Showing posts sorted by relevance for query කුණාටු. Sort by date Show all posts
Showing posts sorted by relevance for query කුණාටු. Sort by date Show all posts

Thursday, November 1, 2012

සැන්ඩි උපන් හැටි

ඔන්න එහෙනම් සැන්ඩිත් ඇවිත් ගියා. නිකන්ම නෙවෙයි, මහා විනාසෙකුත් කරගෙන. මේ හින්දා මිනිස් ජිවිත 100 කට ආසන්න ප්‍රමාණයක් විනාශ උනා. දේපළ හානිය කොයි තරම්ද කියලා මම දන්නේ නෑ. නිවාස මිලියන 6 කට විදුලි සැපයුම අහිමි වී දැනට දින 3 ක්. ඇතැම් පෙදෙස්  අඩි 2 ක පමණ හිමෙන් වැහිලා (අකාලයේ). අඩි 6 ක පමණ උසට නගර ජලයෙන් යට වෙලා. 

"Super storm" එකක් හැටියට හඳුන්වන "සැන්ඩි" කරපු දේවල්වලින් ටිකක් තමයි මේ. පින්තූර ගත්තේ අන්තර්ජාලයෙන්. ක්ලික් කරලා බලන්න.




පහන්යාය පටන් ගත්ත අලුතම මෙහෙ ආපු අයට මතකද දන්නේ නෑ කුණාටු වලට නම් දෙන හැටි ගැන ලියපු ලිපිය. කැමති අය ඉන්නවනම් ගිහින් බලල එන්නකො. එතකොට තේරේවි මෙයාට සැන්ඩි කියලා නම වැටුනේ කොහොමද කියලා. කවුරුහරි හිතාගෙන ඉන්නවනම් කුණාටු වලට දාන්නේ ගෑනු නම් විතරයි කියලා ඒක වැරදියි හොඳේ straight face. ඒකෙ කට්ටිය කමෙන්ට් කරලා තිබුණා ගෑනු නම් තියන කුණාටු වැඩියෙන් සැරයි කියලා. ඒකෙනම් ඉතින් ඇත්තක් තියනවදත් මන්දා. :)) කොහොම උනත් ඉතින් ලස්සන ක්‍රමේකට අනුව තමයි කුණාටු වලට නම් ලැබෙන්නේ. 

දැන් ඉතින් ඒ ගැන කිව්වා ඇති. 

ඔයාලට නිකමට හිතිලා තියනවද මොකද මේ කුණාටු මෙච්චරම ඇමරිකාව පස්සෙම පන්නන්නේ කියලා thinking. දැන් ඉතින් කියන්න එපා ඇමරිකාව කරන නොහොබිනා වැඩ හින්දා කියලා. හරි අපි බලමුකෝ. 

ඔය කියන විදියේ හරිකේන් එකක් ඇති වෙන්න අවශ්‍යතා කිහිපයක් තියනවා. 

1. අධික උෂ්ණත්වයක් 
2. මුහුදු කලාපයක් වැනි ජලය සහිත ප්‍රදේශයක්  
3. සුළං දහරා 

ඉතින් මේ කියන කරුණු තුන ගොඩක් වෙලාවට සම්පුර්ණ වෙන තැනක් තමයි ඝර්ම කලාපීය මුහුදු. බටහිර අප්‍රිකාව ආසන්නයේ මුහුද මේ සඳහා ගොඩක්ම යෝග්‍යයි. ගොඩක් වෙලාවට ඒ ආසන්නයෙන් තමයි කුණාටු හට ගන්නේ. ඒවා හඳ අල්ලපු රට පස්සෙන් එලවන්නේ මොකද කියලත් මම කියන්නම්. 


අධික උෂ්ණත්වය නිසා ජලය විශාල ප්‍රමාණයක් මුහුද මතුපිටින් වාෂ්ප වෙලා වාතය සමග ඉහළ නගිනවා (රත් වූ වාතය ඉහළ නගී කියලා කතාවක් අහල තියනවනේ). ඉතින් මුහුද ආසන්න වායු ගෝලයේ අව පීඩනයක් ඇති වෙනවා. ඒ අඩුව පුරවන්න අවට ප්‍රදේශ වලින් වාතය අර ස්ථානයට ඇදිලා එනවා. ඒ වාතයත් අර විදියටම රත් වෙලා ජල වාෂ්ප සහිතව ඉහළ නගිනවා, හරියට දුම් නලයක් දිගේ ඉහළ යනවා වගේ. ඉහළ වායු ගෝලයේදී මේ වාතය අර දුම් නලය වටා පැතිරෙනවා (මුළුතැන් ගෙයක චිමිනියෙන් දුම් විසිරෙන හැටි මතක් කරගන්න). මුහුද තමයි මේ වැඩේට උෂ්ණත්වය සහ තෙතමනය සපයන්නේ. ඔය විදියට ඉහළ නැගලා විසිරෙන වාතය ඝනීභවනය වෙලා වලාකුළු බවට පත් වෙනවා. මේ ක්‍රියාවලිය දිගටම සිද්ධ වෙන හින්දා අර වලාකුළු තට්ටුව නොනැවතී වර්ධනය වෙනවා.

මේ බලන්න හරිකේන් එකක් දිස් වෙන ආකාරය 


පේනවා නේද මැද තියන පොඩි රවුම. ඒකට කියන්නේ හරිකේන් එකේ "ඇහැ" කියලා. එතන තමයි අඩුම පීඩනයක් තියෙන්නේ. අර කියපු දුම් නලයේ මුදුන තමයි මේ ඇහැ. 

හරි, දැන් අපි දන්නවා කුණාටුවක් ඇති වෙන හැටි. එතකොට අර "සුළං දහරා" ඕන වෙන්නේ මොකටද? ඒවායින් තමයි කුණාටුවේ ගමන් මග තීරණය කරන්නේ. ගොඩක් වෙලාවට කුණාටු හටගන්නේ අප්‍රිකානු මුහුදෙන් කියලා දැන් අපි දන්නවනේ. ඒ ප්‍රදේශයේ "වෙළඳ සුළං" කියලා එකක් හමනවා ඔයාලා දන්නවද?

මේ තියෙන්නේ වෙළඳ සුළං හමන රටාව සහ දිශාව 


වෙළඳ සුළං ඇති වෙන්න බලපාන්නේ පෘතුවියේ බ්‍රමණය කියලා සමාජ අධ්‍යයනයට ඉගැන්නුවා සමහරුන්ට මතක ඇති (මටනම් ලාවට වගේ මතකයි :). 

ඉතින් ටාර්සන්ගේ රට (අප්‍රිකාව) ආසන්නයේ හටගන්න කුණාටුවක් වහාම හඳ අල්ලපු රට පැත්තට අරගෙන යන්න මේ සුළං සැදී පැහැදී ඉන්නවා. වෙළඳ සුළං හින්දා උතුරු ඇමරිකාවේ පහළ ප්‍රදේශ දිහාවට ඇදෙන සමහර කුණාටු එහිදී වෙළඳ සුළං බලපෑමෙන් මිදෙනවා. ඊට පස්සේ ඒකෙ ගමන් මග තීරණය කරන්නේ ප්‍රාදේශීය කාලගුණයට අදාළ සුළං මගින්. ඔන්න ඔහොමයි ඉතින් වෙන්නේ. 

එතකොට කුණාටුව, සුළියක් වගේ කැරකෙන්නේ ඇයි confused? ඒකට හේතුවත් අර වෙළඳ සුළං ඇති වෙන්න බලපාපු හේතුවම තමයි. පෘතුවියේ භ්‍රමණය. අවපාතය දිහාවට ගලාගෙන යන්න වාතය උත්සාහ කරන අස්සේ පෘතුවිය දක්ෂිණාවර්තව භ්‍රමණය වෙනවා. මේ නිසා උත්තර සහ දක්ෂිණ අර්ධ ගෝලවල එකිනෙකට විරුද්ධ දිශාවට සුළඟේ අපවර්තනයක් ඇති වෙනවා. මේකට කියන්නේ coriolis effect කියලා. ඒක හරියටම තේරුම් ගන්න මෙහෙම හිතන්නකෝ. ඔන්න ග්‍රමර්ෆෝන් එකක් කැරකෙනවා කියලා හිතන්න. කවුරු හරි ඒ තැටියේ මැදින් පටන් අරගෙන පහළට හුණු කූරකින් ඉරක් ඇන්දොත් ඇඳෙන ඉර කෙලින් එකක් නෙමෙයි, ඒක නවත්තලා බැලුවම වක්‍ර වෙච්ච ඉරක් තමයි පේන්න තියෙන්නේ. 

ඔය විදිහට උතුරු අර්ධගෝලයේ හමන සුළං දකුණු පැත්තට ඇල වෙලා ගමන් කරන බව ඔයාලට තේරෙනවා ඇති. ඉතින් අවපාතයේ පීඩනය අඩු ප්‍රදේශයට අවටින් සුළං හමා ගෙන එද්දී ඒවා මෙන්න මේ රූපයේ විදියට හැඩ ගැහිලා කුණාටුව වාමාවර්තව කැරකෙන්න ගන්නවා. 


ඒ වගේම, දක්ෂිනාර්ධ ගෝලයේ ඇති වෙන කුණාටු කැරකෙන්නේ දක්ෂිණාවර්තව. ඒක ආපහු පැහැදිළි කරන්න ඕන නෑ නේද. 

දැන් ඉතින් මේ විදියට භ්‍රමණය වෙමින් යන කුණාටුවක් නවතින්නේ කොහොමද? ආ ඒකට ඉතින් ගොඩබිමක් මුණ ගැහෙන්න වෙනවා. ගොඩ බිමකට ආවට පස්සේ කුණාටුව වර්ධනය වෙන්න ජල වාෂ්ප හොයාගන්න මුහුදක් නැහැනේ. ඒ නිසා තව දුරටත් ජල වාෂ්ප රත් වේවි ඉහළ යන්නේ නැහැ. ඉතින් ඒ පාර අර දැවැන්ත වලාකුළු සෙට් එක එකතු වෙලා දෙන්න පටන් ගන්නවා මදි නොකියන්නම වැස්ස, අකුණු ඊට පස්සේ ගංවතුර. ඒ මදිවට භ්‍රමණය වෙන අවපාතයෙන් ගස්, ගල්, ගෙවල් උගුල්ලලා අර ගන්නවා. අවපාතයේ ඇහැට අහු ඉනොත් ඉතින් සොරිම තමා hypnotized. එක අන්ශුවක්වත් ඉතුරු වෙන්නේ නෑ ඔන්න. ඔය වැඩ ටික කරලා ඉවර වෙනකොට තමයි කුණාටුවේ සැර බාල වෙලා හොඳ ළමයා වගේ යන්න යන්නේ. batting eyelashes

දැන් ඔයාලා දන්නවා නේද මේ හඳ අල්ලපු රටේ මිනිස්සුන්ට කුණාටු වලින් තියන කරදර. මේ ගොල්ලෝ සයිරන් සද්දයක් ඇහුනොත් බේස්මන්ට් වලට දුවන්න බලාගෙන ඉන්නේ. එහෙම ගිහින් දෙවියෝ සිහි කර කර ඉන්න එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ praying. ඒ විදියේ ආරක්ෂිතව හදපු ස්ථාන වලට ගියොත්නම් ගොඩක් වෙලාවට මේවයින් බේරෙන්න පුළුවන්. එහෙම නැතුව නිකන්ම ගේ ඇතුලට වෙලා හිටියොත් ඉතින් ගේත් එක්කම අවපාතය දිගේ කැරකි කැරකි උඩට යන්නත් පුළුවන්. :) හැබැයි ආපහු බිමට වැටෙයිද කියලනම් මගෙන් අහන්න එපා. 


Friday, September 30, 2011

කුණාටු වලට නම් දෙන හැටි



හඳ අල්ලපු රටේ ඉන්න මිනිස්සුන්ට "සුළි කුණාටු" එහෙම නැත්නම් "ටෝර්නේඩෝ" කියන්නේ එයාලට තියන ලොකුම ජීවිත තර්ජන වලින් එකක්. ඕනම වෙලාවක සයිරන් සද්දයක් ඇහුනොත් basement වලට දුවන්න බලාගෙන තමයි එයාලා ඉන්නේ. ඔය කියන කුණාටුවක් හරියට දැක්කොත් පේන්නේ උඩ තියන පින්තූරේ විදියටලු (එහෙම එකක් දකින්න ලැබෙන එක වාසනාවක්ද අවාසනාවක්ද කියලනම් මම දන්නේ නැහැ). මටත් ඔය වගේ පුංචි අත්දැකීමක් නම් තියනවා (ඒත් ඒ වෙලාවේ කුණාටුව ගිහින් තිබුනේ අපි ඉන්න තැනට ගොඩක් ඈතින්. ඉතින් අපිට තේරුණා ලගින් ගියොත්නම් සොරි තමයි කියලා worried). මොනවා උනත් ඒවායින් වැඩක් නැහැ, මේ කියන්න යන්නේ ඔය කුණාටු වලට නම් දෙන හැටිනේ.

මුලින්ම කියන්න ඕන ඔය උඩින් දාලා තියන වර්ගයේ කුණාටු (ටෝර්නේඩෝ) වලට නම් දැමීමක් කෙරෙන්නේ නැහැ (ඒවා ඒ තරමටම සුලබ නිසා වෙන්න ඇති). නම් දාන්නේ, ඊට වඩා ලොකු, සති කිහිපයක් උනත් පවතින්න පුළුවන් hurricane (සිංහලෙන් අවපාත වෙන්න ඕන) වලට. මේ හරිකේන් වල අතුරු ඵලයක් විදියට තමයි ගොඩක් වෙලාවට ටෝර්නේඩෝ ඇති වෙන්නේ. මෙන්න මේ පින්තූරේ තියෙන්නේ හරිකේන් එකක්. ඔය මැද හිලක් වගේ පේන එකට කියන්නේ හරිකේන් එකේ "ඇහැ" කියලා. එතන තමයිලු අවපාතයේ ගොඩක්ම පීඩනය අඩු තැන.



ඉතින් ඔය හරිකේන් වලට නම් දාන්න හරි ලස්සන ක්‍රමයක් තියනවා :) මම ලේසියට කුණාටු කියලම කියන්නම්. 
ඔයාලා අහල ඇතිනේ මෙන්න මේ වගේ කතා ...

"මේ පාර කත්‍රිනා සැරටම ඇවිල්ලා"
"රීටා ආපහු එනවලු" 

ඉස්සර මේවා ඇහුණාම මටනම් හිතුනේ මෙහෙම..."රීටා ආපහු එන්න එයා මෙච්චර කල් හිටියේ කොහෙද? අනිත් එක ඒ එන්නේ රීටා මයි කියලා මෙයාල දන්නේ කොහොමද?" thinking 
ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි.

මේ වැඩේට හදල තියනවා නම් ලයිස්තු 6 ක් . එක ලැයිස්තුවකට නම් 21 ක් ඇතුලත්. මේ නම් වල මුල අකුරු තියෙන්න ඕන ඉංග්‍රීසි හෝඩියේ අකුරු පිළිවෙලට. (Q, U, X, Y, Z කියන අකුරු අත අරිනවා. ඒකයි නම් 21 ක් එන්නේ). ලැයිස්තුවක නම් එකක් හැර එකක් ගැහැණු නමක් හා පිරිමි නමක් විය යුතුයි (ඉස්සරනම් ගැහැණු නම් විතරලු දැම්මේ big grin). මේ පහලින් තියෙන්නේ දැනට තියන නම් ලයිස්තු 6. 


2011         2012          2013           2014             2015              2016
Arlene
Bret
Cindy
Don
Emily
Franklin
Gert
Harvey
Irene
Jose
Katia
Lee
Maria
Nate
Ophelia
Philippe
Rina
Sean
Tammy
Vince
Whitney
Alberto
Beryl
Chris
Debby
Ernesto
Florence
Gordon
Helene
Isaac
Joyce
Kirk
Leslie
Michael
Nadine
Oscar
Patty
Rafael
Sandy
Tony
Valerie
William
Andrea
Barry
Chantal
Dorian
Erin
Fernand
Gabrielle
Humberto
Ingrid
Jerry
Karen
Lorenzo
Melissa
Nestor
Olga
Pablo
Rebekah
Sebastien
Tanya
Van
Wendy
Arthur
Bertha
Cristobal
Dolly
Edouard
Fay
Gonzalo
Hanna
Isaias
Josephine
Kyle
Laura
Marco
Nana
Omar
Paulette
Rene
Sally
Teddy
Vicky
Wilfred
Ana
Bill
Claudette
Danny
Erika
Fred
Grace
Henri
Ida
Joaquin
Kate
Larry
Mindy
Nicholas
Odette
Peter
Rose
Sam
Teresa
Victor
Wanda
Alex
Bonnie
Colin
Danielle
Earl
Fiona
Gaston
Hermine
Ian
Julia
Karl
Lisa
Matthew
Nicole
Otto
Paula
Richard
Shary
Tobias
Virginie
Walter


2011 වසර සඳහා පාවිච්චි කරන ලිස්ට් එක තමයි මුලින්ම තියෙන්නේ. දෙවැනි ලැයිස්තුව 2012 ටත් තුන් වෙනි ලැයිස්තුව 2013 ටත් මේ විදියට ලයිස්තු 6 බෙදල දෙනවා අවුරුදු වලට. 2011 අවුරුද්දේ එන මුල්ම කුණාටුවට නම තියන්නේ "Arlene" කියලා. දෙවෙනි කුණාටුවට "Bret". අවුරුද්ද ඉවර වෙන්න කලින් නම් 21 ම ඉවර උනොත් ඊ ළග අවුරුද්දේ නම් වලට යනවා. ලේසියි නේද?

දැන් එතකොට 2017 ට ලිස්ට් එකක් කෝ? ආ ඒකට අලුතෙන් ලිස්ට් හදන්නේ නැහැ. 2011 ලිස්ට් එකමයි ආපහු 2017 දීත් ගන්නේ. 2018 දී ගන්නේ 2012 ලිස්ට් එක. මේ විදියට ඔය නම් ලිස්ට් 6 නැවත පාවිච්චි වෙනවා. මේ නිසා තමයි "2005 දී ආපු  Arlene ආපහු 2011 දී එනවා" වගේ කතා කියන්නේ. එහෙම නැතුව එකම කුණාටුව කොහේ හරි ඉඳලා ආපහු එනවා නෙමෙයි :).

හරි, දැන් මේ විදියට මේ ලිස්ට් 6 තමයි දිගටම පාවිච්චි කරන්නේ. හැබැයි එක ප්‍රශ්නයක් තියනවා. අපි හිතමු 2011 දී ආපු දෙවනි කුණාටුව ගොඩක් විනාශකාරී එකක් කියලා. ඒකට නම වැටෙන්නේ Bret කියලනේ. ඊට පස්සේ Bret කියන නම ලැයිස්තුවලින් කපා හරිනවලු. ආපහු කවදාවත් ඒ නම කුණාටු වලට දාන්නේ නැහැලු.  ඊ ළගට Bret නමින් හමන කුණාටුව පොඩි පහේ එකක් උනොත් කලින් එකට අගෞරවයක් වගේ වෙයි කියලා තමයි මෙහෙම කරන්නේ. මේ විදියේ විනාශකාරී කුණාටු වලට උදාහරණ තමයි Katrina (මෙයා නිසා මිනිස්සු 2000 ක් විතර මැරුණා ලු 2005 දී) සහ Andrew. බලන්න ඒ නම් දෙක මේ ලැයිස්තුවල නැහැ. ඒ වෙනුවට වෙන නම් ඇවිත් (Katia සහ Alex).

ඔන්න ඔහොමයි ඉතින් කුණාටු ගැන කතාව.  මේ ලිපියේ සමහර විට වැරදි ඇති. දන්න කෙනෙක් ඉන්නවනම් නිවැරදි කරන්න :)


Monday, April 20, 2015

දේසේ හැටියට වාසේ

හඳ අල්ලපු රට යනු මහම මහ විපිරියාස රටකි. සීතල රටක් විදියට ප්‍රසිද්ධ උනත් මේකට සීතල රටක් යයි කටක් ඇර කියන්නට බැරිය. සීතල තියෙන්නේ එක කාලයකට විතරය. ඒ නොවැම්බර් සිට පෙබරවාරි දක්වාය (නැතහොත් වින්ටර් එකේ ය :p). ඒකත් නුවර එළියේ වගේ සුව දායක සීතලක් නොවේ. නස්තාර් වෙන්නම සීතලය.

අපි මේ හිටපු ටික කාලයට කිසිම වින්ටර් එකක් එක සමාන උනේ නම් නැත. එක වතාවක් "බ්ලිසාර්ඩ්" කියා එකක් ඇවිත් අඩි ගණනක හිම තට්ටුවක් අතුරා, පාසල්, විශ්ව විද්‍යාල, කාර්යාල සියල්ලම වසා දමන තැනට කටයුතු සිද්ධ කෙරුවේය. ඊ ළඟ වතාවේ Polar vertex කියලා එකක් සිද්ධ වී පැත්ත පලාතම අයිස් වලින් වහලා ගල් කර දැම්මේය (මෙන්න ඒ ගැන මම ලියපු හැටි).

මේ වතාවේ නත්තල් ඉවර වෙන තුරුත් හිම පොදක් දකින්න නොලැබුන නිසා "මේක නම් නියම වින්ටර් එකක්" යයි කියමින් සතුටින් පසු වෙද්දී ඇත්තටම "නියම වින්ටර් එක" ආවේය. සෙල්සියස් සෘණ 20 ටත් එහා උෂ්ණත්වය පහළ බැස අපට පස්වනක් ප්‍රීතියෙන් පිනා යන්නට අවස්ථාව සළසා දී ඒ මදිවාට එය මාර්තු ඉවර වන තුරුම ඇද්දේය. ඔන්න ඔය විදියට හැම වින්ටර් එකකම මොකක් හෝ ගිනි ගෙඩියක් දෙන්නේය. අපිටත් දැන් එහෙම දෙයක් නොවුනොත් නිකන් පාළු ගතියක් දැනේ.



ඉතින් වින්ටර් ඉවර උනාට පසු හොඳ සෞම්‍ය කාලගුණයක් උදා වනු ඇතැයි ඔබ සිතනු ඇත. එව්වා හඳේ ය (හාවා ලිඳේ ය). යන්තම් අප්‍රේල් මාසයේ විතරක් මල් පිපෙන්නට, දළු දමන්නට (ගස් වල හොඳේ) සෞම්‍ය කාලගුණයක් උදා වී ඉන්පසු මේක සවුදි අරාබියක් බවට පත් වන්නේය. සමර් එකේ දී උෂ්ණත්වය අනිවාර්යෙන් සෙල්සියස් 40 පනී. ඒ දාහය නිවා ගන්නට මිනිසුන් බුරුතු පිටින් පූල් වලට පනී.




කාලගුණය ගැන කිව්වොත් ඉතින් එහෙමය. ඉතින් වින්ටර් එකේ වගේම සමර් එකෙත් කටු කකා ඉන්න ජනතාවට dessert එක හැටියට ටොර්නේඩෝ, හේල් වැනි ඒවා හම්බ වෙන්නේ ය. මේ තියෙන්නේ සුළි කුණාටු ගැන මම ලියපු පෝස්ටු ය. වහින්නෙත් එහෙමය. වගේ වගක් නැතිව ඉඳ හිටි ගමන් පණ කඩාගෙන වහී. හරියට අපේ සොමී තාලම්පට ගනහවා වගේ ය.  එකක් ගහන්නට අමතක උනොත් ඒකට හරියන්න ඊ ළඟ වතාවේ දෙකක් ගසයි.

මේවා ඉතින් ලෝක සොබාවය යැයි කියා හිත හදා ගැනීමට පුළුවන. එහෙත්...මේ ගිය සතියේ දවසක මහ දවල් හඳ පායා තිබුණි. හඳ මාමා පායන්නේ රෑට යැයි අප කුඩා කල අසා තිබුනද එව්වා මෙහාට වලංගු නැත. දේසේ හැටියට බාසේ වෙනස් විය යුතුය. එහෙයින් දැන් අපට පොඩ්ඩන්ට කියා දෙන්නට වෙන්නේ, හඳ මාමා රෑටත් පායනවා, හිතුනහම දවල්ටත් පායනවා යි කියාය. 

ඉතින් හඳ අල්ලපු රට යනු අන්න එහෙම රටකි. 
Related Posts Plugin for WordPress, Blogger...