Friday, September 28, 2012

එරන්දතියදෝ මෙදිගැස





අනෝතප්ත විල අභියස - සුවඳ කොකුම් තවරා ඇස
උනා නීල පුන් මුහුලස - වලා රොදක් මෙනි වරලස 
පෙලා මත් බිඟුන්, මදහස - සලා කැලුම් දෙන මියුලැස
සරා සඳ සෙ පායන යස - එරන්දතිය දෝ මෙදිගැස ?



ප. ලි.

අද ඉඳන් "කවියට කවියක්" යටතේ අලුත් වැඩක්. බලමු හරි යාවිද කියලා. මේ කවියට කවියකින්ම පිළිතුරු දෙන්න කැමති කවුද?බ්ලොග් අවකාශේ ඉන්න බහුතරයක් කවි ලියන  අය නේ. නැති උනත් කමක් නෑ කතාවක් වගේ කවියක් හරි ලියන්නකෝ. පිළිතුරු කවි වලට නැවතත් පිළිතුරු දීමේ ඉඩකඩ ඇත. කවියෙන් බැන ගැනීමට අවශ්‍යනම් එයටත් ඉඩකඩ ඇත :) 


එහෙනම් පටන් ගමුද?

ප. ප. ලි.

කවි පද 4 ක් ම අවශ්‍ය නැත. එකක් දෙකක් උනත් කම් නැත.

කවි ලියන අයට මල බැගින් තෑගි ලැබෙනු ඇත :)

112 comments:

  1. බොරු මොටද මට නම් කවි ලියන්න බෑ, බෑ කිව්වෙ ඉතිං කවදාවත් උත්සාහ කරලත් නෑ ඕං.

    ReplyDelete
    Replies
    1. ඔන්න බලන්නකෝ...උත්සාහ කරලත් නැතුව කවි ලියන්න බෑ කියලා දැනගත්තේ කොහොමද කියමු බලන්න :)

      Delete
  2. ඔන්න ඉතින් සයුරි මිස් ගුටි කන වැඩකට සෙට් වෙලා...කවි පුළුවන්නම් මෙහෙම ඉන්නවද අපි..

    ReplyDelete
    Replies
    1. මට මේක ලියද්දිත් හිතුනා සෙන්නගෙන් ගුටි කන්න වෙයි කියලා...

      Delete
  3. කවිය නම් ඉස්තරම් ! අත ගහපු වැඩෙත් පංකාදුයි... කවි බඳින්න ආසාව තිබ්බත් වෙලාව තමා ප්‍රශ්ණේ සයුරි... ගොඩක් වෙලාවට පෝස්ට් එකක් දඩිබිඩියේ කියවලා යනවා මිසක් කමෙන්ට් කරන්නවත් වෙන්නෑ නෑ.

    ඉස්සර සුජීව සහෝ සහෝ බින්දි අක්කා ඇතුළු තවත් කට්ටියක් කවි වලටම කියලා කවිමුතුමල් බ්ලොග් එක හදා ගත්තා. මම මාස ගාණකින් ඒ පැත්තේ වත් ගියේ නෑ... බැලුවේ නැත්තම් බලලා එන්න. ලස්සන වැඩක්...

    සයුරිගේ අළුත් වැඩේ නැගලා යන්න කියලා ප්‍රාර්ථනා කරන්නම්...!!!

    පරිගණකයේ තිරය අසල - නිදිබර වී සැලෙන දෙඇස
    රිදුම් දෙවන අතැඟිලි සැම - විඩින් විඩේ හිරි ඇර ගෙන
    නැමුණ කොන්ද දිග ඇරගෙන - ලැබෙනා සුළු ඉසිඹුවකට
    කවි බඳින්න නම් නෑ ඉඩ - එපා ඉතින් තරහ වෙන්න...

    ReplyDelete
    Replies
    1. පලවෙනි කවිය චතුරන්ගගෙන්...බොහොම ස්තුතියි :) කවි මුතුමල් එක පැත්තේ මමත් ගියා . ඔය ලියලා තියෙන්නේ නියම කවියක්. අමුතුවෙන් කවි හදන්නේ මොකදට?

      කවි බඳින්න නැති මුත් ඉඩ - එපා කවිය අත හරින්න
      තරහක් නෑ හිතේ කිසිම - කමෙන්ට් නැතත් ඇවිත් යන්න

      ඔන්න කවියක් ලිව්වට තෑග්ගක්...

      [im]https://dl.dropbox.com/u/16187387/NPF5609.jpg[/im]

      Delete
  4. අය්යෝ සයුරි...! අපි කුමක් කරන්නද..බලන් ඉඳීම හැර..!

    ReplyDelete
    Replies
    1. ඒ මොකද අප්පා...ට්‍රයි එකක් දාන්නකෝ..

      Delete
  5. දුලන බඳ සිහිනිග දුටිමි මුව මදහස වත කමල
    සවන බඳින මිණි කිංකිණි හඬ හිමි යැයි සිතුන
    පවන හමන දසනු දිසා ඇයි නිසසල වී මෙතැන
    අනවතප්ත විල අසබඩ ඇයි නුඹ තනිවම මෙතැන

    ReplyDelete
    Replies
    1. ගුරුන්ට අකුරු උගන්වන්න ඕනෙ නෑලු. ඔබ තුමාට නම් මේවා කිරි කජු වගේ ඇති :)

      Delete
    2. //ගුරුන්ට අකුරු උගන්වන්න ඕනෙ නෑලු// සහතික ඇත්ත...

      විල අසබඩ ඈ තනිවම සිටින්නේ
      වරඟන පිරිවර අද එහි නොයන්නේ
      ඇගෙ කුමරුන් එන පෙරමග බලන්නේ
      කිමද පමා, සැකයකි සිත පෙළන්නේ

      කවි මල් මිටට තුති මල් මිටක්...

      [im]https://dl.dropbox.com/u/16187387/DBB7458C05BE1DCF2EAACDDD7F6740F7.jpg[/im]

      Delete
  6. යන්තම් පද එකක් දෙකක් ගැට ගහ ගත්තට මේනම් අමාරු වැඩක් සයුරියො... උත්තර බඳින්ට තියෙන පද ටික මට නම් මඤ්ඤං වගේ.... :o

    ReplyDelete
    Replies
    1. අයියෝ පද එකක් දෙකක් හරි දාන්නකෝ ළමයෝ...මඤ්ඤං උනාට කමක් නෑ. පද හතරක්ම උවමනා නැත. :)

      Delete
  7. මටත් නිකන් හොල්මන් වගේ කවි ලියනවා කියන්නේ. හෙට අනිද්දා උත්සහයක් දාන්නම්

    ReplyDelete
    Replies
    1. ඕනෑ තරම් කල් ගත්තාට අවුලක් නැත :)

      Delete
  8. හය්යෝ සයුරි අක්කේ අමාරුවේ දාන වදනේ කරන්නේ!
    දයානන්ද අයිය වගේ ඒක පාරට කවි ලියන්න බෑ !
    කල් වෙලා අරන් උත්සහයක් කරන්නම් !:)
    කොහොම මේවා ලියනවද මන්ද!

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් කවි කාරයෝ කියන කතා :) හරි හරි ඕන තරම් වෙලාව ගන්න.

      Delete
  9. තක්කතකට තක්දික්තදි නදනතොංග දික්ගුඳං
    දික්කදිකට හ්රකදිං තකට සකල මනුජ වන්දීතං
    තෙංගතකට තකුදිකුතක හ්රදජෙන්තකටතක්ගුදං
    සකල මනුජවන්දිතප්ර හ්රීංන තකට දික්ගුදං

    ReplyDelete
    Replies
    1. මොකද්ද ඇනෝ මේ? බෙර පදයක්ද?

      Delete
  10. මම නම් කවිකාරයෙක් නොවෙන නිසා නොදන්නා වැඩ කොරන්නට නොයමි.. හැබැයි මේ ටික කියවද්දී නම් හිතට ආපු එකම එක ගීතය සටහන් කර යමි..
    "අනෝතප්ත විල නෙළුම නෙලාලා
    පීරා වරලස මල් ගවසාලා..
    නාග ලොවින් බැස නාලිය ගමනින්
    වරගන පිරිවරිනා..එරන්දතිය එනවා.."
    ගැයුවේ පණ්ඩිත් අමරදේවයන් සමඟ අමිතා වැදිසිංහ( ගායිකාව හරියටම ශුවර් මදි)

    ReplyDelete
    Replies
    1. අපිත් ඉතින් කවි කාරයෝ නම් නෙමෙයි තොටි අයියේ :) මේ ගීතය මටත් හැම තිස්සෙම මතක් උනා. විදුර ජාතකය මතක් වෙනකොට මතක් වෙන්නෙම මේ සින්දුව තමා.

      Delete
  11. අපේ ඔය මල් භාවිතයක් නෑනේ...

    ReplyDelete
  12. අනේ කවියක් ලියන්න තියා කියන්නවත් එල කොල්ලට බෑනෙ :(.....එදා පරක්කු වෙලා එන එකක් ලියලා තිබ්බ හින්දම අද පුලුවන් තරන් කලින්ම ආව ඔන්න!!!!

    ReplyDelete
    Replies
    1. හිහි...මෙන්න මෙයා අද කලින් ඇවිත්. අයියෝ අන්තිමට එන එකෙත් ගතියක් තියන හින්දනේ එහෙම ලිව්වේ. :)

      Delete
  13. සයුරි දැන් වෙලාව හරියටම පාන්දර 2.14යි. හොඳ වැඩකට මුල පුරා ඇත්තේ.අනිවාර්යෙන්ම උත්තර කවියක් ලියනවා මට ටිකක් කාලය ඕනෑ. එතරම් දක්ෂ නැති නිසා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි...අනිවාර්යෙන් ඕන තරම් කල් ගන්න. කවදා උත්තරයක්‌ දැම්මත් මම පිළිතුරක් ලියනවා :)

      Delete
    2. එහෙනම් සයුරියේ මෙන්න මගේ කවිය
      සත් සමුදුරු සතක් දුරය - හඳ අල්ලපු රටෙහි මැදය
      පියුමෙන් පිරි විලක සුවය - විඳිමින් ඇය ගෙවති දිවිය

      බිඟුවන් එයි පතා සුවය - ඇගෙන් නොමැත ඊට දිරිය
      ලක් මෑණිගෙ දිරි දියණිය - මේ දිගැසියෙ නම සයුරිය

      Delete
    3. ආ මෙතන කවිය තියනවා දැක්කේ දැනුයි...පහළින් උත්තර ලිව්වා ඔන්න..දක්ෂ කමක් නෑ කිව්වට දැන් අපිට පේනවා ඒක බොරු කියලා :)

      Delete
  14. නිල් දියත මත ගලා ගිය
    ගිලිහුන මානෙල් මල් කැකුළ
    අතින් ගත් එරන්දතියක
    හැඩ දුටිමි නිස්කලංකව..

    පුර හඳට පරදින
    මානෙල් උවද පරදන
    නා දළු උව මැලවෙන
    සුරඟනක හැඩ ගෙන නුඹ..

    බලා ඈත අඩවන්ව දිගුදෑස
    හෙලන මදහස සිත ඇද ගත්ත
    දෑස වැසුන ඒ කෙහෙ රැල්ල
    මගේ සිත ගත් එරන්දතිය නුඹ..

    ලොකු අක්කගේ වැඩකට මම හෙල්ප් නොකර කෝමද ඉතින්.. හෆ්ෆේ.. එක වෙලා මේක දාන්න බැරි උනානේ මට... දිගටම මේවා දන්න ලොකු අක්කේ.. මම එනෝ කවි කියන්න...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ලොකු මල්ලි මේ වැඩේට සපෝට් බව මම දන්නවනේ..කවි කාරයෝ උනාම එහෙම නැතිව බෑ නේ.

      සුරඟන සේ එරන්දතිය
      ඈත බලා දිගු දෑසින්
      විල අයිනේ බලා ඉන්නෙ
      හිත ගත් කුමරා එනතුරු

      ඔන්න ඔයාටත් මලක්

      [im]https://dl.dropbox.com/u/16187387/purple_lotus_closeup.720x.jpeg[/im]

      Delete
    2. නැතුව නැතුව.. මේ නිදා ගන්න ගිහින් මේක දැකලා ලිවුවේ.. තෑග්ග කවියේ හැටියටම.. තැන්කූ තැන්කූ..

      Delete
    3. වලි මල්‍ලී එක වෙන්නේ
      මං බට්ටි නැති හින්දයි
      ආයෙත් නම් එක වෙන්නේ
      ඔන්න මලේ මේ අක්කයි..... :D

      Delete
    4. හෆොයි මෙන්න මෙයා ඇවිත්.. මේ අපි දැන් සාමෙට බරයි හොදේ... :)

      Delete
    5. ඒමත් පුළුවන්ද අලෝ....ඒම බැ බැ බෑ අලිද? වලි ඕනි ඕනි ඕනිමයි....

      Delete
    6. මම දැන් ඇල් වතුරත් නිවල බොන්නේ.. වලි බෑ... :)

      Delete
  15. ගත වසා ගෙන දුහුල් සලු පිලි
    යොමා ඇ සිත කිලිටි රතියෙන්
    එනතුරා කුමරුන් තෙමන්නට ඇ මුව
    සිටි කුමරිය තනිව තවමත්..............

    ReplyDelete
    Replies
    1. කුමරි තනිවම කුමරු නැත තව
      මත් බිඟුන් එයි තනි රකින්නට
      කුමක් උනිදැයි එන අතරමග
      නොදැන වගතුග හිඳිනු කෙලෙසද

      ඔන්න සචිත් ගේ තෑග්ග :)

      [im]https://dl.dropbox.com/u/16187387/purple-spider-gerbera-flower.jpg[/im]

      Delete
  16. kvi hiyhak nam nee mata.....
    akkage kaviya dakka idahita....
    noliya innama bee mata...
    try kara mul wathawata.....

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ නියමයි නේ..
      මේකත් හොඳ කවියක් නේ..
      මල්ලිගෙ පළවෙනි කවියට
      කොහොමද මල් නොම දෙන්නේ :)

      [im]https://dl.dropbox.com/u/16187387/Nice-Summer-Flower-Image.jpg[/im]

      Delete
  17. කලකින් තමයි අනේ
    මේ පැත්තේ මං ආවේ
    කඩේ මැෂිම ලෙඩ ඇදලා
    බ්ලොග් බලන්න බැරි වූයේ

    මුලින්ම ආවේ අනේ
    ලොකු අක්කා දැක ගන්නයි
    ඒත් එරන්දතියක් අද
    මගේ ඔළුව කැරකැව්වයි....

    පිළිතුරු කවියක් ලියන්න
    කොපමණ මා වෙර ගත්තත්
    අනේ අක්කේ එය කරන්න
    බැහැ නොවැ බට්ටිට අදනම්

    සමාව දෙනු මැන අක්කේ
    එන කවියට ගොතමි පදේ
    ඒක හින්දා සුදු අක්කේ
    සොස මලක් ඕනි හොදේ....

    ReplyDelete
    Replies
    1. කලකින් ආ බට්ටි කෙල්ල
      දැකලා මට හරි සතුටුයි
      ලියු කවියට තෑගි ලෙසට
      දෙන්නේ කහ රෝස මලයි

      [im]https://dl.dropbox.com/u/16187387/Rose-Flower-2.jpeg[/im]

      Delete
  18. සති අන්තයේ වැඩ වැඩියෙන් ඇත ගෙදර

    දඟයෙක්‌ නැතිය වෙන මගේ බනියා විතර

    පාපන්දුද ,ක්‍රිකට් නෙක සෙල්ලම් අතර

    එන්නම් ගොහින් මා යලි සඳුදා විතර

    ReplyDelete
    Replies
    1. කවි කාරියක් මේ පැත්තට ඇවිත් ගිහින්
      දැක්කේ දැනුයි දැන් පිළිතුරු ලියමි ඉතින්
      බනියයි ලොකු යි දෙන්නා ගැන සෙනේ සිතින්
      බින්දිට කියමි එන ලෙස කවි අරන් මිටින්

      නෙලුම් විලට තව නෙළුමක්...

      [im]https://dl.dropbox.com/u/16187387/Lotus1.jpg[/im]

      Delete
  19. සරනා මුත් විල අභියස - නොදනී ඇගෙ දිව දියකිස
    වෙසමුණි වරමින් බල ලද - දිය රකුසිය ගොඩ සපැමිණ

    රත් නෙත් නිල් පැහැ ගන්වා - උල් දත් සඟවා ගන්නා
    විල්තෙර ගොදුරක් සොයනා - ඈ මෝහිණියගෙ අක්කා

    (විලට බැහැල වතුර බොන්න එපා.... උණු පුරුකකින් බොන්න )

    ReplyDelete
    Replies
    1. මී මලයා පද ටික නම් ඉස්තරම්...

      Delete
    2. වරුණ යි නිරිඳුන් නා ලොව - විමලා නිරිඳුන් පිය ලඳ
      දෙදෙනා වර ලද දියණිය - එරන්දතී යැයි නම් ලද

      යක් ගොත් වෙසමුණි මහරජ - බෑණනුවෙක් වෙයි පුන්ණක
      ඒ කුමරුන් අත ගත් සොඳ - සුන්දරියයි ඈ නා ලොව

      :)


      [im]https://dl.dropbox.com/u/16187387/Tulip_single.jpg[/im]

      Delete
  20. කවිය දෙසට හිත ඇදුනේ
    ලස්සන බව මට පෙනුනේ
    අමාරුවෙන් මෙය හැදුවේ
    මල් විතරද මට දෙන්නේ

    හි හී. :D
    මම අද තමයි මේ පැත්තට ආවේ. ඔයාගේ කවිය ලස්සනයි :) :) :) :) :)
    මම ලිව්වේ නිකම්ම නිකන් හිතට ආව එකක්. ඇත්තටම මල් විතරද දෙන්නේ? කට්ටියටම කේක් කෑල්ල ගානේ දෙන්නකෝ :D :D :D :D :D

    ReplyDelete
    Replies
    1. සයුරි අමා දැන් ඉන්නේ මල් කඩන වයසේ තමා...මලක් කඩලම කේක් කෑල්ලක් අපටත් දීලම කන්න කියමු නේද.

      Delete
    2. මුලින්ම අමා ව සාදරයෙන් පිලිගන්නවා පහන් යයට...ආප මුල්ම දවස හින්දා කේක් කෑල්ලක් දෙන්නම්කො එහෙනම්. :)) ඔන්න ආපහු නම් ඉල්ලන්න එපා. පැණිරහ අගුනයි..අර කිව්වා වගේ අමා මල් කඩනවද දන්නේ නෑ...

      අමාගෙ කවියත් අගනා
      මලක් වගේ හරි වටිනා
      නෙතට වඩා දිව පිනනා
      ඇයට කේක් ලුනෙ ඕනා

      :))

      [im]https://dl.dropbox.com/u/16187387/whitecake1.JPG[/im]

      Delete
    3. හෙහ් හෙහ්, තෑන්ක් යූ තෑන්ක් යූ ඈ :D
      අනේ අයියෝ මල් කඩන් නැති නිසා තමා අෆ්ෆා මේ ෆුල් පොලියෙ ඉන්නේ :D :D :D :D :D


      Delete
  21. සත් සමුදුරු සතක් දුරය - හඳ අල්ලපු රටෙහි මැදය
    පියුමෙන් පිරි විලක සුවය - විඳිමින් ඇය ගෙවති දිවිය

    බිඟුවන් එයි පතා සුවය - ඇගෙන් නොමැත ඊට දිරිය
    ලක් මෑණිගෙ දිරි දියණිය - මේ දිගැසියෙ නම සයුරිය

    ReplyDelete
    Replies
    1. සත් සමුදුරු හතෙන් එහා - හඳ අල්ලපු රටට වෙලා
      පස් මහ විල් දිහා බලා - ඉන්න විටදි එපා වෙලා

      නොම දුටු සොහොයුරන් වෙලා - සතර දෙසින් පියා සලා
      එන සකි සඳ ඔබ සැවොමා - මට මිනි කැට වගෙයි දුලා

      අම්මෝ..මේ තියෙන්නෙ සුපිරි කවියක්.."ලක් මෑණිගෙ දිරි දියණියක්" වෙන්න මම හරිම කැමතියි :)

      [im]https://dl.dropbox.com/u/16187387/daffodil2.jpg.pagespeed.ce.3hl-a0RM0G.jpg[/im]

      Delete
    2. රටේ නම සුරකින කාටත් අපේ උත්තමාචාරය

      Delete
  22. කවි රස විදින්න පුළුවන් වුනාට ලියන්න නම් බැහැ.

    වැඩේ හොදයි කට්ටියට අල්ලලා ගිහින් වගේ ? - සුබ පැතුම්....!

    ReplyDelete
    Replies
    1. ඔන්න එහෙනම් ඔබ තුමාටත් ආරාධනාවක් කරනවා පස්සේ දවසක හරි කවියක් ලියන්න කියලා...කවි රස විඳින අයට ලියන්නත් පුළුවන් :)

      ස්තුතියි සුබ පැතුමට...

      Delete
  23. නීල වරල මල් ගවසාගෙන
    එරන්දතිය එන අයුරු බලාගෙන
    සිටි සැම සිත් නෙත් සතුටු සිනා අග
    ඈ වෙයි සිතු පැතු සම්පත් දෙන හැම...

    අළුත් වැඩේට සුභ පැතුම් සයු..

    ReplyDelete
    Replies
    1. ලස්සන කවියක් කීවට රූ හට
      දෙන්නෙමි සුපිපුණු මේ තුති මල් මිට

      සුබ පැතුමටත් ස්තුතියි රූ..

      [im]https://dl.dropbox.com/u/16187387/FLORAL%20AND%20FRUIT.jpg[/im]

      Delete
  24. නැතක් බැදුම් ඇත නුඹ ගැන පද බැද
    කුමට ලියන්නෙද එහෙයින් නුඹ ගැන
    එරන්දතියෙ,ලියනුයෙ නුඹ ගැන නොව
    නුඹ තරමට රුව නැති ඇගෙ,හද ගැන

    ජීවන විල අස දැහැනට සමවැද
    වෙසෙයි දුගී හුදු දනන් අතරමැද
    නැතත් බමරු ඈ පතමින් රොද බැද
    සදක් සදිසි නොම වෙද ඇගෙ මුදු හද

    ReplyDelete
    Replies
    1. වැසි නැගණිය මේ දිහා ඇවිත් අද
      රුව නැති ගුණ ඇති දැකලා ඇගෙ හද
      හරවත් වදනින් කවියක් පද බැඳ
      ලීවට දෙන්නෙමි මේ මල් මිටි බැඳ

      [im]https://dl.dropbox.com/u/16187387/img-thing.jpg[/im]

      Delete
  25. හිටියත් සුවඳ තවරා දෙවඟන විලස
    බැලුවත් නෙත් අගින් මල් හී විදින ලෙස
    දෙඩුවත් සොඳුරු පෙම්බස් මී පැණි විලස
    දන්නෝ දනිති උන්ගේ හද තිබෙන විස

    හහ් හහ් හහ්

    ReplyDelete
    Replies
    1. සුන්දර හදක් ඇති ගැහැණුන් ලොව නැද්ද
      "හිටියත් හිඟයි" එය පිළිගමි නැත සද්ද
      රුව නොම තකා ගුණ සොයනා පිරිමින්ද
      ඒ තරමටම මේ මනු ලොව හිඟ නැද්ද ?

      හිහ් හිහ් හිහ්

      බැන්නත් ඉතින් මලක් දෙන්න එපැයි :)

      [im]https://dl.dropbox.com/u/16187387/12.jpg[/im]

      Delete
  26. හප්පෝ... මන් එනකොට හොඳටම පරක්කු වෙලානේ... වැඩේ නම් නියමයි... දැන් එතකොට අපි වගේ රචනා ලියන අයට කමේන්ට් කරන්න තහනම්ද "කවියට කවියක්" ලේබලේ එන පෝස්ට් වලට?

    ReplyDelete
    Replies
    1. හපෝ නෑ නෑ...රචනාව පොඩ්ඩක් කවියක් වගේ ලිව්වම හරි :) ඒ නැතත් කමක් නෑ අප්පා, ඕන රචනාවක් ලියන්න

      Delete
  27. මෙදාපාර කවියට කවියක් ලියන්ඩ වෙන්නේ නෑ...
    ඊලඟ ලිපියෙන්වත් බලමු ඈ.. (මට කවි ලියන්ඩ බෑ)

    ReplyDelete
    Replies
    1. //මට කවි ලියන්ඩ බෑ//

      අනේ මගේ කට :පි

      එහෙම කියලා බෑ හරිදෝ...

      Delete
  28. බලපු මැච් විස්සයි විස්ස
    තරමටම බ්ලොග් ගොඩ ගැහුනි
    මේ පාලු රාත්‍රියේ
    ඔබෙ පැලට ගොඩ උනේ..

    ReplyDelete
    Replies
    1. විස්සයි විස්ස බලලා
      බ්ලොග් එක එක බලා ලා
      මෙහෙටත් ඇවිල්ලා
      ගිය ඔබට පින්, කවිත් කියලා

      ඔන්න හිරුට හිරු මලක්

      [im]https://dl.dropbox.com/u/16187387/Sunflower.jpg[/im]

      Delete
  29. සඳෙන් පාර විමසාගෙන - ඔබෙත් දෑස රවටාගෙන
    විලෙන් බිඳක් ගෙන යන්නට - ඇවිත් තියෙන ගැමි ළඳකිය

    ReplyDelete
    Replies
    1. ඈ එනතුරු බලන් ඉන්න - දෑස් වලින් වහන් වෙන්න
      දිය අරගෙන හනික යන්න - සඳේ පාර කියා දෙන්න

      :)

      [im]https://dl.dropbox.com/u/16187387/pansy-0805-3398-lucy-paintbox.jpg[/im]

      Delete
  30. මල් නම් එපා............................. කවිය නම් එල අක්කේ...

    ReplyDelete
  31. කාන්සියෙන් මා හද දවනා වේලේ
    කව් පද ගලාගෙන එයි හද තලාවේ
    එය ඇසුමට කෙනෙකුත් නැති හෝරාවේ
    සයුරිටවත් කියන්නද සිතුනා අවෙලාවේ :)

    ReplyDelete
    Replies
    1. සිතුවිලි ගලන විට ඔබ හද තලාවේ
      මෙහි එනු මැනවි නොවැටී මං මුලාවේ
      වෙලාවක් කුමට? ඇති නම් කලාවේ
      පිළිතුරු ලියමි මම දිවි ඇති තුරාවේ

      :))

      Delete
    2. හෝව්, මල අමතක උනා නේ

      [im]https://dl.dropbox.com/u/16187387/Tulip_single.jpg[/im]

      Delete
  32. අනෝතප්ප විල අභියස සිටිනා
    වලා රොදක් මෙන් වරලස ඇත්තා
    පුන්සඳ සේ ඇගෙ වත බැබලෙන්නා
    එරන්දතිය නොව මේ ඇයගේ අක්කා!

    එරන්දතිය එවෙලේ නිවසෙන් බැහැරය
    පෝය නිසා පන්සල් යන්නට සිතින
    ඇය සිටියේ මා සමඟින් පාරේය
    ඉතිං සකිය නුඹ ඇය දැක්කේ නැතිය!

    ඇගේ අක්කට නුඹ ලීවේ එක් කවියකි
    ඇය දුටුවොත් ලියවෙන කවි දසදහසකි
    ඇගෙයි මෙගෙයි ආලය පෙම් ගංගාවකි
    මගේ දිවියේ අරටුව ඇය මිණිපහනකි!

    ප.ලි. සයුරි අක්ක හිනාවෙයිද මන්ද මේක කියවල..
    මට ඉතිං ඔයා තරං කවි ලියන්න බෑ හො‍‍ෙඳේ...
    ජය ශ්‍රී හො‍ෙඳේ...!!

    ReplyDelete
    Replies
    1. අනේ දෙවියනේ මට උණු වියෝයා
      නංගි කියා අක්කට රැව ටුනෝයා
      මන්ඩි පාල නා ලෝකෙට ගියෝයා
      එරන්දතිය රවටාගෙන ගියෝයා

      හිහි...ඔව් ඔව් හිනා ගියා තමා. හැබැයි කවියට නෙමෙයි (කවි ටික එල යැ). එරන්දතී ට වත් ඉන්න දෙන්නේ නෑ නේ මේ කොල්ලෝ ටික..

      Delete
    2. [im]https://dl.dropbox.com/u/16187387/DBB7458C05BE1DCF2EAACDDD7F6740F7.jpg[/im]

      Delete
    3. අලේ සයුරි අක්ක මටත් මල් මිටක් දීල, තැන්කූ..!!! ජය ශ්‍රී..!!

      Delete
  33. දුබල පහන්සිල අභියස - ඇරෙන වැසෙන නිදිබර ඇස
    අතර පතර රැඳි නර කෙස - හනසු කෙඳි වැනිය වරලස
    විඩා වත නොපා මා දෙස - නගා වෙර මවා මදහස
    උදා හිරුට පෙර නැගි යස - මගේ පියඹ වේ මෙදිගැස

    ReplyDelete
    Replies
    1. බිරිඳකගේ ගුණ සුවහස - රුව පරදා දුටු නුඹ ඇස
      ඒ පියඹට සහ නුඹ හට - හිමි වෙයි තෙරුවන් අනුහස

      [im]https://dl.dropbox.com/u/16187387/NPF5609.jpg[/im]

      Delete
  34. මුහුලස කියන එකේ තේරුමත් කිව්වොත් පින්

    ReplyDelete
    Replies
    1. මුහුලස කියන්නේ ඔලුවේ බැඳපු කොන්ඩයට (මම දන්න විදිහට :).

      තිසර මෙහෙ ආපු මුල්ම වතාව මම හිතන්නේ. සාදරයෙන් පිලිගන්නවා.

      Delete
    2. තැන්කූ සයුරි... ලස්සනට ලියල තියන කවි දැක්කහම පොඩ්ඩක් ඉරිසියා හිතෙන තරමටම මම කවි වලට ආසයි. හැම වෙලේම හිතෙන්නේ කොහෙන් මේ වචන හොයාගන්නවද කියලා... හීනියට කවියක් ගැටගහගන්න මටත් බැරිකමක් නැහැ... ඒත් මගේ වචන පිළිබඳ දැනුම නම් ගොඩක් අඩුයි... ඉතින් දන්න අයගෙන් අහලා හරි ඉගෙන ගන්න එපැයි නේද? තමන්ගේ දැනුම බෙදාගන්න එක මිනිස්සුන්ට තමන්ගෙ ජීවිතේදි කරන්න පුලුවං වටිනම දෙයක් විදිහටයි මම දකින්නේ... ඔව් මම පලවෙනි වතාවට තමයි ආවෙ... නිතර යා යුතු තැනක් විදිහට සලකුණු කරගත්තා...

      Delete
    3. තිසර කවි වලට ආස කෙනෙක් බව ලියපු කවිය දැක්ක ගමන්ම හිතුනා :) ඇත්ත කතාව..අපි නොදන්න සිංහල භාෂාවේ වචන ගොඩක් තියනවා. මමත් ආසයි අලුත් වචන හොයාගන්න. ඔන්න මාත් තිසරගේ රඟහල පැත්තේ ගිහින් ආවා...

      Delete
  35. කොමෙන්ටුවක් දාන්නට ගිය විට මට මල පනින්නේ
    …හේතුව මෙයයි මට නැහැ කවිපද වැල් ගෙතෙන්නේ
    …එනමුදු මලක් නම් එපා සොඳ මලකුයි මට තියෙන්නේ
    …මලක් හැර වෙන ඕනෑ දෙයක් අක්කයි මට ගෙනෙන්නේ......

    …ඒ නිසා වෙන මොනවහරි ඕනේ මට!

    ReplyDelete
    Replies
    1. මළ පනින්න එපා අනේ ඉක්මනටම නාකි වෙයි
      හිතල හිතල දිගට ගොතල ලියපු කවිය හරි අගෙයි
      මල් නැතුවට චොකලට් වත් කාල යන්න හරි රහයි
      වැඩිය කන්නෙ බලාගෙනයි මලයන්ඩිඊ මහත් වෙයි

      [im]https://dl.dropbox.com/u/16187387/2998815478_2c54e9e807.jpg[/im]

      Delete
    2. මගේ හිතේ ඉඩ නැහැ නොවැ මල පනින්න
      ……විහිළුවටයි කිව්වේ හිතෙනවා තව කවි ලියන්න
      පතනවා තවත් චොකලට් අනේ මට ලැබෙන්න
      ……දන්නෙමි චොකෝ කෑවට මහත් නොවී සිටින්න


      Delete
    3. මහත් නොවී ඉන්නවනම් අවුලක් නැහැ ඔන්න
      චොකෝ ගෙනල්ලා දෙන්නම් කවි ලිව්වොත් කන්න
      හිතන පතන විදිහට තව රස කවි ලියවෙන්න
      ජය පතනවා ලහිරුවාට, ගිහින් නැවත එන්න

      Delete
    4. චොකෝ ගෙනත් දෙනවා නම් කන්න
      …රස කවි ලියතෑකි කවුරුත් උඩ යන්න
      …කෑම වගේ ම කවි ලියුමත් මට ඔන්න
      …කජු කනවා වගේ වැඩකි කැට මෙන්න

      Delete
    5. තව මොනවටද චොකලට් ගැන හිතන්නේ
      කන හැටි දැකල මටනම් බය හිතෙන්නේ
      කජු නම් සුපිරි කෑමකි මම කියන්නේ
      කජු කන ලෙසට තව තව කවි ලියන්නේ

      Delete
    6. චොකලට් ගැන හිත හිතා කොච්චර කවි ලිව්වත් මදිය
      ආදරේ කරන කාලෙත් අයියා අක්කට ගෙන දෙන්නැතිය
      ෂේප් එක ගැන හිතන අක්කට නම් දැන් ඒවා හොඳනැතිය
      එනිසා චොකලට් වෙනුවෙන් මගේ කවිකම පුදකළ හැකිය

      Delete
    7. යන්තම් පනහකි මගෙ බර කෑවත් මම චොකලට්
      කොච්චර කෑවත් මට නැහැ හරි යන්නේ චොකලට් :(

      Delete
  36. ඉහි ඉහි ඉහි ඉහි මට කවි බෑ.
    ඒත් මලක් ඔනේ...:(

    ReplyDelete
    Replies
    1. හපෝ...මෙච්චර කලා හිතක් තියන කෙනෙක් මෙන්න බෑ කියනවෝ...

      Delete
  37. ඉන්න කවිය තාම ලියනවා...හෙට අනිද්දා දානවා.....

    ReplyDelete
    Replies
    1. හරි හරි ලියලම දාමුකෝ...

      Delete
    2. ගුණේ අයියගෙන්වත් අහගනන් ඕනේ කවියක්....

      Delete
  38. මේ දිගු ඇස් හිමි ඔබ හට - පෙම් බැඳි ඒ සොඳුරු දවස
    සුවඳ කොකුම් නොතිබුනාට - මතකයි ඒ නීල දෑස
    පෝදා සඳ එළිය වතට - ගෙනදුන් කෝමල මදහස
    ජීවන මග කල එළියට - කොයිදෝ හිරු සඳු ඔබ මිස

    (සයුරු)

    ReplyDelete
    Replies
    1. දිගු ඇස් හිමිදැයි නොදනිමි - සඳ වත මගෙදැයි නොදනිමි
      ඒ වත නුඹ වෙනුවෙන් හිනැ හෙන බව පමණක්ම දනිමි

      හිරු එලියද සඳ සිසිලද - සදාකාලිකද නොදනිමි
      හිරු සඳු නැති දා නුඹ මට - පහනකි එය හොඳින් දනිමි

      [im]https://dl.dropbox.com/u/16187387/fl1050.jpg[/im]

      Delete
  39. ලිවුවා මම කවියක්
    දාන්නා බැහැ ..

    ReplyDelete
  40. අනෝතප්ත විලක් නොවේ... නළ ජලයෙන් වෙහෙස නිවේ
    සුවඳ කොකුම් මිල බෝවේ.. ලාබ පියරු වත ඉළුවේ
    ක්ලෝරින් දිය කෙස දිය කර .. දිගු වරළස තවත් නොවේ
    මත් බඹරුන් ගුම් නද මිස ... පෙම් සුවඳක් අසල නොවේ..
    දුක සේ ජීවිතය මහන සන්නාලිය මිසක ලො‍වේ
    එරන්දතිය කවුරුන්දැයි - මගෙන් අසා පලක් නොවේ

    ReplyDelete
    Replies
    1. නල ජලයෙන් සැනහුනාට - ලාබ පියරු තැවරුවා ට
      වරලස දිය වී ගියාට - මත් බඹරුන් දැවටුනාට
      දුක සේ ජිවය සරිකර - සිය පරපුර සැනහුවාට
      මුළු ලොව ජිවෙන් පුරවන - ඇයයි සොඳුරු එරන්දතිය

      තරූ ටත් මෙන්න මලක්...

      [im]https://dl.dropbox.com/u/16187387/purple-spider-gerbera-flower.jpg[/im]

      Delete
  41. එරන්දතිය කෝළ ලෙසින - සලා බැලුම් නෙත් දිගුසර
    උනා මුවග සුදු හසරැලි - හෙලා සියෝලගම සලිතව
    නුරාගිකව ඇය එන සද - සසල උනා මුළු හදවත
    සිහිනයක්ම පමණක් වුව - මිවිතකින් මා සැනසුව

    ReplyDelete
    Replies
    1. සිහිනයක්ව එරන්දතිය - ආවත් රෑ තනි යහනට
      සිහින සැබෑ වෙන දවසක් - නුදුරෙම එයි ඒ ලෙසටම

      Delete
  42. හොද කවියක් අක්කේ...

    ReplyDelete
    Replies
    1. සයුරි යේ මල් දහසකින් එක මලකි මේ ඔබ
      පිනිදි යේ සිත් දවන බිදුවකි සිත් විලේ මල් පිබිද වූ ඔබ

      බුදුසරණයි!!!

      Delete
    2. බොහොම තුති රුසිරුවෝ...
      බුදුසරණයි...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...