Sunday, May 13, 2012

ඉතින් ආයුබෝවන්



"කියෙව්වේ නැහැ, ආයේ එන්නම්" කියලා යන ඔබා මාමා නොවැරදීම කමෙන්ටුවක් දාන්න ආපහු එන බව අපි දන්නවා.

ඒත් මේ පාරනම් "ආයේ එන්නම්" තියා "යන්නම්" කියන්නෙත් නැතුවම ඔබා මාමා ගිහින්.

අද උදේ මේ ආරංචිය දකිද්දී මට හිතුනෙම මේක ඔබා මාමාගේම වැඩක් කියලා. හැමෝම හිනස්සවන්න කරපු විහිළුවක් කියලා. ටිකක් හොයලා බලද්දියි ඇත්තක් කියලා දැන ගත්තේ. ඒත් මේක විශ්වාස කරන්නේ කොහොමද? ඊයේ වෙනකන්ම බ්ලොග් වල කමෙන්ට් දදා හිටපු ඔබා මාමා හදිසියේම ගියා කියලා හිතන්නේ කොහොමද?

මම මුලින්ම ඔබා මාමාගේ බ්ලොග් එකට ගිහින් කමෙන්ටුවක් දාලා ආවේ නිකමට. ඊ ළඟ දවසේ බලද්දී ඔබා මාමා මගේ බ්ලොග් එකටත් ඇවිත්. මම හීනෙකින්වත් හිතුවේ නැහැ ඔබා මාමා වගේ කෙනෙක් මගේ බ්ලොග් එකට එයි කියලා. ඒක මට විතරක් නෙවෙයි හැමෝටම එහෙමයි. ඔහු ඒ තරමටම නිහතමානී කෙනෙක්.

"පොඩි කාලේ ඉතිහාසේ කට් කරපු හින්දා දැන්වත් සයුරි ටීචගෙන් ඉතිහාසේ ඉගනගන්නවා" කියපු ඔබා මාමා, "කැලැන්ඩරේ වෙනස් උනාට කමක් නෑ, එතකොට අපි චුත වෙලා" කියපු ඔබා මාමා, ආදරේ ගැන පොස්ටුවක් ලිව්වොත් එහෙම "හෙහ් හෙහ්...පහු වෙනකොට කොහු වෙනවා" කියලා අපිව ඩිමෝටිවේට් කරපු ඔබා මාමා :) ;(, "කියෙව්වේ නැහැ, ආයේ එන්නම්" කියලා ගිහින් නොවැරදීම ආපහු එන ඔබා මාමා, අද ඒ කිසි දෙයක් නැතිව නිහඬ වෙලා.

ඉතින් තවත් මොනවා කියන්නද? ජිවිතේ පුරාවටම තරුණ හදවතක් ඇතිව, සතුටින් ජීවත් වෙලා, දුක් නොවිඳ හදිසියේම  මිය යන එක, අපිට දුකක් උනත් ඔබට සැපක් වෙන්නත් ඇති. ඒ අතින් ඔබා මාමා වාසනාවන්තයි. එහෙම හිතද්දී ටිකක් හරි හිත හදා ගන්න පුළුවන්.


මිනිසුන් වෙසෙන මිනිසත් කම නොමැති ලොවේ 
මිනිසෙකු මළ නිසයි දුක මරණයට නොවේ 


ඔබට සුබ ගමන් ඔබා මාමේ...

ඔබී නැන්දා ඇතුළු පවුලේ සියලු දෙනාටම අපගේ බලවත් කණගාටුව..


37 comments:

  1. උදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්‍රවෘතියෙන් ඇස් අදහා ගන්න බැරි උනා.. මොහොතකට විශ්වාස කලේ නෑ.. ඒත් ඇත්තටම ඔහු යන්න ගිහින්.. අපේ හිත් වලට කඳූලක් එකතු කරලා..

    ඔබා මාමා වගේ කෙනෙක් මේ බ්ලොග් අවකාශයේ අපිට ආයෙම මුණ නොගැහේවි.. ඒ තරමටම ඔහු අපිට සමීපයි, ලෙංගතුයි..

    ඔබට නිවන් සුව මාමේ..

    ReplyDelete
  2. හොඳ මිනිස්සුන්ව ඉක්මනට දෙවියො ලඟට ගන්නව..

    ඔබා මාමට නිවන් සුව!

    ReplyDelete
  3. මේ පොස්ට් ඒක කියෙවුවහම තවත් දුක වැඩි වුනා වගේ. උදේ මමත් හිතුවේ කාගේ හරි විහුළුවක් කියල.

    ඉන්න ඕනේ මිනිස්සු ඉක්මනින් යන්නේ ඇයි.??

    ඔබා මාමේ ඔබට නිවන් සුව!!..

    ReplyDelete
  4. හොද මිනිස්සුන්ට ආයුෂ අඩුද මන්දා..:( ඔබා මාමේ, ඔබට නිවන් සුව!!!

    ReplyDelete
  5. කේ කෙල්ලෝ අඬනවාමනේ වැඩේ කියලා කියනවා සමහර විට :)
    හරිම සාමාන්‍ය මනුස්සයෙක්, මනුස්සකම ගොඩාක් තියෙන මනුස්සයෙක්.

    ඔබා මාමේ ඔබට මොක් සුව.. මතු භවයේත් අප අතරම ඉපදේවා !

    ReplyDelete
  6. "ජීවත්වීම සඳහා යුහුසුළුවන්න" ඔහු අපට නොකියූ පණිවිඩය එයයි....

    පරිපූර්ණ ජීවිතයක් ගෙවා ඉක්මනින්ම නික්ම ගිය සොඳුරු මිතුරාණනි, ඔබට සුබ සැන්දෑවක්....!!!!

    ReplyDelete
  7. ඔබාමාමාගේ මේ ඡායාරූපය නිතර නිතර බ්ලොග් අඩවිවල කමෙන්ට්වල තිබුන නිසා ටිකක් දැකල පුරුද්දක් තිබුණා. ඒත් එතුමා කවුද මොකක්ද එයාගෙ බ්ලොග් එක කියලා වෙන වෙලාවක හොයන්න ඔනෙ කියලා හිතාගෙන හිටියත් සමහර වෙලාවට ඒක මග හැරුණා.

    අද උදේ සිට නෙත ගැටුණු මේ පුවත අනුව නම් එතුමා කවුරුත් ආදරය කළ ඉතාම සරළ සහ සුන්දර මිනිසෙක් බව හැඟුණා.

    "සුවඳැති මල් ඇයි මේ හැටි හනිකට පරවන්නේ"

    සදාකාලික නොවූ ලෝකයේ සදාකාලික කිසිවක් නැති බව පමණක් කියා නොකියාම නික්ම ගිය නොදුටු සුහදයාණෙනි ඔබට සුබ රාත්‍රියක්.

    ReplyDelete
  8. අපි කරනා පින් ඔබා මාමා ට අනුමෝදන් කරමු, එයයි අපට කළහැකි ලොකු ම දෙය... සුබ ගමන් ඔබට!

    ReplyDelete
  9. සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා!!!

    ReplyDelete
  10. මෙ කතාව දන්නෙ මං දැන්... අනේ හිනෙකින්වත් හිතුවෙ නෑ කට්ටිය සුදු කොඩි දාන් හිටපු එකට මෙහෙම දෙයක්... මං හිතුවෙ දිලුම් අයියා ගෙ අවුරුද්දෙ දානෙ හන්ද කියලා... අනේ ඔබා මාම.. එදා සයිබර් අවුරුදු උත්සවෙ දවස මතක් වෙද්දි මටනම් ඇත්තටම ඇඩෙනව... :(

    ReplyDelete
  11. මෙවැනි අකල් වියෝවන් මතු සසරේ කිසිදා නොම වේවා ඔබා මාමේ...ඔබට නිවන් සුව පතමි!!!

    ReplyDelete
  12. අඩන්න එපා යකුනේ.ඔබා මාම දන්නවනම් අපි මෙහෙම අඩනවා කියලා එයාට ගොඩක් දුක හිතේවි.කරන්න තියන එකම දේ ඒ සුන්දර මනුස්සයා අපිට ඉතුරු කරලා ගිය මතක එක්ක සතුටින් ඔබා මාමා ඉක්මනටම අපි අතරේ ඉපදෙන්න කියලා ඉල්ලන එක විතරයි.මෙය නැවතුමක් නොවෙයි ඉසිබුවක්‌ පමණයි.

    ------ ඔබා මාමාට බුදුසරණයි ----------

    ReplyDelete
  13. ඇත්තෙන්ම ඔහු සතුටින් මිය යන්න ඇති. ජීවිතයේ වගකීම් මනාව ඉටුකළ සැමියෙක්, පියෙක් ලෙස සතුටින් මිය යන්න ඇති.

    හැමදේම සැහැල්ලුවෙන් ඉවසූ එම මිනිසා මරණයත් සැහැල්ලුවෙන් ඉවසන්න ඇති.

    නිවනින් නිවෙන තෙක්, ඔබ නැවතත් අප අතරම ඉපදේවා !!!

    ReplyDelete
  14. ඔබා මාමා කොයිතරම් අව්‍යාජ සුහදශීලි මනුස්සයෙක්ද කියලා මම දැනගත්තේ අවුරුදු උත්සවේදි කතා කලාම... කලින් දැකලා නොතිබුනත් ඔබා මාමේ මම ගැමියා කිව්වාම අතට අත දීලා හිනා වෙවි කතා කරපු විදිය මට තාමත් මැවිලා පේනවා.. ඒ හමුවීම මුල්ම සහ අවසාන හමුවීම වෙයි කියලා මම ජීවිතේට හිතුවේ නැ.... තිබ්බ කඳුලට කඳුළු වැලක් එක්කලා අක්කේ මේ පෝස්ටුව හරිම සංවේදියි....මටත් ඔබා මාමා වෙනුවෙන් පෝස්ටුවක් දාන්න ඕනේ වුනත් කිසිම දෙයක් එකලාසයක් කරන්න හිතෙන්නේ නෑ.... ඔබා මාමේ ඔබට නිවන් සුව!!!

    ReplyDelete
  15. රූපය දිරයි නාමය නොදිරයි..
    "ඔබා" සදාතනිකව අප හදවත් තුල ලැගුම් ගනු ඇති...

    ReplyDelete
  16. ඒම දුකකි, යාම දුකකි
    ඒම, යාම අතර දුකකි

    ReplyDelete
  17. ඔබා මාමේ ඔබට නිවන් සුව!!

    ReplyDelete
  18. //මිනිසුන් වෙසෙන මිනිසත් කම නොමැති ලොවේ
    මිනිසෙකු මළ නිසයි දුක මරණයට නොවේ


    ඔබට සුබ ගමන් ඔබා මාමේ...//

    මටත් කියන්ට තියෙන්නේ මෙච්චරයි සයුරි....:(

    ReplyDelete
  19. උදාර හදකිය නිසල වූයේ,
    සුබ රැයක් දයාබර වූ කුමරුනි,
    දෙවඟනන් කැල ගයන ගී සර,
    අසමින් නිදනු මැනව සදා ඔබ,

    ReplyDelete
  20. ඔබා මාමේ.. :( නිවන් සුව ලැබේවා...!!
    උපදින උපදින ආත්මයක් පාසා අප අතරම සත්පුරුෂ ආශ්‍රයන් ඇතිව, සැප සම්පත්, ධන ධාන්‍ය, ගුණ යහපත්කම්, නැණ නුවන, ප්‍රඥාව වීර්යය, ඇතිව නිදුක් නීරෝගී බව දීර්ඝායුෂ ඇති උපදීවා...!!
    සයුරි අක්කට ජය ශ්‍රී, කාලෙකින් ආපු නිසා අපිව අමතකද මන්ද...? ඒ පැත්තෙත් පොඩ්ඩක් යන්න. පොඩි පෝස්ට් කෑල්ලක් දැම්ම. ආයෙත් කිව්ව ජය ශ්‍රී හොඳේ...
    ඔබා මාමේ.. :( නිවන් සුව ලැබේවා...!!

    ReplyDelete
  21. //මිනිසුන් වෙසෙන මිනිසත් කම නොමැති ලොවේ
    මිනිසෙකු මළ නිසයි දුක මරණයට නොවේ//

    දුකක් නොවිඳ ජීවිතයෙන් සමුගැනීම ඇත්තටම සැපතක්... ඒත් සහෘදයින්ට ඔබේ නික්මයාම දුකක්...!

    සොඳුරු නිරීක්ෂකයාණෙනි... ඔබට සුභ ගමන් !!!

    ReplyDelete
  22. නිවන් සුව ඔබා මාමෙ....

    ReplyDelete
  23. සයුරි අක්කට වුනා වගේමයි මටත් උනේ.මාම මුලින්ම ඔබ මාමගේ බ්ලොග් 1 ෆලෝ කර විතරයි,මගේ බ්ලොග් 1 ට ඊලග දවසේ කමෙන්ට් 1ක් වැටිලා.ඒක සමහරෙක්ට බොහොම පොඩි දෙයක් වෙන්න පුළුවන්,එත් අලුතින් බ්ලොග් ලියන්න ගත්ත අපිට ඒ කමෙන්ටුව මහා මෙරක්!

    බ්ලොග් කරුවෝ දකින හැම හීනයකම ඔබ ජීවමානයි!

    ReplyDelete
  24. ඔබා මාමා ඇවිත් කියෙව්වේ නෑ කියලා යද්දී මම විහිළු කරනවා 'අයියෝ මෙච්චර පෙ‍ට්‍රල් ගනන් කා‍ලේ දෙපාරක් එන්න ගියහම වියදම් වැඩී නේද 'කියලා. බ්ලොග් ලෝකේ හදවතින්ම ගරුකල කෙනෙක්. වැඩිමල් වුනත් විහිළුතහළු කලේ ඔබා මාමාගේ තිබුණ ආදරණීය බව නිසාමයි.
    ඒ රත්තරන් මිනිසා යන්න ගිහින්.කිසිම දාක නොඑන්නම...

    ReplyDelete
  25. ඔබා මාමේ ඔබට නිවන් සුව!

    ReplyDelete
  26. වෙන පෝස්ටුවක් දාන්න හිත හදාගන්න බැරි නිසාම මමත් ඔබා මාමා ගැන දැම්මා. එතුමට තිබ්බේ අමුතුවෙන් කියන්න ඕනෙ නැති මනුස්සකමක්. ඇත්තම කිව්වොත් අපිට වඩා හිත තරුණයි.

    මාත් අපේ අම්මට කිව්වා. ඔබා මාමා එක්ක ගත්ත පොටෝව පෙන්නුවා. අපෙ අම්මගෙ ඇස්වලට කදුලු ආවේ ඔබා මාමාගෙ කතාවක් වත් බලල නැතිව.

    විස්වාස කරනවද මට ඇඩුනෙ නැහැ කියලා

    ඔබා මාමාට නිවන් සුව.

    (මේ කමෙන්ටුව හැම පෝස්ට් එකකම පේස්ට් කරන්නම්...)

    ReplyDelete
  27. ''මිනිසෙකු මල නිසයි දුක මරණයට නොවේ '' වෙන මොනවා කියන්නද සයුරි

    ReplyDelete
  28. ඔබා මාමා අපව දාල ගියත් හැම දාම අපේ හිත් වල ජීවත් වේවි.

    ReplyDelete
  29. "ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ
    ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ
    පොළවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සූ
    කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සූ"

    ඉතින් සොඳුරු ඔබා මාමේ... ඔබ අද නිසළ වුනත් , ඔබ මතකය සැමදා අප සිත්තුල සදා රැදෙනු ඇත.. ඔබට නිවන් සුව..

    ReplyDelete
  30. සැන්දෑව එළඹීමත් එක්කම විවේකයක් ගන්නට ඉඩ සැලසිලා......
    රාත්‍රිය උදාවුණත් නැවතත් පසු දින හිරු පායාවි.
    අලුත් දවසක් උදාවේවි.....
    එතෙක් ඔබට සුභ රාත්‍රියක් ඔබා මාමේ....................

    ReplyDelete
  31. ගිහින් එන්න ඔබා මාමේ..
    ඒත්
    මතක ඇතිව
    නිවන් දකින්න කලින්
    තවත් එක ම එක පාරක්
    අපි අතරට ඇවිත් යන්න..

    ReplyDelete
  32. අයියෝ මම කාලෙකින් ආවෙ අදනෙ මේ පෑත්තෙ.....එතකොට ඔබා මිය ගිහින්........අයියෝ....මම අදනෙ දන්නෙ අක්කා.......

    ReplyDelete
  33. නොකියාම ගියත් ආයි කිසි දිනෙක හමුවෙන්නේ නෑ කියලා හිතුනම හිතා ගන්න බැරි දුකක් දැනෙන්නේ ඔබ මෙතරම් අපිට ලං උන නිසයි ඔබ මාමේ ..ඔබට නිවන් සුව ඔබා මාමේ...

    ReplyDelete
  34. ඔබා මාමේ ඔබට නිවන් සුව.... ජිවිතේ මට හමුවුනු තවත් සුන්දර මිනිසකුගේ සමුගැනිම ඇහැට කදුලක් එක් කරලා.....

    ReplyDelete
  35. මම එන්න කලින් ඔහු ගිහින්...

    ඔබා මාමාට නිවන් සුව !

    ReplyDelete
  36. ඔබා,ඔබා මාමා කිව්වමහ මුලින්ම මතක් වෙන්නෙ ඔබා මාමා හිනා වෙලා අපි දිහා බලාගෙන ඉන්න ෆොටෝ එක. ලා කොල පාටට ති‍යන මේ ෆොටෝ එක දිහා බැලුවහමම එයා මොනවගේ කොනක්ද කියලා අඳුනගන්න අමාරැ නෑ.
    ඒ ඔබා මාමා තුළ චරිත දෙකක් නොතිබුන නිසා. සමහරැ හොඳ මූණ පෙන්නගෙන හිටියට හිත් ඒ තරම් හොඳ නැති වුනාට ඔබා මාමා තුළ එහෙම දෙයක් තිබුනෙ නෑ.

    සයුරි අක්කාගෙ බ්ලොගේ තිබුණු ලින්ක් එකකින් ගිහින් තමයි ඔබා මාමගෙ බ්ලොගේට මම ගියේ.

    ආයෙ කවදාවත් පොස්ට් එකක් ඔබා මාමගෙන් අපිට කියවන්න ලැබෙන්නැති වුනත් එයා ජීවිතේ ගැන පෝස්ට් එකක් අපිට කියවන්න දීලයි ගියේ කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
  37. මේක මට අයිති ලිපියක් නොවෙන නිසා වෙන වෙනම පිළිතුරු දීමෙන් වැලකී සිටිමි. හැම දෙනාටම ආදරණීය ඔබා මාමා වෙනුවෙන් ස්තුතියි...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...