Sunday, March 12, 2017

අතීතයේ සෙවනැළි අවදි වන "යොසමිටි" නිම්නය


"යොසමිටි" කියන නම මුලින්ම ඇහුනහම මට හිතුනේ "ඒක හරිම ලස්සන නමක්" කියන එක විතරයි. ඒ, ඒක හැබැහින් දකින්න කලින්. ඉතිං මේ ලස්සන නමක් තියන ජාතික උද්‍යානය දැක ගැනීමේ වාසනාව අපිටත් ලැබුණා මාස ගණනකට කලින්. 

ඒ ගමනට පස්සේ, "යොසමිටි" කියන නම ඇහෙද්දී මට දැනෙන්නේ විස්තර කරන්න බැරි අමුතුම හැඟීමක්. ඒක වචනෙන් කියන්න අමාරුයි. "මිනිසා" කියන සතා කුහුඹුවෙකුගේ තරමට ඇද දමන සොබා දහම ගැන බිය මුසු ගෞරවයකුත් තවත් මොකක්දෝ සියුම් දුක්මුසු හැඟීමකුත් එතන තියනවා. සමහර විට ලිපිය අවසන් වෙද්දී ඔයාලට තේරෙයි ඒකට හේතුව. 

                                              ~~~~~~~~~~~~~~~~~

යොසමිටි කියන්නේ හඳ අල්ලපු රටේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි ජාතික උද්‍යානයක්. "සියෙරා නෙවාඩා" කියන කඳු පන්තියේ තමයි මේක පිහිටලා තියෙන්නේ. ඉතින් යොසමිටි වෙත ලඟා වෙන්න අර කඳු පන්තිය තරණය කරන්න ඕනේ.  මුලින්ම කියන්න ඕන දෙයක් තියනවා. කවුරු හරි එහෙ යන්න අදහසක් තියනම් මීදුම/හිම සහිත රැයක් නම් තෝරගන්න එපා (අපි කළා වගේ). ඇඟේ ලේ කඳුලක් ඉතිරි වෙන්නේ නෑ යොසමිටි වලට යද්දි. මෙන්න මේ වගේ පටු පාරවල් වල, ගොඩක් තැන්වල ආරක්ෂක බැමිත් නැතිව, එහා පැත්තෙන් අඩි දාස් ගානක පල්ලමකුත් එක්ක කරුවලේ මීදුම අස්සෙන් යනකොට කොහොමද කියල හිතා ගන්නකො.   



ඉතින් කොහොමින් කොහොම හරි කරුවලේම යොසමිටිවල නවාතැනට ගියා කියමුකො.  පාඩුවක් නැහැ. ඊ ළඟ දවසේ, මිනිසුන්ගේ "පා සටහන් වලින් පමණක්" අපවිත්‍ර වුණු බිම් කඩක්, සොබා දම ඈත කඳු මුදුනක සඟවපු පිවිතුරු වස්තුවක්, එනම් "යොසමිටි නිම්නය" දැක ගන්න අපේ ඇස් පිං කරලා තිබුණා.  




මං මුලින්ම කිව්වනේ "යොසමිටි" කියන්නෙ හරි ලස්සන නමක් කියලා. ඒක රතු ඉන්දියානු වචනයක්. ඔන්න ඔතනින් තමයි අර මම කියපු දුක්මුසු හැඟීමට හේතුව එන්නේ. මේ ප්‍රදේශයේ  ආදි කාලේ ජීවත් වෙච්ච රතු ඉන්දියානු ගෝත්‍රයේ නම තමයි යොසමිටි කියන්නේ. සුද්දෝ ඔවුන්ව මේ නිම්නයෙන් එළවලා දාද්දි ඒකට යොසමිටි කියලා නම දුන්නලු. 

යෝධයින් වගේ අහසට නැගුණු මේ කඳු මුදුන් දකින කොට මට හිතුනෙම ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ ආත්ම තවමත් මෙහි සැරි සරනවා ඇති. ඔවුන්ගේ සොඳුරු නිජ බිම ආරක්‍ෂා කරනවා ඇති. 



රතු ඉන්දියානු නායකයෙකු වූ සියැටල් ගැනනම් නොදන්න කෙනෙක් නැතුව ඇති. ඔහු එවකට ඇමරිකානු ජනාධිපතිට යැවූ පිළිතුරු ලියුම ගැනත් නොදන්නා කෙනෙක් නැහැ වෙන්න ඕන.

මහ පොළොවෙන් ඉහළට නගින්නා වූ උණුහුමත් අහස් ගැබත් මිලදී ගන්නේ කෙසේද 
සුළගේ වූ නැවුම් බවත් ජලයේ වූ දිදුලන කාන්තියත් අපට අයත් නොවේ නම් ඒවා මිල කිරීමට හෝ මිල දී ගැනීමට ඔබට හෝ අපට හැකියාවක් නොමැත.

දේවදාර ගසක දිළිසෙන සෑම කිනිත්තක්මවැලි තලාවලින් සපිරුණු සෑම වෙරළක්මඅඳුරු වන ගැබ තුළ වූ සෑම මීදුම් වළාවක්මසෑම එළිමහනක්මගුම් නද නගන සෑම කුඩා ප‍්‍රාණියෙක්ම ද මාගේ මිනිස්සුන්ගේ පූජනීය මතකයන් සහ අත්දැකීම් වෙති.




මේ ගංගා දිගේ ගලා බසින්නේ හුදු ජලයම නොවේ. අපේ මුතුන් මිත්තන්ගේ රුධිරය යි. මේ ජලය නගන මිමිණුම මගේ මුතුන් මිත්තන්ගේ කටහඬයි.පොකුණු දිය කඳ මත පතිත වන සෑම අඳුරු ඡායාවක්ම මගේ වර්ගයා ගේ ජීවන අත්දැකීම් හා අනුස්මරණ බැව් ඔබේ දරුවන්ට කියාදෙනු මැනවි. 



ඔබේ දරුවන් දෙපයින් නැගී සිටින මේ පොළොව අපේ මුතුන් මිත්තන්ගේ භෂ්මාවශේෂයෙන් පෝෂණය වී ඇති බව ඔවුන්ට වටහා දෙන්න. මේ මහ පොළොව අපේ මවය. මේ මහ පොළොවට සිදු වන්නා වූ සෑම හොඳක්ම හෝ නරකක් ම එහි දරුවන්ට ද උරුම වන්නේය.




















අන්තිම රතු මිනිසාත් මේ මහපොළොවෙන් සමුගත් කල ඔහුගේ මතකයන් තණබිම් මතින් හමා යන වළාකුළක සෙවණැල්ලක් මෙන් වනු ඇත.මුහුදු වෙරළ සහ වනාන්තර තවදුරටත් මාගේ මිනිස්සුන් පිළිබඳ මතකයන් දරා ගෙන සිටිනු ඇත. 


ඔව් මේ නිම්නය පුරාවටම ඇහෙන්නේ ඒ ආදී වාසීන්ගේ දුක්බර කතන්දරය තමයි. මේ උස් තුරු මුදුන්, ගිරි ශිඛර අතීතයේ සිද්ධ වෙච්ච ඒ අකටයුත්තට සාක්ෂි දරනවා ඇති. ඒත් ඒ අවනඩුව කෙදිනවත් උසාවියකට නෑවිත්ම මේ සොබාදමත් එක්කම මියැදෙනවා ඇති. එතෙක්, අතීතයේ වැළලුනු ඒ මුතුන් මිත්තන් මේ පිවිතුරු භූමිය රැක ගන්නවා ඇති...ඔවුන්ට හැකි තාක් කල්...

ප. ලි. - පොටෝ ටිකේ ක්‍රෙඩිට් එක සයුරු ට දෙන්ට ඕනේ. අපේ පොටෝග්‍රපර් ඉතින් එයා නේ. 

17 comments:

  1. ලිපිය කියවද්දි, පින්තූර දකිද්දි ඒ සොබාදහමේ විස්මිත අසිරිය එක්කම ඒ දුක්මුසු හැඟීම මාවත් වෙලාගත්තා වගේ....


    ස්තූතියි සයුරිටත්.. සයුරුටත්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තරු අක්කා. ඇත්තෙන්ම මෙහෙම සුන්දර දෙයක් දකිද්දි දුකක් දැනෙන හැටි..පුදුමයි නේද

      Delete
  2. ඒ ගොල්ලෝ කම්කරු වෙන්න ඇති නේද ?

    ලස්සන පැත්ත.. මොන එහෙකට ගියාද ඔය මීදුම බානකොට...මොනා හරි වුනානම් සිංහල ඉතිහාසයත් එක තැන පල්වෙනවා..( දැන් කියලත් මහලොකු වෙනසක් තියෙන එකක් යැයි. හෙහ් )

    ReplyDelete
    Replies
    1. හෑ කම්කරු? ඒම නෑ ළමයා, ඒ අය හරිම අභිමානවත් උදවිය. :))

      සිරාවටම සෙන්නයියේ හවස පහ වෙද්දි කරුවල වැටුනා මී දුමත් එක්ක. නොහිතපු දෙයක් උනේ. ඊ ළඟ දවසේ අපි ආපහු එද්දී ජීප් එකක් වැටිලා පල්ලමට. ගස් දෙකක් අස්සේ රැඳිලා නැවතිලා. පාරක් රේන්ජර්ස් ලා ඇවිත් ගොඩ ගන්න හදනවා. තව පොඩ්ඩෙන් හැතැම්ම ගානක පල්ලමට වැටෙන්නේ.

      //දැන් කියලත් මහලොකු වෙනසක් තියෙන එකක් යැයි//
      ඔය කිව්වේ :D මේ අවුරුද්දට පෝස්ට් 4ක් ම දැම්මා

      Delete
    2. ඔන්න බලන්න ඉතින්..! ඇයි කම්කරු අය අභිමානවත් නැද්ද ? ඇමරිකාවෙ හිටියත් හදවතින්ම ශ්‍රී ලාංකිකයි නේද ?

      මම කිව්වේ මෙහෙ ඉන්න මොට්ට මෝල් දෙසපාලුවෙක් කියපු කතාවක්..."මිටි නම් කම්කරු"

      Delete
    3. අහා ඒකද මේ? එහෙනම් ඉතින් සිකුරුටි කියලා කියමුකො

      Delete
    4. සෙන්නෝ, මට දැන් නේ මේක තේරුනේ

      //ඇමරිකාවෙ හිටියත් හදවතින්ම ශ්‍රී ලාංකිකයි නේද//

      අයියෝ බන් අයියේ කම්කරු කියන එක පහත් කරා නෙමෙයි. මට හිතෙන හැටියට නම් පඩියක් අරන් වැඩ කරන ඕන කෙනෙක් කම්කරුවෙක් තමා.

      අභිමානවත් කියන එකෙන් මට කියන්න ඕන උනේ තමන්ගේ නිජ බිම කොල්ල කාපු සුද්දොන්ගෙන් පඩි අරන් වැඩ කරන එක රතු ඉන්දියන් ජාතියට මදි කමක් කියන එක :)

      Delete
  3. බොහො කදිමයි ළමයිනේ

    ReplyDelete
  4. ලස්සන පරිසරයක්.මට නම් පින්තුර දැක්කාම බියක් දැනෙන්නේ නැහැ.හුදකලා වෙච්චි සොබා දහම ගැන ලස්සන චිත්‍රයක් මැවෙන්නේ.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ බයක් නෙමේ මනෝජ්. බිය මුසු ගෞරවයක්. හරියට ටීච කෙනෙක්ට තියනවා වගේ එකක් :D

      Delete
  5. කියවා ගැඹුරු සුසුමක් හෙලුවෙමි.

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් වෙන මොනවා කරන්නද, නේද ? :(

      Delete
  6. අද තමයි සයුරිගෙ පෝස්ට් ඔක්කොම කියවල ඉවර කලේ..... මෙච්චර වටින බ්ලොග් එක පාලුවට යන්න දෙන්නෙ නැතුව රාජ වලියෙ ඊලඟ කෑල්ල ඉක්මනටම දාන්න කියල ඉල්ලා සිටිනවා....

    ReplyDelete
    Replies
    1. හප්පේ ඔක්කොම කියෙව්වනම් කොච්චර සතුටක් ද ඒක. රාජ වලිය කොහොම හරි ලියලා ඉවර කරනවා කියලා හිතාගත්තා. කට්ටිය බැලුවත් නැතත් :D තව කෑල්ලක් ඉක්මනට ලියන්නම්කො.

      Delete
    2. ඒක නෙමේ, iGnEoUs නම දිගේ ගියාට ප්‍රොෆයිල් එකේ බ්ලොග් එකක්නම් පෙන්නන්නේ නැහැ. ඒ කියන්නේ මේ ප්‍රේක්ෂකයෙක් විතරද? ලියන්නේ නැද්ද? :)

      Delete
  7. මේ දවස් වල නම් කියවන්නත් වෙලාව හොයා ගන්නෙ ගොඩාක් අමාරුවෙන්.... බලමුකො පස්සෙ කාලෙක වත් මොනා හරි ලියන්න... එතකං ඉතිං ප්‍රේක්ෂක ජනතාව විදියට දෑස් දල්වා බලා සිටිනව අලුත් පෝස්ට් එකක් දානකම් ;)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...