Friday, November 15, 2013

නිකං ඉන්න බැරුවට

 අපේ කට්ටිය නිකන් ඉන්න බැරුවට එක එක ජාතියේ වැඩ කරනවනේ. මට මේ ගැන ලියන්න හිතුනේ අර මධුරංග දාල තිබුණ බූට් වැදිච්ච කෙනෙකුට කරන්න සුදුසු වැඩ ටිකයි ඒකට ආපු කමෙන්ට් ටිකයි දැක්කට පස්සේ. සහන් නම් කිව්වා ඔන්න කඳු නගිනවා වගේ ඒවා හරියන්නේ නෑ මොකද උඩට නැග්ගට පස්සේ අහවල් කෙනා මතක් වෙනවා කියලා. ඒ කියන්නේ එහෙම මුකුත් මතක් නොවෙන දේවල් තමයි කරන්න ඕන. එහෙම ක්‍රියාකාරකම් කීපයක් ගැන තමයි මම ලියන්න හදන්නේ. මේවා කරද්දිනම් මතක් වෙන්නේ දෙයියෝ බුදුන් විතරයි වැඩිම උනොත්.

මුලින්ම මම කරලා තියන එව්වගෙන් පටන් අරගෙන කරලා නැති ඒවාට එන්නම්. හඳ අල්ලපු රටේ ඔහායෝ ප්‍රාන්තයේ තියනවා "සෙඩාර් පොයින්ට්" කියලා තීම් පාර්ක් එකක්. ඇමරිකාවේ හොඳම තීම් පාර්ක් එක හැටියට සැලකෙන්නේ මේක තමයි මගෙ හිතේ. ඉතින් මොනවද මේකේ තියෙන්නේ? මෙන්න මෙව්වා තමයි.



ඒක පිරිලා තියෙන්නේ මේ විදියේ රෝල(ර්) කෝස්ටර් වලින්. ලැබෙන ත්‍රිල් එක (සිංහල වචනයක් මතක් වෙන්නේ නෑ. "ගතිය" කිව්වොත් හරිද මන්දා) අනුව මේ කෝස්ටර් ලෙවල්ස් 5 කට බෙදෙනවා. 4 හෝ 5 වෙනි ලෙවල් වල ඒවගේ යනකොට තමයි අර මම කලින් කිව්වා වගේ දෙයියෝ බුදුන් සිහි වෙන්නේ.

පලවෙනි වතාවට මෙහෙම පාර්ක් එකකට යන කෙනෙක්ට දෙන්න තියන හොඳම උපදේසේ තමයි අඩු ලෙවල් එකකින් පටන් ගන්නේ නැතුව කෙලින්ම 5 න් පටන් ගන්න කියන එක. මුලින් පොඩි ඒවගේ ගියොත් නිකන් බොරු බයක් ඇති වෙනවා ලොකු ඒවයේ යන්න. අපිත් මුලින්ම පටන් ගත්තේ ලෙවල් 5 ට අයිති වෙන ඔය උඩ රූපයේ දාලා තියන එකෙන්. උඩට පහලට හරහට දිගට හැම අතටම කරකැවිලා ඕකෙන් එලියට එද්දී අපි ආවේ නිකන් බීපු මිනිස්සු වගේ තමයි. 

ඊට පස්සේ තමයි මෙන්න මේක ඈතින් බැබලි බැබලි තියනවා දැක්කේ. 

Millennium Force - වේගය 93 kmph



පේනවා නේද ආනතියේ සැර? ඒක අංශක 80 ක් ලු. මටනම් ඕකේ යන්න හිත දුන්නෙම නෑ. ඒත් අපිත් එක්ක ගියපු හොඳටම කෝස්ටර් පිස්සුව තියන යාලුවෙක් අපිවත් ඇදගෙන ගියා කියමුකෝ. අපිව පටව ගත්තු රතු පාට පුංචි cart එක හෙමිහිට හෙමිහිට උඩට ඇදෙද්දී අර යාලුවා අහු වෙන මානෙක හිටියනම් ගුටි කනවා ඇත්තමයි :D. අපේ සයුරු නම් ඒ වෙනකොටත් ඇස් දෙක වහගෙන ඉවරයි. ඉතින් ඔහොම හෙමිහිට හෙමිහිට ගිහින් අන්තිමේ cart එක මුදුනට එනවා. ඔය රූපයේ තියන එක මුදුනට ලඟා වෙමින් තියෙන්නේ. එතන ඉඳලා පහලට වැටෙන්න පටන් ගන්නකොට තමයි මීක් නැතුව හිටපු කට්ටිය ලෝකේ හෙල්ලෙන්න කෑ ගහන්න පටන් ගන්නේ. සමහරු කෑ ගහන්නේ සතුටට. තවත් සමහරු බයට. මටනම් කෑ ගැහුනේවත් නෑ. හික්ස් :) ඇයි දෙවියනේ ආමාෂේ උගුර ගාවට එද්දී කෑ ගහන්න මතක් වෙන්නේ කාටද?


එතන තිබුන ඒවයෙන් තවත් හිතට අල්ලපු එකක් තමයි මේ.



අපිව පුටු වල තියලා කණුව දිගේ උඩට ගෙනිහින් ගුරුත්වය යටතේ අත අරිනවා. ජිවිතේ මුල්ම වතාවට weightless කියන හැඟීම දැනුනේ එතැනදී කිව්වොත් හරි.

ඔන්න ඔහොම එක එක ජාතියේ ගොඩක් දේවල් එතන තිබුනත් ඔක්කොම ලියන්න ගියොත් මෙතන ඉඩ මදි වගේම කට්ටියට එපාත් වෙයි. එහෙනම් කොස්ටර්ස් ගැන මගේ කෙරුවාවල් මෙතනින් අවසානයි. ඊට පස්සෙත් තීම් පාර්ක් කීපෙකට ගියත් ඒ එකක්වත් මේ වගේ හිතට ඇල්ලුවේ නැහැ.

දැන් කියන්න යන්නේ මම තවමත් නොකරපු දේවල් ගැන.

එක්කෝ කියනවට වඩා ලේසියි වීඩියෝ එකක් දාන එක. මොකෝ කියන්න මම කරලා තියන එකක්යැයි...



Sky Diving 





බන්ජි ජම්පින් 





පැරා ග්ලයිඩින් 





මේ ක්‍රියාකාරකම් හැම එකක්ම "ඩොර්පොමින්" වහනය කරවන දේවල්. මතකනේ ඩොර්පොමින්? ඔබ සතුටින්ද? ලිපියෙදි ඒ ගැන කිව්වා. 

ඉතින් ඔය සපත්තු කාපු කට්ටියටත් මේ වගේ මොනවහරි කරලා නාඩා ඉන්න බැරි වෙයිද?


Friday, October 18, 2013

බිනර මලක්

කිරි සයුරෙන් කිරි සුවඳ පොදක් ගෙන
මුතු බෙලි කටුවක සුරැකිව කැටි කොට
ආදරයෙන් මා දෝතට ගෙන දුන්
සුවඳති  හිනා මලක්

රන් හිරුගෙන් රන් කිරණ රොදක් ගෙන
ඒ කිරණින් මට එළියක් අරගෙන
ගලනා සීතල සුදු සඳ එළියේ
සුපිපුණු බිනර මලක්


අත්වැල මම වෙන්නම් නම් දරන ලිපිය හා සබැඳේ




ප. ලි.

කට්ටියට කොහොමද ඉතිං ? මාස එක හමාරකට විතර පස්සේ තමයි ඔන්න මේ පැත්තේ ආවේ. හේතුව පැහැදිලි ඇති නේ :)

කාගෙවත්ම බ්ලොග් වල කමෙන්ට් එකක්වත් දාන්න ලැබුනේ නැතත් අතරින් පතර අහු වෙච්ච පෝස්ට් නම් කියෙව්වා. මම නැත්තේ මොකද කියලා හොයල බලපු අයටත් බොහොම ස්තුතියි.

ඉස්සර වගේ නිතරම බැරි උනත් ඉස්සරහටත් ඉඩ ලැබෙන හැටියට පෝස්ට් කියවන්න වගේම ලියන්නත් බලාපොරොත්තු වෙනවා. මෙව්වා එහෙම අත ඇරලා දාන්නත් හොඳ නැහැනේ :)


Friday, August 30, 2013

බිල් ගේට්ස්ගෙ ගෙදර යමුද?

ඔයගොල්ලො වැඩි දෙනෙක් දැකලා ඇතිනේ ගේට් මහත්තයගෙ ගෙදර විස්තර එහෙම ඊ මේල් වලින් හුවමාරු වෙනවා. ඒවයේ තිබුණ විදියට ඒක නිකන් සුපිරිම ගෙදරක් තමා. අධි තාක්‍ෂණය උපයෝගී කරගෙන අන්තිම සැප පහසු විදියට ගෙදර ඩිසයින් කරලා තියනවා.

ඒත් මමනම් කියන්න යන්නේ ඒවා ගැන නෙමෙයි. අපිට ගේ ඇතුල බලන්න අවසර නෑ නේ. ගේට් මන්දිරය පිටතින් දැක බලාගන්න ලැබිච්ච හැටි ගැන තමයි මම කියන්න යන්නේ.

මේ ගෙදර පිහිටලා තියෙන්නේ හඳ අල්ලපු රටේ වොෂින්ටන් ප්‍රාන්තයේ සියැටල් කියන නගරයේ, "වොෂින්ටන් ලේක්" එකට මුහුණ දාලා හරිම ලස්සන තැනක. ඉතින් ගෙදර බලාගන්න ඕන නම් යන්න වෙන්නේ බෝට්ටුවකින් හරි වතුරේ යන්න පුළුවන් වෙන මොකකින් හරි තමයි. 

හැබැයි ඔය ලේක් එක අද්දර තියන එකම ගෙදර බිල් ගේට්ස්ගේ ගෙදර විතරක් නෙමෙයි. තවත් මහා ධනවතුන්ගේ ගෙවල් ගොඩක් වැව අද්දරින් වටේටම පිහිටලා තියනවා. 


මේ තියෙන්නේ ඒ විදියට වැව අද්දර හදලා තියන ගෙවල්



ඉතින් ඔය වැවේ තියනවා කෘස්‌ සවාරි සපයන සේවාවක්. කෘස්‌ එකකින් වැව වටේ එක්ක ගිහින් අර ගෙවල් ටික පෙන්නගෙන එනවා. අපිත් ඉතින් ටිකට් එකක් අරගෙන ඔය කෘස්‌ එකකට නැග්ගා.

එහෙම යද්දී දැකපු ගෙවල් වලින් කිහිපයක් තමයි මේ...








මේවයේ ඉන්න හැමෝටම වගේ අනිවාර්යෙන්ම බෝට්ටුවක් තියනවා තමන්ට කැමති වෙලාවට වැවේ සවාරි යන්න. පින්තූර වල පේනවා ඇති නේ ගෙවල් ඉස්සරහ බෝට්ටු නවත්තලා තියනවා.

ඔන්න එහෙනම් මේ තමයි ගේට්ස් ගේ ගෙදර :)



වැඩි හරියක් හැංගිලා තමා තියෙන්නේ.

මේ පැත්තෙන් ගත්ත පින්තූරයක්. හැංගිච්ච කොටසක් ඒකේ පේනවා.




ඉතින් ඔයිට වඩා ලඟට ගිහින් බලන්නනම් අපිට අවස්ථාවක් නෑ.

මේ ගමනේදී දැකපු තවත් වැදගත් දෙයක් තමයි මේ පහලින් තියන පාලම. වොෂින්ටන් ලේක් එක හරහා දාලා තියන මේ පාලම සාමාන්‍ය එකක් නෙමෙයි, පාවෙන පාලමක්.



වතුරේ පාවෙන් කොන්ක්‍රීට් තට්ටු උඩ සවි කරපු කුළුණු උඩ තමයි පාලම පිහිටලා තියෙන්නේ. මෙහෙම කරන්න හේතුව වෙලා තියෙන්නේ මේ වැවේ තියන අසාමාන්‍ය ගැඹුර. එච්චර ගැඹුරකදී පතුලේ ඉඳලා කුළුණු සවි කරන එක ප්‍රායෝගික නැහැ වගේම වියදමත් ඉතාම අධික වැඩක් ලු.

එහෙනම් ඉතින් පින්තූර කතාව මෙයින් අවසානයි. තවත් හඳ අල්ලපු රටේ විස්තරයකින් පසුව හමු වෙමු...

Wednesday, August 21, 2013

ලතා මඩුල්ලක් - රාජාවලිය XXXI


අපි පහුගිය ලිපියෙන් කතා කලා නේ මහා පරාක්‍රමබාහු රජතුමා අභිෂේක වෙච්ච හැටි. ඒකට අන්චි අදින්න කී දෙනෙක් උත්සාහ කළාද කියලත් මතක ඇති නේ. ඉතින් ඒ අයගෙන් අන්තිම අන්චිය ඇදපු සුගලා, ඒ සටනින් පැරදුනත් වැඩේ නතර කරන්නේ නැහැ. පලා ගිහින් සැගවී ඉදගෙන දිගටම වැඩ කටයුතු කරගෙන යනවා. මේ අතරේ පරාක්‍රමබාහු රජු විසින් හිර කරගෙන ඉදපු රුහුණේ දක්ශ සෙනෙවියෙකුත් හිරෙන් පැන ගිහින් සුගලාට එකතු වීම නිසා ඔවුන්ගේ හමුදාවට නව පණක් ලැබෙනවා.

මෙළෙස ශක්තිමත්ව රජුගේ හමුදාවට පහර දීම ආරම්භ කරන ඔවුන් මොණරාගල ආසන්නයේ කදවුරු ගසාගෙන කරන පහර දීම නිසා රාජකීය හමුදාවට පසු බැසීමට සිදු වෙනවා. රජුගේ "රක්ඛ" සෙනෙවියා ලෙඩ වී මිය යන්නෙත් මේ අතරමයි. මෙහෙම රටේ නොයෙක් ප්‍රදේශ වලට පහර දුන් රුහුණු සේනාව දියත් කළ තවත් දරුණු ප්‍රහාරයක් තමයි දීඝවාපියට කළ පහර දීම. රජුගේ සේනාව අපහසුවෙන් ඔවුන් පලවා හැරිය පසු නැවතත් සුගලාගේ සෙබලුන් විසින් එය අල්ලා ගන්නවා. පසුව නැවතත් රජුගේ සෙබලුන් විසින් දීඝවාපිය ජය ගන්නවා.

රජුගේ මී ළග ඉලක්කය වෙන්නේ කැරලි කරුවන් බලවත්ව සිටි බුත්තල ප්‍රදේශය අල්ලා ගැනීම. මේ ගමනේදී ගින් ගග, වැලිගම, මාතර, දෙවුන්දර යන ප්‍රදේශ වල සටන් කරමින් සතුරා පළවා හැරීමට රජුගේ සෙබළුන් සමත් වෙන අතර අකුරැස්සේදී නිල්වලා ගග තරණය කරන්න යෑමේදී ඔවුන්ට දරුණු සතුරු ප්‍රහාර වලට මුහුණ දීමටත් සිදු වෙනවා. අවසානයේ බුත්තල ජයග්‍රහණය කර එහි කදවුරු බදින විට, සුගලා දේවිය අටදහස් රට ප්‍රදේශයේ කැලෑ මැද සුලු සෙබළ පිරිසකගේ ආරක්ශාව පමණක් ඇතුව අසරණව පසු වෙනවා. මෙළෙස කොටු වී සිටි සුගලාව කිහිප පැත්තකින් වට කර අල්ලාගෙන සිර භාරයට ගැනීමට සෙනෙවියන්ට හැකි වෙනවා.

සුගලා අල්ලා ගැනීමෙන් පසුව මුළු දිවයිනම පරාක්‍රමබාහු රජු යටතට පත් වුනත් ක්‍රි.ව. 1161 දී පමණ නැවතත් රුහුණෙන් කැරැල්ලක් පැන නගිනවා. ඒ අවස්ථාවේදීත් පොලොන්නරුවෙන් විශාල හමුදාවක් එවා එය මැඩපවත්වන්න රජු සමත් වෙනවා. කොහොම උනත් රුහුණේ ජනතාව හැකි සැම වෙලාවකම රජුට විරුද්ධව පෙරලි කරපු බව පේන්න තියනවා.

මේ සිද්ධි වලින් පස්සේ බුරුමයේ රජු ලන්කාවට කළ අහේතුක හිරිහැර නිසා සේනාව යවා බුරුමය ආක්‍රමණය කරන අතර පාන්ඩ්යයින්ට එල්ල උනු සතුරු කරදරයකදී ඔවුන්ට ආධාර සදහා සේනාවද ලබා දෙනවා.

මීට අමතරව පරාක්‍රමබාහු රජතුමා ගැන ජනප්‍රවාදයේ තියන දෙයක් තමයි ඔහුගේ දුව 'රත්නවල්ලි' සහ රොඩී ජනයා අතර ඇති නෑ කම. මේ ජනප්‍රවාද ගැන මේ ලිපියේ ලියන්න මගේ අදහසක් නැති උනත් පොඩි කුමාරිහාමිගේ හුලවාලි ලිපියේ ඒ ගැන ඉතාමත් ලස්සනට ලියලා තියනවා.

ඉතින් පරාක්‍රමබාහු රජතුමා ක්‍රි.ව. 1186 දී මිය ගියාට පස්සේ රජකම ලැබෙන්නේ ඔහුගේ  බෑනා කෙනෙක් වන (එමෙන්ම දෙවන ගජබාහු රජුගේ පුත්‍රයා වන) "විජයබාහු II" රජතුමාට (ක්‍රි. ව. 1186-1187). කීර්ති විජයබාහු / පණ්ඩිත විජයබාහු කියන නම් වලිනුත් හැදින්වුනේ ඔහුම තමයි. ඒ වගේම ඔහු හොද කවියෙක් හැටියටත් සැළකුණා. ඒත් මෙතුමාට රජ කරන්න වෙන්නේ අවුරුද්දක කාලයක් විතරයි. මිහිදු නම් අයෙක් ඔහු මරා "මිහිදු VI" නමින් රජ වෙනවා (ක්‍රි. ව. 1187). ඒත් ඔහු රජ පවුලට සම්බන්ධ අයෙක් නොවන නිසා ඇමතියන්ගේවත් ජනතාවගේවත් සහාය ඔහුට ලැබෙන්නේ නැහැ.

පරාක්‍රමබාහු රජුගේ කාලින්ග බිසවගේ පාර්ශවයෙන් ඔහුට බෑනා වන "නිශ්ශංක මල්ල" රජතුමා (ක්‍රි. ව. 1187 - 1196) ඔහු මරා දමා රජකම ලබා ගන්නවා. මේ නිසා ඔහු කාලින්ග වන්ශයට අයිති, කාලින්ගයේ උපන් කෙනෙක්. නිශ්ශංක මල්ල රජතුමා ගැන විස්තර හැමෝම අහල ඇතිනේ. අර දකින දකින ගලක් ගානේ සෙල් ලිපි එහෙම කොටලා තවත් ලස්සන ශිලා නිර්මාණයක් වන නිශ්ශංක ලතා මණ්ඩපය එහෙම කරවපු රජතුමා නේ.



අපේ ගල් වඩුවන් කොයි තරම් සියුම් අන්දමට නිර්මාණ කරපු අයද කියන එක මේක දිහා බැලුවම පේනවා. ඒ ඇරෙන්න දන්ත ධාතුව තැනපත් කිරීමට හැටදාගේ, වටදාගේ සහ රන් කොත් වෙහෙර කරවලා තියෙන්නෙත් මෙතුමා තමයි. හොද බෞද්ධයෙක් උනු ඔහු, බුදු සසුනට සහ දුගීන්ට හොදින් සැළකුවා. ඒ වගේම ලක්දිව රජකම ලැබිය යුත්තේ බෞද්ධ රජෙකුට පමණක් බවත් චෝලයින්ට සහ පාණ්ඩ්යයින්ට මෙහි අයිතියක් නැති බවත් පැහැදිළිව සදහන් කළා.

නිශ්ශංක මල්ල රජුගෙන් පසුව රජ වෙන්නේ ඔහුගේ පුත් "වීරබාහු I" රජතුමා. එහෙත් ඔහු එදින රාත්‍රියේදීම 'තවිරු' නම් සෙන්පතියෙක් අතින් මැරුම් කනවා. ඉන් පසුව රජකම ලැබෙන්නේ රජුගේ සොහොයුරු "වික්‍රමබාහු II" ට. ඔහුටත් රජකම් කරන්න ලැබෙන්නේ මාස 3 ක පමණ කාලයක් විතරයි. නිශ්ශංක මල්ල රජුගේ සොයුරියගේ පුත් හැටියට සැළකෙන 'චෝඩගන්ග' (ක්‍රි. ව. 1196 - 1197) විසින් ඔහු මරා දමනවා. 

චෝඩගන්ග ගේ ඉරණම විසදෙන්නේ කා අතින්ද කියන එක අපි ඊ ලග ලිපියෙන් බලමු.



ප. ලි. - අදනම් අනිත් බ්ලොග් බලන්න කලින් කොහොමහරි මේක ලියනවමයි කියල හිතා ගත්තා. දැන් එන්නම්කො හැමෝගෙම බ්ලොග් පැත්තේ...

Thursday, July 18, 2013

පුංචි ආත්තා ගැන මතක



පුංචි ආත්තා කියලා අපි කිව්වෙ නෑ කමින් අපේ සීයගෙ (තාත්තගෙ තාත්තා) නැන්දා කෙනෙක් වෙන කෙනෙක්ට. "ආත්තා" කියන වචනෙ අපිට ඒ තරම් හුරු එකක් නෙමෙයි. අපි පාවිච්චි කරන්නෙ "ආත්තම්මා" / "මී ආත්තම්මා" කියන වචන. නෑ කමට අපේ මී ආත්තම්මා උනත් පුංචි ආත්තට අපි වගේම අම්මලත් කිව්වෙ පුංචි ආත්තා කියල තමයි. ඒක කොහෙන් ආපු නමක්ද කියලා අපි දැනගෙන හිටියෙ නැහැ. හොයන්න ගියෙත් නැහැ.

පුංචි ආත්තා ජිවත් උනේ අපේ තාත්තගෙ ගමේ. ඔය ගමේ ගෙදර ගැන මම හිච්චා ලිපියේ ගොඩක් විස්තර කරලා ඇති. ඒ ගෙදරට ටිකක් උඩහට වෙන්න මැටි පිරියම් කරපු ගෙයක, තනියම තමයි පුංචි ආත්තා ජීවත් උනේ. ඇයට දරු මල්ලෝ කවුරුත් හිටියෙ නැහැ. අපේ අත්තම්මා කියපු හැටියට ඇගේ ස්වාමියා තමයි "සින්හලේ මුත්තා". ඒත් අපි ඉපදෙන්නත් කලින් මිය ගිහින්. දෙන්නා අතර සෑහෙන වයස් පරතරයක් තියෙන්න ඇති.

දරුවෙක් මල්ලෙක් නැති පුංචි ආත්තාට දරුවන් උනේ අපේ තාත්තලා, නැන්දලා. මුනුබුරන් උනේ අපි. ඒ ඇරෙන්න ඇයට තවත් දරුවන් ටිකක් හිටියා. ගේ පිරෙන්නම හිටපු බළල් රන්චුවයි වත්තේ මුල්ලක හිටපු ගව පවුලයි හැමදාමත් ඇගේ තනි නොතනියට හිටියා. අලුතෙන් වහු පැටියෙක් හම්බ උනොත් එහෙම උගෙ අම්මගෙන් මුලින්ම දොවා ගන්න කිරි මුදවලා පුංචි ආත්තා තියාගෙන ඉන්නවලු අපේ තාත්තලා එහෙ යනකම්, අලුත් වහු පැටියගෙ කිරි කියලා කන්න දෙන්න.

මට මතක ඇති කාලෙ ඉදලම ඔය ගව පවුලෙ හිටියා "රත්ති" කියලා රතු පාට වැස්සියෙක්. ඒ එකම වැස්සිද නැත්නම් හිටපු හැම එකාටම රත්ති කියලා නම දැම්මද කියන්න මම අදටත් දන්නෙ නෑ. හැබැයි මම ඌට පට්ට බයයි කියලනම් මතකයි. කොටින්ම මොනම විදියකින්වත් අතෑරවන්න බැරිව තිබුන මගේ "සූප්පු බීම" නැති උනේ "සූප්පුව රත්ති අරන් ගියා" කියලා කිව්වට පස්සෙලු. ඊට පස්සෙ මම නෙමෙයි ඒක ආපහු ගෙනත් දෙන්න කියලා කරදර කලේ. මොනව උනත් රත්ති හින්දා මට උනේ හොදක්. නැත්නම් ඕක දිගටම කටේ ගහගෙන ඉදලා දත් බොල්ලෑවක් ආවනම් එහෙම අපේ එක්කෙනා මගේ දිහාවත් නොබලන්න ඉඩ තිබුනා :)

පුංචි ආත්තාට තිබුනේ හැබෑම ලස්සනක්. එයා තරුණ කාලේ එලිසබෙත් රජිණ පරාදයි කියලා තමයි හැමෝම කිව්වේ. ගෙදරට රෙද්දයි හැට්ටෙයි ඇන්දට ආත්තා ගමනක් යද්දි අනිවාර්යෙන්ම ලස්සනට ඔසරියක් ඇදලා ලොකු මාල පෙත්තක් තියන දිග චේන් එකකුත් දාගන්නවා.  ඒ වගේම හරිම කෙලින්, කාටත් බය නැති කෙනෙක්. ඔන්න එක දවසක් පුංචි ආත්තා පොඩි කාලේ කාගෙදෝ වත්තක් අයිනේ පොල් ගෙඩියක් වැටිලා තියනවා දැකලා අහුලගෙන ආවලු. ආත්තගෙ අම්මා කරල තියෙන්නෙ ආපහු ආත්තව ඇදගෙන ගිහින් පොල් ගෙඩිය තිබුණ තැනටම දැම්මෙව්ව එකලු. ඔය කතාව අපිට කියලා පුංචි ආත්තා කියනවා මෙන්න මෙහෙම... "තමන්ට අයිති නැති දෙයක් හොරෙන් ගන්න එපා වගේම අයිති නැති දෙයක් අහන්නෙ බලන්නෙ නැතුව ගන්නත් එපා".

ඉස්සර පුංචි ආත්තා මට හැම තිස්සෙම කිව්වෙ ලොකු වෙලා පෙරකදෝරු නෝනා කෙනෙක් වෙන්න කියලා. ඇයට අනුව ඒක තමයි කෙනෙක්ට කරන්න පුලුවන් ඉහලම රැකියාව. ඉස්සර ගමේ මිනිස්සුන්ගෙ නඩු හබ වලට එහෙම පුංචි ආත්තා හරියට දුවලා පැනලා උදව් කලා ලු. ඉතින් පුංචි ආත්තගෙ ලෝකේ පෙරකදෝරුවා ඉන්නෙ ඉහලම තැනක. පස්සෙ කාලෙක මම මොරටුව ඉන්ජිනෙරු පීඨෙට ඇතුල් වෙද්දී ආත්තා කෙලින්ම මුකුත් නොකිව්වට මෙන්න මෙහෙම හිතුවා කියලනම් මට ශුවර්. "අනේ මේ කෙල්ලට බැරි උනා නෙව තව ටිකක් මහන්සි වෙලා ඉගනගෙන පෙරකදෝරු ඉස්කෝලෙට යන්න" :-/

අපේ පුංචි ආත්තා පන්චි දාන්න එහෙම කියාපු ක්‍රීඩිකාව. ඉස්සර, ඒ කිව්වේ අපි ඉපදෙන්න කලින් අවුරුදු කාලෙට අපේ තාත්තලගෙ ගෙදර හැමෝම වගේ එහෙ යනවලු පන්චි දාන්න. උදේ පන්චි පැදුර එලුවට පස්සෙ ආපහු අකුලන්නෙ හවසට ලු. අපි පොඩි කාලෙ කියලත් වෙනසක් නෑ. ඒ කාලෙට ආත්තා අපේ ගෙවල්වල ආවම දවස පුරාම ඕක තමයි සෙල්ලම. හැබැයි ඉතින් හොර බොරු කරලා ආත්තගෙ කනින් රින්ගන එකනම් බොරු. (මේ සෙල්ලමට ඇබ්බහි උනාම ඉතින් මී පැණි කෑවා වගේ තමා. කන්න කන්න ආස හිතෙනවා. ආ..පන්චි දාන හැටි දන්නේ නැත්නම් මෙන්න මේක බලන්න).

පුළුවන් කාලේ කොයි තරම් පිළිවෙලට, තමන්ට උවමනා විදියට හිටියත් අන්තිමේදී කාලයක් එනවා කාගේ හරි පිහිටක් නැතුව බැරි වෙන. පුංචි ආත්තටත් එහෙම කාලයක් ආවා. ඒ වෙනකොට අපිත් නැන්දලත් ගමෙන් ගිහින්. ඉදලා හිටලා බලන්න එනවා ඇරෙන්න ලග නැවතිලා ඉදගෙන සාත්තු කරන්න කෙනෙක් හිටියේ නැහැ. අන්තිමේදි ඒ වැඩේ බාර ගත්තේ දරුවෙකුත් එක්ක තනි වෙච්ච, පුංචි ආත්තාගේ දුරින් නෑ වෙන කෙනෙක්. ආත්තගේ ගෙදරත් එයාටම ලියලා දුන්නා. දෙන්නාට දෙන්නා උදව් කර ගත්තේ එහෙමයි. ඉතින් අවසාන කාලෙදි පුංචි ආත්තා විදපු දුක සුළු එකක් එහෙම නෙමෙයි. ඇදෙන් බහින්නත් බැරුව එක් තැන් වෙලාම හිටියා. හරියට පරඩැලක් වගේ ඇග පත වැහැරිලා ගියා. තරුණ කාලේ කොහොමට හිටපු මනුස්සයෙක්ද කියලා හිතද්දී හරිම දුක හිතෙනවා. කාට උනත් ඔය ටිකනේ ඉතින්.

ඔහොම කාලෙ ගෙවිලා යද්දී එක දවසක් හවසක අපිට ආරන්චියක් ආවා ගමෙන්, "පුංචි ආත්තා නැති වෙලා ලු". අපි එදා ගමට යද්දී කළුවර වැටිලා. පුංචි ආත්තාගේ ගෙදරට ටික දෙනෙක් එකතු වෙලා හිටියා. ආත්තව ඇදක් උඩ තියලා ඉහ ඉද්දරින් පහනක් පත්තු කරලා තිබුණා. එදා ඒ මළ ගෙදරින් පස්සේ අපි එහෙ යැවුනෙම නැහැ. ගියා කියලා කවුරු බලන්නද? මම හිතන්නෙ එහෙ හිටපු හරක් ටිකත් දැන් නැහැ. විකුණලා වෙන්න ඕන.

පුංචි ආත්තගෙ නිවසත් එක්ක බැදුන සුන්දර මතක ආත්තත් එක්කම වැළලිලා ගියා කියලා හිතෙනවා. ඇගෙන් මට තෑග්ගක් හැටියට ලැබුණ ඉන්ග්‍රීසි ආණ්ඩු කාලේ පීරිසි කෝප්ප කුට්ටම විතරක් තවමත් මගේ කෞතුක භාණ්ඩ එකතුව අතරේ තියනවා.


Monday, July 8, 2013

සමුද්‍රයක් තැනූ රජෙක් - රාජාවලිය XXX

XXX කිව්වේ  30 කියන එක (දැන් කී දෙනෙක් හැරිලා යාවිද මන්දා :).






අද අපි කතා කරන්න යන්නේ කලින් ලිපියේ අවසානෙට කතා කරපු ගජබාහු රජතුමාගෙන් පස්සේ අපේ රටේ රජ පවුල්වල වෙච්ච සිද්ධි ගැන. මතකයිනේ ඒ ලිපිය පුරාම තිබුනේ මහා විජයබාහු රජතුමාගේ සොයුරිය වෙච්ච මිත්තා කුමාරිගේ පුත්තු තුන් දෙනා (මානාභරණ, සිරි වල්ලභ සහ කීර්ති ශ්‍රී මේඝ), විජයබාහු රජතුමාගේ පුතාටයි (වික්‍රමබාහු) මුණුබුරාටයි (ගජබාහු) කරපු කරදර ගැන. නිදහසේ රජ කරගෙන ඉන්න දුන්නෙම නෑ නේ. මානාභරණගේ මව විජයබාහු රජුගේ සොයුරිය වීමට අමතරව තවත් නෑ කමක් ඔවුන් අතර තියනවා. ඒ තමා මානාභරණ විවාහ කරගත්තේ විජයබාහු රජුගේ දුවක්. එහෙමත් නැත්නම් වික්‍රමබාහු ගේ සොයුරියක්. ඇය රත්නාවලී. තිලෝකසුන්දරී කියන බිසව තමයි ඇගේ මව. එහෙම බලද්දී හතුරුකම් කරලා තියෙන්නේ දෙවිදියකින්ම මස්සිනා වෙච්චි කෙනෙක්ට :)

ඉතින් මේ මානාභරණටයි රත්නාවලී බිසවටයි මිත්තා සහ පබාවතී නම් දූවරු දෙදෙනෙක් සහ එක පුත් කුමරෙක් ඉන්නවා. ඒ පරාක්‍රමබාහු කුමාරයා. නෑ කම අනුවනම් පරාක්‍රමබාහු කුමාරයා මහා විජයබාහු රජුගේ මුණුබුරා. මේ කුමාරයා කුඩා කාලේ ඉඳලම ඉතාමත් නිර්භීත වගේම දක්ෂ කම් පෙන්වපු කුමාරයෙක් ලු. මේ කාලය වෙද්දී දෙවන ගජබාහු රජතුමා පොළොන්නරුවේ රජකම් කරද්දී මානාභරණ ඇතුළු තෙසොහොයුරෝ රුහුණු රටේ පාලන කටයුතු කළා (කෙතරම් උත්සාහ කළත් තමන්ගේ නෑයින් එලවා පොලොන්නරුව අත් කර ගැනීමට ඔවුන්ට නොහැකි උන නිසා). 

ඔය අතරෙදි මානාභරණ අසනීප වී මිය යන නිසා ඔහුගේ ප්‍රදේශය පාලනය කරන්න "සංඛ" නම් සෙනෙවියෙක් යොදවන්නේ කීර්ති ශ්‍රී මේඝ විසින්. 

සැමියා නැතිව තනි වෙන රත්නාවලී බිසවට සිද්ධ වෙනවා දරුවනුත් රැගෙන ඔවුන්ගේ සොයුරා වූ සිරි වල්ලභ ලඟට යන්න. සිරි වල්ලභ ගේ බිසව තමයි "සුගලා". ඇය, විජයබාහු රජුට ලීලාවතී රැජිනගෙන් ලැබුණ දියණිය යශෝදරා ගේ දුවක්. මොවුන් දෙදෙනාගේ පුතාගේ නමත් "මානාභරණ". ඉතින් මේකෙන් වෙන්නේ මිත්තා කුමරිය සහ මානාභරණ අතරේ ප්‍රේම සම්බන්ධයක් ඇති වීම. ඒත් රත්නාවලී බිසව මේ දියණියගේ සම්බන්ධෙට කැමති වෙන්නේ නැහැ. ඇගේ අදහස උනේ ගජබාහු රජතුමාට මේ මිත්තා කුමරියව පාවා දීම. මොනවා උනත් ගජබාහු කියන්නේ තමන්ගේ සොහොයුරාගේ පුතා. ඒ වගේම රටේ රජතුමා. ඉතින් සැමියාගේ සොහොයුරාගේ පුතාට වඩා ගජබාහු කුමාරයාට කැමැත්තක් ඇති වීම සාධාරණයි නේ. මේ බව දැනගත් සිරි වල්ලභ කෝපයට පත් වෙනවා, තමන්ගේ සතුරෙක්ට මිත්තාව පාවා දීමට යන නිසා. ඉතින් සිරි වල්ලභ මොකද කරන්නේ, රත්නාවලී බිසවගේ විරුද්ධත්වය නොතකාම මිත්තාව මානාභරණට පාවා දීම. මෙයින් අසතුටට පත් වෙන රත්නාවලී බිසව, පරාක්‍රමබාහු කුමාරයාත් රැගෙන පිටත් වෙන්නේ ඔවුන්ගේ අනෙක් සොයුරා වූ කීර්ති ශ්‍රී මේඝ ලඟට. කිර්ති ශ්‍රී මේඝ ඔවුන්ව පිළි අරගෙන පරාක්‍රමබාහු කුමාරයාට ඉතා හොඳ අධ්‍යාපනයකුත් ලබා දෙනවා. 

පසුව පබාවතී කුමරියත් මානාභරණගේ බිසවක් බවට පත් වෙන අතර මිත්තා සහ පබාවතී දෙදෙනාටම පුතුන් දෙදෙනෙක්ද ලැබෙනවා. මේ අතරේ සිරි වල්ලභ මිය යන නිසා මානාභරණට ඒ වගකීම් පැවරෙනවා. 

මේ අතරේ අධ්‍යාපනය හමාර කළ පරාක්‍රමබාහු කුමාරයා පසු වෙන්නේ සිත් තැවුලෙන්. හේතුව තමයි රුහුණ සහ රජ රට අසමගිව රට දෙකඩව පැවතීම. මේ ගැන දිගින් දිගටම කල්පනා කරන කුමාරයා රහසේම මාලිගයෙන් පිට වෙලා යන්නේ රට නැවතත් එක්සේසත් කිරීමේ අරමුණින්. කුමාරයා ඒ කාර්යය පටන් ගන්නේ රුහුණේ ප්‍රදේශයක් පාලනය කරමින් සිටි සංඛ සෙනෙවියා මරා දැමීමෙන්. මෙය ආරංචි වෙන කීර්ති ශ්‍රී මේඝ කෝපයට පත් වී කුමාරයා දුර දිග නොබලා ක්‍රියා කරන බව සිතා ඔහු අල්ලාගෙන ඒමට සේනා කිහිපයක් පිටත් කළත් කුමාරයාගේ සෙබළුන් ඔවුන්ව පරාජය කරනවා. 

ඉන් පසුව රජරට බලා ගමන් කරන කුමරු ගැන ඇසූ ගජබාහු රජතුමා ඉතාමත් මිත්‍රශීලි අන්දමින් ඔහුව තම මාළිගාවට කැඳවා ගෙන විත් සත්කාර කරනවා. එලෙස මිත්‍ර වන මේ දෙමස්සිනාලාගේ සම්බන්ධය වඩාත් තර වෙන්නේ පරාක්‍රමබාහු කුමාරයාගේ තවත් සොයුරියක් වන භද්‍රාවතී ගජබාහු රජුට විවාහ කර දීම නිසා. මේ විදියට පරාක්‍රමබාහු කුමාරයා පොළොන්නරු මාළිගාවේ නිදහසේ කල් යවද්දී ගජබාහු රජතුමාට ඔහු ගැන නිතැතින්ම සැක පහළ වෙනවා. පරාක්‍රමබාහු ගේ දක්‍ෂ බවත් තේජසත් එයට බලපාන්න ඇති. මේ නිසා ගජබාහු රජුගේ හැසිරීමේ වෙනසක් ඇති වෙන අතර එය වටහා ගන්නා පරාක්‍රමබාහු නැවතත් රුහුණු රට බලා යනවා. 

කුමරුගේ සුළු පියා වූ කීර්ති ශ්‍රී මේඝ මිය ගිය පසු රුහුණේ පාලනය බාර වන්නේ ඔහුට. ඒත් ඔහුගේ අභිප්‍රාය වෙන්නේ මුළු ලංකාවටම රජු වීමටයි. මුලින්ම රුහුණ සශ්‍රික කිරීම අරඹන ඔහු පසුව වයඹ හා මලය ප්‍රදේශත් ඔහුගේ පාලනයට නතු කරගන්නවා. කුමරුගේ මී ළඟ අරමුණ වෙන්නේ රජරට යටත් කර ගැනීම. ගජබාහු රජු සමග කළ සටන් ලෙහෙසි පහසු ඒවා නොවුනත් අවසානයේ ගජබාහු රජු සිර කිරීමට ඔහුට හැකි වෙනවා. 

මේ අතර පරාක්‍රමබාහුට විරුද්ධව තවත් සතුරෙක් ක්‍රියාත්මක වෙනවා. ඒ, මිත්තාව විවාහ කරගත් මානාභරණ.  තමන්ගේ මස්සිනාට එරෙහිව සටන් වදින මානාභරණට හැකි වෙනවා ඔහුව පරදා කෙටි කලකට පොළොන්නරුවේ පාලනය අල්ලා ගැනීමට. එහෙත් නැවතත් ඔහු සමග සටන් වදින පරාක්‍රමබාහු ඔහුව පලවා හරිනවා. මේ අවසරයෙන් හිරෙන් පැන යන ගජබාහු, ගන්තලාවට පැන ගොස් සේනාව රැස් කිරීමට පටන් ගන්නවා. 

මෙන්න මේ වෙලාවේදී සිද්ධ වෙන්න යන විනාසය දැකලා වහාම ක්‍රියාතමක වෙන්නේ සංඝයා වහන්සේලා. කුමාරවරුන් එකිනෙකා මරා ගැනීමේ ආදීනව දුටු උන්වහන්සේලා තීරණය කරනවා කෙසේ හෝ මොවුන් සමගි කරවීමට. මුලින්ම ගජබාහු රජු ඒ සඳහා කැමති කරගෙන පසුව පරාක්‍රමබාහු හමුවී අනුශාසනා කරනවා. ගජබාහු රජු දැන් මහළු බවත් ඔහුට දරුවන් නැති නිසා ඔහුගෙන් පසු පරාක්‍රමබාහුට රජ කම හිමි කරගත හැකි බව පසක් කර දුන් පසු ඔහුත් සමාදානයට එකඟ වෙනවා. මේ අනුව ඔවුන් සාම ගිවිසුමක් අනුව සමාදාන වූ බවත් ඒ ගිවිසුම සංගමුව රජමහා විහාරයේ සෙල්ලිපි ගත කළ බවටත් විශ්වාස කෙරෙනවා. 

ක්‍රි. ව. 153 දී ගජබාහු රජු මියගිය පසු ඇමතියන් පිරිසකගේ උපදෙස් මත මානාභරණ නැවතත් පොලොන්නරුව අල්ලා ගැනීම සඳහා සටන් වදිනවා. එහෙත් වඩාත් බලවත් පරාක්‍රමබාහු එයින්ද ජය ගන්නවා. ඉන් නොබෝ කලකට පසුව මානාභරණ මිය යන නිසා ඔහුගේ ඇමතිවරුන් කරන්නේ මානාභරණගේ මව වන සුගලා වටා එකතු වී නැවතත් පරාක්‍රමබාහුට පහර දීම සඳහා සටන් වදින එක. පරාක්‍රමබාහු කුමරු "රක්ඛ" නම් සෙනෙවියෙකුගේ සහාය ඇතුව මේ සේනාව සමග සටන් වදිමින් ඔවුන්ව රුහුනටම හඹා යනවා. ඒ අතරේ  දන්ත ධාතුව අයත් කරගන්නා සුගලා, එය රැගෙන උරුවෙල ට පැන යන නිසා පරාක්‍රමබාහු ඇතුළු සේනාව රුහුණ පීරමින් සටන් කර ජයග්‍රහණය කරනවා. දන්ත ධාතුව නැවතත් පොළොන්නරුවට වැඩමවන ඔහු ඒකීය ලංකාවක මහා පරාක්‍රමබාහු රජු (ක්‍රි. ව. 1153 - 1186) ළෙස අභිෂේක ලබනවා. 

ඔය ආකාරයට තමයි ලක්දිව තවත් ශ්‍රේෂ්ඨ නරපතියෙක් බිහි වුනේ. රට වාරිමාර්ගයෙන්, ගොවි තැනින් සශ්‍රික කරා වගේම බුදු සසුනටත් උපරිම අනුග්‍රහයක් දක්වපු රජ කෙනෙක්. පරාක්‍රම සමුද්‍රය එහෙම කට්ටියට මතක් වෙනවා ඇතිනේ. එතකොට අර "අහසින් වැටෙන එක දිය බිඳක්වත් ප්‍රයෝජනයක් නොගෙන මුහුදට ගලා යාමට නොදිය යුතුය" කියන කියමනත් මතක ඇතිනේ...




මේ තියෙන්නේ පරාක්‍රමබාහු රජුගේ මාලිගයේ නටබුන් 



මේ පිළිමය පරාක්‍රමබාහු රජුගේ කියලා සැලකුවත් ඒ ගැන තවත් මතවාද තියන බව ඔබ දන්නවා ඇති.



මෙයින් පස්සේ සුගලාට එහෙම මොකද උනේ කියලා අපි ඊ ළඟ ලිපියෙන් බලමු.




Tuesday, June 25, 2013

විසෙන් විස නැසීම




මේ ලඟදි දවසක මට අහන්න ලැබුනා විශ්වාස කරන්නත් බැරි තරමේ අරුම පුදුම කතාවක්. වෛද්‍ය විද්‍යාවේ තවත් ආශ්චර්යයක් ගැන (ආශ්චර්යයක් කිව්වේ ඇත්තම ඇත්ත ආශ්චර්යයක්).

HIV වෛරසය කිවූ ගමන් අපිට මතක් වෙන්නේ මහා භයානක, සතුරෙකුටවත් නොහදිය යුතු ලෙඩක්. හැබැයි මේ වෛරසයෙන් අපි නොහිතන විදියේ ප්‍රයෝජන ගන්න පුළුවන් බව වෛද්‍යවරු කණ්ඩායමක් ඔප්පු කරලා තියනවා.

පුංචි "එමා" අවුරුදු 6 ක ගැහැණු ළමයෙක්. සාමාන්‍ය ගැහැණු ළමයෙක් නෙමෙයි ලියුකේමියාවෙන් පීඩා විඳින, මරණය අභියස සිටින කෙනෙක්. තවත් කළ හැකි ප්‍රතිකාරයක් ඉතිරි නොවූ තැන වෛද්‍ය විද්‍යාවේ අමුතුම ආකාරයේ පරීක්ෂණයකට ඇයව ලබා දෙන්න එමාගේ දෙමව්පියන් කැමති වෙනවා. ඒ පරීක්ෂණය තමයි HIV වෛරසය යොදාගෙන ලියුකේමියා පිළිකා සෛල නැසීම.

තව දුරටත් රෝගකාරකයක් විය නොහැකි වන පරිදිත් එහෙත් පිළිකා සෛල වලට පහර දීමට හැකි වන පරිදිත් වෙනස් කළ HIV වෛරසය එමාගේ සිරුරට ඇතුල් කරනවා. එයින් පසු ඇයට උණ, හුස්ම ගැනීමේ අපහසුතා, රුධිර පීඩන වෙනස් කම් වැනි දේවල් වලින් දින ගණනක් කරදර විඳින්න සිද්ධ වෙනවා. කෙසේ උනත් ඇය නිසැකවම මිය යාමට සිටි දැරියක් බව හැමෝම දැන සිටියා. කොයි අතින් උනත් විය හැකි දරුණුම දේ මරණය...

නමුත් එක වරම වෛරස් සෛල වර්ධනය වී පිළිකා සෛල විනාශ කිරීමට පටන් ගන්නවා. ඉන් පැය කිහිපයකට පසු එමාගේ උණ සම්පූර්ණයෙන් බැස යනවා. ඇය ඇඳෙන් නැගිටින්නේ ලියුකේමියාවෙන් සම්පූර්ණයෙන් නිදහස් ළමයෙකු ලෙස.

මේ තියෙන්නේ ඒ ගැන පුංචි වීඩියෝවක්. වැඩිය දිග නැහැ. විනාඩි 3.30 යි.




සමහර විට තොටියා අයියා එහෙම මේ පැත්තේ ආවොත් වැඩි විස්තර කියාවි. මටනම් ඒ තරම් වෛද්‍ය විද්‍යාව ගැන දැනුමක් නෑ මේවා පැහැදිලි කරන්න.

කොහොම උනත් පුදුමයි නේද? විසක් උනත් තවත් විසක් නසන්න ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.


Related Posts Plugin for WordPress, Blogger...