Thursday, July 19, 2012

රාජ් අයියගෙ කතා



හප්පේ...මෙහෙමත් කාලයක්. සෙමෙස්ටරේකවත් නැති වැඩ තොගයක් සමර් එකේ කඩන් පාත් උනානේ. කාලෙකින් පෝස්ට් එකක් දාලා නෑ කියලා මම දැක්කෙත් අපේ අසර් කිව්වට පස්සේ. කී දෙනෙක්ගේ බ්ලොග්  මගඇරුනද දන්නෙත් නෑ. ඔන්න කොහොමහරි පුංචි පෝස්ට් එකකට වෙලාව හොයා ගත්තා.

අද මම කියන්න යන්නේ අපේ රාජ් අයියා ගැන. මෙයා තමයි ලොකු අයියගෙ ඊ ළඟ මල්ලි. මෙයා ගැන කියන්න තියන කතාව නම් ලොකු අයියගෙ වගේ හිනා යන එකක් නෙවෙයි. ටිකක් විතර අරුම පුදුම කතාවක්.

හැමෝම "රාජ්" කියලා කිවුවට රාජ් කියන නම අයියගේ ඇත්ත නමට ගෑවිලාවත් නැහැ. කොහෙන් ආපු නමක්ද මන්දා ඒකනම්. ලොකු අයියගෙ ලිපියෙදි මම කිව්වනේ මේ රාජ් අයියා ටිකක් විතර හාමුදුරු කෙනෙක්ට සමාන චරිතයක් තිබුණු කෙනෙක් කියලා. හරිම නිවුණු, පිරිසුදු චරිතයක්. ඇවිදින්නෙත් හරියට සක්මන් භාවනාව කරනවා වගේ ක්‍රමානුකූලව. උදේට ගෙදරින් යද්දී බුදුන් වැඳලා පිරිත් කියලා එහෙමලු යන්නේ.

අපේ අම්මගේ යාළුවෙක් රාජ් අයියගේ ගුරුවරියක් වෙලා ඉඳලා තියනවා. දවසක් ඇය ඇස් වල කඳුළු පුරවගෙන අම්මත් එක්ක රාජ් අයියගේ හොඳ කියලා තිබුණා. ඉතිං පස්සේ කාලෙක ඉගන ගෙන එහෙම ඉවර වෙලා රාජ් අයියා ගියා කන්ද උඩරට පැත්තේ රස්සාවකට. ඔය කාලෙදි තමයි රාජ් අයියා පොඩි එෆෙයාර් එකක් පටන් ගන්නේ. උඩරට මැණිකේ කෙනෙක් නම් නෙවෙයි. පහත රටින් පේරේ ට ගියපු පොඩි කෙල්ලෙක් එක්ක (නෙලූ අක්කා). මේ අතරේ ලොකු අම්මලා ගේ ගෙදර රාජ් අයියට වැඩිමල් ඔක්කොමයි ඊට බාල අක්කයි හැමෝම බැඳලා, ඊ ලඟට ඉතුරු වෙලා හිටියේ එයා තමයි. ඉතිං ලොකු අම්මලට ඕන උනා කල වයස යන්න කලින් රාජ් අයියට කටයුත්තක් කරලා දෙන්න. ඉතිං නෙලූ අක්කා ගැන ගෙදරට කිව්වත් ඒකට වැඩි මනාපයක් ලැබෙන්නේ නෑ ගෙදරින්. මොකද නෙලූ අක්කා අවුට් වෙන්න තව අවුරුදු තුන හතරක්ම තිබුණා. 


ඉතිං රාජ් අයියා මොකද කළේ, අර සම්බන්ධේ නවත්වපු එක. ලොකු අම්මලා එක්ක ටිකක් කතා කරානම් ඒක ලේසියෙන් ගොඩ දාගන්න තිබුණා. රාජ් අයියා අපිට කිව්වේ දෙන්නා කතා කරලා අයින් උනා කියලා. ඒත් ඒ හින්දා නෙලූ අක්කා විඳපු දුක ගැන මම අක්කගෙන්ම දැනගත්තා පස්සේ කාලෙක. කොහොමහරි නෙලූ අක්කව අමතක කරපු රාජ් අයියා, ලොකු අම්මලා මනමාලියෙක් හොයල දෙනකන් ඔහේ බලාගෙන හිටියා. බලලා බලලා අන්තිමට එක්කෙනෙක් හම්බ උනා. නෙලූ අක්කට වඩා ගොඩක් ලස්සන, පවුලේ එකම ළමයා නිසා ලොකු ධනයක් හිමි, කෙනෙක්. ඒකට කාගෙවත් අමනාපයක් තිබුණේ නැති හින්දා වෙඩින් එකත් ලස්සනට ගත්තා. 


සතියක් දෙකක් යද්දි කට්ටියට තේරුණා මේ අලුත් මනමාලිගේ පොඩි වෙනසක් තියනවා කියලා. වෙනසක් කිව්වේ හැසිරීමේ වෙනසක්. බලද්දී ඇය මානසික ආබාධයකින් පෙළෙන කෙනෙක්. බැඳපු දවසේ එයා ඒ ගැන රාජ් අයියත් එක්ක කියලා තියනවා (බඳින්න කලින් ඒක නොකිව්වේ ඇයිද මන්දා :-/ ඒ කියන්නේ ඒක රැවටීමක්). ඒත් රාජ් අයියා ඒ ගැන කාටත් නොකියා ඇයත් එක්ක හොඳින් ඉන්න තීරණය කළා ලු. හැබැයි මානසික ආබාධයක් හංගනවා කියන්නේ කැස්ස හංගනවා වගේ වැඩක් තමයි. එක එක අහේතුක හැසිරීම හින්දා ගෙදර අය ඒ ගැන හොයනකොට රාජ් අයියා ට ඒ ගැන කියන්න උනා. ඇයගේ නියම රෝගී තත්ත්වය මතු වෙන්න ගත්තා. ඔවුන්ගේ විවාහය සිද්ධ වෙලා තිබුනේ රෝගී තත්ත්වය යටපත් වෙලා තිබුණු කාලෙක වෙන්න ඕන. හදිසි විවාහ නොකරන්න ඔන්න හොඳ පාඩමක්.

අන්තිමට ඒ විවාහය කෙළවර උනේ දික්කසාදයකින්. රාජ් අයියා නීතියේ හැටියට රැවටීමකට ලක් වෙලා තිබුණා. ඒ නිසා ඒක ඒ තරම් අමාරුවක් උනේ නැහැ මම දන්න විදියට. ඔය විදියට හැම දෙයින්ම අයින් වෙලා ජීවිතෙන් පැරදිලා ඉඳිද්දී රාජ් අයියට ආපහු නෙලූ අක්කව මතක් වෙනවා. ඒ වෙද්දි නෙලූ අක්කා කැම්පස් එකෙන් අවුට් වෙලා. හරියට දේවතාවියක් වගේ නෙලූ අක්කා රාජ් අයියගේ ජීවිතේට නැවත එන්නේ කිසිම පැකිලීමක් නැතුව. අක්කගේ නෑයින්ගෙන් ඒකට ඇති වුනු බාධා ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ. අවුරුදු 4 ක් ඉවසන්න තමන්ගේ මවුපියන් කැමති කරවගන්න බැරි වුනු රාජ් අයියා වෙනුවෙන් නෙලූ අක්කා ඇගේ නෑයින්ට පිටු පානවා.  ඒ අවු. 4 ඉවසන්න බැරුව හදිසි උනාට අන්තිමට සිද්ධ උනේ රාජ් අයියගේ ජීවිතෙන් අවුරුදු 4 ක් නිකරුනේ විනාස වෙලා ගියපු එක. කොහොමහරි, දෙපැත්තේ නෑයින්ගේ ප්‍රශ්න මැද්දේ මේ දෙන්නා විවාහ උත්සවයකුත් ගන්නවා.

"යකෝ මේක හරිම අසාධාරණයිනේ...අපි බැන්දේ එක පාරයි. මූ දෙපාරක් බඳිනවා"
ඒ ඔවුන් පෝරුවට නගිනු බලා සිටි ලොකු අයියා කිව් කතාව ය. :)


මේ වෙද්දි රාජ් අයියා දරුවන් දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්. ඒ දරුවන්ටත් ඔවුන්ගේ පියාටත් ජීවිතය දුන් නෙලූ අක්කාට මගේ ආචාරය...අර උඩ පින්තූරේ ඉන්නේ එයා තමයි :)



69 comments:

  1. paw wade ara mantel kellek bandala deela thiyenne .ohoma wada ananthawath wenawa me rate .raj ayyage pawul jiwitheta asiri!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අවතාර්. ඇත්ත...අනන්තවත් මෙහෙම දේවල් වෙනවා ඇති. හදිසි විවාහ නරකයි කියන්නේ ඒකයි

      Delete
  2. ම්..හරිම සංවේදී කතාවක් සයු..
    මට හිතුනෙ රාජ් අයියා තමන් ගැන අවතක්සේරුවෙන් හිටිය කෙනෙක් කියලා..කොහොම වුනත් හිතන්න දෙයක් ඉතුරු කරපු කතාවක්..

    ReplyDelete
    Replies
    1. ම්ම් ඇත්තටම අවතක්සේරුවෙන් හිටියද කියලත් හිතෙනවා රූ. මහ පුදුම චරිතයක් එයා.

      Delete
  3. නෙලූ අක්කා කියලා කියන්නේ අදහන්න වටින කෙල්ලෙක් ! ආදරේ වෙනුවෙන් එක හිතකින් ඉන්න පුලුවන් කෙනෙක් ලැබුන එකට සතුටුයි...


    තව මෙහෙම දෙයකුත් හිතුනා මට. අර මානසික ගැටළුවක් තියෙන අක්කා, බඳින්න කලින් අයියට කිව්වා නම් අයියා ගොඩක් වෙලාවට ඒ අක්කට කැමති වෙන්නේ නෑ. අයියා කැමති උනත් අයියලෑ ගෙදරින් කමති වෙන්නේ නෑ. ඒ නිසා තමා බඳින්න කලින් නොකියා බැන්දට පස්සේ කිව්වේ.

    ඒක මම් හරිය කියලා කියන්නේ නෑ. නමුත් ඒ ගෑල්ලමයට තිබ්බ ලෙඩේ හැටියට කවදාවත් මඟුලක් කරගන්න බැරි නිසයි ලොකු දෑවැද්දක් දීලා අර ලෙඩේ වසන් කරලා තියෙන්නේ. ඒ අක්කා පවු !! ඒත් එක්කම අයියත් පවු !!

    ඔන්න මට රිප්ලයි කරනවනම් දෙවෙනියාට කියපු එකට රිප්ලයි කරන්ඩ. වාද කරමුද මාත්තෙක්ක. තරහට නෙමේ ජොලියට !!!! :)


    ප.ලි. - දැන් නම් කවි ලියන්නෙම නෑ වගේ නේ !! අඩේ අමුතු කවි කියවන අපට හෙන අසාධාරණයක් වෙන්ඩ යන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඇත්ත කතාව. කොහොමහරි බන්දලා දෙන්න ඕන නිසා එහෙම රවට්ටන්න ඇති. ඒ අක්කත් ඇත්තටම පව් තමා. ප්‍රතිකාරත් දුන්නා ඒ දවස්වල.

      පුළුවන් තරම් ඉක්මනට ලියන්නම්කො කවියක්. මේ වැඩ අස්සේ කවි ලියන්න හිතෙන්නෙම නෑ. එපා වෙනවා අප්පා

      Delete
  4. "ඉක්මන් කොටයි" කියල සිංහල ගැමි කියමනක් තියෙනවානේ. රාජ අයිය ඉතින් ඒකට අහු වුනා. මක් කරන්නද. හැබැයි මොනව වුනත් නියම ඉරනම්කාරි මග හිටියා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඉරණම්කාරී හොඳ නිසා හරි ගියා. නැත්නම් මොනා වෙයිද දන්නේ නෑ.

      Delete
  5. නෙලූ අක්කා අදහන්න වටින කෙනෙක්. ඒ වගේ කෙල්ලො අඩුයි, නෑ නෙමේ ඉන්නව. ඒත් අඩුයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම අය අඩුයි තමා. එහෙම කෙල්ලෙක් ලබන කෙනා හරිම වාසනාවන්තයි

      Delete
  6. මට නම් මේ කතාවෙ චරිත ඔක්කොම ගැන ඇතිවුනේ දුකක්.. ඒ ඒ අය ඒ ඒ ගොල්ලන්ගෙ ක්‍රමවලට ජීවිතයේ සතුට හොයනවා... රාජ් අයියා, නෙලූ අක්කා, මානසික රෝගීකෙනා, මේ ඔක්කොමන්ලගෙ දෙමව්පියො ඇතුලු හැමෝම.. ඉතින් එක් කෙනෙකුගෙ සතුට වෙනුවෙන් තව කෙනෙකුගෙ සතුට නැතිවෙලා..

    මානසික රෝගී අය එක්ක ගණ්දෙනු කිරීම නම් ටිකක් පුරුදු වුනාම පුලුවන් නේද? මේ අපි හොඳට ඒ අයගෙ පෝස්ට් කියෝලා කමෙන්ට් එහෙම දාන්නෙ :P

    ReplyDelete
    Replies
    1. ඇත්තම ඇත්ත. හැමෝම කරන්නේ තම තමන්ගේ සතුට හොයන එක..

      'මානසික රෝගී අය එක්ක ගණ්දෙනු කිරීම නම් ටිකක් පුරුදු වුනාම පුලුවන් නේද? මේ අපි හොඳට ඒ අයගෙ පෝස්ට් කියෝලා කමෙන්ට් එහෙම දාන්නෙ :P'

      මසුරන් කතාව :ඩි

      Delete
    2. එහෙනම් මට ඒ මානසික ලෙඩේ උග්‍ර කෙනෙක් !!! හික්ස් :)
      දවසේ කමෙන්ටුව හරී ගෙන් !!!

      Delete
    3. හික්ස්ස්ස්ස්ස්ස්...:D

      Delete
  7. නෙලූ අක්කලා වගේ අය හොයාන්න ගොඩාක් අමාරුයි. ඒත් රාජ් අයියාට කරන්නම දෙයක් නැති කමට නේ එහෙම ලොකු අම්මලා කියන දේ අහන්න ඇත්තේ.

    ඔයා ගැන හොයල බැලුවේ මොකද දන්නවද මේ දවස වල ඇමරිකාවේ සුළි සුළඟක් එක්ක ඉඩෝරයක් ඇවිල්ල තියෙනවලු හික්.. ඉතිහාස සුතී තිතට මොකද වුනේ කියල හොයලා බැලුවේ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අසාර්..එයා කිසිම උත්සාහයක් ගත්තේ නෑ නේ ලොකු අම්මලා කැමති කරගන්න.

      හි හී...දැන් ඔයා හිතුවේ මම සුළි සුළඟට අහු වෙලා කියලද ඉඩෝරෙට අහු වෙලා කියලද:) තැන්කු හොඳේ හොයල බැලුවට

      Delete
  8. මානසික අබාදයක් හින්දා ඒ ළමයව අතෑරියනම් ඒක බලු වැඩක්..නොකියපු එක වැරැද්දක් වෙන්ඩ පුලුවන් ඒත්..

    ReplyDelete
    Replies
    1. ම්ම්...ඇත්තටම මේ කතාවට මම ඇතුල් නොකරපු විස්තර ටිකක් තියනවා (පවුද්ගලිකත්වයට පහරක් කියලා හිතුන නිසා). ඇත්තටම රාජ් අයියට එයා එක්ක දිගට ඉන්න පුළුවන් තත්ත්වයක් තිබුනේ නෑ. එයා උත්සාහ කරේ නැතුවත් නෙමෙයි. අර වගේ රැවටීමක් කරලා තියෙද්දිත් එයා හැදුවේ අක්කට ප්‍රතිකාර කරගෙන හොඳින් ඉන්න. ඒත් නොහිතපු විදියට ප්‍රශ්න දුර ගියා. ඒ ප්‍රශ්න වලට හේතු උනේ අක්කා සහ දෙමව්පියන්.

      තව දෙයක් තියනවා. මානසික රෝගියෙක් කිව්වම අපේ හිතේ ඇඳෙන වගේ අසරණ කෙනෙක් නෙමෙයි ඒ අක්කා. රාජ් අයියා යන එන ඕනම තැනක සී අයි ඩි එකෙන් වගේ වටලන්න එයාට පුළුවන් කම තිබුනා. ඒවා කලෙත් අහේතුකව.

      Delete
    2. දැන් මට හිතාගන්න පුලුවන් එයා කොයි වගේ කෙනෙක්ද කියල...

      Delete
  9. නෙලූ හොඳ ගෑනු ලමයෙක්. ඒ වගේ අය නම් දකින්ට අමාරුයි. ඇත්තටම නිකරුනේ විනාසවෙන්ට ගිය කෙනෙකුගේ ජීවිතයක් බේරගත්තු කෙනෙක්. නියම ආදරේ ගැන විශ්වාසයක් ඇතිවෙනවා මේ වගේ කතා කියෙව්වාම.

    "යකෝ මේක හරිම අසාධාරණයිනේ...අපි බැන්දේ එක පාරයි. මූ දෙපාරක් බඳිනවා" :D:D:D

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...නියම ආදරේ කියන්නේ මේවට තමා නේද. එයා ඇත්තටම හොඳ කෙල්ලෙක්.

      Delete
  10. නෙලූ අක්කාට මගෙත් උපහාරය.. මේ වගේ අව0කව ආදරය කරන අය ඉන්නවා කියලා අසන්නට ලැබීමත් සතුටක්. සයුරිට කියන්ඩ මේ වගේ සැබෑ විස්තර සඟවලා බන්දලා දීපු අය මමත් දැකලා තියනවා. එක්කෙනෙක් හිටියා බැඳලා අවු 4 වෙනකම්ම මහත්තයාට ඒගැන දැනගන්නට බැරි වෙලා තියන. ඒ ගෑනු කෙනාගෙ අම්මා අම්මට බෙහෙත් ගන්න අන්දමට දුවව කැටිව ගිහින් නොකඩවා මානසික සායනයට ගිහින් තිබුණා. අම්මා ඇත්තටම පස්සේ ලෙඩ වෙලා දුවව ක්ලිනික් ගෙනියන්න බැරිවෙලා. බෙහෙත් නැතිව දුව Manic වෙන්න පටන් ගන්නකොට තමා මහත්තයා දැනගෙන තියෙන්නේ.
    මම කියන්නෙත් නොකඩවා බෙහෙත් ගන්නවා නම් බොහොමයක් මානසික රෝගීන්ට සාමාන්‍ය ලෙස විවාහ ජීවිත ගෙනියන්න පුළුවන් කියලයි. මම කියපු උදාහරනෙන්ම තේරෙනවනෙ බෙහෙත් ගත්තනම් කිසි වෙනසක් නැතිව බොහෝ දුරට ඉන්න පුළුවන්ය කියලා

    ReplyDelete
    Replies
    1. අප්පේ ඒකනම් භයානක කතාවක්...අවු. 4 ක් රහසක් හැංගුවා කියන්නේ...මෙහෙමත් මිනිස්සු ඉන්නවා නේ...ඇත්තටම අර අක්කත් බෙහෙත් ගත්තා. ඒත් හොඳින් ඉන්න කාලේදී උනත් අස්වාභාවික හැසිරීම තමයි තිබුනේ...

      Delete
  11. පින්තූරෙන් අක්කව හොඳ හැටි විස්තර කෙරෙනව.ඇත්තටම ඈ කලේ ඉරී ගිය හදවතක් මහපු එක තමා. වාසනවන්තයි ඔයාගෙ අයියා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒ අයියා වාසනාවන්තයි :)

      Delete
  12. ඔය කියන විදියට මට හිතෙන මානසික ලෙ‍ඩේ නම්, කොහොමවත් ජීවත් වෙන්න අමාරුයි. මොනවා නැතත් අර අක්කා නම් මල් තියලා වඳින්න වටින කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. ම්ම්...ළහිරු මානසික ලෙඩ ගැන දන්නවා වගේ. :)

      Delete
  13. නෙලු අක්කා ටේලර් කෙනෙක් ද ඈ......?
    ගොඩක් කාලෙකින් මේ පැත්තේ ආවේ....

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් කාලෙකින් ඇවිත් කියපු කතාවක හැටි තමයි :ඩි

      Delete
  14. අඩේ අපේ රාජ් හොද එකානේ..

    මේ රාජ්ගේ නවාතැනේ රාජ් ගැන නෙවේද ????

    ReplyDelete
  15. මිනිහෙකුට දෙපාරක් බඳින්නත් පින තියෙන්න ඕනෙ..රාජ් අය්ය ලකී....))))

    ReplyDelete
    Replies
    1. අනිවාරෙන්....ඒකටනම් පින තියෙන්නම ඕන..

      Delete
  16. හදිස්සියේ නම් බඳින්න හොඳ නෑ තමා. මේක බැලුවම එක හොඳට තේරෙනවා. ම්ම්ම් නොබන්දම හිටියත් අව්ලක් නෑ වගේ...:D කොහොම නමුත් අයිය නම් අමුතු චරිතයක් කියල හිතාගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ නොබඳ හිටියනම් මොනම අවුලක්වත් නෑ නේ :ඩි

      Delete
  17. ඕක තමයි කියන්නේ ඕනවට වඩා කීකරු වීම හොඳ නැහැ කියල . කොයි ගෙදරින්ද යාලු වෙච්ච ගමන් පැනල කැමැත්ත දෙන්නේ . මට හිතෙන්නේ රාජ් අය්යා ජිවිතේ අභියෝග වලට බය හෝ අකමැති කරදර වලින් මග ඇරලා යන ජාතියේ කෙනෙක්. ඒ අතින් නෙලූ අක්ක එඩිතර කෙල්ලක් .මන් නම් දෙපාරක් හිතනවා . මොකද පොඩි ප්‍රශ්නෙකටවත් මුණ දෙන්න බැරි ගතියක් තියෙන නිසා බැඳලා මොනවා වෙයිද කියා බයයි නේ. ඒත් ඉතින් ආලය අන්ධයිලුනේ

    ReplyDelete
    Replies
    1. මේ කතාවනම් ගොඩක් දුරට හරි වෙන්න පුළුවන්. අභියෝග වලට මුහුණ දෙන්න තිබුණු බයක්ද දන්නේ නෑ. හ්ම්ම්...එහෙම බලනකොට නෙලූ අක්කා පුදුම එඩිතර කෙනෙක්.

      Delete
  18. මේක කියවන්න ආවේ අපේ රාජ් අයියලා දෙන්නවම මතක් කරගෙන....

    කියවගෙන යද්දි නෙලූ අක්කට වෙච්චි අසාධාරණය ගැන දුකක් ඇතිවුනා ඒ වගේම රාජ් ගැන සෑහෙන්න තරහක් ආවා... බලුම බලු වැඩක්නේ...

    අන්තිමට බැඳපු අක්කා ගැන කියවද්දි ඒ අක්කගේ දෙමව්පියො එක්ක තමා තරහ ආවේ.ඔහොම කට්ටිය නැතුවා නෙමේ මාත් දැකලා තියෙනවා... ඒ එක්කම මට හිතුනා රාජ් අයියට හොඳ වැඩේ අර නෙලු අක්කට කරපු අසාධාරණේ තමයි මේකට හේතුව කියලා....

    ඒත් මෙයා දික්කසාද වුනාට පස්සේ ආයෙ නෙලු අක්කා ජීවිතේට ආවා කිව්වම මට අදහා ගන්න බැරි වුනා.... මෙහෙම කෙල්ලෝ ඉන්නවද කියලා.මොකද එක පාරක් පිටු පාලා ගිය කෙනා තව පාරක් පිටු නොපායි කියලා විස්වාස කරන්න බෑනේ... සෑහෙන්න ලොකු ගෞරවයකුත් ඇති වුනා ඒ අක්කා ගැන ඒ වගේම පොඩි දුකක් ඇති වුනා මෙහෙම කෙල්ලෙක්ට අරහෙම දුකක් දුන්නනේ කියලා.....

    හපෝයි ඒ සේරම කුඩු වෙලා ගියා අයියා කියපු දේට... මේක හරිම අසාධාරණයි නේන්නම්...

    මම වගේ මේ තත්වෙට ආවානම් අනිවා පැනලා යනවා අප්පා.... නෙලු අක්කට මගේ ප්‍රණාමය.

    "පැනලා ගියාට කමක් නෑ කියලා පලයං"

    මේ අපේ තාත්තා කිව්ව කතාවක් හි හි

    ReplyDelete
    Replies
    1. ඔව් එයා නෙලූ අක්කට කරපු වැඩේ හරිම අසාධාරණයි. එයා තනියම දුක විඳින්න ඇති.

      //"පැනලා ගියාට කමක් නෑ කියලා පලයං"//

      මේකනම් නියම කතාව. දැන් ඉතින් ගැමියා මේ කියපු විදියටම වැඩ කරන්න ඕන හොඳේ...

      Delete
  19. නෙලූ අක්කනම් නියමයි.එයා ඇත්තටම අයියාට ගොඩක් ආදරේ කරන්න ඇති.ඒකයි එයාට ආයෙත් අයියා ගාවට එන එක ප්‍රශ්නයක් වෙන්න නැතුව ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව්, ඒ ආදරේනම් ඇත්තම ආදරයක් වෙන්න ඇති.

      Delete
  20. ඔහොම කෙල්ලෙක් හොයාගන්න තියනවනම්.....

    ReplyDelete
  21. රාජ් අය්යා බොන්නෙත් නෑද්ද හෑබෑටම???

    ReplyDelete
  22. ඇත්තම කතාවක්ද..? නංගි...මාර විදියට හිතට වැදුනා..!
    (අපේ රාජ්ල නෙවෙනෙ...!)

    ReplyDelete
    Replies
    1. අත්තම ඇත්ත කතාවක්...හපොයි නෑ එයාලා නෙමෙයි :)

      Delete
  23. නෙලූ අක්කා අද කාලේ හොයා ගන්න ගොඩක් අමාරු ජාතියේ කෙල්ලෙක්. ඒ දෙන්නට සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒකනම් ඇත්ත පැතුම්

      Delete
  24. අදහන්න වටින කෙල්ලෙක් නේ :O

    ReplyDelete
  25. නියම ආදරේ කියන්නෙ අන්න එහෙමයි!!! එකම කෙනෙක් පතාගෙන ,එකම කෙනෙක් වෙනුවෙන් ජීවිතේම පේවෙන්න පුලුවන් කෙනෙක් නියම ආදරවන්තයෙක්/වන්තියක්.. නෙලූ අක්කා සැබෑවටම දේවතාවියක්...

    දෛවයට අනුව කිව්වොත්නම් කෙනෙක්ට දෙයක් ලැබෙන්න තියෙනවානම්, මැරෙන මොහොතෙදි හරි ඒ දේ හිමි වෙනවා කියන්නෙ ඇත්තක්...

    ReplyDelete
    Replies
    1. //දෛවයට අනුව කිව්වොත්නම් කෙනෙක්ට දෙයක් ලැබෙන්න තියෙනවානම්, මැරෙන මොහොතෙදි හරි ඒ දේ හිමි වෙනවා කියන්නෙ ඇත්තක්..//

      මේ ටිකනම් හරියටම හරි...වාසනාවකට තමයි මෙහෙම අය හමු වෙන්නේ...

      Delete
  26. මම හිතාගෙන හිටියෙ මේවගේ අය වඳවෙලා ගිහින් ඇති කියල,එහෙම අයත් තාම ඉන්නව මේ ලෝකෙ එහෙනම්...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...එහෙම උදාහරණ කලාතුරකින් හමු වෙනවා..

      Delete
  27. එකනේ අපිට ජීවිතය මේ වගේ කියලා හරියටම අර්ථ දක්වන්න බැරි

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මානවක. බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට.

      Delete
  28. නෙලූ අක්ක මාරයි ඈ... පුදුමාකාර ආදරයක් තමයි. මේ වගේ සිද්ධියක් මම අහපු දෙවෙනි වතාව. සයුරි අක්ක කිව්වත් වගේ නෙලූ අක්කට මගෙත් ආචාරය. හැබැයි ඊට කලිං රාජ් අයියට පොල්පිති පාරවල් දෙකතුනක් දීල ඉන්න ඕනෙ පාර හිටින්න... මේ ලෝකෙට වැඩි වැඩියෙන් නෙලූ අක්කල/නංගිල බිහි වේවා!(මේ අදහස කැත විදියට බාර ගනියිද මංද, එහෙම නෙමෙයි හොඳේ, පරම පිවිතුරු හදිං කිව්වෙ) හැක්..හැක්..ජය ශ්‍රී හොඳේ.

    ReplyDelete
    Replies
    1. ඔඕ ඒ කියන්නේ මන්ඩි මේ වගේ තව කතාවක් අහල තියනවා. නරකද අපිට ඒක කිව්වොත් :) අන්න හරි පොල් පිති පාරක් තමයි දෙන්න ඕන. ඔව් ඔව් ඔයා පරම පිවිතුරු හදින් කියපු බව අපි දන්නවා :) ජයම ශ්‍රී

      Delete
  29. බින්දි නංගි කියනවා වගේ රාජ් කොන්ද පන නැති තනි තීරණයක් ගන්න බැරි කෙනෙක්. එයාට තිබුනනේ නෙලු අක්ක ව බලාගෙන ඉන්න සයුරී. එයා දෙමාපියන්ටම ඕනෙ විදිහට හිටියේ ඇයි? නෙලූ ගේ අකලංක ප්‍රේමයට නම් මාත් ගරු කරනවා. අර මුදල් වලට කසාද බන්දා දුන්න එක නම් හරිම වැරදියි. මම දන්න අක්කෙක්වත් එහෙම බොරු කියලා දීලා දැන් දෙන්නාම විඳවනවා.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. දෙමව්පියෝ එක්ක පොඩ්ඩක් කතා කරානම් හරිනේ. ඔය වගේ රැවටීම මත කසාද සිද්ද උනාම දෙන්නටම හැමදාම දුකේ තමයි ඉන්න ඕන.

      Delete
  30. නෑ අක්කේ හදිසි විවාහ නරකම නෑ.. ඒක හොද වෙන්නත් පුළුවන්

    ReplyDelete
    Replies
    1. නෑ නෑ නරකම නෑ. වරදින්න තියන හැකියාව වැඩි නිසයි එහෙම කිව්වේ.

      Delete
  31. නෙලූ අක්කා නම් ගරු කරන්න ඕනි කෙනෙක් තමයි...තමන්ව අතැරලා ගිය කෙනෙක්ව සමාව දීලා ආපහු ලගට ඒක හරිම අමාරු දෙයක් නේද අෆ්ෆා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...ඇත්තටම ඒක හරිම අමාරු දෙයක්. ලේසි කෙනෙක්ට එහෙම කරන්න බෑ

      Delete

Related Posts Plugin for WordPress, Blogger...