Friday, November 30, 2012

ඉරානයේ කනෙන් රිංගූ "ආගෝ" රහස් මෙහෙයුම

වෙනදා වගේම එදාත් ටෙහෙරාන් නගරයට ඉර පෑව්වත් වැහි අඳුර නිසා හෝ වෙනයම් අදිසි හේතුවක් නිසා ඉරානයේ ඇමරිකන් තානාපති කාර්යාලයේ කාර්යය මණ්ඩලයටනම් දැනුනේ වෙනදා නොදැනෙන අමුත්තක්. "අල්ලාහු අක්බර්...මග්බර් අමරිකා" කියමින් ඉදිරිපස දොරටු ළඟ පෙරලි කරන ඇමරිකන් විරුද්ධවාදී ජනතාව ඔවුන්ට සුපුරුදු දසුනක් උනත් අන් කවරදාටත් වඩා එදා එය රළු සහ උණුසුම් මුහුණුවරක් ගත් බව කාටත් වැටහුනා.

ඉරාන ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කර රටින් නෙරපා දැමූ, ඉරානයේ අවසාන රජු හැටියට සැළකෙන "මුහම්මද් රීzසා ෆලාවී (Mohammad Rezā Shāh Pahlavī)" ට ඇමරිකාව විසින් රැකවරණය සැලසීම නිසා ඇමරිකානු පුරවැසියෙක් දැකීමත් වහ කදුරු තරමට තිත්ත වූ ඉරාන වැසියන් පවත්වන උද්ගෝෂණ වලිනුත් මිනිස් සංහාර වලිනුත් ටෙහෙරානය පිරී තිබූ කාලයකි ඒ.

දිනය - 1979 නොවැම්බර් 4
ස්ථානය - ඇමරිකන් තානාපති කාර්යාලයය



ඉදිරිපස ගේට්ටුව ළඟ අරගල කළ කැරලි කරුවන් බලෙන් ගේට්ටු අරවාගෙන ඇතුලට එන බව දුටු කාර්ය මණ්ඩලය භීතියට පත් උනත් අවස්ථාවේ හැටියට ඔවුන්ට කළ හැකි සෑම දෙයක්ම කිරීමට වගබලා ගත්තා. ඇතැමෙක් වීසා මුද්‍රණ අච්චු විනාශ කරද්දී තවත් අය, ඉරානයින් අතට පත් නොවිය යුතු  ලියවිලි ආදිය විනාශ කරමින් අවසාන මොහොතේත් තමන්ගේ රාජකාරිය ඉටු කරා. මේ අතර ගොඩනැගිල්ලේ විදුලි සැපයුම කපා දැමූ කැරලි කරුවන් වහලට නැග දුම් බෝම්බ දැමීම අරඹා තිබුණා. ගඟක් ගලන්නා සේ ගේට්ටුවෙන් ඇතුලට ඇදී ආ කුපිත වූ ජනතාව අතරෙන් වෙඩි හඬ කිහිපයක් ඇසෙත්ම එහි තව දුරටත් රැඳීම කිසි සේත්ම නුවණට හුරු නොවන බව ඇමරිකන් සේවකයින්ට වැටහුණා.

වාසනාවකට මෙන් ඔවුන් සේවය කළ ගොඩනැගිල්ලෙන් කෙලින්ම වීදියකට බසින ආකාරයට පිට වීමේ දොරටුවක් තිබුණු නිසා පැන යාමට මාර්ගයක් තිබුණා. ඔවුන්ගේ සැලසුම උනේ පුද්ගලයින් පහක් හෝ හයක් බැගින් කුඩා කණ්ඩායම් සැදී මුලින්ම තානාපති කාර්යාලයේ සේවය කළ ඉරාන සේවකයින්ද, දෙවනුව විවාහක ජෝඩු ද, අවසානයට ඉතිරි ඇමරිකන් සේවකයින්ද වශයෙන් විවිධ දිශා වලට පලා යාමයි. එම ගොඩ නැගිල්ලේ ඇමරිකානුවන්  12 දෙනෙක් ද  ඉරානයින් 40 ක 50 ක පමණ ප්‍රමාණයක්ද සේවය කළා. සැලසුම් කළ ආකාරයට වීදි බට ඔවුන් විවිධ දිශාවන්ට ගමනාරම්භ කළා.

උතුරු දිශාවට ගිය කණ්ඩායම වැඩි වෙලාවක් නොගොස් කැරලි කරුවන් අතට අසු වූ නිසා නැවතත් තානාපති පරිශ්‍රය ට ගෙන එනු ලැබුවා. බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට ඇතුල් වීමේ අදහසින් බටහිර දෙසට ගිය තවත් කණ්ඩායමක් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය පෙනෙන මානයටම ආවත් එහිදී තවත් ඇබැද්දියකට මුහුණ දෙන්න ඔවුන්ට සිද්ධ වෙනවා. මේ කණ්ඩායමට අයත් උනේ "ජෝෂප් සහ කැතලින් ස්ටැෆඩ් යුවළ", "මාක් සහ කෝරා ලිජේක් යුවළ", "රොබට් ඇන්ඩර්ස් නම් ජේෂ්ට නිලධාරියෙක්" සහ ඉරාන සේවකයෙක් පමණයි. බ්‍රිතාන්‍ය කාර්යාලය පෙනි පෙනී තිබෙද්දී ඔවුන්ට දකින්න ලැබුනේ උද්ගෝෂකයින්ගේ තවත් පෙළපාලියක්. ඔවුන්ට ඒ දෙසට නොයන ළෙසට අවවාද කරපු කණ්ඩායමේ සිටි ඉරාන සේවකයා සෙනගත් සමග මිශ්‍ර වී නොපෙනී ගියා.

ඉතිරි වූ ඇමරිකානුවන් පස් දෙනාට ඉතිරි උනේ එක විකල්පයයි. කැරලි කරුවන් මග හරිමින් සිග් සැග් ගමනක යෙදුනු ඔවුන් අවසානයේ "රොබට් ඇන්ඩර්ස්" ගේ කුලී නිවස වෙත ලඟා උනා. ගෙතුලට වැදුණු ඔවුන් මුලින්ම කළේ රේඩියෝව දමා තානාපති කාර්යාලයේ තොරතුරු ජාලයට සම්බන්ධ වී තත්ත්වය පිරික්සීම. ට්‍රක් වල පටවා ගෙනෙන රයිෆල් ඇතුළු ආයුධ, කැරලි කරුවන් විසින් බිමට බාමින් තිබූ අයුරු ඔවුන්ට දැන ගන්නට ලැබුණා. මේ අතර වෙනත් ගොඩනැගිලි වල සේවය කළ ඇමරිකානුවන් 52 ක් ප්‍රාණ ඇපකරුවන් ලෙස අල්ලාගෙන තිබුණා. තවත් ටික වෙලාවක් යද්දී තොරතුරු ජාලයෙන් ඇසුණු ඉංග්‍රීසි කටහඬවල් නැත්තටම නැති වෙලා "පාසි" භාෂාව පමණක් ඇහෙන්න ගත්තා. මේ වෙලාවේදී ඔවුන්ට තේරුණා අනුන්ගේ රටක කාගේවත් පිළිසරණක් නැතුව තමන් කොටු වෙලා බව. දින කීපයක්ම එකිනෙකාගේ නිවෙස් වල සැඟවී සිටියත් එය වැඩිකල් කළ හැකි සෙල්ලමක් නොවන බව වීදි පුරා තමන් සොයමින් සිටි "මරණය" දුටු ඔවුන්ට තේරුම් යන්න වැඩි කලක් ගියේ නැහැ. දුරකථන ඇමතුමක් ගැනීම පවා අවස්ථාවේ හැටියට අන්තරාදායක උනා.

අවසානයේදී අන්තරාය පසෙක ලා රොබට් විසින් ඇමතුමක් ගන්නවා කැනේඩියන් එම්බසියේ වැඩ කරන "ජෝන් ශියර්ඩවුන්" නම් ඔහුගේ මිතුරෙකුට. දෙවියන් එවූ මිතුරෙකු සේ ඔවුන්ට පිහිට වූ කැනේඩියන් ජාතික ජෝන්, ඔවුන්ගෙන් විමසා සිටියේ ඊට කලින් ඔහුට කතා නොකළේ ඇයි දැයි යන්නයි. අසරණ වූ ඇමරිකානුවන් තම වාසස්ථානයට ගෙන ගිය පසු තවත් "හෙන්රි" නම් පණ බේරා ගත් ඇමරිකන් තානාපති කාර්යාල සේවකයෙන් ඔහු වෙත පැමිණෙනවා .


                                                      සේවකයින් සය දෙනා එවකට ජනාධිපති සමග 


පසුව ආරක්ෂාව සළකා කණ්ඩායම දෙකට බෙදන ශියර්ඩවුන්, ඉන් තිදෙනෙක් කැනේඩියන් තානාපති "කෙන් ටේලර්" ගේ නිවසට පිටත් කරනවා. මේ ආකාරයට ඉඳුම් හිටුම් ලැබෙන ඔවුන්ට සියළුම සුඛෝපභෝගී කෑම බිම සහ වෙනත් දේ ලැබුනත් නිවසින් එලියට එක අඩියක් තැබීමට අවස්ථාවක් නැහැ. එය කොයි තරම් වෙහෙසකර දෙයක් වන්නට ඇත්ද? ඔවුන්ට එසේ සැඟවෙමින් සිටීමට සිදු වූ කාලය දින 444 ක්.

                                                         ~~~~~~~~~~~~~~~

මේ අතර ඉරාන කැරලිකරුවන් විසින් අත්පත් කරගත් තානාපති කාර්යාලයේ අමුතුම මාදිලියේ කටයුත්තක් සිද්ධ වෙමින් තිබුණා. සේවක මණ්ඩලය පලා යාමට පෙර ශ්‍රෙඩර් යන්ත්‍ර ආධාරයෙන් කීතු කරනු ලැබූ ලිය කියවිලි මිනිස් ශ්‍රමය යොදා ගෙන නැවතත් කෑලි අමුණා සම්පූර්ණ කෙරෙමින් තිබුණා. සේවකයින් ගණන, ඔවුන්ගේ ඡායා රූප සහ විස්තර මේ හැම දෙයක්ම අනාවරණය වෙමින් තිබුණා. ඒ වගේම සේවකයින් කිහිප දෙනෙක් ඔවුන්ගෙන් මිදී පැන ගොස් ඇති බව අනාවරණය වෙන්නත් වැඩි දවසක් ගියේ නැහැ.

මේ හැම දෙකින්ම පැන නැගුන එකම අවශ්‍යතාවය නම් කෙසේ හෝ මොවුන් හය දෙනා ඉරානයෙන් පිට කර ගැනීමයි. ඇමරිකන් සහ කැනේඩියන් ආණ්ඩු දෙකම මේ සඳහා සැළසුම් අඳිමින් සිටියා. මේ සඳහා ඉදිරිපත් උන එක යෝජනාවක් නම් දේශ සීමාව පනින තුරු බයිසිකල් පැදගෙන ඒමට ඔවුන්ට දැනුම් දීමයි. මෙවැනිම තවත් ප්‍රායෝගික නොවන යෝජනා කීපයක් ඉදිරිපත් උනත් අවසානයේ ඇමරිකන් CIA නිලධාරී "ටෝනි මෙන්ඩේස්" විසින් වෙනස්ම විදියේ සැළසුමක් ඉදිරිපත් කරනවා.

එහි පළමු පියවර උනේ මේ හය දෙනාට කැනේඩියන් අනන්‍යතාවයන් (ගමන් බලපත්‍ර, වීසා ඇතුළු) සාදා දී ඔවුන් කැනේඩියන් වැසියන් බවට පත් කිරීම. කැනේඩියන් වැසියන්ට ඉරාන ගුවන් තොටුපලේදී ප්‍රශ්න ඇති වීමේ ප්‍රවණතාව ඉතාමත් අඩුයි. ඇමරිකානුවන් සහ කැනේඩියානුවන් බොහෝ දුරට සමාන බවක් උසුලන නිසා මෙය ඉතාමත් ප්‍රායෝගිකද උනා. මේ කාර්යය ඉතාමත් පහසු උනේ ඔවුන්ට කැනඩා රජයේ අනුග්‍රහය නොමදව ලැබුණු නිසා. එහෙත් ප්‍රශ්නය එතනින් කෙලවර උනේ නැහැ. කැනේඩියානුවන් සය දෙනෙකුට උනත් ඉරානයට පැමිණීමට පිළිගත හේතුවක් තිබිය යුතුයි. ඔවුන් පිටව යන අවස්ථාවේදී ඔවුන් මෙහි පැමිණි කාරණය ගැන ප්‍රශ්න කරනු නියතයි. එම ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ නොදුන්නොත් ඔවුන්ට නිසැකවම සිදු වන්නේ මරු වැළඳ ගැනීමටයි.

මේ රඟ දැක්වීම සඳහා යෝජනා කීපයක් ඉදිරිපත් උනා. ඉන් එකක් තමයි ඔවුන්ව ජාත්‍යන්තර පාසල්වල ගුරුවරු ලෙස හඳුන්වා දීම. එහෙත් සියලුම ඉංග්‍රීසි පාසල් වසා දමා තිබූ නිසා එය ප්‍රායෝගික උනේ නැහැ. තවත් යෝජනාවක් තමයි කෘෂි කාර්මික පරීක්ෂකවරුන් ලෙස රඟපෑම. ඒත් ඒ 1980 ජනවාරියෙදී ඉරානයට හිම සහිත සීත කාලය ලබා තිබූ බැවින් කෘෂිකාර්මික කටයුතු ගැන කතා කිරීම විහිළුවක් උනා. මේ යෝජනාවලට විරුද්ධ උන ටෝනි මෙන්ඩේස් සතියක්ම කල්පනා කරලා ඉතා නිවැරදි, ප්‍රායෝගික සැළසුමක් ඉදිරිපත් කළා. ඒ තමයි ව්‍යාජ හොලිවුඩ් චිත්‍රපටයක් ඉරානයේ රූ ගත කිරීම සඳහා ස්ථාන පරික්ෂාවකට ගිය චිත්‍රපට කණ්ඩායමක් මෙන් රඟපෑම.

ටෝනි මෙන්ඩේස් මෙය කොයි තරම් නිවැරදිව සැලසුම් කරාද කිව්වොත් දවස් හතරක් ඇතුලත ඔහු සමත් උනා ව්‍යාජ හොලිවුඩ් නිෂ්පාදන ආයතනයක් නිර්මාණය කර සිර වී සිටින ඇමරිකානුවන් හය දෙනාටම එහි නොයෙක් තනතුරු අනුයුක්ත කර (තිර රචක, අධ්‍යක්ෂක, දෙබස් රචක ආදී ) බිස්නස් කාඩ් පත් මුද්‍රණය කරන්නත්, චිත්‍රපටය සඳහා කතාවක් සොයාගෙන නියම ආකාරයෙන් තිර රචනයක් සකසන්නත්. මේ සඳහා ඔහුට හොලිවුඩයේ සිටි ඔහුගේ මිතුරු සබඳතා ("ජෝන් චේම්බර් සහ බොබ් සයිඩෙල්") බෙහෙවින් උපකාරී උනා. පිට සක්වල සහ අනාගත ජීවින් තේමාව කරගත් මේ ව්‍යාජ චිත්‍රපටයේ නම උනේ,

"ආ(ර්)ගෝ - Argo"



මේ චිත්‍රපට ආයතනය ගැන ඉරානයෙන් සොයා බැලීමක් කළොත් කිසිම සැකයක් ඇති නොවන ආකාරයට ලිපින, දුරකථන අංක ඇතුළුව සියළු දේ සැබෑ ආයතනයක ආකාරයට ස්ථාපිත කරන්න ඔවුන් වග බලා ගත්තා.ආයතනයේ දොරේ "studio six productions" නමින් පුවරුවකුත් එල්ලුවා. "six" කියන වචනය ඒ කටයුත්තට හරියටම ගැලපුනා :). ඒ විතරක් නෙමෙයි චිත්‍රපටය සඳහා පෝස්ටර් නිර්මාණය කර මසකට සරිලන රූ ගත කිරීම් සඳහා තිර සැකසුමක්ද ලියනු ලැබුවා.  

                                                            ~~~~~~~~~~~~

කිසිමඅඩුවක් නොවන ආකාරයට සියළු දේ ස්ථාපිත කළ ටෝනි, 1980 ජනවාරි 25 වන දින යුරෝපය හරහා ඉරානය බලා දෛවෝපගත ගමනක් අරඹනවා. ඔහු කැනේඩියන් පුරවැසියෙකු ලෙස "කෙවින්" නම් අන්වර්ථ නමක් අරගන්නවා. ඉරාන වීසා ලබා ගන්නේ ජර්මනියේදී. ඉරානයේ ගුවන් තොටුපළට ගොඩ බැසි ටෝනිට දකින්න ලැබුනේ බිහිසුණු කැරලි කරුවන් විසින් ගුවන් තොටුපළ අත්පත් කරගෙන තිබුණු ආකාරය. හැමදේම සිදු උනේ ඔවුන්ගේ අධීක්ෂණය යටතේ. සියුම් හිරියක් තමන්ගේ කොඳු නාරටිය දිගේ ඉහළට යනු දැනුනත් හැකි තරම් සන්සුන්ව තුවක්කු අතින්ගත් කැරලි කරුවන් අතරින් ඉදිරියට ඇදී කැනේඩියන් තානාපති කෙන් ටේලර් හමු වෙනවා. ටෝනි, කලින්ම ඔහුගේ මෙවලම් මල්ල ටේලර් වෙත තැපැල් මගින් එවා තිබුණා. එහි තිබුනේ මොනවද? දක්ෂ බුද්ධි නිලධාරියෙකුට හැඟෙන පරිදි අවශ්‍ය වෙන හැම පුංචි මෙවලමක්ම.

ව්‍යාජ කැනේඩියානු සෞක්‍ය / රියදුරු බලපත්‍ර 
කැනේඩියානුවන් ඇඳුමට සවි කරන මේපල් කොළ ලාංඡන 
කැනඩාවේ ටොරන්ටෝ හි ආපන ශාලා වලින් ආහාර ගත් බව සනාථ කරන බිල් පත්
Studio Six බිස්නස් කාඩ්ස්
චිත්‍රපට රූ ගත කරන කැමරා කාච
ආ(ර්)ගෝ චිත්‍රපටයේ තිර සටහන්, පෝස්ටර් සහ අනෙකුත් දේ
ඇමරිකානුවන් 6 දෙනා සඳහා තැනූ කැනේඩියන් ගමන් බලපත්‍ර



ටේලර් ගේ තානාපති කාර්යාලයේදී ඔහුව හමු වන ටෝනි, ගමන් බලපත්‍ර හයට ඉරාන වීසා ප්‍රින්ට් කර ගන්නේ ටේලර්ගේ උදව්වෙන්. පසුව එහි දින සටහන් යොදනවා ඔවුන් රටට ඇතුල් උනේ ටෝනි පැමිණි දිනයේම බව ඒත්තු ගැන්වීම සඳහා.

මේ සියල්ල මෙසේ සූදානම් කළත් එකම පරහක් ඉතිරි වෙනවා. ඉරානයට ගොඩ බසින්නෙකුට සුදු සහ කහ පැහැයෙන් ෆෝරම දෙකක් ලැබෙනවා පිරවීම සඳහා. සුදු පිටපත ඔවුන් භාරයේ තබා ගන්නා අතර කහ පිටපත මගියාට දෙනවා. නැවත ඔහු පිටව යන දිනක මගියා ළඟ ඇති කහ පිටපතත් ආගමන විගමන නිලධාරීන් ළඟ ඇති සුදු පිටපතත් සැසඳීමක් කෙරෙනවා. මේ ඇමරිකානුවන් 6 දෙනාට කහ පිටපත් 6 ටෝනි සහ ටේලර් එකතු වී සකස් කළත් ඒවාට අදාළ සුදු පිටපත් ඉරාන නිලධාරීන් ළඟ නැහැ. ඒ නිසා ඔවුන් පිටව යද්දී පිටපත් සැසඳීමක් කළොත් ප්‍රශ්නයක් ඇති වීම නිසැකයි. මෙවන් අවස්ථාවලදී වාසනාව උරගා බලනු හැර වෙනත් විසඳුමක් බුද්ධි නිළධාරීන් සතුවත් නැහැ. අනෙක් සියළු දේ නිවැරදි නිසා සුදු පිටපත් ගුවන් තොටුපලේ නිලධාරීන් අතින් අස්ථානගත වී ඇති බව ඒත්තු ගැන්වීමයි කළ හැකි එකම පිළියම.

මේ සියල්ල සකසාගෙන එදින රාත්‍රී භෝජනයේදී ටේලර් විසින් ඇමරිකානුවන් සය දෙනාට ටෝනිව හඳුන්වා දෙනු ලබනවා. ටෝනි තමාගේ සැළසුම ඔවුන්ට පැහැදිලි කළ පසු මුලින් ඔවුන් එයට අදිමදි කළත් පසුව එකඟ වෙනවා.

මේ අතර ඔවුන්ගේ Studio Six ආයතනයේ සිටි ජෝන් සහ බොබ් ට වැඩ අධික කාලයක් උදා වී තිබුණා. ඔවුන්ට ලබා දී තිබුණු දුරකථන වලින් දෙකක් විනාඩියක් පාසා නාද වෙමින් තිබුණා. ඒ පත්තර/සඟරා කරුවන්ගෙන් සහ චිත්‍රපටවල රැකියා සොයන්නන්ගෙන්. කොයි මොහොතක හෝ එම ඇමතුම් වලින් එකක් ඉරානයෙන් විය හැකි බැවින් ඔවුන් මහන්සි නොබලා එම ඇමතුම් වලට පිළිතුරු දෙමින් සිටියා. එම දුරකථන දෙකේ අංක පමණයි ප්‍රසිද්ධ කර තිබුනේ. ඉතිරි දුරකථනය ඔවුන්ට සහ CIA ආයතනයට පමණක් විශේෂ වූ රහසිගත එකක්. වැරදිලාවත් එය නාද උනොත් එහි තේරුම ටෝනි ඇතුළු පිරිස විශාල කරදරයකට මුහුණ පා ඇති බව හෝ ඔවුන් යහතින් ඇමරිකාවට පැමිණ ඇති බව වග ඔවුන් දැන සිටියා. එනිසා ඔවුන් ඒ දුරකථනය දෙස බැලුවේ විස්තර කළ නොහැකි නොඉවසිල්ලකින්.

1980 ජනවාරි 28 වන දින උදෑසන ටෝනි සහ ඇමරිකානුවන් 6 දෙනා "මෙහ්රාබාද්" ගුවන් තොට වෙත යාම සඳහා සැරසී සිටියා. සැළකිය යුතු වෙස් වලා ගැනීමක් නොකළ ඔවුන් කොන්ඩ මෝස්‌තර, රැවුල් පමණක් වෙනස් කරගෙන තිබුණා. ටෝනි අන් අයට පෙර ගුවන් තොටුපළ වෙත ලඟා වී අනතුරක සේයාවක් ඇත්දැයි විමිසිලිමත් වෙමින් සියලු ආරක්ෂක කපොළු ගැන පරීක්ෂාවෙන් සිටියා. මේ අතර වෑන් රථයකින් ගුවන් තොට වෙත පිටත් වූ "සය දෙනා" රථය තුලදී තමන්ගේ අන්වර්ථ නම්, ගම් සියල්ල කටපාඩම් කරමින් තම දේශය බලා ඉගිලී යාමට හැකි පමණ සූදානම් වෙමින් සිටියා.

ටෝනි ඔවුන්ගේ පිටත් වීම සඳහා තෝරා ගෙන තිබුනේ මෙහ්රාබාද් ගුවන් තොටුපළ කලබලකාරී නොවන උදෑසන වෙලාවක්. මේ නිසා ඒ වෙලාවට එහි කටයුතු වලට ඇඟිලි ගැසීමට එතරම්කැරලි කරුවන් පැමිණෙන්නේ නැහැ. අවසානයේ ටෝනි ගේ සංඥාවකට අනුව අපේ චිත්‍රපට කණ්ඩායම ගැහෙන පා වලින් ගුවන් තොටුපලට ඇතුළු වෙනවා. අවුරුද්දකට වැඩි කාලයක්ම ඔවුන් වාසස්ථානයෙන් එලියට පය තියා තිබුනේ නැහැ. ඒ වගේම ඔවුන් හඳුනා ගනීවිද යන සැකය නිතරම සිතට වද දුන් කාරනාවක් උනා.




"ස්විස් එයාර්" කවුන්ටරයෙන් ගමන් මළු බාර දීම කරදරයක් නැතුව සිදු උනත් විගමන නිලධාරියා ඔවුන්ගේ ගමන් බලපත්‍ර රැගෙන ඉවතට යාම නිසා දියෙන් ගොඩ දැමූ මාළුන් මෙන් ගැහෙමින් ඔවුන් බලා සිටියේ ඔහු නැවත පැමිණෙන්නේ මරණය අතැතිව විය හැකි බැවිනි. එහෙත් තේ කෝප්පයක්ද රැගෙන නැවත පැමිණි නිලධාරියා ඔවුන්ට පිටත් වීමේ වේදිකාවට යන ලෙස සන් කළේය. ඔහු කහ සහ සුදු පිටපත් පරීක්‍ෂා කිරීමක් කර තිබුනේ නැහැ. දෙවියන්ට ස්තුති කරමින් ඒ ස්ථානය පියමන් කළ කණ්ඩායම ගුවන්යානයට ගොඩ වැදීමට බලා සිටියේ බිමට නවා ගත් හිසින් යුතුව.

මේ වන විට කැරලි කාර භටයින් ගුවන් තොටට පැමිණීමට පටන් ගෙන තිබූ නිසා ගුවන් යානය කාර්මික දෝෂයක් හේතුවෙන් විනාඩියෙන් විනාඩිය පමා වෙද්දී ඔවුන්ගේ හද ගැස්ම ඊට සමානුපාතිකව ඉහළ යනු දැනුනා. ටෝනි විසින් ප්‍රමාදය ගැන විමසීමක් කළ අතර එය ඉක්මනින්ම ගමනට සූදානම් කරන බව දැනගන්නට ලැබුණා. කල්පයක් සේ දැනුනු විනාඩි කිහිපයකට පසු ඔවුන්ගේ ගැලවුම්කාර කුරුල්ලා වූ ස්විස් 363 යානයට ගොඩ වීමට ඔවුන්ට වරම් ලැබුණා. ගුවන් යානයේ ඉදිරිපස "ආර්ගවු" යන වචනය ලියා තිබෙනු දුටු ඇන්ඩර්ස්, ටෝනි ගේ අත කොනිත්තා මෙසේ ඇසුවේය

"You guys arrange everything, don’t you?"

ටෝනි ගේ මුහුණට නැගුනේ සිනහවකි.

ආර්ගවු යනු ඒ ස්විස් ගුවන් යානය උපත ලද ප්‍රදේශයේ නමයි. එය "ආර්ගෝ" යන නමට සමාන වීම දෛවෝපගත සිදු වීමක් ලෙස ඔවුන් දිටීය.

යානය රෝද හකුලා ඉරාන පොළවෙන් ඉහළට නගිද්දී වෙන කවරදාකවත් නොදැනුනු තරමේ ආත්ම තෘප්තියකින් එළිය වුනු ටෝනි ගේ මුහුණේ ලාවට සිනහවක් ඇඳි තිබෙනු කිසිවෙකු දුටුවේ නැත. ඉරාන දේශ සීමාවෙන් එළියට පැමිණි යානයේ මත් පැන් හල විවෘත කළ පසු තම පසු පසින් අසුන් ගෙන සිටි කණ්ඩායම වෙත මධු විතක් ඉහළට එසවූ ටෝනි සව්දිය පිරුවේ හදවතින්මය...

"We’re home free..."

තවත් පැය කිහිපයකට පසුව Studio Six ආයතනයේ තුන්වන දුරකථනය හැඬවිනි. ඒ එය ලැබූ පළමු සහ අවසාන ඇමතුමයි..

"It’s over, They made it out."

                                                     ~~~~~~~~~~~~~~~~

ඇමරිකන් තානාපති සේවකයින් සය දෙනා ගලවා ගැනීම සඳහා තම දිවි පරදුවට තබා කටයුතු කළ ටෝනි මෙන්ඩේස් ට "ඉන්ටෙලිජන්ට් ස්ටාර්" සම්මානය ලබා දුන්නේද රහසේමයි. මෙහෙයුම පිලිබඳ තොරතුරු ජනාධිපති බිල් ක්ලින්ටන් විසින් 1997 දී අනාවරණය කරන තුරු මේ සම්මානයද රහසක්ව පැවතුණා. සම්මානය ලොවට ප්‍රදර්ශනය කිරීමට වඩා බුද්ධි නිලධාරියෙකුට තම ආත්ම තෘප්තිය වැදගත් වනු ඇත.

                                                                    ටෝනි වර්තමානයේ 

මෙහෙයුමත් සමගම අතුරුදන් වී ගිය "ආ(ර්)ගෝ" චිත්‍රපටය, වසර 32 කට පසු 2012 දී රිදී තිරයට පැමිණ ඇත. එහෙත් එහි අඩංගු වන්නේ පිට සක්වල සම්බන්ධ කතා පුවතක් නොවේ. බෙන් ඇෆ්ලෙක් විසින් නිෂ්පාදිත ආ(ර්)ගෝ චිත්‍රපටයේ දිග හැරෙන්නේ, ටෝනි ගේ "සය දෙනා ගලවා ගැනීමේ රහස් මෙහෙයුම" සම්බන්ධ කතා පුවතයි. කෙසේ හෝ අවසානයේ, ආ(ර්)ගෝ කරලියට පැමිණ ඇත.


ප. ලි - ස්තුතිය...බලෙන්ම මට ආ(ර්)ගෝ පෙන්නවූ සයුරු ට. එය පසු පස ඇති සැබෑ කතාව සොයා ලිපියක් ලිවිම සිතුනේ එය ඒ තරම් සිත් ගන්නා සුළු චිත්‍රපටයක් වූ නිසයි. ( නාට්‍ය රසය සහ ත්‍රාසය දැනවීම සඳහා ඇත්ත කතාවේ නොමැති සිදු වීම් කිහිපයක් චිත්‍රපටයට එක් වී  තිබුනත් එයද අනර්ඝ ආකාරයේ නිර්මාණයක් බව නොකියාම බැරිය).


100 comments:

  1. ලිබියාවේ හිටපු ඇමරිකානු තානාපතිවරයට වුණ දේ මතක් වුණා මේක කියවද්දී...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...හොඳ වෙලාවට මෙතනනම් එහෙම දෙයක් උනේ නෑ හැබැයි

      Delete
    2. ලිබියාව සම්බන්ධ ප්‍රශ්නය ඔයිට වඩා වෙනස්.

      Delete
  2. Replies
    1. තෑන්ක්ස් දුලිත් !!

      Delete
  3. නියම පොස්ට් එකක්...කතාව කියවද්දී මෙහෙම නම් ෆිල්ම් එක කොහොම ඇද්ද?මාත් බලාන ඉන්නේ මේකේ හොද කොපියක් එනකම්..ගොඩක් ස්තූතියි මේ විස්තර කිව්වාට..දැන් ෆිල්ම් එක තවත් හොදට බලන්න පුලුවන්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුධාරක. මට ටිකක් හොඳ කොපියක් ලැබුනා. හැබැයි ස්ට්‍රිමින්ග් විතරයි මම හිතන්නේ. පුළුවන් වෙලාවක බලන්නකෝ :)

      Delete
  4. හ්ම්ම්ම්ම්ම් කතාව කියවනකොට චිත්‍ර රුප හිතෙ මැවුනා......

    ReplyDelete
  5. සයුරි මාර කතාවක් මේක එය ඔබ ලියා තිබෙන ආකාරයට අගේ ලොමු ඩැහැගන්වෙනවා. හරිම තෘප්තියකින් කියවූ පෝස්ටුවක්.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින් අයියා. ඒ බව අසන්න ලැබීම සතුටක්

      Delete
  6. කවදාවත් අහලා නොතිබුනු අමුතුම කතාවක්... ගොඩක් ස්තූතියි සයුරි.. එක හුස්මට කියවලා දැම්මා.. මේක බලෙන්ම සයුරිට පෙන්නපු සයුරුටත් නොවක් තුති...

    දැන් ඉරානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලයක් තියනවද ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නාස් :) දැන් නම් තානාපති කාර්යාලයක් නොතියෙන්න විදියක් නෑ මං හිතන්නේ..පස්සේ අර ප්‍රාණ ඇපකරුවෝ 52 ත් නිදහස් කලාලු. මුහම්මද් රීසා ගේ මරණයෙන් පස්සේ වෙන්න ඇති.

      Delete
  7. මරු සිද්දියක්... ෆිල්ම් එක පට්ටෙට ඇති.. බලන්න ඔනේ

    ReplyDelete
    Replies
    1. පට්ටයි පට්ටයි..බලන්නකෝ

      Delete
  8. සයුරි මේක ලියලන වෙලාවෙදි මම මේ ෆිල්ම් එක බලනවා වෙන්න පුළුවන්. මේ විස්තර දැනගෙන නම් නෙමේ ෆිල්ම් එක බලන්න ගත්තේ. ඒකෙ ඉන්නෙ මම ආසම නලුවෙක් නිසා. ඒ Ben Affleck.බෙන් රඟපාපු Pearl Harbor ෆිල්ම් එකට මම තවමත් කැමති නිසාම බෙන් ගෙ ෆිල්ම් එකක් තියෙනවා දැකලා බා ගත්තා...අපරාදේ...මේ විස්තර දැනගෙන ඉන්න තිබ්බෙ ෆිල්ම් එක බලන්න කලින්..එහෙනම් ෆිල්ම් එකේ අගය තවත් වැඩි වෙනවා...

    http://www.imdb.com/title/tt1024648/

    ReplyDelete
    Replies
    1. ශා..පොඩ්ඩෙන් මිස් වෙලා :) ඒත් ෆිල්ම් එක බලලා මේක බලන එකත් හොඳයි. මාත් කරේ එහෙමනේ. බෙන් හොඳට වැඩේ කරලා තියනවා නේද? පර්ල් හාර්බර් කියන්නෙත් ඇත්ත සිද්ධියක් මට මතක හැටියට..

      Delete
    2. // පර්ල් හාර්බර් කියන්නෙත් ඇත්ත සිද්ධියක් මට මතක හැටියට //

      “මට මතක හැටියට“

      ඔන්න කිව්ව කතාවක්. ඇයි දෙයියනේ මේ අපිට ඉතිහාසය ගැන ලියන සයුරි නේද? අවුරුදු පනහකට කලින් වෙච්ච ගැන මෙහෙම කියන්නෙ. දැන් කියන්නෙපා මම ලියන්නෙ ලංකාවෙ ඉතිහාසෙ විතරයි කියල ඕං.

      Delete
    3. හරි හරි ළමයෝ..ඔය “මට මතක හැටියට“ කියන එක යොදා ගන්නේ කවුරු උනත් කියන එකේ මොකක් හරි වැරද්දක් තිබුනොත් එයාගේ ගැලවීමට. හොඳයි නැද්ද? :)

      හැබැයි ඒකත් ඇත්ත..ඇමරිකාවේ ඉතිහාසේ ගැන මම හරිම ටිකයි දන්නේ :))

      Delete
  9. මේක නම් පට්ටම පෝස්ටුවක් මචං, උඹ නියමෙට ලියලා තිබුණා.මේක කියවනකොට මාව ගැහෙන්න ගත්තා මච්ං. ආයෙමත් කියන්නේ විශිෂ්ටයි. සුපිරියි.

    ReplyDelete
    Replies
    1. රතු රජරට මේ පැත්තේ මුලින්ම ආවේ අද නේද? සාදරයෙන් පිලිගන්නවා. බොහොම ස්තුතියි කමෙන්ටුවට...

      ආ..මම මචන් කෙනෙක් නෙමෙයි නෙ..මචින් කෙනෙක්නෙ :))

      Delete
    2. නෑ නෑ --අපි කැම්පස් ඉන්න කොට අපේ ෆිට්ම යෙහෙළියන්ටත් කතා කෙරුවෙ මචං කියලා තමා. හැබැයි ඇත්තටම මම මේ කොමෙන්ටුව කොටන කොට නම් දැනගෙන හිටියේ නෑ පහන් යාය ලියන්නේ මචින් කෙනෙක් කියලා .

      Delete
    3. හිහි...කමක් නෑ එහෙනම් මාත් ෆිට් යෙහෙලියක් කියලා හිතා ගන්නකො රතු

      Delete
  10. පට්ටනේ...මම බෙන ඇෆ්ලෙක්ව DC Comics ලා එක්ක වැඩ කරනවා කියලා තියනවා දැක්ක කොහේදී හරි හැබැයි මෙච්චර සිරා වැඩකට අතගහපු අධ්‍යක්ෂ කෙනෙක් කියල නම් හිතුවේ නෑ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මානවක..මම හිතන්නේ බෙන් මේකේ අධ්‍යක්ෂ නෙමෙයි, නිෂ්පාදක. ප්‍රධාන නළුවත් එයාමයි..

      Delete

  11. පුදුම මහන්සියක් වෙලා තියෙනවා පොස්ට් එකට..
    අගය කරනවා ඔයාගේ මහන්සිය සයුරි .......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සයිලන්ට් සහන්...

      Delete
    2. ඒක නිකන් රාජතාන්ත්‍රික ස්තූතියක් වගේ...


      හෘදයාංගම වෙන්නකෝ
      අනේ ටිකක් දෑත දිගු කර
      තරහ මග හැර
      මගේ සයුරි පින් බර..

      Delete
    3. //රාජතාන්ත්‍රික ස්තූතියක් //

      හෙහ්

      ආ එහෙනම් මෙහෙම කියන්නම්කො

      මගේ හදපිරි ස්තුතිය පිළිගන්න සහන් :පි

      Delete
    4. ගනිමි පිලි
      තුටු වදන් මේ ලෙස
      සිඹිමි අත
      නමා හිස
      සයුරි ලඟ මම.

      Delete
  12. අනර්ඝයි සයුරි.මේ කතාව පලමුවරට කියවුයේ අදයි.කතාව කියවද්දි රූප හිතේ මැවෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හැලප කඩේ. ඔයාවත් සාදරයෙන් පිලිගන්නවා පහන්යාය ට :)

      Delete
  13. නියමයිනේ ..බලන්නම ආසවෙන්න ලියලා . ඉරානය ගැන වැඩ සටහනක් බැලුවා . දැන් නම් එතරම්ම අවුලක් නැහැ වගේ .

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..දැන් නම් එහෙම අවුලක් නෑ වගේ තමා. මේ අරගලය රීසා ගේ මරණයත් එක්ක ඉවර වෙන්න ඇති.

      Delete
  14. ඔයා මේක ගොඩක් තාත්විකව ලියල තියෙනව සයුරි, එක හුස්මට කියවගෙන ගියා. මීට කලින් කියවපු මේ වගේ අනතුරුදායක පළායාම් කීපයකුත් මතක් වුනා, මේවගේ දේවල් කියවනකොට හැමදාමත් ඇති වෙන්නෙ එකම හැඟීමක්.

    ආගන්තුක රටකදි මේ වගේ අසරණ තත්ත්වෙකට පත්වුනාම ඒ මිනිස්සු කොයිතරම් අසරණ වෙන්න ඇත්ද? ඒ වුනාට ඇමරිකාවට ඔය සිද්ධිය ගැන පූර්ව තක්සේරුවක් තිබිය යුතුව තිබුණ, මොකද රටක් වශයෙන් ඔවුන් තමන්ගෙ නිලධාරීන්ගෙ ආරක්‍ෂාව පළමුව සිතිය යුතුයි. අනෙක ඇමරිකාව හමුදා බලය යොදල මේ ගලවාගැනීමේ මෙහෙයුම දියත් කරන්න උත්සාහ නොකළෙ ඇයි දන්නෑ, අර බින්ලාඩන් උස්සගෙන ගියා වගේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි DDT ඇගයීමට. ඔයා හරි ඒ වගේ අසරණ වීමක් උනාම ඇති වෙන තත්ත්වය මටනම් හිතාගන්නත් අමාරුයි. ඇමරිකාව ඒ ක්‍රමයෙනුත් උත්සාහ කරලා තියනවා අර හිර වෙලා හිටපු ප්‍රාණ ඇප කරුවන් බේරා ගන්න. ඒත් ඇමරිකාවේ හෙලිකොප්ටර් බිම දැම්මලු කැරලි කරුවෝ. එදා ඒක ලේසි වෙලා නැහැ. ඒ වගේ වෙලාවල්වල මේ විදියේ රහස් මෙහෙයුම් වඩා ප්‍රායෝගික ඇති. නැත්නම් මහා යුද්ධයකින් තමයි ඒක කෙලවර වෙන්නේ (දැන්නම් ඇමරිකාවට ඒවයේ ගානක් නෑ මගේ හිතේ :)

      හැබැයි අර පූර්ව තක්සේරුව නොතිබුන එක අඩුවක්. ඒ වගේම අර මුහම්මද් රීසාව මුන්ට බාර දීලා තමන්ගේ සේවකයින් නිදහස් කර නොගත්තේ ඇයි කියන එකත් ප්‍රශ්නයක්.

      Delete
    2. // ඒ වගේම අර මුහම්මද් රීසාව මුන්ට බාර දීලා තමන්ගේ සේවකයින් නිදහස් කර නොගත්තේ ඇයි කියන එකත් ප්‍රශ්නයක් //

      කිසිම රටක් එහෙම වැඩක් කරනකන් නෑ නේද? විශේෂයෙන් ඇමරිකාව වගේ රටක්. තමන් විසින් රැකවරණය දෙන්න ඉදිරිපත් වුනු, පොරොන්දු වුනු මනුස්සයෙක් (නිකම්ම නිකම් මනුස්සයෙකුට වඩා තමන්ගෙ රටේ සාරය සිත් සේ ඇමරිකාවට උරාගන්න දීපු පාලකයෙක්) සතුරන් අතට පත්කරන එක ඇත්තෙන්ම ලැජ්ජ විය යුතු සිද්ධියක්නේ. ලෝක බලවතා වෙන්න දඟලපු එයාලට ඒක කොහෙත්ම කරන්න බැහැ කියලයි මට හිතෙන්නෙ, ඒත් මට පුදුම ඔවුන් තමන්ගෙ මහන්තත්තෙ පෙන්නන්න මේ මෙහෙයුම සාර්ථක උනාට පස්සෙ ඒ දවස්වලම ප්‍රසිද්ධියක් දුන්නෙ නැත්තෙ ඇයි කියල. සමහරවිට එයාල මේ ක්‍රමෙන් තවත් ප්‍රයෝජන ගන්න ඇති, නොඑසේනම් තවත් ජීවිතවලට විය හැකි අනතුරුදායක තත්ත්වයන් සැලකිල්ලට ගෙන නිහඬව ඉන්න ඇති, අනෙක ඔවුන්ට උදව්කරපු මිත්‍ර රට එහෙම උනානම් අමාරුවෙ වැටෙන්න ඉඩ තිබුණ.

      Delete
    3. //කිසිම රටක් එහෙම වැඩක් කරනකන් නෑ නේද? විශේෂයෙන් ඇමරිකාව වගේ රටක්.//

      මේ කතාවනම් ඇත්ත. එහෙම කරන එක කැත වැඩක් තමයි.

      හැබැයි ඇමරිකාව එහෙම නොකරේ ඔය මානුෂිය පැත්තෙන් හිතලානම් නෙමෙයි. තමන්ගේ වාසි සලකලා. ෆිල්ම් එකෙත් ඒ වගේ කතාවක් කියවෙනවා එක තැනක. ඇමරිකාවේ යටි කූට්ටු වැඩ ගැන අපිට හිතාගන්නවත් බැහැ.

      සිද්ධිය ගැන ප්‍රචාරයක් නොදීපු එක ගැනත් ඔයාගේ මතය හරි. ඒ දවස්වල ප්‍රසිද්ධ කලේ නෑ ලු ඇමරිකාවේ ආරක්ෂාව සලකලා. හැබැයි කැනඩාව ට ඉරානයේ අප්‍රසාදය එල්ල උනා. කැනඩාව අමාරුවේ වැටේවි කියලා හිතලාවත් ඔවුන් ඒක එලියට දැම්මේ නෑ.

      Delete
    4. ඇත්තටම කියනවා නම් ඔතන උනේ විප්ලවයක්නේ.අයතුල්ලා රාහුල්ලා කොමේනි තමා නායකත්වය දුන්නේ.ඒ නිසා ඔය කාලයේදි කොමේනිව රටෙන් පිටුවහල් කලා ෂා රජු විසින්.ඒකට ජනතාව කැමති උනේ නෑ.පස්සේ ෂා රජු කොමේනි ආරාධනා කලා අපහු ඉරානයට එන්න කියලා.කොමේනි කිව්වා මං එන්නම් හැබැයි ඔබ රටින් පිට විය යුතුයි කියලා.වැඩිවන ජනතා විරෝධය හමුවේ ඇමෙරිකාවේ සහය මත ඔහු රටින් පිට උනා.

      හැබැයි මට මෙහෙම කතාවක් යාන්තම් මතකයි වගේ.සම්පූර්ණයෙන්ම ඇත්ත සිද්දියක්ද කියලා නම් කියන්න බෑ.මං මේ ගැන තව ටිකක් හොයලා කියන්නම්.ගිහින් ටික දවසයිලු ෂා ඇමෙරිකාවේ හිටියේ.තව දුරටත් ෂාට දේෂපාලන රැකවරණය දෙන්න ඇමෙරිකාව බෑ කිව්වාලු.ඊට පස්සේ ෂාට උදව් කලේ පැනමා ජනාධිපති ටෝරිජෝස්ලු.මේක 100%ක්ම සුවර් නෑ.තව ටිකක් හොයලා මූලාශ්‍ර තිබුනොත් ඒවත් කියන්නම්.

      Delete
    5. ධම්මික,

      බොහොම ස්තුතියි අලුතෙන් විස්තර එකතු කරාට. ඔය කොමේනි සම්බන්ධ සිද්ධිය මම හරියටම දැනගෙන හිටියේ නෑ.

      //ම්.ගිහින් ටික දවසයිලු ෂා ඇමෙරිකාවේ හිටියේ.//

      ඔව් මේක ඇත්ත. එයා කෙලින්ම ඇමරිකාවට ගියෙත් නැහැලු. වෙනත් මැද පෙරදිග රටවල රජවරුන්ගේ රැකවරණයේ ඉඳලා මොකක්ද ලෙඩක් හැදිලා ප්‍රතිකාර ගන්න ඇමරිකාවට ගියාලු. ඒ අස්සේ මේ වැඩේ පත්තු වෙලා. හැබැයි ඇමරිකාවට මොකක්හරි වාසියකුත් තිබිල තියනවා වගේ. අන්තිමට ෂා මැරුණෙත් ඇමරිකාවෙන් ඇවිත් ඊජිප්තුවේදී හරි කොහේදී හරි ලු..හරියටම මතක නෑ. ඔයාට නිවැරදි විස්තර හම්බ උනෙත් කියන්න කියලා ඉල්ලනවා :)

      Delete
  15. නියම පොස්ට් එකක් සයුරි... හිතට වදින විදියට ලියල තියෙනවා... මේ කතාව මම දන ගත්තේ අදයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සමනලී :)

      Delete
  16. ආයෙමත් වෑරෑද්දුවනේ....සයුරු නෙවෙයි අක්කා සයුරා....modification තහනම්

    ReplyDelete
    Replies
    1. අනේ සයුරා කියන්න එපා අලෙ. අපි සුට්ටක් මොඩිෆයි කරලා ගමු :)

      Delete
  17. සෑහෙන වටින ලිපියක් ලොකු අක්කේ.. මටනම් හැබැයි මේ තොරතුරු අළුත්ලු හොදේ.. කෝම උනත් මහන්සියෙන් ලිවුව එක ආසාවෙන් මාත් කියෙවුවා..

    ReplyDelete
    Replies
    1. ආසාවෙන් කියෙව්වුට ස්තුතියි ලොකු මලයෝ...මේක ටිකක් විතර අප්‍රසිද්ධ කතාවක් නේ :)

      Delete
  18. මේ පෝස්ට් එක කියෙව්වට පස්‌ෙස් ඉතිං ෆිල්ම් එක නොබලා කොහොමද....

    මං හරි ආස වැඩක් තමයි මං බලන ලස්සන ෆිල්ම්ස් වල අලගිය තැන් මුල ගිය තැන් හොයන එක... ඒවා සමහර විට ෆිල්ම් එකට වඩා රසවත්... හි හි...

    ReplyDelete
    Replies
    1. ඔව් හිරු..මාත් එහෙමයි. මේ වගේ සත්‍ය කතාවලින් හදපු ෆිල්ම් එකක් බලපු ගමන් මම කරන්නේ ඒකෙ ඇත්ත කතාව හොයාගෙන බලන එක :) ඊට පස්සේ වෙනස්කම් සසඳලා බලනවා.

      Delete
  19. චිත්‍රපටිය බැලුව වගෙ තමා. හරිම අපූරුයි !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික මල්ලි..

      Delete
  20. කුතුහලය නම් උපරිමේටම ලියල....

    සයුරු....ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..සයුරි,සයුරු....??:)))))

    ReplyDelete
    Replies
    1. සයුර,...අර අරයනේ වී අයියේ. :)

      Delete
  21. විශිෂ්ඨ සිනමා කෘතියක් අයෙ කියන්න දෙයක් නෑ. සයුරි සියල්ලම පැහැදිලිව නිරවුල්ව කියල තියෙනවා. ඇත්තටම ඔබට හොඳ සිනමා විචාර ලියන්නත් පුළුවන් බව ඔප්පු කරනවා..වැදගත් කම නම් සිනමා කෘතිය ගැන විතරක් නෙවේ ඊට අදාල පසුබිම සහ ඒ හා බැඳුණු පුවතත් සටහන් කර හොද විමර්ෂණයක් කර තියෙනවා.ඒක අගය කළ යුතුම කාරනාවක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දයානන්ද අයියා..මට ගොඩක් වෙලාවට ඇත්ත කතා පසුබිම් කරගෙන හදපු ෆිල්ම් ගැන මෙහෙම හොයන්න හිතෙනවා. :) මේකනම් ඇත්ත කතාවට ගොඩක් සමාන විදියට කරපු සාර්ථක නිර්මාණයක් කියලා හිතෙනවා.

      Delete
  22. සුකිරි මම මේ සිද්දිය අදමයි දැනගත්තේ. ඊශ්‍රායිලය උගන්ඩාවට ඇවිත් මේ වගේ වික්‍රමයක් කරලා ගිහිල්ල තියෙනවා නේ. එකත් පසු කාලෙක දිල්ම් එකක් වුනා. මේකත් හොයාගෙන බලන්න ඕනේ. ලියල තියෙන විදියට ත්‍රාසය භීතියත් දෙකම දැනුනා.

    ගොඩාක් ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. // ඊශ්‍රායිලය උගන්ඩාවට ඇවිත් මේ වගේ වික්‍රමයක් කරලා ගිහිල්ල තියෙනවා නේ//

      අසාර් මේ ගැන විස්තර දන්නවනම් අපිටත් දැනගන්න එක්ක පෝස්ටුවක් දැම්මොත් නරකද? මොකක්ද ඒ ෆිල්ම් එක? බලන්න ආසයි.

      Delete
    2. එකත් මම දැනගත්තේ පොස්ට් එකකින්.එත් මට මතක නැහැ ඒ පොස්ට් එක දැම්මේ කුඩා කියල.ටිකක් හොයන්න ඕනේ..

      Delete
    3. ම්ම්..එහෙමද. හොයාගත්තොත් කියන්න හොඳේ

      Delete
    4. ඒකත් ඔය හා සමාන සිදුවීමක් තමා.ඒක සිද්ද උනේ 1976 මට මතක විදිහට ජූලි මාසයේ

      Delete
    5. සයුරි ෆිල්ම් එකනම් ඊයේ රෑ බැලුවා.බලද්දිත් බය හිතෙනවා..

      Delete
    6. @ සයුරි,

      මේ කියන්නෙ එන්ටාබේ මෙහෙයුම ගැන වෙන්න ඕන, ඔය සිද්ධිය ගැන ලියපු ලිපි කිහිපයක්ම මට කියවන්න පුළුවන් උනා. මේ ලිපිය කියවල මම හමුදා මෙහෙයුමක් කළේ නැද්ද කියල කමෙන්ට් එකේ අහද්දි මටත් ඔය සීන් එක මතක් උනා.

      මේකත් බලන්න

      Delete
    7. බොහොම ස්තුතියි ඩිඩිටී විස්තරේට. විකි එක කියවන්න ඕන. මම අහලම නෑ නේ මේ ගැන.

      Delete
  23. ආර්ගෝ කියන ෆිල්ම් එකේ ට්‍රේලර් එක දැනට දවස් දෙක තුනකට විතර ඉස්සර 'හොලිවූඩ් බොක්ස් ඔෆිස්' කියන ප්‍රෝග්‍රෑම් එකේදි දැක්කා. ඊට පස්සෙ තමයි සයුරිගේ පෝස්ට් එක කියෙව්වේ. ගොඩක් රසවත් විදිහට සයුරි පෝස්ට් එක ලියලා තියෙනවා.

    මේ දැන්ම ෆිල්ම් එකත් ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා. හෙට දිහාවට බලන්න ඕනේ...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුමී අයියා :) පෝස්ට් එක හින්දා ෆිල්ම් එක බලන්න උනන්දුවක් ඇති උනානම් ඒ ගැන සතුටුයි. හෙට බලන්නකෝ, බැලුවට පාඩුවක් වෙන්නේ නෑ කියලා ෂුවර්. :)

      Delete
  24. Niwaradi kaloth Hondai .
    2 pinturaya. sewakain 6 dena inne american President ekka ( Jimmy carter ) , Tanapati ekka newei.

    ReplyDelete
    Replies
    1. ඇනොනිමස්..ස්තුතියි නිවැරදි කිරීමට. දැන්ම හදන්නම්.

      Delete
  25. ෆිල්ම් එක බලලා නැත. පසුව හොයාගෙන බලන්නම්. සැලසුම් සකස් කිරීම හා ඒවා ක්‍රියාත්මක කිරීම පිළිබඳ ලස්සන කතාවක්.
    වැසනාවත් තියෙන්න ඕනි නේද‍

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..වාසනාවත් ඕනේ තමයි. අර කහ සුදු පත්‍රිකා පරික්ෂාවේදි නම් වාසනාව තමයි බලපෑවේ. ස්තුතියි ප්‍රියන්ත අයියා.

      Delete
  26. මරු පොස්ටුව අක්කේ ආසාවෙන් කියෙව්වා. මේකේ කඩු පයිට් අනම් මනම් ඔක්කොම තියෙනවනේ. නරකද ලින්ක් එකත් දැම්මනම් ෆිල්ම් එකේ අපිටත් බාගන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෝරලේ මල්ලි. onechannel.ch එකේ සර්ච් කරන්නකෝ argo කියලා... ලින්ක් එක මේකේ නොදා ඉන්නේ මගේ ආරස්සාව සලකලා, මම ඉන්නේ වැරදි රටක හින්දා ;)

      Delete
  27. හරිම ආසාවෙන් කියෙව්වෙ සයුරී. ලස්සන ත්‍රාසය පිරි කතාව. මේක හරියට 11ත් කමාන්ඩ්මන්ට්ස් වගේ. http://piyumvila.blogspot.com/2012/12/5.html

    ReplyDelete
    Replies
    1. අප්පේ එහෙනම් ඔන්න තව ෆිල්ම් එකක් එකතු උනා බලන්න.."11ත් කමාන්ඩ්මන්ට්ස්" :)

      Delete
  28. ෆිල්ම් එක බලලා නැහැනෙ.. බලන්න ඕනෙ.. පුදුම මහන්සියෙන් පෝස්ට් දාන කෙනෙක් තමා සයුරි අක්කා.. නිකන්ම ඔහේ ලියන්නෙ නැතිව හුඟාක් මහන්සිවෙලා විස්තර අරන් පෝස්ට් දාන්නෙ.. නියමයි අක්කෙ. මටත් චිත්‍ර වගේ මැවිලා පෙනුනා විස්තර කරද්දි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හිතු මේ වචන ටිකට. මේක ලියන්න දවස් 2 ක් ගියා අප්පා..

      Delete
  29. ටික දවසකට කලින් පෝස්ටුව දැක්කත් නිවී සැනසිල්ලේ විවේකීව කියවලා බලලම කමෙන්ට් එක දාන්න හිටියා. අද කියවන්න පටන් ගනිපු වෙලාවේ ඉදන් එක හුස්මටම කියවන් ගියා. කරුණු හොයන්න ගොඩාක් මහන්සිවෙලා තියන හැඩයි. පට්ටම ලිපියක්..(y) චිත්‍රපටයත් අනිවාර්යෙන් බලන්න ඕන
    ආ... ඒ එක්කම මට පොඩි ප්‍රශ්නයක් ආවා. කවුද අර බලෙන්ම ෆිල්ම් පෙන්නපු සයුරු කිව්වේ?? :P

    ReplyDelete
    Replies
    1. අප්පේ..තොටියා අයියා ලෙඩ්ඩු බලන අස්සෙද දන්නේ නෑ මේක කියෙව්වේ. බොහොම ස්තුතියි...සයුරු කිව්වේ ඉතින් සයුරිගේ කවුන්ටර් පාර්ට් එක තමා :)

      Delete
  30. අහා...මේ කමෙන්ට් වලින්නෙ තේරුණේ සයුරු කවුද කියලා... :))))

    ෆිල්ම් එක මාත් ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා... මේක කියෙව්වම බලන්නම ඕන කියල හිතුනා... හරිම රසවත් ලිපියක් සයුරි අක්කේ....

    ReplyDelete
    Replies
    1. හිහි..ඔයත් දැනගෙන හිටියේ නැද්ද සයුරු ව? :)

      //මාත් ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා//
      එළකිරි...බලන්නකෝ එහෙනම් නගා. කියෙව්වටත් වඩා ආස හිතේවි.

      Delete
  31. නියමයි.ඇත්තටම ගොඩක් මහන්සි වෙලා.ඔය චිත්‍රපටිය මං බලලා නෑ.ගුවන් තොටුපලේදි ඔය ප්‍රශ්න ඇති උනා කියලා දැනගෙන හිටියට ඔය කතාව දන්නෙත් නෑ.ස්තූතියි ඔබට.

    කොමේනි තම ජයෙන් පස්සේ ඉරානයේ සිටින සියළුම විදේශිකයන්ට රටින් පිටවෙන්න අණ කලා.ඒ අණ පිලිනෙපදින අය අල්ලා ගත්තා.හැබැයි පස්සෙදි මරන්න උත්සහා කලේ නෑ.නිදහස් කලා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ධම්මික. ඒ අතින්නම් කොමේනි හොඳයි වගේ නේද? අර ප්‍රාණ ඇපකාරයො 52 ත් මැරුවේ නෑ කියලා තමයි කියන්නේ. හැබැයි ඔය මෙහෙයුම ගියපු දවස් ටිකේනම් සමහරු මරලා ප්‍රසිද්ධියේ එල්ලලත් තිබුනලු. ෆිල්ම් එකෙත් ඒ සිද්ධිය ඒ විදියටම තියනවා. මිනිහෙක් මරලා හැමෝටම පේන විදියට උඩින් එල්ලලා. ෆිල්ම් එකේ අන්තිමට පරණ ෆොටෝස් පෙන්නනවා. ඒ පරණ පින්තුරෙත් තිබුනා.

      Delete
    2. කැරලි කාරයෝ ටික දෙනෙක් මැරුවා.ඒත් කොමේනි හොදම හොද කෙනෙක් වෙන්නත් බෑ.මොකද පවතින ආර්ථිකයට හා අධිරාජ්‍යගැති රජෙකුට විරුද්ධව ගෙන ගිය සටනක් නිසාත් ඒකට මුස්ලිම් වගේම ඉරානයේ සිටි වෙනත් ආගමිකයනුත් එකතු උනා.කොමේනි බලය දිනාගෙන ඉරානය ඉස්ලාමීය රාජ්‍යයක් බවට පත්කිරීමෙන් පේන්නේ එයා ඒක ආගමික විප්ලවයක් බවට පත් කරගත් බව.

      Delete
    3. එකඟයි..ඒ වගේ දෙයක් කරානම් එයා හොඳ කෙනෙක් වෙන්න බැහැ.

      Delete
  32. පෝස්ට් එක දැංම කියවන්න බැරියෝ..... දිග වැඩියෝ.. පස්සෙ කියවන්නං

    ReplyDelete
    Replies
    1. හිහි..අනේ සොරි යාන්ත්‍රික, මේක කොට කරන්න හැදුවා හරි ගියේම නෑ නේ. පස්සේ කියවන්නකෝ..

      ආ..ඔයාව සාදරයෙන් පිලිගන්නවා පහන්යාය ට.

      Delete
  33. සයු ලියලා තියන විදිහට නොබලා ඉන්න බැරි චිත්‍රපටියක් වගේ...බලලම විස්තර කියන්නම්කෝ..
    තැන්කූ දෙන්නටම..

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තුතියි රූ. ඔව් ඔව් අද හෙටම බලන්නකො.

      Delete
  34. ලංකාවේ ඉතිහාසය ගැන කියවලා ටිකක් කම්මැලිකමෙන් හිටියේ, පහන් යායේ කවියක් එනකං.... මේකත් ඉතිහාස කතාවක් කියලා එහෙම් මෙහෙන් අතපත ගාල හලන්න හැදුවේ..... පටන් ගත්තහම අත් අරින්න බැරි උනා... සයුරි ගොඩාක් මහන්සි වෙලා විස්තර හොයාගෙන සම්පූර්ණ විස්තරයක් ඉදිරිපත් කරලා තියනවා.... ගොඩක් මහන්සිවෙලා කරුණු හොයාගෙන සැලකිල්ලෙන් ලියපු එකක් කියලා තේරෙනවා... චිත්‍රපටි බැලීම වගේම හරිම ඉන්ටරස්ටින් වැඩක් තමයි ඒ චිත්‍රපට වලට පසුබිම් වෙච්ච කතා කියවන එක.... මගෙත් ආසම චිත්‍රපටි ගැන මම හොයා හොයා කියවනවා... ඉතින් මීට කලින් මේ චිත්‍රපටියේ ට්‍රේලර් දැක්කත් ලොකු උනන්දුවක් ඇති උනේ නැහැ... දැන් නම් හොයාගෙන බලනවාමයි.... ඒක නෙමෙයි... දැන් කවියක් ලිව්වොත් නරකද?

    ReplyDelete
    Replies
    1. හහා..තිසරත් ඉතිහාසෙට කම්මැලි කෙනෙක් වගේ නේද? :) ඊ ළඟ එකත් බොහෝ දුරට ලංකාවේ ඉතිහාස පෝස්ටුවක් වෙයි වගේ. :( ඒවා ගොඩක් වෙලාවට මාසෙට එකක් වගේ තමයි ලියන්නේ. ඊට පස්සේ එකවත් කවියක් දාන්න බලන්නම්කෝ.

      //ට්‍රේලර් දැක්කත් ලොකු උනන්දුවක් ඇති උනේ නැහැ... දැන් නම් හොයාගෙන බලනවාමයි//
      නියමයි. එහෙම හිතුනනම් බොහොම සතුටුයි. බොහොම ස්තුතියි කමෙන්ටුවට :)

      Delete
  35. හම්මේ ගොඩක් කාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ.ආපු ගමන්ම කියවන්න මරුම ලිපියක් දාලා තියෙන්නේ මෙච්චර රසට මේ කතාව මෙච්චර කෙටියෙන් කොහොම ලිව්වද මන්දා... නියමයි ඈ

    ඒක නෙමෙයි වැඩේ මම මේක කියවන් යද්දි මට මතක්වුනා ‍මීට සමාන ෆිල්ම් එකක් මම කොහේදි හරි දැකලා තියෙනවා කියලා.මම බලපු ඒ ෆිල්ම් එකේ තිබුනේ ඇත්තටම ෆිල්ම් එකක් රූගත කරන්න ආපු දර්ශනයක් වගේ මතක එක පාරටම බෝම්බ වැටෙන දර්ශනයකින් පටන් ගන්නේ ඒක.අන්තිමට කට්ටිය පැනලා යනවා බේරෙන්න ඒ අතර කිරිබොන වයසේ පොඩි ලමෙකුත් ඉන්නවා වගේ මතක.

    කොහොමහරි කට්ටිය හැංගිලා ඉද්දි අර පොඩි ලමයා අඬන සද්දෙට ත්‍රස්ථවාදියෝ එනවා එතනට.පස්සේ කට්ටියව අල්ලගෙන යනවා හිර කදවුරකට.එතනදි ඒගොල්ලෝ කියනවා මේ ආවේ වාර්තා චිත්‍රපටියක් කරන්න බව... ඔහොම ‍ඔහොම දිගට ඇදෙන කතාවක් ඒ වුනත් අමුතු ලස්සනක් තියෙනවා ඒකෙත්...

    මේ ෆිල්ම් එකත් මරු ඇති මොකද ඔයා කියපු ප්‍රොමිතියස් ෆිල්ම් එක මම ලඟදි බැලුවේ උපරිමයි ඈ ඒකත්...

    ReplyDelete
    Replies
    1. හලෝ ගැමි මලයා. කාලෙකින් නේන්නං. මණ්ඩියත් දැන් අතුරුදහන් වෙලා නේද? හොඳටම වැඩ කියලා ආරංචියි කට්ටියට.

      ම්ම්..ඒ පොඩි ළමයෙක් ඉන්න ෆිල්ම් එකනම් මට මතක නෑ. නම මතක් උනොත් කියන්නකෝ.
      //පොඩි ලමයා අඬන සද්දෙට ත්‍රස්ථවාදියෝ එනවා එතනට.පස්සේ කට්ටියව අල්ලගෙන යනවා//
      හපොයි :(

      ආ..මම හිතුවා ඔයා ප්‍රොමිතියස් වගේ ඒවාට කැමති ඇති කියලා :) ගොඩක් දුරට ඔයා ලියනවා වගේ අමුතු අමුතු ටෙක් ගැජට් එහෙම තියනවනේ.

      Delete
  36. සයුරි ලියලා තියෙන්නෙ හරියට බලන් හිටියා වගේනෙ..

    නියම ලිපියක්.. කියන්ඩ වචන නෑ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හරියෝ. හ්ම්ම් මමත් ඔතන හිටියද දන්නේ නෑ. ගිය ආත්මේ :)

      Delete
  37. Replies
    1. තෑන්ක්ස් රනුල් :)

      Delete
  38. එදා ඔය සිද්ධියෙදි ඇමෙරිකානු තානාපති කාර්යාලයට ඇතුලු උන කැරලිකරුවො අතර වර්ථමාන ඉරාන ජනාධිපති "මොහොමද් අහමදිනිජාඩුත්" හිටියා කියලා, ඉරාන ජනාධිපතිවරනය කාලේ බටහිර මාධ්‍ය ප්‍රචාරයක් අරගෙන ගියා නේද???
    අපූරු ලිපියක්!!!!. පුදුමයි හතර වටේටම නෙලන්න ගන්න නැතුව, ඇමරිකාව ඒ වෙලේ ඔච්චර ගේමක් දෙන්න මහන්සි උන එක.

    ReplyDelete
    Replies
    1. //කැරලිකරුවො අතර වර්ථමාන ඉරාන ජනාධිපති "මොහොමද් අහමදිනිජාඩුත්" හිටියා කියලා//

      හ්ම්..මේ ගැනනම් මට දැනුමක් නෑ. අලුත් තොරතුරක් කිව්වට ස්තුතියි. ඇත්තටම හමුදා ක්‍රියාමාර්ගේකට නොගිහින් මෙහෙම කරපු එක හොඳයි තමයි

      Delete
  39. විශිෂ්ඨයි. මේක අහම්බෙන් හමුවුනේ, ඔක්කොම ලිපි බලනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි වෙබ් මාස්ටර්. දිගටම එන්න...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...