Tuesday, March 25, 2014

කුලු නැටුම




මම ස්ටේජ් වල නටලා තියෙන්නේ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙන්. ඒ ඉතින් මම වැඩිය නටන්නේ නැති හොඳ ළමයෙක් නිසා තමයි :)

මම දෙක වසරෙදි අපේ පන්තියේ ළමයි ටිකක් එකතු කරගෙන අපේ මිස් කුරුළු නැටුමක් නැටෙව්වා. මමත් ඒකේ කුරුල්ලෙක් හැටියට හිටියා (කිරිල්ලියක් ද මන්දා. එහෙම අඳුර ගන්න ක්‍රමයක් තිබුනේ නෑ) . බ්‍රිසිල් බෝඩ් වලින් කුරුළු තටු දෙකක් කපලා, ලා නිල් පාටින් පිහාටු ඇඳලා ඒ දෙක පිටේ අලවගෙන තව කාඩ් බෝඩ් වලින් හදපු හොටේකුත් ඔලුවේ බැඳගෙන අපේ නැටුම් වාරේ එනකන් අනාථ වෙච්ච කුරුල්ලෝ සෙට් එකක් වගේ ඩෙස්ක් වගයක් උඩට වෙලා හිටියා මතකයි. නැටුම ඉවර වෙලා අපි එක එක්කෙනා බුදු මැදුර ළඟ හිටවලා කොහෙන්දෝ ආපු පොටෝ අංකල් කෙනෙක් පොටෝවකුත් අරන් දුන්නා. ඒක තාම මගේ ඇල්බම් එකේ තියනවා. ලංකාවෙන් එද්දී ස්කෑන් කරගෙන ආවනම් මේකට දාන්න තිබුනා.

ඊට පස්සේ තුන වසරෙදි, කලගෙඩි නැටුමකට හිටියා.

"තාන තනා තඳේ...නා තඳෙනා නා....
...................................
 අහසට පිඹිනා එරන් කලේයා - පොළොවට පිඹිනා භූමි කලේයා  
රන් මසු දහසක් වටින කලේයා - නොබිඳින් නෑනෝ මගේ කලේයා 
....................................
බෙල්ලේ මුතු පොට කිරි සුදු පාටයි - ඊට වඩා අපෙ මව සුදු පාටයි 
.................................................  -  කලගෙඩි නැටුමත් අවසන් පාටයි "

හරියටම මතක නෑ. මොනවා උනත් කවි ටික නම් ලස්සනයි.

ඒ දවස්වල මම සාමාන්‍යයෙන් පන්තියේ උස ළමයෙක් හැටියට තමයි සැලකුණේ. ඒ උස ගියපු විදියට උස ගියානම් මට බඳින්න මනුස්සයෙක් හොයන්න බැරි වෙයි කියලා අපේ අම්මලා බයෙන් තමයි ඉඳල තියෙන්නේ..හිහි. ඉතින් ඔය හින්දා මට නැටුම් කණ්ඩායමේ පේලි වල පිටිපස්සට වෙන්න තැනක් තමයි ලැබුනේ. ඕකට මම අප්සට් වෙලා ඉඳලා පස්සේ හිත හදා ගත්තා :)

හතර වසරෙදි මම හිටපු ඉස්කෝලෙන් අස් වෙලා ලොකු ඉස්කෝලෙකට ආවනේ. ඊටත් පස්සේ ආපහු පහ වසරෙදි තමයි කුලු නැටුමකට ඉන්න චෑන්ස් එක හම්බු වෙන්නේ. ඒ දවස්වල මම නැවතිලා හිටියේ යාලුවෙකුගේ ගෙදර (අපේ ගෙදර ඉඳන් මේ ඉස්කෝලෙට ටිකක් දුර නිසා). එයාගෙ නම උපී. ඉතින් අම්මලා මාව බලන්න ආපු වෙලාවක නැටුම ගැන කියලා බට වලින් වියපු චූටි කුල්ලක් අරගත්තා කඩෙන්. හැට්ටයක් මහන්න කහ පාට රෙද්දකුත් අරන් දුන්නා. ඒක මහලා දුන්නේ උපීගෙ අම්මා. දැන් ඉතින් නැටුමත් හොඳට ප්‍රැක්ටිස් කෙරීගෙන යනවා. අන්තිමට කොන්සර්ට් එකට දවස් දෙක තුනක් තියලා මිස් කියපි නේද කුල්ල කළු පාටින් පාට කරලා රත්තරන් පාට මලක් අලවන්න ඕනේ කියලා. අයියෝ අසරණ මම. අම්මලත් ළඟ පාතක නැහැ. ඒ දවස්වල මගේ මෝඩ කම කියන්නේ උපීගෙ අම්මලගෙන් ඒවා ඉල්ලන්න හිතුනේ නෑ නේ මට. ඒ අයට කරදර නොකර මමම මොනවා හරි කරගන්න තමයි බැලුවේ.

අන්තිමට මගේ ළඟ නිකමට වගේ තිබුන සල්ලි ටිකකින් කෝම කෝම හරි ලැකර් ටින් එකකුයි අර වෙඩින් කේක් ඔතන ජාතියේ ලොකු කොලේකුයි ගත්තා. නැටුමට කලින් දවසේ හවස මම ලොක්කා වගේ ලැකර් ටින් එකත් දිග ඇරගෙන කුල්ල පාට කර කර ඉන්නකොට අපරාදේ කියන්න බෑ  උපී ගේ තාත්තත් ඇවිත් ඒකට  උදව් කළා. දැන් ඉතින් ඉතුරු මල කපලා අලවන එක. මලේ සැකිල්ලක් අපිට හාෆ් ෂීට් එකක ඇඳලා දීලයි තිබුණේ. මම ඉතිං බොහොම අමාරුවෙන් දිවත් හපාගෙන අර සැකිල්ල කොලේ උඩ තියලා මලක් ඇඳලා කැපුවා. හප්පා...රවුමට එන්න ඕන මල නිකන් ඉලිප්සයක් වගේ. ඒ මදිවට කුල්ල ඇතුල් පැත්තෙයි පිට පැත්තෙයි දෙකේම මල් දෙකක් අලවන්න කියලා තිබුණේ. පලවෙනි මලෙන්ම මගේ කොලේ ඉවරයි. කොරන්න දෙයක් නෑ . එක මලයි තියෙන්නේ. ඕන එකක් කියලා ඇලෙව්වා අර ඉලිප්සාකාර මල කුල්ලේ පිට පැත්තේ. දැන් හරි. දැන් ඉතින් හෙට වෙනකන් ඉවසිල්ලක් නෑ කුලු නැටුම නටන්න.

ඉතින් ඊ ළඟ දවසේ නැගිටලා ලේස්ති වෙලා නැටුමේ ඇඳුම් පැළඳුම් එහෙමත් පැක් කරගෙන ඉස්කෝලේ යන්න පිටත් උනා. අපි ඉස්කෝලේ ගියේ ස්කූල් වෑන් එකක. ඔන්න වෑන් එකේ නැගලා ටික දුරක් යද්දී මට දැනෙනවා මොකක් හරි අඩුයි කියලා. "අම්මටසිරි..කුල්ල". ඒක ගෙදර තියලා ඇවිත් තියෙන්නේ. දැන් ඉතින් කුල්ල නැතුව මොන කුලු නැටුම්ද? වෙන මොනවා අමතක වෙලා ආවත් වෑන් එකට නැග්ගට පස්සේ ආපහු කටක් නාරින මම එදා නම් වෑන් එකේ අංකල් ට කියලා වෑන් එක නවත්ත ගත්තා. දුවලා දුවලා ගිහින් කුල්ල අරගෙන ආවා.

ඉස්කෝලෙට ගියාට පස්සේ අපේ පන්තියේ ළමයිට මගේ ඉලිප්සාකාර මල අලවපු කුල්ල හෙනම ප්‍රස්නයක්. ඒ උනාට අපේ ආදරණීය ගුරුතුමී ට ඒක ප්‍රශ්නයක් උනේ නෑ. මලක හැඩට වඩා ළමා හිතක මෙලෙක අඳුරන ගුරුතුමී මාව නැටුමෙන් අයින් කරේ නෑ (ඒත් එහෙම කරන අය ඕන තරම් ඉන්නවා මම හිතන්නේ).  කුලු නැටුම අති සාර්ථකව රඟ දැක්වුනා. කුළු ටික අතරේ ඉලිප්සාකාර මලක් එක්ක කුල්ලකුත් වැනෙන්න ඇති. ඒකෙන් නැටුම කැත වෙන්නත් ඇති. ඒත් මගේ හිත නම් තිබුනේ මලක් වගේ පිපිලා :)

පහ වසරේ ශිෂ්ශ්‍යත්වෙන් සමත් වෙච්ච වෙලාවේ අපේ මිසුත් ළමයි වගේම සතුටු උන හැටි මට මතකයි. සමත් නොවුන අයගෙත් ලකුණු අහලා සනසවපු හැටිත් මතකයි. හය වසරට ගියාට පස්සේ අපි ආපහු මිස් ව දැක්කේ නෑ. පහ වසර දක්වා පන්ති වෙනත් තැනක තිබුණ ප්‍රාථමිකේට ගෙනියපු නිසා මිසුත් ඒ එක්කම ගියා. ඒත් තවත් වැදගත්ම දවසක මිස්ව මුණ ගැසීමේ වාසනාව මට ලැබුණා. ඒ උසස් පෙළ ප්‍රතිඵල ආපු දවසේ. මොකක් හරි වැඩකට අපේ ඉස්කෝලෙට ආපු මිස්, ප්‍රින්සිපල් ඔෆිස් එකේදී මට අහම්බෙන් මුණ ගැහුනා. මිස් නම් ඒ වගේමයි (ලස්සනයි). බින්දුවක්වත් වෙනස් වෙලා නෑ. ඒත් මම සෑහෙන ලොකු වෙලා උස ගිහින්. එහෙම උනත් මටත් කලින් මාව අඳුරගෙන වෙනදා වගේම වාසගම කියලා මට කතා කළේ මිස් මයි. "මිස්, මම මොරටුව ඉංජිනියරින් තේරිලා" කිව්වම එදා ශිෂ්‍යත්වේ පාස් කියපු වෙලාවේ තිබුන හිනාවම මිස්ගේ මූණේ ඇඳිලා ගියා. 

ඒ අපේ ආදරණීය "වාකිෂ්ඨ" ගුරුතුමිය අද කොහේ ඉන්නවද මොනවද කරන්නේ කියලා මම දන්නේ නැහැ. ගොඩක් වෙලාවට විශ්‍රාම සුවයෙන් ඉන්නවා වෙන්න ඇති. ඉතින් මේ ලිපිය ඇයට උපහාරයක් වේවා කියනවා ඇරෙන්න ඇය වෙනුවෙන් වෙන මොනවා කරන්නද?


55 comments:

  1. මම ස්ටේජ් වල නටලා තියෙන්නේ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙන්.
    ....me too.. only grade 1 to 5.. okkoma ekama bottuwe ne..>>

    ReplyDelete
    Replies
    1. mama eka wela ne bole... meke ara issara wage cake kali, bonikko hema denne nedda danne palaweniyata.mata mathakai issara batti akkai dinesh aiyai pahan yayen thegi ganna porakanawa..))

      Delete
    2. හෙහේ ඔව් ඔව් ගොඩාක් අය නටලා තියෙන්නේ ඔය වයසෙදි තමා. ඊට පස්සේ ඉතින් නටන අය නටනවා නැති අය නෑ ම තමයි.

      Delete
    3. ඔව් නේ...දැන් තෑගී දෙන්නේ නැති හින්දද මන්දා දෙන්නව හොයා ගන්නවත් නෑ :)

      Delete
  2. පොඩ්ඩන්ගෙ නැටුම්, ගායනා හෙම කොහොමත් ලස්සනයි නෙ සයුරි. ඇඳුම් වල, උපකරණ වල වෙනසක් තිබුන කියල ගානක් නෑ. අර කුරුළු නැටුම වගෙ එකක් තියනව පෙරහැර වලත්. ඒකෙ නම් අඳින්නෙ මොණරෙක් වගෙ.

    ගුරුවරුන්ට විශ්‍රාම ගියාට පස්සෙ ලොකු පාළුවක් දැනෙනව ඇති කියල මට හිතෙනවා. සමහරු නම් අමතර මොනව හරි කරනව නෙ. එහෙම නැති අයට උදේ ඉඳන් ඇහෙන කරච්චලේ නැති වුනාම...

    ReplyDelete
    Replies
    1. "ගුරුවරුන්ට විශ්‍රාම ගියාට පස්සෙ ලොකු පාළුවක් දැනෙනව ඇති කියල මට හිතෙනවා. සමහරු නම් අමතර මොනව හරි කරනව නෙ. එහෙම නැති අයට උදේ ඉඳන් ඇහෙන කරච්චලේ නැති වුනාම... " මේක නම් සහතික ඇත්ත ! මටත් ‍පාළුව කාන්සිය ඉවසන්න අමාරුයි. චන්දනට හිතෙන දේ ඇත්ත කිව්වෙ ඒ නිසා. හුඟක් ගුරුවරුන් විශ්‍රාම ගියාට පස්සෙ අසනීපයෙන් වැටෙන්නෙ මේ නිසා වෙන්න ඇති.

      Delete
    2. හ්ම්ම් මමත් දැකලා ථියංඅවාඅ ඔය පෙරහැර වල තියන මොණර නැටුම. හරිම ලස්සනට අඳිනවා ඒකට.

      ඒ කතාවනම් ඇත්ත. අපේ අම්මත් මේ ලඟදි විශ්‍රාම ගියේ. කරච්චලේ නැතුව හරිම පාලුවෙන් තමයි ඉන්නේ.

      Delete
  3. හි හි... මටත් නටපු නැටුම් මතක් වුණා....

    ReplyDelete
    Replies
    1. හිහි..හොඳයි හොඳයි :)

      Delete
  4. කෙල්ලොන්ගෙ හිත් කොහොමත් මෙලෙකයිලු..! ඒත් මේ ලිපියෙ මෙලෙක කමට එහා ගිය මෙව්ව එකක් තියෙනව කියල හිතෙනව...ඒ කියන්නෙ කියවගෙන යනකොට ඒ ටීචර් ගැන පුදුම ආදර ණීය හැඟීමක් ඇති උනා..සයුරි ගැනත් එහෙමයි...!
    කනගා‍ටුවට කරුන අපිට එහෙම ගුරුවරු හමු උනේ නැහැ නංගෝ..!

    තවත් එකක් මේ ලඟදි අපේ ලොක්කිට ඉස්කෝලෙන් පංචි පෙතක් ඇඳන් එන්න කියල..පොඩි කාලේ ඉස්ම යන්න පංච දමල තිබ්බට.....බොලේ පෙත ඇඳගන්න මතක් උනේ නෑහැනෙ..දැම්ම සර්ච් පාරක් ගූගල් දෙය්යගෙන්...කොහොමත් සිංහලෙන් නොවැ වැඩ..! මෙන්න බොලේ සයුරී ලියපු පෝස්ට් එකක් මතු වෙච්චි...අප්‍රමාන සතු‍ටුයි.මං අපේ හාමිනේටත් පෙන්නපි..මේං මගේ යාලුවෙක් ලියල තියෙන්නෙ..බලනවකො නිදිමරාගෙන බ්ලොග් ලිවිල්ලෙ ප්‍රයෝජන කියල..!(හැබැය් ඉතිං ඉස්සර තමා ඒ)

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් වී අයියේ..එහෙම ගුරුවරු හරිම කලාතුරකින් තමා ඉන්නේ. මගේ වාසනාවට එහෙම අය කීප දෙනෙක්ම හම්බ වෙලා තියනවා. ඒ අය ගැනත් ලියන්නම් වෙලාවක.

      අම්බෝ...මගේ බ්ලොග් ජීවිතේ ලබපු වටිනාම කමෙන්ට් එකක් තමා මේක. මම ලියපු පෝස්ට් එකක් ඉස්කෝලේ යන පොඩ්ඩියෙක්ට වැඩක් උනා කියන්නේ ඉතින් ආඩම්බර වෙන්න කාරණයක් තමා...:))
      ඒ කියන්නේ ඉතින් දැනුත් නිදිමරාගෙන හරි වී පොකුරේ පෝස්ට් එකක් දෙකක් ලියනවනම් හොඳයි නේ? අපිත් ආසයිනේ කියවන්න...

      Delete
  5. මගෙ කමෙන්ට් එක නෑනෙ..

    ReplyDelete
    Replies
    1. අනේ මට ආවේ නෑ නේ හැරියෝ

      Delete
  6. මෙයා නටලා තියෙන නැටුම්...මටත් පොඩි කාලේ නෙමෙයි ලොකු කාලේ නටපු ඒවත් මතක් උණා...දැනුත් නම් නටනවා. ඒත් කුලු නැටුම් නම් නෙමේ....:D :D

    ළමා කාලේ හරිම සුන්දරයි නේද සයුරී?

    ඔයාගේ ආදරණීය ගුරුතුමියට නිරෝගී, වාසනාවන්ත ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
    Replies
    1. හිහි ඔව් ඔව් හැමෝම නැට්ටුක්කාරියෝ තමා...:) ගුරුතුමී වෙනුවෙන් ඔයාට ස්තුතියි පොඩ්ඩි

      Delete
  7. මගෙත් ඔය උස ප්‍රශ්ණෙ නිසා හැම එකේම අන්තිමට නැත්නම් පිටිපස්සට... හොඳ වෙලාවට ඕ ලේවල් කරලා ඉවර කාලෙ වෙනකොට උස යන එක නැවතුනා... මෙහෙට ආවට පස්සෙ නම් අපේ උස මොන උසක්ද කියලා හිතෙනවා...
    තනියම කුල්ල හදාගෙන නැටුමට ගිය පුංචි සයුරි ගැන දුකකුත් ආඩම්බරයකුත් ඇති වුණා... ගුරුතුමියට පිං සිද්ද වෙන්න අවශ්‍ය කාරණෙත් ඉෂ්ට උනානෙ...
    මං පොඩි කලෙ වැඩියම ඉඳලා තියෙන්නෙ නැටුම් වලට වඩා නාට්‍ය වලට...

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා... හැම එකේම පස්සට යන වෙන එක තමයි පේන්නම බැරි. මටත් එහෙමයි උනේ. එක පාර උස යන එක නැවතුනා. අහා කිව්වත් වගේ මමත් නාට්‍ය දෙක තුනකට ඉඳලා තියනවා. හැබැයි ඉතින් මට එච්චර හොඳට රඟපාන්න බැහැ

      Delete
  8. වාකිෂ්ඨ ගුරුතුමියට නිරෝගි සුවය පතමි.. එහෙනං තනියෙන් වැඩ කරන්න ඒ කාලේ ඉදලම පුරුදු වෙලා තියෙනවා නේද??

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්...මම වැඩි හරියක් දේවල් කරගත්තේ තනියම තමා..:) ඔය හින්දද කොහෙද දැනටත් වෙන කවුරුහරි මගේ වැඩ වලට ඇඟිලි ගහනකොටනම් එපා වෙනවා :D

      Delete
  9. අක්කා උස ගිහින් කිව්වේ වැඩිම උනොත් අඩි 4ක් :P හික් හික් ගොඩක් වෙලාවට ඒ වගේ ගුරුවරු අඩුයි අක්කේ. ගුරු හොරුත් එක්ක ගුරුවරු පැටලිලා ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. අනේ මේ යන්ට යන්ට...හිතුවද මම පිග්මියෙක් කියලා :D
      ඒක ඇත්ත...දැන් දැන් හොඳ ගුරුවරු හරිම අඩුයි

      Delete
  10. ගුරුතුමියට නිදුක් නිරෝගි සුවය මමත් පතනවා.

    ඉස්සර තිබුණේ ගුරු සේවය.දැන් එක ගුරු වෘත්තියක් වෙලා.ඉස්සර හිටපු ගුරුවරු බහුතරය හිතුවේ දරුවෝ ගැනයි.ඒ ළමා සිත් කියවන්න එයාලට හැකි වුණා.හැබැයි අද ඉතින් ඉන්න හුගක් ගුරුවරු හිතන්නේ තමන්ගේ අතට ලැබෙන මුදල තමයි.එක අතකට එයාලාට මුකුත් කියන්නත් බැහැ.මොකද ජිවත් වීමේ අරගලය තුල එයාලාටත් කටයුතු කරන්න වෙලා තියෙන නිසා.

    ReplyDelete
    Replies
    1. //ජිවත් වීමේ අරගලය තුල එයාලාටත් කටයුතු කරන්න වෙලා තියෙන නිසා//

      මමත් හිතන්නේ මේක තමයි ප්‍රශ්නේ මනෝජ්. අනිත් හැම වෘත්තිකයෙක්ම රැල්ලට අසු වෙද්දී ගුරුවරු විතරක් බේරිලා හිටියොත් පුදුමයක්.

      Delete
  11. මම නම් ස්ටේජ් වලට නැගලා තීන්නේ එකෝම එක වතාවයි. ඒ සුදු හාවෙක්ට !

    මට නාට්ටිය පුරාම තිබ්බේ හයියෙන් හුස්මක් අරගෙන ස්ටේජ් එකේ එහාට්ට මෙහාට්ට පැන පැන ඉන්න... :)

    ReplyDelete
    Replies
    1. ආ මට මතකයි ඔයා ඔය හාවා ගැන කියලා තියනවා. හප්පේ බොහොම අමාරු චරිතයක් නෙව ඒක

      Delete
    2. @ madhuranga-machang mama indala thiyenawa bebekta....eththatama horen shot ekak daala stage ekata negge :D

      Delete
  12. හරිම ලස්සනයි සයුරි

    ReplyDelete
  13. ඔය නටන වෙලාවක ගත්ත ෆොටෝ එකක් එක්කම පෝස්ට් එක දැම්මනම් තමා ඉතින් වටින්නේ ලොකූ..

    ReplyDelete
    Replies
    1. අර කුරුළු පොටෝව නම් පස්සේ හම්බ උනා. ඒත් දැන් ඉතින් වෙලාව පැනල නේ...

      Delete
  14. මම මේ අද උදේ හිතුවා විතරයි කුල්ල කියන එකේ බහු වචනේ කුළුද, කුලුද කියලා ? මෙන්න මෙයා කුළු ගැන ලියලා..

    ගුරුතුමීට නිදුක් නිරෝගී සුවය පතනවා !!

    ReplyDelete
    Replies
    1. ම්ම් පේන විදියටනම් හරි වචනේ "කුලු"...වහාම නිවැරදි කරන්නෝන..ඒක මතක් කරාට තැන්කු හොඳේ :)

      Delete
  15. කුළු නැටුම්, ලී කෙලි, කළ ගෙඩි, චාමර, පූජා නැටුම්, දරු නැළවිලි, ගීත රංගන.... අප්පා හරි හරි නැටුම් නටල තියෙනවනේ කියල මතක් වුණා. මොන්ටිසෝරියෙදි, ඉස්කෝලෙදි, දහම් පාසලේදි... කොයි තරම් සුන්දර කාලයක්ද?

    ගුරුවරු ගැන කියනවනම් මගේ ජීවිතේදිත් මුණ ගැහිල තියෙනවා ගුරු දෙවිවරු අපමණක්.... වාකිෂ්ඨ ගුරුතුමිය වගේම....

    ReplyDelete
    Replies
    1. අම්මෝ තරු අක්කා නටලා තියන තරම්...නියමයි. පොඩි ළමයි ඒවාට හරි ආසයි නේ.

      Delete
  16. ළමා සිත් තේරුම් ගත්තු එවැනි ගුරුවරුන් වැඩිය නැති වීමයි අවාසනාව .

    ReplyDelete
    Replies
    1. ඔව්..ගොඩක් අයට ළමා හිත් වලින් වැඩක් නෑ. නැටුම ලස්සනට තිබුනොත් ඒ ඇති.

      Delete
  17. ඉස්සෙල්ලම මතක් උනේ අර ඉංග්‍රීසි සර්ගෙ කුල්ලෙ කතාව. අහල ඇතිනෙ නේද? ..හුහ්, කුල්ල...කුල්ල..පෙනේද මේකගෙ බය නැතිකමක මහත..කුල්ල..කුල්ල..මෙහාට එනව...අල්ලනව අත..චටාස්..චටාස්....

    ඊලඟට මම නටපු නැටුම් දෙකක්..හුහ්..උඹ දැනගං කෙල්ලෙ මම ඇවිල්ල බොහොම දක්ස නැට්ටුක්කාරයෙක්...දිස්ත්‍රික් පළවෙනි ඉස්තානය සහ පලාත් තුන්වන ස්තානය ලැබිල තියනව..ඒ ගජගා වන්නමට සහ මහවැලි වන්නමට...කෙල්ලොං නටන ඔය කුලු නැටුං කලගෙඩි නැටුං වගෙ නෙවෙයි එව්ව බොහොම අමාරුයි..පුහ්...කලගෙඩි උඩ දාල අල්ලන එකයි, කුල්ලක් වන වන වටේට කැරහෙන එකයි මොනවද බං සිම්පල්නෙ. ගජගා වන්නම එහෙමද? දෙව්පූ....ර ඈ....තේ...කී, කුඹු දා... හා.... සා...ය...කී, දිග දා...ල ආ...ට.... කී, සත් ගෑ... බ.... කී.

    මහවැලි වන්නම මෙහෙමයි...රන්වන් කරල් සැලෙයි ..සන්සුන් කමින් බරව සිත්ගත් සිතින් යුතුවු කතසේ..සිල්ගත් සිතින් යුතුවු කතසේ..මඳ සුලඟ හා සමඟ බඳ නලන විට ගමද පෙම් මල් උදා කරති සතොසේ..පෙම් මල් උදා කරති සතොසේ...

    මාර ගති බං..පොඩි එකියකගෙ ඇහෙන් ලස්සනට ලියල තියනව :)

    ReplyDelete
    Replies
    1. අපි අහල නෑ නේ අප්පා ඒ කතාව...අර ගුරුතුමීගේ පෝස්ට් එකක් ඇතුලට ඒ කතාවත් රිංගවන්න බැරි වෙන එකක් නෑ. අපිටත් කියවන්න ලියන්නකෝ අප්පා...

      අප්පද බොල...මහවැලි වන්නම? අදමනේ ඇහුවේ එහෙම එකක් ගැන. බලාගෙන යනකොට රවී අයියත් එසේ මෙසේ නැට්ටුවෙක් නෙමේ. මම අහල තියනවා ඔය ගජගා වන්නමට ඉන්නනම් ගජයෙක් වගේම මහත දෙහෙතට ඉන්න ඕනා කියලා...

      බෝම ස්තුතියි ඕං ප්‍රසංසාවට.. :)

      Delete
    2. හැබෑටම මාත් මහවැලි වන්නමක් කියල එකක් ඇහුවමයි,ඒක නටන්න ඇත්තෙ රවී මහවැලියේ ඉන්න කාලෙ වෙන්න ඇති.

      Delete
  18. හැලප, මචං පුදුමයි උඹ දන්නෙ නෑ කිව්වම..සයුරි නම් කමක් නෑ කියමු..ඔවුං ඔව්ව ගැන මේ ලෝකෙ දෙයක් දන්නෙ නෑ ...මේ ඊයෙ පෙරෙයිද එවුන් නෙව...හෙහ්,හෙහ්,

    විහිලුවට නෙවෙයි බං ඇත්තටම එහෙම එකක් තිබුන. 1976 ජනවාරි 8 වෙනිද ( ජනවාරි 8 තමයි සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් නොහොත් චන්ද්‍රිකාගෙ තාත්තගෙ උපන් දිනේ ) මහවැලියෙ පළමු පියවර විදිහට පොල්ගොල්ලෙ වේල්ල ක්‍රියාත්මක කරල මහවැලි ජලය උතුරට හරවද්දි තිබ්බ රාජ්‍ය උත්සවෙයෙදි තමයි මුල් වරට ඔය මහවැලි වන්නම රඟ දැක්වුනෙ. අමරදේව මාස්ටර් ඇතුලු පිරිස ගායනා කලා කියල තමයි මට මතක.

    ඒක මෙහෙමයි එන්නෙ.

    රන්වන් කරල් පැසෙයි සන්සුන් කමින් බරව සිල් ගත් සිතින් යුතුවු කත සේ…. ඒ...ඒ...ඒ…. සිල් ගත් සිතින් යුතුවු කත සේ
    මද සුළඟ හා සමඟ බඳ නලන විට ගම ද පෙම් මල් උදා කරති සතොසේ..ඒ...ඒ...ඒ….පෙම් මල් උදා කරති සතොසේ..
    ගංහෝ ජලින් පිරුණු ගොවි බිම් වලින් සුසැදි දුක් දොම්නසින් ඉවත ඇදුනා….ආ....ආ...ආ.....දුක් දොම්නසින් ඉවත ඇදුනා

    ඔච්චරයි මතක බං...ඉඳහං අද යම්තමට සන්තර්පනය වෙලා කම්පනා කරඤ්ඤංකො..මතක් උනොත් ලියන්නං ඒ ගැන පෝස්ට් එකක්ම.....හෙහ්,හෙහ්

    ReplyDelete
    Replies
    1. ඔය සින්දුව අමරදේව මාස්ටර් නෝනත් එක්ක කියනවා ඕන තරම් අහලා තියෙනවා... ඒත් ඒක මහවැලි වන්නමක් කියල දන්නෙ අදනෙ... මං හිතුවෙ ඒක නිකම්ම සිංදුවක් විතරයි කියලා...

      https://www.youtube.com/watch?v=CUBgqxwoaio

      Delete
    2. ඒ කියන්නේ වන්නම් 18 ක් නෙමේ 19 ක්ම තියනවා...හොඳා හොඳා. එතකොට අර එම්බා ගංගා සින්දුවත් මහවැලිය වෙනුවෙන් කියපු එකක් වෙන්න ඕන. අර කියන්නේ...නවතිනු නවතිනු නවතිනු...ගංගා.....වේ.... කියලා.

      Delete
    3. තව අලුතෙන් ලියපු වන්නම් කීපයක්ම තියනවා සයුරි, ශ්‍රී මහා බෝධිය ගැන ලියාපු මහබෝ වන්නම එකක්..

      එම්බා ගංගා කියන්නෙ අයිවෝ ඩෙනිස්..ඔව් ඒකත් මහවැලිය ගැන තමයි..ඇයි තව තියනවනෙ..අබේවර්ධන බාලසූරිය ගෙ ගංගා...එන්නකෝ ගංගා..මං බලාන ඉන්නේ ඔබ එනතුරු ගංගා...

      Delete
    4. හප්පේ...මහබෝ වන්නම අමතක උනා නේ...

      "සත්සර නගලා...තාලෙට සෙලවේ...// සිරිමා බෝ හිමිගේ...මනෝහර, බෝ පත් අතු රිකිලී...නටා ගිය, තාලෙන් රස නැගුනා...සරාගී ජීවනා..." බෝම ලස්සන වන්නමක් තමා..ඉඳලා හිටලා මම ඕක ගහනවා වයලින් එකේ

      Delete
    5. වැලිතල අතරේ හෙමිහිට බසිනා
      නේරංජන නදියේ - ගයා හිස
      වැඩ සිට බුදුවුණදා...
      තිලෝහිමි - මොක්සුව ලද මොහොතේ
      සමාධී... භාවනා

      හිම කඳුවැටියේ... සීතල හෙවණේ
      චන්දන තුරු පීරා
      හැපී එන - මල් මුවරද රසිනේ
      සමඟ මුසු සීතල මද පවනේ... ගැටීලා
      පාවෙනා

      සත්සර නගලා - ටික ටික සෙලවී
      සිරිමා බෝ හිමිගේ මනෝහර
      පලුපත් අතු රිකිලී
      නටා ගිය - තාලෙහි රස දැනුණා
      සරාගී ජීවනා...

      සඟ මෙත් මෙහෙණී - දකුණේ ශාඛා
      සිරිලක ගෙන ආ දා - සිටම තව
      මහ මෙව්නා උයනේ
      නටයි කොළ - වන්නම ලෙස මහ බෝ
      සූමීරී නාදෙනා

      පද රචනය - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
      සංගීතය හා ගායනය - පණ්ඩිත් අමරදේව

      Delete
  19. සයුරිගේ පෝස්ටුවත් එක්ක මටත් මතක් වුනා පළවෙනි නැටුම..ඒත් එක වසරදි කරපු රොඩී නැටුමක්...නයෙක් නටවන කෑල්ලක් තිබුනා මතකයි...

    පස්සේ කාලෙක යාළුවෙක්ගේ අම්මෙක් කරපු මොට්ටසෝරියක කොන්සර්ට් එකට උදව් කරන්න ගිහින් සිද්ද වෙච්ච රස කතා ගොඩකුත් එක පාරට මතක් වුනා..!!

    ReplyDelete
    Replies
    1. රූ...රසකතා කියන්නේ අපි අහන්න හරිම කැමති දෙයක් නේ..නරකද ලිව්වොත් ඒ ටික?

      Delete
  20. "මලක හැඩට වඩා ළමා හිතක මෙලෙක අඳුරන ගුරුතුමී මාව නැටුමෙන් අයින් කරේ නෑ (ඒත් එහෙම කරන අය ඕන තරම් ඉන්නවා මම හිතන්නේ). කුලු නැටුම අති සාර්ථකව රඟ දැක්වුනා. කුළු ටික අතරේ ඉලිප්සාකාර මලක් එක්ක කුල්ලකුත් වැනෙන්න ඇති. ඒකෙන් නැටුම කැත වෙන්නත් ඇති. ඒත් මගේ හිත නම් තිබුනේ මලක් වගේ පිපිලා :)"

    ඇහැට කඳුලක් ඉනුවා මේ ටික කියවද්දී . . ඒ වගේ ආදරණීය ගුරුවරියක් වෙච්චි ඔබේ ගුරුතුමියට නිදුක් නිරෝගී සුවෙන් ඉන්න ලැබේවා කොහේ හිටියත් . .

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි දුකා අයියේ...ගුරුතුමී වෙනුවෙනුත්...

      Delete
  21. මොකක් හරි වෙලා සයුරිගෙ මේ පෝස්ට් එක ටිකක් එහා මෙහා වෙලා තිබුණෙ. අන්තිමට අදයි දැක්කෙ. කොහාමහරි පමාවෙලා වත් එන්න ලැබුන එක ලොකු දෙයක්.

    මමත් පාසැල් ජීවිටෙත් නම් බාහිර ක්‍රියාකාරකම් වලට දැක්වූ සහයෝගය නම් අන්තිමයි. දැන් තමය් ඒවයේ අගේ තේරෙන්නෙ.

    සයුරි එදා කුලුනැටුමට ඉදිරිපත් කළ ටීචර් දුර දක්නා නුවණක් තිබුන කෙනෙක්. මොදක ටීචර්ට ඕනෑ වුනේ කුළුනැටුමට ලමයි නටවන්න නෙවෙයි. වේදිකාවක් උඩ ඉදිරියට ඇවිත් ලඹන්ගේ සැගව තියෙන හැකියාවන් සහ සබකෝලය නැතිකරන්න හිතන්න ඇති. ඒවැනි ගුරුවරු තමයි නියම ගුරු දෙවිවරු.

    දැන් ජීවිතේ සැදෑසමය ගතකරනවනනම් ඇය ට නිරෝගී සුව අත්වේවා..

    ReplyDelete
    Replies
    1. පමා උනත් කොයි වෙලාවක හරි ඇවිත් කියවන එක කොයි තරම් වටිනවද?:) බාහිර ක්‍රියාකාරකම් කරන තරමට පාසල් ජිවිතේ ලස්සන වෙනවා නේ...මටත් ගොඩක් දේවල්නම් කරන්න උනේ නෑ. පුළු පුළුවන් හැටියට ගයිඩින්, සංගීත සංසද, ප්රිෆෙක්ට් බෝඩ් වල එහෙමත් හිටියා..

      Delete
  22. මම එන්න සෑහෙන පරක්කු වෙලා වගේ.. කමක් නෑ ඔන්න මමත් අදහසක් එකතු කරනවා.. 1999 අවුරුද්දේ මම 1 වසරේ ඉන්නකොට නටපු කලගෙඩි නැටුමක් ඇරෙන්න ඊටපස්සේ නම් මොන නැටුමක්වත් මම නැටුවේ නෑ.. එදා ගත්ත කලේ නම් තාම තියනවා..

    ReplyDelete
    Replies
    1. අපෝ ඒකට කමක් නෑ අනේ. අඟහරුත් හිටියද කලගෙඩි නටන්න? කොල්ලොත් ඒවාට ඉන්නවා කියලා අදනේ ඇහුවේ :0 හොඳයි හොදයි.

      Delete
  23. Ammo kaalekata passeneh meh peththe awe....hebeyi posts 3-4kata wada nam daala nehe wage :P :P.ela kolla

    ReplyDelete
    Replies
    1. එ උනාට 3ක් 4ක් හරි දැම්මනේ ඉතින්...කොහොමද ඉතින් එල කොල්ලට මේ දවස්වල?

      Delete

Related Posts Plugin for WordPress, Blogger...