Wednesday, March 8, 2017

රාජසිංහ දෙවි නාමෙත් මැකුණා ය - රාජාවලිය XLI

අපි කතා කර කර හිටියේ රූකඩ රජෙක් වෙච්ච ධර්මපාල රජතුමා "දොන් ජුවන් ධර්මපාල" නමින් බෞතීස්ම වෙච්ච හැටි නේ. ඒ විතරක් නෙමෙයි, එතුමාගේ දේවියත් ඒත් එක්කම බෞතීස්ම උනා.

රජුගේ මේ කිතු දහම වැළඳ ගැනීම ගැනනම් සෙසු රට වැසියා කණස්සල්ලට පත් වෙනවා. වැඩි දෙනෙක් සීතාවකට ගොස් මායාදුන්නේ ට සහය දක්වනවා. ඉතින් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන මායාදුන්නේ සහ ටිකිරි බණ්ඩාර කුමාරයා ආපහු සැරයක් කෝට්ටේ අල්ලගන්න ආවත් ඒක සාර්ථක වෙන්නේ නැහැ.

මේ අතරේ පෘතුගිසින්ට උවමනා වෙනවා යාපනයත් අල්ලා ගන්න. ඒ වෙද්දි යාපනේ රජ කළේ සංකිලි රජතුමා නේ. ඉතින් ක්‍රි. ව. 1560 දී  යාපනේට යන පෘතුගීසි හමුදාව හමුවේ සංකිලි රජු පසු බැහැලා ඔවුන් එක්ක එකගතාවයකට එන්න ලිපි හුවමාරු කරන අතරේ පෘතුගීසින්ගේ පීඩන දරා ගැනීමට අමාරු වූ සාමාන්‍ය ජනයා කැරලි ගසා පෘතුගීසින් මරා දැමීමට පටන් ගන්නවා. මේ නිසා එතනින් පළා යන පෘතුගීසින් මන්නාරමේ බල කොටුවක් ඉදි කරනවා.

ක්‍රි. ව. 1562 දී මුල්ලේරියා සටන සිදු වන්නේ මේ අතරතුර. සීතාවකට පහර දීමට පැමිණි පෘතුගීසි සේනාව මුල්ලේරියාව ප්‍රදේශයේදී පරාජය කොට 1600 ක් පෘතුගීසීන් මරා දැමීමට සීතාවක ටිකිරි කුමරුට හැකි වෙනවා. පෘතුගීසින් ට නොසිතූ විරූ අන්ත පරාජයක් ලබා දුන් මේ මුල්ලේරියා සටන සිංහල ඉතිහාසයේ අභිමානවත් සිදු වීමක් ළෙස සැළකෙනවා. ඔහුට රාජසිංහ යන අන්වර්ථ නම ලැබෙන්නෙත් මේ දස්කම් නිසාමයි. මේ තියෙන්නේ හංවැල්ලේ පිහිටා තියෙන ටිකිරිබණ්ඩාර කුමාරයාගේ පිළිරුව.



ඉතින් පසුව ටිකිරිබණ්ඩාර කුමාරයා කොලඹ සහ කෝට්ටේ පෘතුගීසීන්ට එකවර පහර දෙන්න ශක්තිමත් සේනාවක් සමග එනවා. දරුණු සටනකට පසු කැලණියත් අත්පත් කරගෙන කෝට්ටේ නගරය වටලනවා. කෝට්ටේ ජනතාවත් ටිකිරිබණ්ඩාර ට එකතු වීම නිසා කෝට්ටේ නගරය අතහරින පෘතුගීසීන් ධර්මපාල රජුත් අනෙක් නිලධාරීනුත් ගෙන කොලඹට පළා යනවා. මේ නිසා කොලඹ හැර අනෙක් සියළු පහතරට ප්‍රදේශ මායාදුන්නේ රජුට අයිති වෙනවා. ඒ තමා කෝට්ටේ රාජධානියේ අවසානය.

ධර්මපාල රජතුමා පෘතුගීසීන්ගේ රූකඩයක් ළෙස ජීවත් උනත් තවමත් ඔටුන්නේ අයිතිය ඇති නිසා ඔහුට පක්ශපාතී ජනතාවකුත් සිටිනවා. මේ නිසා මායාදුන්නේට ඕන වෙනවා ඔහු මරවන්න. පෘතුගීසියෙක්ට අල්ලසක් දෙන ඔහු විෂ පානයක් දී එය රජුට පොවන ළෙස උපදෙස් දෙනවා. අල්ලස ගන්නා පෘතුගීසි නිලධාරියා විෂ පානය ඉවත හලා එයට මිදි යුෂ පුරවා රජුට දෙනවා. එහෙත් බඳුන පතුලේ ඉතිරි වී තිබූ විෂ ස්වල්පයක් නිසා රජු දරුණු ළෙස රෝගාතුර වෙනවා. මෙයින් එක්තැන් වෙන රජතුමා, තමන්ට දරුවනුත් නැති නිසා රජ කිරුළේ අයිතිය පෘතුගාලයේ රජුට පවරමින් ක්‍රි. ව. 1580 අගෝස්තු 12 වන දා ඔහුගේ අන්තිම කැමති පත්‍රය ලියනවා.

මේ අතර රාජසිංහ කුමරු කොලඹ කොටූවට පහර දීම අරඹනවා. ඉතා අසීරු ගමනකින් පසු කොලඹ වටලා පෘතුගීසීන්ගේ ආහාර සැපයුම් කපා හැර ඔවුන්ව ඉතා අසරණ තත්ත්වයකට පත් කිරීමට ඔහු සමත් වෙනවා. පෘතුගීසීන්ට ආහාර සපයා ගැනීමට තිබූ එකම මාර්ගය උනේ මුහුදින් යාත්‍රා කර අනෙක් මුහුදුබඩ නගර කොල්ල කෑම විතරයි. මේ කාලයේ ඔවුන් බල්ලන් හා බළලුන්ගේ මසුත් කෑ බව ජනප්‍රවාදයේ එනවා.


නිතර නිතර සීතාවක රණ බෙර වැයුණා
කොලඹ කොටූවෙ බළල් මසුත් ගිනි ගණන් උනා
පරන්ගි දේසේ රජුටත් මර උණ ගැනුණා
රාජසින්හ සිරි නාමේ ලොවේ රජ උණා

මේ විදියට අවුරුද්දකුත් මාස දහයක් ඔවුන්ව වටලාගෙන සිටියාට පසු නොසිතූ ළෙස විදේශ ආධාර ලෑබීම නිසා පෘතුගීසීන් ශක්තිමත් වෙනවා. ඉතින් ඔහුට පලා ඒමට සිදු වෙනවා.

මේ වෙද්දී මායාදුන්නේගේ මරණයත් සිද්ධ වෙනවා.එනිසා ටිකිරි කුමරු "රාජසිංහ I" (ක්‍රි. ව. 1581 - 1593) නමින් සීතාවක රජු බවට පත් වෙනවා. අවුරුදු 12 ක් තරම් කුඩා වයසකදී ම අණ දෙන නිලධාරියෙක් ළෙස කටයුතු කරන මේ රාජසිංහ (ටිකිරි බණ්ඩාර) කුමරු සින්හලේ සැබෑ රණ ශූරයෙකු ළෙසයි සැළකෙන්නේ.

කටේ කිරි සුවද යන්නට පවා බැරි වුණා
යුධට උපන් කුමරිඳු යැයි නමක් ඇති වුණා
මුල්ලේරියා වෙලේ වතුර ලෙයට හැරවුණා
ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ වුණා

ඉන් පස්සේ රාජසිංහ රජුගේ අභිප්‍රාය උනේ කන්දේ උඩරට රාජධානිය අල්ලා ගැනීම. ඒ වෙද්දී උඩරට රජ කළේ"කරලියද්දේ බණ්ඩාර". ඔහුත් පෘතුගීසින් එක්ක සබඳතා පවත්වපු කෙනෙක්. කරලියද්දේ බණ්ඩාරගේ ඇමතියෙක් වන"වීරසුරේන්ද්‍ර" මේ වෙලාවෙදි රාජසිංහ රජුගේ පැත්ත ගන්නවා.  ඉතින් විශාල සේනාවක් සමග උඩරට බලා යන රාජසිංහ රජු "බලන" ප්‍රදේශයේදී උඩරට සේනාව වට කර පහර දීම නිසා කරලියද්දේ බණ්ඩාර ත්‍රිකුණාමලයේ පෘතුගීසින් වෙත පලා යනවා. උඩරට රාජධානියත් අයත් කර ගන්නා රාජසිංහ රජු එහි පාලනය වීරසුරේන්ද්‍ර ට බාර දෙනවා. ඒ තමා සීතාවක රාජධාණියේ උච්ඡතම අවස්තාව.

කරලියද්දේ බණ්ඩාර එහිදී කිතු දහම වැළදගෙන ඇති අතර ටික කලකින් වසූරිය රෝගය නිසා මිය යනවා. ඔහුගේ ලාබාළ දියණිය වන"කුසුමාසන දේවිය" ත් "දෝන කතිරිනා" නමිනුත් ඔහුගේ බෑනා වන"යමසිංහ" කුමරු "දොන් පිලිප්"නමිනුත්  බෞතීස්ම කරනවා. මේ රාජ උරුමය හිමි කුමරාට සහ කුමාරිකාවට පෘතුගීසින් හොඳ අධ්‍යාපනයක් ලබා දෙනවා.

උඩරට යටත් කර ගැනීමෙන් පස්සේ රාජසිංහ රජුට නැවතත් කොලඹට පහර දෙන්න ඕනෑ වෙනවා. ඊට කලින් ආරක්ෂාකාරී පියවරක් විදිහට ඔහුගේ සතුරන් යැයි සිතූ සියළු දෙනා මරවනවා. කොටින්ම වීරසුන්දරත් බොරු වලක දමා මරවනවා. රජුට විරුද්ධව උඩරට ඇති වෙන නොසන්සුන් තත්වයක් නිසා එයට වීරසුරේන්ද්‍ර සැකකරපු නිසා තමයි එහෙම කරන්නේ. මේ වීරසුන්දර ගේ පුතා තමයි "කොනප්පු බණ්ඩාර". ඉතින් ඔහුත් පෘතුගීසීන් ළගට පැන ගොස් "දොන් ජුවන්"නමින් බෞතීස්ම වෙනවා. මෙයින් නොනවතින රාජසිංහ රජු පෘතුගීසීන්ට අයත් ප්‍රදේශ කොල්ල කෑමටත් පටන් ගන්නවා. රජුගේ මේ නව ක්‍රියා කලාපය ගැන නොපහන් වෙන ඇතැම් අය රජුට වස දීමට පවා සැළසුම් කරනවා. ඉතින්නැවත නැවතත් කොළඹ ට පහර දුන්නත් හැම වතාවකදීම මුහුදින් ආධාර ලැබීම නිසා රාජසිංහ රජුට පසු බැසීමට සිදු වෙනවා.

මේ අතරේ පෘතුගීසින් මාන බලන්නේ උඩරට රාජ්‍ය ඔවුන් අතට ගැනීමට. එහි ඔටුන්නට නීත්‍යානුකූල හිමිකරුවෙකුත් ඔවුන්ට සිටිනවා. ඒ තමා යමසිංහ නොහොත් දොන් පිලිප්. ඉතින් ඔවුන් දොන් පිලිප් එක්ක ගිවිසුමකට එනවා මුලින් ඔහු උඩරට රජ කරවීමටත් ඔහුගෙන් පසු උඩරට රාජ්‍ය පෘතුගීසින්ට පැවරීමටත්. ඉතින් මේ සඳහා උඩරට ට යවපු සේනාවත් එක්ක දොන් ජුවන් එහෙම නැත්නම් රණ ශූරයෙක් වූ කොනප්පුබණ්ඩාරත් යවනවා.  මේ පිරිසට හැකි වෙනවා ගොන්නොරුවේදී රාජසිංහ රජුගේ සේනාව පරදවා උඩරට ට ඇතුළු වෙන්න.

මේ ආකාරයට දොන් පිලිප්ට උඩරට සිහසුන ලැබුන පසු පෘතුගීසින් උඩරට ක්‍රිස්තියානි පල්ලියක් සාදා සිංහලුන් ඒ ආගමට හරවා ගැනීම අරඹනවා. මේ ගැන ජනතාව විතරක් නෙමෙයි, කොනප්පු බණ්ඩාරත් අප්‍රසාදයට පත් වෙනවා. මේ අතරේ තමයි දොන් පිලිප් මරණයට පත් වෙන්නේ. කොනප්පු බණ්ඩාර වස දුන් නිසා එය සිදු වුන බව ඇතැම් තැනක සඳහන් වෙනවා. කෙසේ හෝ පෘතුගීසි හමුදාවත් උඩරටින් පන්නා දමා නැවත බුදු දහම වැළඳ ගන්නා කොනප්පුබණ්ඩාර "විමලධර්මසූරිය I" (ක්‍රි. ව. 1590 - 1604) නමින් උඩරට සිහසුනේ ඉඳ ගන්නවා.

මේ කන්ද උඩරට අළුත් රජුට එරෙහිව සීතාවක රාජසිංහ රජතුමා සටනක් දියත් කළත් බලන දුර්ගයේදී විමලධර්මසූරිය රජුගෙන් පරාජයට පත් වෙනවා. එසේ පැරදී නැවත සීතාවකට එන ගමනේදී ඔවුන් "පෙතන්ගොඩ" නම් උයනේ නවතිනවා. ඒ වෙලාවේදී උණ කටුවක් රාජසිංහ රජුගේ කකුලේ ඇනෙනවා. මේ උණ වර්ගය අද ලංකාවේ දකින්න ලැබෙන්නේ පෙතන්ගොඩ උයනේ විතරයි ලු. ඒවාත් අද මිය යමින් පවතිනවා ලු.





මෙයින් ඇතිවන තුවාලය පැසවීම නිසා රජතුමා අතරමගදීම කළුරිය කරනවා. රජුගේ ක්‍රියාකලාපය නිසා නොසතුටුව සිටි ඔහුගේ ආරක්ෂකයින් තුවාලය තවත් පැසවීමට බෙහෙත් බැන්ද බවයි කියවෙන්නේ.

පහළ රූපයේ තියෙන්නේ අතරමගදීම මිහිදන් කළ  සීතාවක සිංහයා සැතපෙන  අවිස්සාවේල්ල ගුරුගොඩැල්ල පාරේ පිහිටි සොහොන යි. 


රුසිරු පෙතන්ගොඩ උයනට වැඩියා ය 
නපුරු උණ කටුව පතුලේ ඇනුනා   ය 
එක්ව සිටි සැවොම වට වී මතුළා   ය
රාජසිංහ දෙවි නාමේත් මැකුණා   ය 


14 comments:

  1. මං ඒත් කල්පොනා කළා බොලේ ඒ කාලෙත් උණ ක‍ටු තිබුනනම් හෙල වෛද්‍ය තාක්ෂණය සුපිරි දියුණු තත්ත්වයක තියෙන්න ඇති කියලා.. හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. හයියෝ ඉතින් :D
      මට දැන් මැවිලා පේනවා රාජසිංහ රජ්ජුරුවන්ගේ කකුලේ "උන කටුවක්" ඇනෙන හැටි

      Delete
  2. ලංකාවේ කාලකන්ණි යුගය උදා වෙන්නේ මේ කතා කරපු යුගයෙන් පස්සේ කියල තමයි මගේ අදහස...

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා, මේ ඉතිහාසේ පුරා තිබ්බ යුද්ධ ටික දිහා බලනකොට ඉතිහාසේම අප්සෙට් කියලා හිතෙනවා වෙලාවකට :(

      Delete
    2. ලොකු පුතා පසුකාලය පිළිබඳ කදිම විග්‍රහයක් කෙටි වැකියකින් ගෙන එන බව මගේ අදහස

      Delete
  3. අගනා ගෙත්තමක් වගේ සයුරී. ස්තුතියි. පළමු රාජසිංහයන් පිළිබඳව මෑත දී අනාවරණය වූ මූලාශ්‍ර මානියම්ගම විහාරයේ දී ලියැවුන බව කියවෙන මානියම්ගම පුස්කොල පොත සයුරිට කියවන්නට ලැබුණා නම් මේ චරිතය පිළිබදව තවත් බොහෝ දෑ මේ ගෙත්තම අලංකාර කරන්නට සමත්වනු නිසැකයි.

    ReplyDelete
    Replies
    1. මානියම්ගම් පුස්කොල පොත ගැන මම දැනගෙන හිටියේ නෑ. ඒත් ඉතින් එහෙම එකක් කියවන්න වාසනාවක් නෑ නේ අපිට. බොහොම ස්තුතියි ඒ ගැන කිව්වට

      Delete
    2. මේ පුස්කොල පොතේ පිටපතක් මහාචාර්ය රිසිමන් අමරසිංහයන් විසින් මුද්‍රණය කර ප්‍රකාශ කර තියනවා. ඒක ලොඩගේ ප්‍රකාශනයක් 1990 වසර. මේ පොත පමණක් නොව ඒ අවදියට අදාල පුස්කොල පොත් පහක පිටපත් එහි අඩංගුයි. පොතේ නම සීතාවක රාජසිංහ රාජ්ජ කාලය. සොයාගන බලන්න සයුරි

      Delete
    3. අහා ඒකනම් වටින ඔත්තුවක්. හොයාගන්න උත්සාහයක් දෙන්න ඕන.

      Delete
    4. ගොඩගේ ප්‍රකාශනයක් මිසක් ලොඩගේ නෙවෙයි වැරදීමක් වෙලා තියෙන්නෙ සයුරි සමා වෙන්ඩෝ

      Delete
    5. ඒක මම හිතුවා :) අවුලක් නැහැ

      Delete
  4. එකෙක්ව මරලා කුමන්ත්‍රණය කරලා තව එකෙක් රජ වුනාට එහෙම රජ වෙච්චි එකා හැම තිස්සෙම ඉඳලා තියෙන්නේ බියෙන් සැකෙන්.මොන ජීවිතද අප්පා මෙව්වා ...:D

    ReplyDelete
    Replies
    1. //මොන ජීවිතද අප්පා මෙව්වා//

      හිනාත් ගියා මට මේක දැකලා මනෝජ්. කියලා වැඩක් නම් නෑ

      Delete
  5. මම පහුගිය සතියේ කියෙව්වා සෝමපාල රණතුංගයන්ගේ 'ඇස් දෙක' ඓතිහාසික නවකතාව. සයුරි කියවලා තියෙනවද? ඒක ලියවිලා තියෙන්නේ මේ සීතාවක රාජසිංහයන්ගේ රාජ්‍ය කාලයත්, විමලධර්මසූරිය රජතුමා රජ වෙන කාලයත් පසුබිම් කරගෙන. ප්‍රධාන චරිත වෙන්නේ ඒ සටන්වලට මැදිහත් වන සෙනෙවිවරුන් කීපදෙනෙක් හා ඔවුන්ගේ පෙම්වතියන්. ඒක කියවලා ඉවරකරපු හැටියෙම හිතුණේ සයුරි මේ කාලය ගැන රාජාවලියේ ලියලා තියෙන විස්තර කියවන්න ඕනෙ කියලා. උදේ ඒක හොයන්න ආවම තමයි අර ටෙලි නාට්‍ය විස්තරේ දැක්කේ. :) ආයෙමත් වතාවක්, අපරාදේ කියලා හිතෙනවා සයුරි. මේ සිංහල වීරයන් එකිනෙකා එක්ක සටන් වදින්නේ නැතුව එකා වගේ හිටියානම්.

    ඊයෙ අපි අවිස්සාවෙල්ලේ ගියා. සිත්තරාගෙ ගම එහෙ මානියංගම කියලා මං කළින් දවසක කිව්වා නේද? අපි මානියංගම රජමහා විහාරෙටත් ගියා හවස. ඒ මං මුල්ම වතාවට ඒ විහාරෙට ගියේ. අනේ දුක හිතුණා විහාර ගේ දැක්කාම. වවුල්ලු ජරා කරලා. මේ ගුණසිංහ මහත්මයා කියලා තියෙන පොතවත් හොයාගෙන තව විස්තර හොයලා බලන්න ඕනෙ..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...