Thursday, July 26, 2012

චිතකයට බිලි වූ කවිකාර නිරිඳා - රාජාවලිය XX





  
                                        වෙහෙර දසටක් පුරා කරවා දස අටක් මහ වැව් බැඳී
                                        ව ස ර එක දා බිසව අබිසෙස් මහනුවම් තෙමඟුල් යෙදී
                                        ඇ ජ ර කිවියර පිනින් ජානකිහරණ ඈ මහ කව් බැඳි
                                        කු ම ර දස් රද කාලිදස් නම් කිවිඳු හට සිය දිවි පිදී

මේ තියෙන්නේ පැරකුම්බා සිරිතේ එන කවියක්. මේකේ කියන විදියට ජානකීහරණය නම් මහා කාව්‍යය කරවූ කුමාරදාස රජතුමා කාලිදාස නම් කවියා වෙනුවෙන් දිවි පිදුවලු.

අපි පහුගිය රාජාවලිය ලිපිය නතර කළේ මුගලන් රජතුමා ලඟින්. මුගලන් රජතුමාගේ පුත්‍රයා තමයි කුමාරදාස රජතුමා (ක්‍රි. ව. 515 -  524). කුමාර ධාතුසේන කියලත් හඳුන්වනවා. ඔහු ඉතාමත් දක්ෂ කවියෙක් බවට ප්‍රසිද්ධයි. ඒ විතරක් නෙවෙයි, එවකට භාරතයේ විසූ මහා කවි කාලිදාස මෙතුමාගේ කුළුපග මිතුරෙක් ලු. සමාන කලාකාමී සිත් දෙකක් අතර එහෙම මිතු දමක් ඇතිවීම ස්වාභාවිකයි. 

රජතුමාගේ ඛේදජනක මරණය ගැන අතීතයේ ඉඳලා එන ජනප්‍රවාදයක් තියනවා. කුමාරදාස රජතුමා මාතර ප්‍රදේශයේ වෙසෙන කාලේදි කාලිදාස ආවලු එතුමාව හමු වෙන්න. ඔය කාලෙදි රජතුමාගේ සිත් ගත්තු වෛශ්‍යාවක් හමු වෙන්න රජතුමා නිතර නිතර යමින් ලු හිටියේ. ටික දවසක් යද්දී කාලිදාස ත් ඇය හමු වෙන්න පටන් ගත්තා. හැබැයි රජතුමාට හොරාට. ඒත් මේ ගැන රජතුමාට කනින් කොනින් ආරංචි වෙලා තියනවා. මේ බව හරියටම දැනගන්න රජතුමා උපායක් කල්පනා කළා ලු. 

දවසක් රජතුමා ඒ ස්ත්‍රිය හමු වෙන්න ගිය වෙලාවක ඇගේ ඇඳ ඉහත බිත්තියේ මෙන්න මේ කවි පද දෙක ලිව්වලු. 

        සිය තඹරා සිය තඹරා සිය සෙ වැනී
        සිය සපුරා නිදි නොලබා උන් සෙ වැනී 

මෙහෙම ලියලා කිව්වලු මේකේ ඉතුරු පද දෙක සම්පූර්ණ කරන්න පුළුවන් උන කෙනෙකුට විශාල තෑග්ගක් දෙනවා කියලා. ඉතින් ඕකට ඉතුරු පද දෙකක් ලියන්න පුළුවන් උනේ කාලිදාසට ම විතරයි. රජතුමාගේ උපාය ගැන දැනගෙන නොසිටි කාලිදාස මේක දැකලා මෙන්න මෙහෙම ඉතුරු පද දෙක ලිව්වලු. 

        වන බඹරා මල නොතලා රොනට වනී 
        මල දෙදරා පණ ගලවා ගිය සෙ වැනී 

කාලිදාස ඕක සම්පුර්ණ කරාට පස්සේ අර ස්ත්‍රියට ආවා අමුතු අදහසක්. ඇයට ඕන උනේ තෑග්ග කාලිදාසට නොදී තමන්ට ලබා ගන්න. ඉතින් ඇය උපක්‍රමයකින් කාලිදාස මරණයට පත් කළා ලු. මේ බව ආරංචි වෙන කුමාරදාස රජතුමා ඉතාමත් දුකට පත්වෙලා තමන්ගේ මිතුරා දැවෙන චිතකයට පැනලා දිවි තොර කර ගත්තා කියලා තමයි කියන්නේ. මේක ජනප්‍රවාදයක් බවත් මතක තියාගන්න ඕන. රජතුමා කාලිදාස වෙනුවෙන් දිවි පිදූ බව පැරකුම්බා සිරිතේ සඳහන් වෙන විදිහ තමයි උඩම කවියේ තියෙන්නේ. 

මාතර බෝධිය පිහිටලා තියෙන්නේ කාලිදාස ගේ චිතකය තිබුණු තැන කියලත් කියනවා. 

ඉතින් කුමාරදාස රජතුමා ගේ මරණින් පස්සේ ඔහුගේ පුත්‍රයා කීර්තිසේන රජ වෙනවා. මේ කීර්තිසේන රජතුමා රජ වෙලා අවුරුද්දක් යන්නත් කලින් ඔහුගේ මාමා වන ශිව II (ක්‍රි. ව. 524 - 525), කීර්තිසේන මරා රජකම ලබා ගන්නවා. ඉන් පස්සේ ශිව ට විරුද්ධව ඉදිරියට එන්නේ කුමාරදාස රජුගේ බෑනා කෙනෙක් වන උපතිස්ස II. ශිව ගෙන් සිහසුන ලබාගන්නා දෙවන උපතිස්ස රජතුමාටත් (ක්‍රි. ව. 525 - 526) වැඩි කලක් යහතින් රජකම් කරන්න ලැබෙන්නේ නැහැ. ඒ සිලාකාල නම් ලම්භකර්ණ වංශිකයෙකු රාජ්‍ය ලෝභයෙන් රජතුමාට විරුද්ධව කැරලි ගහන්න පටන් ගන්න නිසා. සිලාකාල, මුගලන් රජුගේ රාජ සභාවේ තනතුරක් දැරූ කෙනෙක් වගේම ඔහු විවාහ කරගෙන සිටියේ මුගලන් රජුගේ සොහොයුරියක්. ඒ නිසා රජ පවුලට නෑ කමකුත් තිබුණා.

මේ සිලාකාලගේ කැරලි මර්ධනය කරන්න මුලදී උපතිස්ස රජුගේ පුත්‍රයා සමත් උනත් අන්තිමට සිලාකාල ජයග්‍රහණය කරා. "අඹහෙරණ සලමෙවන්" නමින් ප්‍රසිද්ධ වුනු සිලාකාල වසර 13 ක් (ක්‍රි. ව. 526 - 539) ධර්මානුකුලව රජකම් කරනවා. 

සිලාකාල රජතුමාට ඉන්නවා මුගලන්,  දාටප්පභූති සහ උපතිස්ස නමින් පුත්‍රයින් තුන් දෙනෙක්. මුගලන් කුමරුට නැගෙනහිර ප්‍රදේශයත්  දාටප්පභූති  ට මලය රටත් පවරා දීපු රජතුමා උපතිස්ස කුමරු තමන් එක්කම රඳවා ගනිමින් රාජ්‍ය කටයුතු කරගෙන ගියා ලු. සිලාකාල රජතුමාගේ ඇවෑමෙන් පස්සේ මුගලන් කුමරු රාජ්‍ය බාර ගැනීම සඳහා පැමිණියත් ඒ වන විටත් දාටප්පභූති  කුමරු උපතිස්ස කුමරුත් මරණයට පත් කරලා රාජ්‍ය අයිති කරගෙන තිබුණු නිසා මුගලන් කුමරු සටනකට සැරසුනාලු. ද්වන්ද සටනක් අවසානයේ  දාටප්පභූති රජතුමා (ක්‍රි. ව. 539 - 540) පරාජය වීම නිසා මුගලන්ට රජකම හිමි වුනා. මෙලෙස මුගලන් II රජතුමා අවු. 20 ක් (ක්‍රි. ව. 540 - 560) ධාර්මිකව රජකම් කරනවා. මෙතුමා රාත්‍රී කාලයේදී ඇතුන් පිට නැග්ගවූ කවි ගායනා කරුවන් ලවා රට වැසියාට දහම් කවි අසන්න සලස්වලා දීලා තියනවා. 

තවත් රාජාවලිය ලිපියකින් ඉදිරියේදී හමු වෙමු. 



64 comments:

  1. අද මොකො අක්කේ හදිස්සියෙන් පෝස්ට් එක ලියලා වගේ..

    කාලිදාසගේ කවි කතාව නම් ඇහුවේ මම අද...

    ReplyDelete
    Replies
    1. හප්පේ එහෙම පේනවද ඈ

      Delete
  2. එතකොට කාලිදාස මැරුනෙ ලංකාවෙදිද ? ඔන්න මම නොදැන හිටි තව දෙයක් සයුරි ටීචර් ගෙන් ඉගන ගත්තා.. කවි ලිව්වට මිනිහට මොලේ නෑ වගේ නේද..?

    ගොඩක් ස්තූතියි මිස්.

    ReplyDelete
    Replies
    1. මේ ජනප්‍රවාදේ හැටියටනම් ලංකාවේ වෙන්න ඕන :) මොලේ තියනම් ගෑණු පස්සේ යාවිද අප්පා

      Delete
    2. // මොලේ තියනම් ගෑණු පස්සේ යාවිද අප්පා// බැරෑරුම් කතාවක් කිවුවේ. ඔන්න අපිනම් නෙවෙයි.

      Delete
    3. එකඟය . ඒක ගැනියෙක් එක්ක ඉන්නට අමාරුයි කියන ලෝකේ තව ගැහැණු සොයා යන්නෝ මෝඩයෝය

      Delete
  3. "ඔය කාලෙදි රජතුමාගේ සිත් ගත්තු වෛශ්‍යාවක් හමු වෙන්න රජතුමා නිතර නිතර යමින් ලු හිටියේ." මෙතන පොඩ්ඩක් පැහැදිලි නෑනෙ. නිතර නිතර ගියෙ මොකද?

    එතකොට කාලිදාස මැරිලා තියෙන්නෙ ලංකාවෙ.

    ඔන්න ලිපියට බොහොම ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. //නිතර නිතර ගියෙ මොකද?//

      ඒකනම් හරී රජතුමාගෙන් තමයි අහන්න ඕන :) හ්ම්ම්...මේ කතාවේ හැටියට ලංකාවේ තමයි

      Delete
  4. හ්ම්..පව් කාලිදාස.මොක උනත් කමක් නෑ හරිහමන් ගෑණියෙක් හින්ද මලානම්.පවු අසරණය..

    ReplyDelete
    Replies
    1. අනේ කියල වැඩක් නෑ විමුක්ති..

      Delete
  5. ඔය කාලිදාසගේ මරණය ගැන කතාවනම් මාත් අහල තියනව.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..ටිකක් ප්‍රසිද්ධ කතාවක්

      Delete
  6. හපොයි මෙහෙමත් බලයට කෑදර මිනිස්සු ටිකක්. රජවරු මෙහෙම නම් සාමාන්‍ය මිනිස්සු කොහොම ඉන්ට ඇතිද?

    ඔය කවිය සම්පූර්ණ කල හන්දා කාලිදාසගෙත් අර කාන්තාව අතරෙත් සම්බන්ඳය දැනගත්තු රජ්ජුරුවෝ කාලිදාස මරවපු බවත්, ඒත් තමාගේ හොඳම යහලුවා බැවින් ඒ ගිණි මැලයට පැන දිවි හානි කරගත් බවකුත් මම අහලා තියනවා. ඒකත් කට කතාවක් විතරයි. අනෙක ඒ දෙන්නගේ වෙන සම්බන්ඳයක් තිබුනු බවකුත් තියෙනවා. ඒකත් ඉතින් කට කතාවක්ම විතරයි.:)

    ReplyDelete
    Replies
    1. අහා...ඒ කතාව වෙන්නත් බැරි නැහැ. රජතුමාට ඔහොම දෙයක් කරන එක හරිම ලේසියි නේ...

      //ඒ දෙන්නගේ වෙන සම්බන්ඳයක් තිබුනු බවකුත් තියෙනවා.//

      හික්ස්. මේකත් වෙන්න බැරිම නෑ...

      Delete
  7. ෂාහ්! අපූරු පෝස්ටුව!

    ReplyDelete
  8. අද පෝස්ට් එක සෑහෙන්ඩ පොඩියි නෙව. ලොක්යු වැඩක ඉදලා ලිවුවද මන්දා..

    අපට කවියක් අහන්න බැරි වේද අක්කේ.... ඉතිහාස කතා කියෙව්වා, ගෙදර කට්ටියගේ ක්තා කියෙව්වා. පොඩි වෙනසකටත් එක්ක කවියක්... :)

    ReplyDelete
    Replies
    1. අලෙ..පොඩි වැඩියිද? වැඩ ටික තාම ඉවර නෑ මධූ. තව ටික දවසකින් කවියක් දෙන්නම් හොඳේ. :)

      Delete
  9. //මාතර බෝධිය පිහිටලා තියෙන්නේ කාලිදාස ගේ චිතකය තිබුණු තැන කියලත් කියනවා//
    එහෙනම් මාතර බෝධියේ විශේෂත්වය ඒකයි..!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..එහෙමයි කියලා කියන්නේ. ඔය සිද්ධිය සිහි වෙන්න මාතර නගරයේ බෝධි 7 ක් හිටෙව්වලු. ඒ ප්‍රදේශයට කියන්නේ "සත් බෝධි වත්ත" කියලලු. එතකොට "උයන් වත්ත", "වල්පොල" වගේ නම් හැදිලා තියෙන්නෙත් කුමාරදාස කාලෙදි කියලයි කියන්නේ.

      Delete
  10. කාලිදාස කවියා කියපු අපුරු ශ්ලෝකයක් තියනවා. පුළුවන් නම් ඒකත් හොයල දානවද? යන්තම් දෙවැනි පදේ ඉදල මතකයි.
    ...................... - ..................
    කාත්වන් බාලී - කංචනමාලා
    කින්තේ හස්තේ - තාලි පත්රම්
    කාවා රේඛා - ක ඛ ග ඝ ණ

    මේකේ මුල කතාවක් තියනවා.

    ReplyDelete
    Replies
    1. ඔහ්...මේ ශ්ලෝකය නම් මම අදමයි ඇහුවේ ඇපල්. හොයල බලන්නම්කෝ. දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න කියලත් ඉල්ලනවා...

      Delete
  11. මේ XX දෙකක් තිබ්බ නිසා බය වෙලා මම කියෙවුත් නැහැ.

    ReplyDelete
    Replies
    1. බලන්ටකෝ කැත හිත :)

      Delete
  12. "මේ බව ආරංචි වෙන කුමාරදාස රජතුමා ඉතාමත් දුකට පත්වෙලා තමන්ගේ මිතුරා දැවෙන චිතකයට පැනලා දිවි තොර කර ගත්තා කියලා තමයි කියන්නේ......."

    රජතුමා චිතකට පැනලා මියගිය හැටි දැක්ක රජතුමාගේ බිසෝවරු 4 දෙනා හෝ හත් දෙනාත් ඒ චිතකයටම පැන්න බවත් ඒ කතාවලම කියවෙනවා.

    "ඉන් පස්සේ ශිව ට විරුද්ධව ඉදිරියට එන්නේ කුමාරදාස රජුගේ බෑනා කෙනෙක් වන උපතිස්ස II. ශිව ගෙන් සිහසුන ලබාගන්නා දෙවන උපතිස්ස රජතුමාටත් (ක්‍රි. ව. 525 - 526) වැඩි කලක් යහතින් රජකම් කරන්න ලැබෙන්නේ නැහැ."

    ශිව රජුගේ මරණයෙන් පස්සේ උපතිස්ස දෙවන උපතිස්ස නමින් රජවෙන එක සුවිශේෂී සිද්ධියක්. මොකද දෙවන උපතිස්සගෙන් තමා ලංකාවේ දෙවෙනි ලම්භකර්ණ වංසයේ රජුන් ආරම්භ වෙන්නේ. මේ උපතිස්ස කියන මුගලන් රජතුමාගේ සේනාපතියෙක් ඒ වගේම ඔහු මුගලන් රජතුමාගේ සොයුරියක් සරණ පාවාගෙන හිටි නිසා රජතුමාගේ ඥාතියෙකුත් වුනා.

    " ඒ සිලාකාල නම් ලම්භකර්ණ වංශිකයෙකු රාජ්‍ය ලෝභයෙන් රජතුමාට විරුද්ධව කැරලි ගහන්න පටන් ගන්න නිසා. සිලාකාල, මුගලන් රජුගේ රාජ සභාවේ තනතුරක් දැරූ කෙනෙක් වගේම ඔහු විවාහ කරගෙන සිටියේ මුගලන් රජුගේ සොහොයුරියක්. ඒ නිසා රජ පවුලට නෑ කමකුත් තිබුණා"

    සිලාකාල කියන කෙනා මුගලන් රජතුමා කාලයේ දඹදිව ජය ශ්‍රී මහා බෝධිය සමීපයේ විහාරයක පැවිදි වෙලා හිටිය කෙනෙක්. ඒ කාලයේ එයා ලංකාවට බුදුන්ගේ කේශධාතු වැඩම කරවනවා.[ඒ වෙද්දී නම් එයා සිවුරු ඇරලා] රජතුමා එයා ගැන පැහැදිලා තමන්ගේ සොයුරියක් විවාහ කරවලා එයාව "අසිග්ගාහක" තනතුරට පත් කරන්නේ. ඊට පස්සේ එයා අසිග්ගාහක සිළාකාළ කියලා ප්‍රසිද්ධ වෙනවා.

    දෙවන උපතිස්ස සිලාකාලව ෂේප් කරගන්න එයාට තමන් යටතේ සේනාපති තනතුරක් දුන්නා වගේම වගේම තමන්ගේ දියණියකුත් සරණ පාවා දෙනවා. නමුත් සිද්ධ වෙන්නේ සිලාකාල දක්ෂිණ දේශයට පැනලා ගිහින් කැරලි ගහලා දෙවන උපතිස්ස සහ එයාගේ පුතා වුණු කස්සප පරදවලා රජවුණු එක.

    " "අඹහෙරණ සලමෙවන්" නමින් ප්‍රසිද්ධ වුනු සිලාකාල වසර 13 ක් (ක්‍රි. ව. 526 - 539) ධර්මානුකුලව රජකම් කරනවා."

    මේ අඹහෙරණ කියන නම හැදුණු හැටි ගැන මහාවංසයේ අපූරු කතාවක් තියෙනවා. සිලාකාල හාමුදුරු නමක් විදිහට දඹදිව ඉන්න කාලේ තමන්ට ලැබුණු රසවත් අඹ වගයක් අනික් භික්ෂූන් වහන්සේලාට පූජා කරලා තියෙනවා. පස්සේ අඹ දීපු හාමුදුරුවෝ කියන අර්ථයෙන් තමා අඹ හෙරණ කියන නම ඇවිල්ලා තියෙන්නේ.

    මේ රජතුමාගේ කාලේ වුනු විශේෂම දේවල් විදිහට "මාඝාත ආඥාවක්" පැනවීම, සර්වඥ කේශ ධාතු පූජා පැවැත්වීම දක්වන්න පුලුවන්. ඒ හැරෙන්න කසී රටට ගිය ලංකාවේ වෙළෙන්දෙක් "ධර්ම ධාතු" කියලා ග්‍රන්ථයක් රජතුමාට ගෙනත් දුන් බවත් රජතුමා ඒකට පුද සත්කාර කරපු බවත් කියවෙනවා.

    මේ ධර්මධාතු කිය්න ග්‍රන්ථය මහායාන ග්‍රන්ථයක් කියලා පිළිගන්න නිසා මහායාන පැතිරෙන්න අනුබලයක් මේ කාලයේ වුනාද කියන ප්‍රශ්නයත් මතු වෙනවා.

    "අවසානයේ දාටප්පභූති රජතුමා (ක්‍රි. ව. 539 - 540) පරාජය වීම නිසා මුගලන්ට රජකම හිමි වුනා. මෙලෙස මුගලන් II රජතුමා අවු. 20 ක් (ක්‍රි. ව. 540 - 560) ධාර්මිකව රජකම් කරනවා"

    දෙවන මුගල්න් රජතුමාව "දළ මුගලන්" කියලත් හැඳින්වෙනවා. ඒකට හේතුව මේ රජතුමාගේ සෙල්ලිපියක රජතුමාගේ නම "දළිමුගලන මහරජ" කියලා තියෙන නිසා. ඒ වගේමයි මේ රජතුමා තමා නාච්චදූව වැවයි පදවිය වැවයි කරවන්නේත්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විස්තර වලට. එතකොට උපතිස්සයි සිලාකාලයි දෙන්නම මුගලන් රජතුමාගේ සොයුරියන් විවාහ කරගෙන හිටියද?

      Delete
    2. ඔව් එහෙම තමා කියවෙන්නේ. ඒක බලය තහවුරු කරගැනීමේ උපායක් විදිහට ගන්නත් පුලුවන්. මොකද සිලාකාල වගේම උපතිස්ස කියන දෙන්නාම ලම්භකර්ණ වංශිකයන්. ඒ වෙද්දී නැවත වරක් ක්‍රමයෙන් නැගී ගෙන ආපු ලම්භකර්ණ බලයත් එක්ක තමන්ගේ බලය තහවුරු කරගන්න මුගලන් ලම්භකර්ණ ඥාතීන් ඇතිකරගෙන තියෙනවා.

      Delete
  13. මුගලන් රජතුමාගේ පුතා කොහොමද රුහුණට එන්නේ. මට ඒ ගැන පොඩි ප්‍රශ්නයක් මොකද එයාල හිටියේ රට මැදට වෙන්න නේ.

    කවිකාර රජ කෙනෙක් ගැන අහල තිබුනා. විස්තර දැනගත්තේ අදයි..

    ReplyDelete
    Replies
    1. ඒකනම් මටත් ප්‍රශ්නයක්. වැකේෂන් එහෙකට ආවද දාන්නේ නෑ නේද..

      Delete
  14. ඒකාන්තාව රජුගෙන් වස්තුව ගන්න හිතාගෙන කාලිදාස මරල වලදමන්‍නෙ තමන්ගෙ නිවසේ කුස්සිය මැද්දෙ කියලා මම අහල තියෙනවා. නොහොම හරි රගු මිතුයා හිටි අඩියේ නැතිවූ නිසා රජුට සැකයක් ඇතිවී රජුගේ ආදරණීය සුනඛයා එක්ක ගෙන ගිහින් තමයි කාලිදාස වල දැමූ තැන සොයාගන්නේ.
    ඇය කාලිදාසව මරන්නේ ඒ කවිය සම්පූර්ණ කළේ තමන් බව රජුට ඇඟවිමටයි. ඒත් කාලිදාසගේ ක්‍රියාව රජු පෙර සිටම දැන සිටියත් රජු කාලිදාසට සතුරු කමක් කරන අදහසකින් නෙවෙයි ඔහු අල්ල ගන්න හැදුවේ.

    හරියටම ඒ තමන්ගෙ මිත්‍රයාද කියලා දැනගන්න.

    මේ පුවතට අදාළව වයඹ පළාතෙත් ජනප්‍රවාදයක් තියෙනවා. කුමාරදාස රජු වයඹට සම්බන්ධයි කියලා. ඒ කොහොම වුනත් සයුරිගේ නිගමනය නිවැරදි ඇති ජනප්‍රවාදයට වඩා.

    ReplyDelete
    Replies
    1. කතාවේ අඩු කොටසක් පිරෙව්වට බොහොම ස්තුතියි ඔබට. ඒ ටික මම දැනගෙන හිටියේ නැහැ. රජතුමා කාලිදාසගේ හොරය අල්ලගන්න හැදුවේ ඔහුට අනතුරක් කිරීමේ අදහසකින් නොවන බව තමයි මටත් හිතෙන්නේ. ඒත් ගැහැණිය සේරම කණපිට හැරෙව්වා. ඉතින් රජතුමාට දිවි නසාගන්න හිතෙන්න ඇති ඔහු නිසා එහෙම උනා කියලා.

      Delete
    2. ගෑනු ඔහොම්ම තමා, මැදට පැනලා නැති ලෙඩක් දානවා. පිරිමි දෙන්නට ඕක විසඳගන්න දුන්න නම් උන් දෙන්නා ඕක යස අගේට විසඳ ගන්නවා.

      Delete
  15. මමත් අහලා තියෙන්නෙ මෙන්න මේ විදියටම තමා. කාලිදාසව අර ස්ත්‍රීය මරා දමලා වළදාලා තිබුනේ තමන්ගේම පැල තුලලු. කවියට පිළිතුර කුමාරදාස රජුට පෙන්නූ සැනින්ම රජු දැනගත්තාලු ඒ පද නම් තමන්ගේ අතීජාත මිත්‍රයා වන කාලිදාසගේ වග. ඉන් පසුව රජතුමා කාලිදාසව සෙව්වාලු. ඔහුව මරාදමා ඇත්තේ අර ස්ත්‍රීය බව දැනගෙන දරාගත නොහැකි ශෝකයෙන් දිවිනසා ගත්තාලු...ඒ ඇවිලෙන දරසෑයට පැනීමෙන්ලු.

    ඉතිහාස කතිකාව හරිම අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ලිහිණි මේ පැත්තේ ආපු පලවෙනි වතාව නේද? බොහොම ආදරයෙන් පිලිගන්නවා. ඔයාටත් ස්තුතියි කතාවේ අඩු කොටස සම්පුර්ණ කරාට.

      Delete
  16. කවි ලිව්වෙ බීලද දන්නෙ නෑ......හරිම පොඩි post එකක්!!!

    ReplyDelete
    Replies
    1. හෑ බීලා? රජතුමාද කාලිදාස ද?

      Delete
  17. ඒ රජතුමා නම් හැබෑටම "සoවේදී" නායකයෙක් වගේ. නැතිනම් තමන්ගේ මිතුරා දැවෙන චිතකයට පැනලා දිවි තොර කර ගනීද? ඒ කාලේ ඒ වගේ රජවරුත් අපේ රට පාලනය කරලා තියෙනවා හැබෑවටම එහෙනම්...

    ReplyDelete
    Replies
    1. ඔව්..එතුමාට හිතෙන්න ඇති කාලිදාසගේ මරණයට හේතු උනේ තමා කියලා. බල ලෝභී රජවරු අතරේ මෙහෙම කලාකාමී රජවරුත් ඉඳල තියනවා අයියේ

      Delete
  18. ඉතිහාසය ගැනනම් මගේ දැනුම අල්පයි, මෙතනට එන්නෙ ඉගෙනගන්න.....

    ReplyDelete
    Replies
    1. ඇසූ පිරූ තැන් ඇති අය හරිම නිහතමානියි ලු. ඔබත් එහෙමයි :)

      Delete
  19. මාත් අහල තිබුනට හොඳ විස්තරයක් . පැටලුන මතක එකලස් වෙනවා ඔයා නිසා . රජවරුත් මාරයි ගෙදරම බිසෝලා කොච්චර උන්නත් බෝරිං වෙන්න ඇති . එක අතකට සාමාන්‍ය ගැහැණියකගේ ඇසුර වඩා ප්‍රිය වෙන්නත් ඇති . කුඩු කල කිරිල්ලියන්ට වඩා .

    ReplyDelete
    Replies
    1. ඔය කතාව ඇත්තක් වෙන්න ඇති බින්දී අක්කේ..මහනුවර යුගයේ හිටපු රජවරුත් රන් දෝලි ට අමතරව යකඩ දෝලි කියලා බිසෝවරුත් තියාගත්තලු නේ. සමහරු වැඩිය කැමති උනේ යකඩ දෝලි ට ලු.

      Delete
    2. මේ ගැන නම් හසිතගෙ ලිපියක් තියනවා ගොඩක් විස්තර එක්ක..

      Delete
  20. එක අතකට කුමාරදාස රජතුමාගෙ කතාව මට නම් විකාරයක් වගේ..
    රජකෙනෙකුට මේ වගේ දේකට සියදිවි නසා ගන්නවට වැඩිය කොච්චර වගකීමක් තියනවාද?
    ඔහුගේ මරණයෙන් පස්සෙ රාජ්‍යත්වය ගොඩක් අවුල්සහගත බවයි පෙනෙන්නෙ..

    ස්තුතියි සයු හැමදාම වගේ..

    ReplyDelete
    Replies
    1. //රජකෙනෙකුට මේ වගේ දේකට සියදිවි නසා ගන්නවට වැඩිය කොච්චර වගකීමක් තියනවාද?//

      මේකනම් ඇත්ත රූ. රජ කෙනෙක් ඕනවට වඩා සංවේදී වෙන්න හොඳ නෑ කියලා සිරිසඟබෝ කතාවේදීත් මට හිතුනා

      Delete
  21. කුමාරදාස රජතුමා චිතකයට පනින්න තවත් හේතුවක් ලු ඉන්දියාවේ රජතුමාගේ ප්‍රධාන කවියෙක් තමන්ගෙ රටේදී මිය යෑමේ අගෞරවය නිසා කියලත් සමහරු කියනවා. මේ ගැන අපූරු ලිපියක් රිවිර පත්තරේ තිබුණා මම දැක්කා! වටිනා විස්තරයක් හැමදාමත් වගේ!

    ReplyDelete
    Replies
    1. @ ලහිරු

      "ඉන්දියාවේ රජතුමාගේ ප්‍රධාන කවියෙක්"

      ඉන්දියාවේ රජතුමා කියලා පුද්ගලයෙක් මම දන්නා තරමින් හිටියේ නැහැ. මොකද සමස්ත ඉන්දියාවේම තමන්ගේ බලය පතුරුවන්න කිසිම පාලකයෙක්ට හැකි නොවුණු නිසා.

      කාලිදාස හිටියේ ගුප්ත අධිරාජ්‍යයාගේ රාජ සභාවේ කවියෙක් විදිහට. ඒ කාලයේ අධිරාජ්‍යයා වුණු දෙවන චන්ද්‍රගුප්තගේ රාජ සභාවේ හිටි කාලිදාස සහ අනෙක් ප්‍රධාන කවීන් 8 දෙනාව හැදින්වුවේ "නවරත්න කවීන්" විදිහට.

      Delete
    2. ඇත්ත තමා ලහිරු. මේ සිද්ධිය එක්තරා විදියක අගෞරවයක් තමයි. රටටත්, කුමාරදාස රජුටත්.

      Delete
  22. අදනම් පොඩ්ඩම පොඩ්ඩයි ලිපිය..:)

    හෆ්ෆා.. බලන්න ඉතින් රජතුමාටත් අන්තිමට ජීවිතෙ නැති වුනා ගෑනු කෙනෙක් නිසා.. කාලිදාසයන් මියගියෙත් ඔය කියන වෛශ්‍යාව නිසානෙ?? හ්ම්ම්.. හ්ම්ම්......

    ReplyDelete
    Replies
    1. පේනවා නේද හිතු, පිරිමින්ගේ මෝඩ කම් :)

      Delete
    2. ඇයි ඇයි ඒ විතරද? සල්ලිවලට ගෑනුන්ගෙ තියෙන තණ්හායි කෑදරකමයි මේකෙන් පේන්නෙ නැද්ද?

      Delete
    3. ඔව් ඔව් අනේ ඒකත් පේනවා :)

      Delete
  23. කාලිදාස කතාව කාලෙකට පස්සේ බැලුවෙ සයුරී. හසිතත් දයානන්ද රත්නායකත් අඩුව පුරවනවා. ස්තූතියි හැමෝටම. වටිනා ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ඔබටත් බොහොම ස්තුතියි කතාව බලලා අදහසක් දීලා ගියාට :)

      Delete
  24. ඒකත් එහෙමද ඈ...

    ReplyDelete
  25. කාලෙකින් අවේ ....වටින විස්තරයක් බොහෝම කෙටියෙන් ඉවර කරලනේ...මොකෝ හදිස්සියෙන් වගේ....

    ReplyDelete
    Replies
    1. ඔයාටත් හිතෙනවද හදිස්සියෙන් ලියලා කියලා

      Delete
    2. වෙනදා ලියන ලිපි එක්ක බැලුවම මේක කඩදාසි ලිපේ දාලා වගේ එකක් නේ.....

      Delete
    3. :)) ඊ ළඟ එක දිගට ලියන්න ඕන

      Delete
  26. හයියෝ මේක මගඇරිලා..

    මේ සිද්ධිය ගැන මම මුලින්ම ඇහුවේ මහාවංශයට විද්‍යුත් ටීකාවක් කියන වැඩසටහන බලද්දි.සමහර වටි යූ ටියුබ් එකේ එහෙම ඇති ඒකේ වීඩියෝ එහෙම.සෑහෙන්න වටින ඉතිහාස කතා ඒකේ කතාවුනා.

    ස්තූතියි අක්කේ... අද පොඩ්ඩයි හැබැයි

    ReplyDelete
    Replies
    1. මමත් හරිම කැමැත්තෙන් බලපු වැඩසටහනක් මල්ලි. ඒකෙත් ඉතිහාසය කතාවක් වගේ ගලාගෙන ගියා. ලෝක ඉතිහාසය ගැනත් සමගාමිව කතා කරා මට මතක විදියට. හ්ම්ම් පොඩ්ඩයි වගේ නේද :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...