Thursday, August 16, 2012

එල්ලෙන හොල්මන


එදා හොඳට හඳ පායපු දවසක්. ලොකු තාත්තා භූමදානය කරපු දවස. ඒ වගේ දවසක ලඟම නෑයෝ ටික ගෙවල්වල යන්නේ නැහැ නේ. එදා එහෙ නතර වෙලා අස් පස් කරන ඒවටත් උදව් වෙලා පහුවදා යන්න  තමයි දුරින් ආපු නෑයින්ගෙත් කල්පනාව. අපිත් ඉතින් එහෙ නවතින්න තීරණය කරා.

අපේ ලොකු අම්මලාගේ ගෙදර තියෙන්නේ වෙල් යායකින් වට වුණු පුංචි කඳු ගැටයක් උඩ.


තදින් වහින කාලෙට ඔය වෙල ගංවතුර ට යට වෙනවා කඳු ගැටේ දූපතක් විදියට ඉතිරි කරලා. ලොකු තාත්තා නැති උනේ ඔන්න ඔය වගේ වැහි කාලෙක. ඉතින් හදිසියෙවත් වෙල යට උනොත් කියලා මළ ගෙදර තිබුණේ වෙලෙන් මෙපිට තිබුණු ලොකු අයියගේ ගෙදර. ඉතින් එදා වැඩ කටයුතු ඔක්කොම ඉවර වෙලා කට්ටිය නිදා ගන්න ලේස්ති උනා. හැමෝටම ඇති වෙන්න කාමර තිබුණේ නැති නිසා කීප දෙනෙක් සාලේ පැදුරු දාගෙන නිදාගන්න සෙට් උණා. ඔය අස්සේ ලොකු අම්මා කිව්වා ටික දෙනෙකුට ලොකු අම්මලාගේ ගෙදර යන්න පුළුවන් කියලා. මොකද සමහර පොඩි එවුන්ට එහෙම බිම නිදාගන්න දෙන එක පවු නේ. ඉතින් ලොකු අම්මලාගේ ගෙදර යන්න තීරණය කරේ මෙන්න මේ කණ්ඩායම.

සුදු අයියා සහ ඔහුගේ ප්‍රිය බිරිඳ, රසී අක්කා.
චූටි අයියා සහ බිරිඳ, මහී අක්කා
රාජ් අයියා (මෙයා මේ වෙද්දී නෙලූ අක්කව බැඳලා නැහැ)

දැන් මේගොල්ලන්ට යන්න වෙන්නේ තුන් රෝද රථ වලින්. මොකද වෙල හරහා තියන වේල්ලේ රෝද හතරේ වාහන යන්න බැහැ. රෑ හින්දා වේල්ලේ පයින් යන එකත් සුබ නැහැ. ඉතින් ත්‍රී වීල් දෙකකට කට්ටිය සෙට් උණා. එක ත්‍රීවිල් එකක ඩ්‍රයිවර් හැටියට ලොකු අයියත් ගියා. අනිත් එක එලෙව්වේ සුදු අයියා.

ඉතින් මේ කණ්ඩායම පිටත් වෙලා ගිහින් පැය බාගෙකට විතර පස්සේ ත්‍රීවිල් දෙකක් පිඹගෙන ඇවිත් ලොකු අයියලාගේ ගේට්ටුවෙන් ඇතුලට හැරෙව්වා. ඒවායින් බැස්සේ කවුද දන්නවද? දාඩියෙන් මුළු ඇඟම පෙන්ගිච්ච, ඇස් නළලේ තියාගත්තු, සුදු අයියයි රසී අක්කයි මහී අක්කයි රාජ් අයියයි ලොකු අයියයි. කෝ චූටි අයියා? මොකක් හරි ලොකු සන්තෑසියක් වෙලා තියන බව අපිට තේරුණා. ඉතින් කට්ටියව ගෙට අරගෙන, වතුර එහෙම බොන්න දීලා, හොඳ සිහියට එනකන් ඉඳලා තමයි සිද්ධිය අහගන්න පුළුවන් උනේ.

                                                             ~~~~~~~~~~~~~~~~~

මේ ගොල්ලෝ ත්‍රී වීල් දෙකෙන් පිටත් වෙද්දී මැදියම් රාත්‍රියටත් ලං වෙලා තිබුණේ. මළ ගෙදර නිසා පාර දෙපැත්තේ එල්ලලා තිබුණු සුදු කොඩි සට සට ගාලා හුළඟට සෙලවෙනවා. ගස්  අතරින් පෙරිලා එන මලානික හඳ එළියත් ත්‍රී වීල් වල ලාම්පු එලිත් ඇරෙන්න වෙන කිසිම එළියක් ඒ හරියේ නැහැ. පොඩි චකිතයක් දැනුනත් කට්ටිය ඉදිරියටම ගිහින්. සුදු කොඩි එල්ලපු, ගස් තියන සීමාව පැනලා වෙල අද්දරට ආවම කට්ටිය දැක්කලු මලානික හඳ එළියේ නෑවෙන වෙල් යාය.


පොඩ්ඩක්වත් වේගේ අඩු නොකර තුන් රෝද රථ දෙක එකා පස්සේ එකා ඇදෙන්න ගත්තේ පුළුවන් ඉක්මනින් වේල්ල තරණය කරලා කඳු ගැටේ නැගලා ගෙදරට යන අදහසින්. වේල්ලේ මැද හරියක් එද්දී ඉස්සරහින් ගියපු ලොකු අයියා එලවපු රථය ඉද්ද ගැහුවා වගේ එක පාරටම නතර උනාලු. ඒකෙ පිටි පස්සේ වාඩි වෙලා ඉඳල තියෙන්නේ චූටි අයියයි අක්කයි. පස්සෙන් ආපු සුදු අයියලත් ත්‍රීවිල් එක නතර කරගෙන. ඉස්සරහ එකේ ඉන්න එක්කෙනෙක්වත් බිමට බහින්නේ නෑ ලු. නවත්තගෙන එහෙමම ඉන්නවලු. ඉවසලා බැරිම තැන සුදු අයියා බැහැලා ඉස්සරහ බලලා.

වේල්ල ඉවර වෙලා කඳු ගැටේ නැග්ම පටන් ගන්න තැනම තියෙන්නේ තඩි ගොරක ගහක්. හඳ එළිය තිබුණත්  ඒ හරිය කළුවරයි. එදා හවස ලොකු තාත්තා භූමදානය කරලා තිබුණේ ඒ ගහට ටිකක් එහායින්. සුදු අයියා දැක්කලු "සුදු සරමක් ඇඳගත්ත මිනිහෙක් ගොරක ගහේ එල්ලිලා ඉන්න හැටි". ඔලුව පල්ලෙහාට හිටින්න. ඒ මදිවට හුලන් හමනකොට හයියෙන් එහාට මෙහාට පැද්දෙනවා ලු. මේක දැකලා කකුල් දෙක කිටි කිටියේ වෙවුලන්න ගතිපු හින්දා සුදු අයියා ආපහු ත්‍රී වීල් එකේ රියදුරු ආසනේට පැනලා. දැන් කට්ටියම මේක දිහා එබි එබි බලනවලු. ඉස්සරහ රථයෙන් කිසිම හාවක් හූවක් නෑ. ටික වෙලාවකින් ඔන්න චූටි අයියා එලියට බැහැලා ගොරක ගහ දිහාවට යන්න පටන් ගත්තලු. මහී අක්කා එපා කියලා කෑ ගහද්දීත් මෙයා පොර වගේ ගිහින් මොකද වෙන්නේ බලන්න.

චූටි අයියා ගොරක ගහට ලං වෙන අඩියක් අඩියක් ගානේ වේල්ල මැද ඉන්න කට්ටියගේ හාට් බීට් එක දෙගුණ උනාලු. මෙහෙම හෙමින් හෙමින් ගිහින් චූටි අයියා ගොරක ගහ යටට එනකොටම...

...පළාතම දෙදරන්න චූටි අයියා කෑ ගහද්දි අර එල්ලිලා හිටපු මිනිහා ගහෙන් බිමට පනිනවා දැක්කලු. ඊට වඩා දහ ගුණයක් සද්දෙන් විලාප දීපු අපේ අනිත් කට්ටිය හිස හැරුණු අතේ දුවන්න ගත්තලු. ඒ වෙනකොට බබෙක් ලැබෙන්නත් ඉඳපු රසී අක්කාව ත්‍රී වීල් එකේ එහෙමම දාලා සුදු අයියා දුවලා තිබුණේ මෙලෝ සිහියක් නැතුව. සමහරු දුවලා තිබුණේ ගොරක ගහ පැත්තටමයි. ඒක මීටර් වෙලා  ආපහු හැරිලා එන්න හැදුවට එන්න බැහැලු. එක තැන දිවවෙනවා වගේ තමයි දැනිලා තියෙන්නේ. අන්තිමේදී ලාහට ගෙම්බෝ එකතු කරනවා වගේ, දුවපු කට්ටියව ත්‍රී වීල් වලට දමාගෙන මේ ගොල්ලෝ උපරිම වේගෙන් ආපහු ලොකු අයියලාගේ ගෙදරට ඇවිත්. චූටි අයියට වෙච්ච දෙයක් ගැන කාටවත් හරි අදහසක් නෑ. කට්ටියට ඒ ගැන මතක උනෙත් අපි ඇහුවට පස්සේ. කෑ ගහගෙන චූටි අයියා කන්ද උඩට දුවන හැටි කට්ටිය යන්තම් දැකලා තිබුණා. එයාගේ ෆෝන් එකට දීපු කෝල් වලින් අන්තිම එකට යන්තම් උත්තරයක්‌ ආවා. කරදරයක් නැතුව ලොකු අම්මලාගේ ගෙදරට දුව ගත්තා කියලා කිව්වා. ඊට පස්සේ තමයි ඉතින් හැමෝම සැනසුම් සුසුමක් හෙළුවේ.

පහුවදා උදේ අපේ නෑයෝ සෙට් එක ගියා සිද්ධිය වෙච්ච තැනට, පශ්චාත් අධ්‍යයනයක් දාන්න. කලින් දා රෑ බය වෙලා ආපු අයියලත් වැඩර් ලා වගේ ගියා. වේල්ල හරියට යනකොට මෙන්න තියනවලු කට්ටියගේ පටි කැඩිච්ච සෙරෙප්පු එහෙම. ඒවා හතර අතේ විසි වෙලා. වේල්ලේ ඒ හරිය නිකන් හරක් දාලා මඩවලා වගේ ලු. කට්ටිය එච්චරට දුවලා තියනවා.

ඉතින් ගොරක ගහ යටට යද්දී අමුතු දෙයක්නම් එතන තිබුණේ නැහැ ලු. ගොරක අත්තක වනලා තිබුණු, ලොකු අම්මා ගොරක කඩන්න පාවිච්චි කරන සුදු පාට පෝර කොට්ට උරේ හුළඟට බිම වැටිලා තිබුණලු. චූටි අයියා ගහ යටට එනකොටම ඒක හුළඟට බිම වැටිච්ච එක තමයි සිරාම වැඩේ.

ඔන්න ඔහොමලු ඉතින් උනේ...

82 comments:

  1. හුගක් හොල්මන් ඔය ජාතිය තමා.. හරියට ගිහින් හොයලා බැලුවොත් මොකක් හරි අපි දන්න දෙයක් තමා... වැඩේ ඉතින් ඔය වගේ පශ්චාත් පරීක්ශන කෙරෙනවා අඩුයි....එතකොට ඉතින් ඔන්න ගොරක ගහ යට හොල්මනක් තියනවා කියලා ප්‍රසිද්ධ වෙනවා...

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත...ගොඩක් හොල්මන් කතාවල මුල මෙහෙම සිද්ධියක් වෙන්න ඇති. දුර දිග හොයල බලන්නේ නැතුව මේවා වැඩිය විශ්වාස කරන්න නරකයි.

      Delete
  2. මදැයි කියවපු ගමන්ම කොමන්ට් කරල එක ගන්න ආව ඒකටවත් ඉඩ දෙන්නේ නැති හැටියක් යකෝ මේක යකාගේ වැඩක්නේ. කමක් නෑ ඉතිං සෙන්නා එක වෙලා. සුබ පැතුම් අපෙන්.

    දැන් ඉතිං සයුරිට ලියන්න ඕනේ ඔක්කෝම නම් ලියන්න බෑ, ආසාවට කියල පහන් යාය පොස්ට් එකක් දාල කියල දැක්කම මහ රෑ කියල බලන්නැතිව ගොඩ වුනා කියවන්න අනේ මෙහෙමත් එව්වො දාලනේ හොල්මන් කතාවක් දැන් ඉතිං කොහොමෙයි අපි නිදාගන්නේ ආ. අනේ ඇත්තටම මෙහෙමත් මගෝඩි වැඩ කරනවද.

    ලියල නම් තියෙනවා හොල්මන්ලත් හොල්මන් වෙන තාලෙට. ඒත් ඉතිං මේ බය කරපු එකට සමාවක් නම් දෙන්න බෑ ඕං

    ReplyDelete
    Replies
    1. ඉතින් ඔයා දෙකනේ මියදුන සිත... රනර්ස් අප් :) හේ හේ...මේකනේ ඉතින්.. මේක කියවලා බය වෙන්න ඔට්ටු නෑ. කරදරයක් නැතුව පහුවදා උදේ නැගිට්ටා නේද? ඕකට කරන්න තියෙන්නේ ඔයා හොඳ හොල්මන් කතාවක් ලියලා බ්ලොග් එකේ දාන එක. එතකොට කිසිම හොල්මනක බැල්මක් ඔයාට වැටෙන්නේ නැහැ. සියලු වස් දොස් යනවා...:)

      Delete
  3. මම මේක කියවපු වෙලාව හරි නැද්ද මන්දා.. 11.30 අනේ... තනියම ඉන්නෙත්..

    ReplyDelete
    Replies
    1. ඔයා පැය 24 ම ස්කයිප් එකේනේ ඉන්නේ :) ඒ හින්දා අවුලක් වෙන එකක් නෑ.

      Delete
    2. නෑ නෑ.. එයා නැති වෙලේ නේ මම මේ කියෙවුවේ.. අනික මහ රෑ එයාට හොල්මන් කතා කියවමු කිවුවොත් ඉදලා හමාරයි මාත්.. :)

      Delete
  4. වෙන්ට ඇත්තේ මේ වගේ දෙයක් කියලා හිතුනත්, අර දිනේශ් කීවා වගේ තනියම , උදේ පාන්දර බලපු හන්දද කොහෙද බය හිතුනා. පුටුවෙන් නැගිටින්ට බලාගෙන තමයි කියෙව්වේ. ඒ මදිවට මූන ඉස්සරහම කණ්ණාඩියක්. කෝකටත්ම කියලා ඒක දිහා බැලුවෙත් නෑ. කවුරු හරි පිටිපස්සෙන් ඇවිත් එබෙනවා දැක්කොත් කියලා...හී හී...

    හොල්මන් දැක්කත් කමක් නෑ. කවුරු හරි මළ ගෙදරක් ගැනයි, හොල්මන් ගැනයි කතා කලාම බය දෙගුන, තෙගුන වෙනවා.

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඔය කන්නාඩි සීන් එකටනං මමත් බයයි. ඕක මට අහු උනේ ඩ්‍රැකියුලා පොතේ තිබිලා. මනුස්සයා කන්නාඩිය බලාගෙන රැවුල කප කප ඉද්දී එක පාරට උරහිස උඩින් අතක් තිව්වලු. කන්නාඩියේ කවුරුත් පෙනුනේ නැතිලු. හැරිලා බැලුවම මෙන්න ඉන්නවලු කවුන්ට් නොහොත් ඩ්‍රැකියුලා.

      මළ ගෙදර දවසෙම ඒක උන නිසා වෙන්න ඇති එයාලත් එච්චර බය වෙන්න ඇත්තේ.

      Delete
  5. හොල්මන් වලට ළිහිණි බයයි. බොරු මොකටද..ඒත් ඉතින් හොල්මන් දැකලා තියෙන එකක්යෑ. ඒත් ඉතින් මේ වගේ කතා අහපුවාම මාරම බයයි..ඔන්න ඉතින් ළිහිණිට හිනා වෙන්න එපා. මේ කට්ටියත් බය උන එකේ ළිහිණි මොකෙද්ද ?

    ඇත්තටම හොල්මන් තියෙනවද ? මේ ලඟදී discovery channel එකේ පෙන්නපු හොල්මන් ගැන තියෙන documentary එකක් බලලා මට හරි වැඩක් උනා. ඒක පස්සෙ කියන්නම්කෝ..
    කතාව නියමෙට ලියලා තියෙනවා සයුරි

    ReplyDelete
    Replies
    1. අනේ අපිටත් කියන්නකෝ ලිහිණි ඒ කතාව. ඒ documentary එක හොයාගන්න විදියක් තියනවනම් කියන්ඩ හොඳේ. මටත් ඉතින් ඔහොම වැඩක් උනොත්නම් බය හිතෙනවා...දැන් පොර ටෝක්ස් දුන්නට..

      Delete
  6. පෝර කොට්ට උරේ?? කොට්ට උරේ මොකටද ගහේ එල්ලුවේ?? සයුරි දකුණෙද? දකුණෙ අයනෙ පෝර උරේට පෝර කොට්ට උරේ කියන්නෙ...

    ReplyDelete
    Replies
    1. හරී හරියට හරි. අපි තමයි ඔහොම කියන්නෙ.

      Delete
    2. @ රාජ්,

      මගේ යාලුවො කීපදෙනෙක් මාතර.. ඒ හින්දා ඔය වගේ වචන ගොඩක් අහුවෙනවා..

      @ සයුරි,

      ගොරක ගස්වල යක්කු ඉන්නවාලු නේද?

      Delete
    3. @ හරී

      ගොරක ගස්වල යක්කු ඉන්නව නේන්නං....හර්යට ඇස්දෙක නිකං ගොරක මද වගේ..... :D

      Delete
    4. ඕ යැස්..මම දකුණේ තමා හරිය :)

      හරී ලගේ පැත්තේ නැද්ද ඔය වගේ ආවේණික වචන? ආ ගොරක යක්කු ගැන මාත් අහල තියනවා.

      Delete
  7. පෝර කොට්ට උරේ නෙමෙයි පෝර උරේ කියලා තමයි අපි කියන්නෙ..... හික්ස් :)
    ඒවයින් කාරි නෑ කට්ටියම බය උනා නෙව... !
    මේ කතාව කියවගෙන යනකොට මටත් කතාවක් මතක් උනා.

    ReplyDelete
    Replies
    1. මධූලගේ පැත්තේ නේද අලවංගුව ට "නාරාසනේ" කියන්නේ? හික් :)

      ඔයාට මතක් වෙච්ච කතාවත් කිව්වනම් එහෙනම්...

      Delete
  8. හිහ් පව් රසී අක්ක, ... මොනා හිතෙන්න ඇතිද ප්‍රිය ස්වාමියා ගැන...

    ReplyDelete
    Replies
    1. හිහි...අක්කා "සුදූ සුදූ" කියලා කෑ ගහද්දීත් මේ මනුස්සයා දුවලනේ :)

      Delete
  9. සිරා කතාව.... තව ලියන්න... ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිපුන...ඔයාව සාදරයෙන් පිලිගන්නවා පහන්යාය ට.

      Delete
  10. මට නම් ඕන් බය හිතුනෙ නෑ. :D අක්කා පටන් අරගෙන තියෙන්නෙත් ජෝක් එකක් විදිහට නිසා හිතුනා බය නැති එකක් තමා කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් නිසූ...බය වෙන්න දෙයක් නෑ කියන්නයි මේක ලිව්වේ :)

      Delete
  11. oka oya aita ohoma keewata wena kenek tawa kenekuta kiyanne ohomna nowei attatma holmanak hitapu ganata

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමා රන්සකු. හොල්මන් කතා ප්‍රසිද්ධ වෙන්නේ ඒ විදියට තමයි. ඔයාවත් සාදරයෙන් පිලිගන්නවා පහන්යාය ට.

      Delete
  12. සෙන්න කියපු කතාව ඇත්ත තමා, හුඟක් හොල්මන්වල උත්පත්තිය ඔය වගේ සීන් එකක්.
    හොල්මන = හෙලවෙන මනස කියලත් කියනව නෙව. ඇති ඔයින් ගියා, තොයිල් නටන්න තියාගන්නෙ නැතුව.

    ReplyDelete
    Replies
    1. අමතක උනා කියන්න. ඔන්න සයුරි මතක තියා ගන්න ‘එල්ලෙන සියල්ල හොල්මන් නොවේ‘ ඈ .....

      Delete
    2. හප්පේ ඒකනම් ඇත්ත. එයින් ගියා ඇති.

      //එල්ලෙන සියල්ල හොල්මන් නොවේ//

      හිහි..ඕක අපි අහල තියෙන්නේ වෙන විදියකට. ඔය වගේ සීරිස් එකක්ම තිබුනා. දැන් මතක නෑ.

      Delete
  13. අයියා අක්කවත් දාලා දිව්ව එක තමයි වැඩේ... හොල්මනක් කරපු හරිය...

    ReplyDelete
    Replies
    1. අනේ ඇත්තට...තමන් වැඩියෙන්ම ආදරේ තමන්ට කියන්නේ ඒක නිසා වෙන්න ඇති.

      Delete
  14. හික් හික් අපි නම් බය නෑ හොල්මන් වලට..... හා හෑ හූ.... :)))

    ReplyDelete
    Replies
    1. අපිට වඩා හොල්මන් කොයින්ද අනේ :)

      Delete
  15. හි හි......නියම කතාව :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරු :)

      Delete
  16. මගේ අමියෝ....මන් මේ ලගදි ඉදන් හොල්මන් වලට සැහෙන්න බයයිනේ අප්පා.. කියවන්න ආවම මුලින්ම හිතුනේ මට රෑට මේක හීනෙන පෙනෙයිද දන්නේ නැ කියලයි...
    අපි හුගක් වෙලාවට බය වෙන්නේ ඔය වගේ දේවල වලට තමා..අයි ඉතින් හිතින් මවාගෙන් හොල්මනක් කියලා හිතලා ඉවරනේ...:)

    ReplyDelete
    Replies
    1. හානේ..මේ ප්‍රදී කවුද කියලා මතක් කරගන්න ටිකක් වෙලා ගියානේ :) ඔව් අනේ හිත තමයි හැම දේකටම මුල. ඕනවට වඩා හිතුවම බොරු දේත් ඇත්ත වෙලා පේන්නේ

      Delete
  17. shoi kathawa...... :):)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරලියා...මේ පැත්තේ ආවටත් ස්තුතියි :)

      Delete
  18. පෝර උරේ හොල්මන බලන්න අපිත් ආවා ඔන්න..
    බෝම්බයක් පුපුරපුවාම ඒ පැත්තට දුවන අය හොල්මන් දැක්කාම පණ එපා කියලා අනිත් පැත්තට දුවන්නෙ ඇයි දන්නෑ.. :)

    ReplyDelete
    Replies
    1. හිහි...බෝම්බෙ පිපිරුනාම කට්ටිය දුවන්නේ ඒ පැත්තටද රූ? බෝම්බෙට අහු උන අයට උදව් කරන්න වෙන්න ඇති නේද

      Delete
  19. කතාව පටන් ගන්නෙ ඉතාමත් රසවත් , සිත්ගන්නා සුළු භාසාවකින්, ඒ නිසාම කුතුහලය සමස්ත සිද්දිය පුරාම දිවයන්නේ ඒ සදහා යෙදූ භාෂාව නිසා.සිද්ධිය විස්තර කරන්නේ සිනමාරූපිව. කියවනකොට හරියටම සිද්ධිය හිතේ ඇදනනවා.

    ඇත්තටම අඩුම තරමේ හය දෙනෙක් විතර ගියපු ගමන වාහන දෙකකුත් තියෙද්දි මොකට බයවුණාද මංදා..

    ගොරක ගස් යට යක්කු ඉන්න බව නම් මමත් අහල තියෙනවා.ඒනිසානේ අපේ අත්තලා අත්තම්මලා හැන්දැවට කියන්නේ"කොහෙද උඹ ඔය ගොම්මනේ ගොරක ගස් යට ඇවිද්න්නේ කියලා"


    මේවගේ සිද්ධියක් මමත් අත්විඳල තියෙනවා.අපේ ගම් පන්සල් වත්තේ තාප්පයක් වැහැ. ඒනිසා ඕනෙම තැනකින් පන්සල් වත්තට ඇතුළ්වෙන්න පුළුවන් . පන්සලේ එක මායිමකි වැවේ වාන පටන්ගන්න වා. ඔය පන්සල් වත්තේ තිබුණා ලොකු දිවුල් ගහක්.දිවුල් හැදෙන කාලෙට බල්බ් එල්ලුවා වාගේ දිවුල් හැදෙනවා. ඒ දිවුල් මාර රහයි. අපි දිවුල් අහුලන්න වත්තට පනින්නේ එකාට එකා ඉස්සරවෙලා.මෙන්න මේ වගේ දිවුල් හිදුන කාලෙක ඒ වැව පාමුල නිවසක තරුණියක් වස බී සිය දිවි හානි කරගත්තා.
    ඔන්න ඔය තරුනිය මියගිය දිනයට පසුදා පාන්දරම පන්සල් වත්තට පැනගත්තා කවුරුත් එන්න කලින්.ඒ එක්කමමට කලින් එතුනට ගිය මගේ වයසේම හිටපු යාලුවෙක් අඳුරේම දුවගෙන ඇවිත් කිව්වා.දිවුල්ගහ ගාවට යන්න එපා දිවුල් ගහේ කවුද එල්ලිලා මැරිලා කියා.
    ඔන්න අතපය වෙවුලන්න ගත්හැටි. ඒත් ආව එකේ කවුද එල්ලුනේ කියලා යාලුවගේ සහයත් ඇතිය කිට්ටුකලා දිවුල් ගහ ගාවට . ඇත්ත නේන්නම්. කවුද එල්ලිලා මැරිලා. පණ එපා කියලා දිව්වේ ගෙදරට.බබ බය වෙච්ච තරමට අසල්වාසි අයත් එක්ක ගෙදර කට්ටිය ගියේ නැතෑ පන්සල් වත්තට.
    ඊට කළින් දවසේ රෑ මළගෙදර හිටපු එකෙක් කුඹුරේ හිටි පඹයෙක් අරන් ඌට පෝර උරයක් අන්දලා ඇවිත් දිවුල් ගහේ එල්ලලා.

    වස විලිලැජ්ජාව කියන්නේ මාසයක් දෙකක් යනකල් පාරෙ බැහැල යන්නත් බැරිවුණා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබේ හරවත් කමෙන්ටුවට. කොච්චර පිරිස් බලය තිබුනත් මේ වගේ අහේතුක දේවල් වලට මිනිස්සු බයයි මම හිතන්නේ. ත්‍රී වීල් වල දොරවල් නැති නිසා ඇතුලට අත දාවි කියලා හිතුවද දන්නෙත් නෑ :)

      අයියෝ..දිවුල් ගහේ කතාවනම් නියමයි. පඹයා එල්ලපු කෙනා තනියම හිනා වේවි ඉන්න ඇති..පොඩි කාලේ ඔයවගේ දේවල් වලට බය උනොත් ලොකු වෙලත් බය යන්නේ නැහැ සමහරුන්ට.

      Delete
  20. හිහිහී.. ඊයෙ රෑ කියෙව්වට ඕන් උදේ තමා කමෙන්ට් එකක් දාන්නෙ.. (බයට හෙම නෙවේ ඕන්..) :D
    මදැයි.. හොල්මනක් කල හරියක්..! :D
    අක්කත් ලියලා තියෙනවා චිත්තරූප මැවෙන්නම..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නන්දු නගා...නෑ නෑ ඔයා බය නැති බව අපි දන්නවා :)

      Delete
  21. මළ ගෙයක් වෙලා, වෙලාව රෑ දොළහයි, ගොරක ගහක්...

    හට් වළාමයි... තොවිල් නටන්න නූනා පුදුමයි

    ReplyDelete
    Replies
    1. එකකට එකක් ගැලපෙනවා නේද..හ්ම්ම්

      Delete
  22. හපොයි හොල්මන් සීන් නම් කතා කරලා වැඩක් නෑ. දැකලත් තියනවා බයවෙලත් තියනවා, බොරුවට බය වෙලත් තියනවා.


    දවසක් අපි ට්‍රිප් එකක් ගියා පොළොන්නරු. ඉතින් පරාක්‍රම සමුද්‍රේ ළඟම තියන විශ්‍රාම ශාලාවක නවාතැන් ගත්ත. වැඩිහිට්යෝ ටික රෑට කන්න උයද්දී මමයි තව කොල්ලෝ තුන් දෙනෙකුයි කට්ටියට හොරෙන් වැව පැත්තට ගියා. අඳුරුම අඳුරු ගස් හෙවනත් හීතල හුළඟත් එක්ක වැවේ පිලි ගඳ වටපිටාවේ ගුප්තකමින් පිරිලා. අපි එතනට වෙලා දැන් කතා කරන්නෙත් හොල්මන් කතා. එක එකා කොච්චර බයෙන් හිටියත් කාටවත් ඇඟවුවේ නෑ. වැව් වල, ගංගා අයිනේ හොල්මන් ඉන්නවා කියන එක ගැනහෙම තමයි කතා වුනේ. ඔන්න එක පාරටම බිම දිගේ මොකක් හරි ඇදීගෙන එන සද්දේ නිකන් කොළ රොඩු පෙරලෙන සද්දේ ඇහෙන්න ගත්තා. වීරයෝ ටික පණ එපා කියල දුවල ගිහින් නැවතුනේ ට්‍රිප් එක ආව බස් එකේ ඇතුලේ. දවල් එළියේ ගිහින් බලපුහාම එතන එහැටි බය වෙන්න තරම් දෙයක් තිබිලා නෑ.

    ReplyDelete
    Replies
    1. ම්ම් දැකලා තියනවා කිව්වේ ඇත්තම හොල්මන් දැකලා තියනවද? නියමයිනේ. හා හා එහෙම තමයි වීරයෝ...පොඩ්ඩ ඇත්තන් පන කඩාගෙන දුවන්නේ :) කළුවරත් එක්ක මිනිස්සු නිකරුනේ බය වෙනවා මම හිතන්නේ..

      Delete
  23. බලනකොට ඉඳලා තියෙන්නේ ගොරකා යකෙක්නේ... මමත් මුලදිම හිතුවා මේ වගේ සීන් එකක් තමා කියලා... ඔන්න අපි නම් බය වුනේ නෑ ඕන්....

    ReplyDelete
    Replies
    1. ඒක තමයි...ගොරක යක්කුන්ට බය වෙන්න අපිට පිස්සුවක් ඇතෑ :)

      Delete
  24. මුල ටික කියෙව්වෙ සූජානම් සරීරෙන්... දුවන්නවත් වෙයිද දන්නෑනෙ...
    අන්තිම ටික කියවනකොට නම් හිනාවෙලා පණ ගියා...
    අයියෝ සුදු අයියා... නෝනට මොනව හිතුනද දන්නෑ... :D

    ReplyDelete
    Replies
    1. අයියෝ ඔය හරිය කියද්දී අපිටත් හිනා වෙලා පණ ගියා අප්පා...ඔන්න නෝනලට පණටත් වඩා ආදරේ කරන මහත්තුරුන්ගේ කල්කිරියාව :ඩි

      Delete
  25. හික්ස්..
    මං මුලදි හිතුවා අර මැරුණ කෙනා තමා කීලා..
    පට්ට සිද්ධිය..

    ReplyDelete
    Replies
    1. තව පොඩ්ඩෙන් අච්චර වැදගත් ලොකු තාත්තත් ගෑවෙනවා මේවට..

      Delete
  26. ලස්සන කතාවක්.....

    කොයි හොල්මන් කතාවත් ඔහොම තමයි......
    අන්තිමට වෙලා තියෙන්නෙ සුන්දර, එහෙත් මහා රැවටීමක්......

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව. රැවටීමක් බව දැනගත්තට පස්සේ ඒක සුන්දරයි. දැනගත්තේ නැත්තම් එහෙම...අම්මෝ :0

      Delete
  27. වෙලාව 12.20, බය කරන්න එපා බොල මම තනියම :/ :(

    ReplyDelete
    Replies
    1. හලේ...ඔයත් තනියමද අප්පා :\. ඒක මෙතන ලියපු එකනම් හරි නෑ. හොල්මන මේක බලලා ඔයා තනියම බව දැනගෙන, එන්න ඉඩ තියනවා :0

      Delete
  28. එක හුස්මට කියවගෙන ගියා.. ඔයත් ඉන්න තිබ්බේ එතන වැඩේ බලන්න.එහෙනම් තුන්රෝද රථ එන්න කලින් ඔයා ගෙදර ෂුවර් එකටම... ලස්සන කාටුන් ටිකකුත් දාලා තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. //එහෙනම් තුන්රෝද රථ එන්න කලින් ඔයා ගෙදර ෂුවර් එකටම//

      ඒක ඉතින් අහන්නත් දෙයක්ද අප්පා :)

      Delete
  29. හිනා යන තරමට බය හිතුන. නියමයි !!

    ReplyDelete
    Replies
    1. හිහි...එහෙනම් හොඳයි...:)

      Delete
  30. පස්සේ ඇවිත් ලිපි ටික කියවන්නම්.ගොඩක් ලස්සනයි බ්ලොග් එක

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ධම්මික...ආපහු එන්නකෝ.

      Delete
  31. මමත් එක හුස්මට කියෙව්වා...දැන් නම් හිනා යනවා.. ඒත් ඔහොම වුනොත් නම්..
    බුදු අම්මෝ... ආයේ ඉතින් ඕනේ නැ..

    ReplyDelete
    Replies
    1. හිහි...අපිටත් මේක අහද්දී හිනා ගියාට එතන හිටියනම් ඇඬේයි අප්පා..

      Delete
  32. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්..... :D මරු කතාව තමා.. පෝර උරයක් කරපු දෙයක්...

    ReplyDelete
    Replies
    1. ඒකනේ අනේ බලන්නකෝ :))

      Delete
  33. මම නම් කියන්නෙ මේකෙ අන්තිම වෙන එක්කෙනාටත් තෑග්ගක් දෙන්න ඔනි!!!

    ReplyDelete
    Replies
    1. ඒක නම් හැබෑ තමයි. ඒත් ඉතින් අන්තිම එකා තෝරන එක හරිම අමාරුයිනේ...දැන් බලන්න ඔයාට පස්සේ තව එක්කෙනෙක් ඇවිල්ලනේ :)

      Delete
  34. හහ් හහ් මරු වැඩේ. ඒ ගානට බය උනාම හොඳටම ඇති.

    ReplyDelete
  35. අනේ සයුරි..., මට මග හැරුනා..පහුගිය ටිකේ වැඩ ගොඩ ගැහිල තිබුන නිසා........
    අම්මෝ ඇඟ කිලිපොලා ගියා..ඉස්සර මලගෙවල් වල ගිහිල්ලා මහරෑ 12ත් පහුවෙලා අනන්ත ඇවිල්ල තියෙනව..අම්මෝ ඔය වගේ වැඩක් උනානම්..!!!

    ReplyDelete
    Replies
    1. තව එකක් ,ඔය ඇත්තම කතාවක්ද...එතකොට සයූ..බය උනේ නැත්ද..?

      Delete
    2. අයියෝ..නෝ ප්රෝබ්ලෙම් වී අයියා. මම නම් බය උනේ නෑ...මොකද මම එයාලත් එක්ක ගියේ නෑ නේ :) (ඇත්තම කතාවක් ය)

      Delete
  36. මදෑ මං හිතුවා හරිම තමා මේක නම් ඇත්තම හොල්මනක් කියලා... මට හරි ආසයි අප්පා ඔහොම කවුරු හරි එද්දි පැනලා බය කරන්න...

    ReplyDelete
  37. මම මේක කියවන්න ගොඩාක් කාලයක් උත්සහ කළා එත්. ඒ හැම වෙලාවේදීම අපිට මහා රෑ.. මේක මේ කියවන්නේ දවාලක.එත් බැලින්නම් හිනයාමක් නේ තියෙන්නේ. චික්..

    ReplyDelete
    Replies
    1. හිහි...අපරාදෙනේ ඔයා බයේ හිටියේ

      Delete

Related Posts Plugin for WordPress, Blogger...