මේ විමලධර්මසූරිය රජතුමා කුඩා කාලයේ පෘතුගීසින් ළඟ ඇති දැඩි වී අධ්‍යාපනය ලැබූ නිසාම ඔවුන් ගැනත් හොඳින් දැන ගෙනයි හිටියේ. ඉතින් ඔවුන් ට විරුද්ධව සටන් කිරීමේදීත් ඒ දැනුම ප්‍රයෝජනවත් උනා. ඒ වගේම මේ රජතුමා බුදු දහමට ලැදි, බෞද්ධයින්ට අනුග්‍රහය දක්වන කෙනෙක් උනා. මහනුවර දළදා මාළිගාව තැනෙව්වෙත් මෙතුමා කියලා ඉතින් හැමෝම දන්නවනේ.
මේ අතරේ සීතාවක රාජධාණියේ උරුමය ගැන ගැටළු ඇති වෙනවා. රාජසිංහ රජුට දරුවන් නැති නිසා ඔහුගේ සොයුරිය (වීදිය බණ්ඩාරගේ වැන්දඹු බිරිය) වන සූරිය දේවියට රජකම හිමි වෙනවා. ඉතින් ඇය කරන්නේ තවමත් ළාබාල වයසේ පසුවෙන ඇගේ මුණුපුරු "නිකපිටිය බණ්ඩාර" ට සිහසුන පවරන එක. මේ හැම දේකටම සහය දීපු තවත් කෙනෙක් තමයි ඉන්දියාවෙන් ආ සන්නාසියෙකු වන "අරිට්ඨ කිංවෙඩු".
නිකපිටියබණ්ඩාර ගේ හමුදාවේ ප්‍රධාන තනතුර අරිට්ඨ කිංවෙඩු ට දීම ගැන කෝප වෙන පනික්කි සහ කුරුප්පු නම් සෙනෙවියන් තමන්ගේ හමුදාත් රැගෙන කෝට්ටේ වෙත යනවා. මේ බල අරගල මැද්දේ කෝට්ටේ දේශ සීමා නැවත අල්ලා ගන්න පෘතුගීසින් සමත් වෙනවා.
අරිට්ඨකිංවෙඩු ගේ මී ළඟ උපාය වෙන්නේ සූරිය දේවි විවාහ කරගෙන සිහසුනේ උරුමය ලබා ගන්න එක. ඒත් සූරිය දේවි ඔහු එළවා දමනවා. මේ නිසා ඔහුත් අවසානයේ පෘතුගීසින්ට සහාය දෙනවා. සීතාවක රාජධානියේ මේ දුර්වල වීමත් එක්කම කෝට්ටෙන් එන දෙනාව සීතාවක රාජධාණිය අල්ලාගෙන මාළිගාව ගිනිබත් කරනවා. පලා යමින් සිටි සූරියදේවී සහ නිකපිටියබණ්ඩාර අල්ලා ගන්නා ඔවුන් නිකපිටියබණ්ඩාර පෘතුගීසීන්ගේ භාරයට පත් කර ගෝවට පිටත් කර හරිනවා. පසුව ඔහු ඉන්දියාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබනවා. ලාංකිකයෙක් මුලින්ම විදේශ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබපු අවස්ථාව මේක කියලයි කියන්නේ.
මේ වෙද්දී පෘතුගීසින් යාපනයත් යටත් කරගෙනයි ඉන්නේ. ඉතින් කෝට්ටේ සාහ සීතාවකත් යටත් කරගැනීම නිසා උදම් වෙන ඔවුන්ට මී ළඟට ඕන වෙන්නේ උඩරට යටත් කරගැනීමට. මේ සඳහා ඔවුන්ට හොඳ තුරුම්පුවකුත් තියනවා. ඒ තමා කුසුමාසන දේවිය නොහොත් දෝන කතිරිනා. ඇය ට උඩරට සිහසුනේ උරුමය පියා වෙච්ච කරලියද්දේ බණ්ඩාරගෙන් ලැබිලා තියනවා. අනිත් අතට විමලධර්මසූරිය රජුට සිහසුනට නියම උරුමයක් නැහැ.
පරසිදු කරලියැද්ද - දුව කිරුළිස පැලැන්ද
කුසුමාසන දේවිය දෝන කතිරිනා
ඉතින් දෝන කතිරිනාවත් අරගෙන පෘතුගීසි සේනාව උඩරට බලා යනවා. මේ සේනාව නවත්වන්න උඩරටිනුත් සේනාවක් ආවත් දෝන කතිරිනා දැකීමෙන් පසු ඔවුන් විරුද්ධ වෙන්නේ නැහැ. මෙය දැනගන්න විමලධර්මසූරිය රජු උපක්‍රමශීලී ව පසු බසිනවා. ඉතින් උඩරට රාජධාණියට ඇතුල් වෙන පෘතුගීසින් දෝන කතිරිනා සිහසුනේ හිඳුවා මුළු රටම ඔවුන්ගේ අණසක යටතට ගන්නවා.
පිට නම් ගම් මොකටද - සිංහාසන කුමටද
සෙංකඩගල ඇගෙ රජ මැදුර සමානා
උඩරට රැජිණ ගැන ජනතාව සතුටු උනත් ඔවුන්ට ඇය දකින්නට අවසර ලැබෙන්නේ නැහැ. ඇය ඉන්නේ පෘතුගීසින් ගේ දරුණු රැකවල් මාධ්‍යයේ. ඒ විතරක් නෙමෙයි, ළඟදීම පෘතුගීසියෙක් ඇය අවාහ කරගන්නා බවටත් කතාවක් පැතිරෙනවා. මේ නිසා ජනතාව අප්‍රසාදයට පත් වෙනවා.
කපිතන් දියෝගුගෙන් - දැන කඩු ශිල්ප හටන්
කොන්තය ගෙලේ බැන්ද පරංගි වාඩියේ
කොන්තය ගෙලේ බැන්ද පරංගි වාඩියේ
මිහිරිම හීනයක්ද වසන්ත කාලයේ
මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ලැබෙන්නේ විමලධර්මසූරිය ට. ජනතා සහාය අහිමිව නැවත කොළඹ යන පෘතුගීසි සේනාව දන්තුරේදී වටලා ඉතා දරුණු ආකාරයට පහර දී ඔවුන්ව පළවා හරිනවා.
දෝන කතිරිනා වත් රැගෙන නැවත මහනුවර ට යන ඔහුට විශාල ජනතා පිළිගැනීමක් ලැබෙනවා. ඉතින් දෝන කතිරිනා නොහොත් කුසුමාසන දේවිය කොනප්පුබණ්ඩාර ට බිසව වී ඔහුට රජ කිරුළේ ඇති අයිතිය තහවුරු කර දෙනවා.
වාහල ඉලංගමට- ගිය දා දන්තුරේට
අස් පන්තියේ හරඹ දෑහින් දැකලා
දළු ලන වසන්තයට - රොන්සුනු පුරා ලයට
අළුත්ම මලක් වෙලා පිපෙන්න හිතිලා
මේ සිද්ධිය සිංහල ඉතිහාසයේ වැදගත් හැරවුම් ලක්ෂ්‍යක් කියලයි මට හිතෙන්නේ. පෘතුගීසින්ට මුළු රටම නතු වෙන්න ගිය මොහොතක කොනප්පුබණ්ඩාර ගේ ශක්තියත් කුසුමාසන දේවියගේ උරුමයත් එක් වී උඩරට රාජධානියේ අලුත් රජ පරපුරක් තැනීම නිසා එහි ස්වාධීනත්වය තවත් ශත වර්ෂ ගණනාවකට ආරක්ෂා උනා.
මේ වෙච්ච අවනම්බුවෙන් ගොඩ එන්න පෘතුගීසින්ට පත් කරලා එවපු අලුත් නිලධාරියා වන "ජෙරනිමෝ ද අසවේදු" ගේ කුරිරු කම් ගැන අපි ඊ ළඟ ලිපියෙන් කියවමු.



















