Thursday, February 16, 2012

සුභ, යස සහ වසභ - රාජාවලිය XII




ගිය වතාවේ අපි කිව්වනේ   ඉළනාග රජතුමා ට වෙච්ච හදිය ගැනත් එතුමා ක්‍රි. ව. 44 වන තෙක් ලක්දිව පාලනය කළ බවත්.  ඉතින් ඉළනාග රජතුමා ගෙන් පස්සේ රජ උනේ ඔහුගේ වැඩි මහල් පුතා, "චන්ද්‍රමුඛසිව" (ක්‍රි. ව. 44 -52). මේ චන්ද්‍රමුඛසිව රජතුමාගේ බිරිඳ ද්‍රවිඩ කාන්තාවක් ලු. ප්‍රථමයෙන්ම ද්‍රවිඩ බිසවක් පාවා ගත් රජු හැටියට මෙතුමා හැඳින්වෙනවා. 


තිස්ස වැවේ පැවැත්වුණු ජල ක්‍රීඩා උත්සවයකදී මේ චන්ද්‍රමුඛසිව රජතුමාට තමන්ගේ බාල සොහොයුරා වන "යසලාලක තිස්ස" අතින් මැරුම් කන්න සිද්ධ වෙනවා. තමන්ගේ අයියණ්ඩිය දියේ ගිල්වා මරලා, යසලාලක තිස්ස (යස) රජතුමා (ක්‍රි. ව. 52 - 60) ලංකාවේ රජ වෙනවා. මොහු ටිකක් විනෝදෙට, සෙල්ලමට බරයි ලු. ඔය අතරේ රජ මාළිගාවේ දොරටු පාලකයෙක් ඉඳලා තියනවා "ශුභ" (සුභ) කියලා. ඔහු රජතුමාගේ රූපය ට ගොඩක් දුරට සමානයි ලු. ඉතින් රජතුමාට ඔලුවට ආවලු හරිම මනරම් සිතුවිල්ලක්. ඔහුට හිතුනලු කාටවත්ම නොකියා දොරටුපාලයත් එක්ක තනතුර මාරු කරගෙන රාජ සභාව මෝඩයට අන්දන්න. 


හිතපු විදියටම එක දවසක් රජතුමාගේ ඇඳුම්, ආභරණ ශුභ ට අන්දලා ඔහුගේ ඇඳුම් රජතුමා ඇඳගෙන රාජ සභාව ආරම්භ කරාලු. ඉතින් ඇමතිලා එහෙම ඇවිත් සිංහාසනයේ වාඩිවෙලා හිටපු දොරටුපාලයා ට ගරු බුහුමන් දක්වන්න පටන් ගත්තම දොරටුපාලයාගේ රාජකාරිය කරමින් හිටපු රජතුමාට හිනා ගියාලු. ඔන්න එතකොට තමයි දොරටුපාලයා මොළේ පාවිච්චි කළේ. "තැන නොතැන නොබලා හිනා පාන මේ දොරටුපාලයා ගේ හිස ගසා දමන්න" කියලා අණ කරා ලු. ඔන්න එතකොට තමයි රජතුමා ට දෙලොව රත් වෙලා තියෙන්නේ. ඇත්ත රජතුමා තමන් කියලා කොච්චර කිව්වත් කව්ද ඉතින් ඒවා විශ්වාස කරන්නේ. අන්තිමට සීමාව ඉක්මවා ගියපු සෙල්ලමක් නිසා යසලාලක තිස්ස රජතුමා ට හරිම ශෝචනීය විදියට මැරුම් කන්න සිද්ධ වෙනවා. ඒ ක්‍රි. ව. 60 දී.  ඉන්පස්සේ දොරටුපාලයා ශුභරාජ නමින් අවුරුදු 6 ක් (ක්‍රි. ව. 60 - 66) රජකම් කරනවා. 


හැබැයි ඉතින් කූටප්‍රයෝගයකින් රජවුණු ඔහුට නිදහසේ රජකම් කරන්න නම් ලැබෙන්නේ නැහැ. ඔහු නියම රජතුමා නොවන බව අන් අය දැන ගත් පසුව ඒ ගැන විශාල අප්‍රසාදයක් එල්ල වුනු නිසා ඔහු ජිවත් උනේ බයෙන්. ඒ අතරෙදි "වසභ" නැමැත්තෙක් රජ වෙන බව ශාස්ත්‍රඥයෙක් ප්‍රකාශ කිරීම නිසා රට පීරලා වසභ නම ඇති හැම කෙනෙක්ම මරන්න අණ දුන්නලු. ඒත් එක වසභ කෙනෙක් මේ සංහාරයෙන් බේරිලා තියනවා. ඔහු තමයි රජතුමාගේ සෙන්පතියෙකු ගේ බෑණා කෙනෙක් වූ ලම්භකර්ණ වංශය ට අයත් "වසභ" (ලම්භකර්ණ වංශය ගැන විස්තරයක් කලින් ලිපියේ තියනවා) . ඔහු නැවතිලා ඉඳලා තියෙන්නෙත් සෙන්පතියා ගේ නිවසේමයි. මේ මාමයි බෑණයි අතරත් නොහොඳ කමක් තිබුණා ලු. වසභ ගේ පෙම්වතිය වුනු "මෙත්තා" ඔහුගේ මාමා විසින් බලහත්කාරයෙන් විවාහ කර ගත්තා කියලත් කියනවා. ඉතින් මේ සෙන්පති මාමා කල්පනා කරාලු උපායෙන් බෑණා ව රජතුමා ළඟට ගෙන ගොස්  බාර දෙන්න.


උපාය උනේ මේකයි. වසභ ට රාජ සභාවේ තනතුරක් ලබා දෙන බවට පවසා රැවටීමෙන් ඔහු රජු ළඟට කැඳවා ගෙන යාම. ඉතින් මේ බව වසභ ට කිව්වම ඔහු සතුටට පත් වෙලා රජු හමු වෙන්න කැමති උනා ලු. හැබැයි මාමා ගේ අතින් පොඩි අත් වැරදීමක් වෙනවා. එදා රාත්‍රියේ ඔහු ඒ උපාය ගැන මෙත්තා ට කියනවා. ඉතින් මෙත්තා මොකද කරන්නේ, පහුවදා උදේ සෙන්පතියාගේ බුලත් මඩිස්සලය ට හිතාමතා ම හුණු දාන්න අමතක කරනවා. මේ බව නොදත් සෙන්පති මාමා බෑණා ත් එක්ක පිටත් වෙලා මගක් ගියාම තමයි හුණු නැති බව දැන ගන්නේ. ඒ නිසා ඔහු වසභ නිවසට පිටත් කරනවා හුණු ගේන්න. වසභ ආවට පස්සේ උපාය ඔහුට හෙළි කරන මෙත්තා, ඔහුට පැන යන්න උදව් කරනවා. මේ විදියට නූලෙන් බේරිලා පැන යන වසභ පසු කාලයක සේනා සංවිධානය කරගෙන ඇවිත් ශුභ රජු මරලා රාජ්‍ය ලබා ගන්නවා (ක්‍රි. ව. 66 දී).


මේ වසභ රජතුමා පෙර කලෙක ඔහුගේ පෙම්වතිය වූ, මාමා විසින් විවාහ කරගෙන සිටි, මෙත්තා තමන්ගේ බිසව කරගන්නේ සටනේදී ඔහුගේ මාමාත් මිය යාම නිසා. වසභ රජතුමා වැව්, වෙහෙර විහාර රාශියක් කරවූ ශ්‍රේෂ්ට රජෙක් හැටියට තමයි සැළකෙන්නේ. ඔහු සාර්ථකව අවුරුදු 44 ක් රජ කරනවා (ක්‍රි. ව. 66 - 110).


ඉතින් ඔයාලට පේනවා ඇති මේක සිංහල රාජාවලියේ එක්තරා අපගමනයක් වුනු තැනක් බව. ඒ මොකද කියනවනම් මෙතෙක් කල් පරම්පරාවෙන් පරම්පරාවට රජකම හිමි වුනේ ලේ උරුමයෙන්. ආක්‍රමණ සිද්ධ උනත් ඒවා මැඩලීමෙන් පස්සේ නැවතත් නියම උරුමක්කාරයෙකුට රජකම ලැබුනා. ඒත් මේ දොරටුපාලයාගේ සිද්ධියෙන් පස්සේ රජ උනේ වසභ. ඔහු ලම්භකර්ණ වංශයට අයත් කෙනෙක්.  ඒ නිසා මින් පස්සේ රජ පෙළපත ලම්භකර්ණ වංශිකයින් අතට යනවා. විජය ගේ ඉඳලා පැවතුන රජ පෙළපත මෙතනින් කැඩී යනවා. ඒක සැළකිය යුතු අපගමනයක් කියලයි මට හිතෙන්නේ. 

64 comments:

  1. අනේ අර විහිලුව නිසා වුන දෙයක්....

    ReplyDelete
  2. සුභයි යසයි මාරුවෙච්ච සිද්ධිය නම් නියමයි..මම ඔය ගැන හොය හොය හිටියෙ..මොකද ඔතන ඇත්තටම වුනේ කියලා දැනගන්න..

    ඇයි තව කතාවක් තියෙන්නෙ තමුන්ගෙන් පස්සෙ රජවෙන්නෙ විජය කෙනෙක් කියලා හැම විජයම මරපු සිද්ධිය..

    ReplyDelete
    Replies
    1. ඒ විජයගේ සිද්ධිය කොයි කාලේ උන එකක්ද හරී? මටනම් මතකයක් නෑ..ස්තුතියි කමෙන්ටුවට..

      Delete
    2. ඒක ඇත්ත කතාවක් නෙමෙයි හදපු එකක්..

      ආර්. ප්‍රේමදාස කියලා ජනාධිපති කෙනෙක් මේ රටේ හිටියා මතකද? එතකොට ඉපදිලාද ඔයා?

      අන්න ඒ කාලෙ එතුමගෙ කේන්දරේ තිබුනාලු එතුමාට පස්සෙ රජ වෙන්නෙ විජය කෙනෙක් කියලා..
      ඒක හින්දා විජය නම තිබ්බ හැමෝවම මැරෙව්වලු..කවුද අන්තිමට රජ වුනේ?

      Delete
    3. අහ් එහෙමත් සීන් එකක් උනාද? ඇත්තටම කවුද අන්තිමට රජ උනේ :D

      Delete
    4. විජේතුංග... හික්ස්...

      Delete
    5. හි හි...එතුමාට නේද කණා පාරක් වැදුනේ :)

      Delete
  3. නියමයි ඉතිහාස පාඩම

    ReplyDelete
  4. ඉස්කෝලෙදිනම් මම නිකමටවත් ඇහැක් ඇරල ඉතිහාස පාඩම් බලන්නෙ නෑ.. ඒත් මේ ලිපි පෙලනම් නියමයි. එක හුස්මට කියෙව්වා... බොහොම සතු‍ටුයි ... ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තුතියි...ඔයාලා ආසාවෙන් බලනවා කියලා දැනගත්තම මටත් සතුටුයි :)

      Delete
  5. විහිලුවක් කියන්නෙත් ලොකු වෙනසක් කරන්න පුලුවං යමක් :)
    පාඩමට තුති :)

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත...ඇස් රතු වෙන විහිලු...

      Delete
  6. හිහ්.. මාරයි.. රජා පට්ට මෝඩයෙක්.. මමනම් කරන්නේ තව එක්කෙනෙක්ටවත් කියලා තියනවා.. මේවගේ මෝඩ ජෝක් එකක් දාන්ඩ යන්නේ කියලා.. වෙලාවකට මට විශ්වාස කරන්ඩත් අමාරුයි මේවගේ දේවලුත් වෙලා තියනවද කියලා..

    මේක ලස්සන කතාවකට හොඳ නිමිත්තක් නේද.. ? සයුරි බැරිවෙයිද ඕකෙන් ඓතිහාසික නවකතාවක් ගැට ගහ ගන්ඩ... ඔයා තමයි ඒකට සුදුස්සා..

    ReplyDelete
    Replies
    1. මෝඩද ත් අහනවා...අර කිව්වා වගේ කරන්නම ඕනනම් වගකිවයුතු කෙනෙක්ට කියලා ඉන්න තිබුනනේ...ඇත්තටම මටත් මේ සමහර දේවල් නම් විශ්වාස කරන්න අමාරුයි සෙන්නා...කතාවකටනම් හොඳයි තමයි..අර සුභ සහ යස කියලා වේදිකා නාට්‍යයක් තිබුනේ මේ ගැන නේද? මම නම් ඉතින් ලස්සනට කතා ගොතලා ලියන්න දන්නේ නැහැ නේ.. :)

      Delete
  7. මෝඩ ආතල් ගත්ත රජතුමාට හොද වැඩේ... රජකම ගන්න අයිය මලෝ මරා ගත්ත ඇවුන්නෙ අපිට ඉදල තියෙන්නෙ. මගෙ අයියට නම් ඉල්ලන්න කලින්ම මම රජ කම දෙනවා...

    ReplyDelete
    Replies
    1. අයියා මලෝ මරා ගතිපු කේස් ගොඩක් තියනවා අප්පා...මොන හිතකින් එහෙම කරනවද මන්දා. ඔයානම් හොඳ මලයෙක් :)

      Delete
  8. ඔව් ඔව් සුභ සහ යස කියලා වේදිකා නාට්‍යයකුත් තියෙන්නේ! හිනා යන අපූරු රජ කතාවක්!

    ReplyDelete
    Replies
    1. අන්න හරි...ඒක මමනම් බලලා නැහැ. ඒත් ඒ ගැන අහල තියනවා..

      Delete
  9. දැන් නම් එක මොහොතකටවත් එහෙම රජ පුටුව දෙන්නෙ නෑ. මේ වගේ වෙලාවට තමයි කියන්නෙ විහිළුව වුණත් දැනගෙන සීමාව තුළ කරන්න කියලා.

    සයුරී ඔබ ඉතිහාසය අතැඹුලක් සේ ගෙන දක්වනවා. ඔබේ උත්සාහය නමරම්. ඒ උත්සාහයට දරන වෙහෙසට මෙන්න මල් මිටක්..

    ReplyDelete
    Replies
    1. සීමාව පැන්නම ඔන්න ඉතින් වෙන දේ :) දැන් කාලේ නම් එහෙම වෙන්නේ නෑ තමා..

      මල් මිටට බොහොම ස්තුතියි...එය මට ලොකු සවියක්...

      Delete
  10. විහිළුවක් නිසා වෙනස් උන අපේ රජ පෙලපත.. ඉතුරු ටිකත් ලියමු අක්කේ..

    ReplyDelete
    Replies
    1. අනේ ඒකනේ අප්පා..නැත්නම් ඉතින් ඒ රජ්ජුරුවන්ගේ පුතෙක්ටවත් රජ වෙන්න තිබුනනේ...

      Delete
  11. සමහර විට රජ පෙළපත වෙනස් වුනු එකද දන්නෑ සිංහලයගේ විනාශයේ මුල !!! එහෙම නම් යසලාලක තිස්ස රජ්ජුරුවන්ව ආයෙත් මරන්න එපෑ...!!!

    වසභ රජු ගැන විස්තර මදි වගේ නැද්ද සයුරි... මට නිකන් එහෙම දැනුනා... කොහොම වෙතත්, මං කියපු E-book වැඩේ අමතක කරන්න එපා... ජයෙන් ජය !!!

    ReplyDelete
    Replies
    1. ඒකත් සමහරවිට වෙන්න ඇති චතුරංග..වසභ රජු වැදගත් කෙනෙක් නිසා විස්තර මදි වගේ කියලා මටත් හිතුනා. ඒවා හොයාගන්න ඒක තමා අමාරු...ඊ බුක් වැඩේ නම් කොහොමහරි අන්තිමට කරන්න බලන්නම්කො :)

      Delete
  12. මමනම් ඉස්කොලේදීත් ඉතිහාස පාඩමට හරි කැමතියි
    අපිට ඕ ලෙවල් වලට ඉතිහාසය උගන්වපු ගුරුතුමී හරිම ලස්සනට සරළව ඉතිහාස පොතේ තිබුණු පාඩම් වලට අදාළ කතා කිව්වා නිසාම වෙන්න ඇති මම ඉතිහාසයට ගොඩක් කැමති උනේ
    ඔයාගේ කතා කියවද්දී මට හැමදාම අපේ ඉතිහාස මිස්ව මතක් වෙනවා.
    විහිළුවක් නිසා රජකම පමණක් නෙමෙයි රජ පෙළපත පවා මාරු වෙච්ච එකත් හරිම අපුරු සිද්ධියක් තමයි

    ReplyDelete
    Replies
    1. ඒක තමා ලොකු පුතා..හොඳ ගුරුතුමියක්‌ හිටියනම් ගොඩක් දෙනා ඉතිහාසෙට කැමති වෙනවා...ඒක ඒ තරමටම ලස්සනයි..මගේ නම් ඉස්සර ඉතිහාසයට එච්චර කැමැත්තක් තිබුනේ නෑ...ජයතු ලංකා කියෙව්වට පස්සේ ඒක වෙනස් උනා.

      ඒක නේන්නම්...රජ පෙලපතම මාරු උනා නේ..

      Delete
  13. විහිළු කිව්වම ඉතින් ඇස් රතු වෙන විහිළුත් තියෙනවා නෙව.

    ඉතිහාසය ගැන ලියන එකනම් බොහොම වටින වැඩක් දරුවෝ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අංකල්..ඒකනේ, ඇස් රතු වෙන විහිලු කරන්න හොඳ නැහැ..

      Delete
  14. හරි ලස්සන කතාවක් වගේ ලියලා තියෙනවා අක්කේ එල ඈ... මම මේ කංපනා කලේ ඔරිජිනල් රජාගේ බිසවටවත් බැරිවෙලාද ඔරිජිනල් වගේ පේන බොරු එක්කෙනාව හොයා ගන්න ඈ..... සුභ යස නාට්ටිය මම බලලා නෑනේ ඒකේ මේක තියෙනවද දන්නේ නෑ...

    //විජය ගේ ඉඳලා පැවතුන රජ පෙළපත මෙතනින් කැඩී යනවා. ඒක සැළකිය යුතු අපගමනයක් කියලයි මට හිතෙන්නේ. //

    මෙතනදි ප්‍රශ්නයක් එනවා අක්කෝ මට මතක විදියට විජයගේ රජ පෙළපත කැඩෙනවා පණ්ඩුකාභය රජ උනාම මම වැරදිද දන්නේ නෑ ඒත් මාමාවරුන් නමයම මරලා රජ කම ගන්නවනේ එයා... පණ්ඩුකාභයගේ පියා කුවේණි සමග ලේ නෑකමක් තිබු බවටත් මම අහලා තියෙනවා... මොකක්ද සිරාවටම උනේ එතකොට ඔයා මුලින් ලියපු එකේ සිද්ධිය විස්තර කරලා තියෙනවද ඈ

    ReplyDelete
    Replies
    1. තැන්කු ගැමි මල්ලි...රජ බිසවටත් බැරි වෙන්න ඇති හි හි...නාට්‍යයේ තියෙන්නේ මේ ගැන වෙන්න ඕන..මමත් බලලා නැහැ නේ ඒක.

      මෙහෙමනේ ගැමි මල්ලි...පණ්ඩුකාභය කියන්නේ උන්මාද චිත්‍රාගේ පුතා (පියා කවුරු උනත්) ඉතින් උන්මාද චිත්‍රා කියන්නේ පඬුවස්දෙව් ගේ දුව. එහෙම නැත්නම් විජය ගේ ලේලි. එහෙම බලනකොට පණ්ඩුකාභ ත් ඒ පෙළපතේම කෙනෙක් තමයි..අයි අප්පා ලේ නෑ කම පවතින්නේ තාත්තාගෙන් විතරද...අම්මගේ ලේත් ලේ නොවැ :)

      Delete
    2. ආ සොරි..චිත්‍රා විජයගේ ලේලි නෙමෙයිනේ...මිණිපිරියක් නේ...

      පණ්ඩුකාභය ට යක්ෂ ගෝත්‍රික ලේ තියනවා කියන එකත් ගොඩක් දෙනාගේ මතයක් (පිය පාර්ශවයෙන්). එතකොට එයා මිශ්‍ර එක්කෙනෙක්. ඒත් තවමත් විජය පරම්පරාවටත් අයිතියි නේද...

      මේ තමා ඒ සම්බන්ධ පෝස්ට් එක..

      http://pahanyaaya.blogspot.com/2011/11/iv.html

      Delete
  15. ආසාවෙන් කියවනවා හැමදාම වගේ....යසලාලකතිස්සලා වගේ අය තාම ඉන්නවා.....

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ..සෙල්ලම ලෙල්ලම කරගන්න අය ඕන තරම් ඉන්නේ..

      Delete
  16. විහිලු කරද්දිත් කරන්න ඕන කොච්චර පරිස්සමින්ද....මේ කතාවෙන් ඒක හොඳටම පැහැදිලි තේරුම්ගියා....

    ඒ කාලෙත් තනතුරු ලබාගන්න තමන්ගෙ අයවම මරල තියෙනව නේද අක්කෙ?

    වෙනද වගේම මේ ලිපියත් ගොඩාක් ලස්සනට ලියල තියෙනව...

    ReplyDelete
    Replies
    1. බලය හින්දා සහෝදරයා විතරක් නෙමෙයි, පියා මරපු අයත් ඉන්නවනේ සිහින මල්ලි..බොහොම ස්තුතියි කමෙන්ටුවට..

      Delete
    2. "බොහොම ස්තුතියි කමෙන්ටුවට" කියද්දි හිතෙන්නෙ මම අලුතින් ආවා වගේ අක්කේ....එහෙම නොකිය ඉමූ,පුලුවන්නම්....මම මේ පැත්තෙ නිතරම එනවෙනේ........:)

      Delete
    3. හනේ...සොලී .. මම එහෙම හිතල නෙමෙයිනේ කිව්වේ..ඔන්න අනිත් දවසේ කියන්නේ නැහැ හොඳේ :)

      Delete
  17. අද ලිපියත් මරු !!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්..තෑන්ක්ස් :)

      Delete
  18. ඇත්තටම ලිපිය ගොඩක් ලස්සනයි.ඉතිහාසය එපා වෙලා හිටිය මට නම් මේක මාර රහයි

    ReplyDelete
    Replies
    1. ඔයාටත් බොහොම ස්තුතියි වාචාලයා...එය මට සතුටක් :)

      Delete
  19. මන් හරිම ආසයි ඉතිහාසෙට . ඔය සුබ සහ යස කතාව අපේ ඉස්කෝලේ සිංහල පොතක තිබුන . හැබෑටම රජෙක් වුනත් මොලේ කලඳක් තියෙන්න ඕනෑනේද.

    ඔය හා සමාන සිද්ධියක් වියට්නාම ජනකතාවක තිබුන . කොහෙත් රජවරු ටිකක් එකයි වගේ

    ReplyDelete
    Replies
    1. එහෙනම් හැම රටේම රජවරු එක වගේ තමයි :) මොළේ කලඳක් නම් නෑ තමයි අප්පා..මේක ඇත්තද කියලත් මට ෂුවර් නැහැ..

      Delete
  20. සුභ සහ යස කතාව නම් සෑහෙන තරම් දන්නවා... වසභ රජතුමා ගැන තව ටිකක් විස්තර දාන්න අක්කේ... ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. බලමුකෝ නංගි වසභ ගැන තව විස්තර හොයා ගන්න...බොහොම ස්තුතියි...

      Delete
  21. මේ විස්තර ටිකනම් දන්නවා අක්කේ.. එත් සමහර තැන් නිවැරදි කලාට ස්තුති

    ReplyDelete
    Replies
    1. මේ කතාවනම් ගොඩක් අය අහලා තියනවා තමා...විහිලු කතාවක් විදියට මම හිතන්නේ..

      Delete
  22. මේ කතාව අහල තියෙනවා ගොඩාක් ඉස්සර.දැන් ආයෙත් මතකේ අලුත් වුනා.

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි...ගොඩක් දෙනා මේ ගැන දන්නවා වගේ..

      Delete
  23. ඇයි අක්කා ඉතිහාසේ එවා මතක් කරන්න හිතුවෙ,,,,,?

    ReplyDelete
    Replies
    1. ඉතිහාසෙත් මරු වැඩ වෙලා තියනවනේ මල්ලි..

      Delete
  24. ලංකාවේ රාජාවලිය බැලුවොත් ඇවෑමෙන් රජ වුනු අය ඉන්නෙ ටික දෙනයි. එකෙක් අනෙකා මරලයි රජ කම අරන් තියෙන්නෙ. කෝට්ටේ විජයබාහු මැරුවේ ඔහුගේම් පුතා වන මායාදුන්නේයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..ඒකනේ...එව්වා ඉතින් කැත වැඩ..නිහාල් ව සාදරයෙන් පිලිගන්නවා පහන්යාය ට..

      Delete
  25. ඇත්තටම ඉතිහාසය කියවල තිබුනට මට ඒතරම් මතකයක් තිබුනෙම නෑ..සයුරිගෙ මේ ලිපි පෙලනම් ඇත්තටම ගොඩක් වටිනවා..ඒ කාලෙත් කොච්චර රසවත් සිදුවීම් තියෙනවද නේද..

    ReplyDelete
    Replies
    1. ඇත්ත සිත් රූ...හරිම රසවත් සිදුවීම් ඒ කාලේ තිබිලා තියනවා...ඒවා ඔක්කොම මතක තියාගන්න අමාරු නිසා ලියලා තිව්වොත් හොඳයි කියල හිතුනා.

      Delete
  26. සයුරි, ඇත්තටම දැන් තමා ලංකා ඉතිහාසෙ ඉගෙනගන්නෙ කියල හිතෙනව, බොක්කෙන්ම තෑන්ක් යූ.

    ReplyDelete
    Replies
    1. අනේ හරිම සන්තෝසයි අපේ වැඩිහිටි පරම්පරාවත් මේකෙන් මොනා හරි ඉගන ගන්න එක ගැන :)

      Delete
  27. නියමයි ඈ....අපේ ඉතිහාසෙ කියලා දෙනවට ඉස්තූත්යි හොදේ!!

    ReplyDelete
    Replies
    1. මේකෙන් ඉගන ගන්න ඔයාලටත් ස්තුතියි මල්ලි..

      Delete
  28. ඇත්තටම සයුරි ඔය යසලාලක කතාව මං හිතාගෙන හිටියෙ අර 'එකමත් එක රටක ....' කතා වගේ නිකම් ආදර්ශෙට ගන්න හදපු කතාවක් කියලා.... ඒක ඉතිහාසෙ ඇත්තටම වුනු දෙයක් කියල නම් හිතුවෙ නෑ.... හික්ස්... ඔන්න මගේ ඉතිහාස දැනුම....
    වෙනදා වගේම බොහොම ස්තුතියි ඉතිහාස පාඩමට....

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවානම් ඒ කතාව හරි යන්නේ එකමත් එක කතාවකට තමයි...මේ වගේ එකක් ඉතිහාසේ උනා කියලා කියන්නත් ලැජ්ජයි නේ අප්පා...

      Delete
  29. රාජාවලියේ වංහුං හොයන්න ඕනෙවුණාම මං තාමත් හොයන්න පටන්ගන්නේ පහන් යායෙන්. ඔයාට ආයෙ ආයෙමත් ස්තුතියි සයුරි! <3

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...