Wednesday, November 14, 2012

විරසක වූ දෙසොහොයුරෝ - රාජාවලිය XXIV



කට්ටියට මතක ඇතිනේ අපි ගිය පාර ලිපිය අවසන් කරේ මිහිඳු රජතුමා මිය ගිය තැනින් (ක්‍රි.ව. 741 දී). එතුමා මිය යන්න කලින් ඔහුගේ පුතා වන අග්බෝ කුමාරයාට ලංකාවේ දකුණු ප්‍රදේශයේ පාලන කටයුතු පවරලා තිබුණා. යුව රජ පදවියට පත් කරලා තිබුනේ තුන්වන කාශ්‍යප රජතුමාගේ (තමන්ගේ අයියාගේ) පුතා. ඔහුගේ නමත් අග්බෝ. ඔහුට පැවරුවේ නැගෙනහිර ප්‍රදේශයේ පාලනය. මේ කුමාරවරු දෙන්නටම මිහිඳු රජතුමා වෙනසක් නැතිව සැලකුවා ලු.

මිහිඳු රජතුමා මිය යන වෙලාවේ ළඟ ඉඳලා තියෙන්නේ ඔහුගේම පුතා. ඒ නිසා ඉන් පස්සේ රජකම ලැබිලා තියෙන්නේ ඒ කුමාරයාට. ඒත් ඔහු කල්පනා කළා ලු 

"හරි විදිහටනම් රජකම ලැබෙන්න ඕනේ යුව රජතුමා ට. ඒ නිසා ඔහුට රජකම බාර දිය යුතුයි" කියලා. 

ඉතින් මේ කුමාරයා කිසිම ලෝබ කමක් නැතුව යුව රජ වෙච්ච තමන්ගේ ඥාති සහෝදරයට රජකම පවරලා දුන්නලු. ඔහු "අග්බෝ VI" (ක්‍රි. ව. 741 - 781) නමින් රජ වෙලා තමන්ට රජ කම බාර දීපු කුමාරයව යුව රජ බවට පත් කළා. එහෙම කරලා දෙන්නත් එක්ක ඉතාමත් සමගියෙන් රට පාලනය කරගෙන ඉන්න අතරෙදි තමයි මේ සමගි හවුලට නොහිතපු විදියේ හෙනයක් කඩා පාත් වෙන්නේ. 

තමන්ගේ පැවැත්මට පහරක් වදිනවනම් ඒක නවත්තන්න ඕනම දෙයක් කරන්න ලෑස්ති මිනිස්සු එදත් ඉඳල තියනවා. රජුත් යුවරජුත් සාමයෙන් අරගෙන ගිය පාලනය පහරක් උනේ දාමරිකයින්ට. මේ නිසා ඔවුන් මොකද කළේ, කේලම් කියලා දෙසොහොයුරන් කෙටවීම. මේ කෙටවීම ඉතාමත් සාර්ථක උන හින්දා අන්තිමට ඒක නතර උනේ යුද්ධයකින්. ඒ යුද්ධයෙන් යුව රජ පැරදුනා. යුව රජ පැරදිලා පලා යන අතරේ රජතුමා හිතනවා මෙහෙම,

"තමන්ට ලැබුණු රජකම කිසිම ලෝබ කමක් නැතුව මට පවරපු මගේම සොහොයුරා නේද මා පළවා හැරියේ" කියලා. එහෙම හිතලා නැවතත් යුව රජ කැඳවලා වෙනදා වගේම සාමයෙන් රාජ්‍ය කටයුතු කරන්න පටන් ගන්නවා. මේ විදියට අවු. 40 ක් රජකම් කරපු හයවන අග්බෝ රජතුමා ක්‍රි. ව. 781 දී මිය ගියාම යුව රජතුමාට රජකම ලැබෙනවා. ඔහු "අග්බෝ VII" (ක්‍රි. ව. 781 - 787) නමින් රජ වෙනවා. ඔහු තමන්ගේ පුතාව යුව රජ තනතුරට පත් කළත් ඒ කුමාරයා අකාලයේ මිය යනවා. හේතුව පැහැදිළි නැහැ. 

තමන්ගේ පුත්‍රයා නැති වූ ශෝකයෙන් කල් ගෙවමින් සිටි හත්වන අග්බෝ රජතුමාත් ඉක්මනින්ම මිය පරලොව යනවා. මේ වෙද්දී මන්නාරම ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු භාරව ඉන්නේ හයවන අග්බෝ රජුගේ පුත් "සෙන්පති මිහිඳු" කුමාරයා. ඉන්දියාවෙන් පැමිණිය හැකි සතුරු කරදර ගැන බියක් තිබූ නිසා මන්නාරම සිට රැකවල් කටයුතු කළා කියලයි කියන්නේ. ඉතින් රජතුමාගේ මරණයෙන් පස්සේ මිහිඳු කුමාරයා අග නුවරට ඇවිත් රජුගේ මෙහෙසියට පාලන කටයුතු බාර දීලා නැවතත් මන්නාරමට යනවා. බලයට ලෝබ කරපු මෙහෙසිය මිහිඳු කුමාරයා මරවන්න තැත් කරන අතරෙදි ඒක ආරංචි වෙන මිහිඳු කුමාරයා මෙහෙසිය හිර බාරයට ගන්නවා. 

ඔය අතරෙදි මිහිඳු කුමාරයාට දෙපැත්තකින්ම සතුරු කරදර එනවා. උතුරේ කැරළිකාර දෙමළුන් මධ්‍යම පාලනයට විරුද්ධ වී කැරළි ගැසීම නිසා ඒවා මර්ධනය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම හයවන අග්බෝ රජතුමාගේ බෑනා කෙනෙක් වන "දප්පුල" කියලා කුමාරයෙක් බලය අල්ලා ගැනීම සඳහා රජුට විරුද්ධව සටනට එනවා. පළමු වතාවේ පැරදිලා පළා ගිහින් දෙවැනි වතාවට රුහුණෙන් සහ මලය රටින් සෙබළුන් එකතු කරගෙන ආපු දප්පුලගේ සේනාව අති මහත් උනත් අනපේක්‍ෂිත වෙලාවක (හිරු නැගීමට පෙර ) ඔවුන්ට පහර දීපු නිසා මිහිඳු කුමාරයා ජයග්‍රහණය කරනවා. 

ඒ ජයග්‍රහණයෙන් පස්සේ ඔහු "මිහිඳු II" (ක්‍රි. ව. 787 - 807) නමින් රජ වෙනවා. ඒ වගේම හිර බාරයට ගතිපු රජ මෙහෙසිය තමන්ගේ මෙහෙසිය කරගන්නවා. උණු හින්දා බොන්නත් කිරි හින්දා විසි කරන්නත් බැරිනම් නිවෙනකම් ළඟ තියාගන්න එකනේ කරන්න වෙන්නේ  :) මේ දෙන්නට ලැබුන පුතාට යුව රජකම පැවරුවත් ඒකට ලොකු විරෝධතාවක් එල්ල වෙලවා අර කලින් පැරදිලා පලා ගියපු දප්පුලගෙනුත් ඔහුගේ සොහොයුරන්ගෙනුත්. මේ හින්දා නැවතත් යුද්ධයක් ඇති වෙනවා "කොවිලාර" නම් ස්ථානයේදී. ඒ සටනිනුත් මිහිඳු රජතුමා ජය ගන්නවා. ඒත් දප්පුල මොකද කරන්නේ, එතනින් පළා ගිහින් නැවතත් සේනාව රැස් කරන්න පටන් ගන්න එක.

මේ විදියට නොනැවතී සිද්ධ වෙන සටන් නිසා රටට වෙන අයහපත ගැන කල්පනා කරපු මිහිඳු රජතුමා රාජ සභිකයන් සහ භික්ෂුන් ථූපාරාමයට කැඳවලා තමන්ගේ සැළසුම ගැන දැනුම් දීලා සේනාවත් අරගෙන රුහුණට පිටත් වෙනවා. මෙයින් බිය ගන්නා දප්පුල රජුත් සමග ගිවිසුමකට එනවා. ඒ අනුව රුහුණේ පාලනය දප්පුලට හිමි වෙනවා. ඉන් පස්සෙනම් දප්පුලගේ කෙනෙහිලි නැවතුනාලු.

මේ අතරේ රජතුමාගේ පුත්‍රයා (යුව රජ) මිය යන නිසා රජතුමා ඉතාමත් කණගාටුවට පත් වෙනවා. අනාගත රාජ්‍ය උරුමක්කාරයෙකුත් නැති වෙනවා මේ නිසා. හැබැයි අපි නොදන්න රහසකුත් තියනවා. ඒක මොකද්ද කියලා අපි ඊ ළඟ ලිපියෙදි බලමු :)

47 comments:

  1. සයුරි, ඔයාට බැරිද මේ ඉතිහාසය වෙනස් කරලා ලියන්න. මට බලා ඉන්න බෑ මුන් මරා ගන්න මරා ගැනිල්ල. ලංකාව කියලා රටක් ඉතුරු වෙලා තියනවා පුදුමයි.. එදත් එහෙමයි, අදත් එහෙමයි..මම හිතනෙ සුද්දො අපිව යටත් කරගත්තෙ කොහොමද කියන පැණයට පිළිතුර මේක වෙන්න ඕනා. මේක මම මේදැන් කළ සොයා ගැනීමක් හරිද.. :-)

    ReplyDelete
    Replies
    1. මේ චිත්‍ර අඳින්නෙ සයුරිද ?

      Delete
    2. ඇත්තෙන්ම මේ චිත්‍රවල මට හොඳට දැකල පුරුදු ශෛලියක් තියෙන්නෙ. හැබෑට මේව අඳින්නෙ කවුද සයුරි.

      Delete
    3. වර්තමානේ වෙනස් කරගන්න බැරි අපි කොහොමද අප්පා ඉතිහාසේ වෙනස් කරන්නේ නේද :( හෙහෙ..ඔය තියරිය බොහෝ දුරට හරි වෙන්නැති. ඇතුලේ මරාගනිද්දී සතුරාටයි වාසිය.

      අනේ මමනම් නෙමෙයි චිත්‍ර අඳින්නේ. ගූගල් පිහිටෙන් හොයාගනිපුවා ඔය. මම අඳින චිත්‍ර දැක්කොත් බල්ලෝ බත් කන්නේ නෑ.

      Delete
    4. @ DDT

      මේ චිත්‍ර ඇඳලා තියෙන්නේ ප්‍රවීණ චිත්‍ර ශිල්පී එස්.ඒ දිසානායක මහත්තයා. තුල්සි, බූ, පඬිතුමා, යෝධයා, බටකොළ ආච්චි වගේ චරිත අපි අතරට ගෙනාවේත් මෙතුමා තමා.

      Delete
    5. ස්තූතියි හසිත...ආසකරපු චරිත ටිකක්....

      Delete
    6. ස්තූතියි හසිත. මම ගොඩක් පොඩිකාලෙ ඔය චිත්‍ර කතාත් බලපු මතකයක් තියෙනව, මිහිර, විජය පත්තරවල.

      ඒ ශෛලිය මතක හිටිය අනිත් විදිය ඔය පස්සෙ කාලෙ ඉස්කෝලෙට ඕන වුනාම ගතිපු රජවරු ඉන්න රූප කොල සමහරක්ව ඇඳල තිබුණෙ ඔය ශෛලියෙන්.

      Delete
  2. මිහිඳුලා ගොඩක් ඉඳලානේ. ඒ වගේම අග්බෝලා. ආයෙම මුල ඉඳන් බලන්ට ඕනි.

    ඉතිහාස පාඩම් මග ඇරුනානේ පන්තියේ කේක් හදපු හන්දා. ඔන්න අපිත් හදාගෙන කෑවා. මාර රහයි.:)

    ReplyDelete
    Replies
    1. අන්න හොඳ ළමයි. කේක් හදලා කාලත් ඉවරයි.

      ඔය මිහිඳු අග්බෝ කියන එව්වා, දැන් කාලේ "කසුන්" "අමිල" "චතුර" වගේ නම් වෙන්න ඇති නේද? පඳුරකට ගැහුවොත් 10 ක් විතර එලියට විසි වෙනවා.

      Delete
  3. කේක් පාඩමට නම් මන් අසා නැ මෙන්න නියම පාඩම් මාත් කාලයක් ආසාවෙන් හිටියා ඉතිහාසය ඉගෙන ගන්න එත් කාලයත් එක්ක එකට අවස්තාවක් ලැබුන් නැ එ අඩුව සයුරි මිස් ගෙන් පිරවෙනවා කියලා හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. හරි හරි කේක් පාඩම් ආපහු සෑහෙන කාලෙකට නැහැ (මුලින්ම මම දැනගෙන ඉන්න එපාය කියල දෙන්න :).

      Delete
  4. ඉතිහාසය කොතරම් කියෙව්වත් මට මතක හිටින්නේ නෑ. මේ කතා නම් මම අහලාම නැද්ද මන්දා. ගොඩක් මහන්සි වෙලානම් තියන බවක් පේනවා විස්තර එකතු කරලා මේව හරියට ලියන්න..

    ReplyDelete
    Replies
    1. කොටින්ම මටත් මේවා එච්චර මතක තියෙන්නේ නෑ ප්‍රියන්ත අයියේ..ඒකයි බ්ලොග් එකේවත් දාන්න හිතුවේ. කවුරුත් නොබැලුවත් මට ඕන උනාම බලාගන්නවත් පුළුවන් නේ කියලා. ළමයි ඉන්න කාලෙක කියල දෙන්නවත් පුළුවන් නේ :))

      Delete
    2. //ළමයි ඉන්න කාලෙක කියල දෙන්නවත් පුළුවන් නේ :))//
      නුදුරු අනාගතේම වෙවා..! :)))))

      Delete
    3. හිහි...තෑන්ක් යූ වේවා

      Delete
  5. හයවන අග්බෝ රජතුමා අවු.40ක් රජකම් කලාද..මම ඇහැව්වමයි එච්චරකල් රජ කරපු රජ කෙනෙක්. ඇයි මරාගන්න එකමනෙ කරල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. තවත් මේ වගේ දිග කාලයක් රජ කරපු අය හිටියා වී අයියේ. මෙතුමාටනම් යුව රජ ගේ සහයෝගය ගොඩක් බලපාන්න ඇති ඒකට.

      Delete
    2. වෙලාවක ඒ රජවරු ගැනත් ලියන්න...අපේ හසිත එකපාරක් රජවරු ගැන ලියල තිබුන වගේ මතකයක් තියෙනව..
      කරුමෙ කියන්නෙ ඉතිහාස කරුනු මතක් හිටින්නෑනෙ.

      අච්චර කාලයක් හිටියනම් රටට ලොකු සේවයක් වෙන්න ඇතිනේ..දැන් රජවරු වගේ නෙවේනෙ.

      Delete
    3. ඒ රජවරු ගැනත් ඒ ඒ වෙලාවට ලියනවා...මේක කාලයට සමාන්තරව ලියාගෙන යන එකක්නේ අයියේ...වෙනමම රජවරු කීප දෙනෙක් අරගෙන ලිවීමක් කෙරෙන්නේ නෑ

      Delete
  6. අදත් ඉතාමත් සාර්ථක ඉතිහාස පාඩමක්..නියමයි සයුරි මේ පෝස්ට් මම මගේ දු ලා දෙන්නටම කියවන්න දෙනවා. ඒ අයත් හරිම කැමතියි.
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
    Replies
    1. //මේ පෝස්ට් මම මගේ දු ලා දෙන්නටම කියවන්න දෙනවා.//

      මේ වගේ දේවල් අහනකොට මට හරිම සතුටක් දැනෙනවා. බොහොම ස්තුතියි.

      Delete
  7. බලන් ගියාම සයුරි අද වගේමයි එදත්. බලයට මරා ගැනිල්ලක් තමා තිබිලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔව් ලිහිණි..කළකිරෙනවා නේද

      Delete
  8. අද පාඩමත් නියමයි.

    ReplyDelete
  9. මේ පෝස්ට් එකේ චුට්ටට පෙනීසිටින චරිත ගොඩ බැලුවම පටලවගන්නෙ නැතුව ඉතිහාසෙ අධ්‍යයනය කරන එකත් මහ පිස්සු හැදෙන වැඩක් කියල හිතෙනව. ඒ මදිවට මේ මිනිස්සු එකම නමින් පෙනී හිටින්න ගියාම වැඩේ තවත් සංකීර්ණ වෙනව. මරාගැනිල්ල ගැන නම් මම මොකුත් කියන්නෙ නෑ. පිස්සු හැදිල ආයෙත් හැදෙනව.

    ඔය සෙන්පති මිහිඳු කුමාරය රජවෙනකොට පාවාගන්න මෙහෙසිය අග්බෝ VII රජුගෙ මෙහෙසිය නම් එයා නෑ කමට මිහිඳු කුමාරයට කුඩම්මා වගේ කෙනෙක් නේද? රජවරු ඉතිං තරුණ බිසවුන් තෝරගන්න නිසා සමහර විට ඇය ඒ වන විටත් තරුණ වියේ සිටින්න ඇති.

    ReplyDelete
    Replies
    1. // එකම නමින් පෙනී හිටින්න ගියාම වැඩේ තවත් සංකීර්ණ වෙනව//
      ඒක නේන්නං අපේ ඉතිහාසඥයින්ට අංක දාන්නත් උනානේ. තාත්තගේ/සීයාගේ නම ගන්න එක ඒ දවස්වල ගොඩක් සිද්ධ වෙලා තියනවා වගේ.

      //එයා නෑ කමට මිහිඳු කුමාරයට කුඩම්මා වගේ කෙනෙක් නේද?//

      ඔව් ඔව් කුඩම්මා තමයි. ඒත් වැඩිය වයස නැතුව ඇති නේද? :)

      Delete
  10. අම්මෝ... මේ හොඳට ඉන්න සහෝදරයෝ කොටවන්න හදන එවුන්ට නම් දෙන්න ඕනි ආයි මදි නොකියන්න... අද කාලේ ඔය වගේ කතා වැඩියි මගේ හිතේ....... සමහරක් මිනිස්සු සාමෙන් සමගියෙන් ඉන්නවට මෙච්චරම අකමැති ඇයිද මන්දා......

    ReplyDelete
    Replies
    1. ඒකනේ සමනලී, කට්ටියක් සාමයෙන් ඉන්නකොට තව කට්ටියකට අප්සට්

      Delete
  11. සයුරී ඉතිහාසයත් හොඳටම දන්නවනේ . ලඟදී මන්නාරමටනම් ගිහින් ආවා. යන්නට පෙර මේ ගැන දැන සිටියානම් හොඳයි කියා සිතුනා .

    ReplyDelete
    Replies
    1. අනේ මම කවදාවත් ගිහින් නෑ නේ මන්නාරමට. පින්තූර ටිකක්වත් නැද්ද අපිට බලන්න.

      Delete
  12. පැටලෙනවෝ... මේ යක්කු මොකට එකම නම් පාවිච්චි කරාද මන්දා?

    ReplyDelete
    Replies
    1. හෙහෙ...ඒක තමයි නේද? මෙච්චර මේ නම් තියන එකේ

      Delete
  13. එදාත් අද වගේමද?
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. අදටත් වඩා අන්තද මන්දා...

      Delete
  14. අතීතය නැවත නැවත සිදු වෙනවා වගේ.. :)

    ReplyDelete
  15. මගේ මතකයේ හැටියට අග්බෝ රජ පරපුර සහ මිහිඳු රජ පරපුර උතුර හහ නැගෙනහිර ප්‍රදේශ කෙරෙහි විහේෂ සැලකිල්ලක් දැක්වූවා. ඒනිසාම වෙන්න ඇති ඒ පලාත්වල වැව් අමුණු වගේම ගම් එහෙමත් ඒ නම් වලින්ම තවමත් තියෙන්නේ. විශේෂයෙන්ම කන්තලේ අග්බෝ පුර, මිහිඳු පුර වගේ ගම් අතී.යේ සිට පැවතෙන්නේ ඔවුන් කළ ‍අමිල මෙහෙය නිසා.

    "හරි විදිහටනම් රජකම ලැබෙන්න ඕනේ යුව රජතුමා ට. ඒ නිසා ඔහුට රජකම බාර දිය යුතුයි"

    අන්න දුර දක්නා නුවන තිබුණ කුමාරයෙක්. හැබැයි රජකම දුන්නට පස්සේ වෙච්ච කලබැගෑනිය ආයෙමත්""තමන්ට ලැබුණු රජකම කිසිම ලෝබ කමක් නැතුව මට පවරපු මගේම සොහොයුරා නේද මා පළවා හැරියේ" හිතුන එකත් අද කාලෙ හැටියට ලොකු දෙයක්.

    මොකද "මොලේ තියෙන කොට බලේ නෑ බලේ තියෙන කොට මොලේනෑ" වගේ දේවල්නේ අද සිද්ධවෙන්නේ.

    ඒවිතරක් නෙවේ පරිස්සටම රජකම බාර දුන්න නෝනත් හරි අපූරු එකී. කවුද හිත්න්නේ ඔහොම කරයි කියලා.

    හැබැයි මේ කාලෙ හිරියට ගෙවිල තියෙන්නේ "අන්තෝ ජටා බහි ජටා" වගේ විදියට.

    වෙනත් දේවල් කියන්න ගිහිං කතාව පිට පැන්නා.

    මම කියන්න ගියේ අග්බෝ රජ පරපුරු සහ මිහිඳු රජ පරපුර කලාව සහ සාහිත්‍ය වෙනුවෙන් ලොකු මෙහෙයක් කළා. මේ අයවෙනුවෙන් අද දවසේද කවි ගිත නාට්‍ය හැදෙනවා. මීට වසර කීපයකට කලින් වේදිකා ගතවුණ "දෙවනි මහින්ද" වේදිකා නාට්‍ය එවැන්නක්.

    ReplyDelete
    Replies
    1. //මොලේ තියෙන කොට බලේ නෑ බලේ තියෙන කොට මොලේනෑ//

      මේකනම් නියම කතාව :)

      "දෙවැනි මහින්ද" කියලා නාට්‍යයක් තිබුණ බව මම දැනගෙන් හිටියෙත් නැහැ. එහෙනම් ඔහු ඉතා විශේෂ රජ කෙනෙක් ඒ පැත්තෙන්. කාලා අංශය ගැනනම් මේ ලිපිවල ලියවෙනවා අඩුයි. ඒක අඩුවක් තමා.

      Delete
  16. මෙහෙමත් මරා ගැනිල්ලක්. මෙච්චර සම්පත් තිබුන රට මේ විදියට දුක් විඳින්නේ යුද්දය හැර වෙන කිසි දෙයක් කරන්න වෙලාවක් නොතිබුන නිසා වෙනා ඇති..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව්..තිබුණු සම්පත්වල හැටියට අද අපි ඉන්න ඕන මෙතැනද?

      Delete
  17. මම පන්තියේ අන්තිම.. ඇපල් කේක් කන්න ගියයින් පරක්කු උනා.. :)

    ReplyDelete
    Replies
    1. හිහි..ඔච්චර පැණිරස කන්න එපා අනේ

      Delete
  18. අද මම කාලෙකට පස්සෙ අන්තිම...යේයේයේ

    ReplyDelete
    Replies
    1. යේ..යේ..අද ඔයා අන්තිම ::)

      Delete
  19. හී හි එහෙම කාටවත් අන්තිමයා වෙන්න දෙන්න පුළුවන්ද හැබෑටම... මම ඉද්දී! ඉතිහාසය ම තමයි බලාගෙන ගියා ම අදත් පුනරාවර්තනය වෙන්නෙ නේද? බලයට කාකොටා ගැනීම අපිට ම ආවේණික ලක්ෂණයක් නේ. ජාන වලම තියෙනවද කොහෙද! ලස්සන පාඩමක්!

    ReplyDelete
    Replies
    1. අප්පේ..දැන් අන්තිමයා වෙන්නත් තරඟයක් තියනවා වගේ :) ජාන වලම ඇති තමා ඒ ලක්ශනේ නම්.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...