වෙසෙස් සිතෙන් මිදෙන සිතුම්....වලින් පහන් වැට සරසමි....
පහන් සිලෙන් ගලන කැලුම්....පසන් සිතින් විඳ තුටු වෙමි...
Tuesday, May 29, 2012
දවසකට හරි රජතුමා - රාජාවලිය XVIII
රාජාවලිය නොනැවතී ඉදිරියට :)
පහුගිය රාජාවලිය ලිපියෙන් අපි අන්තිමට කතා කරේ මහානාම රජතුමා ගැන. මතක ඇතිනේ ඔහු අයියා මරලා ඔහුගේ බිසව පාවා ගත්ත හැටි. ඉතින් මහානාම රජතුමාට මේ අග බිසවගෙන් ලැබුණේ දුවක්. ඇය "සංඝා" කුමරිය. තවත් දෙමළ බිසවකගෙන් රජතුමා ට ලැබෙනවා පුතෙක්. ඔහු "සොත්තිසේන". සංඝා කුමරිය විවාහ වෙලා තියෙන්නේ රජතුමා ගේ ඡත්තගාහක තනතුර (සේසත භාරකරු) දැරූ කෙනා සමග.
සොත්තිසේන ඇරෙන්න රජතුමා ට වෙනත් පිරිමි දරුවන් ඉඳලා නැහැ. ඉතින් රජු ගේ අභාවයෙන් පස්සේ රජකම හිමි වෙලා තියෙන්නේ මේ සොත්තිසේන කුමාරයාට. හැබැයි ඉතින් මේකට සංඝා කුමරිය ඇතුළු අනෙක් ඇමතිවරු කැමති වෙන්නේ නැහැ. අභිෂේකය තිබුණු දින රාත්‍රියේ ම සොත්තිසේන රජතුමා මරවන්න මේ අය කටයුතු කරනවා. ඉතින් සොත්තිසේන රජතුමාට රජකම් කරන්න ලැබුණේ එකම එක දවසයි. ඉන් පස්සේ රජකම හිමි වෙන්නේ සංඝා කුමරියගේ ස්වාමියා වන ඡත්තගාහක ට (ක්‍රි. ව. 434 - 435).
ඔහුටත් රජකම් කරන්න ලැබෙන්නේ අවුරුද්දක් පමණයි. ජත්තගාහක මියයන්නේ ලම්භකර්ණ රාජ වංශයේ අවසානය සනිටුහන් කරමින්. ඉන්පසු රජකම ට උරුමක්කාරයින් නැති වූ නිසාත් රටේ ස්ථාවර භාවය රැක ගැනීමට අවශ්‍ය වූ නිසාත්, ජත්තගාහක ගේ මරණය රට වැසියාගෙන් වසන් කරන්න සංඝා ඇතුළු ඇමති මණ්ඩලය උත්සාහ කරනවා. රජුගේ දේහය ඇතුළු උයනේම භූමදානය කරලා මිත්සෙන් නම් සොරෙක් රජ තනතුරේ තබනවා. මිත්සෙන් රජතුමා තවත් අවුරුද්දක් රජකම් කරනවා (ක්‍රි. ව. 435 - 436).
මේ අතරේදී තමයි ලක්දිව තවත් ද්‍රවිඩ ආක්‍රමණයකට ලක් වෙන්නේ. පන්ඩු, පාරින්ද, ඛුද්ද පාරින්ද, තිරිතර, දාථිය, පීථිය නම් වන මොවුන් මිත්සෙන් රජුගෙන් අනුරාධපුර බලය අල්ලා ගන්නවා. පළමුව රජ කරන්නේ පන්ඩු නම් ද්‍රවිඩයා (ක්‍රි. ව. 436 - 441). මේ ද්‍රවිඩ පාලනය නිසා රටේ වංශවතුන් රුහුණු දිශාවට සංක්‍රමණය වෙනවා. මෙසේ සංක්‍රමණය වූවන්ගෙන් මෞර්ය වංශයට අයත් ප්‍රභූවරයෙකුට "ධාතුසේන" නම් පුතෙක් සිටි අතර මේ කුමාරයා කුඩා කලම ඔහුගේ මාමා කෙනෙකු වන "මහානාම" හිමි ළඟ පැවිදි කරවන්නේ රාජකීය ලක්ෂණ පිහිටි කුමරුගේ ආරක්ෂාව සඳහා. මහානාම හිමි, කුමරු රැගෙන කලා ඔය අසබඩ පිහිටි ආරාමයකට ගොස් ඔහුට ශිල්ප ආදිය ලබා දෙනවා.
පන්ඩු නම් ද්‍රවිඩයා මිය ගිය පසු ඔහුගේ පුත්‍රයා වන පාරින්ද රජ වෙනවා. ඉන් වැඩි කල් නොගොස් රජකම, ඔහුගේ සොහොයුරු ඛුද්ද පාරින්ද අතට යනවා (ක්‍රි. ව. 441 - 447). මේ වෙද්දී ධාතුසේන කුමාරයා තරුණ වියට එළඹී සිටි නිසා ඛුද්ද පාරින්ද සමග සටනට ගියත් ඔහු පරාජය කිරීමට හැකි වෙන්නේ නැහැ. ඔහුගේ අභාවයෙන් පස්සේ රජකම ලැබෙන්නේ තිරිතර ට. ඔහු ධාතුසේන කුමරු සමග කළ සටනේදී මිය ගිය බවට විශ්වාස කරන අතර ඉන් පස්සේ රජකම ලැබෙන්නේ දාථිය ට (ක්‍රි. ව. 447 - 450). දිගටම සටනේ යෙදෙන ධාතුසේන කුමරු, අවසාන ද්‍රවිඩයා වන පීථිය (ක්‍රි. ව. 450 - 452) ද මරා රජකම ලබා ගන්න සමත් වෙනවා.
මේ ආකාරයට මෞර්ය රාජ වංශයේ ආරම්භය ඇති වෙනවා. මෞර්ය වංශයත් ලම්භකර්ණිකයන් මෙන් ශ්‍රී මහා බෝධියත් සමග දඹදිවින් පැමිණි වංශයක් බවට සැලකෙනවා. ධාතුසේන රජතුමා ගැන කතා කරද්දී කතා නොකරම බැරි දෙයක් තමයි වාරි කර්මාන්තය. ඉතා උසස් තාක්‍ෂණයක් යොදා නිර්මාණය කළ යෝධ ඇල හෙවත් ජය ගඟ කලා වැවේ සිට තිසා වැවට ජලය ගෙන යාම සඳහා තැනවූවක්. ප්‍රසිද්ධ "කලා වැව" ත් මෙතුමාගේ නිර්මාණයක්. කලා වැවට නම ලැබුණු විදිහ අපි පොඩි කාලේ සිංහල පෙළ පොතේ තිබුණා කාටත් මතක ඇති. එනම්, වැව් බැම්මේ සිදුරකින් ජලය කාන්දු වෙන හැටි දුටු "කාල" නම් කුඩා ළමයා දිවි නොතකා සිදුරට දෑත් ඔබාගෙන උදව් ලැබෙන තුරු එය වළක්වා ගෙන සිටි නිසා ඔහුගේ නමින් කලා වැව ලෙස වැවට නම් තැබූ බවයි. ධාතුසේන රජුගේ නිර්මාණයක් වන වැව අසළ ඇති අවුකන පිළිමයේ නෙත් දෙක වැවේ මැද්දට යොමු වන ලෙස තනා ඇති බවට මතයක්ද පවතිනවා.
කොහොම උනත් ධාතුසේන රජතුමාගේ අවසාන කාලය නම් එතරම් මිහිරි එකක් නෙමෙයි. ඒ ගැන අපි ඊ ළඟ රාජාවලිය ලිපියෙන් කතා කරමු.
ප. ලි. : මහාවංශය ලිවුවේ, ධාතුසේන කුමරු පැවිදි කරවූ "මහානාම" හිමි යයි පැවසෙනවා.
Monday, May 21, 2012
නලලේ තිලක තියන කිරිල්ලී
"සිංහල සින්දු කියන, නලලේ තිලක තියන කිරිල්ලියේ
තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී"
මේ ගීතයේ උපත ගැන ගොඩක් දෙනා දන්නවා ඇති. ආදරය වෙනුවෙන් තමන්ගේ පවුල, ගම වගේම ජාතියත් අත ඇරලා ඉගිලිලා ගියපු කිරිල්ලියකගේ කතාව.
ඇය නමින් "විනීතා ගුණසේකර". පාසල "නාරන්දෙණිය මහා විද්‍යාලය". මගේ අම්මාගේත් පාසල. ඇය, අම්මාට වඩා වසරක් හෝ දෙකක් වැඩුමහල්. ඉතින් මේ විස්තර වැඩි හරියක් මට කිව්වේ අම්මා, ඇයට මතක විදිහට. මේ ගැන අන්තර්ජාලයේ හෙව්වට වැඩි විස්තරයක් හමු උනේ නැහැ.
ගමන බිමන සහ ක්‍රියාවෙන් ගැහැණියකට වඩා පිරිමියෙකුට සමාන වූ විනීතා ඒ දිනවල පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව යි. පැහැපත්, කැපී පෙනෙන රූපයක් තිබූ ඇය අයත් වුනේ ගමේ වැදගත් පවුලකට. ඇගේ පියා ගම්පති කෙනෙක්. බාල සහෝදරියන් කිහිප දෙනෙකුත් මේ පවුලට අයත්. පළමු වර උසස් පෙළ ලිවු විගසම ඇය කළේ පොලිසියට බැඳීම.
මේ කාලය 1974 - 76 අතර කාලය විය යුතුයි. පොලිස් සේවය සඳහා කොළඹ යන විනීතා ට ඇගේ පෙම්වතාව පොලිස් දෙපාර්තමෙන්තුවෙන්ම හමු වෙනවා. ඔහු "නඩේසන්". මේ අසම්මත යයි සම්මත ප්‍රේමයට ගෙදරින් එල්ල වුනු බාධා හමුවේ ඔවුන් තීරණයක් ගන්නවා.
රහසේම විවාහ වීම...
විවාහයෙන් පසුව ඇය නැවත ගෙදර එන්නේ නැහැ. පොලිසියේ සේවය කරමින් කොළඹම රැඳුණු ඇය පවුලෙනුත් ගමෙනුත් ඈත් වෙනවා. දිනක් අම්මාගේ වෙනත් මිතුරියක විසින් කතරගමදී ඇය දැක තිබුනේ කොණ්ඩයේ මල් ගැසූ, නාසයට කරාබු දැමූ නියම දෙමළ ගැහැණියක ලෙසින්.
ත්‍රස්තවාදී කලබල පටන් ගන්නේ මේ අතරතුර. ඇගේ කරුමයට හෝ අපේ කරුමයට නඩේසන් ත්‍රස්තවාදීන්ට එකතු වෙනවා. පෙර සිටම නඩේසන් සහ විනීතා එකතු වී, පොලිසියේ සේවය කරන අතර කොටි සංවිධානය ට ඔත්තු සැපයූ බව අසු වෙද්දී ඔවුන් යාපනයට පැන යන්නේ නැවත නොඑන්නම. ඉන්පසු ක්‍රියාකාරී ත්‍රස්තවාදයට නඩේසන් එළඹෙන්නේ කොටි පොලිස්පති විදිහට. කොටි පොලිස්පති ගේ බිරිඳ වන විනීතා කොටින්ට සිංහල ඉගැන්වීම ආදියෙන් සැමියාට උපරිම සහයෝගය ලබා දෙනවා. තමන්ගේ මව මරා හෝ ඊළම ලබා ගැනීමට කොටින්ට සහය වන බව ඇය ප්‍රකාශ කරන්නේ කිසිම පැකිලීමකින් තොරව.
මේ අතර ඇයව දරු කමින් අයින් කරන විනීතා ගේ දෙමාපියන් ඇය මැරුණු බව සිතා හිත හදාගන්න උත්සාහ කරනවා. සොහොයුරියන්ගෙන් ඈ ගැන විමසූ විටත් ලැබෙන්නේ "ආ...එයා මැරිලා දැන් ගොඩක් කල්" වැනි පිළිතුරක්.
ත්‍රස්තවාදය මැඩලීමේ අවසන් සටනේ අවසන් දිනවල කොටි නායකයින් එකා එකා මරා දමද්දී නඩේසන් ටත් එයින් ගැලවෙන්න පුළුවන් කමක් ලැබුනේ නැහැ. මරණය අභිමුවේ විනීතා අභය දානය ඉල්ලන්නේ "අපි සිංහල...." යයි කියමින්. තමන් මෙතෙක් කල් ද්‍රෝහී වූ, සිංහල ජාතියේ නම විකුණා ඇය ට අභය දානය ලබා ගැනීමට නොහැකි වූ නිසා අද ඇයත් මළවුන් අතර.
මේ කතාවේ හරි කවුද වැරදි කවුද කියලා විග්‍රහ කරන්න මම දන්නේ නැහැ. ඒත් ප්‍රශ්න ගොඩක් නම් හිතට එනවා.
"ආදරේට හැම දේම යටයි ද?"
"ආදරයේ නාමයෙන් ජාතියට එරෙහි වීම ද්‍රෝහී කමක් ද?"
"ගැහැණියකට රට, දැය හා මවටත් වඩා වටින්නේ සැමියා ද?"
"ඔබ විනීතා නම්, ඔබ කුමක් කරයිද?"
Sunday, May 13, 2012
ඉතින් ආයුබෝවන්
"කියෙව්වේ නැහැ, ආයේ එන්නම්" කියලා යන ඔබා මාමා නොවැරදීම කමෙන්ටුවක් දාන්න ආපහු එන බව අපි දන්නවා.
ඒත් මේ පාරනම් "ආයේ එන්නම්" තියා "යන්නම්" කියන්නෙත් නැතුවම ඔබා මාමා ගිහින්.
අද උදේ මේ ආරංචිය දකිද්දී මට හිතුනෙම මේක ඔබා මාමාගේම වැඩක් කියලා. හැමෝම හිනස්සවන්න කරපු විහිළුවක් කියලා. ටිකක් හොයලා බලද්දියි ඇත්තක් කියලා දැන ගත්තේ. ඒත් මේක විශ්වාස කරන්නේ කොහොමද? ඊයේ වෙනකන්ම බ්ලොග් වල කමෙන්ට් දදා හිටපු ඔබා මාමා හදිසියේම ගියා කියලා හිතන්නේ කොහොමද?
මම මුලින්ම ඔබා මාමාගේ බ්ලොග් එකට ගිහින් කමෙන්ටුවක් දාලා ආවේ නිකමට. ඊ ළඟ දවසේ බලද්දී ඔබා මාමා මගේ බ්ලොග් එකටත් ඇවිත්. මම හීනෙකින්වත් හිතුවේ නැහැ ඔබා මාමා වගේ කෙනෙක් මගේ බ්ලොග් එකට එයි කියලා. ඒක මට විතරක් නෙවෙයි හැමෝටම එහෙමයි. ඔහු ඒ තරමටම නිහතමානී කෙනෙක්.
"පොඩි කාලේ ඉතිහාසේ කට් කරපු හින්දා දැන්වත් සයුරි ටීචගෙන් ඉතිහාසේ ඉගනගන්නවා" කියපු ඔබා මාමා, "කැලැන්ඩරේ වෙනස් උනාට කමක් නෑ, එතකොට අපි චුත වෙලා" කියපු ඔබා මාමා, ආදරේ ගැන පොස්ටුවක් ලිව්වොත් එහෙම "හෙහ් හෙහ්...පහු වෙනකොට කොහු වෙනවා" කියලා අපිව ඩිමෝටිවේට් කරපු ඔබා මාමා :) ;(, "කියෙව්වේ නැහැ, ආයේ එන්නම්" කියලා ගිහින් නොවැරදීම ආපහු එන ඔබා මාමා, අද ඒ කිසි දෙයක් නැතිව නිහඬ වෙලා.
ඉතින් තවත් මොනවා කියන්නද? ජිවිතේ පුරාවටම තරුණ හදවතක් ඇතිව, සතුටින් ජීවත් වෙලා, දුක් නොවිඳ හදිසියේම මිය යන එක, අපිට දුකක් උනත් ඔබට සැපක් වෙන්නත් ඇති. ඒ අතින් ඔබා මාමා වාසනාවන්තයි. එහෙම හිතද්දී ටිකක් හරි හිත හදා ගන්න පුළුවන්.
මිනිසුන් වෙසෙන මිනිසත් කම නොමැති ලොවේ
මිනිසෙකු මළ නිසයි දුක මරණයට නොවේ
ඔබට සුබ ගමන් ඔබා මාමේ...
ඔබී නැන්දා ඇතුළු පවුලේ සියලු දෙනාටම අපගේ බලවත් කණගාටුව..
Tuesday, May 1, 2012
මහ වෙදාණෝ - රාජාවලිය XVII
අපේ රටට දළදාව වැඩම කරවීම ගැන කතා කරපු පහුගිය රාජාවලිය ලිපිය අපි නතර කළේ දෙවන දෙටුතිස් රජතුමා ගේ ලඟින්. අද එතැන් සිට...
දෙටුතිස් රජතුමාගෙන් පසුව රජ උනේ ඔහුගේ පුත්‍රයා "බුද්ධදාස" රජතුමා (ක්‍රි. ව. 341 - 370). මේ රජ තුමා අතිදක්ෂ වෙදැදුරෙක් විදිහට කා අතරත් ප්‍රසිද්ධ කෙනෙක්. එතුමා ගැන මම මුලින්ම ඇහුවේ පොඩි කාලේ සිංහල පෙළ පොතක තිබුණු කතාවකින්.
රජතුමා මගුල් ඇතු පිටේ නැගලා තිසා වැවට යන අතර මගදී දැක්කලු තුඹසක් ළඟ නාගයෙක් අසනීපයෙන් වැතිරිලා ඉන්න හැටි. ටිකක් විපරම් කරලා බැලුවම රජතුමා දැක්කලු නාගයා පීඩා විඳින්නේ උදරයේ හටගත් ගෙඩියකින් කියලා. ඉතින් රජතුමා මොකද කළේ, නයා ලඟට ගිහින් ඒ ගෙඩිය පළලා බෙහෙත් ගල්වලා නාගයා සුවපත් කරපු එක. රජතුමා වැඩේ කරනකන් නාගයා තුඹස ඇතුලට ඔලුව දාගෙන හිටියා කියල තමයි කියන්නේ.
මේ කතාව ඇරෙන්න රජතුමාගේ වෙද හෙද කම් ගැන තව කතා කිහිපයක්ම තියනවා. දියබරි බිත්තරයක් ගිලුණු මිනිසෙකුගේ බඩේ දී බිත්තරය බිඳීම නිසා හටගත් දියබරියෙකු, මිනිසාට නිදා ගැනීමට සලස්වා ඔහුගේ කටට ඉහළින් මස් කැබැල්ලක් අල්ලා, එලියට ඇද දැමූ හැටි කියවෙන කතාව ඉන් එකක්. තවත් කතාවක් තමයි පනුවන් සහිත කිරි වැළඳු හාමුදුරු නමක් සුවපත් කළ හැටි. හාමුදුරුවෝ ප්‍රතිකාර ගන්න වඩිද්දී රජතුමා ඉඳලා තියෙන්නේ අශ්වයෙකුට ප්‍රතිකාර කරමින්. ටික වෙලාවකින් හාමුදුරුවන්ට යම් බීමක් ගෙනත් දීපු රජතුමා, හාමුදුරුවෝ ඒක පානය කරනකම් ඉඳලා කිව්වලු "ඔබ වහන්සේ දැන් බිව්වේ අශ්වයාගේ තුවාලයෙන් ගත් කුණු ලේ.." කියලා. හාමුදුරුවන්ට මේක අහපු ගමන් බඩේ ඉඳපු පණුවොත් එක්කම වමනේ ගියාලු.
මේ විදිහට ප්‍රතිකාර සඳහා නොයෙක් උපක්‍රමත් යොදා ගත් බුද්ධදාස රජතුමා සැත්කම් ආදිය කරන්නත් දක්ෂ කමක් දැක්වුවා ලු. මේ සමහර කතා අතිශයෝක්ති වෙන්නත් පුළුවන්. කොහොම උනත් එතුමාගේ රාජ්‍ය කාලයේදී රට සෞඛ්‍ය පැත්තෙන් ඉතාමත් සමෘදිමත් වෙලා තිබුණලු. ගමක් පාසා රෝහල් තනාලා වෙදුන් පත් කරලා රට වැසියාගේ රෝග පීඩා වලට සහනයක් ලබා දෙන්න එතුමා කටයුතු කරලා තියනවා. බුද්ධදාස රජතුමාට පුතුන් 80 දෙනෙක් පමණ සිටි බවත් කියවෙනවා.
මේ විදියට රටේ යහ පාලනයක් ගෙන ගියපු බුද්ධදාස රජතුමාගෙන් පස්සේ රජකම ලැබෙන්නේ ඔහුගේ වැඩිමහල් පුත් උපතිස්ස රජතුමාට (ක්‍රි.ව. 370 - 412). පියාට වගේ වෙද කම පිහිටලා නොතිබුනත් ඔහුත් ඉතාමත් හොඳින් රට පාලනය කළ රජෙක්. වෙහෙර විහාර සහ වැව් විශාල සංඛ්‍යාවක් කරවපු මෙතුමා ගේ රාජ්‍ය කාලයේදී දරුණු දුර්භික්ෂයක් ඇති වෙලා තියනවා. ස්වාමින් වහන්සේලාගේ සහභාගිත්වයෙන් ධාතු වඩම්මවා පිරිත් කියවා දුර්භික්ෂය දුරු කර ගත් බව කියවෙනවා.
උපතිස්ස රජතුමා ගේ විවාහ ජීවිතය නම් සතුටින් ගෙවුන එකක් නෙමෙයි. රජ බිසව රජතුමාගේ ම බාල සොහොයුරා (මහානාම කුමරු) සමඟ සම්බන්ධයක් ඇති කරගෙන තියනවා. මහානාම කුමරු ඒ වන විට මහණ වෙලා ඉඳලා තියෙන්නේ. අන්තිමේ බිසවත් මහානාම කුමරුත් එකතු වී උපතිස්ස රජතුමා මරවන්න කටයුතු කළා ලු. ඉන්පස්සේ මහානාම රජතුමා (ක්‍රි. ව. 412 - 434) අයියාගේ බිසව තමන්ගේ මෙහෙසිය බවට පත් කර ගත්තා ලු.
මෙන්න මේ කාලයේදී තමයි බුද්ධඝෝෂ හිමියන් සහ ෆාහියන් භික්ෂුව ලංකාවට වැඩම කරන්නේ. ඒ වන විට සිංහලෙන් ලියවී තිබුණු අටුවා කතා විශාල ප්‍රමාණයක් බුද්ධඝෝෂ හිමියන් අතින් පාලියට පරිවර්තනය වෙනවා. ලංකාවේ වසර දෙකක් ගත කළ ෆාහියන් භික්ෂුව ගේ වාර්තා සටහන් එවකට ලක්දිව තොරතුරු විමසීමේදී ඉතාමත් වැදගත් වෙනවා.
සාමකාමී අවුරුදු 22 ක් රාජ්‍ය කිරීමෙන් පස්සේ මහානාම රජතුමා මිය යනවා. ඊ ළඟ රාජාවලිය ලිපියෙන් අපි කතා කරමු එක දවසකට පමණක් රජ වූ රජෙක් ගැනත් ලම්භකර්ණ රාජ වංශයේ අවසානය ගැනත්.
Wednesday, April 25, 2012
සොඳුරිය නයගරා
අද මම ලියන්න යන්නේ හඳ අල්ලපු රටේ ඉන්න සුන්දරියක් ගැන. මෙයා ගැන නම් නාහපු කෙනෙක් නැතුව ඇති.
"නයගරා"
නම වගේම ඇයත් සුන්දරයි.
අපි නයගරා බලන්න ගියේ පහුගිය සමර් එකේ. දැන් ගොඩක් කල්. ඒ වෙද්දි මට බ්ලොග් එක තිබුනේ නැහැ නේ. ඉතින් දැන්වත් මේක ලිව්වොත් හොඳයි කියල හිතුණා.
උඩ පින්තූරේ තියෙන්නේ නයගරා අල්ල ගුවනට පේන හැටි. මේක පිහිටලා තියෙන්නේ ඇමරිකාව සහ කැනඩාව වෙන් වෙන දේශ සිමාවේ. ඇමරිකාවත් කැනඩාව ත් යා කරන "දේදුනු පාලම" මිට ටිකක් පහලින් ගඟ හරහා වැටිලා තියනවා.
නයගරා ඇල්ල කිව්වම ඒකට දිය ඇලි 3 ක් අයිති වෙනවා.
1. Horseshoe Fall - මේක තමයි දිය ඇලි තුනෙන් ලොකුම ඇල්ල. දකුණු අත පැත්තෙන් තියෙන්නේ ඒ ඇල්ල තමයි. අශ්ව ලාඩමක හැඩය ගන්න නිසාලු ඒකට මේ නම ලැබිලා තියෙන්නේ. මේ ඇල්ලෙන් තත්පරයකට ලීටර 2,271,247 ක ප්‍රමාණයක් ජලය වැටෙනවා ලු. එයින් නැගෙන ජල බිඳිති වලින් සෑදුනු දුම නිසා මේ ඇල්ල හරියට බලාගන්නත් අපහසුයි. මෙය ඇමරිකාවටත් කැනඩාව ටත් දෙරටටම අයිතියි. දේශ සීමාව බෙදලා තියෙන්නේ ඇල්ල මැදින් යන විදියට. උඩ පින්තූරේ අරගෙන තියෙන්නේ කැනඩාව පැත්තේ ඉඳන්.
ඔය තියෙන්නේ...
2. American Falls - වම් පැත්තේ තියන ඇල්ල තමයි මේ. මේකේ තනි අයිතිය ඇමරිකාව ට. හැබැයි මේ හැම ඇල්ලක් ම හොඳට පේන්නේ කැනඩාව පැත්තට. ඇමරිකාවේ ඉන්න අපිට බලන්න වෙන්නේ ඔය ඇලි දෙක මැද තියන දූපත් කෑල්ලේ ඉඳගෙන. ඇමරිකන් ෆෝල් එකත් විශාලත්වයෙන් අඩු උනාට සුන්දරත්වයෙන් නම් අඩුවක් නැහැ.
3. Bridal Veil Falls - දැන් බලන්නකෝ ඔය ඇමරිකන් ඇල්ලේ දකුණු පැත්තේ අයිනේම පොඩියට වෙන් වුනු දිය ඇලි කෑල්ලක් පේනවද කියලා? හරියට මනමාලියෙක් ගේ වේල් එක වගේ. අන්න ඒක තමයි බ්‍රයිඩල් වේල් ෆෝල්ස් කියන්නේ. මෙන්න ලං කරපු පින්තූරයක්.
ඔය ඇල්ල පාමුල පේනවා නේද ලීයෙන් හදපු පඩි පේලි දිගේ මිනිස්සු යන හැටි. ඒ පඩි දිගේ ඇල්ල වැටෙන තැනටම යන්න පුළුවන්. එතනට ගියාම ඇල්ලෙන් නෑවිලා යනවා. හොඳ වෙලාවට කට්ටියටම රේන් කෝට් අන්දවලා තමයි යවන්නේ. කැමති කෙනෙකුට නයගරා ගඟේ වතුරෙන් නාගෙන එන්න අවස්තාව තියනවා :)
ඒත් මේ ගමනේ වැදගත්ම දෙය ඒක නෙවෙයි. ඒ තමයි "Maid of the Mist" බෝට්ටු සවාරිය. ඔය පහළ පින්තූරේ බෝට්ටුව මිනිස්සුත් අරගෙන යන්නේ හෝර්ස් ෂූ ඇල්ල පාමුලට.
ඒ ඇල්ල පාමුලට මීදුම අස්සෙන් යද්දී අමුතුම ලෝකෙකට යනවා වගේ තමයි දැනෙන්නේ. ඇල්ලෙන් නැගෙන හිරිකඩ වැස්සෙන් නෑවිලා ඒ ලබන අත්දැකීම නම් වචනයෙන් විස්තර කරන්න අමාරුයි. එතනට ගියාම ඇල්ලේ පින්තූරයක් ගන්න හැදුවට ඒකනම් සාර්ථක උනේ නැහැ. අහසට නගින දුම අස්සේ මොන පින්තුරද :)
නයගරා ගියොත් එහෙම අමතක නොකර කරන්න ඕන දෙයක් තමයි රෑට ඇල්ල නරඹන එක. හැම රාත්‍රියකම කැනඩාව පැත්තෙන් දිය ඇලි වලට වර්ණවත් ෆ්ලෑෂ් ලයිට් එල්ල කරන නිසා අමුතුම ලස්සනක් දකින්න ලැබෙනවා.
එහෙනම්...සුන්දරත්වය විතරක් විඳලා යන්න කැමති අයට දැන් සතුටින් විසිර යන්න පුළුවන්. ඊට වඩා ටිකක් කුතුහලාත්මක අයට තව දුරටත් රැඳී ඉන්න පුළුවන් :)
මේ තියෙන්නේ නයගරා සංචාරය ගැන මම හදපු වීඩියෝව
"නයගරා"
නම වගේම ඇයත් සුන්දරයි.
අපි නයගරා බලන්න ගියේ පහුගිය සමර් එකේ. දැන් ගොඩක් කල්. ඒ වෙද්දි මට බ්ලොග් එක තිබුනේ නැහැ නේ. ඉතින් දැන්වත් මේක ලිව්වොත් හොඳයි කියල හිතුණා.
උඩ පින්තූරේ තියෙන්නේ නයගරා අල්ල ගුවනට පේන හැටි. මේක පිහිටලා තියෙන්නේ ඇමරිකාව සහ කැනඩාව වෙන් වෙන දේශ සිමාවේ. ඇමරිකාවත් කැනඩාව ත් යා කරන "දේදුනු පාලම" මිට ටිකක් පහලින් ගඟ හරහා වැටිලා තියනවා.
නයගරා ඇල්ල කිව්වම ඒකට දිය ඇලි 3 ක් අයිති වෙනවා.
1. Horseshoe Fall - මේක තමයි දිය ඇලි තුනෙන් ලොකුම ඇල්ල. දකුණු අත පැත්තෙන් තියෙන්නේ ඒ ඇල්ල තමයි. අශ්ව ලාඩමක හැඩය ගන්න නිසාලු ඒකට මේ නම ලැබිලා තියෙන්නේ. මේ ඇල්ලෙන් තත්පරයකට ලීටර 2,271,247 ක ප්‍රමාණයක් ජලය වැටෙනවා ලු. එයින් නැගෙන ජල බිඳිති වලින් සෑදුනු දුම නිසා මේ ඇල්ල හරියට බලාගන්නත් අපහසුයි. මෙය ඇමරිකාවටත් කැනඩාව ටත් දෙරටටම අයිතියි. දේශ සීමාව බෙදලා තියෙන්නේ ඇල්ල මැදින් යන විදියට. උඩ පින්තූරේ අරගෙන තියෙන්නේ කැනඩාව පැත්තේ ඉඳන්.
ඔය තියෙන්නේ...
2. American Falls - වම් පැත්තේ තියන ඇල්ල තමයි මේ. මේකේ තනි අයිතිය ඇමරිකාව ට. හැබැයි මේ හැම ඇල්ලක් ම හොඳට පේන්නේ කැනඩාව පැත්තට. ඇමරිකාවේ ඉන්න අපිට බලන්න වෙන්නේ ඔය ඇලි දෙක මැද තියන දූපත් කෑල්ලේ ඉඳගෙන. ඇමරිකන් ෆෝල් එකත් විශාලත්වයෙන් අඩු උනාට සුන්දරත්වයෙන් නම් අඩුවක් නැහැ.
3. Bridal Veil Falls - දැන් බලන්නකෝ ඔය ඇමරිකන් ඇල්ලේ දකුණු පැත්තේ අයිනේම පොඩියට වෙන් වුනු දිය ඇලි කෑල්ලක් පේනවද කියලා? හරියට මනමාලියෙක් ගේ වේල් එක වගේ. අන්න ඒක තමයි බ්‍රයිඩල් වේල් ෆෝල්ස් කියන්නේ. මෙන්න ලං කරපු පින්තූරයක්.
ඔය ඇල්ල පාමුල පේනවා නේද ලීයෙන් හදපු පඩි පේලි දිගේ මිනිස්සු යන හැටි. ඒ පඩි දිගේ ඇල්ල වැටෙන තැනටම යන්න පුළුවන්. එතනට ගියාම ඇල්ලෙන් නෑවිලා යනවා. හොඳ වෙලාවට කට්ටියටම රේන් කෝට් අන්දවලා තමයි යවන්නේ. කැමති කෙනෙකුට නයගරා ගඟේ වතුරෙන් නාගෙන එන්න අවස්තාව තියනවා :)
ඒත් මේ ගමනේ වැදගත්ම දෙය ඒක නෙවෙයි. ඒ තමයි "Maid of the Mist" බෝට්ටු සවාරිය. ඔය පහළ පින්තූරේ බෝට්ටුව මිනිස්සුත් අරගෙන යන්නේ හෝර්ස් ෂූ ඇල්ල පාමුලට.
ඒ ඇල්ල පාමුලට මීදුම අස්සෙන් යද්දී අමුතුම ලෝකෙකට යනවා වගේ තමයි දැනෙන්නේ. ඇල්ලෙන් නැගෙන හිරිකඩ වැස්සෙන් නෑවිලා ඒ ලබන අත්දැකීම නම් වචනයෙන් විස්තර කරන්න අමාරුයි. එතනට ගියාම ඇල්ලේ පින්තූරයක් ගන්න හැදුවට ඒකනම් සාර්ථක උනේ නැහැ. අහසට නගින දුම අස්සේ මොන පින්තුරද :)
නයගරා ගියොත් එහෙම අමතක නොකර කරන්න ඕන දෙයක් තමයි රෑට ඇල්ල නරඹන එක. හැම රාත්‍රියකම කැනඩාව පැත්තෙන් දිය ඇලි වලට වර්ණවත් ෆ්ලෑෂ් ලයිට් එල්ල කරන නිසා අමුතුම ලස්සනක් දකින්න ලැබෙනවා.
එහෙනම්...සුන්දරත්වය විතරක් විඳලා යන්න කැමති අයට දැන් සතුටින් විසිර යන්න පුළුවන්. ඊට වඩා ටිකක් කුතුහලාත්මක අයට තව දුරටත් රැඳී ඉන්න පුළුවන් :)
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
නයගරා ඇල්ල ට මෙච්චර වතුර කඳක් කොහෙන්ද එන්නේ? මෙහෙම ගිහින් වතුර ටික ඉවර වෙන්නේ නැද්ද?
නයගරා ඇල්ල බිහි වෙලා තියෙන්නේ නයගරා ගඟෙන්. නයගරා ගඟ ගලන්නේ ඊරි විලේ ඉඳලා ඔන්ටෙරියෝ විලට. ඊටත් පස්සේ මුහුදට. මතකයි නේද පොඩි කාලේ ඉගන ගතිපු පංච මහා විල්? සුපිරියර්...මිචිගන්...හියුරන්...ඊරි...ඔන්ටේරියෝ. ඊරි විලත් ඔන්ටෙරියෝ විලත් තියෙන්නේ තල දෙකක (ලෙවල් දෙකක). උසින් තියන ඊරි විලෙන් පහළ තියන ඔන්ටෙරියෝ විලට වතුර ගලද්දී තමයි නයගරා ඇල්ල බිහි වෙන්නේ.
මේ පංච මහා විල් හැදිලා තියෙන්නේ අවසාන අයිස් ඒජ් එකෙන් (විස්කොන්සින් ග්ලැසියේෂන්) පස්සේ අයිස් දිය වීම නිසා කියලයි කියන්නේ. ඒ කියන්නේ අවුරුදු 10000 කට කලින්.
මේ පින්තුරෙන් පේන්නේ පංච මහා විල්. දකුණේ පහලින් තියෙන්නේ ඊරි විල සහ ඔන්ටේරියෝ විල. ඒ දෙක සම්බන්ධ වෙන සිහින් රේඛාව හරියට පේන්නේ නැතුව ඇති. ඒත් ඒ තමයි නයගරා ගඟ. ඔය ගඟේ තමයි නයගරා ඇල්ල පිහිටලා තියෙන්නේ.
පංච මහා විල් වල හරස් කඩ දැක්වෙන පහළ රූපය බැලුවම තවත් හොඳින් පැහැදිළි වෙයි.
ඔන්ටේරියෝ විල තියෙන්නේ අනිත් විල් 4 ට වඩා පහලින් බව මෙතන හොඳට පේනවා.
ඉතින්...අපේ රටේ ලෝකාන්තෙන් පහළ බහින කට්ටිය වගේ අය ඇමරිකාවෙත් ඉන්නවනේ. අන්න ඒ අය උත්සාහ කරලා තියනවා නයගරා තරණය කරන්න. 1829 දී "සෑම් පැච්" කියන කෙනා ඇල්ල ළඟ තිබුණ කුළුනක ඉඳලා ඇල්ල ට පැනලා බේරිලා තියනවා. ඉන් පස්සේ තමයි අනිත් අයත් වැඩ පටන් අරන් තියෙන්නේ.
"ඇනී ටේලර්" නම් 63 හැවිරිදි පාසල් ගුරුතුමියක් බැරල් එකක බැහැලා ඇල්ල උඩින් ආවලු. පහළට වැටුනට පස්සේ එයා බැරල් එකෙන් එලියට ගත්ත ගමන්ම කිව්වේ "මින් පස්සේ කවුරුවත් මේකනම් කරන්න ඕන නෑ" කියලා ලු. ඒත් ඉතින් ඒවා අහයිද "මිනිස්සු"? ඔය වැඩේ කරලා සමහරු බේරිලා වගේම මැරිලත් තියනවා. දැන්නම් විශේෂ අවසරයක් නැතුව ඔහොම වැඩක් කරලා මැරුණේ නැතුව ඉතුරු උනොත් ලොකු දඩයක් එහෙම ගෙවන්න වෙනවලු. ඇනී ගුරුතුමිය බැරල් එකේ යන්න කලින් ඒ බැරල් එකේ පූසෙක් යවලා ටෙස්ටින් පාරක් එහෙම දාලා තියනවා. හරියට ලයිකා හඳට ඇරියා වගේ. සත්තු දාලා ටෙස්ටින් කරන්න නම් මේ රටේ මිනිස්සු හරි දස්සයි.
මේ තියෙන්නේ 1930 දී කෙනෙක් එහෙම බැරල් එකේ යන වීඩියෝවක්. ඔහුගේ ජීවිතය නම් බේරිලා නැහැ.
තවත් මෝස්තරයක් වෙලා තියෙන්නේ ඇල්ල හරහා ලනුවක් ඇදලා රිටක් අරගෙන ඒක දිගේ යන එක. ඒ ඇරෙන්න කිසිම පාවෙන උපකරණයක් නැතුව (බැරල් එකක් වැනි) ඇල්ලෙන් පහළට වැටිලා දෙදෙනෙක් බේරිලා තියනවා. ඔවුන් සිය දිවි නසා ගන්න උත්සාහ කරපු අයද කියන එක හරියට පැහැදිළි නැතිලු. එහෙම එකකින් බේරුනාට පස්සේ ආපහු නම් දිවි නසාගන්න හිතන්නෙවත් නැතුව ඇති.
අවසාන වශයෙන් පහළ වීඩියෝවත් බලලම යන්නකෝ. කවදාවත් නයගරා වලින් පැනලා දිවි නසාගන්න හිතෙන එකක් නැහැ. :))
මේ තියෙන්නේ නයගරා සංචාරය ගැන මම හදපු වීඩියෝව
Wednesday, April 18, 2012
මුදුන් මල්කඩ - රාජාවලිය XVI
පහුගිය රාජාවලිය ලිපියෙදි අපි කතා කළේ මහසෙන් රජතුමා ගැන. අද එතැන් සිට...
මහසෙන් රජතුමා ගේ මරණයෙන් පස්සේ රජ උනේ ඔහුගේ පුත් කිත්සිරිමෙවන් රජතුමා (ක්‍රි. ව. 304 - 332). හැමෝම දන්නවනේ මහසෙන් රජතුමා ථෙරවාදී වෙහෙර විහාර වලට කරපු විනාශය ගැන. ඉතින් කිත්සිරිමෙවන් රජතුමා ඔහුගේ රාජ්‍ය කාලයෙන් වැඩි හරියක්ම කළේ තමන්ගේ පියා විනාශ කරපු විහාර ප්‍රතිසංස්කරණය කරවපු එක.
අපි බලමු මේ අතරේ අපේ අල්ලපු රටේ කළිඟු දේශයේ මොනවද උනේ කියලා. ඒ කාලයේ කළිඟු රට රජ කළේ "ගුහසිව" රජතුමා. බුදුන් වහන්සේගේ වාම දන්ත ධාතුව බාර වෙලා තිබුනේ එතුමාට තමයි. ඔය අතරේදී කළිඟු රටට සිද්ධ වෙනවා පන්ඩු නම් රජ කෙනෙක්ගෙන් එල්ල වුනු සතුරු කරදර වලට මුහුණ දෙන්න. මේ වෙලාවේදී ගුහසිව රජතුමාට ඇතිවෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දළදා හිමියන්ගේ ආරක්ෂාව. ඉතින් ඔහු තීරණය කරනවා එය ආරක්ෂාව පිණිස ලක්දිව ට වැඩමවන්න. ඒ කාර්යය කිරීම සඳහා යොදාගන්නේ එතුමාගේ ම දියණිය වන "හේමමාලා" කුමරිය සහ ඇගේ ස්වාමියා වන "දන්ත" කුමරු.
ඉතින් මේ කුමරාත් කුමරියත් බමුණන් විදියට වෙස් වලාගෙන දන්ත ධාතුව කුමරියගේ කෙස් කළඹේ සඟවා ගෙන ලක්දිව ඒමට නැව් නගිනවා. ඔවුන් ලංකාවට ගොඩ බසින්නේ ලංකාපටුන වරායෙන් කියලයි කියන්නේ. අද එහි විහාරයක් දකින්න ලැබෙනවා (ලංකාපටුන විහාරය).
දළදාවත් රැගෙන නිරුපද්‍රිතව ලක්දිවට ගොඩ බහින ඔවුන්, එවකට රජ වුනු කිත්සිරිමෙවන් රජතුමා මුණ ගැහිලා දළදාව ඔහුගේ භාර කාරත්වයට පත් කරනවා. අන්න ඒ විදියට තමයි බෞද්ධයා ගේ මුදුන් මල්කඩ විදියට හැඳින්වෙන දන්ත ධාතුන් වහන්සේ අපිට ලැබුනේ.
කිත්සිරිමෙවන් රජතුමා දළදා වහන්සේට උපරිම පුද සත්කාර කරලා දම් සක් මණ්ඩපයේ වැඩ හිඳුවනවා. එතැන් පටන් හැම රජ කෙනෙක්ම දළදාව මාළිගයක වැඩ හිඳුවලා කලට වෙලාවට පුද සත්කාර කරනවා. රටේ භාරකරු දළදාවේ භාරකරු ලෙසත් දළදාවේ භාරකරු රටේ භාරකරු ලෙසත් පිළිගනු ලබනවා. රජවරුන් එය අතපසු කළ අවස්ථා වල රහතන්වහන්සේලා ඉදිරිපත් වී දිවි දෙවැනි කොට දළදාව ආරක්ෂා කරනවා. අදටත් බෞද්ධ අපේ වටිනාම වස්තුවක් හැටියට සැළකෙන දෙයක් තමයි දළදාව. ඒ වගේම එය ආරක්ෂා කරගැනීමත් රටේ පාලකයාගේ වගකීමක් හැටියට සැලකෙනවා.
ඉතින් මේ සිදුවීම උනේ කිත්සිරිමෙවන් රජතුමාගේ කාලයේදී නිසා එතුමාත් පින්වත් රජෙක් කියලයි මට හිතෙන්නේ. මුලින්ම මිහිඳු පෙරහැර පැවැත්වුවා කියලා සඳහන් වෙන්නෙත් එතුමා තමයි. මේ විදියට ධාර්මිකව අවුරුදු 28 ක් රජකම් කරපු කිත්සිරිමෙවන් රජතුමාට පසුව රජ වෙන්නේ ඔහුගේ බාල සොහොයුරු "දෙටුතිස් II" (කලිනුත් දෙටුතිස් නමින් රජ කෙනෙක් හිටියා මතකයි නේද?). දෙවන දෙටුතිස් රජතුමා ඇත් දත් කැටයමේ මනා නිපුනත්වයක් තිබුණ කෙනෙක් ලු. තමන් දන්නා ශිල්පය රට වැසියාට උගන්වන්නත් එතුමා කටයුතු කළා ලු. ඒ වගේම එතුමාත් නොයෙක් පින්කම් වල නිරත වෙලා තියනවා.
මේ විදියට දෙවන දෙටුතිස් රජතුමා (ක්‍රි. ව. 332 - 341 ) දැහැමෙන් අවුරුදු 9 ක් රජකම් කරනවා. ඔහුගෙන් පසු රජ වුනු ඉතාමත් සුපතළ රජෙක් ගැන අපි ඊ ළඟ රාජාවලිය ලිපියෙන් කතා කරමු.
Thursday, April 12, 2012
අවුරුදු සිරි
මැදින් වෙසක් දෙක මැදින් සිටින බක් - වසන්තයත් අරගෙන එයි ලූ
සොඳින් දිලෙන රිවි සිනා අරන් දුක් - මකා දමා හෙට පායයි ලූ
රුන්ද රුඳන් නද බැන්ද රබන් පද - තාලෙට නටනා බඹරින්දූ
වෑහෙන මල් මී බින්දු පෙරා මුළු - ගමටම අවුරුදු සිරි කැන්දූ
කොහෝ කොහෝ උඹ කොහේ ඉඳං අද - කොහෝ කියනවද ගම් මැද්දේ
කොහාගෙ තනියට මලිති බටිත්තන් - එරබදු ලන්දේ හරි සද්දේ
සිවුරක් පොරවා ගත්තා වාගේ - සිනා පිපෙනවා කෙහෙල් කැනේ
කැවුම් කොකිස් මුං අතිරහ පවසයි - අත්තම්මා ගේ දෑතෙ ගුණේ
කොටන පොළන කොට පොල් අඹරන කොට - උදව්වකට එනවද නෑනේ
පරණ නොහොඳ කම් කාටත් මොකටද - සිත තුළ කිසි කහටක් නෑ නේ
ඉර ගිර මුදුනින් සඳ ගල මුදුනින් - ඇහෙනා වාරම් කවි තාලේ
ඔලිඳ කෙළින්නට නෑ සියො එක් වී - සිරියාවයි ගෙයි මැද සාලේ
එක දින එක විට එකම නැකතකට - එකා ලෙසින් එක දිසා බලා
හැම දෙන එක් වී අවුරුදු සිරිතට - නව අවුරුද්දට මුල පුරලා
නව සඳ පායන දා පේ වී ගෙන - ඉන්නයි සඳ දුව වඩින තුරා
නව කෙත අපගේ සරු කර දෙනු මැන - පැතුමයි හැම හද සිටින දරා
Subscribe to:
Posts (Atom)














