Friday, February 1, 2013

අනුරපුර අවසානය - රාජාවලිය XXVII



ගියපාර රාජාවලිය ලිපිය අපි නතර කළේ පස්වන කාශ්‍යප රජතුමා රජ උනා කියල නේ. මේ රජතුමා දැහැමිව රට පාලනය කරපු හොඳ රජ කෙනෙක්.

ඔය කාලෙදි අපේ අසල්වැසි ඉන්දියාවේ සොලීන් සහ පාණ්ඩ්‍යයින් අතර සටන් ඇවිලිලා තිබුනලු. සොලීන්ගේ පහර දීම හමුවේ අසරණ වෙච්ච පඬි රජතුමා අපේ කාශ්‍යප රජුගෙන් ආධාර ඉල්ලීමේ ප්‍රතිඵලයක් හැටියට ලංකාවෙන් හමුදාවක් පාණ්ඩ්‍යයින්ගේ සහයට යවනවා. මේ හින්දා උද්දාමයට පත්වෙන පඬි රජතුමා පඬි සහ ලක් සේනා දෙකම එකතු කරගෙන චෝලයින් ඉදිරියට යනවා. වෙල්ලූර් වලදී දෙපිරිස මුණ ගැහිලා ඉතාමත් දරුණු සටනක් අරඹනවා. මේ වෙලාවේදී අවාසනාවකට ලක් සේනාවට වසංගත රෝගයක් වැළඳිලා එක එකා මිය යන්න පටන් ගන්නවා. මේ බව අසා දුක් වෙන කාශ්‍යප රජතුමා ඉතිරි සෙබළුන් වහාම ලක්දිවට ගෙන්වා ගන්න වග බලා ගන්නවා. වෙල්ලූර් සටන ජය පරාජයක් නැතුවම අවසන් උන බවයි කියවෙන්නේ. 

ක්‍රි. ව. 939 දී පස්වන කාශ්‍යප රජතුමා මිය ගියාට පස්සේ රජකම ලැබෙන්නේ ඔහුගේ පුත් හතරවන දප්පුල රජතුමාට (ක්‍රි. ව. 939 - 940). ඒත් එයින් මාස 7 කට පස්සේ ඔහු මිය ගිය නිසා ඉන් පස්සේ ඔහුගේ සොහොයුරු පස්වන දප්පුල රජ වෙනවා (ක්‍රි. ව. 940 - 952). මේ කාලයේදීත් පස්වන කාශ්‍යප රජුගේ කාලයේදී වගේම සොලීන් විසින් පඬි දේශය ආක්‍රමණය කිරීම නිසා පඬි රජු සහය පතා ලංකාවට එනවා. දප්පුල රජු යුධ ආධාර ලබා දෙන්න සූදානම් උනත් ප්‍රාදේශීය නායකයින් එයට එරෙහිව නැගී සිටින නිසා ඒ අදහස අත්හැරගන්න සිදු වෙනවා. මේ නිසා පඬි රජතුමා, ඔටුන්න ඇතුළු වටිනා භාණ්ඩ දප්පුලV රජු භාරයේ තබා කේරළය බලා පිටත් වෙනවා.  

පස්වන දප්පුල රජතුමා මිය යන විට යුව රජුව සිටි ආදිපාදවරයා උදය II නමින් රජ වෙනවා (ක්‍රි. ව. 952 - 955). ඒත් ඇමතිවරුන් අතර මේ රජතුමා ගැන අප්‍රසාදයක් හට ගන්නවා. හේතුව නොදනී. මේ ගැන රජතුමාගේ කනට වැටීම නිසා ඇමතිවරු බයට පත් වෙලා තපෝ වනයකට පලා ගිහින් සැඟවී ජිවත් වෙනවා. කොහොම උනත් රජතුමාත් ඉන්නේ ඔවුන්ට බයෙන්. මේ නිසා යුවරජ සමග එකතු වෙලා උදය රජතුමා තපෝ වනය වටලා ඇමතිවරුන් සොයා දරුණු විදියේ සංහාරයක් කරනවා. මෙයින් කළකිරෙන තපෝවන භික්ෂුන් රුහුණට පලා යනවා. අවසානයේ පසුතැවිලි වන යුවරජ ඒ භික්ෂූන් සොයා ගොස් ඔවුන් නැවතත් තපෝ වනයට ගෙන්වාගන්න කටයුතු කරනවා. රජතුමාත් භික්ශුන්ගේ දෙපා මුල වැටී සමාව ගන්නවා. 

දෙවන උදය රජතුමා මිය ගියාට පස්සේ රජ වෙන්නේ යුවරජ ව සිටි ඔහුගේ සොහොයුරු තුන්වන සේන (ක්‍රි. ව. 955 - 964). ඔහු මේ වන විට ඉතාමත් දැහැමි පුද්ගලයෙක් බවට පත්ව සිටියා. ආගමානුකූලව දහමින් රට පාලනය කළ මෙතුමා දුප්පතුන්ටද උදව් උපකාර කරනවා. සේන III රජතුමා මියගියාට පස්සේ රජ වෙන්නේ යුව රජ වී සිටි ඔහුගේ හොඳ මිතුරෙක් වන තුන්වන උදය රජතුමා (ක්‍රි. ව. 964 - 972). මේ රජතුමා මත්පැනට ලොල් වූ උදාසීන පාලකයෙක් විදිහටයි සැළකෙන්නේ. මේ නිසා රටේ පරිපාලන කටයුතු එහෙම පිටින්ම අවුල් වෙලා ගියාලු. මෙයින් වෙන තවත් අවාසියක් තමයි චෝලයින් අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට සැරසීම. රට අවුල් සහගත තත්වය දුටු චෝල රජතුමා,  දප්පුලV රජුගේ කාලයේ පඬි රජු විසින් ලංකාවට භාර දුන් රාජ්‍ය ආභරණ ඉල්ලා සන්දේශයක් එවනවා. එහෙත් තුන්වන සේන රජතුමා එය ප්‍රතික්ෂේප කරනවා (ඒ වෙද්දී චෝලයින් පඬි රට යටත් කරගෙන). මෙයින් කිපෙන චෝල රජතුමා සේන රජුට විරුද්ධව සටන් කිරීමට සේනාවක් එවනවා. මේ සටනින් සිංහල හමුදාව පරාජය වෙද්දී උදය රජතුමා රුහුණට පලා යනවා. රජු හඹා යාම අපහසු බව දුටු සොලී සේනාව හැකි තරම් වස්තුව කොල්ල කා ගෙන ආපසු යනවා. කොහොම උනත් මේ ප්‍රශ්න ඇති උනේ තමන්ගේ දුර්වල කම නිසා බව තේරුම් ගන්න උදය රජතුමා ඒ ගැන පසුතැවි ශක්තිමත් හමුදාවක් සදා සොලී දේශයට යවනවා. ඔවුන් සොළින්ගේ වස්තුවද කොල්ල කාගෙන නැවත පැමිණෙනවා.

උදය III රජුගෙන් පසු රජ වෙන්නේ ඔහුගේ යුවරජ සේන IV (ක්‍රි. ව. 972 - 975). ඔහුගේ කෙටි රාජ්‍ය කාලයෙන් පසුව රජකම ඔහුගේ සොහොයුරු මහින්ද  IV (ක්‍රි. ව. 975 - 991) ට හිමි වෙනවා. මේ මහින්ද රජතුමා අගමෙහෙසිය හැටියට පාවා ගන්නේ කාලිංග කුමරියක්. ඇයට පුතුන් දෙදෙනෙක් සහ දුවක් ලැබෙනවා. මේ කාලයේදී චෝල රජෙක් වන වල්ලභ විසින් ලංකාවට හමුදාවක් එව්වත් ඔවුන් පරාජය කරන්න රජුගේ සේනාවට හැකි වෙනවා. හතරවන මිහිඳු රජතුමා මියයන විට කාලිංග බිසවගෙන් ලද පුත්‍රයාගේ වයස අවු. 12 ක් වුවත් රජකම ලැබෙන්නේ ඔහුට. ඔහු සේන V නමින් රජ වෙනවා (ක්‍රි. ව. 991 - 1001). මේ ළමා රජතුමා හැසිරෙන්නේ ඉතාමත් නොමනා ආකාරයට. රජකම් කිරීමට තරම් හැකියාවක් බුද්ධිය මෝරා නැති මේ කුඩා ළමයාට නොතිබුනා වගේම ඔහුගේ ඔහුගේ ක්‍රියා කලාපයත් හොඳ උනේ නැහැ. මේ නිසා මහින්ද රජුගේ ප්‍රධාන සෙනෙවියා මොහුට විරුද්ධ වෙනවා. රජු විසින් සෙනෙවි ගේ තනතුර වෙන කෙනෙක්ට පිරිනැමීමත් එයට එක හේතුවක් උනා. සෙනෙවියාට පරාද වෙන රජතුමා දකුණු දේශයට පලා ගියත් ඔහුගේ මව ඉතුරු දරුවන් දෙදෙනාත් සමග අග නුවර රැඳෙමින් රටේ පාලනය කටයුතු කරගෙන යනවා. මේ අතර සෙනෙවියා ඔහුගේ ද්‍රවිඩ භටයින්ට අනුරාධපුරය බාර දී පොළොන්නරුවේ වාසයට යාම නිසා ද්‍රවිඩයින් හිතේ හැටියට සිංහලයින්ට හිංසා පීඩා කරන්න පටන් ගන්නවා. මේ අවුල් සහගත තත්වය නිසා රුහුණට පලාගිය සේන රජතුමා නැවතත් සාකච්චා මාර්ගයෙන් සෙනෙවි සමග මිතුරු වී අගනුවරට පැමිණෙනවා. සෙනෙවිගේ දියණිය රජුට පාවා දීමත් සිදු වෙනවා.

පස්වන සේන රජතුමාගෙන් පසු රජ වෙන්නේ ඔහුගේ බාල සොහොයුරු පස්වන මිහිඳු (ක්‍රි. ව. 1001 - 1017). මොහු ඉතාමත් දුර්වල පාලකයෙක් උන නිසා පාලන කටයුතු හරිහැටි කර ගැනීමත් ඔහුට අපහසු උනා. මිනිසුන් බදු ගෙවීම ප්‍රතික්ෂේප කළ බැවින් භාණ්ඩාගාරය හිස් වී හමුදා භටයින්ට පඩි ගෙවා ගැනීමටත් නොහැකි අවස්ථාවකට ආවා. මෙවිට කේරළ භටයින් මාළිගාව වටලා කැරලි ගැසීම නිසා රහසේම රුහුණට පලා යාමට රජුට සිදු උනා. මේ අතර අගනුවර පාලනය ද්‍රවිඩ භටයින් සහ වෙනත් අය අතින් හිතු මනාපයට සිදු වුන නිසා රට ඉතාමත් අවුල් සහගත තත්වයකට පත් වුනා. කෘෂි කර්මාන්තය, වාරි කර්මාන්තය, මේ හැම දෙයක්ම බිඳ වැටුනා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ කල දුටු කල වල ඉහ ගැනීමට බලා සිටි චෝලයින්. රාජ රාජ නම් චෝල රජ, ඔහුගේ පුත් රාජේන්ද්‍ර ප්‍රමුඛ සේනාවක් ලංකාවට එවන්නේ ලංකාව යටත් කර ගැනීමේ අදහසින්. මේ සේනාව ලංකාවට ගොඩ බැසි මොහොතේ පටන්ම ගම් දානව ගිනි තියමින් විශාල සංහාරයක් කරමින් අග නුවරට ඇතුල් උනා ලු. දප්පුලV රාජ්‍ය සමයේ පඬි රජු මෙහි තබා ගිය රාජ්‍ය ආභරණත් පැහැර ගත්තා කියලා සඳහන් වෙනවා. ඒ වගේම පස්වන මිහිඳු රජතුමාත් චෝල දේශයට අල්ලාගෙන ගියාලු. ඔහුගේ මරණය සිදු වෙලා තියෙන්නේ එහිදී. එහත් රජතුමාගේ පුත්‍රයෙක් රුහුණු වැසියන් විසින් සඟවා ගෙන ආරක්ෂා කළ බවත් කියවෙනවා.

ඉතින් අනුරපුර යුගයේ අවසාන සිද්ධ වෙන්නේ මෙවැනි අවාසනාවන්ත ආකාරයකට. දිවයිනේ වැඩි කොටසක් චෝල බලයට නතු වීම නිසා සිංහල ජනතාව එයින් පීඩා විඳිනවා. රටේ තවත් අඳුරු යුගයක් මේ ආකාරයට ආරම්භ වෙනවා.

61 comments:

  1. මේ රජවරු එනව යනව කතාව හැල්මෙ ගියාට මොකද ඒ අතරතුර කොයිතරම් දේවල්නම් සිද්ධ වෙන්න ඇද්ද. මිනිස්සු කොච්චර නිරපරාදෙ මැරෙන්න ඇද්ද. රටේ ජනතාව කොයිතරම් උවදුරුවලට මුහුණ දෙන්න ඇද්ද, වස්තුව ධනය කොයිතරම් විනාශ වෙන්න ඇද්ද. මම හිතන්නෙ හැම රටකම වගේ ඉතිහාසෙ මෙහෙම අවුල් වියවුල්වලින් ගහනයි. මොන තරම් අවාසනාවක්ද?

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නේ මෙහෙම ලේ වැගිරීම් නැති ඉතිහාසයක් මොන රටකවත් නැතුව ඇති DDT. එහෙම බලනකොට මිනිස්සු කියන්නේ මොන තරම් බලයට කෑදර පහත් ජාතියක්ද කියල හිතෙනවා.

      Delete
  2. // හමුදා භටයින්ට පඩි ගෙවා ගැනීමටත් //

    සයුරි ඉස්සර ලංකාවෙ හමුදාවක් තිබිලා තියනවද ? මම අහලා තියෙන්නෙ යුධමය අවස්තාවක ශක්ති සම්ම්පන්න පුරුශයන් එකතු වෙලා කෙටි කාලීන පුහුණුවකින් පස්සෙ යුද්ධෙට යනවා කියලා.. යුද්දෙ ඉවර වුනාම ආයෙ විසිර යනවා.. එහෙම නොවේද වෙලා තියෙන්නෙ ?

    මේ කියන කාලෙ දුටු ගැමුණු රජ්ජුරුවන්ට පෙරද පසුද ? මට මතක විදිහට තාම දුටු ගැමුණු කාලෙට ආවෙ නෑ නේද ?

    මේ චෝලයොයින්ගෙනුයි, පඬියන්ගෙනුයි එදත් අද වගේම කරදර තිබිලානෙ..

    ReplyDelete
    Replies
    1. දසමහා යෝධයෝ සහ පිරිස් හැදුනෙ යුධ හමුදාවක් ආකාරයට නෙවේද සෙන්නා/

      Delete
    2. මම දන්න හැටියටනම් සමහර කාලවල නිත්‍ය හමුදා ඉඳලා තියනවා සෙන්නා (සෑම් කිව්වා වගේ). ඒකනේ "අසිග්ගාහක" වගේ තනතුරු එහෙමත් තිබිලා තියෙන්නේ. අර විදියේ කෙටි කාලීනව සංවිධානය කරගත්ත භට සේනාත් ඉන්න ඇති. ඒත් මම හිතන්නේ රජ කෙනෙක්ට නිත්‍ය හමුදාවක් තිබීම එක්තරා අවශ්‍යතාවයක් උනා කියලා. රටේ තත්වය අනුව එහෙම බැරි අවස්ථා වලදී අර වගේ කෙටි කාලීන පුහුණු දෙන්න ඇති.

      දැන් සෙන්නා ළමයට ටොක්කක් අනින්නයි යන්නේ :) දුටු ගැමුණු රජතුමා හිටියේ ක්‍රි. පූ. එකසිය ගණන්වල. දැන් අපි ඉන්නේ ක්‍රි. ව. එකදාස් ගණන්වල නේ. මෙන්න දුටු ගැමුණු ලිපිය..

      http://pahanyaaya.blogspot.com/2011/12/vi.html

      පඬියෝ තව හොඳයි අප්පා. චෝලයෝ තමයි එපාම කරපු ජාතිය.. :))

      Delete
    3. අපොයි.. ටොක්කක් දීලා මදි..අනේ දැන් ඉතින් කවුද අනුරාධපුරේ බේර ගන්නෙ..

      ආ තව එකක් අහන්න හිටියෙ.. ලංකාවෙ ආදිපාදවරයො හිටියද ?

      සෑම්, එහෙම වෙන්ඩ ඇති නේද බන්.. ඔය ටීචත් කියලා තියෙන්නෙ..

      Delete
    4. හිහි..

      දැන් ඉතින් අනුරාධපුරේ බේර ගන්න හම්බු වෙන්නේ නෑ :( ඊ ගාවට විජයබා කොල්ලය හරහා පොළොන්නරුවට...

      ඔය ආදිපාද කියන එකේ අදහස ඇත්තම ආදිපාද තනතුරක්ද කියලානම් දන්නේ නෑ. සිංහලෙන් ඉන්ග්රිසියටත්, ඉංග්‍රීසියෙන් සිංහලටත් ආපහු සිංහලෙන් ඉංග්‍රීසියටත් පරිවර්තනය වෙච්ච ලිපිවලින් නේ මේ විස්තර හොයාගන්නේ. තනතුරු නාම වගේ ඒවා හරි තේරුමෙන් පරිවර්තනය වෙනවද මන්දා.

      Delete
    5. @ සෙන්නා

      //...ඉස්සර ලංකාවෙ හමුදාවක් තිබිලා තියනවද ? මම අහලා තියෙන්නෙ යුධමය අවස්තාවක ශක්ති සම්ම්පන්න පුරුශයන් එකතු වෙලා කෙටි කාලීන පුහුණුවකින් පස්සෙ යුද්ධෙට යනවා කියලා.. යුද්දෙ ඉවර වුනාම ආයෙ විසිර යනවා.. එහෙම නොවේද වෙලා තියෙන්නෙ ?..//

      අනුරාධපුර කාලේ ඉදන්ම රජවරුන්ට හමුදාවක් පැවතිලා තියෙනවා. රටේ වරායන් ආශ්‍රිතව විදෙස් ආක්‍රමණ ගැන සෝදිසියෙන් වගේම රාජ්‍ය අභ්‍යන්තරයේත් ඔවුන් ඉදලා තියෙනවා. ඒ වගේමයි ඒ හමුදාව සේනාපතිවරුන් යටතේ අනුඛණ්ඩ වශයෙන් බෙදා තිබුණු බවත් පෙනෙනවා. මේ හැරෙන්න ප්‍රාදේශීය පාලකයන් ගාවත් ප්‍රාදේශීය මට්ටමේ හමුදා තිබිලා තියෙනවා.

      සේනාපතිවරුන් කීප දෙනෙක්ම රජුට සිටිය බව හිතාගන්න පුලුවන් ගුහා පූජා කිරීමේදී කටාරම්වල තියෙන ලේඛනවලින්. ඒ වගේම සේනාපති පවුල් [සීයා, පුතා, මුණුපුරා] හිටිය බවත් පෙනෙනවා.

      රජතුමාට පුද්ගලික අංගාරක්ෂක හමුදාවකුත් මේ අතරේ තිබිලා තියෙනවා. අසිග්ගාහක හෙවත් රජුගේ මඟුල් කඩුව දරන්නා ඒක භාරව හිටිය බව අනුමාන කරන්න පුලුවන්. රජතුමාට ඉන්න සාමාන්‍ය ප්‍රමාණයේ හමුදාව කාලීන අවශ්‍යතා අනුව වැඩි වෙන්න පුලුවන්. ඒ වගේමයි රජතුමාගේ යුධ ප්‍රතිපත්තිය අනුවත් වැඩිවෙන්න පුලුවන්.

      Delete
    6. @ සයුරි

      //..මම දන්න හැටියටනම් සමහර කාලවල නිත්‍ය හමුදා ඉඳලා තියනවා සෙන්නා (සෑම් කිව්වා වගේ). ඒකනේ "අසිග්ගාහක" වගේ තනතුරු එහෙමත් තිබිලා තියෙන්නේ....//

      අසිග්ගාහක කියන්නේ රාජකීය හමුදාවේ තනතුරකටත් වඩා රජතුමා හා සම්බන්ධ වුණු තනතුරක්. එක අතකට ඒක ගෞරවනීය තනතුරක් විදිහට හඳුන්වන්නත් පුලුවන්. රජතුමාගේ මඟුල් කඩුව භාරව සිටීම ඔහුට පැවරිලා තියෙනවා. ඒ අනුව කිසියම් ආකාරයකට රජතුමාගේ පුද්ගලික ආරක්ෂකයා වගේම අංගාරක්ෂක හමුදාවේ ප්‍රධානියෙක් විදිහටත් ඔහු හිටිය බව හිතන්න පුලුවන්

      //..ඊ ගාවට විජයබා කොල්ලය හරහා පොළොන්නරුවට...//

      විජයබා කොල්ලය නමින් හඳුන්වන්නේ කෝට්ටේ රාජධානි සමයේදී 6 වෙනි විජයබාහු රජතුමා මරා දමලා පුතුන් තිදෙනා වුණු බුවනෙකබාහු, පරරාජසිංහ[රයිගම් බණ්ඩාර] මායාදුන්නේ බලය අල්ලා ගැනීමේ සිද්ධිය

      //..ඔය ආදිපාද කියන එකේ අදහස ඇත්තම ආදිපාද තනතුරක්ද කියලානම් දන්නේ නෑ....//

      ආදිපාද එහෙමත් නැත්නම් ඈපා කියලා හඳුන්වලා තියෙන්නේ රෝහණ රාජ්‍යය පාලනය කරපු පාලකයාව. මාපා එහෙමත් නැත්නම් මහාදිපාද නමින් හඳුන්වලා තියෙන්නේ මායා රාජ්‍යය පාලනය කරපු පාලකයාව. පළමු රාජ්‍යය උරුමකරුවා මහාදිපාද විදිහටත් දෙවෙනි රාජ්‍ය උරුමය ඇති කෙනා ආදිපාද විදිහටත් හිටිය බවයි පේන්නේ.

      සෙල්ලිපිවල දැක්වෙන්නේ "ඈපා මාපා සිරිවිඳ පිළිවෙලින් රජ පැමිණ" කියලා

      ඒ තනතුර රාජකීය උරුමය ඇත්තන්ට දෙන ගෞරවනීය තනතුරු වගේම රාජ උරුමය සඳහා පුහුණුවීමට ලැබෙන තනතුරක්. එංගලන්තයේත් එහෙම නොවැ. ඔටුන්න හිමි විලියම් කුමාරයා කේම්බ්‍රිජ්හි ආදිපාදනේ :D

      Delete
    7. ස්තූතියි හසිත

      Delete
    8. //විජයබා කොල්ලය නමින් හඳුන්වන්නේ කෝට්ටේ රාජධානි සමයේදී 6 වෙනි විජයබාහු රජතුමා මරා දමලා පුතුන් තිදෙනා වුණු බුවනෙකබාහු, පරරාජසිංහ[රයිගම් බණ්ඩාර] මායාදුන්නේ බලය අල්ලා ගැනීමේ සිද්ධිය //

      ඉස්කෝලේ කාලේ ඉඳලම විජයබා කොල්ලය කිව්වම මගේ ඔලුවට එන්නේ මේ සිද්ධිය. ඒක ඔළුවෙන් අයින් කරගන්න ට්‍රයි කරන්නම වෙනවා.

      ආදිපාද කිව්වම මටත් මතක් වෙන්නේ එංගලන්තේ උදවිය තමයි.

      Delete
  3. //මේ චෝලයොයින්ගෙනුයි, පඬියන්ගෙනුයි එදත් අද වගේම කරදර තිබිලානෙ.//
    ඉන්දියාවෙන් මළ වදේ තමයි එදා ඉඳන්ම !!!

    ReplyDelete
    Replies
    1. මොකට කියනවද සහෝ ඒ ගැන.. මහාචාර්ය ජෙරඩ්ගෙ කටේ මසුරන් ඔබන්න හිතෙන්නෙ ඔය වෙලාවට තමා.. එතනදිත් භූගෝලීය බලපෑම.. :-)

      Delete
    2. හිහි...ඒක නේන්නම්.

      Delete
    3. @ Chathuranga Perera

      //..//මේ චෝලයොයින්ගෙනුයි, පඬියන්ගෙනුයි එදත් අද වගේම කරදර තිබිලානෙ.//
      ඉන්දියාවෙන් මළ වදේ තමයි එදා ඉඳන්ම !!!...//

      මේකනේ සීන් එක දකුණු ඉන්දියාවේ චෝල, පාණ්ඩ්‍ය, කේරළ වගේ රාජ්‍යයක් බලවත් වෙද්දී උන් බලනවා කාට හරි ගහලා තමන්ගේ රාජ්‍යය ලොකු කරගන්න. උතුරු ඉන්දියාවට ඇටෑක් එකක් දෙන්න යන්න අමාරුයි. භූගෝලීය පිහිටීමත් එක්ක ඒකට හරි කරදර ජරමර. ඒක නිසා උන් බලන්නේ ලංකාව වගේ අහළ පහළ තියෙන රටවල්වලට ගේම ගහලා අල්ලගන්න.

      උන් එහෙන් ගහන්න එද්දී මෙහෙ අයියලා රාජ්‍ය පාලනය අල කරලා ඒක බැක්ග්‍රවුන්ඩ් එක හුඟක් වෙලාවට හදලා තියෙන නිසා උන්ට ගේමක් නැහැ ලංකාව අල්ලගන්න. එක්කෝ ලංකාව අල්ලගෙන හොඳ සුද්දයක් දීලා යන්න යනවා. එහෙමත් නැත්නම් පැල පදියම් වෙලා හොඳට හම්බ කරගන්නවා :(

      Delete
  4. හුඟ කාලෙකින් රාජාවලියට ගොඩවුනේ... ලිපි 27 ක් එකදිගට ලියන්න තරම් සයුරිට තිබුණු කැපවීම ගොඩක් අගය කරන්න ඕනේ... මුලදි වගේ අකුරක් නෑර නොකියෙව්වත්, සයුරි මේ වෙන මහන්සියට වචනයකින් හරි ස්තුතියක් නොදී යන එක හරි මදි !!!

    රාජාවලිය ඉවරකරලා ඊබුක් කරන්න. හසිත සහෝගෙනුත් උදව්වක් ගන්න පුළුවන් වේවි... මේකවත් නැත්නම් අපේ ළමයින්ට රජවරු ගැන කියාදෙන්න කටුගෙටම යන්න වෙනවා... මේ හොරකම් වෙන විදියට ඒකත් ෂුවර් නෑ... පොඩි එවුන්ට එදාට කියන්න වෙන්නේ "පුතේ, ඔන්න ඔතන තමයි කටුගේ කියලා කියන එක තිබ්බේ" කියලා...

    මේ ලිපි පෙළ අඛණ්ඩව ඉදිරියට ගෙනයන්නට ඔබට ශක්තිය, ධෛර්යය ලැබේවා !!! ජයෙන් ජය !!!

    ReplyDelete
    Replies
    1. වැඩ කරදර අස්සේ ඉඳගෙනත් මෙහෙම හරි ඇවිත් යන එක ගොඩක් වටිනවා චතුරංග. අනිවාර්යෙන්ම මේක ඉවර කරනවා කියලා දැන් හිත හදාගෙන ඉවරයි මම. ඊ බුක් කතාව ඔයා කලිනුත් කිව්වා මට මතකයි. ඒ අදහසටත් ස්තුතියි.

      \\පුතේ, ඔන්න ඔතන තමයි කටුගේ කියලා කියන එක තිබ්බේ\\

      අනිවාර්යෙන්ම මෙහෙම දවසකුත් ඒවි අපේ ලංකාවට... :(

      නැවතත් බොහොම ස්තුතියි මේ දිරිමත් කිරීමට.

      Delete
    2. @ Chathuranga Perera


      ස්තුතියි අපිවත් මතක් කළාට :)

      Delete
  5. රට සංවර්ධනය කල අයට වඩා ඉන්නේ බලය වෙනුවෙන් යුද්ධ කරපු අයනේ බලන් යද්දි.. ඒ කාලේ ඉදන්ම ඉන්දියාවෙන් අපිට ප්‍රශ්ණමනේ බලන් යද්දී...

    දැන් ඊළගට අපි යන්නේ පොළොන්නරුවට නේද ලොකූ..

    ReplyDelete
    Replies
    1. යැස් යැස් පොළොන්නරුවට තමා :) යමු නේද?

      Delete
  6. බලාගෙන යනකොට මේ ඉන්දියාවේ අය බලාගෙන ඉඳලා තියෙන්නේම අපේ රට අල්ලගන්ටනේ.:)

    මේ දුර්වල රාජ්‍ය පාලනයත් අනුරාධපුරේ වැටීමට හේතුවක් වෙන්ට ඇති නේද?

    අනුරාධපුර රාජධානිය විනාශ වෙලා ගියේ ඇයි කියන හේතු කීපයක්, පෝස්ටුවකින් ඉදිරිපත් කලා නම් නරකද?

    ඔන්න අලුතෙන් ලමයින්ට නමක් හොයන අයට ලස්සන නමක් ඉතිහාසෙන්. 'දප්පුල'....:D:D

    ReplyDelete
    Replies
    1. @ Podi Kumarihami

      //..ඔන්න අලුතෙන් ලමයින්ට නමක් හොයන අයට ලස්සන නමක් ඉතිහාසෙන්. 'දප්පුල'....:D:D...//

      ඇයි මානාභරණ, සිරිවල්ලභ, කිත්සිරිමේඝ, සිලාකාල, සලමෙවන් වගේ නම් හොඳ නැද්ද :P

      අපේ යාලුවෝ දෙන්නෙක් හිටියා නමේ මැදට කිත්සිරිමෙවන්, බුවනෙක කියන කෑලි දෙක තිබුණු. අපේ පැත්තේ හෙණ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙන් හිටියා මහින්ද පණ්ඩුකාභය කියලා

      Delete
    2. සිලාකාල? සලමෙවන්?? ඊඊඊඊඊඊශ්ශ්ශ්ශ්.....පුංචි නලියන සත්තු ජාතියක් මතක් වෙනවා...:D:D

      Delete
    3. සල නැතුව මෙවන් කියල විතරක් තියෙන කෙනෙක්ව නම් මාත් දන්නවා.

      Delete
    4. @ Podi Kumarihami

      පණ්ඩුකාභය, මුටසීව, විජයබාහු, පරාක්‍රමබාහු, ගජබාහු කියන නම්වල වුණත් ඉතින් වරදක් නැහැ.

      @ සමනළී

      අපෙත් යාලුවෙක් ඉන්නවා මෙවන් බානගල කියලා

      Delete
    5. //පුංචි නලියන සත්තු ජාතියක් මතක් වෙනවා//

      සික්. මොනාද පොඩ්ඩි.. :)

      මම දන්න අයියා කෙනෙකුත් හිටියා කස්සප කියලා. ඒ නමටනම් මම ආසයි. දප්පුල නම්, අනේ මන්දා ඉතින්

      Delete
  7. රජ්ජුරුවන්ව ළඟ ළඟ නමලනෙ..

    ReplyDelete
  8. අනුරපුර යුගයේ අවසානය මහා ඛේදවාචකයක්. ඉන්දියානු අතපෙවීම් වැඩිවෙලා තියෙන්නේ මේ සමයේ බව පැහැදිළියි. ඒකට හේතුව විදියට මම දකින්නේ සිංහල පාලකයින් අතර ශක්තිමත් නායකත්වයක් නොතිබීම සහ කුමන්ත්‍රණ සිදුවිම. උදාහරණයක් විදියට සේන V රජ ක්‍රි. ව. 991 - 1001 කාලයක් රජවීම පරපුර රැක ගැනිම වෙනුවෙන් කල දෙයක් මිස රට ගැන හිතලා කළ දෙයක් නෙවෙයි.

    " රජතුමා හැසිරෙන්නේ ඉතාමත් නොමනා ආකාරයට" ... එහෙනම් ඉතින් ඒකාලෙත් එහෙමයි වෙලා තියෙන්නේ.. බලය අතට ගියාම කොයි කාලෙත් ඔහොම වෙනවා.



    ReplyDelete
    Replies
    1. ඒක හරි. යුගයේ අවසාන හරිය රට ගොඩක්ම අස්ථාවර බවට පත් වෙලා. පරපුර රැක ගන්න එක ගැන හිතලා රජකමට නුසුදුස්සන් පත් උනාම මෙහෙම දේවල් වෙනවා.

      //එහෙනම් ඉතින් ඒකාලෙත් එහෙමයි වෙලා තියෙන්නේ//

      ඒකනේ :))

      Delete
  9. //..ඔය කාලෙදි අපේ අසල්වැසි ඉන්දියාවේ සොලීන් සහ පාණ්ඩ්‍යයින් අතර සටන් ඇවිලිලා තිබුනලු......//

    මේ සටන වෙන්නේ දෙවන මාරවර්මන් රාජසිංහ කියන පාණ්ඩ්‍ය කුමාරයා සහ පළවෙනි පරන්තක කියන චෝළ රජතුමා අතරේ

    //..අපේ කාශ්‍යප රජුගෙන් ආධාර ඉල්ලීමේ ප්‍රතිඵලයක් හැටියට ලංකාවෙන් හමුදාවක් පාණ්ඩ්‍යයින්ගේ සහයට යවනවා....//

    මේ යවපු සේනාවේ නායකයා වෙන්නේ රජතුමාගේම පුත්‍රයෙක් වුණු සක්ක සේනාධිපති

    //..උදය III රජුගෙන් පසු රජ වෙන්නේ ඔහුගේ යුවරජ සේන IV (ක්‍රි. ව. 972 - 975). ඔහුගේ කෙටි රාජ්‍ය කාලයෙන් පසුව..//

    සියබස්ලකර කියන ප්‍රකට කෘතිය රචනා කරන්නේ මේ රජතුමා කියලා තමා විශ්වාස කරන්නේ..

    //..ඒ වගේම පස්වන මිහිඳු රජතුමාත් චෝල දේශයට අල්ලාගෙන ගියාලු. ඔහුගේ මරණය සිදු වෙලා තියෙන්නේ එහිදී...//

    රජතුමා චෝල රටේදී මියයය්න්නේ 1029 දී පමණ. ඒ වෙද්දී ළමා වියේ හිටිය රජතුමාගේ පුත්‍රයාව ඒ නිසා රුහුණේ හිටිය ප්‍රධානීන් 1 වෙනි වික්‍රමබාහු නමින් රාජ්‍යත්වයට පත් කරනවා.

    ReplyDelete
    Replies
    1. විභාගේ ඉවරලුද? :D:D

      Delete
    2. @ Podi Kumarihami

      තාම නෑලු :P

      Delete
    3. ඉතිහාසය කොතැනද හසිත එතැන..!

      Delete
    4. ස්තුතියි ඌන පූරණයට...

      Delete
  10. හොද ලිපියක්.අපේ පැත්තෙත් එන්න http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  11. අප්පටසිරි අර පොඩි රජාගේ නොමනා හැසිරීම් මොනාද?? අර බ්ලොග් ලියන වල් රජා වගේද දන්නේ නෑ.... හික්.....

    ඉස්සර ඉදන්ම වැඩි හරියක් රජවරු බලයට කෑදරව සටන්ම කරලනේ. ඒ මිනිස්සු පුදුම බයකින් ජිවත් වෙන්න ඇති නේද? කොයි වෙලාවේ මිනිස්සු කැරලි ගහයිද, යුධ්දෙකට වෙන රජෙක් එයිද කියලා.

    ReplyDelete
    Replies
    1. හ හා..මටත් වල් රජා මතක් උනා. වයසට කලින් රජ උනාම ඔහොම වෙනවලු..හිහි. මේ පොඩි රජා මත්පැන් වලටත් ඇබ්බැහි උනාලු නේ.

      සාමාන්‍ය මිනිස්සු කී දෙනෙක් මේ යුද්ධ නිසා මැරුණද දන්නේ නෑ සමනලී..

      Delete
  12. ඈ....ඒකත් ඒමද .... :)

    ReplyDelete
  13. එතකොට අනුරාධපුර යුගෙත් ඉවර වුනා එහෙනම්... හ්ම්ම්.. අනිත් රජගොල්ලා අමතක කලත් පස්වන මිහිඳු කොහොම අමතක වෙන්නද අෆ්ෆා.. ඒක ඕලෙවල් ඉතිහාසේ ඉගෙනගන්න කලේ පට්ට්ම MCQ පොයින්ට් එකක්නේ...

    ReplyDelete
    Replies
    1. හලේ මට මතක නෑ නේ ඒ කාලේ මේක ඉගන ගත්තා..තොටියා අයියගේ මෙමරි කාඩ් එක මරු නේ... :)

      Delete
  14. අක්කා සුනේත්‍රා රාජකරුණානායකගෙ බුද්ධදාසි කියන පොත කියවල තියෙනවද? පස්වන මිහිදු කියන පරාජිත චරිතය ඒ පොත හරහා හරීම ආදරණීය චරිතයක් කරල තියෙනව.

    ඒක නෙවී.කෝ කවියට කවියක්..?

    ReplyDelete
    Replies
    1. කියවල නෑ නේ නඟා.

      //පස්වන මිහිදු කියන පරාජිත චරිතය ඒ පොත හරහා හරීම ආදරණීය චරිතයක් කරල තියෙනව.//
      හප්පේ ඒකත් එහෙමද. මොනව උනත් පෑනට කරන්න බැරි දෙයක් නෑ තමා.

      ඉක්මනටම කවියට කවියක් දෙන්න ට්‍රයි කරන්නම්කො.

      Delete
  15. මට නම් රජවරුන්ගෙ කාල පර්ච්ඡේද නිකං..අමුතුය් වගේ හේතුව උපරිම අවු.10/12ක් විතර වගේ රට පාලනය කරපු නිසා.

    අනේ මන්ද ඉතිහාසය වෘත්තාකාරව ආයිත් කැරකෙනවද කියල..!

    ReplyDelete
    Replies
    1. මේ හරියේ රජවරු හරි ඉක්මනට මාරු වෙලා නේද. ඒ වගේ කෙටි කාලීන රාජ්‍ය කාලත් බලපානවා රටේ අස්ථාවරත්වයට.

      //අනේ මන්ද ඉතිහාසය වෘත්තාකාරව ආයිත් කැරකෙනවද කියල//

      ආපහු රාජාණ්ඩුවක් ඒවිද දන්නේ නෑ නේද ;)

      Delete
  16. සොළින්ගේ රටට ගිහින් යුද්ද කරලා වස්තුව කොල්ල කාල එන්න තරම් දක්ෂ රජවරුත් දක්ෂ හමුදාවකුත් ඉඳල තියෙනවා.පොස්ට් එකේ ආසම තැන එතන. අනිත් ඒවායේ තියෙන්නේ කලකිරීමක්..

    මේ වෙන මහන්සියට ගොඩාක් ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. අසාර්ට හිත ගිහින් තියෙන්නේ ඇග්රසිව් පොයින්ට් එකකටනේ :)

      ඔයාටත් ස්තුතියි හොඳේ

      Delete
  17. ඉස්සර සන්ඩේ ටයිම්ස් එකේ මහාවංස කියලා ලිපි පෙලක් ගියා. ලස්සන රූප දාලා හරියට මේ වගේමයි. ඒක ලිව්වෙත් ඔයාද? නැතිනම් ඒකෙන් කරුණු අරගෙන ද මේක ලියන්නේ...?
    - නිලූ-

    ReplyDelete
    Replies
    1. ඒ සන්ඩේ ටයිම්ස් පත්තරේ ගියපු ලිපි ගොඩක් වෙලාවට මට හමු වෙනවා මේවට විස්තර හොයන්න සර්ච් කරද්දී. පින්තුර ඒවායේ පින්තුර තමා. ඒ ලිපි ගොඩක් සවිස්තරාත්මකයි වගේම හරිම වැදගත්. මගේ ලිපි ඊට වඩා ගොඩක් කෙටියි. සංක්ෂිප්ත කරලා තමයි ලියන්න වෙන්නේ :)

      ස්තුතියි නිලූ

      Delete
  18. අහ් post එක නම් කියෙව්වෙ නෑ...අද නිදහස් දිනේ...නරකද ඒක ගෑන post එකක් දෑම්මොත්!!!!

    ReplyDelete
    Replies
    1. නිදහස ගැන ලිපියක් දාන්න තරම්වත් නිදහසක් නෑ එල කොල්ලෝ :(

      Delete
  19. lipi keepyak maga arila mata...:(
    inndako mulaka indan enna...

    ReplyDelete
    Replies
    1. කමක් නෑ සහන්, හෙමිහිට බලමුකෝ

      Delete
  20. දැන් රාජාණ්ඩු ක්‍රමය නැතිවුණත් (නාමමාත්‍රික ) පාර්ලිමේන්තු ක්‍රමයත් ඒකත් අතර වැඩි වෙනසක් නැහැ වගේ කියලා හිතෙනවා. ඒ කාලේ කෲර විදියට බලය යෙදවීමත් දැන් මහත්මා විදියට බලය පාවිච්චි කිරීමෙත් අන්තිමට ෆෝකස් වෙන්නෙ එකම තැනකටද මන්දා... කොහොම උනත් ඉතිහාසයේ පරණ දේවල් සෑහෙන්න මතක් වුණා...

    ReplyDelete
    Replies
    1. දැනුත් ඉතින් අපේ මහරජ තුමා ඉන්නේ ඔය. මම මේ බලාගෙන ඉන්නේ ඊ ලඟට පුතාට රජකම හිමි වෙනකන්. සහෝදරයෝ ටික ඒකට විරුද්ධ වෙන්නත් බැරි නෑ.. :)

      Delete
  21. වටින ලිපියක් සයුරි... ගොඩක් කාලෙකින් තමයි මේ පැත්තේ ආවේ.. පහුගිය කාලේ බ්ලොග් කියවන්න උනේම නෑ.. පරණ ලිපි ගොඩක් කියවන්න බැරි උනා..ඒවත් හිමිහිට කියවන්නම්කෝ...ආපහු දිගටම එන්නම්කෝ මේ පැත්තේ... :)

    ReplyDelete
    Replies
    1. උදයංග ආපහු ආපු එක ගැන සතුටුයි. කාලෙකින් දැක්කේ නෑ නේ. එහෙනම් ආපහු එන්නකෝ දිගටම :)

      Delete
  22. සිරිසඟබෝ රජතුමා ගැන විස්තර හොයන්න ගූගල් සෙවුමක් දියත් කරපු වෙලාවක තමයි මේ බ්ලොග් එකට සේන්දු උනේ. "පාරමී පිරූ රජතුමා" ලිපිය කියවල ඉවරවෙනකොට තමයි දැක්කෙ ඔයා මේකෙ රාජාවලිය ලියනව කියල. ඊට පස්සෙ පළ වෙච්ච සේරම ලිපි ටික එක පිම්මට කියෝගෙන ගියා. කිසිම මහන්සියක් දැනුණෙ නෑ ලිපි පෙළ ඒ තරම් ම රසවත්. මේ තරම් කල් යනකම් මා මේ ලිපි පෙළ නොදැක්ක එක ගැන කණගාටු වෙනව. ඉදිරියේ දී පළ කරන ලිපි නොපමා ව කියවන්න බලපොරොත්තු වෙනව. මෙවැනි ලිපි මගින් දැනුම බෙදා දීම පිළිබඳ ව මාගේ නොවක් ස්තුතිය පිරිනමනව. තෙරුවන් සරණයි!

    ReplyDelete
    Replies
    1. හසල, බොහොම ස්තුතියි ලිපි ටික කියවලා කමෙන්ටුවක් දැම්මට. මෙහෙම කමෙන්ට්ස් දැක්කම තවත් ලියන්න ආසාව ඇති වෙනවා. ඔබත් ඉතිහාසය ගැන උනන්දු කෙනෙක් වගේ. සතුටුයි ඒ ගැන. පුළුවන් තරම් ඉක්මනින් ඉතිරි ලිපිත් දාන්නම්. නැවතත් බොහොම ස්තුතියි මේ දිරි ගැන්වීමට.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...