අකුරට පිළිපැද්දා කියලා හිතන්න පුළුවන් කමක් නැහැ"

    ඇයි එහෙම හිතන්න බැරි කියලා කියන්න පුලුවන්ද ???

    ReplyDelete
  52. //සාලිය සම්බන්ධ කතාව තියෙන්නේ මහාවංසයේ විතරයි//
    මහා වංශයේ නැහැ නේද සාලිය රජ වෙන්න හිටියේ සද්ධාතිස්ස ගෙන් පස්සේ කියලා?

    //පුබ්බ චාරිත්ත මග්ග කියන සම්ප්‍රදාය අනුව සාලියට රජකම හිමිවෙන්නේ දෙවෙනි වටයේදී කියන එක මගේ අදහසක්//
    අන්න එතනට තමයි මට එන්න ඕන උනේ...ඒක මල්ලිගේ අදහසක් මිසක් හේතු සාධක ඇතිව ඔප්පු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි...

    //අනුලා බිසව අග මෙහෙසිය කරගත්තා//
    මමත් මේක මුලාශ්‍රයකින් හොයාගත්ත දෙයක් නෙමෙයි...ඒවා කියවද්දී ගම්‍ය උන අදහස...හැබැයි අන්තර්ජාලයේ හොයද්දි මම දැක්කා මෙන්න මේ ලිපිය..මේකේ මල්ලිත් කමෙන්ට් කරලා තියන නිසා ඒ ගැන කතා කරන එක සුදුසුයි කියලා හිතනවා...ඒ ලිපියේ කියලා තියනවා, සෝමා දේවිය රජතුමාගේ දෙවන බිසව කියලා...ඒ කියන්නේ ඒ වෙද්දී අග බිසව අනුලා. හැබැයි එතනදී ඔයා ඒක නිවැරදි කරලා නැහැ..ඇයි ඒ?

    අග බිසව කතාව සම්පුර්ණයෙන් අත ඇරලා දැම්මට පස්සෙත් මම කිව්වේ සෝමා විතරක් හිටපු තැනට අනුලා ආවම දෙන්නටම සම තැන දුන්නත් සෝමාට යම් අසාධාරණයක් වෙනවා කියලා...

    //ඒ වගේම මේ ථුලත්තනතිස්ස නාමය ??? //
    ඔයා කියන්නේ මේ නමේ අකුරු වැරදිලා තියන එක ගැනද? මේ නම විතරක් නෙමෙයි බොහොමයක් නම් සම්බන්ධව ඔය ප්‍රශ්නේ තියනවා...එකම නම තැන් තැන් වල එක එක විදියට තියනවා...හැබැයි මේ නම වැරදියි කියනවානම් මම ඒක පිළිගන්න ලෑස්තියි..ඒක ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ..මොකද නමක් ගැන තර්ක කරන එකේ තේරුමකුත් නැහැ අනික මම ලියලා තියන විදිය නිවැරදි විදිය කියලා මම කියන්නෙත් නැහැ...

    //ඇයි එහෙම හිතන්න බැරි කියලා කියන්න පුලුවන්ද ???//

    එහෙම හිතන්න බැරි මේක ඉතිහාසය ගැන ප්‍රශ්නයක් නිසා...අපි දන්නා දේට වඩා නොපෙනෙන, මග හැරුන දේ වැඩි නිසා...පියෙක්ගෙන් පුතෙක්ට රජකම උරුම උන අවස්ථාවල ඒ රජතුමාට සොහොයුරන් හිටියාද කියලා සඳහන් කරන්න මුලාශ්‍ර කතුවරුන්ට උවමනාවක් නැහැ...ඒ වගේ තොරතුරු ගිලිහෙන්න තියන අවස්ථාව ගොඩක් වැඩියි..සොහොයුරන් ගැන සඳහන් වෙන්නේ බොහෝ දුරට ඔවුන්ට රජකම ගිය අවස්ථාවලයි...එහෙම නොගිය අවස්ථා තියෙන්න පුළුවන්...මේ සම්ප්‍රදාය "අකුරටම" පිළිපැද්දා කියලා නිසැකවම කියන්න බැහැ කියලා මම කිව්වේ ඒකයි...

    ReplyDelete
  53. පෝස්ට් එකෙන් වගේම හොඳ කරුණු ටිකක් කමෙන්ට්ස් වලිනුත් දැනගත්තා...:)
    සයුරි, හසිත, ඔබ දෙපලටම ස්තුතියි...!!

    ReplyDelete
  54. @ ලොකු පුතා : ඔයාටත් ස්තුතියි ලොකූ :)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...