Thursday, January 25, 2018

මිරිස් වෙනුවට නයි මිරිස් - රාජාවලිය XLVII

දැන් කට්ටියට මතක ඇති නේ අපි ගිය පාර සිංහල රජ පෙළපතේ අවසානය ගැන කතා කළා. ඒ කියන්නේ නායක්කර් රජ පෙළපත ආරම්භ වෙච්ච හැටි. අපේ සිංහල රජවරුන්ගේ මධුරාවෙන් බිවසුන් ගෙන්නිමේ පුරුද්ද නිසා තමා එහෙම උනේ.



ඉතින් මුල්ම නායක්කර් රජතුමා වෙච්චි "ශ්‍රී විජය රාජසිංහ" රජ්ජුරුවෝ නායක්කර් උනත් බුදු දහම වැළඳ ගත්තා. ඒක ඉතින් රටේ නීතිය නේ. නීත්‍යානුකූල රජකම ලැබෙන්න නම් බෞද්ධයෙක් වෙන්න ඕන ලු. ඒ විතරක් නෙමෙයි, වැලිවිට සරණංකර හිමියන්ගෙන් ශිල්ප ඉගනගෙනත් තිබුනා ලු. බුදු දහම වැළඳ ගත්තා වගේම අනුග්‍රහයත් දක්වලා තියනවා. කොටින්ම දළදා ප්‍රදර්ශනයකුත් පැවැත්තුවා ලු. 

මේ රජතුමා ලන්දේසින් එක්කත් හරහට තමා වැඩ කරලා තියෙන්නේ. ලන්දේසීන්ට කුරුඳු ලබා දෙන්නේ නැතුව ස්වාධීනව වෙළඳාම කරගෙන ගියා ලු. ඒ කියන්නේ කලින් ලන්දේසින් එක්ක අත්සන් කරපු 1638 ගිවිසුම ට පිටින් වැඩ කරා කියන එක නේ. මේ නිසා ඒ ගිවිසුමත් බිඳ වැටෙනවා. මේ හින්දා ලන්දේසින් එක්ක ගැටුම් පවා ඇති උනා ලු. 

 හැබැයි මෙතුමා කරපු එක දෙයක් නිසා රාජ සභාවේ රදළයින් ගේ අප්‍රසාදයට ලක් වෙලා තියනවා. ඒ තමයි රාජ සභාවේ වැදගත් බලතල සියල්ලක්ම තමන්ගේ නෑයින්ට පවරපු එක. මේ සිංහල නායක්කර් සීතල බල අරගලය හින්දා පරිපාලනය ටිකෙන් ටික පරිහානියට පත් වෙන්න පටන් ගත්තා ලු. 

 කොහොම උනත් මෙතුමා ට රාජ්‍ය කරන්න වෙන්නේ අවුරුදු 8 යි. එතුමා ගේ මරණෙන් පස්සේ රජ වෙන්නේ ඔහුගේ බිරිඳගේ සහෝදරයා "කීර්ති ශ්‍රී රාජසිංහ" (ක්‍රි.ව. 1747 - 1782) නමින්. බිරිඳගේ සොහොයුරාට රජකම දීමේ නායක්කර් සිරිතට අනුව තමයි එහෙම උනේ. 

මෙතුමාත් විජය රාජසිංහ රජතුමා වගේ බුදු දහම වැළඳ ගෙන ශාසනයට ලොකු සේවයක් කරලා තියනවා. උපසම්පදා උත්සව පවත්වලා දළදා මාලිගයත් අංග සම්පූර්ණ කරලා තැනෙව්වා ලු. 

කිර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මාතර, කටුවන, තංගල්ල වැනි ලන්දේසි බලකොටු වලට පහර දීලා තියනවා. පස්සේදී ලන්දේසින් එක්ක එකඟතාවයකට එන්න උත්සාහ කලත්, ඒ වෙද්දී ඉන්දියාවේ හිටපු ඉංග්‍රීසින් ගෙන් උදව් ගන්න අදහසින් ඒක ප්‍රමාද කරලා තියනවා. 

 ඉතින් මෙතුමා ත් මධුරාවෙන් කුමාරිකාවන් කිහිප දෙනෙක්ම ගෙන්නවා ගත්තත් ඔහුට දරුවන් ඉඳලා නැහැ. ඒ නිසා ඔහුගෙන් පස්සේ රජු හැටියට නම් කරලා තියෙන්නේ තමන්ගේ ම සොහොයුරා. ඔහු රජ වෙනවා "රාජාධි රාජසිංහ" (ක්‍රි.ව. 1782 - 1798) නමින්.

රාජාධි රාජාසිංහ රජතුමාත් ඒ වගේම තමයි. හොඳ ශ්‍රද්ධාවන්ත ඒ වගේම හොඳ සාහිත්‍ය සහ භාෂා දැනුමකුත් තිබුණු රජ කෙනෙක්. මිනිස්සුත් මෙතුමාට කැමැත්තෙන් ලු හිටියේ. මේ කාලයේදී තමයි ඉංග්‍රීසින්ගේ ඇල්ම බැල්ම අපේ ලංකාව දිහාටත් හැරෙන්නේ.

රජතුමා හමු වෙන්න එන ඉංග්‍රීසි නියෝජිතයෙක් රජතුමාගෙන් අවසර ඉල්ලනවා පහත රට ලන්දේසින්ගෙන් නිදහස් කරලා දෙන්නම් කියලා. දැන් ඉතින් කට්ටියට මතක් වෙනවා ඇති නේ මීට සමාන සිද්ධියක්? අර දෙවැනි රාජසිංහ රජතුමා ඉඟුරු දීලා මිරිස් ගත්ත සිද්ධිය. පෘතුගීසින් එළවලා ලන්දේසීන් රට අල්ලගත්ත හැටි මතකයි නේ. ඉතිං රාජාධි රාජසිංහ රජතුමා නම් මේකට අහු උනේ නැහැ. එතුමා අවසරය දුන්නේ නැහැ.

හැබැයි ඉතින් එහෙම අවසර දුන්නේ නැහැ කියලා ඉංගිරිසි කාරයෝ නිකං හිටියා කියලා ඔයාලා හිතනවානම් ඒක වැරදී. රජතුමා ව සතේකට ගණන් ගන්නේ නැතුව ඔවුන් ලන්දේසි බලකොටු වලට පහර දෙන්න පටන් ගත්තා. 



ඔවුන්ට පුළුවන් වෙනවා අවුරුදු දෙකක් ඇතුලත, 1796 වෙද්දී ලන්දේසීන්ට යටත්ව තිබුණු සියළුම ප්‍රදේශ තමන් භාරයට ගන්න. ඔවුන්ට ඉතිරි වෙන්නේ උඩරට රාජ්‍ය අල්ලා ගැනීම විතරයි. ඒත් ඔවුන් ඒකට ඉක්මන් නොවෙන්නේ ඒක ඒ තරම් ලේසි වැඩක් නොවන බව තේරුණ නිසා වෙන්න ඇති. කොහොමහරි ඉතින් ඔන්න ඔහොමයි අපිට මිරිස් වෙනුවට නයි මිරිස් හම්බ උනේ. මේක ඉල්ලන් කෑමක් නොවුනත් ඉතින් බලෙන්ම කවනකොට කන්න උනා.

ඉතින් 1798 දී රජාතුමා මිය යද්දී ඔහුට දරුවන් හිටියෙත් නැහැ. සිහසුනට සුදුස්සෙක් නම් කළෙත් නැහැ. මේ නිසා බලතල පැවරුණේ ඒ වෙද්දී අගමැති වෙලා හිටි පිළිමතලාවේ ට. ඉතින් ඊට පස්සේ වෙච්ච දේවල් අපි ඊ ළඟ ලිපියෙන් බලමු නේද?

26 comments:

  1. Replies
    1. මොකෝ මේ තිතක් :)

      Delete
    2. තිතක් නොවේ ,මා ඔබට තිලකයක් තැබුවෙමි. ඔබගෙ ලිපි අලංකාරයි,ලිපි කියවු මා හටටද ලිවීමට සිතක් පහල වූයෙමි

      Delete
    3. බොහොම ස්තුතියි කීර්ති ;). එහෙම අහන්න ලබිච්ච එකත් සතුටක් නෙ. ලියනවනම් අපිටත් කියන්නකො. අපි එන්නම් කියවන්න.

      Delete
    4. https://warenthuwa.blogspot.com/

      Delete
    5. This comment has been removed by the author.

      Delete
  2. මේ දිනවල ටෙලි නාට්‍යක් විකාශණය වෙනවා මුතුකුඩ කියලා. මේ කලෙ වුණු සිද්ධීන්. මට නිතරම ඔයාව මතක් උනා සයුරී. ස්තූතියි මේ සටහනට.

    ReplyDelete
    Replies
    1. මමත් ඒ කතාව බලල තියනවා එත් දිගටම නෙමෙයි. ලස්සන කතාවක් නේද

      Delete
  3. දැන්නම් ටික ටික ලංවෙනවා නේද වර්තමානෙට.. හැබෑටම සිංහල එකෙක්වත් හිටියෙ නැද්ද මලබාර් කාරයන්ව රජ කෙරෙව්වේ?

    ඔය එන එන හැම යුරෝපීය ජාතියක් එක්කම කොහොමද දන්නෑ සංනිවේදනය සිදු වුනේ!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් දැන් ලඟයි :)
      මම හිතන්නේ පරිවර්තකයෝ හිටියා දෙජාතියෙන්ම. එතකන් ඉතින් සංඥා බාසාව වෙන්ටති නේද

      Delete
  4. Replies
    1. එසේම වේවා එල කොල්ලෝ :ද

      Delete
  5. පරණ අය දකින්න ලැබෙන එක මාරම සතුටක්
    ජය වේවා අක්කා

    ReplyDelete
    Replies
    1. ආ මේ ඉන්නේ තවත් පරණ කෙනෙක්. ඇත්තටම සතුටක් තමා. :) දැන්නම් පරණ අය දකින්නේ එක්කෙනයි දෙන්නයි...

      Delete
  6. කාලෙකට පස්සේ ඔන්න සයුරි මිස් ගේ ලිපියක් බැලුව. කලින් ටික විවේක තියෙන වෙලාවක බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. හම්මේ මේ ඉන්නේ තවත් පරණ කෙනෙක්. කොහොමෙයි ඉතින්? ඇපල් ගහ හොඳින්ද ?

      Delete
  7. ඔබ ඉතිහාසය පිලිබඳව පොතක් පල කරණ්න! එය බොහෝදෙනාගේ හිත් සුව පිණිස වේවි!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් පොතක් ලියන්න තරම් මට වගකිමක් ගන්න පුලුවන්ද කියලත් හිතෙනවා :) ස්තුතියි අදහසට

      Delete
  8. සෑහෙන්න කාලෙකින් ආවේ.. දැන් නම් රජ පෙලපතත් අවසානෙට ඇවිත් නේද..

    ReplyDelete
    Replies
    1. ඒක තමා. සෑහෙන කාලෙකින්. ඔව් දැන්නම් ලගයි

      Delete
  9. මේක මිස් උනානෙ. අවසානයේ ආරම්භයට ඇවිත් නේද.. ඔතන ඉඳන් යන සියවස් දෙක ඇතුලත ලංකාව පුදුමාකාර විදියට වෙනස් උනා..
    ඊයෙ මම කොළඹ රාජ්‍යය ලේඛනාගාරෙට ගිහිං පරිපාලන වාර්ථා කියෙව්වා.. 1860 ගණන් වල ඒවා.. කියවද්දි නිකම් ඒ කාලෙ ජීවත් උනා වගේ. සතියක් විතර ගිහිං වෙලාවක කියවන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. නියමයි නේ. ඒවා ඕනෑම කෙනෙක්ට කියවන්න දෙනවද? ඔව් කියවලා ඒ විස්තරත් ලිව්වනම් අපිටත් බලාගන්න පුළුවන්

      Delete

Related Posts Plugin for WordPress, Blogger...