Wednesday, November 9, 2011

විජයාවතරණය හෙවත් කිරි මුට්ටියට මුහුම් දැමීම - රාජාවලිය III



                                                          සත් සියක් මායා බෙලෙන් මම
                                                          සත් සියක් බන්ධන බෙලෙන් මම
                                                          සත් සියක් සක්වල සොයා මම
                                                          ගෙන්වු කුමරුන් අද එතේ.....// - කුවේණි නාටකය

පහුගිය රාජාවලිය I සහ රාජාවලිය II ලිපි දෙකෙන්ම අපි කතා කරේ ප්‍රාග් ඓතිහාසික යුගය ගැන නේ. ඔන්න අද මම පුර්ව ඓතිහාසික යුගයට අවතීර්ණ වෙන්නයි හදන්නේ.

ඉතින් මේ කියන දවස ටිකක් තීරණාත්මක දවසක්. අපේ ගෞතම බුදු රජාණන් වහන්සේ පිරිණිවන් පාන අදහසින් කුසිනාරා නුවර විදී දිගේ ශ්‍රාවකයින් පිරිවරාගෙන වැඩම කරන මොහොත.  තමන්ගේ වැඩිමහල් පුත්‍රයාගේ නොහොබිනා ක්‍රියා වලට දඬුවමක් විදියට සිංහබාහු රජ තුමා විසින් ඔහුව වංග දේශයෙන් පිටුවහල් කරේත් මේ වෙලාවෙදි.

මේ විජයගේ සුල මුල හොයා ගෙන ගියොත් ඒ ගැන සඳහන් වෙන්නේ මෙහෙමයි. "කලෙකදී වංග (වගු) රටේ රජු කාලිංග දේශයේ කුමරියක් සරණපාවා ගත් පසු ඔවුන්ට ලැබුන දියණිය "සුප්පා දේවි" නම් විය. ඇය සිංහයෙකුගෙන් ලද දරුවන් දෙදෙනා සිංහබාහු සහ සිංහ සීවලී නම් වේ (සින්හයෙකුගෙන් දරුවන් ලද බව අතිශයෝක්තියක් බව ඇතැමෙකුගේ අදහස වන අතර මේ සිංහයා සැබවින්ම සිංහයෙකු නොව "සිංහ" නම් වූ පෙරළි කරුවෙකු බව කියති). මේ සිංහයාගේ කතාව නිසා තමයි මොවුන් සිංහ වංශිකයින් ලෙස හඳුන්වන්නේ. සිංහයා විසින් ගල් ලෙනක රඳවා රැකවල් කළ සුප්පා දේවිය, සිංහබාහු සහ සිංහ සීවලී,  සිංහයා වනයට ගිය විටෙකදී ගල් ලෙන බිඳ ගෙන සිංහයා ගෙන් පලා ගියා ලු.

"ගල් ලෙන බිඳලා....ලෙන් දොර ඇරලා.....සිංහ බා.........."

ඉතින් වනයෙන් එලියට ආපු සිංහබාහු, සිංහපුර නම් රාජධාණියක් තනා ගෙන, තම නැගණිය වන සිංහ සීවලී විවාහ කරගෙන වාසය කරද්දී,  බිරිඳ හා දරුවන් සොයා ගෙන වියරුවෙන් පැමිණි  සිංහයා ව මරා දැම්මා ලු. මේ සිංහබාහු ට සහ සිංහ සීවලී ට ලැබුන දරුවන්ගෙන් වැඩිමලා තමයි විජය. විජයගේ නිවුන් සොහොයුරා සුමිත්ත (මොහු පසු අවස්ථාවකදී අපේ රාජාවලිය ට  ප්‍රයෝජනවත් වන අයෙකි). මේ විජය කියන්නේ කොටින්ම දාමරික වැඩ කරපු කෙනෙක් කියලා තමයි සඳහන් වෙන්නේ. මං පැහැරීම්, ස්ත්‍රී දුෂණ, මිනී මැරුම් කරන්න ඔහුටම හරියන අනුගාමිකයෝ ටිකකුත් ඉඳල තියනවා. මේවා දරා ගන්න බැරි උන සිංහපුර වැසියෝ සිංහබාහු ගෙන් ඉල්ලුවලු විජය මරා දමන්න කියලා. ඒත්, තමන්ගේ පියා මරපු සිංහබාහු තමන්ගේ පුතා මරන්න කැමති උනේ නැහැ. ඒ වෙනුවට විජය සහ සත් සියක් අනුගාමිකයින්ගේ හිස මුඩු කරලා වංග දේශයෙන් පිටුවහල් කරා ලු.

මේ විදිහට රටින් පිටුවහල් කරපු විජය ඇතුළු පිරිස රැගත් නෞකාව ලක් වෙරළට සැපත් උනෙත් බුදුන් වහන්සේ පිරිණිවන් පෑවෙත් එකම දවසේ කියලයි සඳහන් වෙන්නේ. මෙදා ඉඳල තමයි අපේ ඉතිහාසඥයෝ බුද්ධ වර්ෂ ගණනය කිරීම ආරම්භ කරල තියෙන්නෙත් (එනම් බුද්ධ වර්ෂ 1 (ක්‍රි, පු. 543) එදවසින් ඇරඹිණි). ලංකා වෙරළට ගොඩ බැහැපු පිරිස අත්ල බිම තබා වෙරළේ හිඳ ගෙන අත්ල දිහා  බලද්දී ඒවා තඹ පාට වී තිබූ නිසා ඒ ප්‍රදේශය තම්බපන්නිය (තම්මැන්නාව) කියා නම් තැබුවා ලු.

ඉතින් මේ පිරිස ටිකක් වට පිට විපරම් කරල බලද්දී මුලින්ම මුණ ගැහිලා තියෙන්නෙ "කුවේණි" නම් කුමරිය. කුවේණිය කපු කටිමින් ලු හිටියේ. ඇය යක්ෂ ගෝත්‍රයට අයත් කෙනෙක්. විජය දැක ඔහුට සිත බැඳුනු කුවේණිය ලංකා රාජ්‍ය විජයට ලබා ගන්න උදව් කරන්න පොරොන්දු උනා ලු. මේ කාලය වෙද්දී ලක් දිව රජ කරලා තියෙන්නේ "මහා කාලසේන" කියන රජ තුමා. ඔහු ඇතුළු පාලක පක්ෂය රාවණා පෙළපතට සම්බන්ධ අය හැටියට තමයි සැලකෙන්නේ.



         ~~~~~~~~~~~~~~ තම්මැන්නා රාජධාණිය - ක්‍රි. පූ. 543 - 505 (බු. ව. 1 - 39) ~~~~~~~~~~~


කොහොම හරි කුවේණි ගේ උදව් නිසා විජය ට පුළුවන් උනා ලු මහා කාලසේන රජුගෙන් රජකම පැහැර ගන්න. ඉන්පසු විජය කුවේණිය විවාහ කර ගත්තත්  මේ පාවා දීම නිසා ඇගේ ගෝත්‍රයේ ජනතාව නම් කුවේණි ගැන අප්‍රසාදයෙන් තමයි ඉඳල තියෙන්නෙ.  කුවේණි ට විජයගෙන් ලැබුණු දරුවෝ දෙන්නා තමයි "ජීවහත්ත" සහ "දිසාලා".

ඔහොම ටික කලක් ගත වෙද්දී විජයගේ පිරිසට ඕන වෙලා විජය සාම්ප්‍රදායික විදියට අභිෂේක කරන්න (අනේ මන්දා ඉතින් එහෙ ඉන්නකං මැර කම් කරපු අයට සම්ප්‍රදාය ගැනත් මතක තිබුනද කියලා). සම්ප්‍රදායේ හැටියට අභිෂේක කරන්න නම් අග බිසව සම කුල කෙනෙක් වෙන්න ඕනලු. මේ නිසා ඉන්දියාවෙන් කුමාරිකාවක් ගෙන්න ගතිපු විජය කුවේණි ත් ළමයි දෙන්නත් එළවලා දැම්මලු. අන්ත අසරණ උන කුවේණි ළමයිනුත් අරන් තමන්ගේ නෑයින් ළඟට යන්න හැදුවත් ඔවුන් හැතිරියක් හැටියට සළකපු කුවේණිව බාර ගන්න කැමති වෙලා නැහැ. ඔවුන් කුවේණි ට ගල් ගසා මැරුව ලු. ළමයි දෙන්නා කැලයේ ජීවත් වන ජන කොට්ටාශයක් වූ "පුලින්දයන්"  ළඟට ගියා කියල තමයි සඳහන් වෙන්නේ.

අපිට අදත් දකින්න ලැබෙන වැදි ජනයා පැවතෙන්නේ පුලින්දයින්ගෙන් කියල විශ්වාස කරනවා. එහෙම බලද්දී විජය සිංහලේ මුත්තා නෙමෙයි, වැදි ජනයාගේ නෑයෙක් :) මොකද ඔය ඉන්දියාවෙන් ගෙනා කුමාරි ටයි විජය ටයි ළමයි හිටියේ නැහැලු නේ. තවත් දෙයක්, වැදි ජනතාව අපේ ආදි වාසීන් ලෙස හඳුන්වන එක කොයි තරම් වැරදිද කියල මේකෙන් තේරෙනවා ඇති.

ඉතින් ක්‍රි. පූ. 505 වෙන තුරු අවු. 38 ක් රජ කම් කරපු විජය ට ඔහුගේ මරණින් පස්සේ රජ කම බාර දෙන්න දරුවෙක් ඉඳල නැහැ. මේ නිසා විජය මිය යන්න කලින් මේ බව ඔහුගේ සොහොයුරා සුමිත්ත ට දැනුම් දුන්න ලු. සුමිත්ත මේ ගැන ක්‍රියා මාර්ගයක් ගන්න කලින් විජය රජු මිය ගිහින්. ඉන් පස්සේ අවුරුද්දක් (ක්‍රි. පූ. 504 වන තෙක්) රට පාලනය කරල තියෙන්නෙ "උපතිස්ස" නම් විජයගේ අනුගාමිකයෙක්. ලක් දිව අග නුවර, තම්මැන්නාවෙන් උපතිස්ස ගම ට ගෙන ගියා ලු.

ක්‍රි. පූ. 504 දී ලංකාවේ රජ කම බාර ගන්න තවත් කෙනෙක් එනවා. ඒ ගැන මම ඊ ළඟ ලිපියෙන් කියන්නයි හිතා ගෙන ඉන්නේ.

                                             ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඉතින් මොකක්ද මේ කිරි මුට්ටියේ කතාව?

විජය ලංකාව ට අවතීර්ණ වෙනකොට මේ රට දියුණු ශිෂ්ටාචාරයක්. යක්, රකුස්, නා, දේව යන ගෝත්‍ර වලට අයත් සිවු හෙළය, රාවණ පෙළපතෙන් පැවතෙන රජුන් යටතේ ලක් දිව ජීවත් උනා. ඔවුන්ට අවේනික භාෂාවක්, සම්ප්‍රදායයක් තිබුණා. විජය ට අළුතින් ජනාවාස ඇති කරන්න ඕන කමක් තිබුනේ නැහැ.  වංග රටෙන් ආපු ආර්යයෝ මේ රටේ ජනාවාස ඇති කරා කිව්වොත් ඒක සම්පුර්ණ වැරදියි.

විජය විසින් රාජ්‍ය බලෙන් පැහැර ගත්තත් ඔහු ඇතුළු සත් සියයක් පිරිසට සහ ඉන් පසුව පැමිණි සිංහ වංශිකයින් ට සිද්ද උනා මේ රටේ සිවු හෙළය සමග මුහු වෙන්න. මේ මුහු වීමේදී දෙගොල්ලන්ගේම සම්ප්‍රදායයන්, භාෂාව, සිරිත් විරිත් එකට එකතු වෙලා ස්ථාවර තැනකට ආවා කියලා හිතන්න පුළුවන්. හෙළ භාෂාවේ සහ වංග භාෂාවේ මිශ්‍ර වීම සහ අනුගත වීම මේ ලිපියේ ලස්සනට පැහැදිළි කරල තියනවා.

ඉතින් අදත් අපි ආඩම්බරයෙන් කතා කරන භාෂාව, සිරිත් විරිත්, මේ හැම දේකම උපත සිදු උනේ එහෙමයි. හරියට කියනවනම් "සිංහලේ උපත". අපි අද කතා කරන භාෂාව පිරිසුදු හෙළ භාෂාව වත් සිංහ වංශිකයින්ගේ වංග භාෂාව වත් නොවෙයි. ඒ තමයි "සිංහල" භාෂාව. සිංහල සිරිත් විරිත් උනත් ඒ විදියට මිශ්‍ර වී අනුගත උන ඒවා විය යුතුයි.

ඉතින් සිවු හෙළය කිරි මුට්ටියකට උපමා කළොත් විජයාවතරණය හරියට ඒකට කරපු මුහුම් දැමීමක් වගේ. සිවු හෙළය ට සිංහ වංශිකයින් මුහුම් දමා අවසන අපිට ලැබුනේ  "සිංහලය" නම් වූ මුදවපු කිරි මුට්ටිය යි.

36 comments:

  1. හරිම අපූරු ඒ වගේම හිත් ගන්නා ලිපියක්...
    පුදුම ආසාවකින් කියෙව්වේ, මට ඉස්සර ඉඳලම ඉතිහාසය දැන ගන්න ලොකු ආසාවක් තිබුනා
    ඒත් පස්සේ පස්සේ ඒකට වෙලාවක් තිබුනේ නැහැ, දැන් දැන් වෙලාව තියෙනකොට ළඟ පොත් පත් නැහැ.
    ඔයාගේ මේ බ්ලොග් එකෙන් මටනම් වෙන්නේ ලොකු සේවයක්.
    නොදන්නා කරුණු බොහොමයක් දැන ගත්තා.
    ඔයාට ගොඩක් පිං...

    සිංහලේ ආරම්භය විජය කියල තාමත් අපේ ඉස්කෝල වල උගන්වනවද දන්නේ නැහැ, නේද සයුරි.
    මට මතකයි කාලයක් ඉතිහාසය විෂය පාසලෙන් අහක් කළා, තාමත් එහෙමද දන්නේ නැහැ.

    ReplyDelete
  2. @ ලොකු පුතා : බොහොම ස්තුතියි ලොකු පුතා...ඔයාටත් ගොඩක් පින් මේ වගේ අදහස්වලින් මාව දිරිමත් කරනවට....ඇත්තටම මටත් ඉතිහාසෙ දැන ගන්න ආස හිතුනේ ඉස්කෝලෙන් අස් වෙලා කැම්පස් යන කාලේදී...පොඩි කාලේ අපිට තේරුනේ නෑ නේ ඒවයේ වැදගත් කමක්...

    ගුරුවරු උනත් වැඩි දෙනා උගන්වන්නේ ලංකාවේ පළමු රජතුමා විජය කියල තමයි....මමත් ඉස්සර වැඩි දුර නොසොයා ඕක විශ්වාස කළා නේ...

    ReplyDelete
  3. කථාවනං මසුරං...බලං ගියාම අපේ මුතුන් මිත්තෝ අපි අද වැද්දෝ කියලා කොං කරලා තියෙන අයනේ.....කොහොමනමුත් මේ මුහුං සීන් එක නං නියමයි..මම අන්තිම වෙනකං කියෙව්වේ මොකක්ද මේ කියලා දැනගන්න...උපමා උපමේය නං නියමයි...තව තව ලියන්න..ආසයි මේවා දැනගන්න....

    ReplyDelete
  4. @ ඔබ නොදුටු ලොවක් : බොහොම ස්තුතියි අගය කිරීමට....:) ඔය විජයගේ සිද්ධිය ගැන හිතද්දී මට ඉබේටම මතක් උනේ මුහුම් දාන හැටි..හි හි

    මට කියන්න ඕන උනේ නම් වැද්දෝ අපේ මුතුන් මිත්තෝ නෙමෙයි කියන එක...මොකද එයාලා පුලින්දයන්ගෙන් පැවතෙන වෙනම ජන කොටසක් නේ...විජයගේ ළමයි දෙන්නත් අයිති මේ ගොල්ලන්ට..ඒත් සිංහලයින් වෙනයි....

    ReplyDelete
  5. හප්පේ මේ වැඩත් එක්ක මමත් වලිගේ පාගගෙන නේ..... මොක්කුද මේ පුලින්දයෝ? මම අහල නෑ නේ .....

    ReplyDelete
  6. හි හි..පුලින්දයෝ කියන්නේ දැන් ඉන්න වැදි ජනතාවගේ මුතුන් මිත්තෝ..එයාල ඉස්සර ඉඳලම කැලේ ජීවත් උන අයලු. :)

    ReplyDelete
  7. ලඟදි ඉඳං මම රාවණා අාදී මාතාකා ගැන උනන්දු උනා! අවාසනාවකට විජය ගෙන් පස්සෙ දේවල් ගැන අවදානය අඩුයි! එය මෙදෙයට යොමු කලාට ගොඩක් ස්තූතියි!

    ReplyDelete
  8. අපේ ගොඩක් සිංහලයෝ උනත් දැනටම හිතන්නේ අපි පැවතගෙන එන්නේ විජය රජතුමාගෙන් කියලා. ආහ් විජය රජතුමා කියලා කියන්න බෑනේ. එයාට රජකම ලැබුනේ නෑනේ. පිටුවහල් කලා නේ.

    ආහ්.. තව දෙයක් තමා ජනප්‍රවාද වල තියෙනවා කුවේණියට පියයුරු තිනක් තිබ්බා ලු. එහෙම උනේ සාපයකින් කියලා තියෙනවා. විජය කුමාරයා එක්ක කසාද බැන්දට පස්සේ ඒ සාපය දුරු උනා ලු.

    ඒක නම් බොරු වෙන්ටෑ.

    මෙන්න කුවේණිගේ ආදරය පොඩ්ඩි අක්කා දැකපු විදිහ.

    මෙන්න කුවේණි ගැන තවත් ලිපියක්. මේ ලිපියේ ලින්ක් එක මට දුන්නේ පොඩ්ඩි අක්කා.

    ReplyDelete
  9. @ තනි අලියා : ස්තුතියි අලියෝ...විජයගෙන් පස්සෙත් රසවත් කතා ගොඩක් තියනවා ඉතින්....

    @ මධුරංග : ඔව් අප්පා...ගොඩක් අය එහෙම තමයි හිතන්නේ...එයා රජ උනේ ලංකාවට ආවට පස්සෙනේ..ඒ කුවේණි ගේ සිද්ධියනම් මම අහල නැහැ..ගොඩක් ඒවා අතිශයෝක්ති තමයි...

    ලින්ක් වලටත් තැන්කු මල්ලි...වෙලාවක ඒවත් කියවන්න ඕන..

    ReplyDelete
  10. එතකොට විජයවත් අදි වාසින්වත් අපේ මුල් ජන කොට්ටාශය නෙමෙයිද??

    ReplyDelete
  11. මමනම් අදටත් විස්වාස කරන්නේ අපි හෙළ පරපුරෙන් පැවත එනවා කියල තමයි....
    විජය කියන්නේ මෙහෙ ටික කලක් ටෙම්පරියක් අදින්න ආපු කෙනෙක්. :)
    මිශ්‍ර වීම සම්බන්ධව සයුරි යස අගේට පැහැදිලි කළා "කිරි මුට්ටියෙන්"

    ReplyDelete
  12. අපි පැවත එන්නේ පුලින්දයන්ගෙන් වෙන්නත් පුළුවන් සමහරවිට මහා කාලසේන පරම්පරාවෙන් වෙන්නත් වෙන්නත් පුළුවන් නේද? එයාල පරම්පරා දෙකක් නේ නේද?
    ඒත් එක්කම විජයට කුවේණිය මුණගැහුන අවස්ථාවේ කුවේණිය කපු කටිමින් හිටිය කියල තමයි මං අහල තියෙන්නේ. ඒ කියන්නේ තම්බපන්නිය ඒ වෙනකොටත් සංවර්ධනය වෙලා තිබුණු රටක් කියන එකනේ.. ඉතිහාසය අමතක කරලා පිටරට වලට ආවඩන අපේ උදවියට ඉතිහාසය මතක් කරලා දෙන එක නම් ලොකු පුන්‍යකර්මයක් සයුරි අක්කි.. ඔබට ජය!!

    ReplyDelete
  13. අපි කොච්චර මෙහෙම කතා කලත් තව කොච්චර කල් යයිද අක්කා මේවා සිලබස් වලට එන්න.සමහර විට එන එකක්ම නෑ.ඇයි කට්ටිය වැඩිය කැමති ඔය දැන් තියෙන විදිහටනෙ.

    මට තියෙන අනික් ප්‍රශ්නෙ කොහොමද සිංහයෙක් කාන්තාවක් එක්ක එකතු වෙලා ලමයි හැදුවෙ කියන එක.මට හිතෙන්නෙ සිංහ කියන්නෙ එක්කො එයාගෙ නම.නැත්නම් ගෝත්‍රය කියලයි.

    ReplyDelete
  14. උදයංග ලක්මාල්November 10, 2011 at 3:00 AM

    ගොඩක් රසවත් ලිපියක් සයුරි... මුල් ලිපි දෙක වගේම මේ ලිපියත් ගොඩක් ආසාවෙන් කියෙව්වා... ඇත්තටම මම ඉස්කෝලේ යන කාලේ නම් ඉතිහාසයට ආස නෑ...ඒත් ඉස්කෝලෙන් අයින් වෙලා කාලයක් ගියාට පස්සේ තමයි ඉතිහාසය ගැන උනන්දුවක් ඇති උනේ...

    ReplyDelete
  15. //අපිට අදත් දකින්න ලැබෙන වැදි ජනයා පැවතෙන්නේ පුලින්දයින්ගෙන් කියල විශ්වාස කරනවා. එහෙම බලද්දී විජය සිංහලේ මුත්තා නෙමෙයි, වැදි ජනයාගේ නෑයෙක් :) මොකද ඔය ඉන්දියාවෙන් ගෙනා කුමාරි ටයි විජය ටයි ළමයි හිටියේ නැහැලු නේ. තවත් දෙයක්, වැදි ජනතාව අපේ ආදි වාසීන් ලෙස හඳුන්වන එක කොයි තරම් වැරදිද කියල මේකෙන් තේරෙනවා ඇති.//

    සයුරි, වැදි ජනයා කියන්නේ ලංකාවේ නෙවේ ලෝකෙම ගත්තත් වැදගත් මානව සාධකයක්. නූතන මිනිසා ඒ තත්ත්වයට පත්වෙන්නට පෙර පරිනාම පෙතෙන් වෙන්වී ගිය උප කොට්ඨාශයක් තමයි වැදි ජනයා... නැත්නම් ආදි වාසීන්... අපේ වැදි ජනයා මානව විද්‍යාත්මක අතින් ඕස්ට්‍රේලියාවේ ඇබොරිජියන් වරුන්ට වගේම පොලිනීසියානු, මයොරිවරුන්ට ද සමානයි කියලා හොයාගෙන තියෙනවා. එහෙම බැලුවාම අපිටත් වඩා, රාවණාගේ කුලයටත් වඩා මේ පොලොවේ උරුමය තියෙන්නේ වැදි ජනයාට. මොකද එයාලා ගැන අවුරුදු 50000 ක විතර සාක්ෂි තියෙන නිසා... කුවේනිගේ දරුවන් ගෙන වැද්දන් පැවතෙනවා කියන මතය විහිළුවක්... ඒ දෙන්නා වැදි පරපුරට මුහුවෙන්න ඇති... නමුත් ඒ දෙන්නාටත් බොහෝ කලින් ඉඳන් තමා වැදි පරපුර පැවත එන්නේ...

    ---------------------

    //විජය ලංකාව ට අවතීර්ණ වෙනකොට මේ රට දියුණු ශිෂ්ටාචාරයක්. යක්, රකුස්, නා, දේව යන ගෝත්රන වලට අයත් සිවු හෙළය, රාවණ පෙළපතෙන් පැවතෙන රජුන් යටතේ ලක් දිව ජීවත් උනා. ඔවුන්ට අවේනික භාෂාවක්, සම්ප්රාදායයක් තිබුණා. විජය ට අළුතින් ජනාවාස ඇති කරන්න ඕන කමක් තිබුනේ නැහැ. වංග රටෙන් ආපු ආර්යයෝ මේ රටේ ජනාවාස ඇති කරා කිව්වොත් ඒක සම්පුර්ණ වැරදියි.//

    සම්පූර්ණ ඇත්ත. අපි බුදුන්ගේ කාලය වන විටත් දියුණු ජාතියක්... අපේ මුතුන් මිත්තෝ ඒ කාලේ වනචාරින් වගේ උන්නා නම් බුදු හාමුදුරුවෝ ලංකාවට වඩියිද ? ලංකාවේ දියුණු ශිෂ්ඨාචාරයක් නොතිබුණා නම් තුන්පාරක් ලංකාවට වැඩලා, දහම් දේශණා කරයි ද ? ඒක නිසා අපේ හැමදේම ඉන්දියාවෙන් ලැබුණා කියන්න බෑ. හරියට බැලුවොත් අපිත් (රාවණා පරපුර ඇතුළුව)ඉන්දියාවෙන් තමයි ආවේ... හැබැයි ඉන්දියාවට ආවෙත් ඉරාණයෙන්... එහෙම බැලුවොත් ලෝකේ මොන ජන කොටසකටවත් ආවේනික භූමි නෑ... අපේ රට කියලා මරාගන්නේ මොන විහිළුවකටද නේද ? දැන් බ්‍රිතාන්‍යයන් කිව්වොත් ඇමරිකාව රටක් කලේ අපේ රටෙන් ගිය අය. ඇමරිකාවත් අපේ කියලා... ඔබාමා දෙයි ද ?

    වටිනා ලිපි පෙලක්... අවසානටම කරගෙන යන්න. ඔබට වගේම අපිටත් ගොඩක් දේ ඉගෙන ගන්න ලැබේවි...මමත් කුවේනිගේ තාත්තගේ නම අද ඉගෙනගත්තා...

    මහන්සියට ස්තුතියි සයුරි... ජයවේවා !!!

    ReplyDelete
  16. රසවත් කතා තියනව! අනිවාර්යෙන්ම! ඉස්සරනං අාසාවෙන්ම අැහුව! දැං ඉතිං වැඩිය එ්වට නිරාවරණය නොවෙන නිසා එච්චර ඔලුවෙ නෑ! දැං ඔය මහා සම්මත මනු, රාවණ වගේ කතා තමයි නිතර කියවන්න දකින්න ලැබෙන්නෙ! :)

    ReplyDelete
  17. @ දිනේෂ් : මෙහෙමනේ මල්ලි, විජයගේ ළමයි දෙන්නා පලා ගියේ පුලින්දයෝ ළඟට ලු නේ..මේ පුලින්දයෝ තමයි අද වැදි ජනයා කියල හඳුන්වන්නේ. එයාල කැලයේ ජීවත් උන වෙනමම ජන කොට්ටාශයක්...සිංහල ජාතියට එයාලගේ සම්බන්ධයක් නැහැ...ඒ ඇරෙන්න විජයට වෙන ළමයි හිටියෙත් නැහැ...ඉතින් විජයගේ සිංහල ජාතියට නෑ කමක් නැහැ නේද...

    @ ලොකු පුතා : ඔබ හරි, අපේ පරපුර, හෙළ පරපුර....ඒක සිංහල වෙන්න වංග සම්ප්‍රදාය සහ භාෂාවත් බලපෑවා...වැඩි උරුමය ලැබෙන්නේ හෙළ පරපුරට කියලයි මාත් හිතන්නේ...විජයනම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "ටෙම්පරි" රජෙක්. සිංහ වංශිකයන්ගේ රජ පෙළපත ට සැබෑ මුහු වීම එන්නේ පඬුවස්දෙව් සමග...ඒ වගේම විජය එක්ක ආපු 700 දෙනාත් පඬුවස්දෙව් සමග ආ පිරිසත් තමයි හෙළයින් එක්ක මුහු උනේ...

    ReplyDelete
  18. මම හරි ආසාවෙන් කියවන ලිපි පෙළක් මේක. ඊළඟ පෝස්ට් එක එනකන් මඟ බලන් ඉන්නෙ. කොහෙන්ද අප්පේ මේ තොරතුරු හොයගන්න ඔයාට වෙලාව. ගොඩක් මහන්සිවෙලා තියනව මගෙ හිතේ. අපි ඉතින් ඒ ඔක්කොම මෙතනට ඩුවල ඇවිත් එක හුස්මට කියවනව.:)

    ReplyDelete
  19. @ අයිස් : ඔව් නංගි..එයාලා පරම්පරා දෙකක්...කාලසේන පරම්පරාව තමයි හෙළයට අයිති..(රාවණාගේ පසු පුරුක්). අනිවාර්යෙන්ම විජය එද්දී මේ රට දියුණු ශිෂ්ටාචාරයක්..නැත්නම් කපු කටින්නේ අහවල් දේකටද නේද? :) ස්තුතියි ඔයාගේ අදහස් වලට....

    @ නිසුපා : අනේ ඒක නම් ඇත්ත නිසූ...කවුරුත් කැමති නෑ තියන විදිය වෙනස් කරන්න...හි හි ඔය ප්‍රශ්නේ මටත් තියනවා, සින්හයෙක්ගෙන් ළමයි හම්බ උනා නම් උන් ළමයි වෙන්න බැහැ නේ..ඒ නිසා දෙවැනි මතය වඩාත් හරි වෙන්න පුළුවන්..

    @උදයංග : බොහොම ස්තුතියි මේ ලිපිත් එක්ක දිගටම ඉන්නවට...ඇත්තටම කාට උනත් ඉස්කෝලේ යන කාලේදී මේවා ගැන අදහසක් නැහැ...වදෙන් පොරෙන් තමයි උගන්නන්නේත්..

    ReplyDelete
  20. @ චතුරංග : බොහොම ස්තුතියි වැදි ජනයා ගැන කරපු විස්තරයට...ඇත්තටම මම එකඟයි ඒකට...ඔවුන්ට අනිත් හැමෝටම වඩා පොළවේ උරුමය ඇති..මම ලිපියෙදි අදහස් කලේ නම් සිංහල ජාතිය පැවතෙන්නේ ඔවුන්ගෙන් නෙමෙයි කියන එක...

    මට අවසාන කොටසෙන් කියන්න ඕන උන දෙය තමයි ඔයා ලියල තියෙන්නෙ චතුරංග...අපි මොකටද මරා ගන්නේ...මුදවපු කිරි ගන්න නම් කිරි වගේම මුහුම් කියන්නෙත් අවශ්‍ය දෙයක්...

    ReplyDelete
  21. @ තනි අලියා : මොනවා උනත් විජයගේ කතා වලට වඩා රාවණා ගේ කතා හොයන එකනම් හොඳයි...ඒවානේ අපි නොදන්න දේවල්...

    @ රෝස කුමාරි : ගොඩක්ම ස්තුතියි ඔයාට..මේවට ආස අය ඉන්නවා කියන්නේ හරිම සතුටක්...මම ඉතින් ඔෆිස් එකේ වැඩ කරන ගමන් තමයි ගොඩක් වෙලාවට මේවා ලියන්නේ (සිමල්ටේනියස් :)) බිල්ඩ් එකක් ගැහුවා...බිල්ඩ් වෙනකං පෝස්ට් එක ලිව්වා...හොඳයි නේද ක්‍රමේ...

    ReplyDelete
  22. අපෝ. ඉස්කෝලෙ ඉතිහාස පොත් වල තියෙන්නෙ බොහොමයක් බොරු. සමහරක් ඒව වැරදියි කියල පොත් හදපු අයත් දන්නව, නමුත් වෙනස් කරන්න යන්නෙ නෑ. හැමදාම ළමයි වැරදි දේවල් ඉගෙනගන්නව. :(
    මේ ලිපි නම් ගොඩක් රසවත් විදිහට ලියල තියෙනව. මමත් ඉතිහාසෙ ගැනගොඩක් උනන්දුයි. මගෙ ලඟ ඉතිහාස පොත් එකතුවකුත් තිබෙනවා. :)

    ReplyDelete
  23. වැදගත් යමක් ඉගෙන ගන්නවා මිසක,
    ඔයාට ඉතිහාසය උගන්නන්න තරම් මම නම් ඉතිහාසය දන්නේ නැ‍තෝ...
    වැදගත් ලිපියක්...
    ස්තූතියි...
    මේක කියවලා කියවපු බව සඳහන් කිරීම පමණි මට කළ හැක්කේ...
    සමාවෙන්ඩ...!

    ReplyDelete
  24. ගලයාගේ කමෙන්‍ටුව අනුමත කරමින් එයම මෙසේ හිතුමතේ සටහන් තබමි

    වැදගත් යමක් ඉගෙන ගන්නවා මිසක,
    ඔයාට ඉතිහාසය උගන්නන්න තරම් මම නම් ඉතිහාසය දන්නේ නැ‍තෝ...
    වැදගත් ලිපියක්...
    ස්තූතියි...
    මේක කියවලා කියවපු බව සඳහන් කිරීම පමණි මට කළ හැක්කේ...

    ReplyDelete
  25. @ මාධව : එකනේ ප්‍රශ්නේ මාධව...වැරදි තැන් හදන්නත් ගොඩක් දෙනා කැමති නෑ...අර ඉතිහාස පොත් එකතුවටනම් +++++1. මට නෑ නේ එහෙම එකක් :(

    @ ගලයා : ඒකට මක් වෙනවද ගලයෝ..කියවපු බව දැන ගැනීමත් මට සතුටක් :)මොකද මේ විෂය වැඩි දෙනෙක් කියවන්න කැමති එකක් නෙවෙයි නේ...

    @ හිතුමතේ : ඔන්න එහෙනම් ගලයට දීපු උත්තරේම ඔයාටත් දෙනවා :)...කියවපු බව දැන ගන්න ලැබීමත් මට සතුටක්....

    ReplyDelete
  26. මට නැත්තෙම simultaneous ability එක තමා.මග ඇරිල තිබුණු පරණ බ්ලොග් පොස්ට් සහ කමෙන්ට් කියෙව්ව. අපි දෙන්න ඉන්නෙ එකම රටේ වගේම ඉපදිලාතියෙන්නෙත් එකම අවුරුද්දෙ. :) සතු‍ටුයි සතු‍ටුයි..

    ReplyDelete
  27. @රෝස කුමාරි : ෂා නියමයිනේ...දවසක කොහේදී හරි හම්බ වෙයිද දන්නෙත් නෑ එහෙනම්...ඇමරිකාව කියලත් ඉතින් මහා ලොකු රටක් නෙමෙයිනේ නේද....

    ReplyDelete
  28. "...සින්හයෙකුගෙන් දරුවන් ලද බව අතිශයෝක්තියක් බව ඇතැමෙකුගේ අදහස වන අතර මේ සිංහයා සැබවින්ම සිංහයෙකු නොව "සිංහ" නම් වූ පෙරළි කරුවෙකු බව කියති..." මම මේකට එකඟයි...
    තවත් වැදගත් කොටසක්... බොහොම ස්තුතියි අර සිංහලයො පැවත එන්නෙ විජයගෙන් නොවන බව සරලව පැහැදිලි කළ එකට... කුවේනිගෙ තාත්ත කවුද කියන එක දැනගත්තෙත් අද...

    අර උඩින්ම තියෙන සිංදුව කියවනකොට මගේ කණට ඇහෙනව ඇහෙනව වගේ මානෙල් ජයසේනගෙ හඬ.. :(

    ReplyDelete
  29. හරිම අපූරු ලිපියක් අක්කේ,. මම කොහොමත් කැමතියි අක්කගේ ලිවීමේ රටාවට,.

    ReplyDelete
  30. @ මියුරු : අනේ ඔව් මියුරු...කොච්චර ලස්සන සින්දුවක්ද? මම මානෙල් ජයසේන කියනවානම් අහල නැහැ...අපි ඕක ඉස්කෝලෙදි කිව්වා..යක් බෙරේ ගහද්දි ඒක කියනකොට අමුතුම හැඟීමක් තමයි දැනෙන්නේ....ස්තුතියි කමෙන්ටුවට...

    @ ප්‍රාර්ථනා : ඔයාටත් බොහොම ස්තුතියි නංගා, ඇගයීමට...

    ReplyDelete
  31. ඔන්න සයුරි මම අද ඉඳන් පහන් යායේ සාමාජිකයෙක්... මුල ඉඳන්ම ඔයාගේ බ්ලොග් එක කියෙව්වට අද තමයි සාමාජිකත්වය ගත්තේ :)...

    මම ගොඩක්ම මූණු පොතේ එල්ලිලා හිටපු කෙනෙක්... මෑතක ඉඳන් තමයි බ්ලොග් කියවන්න ගත්තේ... මම නම් බ්ලොග් කියවන්නේ හරිම සතුටෙන්... වින්දනයට වගේම දැනුමටත් ගොඩක් දේවල් ලැබෙනවනේ... දැන් නම් මම මූණු පොත පැත්තේ යනවා අඩුයි... මම නම් හිතන්නේ ඔය මූණු පොත කියන තරම්ම වැදගත් දෙයක් නෙමෙයි...

    ReplyDelete
  32. @ උදයංග : සාදරයෙන් පිලිගන්නවා එහෙනම් පහන්යාය ට. මමත් ඉස්සර මූණු පොතේමයි හිටියේ. බ්ලොග් ලියන්න ගත්තට පස්සේ නම් ඒක හුඟක් දුරට අඩු වුනා...උදයංග ත් බ්ලොග් එකක් පටන් ගත්තොත් අපිටත් කියන්න....

    ReplyDelete
  33. කියවා රස වින්දා. ස්තුතියි

    ReplyDelete
  34. @Observer : බොහොම ස්තුතියි කමෙන්ටුවට...

    ReplyDelete
  35. මෙතෙක් කල් අපි ඇහුවෙ බොරැ.දැන් අපි අහන්නෙ ඇත්ත.මට ඒ ගැන සතුටුයි.

    ReplyDelete
    Replies
    1. නවෝද්, ඔයාව සාදරයෙන් පිලිගන්නවා පහන්යාය ට. මටත් සතුටුයි මේ ගැන උනන්දු අය තවමත් ඉන්න එක ගැන.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...