Wednesday, March 28, 2012

පංචි දමන්නට කවුදැයි එන්නේ


කෝ බලන්න පංචි දාන හැටි දන්න කට්ටිය අත උස්සන්න....දැන් අවුරුද්දත් කිට්ටු වේගෙන එන හින්දා මට හිතුනා බොහොම විනෝද ජනක අවුරුදු ක්‍රීඩාවක් වන "පංචි" ක්‍රීඩාව කරන්නේ කොහොමද කියලා කියල දෙන්න. මේවා අභාවයට යන්න නොදී නොදන්න අයට කියලා දෙන එක අපේ යුතු කම නේ. :)

මම ලංකාවෙන් එන්න කලින් හැම අවුරුදු කාලෙකදිම නොවැරදී කරපු දෙයක් තමයි නෑදෑයෝ සෙට් එකත් එක්ක පංචි දාන එක. නොකා නොබී වරු ගානක් කරන්න පුළුවන් සෙල්ලමක් තමයි පංචි කියන්නේ. ක්‍රීඩකයෝ වැඩි වෙන තරමට තමයි ඒකෙ ෆන් එක වැඩි වෙන්නෙත්. ඉතින් ඔයාලත් කැමතිනම් මේ අවුරුදු කාලේ පවුලේ හැමෝම එකතු කරගෙන විනෝද වෙන්න, ඔන්න මම කියල දෙන්නම් ක්‍රමේ.

අවශ්‍ය දෑ

* හොඳින් ශුද්ධ කර ගත් පොල් කටු දෙකක් (සාමාන්‍යයෙන් එකක් ගැහැණු පොල් කටුවක්. අනිත් එක පිරිමි පොල් කටුවක් වෙන විදියට තමයි ගන්නේ)
* බෙල්ලෝ 7 ක් (බෙල්ලොන්ගේ ඇතුලට ඊයම් පිරෙව්වොත් තමා වඩා හොඳ. නැතත් අවුලක් නැහැ)


* ක්‍රීඩකයින්ට ඉඳ ගන්න පැදුරක් 
* ගෝනියක් (නවපු බෙඩ් ෂීට් එකක් උනත් කමක් නැහැ.)
* බල්ලෝ 6 ක්. බල්ලෝ කිව්වේ පොඩි ඉත්තෝ වගේ ඒවා. පොඩි ගල් කැට, පිඟන් කෑලි වගේ දේවල් මේ වැඩේට හරි යනවා. එක ජාතියෙන් තුන ගානේ, පැහැදිලිව වෙන් කරලා අඳුර ගන්න පුළුවන් ජාති දෙකකින් හොයා ගත්තම හරි. පංචි වලදී ඒවාට කියන්නේ "බල්ලෝ" කියලා. 
* ක්‍රීඩකයින් ඉරට්ටේ ගණනක්. අඩුම තරමේ දෙන්නෙක් වත් ඕන. (ඔත්තේ ගණනක් ඉන්නවනම් අඩු පිළ ට හුන්ගෙක් දා ගත්තම හරි. හුන්ගා කිව්වේ ඇලේ ඉන්න එකා නෙමෙයි හොඳේ)
* පංචි පෙත 

පංචි පෙත ඔයාලට ඇඳ ගන්න වෙනවා. ලොකු ඝනකම් කාඩ් බෝඩ් එකක හරි තුනී ලෑලි කෑල්ලක හරි මේක ඇඳ ගන්න පුළුවන්. මෙන්න මේ විදියට තමයි අඳින්න ඕන. රූපෙ උඩ ක්ලික් කරලා බලන්න. 



පෙතේ වැදගත් ස්ථාන වලට කියන නම් තමයි මම ලකුණු කරලා තියෙන්නේ. ඔය කතිර කොටු හරියට නිකන් බල්ලෝ හති අරින ගිමන් හල් වගේ. බල්ලෙක් එයින් කොටුවක ඉන්නකං අනිත් පිලේ බල්ලොන්ට බැහැ ඌ ව කපන්න. හැම කොටු හයකට වරක්ම කතිර කොටුවක් හමු වෙනවා. එකම පිලේ බල්ලන්ට ඕනෑම කොටුවක එක වෙලාවේ ඉන්න පුළුවන් උනත් දෙජාතියේ බල්ලොන්ට එකට ඉන්න පුළුවන් රූපයේ පෙන්නලා තියන කතිර කොටුවේ විතරයි. පටන් ගනිද්දී බල්ලෝ ඉන්නේ අර ඇඳලා තියන රවුම් දෙකේ. 

හරි, දැන් බලමුකෝ සෙල්ලම යන්නේ කොහොමද කියලා. 

මුලින්ම පැදුර බිම එලන්න. පැදුරේ මැදට වෙන්න ගෝනිය හරි නවාගත්ත බෙඩ් ෂීට් එකක් හරි එලන්න (මෙහෙම කරන්නේ බෙල්ලෝ හොඳට පෙරලෙන්න ඕන නිසා). ගෝනිය උඩ ගැහැණු පොල් කටුව මුනින් අතට නවන්න. පැදුරේ එක අයිනකින් පංචි පෙත තියා ගන්න. පෙත දෙපැත්තේ ඉඳ ගන්න ඕන කණ්ඩායම් දෙකේ නායකයෝ දෙන්නා. එයාලා දෙන්නා තමයි "අය තියන්නේ" (අය තියනවා කියන්නේ පෙතේ බල්ලන්ව හැන්ඩ්ල් කරන එකට). ඊට පස්සේ එක පිලක නායකයා ගාවින් අනිත් පිලේ කෙනෙක් ඉඳ ගන්නවා. එයා ගාවින් ආපහු අනිත් පිලේ කෙනෙක් ඉඳ ගන්නවා. ඔය විදියට පිල් දෙකේ අය මාරුවෙන් මාරුවට රවුමට වාඩි වෙනවා අර පොල් කටුව නවපු ගෝනිය මැදි වෙන විදියට. 

තමන්ට අයිති බල්ලෝ තුන් දෙනා පෙතේ තමන්ගේ පැත්තේ මේ විදියට තියා ගන්නවා. 


ඔන්න ෆීල්ඩ් සෙටින්ග්ස් හරි. දැන් පටන්ගමු සෙල්ලම. විස්තර කිරීමේ පහසුව සඳහා නිල් බල්ලන් අයිති පැත්ත නිල් පිළ හරියටත් අනිත් අය රතු පිළ හැටියටත් හඳුන්වන්නම්.

මුලින්ම කියන්නම් බල්ලෝ පෙත දිගේ ගමන් කරන්න ඕන හැටි. නිල් පාටින් පෙන්නන්නේ නිල් පිලේ බල්ලෙකුගේ ගමන් මාර්ගය. අනික රතු පිලේ බල්ලෙකුගේ ගමන් මග. රූපය ක්ලික් කරලා බලන්න. 

දැන් පේනවා ඇති එක බල්ලෙක් ගේ ගමන් මගේදී එක කොටුවක් විතරක් දෙපාරක් හම්බ වෙනවා කියලා (බල්ලට හම්බ වෙන 3 වෙනි කතිර කොටුව). ඒ කොටුවට දෙවැනි වතාවේ ආවම "බල්ලා ගෙට ආවා" කියල තමයි කියන්නේ. ඒ වෙලාවට ඔය කොටුවේ නවතින්න හිතුනොත් බල්ලව තමන්ගේ පැත්තේ "ගෙය" කියලා ලේබල් කරලා තියන තැනට තාවකාලිකව දා ගන්න පුළුවන්. නැත්නම් ටික වෙලාවකින් එහා පිලේ අය කියාවි ඌ රවුමේ ගිහින් ආපු එකෙක් නෙමෙයි රවුම යන්න පටන් ගන්න එකෙක් කියලා:). ඉන් පස්සේ තමයි ඌ ගහේ නගින්න පටන් ගන්නේ. ඔහොම යද්දී අර තරුවක් ලකුණු කරලා තියන තැන හම්බ වෙනවා නේද. තරුව ඇඳලා තියෙන්නේ ඉරක් උඩ නේ. අන්න එතනත් බල්ලා නැවතිලා තමයි යන්න ඕන (ඒ කියන්නේ එතනටත් එක ලකුණක් අයින් වෙනවා) . බල්ලෝ තුන් දෙනාම මෙහෙම ගිහින් ගොඩ  (රූපය බලන්න) යන්න ඕන. එහෙම මුලින්ම යන පිළ දිනුම්. 

දැන් ඉතින් බල්ලන්ව ගමන් කරවන්න ලකුණු ගන්න ඕන නේ. ඒක කරන්නේ මෙහෙමයි. 

මුලින්ම එක නායකයෙක් (හිතමු නිල් නායකයා කියලා) අර ඉතුරු පොල් කටුව අරගෙන බෙල්ලෝ හත් දෙනා ඒකට දාලා හොඳට හොලවලා නවපු පොල් කට්ටේ මුදුනට බෙල්ලෝ ටික අත අරිනවා. ඉන් පස්සේ ගෝනිය උඩට වැටෙන බෙල්ලන්ගෙන් කී දෙනෙක් උඩ අතට හැරිලද කියලා ගණන් කරනවා. මෙතනදී වැටෙන ගණන අනුව තමයි එයා සෙල්ලමට අවතීර්ණ වෙන එක තීරණය වෙන්නේ. ඒකට කියන්නේ "සළු" වෙනවා කියලා. සළු වෙන්න නම් 6 ක් හෝ 5 ක් හෝ 1 ක් හෝ වැටිය යුතුයි. 

ඉතින් නිල් නායකයා සළු නොවුනොත් ඔහු ළඟ ඉන්න අනිත් පිලේ කෙනාට පංචි දාන්න වාරය ලැබෙනවා. අපි හිතමු ඔහුට 6 ක් වැටුනා කියලා. ඒ කියන්නේ ඔහු සළුයි. 1 ක්, 5 ක් හෝ 6 ක් වැටුනොත් ඒ කෙනාට ආපහු දාන්න චාන්ස් එකකුත් ලැබෙනවා. ඒ නිසා අපි හිතමු ඊ ලඟට ඔහුට 4 ක් වැටුනා කියලා. එතකොට එකතුව 10 යි. රතු පිලේ බල්ලෝ තුන් දෙනාට ලකුණු තුනක් ඇරලා ඉතුරු ලකුණු 7 න් අය තියන්න පටන් ගන්න පුළුවන්. හැබැයි ඔහු සළු උන පලියට රතු පිලේ අනෙක් අය සළු නැහැ නේ. ඒ අයත් සළු වෙන තුරු ඒ අයට වැටෙන ලකුණු අය තියන්න පාවිච්චි කරන්න බැහැ. ඊ ලඟට අත පාස් වෙන්නේ නිල් පිලේ කෙනෙක්ට. ඔහුත් සළු වෙන්න ට්‍රයි කරනවා. හරි ගියොත් බල්ලෝ 3 දෙනාට ලකුණු 3 ක් කපලා ඉතුරු ටිකෙන් අය තියන්න පටන් ගන්නවා. දැන් ඔයාල බලාවි කාටහරි 1 ක් වැටිලා සළු වුනොත් බල්ලොන්ට ලකුණු තුනක් කපන්නේ කොහොමද කියලා. මොකද 1 ලකුණයි නේ තියෙන්නේ. එතකොට කරන්නේ ඒ ලකුණෙන් එක බල්ලෙක් සළු කර ගන්න එක. ඊ ළඟ වැටෙන ලකුණු ඒ බල්ලා ගෙන් අය තියන්න පුළුවන්. හැබැයි අනිත් බල්ලෝ දෙන්නා පාවිච්චි කරන්න තහනම්. එයාලගෙන් අය තියන්න නම් කවුරු හරි තවත් 5 ක් හෝ 6 ක් (5 හෝ 6 ලකුණු වලට පොදුවේ "පන්චක්" යයි කියනු ලැබේ) දාලා උන්වත් සළු කර ගන්න ඕන. 

දැන් ඔයාලට තේරෙනවා ඇති. හැම ක්‍රීඩකයෙක්ම වෙන වෙනම සළු විය යුතු බවත් (බීලා එහෙම නෙමෙයි),  මුලින්ම සළු වෙන අය විසින් බල්ලන්ද සළු (නිදහස්) කර ගත යුතු බවත්. දැන් අපි හිතමු කලින් කිව්වා වගේ රතු පිලේ කෙනාට පිලිවෙලින්  6 ක් සහ 4  ක් වැටුනා කියලා. ඔහු බල්ලෝ 3 දෙනා සළු කර ගන්නවා. එතකොට ඉතුරු 7 යි. ඔහුට පුළුවන් මේ විදියට අය තියන්න පටන් ගන්න. 

ඔහු කැමති නම් එක බල්ලෙක් විතරක් සළු කරගෙන ඉතිරි 9 ම අය තියන්නත් පුළුවන්. හැබැයි අනිත් දෙන්නා සළු කර ගන්නකම් උන්ගෙන් අය තියන්න බැහැ. 

නැත්නම් එක බල්ලෙක්ගෙන් 6 ක් තියලා වෙන එකෙක්ගෙන් ඉතුරු එක තියන්නත් පුළුවන් මේ විදියට. (මෙහෙම ලකුනු ටික බල්ලෝ දෙන්නෙක්ට කඩලා අය තියන්න පුළුවන් වෙන්නේ පන්චක් වැටුන වෙලාවක විතරයි)


ඒක ඉතින් නායකයා කැමති හැටියක්. හැබැයි ටිකක් මොලේ කල්පනා කරලා කරන්න ඕන වැඩක්. 

දැන් අය තැබීමේ නීති රීති ටිකත් කියන්නම්.

* බල්ලෙක් කතිර කොටුවක ඉන්නකං අනිත් පිලේ බල්ලොන්ට ඌ ව කපන්න බැහැ කියල කිව්වනේ. නිකන් කොටුවක හිටියොත් අනෙක් පිලේ බල්ලාට ඒ කොටුවට එන්න ලකුණු වැටුනොත් ඌ කපන්න පුළුවන්. බල්ලාව කපන්න 3 ක් ඕනනම් වැටුනේ 4 ක් නම් ඌ ව කපන්න බැහැ. හැබැයි පන්චක් වැටුනානම් (5 ක් හෝ 6 ක්) කිසි කතාවක් නැතුව කපන්න පුළුවන්. එතකොට බල්ලා කපන්න ලකුණු තුනක් අරගෙන ඉතුරු ලකුණු ටිකෙන් ඒ බල්ලම කන්ටිනිවු කරන්නත් පුළුවන්. නැත්නම් වෙන බල්ලෙක් ව යවන්නත් පුළුවන්. 

* මෙහෙම පංචි වැටිච්ච වෙලාවට එක බල්ලෙක්ගෙන් කැමති තරමක් අය තියලා වෙන එකෙක්ගෙන් ඉතුරු ටික තියන්නත් පුළුවන් (කලින් කිව්වා වගේ). ගොඩක් වෙලාවට බල්ලන්ව කතිර කොටුවල තියා ගන්න පුළුවන් නම් හොඳයි. තුන් දෙනා එක ළඟ හිර නොවෙන්නත් වග බලා ගන්න ඕන .

* බෙල්ලෝ 7 දෙනාම උඩ අතට වැටුනොත් එක ලකුණත් වත් ලැබෙන්නේ නැහැ :). මේ වගේ අවස්ථාවක් හඳුන්වන්නේ "මළක්" කියලා.

* බෙල්ලෝ 7 දෙනාම යටි අතට වැටුනොත් ලකුණු  14 ක් ලැබෙනවා වගේම ආපහු දාන්න චාන්ස් එකකුත් ලැබෙනවා. ඒකට කියන්නේ "බොක්ක" කියලා. හැබැයි මේ 14 කැමති විදියට බල්ලන්ට කඩලා තියන්න පුළුවන් වෙන්නේ ඒ අතේදීම පන්චකුත් වැටුනොත් විතරයි. නැත්නම් බෙල්ල ගහල ගියත් 14 ම එක බල්ලෙක් ගෙන් තියන්න ඕන. 

* තමන්ගේ පිලේ බල්ලෙක් කැපුනොත් එහෙම ඌ ට අනිත් පිලේ "රවුම" ට යන්න වෙනවා. එතකොට ඌ තහනම් බල්ලෙක්. ආපහු ඌ ව ගන්න (සළු කරගන්න) පුළුවන් වෙන්නේ 1 ක්, 5 ක් හෝ 6 ක් දැම්මොත් තමයි. එහෙම වැටුනොත් බල්ලට ලකුණක් කපලා ඌ ව අරගෙන අපේ රවුමෙන් තියා ගන්න පුළුවන්. ඊට පස්සේ ඌ ට සිද්ධ වෙනවා ආපහු මුල ඉඳං ගමන පටන් ගන්න. 

* මෙහෙම අවස්ථාවක් හිතන්න. ඔන්න නිල් පිලට 4 ක් වැටුනා. එයා අය තියන්න හදන බල්ලා ට 4 ක් එහා කොටුවේ අනිත් පිලේ බල්ලෙක් ඉන්නවා. එතකොට එයාට ඒ බල්ලා ගෙන් අය තියන්න බැහැ (ඒ අවස්තාව ට කියන්නේ "උල යි" කියලා). ඒ නිසා වෙන බල්ලෙක්ගෙන් අය තියන්න වෙනවා. කිසිම බල්ලෙක්ගෙන් තියන්න බැරි නම් ඒ ලකුණු ටික අත ඇරලා අත පාස් කරනවා. හැබැයි අය තියන්න පුළුවන් බල්ලෝ ඉඳිද්දී නිකරුනේ අත පාස් කරන්න ඔට්ටු නැහැ.

* බල්ලෙක් ජසේ ඉන්න වෙලාවට (නම් කරපු රූපය බලන්න) ඌ ට ගොඩ යන්න ඕන නම් එක්කෝ 1 ක් නැත්නම් පන්චක් වැටෙන්නම ඕන. 

ඔන්න මම හිතන විදියට ඔක්කොම නීති රීති ටික කිව්වා. තව අඩු පාඩු ඇති සමහර විට. ඔයාලා ප්‍රශ්න ඇහුවොත් මට උත්තර දෙන්න පුළුවන්. සෙල්ලම කරලම බලන්න ඕන ඉතින් මේකේ තියන ෆන් එක තේරෙන්න. ඒ වගේම එල කිරි නෑදෑයෝ සෙට් එකකුත් ඉන්න ඕන ඒකට. මට හිතෙන විදියටනම් මේ වැඩේට හරි යන්නේ යාළුවො නෙමෙයි. නෑයෝම තමයි. එක එක වයස් වලින් (අත්තම්මාගෙන් පටන් ගත්තම අම්මා, තාත්තා, මාමලා නැන්දලා, මල්ලිලා, අවු. 5 විතර පොඩි එවුන් උනත් කමක් නෑ) කට්ටිය ඉන්නවනම් මරු. එතකොට තමයි එතන එකම කාලගෝට්ටියක් බවට පත් වෙන්නේ. ඒක ඉතින් අත් විඳලම බලන්න ඕන. 

කොහොමත් අපි අවුරුදු ක්‍රීඩා කරන්නේ පවුලේ අයත් එක්ක නේ. ඒවායින් පවුල්වල තියන බැඳීම වැඩි වෙනවා වගේම අලුත් වෙනවා කියලා මට හිතෙනවා. අවුරුදු ක්‍රීඩා වල අරමුණත් ඒකම වෙන්න ඇති. ඒ වැඩේට මේ සෙල්ලමනම් කියාපු සෙල්ලමක්. හැමෝටම සහභාගී වෙන්න පුලුවන් නිසා. 

ඉතින් ඔයාලත් කැමතිනම් කරලා බලන්නකෝ. සෙල්ලම කරද්දී ප්‍රශ්න ආවොත් කමෙන්ට් එකකින්වත් අහන්ඩ. ඒවාට උත්තර දෙන්න මම බැඳී සිටිමි :))

75 comments:

  1. මම මේ ගැන එච්චරම දන්නේ නෑනේ.. හැබෑටම කියන්නත් ලැජ්ජයි.. කොහොම උනත් මේ ගැන ලියපු එක නම් වටිනවා අක්කේ.. පොඩි කාලේ අපි ගාල්ලේ ඉද්දිනම් සෙල්ලම් කලා කියල මතකයි.. ඒත් ඊට පස්සේ නම් නෑ..

    ReplyDelete
    Replies
    1. හුරේ අදත් මම එක.. :D

      Delete
    2. මටත් දැන්නම් මේවා කෙරෙන්නේ නෑ මල්ලි..ලංකාවේ හිටියනම් අනිවා කරනවා. ඔයා පොඩි කාලේ කරලා තියනවනේ. පස්සේ කාලෙක පොඩි එවුන්ටත් කියල දෙන්න :D

      ඔන්න පළවෙනියට තෑග්ගක් :D

      [im]http://dl.dropbox.com/u/16187387/DBB7458C05BE1DCF2EAACDDD7F6740F7.jpg[/im]

      Delete
    3. හුරේ මෙන්න තෑගි තියෙනවෝ.. තැන්කු තැන්කූ..

      " පස්සේ කාලෙක පොඩි එවුන්ටත් කියල දෙන්න :D "

      ඔන්න ඕකනේ ඉතින් බැරි..

      Delete

    4. Thank you!🐱🐵🐒🐶🐕🐩🦊🐱🐈🦄

      Delete
  2. වැඩේ පටං ගත්තට පටං ගත්ත වෙලවේ ඉඳලා වලි...ඒක නිසා වැඩි පුරම කරන්නේ කැට ගහන එක.නැත්තං ඉතිං බූරුවෝ ගහනවා....හික් හික් ....

    ReplyDelete
    Replies
    1. ඔව් මේකේ හෙනට වලි යනවා තමයි. එතකොට තමයි ගති :)

      Delete
  3. හේ..හේ..අපිට ඉතින් කවුද පංචි දාන්න ඉන්නේ.මම එකා යකා වෙච්ච කොට.ඒත් අක්කෙ පෝස්ට් එකට ගොඩක් ස්තූතියි.දෙවෙනි වාරෙ පටන් ගත්ත ගමන්ම අවුරුදු ක්‍රීඩා ගැන රචනාවක්වත් ලියන්න දුන්නොත්.

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පා නැන්දලා මාමලාගේ ලමයිවත් ඇතිනේ ඔයාට...:) හරි හරි නංගි එහෙනම් රචනාව ට ලියන්නකෝ මේක.

      Delete
  4. ඔයාට ලොකු උම්මා එකක් දෙන්න හිතෙනවා සයුරි . පොඩි කාලේ කලාට පස්සේ මට ඕක අමතකම වෙලා තිබුනේ . thanks ++++++++

    ReplyDelete
    Replies
    1. නිකං සම රිසි වගේද මන්දා...අපි නං කොල්ලන්ට උම්ම දෙන්නෑ.....

      Delete
    2. අපි නම් කෙල්ලන්ට උම්මා දෙනවා . ඇයි අනේ යාලුවෙක් හමු වුනහම බදාගෙන මුණ දෙපැත්තට උම්මා දෙන්නේ . ඉස්සර මටත් ඕක අමුතුයි . හැබැයි මේ සුද්දියෝ ආස්සරේට වැටුනට පස්සේ ගානක් නැහැ .

      Delete
    3. බින්දී අක්කට එහෙනම් මේ පාර පුළුවන් වෙයි 4 දෙනාත් එක්කම පංචි දාන්න :).

      මේ ඔබ නොදුටු ට ඉරිසියාවේ ද කොහෙද. කොල්ලෝ කරේ නෑ කියලා කෙල්ලොත් නොකර ඉන්න ඕනද? :පී දැන් බලන්න..කෙල්ලෝ අත් අල්ලගෙන පාරේ යනවා නේද? හැබැයි කොල්ලෝ දෙන්නෙක් එහෙම ගියොත් බඩුම තමා..හි හි

      Delete
    4. බඩුම තමා කිව්වේ ??

      මේස පුටු වගේ මොනවා හරිද ?? නැත්තම් හාල් පොල්ද ?

      Delete
    5. ඒක නං ඇත්ත.කොල්ලෝ දෙන්නෙක් එහෙම ගියොත් බඩුම තමා...ඉරිසියාවට කිව්වේ....මටත් මුලින් ඕක අමුතුයි ඒත් මේ ජිබූති කෙල්ලේ ඒක නැති කරා අප්පා....ගෙදරින් වෙලාවට මේ බ්ලොග් කියලා ජාතියක් ගැන දන්නේ නෑ...මේ පාර තමා මාට්‍ටුවෙන්නේ සයිබර් සැනකෙලිය බලන්න ගිහිල්ලා....

      Delete
    6. හෝව් හෝව්...ඒ බඩු ලැබෙනවානම් ඉතින් ඕන තරම් අත් අල්ලගෙන යයි කට්ටිය...

      ආ ඒ මොකක්ද ඒ ජිබුති කෙල්ලගේ කතාව??

      Delete
    7. නෑ නෑ මම කිව්වේ මේ ලැජ්ජ බය ගැන...

      Delete
  5. මමත් මෙච්චර විස්තරයක් දැනගෙන හිටියේ නෑනේ අක්කා පංචි දැමීම ගැන.. ඔයා දන්නවා නම් ඔළිඳ කෙළිය කරන හැටිත් දාන්නකෝ.. මම හරිම ආසා ක්‍රීඩාවක් ඒත් කරන හැටි දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. අනේ ඔලිද කෙලිය කරන හැටි මම දන්නේ නෑ නේ නංගා. මාත් ආසයි ඒක දැන ගන්න.

      Delete
  6. අක්කා සෑහෙන්න මහන්සි වෙලා තියෙන පාටයි මේක ලියන්න, මටත් ටිකක් අමතක වෙලා තිබුණේ, ඒත් දැන් මතක් වුණා, අපි නම් ගොඩක් ම ඔලිඳ කෙළිය තමයි කලේ!

    ReplyDelete
    Replies
    1. ආ මේ ඉන්නේ ඔලිද කෙලිය දන්න කෙනෙක්...අපිටත් කියල දෙන්නකෝ ඉතින් :) ස්තුතියි මල්ලි...

      Delete
  7. ඇත්තටම අද කාලේ පංච කියන්නේ මොකක්ද කියලවත් දන්නැති ලමයි ඉන්දැද්දි මේ වගේ පෝස්ට් එකකින් අපේ ජන ක්‍රීඩාවක් ගැන පැහැදිලි විස්තරයක් දාපු එක ගැන අනේක වාරයක් ඔබට ස්තුතියි........

    ReplyDelete
    Replies
    1. පන්සල් හන්දිය ට බොහොම ස්තුතියි. ඔබව සාදරයෙන් පිලිගන්නවා පහන්යාය ට. මේවා අභාවයට යන එක ගැන නම් දුකයි තමයි...

      Delete
  8. සෙල්ලම් කරලා නෑ. අහලා නම් තියනවා. සයුරි සෑහෙන්ට මහන්සි වෙලා කරලා තියන වැඩක්. ගොඩාක් ස්තූතියි ඔයාට.

    පොඩ්ඩක් 'Snakes and Ladders.' වගේ ගතියකුත් තියනවාද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔයාටත් :) 'Snakes and Ladders.' වගේමත් නෙමෙයි පොඩ්ඩි...ඒකෙදි මුකුත් හිතන්න දෙයක් නැහැ නේ...පංචි වලදී හොඳට මොලේ කල්පනා කරන්න ඕන. එක මෝඩ කමක් කරොත් ඒකම ඇති පරදින්න.

      Delete
  9. හපොයි පංච අහලා තිබුනට මේතරම් නීති තියෙනවා කියලා දන්නෙත් අදයි...

    නීති නොදන්න හින්දමද කොහෙද මට නම් මහ කම්මැලි සෙල්ලමක් වෙලා තිබුනෙ...

    කරලම බලන්න ඕනෙ..

    සයුරිගෙ මේ පෝස්ට් එක තව අතකින් වැදගත් වන්නෙ දවසින් දවස මැකී යන අවුරුදු ක්‍රීඩා නැංවීමට ගත්තු උත්සාහයක් නිසා..

    ReplyDelete
    Replies
    1. කරලම බලන්නකෝ හරී. නීති දැන ගත්තම මේක හරිම ආස හිතෙන සෙල්ලමක්. බොහොම ස්තුතියි සටහනට.

      Delete
  10. නියම පෝස්ටුව. ඇං ඉන්න එවුන් මේව කරන්නෙ නෑ නෙව. උං උදේම යනව බේබි කපන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ්. බේබි කපන හැටි මම දන්නේ නැහැ නේ..ආසයි දැන ගන්න :)

      Delete
  11. අපේ ආච්චි අම්මලගෙ ගෙදර තාම අවුරුදු කාලෙට පන්චි දානවා..සයුරි කිව්ව වගේ හරිම විනෝදයි.. :)

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් සිත් රූ...කවුරුත් එකතු වෙලා මේක කරද්දී හරිම විනෝදයි :)

      Delete
  12. ලොකු වැදගත්කමක් තියෙන පෝස්ට් එකක්. සෙල්ලම කියල දෙන්න සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා.තරහ වෙන්න එපා මම මේක කොපි කරලා ඊ මේල් කරනවා. හැබැයි මගෙ එකක් විදිහට නෙමෙයි ඔයාගෙ එකක් විදිහට.

    ReplyDelete
    Replies
    1. වරූ සාදරයෙන් පිලිගන්නවා ඔන්න. අනේ තරහ වෙන්නේ මොකටද..මමත් කැමති මේක පුළුවන් තරම් කට්ටිය දැන ගන්නවානම්..:) බොහොම ස්තුතියි ඔයාටත්.

      Delete
  13. ලැජ්ජයි අක්කෝ කියන්නත් ජීවිතේට මේ සෙල්ලම කරලා නෑනේ.... ගමේ ගියොත් කරන්නෙම ක්‍රිකට් ගහලා ගහලා ඒ පිම්මෙම එහා පැත්තේ තියෙන ගඟට පනින එක... එක තැනක ඉඳන් සෙල්ලමක් කරන්න තරම් සංසුන් හිතක් තිබ්බෙම නෑ අප්පා තාමත් නෑ.මේ අවුරුද්දෙත් යන්න බලාගෙන ඉන්නේ හැබැයි ඉතින් මේ සෙල්ලම කෙරෙන එකක් නෑ ක්‍රිකට්ම තමා...

    සෑහෙන්න මහන්සියෙන් ලියපු වැදගත් ලිපියක් අක්කේ මේ සෙල්ලම් ගැන දන්නේ නැති අයට සෑහෙන්න ඉගෙන ගත්තෑකි මට වගේම..අක්කා ඉතින් ගමේ යන්න එන්නේ නැද්ද ලංකාවට

    ReplyDelete
    Replies
    1. අලේ මල්ලි අවුරුදු කාලෙටවත් ඔය සුද්දන්ගේ කිරිකට් අත ඇරලා මේ වගේ එකක් කරන්නකෝ...ක්‍රිකට් ගහන්න හැමෝටම බෑ නේ. ඒත් මේක බාල මහලු හැමෝටම පුළුවන්..:)අපෝ අර ගඟට පනිනවා කියපු එකනම් මැවිලා ත් පෙනුනා. ඉරිසියාවේ බෑ.

      බොහොම ස්තුතියි මල්ලි..අපට අවුරුදු කාලෙට කවදාවත් ගමේ යන්න වෙන්නේ නෑ :( සෙමෙස්ටරේ ඉවර වෙන්නේ මැයි වල නේ...:(

      Delete
    2. අපේ ගමේ ගෙදර පල්ලෙහායින් යන්නේ ගඟට එක්කහු වෙන ටිකක් විතර ලොකු අතු ගඟක් පීනන්න පුරුදු වෙනකන් එහෙ තමා ඊට පස්සේ තමා ලොකු ගඟට පනින්නේ.... පිට්ටනිය තියෙන්නේ ගමේ ඉස්කෝලේ.පිට්ටනිය ගාවින්මයි ගඟ තියෙන්නේ... පින්තූර එක්ක පෝස්ටුවක් දාන්න සේරම සූදානම් හැබැයි ගමේ ගිහින් ආවාම හොඳේ

      එකතැනක ඉඳන් වාඩිවෙලා සෙල්ලම් කරන්න බෑනේ අප්පා කොල්ලොන්ට මට නම් ඔහොම ඉන්නම බෑ ඒකයි ඉතින්... නැත්තම් කොරනවාමයි.හැමෝටම ක්‍රිකට් බැරි නෑ අපේ නෑදෑ සනුහරේම එනවා ක්‍රිකට් ගහන්න

      ගනන් ගන්න එපා අක්කෝ එන්න බැරියැයි ඉගෙන ගෙන ඉවර උනාම :)

      Delete
    3. හා හා එහෙනම් මල්ලි මේ පාරත් ක්‍රිකට් ගහලා ගඟේ නාලා එන්නකෝ :). කිඹුල්ලු එහෙම නැතුව ඇති නේ. කොල්ලෝ කියලා නෑ අනේ. අපේ මල්ලිලත් මාර ආසයි මේකට. ඔව් අප්පා ඉගන ගෙන එවර උනාම එනවා කියලා හිත හදා ගෙන ඉන්නවා :(

      Delete
  14. ඔයා නම් මාරයි...

    මම ඕක අහලා තිබුනට කරන විදිහ දන්නේ නැහැ.. අඩු ගානේ දැකලවත් තිබුනෙ නැහැ.. ගොඩක් පින් මේ ගැන දැනුවත් කලාට..

    ඇත්තටම ඒක ටිකක් මොලේ පාවිච්චිකරලා කරනඩ ඕනා හොඳ සෙල්ලමක් නේද..?

    අපේ දේවල් රැකගැනීම වෙනුවෙන් ගත් මේ උත්සහයට මගේ ශීර්ෂ ප්‍රණාමය !

    ReplyDelete
    Replies
    1. ඔන්න එහෙනම් දැන් දැන ගත්ත හින්දා පුළුවන් වෙලාවක කරලා බලන්නකෝ...ඔව් ඔව් මේක මොලෙන් දෙන්න ඕන ගේමක්. නායකයෝ දෙන්නා අතේ තමයි වැඩේ තියෙන්නේ. වලිත් යනවා හරියට. හැබැයි ඒවා සුහද වලි :)

      බොහොම ස්තුතියි සෙන්නා ඇගයීමට...

      Delete
  15. මල්ලිලත් එක්ක රණ්ඩු වෙවී මේ සෙල්ලම කරපු දවස් ආපහු මතක් වුනා..
    ස්තුතියි සයු..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි රූ...අපිත් අනිවාර්යෙන් රණ්ඩු වෙනවා ඕක කරද්දී :)

      Delete
  16. අපිනං මේකට ගන්නෙ බෙල්ලො 6 දෙනයි.

    ReplyDelete
    Replies
    1. එහෙම ක්‍රමයක් ගැන මාත් අහල තියනවා...කරලනම් නෑ..ස්තුතියි මේ පැත්තේ ආවට :)

      Delete
    2. සයුරි ඔය සෙල්ලම අපිත් කරනවා.. හැම අවුරුද්දෙම පුංචිල බාප්පල නැන්දල ඔය ඔක්කොම එක්ක.

      තව සල්ලිවලට බෙල්ලො ගහන එකත් කරනවා. අපි ඒවට කියන්නෙ "බෙල්ලො පොළ" කියලා. ඔය හැම දේටම ගන්නේ බෙල්ලො හයයි. හතක් නෙවෙයි.

      Delete
    3. මේ සෙල්ලමේ ප්‍රදේශ අනුවත් ඕන තරම් වෙනස් කම් ඇති...අපේ ප්‍රදේශයේ මේක කරන විදිහ තමයි මේ...පොඩි වෙනස් කම් තිබුනත් විනෝදයට බාධාවක් වෙන්නේ නැහැ ඒකෙන්..

      Delete
  17. අපි නම් බෙල්ලෝ 6 පාවිච්චි කරේ... සෙනග වැඩි වෙන තරමට තමා ජොලි... මම කැමතිම සෙල්ලමක්. ආය කරන්න තිබ්බ නම් එල.

    ReplyDelete
    Replies
    1. බෙල්ලෝ 6 දෙනෙක් ගෙන් කරද්දී "මළ", "බොක්ක" එහෙම ලැබෙන්නේ කොහොම වැටුනොත් ද? එතකොට "පන්චක්" කියන්නේ කීයක් වැටුනොත් ද?

      ඔව් සෙනග වැඩි වෙන තරමට හොඳයි :) සද්දෙත් වැඩි වෙනවා ඒ තරමටම. ස්තුතියි ඔයාට.

      Delete
    2. '5 හෝ 6 ලකුණු වලට පොදුවේ "පන්චක්" යයි කියනු ලැබේ' ඒකට බෙල්ලො 7 ක් ඕන නැහැනෙ.
      ඔය ක්‍රීඩාව මේ පැත්තෙ හඳුන්වන්නෙ දොළොස් පංච කියල. ඕකෙදි බෙල්ලො 6 දෙනාම යට අතට වැටුනොත් ලකුනු 12 ක් හම්බ වෙනව.
      නමුත් ඕකට අමතරව ඔච්චර දිගට යන්නැති වෙනස් ආකාරයේ පංච පෙතකුත් තියෙනව. ඒකෙදි බෙල්ලො 6 දෙනාම යට අතට වැටුනොත් එක ළකුණක්වත් හම්බ වෙන්නෙ නෑ.

      Delete
    3. අපි "බොක්ක" කියන්නෙ ඔක්කොම යටි අතට වැ‍ටුනොත්. එතකොට ළකුනු බින්දුවයි.

      Delete
    4. ඔව් වෙනස් විදියේ නීති රීති තියෙන්න පුළුවන්. මේ ඉතින් මම දන්න විදිහ නේ :)
      හැබැයි 6 කින් ගහද්දි "මළ" කියන අවස්ථාව නැහැ වගේ. කම්බිනේෂන් ගාන අඩුයි.

      @සම්මානි : අපිනම් 0 දෙන්නේ 7 ම උඩ අතට වැටුනොත්. 6 ක් වැටුනම 6 ක් දුන්නට 7 ක් වැටුනොත් දෙන්නේ 0 යි (ඕනවට වඩා ඕන නෑ කියන සීන් එක මෙතන තියෙන්නේ :) ඒ වගේම බෙල්ලෝ යටි අතට වැටෙනවට සාමාන්‍යයෙන් කට්ටිය අකමැති උනාට 7 ම යටි අතට වැටුනොත් 14 යි. කොහොමද වැඩේ හි හි

      Delete
  18. මං එක වසරේදී කිරිඅම්මලාගේ ගෙදර කට්ටිය දහයක් දොළහක් එක්ක පංච දැම්ම මතකයි. හැබැයි එක කරන්නේ කොහොමද කියල නම් අද වෙනකම් දැනගෙන උන්නේ නෑ. මේ විස්තරේ නම් නියමයි අවුරුද්දට.

    ReplyDelete
    Replies
    1. ඔව් නේ..එක වසරේදී ඔයා නීති රීති දැනගෙන ඉන්න විදියක් නැහැ නේ. අය තියන අය විතරයි ඒවා දැන ගන්න ඕන. නීති දැන ගත්තේ නැතත් පංච දාන පාට් එක කරන්න පුළුවන්නේ :) එහෙනම් මේ පාර පැතුම් මල්ලි පංචි දාවි කියලා හිතනවා :)

      Delete
  19. අද තමයි අක්කෙ මේ සෙල්ලමත් දැනගත්තෙ දැන් ඉතින් පොර සේ කරනව......ගෙදර උන් බලාවි මූත් යමක් කමක් දන්නව කියල.......අවුරුද්ද ඉවර වෙලා දැන ගත්ත විදිය කියනව.......

    ReplyDelete
    Replies
    1. එල කිරි. අන්න එහෙම තමයි කරන්න ඕන. හැමෝටම කියල දෙන්නකෝ එහෙනම්....:)

      Delete
  20. අවුරුදු ළං වෙනකොට අවුරුදු ජන ක්‍රීඩා කරළියට එනවා. "පංච දැමීම" ගෘහාශ්‍රිත ක්‍රීඩාවක්. ඒත් මම මේ ක්‍රීඩාව කරනවා දැකල නම් නැහැ. නමුත් ඔබේ සටහන මුල සිට අගට නිස්තර කරනව ක්‍රීඩාව සහ තරඟ නීති රීති. මේවන විට මේ ක්‍රීඩා නගරයෙන් පමණක් නොවෙයි ගම්බද ජීවිතයෙනුත් පළායමින් තියෙන්නෙ.

    එක අතකින් ඔබේ මේ ව්‍යයාමය මම ඉහළින් අගය කරනවා. මේ ක්‍රීඩාව හෙට දවසේ කවුරුන් හෝ නොකළත්, මෙහි සියළු විස්තර අන්තර් ජාලයේ සදාකාලිකව රැඳීතියේවි ඔබේ නමින්ම.

    අද දරුවන් ක්‍රීඩා භාණ්ඩ වෙලාතියෙන්නේ "ප්ලේ ස්ටේෂන්" වැනි පරිගනක ක්‍රීඩා. ලෝකය වෙනස් වේවි ඒත් මේ ජනශ්‍රැතිය සහ ජන ක්‍රීඩා සදාකාලිව පවතීවි.

    අමතක වෙච්ච එක දෙයක්.. මේ පංච ක්‍රීඩාවම "ලූඩෝ" කියලා පොත් සාප්පුවල විකුණනවා හැබැයි ළමයි ලූඩෝ ක්‍රීඩාවනම් කරනවා. ලූඩෝ කියන්නෙත් "පංච" ක්‍රීඩාව කියාලා ලමයි දන්නෙ නැතුව ඇති. වැඩිහිටියොත් දන්නෙ නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබේ වටිනා සටහනට. "ලූඩෝ" ගැන නම් මම දැනගෙන හිටියේ නැහැ. ඇහුවෙත් අදයි. ඒකත් ලොකු දෙයක් එහෙම හරි මේවා තාමත් කෙරෙන එක.

      //මේ ක්‍රීඩාව හෙට දවසේ කවුරුන් හෝ නොකළත්, මෙහි සියළු විස්තර අන්තර් ජාලයේ සදාකාලිකව රැඳීතියේවි //
      මෙන්න මේකම තමයි මටත් ඕන උනේ. මට වෙලාවකට හිතෙනවා අද සමාජයේ නැති ඉස්සර කාලේ දේවල්,( ක්‍රීඩා, ජන කවි, වෙද කම්, කෙම් ක්‍රම, මන්තර වගේ ) ඒ මිනිස්සු කොහේ හරි ලියල තිබුනනං කොයි තරම් හොඳද කියලා. කොයි තරම් වටිනා දේවල් ඒ මිනිස්සුත් එක්කම වැළලිලා යන්න ඇත්ද. ඉතින් මට හිතුනා මම දන්න පොඩි හරි දෙයක් තියනම් ලියල තියන්න :) ඒකයි මම අස්වැන්න ටත් බොහොම කැමති.

      බොහොම ස්තුතියි ඔබේ ඇගයීමට..

      Delete
  21. මම මේ සෙල්ලම කරලා නැහැ.ටීවී එකේනං දැකල තියෙනවා එත පොඩි කාලේ මේ ගැන ඇහුවට කියා දෙන්න කෙනෙක් හිටියේ නැහැ.දැන් දන්නවා එත කරන්න වෙන්නේ නැහැ.එත ගොඩාක් වැදගත් පැහැදිලි විස්තරයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් නේ...දැන් කරන්න විදියක් නෑ තමයි. ඒත් පස්සේ කාලෙක කරන්න පුළුවන් වේවි නේද අසාර් :)

      Delete
  22. අක්කි ලියන්නෙම හොද වටින ලිපි!! ඇත්තටම මම මේක දන්නෙ නෑ..:( :( කවදාවත් පංච දාලත් නෑ...දැන් දන්නවා..මේක බලාගෙන හරි කරලා බලන්න ඕනෙ...අවුරුද්දත් කිට්ටු කිට්ටුනෙ..

    ReplyDelete
    Replies
    1. එහෙනම් මේ පාර කරන්නකෝ නංගා :) ස්තුතියි හොඳේ..

      Delete
    2. බලන් ගියාම පංචි දානව කියන්නෙත් සෙල්ලම් එකක් නෙවෙයි වගෙ... දෙන්නම්කො මේ අවුරුද්දට කුඩුවෙන්නම පන්චි..... බොහොම ස්තුතියි වටින ලිපියට....

      Delete
    3. ශා...ඔය තියෙන්නේ..බොහොම ස්තුතියි තොටියා..එ වගේම ඔයාව සාදරයෙන් පිලිගන්නවා පහන්යාය ට :)

      Delete
  23. මමත් ඔය සෙල්ලමනම් ඉස්සර හරියට කලා. කාලෙකින් කලේ නෑ. ඒ කලේ පංචිදාද්දී බට්ටි නම් පොඩි පොඩි කපටි වැඩ ටිකක් කරනවා. අම්මෝ අනිතමට ඉතිං ටිකක් බැනුම් අහනවා. හැබැයි ඉතිං දිනලම තමයි නැගිටින්නේ....
    ඒ ක්‍රීඩා හරිම ලස්සන මනස නිරවුල් කරන ඒවා අක්කේ. කෝ දැන් ඉතිං පංචදාන කෙල්ලෝ කෙල්ලෝ සිදාදියට ගාල්වෙලානේ.
    පංච දාන්න සිප්පි ගන්න පුළුවන් වැල්ලේ දේවාලේ ගියහම. දැන්නම් ටිකක් මිලයි මයේ හිතේ. ඒත් ඉතිං අදකාලේ වෙනදේවල් වලට වියදම් කරන හැටියට අලුත් පරම්පාරාවට මේවගේ දෙයක් කියල දෙන්න සල්ලි ටිකක් වියදම් කලාට පාඩු නෑ.
    අක්කගේ ලිපිය හුගක් අර්ථවත්. ස්තූතියි ඔයාගේ වටිනා කාලය යොදලා වැනසීයන අපේ දේවල් ගැන දැනුවත් කලාට.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බට්ටියෝ...මේකේ හොර කරන්නත් ක්‍රම තියනවා :) එතකොට ඉතින් ෆුල් වලි. ඇත්තටම දැන් මේවා කෙරෙන්නේ නැති තරම්. වැල්ලේ දේවාලේ කියන්නේ කොහෙද නංගි? කොහොම උනත් මට නම් යන්න වෙන්නේ නෑ නේ :(

      Delete
  24. අක්ක මම නම් ඔහොම පන්ච ගහිල්ලක් ගෑන අහුවමයි......අපි නම් 6 දෙනෙක්ගෙන් ගහන්නෙ....සල්ලි වලට තමයි ගහන්නෙ...වලි යනවා හෝ ගාලා....මම තමයි අන්තිම comment එක..යේ......

    ReplyDelete
    Replies
    1. හපෝ..සල්ලි වලට පංච ගහන සිරිතකුත් තියද මම අහන්නේ? කැතයි වැඩේ....යේ යේ ඔයා අන්තිම

      Delete
  25. බොහෝම වැදගත් පෝස්ටුවක්.. පොඩි කාලේ නම් දැනගෙන හිටියා... ඒත් දැන් නම් ඒ ගැන හාංකවිසියක්වත් මතක නෑ...

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔන්න කිරාට පුළුවන් වේවි මේ පාර කට්ටියත් එක්කම පංචි දාන්න. :)

      Delete
  26. පොඩි ගැටළුවක් ආවා. විසඳලා දෙන්න කරුණාකරලා.
    මගේ අන්තිම ඉත්තෝ 2 ඉන්න වෙලාවේ අනිත් පැත්තේ ඉත්තෝ 5ක් හිටිය. මගේ එක ඉත්තෙක් ජබයේ ඉන්න වෙලාවේ අනිත් ඉත්ත කැපිලයි හිටියේ. ඔන්ඩුවක් වැටුණු මොහොතේ මගේ කැමැත්ත තියනවනම්, කැපුණු ඉත්ත එලියට ගන්නේ නැතුව ජබයේ ඉන්න ඉත්ත ගොඩ දාන්න පුලුවන්ද? එහෙම නැත්නම් සල්ලම් අයකින්(1,5)කෙපිල ඉන්න ඉත්තෙකු එලියට ගැනීමට ප්‍රමුඛතාව දිය යුතුද? වඩා නිවැරදි පිළිතුරක් බලාපරොත්තු වෙමි. ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ප්‍රභාත් අවුරුද්දට බරටම වැඩ වගේ..මරු :)

      //මගේ අන්තිම ඉත්තෝ 2 ඉන්න වෙලාවේ අනිත් පැත්තේ ඉත්තෝ 5ක් හිටිය//

      මේ කතාවනම් හරියටම තේරුනේ නෑ. ඉත්තෝ කිව්වේ බල්ලෝ නේද? උන් දෙපැත්තටම 3 දෙනා බැගින් නේ ඉන්නේ.

      //ඔන්ඩුවක් වැටුණු මොහොතේ මගේ කැමැත්ත තියනවනම්, කැපුණු ඉත්ත එලියට ගන්නේ නැතුව ජබයේ ඉන්න ඉත්ත ගොඩ දාන්න පුලුවන්ද?//

      මේකනම් පුළුවන්. අපි එහෙම කරනවා. හැබැයි ඊට පස්සේ අර කැපිච්ච එකා බේරගන්න පොඩ්ඩක් කරදර වෙනවා. ඌව ගන්නනම් පන්චක් දාන්නම වෙනවා (5 හෝ 6). එකක් දැම්මට දෙන්නේ නැහැ. තවත් නීතියක් තමයි ආපහු තුන්පාරක් සළු වෙනකන් ඌව ගන්න බෑ කියන එක. මේ සමහර නීති ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනව නේ.

      Delete
  27. සෑම බල්ලෙකුටම දෙවතාවක් හමුවන ගෙය එහෙමත් නැත්තම් ගග පටන්ගන්න තැන තියෙන ගෙය තුල ගග දිගේ යෑමට සූදානම්වන දෙපිලේම බල්ලන් දෙදෙනෙකුට එකවර සිටිය හැකිද?

    ReplyDelete
  28. මේ වගේ අපේම ජන ක්‍රීඩා කයල දෙන එකනම් ගොඩක් හොදයි, පොඩි ගැටලුවක් තියනව අපි හිතමු දැන් අපි ඉන්නෙ කරේ, ගොඩ යන්ඩ 2 ඕනෙ, එහෙම වෙලාවක 3,4 වැටුනොත් යන්ඩ බැරිද. අනික තමයි ඔබගේ පැහැදිලි කිරීමෙ බල්ලෙක් කැපුන අවස්තාවක කොටසට පහලින් 4 වැටුනම අනිත් පිලේ බල්ල ඉන්න කොටුවට ඒ අය ගාන එනවනම් තියන්ඩ බැරි කතාව මට තේරුනේ නෑ, හැකිනම් පිලිතුරක් සපයන්න..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...