Thursday, March 15, 2012

පාරමී පිරූ රජතුමා - රාජාවලිය XIV


ඉතින් අපි පහුගිය රාජාවලිය ලිපිය නතර කලේ  ඛුජ්ජනාග රජතුමා ලඟින්.  ක්‍රි. ව. 195 දී මේ රජතුමා , ඔහුගේම සොහොයුරා වන "කුඩා නාග/කුන්ච නාග"   අතින් ජීවිතක්‍ෂයට පත් වෙනවා. සොහොයුරා මරා රජ වන කුඩා නාගට රජකම් කරන්න ලැබෙන්නේ ක්‍රි. ව. 196 වන තෙක් පමණයි. කුඩානාග ගේ බිරිඳගේ සොහොයුරා (මස්සිනා) වන "සිරි නාග" රජුට විරුද්ධව කැරළි ඇති කර රජු ගේ බලය බිඳ සිහසුන ලබා ගන්නවා. මේ සිරිනාග රජතුමා අවු 19 ක් (ක්‍රි. ව. 215 තෙක්) ලක්දිව රජකම් කරනවා. 

සිරිනාග රජුගේ මරණයෙන් පස්සේ රජ වෙන්නේ ඔහුගේ පුත්‍රයා වන "වෝහාරිකතිස්ස" රජතුමා (ක්‍රි. ව. 215 - 237). මෙතුමා විසින් එතෙක් පැවති "අත් පා කපා දැමීම" වැනි දැඩි දඬුවම් ක්‍රම ඉවත් කළ නිසාත් නීතිය පිලිබඳ මනා අවබෝධයකින් පසු වූ නිසාත් "වෝහාරික (සාධාරණ) " නම් උපසර්ගය ලැබුනාලු. ඔහු විසින් මහායාන පොත් පත් විශාල ගණනක් ගිනි බත් කර ඇති අතර ථේරවාද දහමට ලොකු අනුග්‍රහයක් දැක්වුවා ලු. රජතුමා රටටත් බුදු සසුනටත් වැඩ කරන අතරෙදි, රජ බිසවයි රජුගේ සොහොයුරා වන "අභයනාග" යි එකතු වෙලා තවත් වැඩක් පටන් අරගෙන. අසම්මත ආදර සම්බන්ධයක්...

මේ ගැන රජතුමාට ආරංචි වෙන්න වැඩි කලක් ගිහින් නැහැ. ඉතින් අභයනාග කළේ රජුට විරුද්ධව සේනා සංවිධානය කරන අදහසින් ඉන්දියාවට පලා යාම. ඒ අතරෙදි අභයනාගගේ මාමා කෙනෙකු වූ "සුබදේව" ගේ ආධාරයෙන් රටේ ජනතාව රජතුමා කෙරෙහි කළකිරවන්න ත් ඔහු වග බලා ගත්තා. මේ විදියට උපක්‍රම යොදපු අභයනාග ඉන්දියාවෙන් සේනාවක් රැගෙන විත් ලේසියෙන්ම සිහසුන ජය ගත්තා වගේම බිසවත් සමග මලය දේශයට පලා යමින් සිටි තමන්ගේ සොහොයුරා ජිවිතක්ෂයට පත් කර බිසව තමාගේ මෙහෙසිය බවට පත් කර ගන්නවා. 

අභයනාග රජතුමා ඔය විදියට අවුරුදු 8 ක්  (ක්‍රි. ව. 237 - 245) රජ කම් කරනවා. ඉන් පසුව රජ වෙන්නේ වෝහාරිකතිස්ස රජු ගේ පුත් "සිරි නාග II" (ක්‍රි. ව. 245 - 247). මිට පෙරත් සිරිනාග කෙනෙක් රජ කළ නිසා හඳුනා ගැනීමේ පහසුව සඳහා අපි සිරි නාග II වශයෙන් හැඳින්වූවාට ඔහුගේ නමට ඉලක්කමක් ඇතුළත් නොවන බව සැලකිය යුතුයි :) මින් පසුවට ද මේ ආකාරයට රජවරුන් නම් කිරීම දක්නට ලැබෙන බවද කිව යුතුයි. සිරිනාගII මිය ගිය පසු රජ වෙන්නේ ඔහුගේ පුත් "විජය කුමාර" (ක්‍රි. ව. 247 - 248). 

                                              ~~~~~~~~~~~~~~~~~~~~~~~

මේ අතරෙදි තමයි මහියංගනයෙන් "සංඝතිස්ස", "සංඝබෝධි" සහ "ගෝඨාභය" නම් ලම්භකර්ණ කුමාරවරු තිදෙනෙක් රාජ්‍ය සේවය සඳහා අනුරාධපුරට පැමිණෙන්නේ. ඔවුන් එන අතරමගදී ඔවුන්ගේ අඩි ශබ්දය අසූ අන්ධ අනාවැකි කියන්නෙක් ප්‍රකාශ කරාලු මේ අය අනාගතයේ ලක්දිව රජ වෙන බව. මේ තිදෙනා විජය කුමාර රජුගේ ඉතාමත් විශ්වාසවන්ත සේවකයින් බවට පත් වෙලා කටයුතු කරන අතරෙදි සංඝතිස්ස කුමරු විසින් රජු මරා රජකම ලබා ගත්තා ලු. මෙහෙම අධර්මිෂ්ට විදියට රජ වුනු සංඝතිස්ස ට රජකම් කරන්න ලැබෙන්නේ අවුරුදු 4 යි (ක්‍රි. ව. 252 තෙක්). ඔහු ජම්බු කෑමේ ලොල් වූ අතර ප්‍රදේශ වාසින් විසින් ජම්බු වලට වස දමා දීමෙන් ඔහු මරණයට පත් වෙනවා. 

මී ලඟට රජකම හිමි වෙන්නේ ඔවුන්ගෙන් දෙවනියා වූ සංඝබෝධි ට. අපි "සිරි සඟ බෝ" රජතුමා (ක්‍රි. ව.252 - 254) නමින් හඳුන්වන්නේ ඔහු තමයි. මෙතුමා ඉතාමත් දැහැමි වගේම සංවේදී රජ කෙනෙක්. මරණ දඬුවම හිමි වුන හිර කරුවන් පවා නිදහස් කරලා යවන්න තරම් ඔහු සංවේදී උනා ලු. නමුත් අති සංවේදී කම රජ කෙනෙකුට ගැළපෙන දෙයක් නෙමෙයි. මේ අතරෙදි තමයි ඔවුන්ගෙන් තුන්වැන්නා වූ ගෝඨාභය කුමාරයා බල තණ්හාවෙන් සිරි සඟ බෝ රජුට විරුද්ධව කැරළි ගසන්නේ. රජතුමා කරන්නේ යුද්ධයක් ඇති වුවහොත් රට වැසියා නිකරුනේ මැරෙන බව සිතා රජකමත් සිහසුනත් සියල්ල අතහැර වන වැදීම. ගෝඨාභය ට රජකම ලැබුනත් ඔහු එයින් සෑහීමකට පත් වෙන්නේ නැහැ. සිරි සඟ බෝ රජුගෙන් කෙදින හෝ අනතුරක් වෙන එක වළක්වන්න ඔහුට උවමනා වෙනවා. ඒ නිසා සිරිසඟබෝ රජුගේ හිස ගෙනෙන කෙනෙකුට ත්‍යාගයක් දෙන බව කියා රට පුරා අඬබෙර ගසනවා. මේ නිසා මිනිස් හිස් රැගත්  දහස් ගනන් මිනිසුන් දිනපතා රජ මාලිගය ට විත් එය සිරිසඟ බෝ රජු ගේ බව පවසන්න පටන් ගන්නවා. 

එක දවසක් වනය හරහා යන දුගියෙකුට දකින්න ලැබෙනවා ගසක් යට ඉඳගෙන තවුස් දම් පුරන කෙනෙක්. ඔහු තමාගේ බත් පතෙන් කොටසක් තවුසා ට දී සිරිසඟ බෝ රජුගේ හිස සම්බන්ධ පුවතත් ඔහුට පවසනවා. ඉතින් අර තවුසා වෙන කවුරුත් නෙමෙයි, සිරිසඟ බෝ රජතුමා. තමා නිසා සිදුවන මිනිස් සංහාරයෙන් කම්පා වූ ඔහු දුගියාට හිස දන් දෙන්න තීරණය කරනවා. හිස තමා ගේ යයි පිළිගැනීමට ගෝඨාභය රජු මැලි වුනොත් හිස අහසට විසි කරන්නත් එවිට හිස අහසේ රැඳෙන බවත් පවසා දුගියාට හිස දන් දෙනවා.  මෙය, මතු බුදුවරයෙක් දාන පාරමිතාව පිරූ අවස්ථාවක් හැටියට බෞද්ධයින් විසින් විශ්වාස කරනු ලබනවා. මේ හිස දන් දීම සිද්ධ වුනේ අත්තනගල්ල විහාරය පිහිටා ඇති තැන බව සමහරු පවසන අතර තවත් සමහරු පවසන්නේ එය සිදු වුනේ හත්තිකුජ්ජි විහාරය ඇති තැන බවයි. 

ඉන් පස්සේ ගෝඨාභය රජතුමා අවුරුදු 13 ක් (ක්‍රි. ව. 254 - 267) රජකම් කළා ලු. අපි ඊ ළඟ රාජාවලිය ලිපියෙන් කතා කරමු ගෝඨාභය රජුගේ පරපුර ඉදිරියට යන හැටිත්, ජනතාව දේවත්වයෙන් ඇදහූ රජ කෙනෙක් ගැනත්.

67 comments:

  1. සිරි සග බෝ රජතුමා අපේ ඉතිහාසයේ වැදගත් තැනක් හිමි කර ගත්ත රජ කෙනෙක්නේ..

    ReplyDelete
    Replies
    1. මම අද එක.. අක්කා හැමදාම වගේ මගේ බ්ලොග් එකේ එක වෙන නිසා ඔන්න මමත් හිතාගත්තා මේ පැත්තේ පළවෙනියට එන්න..

      Delete
    2. :) අද මල්ලි එක වෙලාද...ඔයා පෝස්ට් දාන වෙලාවේ හැටියට මට එක වෙන්න ගොඩක් දුරට චාන්ස් එක තියනවා....

      Delete
  2. අම්මෝ මෙහෙමත් රජ පවුල්වල මිනිස්සු. සිරිසඟබෝ කතාව නම් අහලා තියනවා. අර වගේ මිනිස්සු අතරෙත් ඔය වගේ අයත් ඉඳලා නේ. :D

    ReplyDelete
    Replies
    1. රජ පවුල් වල මිනිස්සු සේරටම හපන් නේද..හොඳ රජෙක් ට ඉන්න දෙන්නෙත් නැහැ.

      Delete
  3. සුබදේව කියන්නෙත් ප්‍රාදේශීය නායකයෙක්, එයා ඉඳලා තියෙන්නේ මන්නාරම පැත්තේ. ඔය සුබදේව වෝහාරිකතිස්ස රජතුමාත් එක්ක තරමක අමනාපයකින් තමයි ඉඳලා තියෙන්නේ. හේතුව දඬුවමක් විදියට මන්නාරම වගේ දුෂ්කර පළාතකට යැව්ව එක. ඒ නිසා අභයනාග කුමාරයා ට රැකවරණය දෙනවා වගේ ම ඉන්දියාවට පලා යන්නත් උපකාර කරනවා. ඊටපස්සේ සුබදේව අනුරාධපුරයට ගිහින් රජතුමාට කියනවා තමන්ගේ කකුලේ තුවාලයක් පෙන්නලා අභයනාග කුමාරයා තමන්ටත් තුවාල කරලා පලා ගියා කියලා. එයින් ම සුබදේව රජතුමාගේ හිතෛශියෙක් බවට පත්වෙනවා. තනතුරකුත් ලැබෙනවා. ඊටපස්සේ හොර රහසේ රජතුමා ව මිනිස්සු අතරේ කළකිරවන්න වැඩ කරනවා. මිනිස්සු රජතුමා ගැන කළකිරුණා ම සුබදේව ඉන්දියාවට හසුනක් යවනවා කුමාරයාට සේනා අරගෙන එන්න කාලය හරි කියලා. ඒ විදියට තමයි ලේසියෙන් ම වෝහාරිකතිස්ස රජතුමා ව මරන්න පුලුවන්කම ලැබෙන්නේ!!!

    හෆෝයි... මේ වගේ බිසෝවරු නිසා විශිෂ්ඨ රජවරු කීදෙනෙක් නම් අකාලයේ මැරිලා තියෙනවද...! …මේ කිව්වේ මම දන්න ටික ඔන්න. අක්කා අහලත් ඇති සමහර විට!

    ReplyDelete
    Replies
    1. මේ විස්තරේට ගොඩක් ස්තුතියි මල්ලි. මම මෙච්චර දැනගෙන හිටියේ නැහැ. බිසෝවරු මත්තේ නැහෙන්න රජවරුන්ටත් පිස්සුනේ ඇත්තට..

      Delete
  4. ගෝඨාභය රජතුමා ගැන වෙන විස්තර නැද්ද සයුරි?
    අවුරුදු 13ක් රජකලා කියන්නෙ සිරිසඟබෝ රජතුමා මැරුවට වැඩිය තව මොනවහරි කරන්න පුළුවන්නෙ..

    ReplyDelete
    Replies
    1. ගෝඨාභය රජතුමා පන්සල් එහෙම හැදුවා කියලනම් තියනවා. ඒත් කැපී පේන දෙයක් නැත්නම් එයා ගැන වැඩිය ලියන්න යන්නේ නැහැ රූ. එතකොට මේක ඉවර කරන්න බැරුව යනවනේ :)

      Delete
  5. ගෝඨාභයල ඔහොම තමයි.

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වේ කතාවක් :))

      Delete
  6. සිරිසඟබෝ රජු මැරුනෙ හත්ථිකුච්චිවල වෙන්ටැති...

    අනුරාධපුරයෙන් බත්මුලක් බැඳගත්තු මනිස්සයෙකුට දවල්ට කන්න අත්තනගල්ලට එන්න බෑනෙ...

    හිස ගැලවිලා වැටුනා කියලත් කතාවක් තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..හැබැයි අර සෙන්නා කියන්න වගේ මගියා ආවේ අනුරාධපුරේ ඉඳලා කියලත් නැහැනේ. ළඟ පාත කෙනෙක්ද දන්නේ නැහැ. හිස ගැලවුන කතාවනම් මම අහල නෑ..

      Delete
  7. හැමදාම වගේ ඉතින් බොහොම වටිනවා කියලා තමා කියන්ඩ තියෙන්නෙ. බොහොම ස්තූත්යි සයුරි අපිට අපේ යටගියාව කියලා දෙන එක ගැන.

    අපේ ඉතිහාසය පුරාවටම බලලෝබයෙන් සිදුවෙච්ච ඝාතන වළින් පිරිලනේ බලාගන යනකොට. ඔය අනිත් අයව මරලා රජ වෙච්ච රජවරු රටට කරපු කෙන්ගෙඩියකුත් නැහැ නේද ?

    අනේ මංදා කට්ටිය එද ඉඳලා අද වෙනකම්ම බලලෝබයෙන් පිස්සු වැටිලා දැගලුවා මිසක් රට ගැන හිතලා වැඩක් කරලා නැහැ.

    ReplyDelete
    Replies
    1. අනේ ද කියන්නේ සෙන්නා අයියා. ඉස්සර කාලේ ඉඳලම තිබිල තියෙන්නේ මරා ගැනිලි. දැනුත් එහෙමයි. තණ්හාව තමයි ඉතින්. ඒ වගේ දේවල් අහනකොටත් කලකිරෙනවා.

      Delete
  8. මම අහල තියෙන්නෙත් හත්ථිකුච්චි විහාරෙ කියල... ඒක හරි ඇති අර හරී කියනව වගේ හිතුවම ..

    ReplyDelete
    Replies
    1. මම නම් අහලා තියෙන්නේ අත්තනගල්ලෙ කියලා.. ඒ මගියා අනුරාධපුරෙන් ආවා කියලා නැහැ නේද ? සමහර විට ඒ ලඟ පාතකම කෙනෙක් වෙන්ඩ බැරිද ?

      Delete
    2. මටත් හිතෙන්නේ අත්තනගල්ල මතයත් බැහැර කරන්න අමාරුයි කියලා සම්මානි. සෙන්නා ගේ තර්කෙත් එක්ක බැලුවම.

      Delete
  9. අයියෝ මෙයාද මේ පාරමිතා පිරූ රජතුමා... දන්න කියන රජතුමෙක්නේ...අපිත් ගියා ලඟදි අත්තනගල්ලේ... (ඊළඟ කොටස එනතුරු නොඉවසිල්ලෙන්)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මෙයා තමයි. :)) මෙයා නොදන්නා කෙනෙක් නෑ මම හිතන්නේ.

      Delete
  10. ඔයා නිකං බලං ඉඳලා වගේ නේ කියන්නේ?

    මේව කතන්දර ද, නැත්තං පොත් පත්වල තියෙන ඒවද? මොන පොතේ / පොත්වලද?

    ReplyDelete
    Replies
    1. අය් කටන්දර කියන එක ඔහේගේ විටරක් අය්ටිවාසිකමක්ද නම කටන්දර හින්ද

      Delete
    2. තැන්කු කතන්දර :) අපෝ නෑ කතන්දර නෙමෙයි. පුළුවන් තරම් ඇත්තම තමා හොයලා ලියන්නේ. පොත් නම් දැන් මගේ ළඟ එකක්වත් නෑ (එව්වා ලංකාවේ). පොත් වලින් හොයා ගනිපු කටු සටහන් + ජාලය තමයි පිහිටට ඉන්නේ.

      @ ඇනෝ : :0

      Delete
  11. මාත් සිරි සඟබෝ කතාව අහලා තියෙන්වා. ඇත්තට අක්කි මේවා ලියන්නෙ හරිම ලස්සන, කියවන්න ආස හිතෙන විදියට. දන්නෙ නැති කෙනෙක්ට ඉගනගන්න නියමයි!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නංගා...සිරිසඟ බෝ කතාව නොදන්නා කෙනෙක් නෑ මම හිතන්නේ.

      Delete
  12. ඔයාගේ විස්තර ලස්සනයි වැදගත්.ලංකාවේ හිටපු ගොඩාක් රජවරු දැන් කාලේ වගේම කුලල් කාගෙන නේ.ඉතිං අද කාලේ මේවයේ වැඩි වෙනසක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තුතියි අසරණයෝ. කුලල් කෑම ලාංකීය සිරිතක් ද මන්දා...

      Delete
  13. සිංහල රාජාවලියේ සිරිසඟබෝ රජතුමා බොහොම ධාර්මිෂ්ඨ රජකෙනෙක් විදියටයි හැඳින්වන්නෙ. ඒ ඓතිහාසික කතාපුවත පිළිබඳව ගෙතුන ජනප්රයවාද බොහොමයි. ඒ වගේම සම්බන්ධයෙන් කලා නිර්මාණ රාශියක්ම බිහිවුණා. නිතිඥ ජෝන් ද සිල්වා සූරින්ගේ "සිරිසඟබෝ" නූර්තිය එවැන්නක්.

    කොහොම වුණත් සිරිසඟබෝ රජතුමා හිස දන්දුන් අත්තනගල්ල ප්රිදේශය පිළිබඳ විවිධ මතවාද පවතිනවා. එකක් නිට්ටඹුවට නුදුරු අත්තනගල්ල . අනෙක් තැන අනුරාධපුර - කුරුණෑගල දිස්ත්රිබක් මායිමේ පිහිටි හත්ථිකුච්ඡි විහාරය.

    නිට්ටඹුවට නුදුරු අත්තනගල්ල නම් එක හෙළාම බැහැර කළ හැකියි. මොකද මගියා උදේ බැඳගත් බත් මුල අරන් ආවෙ පයින්. සාමාන්යළයෙන් කෙනෙකුට යොදුන් හතරක් ( සැතපුම් 16 ක් ) දිනකට පයින් යන්න පුළුවන්. බත් මුල නරක් නොවී කෑමට ඒදුර ප්රබමාණවත්. ඒනිසා දුගියාට නිට්ටඹුවට නුදුරු අත්තනගල්ලට නම් එක දවසින් අනුරාධපුරේ ඉඳන් පයින් එන්න බැහැ.

    කොහොම වුණත් නිට්ටඹුවට නුදුරු අත්තනගල්ල ජනප්රිරය වූයේ එහි දේශපාලන පසුබිම නිසා බව අවිවාදයෙන් පිළිගත යුතුයි.

    අනෙක අනුරාධපුර - කුරුණෑගල දිස්ත්රිරක් මායිමේ පිහිටි හත්ථිකුච්ඡි විහාරය මටත් බොහොම සමීප තැනක් මොකද මගේ ගමත් ඊට අල්ලපු මායිමේ රජරට නිසා. අනික මේ ස්ථානය මට ඉතාම හුරු පුරුදු තැනක්. කුරුණෑගල - අනුරාධපුර ඇල්ල මාර්ගයේ ගල්ගමුවත්, තඹුත්තේගමත් අතරින් ගලා බසිනා කළා ඔයත්, රාජාංගන ජලාශයත් ඉතාම මායිමේ පිහිටි සුන්දරම කඳු 07කින් වට වූ හත්ථිකුච්ඡි විහාරය මුදුනට නැගෙනහිරින් දුරින් පෙනෙන රුවන්වැලි මහ සෑයත්, මිහින්තලාවත් යොදුන් හතරක ( සැතපුම් 16 ක් ) දුරට කදිම නිදසුනක්. ඉර හඳ නොපෙනෙන තැනක පිහිටි කලුදිය පොකුණද මෙම පර්වතය මුදුනේ පිහිටලා තියෙනවා. ඒ අනුවත් සිරිසඟබෝ පුවතේ රජතුමා හිස දන්දුන් ස්ථානය හත්ථිකුච්ඡි විහාරය පිහිටා තියන මෙතැන බව කියන්න පුළුවන්.

    මේ වගේ දේවල් මතකයට එන්නෙ මේ සිංහල රාජාවලිය කතා පුවත ඔබ ලියන නිසා

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත. බොහොම ධර්මිෂ්ඨ රජ කෙනෙක් කියලා තමයි කියන්නේ. "සිරි සඟ බෝධි මාලිගාවේදී මා" කියන සින්දුව තියෙන්නේ ඒ නුර්තියේ වෙන්න ඇති.

      මගියා අනුරාධපුරේ ඉඳලම ආවා කියලා කියන්න හේතුවක් නැති නිසා (සෙන්නා ගේ අදහස) ඒකත් එක පාරම බැහැර කරන්න බැහැ නේද..කළු දිය පොකුණ ගැන මමත් අහල තියනවා. කවදාවත් යන්න නම් වාසනාව ලැබිලා නැහැ. රාජාංගනය වැව ට නම් ගියා.

      බොහොම ස්තුතියි ඔබට අපි නොදන්නා මේ කරුණු කියල දෙනවට.

      Delete
    2. "දන්නෝ බුදුන්ගේ" සිංදුවත් ඒකේ..

      Delete
    3. අහා..ස්තුතියි ඔස්කා

      Delete
  14. අායෙත් කියන්නෙ ඔයාට ගොඩක් ස්තූතියි කියල......... :)

    [ නමුත් අති සංවේදී කම රජ කෙනෙකුට ගැළපෙන දෙයක් නෙමෙයි. ]
    කාටවත් හරියන වැඩක් නෙවෙයි මයෙහිතේ!

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත. කවුරු උනත් අති සංවේදී උනොත් රජතුමාට වුන වැඩේ තමයි වෙන්නේ :)

      Delete
    2. මට මතකයි ඒ දවස්වල ඇඩ් එකක් ගියා ටීවී එකේ සංවේදී නායකයාට මනාපය දෙන්න කියලා..

      Delete
  15. ඒ ලේ තාම දුවනවා අක්කේ...

    ReplyDelete
  16. නියමයි ඉතිහාස පාඩම....මේ නිකමට වගෙ අහන්නෙ චෑනල් 4 ගෑනත් එකක් කරොත් නරකද???

    ReplyDelete
    Replies
    1. ඒවත් බලමුකෝ වර්තමාන කාලෙට ආවම නේද?:)

      Delete
    2. echchara dura eida????

      Delete
  17. අත්තනගල්ලේ නෙමෙයි මේ තැන හස්තිකුච්ච වගේ නමක් තියෙන තැනක් කියලා මෑතකදි අහන්න ලැබුනා ඒ ස්ථානය ගැන තවත් විවිධ මත පවා අහන්න ලැබිලා තියෙනවා...ලස්සනට ලියලා තියෙනවා "සුනාමි" අක්කේ...අර දුගියා හිස අරන් ගියාට පස්සේ රජතුමා ඒ ගැන පිළිනොගත්ත නිසා හිස ඉහලට විසි කලාම ඒ හිස කතා කරා කියලත් අන්තිමේ මේ රජු හඬා වැටී දුක්වූ බවත් අපේ සීයා කිව්වා මතකයි....මේක අතිශෝක්තියක් වෙන්න ඇතිද??

    ReplyDelete
    Replies
    1. හි හි..තාමත් සුනාමි ද :) ඔව් ඒ මත දෙකම ගැන මිනිස්සු කියනවා. හිස කතා කරපු එක නම් අතිශයෝක්තියක් වෙන්න ඇති නේද? අහසේ රැඳුනා කියන එකත් ඉතින් එච්චරටම සුවර් නැහැ. මේවා ජන කතා හැදෙද්දී මිනිසුන්ගේ හිතේ ගෞරවය ඇති කරන්න වගේ එකතු කරපු කතා වෙන්නත් පුළුවන්.

      Delete
  18. සිරිසඟබෝ කරලා වෙසක් එකකට බෙල්ල ගලවන සීන් එක මිස් වෙලා හෙන හූවක් කෑවා....ඔය අන්තිම රජා නං හෙන බයානක නමක් අප්පා....

    ReplyDelete
    Replies
    1. හේ හේ...ඒ කතාව කියන්නකෝ අපිටත්..

      Delete
  19. oya wage rajek marennama one nathanam maranna one

    ReplyDelete
  20. ඔන්න දැන් ඉන්න රජ ගොල්ලොන්ටත් ආදර්ශ ;)

    ReplyDelete
  21. මං නං ඉතින් ඉස්කෝලෙ යන කාලෙ ඉගෙන ගත්තෙ නැති ඉතිහාසෙ ඉගෙන ගන්නෙ සයුරිගෙන් කියල කළිනුත් කියල ඇතිනෙ

    ReplyDelete
    Replies
    1. තවමත් ප්‍රමාද නැත...:)

      Delete
  22. මේක නම් හරිම හොඳ වැඩක් සයුරි . ආසාවෙන් කියවනවා .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කා...එය මට සතුටක්.

      Delete
  23. සයුරිගෙ ඉතිහාස පාඩම කියවන්න මේ පාර මම පරක්කු වෙලා..:O
    ඇත්තටම මටත් හිතෙනවා රජ කෙනෙක් වුනහම ඕනවට වඩා සංවේදි වෙලත් බෑ..

    ReplyDelete
    Replies
    1. පරක්කු උනාට මක් වෙනවද සිත් රූ...ඔව් ඒක තරමකට තිබුනොත් තමයි හොඳ..

      Delete
  24. ඉස්සර අපි ගමේ ගියාම නිදාගන්නෙ ආච්චි ලඟ. ඉතින් අපිට නින්ද යනකං ආච්චි අපිට කතා කියනව. මම ආසම කතාවක් තමයි සිරිසඟබෝ රජ්ජුරුවන්ගෙ කතාව. ඒකෙදි ආච්චි කතාව කියන්නෙ කවිත් එක්ක(කවි බණ කියනව වගේ). මම හරි ආසයි. අර දුගියව හම්බවෙලා බත්කන තැනදි මට මතකයි බත් පිඬක් විසිකලා කියනවා, එතකොට ඒ බත් පැලවුනාලු. ඇත්ත නැත්ත දන්නෑ, ජන ප්‍රවාද වෙන්නත් පුළුවන් පුළුවන්. ඉතින් මේ.... කොහොම කොහොම හරි අක්කගෙ ඉතිහාසය ලිපි මාලාව නම් නියමයි. මට මෙව්ව කට පාඩමෙන් කියන්න මතක නැතිවුනක් මේක කියවද්දි කොහෙන් කොහෙන් හරි ඇහිච්ච මතක් වෙනව, අනෙක අපේ දේනෙ අප්පා.. ඒක නිසා ආසයි..
    ජයග්‍රාහී 53 ඈ... අක්කට ජය ශ්‍රී...!!!

    ReplyDelete
    Replies
    1. ආච්චි ලා ගෙන් කතා අහලා නැත්නම් එයාලා හරිම අවාසනාවන්තයි නේද...ඉස්සර අය තමයි මේවා හොඳටම දන්නේ. ගොඩක් විස්තර එක්ක. ඔය බත් මිටේ කතාව මට යන්තම් මතකයි වගේ. දිගටම එතන වී පැල උනා කියලා කියනවා. අපේ දේ අපිට අගෙයි නේ...නැද්ද මන්ඩියෝ :)

      Delete
    2. එහෙනං එහෙනං... අපිට අපේ දේ ඉහටත් උඩින් නෙව... අර කියන්නත් වගේ ආච්චිලාගෙන් කතා අහල නැත්තම් හරිම අවාසනාවක් තමයි, ඒ අහනව තරම් ගතියක් කොහේවත් නෑ... උන්දැල දන්න දේවල් වලින් භාගයක් අද පෙළ පොත්වලවත් නෑ නෙව... අපි පොඩිකාලෙ පෙළපොත්වල කොච්චර කතා තිබුනද, නන්දිමිත්‍ර යෝධය ගැනයි, එව්ව මෙව්ව කොච්චරද... දැන් හැමදේම කප්පාදු කොරල... වෙලාවට සයුරි අක්කල වගේ උදවිය ඉන්නව... ජය ශ්‍රී කිව්ව ඕං..!!!

      Delete
    3. ඔව් අප්පා..මටත් මතකයි නන්දිමිත්‍ර යෝධයාගේ පොඩි කාලේ කතාව. ඒ කාලේ අයත් දන්න දේවල් කොහේ හරි ලියල තිව්වනම් හොඳයි කියල හිතෙනවා. මල්ලිටත් ජය ශ්රී :)

      Delete
  25. අපේ පැත්තේ අයත් විස්වාස කරන්නේ සිරිසඟබෝ රජතුමා හිස දන් දුන්නේ අත්තනගල්ලේ කියලා. (මැඩම්ගේ ආසනේ හන්දා වෙන්ටෑ)

    මම නම් කියන්නේ හිස දන් දුන්නේ අනුරාධපුරේ හත්තිකුච්ඡි විහාරයේ කියලා. මොකද අර දුගියා එක වරුවකින් අනුරාධපුරේ ඉදලා ගම්පහට පයින් එන්නේ කෝම. අනිත් එක තමා එතුමා හිස දන් දුන්න හරියේ තියෙනවලු ඉර, හඳ එලි නොවැටෙන පොකුණක් !!!

    නමුත් අත්තනගල්ලේ එහෙම පොකුණක් නෑ. :)

    ඔන්න අද නම් අඩුවැඩිය ටිකක් එකතු කලා.

    ReplyDelete
    Replies
    1. //මැඩම්ගේ ආසනේ හන්දා වෙන්ටෑ//
      හි හී

      ඉතින් ළමයෝ මගියා ආවේ අනුරාධපුරේ ඉඳලමද කියල අපි දන්නේ නැහැ නේ. අත්තනගල්ල ට ළඟ වෙන ගමක ඉඳල වෙන්නත් පුළුවන් නේ. හැබැයි අර පොකුණේ කතාව අනුව නම් ඒක වෙන්න පුළුවන්.

      බොහොම තැන්කු අඩු වැඩිය ට හොඳේ...:)

      Delete
    2. අපිත් ඉතින් ඉන්නකන්ම මැඩම්ව දිනෝපු එකනේ කෙරුවේ. ඔහේ දන්නවත මැඩම් ලෑ වතුවල රඹුටන් තමා රඹුටන් වාරෙට නුවර පාර අයිනේ විකුණන්නේ. බොරු නෙමේ. දන්න නිසයි කියන්නේ.

      අක්කා කියන කතාවත් ඇත්ත වෙන්ට පුලුවන්. අයි විල් කම් බැක් සූන් ටු ගිව් ඇන් ආන්සර් ෆෝ යෝ කුයිස් !!!!! (කඩ්ඩ් හරිද මන්දා)

      Delete
    3. අම්බෝ..රඹුටන් මතක් කරන්න එපා...

      ඕකි ඕකි...පිලිස් කම් බැක් :))

      Delete
  26. http://www.lankadeepa.lk/index.php/articles/6195

    ReplyDelete
    Replies
    1. බොහොම තැන්කු ඈ..මේකනම් ගොඩක්ම පැහැදිළියි. පුළුවන් අය බලන්නකෝ..

      Delete
  27. අම්මෝ මගේ ඉතිහාස දැනුම කොච්චර නිල් ද

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා අනේ...ගොඩක් අය එහෙම තමයි

      Delete

Related Posts Plugin for WordPress, Blogger...