ඔන්න එහෙනම් මගෙනුත් වලියක්. රාජා "වලිය" තවත් කොටසක් :)
~~~~~~~~~~~~~
අපි ගිය පාර රාජාවලිය ලිපිය නැවැත්තුවේ දෙවන මිහිඳු රජතුමාගේ පුතා මිය ගිය එක ගැන කියලනේ. මේ හින්දා රජතුමා හිටියේ ගොඩක් කණගාටුවෙන්. සේරටමත් වඩා ලංකාවට අනාගත රජෙක් නැති වෙන නිසා. හැබැයි ඒ ලිපියේ අන්තිමට අපි කිව්වනේ මෙතන රහසකුත් තියනවා කියලා. අද බලමු ඒ රහස මොකක්ද කියලා.
දෙවන මිහිඳු රජතුමා රජ වෙන්නත් කලින් ඔහුට බිරිඳක් හිටියා ලු. පසුව ඇය වෙන් වෙලා ගියත් රජුට දාව පුතෙක් ඇයට ලැබිලා තියනවා. ඒත් මේ පුතාවත් පියාවත් එකිනෙකාට අඳුනන්නේ නැහැ. බිරිඳ රජුගෙන් වෙන් උනාට පස්සේ තමයි දරුවා ලැබෙන්න ඇත්තේ. මේ වෙද්දී ඒ පුත්‍රයා ලොකු වෙලා රාජකීය හමුදාවේ සේවය කරන දක්ෂ සෙබළෙක්. ඔහුගේ නම "උදය". දප්පුල සමග කරපු සටන් වලදීත් රජතුමාට බෙහෙවින්ම උපකාරී උනේ ඔහු. ඒ වෙනුවෙන් රජතුමා ඔහුට උසස් වීම් සහ තුටු පඬුරු දුන්නත් රජතුමා දැනගෙන හිටියේ නැහැ ඒ ඔහුගේ පුතෙක් බව. මේ විදියට දිගින් දිගටම උදයගේ දක්ෂතාව කැපී පෙනෙද්දී රජතුමාට ඕන උනා ඔහුගේ අලගිය මුලගිය තැන් හොයාගන්න. ඔන්න එතකොට තමයි රජතුමාට දැනගන්න ලැබුනේ ඒ තමන්ගේම පුතා බව.
ඉතින් රජතුමා වහාම උදය ව කැඳවනවා මාලිගාවට. කැඳවලා ඔහුගෙන්ම විස්තර දැන ගන්නවා. ඉතාමත් සතුටට පත් වෙන රජතුමා ඔහු තමන්ගේ පුතා බවට නිල වශයෙන්ම බාර ගෙන යුව රජ කමත් පිරිනමනවා. ඔන්න ඔහොමයි ප්‍රධාන අණදෙන නිලධාරී උදය, "උදය කුමරු" බවට පත් උනේ. ඉතින් කොහොමහරි ක්‍රි. ව. 807 දී දෙවන මිහිඳු රජතුමා මියගියාම රජ බවට පත් වෙන්නේ උදය රජතුමා (ක්‍රි. ව. 807 - 812).
මේ කාලයේදී රුහුණ පාලනය කරලා තියෙන්නේ "දාඨසිව" නම් පාලකයෙක්. ඔහුගේ පුතා "මහින්ද" කිසියම් හේතුවක් නිසා දාඨසිව එක්ක විරසක වෙලා අනුරාධපුරයට පැන විත් උදය රජුගේ රැකවරණය පැතුවා ලු. ඉතින් උදය රජතුමාත් මේ කුමාරයාට ඉඳුම් හිටුම් විතරක් නෙමෙයි කල් යද්දී තමන්ගේ දියණියත් සරණපාවලා දෙන්න තරම් කාරුණික උනාලු. ඉන් පස්සේ ඔවුන්ගේ ඉලක්කය උනේ රුහුණ ජයගැනීම. මේ සඳහා සේනාව මෙහෙයවන්නේ මහින්ද කුමරු. ඔහු මාමණ්ඩිය වෙනුවෙන් තමන්ගේ පියා එක්ක යුධ වදිනවා. යුද්ධයෙන් පරදින දාඨසිව ඉන්දියාවට පලා යද්දී මහින්ද කුමරු ඒ පසුපස ලුහු බැඳීමෙන් වැළකිලා පියාට පැන යන්න ඉඩ සලසා දෙනවා. මේ ජයග්‍රහණයෙන් පස්සේ රුහුණේ පාලකයා බවට පත් වෙන්නේ මහින්ද කුමරු.
ඉතින් උදය රජතුමා ධාර්මිකව රජකම් කරපු රජ කෙනෙක්. අනාගත ප්‍රයෝජනය සඳහා එකල පැවතුණු නීති රීති ලේඛනගත කරලා තියන්නත් එතුමා කටයුතු කළා ලු. අන්ධ අයට සහ අනෙක් ආබාධිත අයට ජිවත් වෙන්න ගොඩනැගිලි ඉදි කරලත් තියනවා. කොහොම උනත් ඔහු වැඩි කල් රජකම් නොකරම ක්‍රි. ව. 812 දී මිය පරලොව යනවා. ඉන් පස්සේ රජ වෙන්නේ ඔහුගේ වැඩිමහල් පුත් "මහින්ද / මිහිඳු III" (ක්‍රි. ව. 812 - 816). ඔහුත් ඉතා ධාර්මික රජ කෙනෙක්. මේ නිසාම ඔහු "ධාර්මික සිලාමේඝ" කියලත් හැඳින්නුවා ලු.
ඉන් පස්සේ රජ උනේ ඔහුගේ සොහොයුරු "අග්බෝ VIII" (ක්‍රි.ව. 816 - 827). ඔහුත් පියාගේ සහ සොහොයුරාගේ අඩි පාරේ යමින් ඉතාමත් හොඳින් රට පාලනය කළා. පෝය දිනවල මාළු, මස් සහ මත් ද්‍රව්‍ය ඇතුල් නුවරට ගෙන ඒම තහනම් කළා. ඒ වගේම තමන්ගේ මවට ඉතාමත් හොඳින් සලකපු කෙනෙක් තමයි එතුමා. තමන්ගේ අත් දෙකෙන්ම ඇය නෑවීම, කැවීම, හිසේ තෙල් ගැල්වීම ආදී හැම දෙයක්ම කරලා තියෙන්නේ ඉතාමත් සතුටින්. ක්‍රි. ව. 827 දී එතුමා මිය ගියාට පස්සේ රජ වෙන්නේ ඔහුගේ බාල සොහොයුරු "දප්පුල II" (ක්‍රි. ව. 827 - 843).
දැන් එතකොට මතකයිනේ උදය රජතුමාගේ බෑනා වෙච්ච මහින්ද කුමාරයා රුහුණේ පාලකයා බවට පත් උන හැටි? තවමත් ඔහු තමයි රුහුණේ පාලකයා. මේ අතරේ මහින්ද කුමාරයාගේ පුතුන් දෙදෙනාගේ ("කිස් අග්බෝ" සහ "දප්පුල") හැසිරීම ගැන අසතුටු වෙන ඔහු, පුතා සමග අමනාප වෙලා ඔහුව පලවා හරිනවා. පියාගෙන් පලා එන කුමාරයා පිහිට පතන්නේ දප්පුල රජතුමාගෙන්. දැක්කා නේද ඉතිහාසය නැවත නැවත සිද්ධ වෙන හැටි? දප්පුල රජතුමාත් මේ කුමාරවරු දෙන්නා යොදා ගෙන මහින්දට විරුධව රුහුණ ජයගැනීමේ සටනක් දියත් කරනවා. මහින්ද ඔහුගේ පියාට කළ දේම ඔහුගේ පුතුනුත් ඔහුට කරනවා. හැබැයි ඒ සටන වැළකෙන්නේ මේ කුමාරවරු දෙන්නා සේනාව වෙනත් නිලධාරියෙකුට භාර දීලා ආපහු එන නිසා.
මේ අතරේ මහින්ද ට තවත් තර්ජනයක් එල්ල වෙනවා ඔහුගේ වෙනත් නෑයෙක් ගෙන්. ඒ සටනෙන් මහින්ද මිය යන අතර තුවාල ලබපු නෑයාත් ඉක්මනින් මිය යනවා. ඉන් පස්සේ දප්පුල රජතුමා ඔහුගේ දියණිය කිස් අග්බෝ කුමාරයාට සරණපාවා දීලා දකුණු ප්‍රදේශයේ පාලනය ඔහුට බාර දෙනවා. ක්‍රි. ව. 843 දී දප්පුල රජතුමා මිය ගියාට පස්සේ ඔහුගේ පුත්‍රයා "අග්බෝ IX" (ක්‍රි. ව. 843 - 846) නමින් රජ වෙනවා. අග්බෝ රජ වෙච්ච එකට විරුද්ධ උණු , දෙවන දප්පුල රජුගේ සහෝදරයාගේ පුත්‍රයා ඔහුට විරුද්ධව සටන් කළත් අග්බෝ රජු සටනින් ජයග්‍රහණය කරනවා. ඒත් කුමක් හෝ හේතුවක් නිසා අග්බෝ රජතුමා ඉක්මනින්ම මිය යනවා.
ඊ ලඟට රජ උනේ කවුද කියලා අපි ඊ ළඟ රාජාවලිය ලිපියෙන් බලමු.
ලංකාව වගේ පුංචි රටකත් මෙච්චර අවුල් වියවුල් රජවරු කුමාරවරු හැටහුටාමාරක් හිටියනම් ඉන්දියන් ඉතිහාසෙ, චීන ඉතිහාසෙ, යුරෝපා ඉතිහාසෙ එහෙම විෂයක් විදියට ඉගෙන ගන්න එවුන්ට එපා වෙනව ඇති.
ReplyDeleteමම මේ සයුරිගෙ කලින් පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලා ආව විතරයි, මෙන්න මෙයා ඒ අතරෙ තව එකක් දාලා. (පුළුවන් නම් ඒ ලිපිය වගේ එන්ටාබේ මෙහෙයුම ගැනත් ලිපියක් දාන්ට, ඒ ලිපිය ඒ තරමට අපූරුයි)
DDT, එන්ටැබේ මෙහෙයුම කියවන්න මෙතනින්
Deleteනැහැ සෙන්නා, දිනේෂ්ගෙ ඔය ලිපිය මම කලින් කියවල තිබුණ, මතක හැටියට මට එතකොට ප්‍රොෆයිල් එකක් තිබුණෙත් නැත්ද කොහෙද. අනෙක ඒ ගැන මම ලිපි කීපයක්ම කියවල තියෙනව, පහුගිය කාලෙ ඉරිදා ලංකාදීප දියත අතිරේක කීප පාරක්ම ඔය සිද්ධිය ගැන ලිපි ගියා. සයුරි කලින් දාපු ආගො මෙහෙයුම ගැන පෝස්ට් එකට අසරණයා කමෙන්ට් කරල තිබුණ ඒ මෙහෙයුම ගැන කියල, ඉතිං මමත් ඒකට ඌනපූරණයක් එක් කරල කමෙන්ට් එකක් දැම්මා. ඉතිං සයුරිගෙ කලින් ලිපිය වගේ රසවත්ව ඒ ගැනත් ලියන්න කියල තමා මම කිව්වෙ, අපිට කියවන්න, තව ඒ ගැන සම්පූර්ණෙන්ම නොදන්න අයත් ඉන්න පුළුවන්නේ.
Deleteඔයා සත් සමුදුරේ ලින්ක් එක දාපු එකත් වටිනව සෙන්නා, මොකද ඒ දවස්වල ඔය ලිපිය කියෙව්වට දිනේෂ් ඒ ගැන ලියල තිබුණ කියල ඊයෙ කමෙන්ට් එක දාද්දි මට මතක තිබුණෙත් නැහැ.
// ඉන්දියන් ඉතිහාසෙ, චීන ඉතිහාසෙ//
Deleteපිස්සු හැදෙයි
එන්ටබේ මෙහෙයුමට ලින්ක් දුන්නට දෙන්නටම ස්තුතියි. ඒකත් පෝස්ට් එකකට හොඳ සිද්ධියක් වගේ පේනවා. DDT, අපි සෙන්නට කියමුද ඒක ගැන ලියන්න :) එයානේ ඔය වගේ ඒවා ගැන හොඳට ලියන්නේ. සෙන්නාස් මොකද කියන්නේ?
සයුරි, දිනේශ් ඒක ලියලා තියන නිසා ආයෙ ලියන එකේ තේරුමක් නෑ නේද ?
Deleteඔයවගේ ඒවා ලියන්න සයුරිටත් හොඳට පුළුවන් කියලා අපි දැක්කා ගිය පාර ලිපියෙන්.. ඒක හින්දා ඉදිරියටත් අපි එවැනි ලිපි බලාපොරොත්තු වෙනවා සයුරි මිස්ගෙන්..
ලිපිය කියෙව්වා. ඒකනම් ෆිල්ම් එකක් වගේ තමයි. අමුතුවෙන් ෆිල්ම් හදන්න ඕන නෑ. හැබැයි දිනේෂ් සහ සෙන්නා ලියන්නේ දෙවිදියකට නේ :)
Deleteඇයි සයුරි ලියන්නෙ තවත්ම විදිහකටනෙ.. ඕක තමා ආවේනික අනන්‍යතාවය කියන්නෙ මගෙ හිතේ..
Deleteඅපි කියවමුද ඒ කතාව සයුරිගෙ ශෛලියෙන්...?
හිහි...මේකටනම් කියන්නේ බෝලේ පාස් කරනවා කියලා ඔන් :)
Deleteබොහොම ආසාවෙන් කියවන අපේ ඉතිහාස පන්තියට ඔන්න අදත් ආවා.මගේ ඉල්ලීමත් ඉටුකරන්නකෝ සයුරි. සචිත්‍රා කුමරිය ගැන කතාව ලියන්නකෝ. සීතාවක යුගයේ කතාවක් ඒක. මම කලිනුත් මේ ඉල්ලිම කළා.
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්
ඒකත් ඉටු කරන්නම් නලින් අයියා. හැබැයි කතාව සීතාවකට දිහාට යන්න තව ටිකක් කල් යාවි. තාම අපි අනුරාධපුරේනේ. :)
Deleteඔබ සතු දැනුම මහත්සේ අගය කරනව සයුරි
ReplyDeleteබොහොම ස්තුතියි සමි...
Deleteහැබෑටම ඒකයි එහෙනම් මේකට රාජාවලිය කියන්නෙ ආ.. හැමදාම වලිනෙ.. හෙහ් හෙහ්..
ReplyDeleteඉතිහාසයේ ප්‍රතිනිර්මාණයනම් මාරයි නේද ? හොඳට නිරීක්ෂණය කරළා තියන දෙයක් තමයි දෙමව්පියන්ට කරන දේවල් කල් නොයවාම පටිසන් දෙනවා..
අනේ මන්දා.. මෙන්න සෙන්නා මං කියන්න හිතපු එකම කියලා.. හි හි..
Deleteවලි විතරයි... එක අතකට ඒකත් හොඳයි අප්පා... අඩ ගානේ මේවා සීතල යුද්ධ නෙවෙයිනේ... කඩු පොලු ගත්තා, මරා ගත්තා, දිනපු එකා රජ උනා.. ආයිත් කිසි කතාවක් නෑ... හි හි...
වලි පිට වලි නේද? :)
Delete//හොඳට නිරීක්ෂණය කරළා තියන දෙයක් තමයි දෙමව්පියන්ට කරන දේවල් කල් නොයවාම පටිසන් දෙනවා//
මේකනම් සහතික ඇත්ත. අද කාලේ උනත් ඒක එහෙම තමයි.
//වලි විතරයි... එක අතකට ඒකත් හොඳයි අප්පා//
හිහි...ඒකනේ. වලියක් නැත්නම් ගතියක් නෑ කියලා අපිටත් තෙරිලානේ තියෙන්නේ :)
ඊළගට රජ උනේ කවුද අෆ්ෆා.. ටීචර්ට කලින් උත්තරේ දෙන්න කල්පනා කලේ.. මේ ගෝලයා දැන් පාඩම් කරන්නේ නෑලුනේ.. ඉතින් දන්නේ නෑ.. ටීචර්ම කියමු බලන්න..
ReplyDeleteපෙනේද ටීචර් ට බොලේ පාස් කරලා ඉන්න හැටි. ගෝලයා හොඳටම නරක් වෙලා දැන්.
Deleteහ්ම්ම්ම්... රාජා(වලිය) ක් ම තමයි!
ReplyDeleteයෑස් යෑස්
Deleteඅපේ ඉතිහාසය පුරාම තිබිලා තියෙන්නෙ රජකමට සටන් කරපුවා..ඒක ආදර්ශයට අරන් වෙන්නැති දැන් ඉන්න අයත් ඡන්ද කාලෙට මරා ගන්නේ...
ReplyDeleteසයුරි ලියන සරළ භාෂා විලාසය හන්ද ආසාවෙන් කියවන්න පුළුවන්. හරියට නවල් එකක් කියවනවා වගේ..නැත්තම් කොහෙද...අර ඉතිහාස පොත් වල තියෙන බර බර වචන කියවන්න ගියානම්...
//සයුරි ලියන සරළ භාෂා විලාසය හන්ද ආසාවෙන් කියවන්න පුළුවන්. හරියට නවල් එකක් කියවනවා වගේ..නැත්තම් කොහෙද...අර ඉතිහාස පොත් වල තියෙන බර බර වචන කියවන්න ගියානම්...//
Deleteමෙන්න මේ ලිහිණි කියල තියෙන එක නම් සහතික ඇත්ත.....
ඒකනේ ලිහිණි, මුතුන් මිත්තන්ගෙන් ආදර්ශ ගන්න මේගොල්ලෝ හරි දක්සයි නේ. නැත්නම් ඒක රටේ අනන්‍යතාවයට හොඳ මදිනේ :)
Deleteබොහොම ස්තුතියි ඔයාල දෙන්නටම :)
මේ සරල කමට මන් කැමතියි dr
ReplyDeleteඑහෙම අහන්න ලැබීම සතුටක් සහන්.
Deleteඅදකාලෙයි එකාලෙයි කියලයි වෙනසක් නැහැ. දේසපාලනේ කියන්නේ සිරාවටම කැඳ හැලියක් මඩගොහොරුවක්. හැබැයි අක්කේ මේ චුට්ට චුට්ට ලියන එකටනම් අපි කැමති නැහැ ඔන්න.
ReplyDeleteමේකනේ කෝරලේ මහත්තයෝ වැඩේ..මේ රාජාවලියට අකමැති කට්ටියත් ඉන්නවනේ. ඉතින් මම දිගටම ඕක දැම්මොත් උන් මාව මරාගෙන කාවි :). මම පුළුවන් තරම් ඉක්මනට ලියන්න බලන්නම්කො.
Deleteසයුරී ඉතිහාසෙ ගැන නම් අපි මොකුත්ම දන්නෙ නෑ. අපිට සමාජ අද්‍යයනය කියන විෂයට ඉතිහාසය අංශු මාත්‍රයක් විතරක් තිබුනෙ. මේ සටහන් ආසාවෙන් කියවනවා. කොච්චර දේ තියෙනවද අපි නොදන්න, අනෙක ඉතිහාසයක් නැති තැන පැවත්මක් නෑ. හරිම වටිනවා මේ සටහන් පෙළ.
ReplyDeleteඅපිටත් සමාජ අධ්‍යනයත් එක්ක තමයි ඉතිහාසය තිබුනේ. හැබැයි ටිකක් වැඩිපුර තිබුනා අපේ කාලේ නම්. ඒත් ඒ පොත් ඉගනගන්න එක කම්මැලි වැඩක් වෙලා තිබුනේ.
Delete//අනෙක ඉතිහාසයක් නැති තැන පැවත්මක් නෑ//
මේකනම් ඇත්ත කතාව
ඔන්න සයුරි ටීචර්ගෙ ඉතිහාස පන්තිය කට් නොකර අදත් ආවා... හප්පේ බලනකොට පාඩම වලි වලින් පිරිලානේ... අර මම ටික කලකට කලින් අහපු ප්‍රශ්නය ආයෙත් හිතට ආවා. ඇමරිකාවේ ඉඳලත් කොහෙන්ද අප්පේ මෙච්ච්ර විස්තර හොයාගන්නේ..??
ReplyDelete-තොටියාz-
ඒක කරන්නේ මිය ගිය ආත්ම ගෙන්නගෙන.
Deleteබිත්තර වලට මතුරලා පොළොවේ වල දානවා...
------------------
-------------------
--------------------------
-----------------
හැබෑට? මට එදා නම් මේ බවක් කිව්වේ නෑනේ? අද අහුවුනා හොරේ.. හැක් හැක්
Deleteඅම්මෝ ඔය භූතාත්ම මෙතර්ඩ් එකට ඉතිහාසෙ ඉගෙන ගන්න මට බෑ. ඔක්කෝමත් හරි එක එක රජාලගේ භූතයො ඇවිල්ලා රජ ටෝක්ස් දෙන්න ගත්තාම 'එහෙයි ස්වාමීනි' කිය කිය අහන් ඉන්න එපායැ
මම දන්නවනේ තොටියාස් පාඩම් කට් කරන්නේ නෑ කියලා. :)
Delete//ඒක කරන්නේ මිය ගිය ආත්ම ගෙන්නගෙන.
බිත්තර වලට මතුරලා පොළොවේ වල දානවා//
හපොයි...බයත් හිතෙනවා. මේ රජවරු හැබෑටම භූතයෝ වෙලා ඉන්නවද දන්නේ නෑ.
//එක එක රජාලගේ භූතයො ඇවිල්ලා රජ ටෝක්ස් දෙන්න ගත්තාම//
හික්ස්..ඒක ඇත්ත. දැන් මේ ඉන්න රජාලා මදිවට
ස්තුතියි සයුරි..
ReplyDeleteමේ කාලයෙදි නම් රට අරාජික නොවී සාමාන්‍ය විදිහට ගෙනියන්න රජවරුන්ට හැකි වෙලා වගේ..
ඒත් මේ රජවරු ඉක්මනට මැරෙන්නෙ වයසට ගිහින් රජ වුනු නිසාද?
"රාජා වලිය" වැලි වලින්මයි ලංකාවේ එදා ඉඳල තිබිල තියෙන්නේ. මම හිතන්නේ මේ රට දියුණු වෙන උපරිම වේගය වෙන්න ඕනේ..
ReplyDeleteහැමදාම වගේ මේ උත්සාහය අගය කරනවා.
ස්තුතියි අසාර්. ඒකනේ බලන්න රට කොච්චර දියුණු වෙනවද ඒ නිසා කියලා..
Delete//මහින්ද ඔහුගේ පියාට කළ දේම ඔහුගේ පුතුනුත් ඔහුට කරනවා.//
ReplyDeleteඒක තමයි කියන්නේ මොකක් හරි කලොත් ඒක පස්සෙන් එනවා කියලා.... හොද වගේම නරකත්....
ඇත්ත සමනලී..මෙතන ඒක පැහැදිලිවම පේනවා.
Deleteධාර්මිකව රට පාලනය කරපු රජ වරු ගැන දැනගන්න ලැබුන එකත් සතුටක්...නැතිනම්..තියෙන්නෙ මරා ගන්න ඒවාමනෙ...හැබැයි ස්ත්‍රී විශයෙහි නම් කොයි රජත් එකයි බලන් ගියාම.
ReplyDelete//හැබැයි ස්ත්‍රී විශයෙහි නම් කොයි රජත් එකයි බලන් ගියාම//
Deleteහිහි..ඒක නේන්නං. ඒවානම් වරදින්නේ නෑ.
ස්තුතියි සයුරි ..අපට මේවා මතකම නැහැ .
ReplyDeleteමේවා අපේ පොත් වල තිබුනද කියලා මටත් කිසිම මතකයක් නැහැ.
Deleteසයුරිගේ රාජාවලිය කියවනකොට වැඩියෙන්නම හිතට එන්නේ රජකම බෙදාගන්න බැරිව බල ලෝභයෙන් මත්වුනු රජ පරම්පරාවක් අපට සිටි බවයි. අතේ පයේ ශක්තිය තිබුණට කීපදෙනෙක් විතරයි ඔලුවෙන් වැඩ අරන් තියෙන්නේ.
ReplyDeleteඇතැම් රජවරු රට වැසියන්ට දැනෙන්න යම් කිසි වැඩ කොටසක් කරල තියෙනවා. අග්බෝ රජ පරපුර වගේම මිහිදු රජ පරපුරත් යම් තරමක වැඩ කොටසක් ඉටුකළා.රජකම වගේම බෙල්ල බේරගන්නත් අමාරු කාලයක් එදත් එකයි අදත් එකයි.
ඇත්තටම ඔව්. එක අතකට ටික දෙනෙක් හරි මොලේ කල්පනා කරලා වැඩ කරපු ඒකත් සතුටක්. අග්බෝ සහ මිහිඳු පරපුර ඒ අතින් ඉහළයි. අද කාලේ ගත්තොත් නම් හැම අතින්ම හොඳයි කියලා කියන්න පුළුවන් කෙනෙක්නම් මගේ ජීවිතේට දැකලා නැහැ.
Deleteඅද පාඩමට එන්න ප්‍රමාද උනා. ඒ උනාට ඔන්න පාඩම ඉගෙන ගත්තා හරි ද ?
ReplyDeleteහලි හලි :)
Deleteශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් ඇරඹුවා ඔන්න ඔයාලත් එන් http://sinhapedia.blogspot.com/
ReplyDeleteදැනුම බෙදාගන්න.
සෑම සෙනසුරාදාම-තොරතුරු තාක්ෂණ ලිපිය
සෑම ඉරිදාම ඉතිහාස ලිපිය
බලමුකො
Deleteස්තුතියි සයුරි අක්කේ ඔන්න ආසාවෙන් කියෙව්වා.. මේ ලිපි කවදාවත් නීරස වෙන්නෙ නෑනෙ..
ReplyDeleteපර්සි රජ්ජුරුවෝ ගැන කියන්න තව කල් යයි නේද?
//මේ ලිපි කවදාවත් නීරස වෙන්නෙ නෑනෙ//
Deleteඑහෙමනම් ලොකු දෙයක් :)
කල් නම් යනවා තමා. බලමු මේක ඉක්මනට ඉවරයක් කරගන්න.
කිස් අග්බෝ කියන්නේ මොකෝ අක්කේ... :0
ReplyDeleteහික්ස්. එයාම තමා දන්නේ
Deleteහප්පෝ.. මට නම් එපාම කරපු විෂය තමයි ඉතිහාසෙ... කොච්චර කරත් පාඩම් හිටින්නෙම නෑ..
ReplyDeleteඒත් කොහොම හරි B එකක් ආව. :D
දැන් බනින්නෙපා දේශද්‍රෝහියෙක් කියල.. මොනව කරන්නද අප්ප... :(
පුදුම වෙන්න දෙයක් නෑ යසිත්, මටත් ඕවා පාඩම් හිටින්නේ නම් නෑ. මගේ විෂයත් මේක නෙමෙයි නේ :)
Deleteහොඳ බ්ලොග් එකක් අදමද මන්ද මේ පැත්තට ආවේ... කියවල බලන්න ඕන කොනක ඉදල..:D
ReplyDeleteබොහොම ස්තුතියි :) පස්සේ කියවල බලන්නකෝ. හැබැයි සෝඩා අයියා මෙහාට මිට කලිනුත් ඇවිත් තියනවා. රාජාවලියේ මුල්ම ලිපියටත් ඔයාගෙන් කමෙන්ට් එකක් තිබේ...:)) කොහොම උනත් ඔන්න දෙවැනි වතාවටත් සාදරයෙන් පිළිගන්නවා ඔයාව.
Deleteනියමයි ඈ. සුභ පතනවා රාජාවලිය දිගටම කරගෙන එන එක ගැන. බොහොම අගෙයි. පොත පතකින් ඇනුම ගත්තටත් එහා ....
ReplyDeleteබොහොම ස්තුතියි රතී. දැන් නේ කමෙන්ට් එක දැක්කේ. උත්තර පරක්කු උනාට සාමා වෙන්න :)
Deleteවැදගත් ලිපි පෙළක් !ස්තුතියි සයුරි
ReplyDeleteබොහොම ස්තුතියි රෙහානි :)
Delete