වෙසෙස් සිතෙන් මිදෙන සිතුම්....වලින් පහන් වැට සරසමි....
පහන් සිලෙන් ගලන කැලුම්....පසන් සිතින් විඳ තුටු වෙමි...
Tuesday, October 25, 2011
වඳින්න යන මේ නඩේ ට...2
මම කලින් ලිපියෙදි කිව්වනේ බොහොම අමාරුවෙන් පෙරුම් පුරලා ජීවිතේ දෙවෙනි වතාවටත් සිරිපා කරුණා කරන්න අවස්ථාවක් ලබා ගත්ත හැටි. අද කියන්න යන්නේ මගේ ඒ සැබෑ උන සිරිපා සිහිනය ගැන තමයි. අපි කලින් වතාවේ සිරිපා කරුණා කරේ තාත්තගේ ඔෆිස් එකේ අයත් එක්ක ට්‍රිප් එකක් විදියට. ඒත් මේ ගමනට එකතු උනේ අපේ නෑදෑයෝ ටික නේ. ඒ නිසා මේ ගමන නියම සිරිපා වන්දනාවක් විදියට යන්න තමයි අපි හිතා ගත්තේ.....
ඉස්සර කාලේ මිනිස්සු සිරිපා වඳින්න යන්න කලින් තමන්ගේ ගමේ පන්සලට ගිහින් බාරයක් වෙන එක තමයි සිරිත. තමන්ට මේ ගමන කිසිම කරදරයක් නැතුව ගිහින් එන්න ලැබෙන්න කියල තමයි බාර වෙන්නේ. ඉතින් අපේ නඩේ කට්ටියත් තීරණය කරා බාරයක් වෙන්න. ඒකට නඩේ හැමෝම සහභාගි වෙන්න ඕනලු. එක්කෙනෙක් හරි මග ඇරුනොත් එයාට යහතින් ආපහු එන්න ලැබෙන්නේ නෑ කියලා කට්ටියම මාව බය කරපු නිසා ගමනට කලින් සති අන්තයේත් මට ගමේ එන්න උනා පන්සල් යන්න. බාරේ වෙන හැටි නම් හරිම සරලයි. කවුරුත් එක්ක ගිහින් බුදුන් වැඳලා සුදු රෙද්දක ඔතපු පඬුරු ටිකක් අරන් ප්‍රාර්ථනා කරනවා අපිට මේ ගමන කරදරයක් නැතුව ගිහින් එන්න පුළුවන් උනොත් ආපහු පන්සලට ඇවිත් මේ පඬුරු පුජා කරනවා කියලා. සිරිපා ගමනටත් මේ පඬුරු ටික අරගෙන යනවා. ඒවා අතර මගදී නැති කර නොගන්නත් ඒවායින් රස කැවිලි මිල දී නොගන්නත් වග බලා ගන්න ඕන :D ඉතින් මේ පඬුරු පරෙස්සම් කිරීමේ වගකීම බාර ගත්තේ නිතරඟයෙන්ම නඩේ ගුරා උන අපේ එහා ගෙදර අංකල් (සිරි මාමා).
ඔන්‍න දැන් ගමනට ඔක්කොම ලෑස්තියි. අපේ නඩේ ට කෝඩු කාරයෝ තුන් දෙනෙක් ඇතුලත්. එකෙක් අපේ මලයා. එයා නම් අයිති වෙන්නේ දඬු කෝඩු කැටගරියට. එයාගේ කිරි කෝඩු වයස පැනලා හුඟක් කල් නේ (වයසට ගිහින් පලවෙනි පාරට සිරිපා යන අයට කියන්නේ මූකලන් කෝඩු කියල ලු). ඉතින් එක් පැහැදිලි සෙනසුරාදාවක උදේ අපි පිටත් උනා සිරිපා වන්දනාවට. අපේ නෑදෑයෝ සෙට් එකත් එක්ක ගමනක් යනවා කියන්නේ ඉතින් රස සාගරයක්. ඒත් ඉතින් මේ ලිපිය ලියන්නේ ඒවා ගැන කියන්න නෙමෙයිනේ....
කොහොමහරි එදා හවස 6 විතර වෙද්දී අපි "නල්ලතන්නිය" ට සේන්දු උනා (හැටන් පැත්තෙන් තමයි අපි ගියේ). ඒ දවස්වල නම් (2009) එන අයට කාලා නාලා එහෙම යන්න ඉතාම හොඳ තත්වයේ නවාතැන් පහසුකම් තිබුනා ඒ හරියේ. දැන් කොහොමද දන්නේ නැහැ. අපිත් ඉතින් හොඳට කාලා නාලා එහෙම පටන් ගත්තා සිරිපා කරුණා කරන්න.
වෙලාව රෑ 8 ට විතර ඇති. නල්ලතන්නි කඩ පලේ රේන් කෝට්, අයිස් කැප් විකුණන වෙළෙන්දන්ව පහු කරගෙන ගිහින් කඳු වළල්ලක් මැද තනි උන සමනල කන්ද දිහා බලද්දී අපි දැක්කේ අපූරු දසුනක්. කඳු පාමුල ඉඳලා කන්ද මුදුනට යනකන් ම විදුලි බල්බ පේලියක්. හරියට පහන් වැටක් දල්වලා වගේ තමයි පෙනුනේ. ඒත් ඒ ලස්සන කැමරාවකට ගන්න නම් කොහෙත්ම බැහැ.
අපිට මකර තොරණ ලඟට එන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. මකර තොරණ තමයි සිරිපා ගමන් මාර්ගයේ ආරම්භය විදියට සැලකෙන්නේ. මෙතැනදී හැමෝම පන්සිල් අරගෙන තමයි සමන් දෙවියන්ගේ සිරිපා අඩවියට ඇතුළු වෙන්නේ.
ඉතින් අපි මකර තොරණත් පහු කරගෙන හෙමින් ඇවිදගෙන ගියා. ඇත්තටම අපේ ගමන කෙරුනේ හුඟක් හෙමින්. මම පුංචි කාලේ ගියපු ගමනේදී මාව අතින් අල්ලගෙන හෙමින් පඩි පේලි නග්ගපු අපේ අම්මලා ට මේ වතාවේදී අත් වැලක් උනේ අපි. ඇත්තෙන්ම සමනල කන්ද මුදුනට පිම්මේ දුවන එක නම් තේරුමක් නැති වැඩක්. සමනල අඩවියේ ලස්සන විඳිමින් හෙමින් යන ගමන කොයි තරම් සුන්දරද?
මෙහෙම හෙමින් ගියපු අපි ටික වෙලාවකින් ආවේ සාම චයිත්‍යය ලඟට. මේ චයිත්‍යය හදල තියෙන්නේ "නිචි ෆුජි" කියන ජපන් භික්‍ෂුව. ඇත්තටම ඒකෙ ලස්සන පෙන්නේ කන්ද නගිද්දී නෙමෙයි බහිද්දී. මම උඩින්ම දාපු පින්තූරේ තියෙන්නේ සාම චයිත්‍ය කන්ද බහින කොට පේන හැටි.
ඉතින් මෙතන ටිකක් වෙලා නැවතිලා ආපහු ගමන පටන් ගත්ත අපි ආවේ සීත ගඟුල ලඟට. ඉස්සරනම් සිරිපා කරුණා කරන හැමෝම වගේ මෙතනින් නාලා පිරිසුදු වෙලා සුදු පිරුවට ඇඳ ගන්නවා කියලා අපේ අම්මා කිව්වා. මේ පිරුවට ඇඳිල්ල දැන්නම් එච්චර කෙරෙන්නේ නැහැ වගේ. කොහොම උනත් අදටත් හුඟ දෙනෙක් මෙතනින් නාලා පඬුරක් ගැට ගහලා යන්න අමතක කරන්නේ නැහැ.
සීත ගඟුලෙ දී ඇඳ පේ වෙන වා
එතැනදි සමහරු පඬුරු බඳින වා
කෝඩු කාරයෝ ඉස්සර වෙන වා
සමන් දෙවිඳුනේ අප රැක දෙන වා
මේ පඬුරු ගැට ගහනවා වගේ දේවල් කරන්නෙත් සමන් දෙවියන්ගෙන් ආරක්ෂාව ඉල්ලන්නෙත් සිරිපා ගමන ලේසි පහසු එකක් නොවන නිසා වෙන්න ඇති. දැන් වගේ නෙමෙයි ඉස්සර කාලේ සිරිපා වඳින්න යන අය අන්තිම කැමති පත්තරෙත් ලියල තියල ලු යන්නේ. ඒක ඒ තරමටම දුෂ්කර ගමනක්. දැන් වගේ ලේසියෙන් නගින්න පුළුවන් විදියේ පඩි පේලි එදා තියෙන්න නැතුව ඇති. තවමත් පැරණි මාර්ග වලින් ඉතුරු උන කම්බි කොකු වගේ සලකුණු සමහර තැන්වල දකින්න තියනවා.
ඉතින් ඒ තරම් දුෂ්කර ගමනක් කරදරයක් නැතුව ගිහින් එන්න ලැබෙන්න කියලා භාර හාර වෙන එක ඇත්තටම ප්‍රායෝගිකයි. ඒ වගේමයි සමන් දෙවියන්ගේ අඩවියෙදි "කට වරද්දගන්න එපා" කියල කතාවකුත් තියනවනේ. මකර තොරනෙන් මෙහා පැත්තට එද්දී, භාවිතා කරන වචන මාලාවත් වෙනස් වෙනවා. හැමෝම කියන්නේ "කරුණාවයි කරුණාවයි" කියලා. කොයි තරම් බර උනත් ගමන් මල්ලට කියන්නේ "සැහැල්ලුව" කියලා. වඳින්න යන අයටත්, වැඳලා බහින අයටත් අනෙක් නඩ වලින් ආශීර්වාද කරන්නෙත් ඒ නිසයි. ඒ කවි වල තියෙන්නේ සිංහල අපේ ලෙන්ගතු කම කියලයි මට නම් හිතෙන්නේ.
අපේ නඩේ ගුරා, සිරි මාමා තමයි මේ කවි කීමේ මූලිකයා උනේ. ඉස්සරහට හම්බ වෙන හැමෝටම වගේ සිරි මාමා කවියකින් සංග්‍රහ කරා.
වැඳල බහින මේ නඩේට බුද්ධං සරණේ සරණයි
ඒවාට පෙරලා පිලිතුරුත් ලැබුනා.
වඳින්න යන මේ නඩේ ට ධම්මං සරණේ සරණයි
ඒත් ඉතින් සමහර කොල්ලෝ සිරි මාමව විහිළුවට ගත්ත වෙලාවලුත් තිබුනා...සිරි මාමා "බෑනෝ" කියලා පටන් අරගෙන කවියක් කියද්දි "මාමේ දුව දෙනවද" කියල අහපු අයත් හිටියා. සිරි මාමා ඒවා ගණන් ගත්තේ නැහැ "ගෙදර එන්න....හෙට දෙනවා" කියල කවියෙන්ම උත්තර දුන්නා.
ඉතින් සීත ගඟුලත් පහු කරගෙන ගෙත්තම් පාන, හැරමිටි පාන, අහස් ගව්ව.....අප්පේ තව කොච්චර තියද? ඔක්කොම මේකේ ලිව්වොත් ඔයාල මගේ බ්ලොග් එක පැත්තේ එන එකත් නවත්තයි. ඒක නිසා මෙතනින් නවතින්නම්....
Subscribe to:
Post Comments (Atom)
මම ගිහිල්ලා තියෙන්නේ රත්නපුරා පැත්තෙන්..පළාබද්දල පාරෙන් මට මතක විදියට...මම එතකොට කිරි කෝඩු..මට බඩේ ගායක් ගැදුනා යද්දි..තාම මතකයි "බත් මඩ" කියලා කියන්නේ වැසිකිලි යනකොට......යනකොට නෙමෙයි යන ඒවට......
ReplyDelete@ඔබ නොදුටු ලොවක් : රත්නපුරේ පැත්තෙන් යනකොට නේද ලිහිණි හෙළ, ධර්මරාජ ගල එහෙම අහු වෙන්නේ. අදයි ඇහුවේ "බත් මඩ" ගැන :) අළුත් වචනයක් කියල දුන්නට තැන්කූ....
ReplyDeleteසිරිපා වන්දනාවක දුෂ්කර බව ටිකක් හරි විඳගන්නනං රත්නපුර පැත්තෙන් නගින්න ඕන. හැටන් පැත්තෙ වගේ සිමෙන්තියෙන් බැඳපු පඩි, පාර දිගට කඩවල් එහෙම ඒ පැත්තෙ නෑ. නගින්න තියෙන දුරත් වැඩියි.
ReplyDeleteලිහිණි හෙළ, ධර්මරාජ ගල එහෙම තියෙන්නෙත් ඒ පැත්තෙ තමයි.
මමත් නැග්ගේ හැටන් පැත්තෙන්.. රෑ වෙලා තමයි, සයුරි ඔබ දාලා තියෙන විදියටම ලස්සනට ඈත සිරිපා කන්ද මැදින් යන ආලෝක රේඛාව අපිත් රස වින්දා...
ReplyDeleteදඬු කෝඩු ගැනත් අදයි අහගත්තේ... ඒකට සහ පෝසට් එකටත් ස්තුතියි. මේ බ්ලොග් එකේමම හරි, නැත්නම් මේක බලන වෙන කෙනෙක් හරි, විශේෂයෙන් රත්නපුර, නල්ලතන්නි හරියේ ඉන්න කෙනෙක්ට පුළුවන් නම් සිරිපාදය හා බැඳුනු චාරිත්‍ර, ජන පවාද ගැන ලියලා තියන්න... ඒක අනාගත පරම්පරාවට ගොඩක් වැදගත් වේවි. දැනටමත් අපිටත් ඒවා ගැන හරියකට දැනගන්න, දැකගන්න අවස්ථාවක් නෑ නොවැ...
ස්තුතියි මේ පෝස්ට් එකට !!!
මම සිරිපා කරුණාව ගැන දාල තිබුන මේ පොස්ට් දෙකම කියෙව්වා. ඇත්තටම මගේ මතකයත් ඒ සුන්දර අතීතෙට දිවගෙන ගියා. මම සිරිපා කරුණා කරලා තියෙන්නේ එක වතාවයි. ඒ 1999 වර්ෂයේදි. එතකොට අපි පාසල් යන කාලේ. මම ඒ දවස් වල හිටියේ 9 වසරේ. අපි ගියෙත් හැටන් පාරෙන්. අපි හිතවත් කීප දෙනෙකුත් එක්ක ගියේ. මම කෝඩු කාරයෙක් නිසා සීත ගඟුලෙන් නාල ඒ වතාවත් කරලා තමයි ගියේ. මම විතරක් නෙවෙයි. ඇයි අපේ අම්මත් කෝඩුනේ. එයා නම් ඉතින් දඬු කෝඩු.
ReplyDeleteඇත්තටම සුන්දර අත්දැකීමක්. ආපහු සිරිපා කරුණා කරන්න ලොකු ආසාවකින් ඉන්නේ. තාම නම් යන්න බැරි උනා. ඉදිරියේදි බලමු. ඔයාගේ සුන්දර අත්දැකීම් අපිත් එක්ක බෙදා ගත්තට බොහොම ස්තුතියි. ඔබට තවත් ලියන්නට දිරිය, ශක්තිය නොඅඩුව ලැබේවා. ඔබට ජය...
මාත් බොහොම පුන්චි සන්දියේ මට නොතේරෙන වයසක අම්මා මාව වඩාගෙන සිරිපා කරුනා කරලා තියනවලු.... එත් මේ කාලේ තවම කරුනා කරන්න බැරිඋනා.. කියවනකොට ඉක්මනටම යන්න ඕනා කියලා හැගිමක් පහල උනා.... ගොඩාක් ස්තුතියි
ReplyDeleteමම එක පාරයි උනත් ගිහින් තියෙන්නේ ඒ යද්දී මට 16 විතර ඇති,, ඒනිසා මේ ලියපු හැමදෙයක්ම වගේ මටත් හොදට මතකයි...
ReplyDelete@Praසන්ன : ඒක තමයි...මමත් ආපහු යනවනම් කැමතියි රත්නපුර පැත්තෙන් යන්න. බොහොම ස්තුතියි ප්‍රසන්න මේ පැත්තේ ආවට....
ReplyDelete@චතුරංග : මමත් හරි කැමතියි පරණ සිරිත් විරිත්, ජනප්‍රවාද වගේ දේවල් දැන ගන්න. ඇත්තටම දන්න කෙනෙක් ඒවා කියල දෙනවනම් ලොකු දෙයක්...ස්තුතියි චතුරංග කමෙන්ටුවට...:)
@උදයංග : බොහොම ස්තුතියි උදයංග...ගෙත්තම් පානේ කතාව, අහස ගව්ව, මහ ගිරි දඹය ගැන කියවෙන ඉතුරු ලිපියත් ළඟදීම දාන්නම්. ඔයාලා කැමැත්තෙන් කියවනවානම් ඒක තමයි මගේ සතුට :) නැවතත් ස්තුතියි....
@දේවා : මල්ලිත් ඉක්මනින්ම යන්න බලන්නකො එහෙනම්. ගිහින් ඝාන්ටාරේ දෙපාරක් ගහලා එන්න :)) ස්තුතියි ඔයාටත් මේ පැත්තේ ආවට...
@දිනේෂ්: ඔව් මල්ලි...මම මුලින්ම ගියේ අවුරුදු 8 දී..ඒත් මට ගොඩක් දේවල් හොඳට මතක තිබුනා..සිරිපා කරුණාව ඒ තරමටම සුන්දරයි...
ReplyDeleteහප්පේ ඇති යාන්තම් !!! මේ උන්දැට වැඳ වැටිලා මේ ටික ලියෝ ගත්තේ. මරු ගමනක් නෙ. මල්ලිට කියපු වචනේ තමයි මරු "දඬු කෝඩු !!!" පවු නේ මල්ලි.
ReplyDeleteමේ ගමනට අක්කෑ වෙන්ඩ මහත්තයා ආවේ නැතෙයි ?
ඒවයින් කාරි නෑ. ඔහේ ඉතුරු ටිකත් ඉක්මනට ලියා දානවා හොදයි.
කරුණාවයි කරුණාවයි !!! සමන් දෙවිඳු කරුණාවයි !!
හෑ.... මගේ කමෙන්ට් එක මකාදාලා !!!! මෙවුවා අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණ !!!
ReplyDeleteඅම්මෝ ඇති යාන්තම් මේ ටික කියලා ලියෝ ගත්තා.
මල්ලිට කියන නම නම් මරු "දඬු කෝඩු !!"
ඒක නෙමේ අක්කා ඔයෑ වෙන්ඩ මහත්තයා එහෙම ආවේ නැද්ද ඔය සිරිපාදේ ගමනට.
හෙ හෙ අනේ මලයෝ මම නම් මැකුවේ නැහැ..මාත් බැලුවා ඒක අන්තරස්දාන උනේ කොහොමද කියලා.
ReplyDeleteදඬු කෝඩු - සිරිපාදේ පලවෙනි වතාවට යන තරුණ එව්වෝ
මූකලන් කෝඩු - " " " " වයසක අය
වෙන්ඩ මහත්තයාට උන හැදිලා එන්න බැරි උනා නේ. මොනා හරි ට්‍රිප් එකක් දා ගත්තොත් එයා උණ හදා ගන්නවාම තමයි.
ගොඩක් මහත්තයාලට උන හැදෙනවා එයාලගේ නෝනලා ගමනක් යන්න කතා කලාම. එහෙම වෙන්නේ එයාලගෙම හොදට. ඕක පරිණාමයෙන් ආපු එකක්
ReplyDeleteමම් මේ කියන්නේ අත්දැකීමෙන් කියන්නේ. මම් යාලුවෙලා හිටපු කෙනා කොහේ හරි යන්න එන්න කිව්වම මට බඩේ ගාය හැදෙනවා :)
හික්ස්...අනේ අනේ හොර ලෙඩ අරගෙන නේද? ඉතින් දැන් කෝ ඒ යාලු වෙලා හිටපු කෙනා?
ReplyDeleteහැබැයි අපේ එක්කෙනාටනම් එයා කැමති ගමනක් යන්න හැදුවත් උණ හැදෙන එකනේ ප්‍රශ්නේ...:D
නෝනලා ගමනක් යන්න කතාකරද්දී මහත්තුරුන්ට උන හැදෙන්නේ වියදම මතක් උනාම.. ඕක යාළු වෙලා ඉන්න අයත් පොදුයි.. අරක ඕන මේක ඕන කියද්දි අරන් දෙන්න එපැයි.. මං හිතන්නේ මධුරංග අයියත් ඒ හේතුවම වෙන්න ඇති.. මටනම් එහෙමයි.. බොරු මොකටද..
ReplyDeleteඅනේ මම නම් එහෙම නැතෝ... :D දන්නෝ දනිති :p
ReplyDeleteළමයිනේ..මම උණ කිව්වේ ඇත්තම "වයිරස් උණ" ට. හි හි
aththatama godak lassanai..mamath 1 sarayak karuna karanna gihin thiyenawa..a gamane hama deyakma meka kiya waddi mathak una.nodanna dewalgodak dana gaththa..oyata godak pin
ReplyDelete@ thilina prasad : ඔයාට බොහොම ස්තුතියි මේ පැත්තේ ඇවිත් අදහසක් දීල ගියාට....ඇත්තටම මේ වගේ ලස්සන චාරිත්‍ර ඇතුලත් වෙනත් ගමනක් ඇති කියල මම හිතන්නේ නෑ...
ReplyDeleteඅසාවෙන් බැලුව සයුරි ඒ එක්කම තව කෙනෙක්
ReplyDeleteමතක් උනා . අපෙත් රත්මලානේ ලොකු තාත්තලාගේ ගෙවල්
ගාව හිටියා සිරී කියල uncle කෙනෙක් ..කන්න බොන්න
ට්‍රිප් යන්න නියම කෙනා..ඒ uncle ද දන්නෙත් නැහැ ඔය කියන්නේ..
අනේ මම නම් සිරී පාදේ ගිහින් නැහැ , අඩුම තරමේ ම්හින්තලේ
වත් උඩටම නැගල නැහැ අනේ..මන් ඒ හීන ආයේ දකින්න කැමතිත්
නැහැ ..මට ආයේ යන්න වෙන්නෙත් නැහැ මන් හිතන්නේ..:(
අනේ ඔහොම අන්කල් ලා ඉන්නවා තමා. එයාල නැති උනාම පාලුයි. මේ අන්කල් නම් රත්නපුරේ නෙමෙයි හැබැයි.
Delete