Thursday, March 22, 2012

රිදවන මතකය ගුලි කර මහ සයුරට දමන්න

දානවා කියලා හිතාගෙන හිටපු පෝස්ට් එක මග නවත්තලා වෙන පෝස්ට් එකක් දාන්න සිද්ධ උනේ මේ දවස්වල උන සිද්ධි කිහිපයක් හින්දා ඔලුව සම්පූර්ණයෙන් අවුල් උන නිසා.

ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව සම්මත වීම ගැන එක එක අය එක එක අදහස් දක්වනවා. අනේ මන්දා ඉතින්, මේ ගැන කතා කරන්න යන එකේ නම් තේරුමක් නැහැ. බලවත් රටවල් වලට අපේ ඔලුවට අත හෝදන්න පුළුවන් වෙන විදියට වැඩ කරා නම් අපේ පාලකයොත් මෙතැනදී වැරදියි. මව් බිම ට විරුද්ධව බටහිර ට ගැතිකම් කරන ලාංකිකයින් කියලා කියා ගන්නා අයත් වැරදියි. අනුන්ගේ ඇහේ තියන රොඩ්ඩ හොයන්න යන ඇමරිකාවත් අන්තිම වැරදියි. සේරටම වඩා මටනම් තද උනේ මෙලෝ දෙයක් නොදැන ඇමරිකාව "යස්" කිව්වොත් "යස්" කියන්න බලාගෙන ඉන්න ලංකාවට විරුද්ධව චන්දෙ දීපු අනිත් සමහර රටවල් එක්ක.

ඇත්තටම ඔය උල්ලංගනය කරා කියන මානව අයිතිවාසිකම් ගැන මම නම් වැඩිය දන්නේ නැහැ. කිසිම සිවිල් මිනිහෙක් නොමැරෙන විදියට "යුද්ධයක්" කරන්න පුලුවන්ද කියලත් මම දන්නේ නැහැ. පහුගිය අවුරුදු 30 ඇතුලත කිසිම මානව අයිතිවාසිකමක්‌ උල්ලංගනය උනාද කියලා මෙයාල හොයල බැලුවේ නැත්තේ ඇයි කියලා දන්නෙත් නැහැ. යුද්ධේ ඉවර කරාට පස්සේ විතරක් උඩ දාගෙන කෑ ගහන්නේ ඇයි කියලා හිතා ගන්නත් බැහැ.

හරි ඒ කතා පැත්තක තියමුකෝ. උන දේ උනා. දැන් අඬලා පලක් නැහැ නේ. ඕවා මේවා හිත හිත ඉන්නකොට තමයි පහල තියන වීඩියෝව අහම්බෙන් දැක්කේ.

පුනරුත්ථාපනය කරන ලද කොටි සාමාජිකයෙක් (ගෝකුලන්) සිංහල ගීතයක් ගායනා කරනවා. මෙහෙයවන්නා සමග පොඩි සංවාදයකුත් යනවා. ඇත්තටම මේක බලන් ඉද්දි මට හිතා ගන්න බැරි උනා මෙයා ඇත්තටම කොටි සාමාජිකයෙක් වෙලා ඉන්න ඇත්ද කියලත්. මුලින්ම ඒක බලල ඉන්නකෝ...





"හන්දානට පායන හඳ ලස්සනා..යි ද කෙයන්න..."

කොයි තරම් අව්‍යාජ ද? කලාතුරකින් තෙත් වෙන මගේ ඇස් දෙකට කඳුළු ගේන්න මේ වීඩියෝවට පුළුවන් උනා.

ඒ හිනාව, කතාව ඒ හැම දෙයක්ම දකිනකොට කොහොමද හිතන්නේ මේ අපේ රටට වින කරපු කොටි සාමාජිකයෙක් කියලා. සංවිධානයට ඔහුව බලෙන් ගෙන ගිය බවක් තමයි ඔහු කියන්නේ. මේ වගේ කී දෙනෙක් අහිංසක දමිළ තරුණ තරුණියන් කොටි සංවිධානයට පැහැර ගෙන යන්න ඇත්ද. ගැළවීමක් නැති කමටම කොටි සංවිධානයට එකතු වෙලා අපේ මිනිස්සු අතින් "කොටියෝ" කියලා හංවඩු ගැහෙන්න ඇත්ද. ඔවුනුත් මිනිස්සු. ඔවුන්ගේ ලේ ත් රතු පාටයි. ලෙඩෙක් ට ලේ දෙන්න ඕන උනාම ඒවා ඕ පොසිටිව් ද නෙගටිව් ද කියලා බලනවා මිසක් දෙමළ ද සිංහල ද කියලා බලන සිරිතක් නැහැ.

අසරණ කම නිසා ජිවිතේ වැරදුනු ගෝකුලන් වැනි අයට දෙවැනි වරට ජීවත් වෙන්න අවස්ථාවක් ලබා දීපු අපේ මිනිස්සුන්ට අපි කෘතඥ වෙන්න ඕන. දැන් දැන් ඉදි වෙමින් පවතින උතුර දකුණ යා කරන අත්වැල තවත් සවිමත් කරන්න අපිත් දායක වෙන්න ඕන. කැඩිලා ඉහිරිලා ගිහින් තිබුණු පවුලක් ආපහු එකතු වෙන වෙලාවෙදි ඒක මැද්දට කාටවත් පනින්න අවස්තාව නොලැබෙන විදියට වැඩ කරන්න පවුලේ ලොකු උදවිය හිතට ගන්න ඕන. අන්න එතකොට ලංකාව දාලා ගියපු කුරුල්ලා "සාමයේ පරවියා" ආපහු අපිට දකින්න පුළුවන් වේවි.

"සාමය අත වනනා කල එපා අහක බලන්න...
...රිදවන මතකය ගුලි කර මහ සයුරට දමන්න"

123 comments:

  1. සයුරී ඔයාට වගේම මගේ ඇස් දෙකට කඳුළු ඉනුවා කියවද්දී . ඒවගේම සින්දුව අහනවිට වෙනදට නොදෑනෙන හැඟීමක් ඇති උනා .
    …වීඩියෝ එක කලින් දැක තිබුනේ නෑ . ඔබට බොහොම ස්තූතියි සොයුරියේ .

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කමෙන්ට් එක දැක්කම මටත් සතුටුයි ගිම්හානි...ඔයාට හරියටම ඒක දැනිලා තියනවා. මේක අහද්දී මටත් ඇති උනේ කවදාවත් නොදැනුනු හැඟීමක්. බොහොම ස්තුතියි ඔයාට...

      Delete
  2. ‍'කලාතුරකින් තෙත් වෙන මගේ ඇස් දෙකට කඳුළු ගේන්න මේ වීඩියෝවට පුළුවන් උනා.'
    මේක කියවද්දී මට පුදුමත් හිතුනා අක්කේ. ඒකට මම හෝගාන පොකුණවගේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්..අනේ මන්දා නංගෝ ගොඩක් දේට අඬන්නේ නැති උනාට මේ වගේ සියුම් තැන් වලදී නම් මටත් කඳුළු එනවා

      Delete
  3. අය්යෝ මමත් ඇඬුවා සයුරී....
    ගොඩාක් ස්තූතියි ඔයාට.

    //දැන් දැන් ඉදි වෙමින් පවතින උතුර දකුණ යා කරන අත්වැල තවත් සවිමත් කරන්න අපිත් දායක වෙන්න ඕන. //

    සම්පූර්ණ ඇත්ත කතාවක් කියලා තියෙන්නේ. මෙයත් ලාංකිකයෙක්නේ.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩිටත් හොඳ සංවේදී හිතක් තියනවා වගේ...අනේ ඇත්තටම අපි කවුරුත් ලාංකිකයෝ නේ..

      Delete
  4. මම ආසම 'එපා අහක බලන්න ' කියන ටිකට.
    ඒක කියන හැටි බලන්ටකෝ. :)

    ReplyDelete
    Replies
    1. හි හි..එතන හෙන හැඟීම් බර විදියට කියන්න ට්‍රයි එක දෙනවා නේද :)

      Delete
  5. කොච්චර නම් අව්‍යජාද??
    කුහක දේශපාලනය නිසා අනාථ වෙච්ච තවත් ජීවිතයක්!ඔහුට යලිත් ඔහු පතන ජීවිතය ලැබේවා!

    ReplyDelete
    Replies
    1. දේශපාලනය ඉතින් කවදත් කුහකයි නේ...නුවන් මේ පැත්තේ ආපු පලවෙනි වතාව නේද?

      Delete
  6. මොළයයි, හදවතයි දෙකටම එකවගේ දැනුන ලිපියක්!

    ඔබේ අවසරය ලැබුනොතින් මේ ලිපිය ඊමේල් හරහා යහලුවන් සමඟ බෙදා ගැන්මට කැමතියි.

    ReplyDelete
    Replies
    1. ගංගාවේ ගීතය...ලස්සන නමක්..ඔයාව සාදරයෙන් පිලිගන්නවා පහන්යාය ට..

      ඔයා කැමති විදියට මේක බෙදා ගත්තාට මගේ කිසිම අකමැත්තක් නැහැ :) ඒක මට සතුටක්..

      Delete
    2. බොහොම ස්තූතියි! :)

      Delete
  7. සුභ පැතුම් ගෝකුලන්...!!!
    බටහිර රටවල් මානව හිමිකම් ලේබල් එකෙන් මේක කලාට අරමුණ වෙන්නෙ රට අස්ථාවර කරල බෞද්ධාගමික පදනම නැති කරල සර්වාගමික පදනමක් ගෙනල්ල රට කෑලි කෑලි බෙදල විනාශ කරල දාන එක. එහෙම නැතුව මුන් දෙමළ ජනතාවට ආදරේ නෑ, සිංහල අපේ මනුස්සකං නිසා ගෝකුලන්ල අද මෙහෙම හිනාවෙනව. වෙන ජාතියක් එක්ක යුද්ධ කලා නම් මෙයාල වැළලෙන්නෙ පණ පිටින්. ඒක අපිට විරුද්ධ වෙන කොයි කවුරුත් හොඳාකාරවම දන්නව, ඒත් ගතමනාව ලොකුයිනෙ ඊට වඩා. ඇමෙරිකාව නොම්මර එකේ ගල් ආඳා, ඒක නිසා අපිට විපක්ෂව ඡන්දෙ දීපු රටවලුත් ටිකක් පරිස්සම් වුනොත් හොඳයි දැන්, ඇමෙරිකාවටත් පරිස්සම් වෙන්න වෙයි. ඒ මොකෝ උඹලට ප්‍රශ්නයක් වුනොත් අපි කොහොමත් නෑ, රුසියාවත් නෑ, චීනෙත් නෑ. බමුණ හිටියට ඌ ෂුවර් නෑනෙ, තමිල්නාඩුව කේස් එකක් ඇද්දොත් බමුණත් නෑ.. අක්කට ජය ශ්‍රී...!!!

    ReplyDelete
    Replies
    1. රුසියාවට ඉස්සර වගේ පන තිබ්බ නම් කියල හිතෙන්නේ මේ වෙලාවට නේද . කොහෙද අර ගොර්බචෝව් ලොක්ක වැඩේ කෑවා. චිනේ නැත්නම් අද කොයි ලොක්කත් වැටෙනවා . ඉන්දියාව තරහයි චිනේ එක්ක . චිනේ අපි එක්ක යාලු වෙද්දී ලොකු අය්යා අකමැතියි . මේවා නාඩගම් . තව අවුරුදු ගානකට පස්සේ ඉතිහාසය ඉගෙන ගනිද්දී මේ අකටයුතු . නාටක . විහිලු අපි වෙන විදිහකට දකියි

      Delete
    2. ඇත්තටම ඒක තමයි ඇත්ත කතාව...දැන් මෙතන ඇවිත් මානව හිමි කම් හෙව්වට යුද්ධේ තිබුණු කාලේ ඕවා ගැන එකෙක්වත් හෙව්වද? මට පේන විදියට තුන් වෙනි ලෝකේ රටවල්වල යුද්ධ තියන තරමට ඇමරිකාව කැමතියි. දැන් උන්ට කොහොම හරි ඕන කම ඇති ලංකාවටත් රිංග ගන්න. හැම වෙලේම තමන්ගේ වල ම ඉහ ගන්න හදන ඇමරිකාව නම් මහා එපා කරපු රටක්...ඉස්සර ඉඳලම...

      අපෝ ඔය බමුණා නම් මතක් කරන්න එපා :)

      Delete
    3. බින්දි,

      ඔය පාහර සුනඛයන්ට "ලොකු අයියා" යි අමතනවට නම් මම සම්පූරණයෙන්ම විරුද්ධයි. ලොකු අයියලා මෙහෙමද තමන්ගෙ නංගිට සළකන්නේ? දෙපිටකාට්ටුවො.. ඕක ඔකුන්ගේ ජාන වලම තියන බලු ගතියක්.. ඕකුන් එක්ක එකට වැඩ කරන නිසා උන් ගැන හොඳ අවබෝදයක් තියනවා. උන් කොහෙත්ම කැමති නැහැ ලංකාව ආයෙ ඔලුව උස්සනවට. ලංකාව විතරක් නෙමෙ වටේ පිටේ තියන එක රටක්වත් යහතින් ඉන්නවට ඉන්දියන් කාරයෝ කැමති නැහැ.

      Delete
  8. මේ ලිපිය දාපු එක ගැන මගේ ස්තූතිය සයුරි. ඇත්තෙන්ම මේක තමා වෙන්ඩ ඕනා. දෙපැත්ත අතර අන්‍යොන්‍යය අවබෝධය වැඩි වීම තමා අත්‍යවශ්‍ය. ඒත් දෙපැත්තෙම ඉන්න පටු අරමුණු තියන බලු දේශපාලඥයෝ නිසා මේක තව දුරටත් ඇදි ඇදී යන බවක් තමා පේන්ඩ තියෙන්නේ..

    මානව හිමිකම් වෙනුවෙන් කෑ ගහන අය්යලට නම් යටි අරමුණු තියන බව සක්සුදක් සේ පැහැදිලියි.. 89/89 කාලේ ප්‍රසිද්ධියේ උල්ලංඝණය උනු මානව හිමිකම් ගැන මීක් නොකියක උන්, ත්‍රස්තවාදීන්ගේ මානව හිමිකම් ගැන කතා කරන එක විහිලුවක්.. ලොකුම විහිලුව උන් ඒවා මහාපරිමාණයෙන් උල්ලංඝණය කරමින් අපිට බණ කියන එකයි..

    කට්ටිය ලොකු අයියා කියමින් වන්දනාමාන කරන ඉන්දියන් සුනඛයාගේ හෙලුව ඊයේ අපූරුවට විවර උනා. දැන්වත් අපේ ඔලමොට්ටල පාලකයන්ගේ ඇස් අරී කොන්දට පනක් ලැබේවායි පතමි !!

    ReplyDelete
    Replies
    1. // 89/89 කාලේ ප්‍රසිද්ධියේ උල්ලංඝණය උනු මානව හිමිකම් ගැන මීක් නොකියක උන්//

      හරියට හරි...මාත් බැලුවේ මෙයාලා මේ එක පාරට පත්තු උනේ මොකද කියලා...ඔයා කියනවා වගේ ඒවා මහා පරිමානෙන් කරන උන් තමයි අනුන්ගේ ඇහේ තියන රොඩු හොයන්න එන්නේ. ඇත්ත කතාව වෙන එකක්. උන් අපි කාටවත් ආදරේ නැහැ. වෙන යටි අරමුණක් තියෙන්නේ මෙතන.

      පාලකයොන්ගේ වැරදිත් මේවට බලපානවා ඇත්තටම...

      Delete
  9. //"සාමය අත වනනා කල එපා අහක බලන්න...
    ...රිදවන මතකය ගුලි කර මහ සයුරට දමන්න"//

    නියමයි සයුරි... මේකෙන් ගන්න ඕනේ දේ මේ පේලි දෙකේ තියෙනවා... ඇත්තටම මං නම් කියන්නේ අපේ ලංකාවේ මිනිස්සු මෝඩයි... තමන් බලයට පත් කරපු පාලකයන්ගේ හොඳ ගැන වර්ණනා කරනවා වගේම වැරදි ගැනත් වගකියන්නේ ඕනේ තමන් කියලා එයාලට අමතකයි. තමන් ගෙනාපු ජනාධිපති යුද්දේ ඉවර කලාම රජ තනතුරෙන් පුදන මිනිස්සු ඇයි රජාව විවේදනය කරන්න බය ??? රටක පාලකයෝ කියන්නේ ජනතාවගේ නියෝජනය !!! නැතුව ඒකාධිපතියෝ නෙවෙයි. ජනතාව නියෝජනය කරමින් රට වෙනුවෙන් නිවැරදි තීන්දු ගන්නයි එයාලව පත් කරලා තියෙන්නේ. පරම්පරා ගාණකට හම්බකර ගත්තත් මට නම් කමක් නෑ. හැබැයි තමන්ගෙන් වෙන්න ඕනේ දේ ඉටු කරලා...

    මම පුද්ගලිකය ෆොන්සේකා මහත්මයාගේ දර්ශණයට කැමති නෑ. ඒත් මේවා ඇහෙද්දී පේද්දී හිතෙනවා ලංකාවෙත් හමුදා පාලනයක් තිබ්බ නම් ! කියලා !!!

    ඔන්න මමත් මේක share කරනවා... ස්තුතියි රට වෙනුවෙන් යුතුකම ඉටු කලාට !!! ජය !!!

    ReplyDelete
    Replies
    1. මමත් අකමැතියි ඒ ක්‍රමයට..වැරදි දේ දැක්කම විවේචනය කරනවානම් කවුරු උනත් තමන් කැමති හැටියට නටන්නේ නැහැ නේ. යුද්ධයෙන් පස්සේ පාලකයින්ගේ ක්‍රියා පිළිවෙත නම් අන්තිමයි. ඒකත් ලොකු හේතුවක් තමයි මේ ප්‍රශ්න වලට.

      ඔයාගේ අදහසට බොහොම ස්තුතියි චතුරංග. ෂෙයාර් කරාටත් ස්තුතියි :)

      Delete
  10. සයුරි ඔයාට කොහොම ස්තූති කරන්නද කියල ම්තා ගන්නවත් බැහැ. මේ පුංචි කොල්ලා අපි හැමෝම ඇඬෙව්වානේද....ඔයවාගේ අහිංසක , අසරන දෙමළ ළමයි කොච්චර ඉන්නවද.අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ කියල හිතාගත්තම හරි ......

    ReplyDelete
    Replies
    1. ඔයාටත් බොහොම ස්තුතියි නීතා...ගොඩක් අයට මේ දේ දැනෙන සංවේදී හිත් තියන එක ගැන නම් හරිම සතුටුයි. ඔවුන් ඒ හැම දේම අමතක කරලා නම් අපිටත් එහෙම කරන්න බැරි නැහැ නේද...ඔයා මෙහෙ ආපු පලවෙනි වතාව මම හිතන්නේ..සාදරයෙන් පිළිගන්නවා ඔයාව.

      Delete
  11. office eke neda inne kiyalaa hithune naha mata meka dakiddi adunaa. :(
    me asaranayanta api pihita wenna onaa. :(

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා මේ වගේ තවත් අයත් ඕන තරම් ඇති :(

      Delete
  12. Tamil kenek kiyalaa kiyanna puluwan katahadin witharai

    ReplyDelete
    Replies
    1. මෙයා ෆිල්ම් එකකත් රඟ පෑවා ලු. "සෙල්වම්" කියලා එකක්.

      Delete
  13. සම්පුර්ණ ඇත්ත අක්කේ.. ප්‍රශේණ් ඔය කෑ ගහන ලොකු රටවල් මේවා ගැන ඇයි නොදකින්නේ කියන එක.. එහෙම උනානම් අද මේ වගේ ප්‍රශ්ණ නෑනේ..

    ReplyDelete
    Replies
    1. නොදකිනවා නෙමේ . දැක්කත් අහක බලනවා

      Delete
    2. ඔව් මල්ලි..බින්දී අක්කා හරි..

      Delete
  14. මානව හිමිකම් ප්‍රශ්නයේ අගමුල මට තාමත් හොයාගන්න බැරිවුන නිසා ඒ ගැන නම් මොකුත් කියන්නෙ නෑ..
    ඒත් ගෝකුලන්ට ලස්සන අනාගතයකට සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ගෝකුලන් ට ලස්සන අනාගතයක් තියේවි කියලා මාත් හිතනවා. මානව හිමිකම් ප්‍රශ්නේ නම් පටලැවිල්ලක් තමයි..

      Delete
  15. ගෝකුලන්ට මමත් සුභ පතනව! :) .............................................................................

    ReplyDelete
    Replies
    1. ගෝකුලන් වෙනුවෙන් මගේ ස්තුතිය :)

      Delete
  16. මම මේ බ්ලොග් එකේ දාන පලවෙනි කමෙන්ට් එක සයුරි...
    ඉතාම ලස්සනට ලියලා තියනවා..
    ඉස්සර සෙල්වම්ලා,මොහොමඩ්ලා, අපේ සහෝදරයො වගේ එකමුතුව හිටියා.
    අර ප්‍රභාකරන් කියන මානසික ලෙඩා ඇවිත් ඒ ඔක්කොම විනාශ කරලා දැම්මා.
    තාමත් උගේ අවතාර තැනින් තැන මතුවෙනවා..
    පර සුද්දන්ගෙ මොනා යෝජනා සම්මත වුනත්, ගෝකුලන්ලා , අපි එකට සතුටු වෙන කාලය නොබෝ දිනකින් උදාවෙනවා.

    ReplyDelete
    Replies
    1. තරූ ව සාදරයෙන් පිලිගන්නවා පහන්යාය ට. බොහොම ස්තුතියි ඔයාගේ සටහනටත්. මානසික ලෙඩ්ඩු කීප දෙනෙක් නිසා අපි දෙපිලකට බෙදිලා හිටියට ඔයා කිව්වා වගේ හැමෝම එකට සතුටු වෙන දවසක් කවදා හරි ඒවි. ඉඳලා හිටලා මතුවෙන අවතාර ත් නැති වෙලා යාවි කියලා හිතමු.

      Delete
  17. මේ කොල්ලා හොඳම සාක්ෂියක් ලංකාවේ මිනිස්සුන්ගේ මානුෂිකත්වය ලෝකෙටම කියන්න....ඇත්තටම හිතාගන්න බෑ......මම මේ දැක්කමයි මේ සිද්ධිය... ඇමෙරිකාව හදන්නේ චීනෙට අභියෝග කරන්න පුළුවන් බලකොටුවක් ලංකාවේ හදන්නලුනේ...කමක් නෑ තාම බලවතුන් ඉන්නේ අපි එක්ක...මහින්ද මාමා ඉන්දියාවෙදි කිව්වානේ ඉන්දියාව කියන්නේ ලංකාවේ ලොකු අයියා කියලා නොදකිං විතරක්...මට නම් පොඩි කාලේ ඉඳන් ඉන්දියාව පේන්න බෑ

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ගැමියා ඇමරිකාවට තියෙන්නේ ඒ විදියේ පහත් යටි අරමුණක් තමයි. චීනේ අපිට සහය දුන්නෙත් ඒක වෙන්න ඇති. අපොයි ලොකු අයියා නම් මරු. මල්ලිට කරපු වැඩේ නියමයි...හැබැයි අපේ ඇමතිලා කිව්වලු නේද ඉන්දියාවත් එක්ක සම්බන්ධය අත අරින්නේ නෑ...එයාල එහෙම චන්දෙ දුන්නේ අභ්‍යන්තර ප්‍රශ්නයක් නිසා කියලා. කාට කියන්නද මේවා...

      Delete
  18. කියන්න දේ අපමණයි . අද මට හිතක් නැහැ වැඩිය ලියන්න . ඒත් වියට්නාම නිව්ස් වල තිබ්බ මේ පොඩි කොටස කියවන්න . MK බෝම්බ මොනවද කියල අන්තර්ජාලයෙන් කැමති නම් බලන්න පුළුවන් . ඒජන්ට් ඔරේන්ජ් නිසා තවම අබාධිත ළමයි උපදිනවා . දාපු බෝම්බ තවම නිෂ්ක්‍රිය කරනවා . ඒ 1975 ඉවර වුන යුද්ධෙකට පස්සේ .

    http://vietnamnews.vnagency.com.vn/Miscellany/222479/bombs-discovered-in-southern-provinces.html

    කවුරුත් අමරලා සාමලට වත් ගෝකුලන්ලට වත් ආදරේ නැහැ . ආදරේ ලෝක දේශපාලනය කියන අසික්කිත සෙල්ලමට විතරයි .

    ReplyDelete
    Replies
    1. අනේ ඇත්තට ඇමරිකාව කරපු පව් කවදා ගෙවල ඉවර කරන්නද මන්දා...රටවල් කීයකට වද දුන්නද

      //කවුරුත් අමරලා සාමලට වත් ගෝකුලන්ලට වත් ආදරේ නැහැ . ආදරේ ලෝක දේශපාලනය කියන අසික්කිත සෙල්ලමට විතරයි .//

      නියම කතාව අක්කා....ඒ වැඩේ කරගන්න ඉස්සරහට දාන හේතු දැක්කම හිතෙනවා මේ අය කොච්චර පහත තත්වෙකද ඉන්නේ කියලා..

      Delete
  19. "රිදවන මතකය ගුලි කර මහ සයුරට දමන්න " කියන්න ඕනේ දේ හරියටම කියල තියනවා කියලයි මටනම් හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පැතුම් මල්ලි :)

      Delete
  20. ගොඩක් වටින ලිපියක් යාලුවා....වීඩියෝ එක බලන කොට නම් අමුතුම හැගීමක් දැනුනා...අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ කියන එක අමතක නොවෙනවනම් මොන තරම් හොදද?

    ReplyDelete
    Replies
    1. කුබූ..ඔයාවත් සාදරයෙන් පිළිගන්නවා පහන්යාය ට...ඔව් අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ නේද. ඉතින් අපි මොනාටද පිල් බෙදෙන්නේ...බොහොම ස්තුතියි ඔයාගේ සටහනට.

      Delete
  21. පශ්චාත් යුධ කළමනාකරණයේ දුර්වලතාවයක් හින්ද තමයි ජිනීවා වලදි ලංකාවට "ඡන්දයකින්" පරදින්න සිද්ධවුනේ. ලංකාව නිශ්චිතවම පැරදිලා නැහැ තවම...
    තවදුරටත් අවස්ථාව තියෙනවා වෙච්චි වැරදි නිවැරදි කරගන්න...
    යුද්ධයකදී මුලින්ම විනාශවෙන්නෙ මනුස්සකම....එතකොට පශ්චාත් යුධ සමයේදී මුලින්ම රෝපනය කළයුත්තේත් මනුස්සකමයි. ඒක හමුදාවට කරන්න පුළුවන්දෙයක් නෙවෙයි. කලාකරුවන්- මාධ්‍යවේදීන් - හදාරන්නන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්...(NGO හොර නඩේ නෙවෙයි) මෙතනදි මූලික වෙන්න ඕන. රිදුන සිත් සුවපත්කිරීමේ වගකීම බාර වෙන්නෙ ඔවුන්ට. වෛද්‍යවරුන් ඔවුන්ගේ යුතුකම් ඉටුකරන්න ඕන...
    නිලධාරින්, ඇඳිවත හැර කිසිවක් නැතුව ආ මිනිස්සුන්ට ඔවුන්ගේ දේපල ආදීය නිරවුල් කරලා දෙන්න ඕන. දේශපාලකයො කරන්න ඕන ඊට තියෙන බාධා ඉවත්කිරීමයි.ව්‍යාපාරිකයො- ව්‍යවසායකයො හැකිපමණින් ඔය ප්‍රදේශවල ආයෝජනය කළ යුතුයි., ඒ ජනතාවගේ රැකියා අවස්ථා ස්ථාවර කරලා ජීවිත සුරක්ෂිත කරන්න ඔවුන්ට කළහැකි හැමදේම කළ යුතුයි. හමුදාව ඉන්න ඕන මේ සියල්ලටම පිටුපසින් (එහෙත් විමසිලිමත්ව) මේ සියල්ලම එකම මධ්‍යස්ථානයකින් කළමනාකරණය වෙන්න ඕන.

    ඔය ඔක්කොම හරියට කරන්නනම් ආණ්ඩුවේ සාපේක්ෂ පිරිසිදුකමවත් පෙනෙන්න තියෙන්න ඔන. කුඩ්ඩො,තුට්ටු දෙකේ චණ්ඩි මහා පරිමාන දූෂකයො රෙද්ද අස්සෙ දාගෙන ආණ්ඩුවට පෙන්නන්න පුළුවන් පිරිසිදුකමක් නෑ.(අනික ආණ්ඩුවේ ඉහළම තැන් වල කෙරෙන දූෂණ මගෝඩි රටවැසියන්ට තවදුරටත් රහසක් නෙවෙයි)

    සයුරිගේ කාව්‍යාත්මක භාෂාවත් අදහස් ගොනුකරලා තියෙන පිළිවෙලත් නිසා මේ පෝස්ට් එකෙන් අපේක්ෂිත කාර්යය ඉෂ්ඨ වෙලා තියෙනවා, කමෙන්ට් වලින් ඒක පැහැදිලි වෙනවා. හැමෝටම ඇඬුනයි කියන්නෙ වටිනාකමක් ඇති කඳුළු පිටවුනා කියන එකයි. ඒක හොඳ දෙයක්....

    ReplyDelete
    Replies
    1. ඉතාම වටිනා අදහස් ටිකක්. අපේ පාලකයෝ ඔබ වගේ නොහිතන එක අපේ අවාසනාව. ඇත්තටම ඒ මිනිස්සුන්ගේ හිත් සුවපත් කරන එක තරමක් දුරට හරි සිදු උනා කියලා මම හිතනවා.

      //ඔය ඔක්කොම හරියට කරන්නනම් ආණ්ඩුවේ සාපේක්ෂ පිරිසිදුකමවත් පෙනෙන්න තියෙන්න ඔන//

      මෙන්න මේක තමයි අපිට අඩු උනේ. යුද්ධෙන් පස්සේ එයාලා හැසිරුනේ "ආ..යුද්ධේ දිනපු නිසා දැන් මේවා අපේ බූදල්" කියන්න වගේ. ඉතින් මේ වගේ ප්‍රශ්න එන එක අහන්න දෙයක් නෙමෙයි. යුද්ධේ ඉවර කරලා ජනතාවගෙන් ලබා ගත්ත හොඳ නම ආපහු කැත කර ගත්තා ආණ්ඩුව.

      ඔබේ ඇගයීමට බොහොම ස්තුතියි. ඇත්තටම කමෙන්ට් ටික දැක්කම මට පුදුම සතුටක් දැනුනා. හැමෝටම හොඳ සංවේදී හිත් තියනවා වගේ...

      Delete
  22. ආව කියෙව්වෙ නං නෑ, හෙට දිහාට ආයෙත් එන්නං.... :-)

    ReplyDelete
    Replies
    1. නෝ ප්‍රොබ්...පස්සේ වෙලාවක එන්ටකෝ එහෙනම් :)

      Delete
  23. සෝමෙ, කාසිම් මොහමඩ්, සුන්දරම්,එක්කම ගෝකුලන් සෝයුර, එන්න අපිත් එක්ක අපි තල් කොලයයි පොල් කොලයයි එකට තියල කලාලයක් වියමු. එක දවසක එක හැන්දෑවක, ඉර බැහැගෙන යන වෙලාවක පොල් රුප්පාවට යටින්, එහෙමත් නැත්නම්, තල් රුප්පාවට යටින් ඒ කලාලයේ වාඩිවෙලා හද පායන හැටි බලමු. ඒ හඳ එලිය වෙනදාට වැඩිය ලස්සනට පෙනේවි. තෙන්නමනරන් කලපුව ළඟදි වගේම කල්ලඩි පාලම ළඟදිත් සින්දු කියන මාලුවෝ අලුත් ගීත ගයාවි.එන්න අපි ඔක්කොම එකතුවෙලා සිරීපාදෙත් යමු.

    උඹේ හිතෙත් මගේ හිතෙත් කිසිම කහටක් නැත්තටම නැති වෙච්ච දවසක මේ කුහක දේශපාලන මතිමතාන්තර පාගාගෙන අලුත් ඉරක් පායාවි..

    මේ සටහන හවස ලිව්වත් කියෙව්වෙ අද උදේ පාන්දර 5.30 විතර දවසෙම මතකයේ තිබුණෙ ගොකුලන්ගෙ ගීය මේ ලිපිය කියෙව්වම දැණුනු සතුට දවසෙම තිබුණා.

    ReplyDelete
    Replies
    1. බොහොම සුන්දර, සංවේදී වචන ටිකක්. ඇත්තටම ලස්සනයි. මට මැවිලාත් පෙනුනා :)

      //උඹේ හිතෙත් මගේ හිතෙත් කිසිම කහටක් නැත්තටම නැති වෙච්ච දවසක මේ කුහක දේශපාලන මතිමතාන්තර පාගාගෙන අලුත් ඉරක් පායාවි..//

      ඒ වගේ දවසක් ඉක්මනටම එයි කියලා අපි හිතමු.

      මමත් මේ වීඩියෝව 10 පාරක් විතර බැලුවා. අමුතුම හැඟීමක් තමයි දැනුනේ. බොහොම ස්තුතියි ඔබේ ලස්සන සටහනට.

      Delete
  24. පෝස්ට් එකේ මුල කොටස කියෝලා වීඩියෝ එක ගාවට එනකොට මම් හොටු හූර හූර ඇඬුවා !! වෙන මොකවත් හින්දා නෙමේ මට ඔයා ලස්සනයි ලස්සනයි ලස්සනයි කියපු වීඩියෝ එක ලෝඩ් උනේ නැති හන්දා !!!

    වැඩිය කතා ඕනැන්නේ නෑ අක්කේ. අච්චර අපේ අසල්වැසි රට වෙච්ච ඉන්දියවත් අපිට විරුද්ධව ඡන්දේ දුන්නා නෙව !

    ReplyDelete
    Replies
    1. අයියෝ සල්ලි..බලන්න බැරි උනාද?

      මේ ලින්ක් එකට යන්න පුලුවන්ද බලන්නකෝ.

      http://www.youtube.com/watch?v=cX3JGJu1uZw&feature=player_embedded

      ඔය වගේ අසල්වැසියොන්ට වඩා හොඳයි බලු කුක්කෙක් අරන් හදා ගන්නවා :ද

      Delete
    2. ලින්ක් එකේ අවුලක් නෙමේ දරුවෝ !!! මේක කනෙක්ෂන් අවුලක් !!!! කනෙක්ශන් එක පට්ටම ස්ලෝ !!!

      Delete
    3. ඒක මිසක් කියලා හිනාත් වෙනවා :(

      Delete
  25. ඒ වීඩියෝ එක හරිම ලස්සනයි තමා.. ඒක බලද්දි හරි අමුතු හැඟීමක් එන්නෙ...

    //සාමය අත වනනා කල එපා අහක බලන්න...
    ...රිදවන මතකය ගුලි කර මහ සයුරට දමන්න//

    ඇත්ත අක්කෙ... රිදවන මතක එක්ක සදාකලිකවම ඉදලා පලක් නෑ..

    ReplyDelete
    Replies
    1. //ඒක බලද්දි හරි අමුතු හැඟීමක් එන්නෙ//

      ඔව් හිතු...ඒක සතුටක්ද දුකක්ද මොකක්ද කියලා මටත් හිතා ගන්න බැහැ. රිදවන මතක නම් ඕනෙම නැහැ නේද :)

      Delete
  26. ලියන්නනම් ගොඩාක් දේවල් තියෙනවා කමෙන්ට් එකක් විදියට.එත ගෙදර ගිනි පිටට ගෙනියන එකේ පලවිපාක තමයි මේ.ඒවා කරන වුන් දන්නේ නැහැ ප්‍රශ්නයක් වුනාම විඳවන්න වෙන්නේ සියලුම ශ්‍රී ලාංකිකයන්ට.පක්‍ෂ ආගම විදියට තෝරන්නේ නැතිව.

    ReplyDelete
    Replies
    1. බොහොම හරි. අපේ අභ්‍යන්තර ප්‍රශ්න හින්දා මෙයාලට හරි ලේසි උනා මෙහෙම කරන්න. ඒ වෙලාවේ කවුරුත් හිතුවේ තමන් ගැන විතරනේ. රටට මොනා උනත් එයාලට කමක් නැහැ.

      Delete
  27. වීඩියෝ එක ප්‍රචාරය උන දවසෙත් බැලුවා ඒත් එදා නොදැක්ක දෙයක් මම මෙ ලිපියෙන් දැක්කා. ඔය වගෙ හැකියාවන් තියන සුන්දර තරුන ජීවිත කීයක් නම් පහුගිය අවුරුදු 30 ඇතුලත නිවී ගියාද.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලොකු ජෝන්...ඔයා එහෙනම් මුළු වැඩසටහනම බලන්න ඇති.

      Delete
  28. ඇත්තටම ලස්සනයි මේ සිංදුව කියන විදියත් ඒකේ ඉන්න කොටියත්..මේවා ඇවිල්ලා ටැක්ටික්ස් , පොට්‍ටු අම්මාන් මලාද කියලා හරියටම තාමත් කියන්න බෑ..මුං සිංහල සින්දු කියාගෙන අඬාගෙන වැලපීගෙන හිටියට යටි හිතෙන් තාමත් කැමති උංගේ ඊලමට..මේවා නිකං සෙප්පඩ විජ්ජා ටයිම්පාස් එකට කරන්නේ උන්ගේ ප්ලෑන් මේවා...කවදා හරි දවසක ආයිත් උං ඊලමක් ඉල්ලලා ෆයිට් කරන්න ගත්තොත් මුං හන්තානේ ඉඳන් තමයි ආයිමත් දළදා මාලිගාවට ගහන්න ප්ලෑන් කරන්නේ....

    ReplyDelete
    Replies
    1. ඔබ නොදුටු දරුවා....ඔබ මෙහෙම හිතන තුරු මේ ප්‍රශ්නය ඉවරයක්‌ නම් නොවනු ඇත...:ප

      Delete
    2. යුද්දේ ඉවර උනා කියලා ප්‍රශ්නේ ඉවරයි කියලද ඔය දරුවා හිතං ඉන්නේ....මට තාත්තා කියලා දුන්නේ විස්වාස කරන්න ඕනේනං මැරිච්ච දෙමලයි ,පිංතූරේ ඉන්න දෙමලයි විතරක් විස්වාස කරපං කියලා....

      Delete
    3. මේ අයගේ ලොකු අයියලව(අල්ලපු රටේ එවුන්) පොඩ්ඩක් හම්බ වෙලා කතා බහ කලාම තේරෙනවා තාම උන්ගේ හීනේ බොඳවෙලා නැහැ කියලා
      ඒ නිසා රෙද්ද අස්සේ දාගෙන තව ටික දවසකින් කනවෝ කනවෝ කියලා කෑ ගහන්න වෙන්නේ නැත්නම් ලොකු දෙයක්

      දැනට නැගිටින්න බලාගෙන ඉන්න උන් නැගිටපු දවසට අපිව තමයි ගුලි කරලා මුහුදට දාන්නේ ඔය දෙගොල්ලොම එකතු වෙලා...

      Delete
    4. @ ඔබ නොදුටු : අපොයි නැහැ...මම කිව්වේ මේ වගේ මතවාද තියනකම් මේ ප්‍රශ්නේ ඉවර වෙන්නේ නැහැ කියලා.තලහ ගන්න එපා ඉතින් :)

      @ ලොකු පුතා : ඇත්තටම ලොකු අයියලට තියනවා මල්ලිලට වඩා අමාරුවක්. කොහොමත් ඉතින් රෙද්ද අස්සේ දාගන්න ඕන කියලා නම් අපි කියන්නේ නැහැ :)

      Delete
    5. ඔබ නොදුටු ලොවක් උබ හරි මචන් මට හිතෙන්නෙත් ඕකමයි....මුන් යටි හිතෙන් අමු කොටි

      Delete
    6. අනිවා මචෝ.මුං ව විස්වාස කරන්න නරකයි...

      Delete
    7. මාත් මේ කතාව අනුමත කරනව....කොහොම කරත් උන් ඊලමක් ආවොත් උන්ට කත් අදී.......ඉස්සර අපේ තාත්තා කියනවා දෙමලත් එකයි ශු ත් එකයි කියල...

      Delete
    8. එයා එහෙම කිව්වෙ දෙමල මිනිස්සු එක්ක ගනුදෙනු කරල තිබුන නිසා අවුරුදු ගානක් තාත්තා කර බිස්නස් 1කත් එක්ක...

      Delete
    9. @ ඇනෝ : ඔව් ඊළමක් ආවොත් නම් කත් අදිවී. ඒත් ඊළමක් එන්නේ ඇයි?? ආවොත් කත් අදින්නෙත් ඇයි ??

      Delete
  29. සයුරි...මේ ඔක්කොම හරිම හොඳයි...ඉතාම අනර්ඝයි...ඇහැට කඳුළුත් එනව ඇති...ඒත් හැඟීම් බර නොවී මේ දිහා බලන්න කරුණා කරලා...

    මේ රජයේ ප්‍රචාරක මාධ්‍යයකින් විකාශය වූවක්.. එහෙම කියල මම එකහෙලා කියන්නෙ නැහැ මේ වීඩියෝව අසත්‍යයක් කියල...සම්පූර්ණ සත්‍යයක් වෙන්නත් පුළුවන්...ඒත් කරුණා කරල මේ යටින් කියවෙනදේ ගැනත් හිතන්න. පුනරුත්ථාපනය වුනු කොටි සාමාජිකයෙක් සිංහලෙන් කතාකරනව සිංහලෙන් ගීතයක් ගායනා කරනව දැකල අපිට හරිම සතුටුයි...ඇයි ඒ? දෙමළුන් සිංහල ඉගෙන ගන්න ඕන, සිංහලෙන් කතා කරන්න ඕන කියල හිතන අපේ මානසිකත්වය නිසා නේද?

    පුනරුත්ථාපන කඳවුරකින් කෙරෙන්න ඕන ඒකද?....ඒ කිව්වෙ දෙමළුන්ට සිංහල උගන්නන එකද?...

    මේ වසර තිහක සිවිල් යුද්ධයට හේතුවුණු එක් ප්‍රධාන කරුණක් වුනේ ඔවුන්ගේ භාෂාවෙන් කටයුතු කිරීමේ අයිතිය ඔවුන්ගෙන් සාපරාධී ලෙස උදුරාගෙන යයි කියල දෙමළුන් තුල පැවති හැඟීම....ඒ හැඟීම නැතිකිරීම රජයේ වගකීම...මේ වෙන්නෙ ඒකද?

    සමාවෙන්න....මෙහෙම කියන්න උනාට...ඒත් හදවතින් නොව බුද්ධියෙන් මේ දිහා බලන්න....හැඟීම් බරවීම සත්‍යය දැකීමට බාධාවකි.මහපොළව මත යථාර්ථය කටුකය. එහෙත් ඒ යථාර්ථයට අප කෙදිනක හෝ මුහුණ දිය යුතුමය.

    සෙල්වම් කියන්නෙ මේ තරුණයා යොදා තැනුනු චිත්‍රපටයක්.ඒ ගැනත් කැමතිනම් මෙතනින් කියවන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් වලට ස්තුතියි. ඒත් රවී කියන හැම දේටම මට එකඟ වෙන්න අමාරුයි. පළවෙනි කාරණේ තමයි අපේ ගොඩක් දෙනා රජයේ මාධ්‍ය වලින් විකාශය වන දේ ගැන වපර ඇහින් බලන එක.

      අනිත් කාරණේ මම හිතන්නේ නැහැ මෙතන භාෂාව ගැන ප්‍රශ්නයක් තියනවා කියලා. (කොටියෙක් සිංහලෙන් කතා කරනවා ඇහුවම අපිට සතුටක් ඇති වෙනවා තමයි. නැහැ කියන්නේ නැහැ). ඒත් මෙතැනදී අනිත් අයට කඳුළු ආවේ ඔහු "සිංහල" සින්දුවක් කීම නිසා කියන කතාවට මම අකමැතියි. ඔහු දෙමලෙන් කියන "තුහිරේ" සින්දුව ඇහුවමත් මටනම් ඔය හැඟීම ම දැනෙනවා. මේ වගේ සෞන්දර්යාත්මක මිනිස්සු කොයි තරම් නිකරුනේ විනාශ වෙන්න ඇත්ද කියලා හිතෙනවා.

      දෙමළෙන් කටයුතු කරන්න ඔවුන්ට තියන අයිතිය සාපරාධී ලෙස උදුර ගත්තේ කොහොමද කියලා මම නම් දන්නේ නැහැ. රටක උනාම රාජ්‍ය භාෂාවක් තියනවා නේද..ඕනෑම රටකට එහෙමයි. එහෙම රටක සුළු ජන කොටසක් ඉල්ලුවොත් අනේ අපිට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ අපිට අපේ භාෂාවෙන් වැඩ කරන්න ඕන කියලා, ලැබෙයිද?

      පුනරුත්ථාපනය කරනවා කියලා ඒ අයට සිංහල උගන්නපු එක ගැන නරක විදියට බලන්න එපා. ඒ අයට පුනරුත්ථාපනය වෙන්නවත් අවස්ථාවක් දීපු එක ගැන හිතන්න. අනවශ්‍ය විදියට හැඟීම් බර වෙන එක හොඳ නැති එක ඇත්ත. හැබැයි ඉතින් බුද්ධියෙන් බලනවා කියලා අපේ අය කරන්නේ දේශපාලනය මුල් කරගෙන ප්‍රශ්න විග්‍රහ කරන එක කියලයි මටනම් හිතෙන්නේ. ..

      ෆිල්ම් එක ගැන ලිපියටත් ස්තුතියි රවී...ඒ ලිපියේම පිළිබිඹුවක් ඔයාගේ කමෙන්ට් එකෙන් මම දැක්කා :)

      Delete
    2. පුනරුත්තාපනයේදී ඔවුනට සිංහල උගන්වනවාද කියලානම් මම දන්නේ නැහැ. කොහොමත් දෙමළ අය සිංහල අපිට වඩා භාෂාවල් ඉගන ගන්ඩ හපන්නු කියලා තමා මට හිතෙන්නේ. ඔවුන් කැඩි කැඩි හරි කතාකිරීම තුලින් ඒ තත්ත්වෙට එනවා. ඉතින් කඳවුරේ ගත කරපු කාලය තුල ඔහු ඒ හැකියාවෙන් ප්‍රයෝජන ගන්ඩ ඇති කියලා තමා මට හිතෙන්නේ.

      මෙතන ප්‍රශ්නෙ ඒක නෙමේ..

      භාහිර ලෝකයා විසින් අපි විසින් ඔවුනට ඒ සළකන ආකාරය අමතක කොට කටයුතු කිරීමයි.. 22 දා අප දුටුවේ එහි ප්‍රතිපලයයි.

      ලංකාවෙ තරම් වෙන කිසිම රටක් සුලු ජාතීන්ට තැනක් ලැබෙන රටක් කොහේවත් ඇත්දැයි මමනම් නොදකිමි. ලංකාව නිවාඩු වලින් පිරිච්ච රටක් වීමට බලපා අත්තේත් එම හේතුවයි. අපිට බණ කියා අපිට එරෙහි වූ ඉන්දියාවේවත් එම තත්ත්වය නැහැ. රවී කියන පරිධි වසර 30 ක් පුරා ඇදුනු යුද්දයට හේතුව ඔවුන්ගේ බාසාවෙන් කටයුතු කිරීමේ අයිතිය උදුරා ගැනීමනම් මේ ලෝකේ හෑම රටකම වාගේ යුද ගැටුම් නිර්මාණය වෙන්ඩ ඕනා. මොකද බොහෝ රටවල ඔවුන්ගේ ප්‍රධාන ජාතියේ භාෂාව තමා රාජ්‍ය භාෂාව.

      මේ ඔක්කොම යටි අරමුනු ඇතුව පටු දේශපාලන සහ ආර්ථික අරමුණු සහිතව අප වෙත බලෙන් පැටවූ දේවල් ලෙසයි මටනම් පෙනෙන්නේ.

      අද මේ ගොඩ නැගෙමින් පවතින සන්හිඳියාවටද තර්ජනය කරමින් අමු අමුවේ මානව හිමිකම් උල්ලංඝණය කරන උන් එකතුව අපට එරෙහිව මානව හිමිකම් චෝදනා නගන්නේත්, අපට එරෙහිව යෝජනා සම්මත කරන්නේත් අප ඔවුන්ගේ ඒ යටි අරමුනු සුන්නද්ධූලි කළ බැවිනි.

      Delete
    3. @ සයුරි,

      / ඒත් රවී කියන හැම දේටම මට එකඟ වෙන්න අමාරුයි. /

      ස්තූතියි සයුරි...කිසිසේත්ම එසේ අවශ්‍ය නොවන්නා සේම මම එසේ බලාපොරොත්තු ද නොවූයෙමි. ඔබට ඔබේ මතය දැරීමට ඇති ශුද්ධ වූ එමෙන්ම අනුල්ලංඝනීය ද වූ අයිතියට මම ගරු කරමි..:)

      / පළවෙනි කාරණේ තමයි අපේ ගොඩක් දෙනා රජයේ මාධ්‍ය වලින් විකාශය වන දේ ගැන වපර ඇහින් බලන එක /

      රජයේ මාධ්‍යය යනු ඉතාම දැඩි ඒක පාර්ශ්වීය, පක්ෂග්‍රාහී එමෙන්ම අතාත්වික සුරංගනා ලොවක් අප ඉදිරියේ මවා පාන්නෝය. එනිසාම රජයේ මාධ්‍ය දෙස වපර ඇසින් බැලීම ඉතාම සාධාරණ බව මගේ හැඟීමයි.

      / (කොටියෙක් සිංහලෙන් කතා කරනවා ඇහුවම අපිට සතුටක් ඇති වෙනවා තමයි. නැහැ කියන්නේ නැහැ). /

      නැවත වරක් ස්තූතියි..සයුරි..:)

      / දෙමළෙන් කටයුතු කරන්න ඔවුන්ට තියන අයිතිය සාපරාධී ලෙස උදුර ගත්තේ කොහොමද කියලා මම නම් දන්නේ නැහැ /

      ඔබේ මේ සටහන දේශපාලන විවාදයක් කිරීමට මගේ කිසිදු කැමැත්තක් නැහැ. එහෙත් ඉහත ප්‍රකාශය අවංකවම කලේ යයි සිතා මෙමසබඳතාවයද ද මෙහි සපයන්නෙමි.

      / රටක උනාම රාජ්‍ය භාෂාවක් තියනවා නේද..ඕනෑම රටකට එහෙමයි. එහෙම රටක සුළු ජන කොටසක් ඉල්ලුවොත් අනේ අපිට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ අපිට අපේ භාෂාවෙන් වැඩ කරන්න ඕන කියලා, ලැබෙයිද? /

      හඳ අල්ලපු රටේ රාජ්‍ය භාෂාවක් නැහැ. අල්ලපු රටේ විවිධ ජනකොටස් වලට ඒ භාෂාවෙන් වැඩ කිරීමේ නිදහස තියෙනව.

      / ඒ අයට පුනරුත්ථාපනය වෙන්නවත් අවස්ථාවක් දීපු එක ගැන හිතන්න. /

      ඔබේ මතය දැරීමට ඔබට ඇති අයිතියට ගරු කරමි. එපමණකි.. :)

      / හැබැයි ඉතින් බුද්ධියෙන් බලනවා කියලා අපේ අය කරන්නේ දේශපාලනය මුල් කරගෙන ප්‍රශ්න විග්‍රහ කරන එක කියලයි මටනම් හිතෙන්නේ. ./

      මෙතන තනිකරම තියෙන්නෙ දේශපාලනයනෙ සයුරි.... :( මේ '' පුනරුත්ථාපනය '' වුනු දෙමළ තරුණයා යොදාගෙන රජයට ප්‍රශංසාත්මක චිත්‍රපටයක් නිර්මානය වගේම රාජ්‍ය රූපවාහිනියකින් සිංහල ගීතයක් ගායනා කරවීම ...මේ දෙකම දේශපාලන ව්‍යාපෘතීන්....

      / ෆිල්ම් එක ගැන ලිපියටත් ස්තුතියි රවී...ඒ ලිපියේම පිළිබිඹුවක් ඔයාගේ කමෙන්ට් එකෙන් මම දැක්කා : /

      ආයෙමත් ස්තූතියි සයුරි....අවසන් වශයෙන් කියන්නම ඕන...ඔබ මේ සටහන ලිව්වෙ වීඩියෝව නැරඹීමේදී ඔබේ සිතෙහි ඇතිවූ අවංක හැඟීම සටහන් කිරීමට පමණයි කියලයි මම හිතන්නෙ .ඒ වගේම එතනින් එහාට දෙයක් ඔබ බලාපොරොත්තු නොවුනු බවත් මම හිතනවා. මට අවශ්‍ය උනේ මෙච්චරයි.මතුපිටින් පෙනෙන හැඟීම් බර ස්වරූපය යට තියෙන යතාර්ථය ගැන පොඩ්ඩක් කියන්ට විතරයි.මෙහෙම දේකුත් තියනව කියල විතරයි..:) සමාවෙන්න මම වැරැද්දක් කලා කියල හිතනව නම්.... :) :)

      Delete
    4. @ Senna,

      ඔබට ඔබගේ මතය දැරීමට මට මගේ මතය දැරීමට ඇති අයිතිය හා සමානම අයිතියක් ඇත. ඒ අයිතියට ගරු කොට නිහඬවෙමි. එපමනකි. :)

      Delete
    5. @ සෙන්නා

      //ලංකාවෙ තරම් වෙන කිසිම රටක් සුලු ජාතීන්ට තැනක් ලැබෙන රටක් කොහේවත් ඇත්දැයි මමනම් නොදකිමි. ලංකාව නිවාඩු වලින් පිරිච්ච රටක් වීමට බලපා අත්තේත් එම හේතුවයි.//

      මේකට 100% එකඟයි. අර සංජු ටීච ගේ බ්ලොග් එකේ තිබුනා, ඉන්දියාවේ භාෂා 80 ගණනක් තිබිලත් එහෙ තියෙන්නේ එක ජාතික ගීයයි. ඒත් අපේ රටේ දෙමළෙනුත් ජාතික ගීය කියනවා කියලා. තව එකක්...රටේ කොඩියෙන් කෑල්ලක් කපලා සුළු ජාතීන්ට දීලා තියෙන්නේ මොන රටේ ද මේ ලංකාවේ ඇර?

      //මේ ඔක්කොම යටි අරමුනු ඇතුව පටු දේශපාලන සහ ආර්ථික අරමුණු සහිතව අප වෙත බලෙන් පැටවූ දේවල් ලෙසයි මටනම් පෙනෙන්නේ.//

      එය එසේ යයි මමද තරයේ විශ්වාස කරමි....


      @ රවී : ඔබටත් නැවතත් ස්තුති කරන අතර ඔබේ මතය දැරීමට ඇති අයිතියටද ගරු කරමි. ඔබ භාෂාව ගැන මතු කල දේට විතරක් යමක් කියන්නම්. හඳ අල්ලපු රටේ නිල භාෂාව ඉංග්‍රීසි. (http://www.independent.co.uk/news/world/americas/at-last-america-has-an-official-language-and-yes-its-english-478896.html). ඔබ දීලා තියන සබැඳිය 2001 අවුරුද්දේ එකක්. මෙතෙක් කල් නිල භාෂාවක් නොතිබුනත් හැම දේකදිම භාවිතා උනේ ඉංග්‍රීසි. ඒ රටේ ස්පැනිෂ් කියන්නේ හරියට අපේ රටේ දෙමළ භාෂාව වගේ. ඉන්දියාවේ නිල භාෂාව හින්දි.ඔබ දීපු සබැඳියේ මුලින්ම ඒක කියලා තියනවා. ඒ ඇරෙන්න ප්‍රාන්ත වලට පුළුවන් කම තියනවා ඔවුන්ගේ භාෂාව සම්මත කරගන්න. ඒත් ලංකාව කියන්නේ ප්‍රාන්ත බෙදපු රටක් නෙවෙයි. එක මධ්‍යම ආණ්ඩුවක් යටතේ පාලනය වන තමිල්නාඩුවටත් වඩා පොඩි රටක්.

      //ඒ වගේම එතනින් එහාට දෙයක් ඔබ බලාපොරොත්තු නොවුනු බවත් මම හිතනවා//
      බොහොම ස්තුතියි ඒක තේරුම් ගැනීම ගැන. රජයට හොඳ කියන්නවත් වෙනත් කිසිම දේශපාලන අරමුණක් ඉෂ්ට කර ගන්නවත් මට ඕන කමක් තිබුනේ නැහැ (හැබැයි රජයට වැරදි නම් කිව්වා ලිපියේ මුල් හරියේ). මේක විකාශය උනේ රජයේ නාලිකාවකද කියන එකනම් මට ප්‍රශ්නයක් නෙමෙයි. මොකද රජයට විපක්ෂ නාලිකාවකනම් කවදාවත් මේ වගේ දෙයක් විකාශය කරයිද කියන ප්‍රශ්නයත් තියනවනේ. දේශපාලනයෙන් එහා දෙයක් දකින්න අපිට ඇත්තටම බැරිද? කොතනත් තියෙන්නේ දේශපාලනය...ඔව් ඔබ හරි :))

      Delete
    6. @ සයුරි,

      ස්තුතියි සයුරි, සබැඳියට....මම දැනගෙන හිටියෙ නැහැ ඒ ගැන :(

      / දෙමලු ටික තමිල්නාඩුවට යනවනම්..අනිත් ජාතිය ඔවුන්ගේ රටවල් වලට යනවනම් මම හරිම කැමතියි /

      ඔබේ මතය දැරීමට ඔබට ඇති අයිතියට ගරුකරමි. ඒ අනුව මෙරට මුල් පදිංචිකරුවන්ට ලංකාව භාර දී සිංහලයින් ද ලාට රට බලා යායුතු ය. :)

      රතු ඉන්දියානුවොත් ඔහොම මතයක් දැරුවොත් හඳ අල්ලපු රටේ ඉන්න අනික් ඔක්කෝටමත් වෙන්නෙ රටින් පිටවෙලා යන්න... :(

      Delete
    7. @ රවී :

      //ස්තුතියි සයුරි, සබැඳියට....මම දැනගෙන හිටියෙ නැහැ ඒ ගැන :(//

      හ්ම්..ඔව්. හඳ අල්ලපු රටේ රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි. බලමුකෝ දැන් ස්පැනිෂ් කතා කරන අය මේකට විරුද්ධ වෙලා යුද්ධ කරයිද කියලා...

      සිංහලයින් පැමිණියේ ලාට රටින් බව ඔබ සිතාගෙන ඉන්න බව පේනවා. ලාට රටින් ආවේ සිංහ වංශිකයින්. සිංහලයින්ට, සිංහ වන්ශිකයින්ට වඩා වැඩි නෑ කමක් තියෙන්නේ මේ රටේ මුල් පදිංචි කරුවන් උණු සිව් හෙළය ට. සිංහල භාෂාව පවා හෙළ භාෂාවට සමීපයි. නැත්නම් අදටත් ලාට රටේ කතා කරන්නේ සිංහල වෙන්න ඕන :)

      Delete
    8. @ සයුරි,

      / සිංහලයින් පැමිණියේ ලාට රටින් බව ඔබ සිතාගෙන ඉන්න බව පේනවා. /

      නැහැ මම කෙසේවත් එහෙම මතයක නැහැ. මම එසේ පැවසුයේ සිංහලයින්ට ලංකාවට ශුද්ධ අයිතියක් ඇතැයි පවසන, අනික් සියලු ජාතීන් පිටවිය යුතුය යන මතය පළකරන අය එසේ කරන්නේ බුදුන් වහන්සේ පිරිනිවන් මංචකයේදී දෙවි කෙනෙකුට විජය කුමරු ගැන පවසා සිංහල ජාතිය ආරක්ෂා කරන ලෙස පැවරූ බවක් පැවසෙන කතාවක් මත පදනම්ව සිට නිසා.

      / සිංහලයින්ට, සිංහ වන්ශිකයින්ට වඩා වැඩි නෑ කමක් තියෙන්නේ මේ රටේ මුල් පදිංචි කරුවන් උණු සිව් හෙළය ට /

      සයුරි...ජනකථා සහ කිසිවෙකු ස්ථිරව නොදන්නා, එමෙන්ම සාධක සහිතව කිසිදිනක ඔප්පු නොකල පුරාවෘත්ත සහ හිතළු මත පිහිටා කතාකරනව නම් මෙහෙමත් කිව්වැහැකි.යක්ෂ , නාග, දේව සහ රාක්ෂ යන සිව්හෙළයින්ගෙන් යක්ෂ යනු දෙමල ජන කොටස හැඳින්වීමට එකල භාවිතා කල නාමයයි. එයින් සිව්හෙළයට දෙමළුන්ගේ අයිතිය තහවුරු වෙයි. :) :)

      Delete
    9. //මම එසේ පැවසුයේ සිංහලයින්ට ලංකාවට ශුද්ධ අයිතියක් ඇතැයි පවසන, අනික් සියලු ජාතීන් පිටවිය යුතුය යන මතය පළකරන අය එසේ කරන්නේ බුදුන් වහන්සේ පිරිනිවන් මංචකයේදී දෙවි කෙනෙකුට විජය කුමරු ගැන පවසා සිංහල ජාතිය ආරක්ෂා කරන ලෙස පැවරූ බවක් පැවසෙන කතාවක් මත පදනම්ව සිට නිසා.//

      ඔබත් ඔබේ මතය පළ කර තිබෙන්නේ කිසිම සාධකයක් නැති හිතළු කතාවක් මත පිහිටලා නේද?

      සිංහලයින් ගැන මතය මම කිව්වේ ජන කතා සහ හිතළු මත පිහිටලා නෙමෙයි. ඔබ වංග භාෂාවෙන් සිංහල භාෂාවේ අනුගත වීම ගැන හදාරලා තියනවනම් මම කියන්නේ මොකක්ද කියලා තේරේවි. සිව් හෙළ + සිංහල සම්බන්ධය ගැන කතා කරන්නේ සාධක ඇතිව. යක්ෂ+ දෙමළ සම්බන්ධයක් ගැන කතා කරන්න කිසිම සාධකයක් නැහැ. අඩු ගානේ භාෂාවෙන් වත් බැහැ.

      මේ කමෙන්ට්ස් කියවද්දී පේන දෙයක් තමයි මෙතන පැහැදිළි කොටස් දෙකක් ඉන්න බව. ඔබ ඉන්නේ එක පැත්තක. දෙමළුන්ට අපි අතින් අසාධාරණයක් උන බවත් ඔවුන්ට අපි සලකන විදිය හරි නැති බවත් කියමින්...

      ඔබ නොදුටු ලොවක්, නාකියා, ලොකු පුතා වැනි අය ඉන්නේ විරුද්ධ පැත්තේ. දෙමළුන්ට ඕනා හැටියට නටන්න දෙන්නට බැරි බව කියමින්...

      මේ දෙකොටසටම සම්පුර්ණයෙන්ම එකඟ වෙන්න මට බැරි උන නිසා මම හිතනවා මේ ප්‍රශ්නෙදි මම ඉන්නේ මැදහත් තැනක කියලා...:)

      Delete
    10. / ඔබත් ඔබේ මතය පළ කර තිබෙන්නේ කිසිම සාධකයක් නැති හිතළු කතාවක් මත පිහිටලා නේද /

      පැහැදිලිව කියන්න ඕන....මම එහෙම මතයක කිසිම විදිහකින් පිහිටලා නැති බව...මගේ මතය නම් සිංහලයින් සැදී ඇත්තේ වරින්වර විදේශවලින් සංක්‍රමණය වුනු ජන වර්ග විශාල ප්‍රමානයක සම්මිශ්‍රනයක් ලෙස බවයි.

      / ඔබ වංග භාෂාවෙන් සිංහල භාෂාවේ අනුගත වීම ගැන හදාරලා තියනවනම් මම කියන්නේ මොකක්ද කියලා තේරේවි../

      එකඟවෙමි. මම ඒ පිළිබඳව හදාරා නැත්තෙමි. ඔබට හැකි නම් ඒ තොරතුරු සොයා ගත හැකි සබැඳියක් සපයන්නේ නම් කෘතඥ වෙමි.

      / ඔබ ඉන්නේ එක පැත්තක. දෙමළුන්ට අපි අතින් අසාධාරණයක් උන බවත් ඔවුන්ට අපි සලකන විදිය හරි නැති බවත් කියමින්... /

      පැහැදිළිවම ඔබ හරි...වසර තිහක විනාශකාරී යුද්ධය අවසන් වෙලා වසර තුනකට ආසන්න කාලයක් ගෙවිල ඉවරයි.කනගාටුවෙන් උනත් කියන්න තියෙන්නෙ අපේ පාලකයින්ය කියන උදවිය මේ විනාශයෙන් ඉගෙන ගත් කිසිම පාඩමක් නැතිබවක් පැහැදිලිව පෙනෙන්නට තියනව කියල විතරයි.උතුරට පාලම් බෝක්කු පාරවල් විතරක් වැඩක් නෑ සයුරි....ඒවත් ඕන තමයි,ඒත් යුද්දෙට මූලික හේතුව පාලම් බෝක්කු පාරවල් අපිට නෑ කියල දෙමළු කෑගහපු එක නෙවෙයි.

      යුද්දෙ ඉවරයක් උනාට යුද්දෙ පටන් ගන්ට තුඩුදුන් හේතු වලට ප්‍රතිකර්ම යොදන්ට පටන්ගත් බවක් තවම නම් පෙනෙන්නෙ නෑ.

      / දෙමළුන්ට ඕනා හැටියට නටන්න දෙන්නට බැරි බව කියමින්.../

      මෙතන ඔබ හරියටම හරි, මේ මානසිකත්වය තමයි යුද්දයේ ආරම්භය..තවමත් ඒ මානසිකත්වයෙන් මිදෙන්නට නොහැකිවීම බලවත් ඛෙදවාචකයක්...:( :(

      / මේ දෙකොටසටම සම්පුර්ණයෙන්ම එකඟ වෙන්න මට බැරි උන නිසා මම හිතනවා මේ ප්‍රශ්නෙදි මම ඉන්නේ මැදහත් තැනක කියලා /

      ඔබගේ ප්‍රකාශයට එකඟ විය හැකිව තිබුණා සයුරි ඔබගේම මේ පහත දැක්වෙන ප්‍රකාශය නැතිනම් :(

      / දෙමලු ටික තමිල්නාඩුවට යනවනම්..අනිත් ජාතිය ඔවුන්ගේ රටවල් වලට යනවනම් මම හරිම කැමතියි /

      Delete
    11. //පැහැදිලිව කියන්න ඕන....මම එහෙම මතයක කිසිම විදිහකින් පිහිටලා නැති බව//
      ඔබේ මෙම වැකියෙන් ගම්‍ය වෙන්නේ එය නොවේද?
      "මම එසේ පැවසුයේ සිංහලයින්ට ලංකාවට ශුද්ධ අයිතියක් ඇතැයි පවසන, අනික් සියලු ජාතීන් පිටවිය යුතුය යන මතය පළකරන අය එසේ කරන්නේ බුදුන් වහන්සේ පිරිනිවන් මංචකයේදී දෙවි කෙනෙකුට විජය කුමරු ගැන පවසා සිංහල ජාතිය ආරක්ෂා කරන ලෙස පැවරූ බවක් පැවසෙන කතාවක් මත පදනම්ව සිට නිසා"

      මෙන්න ජාලයෙන් සොයා ගන්න පුළුවන් උන සබැඳියක්... http://helayugaya.blogspot.com/2011/07/blog-post_8347.html

      //උතුරට පාලම් බෝක්කු පාරවල් විතරක් වැඩක් නෑ සයුරි.//
      මමත් කියන්නේ මේ ටිකම තමයි. ඒ මිනිස්සු දිහා අපි මානුෂික විදියට බලන්න ඕන කියලා නාකියා වගේ අයට මම කිව්වෙත් ඒකයි.

      //මෙතන ඔබ හරියටම හරි, මේ මානසිකත්වය තමයි යුද්දයේ ආරම්භය//
      මම හරියටම හරි කියලා කියන්න මේ කතාව කිව්වේ මම නෙමෙයිනේ රවී. මම කලේ මේ කතාව කියපු අයට විරුද්ධ අදහස් දක්වපු එක. ඔබ පහළ තියන කමෙන්ට් බැලුවද කියලා මම දන්නේ නැහැ...

      //ඔබගේ ප්‍රකාශයට එකඟ විය හැකිව තිබුණා සයුරි ඔබගේම මේ පහත දැක්වෙන ප්‍රකාශය නැතිනම්//
      ඒ ප්‍රකාශය මම කලේ එක ගොඩේ ඉඳං වයිරයෙන් පොර කනවට වඩා ඒක හොඳයි කියන්න. මම ඒක ලියපු කමෙන්ට් එක සම්පුර්ණයෙන්ම කියවන්න. මම ඒක ලිව්වේ ලොකු පුතා ට පිළිතුරක් විදියට. ලොකු පුතාගේ කමෙන්ටුවේ තියන අදහසටයි ඔබ සැබවින්ම විරුද්ධ. ඒත් ඔබ අල්ලාගත්තේ ඔහුගේ කමෙන්ටුවට එරෙහි ප්‍රතිචාරයක් ලෙස මම ලියපු එකෙන් කොටසක් (ඒ කොටස තනිව ගත් කල මගේ ප්‍රකාශයේ අදහස තනිකරම වෙනස් වෙන බව පෙනේ යයි සිතමි).

      Delete
    12. / ඔබේ මෙම වැකියෙන් ගම්‍ය වෙන්නේ එය නොවේද? /

      / මම එසේ පැවසුයේ සිංහලයින්ට ලංකාවට ශුද්ධ අයිතියක් ඇතැයි පවසන, අනික් සියලු ජාතීන් පිටවිය යුතුය යන මතය පළකරන අය එසේ කරන්නේ බුදුන් වහන්සේ පිරිනිවන් මංචකයේදී දෙවි කෙනෙකුට විජය කුමරු ගැන පවසා සිංහල ජාතිය ආරක්ෂා කරන ලෙස පැවරූ බවක් පැවසෙන කතාවක් මත පදනම්ව සිට නිසා /

      මෙතැන මම එම මතයෙ ඉන්නවයි කියන එක නෙවෙයි සයුරි මම කියන්නෙ, මෙන්න මේ අය ඒ මතයෙ ඉන්නවයි කියලයි මම කිව්වෙ '' සිංහලයින්ට ලංකාවට ශුද්ධ අයිතියක් ඇතැයි පවසන, අනික් සියලු ජාතීන් පිටවිය යුතුය යන මතය පළකරන අය ''

      සබැඳියට බොහොම ස්තූතියි.. :)

      / මම හරියටම හරි කියලා කියන්න මේ කතාව කිව්වේ මම නෙමෙයිනේ රවී. මම කලේ මේ කතාව කියපු අයට විරුද්ධ අදහස් දක්වපු එක /

      මොකක් හෝ අපැහැදිලිතාවයක් වෙලා තියනව..:( මම ඔබ හරියටම හරි කිව්වෙ ඔබේ මේ ප්‍රකාශය ගැනයි.

      / ඔබ නොදුටු ලොවක්, නාකියා, ලොකු පුතා වැනි අය ඉන්නේ විරුද්ධ පැත්තේ. දෙමළුන්ට ඕනා හැටියට නටන්න දෙන්නට බැරි බව කියමින්.../

      ඔබ ඊට විරුද්ධව අදහස් දැක්වූ බවත් ඇත්ත. ඒ ගැන මගේ කිසිම මතභේදයක් නැහැ. :) මම ඔබ හරියටම හරි කියල කිව්වෙ ඔබේ මේ ප්‍රකාශය සමඟ සපුරා එකඟවෙමි කියන අදහසිනුයි. එසේ නොමැතිව දෙමලුන්ට නටන්න දෙන්න බැරි බවක් කිව්වෙ ඔබ කියල මම අදහස් කලේ නැහැ කිසිම විදිහකින්...සමාවෙන්න සමහරවිට මම මගේ අදහස ප්‍රකාශ කල අන්දම අනුව වැරදි වැටහීමක් ඇති වෙන්න ඇති :(

      / ඒ ප්‍රකාශය මම කලේ එක ගොඩේ ඉඳං වයිරයෙන් පොර කනවට වඩා ඒක හොඳයි කියන්න. මම ඒක ලියපු කමෙන්ට් එක සම්පුර්ණයෙන්ම කියවන්න. මම ඒක ලිව්වේ ලොකු පුතා ට පිළිතුරක් විදියට. ලොකු පුතාගේ කමෙන්ටුවේ තියන අදහසටයි ඔබ සැබවින්ම විරුද්ධ. ඒත් ඔබ අල්ලාගත්තේ ඔහුගේ කමෙන්ටුවට එරෙහි ප්‍රතිචාරයක් ලෙස මම ලියපු එකෙන් කොටසක් (ඒ කොටස තනිව ගත් කල මගේ ප්‍රකාශයේ අදහස තනිකරම වෙනස් වෙන බව පෙනේ යයි සිතමි). /

      හරි, ඔබ කියන්න පිළිගනිමි, මම ඔබේ දෙමලුන් ආපසු යැවීම ගැන වූ අදහසට ප්‍රතිචාර දැක්වූයේ ඔබ ඊට පෙර අදහස් දක්වා තිබූ මැදහත් ස්වභාවය අනුව ඔබෙන් එවැන්නක් මම බලාපොරොත්තු නොවූ බැවිනි. වරද මගේය. සමාවන්න.

      ස්තූතියි සයුරි....මේ සංවාදයෙන් හුඟක් දේවල් ඉගෙන ගත්තා. හැමදාම අලුතෙන් මොනවහරි ඉගෙන ගන්න තියනවනම් ඊට වඩා දෙයක් තියනවද ..නේද?...:) :)

      වෙලාවක් තියේනම් මේ ලිපියත් බලන්න.

      Forging a common Sri Lankan identity based on a culture of mutual respect and tolerance

      Delete
    13. //එසේ නොමැතිව දෙමලුන්ට නටන්න දෙන්න බැරි බවක් කිව්වෙ ඔබ කියල මම අදහස් කලේ නැහැ කිසිම විදිහකින්//

      හ්ම්ම්...පටලැවිල්ලක් වෙලා තියනවා වගේ. ඔයාගේ ප්‍රකාශය මම තේරුම් අරන් තියෙන්නේ වැරදියට. දැන් තේරුනා :) ඔව්, මේ කතාව කිව්වේ මම නෙමෙයි. හැබැයි වැඩි දෙනෙක් ඉන්නේ මේ මතයේ කියලා පහල කමෙන්ට්ස් ටික කියෙව්වම තේරුණා :( ඒ නිසා ඔබත් මමත් හිතන දේ කවදාවත් වෙන එකක් නැහැ.

      //ස්තූතියි සයුරි....මේ සංවාදයෙන් හුඟක් දේවල් ඉගෙන ගත්තා//

      මටත් එහෙමයි...මේ සංවාදය ගොඩ නැගුවට ඔබටත් බොහොම ස්තුතියි...:)

      Delete
  30. ගෝකුලන්..ශලනි එක්ක රූපගත කිරීම කරද්දි ශලනිගේ අතින් අල්ලද්දි ගෝකුලන් බයට වෙවුලුවලු.. ඉතින් මේ වගේ අහිංසක කොල්ලෝ තුවක්කුවක් අතේ තියාගෙන හිටියද කියන එකත් පුදුමයක්..

    ReplyDelete
    Replies
    1. ඒක තමා නංගි. අසරණ කමටම එහෙම කරන්න වෙනවා නේ. වැඩිය ඕන නැහැ ළමා සොල්දාදුවෝ ගැන හිතන්නකෝ.

      Delete
    2. හයියෝ ඕකුන්ගේ මේ බොරු තේරුං ගන්න කොච්චර කල් යයිද...අපි කවුරුවත් දැක්කේ නෑනෙ ඔහොම වෙනවා..මේ වගේ අහිංසක උන් තමයි අරංතලාවේ පොඩි හාමුදුරුවරු සිය ගනනක් පෙති ගැහුවේ...

      Delete
    3. ඔයාට ශුවර්ද ප්‍රාර්තනා එයා අතින්ම ඈල්ලුවෙ කියලා.......මේ කලකන්නි කොටි තමයි අපේ රට කෑවෙ....මුන්ට මොන ෆිල්ම්ද....මුන් මේ හදන්නෙ උන්ගෙ ඊලම දින්නන්ඩ කියල ඔයාට හිතෙන්නෙ නෑද්ද????මෙ ගොකුලන්ද මොකාද පගර නෑට්ටගෙ යටි හිතෙන් ඌ සතුටු වෙලා ඈති ජිනීවා කේස් එකෙදි......ඔය කාලකන්නි ඔක්කොම ඔහොම්මයි...මට කියන්න තියෙන්නෙ මෙච්චරයි...සින්හල අපි මුන්ට සෑලකුවා හොද වඩි....

      Delete
    4. වෙන්නත් ඇති.. ඒත් හැමෝම ගැනම එකම මිම්මෙන් මනින්න බෑ අපිට.. දෙමළ වුනා කියලා හැමෝම කොටි නෙවෙයි... ඒ වගේම කොටින්ගේ අතරෙත් කර කියාගන්න දෙයක් නැති නිසා යුද්ධ කරපු අය ඕනේ තරම් ඉන්න ඇති..සිංහල කියලා කියාගන්න සමහරු ඕනේ තරමින් අපේ ජාතිය පාවා දුන්නා.. ඒ වගේ අය ගැන මොකද කියන්නේ... ඒ වගේ වන්දිබට්ටයොත් අන්තිමේ සිංහල ජාතිය ගැන කිය කියා කෑ ගහනවා නම් මේ දෙමළ කොල්ලා තමන්ගේ නිදහස බුක්ති වින්දට මොකද වෙන්නේ..අපි හැමෝම මිනිස්සු.. අනේ මන්දා.. මේ මගේ මතය.. ඒකට විරුද්ධ හෝ එකඟ වෙන එක ඔයාලාගේ කැමැත්ත....

      Delete
    5. කියපුවා ගොඩාක් ඈත්ත....ඒත් මුන්ගෙ බහුතරයක් තාම කොටි.....අනිවාර්යෙන්ම කොටි....ඒක නිසා මුන්ව කොයි වෙලේවත් විස්වාස කරන්ඩ බෑ...අනික මුන්ගෙ පිටරට ඉන්න දෙමලු ටික කෑ ගහද්දි මුනුත් උන්ට කත් අදිනවා ඒක නෑ කියන්ඩ බෑ..............අනුන්ගෙ මතේට ගරු කරන්ඩ එල කොල්ලා පුරුදු වෙලත් ඉන්නව :ඩී :ඩී

      Delete
    6. //සිංහල කියලා කියාගන්න සමහරු ඕනේ තරමින් අපේ ජාතිය පාවා දුන්නා//
      බොහොම හරි නංගා...

      // ඒ වගේ වන්දිබට්ටයොත් අන්තිමේ සිංහල ජාතිය ගැන කිය කියා කෑ ගහනවා නම් මේ දෙමළ කොල්ලා තමන්ගේ නිදහස බුක්ති වින්දට මොකද වෙන්නේ//

      couldn't have been said better

      Delete
  31. මමත් සින්දුව ඇහුවා...
    පෝස්ට් එකයි කමෙන්ට් ඔක්කොමයි වගේ කියෙව්වා
    ඒත් ඇස්දෙකට කඳුළු උනන්න තරම් මේ සිද්ධිය මටනම් සංවේදී නැහැ
    ඒකට හේතුව මම ජාතිවාදී නිසා වෙන්න ඇති
    මම එහෙම ජාතිවාදී වෙන්නත් හේතු ගණනාවක් තිබුනා සහ තාමත් තියෙනවා

    ලෝකේ ඉන්න කොටි ඔක්කොම පන්සලකට ඇවිත් දස සිල් ගත්තත්,
    ඒ වගේම අපේ රටේ ඊළඟ ප්‍රශ්නේ වෙන්න ඉන්න අනිත් කොටස මේ දැන් සෝවාන් උනා කියල කිව්වත් මම ඉන්නේ මගේ මතයේ....
    මම ඔය එකෙක්වත් විශ්වාස කරන්නේ නැහැ
    උතුරේ වෙච්ච දේවල් වලටත් වඩා, බොහොම අප්‍රසිද්ධියේ (සහ ප්‍රසිද්ධියේ කිහිපයක්) දකුණේ වෙච්ච සහ දැනටත් වෙමින් පවතින ගොඩක් දේවල් ඒකට හේතු උනා...

    ReplyDelete
    Replies
    1. මමත් මේ ලඟක් වෙනකන්ම ඔය තරමටම...සමහරවිට ඊටත් වඩා ජාතිවාදී වෙලා හිටියා. ඒත් උන් දිහා වයිරයෙන් බලන එක නවත්තනකන් මේකට විසඳුමකුත් නැහැ නේද...දෙමලු ටික තමිල්නාඩුවට යනවනම්..අනිත් ජාතිය ඔවුන්ගේ රටවල් වලට යනවනම් මම හරිම කැමතියි..එක ගොඩේ ඉඳගෙන පොර කන එකනම් හොඳ වැඩක් නෙමෙයි...විඳවන්නේ අපි හැමෝම නිසා..

      Delete
    2. //දෙමලු ටික තමිල්නාඩුවට යනවනම්..අනිත් ජාතිය ඔවුන්ගේ රටවල් වලට යනවනම් මම හරිම කැමතියි..එක ගොඩේ ඉඳගෙන පොර කන එකනම් හොඳ වැඩක් නෙමෙයි...විඳවන්නේ අපි හැමෝම නිසා..//

      ඇයි යකඩෝ, ලෝකේ මෙච්චර පදිංචි වෙන්න හිස් ඉඩම් තියෙද්දී ලෝකේ ඉන්න හැම එකාම ලංකාවේ ලගින්න එන්නේ ??? අපිට අපේ පාඩුවේ අපේ රටේවත් ඉන්න බැරි කොට තව මොන මානව හිමිකමක් ද ???

      ලෝකේ මොන රටක වැසියෙක්ටවත් නිජබිම් කියලා දෙයක් නෑ. ඒක සිංහලයටත් එහෙමයි, ද්‍රවිඩයටත් එහෙමයි, ඇමෙරිකන් කාරයටත් එහෙමයි. මානවයා බිහිවුනේ අප්‍රිකාවෙන් නිසා එහෙනම් ලෝකෙම අයිති වෙන්න ඕනේ උන්ට !!! ඇමෙරිකානු ජාතිය කියන්නේ කවුද ? බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපා රටවලින් බලෙන් කඩන් වැදුනු සුද්දෝ...! තව වහල් කමට ගෙනා අප්‍රිකන් කළු ජාතිකයෝ... හා මැක්සිකානු/ සුළු ජාතික පොඩි පිරිසක්...! උන් අනුන්ගේ රටකට ගිහින් ඒවා කොල්ලකාලා, ඊට පස්සේ යුද්ධ විකුණගෙන හම්බකරන් දියුණුවෙලා දැන් අපිට නිජබිම් ගැනයි, සංහිදියාව ගැනයි බණ කියන්න එනවා.... ඕවා අහලා වයින් වෙලා කියවන අපේ හැත්තට දෙන්න ඕනේ මුහුදට විසිවෙන්න...

      ලංකාවේ හරි සිංහලයෝ නෑ... උන් ඔක්කොම වගේ කලවම්...! ඉතින් රට ගැන, ජාතිය ගැන හැඟීමක් තියේවිද ??? අර හෙන්රිකා නෝනා කිව්වා වගේ මටත් කියන්න හිතේවිද දන්නෑ මගේ පුතා සිංහලයෙක් වීම ගැන පසුතැවෙනවා කියලා... නොදෝකින්...

      කමෙන්ට් ටික දැකලා හිතේ තිබුණු වේගෙට කොටාගෙන ගියා... මම එක දෙයක් දන්නවා... ලංකාව කියලා දෙයක් ඉස්සරහට නැති වෙනවා... ඊට කලින් ඉපදුනු එක ගැන සතුටු වුනත්, අපේ ළමයින්ට - උන්ගෙත් ලමයින්ට රටක් කියලා දෙයක් නැති වෙනවා... මොනවා කරන්නද ? “සබ්බේ සංඛාරා අනිච්චා...“

      Delete
    3. හැම කෙනාම ලංකාව අස්සටම එන්න හදන්නේ ඇයි කියන එක ඇත්තටම ප්‍රශ්නයක්...අපිට කියලා තියෙන්නේ මේ රට විතරයි...අනිත් ජාතින් දෙකට වගේ ලොකු අයියලා/අක්කලා නැහැනේ...

      //හෙන්රිකා// හිහ් :)

      ලංකාව කියලා දෙයක් පවතින්නේ කොහොමද ඉතින් මේ කොටා ගන්න විදියට. අන්තිමේදී ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම මහ ජාතිය බවට පත් වෙන්නේ සිංහලත් නෙමෙයි දෙමළත් නෙමෙයි...වෙනත් කට්ටියක්. ඒක හොඳටම පැහැදිලි කාරණයක්. මොකද එයාලා යුද්ධ කරන්නේ හීන් නූලෙන්...

      Delete
  32. අහිංසකයො සිංහල දෙමළ කියල නෑ අක්කේ...උන් වැරදී අපියි හරි කියන්නත් බෑ..අපි වැරදී උන් හරි කියන්නත් බෑ...හැමදේම වැරදෙන්න ඇත්තෙ අප් දෙගොල්ලන්ගෙම අතර හිටපු කුහක හිත් තියෙන නරුමයින්ගෙ වරදිනුයි...ඒ අතරට මැදි වෙලා බැටකන්න ඇත්තෙ..ජීවිත නාස්ති කරගන්න ඇත්තේ මේ වගේ අහිංසකයින්.... :(((

    ReplyDelete
    Replies
    1. හම්මෝ මකුලිච්චි ව දැක්ක කල්...:)) හරි සතුටුයි කාලෙකට පස්සේ දැක්කට..

      //හැමදේම වැරදෙන්න ඇත්තෙ අප් දෙගොල්ලන්ගෙම අතර හිටපු කුහක හිත් තියෙන නරුමයින්ගෙ වරදිනුයි//
      ඒක හරි. පටු අරමුණු තිබුනේ සුළුතරයකට. ඒකට බැට කෑවේ බහුතරයක් අහිංසකයින්..

      Delete
  33. මේකත් බාගෙන කියවන්න... පුළුවන් අය බෙදාගන්න...

    Download

    ReplyDelete
    Replies
    1. "If we do not end war - war will end us."

      ස්තූතියි බෙදා ගත්තට..
      ෂෙනාලි වඩුගේ සොයුරියටත් තුති මෙවන් නිර්මාණයක් කළාට..

      Delete
    2. //war will end us//

      හ්ම්ම්...මේක තමයි අන්තිමට වෙන්නේ. මොකද If කන්ඩිෂන් එක ෆේල් වෙන නිසා :)

      Delete
  34. සිංදුව කියන විදිය ලස්සනයි.. ඒත් මම මුලින් කොමෙන්ටු කියවගෙනක එද්දි හිතුනා මම ඉන්නේ වැරදි තැනකද කියලත්.. ඒ තරමට මිනිස්සු මං මුලා වෙලා... ඇත්තටම මෙතන මේ තරුණයව මුල් කරගෙන කොටින්ට සුදු හුණු ගාපු අය දැක්කම මට නම් මහා හිස් කමක් දැනෙනවා. සමහර විට මම කුහක ඇති. ඒත් එහෙම කොටින්ට ලේසියෙන් සමාව දෙන අය ඇමරිකාවටයි ඉන්දියාවටයි දැන් බනිනවා දැක්කම ඒ මිනිස්සු ගැන මාර හිස් බවක් දැනෙනවා.. මොකද ඕකත් මේ වගේ මිනිස්සුන්ට අමතක වෙන්න මහ දවසක් නොයන නිසා. එතකොට ආපහු කියයි "ඒ ගැන මතකය ගුලි කර මහ මුහුදට දමන්න" කියලා.. :)

    අනික තමයි පුනුරුත්තාපනය කියන්නේ තනිකරම බොරුවක්.. මේ වගේ අයට ආපහු " බලෙන්" ඇදගෙන ගිහින් තුවක්කුවක් දීලා වෙඩි තියන්න කිව්වොත් නොකර ඉදියිද?????

    තවත් දෙයක් ඔය කියන විදියට මතකය අමතක කරලා දාන්න සිංහලයො නම් පෝලිම් ගැහිලා ඉන්නවනේ. හැබැයි එක කොටියෙක්වත් එහෙම නෑ. උන් තාමත් ට්‍රයි කරන්නේ මොකටද කියලා දන්නවනේ...

    අන්තිමට කියන්න තියෙන ලොකුම හිනා යන දේ තමයි කොටියෙක් සිංහල සිංදුවක් කිව්වාම මුළු කොටි සනුහරේම ගැන කම්පා වෙන අපේ අය එක සොල්දාදුවෙක්ගෙ වෙඩි පහරකින් මිනිහෙක් මැරුනම මුළු ආමි එකටම පට්ට යනකම් බනින්න නම් මොනවදෝ උඩ දාගෙනත් ඉදිරිපත් වෙන එක. අනිච්චේ දුක්කේ....

    ReplyDelete
    Replies
    1. නාකියා ට බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට.

      කොටින්ට සුදු හුණු ගෑමක් නම් මෙතන උනා කියලා මම හිතන්නේ නැහැ. කොටියෙක් වෙන්න කොහෙත්ම සුදුසු නැති, කොටි බවට පත් කරපු, ජාතියෙන් ස්වායත්තව ගත්තොත් සෞන්දර්යාත්මක මිනිස් ජිවිත කොයි තරම් තියෙන්න ඇතිද, ඒවා නිකරුනේ විනාශ උනා නේද වගේ අදහසක් තමයි මම කිව්වේ.

      ඒ වගේම "කොටින්ට" ලේසියෙන් සමාව දුන්නා කියලත් මම හිතන්නේ නැහැ. ලේසියෙන් තියා කොහොමවත්ම සමාවක් දුන්නද කියලා මම දන්නේ නැහැ.

      //මොකද ඕකත් මේ වගේ මිනිස්සුන්ට අමතක වෙන්න මහ දවසක් නොයන නිසා. එතකොට ආපහු කියයි "ඒ ගැන මතකය ගුලි කර මහ මුහුදට දමන්න" කියලා.. :)//
      මේකේ ව්‍යන්ගාර්ථය දිහා බැලුවම මටත් මහා හිස් බවක් දැනුනා :)

      පුනරුත්ථාපනය කරන එක තේරුමක් නැත්නම් මේ මිනිස්සුත් එවෙලේම මරල දාන්න තිබුනා. සමාජෙට ගෙනත් උන්ට වයිර කර කර ඉන්නවට වඩා ඒක හොඳයි.

      //කොටියෙක් සිංහල සිංදුවක් කිව්වාම මුළු කොටි සනුහරේම ගැන කම්පා වෙන අපේ අය එක සොල්දාදුවෙක්ගෙ වෙඩි පහරකින් මිනිහෙක් මැරුනම මුළු ආමි එකටම පට්ට යනකම් බනින්න නම් මොනවදෝ උඩ දාගෙනත් ඉදිරිපත් වෙන එක.//

      මෙතන කමෙන්ට් කරපු කවුරු හරි අපේ ආමි එකට එහෙම බැනලා තිබුනද? :0

      Delete
  35. අනේ මේ අක්කා මෙවට ඈඩෙන්නෙ නෑ.....මුගෙ හොම්බට දෙන්න හිතෙන්නෙ....අපෙ ආමි එකේ කොල්ලොන්ට එක වෙඩිල්ලක් හරි තියපු එවුන්ව ඉතුරු කරන්න නරකයි...අනික මෙවා මුන් ගහන පච උන්ව බලෙන් අරන් ගියා කියන එක....එතකොට හරි ලේසිනෙ අනුකම්පාව ගන්ඩ...මේ කාලකන්නි ලෑස්ති වෙන්නෙ අයෙම අපිට වෑඩේ දෙන්න....මුන්ගෙ යටි හිතෙන් මුන් අමුම අමු කොටි.....මේ දෙමලු ටික තමිලනඩුවටම යෑව්වෙ නත්තම් මුන් අයෙමත් මතුවෙනවා.....ටීවී එකට අවිත් සින්දුවක් කිව්ව පලියට මුන් අපේ රටට ආදරේ නෑ.......කවදාවත් මුන්ව විස්වාස කරන්න එපා

    ReplyDelete
    Replies
    1. අයියෝ අඬන්න ඕන නැහැ මල්ලි. මම මේ ගැන දරන අදහස කලිනුත් කියපු නිසා ඔයාට ස්තුතියි කියල විතරක් කියන්නම් හොඳේ :)

      Delete
  36. ඇත්තටම කිව්වොත් මට නම් ඇඩුනෙ නැහැ.ජාතිවාදය ගැන කතා කරන්න තරම් මං ලොකුත් නැහැ.ඒ වුණාට මෙතන පැති කීපයක් තියෙනවා නේද?ගෝකුලන් කැමැත්තෙන් සිංහලයො මැරුවා නෙවෙයිනේ.අනිත් අතට දෙමළ අයට වඩා දේශද්‍රෝහී සිංහලයො අපි අතරෙ කොච්චර නම් ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..මම නම් හිතන්නේ නෑ ඔයා පොඩි වැඩියි කියලා. ඉස්කෝලේ යන කාලේදී අපිත් ඕවා කතා කලා නේ. හැබැයි වෙනස්ම කෝනෙකින් තමයි ඒ කාලේ බැලුවේ. ඔව් ඔයා කියල තියන කතාව හරි. //දෙමළ අයට වඩා දේශද්‍රෝහී සිංහලයො අපි අතරෙ කොච්චර නම් ඉන්නවද?//

      Delete
    2. වර්ෂා කෝ ඔයාගේ බ්ලොග් එක?

      Delete
  37. අපෙ බූරුවෝ මේ දේවල් පෙන්වන්නෙ නැතුව සුපුරුදු ගොන් පාට් දාලා කෙලවගත්තා..

    ReplyDelete
    Replies
    1. අයියෝ කියල වැඩක් නැහැ මාතලන් අයියේ..

      Delete
  38. හොඳ වැඩේ මම නම් කියන්නේ අපේ හරක්ට(සැර වැඩිද මන්දා ) ඉන්දියාවට කඩේ ගියාට. හැබැයි තාමත් බහුතර දෙමළ ජනතාව, ඊළමක් තිබුණා නම් හොඳයි කියලා හිතනවා. ඒ මදිවට ඒ දේවල් හයක් හතරක් නොතේරෙන පුංචි වුන් ගේ ඔළු වලටත් කවනවා, මට ඒ ගැන හොඳ අත්දැකීම් තියෙනවා අක්කේ!

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි, මට මතකයි ඔයාගේ ඒ පෝස්ට් එක. මමත් ඒවාට සම්පුර්ණ විරුද්ධයි. ඒවා නවත්තන්න අපිත් පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන. හැබැයි උන්ට වයිර කරලා ඒක කරන්න බැහැ. එහෙම කරන තාක් උන් ඉල්ලන්නේ ඊළම මයි. ඒකයි මම කලිනුත් කිව්වේ ඔහොම වයිරයෙන් ඒ අයව මේ රටේ තියා ගන්නේ නැතුව හැමෝම තමිල්නාඩුව ට යනවනම් හරි කියලා. නැත්නම් මේ කැකෑරෙන ප්‍රශ්නේ ඉවරයක්‌ දකින්න බැහැ.

      Delete
  39. මේ වීඩියෝ එක දැක්කම මේක පිටිපස්සෙ කොච්චර සැඟවෙච්ච ලස්සනක් තියෙනවද කියල තේරුණා....සයුරි අක්කට පිං සිද්ධ වෙන්න ඕන මේ වගේ එකක් අපිට බලාගන්න සැලසුවට...

    ReplyDelete
    Replies
    1. පිස්සා මල්ලිට ස්තුතියි ඇවිත් මේක බැලුවට...

      Delete
  40. මේ ළමයගෙ පෙනුමෙන් LTTE එකේ හිටපු කෙනෙක් කියල හිතන්නවත් පුලුවන්ද..මේ වගේ තව කී දෙනෙක් කරගන්න දෙයක් නැතුව අසරණ වෙලා උන් කියන දේවල් කරන්න උන්ගෙ සංවිධානයට බැඳිලා තියෙනවද..

    කතා කරල වැඩක් නෑ ඇමරිකන් කාරයො ගැනනම්..එතකොට ඉන්දියාවත් එහෙමයි..ඒත් ලංකාවෙ ගොඩක් දෙනා තාමත් ඔවුනොවුන්ගෙ වාසිය වෙනුවෙන් හෝයියා කියන්නෙ..ඒත් ආගම් බේද පක්ෂ බේද පාට බේද අමතක කරල ලාංකිකයන් වශයෙන් එකතු වෙන එකයි මේ වෙලාවෙදි විය යුත්තෙ..

    ඔයාගෙ මේ සටහන ගොඩක් වටිනව සයුරි..කිව්වත් වගේම හැම දේටම කඳුලු එන මගේ ඇස් වලටනම් මේ වීඩියෝව බලල කඳුලු ආවා කියන එක ඉතින් අරුමයක් නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. සිත් රූ ටත් ගොඩක් ස්තුතියි.

      //ලංකාවෙ ගොඩක් දෙනා තාමත් ඔවුනොවුන්ගෙ වාසිය වෙනුවෙන් හෝයියා කියන්නෙ//
      මෙන්න මේක තමා ඇත්ත. පක්ෂ වලට බෙදිලා රටට වෙන්නේ මොනාද කියලවත් හිතන්නේ නැතුව තමන්ගේ ආත්මාර්ථය වෙනුවෙන් වැඩ කරන හැටි දැක්කම කලකිරෙනවා :(

      ඔයාටත් ලිපියෙන් මම කියන්න හදපු දේ තේරිලා තියනවා. බොහොම ස්තුතියි ඔයාට.

      Delete
  41. ඔබේ පෝස්ට් එක දිග සංවාදයකට මුල පුරලා. මේවගේ සංවාදයක් ඇතිවීමත් එක්තරා විදියකින් හොඳයි. මොකද අලුත් මතයක් හදාගත හැකි නිසා. මගේ සටහනේදි මම නොකියා කිව්වෙ ඒකයි "උඹේ හිතෙත් මගේ හිතෙත් කිසිම කහටක් නැත්තටම නැති වෙච්ච දවසක" කියලා

    මේක "අලුයට ගිනි" වගේ අපි දෙගොල්ල අතර තවමත් පැසෙමින් පවතින ගැටලු තියනවා. මේක මානූෂීය මට්ටමෙන් වෙනස් කල යුතු චින්තනයක්. ඒ නොවෙන තාක් මේ ගැටළුව දිගටම පවතීවි

    ReplyDelete
    Replies
    1. ඔබ හරි "හිතේ කහටක් නැත්තටම නැති වෙච්ච දවසක" කියන එක හරියටම ගැලපෙනවා. ඒත් එහෙම දවසක් නම් පේන තෙක් මානයේ නැහැ වගේ. ඇත්තටම මෙහෙම සංවාදයක් ඇති වුනු නිසා නේ ඒ බව දැන ගත්තෙත්...

      ඔබටත් සංවාදයට සහභාගී උන හැමෝටමත් ගොඩක් ස්තුතියි...

      Delete
  42. පෝස්ට් එක විතරක් නෙමේ කොමෙන්ට් ඔක්කොමත් කියෙව්වා.

    ReplyDelete
  43. මේ අයියා සෙල්වම් ෆිල්ම් එකේ උන්න තමා... මම ටී.වී එකේ සිංදු දැකල තියෙනවා.... හරිම ලස්සනයි...

    අක්ක මේ ගැන ලියපු එකත් හොඳයි...

    ReplyDelete
    Replies
    1. නංගි ෆිල්ම් එක බැලුවද...මටනම් බලන්න විදියක් නෑ. පස්සේ කවුරු හරි අප්ලෝඩ් කරාවිනේ නෙට් එකට.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...