Saturday, August 16, 2014

Thee O Jerusalem

මේ ළඟදී බ්ලොග් අවකාශේ කට්ටිය සෑහෙන කතා කරානේ ඔය ඊශ්‍රායල් පලස්තීන ගැටුම ගැන. මටනම් ඕක මුලින්ම ඇහැ  ගැටුනේ අටම්ස් ගේ මෙන්න මේ පෝස්ටුවෙන්. පස්සේ ඒකෙ කමෙන්ට්ස් කියවගෙන යනකොට තමයි දැක්කේ ඒකෙ මුල් ලිපිය එළකිරියේ සියුස් ගේ කියලා. ඒ ලිපියේ නියම පින්තූර ටිකක් එහෙමත් තියනවා. ඒත් මමනම් අටම් හින්දා තමයි ඒක දැක්කේ. මම ඉතින් එළකිරිය අස්සේ රවුම් ගහන්නේ නැහැ නේ :)

කොහොමහරි ඔන්න ඒක කියෙව්වට පස්සේ තමයි මට මේ යුදෙව්වෝ  ගැන හොයන්න උණක් හැදුනේ. ඊට පස්සේ මට මතක් උනා අර හරී කියලා හරිම ඇක්ටිව් විදියට බ්ලොග් පෝස්ට් දාන එක්කෙනෙක් ඉන්නේ, අන්න එයා සෑහෙන කාලෙකට කලින් ලියපු පොරොන්දු වූ දේශය කරා කියන කතා මාලාව. අන්න ඒක මතක් උනාට පස්සේ අර හැදිච්ච උණ නිව්මෝනියාවට හැරුණා. ඉතින් මේ ගැන හොයලම මිස ගොඩ ඒමක් නැහැ.

ඔන්න එහෙනම් හරියගේ කතා මාලාවෙන් පටන් ගත්තා මුල සිට කියවන්න. හරී ඒ කතාව පටන් අරගෙන තිබුනේ ජාකොබ් කියලා මනුස්සයෙක්ගෙන්. එයාගෙන් ඊශ්‍රායෙල් ජාතිය බිහි වෙච්ච හැටි තමා කියලා තිබුනේ. ඒ ජාතිය බිහි උනේ ජාකොබ් ගේ සීයා වෙච්චේ ආබ්‍රහම් සහ දෙවියන් වහන්සේ අතර ඇති වුන ගිවිසුමකට අනුව කියලත් හරී කියලා තිබුණා. ආබ්‍රහම් කියන්නේ කාටවත් කරදරයක් නැතිව හොඳින් ජීවත් වෙච්ච මනුස්සයෙක් ලු. එයා වයසට යනකන්ම ඔහුටත් ඔහුගේ බිරිඳ  සාරා ටත් දරුවෙක් ලැබුනේ නැහැ ලු. ඉතින් මේකට හොඳටම හිතේ දුකෙන් ඉඳපු ආබ්‍රහම් දවසක් දෙවියන් වහන්සේට මොර ගැහුවලු නේ දරුවෙක් නෑ කියලා. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට ලු අර ගිවිසුම ඇති උනේ. ඒකට අනුව ආබ්‍රහම්ගෙන් මහා ජාතීන් බිහි කරනවා කියලා දෙවියන් පොරොන්දු උනාලු. ඒ ගිවිසුමට අනුව තමා එයාගෙන් පැවතෙන ජාතියේ අය අර "චර්මඡේදනය" කියන එක එහෙම කරන්නේ.



දරුවෙක් නැති කම හින්දා තමන්ගේ මනුස්සයා දුක් වෙන හැටි බලාගෙන ඉන්න බැරි හින්දාම  සාරා තමන්ගේ ඊජිප්තු සේවිකාව වන "හේගාර්" ව ආබ්‍රහම්ට පාවලා දෙනවා, මැය ගෙන් වත් දරුවෙක් ලබා ගන්න කියලා. ඉතින් හේගාර්ට ලැබුන දරුවා තමයි "ඉෂ්මයෙල්". මුස්ලිමුන් පැවතෙන්නේ ඉෂ්මයෙල් ගෙන් කියලයි කියන්නේ. ෆැමිලි ට්‍රී එකේ මේ අත්ත ගැන එච්චර හොයන්න බැරි වෙච්ච නිසා ඒ ගැනනම් වැඩිය කියන්න දන්නේ නැහැ. පස්සේ වෙලාවක ඒ ගැනත් හොයලා බලන්න ආසාවෙන් තමා ඉන්නේ.

කෝම හරි මේ ඉෂ්මයෙල් ලැබුනට පස්සේ ඔන්න සාරාටත් දරු ගැබක් පිහිටියා ලු. සාරාගෙන් ආබ්‍රහම්ට ලැබුණ දරුවා තමයි "ඊසාක්".   ඒ කියන්නේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු වූ දරුවා. පොරොන්දුව අනුව ඊශ්‍රායෙල් ජාතිය බිහි වෙන්නේ මොහු හරහා.






කොහොම උනත් තමන්ගේ සුජාත දරුවා ලැබෙන තුරු ඉවසීමෙන්, දෙවියන් කෙරෙහි විශ්වාසයෙන් නොඉඳ ආබ්‍රහම් අනියම් ආකාරයකින් දරුවෙක් ලබා ගැනීමේ විපාක ඔවුන් පසු පස්සේ අද වන තුරුත් එනවා කියලයි කියන්නේ. ඒ කියන්නේ ඊශ්‍රායෙල් පලස්තීන ගැටුම් ගැන.

එක ජාතියක් වෙනුවට එකම පියාගෙන් පැවතෙන ජාතීන් දෙකක් බිහි වීම (වෙනස් මව්වරුන්ගෙන් උනත්). ඒ ජාතීන් දෙක එකම ශුද්ධ වූ බිම් කඩකට උරුම කම් කියමින් ඇන කොටා ගැනීම. 

නොඉවසිල්ලේ ප්‍රතිවිපාක දැක්කා නේද? ඔන්න කවුරු කවුරුත් මීට පස්සේ ඉවසිල්ලෙන් වැඩ කරනවා හොඳයි මේ වගේ කාරණා සම්බන්ධව ;).

එතකොට ඊසාක් ගේ බාල පුතා තමයි ජාකොබ් කියන්නේ. එතන ඉඳන් ජාකොබ්ගේ දරුවන්ගෙන් ඊශ්‍රායෙල් ජාතිය බිහි වෙච්ච හැටිත් ඔවුන්ට ඔවුන්ගේ පොරොන්දු වූ දේශය වෙච්ච ඊශ්‍රායලය ලැබිච්ච හැටිත් (ඉස්සර නම් කානාන් දේශය) හරිම ලස්සනට හරී ලියලා තියනවා. ඔවුන් මිසරයේ පරම්පරා ගානක් වහල් කම් කරලා අන්තිමේ මෝසස්ගේ නායකත්වය යටතේ එයින් මිදිලා පොරොන්දු වූ දේශයට එන අතර මගදී දස පනත ලැබුන හැටි එහෙමත් ඒකෙ විස්තර කරලා තිබුණා.

ඉතින් එහෙමයි ඔවුන් කානාන් දේශයට ඇවිත් තමන්ගේම කියලා රටක් ගොඩ නගා ගන්න මුල් පියවර තිබ්බේ. ජාකොබ්ගේ පුත්තු දොළොස් දෙනාගෙන් ඇති වෙච්ච ගෝත්‍ර වලට වෙන වෙනම ඊශ්‍රායලයේ ප්‍රදේශ වෙන් කරලා ඒ ප්‍රදේශ පුතුන් ගේ නම් වලින් හඳුන්වපු හැටි හරී ගේ ලිපියේ විස්තර කරලා තිබුණා. ඒ ගෝත්‍ර දොළහෙන් එක ගෝත්‍රයක් තමා ජුදා ගෝත්‍රය. පැහැදිළි වෙන්නත් එක්ක අවසානයේ රට බෙදපු විදිහ දැක්වෙන සිතියම පහලින් දානවා.



කොහොම උනත් ඒ වෙද්දී බිලිඳු බිලි පූජා ආදිය පවත්වමින් ගෝත්‍රික දිවි පෙවෙතක් ගෙවපු කානාන්වරුන්ගේ දේශයට පිවිසෙන එක ඔවුන්ට එච්චර ලේසි උනේ නැහැ. කානාන්වරුන්ගේ තිබ්බ මේ ම්ලේච්ඡ ගති සිරිතුත් හේතුවක් උනාලු දෙවියන් වහන්සේ කානාන් දේශය ඊශ්‍රායෙල්වරුන්ට ලබා දෙන්න පොරොන්දු වෙන්න. කානාන් දේශයේ ජීවත් වෙච්ච හැම ජාතියක්ම වගේ මොවුන් එක්ක සටනට ආවා.

ඒ අතරවාරයේ තමයි ගෝත්‍ර දොළහෙම ඊශ්රායෙල්වරු එකතුවෙලා ඔවුන්ගේ පළමු රජු හැටියට "සාවුල්" පත් කරගන්නේ. ඔහු අර ගෝත්‍ර දොළහෙන් බෙන්ජමින් ගෝත්‍රයට තමා අයිති වෙන්නේ. මේ කාලයේදී පිලිස්තිවරු එක්ක ඇති වෙච්ච සටනකදී ගලායත් කියන යෝධයාව පරද්දපු පුංචි ඩේවිඩ් ගැන හරී ලියලා තියනවා දාවිත්ගේ ගල් පටිය කියන ලිපියේ.  ඒකත් රස කතාවක් තමා.

ඉතින් සාවුල් රජ්ජුරුවොන්ට බැරි වෙච්ච වැඩේ මේ ඩේවිඩ් කියන කොලු ගැටයා කරපු නිසා ඔහු වීරයෙක් බවට පත් වෙනවා වගේම සාවුල් ගෙන් පස්සේ රජ වෙන්නෙත් මේ ඩේවිඩ් එහෙම නැත්නම් දාවිත් තමා.  ඔහු අයත් වෙන්නේ ජුදා ගෝත්‍රයට. ජේසුස් වහන්සේත් මේ දාවිත්ගේ පරම්පරාවේ කෙනෙක් කියලයි කියන්නේ.




දැන් ඉතින් මේ වීර නායකත්වය යටතේ ඔවුන් සටන් ජයග්‍රහණය කරාට පස්සේ ඩේවිඩ් රජතුමාගේ එකම අභිප්‍රාය උනේ ගෝත්‍ර මානසිකත්වයෙන් මිදිලා ඊශ්රායලය එකම රටක්, ජාතියක් බවට පත් කරන එක.

ඒ සඳහා මුලින්ම ඔහු කළේ අගනගරය පිහිටුවන්න සුදුසු තැනක් බලන එක. කිසිම ගෝත්‍රයකට අයිති නොවෙන බිම් කඩක් ඒ සඳහා සුදුසුයි කියලා ඔහු හිතුවා. හරියට ඇමරිකාවේ වොෂින්ග්ටන් D . C . වගේ.  ඒ තමා බෙන්ජමින් ප්‍රදේශයත් ජුදා ප්‍රදේශයත් අතර මායිමේ පිහිටි "ජෙරුසෙලම".

ජෙරුසෙලමේ ඔවුන්ගේ ශුද්ධ වූ දේවස්ථානය (Holy temple එහෙම නැත්නම් Zion) ඉදි කරන්නේ ඩේවිඩ් ගේ පුතා වන "සොලමන්". ඒ ක්‍රි. පූ 957 දී. මෙය ඊශ්‍රායෙල්වරුන්ට ලෝකේ ඇති වැදගත්ම, පූජනීයම ස්ථානය කිව්වොත් හරි. හරියට ලාංකිකයින්ට දළදා මාලිගාව වගේ.

දෙවියන් වහන්සේ ආබ්‍රහම්ව පරික්ෂා කරන්න හිතාගෙන ඔහුගේ පුතා ඊසාක්ව තමන්ට බිලි දෙන්න කියලා අණ කලාලු නේ. අවසාන මොහොතේ දේව දූතයෙක් ඇවිත් මේ වැඩේ නතර කළා ලු. මෙන්න මේ සිද්ධිය උනේ ජෙරුසෙලමේ "මවුන්ට් මොරයා" නම් ස්ථානයේදී ලු. ඒ නිසා Holy temple ඉදි කරන්න එතන තෝරා ගන්න ඇති. අදටත් යුදෙව්වන් යාඥා කරන්නේ ජෙරුසෙලම පිහිටි දිශාවට හැරිලා. ආගමික වශයෙන් විතරක් නෙමෙයි භූගෝලීය වශයෙනුත් ජෙරුසෙලමේ වගේම ඊශ්රායල් රටෙත් ලොකු වැදගත් කමක් තියනවා. කතාවට කියන්නේ ජෙරුසෙලම පිහිටලා තියෙන්නේ ලෝකේ හරි මැද කියලා (දෙවියන් තෝරාගත් ජාතියට ඊශ්‍රයලයම දෙන්න හිතුවේ මේ හින්දද දන්නේ නෑ නේද?).


බටහිරින් යුරෝපයටත් නැගෙනහිරි ආසියාවටත් පහළින් අප්‍රිකාවටත් මැදි වෙච්ච ඊශ්‍රායලය සහ රට මධ්‍යයේ පිහිටි ජෙරුසෙලම.

මේ තියෙන්නේ තවත් ලස්සන පින්තූරයක්.



ඔය පින්තූරේ මැද බුබුලක් වගේ පේන්නේ Holy temple නෙමේ හොඳේ. ඊශ්‍රායෙල්වරුන්ගේ temple එක විනාශ උනාට පස්සේ කාලෙක මුස්ලිම්වරුන් එතන ඉදි කරපු Dome of Rock කියන එක තමා ඔය පේන්නේ. ඒවා ගැන ඉතින් පස්සේ කතා කරමුකෝ.

ඉතින් ඩේවිඩ් අගනගරය බවට පත් කරපු ජෙරුසෙලමේ සොලමන් ඔවුන්ගේ ශුද්ධ වූ පන්සල ඉදි කරනවා. මේ රජවරු සැළකෙන්නේ ඊශ්‍රායල ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ රජවරු හැටියට. හරියට අපිට දුටුගැමුණු විජයබා වගේ. සොලමන්ගේ රාජ්‍ය කාලය ඊශ්‍රායලයේ ස්වර්ණමය කාල පරිච්ඡේදයක් හැටියට සළකන්න පුළුවන්.

ඒත් අවාසනාවකට මේ ශ්‍රේෂ්ඨ සොලමන් රජතුමාත් දෙවියන්ගේ වචනයට පිටින් යනවා. Holy temple එකට නැගෙනහිරින් පිහිටි කඳු ගැටයක මොලැබ්වරුන්ගේ සහ අමොනයිට් වරුන්ගේ දෙවිවරුන් උදෙසා දේවස්ථාන ඉදි කරනවා. ඔහුගේ විදේශීය භාර්යාවන් නිසයි එහෙම කරන්නේ. ඒත් දෙවියන් වහන්සේ දස පනත දෙද්දී මොවුන්ට කිව්වනේ ඔවුන්ගේ එකම දෙවියා තමා විය යුතු බවත් වෙනත් දෙවි වරුන් පිළි නොගත යුතු බවත්.

ඒ නිසා මෙයින් උදහසට පත් වුන දෙවියන් වහන්සේ සොලමන්ට දැනුම් දුන්නලු "මාගේ වචනයට පිටු පෑමේ විපාක වශයෙන් මේ ඊශ්‍රායල රාජ්‍ය කැබලි වී ඔබෙන් ගිලිහී යනු ඇති. එය ඔබගේ පුත්‍රයාගේ කාලයේදී සිදු වනු ඇති. එහෙත් ඩේවිඩ් නිසාවෙන් මුළු රාජ්‍යම ඔහුට අහිමි නොවී එක කොටසක් පමණක් ඔහුට අයත් වෙනු ඇති"

කිව්වත් වගේම ඒක සිද්ධ වෙනවා. සොලමන්ගේ පුත් රෙඔබෝම්, සොලමන් තරම් බුද්ධිමත් කෙනෙක් නෙමේ. ඔහු රජ වුනාට පස්සේ වැඩිහිටි බුද්ධිමත් ඊශ්‍රායෙල්වරුන්ගේ උපදෙස් නොගෙන මෝඩ සගයින්ගේ උපදෙස් පිළිපැදීම නිසා ඊශ්‍රායලය දෙකඩ වෙනවා. රටේ උතුරු කොටසේ ගෝත්‍ර 10 කට අයත් ප්‍රදේශ එක බල ප්‍රදේශයක් විදියටත් (Kingdom of Israel) ජුදා සහ බෙන්ජමින් ගෝත්‍ර වලට අයත් දකුණු කොටස, ජෙරුසෙලමද ඇතුළුව, රෙඔබෝම් යටතේ තවත් බල ප්‍රදේශයක් හැටියත්  (Kingdom of Judaa)  වෙන් වෙනවා.



                                                             ~~~~~~~~~~~~~~~~~~

මෙයින් සෑහෙන කලකට පස්සේ, ඒ කියන්නේ ක්‍රි. පූ 600 දී විතර මේ රාජ්‍ය දෙකෙන් ගෝත්‍ර 10 ක් ජීවත් වෙච්ච ඊශ්‍රායල් රාජ්‍ය අසිරියානුවන් විසින් ආක්‍රමණය කරනවා. ක්‍රි. පූ 586 දී බැබිලෝනියා අධිරාජ්‍ය විසින් දකුණු රාජ්‍ය වූ ජුදා රාජ්‍යයත් ආක්‍රමණය කරනවා. මේ වෙලාවේදී තමයි බැබිලෝනියානුවන් විසින් ජෙරුසෙලමේ පිහිටි Holy temple එක කඩලා බිමට සමතලා කරලා දාන්නේ. ඉන් පස්සේ ජුදෙව්වන් බැබිලෝනියාවේ වහල් සේවයට අරගෙන යනවා.

කට්ටිය අහල ඇති නේද මේ සිංදුව?

"By the rivers of Babylon
There we sat down
Yea-eah we wept
When we remembered Zion"

ඔය තියෙන්නේ සිංදුව අහන්න කැමති අයට. ලස්සන සින්දුවක්...



ජුදා ගෝත්‍රිකයින් බැබිලෝනියාවට අරගෙන යන ගමනේදී බැබිලෝනියාවේ ගං තෙරක වාඩි වෙලා තමන්ගේ විනාස වෙලා ගියපු දේවස්ථානය මතක් කරමින් වැළපෙන හැටි තමයි ඒ ගීතයෙන් කියන්නේ. මධුරංග කාලෙකට කලින් ලියපු ජෙරුසෙලමේ බිඳ වැටීම පොස්ටුවේ මේ සිද්ධිය විස්තර සහිතව ලියලා තියනවා.

මෙතන මේ බැබිලෝනියාවේ ගං තෙර කියලා කියන්නේ යුප්‍රටීස් ගඟට වෙන්න ඕනේ. බැබිලෝනියාව කියන්නේ යුප්‍රටීස් ටයිග්‍රීස් ගංගා දෙක අතර පිහිටි මෙසපොතේමියානු ශිෂ්ටාචාරයට අයත් කොටසක් නේ. වර්තමානයේ හැටියටනම් ඉරාකයේ කොටසක්. මේ තියෙන්නේ ජුදෙව්වන් බැබිලෝනියාවට අරගෙන ගියපු මාර්ගය පෙන්වන සිතියම.








ඉතින් ජුදෙව්වන් බැබිලෝනියාවේ වහල් කම් කරපු කාලය අවසාන වෙන්නේ බැබිලෝනියා අධිරාජ්‍යය බිඳ වැටිලා පර්සියානු අධිරාජ්‍යයේ නැගී ඒමත් එක්ක.

පර්සියානු අධිරාජ්‍යයා වන "සයිරස්" ජුදෙව්වන්ට අවසර දෙනවා නැවත ජෙරුසෙලමට ගිහින් තමන්ගේ ශුද්ධ වූ දේවස්ථානය ගොඩ නංවන්න කියලා. ඒ ක්‍රි. පූ 516 දී. ඒ අනුව නැවතත් ජෙරුසෙලමේ දෙවැනි ශුද්ධ වූ දේව මන්දිරය ගොඩ නංවලා පර්සියන් අධිරාජ්‍යය යටතේ පාලනය වෙන රටක් බවට ඊශ්‍රායලය පත් වෙනවා.

මෙතනින් පස්සේ ප්‍රධාන වශයෙන් ඊශ්‍රායල්වරුන් හැටියට හැඳින්වෙන්නේ ජුදා ගෝත්‍රයේ අය. අර කලින් ගෝත්‍ර 10 ක් වාසය කරපු උතුරු කොටස අසිරියාවට යටත් උන තැන ඉඳලා ඔවුන්ට සිදු වෙච්ච දේ ගැන හරි හැටි තොරතුරක් හොයා ගන්න බැරි උනා. අද ඔවුන්ව හඳුන්වන්නේ 10 Lost tribes විදිහට. ජෙරුසෙලම පිහිටපු දකුණු කොටසේ හිටියේ ජුදා සහ බෙන්ජමින් ගෝත්‍ර නේ. එයිනුත් බහුතරය ජුදා.

ඉතින් second temple period කියන මේ කාලයේ තවත් අවුරුදු 500 ක් විතර යනකන් විශේෂ තොරතුරක් සඳහන් වෙන්නේ නැහැ. ඒ කාලය තුළ බයිබලයත් නිහඩයි, ක්‍රි. ව. 0 දී දවසක රාත්‍රී අහසේ අසිරිමත් වල්ගා තරුවක් පායන තුරු...


                                                              ~~~~~~~~~~~~~~~~~

ශ්‍රේෂ්ඨ නරපති ඩේවිඩ් ගෙන් පැවතෙන ජුදෙව්වෙකු වූ ජේසුස් වහන්සේගේ උප්පත්තිය සිද්ධ වෙන්නේ ජෙරුසෙලමට දකුණින් පිහිටි බෙත්ලෙහෙමේ. ඒ වෙලාවේ ජේසු බිළිඳා බලන්න පෙරදිගින් ගිය රජ තුන් කට්ටුවේ එක්කෙනෙක් අපේ බාතිකාභය රජතුමා කියලත් මතයක් තියනවා.

ජේසුස් වහන්සේගේ ජිවිතයේ වැදගත් අවස්ථා (කැප කිරීම, අවසන් භෝජන සංග්‍රහය, මරණය වැනි) ජෙරුසෙලම සහ ඒ අවට ප්‍රදේශ සමග සම්බන්ධ වන නිසා ජෙරුසෙලම ක්‍රිස්තියානීන් ටත් වැදගත් තැනක් ළෙස සැළකෙනවා. ඉතින් ජේසු තුමාගේ උපතේ සිට මරණය දක්වා කාල පරිච්ඡේදය ගොඩක් දෙනා දන්නා එකක්. හරී ත් තවත් පෝස්ට් වැලක් ලිව්වා ජේසුස් වහන්සේ ගේ ජීවිත කතාව ගැන. ඒ ටික බැලුවොත් ඒ වෙද්දී තිබ්බ ජුදා සමාජය ගැන එහෙම හොඳ වැටහීමක් ගන්න පුළුවන්.





ඒ එක්කම කියන්නේ ඕනේ මේ වෙද්දී ඊශ්‍රායලයට අයත් ප්‍රදේශය රෝම අධිරාජ්‍යයට යටත්ව එහි කොටසක් හැටියටයි පාලනය උනේ. ඒකනේ ජේසුස් වහන්සේට මරණ දඬුවම ඉල්ලලා දෙන්න කියලා රෝමන් ආණ්ඩුකාරවරයෙක් වෙච්ච "පොන්තියුස් පිලාත්" ගාවට අරගෙන යන්නේ.

හැබැයි පිලාත් මරණ දඬුවම නියම කරන්නේ එයාගේ උවමනාවට නෙමෙයි. ජුදෙව්වොන්ගේ කෑගැහිල්ලට (මෙතන වැඩි හරියක්ම පූජක පන්තියේ සහ ඉහළ පන්තිවල අය තමා). අන්තිමට බැරිම තැන "මේ මිනිසාගේ ලේ ගැන මම නිදොස්" ය  කියලා මරණ දඬුවම කැමති විදියට කරගන්න අවසර දීපු හැටි හරී ගේ ලිපියේ තියනවා. එවෙලේ ජුදෙව්වෝ කිව්වලු "එහෙනම් ඒ පාපය අප පිටත් අප දරුවන් පිටත් වැටේවා" කියලා. ඔවුන්ගේ ජාතිය මෙච්චර කලක් තැලිච්ච පොඩි වෙච්ච හැටි පේන්න තියෙද්දී ඒ කතාව ඇත්ත වෙලා කියලා හිතෙනවා නේද?

කොහොමහරි ඔන්න ජුදෙව්වෙක් වී උපන් ජේසුස් වහන්සේ ඉතිහාසය දෙකඩ කරන්න සමත් වෙනවා. ජුදෙව්වන් වගේම යුරෝපීයයනුත් ඔහුගේ අනුගාමිකයින් බවට පත් උනා. ලෝකයේ ආගම් අතරට ක්‍රිස්තියානි ආගමත් එකතු උනා වගේම එය ජුදා ආගමට වඩා ජනප්‍රියත් උනා. රෝමානුවන් හරහා එය යුරෝපයට පැතිරෙන්න ඇති.

ඉතින් ජේසුස් වහන්සේගේ මරණය සිද්ධ වෙන්නේ ක්‍රි. ව. 33 දී. ඊට පස්සේ තවත් අවාසනාවන්ත යුගයක් ජුදෙව්වන්ට උදා වෙනවා. මේ වෙද්දී රෝමන් වරුන් උතුරු ඊශ්‍රායලය (ගලීලය) වගේම දකුණු කොටසේ (ජුදයාව) පාලනයත් අතට අරගෙන නේ තිබුනේ. පාලන කටයුතු විතරක් නෙමෙයි ඔවුන් ජුදෙව්වන්ට හරි හරියට හිරිහැරත් කළා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට කොහෙත් වෙනවා වගේ රෝම අධිරාජ්‍යයට විරුද්ධ කැරළි කණ්ඩායම් බිහි වෙන්න පටන් ගත්තා. ඒවාට ප්‍රති උත්තර දීපු රෝමන්වරුන් අවසානයේදී ජෙරුසෙලමට කඩා වැදිලා ඔවුන්ගේ දෙවැනි ශුද්ධ වූ දේවස්ථානයත් බිමට සමතලා කරලා පුළුස්සලා දානවා.  මේ විනාශය බලාගෙන ඉන්න බැරි වුනු ජුදෙව්වෝ විශාල ප්‍රමාණයක් සිය දිවි නසා ගත්තලු. මේ සිද්ධිය වෙන්නේ ක්‍රි. ව. 70 දී.









මේ තියෙන්නේ දැනට ඊශ්‍රායල් කෞතුකාගාරයේ තියෙන මේ දේව මන්දිරයේ අනුරුවක්.



අන්තිමේ එයින් නටබුන් හැටියට ඉතිරි වෙන්නේ අද western wall නමින් හැඳින්වෙන තාප්ප කොටස විතරයි. ඒ නිසයි ඔවුන්ට මේ තාප්පය අන් හැම දේකටම වඩා අද වටින්නේ. ඔවුන් මේකට යාඥා පවත්වනවා දැකලා ඇති නේද?







ඔවුන්ගේ පළමු දේව මන්දිරයත් දෙවැනි මන්දිරයත් විනාශ කිරීම සිහි කරලා අදත් ඊශ්‍රායල් ජනතාව ජාතික දිනයක් සමරනවා. සමරනවා කිව්වට ඒක "වැළපෙන දිනයක්" හොඳේ. "Mourning day"
කියලයි කියන්නේ.

ජුදා විවාහ උත්සවයකදී මේ සිද්ධි මතක් කරලා මනාල මහත්තයා වීරුවක් බිඳිනවා ලු. ඒ වගේම බොහොමයක් ජුදා ගෙවල්වල මෙය සිහි කිරීමට බිත්තියකින් කොටසක් සම්පූර්ණ නොකර ඉතිරි කරනවලු.

"If I forget thee, O Jerusalem, Let my right hand forget her skill"

ඉතින් මේ විනාශයෙන් පස්සේ ජුදෙව්වෝ 10000 කට අධික ගණනක් වහලුන් විදියට රෝමයට අල්ලාගෙන ගියාලු.

එයින් පස්සේ තමයි ජුදා ජාතිය තමන්ගේ හදවතට සමාන ජෙරුසෙලමෙන් ඈත් වෙලා ගිහින් යුරෝපයේ කොලනි වල ජිවත් වෙන්න පටන් ගත්තේ. ඒ විස්තරත් එයින් පස්සේ මොවුන් ගැන සෑහෙන විස්තරයකුත් තියන නිසා මේ ලිපිය මෙතනින් නැවත්තුවොත් හොඳයි කියලා හිතෙනවා. දැනටමත් හොඳටම දිග වැඩියි වගේ. කී දෙනෙක් මගින් හැරිලා ගියාද කියලා ෂුවර් නෑ  :D

එහෙනම් ඉතින් මින් පස්සේ දෙවියන් වහන්සේ තෝරා ගත් ජාතිය වෙච්චි ජුදා ජාතියට හිමි වෙච්ච ඉරණමත් තවත් අවු. 500 කට විතර පස්සේ තවත් ආගමක් ලෝකෙට පහළ වෙච්ච හැටි එහෙමත් ඊ ළඟ ලිපියේ කතා කරන බලාපොරොත්තුවෙන් මම නවතින්නම්.




ප. ලි. ඔන්න දැම්මම කියන්නේ මේ ලිපියේ වැරදි තැන් ඕන තරම් තියෙන්න පුළුවන්. මොකෝ මම මේවා කියවලා බැලුවේ මේ ලඟදි නිසා. මේවා ගැන මීට වැඩි දැනුමක් තියන ඕන තරම් අය ඉන්නවා මේ බ්ලොග් අවකාසේ. ඉතින් පුළු පුළුවන් හැටියට වැරදි නිවැරදි කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම මේ ලිපිය කිසිම ආගමකට, ජාතියකට අපහාස කරන්න ලියපු එකක් නොවන බවත් කියන්නම ඕන. කොහොමත් මට මේ ගැන පැත්තක් ගන්න විදිහක් නැහැ. මොකෝ මම යුදෙව්වෙක්වත්, ක්‍රිස්තියානිවත් මුස්ලිම්වත්  නෙවෙයි හින්දා. ඕං  එහෙනං මං ගියා. :)


ref
https://www.youtube.com/watch?v=baXIyOOTQBc
http://www.bible-history.com/map_babylonian_captivity/map_of_the_deportation_of_judah_overview.html
http://www.jewishhistory.org/the-destruction-of-the-second-temple/
https://www.youtube.com/watch?v=eg8csSMeC90

59 comments:

  1. නියමයි සයුරි.. අපූරු සාරංශයක්... ඉස්ශ්‍රායෙල්වරු ජෙරුසලමයි/ඊශ්‍රායලයයි දාලා ගිහින් යුරෝපෙට වෙලා මක්ක කලාද කියලා මට ලොකු ගැටලුවක් තිබුනා..

    එතකොට මේකට පලස්තීනයක් ඈදෙන්නෙ කොහෙන්ද ? මුස්ලිම්වරු සම්බන්ධ වෙන්නෙ කොහෙන්ද ? ඒවට උත්තර ඊළඟ කොටසෙන් එයි කියලා හිතනවා.. බලන් ගියාම නියම අයිතිකාරයෝ කානාන් වරුනෙ.. මේ කොහෙවත් ඉන්න දෙගොල්ලක් මරා ගත්තට...

    රවුම් ලෝකේ හරි මැදක් කොහෙද ? හැමතැනම හරි මැදනෙ !

    ReplyDelete
    Replies
    1. තැන්කිවු සෙන්නෝ...මටත් ඔන්න ඔහොම හෙනම ගැටළු තොගයක් තිබුන හින්දමයි මේක හොයල බැලුවේ. ඔව් ඔව් ඊ ළඟ කොටසෙන් බලමුකෝ ඒ ටිකත් කවර කරන්න.

      //බලන් ගියාම නියම අයිතිකාරයෝ කානාන් වරුනෙ//

      ආන් හරි. මුල් අයිතිකාරයෝ එයාලානේ. හැබැයි වැඩේ තියෙන්නේ දැන් ඔය කානාන්වරු කියන අය නැහැ නේද? එක්කෝ වඳ වෙලා. නැත්නම් තවත් ජාතින් එක්ක මිශ්‍ර වෙලා අනුවර්තනය වෙලා...අනේ මන්දා..

      හෙහෙ..ඔය හරි මැද කතාව මම හිතන්නේ එයාල කියන්නේ ලෝක සිතියමට අනුව. බෝලේ ගැන හිතලා නෙමෙයි. ඊශ්රායලය ආසියාවටයි අප්රිකාවටයි යුරෝපයටයි තුනටම connected නේ. ඒක වෙන්න ඇති.

      Delete
    2. //බලන් ගියාම නියම අයිතිකාරයෝ කානාන් වරුනෙ//
      එහෙම බැලුවොත් ලංකාවේ නියම අයිතිකාරයෝ කවුරු වේවිද ?
      "යක්‍ෂ,නාග,රාක්ෂ ග්‍රෝත්තිකයෝද ?නැතිනම් වෙනින් කවුරැ හරිද ?

      Delete
    3. කානාන්වරු අතර කළු ජාතිකයන් මෙන්ම ආර්යයන්ද සිටියා.හිත්තිවරු කියන්නෙ හිටයිට්වරුන්ට.හිවීවරු ද ආර්යයන් විය හැකියි.හිටයිට් අධිරාජ්‍ය තුර්කියේ සිට ඊජිප්තුව දක්වා විහිදුනා.ඔවුන්ගේ බිද වැටීමෙන් පසු ඉතිරිවූ ගම්මාන යුදෙව්වන් විසින් වනසා දමන්න ඇති.
      අමෝරි වරු යනු ඹැබිලෝනියාවේ සිට මධ්‍යධරණී මුහුද දක්වාම ව්‍යාප්තවූ ඇමෝරයිට් වරුන්.
      යුදෙව්වන් තම භූමිය ලබා ගත්තේ බිහිසුණු සමූලඝාතනයකින්.හැබැයි එම ගෝත්‍ර යුදෙව්වන් සමගත් මිශ්‍ර වුනා.
      බයිබලයේ රූත් කියන්නෙ මෙහෙම කෙනෙක්.ඒ වගේම දාවිත් රජුගේ බොහෝ භාර්යාවන් මෙවැනි කානාන්වරු.
      නූතන එශ්‍රායල් ගෝත්‍ර විසිරුන පසු ඒදොම්ගෙන් පැවත එන පිරිස හා ඉතිරි ඊශ්‍රායල් වරු සමඟ ඊශ්‍රායල් ජාතිය ගොඩ නැගුවා ඒ පලමුවැනි සියාව්සේදි.ඒ කියන්නෙ ගෝත්‍ර දොලහ බෙදපු අයගෙන්ම අද ඉන්න අය පැවත එනව කියන්න බැහැ..මේ අයත් යුරෝපීයන් හා බොහෝ සේ මිශ්‍රවුනා.

      Delete
    4. මනෝජ්ගෙ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවනම් ඒ යක්ෂ නාග දේව කියන අයගෙන් තමයි සිංහල ජාතිය පැවත එන්නේ.මේ රටේ සැබෑ ආදිවාසීන් වන සිංහලයන් හා එවැනිම ආදිවාසීන් වන වැද්දන් අනාදිමත් කාලයක් ජීවත්වෙලා තිබෙනවා.සිංහලයන් සෙසු ලෝකයා සමඟ සුළුවෙන් මිශ්‍ර වී තිබෙනවා.විජය වැනි ආක්‍රමණිකයන් මහා සංස්කෘතියට අවශෝෂනය කර ගත්තා.

      Delete
    5. මනෝජ්ගෙ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවනම් ඒ යක්ෂ නාග දේව කියන අයගෙන් තමයි සිංහල ජාතිය පැවත එන්නේ.මේ රටේ සැබෑ ආදිවාසීන් වන සිංහලයන් හා එවැනිම ආදිවාසීන් වන වැද්දන් අනාදිමත් කාලයක් ජීවත්වෙලා තිබෙනවා.සිංහලයන් සෙසු ලෝකයා සමඟ සුළුවෙන් මිශ්‍ර වී තිබෙනවා.විජය වැනි ආක්‍රමණිකයන් මහා සංස්කෘතියට අවශෝෂනය කර ගත්තා.

      Delete
    6. kolabarala - බොහොම ස්තුතියි මේ වැදගත් විස්තර වලට. ඔය රූත් කියන්නේ ඩේවිඩ් ගේ great grand mother නේද? Moab පළාතේ කෙනෙක් වගේ මතක. අනිවාර්යෙන්ම මිශ්‍ර වීමනම් සිද්ධ වෙන්න ඇති. අනිත් එක ඊශ්රායලය පිහිටලා තියන තැනේ හැටියට ලංකාව වගේ දූපතකුත් නොවෙන එකේ ඔය මිශ්‍ර වීම වළක්වන්න අමාරුයි නේ.

      //ඒ යක්ෂ නාග දේව කියන අයගෙන් තමයි සිංහල ජාතිය පැවත එන්නේ//
      //විජය වැනි ආක්‍රමණිකයන් මහා සංස්කෘතියට අවශෝෂනය කර ගත්තා//

      එකෙන්ම එකඟයි.

      Delete
    7. රූත් කියන්නේ ඊශ්‍රායලයෙන් බැහැරව ජීවත්වුන ජුදා පවුලක ලේලිය වෙච්ච වෙනත් ජාතියක කාන්තාවක්.

      Delete
    8. හරී,හරි ..:)රූත් කියන්නේ මෝවබ් ජාතික කාන්තාවක්.

      Delete
  2. ඉතුරු ටිකත් දාන්ඩෝ

    ReplyDelete
  3. නියම විස්තරයක් නෙහ්...

    ReplyDelete
  4. නිවුමෝණියාවක් ගිය දුරක් කිවුවලු.. අපි ඉතින් මෙහෙම දෙයක් කියවනවා ඔයාලා මහන්සි වෙලා සිංහලෙන් දාද්දි නම්.. ඒ හන්දා හොද සුදු ලොකූ වගේ අනිකත් ඉක්මනට දාන්න හොදේ..

    ReplyDelete
    Replies
    1. අනේ අනේ ඉතාලියේ ජීවත් වන්නෙක් හැටියට මෙව්වා ගැන දැන ගෙන ඉන්න ඕන නැද්ද මන් අහන්නේ. මම මේ හිත හිත හිටියේ රෝම අධිරාජ්‍යය ගැන මෙයාගෙන් වත් තොරතුරු ටිකක් අහන්න..:(

      Delete
  5. ආයෙ පාරක් කියවන්ට ඕනි.:)

    ReplyDelete
    Replies
    1. එහෙනම් ආයෙත් කියවලම ඉන්ටකො :) මේක ආයෙත් කියවන්න හිත හදාගන්න පුලුවන්ද පොඩ්ඩි ? :O

      Delete
  6. ඕක හරිනම් I O Jerusalem වෙන්න ඕනා.. :D

    ReplyDelete
    Replies
    1. හික්ස්...ඇත්තටම මම මුලින් හිතුවේ "අහෝ ජෙරුසෙලම" වගේ එකක් දාන්න. පස්සේ ඔන්න ඔහේ ඔරිජිනල් එකම දැම්මා :))

      Delete
    2. ඕක උච්ඡාරණය කරන්නේ යේරුසලම කියලා නේද ?

      Delete
    3. ඔහ්හ් එහෙමද? මමනම් හරියටම දන්නේ නෑ

      Delete
  7. පට්ට විස්තරයක්...
    පට්ට කීවෙ උපරිම වැදගත් වුණා කියන්න හොදේ...
    මාත් මේ දවස් වල බයිබලේ කියවනව... ඒත් ඇපි එකක්..
    ටිකක් අමාරුයි...
    එි හන්ද මධුරංග අය්යට කීව පොතකුත් හොයල දෙන්න කියල..
    හිහි..
    බලමුකො ඈ...
    ඉතුරු ටිකත් දාන්ඩෝ

    ReplyDelete
    Replies
    1. හරි හරි ළමයා,,අපි දන්නවා "පට්ට" කියන එකේ ඩිෆිනිෂන් එක :D. අහ් අර අකුරු කියවන්න බැරි බයිබලයක් ගෙනත් දෙයිද දන්නේ නෑ ඔය මදුරුස්.
      බෝම ස්තුතියි මහේෂ්.

      Delete
  8. ඈ සයිරි..අපේ ඉතිහාස පාඩමට වැඩිය මේවා මට ඉන්ටරේස්ටින් නේ.. “පොරොන්දු වූ දේශය“ වචනේ ඇහුනත් මට අමුතු හැගීමක් එන්නේ..

    ReplyDelete
    Replies
    1. සහ්..ඒ මොකද දන්නේ නෑ නේද? ගිය ආත්මෙකවත් සම්බන්ධයක්ද දන්නේ නෑ

      Delete
  9. බයිබලේ පරණ ගිවිසුමේ මේ කතාව තියෙනවා.හැබැයි මේ තරම් සරලව නැහැ.තේරුම් ගන්න ටිකක් අමාරුයි.අර පුද්ගල නාම වගේ ඒවා මතක තියා ගන්න පොඩ්ඩක් අමාරු නිසා.
    යුද්දෙව්වෝ කියන්නේ හොඳ මොළ කාරයෝ.බයිබලේ තියෙනවා නේද "සලමොන්"රජතුමා තමයි හොඳම මොළකාරයා කියලාත්.මට නිකන් ඒ වගේ මතකයක් තියේ වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝජ්, එයාලට තියන හොඳම ආයුධේ මොළේ ලු නේ. අර එළකිරියේ ලිපියේ ඒ ගැන නියම විස්තරයක් තියනවා. ඔව්, සොලමන් රජතුමා හොඳම මොළ කාරයෙක්ලු. අර හුණු වටයේ කතාවේ සිද්ධියට සමාන සිද්ධියක් එහෙත් වෙලා. එකම දරුවාට අම්මලා දෙන්නෙක් අයිතිය කියද්දී රජතුමා කිව්වලු එහෙනම් ළමයා දෙකට කපලා දෙන්නට දෙන්න කියල. ඒ වෙලාවේ එක අම්මා කෙනෙක් කිව්වලු "හා එහෙනම් එහෙම කරමු. එතකොට එක්කෝ මට ලැබෙන්න ඕනේ, නැත්නම් කාටවත් නොලැබෙන්න ඕනේ කියලා". අනිත් කෙනා කිව්වලු "ළමයට කරදරයක් කරන්නේ නැතුව එයාට දුන්නත් මට කමක් නෑ" කියලා. ඉතින් ඇත්ත අම්මා කවුද කියලා ලේසියෙන්ම හොයා ගත්තලු.

      Delete
  10. දැඩි කැපකිරිමකි්න් ලියන ලද අපූරුම ලිපියක් සයුරියේ. ඉතාමත්ම වටිනවා වගේම අනිත් කොටස එනතුරු නොඉවසිල්ලෙන් බලා ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි මේ කමෙන්ටුවට...ඉකමනින් ඉතිරිය දාන්න බලනවා

      Delete
  11. මාරම අසාවකින් කියෙව්වෙ ...... (‍Y)

    ReplyDelete
  12. අම්මෝ මේ ළමය දන්න ජාති :O

    මාත් මේ කරුම ගෙවල ඉවරඋනාට පස්සෙ හෙමීට බයිබලයක් එහෙම පෙරලල බලන්න ඔ්න!

    ReplyDelete
    Replies
    1. :D

      කරුම ගෙවන එකනම් කොහොමත් ගෙවනවානේ අලියෝ

      Delete
  13. ස්තූතියි සයුරි,

    බොහොම මහන්සියෙන් ලියාපු අපූරු ලිපියක්....ආයෙමත් ස්තූතියි,

    බොනී එම් ගීතය ආයෙම ඇහුවා. අපේ කාලෙ අපි පිස්සු වැටිල හිටිය ගායක කණ්ඩායමක් ඔය. Abba, Eruption, Brotherhood of Man ඒ අනික් අය...හෙහ්,හෙහ්,

    1947 ඊශ්‍රායලය බිහිවීම ගැන අපූරු පොතක් ලියල තියනව ඩොමිනික් ලපියරේ සහ ලැරී කොලින්ස්.පොතේ නම "O Jerusalem " ... ඊශ්‍රායලය බිහිවීම ගැන මම් බොහොමයක් විස්තර දැනගත්තෙ ඒ පොතෙන්.

    ReplyDelete
    Replies
    1. මාත් හරි ආසයි ඔය සින්දුවට...දුකත් හිතෙනවා ඒක අහනකොට.

      ෂඃ "O Jerusalem " පොත ඔන්ලයින් හොයාගන්න බැරිද දන්නේ නෑ නේද? රවී අයියත් එහෙනම් සබ්ජෙක්ට් එක ගැන සෑහෙන උනන්දුවෙක්...:))

      Delete
    2. සයුරි,

      / ෂඃ "O Jerusalem " පොත ඔන්ලයින් හොයාගන්න බැරිද දන්නේ නෑ නේද? /

      O Jerusalem පොතේ e book එකක් නම් හොයාගන්න බැරි වුනා..:( මම තව ටිකක් උත්සාහ කරල බලන්නම්…

      ඊශ්‍රායලයේ උපත ගැන ලියවිච්ච තවත් අපූරු නවකතාවක් Leon Uris ගෙ Exodus .James A. Michener ලියල තියනව යුදෙව්වන්ගෙ කතාව ආදි කාලෙ ඉඳල..ඒකෙ නම The Source .අරුණි මට ඒක ගැන කිව්වෙ. පොත් කඩේකට ගියොත් මම හොයන පොත් ලිස්ට් එකේ දැන් ඒකත් තියනව.Wilbur Smith ගෙ Eagle in the Sky පොතත් තවත් අරාබි- ඊශ්‍රායක් යුද්ධය ගැන ලියවෙච්ච නවකථාවක්.

      / රවී අයියත් එහෙනම් සබ්ජෙක්ට් එක ගැන සෑහෙන උනන්දුවෙක්...:)) /

      මොනව කියනවද බොලේ මේ...යුදෙව් ඉතිහාසය කියන්නෙ මගෙ ප්‍රියතම සබ්ජෙක්ට් එකක්.

      Delete
    3. ශා..එළකිරි. මොකද මන්දා මට මේ කොමෙන්ටුවේ නොටිපිකේෂන් එක ආවේ නෑ. බොහොම ස්තුතියි මේ පොත් ගැන විස්තර ටික දුන්නට. මේ ඔක්කොම කියවන්න වෙලාවක් හොයාගන්න ඇත්නම්..අප්පා :(

      Delete
  14. හරී මේ ගැන A - Z ලිව්වා. මමත් ඒ පෝස්ට් සියල්ල කියෙව්වා. සයුරි ඔබ එහි සාරාශය යළිත් ඉතාම රසවත්ව ලියල තියෙනවා. ලෝක ඉතිහාසයේ එක් ඉපැරනි යුගයක සිදුවූ දේවල් යළ යළිත් බැබිලෝනියන් ශිෂ්ටාචාරය යටතේ නැවත නැවත මේ යුගයේ මතුවෙමින් තියෙන බව පේනවා. ඕනැම ආගම අන්තය වැරදි අයුරින් වටහාගන්නා අය නිරන්තරයෙන් අන්තවාදීන් වෙමින් බිහිසුණු ප්‍රචන්ඩත්වයක් මවනවා ඒක ලේක ස්වභාවය.



    ReplyDelete
    Replies
    1. ඔව් දයා අයියා...හරී ලියලා තිබුනා ඉෂ්රායෙල්වරු කානාන් දේශයට ඇතුල් වීම දක්වා කතාවයි ඩේවිඩ්ගේ ගල් පටියේ කතාවයි..දෙකම...මම ඉතින් එතන ඉඳන් ඉස්සරහට වෙච්ච දේවල් සාරාංශ කරලා ලියන්න තමයි උත්සාහ කරන්නේ.

      Delete
  15. නොතේරෙන කවියක් කියවන්න වරම් නැද්ද අපිට ??

    ReplyDelete
  16. ඔන්න කියවල ඉවර කළා. යුදෙව්වන් ගැන කතිකාවත පටන් ගත්ත දවසේ ඉඳන් ඒ ගැන ලියපු ලිපි හැම තැනම බැලුව. කතාව නම් හොඳයි. නමුත් අපේ රටේ මිනිස්සු අපේ රටේ අතීතය ගැනත් හිතනවානම් කොච්චර දෙයක්ද . :) අපේ අතීතය නොදැන ඉන්න මිනිස්සුන්ට වෙන්නේ තමන් ඉන්න තැන ළඟදීම නැති වෙන එක.
    සෑහෙන්න දේවල් මග ඇරිලා මට. ඉස්සරහට බලන්නම්කෝ... ;)

    ReplyDelete
    Replies
    1. ඇපල්ව කාලෙකට පස්සේ දැක්කේ. ඒක තමා ඇත්තම කියනවනම් මේ යුදෙව්වොන්ට මගේ හිත යටින් කැමැත්තක් තියනවා. ජාතියක් හැටියට උන් හරිම එකමුතුයි නේද :)

      Delete
  17. මේ වගේ ලිපි වලින් ඒ ගැන උනන්දුව වැඩි වෙනවා. ඉතිහාසය ඉගෙන ගෙන නැති වුණත්, හරිම ආසා විෂයයක්. සයුරිගේ සහ හැසිතගේ ලිපි පෙළ නම් වරද්දන්නෙ නැතිව බලනවා. හැරීගේ ඒවා මට මිස් වෙනවා බ්ලොග් රෝලේ අප්සෙට් එකක් නිසා. අඩුම ගානේ මගේ පොස්ට් වත් බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙන්නේ නෑ. මං මේ දවස් වල ඒකට විසඳුමක් හොය-හොයා ඉන්නේ. :)

    ReplyDelete
    Replies
    1. හප්පා ඔය බ්ලොග් රෝලේ කේස් එකක් ආවොත්නම් විනාසයි තමයි සුදීකයියේ.

      බොහොම ස්තුතියි උනන්දුවෙන් ඒ ලිපි බලනවට :)

      Delete
  18. කාලෙකින් කම්මැලිකම පැත්තකට දාලා කියවන්න “සිද්ධ උන“ ලිපියක්.. බොහෝම ස්තූතියි මහන්සි වෙලා මෙහෙම විස්තරයක් ලිව්වට..විශේෂයෙන්ම සිංහලෙන් මේ වගේ සම්බන්ධ තොරතුරු කියවන්න හම්බවෙනවා අඩු කාලෙක...

    ReplyDelete
    Replies
    1. //සිද්ධ උන“ ලිපියක්//

      හප්පේ :)

      එහෙනම් ඔන්න කම්මැලි නැතුව මේක කියෙව්වටත් ස්තුතියි මාරයියේ

      Delete
  19. සෑහෙන්න වටින ලිපියක්, නොදන්නා තොරතුරු ගොඩක් තියෙනවා, එක හුස්මට කියවගෙන ගියා, මේ වගේ ලිපි නම් සෑහෙන්න වටිනවා, ගොඩක් ස්තුතියි මේ වගේ ලිපි ලියන එකට. ලෝකය ගවේෂණය කරගෙන යනකොට නොදන්නා දේවල් කොච්චර එලියට පනිනවද? නියමයි.

    ReplyDelete
    Replies
    1. සොමියා, සාදරයෙන් පිලිගන්නවා පහන්යාය ට. ඇත්තටම ඔව්, ලෝකේ මෙච්චර කාලෙකට වෙච්ච දේවල් හරිම සිත් ගන්නා සුළු දේවල් තියනවා.

      Delete
  20. niyamayi post eka ah....kiyawanna nam beri wuna welawak nethi handa,passe ewith kiyawanawa....IDF eka karana wede hariyatama hari...othana sampuurna weredda hamas ewungeyi fatah ewungeyi....un yana thena iwaratama iwarayi .....nethi karalama daanna one...neththang maara wadayk wenneh issrahata...IDF ekata man podi kaale indang aasayi...issara mata pissu hedila hitiye :D egollonge SF eka thama denata thiyena hondama eka kiyala kiyanneh...jewish minissu kohomath kaatawath karadarayk nethuwa inna minissu....meh hamas,fatah,ISIS wage pissonwa iwara karala daana tharamata hemotama hondayi...kaalekin meh peththe awe :D...thawa liyamu meh subject eka genama :D

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ එල කොල්ලෝ. මටත් මේ මිනිස්සු ගැන අනුකම්පාවක් වගේම හිත යටින් මොකද්දෝ කැමැත්තකුත් තියනවා තමා. කොච්චර තැලිච්ච පොඩි වෙච්ච ජාතියක්ද?

      Delete
  21. පරක්කු උනාට සොරි හොඳේ.. කෝච්චිය පරක්කු උනා.. :
    මම ඇත්තටම 7 වසර වෙනකල් හිතන් හිටියේ ඊශ්‍රායලය මුස්ලිම් කියල.. පස්සේ තමා දැනගත්තේ එක ක්‍රිස්තියානි කියල.. මොනා උනත් ඉගෙනගත්ත ඉතිහාසය ආපහු මතක් කරාට ස්තුතියි!!

    ReplyDelete
    Replies
    1. අහ් ඒකට කමක් නෑ අඟහරුවෝ. ඇත්තටම ඊශ්රායලය ක්රිස්තියානිත් නෙමේ. එයාලා ජුදා කට්ටිය. ක්‍රිස්තියානින්ගේත් ආදිතමයෝ.

      Delete
  22. සයුරිගෙ ලිපි සෑහෙන්න පෝසත්. ගොඩක් මහන්සි වෙනවා වගේම මධ්‍යස්තයි. ජයවේවා.....දිගටම එනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රිට්ටානයිදේ...ඔන්න සාදරයෙන් පිලිගන්නවා එහෙනම් ඈ.

      Delete
  23. 1. //හරී කියලා හරිම ඇක්ටිව් විදියට බ්ලොග් පෝස්ට් දාන එක්කෙනෙක් ඉන්නේ// මම් ගැන හරියටම කියලා තැන්ක් යූ.. ;)

    2. //මුස්ලිමුන් පැවතෙන්නේ ඉෂ්මයෙල් ගෙන් කියලයි කියන්නේ. ෆැමිලි ට්‍රී එකේ මේ අත්ත ගැන එච්චර හොයන්න බැරි වෙච්ච නිසා ඒ ගැනනම් වැඩිය කියන්න දන්නේ නැහැ. පස්සේ වෙලාවක ඒ ගැනත් හොයලා බලන්න ආසාවෙන් තමා ඉන්නේ.// මේක ඇත්තමදැයි කියන එක සැක සහිතයි. එක පාරක් මම මේ ගැන හොයන්න උත්සාහ කළා. හම්බුනේ නෑ.

    3.//කිසිම ගෝත්‍රයකට අයිති නොවෙන බිම් කඩක් ඒ සඳහා සුදුසුයි කියලා ඔහු හිතුවා.// මම දන්න හැටියට ඊශ්‍රායෙල් වල යම් යම් නගර අයිති උනේ පූජකයන්වූ ලෙවී ගෝත්‍රිකයන්ට. ඉතින් කාටවත් අයිති නෑ කියලා කියන්න බෑ..

    4.// අර කලින් ගෝත්‍ර 10 ක් වාසය කරපු උතුරු කොටස අසිරියාවට යටත් උන තැන ඉඳලා ඔවුන්ට සිදු වෙච්ච දේ ගැන හරි හැටි තොරතුරක් හොයා ගන්න බැරි උනා. // මේගොල්ලො වෙන්න ඇති ලෝකයේ තැනින් තැන විසිරිච්ච ඊශ්‍රායෙල් ජාතිකයෝ. මම දැන් කියාගෙන යන තෝබිත්ගෙ කතාවෙ තෝබිත් කියන චරිතයත් මේ විදිහට වෙනත් රටක පදිංචි වී සිටින්නෙක්..

    5. //රෝමානුවන් හරහා එය යුරෝපයට පැතිරෙන්න ඇති.// ජේසුස් වහන්සේ මිය යන විටා එතුමන්ට අනුගාමිකයෝ බොහෝ දෙනෙක් සිටියා. එතුමාගේ අනුගාමිකඕ දහම ව්‍යාප්ත කරන අරමුණින් රටවලට යෑමෙන් තමයි ලෝකෙ පුරා කිතුනු දහම ව්‍යාපත උනේ. අපේ අසල්වැසි ඉන්දියාවට ඇවිත් තියෙන්නෙ ක්‍රි.ව. 52දි.

    6.මට දුන්න පබ්ලිසිටියටත් තැන්ක් යූ.. කරුණු ඉතාමත් ලස්සනට සාරාංශ ගත කරලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ආ පබ්ලිසිටි නොදී කොහොමද ඉතින්...සුදුස්සාට සුදුසු පබ්ලිසිටිය ලැබිය යුතුයි :D

      ඔය ඉෂ්මයෙල්ගේ විස්තර ඊ ළඟ ලිපියේ මම දානවා හරී. සෑහෙන විස්තර ටිකක් ලැබුනා. ඔය තියෙන්නේ විකි එක http://en.wikipedia.org/wiki/Ishmael

      //ඉතින් කාටවත් අයිති නෑ කියලා කියන්න බෑ//
      මම හිතන්නේ මම පාවිච්චි කරපු වචන වලින් වැරදි අදහසක් එන්නේ. මට කියන්න ඕන උනේ "කාටවත් අයිති නෑ" කියන එක නෙමේ. අර ස්ටේට් දොළහෙන් කිසිම එකකට අයිති නොවන විදියට බිම් කඩක් වෙන් කරගත්තා කියන එක. ඇමරිකාවේ අග නුවර වෙච්ච වොශින්ග්ටන් DC බිහි උනෙත් එහෙමයි. ඒක කිසිම ස්ටේට් එකකට අයිති නැති නගරයක්.

      //මේගොල්ලො වෙන්න ඇති ලෝකයේ තැනින් තැන විසිරිච්ච ඊශ්‍රායෙල් ජාතිකයෝ//
      වෙන්න ඇති නේද. මම 10 lost tribes කියලා documentryයක් බැලුවා. ඒකෙ හැටියට ඔවුන් ප්‍රංශය, රුසියාව, ඉතාලිය වගේ රටවල් වලට ගිහින් පදිංචි වෙනවා. හැබැයි ජුදා ගෝත්‍රයේ අය කළා වගේ ඒ අයගේ සිරිත් විරිත්, ආගම දිගටම පවත්වාගෙන යාමක් සිද්ධ වෙලා නැහැ.

      //එතුමාගේ අනුගාමිකඕ දහම ව්‍යාප්ත කරන අරමුණින් රටවලට යෑමෙන්//
      එතකොට මේ අනුගාමිකයින්ට අයිති වෙන්නේ ජුදා ගෝත්‍රයේ අයම විතරද නැත්නම් රෝමන්වරුත් ඉන්න ඇතිද? ඒ කාලේ රෝම අධිරාජ්‍යයට යටත් වෙලානේ තිබුනේ ජුදයාව. මට නිකමට හිතුනේ පාප් වහන්සේ, වතිකානුව වගේ දේවල් රෝමයට අනුබද්ධ උනේ අනිත් රටවලට වඩා වේගයෙන් ආගම රෝමයට පැතිරිලා ඔවුන් වඩාත් ඉක්මනින් ආගම වැළඳ ගත්ත නිසා වෙන්න ඇති කියලා.

      Delete
    2. දාපු කමෙන්ටුව මොක්කුද කාලා.. :( රෝමය කතෝලික සභාවේ මූලස්ථානය උනේ ගෝළයන්ගේ නායකයා වෙච්චි පේදුරු තුමා රෝමය මූලික කරගෙන ධර්ම ප්‍රචාරය කළ නිසා. පස්සෙ රෝමානු අධිරාජ්‍යයා කතෝලික වීමත් එක්ක කතෝලික ආගමට විශාල වරප්‍රසාද ලැබුනා.

      Delete
    3. පේදුරුතුමා රෝමෙට එද්දි රෝමෙ උන්නෙ කොන්ස්තන්තීනු අධිරාජ්යා,මිනිහා පේදුරුතුමාට රෝමෙන් අයිනක තිබ්බ වගුරුබිමක දහම ප්‍රචාරය කරන්න ඉඩ දුන්නා,,ඒ තමා ඔය වතිකානුව..එතන ඉදන් තමා ක්‍රිස්තියානි ආගම රෝමෙ ඉදන් පැතිරුනේ..
      රෝමන්වරුත් දහම ප්‍රචාරය කලා පාවුලුතුමා වගේ අය,,එයා රෝම හමුදාවේ දක්ශ සොල්දාදුවෙක්

      Delete

Related Posts Plugin for WordPress, Blogger...