Friday, September 28, 2012

එරන්දතියදෝ මෙදිගැස





අනෝතප්ත විල අභියස - සුවඳ කොකුම් තවරා ඇස
උනා නීල පුන් මුහුලස - වලා රොදක් මෙනි වරලස 
පෙලා මත් බිඟුන්, මදහස - සලා කැලුම් දෙන මියුලැස
සරා සඳ සෙ පායන යස - එරන්දතිය දෝ මෙදිගැස ?



ප. ලි.

අද ඉඳන් "කවියට කවියක්" යටතේ අලුත් වැඩක්. බලමු හරි යාවිද කියලා. මේ කවියට කවියකින්ම පිළිතුරු දෙන්න කැමති කවුද?බ්ලොග් අවකාශේ ඉන්න බහුතරයක් කවි ලියන  අය නේ. නැති උනත් කමක් නෑ කතාවක් වගේ කවියක් හරි ලියන්නකෝ. පිළිතුරු කවි වලට නැවතත් පිළිතුරු දීමේ ඉඩකඩ ඇත. කවියෙන් බැන ගැනීමට අවශ්‍යනම් එයටත් ඉඩකඩ ඇත :) 


එහෙනම් පටන් ගමුද?

ප. ප. ලි.

කවි පද 4 ක් ම අවශ්‍ය නැත. එකක් දෙකක් උනත් කම් නැත.

කවි ලියන අයට මල බැගින් තෑගි ලැබෙනු ඇත :)

Tuesday, September 18, 2012

සහෘද නුඹ වෙත ආදරයෙන් ලියමි...



හ්ම්ම්...පහන්යාය ට අවුරුද්දයි. අවුරුද්දේ උපන්දිනේට තමන්ට උදව් කරපු අය වගේම ලඟින් ඉඳන් දිරි දෙන අයව මතක් කරලා ස්තුති කතාවක් කරන එක බ්ලොග් ලෝකයේ සම්ප්‍රදායයක් වෙලා. ඒ වගේ ලස්සන සම්ප්‍රදායවල් අකුරටම පිළිපදින්න මමත් කැමතියි :).

මම බ්ලොග් ලියන්න ගත්තේ ලඟදි උනාට ඉස්සර ඉඳලම සිංහල බ්ලොග් කියවලා තියනවා. පුරුද්දක් විදියට නෙමෙයි. ඉඳලා හිටලා. දුමී ගේ කට කහන කතා, හිස් අහස, අතීතයෙන් අහුලන මතකයන් සහ බට්ටි ඒවායින් සමහරක්.

ඉතින් ඒවා කියවද්දී මගේම බ්ලොග් එකක් හදන්න ආසාවක් ආවත් ඒක ටිකෙන් ටික පහු උනා. අන්තිමට කොහොම හරි කල් යල් බලන එක නවත්තලා එකක් හදලා දැම්මා. මුලින්ම සයුරු (එයාට මේ නම දැම්මේ "එල කොල්ලා") එක්ක එකතු වෙලා නමක් හිතලා, හරිම සිම්පල් ටෙම්ප්ලේට් එකක් දාලා මුල්ම පොස්ටුව හැටියට "පහනින් පහන් සිය ගනනක්" කියලා කවි ටිකක් දැම්මා. මේ ඔක්කොටම පැය 2 ක් යන්න ඇති.

ඉතින් ඒක දාලා හැරෙන්න උනේ නෑ කමෙන්ටුවකුත් ඇවිත්. ඒකත් කවියක්. ඔන්න ඉතින් මට මුල්ම කමෙන්ටුව ලැබුනේ බට්ටියා ගෙන් :) ඊ ලඟට පහන්යාය පැත්තේ ආවේ මධුරංග මලයා. මෙයා තමයි මුල්ම ෆලෝවර් උනෙත්. මූණු පොතේ බ්ලොග් ගෘප් එක ගැන, සින්ඩි ගැන එහෙම කියා දීලා පහන්යාය ප්‍රමෝට් කරන්න සෑහෙන උදව්වක් දීපු කෙනෙක් තමයි අපේ මධු මල්ලි.

ඉන් පස්සේ ඉතින් පහන්යාය දිගටම දල්වාගෙන යද්දී ගොඩක් හොඳ යාළුවො තොගයක්ම හම්බ උනා. ඒ අය අතරේ සෙන්නා, දයානන්ද රත්නායක, චතුරංග, ගැමියාමන්ඩි පාල, සුමිත් නිරිඇල්ල හැමදාම වගේ ඇවිත් හරබර කමෙන්ට් වලින් සංග්‍රහ කරලා ගියා. සමහර වෙලාවල් තිබුණා මම ලිපියක් ලියලා මේ අයගේ කමෙන්ට්ස් වැටෙනකන් බලාගෙන ඉඳපු. 

ඒත් එක්කම හැමදාමත් වගේ පහන්යාය ට එලිය දෙන දිනේෂ් මල්ලි (ඉස්සර මෙයා හරිම උනන්දු ළමයෙක් :), අසරණයා, ඔබ නොදුටු ලොවක්, ලහිරු,  හරී, අපි වගේ මල්ලි, අනූ, හිතුවක්කාරී,රෝස කුමාරි, රූ, අයිස් නගා, බින්දි අක්කා, පොඩ්ඩි...මේ අයව කොහොම අමතක කරන්නද? 

ඒ විතරක් නෙවෙයි පස්සේ කාලෙකදි හමු වුනු  මී ගොඩයා, තොටියා අයියා, හිරු තරු ඇතුළු ඔක්කොම ආකාස වස්තු, තරියා, වී අයියා, ඇපලා, සිඳු සහ ලිහිණි ලාත් මතක් කරන්න ඕන. ඇයි එතකොට හැමදාම අන්තිම වෙන "එල කොල්ලා" ත් ඉන්නවා. අලුත් යාළුවො ගොඩක් ඉන්න නිසා මෙතන ගොඩක් නම් මග ඇරිලා ඇති. තරහ වෙන්න එපා හොඳේ. ඒ හැම කෙනෙක්ම මට එක වගේ වටිනවා. 

අවුරුද්දක් අවසානේ මගේ බ්ලොග් එක දිහා ආපහු හැරිලා බැලුවම ඇත්තටම සතුටක් දැනෙනවා.  කවි, ඉතිහාසය, විද්‍යාව, පුංචි රස කතා, අතීත මතක මේ හැම දේකම අච්චාරුවක් තමයි මගේ බ්ලොග් එක. ඉතිහාස පාඩමේදී නිදාගන්න කට්ටිය පුංචි කතා අහන්න ඇහැරිලා ඉන්නවා. කවියක් දකින්නත් අකමැති කට්ටිය විද්‍යාව පාඩමට උදෙන්ම එනවා :) නානත්ත කායා නානත්ත සංඥා කිව්වලු (හෝව්..බය වෙන්න ඕන නෑ...බුද්ධාගම පාඩම් උගන්නන්න මගේ කිසිම අදහසක් නැහැ :). එක එක්කෙනා එක එක විදිහයි. විවිධත්වය කියන්නේ ඇත්තටම හොඳ දෙයක්. ඉතින් ඒ විවිධ රුචිකත්වයන්ට හරියන විදිහට ලිපි ලියන්න මම ඉදිරියටත් උත්සාහ කරනවා.

මට මේ ලිපිය මීට වඩා කලින් ලියන්න ඕන වෙලා තිබුනේ. ඉතින් මම හිතාගෙන හිටියා හිට්ස් 10000 දී මේක ලියනවා කියලා. ඒත් මගේ බ්ලොග් එකට හිට්ස් 10000 සම්පූර්ණ වුනේ ආදරණීය ඔබා මාමා අපෙන් වෙන් වෙලා, ඒ වෙනුවෙන් දාපු ලිපියෙදි. අපි හැමෝගෙම බ්ලොග් වලට කිසිම ආඩම්බර කමක් නැතුව ඇවිත් හැමෝම හිනස්සලා ගියපු ආදරණීය ඔබා මාමටත් හදවතින්ම ස්තුතියි.

සමාන හදවතක් ඇත්තා සහෘදයා ය. සහෘදයෙක් ලැබීමට තවත් සහෘදයෙක් නිසැකවම පින් කර තිබිය යුතුය. මන්ද යත් යමෙකුට සහෘදයෙක් තරම් වටිනා තවත් කිසිවක් නොමැති බැවිනි. ඉතින් ඔබ වැනි සහෘද පිරිසක් ලැබීමට මා කළ පින් මේ යැයි කීමට මම ද නොදනිමි.



                        FRIENDS ARE SIBLINGS THAT GOD FORGOT TO GIVE YOU

Wednesday, September 12, 2012

මා දුටු තර්ජිනී



දවසක් මාත් මගේ කැම්පස් මිතුරියකුත් ගල්කිස්ස පැත්තේ පුංචි පහේ සාප්පු සවාරියක් ගියේ සති අන්තය ප්‍රයෝජනවත්ව ගත කරන්න ඕන හින්දයි :) ඉතින් එක්තරා ප්‍රසිද්ධ රෙදි පිළි සාප්පුවක රෙදි තෝරමින් ඉන්න අතරේ මිතුරිය මෙහෙම කියනවා ඇහුනා.

"අම්මෝ...අර බලන්න අරයගෙ උස..."

මටත් ඉබේටම ඒ පැත්ත බැලුනා. කතාව ඇත්ත තමයි. සාමාන්‍ය මනුස්සයෙක්ට වඩා අඩි දෙකක් විතර උස ගැහැණු කෙනෙක් ඇඳුම් තෝරමින් හිටියා. ඒ තරම් උස කෙනෙක් මම ඒ දැක්කේ මුල් වතාවට. වැඩිය ඒ පැත්ත බලන එක හොඳ දෙයක් නෙමෙයි නිසා ආපහු බලන්න ගියේ නැහැ. ඒ සිද්ධිය එහෙමම අමතක වෙලා ගියා.

තවත් දවසක්...

ඒ 2007 අවුරුද්ද වෙන්න ඕන. අපි කටුබැද්දේ ඉඳලා කොළඹ ට්‍රේනින් ගියපු කාලය. ඔෆිස් ඇරිලා එන වෙලාවට බස් වල තියෙන්නේ පුදුම තදයක්. බම්බලපිටියේ ඉඳලා කටුබැද්දට එනකන් තියන ට්‍රැෆික් එකත් එහෙම තමයි. එහෙම ඔෆිස් ඇරිලා එන වෙලාවක අපි හිටපු බස් එකට නැග්ගා උසම උස ගෑනු කෙනෙක්. මට එතකොටම මතක් උනා මේ අර එදා ඇඳුම් කඩේදී දැක්ක කෙනාමයි කියලා. එදා ඇය ඇඳගෙන හිටියේ ක්‍රීඩා ඇඳුමක් වගේ එකක්. එයා බස් එක ඇතුලේ හිටගෙන හිටියේ හරිම අපහසුවෙන්. ඇයගේ උසට බස් එක නොගැලපුන නිසා. පුළුවන් තරම් කොන්ද නමාගෙන අපහසුවෙන් සෙනග ගොඩේ මිරිකිලා හිටපු ඇය ගාවට ගියපු කොන්දොස්තර, බස් එකේ ඇතුලට යන්න කියලා ඇයට උපදෙස් දෙනවා ඇහුනා.

ඒ සද්දේ අස්සෙන් "I can't speak Sinhala" (ඒ මට ඇහුන හැටි) කියලා ඇය කියනවා ඇහුනා. කොන්දොස්තර ඇයට නොතේරෙන සිංහලෙන් කියවමින් බස් එකේ "space management" කරද්දී ඇය, කොන්දොස්තරට නොතේරෙන ඉංග්‍රීසියෙන් (ඒ මට හිතුන හැටි) යමක් පැහැදිළි කරන්න උත්සාහ කරා. මේ නිසා එතන ඇති උනේ පුංචි කලබැගෑනියක්. ඒ අතරේ මගීන් ගොඩක් දෙනෙක් "උස කෙල්ල" දිහා තුෂ්නීම්භූත වෙලා වගේ බලාගෙන හිටියා. අන්තිමේදී ඇය කරේ ඊ ළඟ හෝල්ට් එකේ බස් එක නැවැත්තුවම බැහැලා ගියපු එක. ඊට පස්සෙත් කොන්දොස්තර අයියා වටේ පිටේ ඉඳපු කොල්ලෝ ටිකක් එක්ක "ඇගේ උස" ගැන උපහාසයෙන් කතා කළා. ඒ වෙලාවෙත් මට හිතුනේ අසාමාන්‍ය උස නිසා ඇය කොයි තරම් අපහසුවට පත් වෙනවාද, කොයි තරම් මිනිස්සුන්ගේ අනවශ්‍ය අවධානයට ලක් වෙනවාද කියන එක. ඉතින් ඒ සිද්ධියත් ටික දවසකින් අමතක වෙලා ගියා.

ඊට අවුරුදු දෙක තුනකට පස්සේ තමයි මට පත්තරේක ලිපියක් කියවන්න හම්බ උනේ ආසියාවේ උසම දැල් පන්දු ක්‍රීඩිකාව ගැන. ඇය "තර්ජිනී සිවලිංගම්". යාපනයේ ඉපිද ක්‍රීඩා පුහුණුවීම් නිසා කොළඹ ආ කෙනෙක්. ඒකෙ තිබුන පින්තූරේ දකිද්දී මේ අර මම බස් එකේදී දැකපු කෙනා නේද කියලා අඳුරගන්න වැඩි වෙලාවක් ගියේ නැහැ.

"එහෙනම් ඇය ලංකාවට දිනුම් පිට දිනුම් ගෙනෙන නෙට් බෝල් ක්‍රීඩිකාවක්". අද ඇය නිසා ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම ආසියාවේ අංක එකේ ස්ථානය ලබාගන්න සමත් වෙලා. ඇගේ "ගෝල ගැනීමේ නිරවද්‍යතාවය" 100% ක්. 2009 ආසියානු දැල් පන්දු අවසන් තරඟයේ ගෝල 77 න් 74 ක් ම ලබාගෙන තිබුනේ ඇය යි.

ඒ වෙලාවේදී මට දැනුනේ සතුටක්ද සැහැල්ලුවක්ද කියලා කියන්න මම දන්නේ නැහැ. ඒ දෙකේම මික්ස් එකක්දත් මන්දා. කොහොමහරි මට හිතුනේ එකම එක දෙයයි. ලෝකයාට ප්‍රශ්නයක් වුන, ඔවුන් විසින් උපහාසයට ලක් කළ, ඇයව අපහසුතාවයට පත් කළ "ඇගේ උස" ම ලෝකයා ගෙන් පිදුම් ලබන තත්ත්වයකට ඇයව ගේන්නට හේතු වෙලා තියන හැටි...කොයි තරම් අපූරුද?




ඒ උස නිසා ඇයට කොල්ලන් විහිලු කළ හැටිත් පාසලේදී, පාරේදී අපහසුතාවයටත් උපහාසයටත් ලක් වූ හැටිත් ඇය ලිපියේ කියලා තිබුණා. මමත් එවැනි සිද්ධියක් ඇස් දෙකෙන්ම දැක තිබුන නිසා ඇය ඒ නිසා විඳින්නට ඇති මානසික පීඩාව කොයි තරම්ද කියලා හිතාගන්න පුළුවන් උනා. ඒත් "තර්ජිනී" අද ලංකාවටම ආඩම්බරයක්. ඒ විතරක් නෙමෙයි, ලෝකයාගේ උපහාසයට ලක් වෙමින්, ඒ උපහාසයට හේතු වූ කරුණම තමන්ගේත් රටේත් යහපත උදෙසා යොදා ගැනීමට කටයුතු කළ ඇය, මනුෂ්‍ය සංහතියටම ආදර්ශයක් නොවේද?

Tuesday, September 4, 2012

කෑම්පින් ගිය කට්ටිය

ඔන්න අද පොඩි වෙනසකටත් එක්ක ගණනක් හදන්න දෙන්න හිතුනා කට්ටියට.  මේක ටිකක් විතර අර අයි කිවු කියන ජාතියේ ප්‍රස්නයක්. බලමුකෝ...



ඔන්න එක දවසක් යාළුවො කට්ටියක් ගියාලු කෑම්පින්. දන්නවනේ කෑම්පින් යන හැටි? කෑම උයාගන්න බඩු මුට්ටු, ටෙන්ට්, ගිනි පෙට්ටි, කඹ එහෙම අරගෙනනේ යන්නේ. ඉතින් මේ ගොල්ලෝ කළුවර වැටෙද්දී ටෙන්ට් එක ගහන්න හොඳ තැනක් බලලා එතන නැවතුනාලු. ගිනි මැලයක් එහෙමත් පත්තු කරගෙන, කාලා බීලා සිංදුවකුත් කියාගෙන ඉන්නකොට එක්කෙනෙක්ට මතක් උනාලු එයාට කෑමෙන් පසු බෙහෙත් පෙති දෙකක් බොන්න තියනවා කියලා.

වැඩේ තියෙන්නේ පලවෙනි පෙත්ත බීලා හරියටම විනාඩි 15 කට පස්සෙලු දෙවැනි පෙත්ත බොන්න තියෙන්නේ (දැන් ඉතින් මගෙන් අහන්න එපා ලෙඩේ මොකක්ද කියලා). මේගොල්ලෝ කොච්චර අල්පේච්ච ද කියනවනම් එකෙක් ගාවවත් ඔරලෝසුවක් නැහැලු වෙලාව බලාගන්න. බාහිර සම්බන්ධතා අත අරින්න ඕන නිසා ෆෝන් එහෙමත් ගෙදර තියලලු ඇවිත් තියෙන්නේ :).

කෑම බීම, ඇඳුම් ඇරෙන්න සන්තකේට තියෙන්නේ මෙච්චරයිලු.

කඹ දෙකක් - මේ කඹ දෙක හැම අතින්ම සමානයි. එක කඹයක් ගිනි තිව්වොත් ඒක පිච්චිලා ඉවර වෙන්න හරියටම පැයක් යනවලු. ඒක දැනගත්ත හැටි අහන්නත් එපා. කොහොමහරි එයාලා ඒක දන්නවලු. හැබැයි මේ කඹ දෙකේ ඝනත්වය, දිගත් එක්ක ඒකාකාරී නැතිලු. ඒ කියන්නේ මුළු කඹේ පිච්චෙන්න පැයක් ගියාට අපිට හිතන්න බැහැ ඒකෙන් බාගයක් පිච්චෙන්න යන්නේ පැය බාගයයි කියලා.

දැන් මොකෝ කරන්නේ කියලා කට්ටියම දහ අතේ කල්පනා කරනවලු. ඒ අස්සේ එකෙක්ට එක පාරට නියම අයිඩියා එකක් ආවලු අර කඹ දෙක පාවිච්චි කරලා හරියටම විනාඩි 15 ක් මැනගන්න හැටි.

ඔයාලට හිතන්න පුලුවන්ද ඒ කොහොමද කියලා. දන්නවනම් කමෙන්ට් එකකින් කියලා යන්න.


ප. ලි. මේක මට චැලේන්ජ් එකක් විදිහට හම්බු උනේ මේ ලඟදි. මම එය සාර්ථකව විසඳූ බව සාඩම්බරයෙන් දැනුම් දෙමි. හිහි.
ගැටළුවට අයිති ඔය කඹ දෙකේ කෑල්ල විතරයි. ඉතුරු ටික ගොතන ලදී.

Wednesday, August 29, 2012

ලක්දිව කලබල - රාජාවලිය XXI

එහෙනම් අදත් පටන්ගමු එදා නතර කළ තැනින් :)

ඉතින් දෙවන මුගලන් රජතුමාගෙන් පස්සේ රජ කම ලැබුනේ ඔහුගේ පුත්‍රයා වෙච්ච කීර්ති ශ්‍රී මේඝවර්ණ (ක්‍රි. ව. 560 - 561) ට. මේ කාලයේදී මහානාග කියලා යුධ ඇමතියෙක් රුහුණේ ස්වාධීන පාලනයක් ගෙන යමින් හිටියා ලු. කීර්ති ශ්‍රී රජු රජවෙලා අවුරුද්දකට පස්සේ මේ මහානාග, රාජ්‍ය බලෙන් අල්ලාගෙන අවුරුදු තුනක් රජකම කරගෙන යනවා (ක්‍රි. ව. 561 - 564). ඔහු මෞර්ය වංශයේ කෙනෙක් නිසා නැවතත් රජකම මෞර්ය වංශිකයින් අතට යන්නේ එහෙමයි. ඔහු ඒ වන විටත් මහළු වියේ පසු වුනු කෙනෙක් හින්දා ඉක්මනින්ම මහානාග මරණයට පත්වෙනවා. ඉන්පස්සේ රජකම ලැබෙන්නේ ඔහුගේ බෑනා වන පළමු අග්බෝ ට (ක්‍රි. ව. 564 - 598). ඔහු ඉතාමත් සාමකාමීව පාලනය ගෙන ගියපු කෙනෙක්. ඒ කාලයේ හිටියලු "සක්දාමල, අසක්දාමල, දැමී, බෑබිරී, දළබිසෝ, අනුරුත්, දළගොත්, දළසල, කිත්සිරි, පරවඩු, සූරියබාහු, කසුප් කොටඈපායනුවෙන් මහා කවීන් දොළොස් දෙනෙක්.  ඔවුන් විසින් ලියපු පොත් පත් විශාල ප්‍රමාණයක් පසු කාලෙකදී දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන් අතින් විනාශ උනාලු.

පළමු අග්බෝ ගෙන් පස්සේ රජකම ලැබෙන්නේ ඔහුගේ සොහොයුරියගේ පුතා (බෑනා) වන දෙවන අග්බෝ ට (ක්‍රි. පූ. 598 - 608). දෙවන අග්බෝ රජතුමාත් පළමු අග්බෝ වගේම ඉතාමත් සාමකාමිව රට පාලනය කරන ගමන් රට සශ්‍රික කරන්න කටයුතු කළා ලු. කන්තලේ වැව සහ ගිරිතලේ වැව කරෙව්වේ මෙතුමා. ඒ වගේම ථූපාරාමය ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළුව බුදු සසුනේ උන්නතියට සෑහෙන වැඩ කොටසක් කළා ලු.


ථූපාරාමය ප්‍රතිසංස්කරණ නිමා වන තෙක් එහි නිධන් කර තිබූ බුදුන්ගේ දකුණු අකු ධාතුව ලෝවාමහාපායේ තාවකාලිකව තැන්පත් කළා ලු. දෙවන අග්බෝ රජතුමාගෙන් පස්සේ රජකම හිමි කර ගන්නේ ඔහුගේ අසිග්ගාහක පදවිය දැරූ සංඝතිස්ස විසින්. ඔහු දෙවන අග්බෝ රජුගේ මස්සිනා කෙනෙක් නිසා නීතියෙන් රජ කමට හිමි කමක් නැහැ. මේ නිසා එයට විරුද්ධ වෙන මුගලන් නම් සේනාපති, කැරළි මෙහෙයවා, සංඝතිස්ස රජවී වසරක් යන්නටත් කලින් ඔහුව රජකමින් පහ කරන්න කටයුතු කරනවා. ඉන්පස්සේ ඔහු මුගලන් III (ක්‍රි. ව. 608 - 614) නමින් රජ වෙනවා. මේ කැරැල්ලේදී සංඝතිස්ස රජුගේ සේනාධිපති, රජුට ද්‍රෝහී වෙලා මුගලන්ට සහය උනා ලු. පස්සේ කාලෙක මුගලන් රජු ඔහුට මලය රටේ පාලනය භාර දුන්නත් කවදා හරි ඔහුටත් ද්‍රෝහී වෙයි කියන බය නිසා ඔහුගේ අත් පා කපා දමන්න කටයුතු කළාලු. මේ සිද්ධිය නිසා ඔහුගේ පුත්‍රයා වන "ශිලා මේඝවර්ණ" මුගලන් රජුගෙන් පළි ගන්න සැලසුම් කරමින් හිටියා ලු. ශිලා මේඝවර්ණ තමයි මුගලන් රජුගේ අසිග්ගාහක පදවිය දරලා තියෙන්නෙත්. ඒ අතරේදී ඔහුට එකතු උනාලු සංඝතිස්ස රජුගේ පුත්‍රයා ජෙට්ඨතිස්ස ත්. දෙන්නම එකම අරමුණ තියන දෙන්නෙක් නිසා දෙන්නම එකතු වෙලා මුගලන් රජුට විරුද්ධව සටන් සැලසුම් කරනවා.

අවසන් සටන මෙහෙයවලා එයින් ජයග්‍රහනය කරන ශිලා මේඝවර්ණ, රජකම බාර දීම සඳහා ජෙට්ඨතිස්ස ට ඇරයුම් කරනවා. එකාට එකා ද්‍රෝහී වෙච්ච කාලයක් නිසා ජෙට්ඨතිස්ස මේ ආරාධනාව ගැන සැක කරලා රජ කම බාර නොගෙන සැඟවෙනවා. ඉතින් ඊ ළඟ රජතුමා හැටියට ඔටුනු පැළඳුවේ මේ ශිලා මේඝවර්ණ රජතුමා (ක්‍රි. ව. 614 - 623). ඔහුගෙන් පසුව රජකම හිමි වුනේ ඔහුගේ පුත් තුන්වන අග්බෝ ට. තුන්වන අග්බෝ රජ වෙලා වසරක් යන්නත් කලින් සැඟවිලා ඉඳපු ජෙට්ඨතිස්ස, ඔහුට විරුද්ධව කැරලි අරඹනවා. අග්බෝ රජතුමා දිවි ගලවා ගැනීමට ඉන්දියාවට පලා යන නිසා ජෙට්ඨතිස්ස ජයග්‍රහණය කරනවා. ජෙට්ඨතිස්ස/දෙටුතිස් III රජතුමාට රජකම් කරන්න ලැබෙන්නේ  වසරක පමණ කාලයක් පමණයි (ක්‍රි. ව. 623 - 624). ඒ, ඉන්දියාවෙන් සේනාවක් රැගෙන එන තුන්වන අග්බෝ රජතුමා ජෙට්ඨතිස්ස රජතුමාට විරද්ධව සටන් අරඹන නිසා. ජෙට්ඨතිස්ස රජතුමා යුද්ධය අතරතුරේම සිය දිවි නසා ගත්තා කියලා තමයි කියන්නේ.

ඉතින් ඔය විදිහට තුන්වන අග්බෝ රජතුමා නැවත රාජ්‍යත්වයට පත් වෙලා අවුරුදු 16 ක් (ක්‍රි. ව. 624 - 640) රජකම් කරනවා. ඔය අතරේ මේ රජතුමාට තවත් සතුරු කරදරයක් ඇති වෙනවා. ඒ, කලින් ඉඳපු  ජෙට්ඨතිස්ස රජතුමාගේ ඇමතියෙක් වූ දාඨසිව ගෙන්.

දාඨසිව කරපු දේවල් ගැන අපි ඊ ළඟ ලිපියෙන් බලමු නේද? මේ කාලය වෙද්දී මේ වගේ කල කෝලාහල ඇරෙන්න වෙන දෙයක් තිබිලා නැහැ වගේ. දේශපාලන වශයෙන් ඉතාමත් අස්ථාවර කාලයක් තමයි මේ. මරාගැනිලි ඉවරයක්‌ නැහැ. එහෙනම් ඉතින් මීට වඩා සතුටුදායක යමක් කමක් තියන තවත් රාජාවලිය ලිපියකින් හමු වෙමු.


Thursday, August 16, 2012

එල්ලෙන හොල්මන


එදා හොඳට හඳ පායපු දවසක්. ලොකු තාත්තා භූමදානය කරපු දවස. ඒ වගේ දවසක ලඟම නෑයෝ ටික ගෙවල්වල යන්නේ නැහැ නේ. එදා එහෙ නතර වෙලා අස් පස් කරන ඒවටත් උදව් වෙලා පහුවදා යන්න  තමයි දුරින් ආපු නෑයින්ගෙත් කල්පනාව. අපිත් ඉතින් එහෙ නවතින්න තීරණය කරා.

අපේ ලොකු අම්මලාගේ ගෙදර තියෙන්නේ වෙල් යායකින් වට වුණු පුංචි කඳු ගැටයක් උඩ.


තදින් වහින කාලෙට ඔය වෙල ගංවතුර ට යට වෙනවා කඳු ගැටේ දූපතක් විදියට ඉතිරි කරලා. ලොකු තාත්තා නැති උනේ ඔන්න ඔය වගේ වැහි කාලෙක. ඉතින් හදිසියෙවත් වෙල යට උනොත් කියලා මළ ගෙදර තිබුණේ වෙලෙන් මෙපිට තිබුණු ලොකු අයියගේ ගෙදර. ඉතින් එදා වැඩ කටයුතු ඔක්කොම ඉවර වෙලා කට්ටිය නිදා ගන්න ලේස්ති උනා. හැමෝටම ඇති වෙන්න කාමර තිබුණේ නැති නිසා කීප දෙනෙක් සාලේ පැදුරු දාගෙන නිදාගන්න සෙට් උණා. ඔය අස්සේ ලොකු අම්මා කිව්වා ටික දෙනෙකුට ලොකු අම්මලාගේ ගෙදර යන්න පුළුවන් කියලා. මොකද සමහර පොඩි එවුන්ට එහෙම බිම නිදාගන්න දෙන එක පවු නේ. ඉතින් ලොකු අම්මලාගේ ගෙදර යන්න තීරණය කරේ මෙන්න මේ කණ්ඩායම.

සුදු අයියා සහ ඔහුගේ ප්‍රිය බිරිඳ, රසී අක්කා.
චූටි අයියා සහ බිරිඳ, මහී අක්කා
රාජ් අයියා (මෙයා මේ වෙද්දී නෙලූ අක්කව බැඳලා නැහැ)

දැන් මේගොල්ලන්ට යන්න වෙන්නේ තුන් රෝද රථ වලින්. මොකද වෙල හරහා තියන වේල්ලේ රෝද හතරේ වාහන යන්න බැහැ. රෑ හින්දා වේල්ලේ පයින් යන එකත් සුබ නැහැ. ඉතින් ත්‍රී වීල් දෙකකට කට්ටිය සෙට් උණා. එක ත්‍රීවිල් එකක ඩ්‍රයිවර් හැටියට ලොකු අයියත් ගියා. අනිත් එක එලෙව්වේ සුදු අයියා.

ඉතින් මේ කණ්ඩායම පිටත් වෙලා ගිහින් පැය බාගෙකට විතර පස්සේ ත්‍රීවිල් දෙකක් පිඹගෙන ඇවිත් ලොකු අයියලාගේ ගේට්ටුවෙන් ඇතුලට හැරෙව්වා. ඒවායින් බැස්සේ කවුද දන්නවද? දාඩියෙන් මුළු ඇඟම පෙන්ගිච්ච, ඇස් නළලේ තියාගත්තු, සුදු අයියයි රසී අක්කයි මහී අක්කයි රාජ් අයියයි ලොකු අයියයි. කෝ චූටි අයියා? මොකක් හරි ලොකු සන්තෑසියක් වෙලා තියන බව අපිට තේරුණා. ඉතින් කට්ටියව ගෙට අරගෙන, වතුර එහෙම බොන්න දීලා, හොඳ සිහියට එනකන් ඉඳලා තමයි සිද්ධිය අහගන්න පුළුවන් උනේ.

                                                             ~~~~~~~~~~~~~~~~~

මේ ගොල්ලෝ ත්‍රී වීල් දෙකෙන් පිටත් වෙද්දී මැදියම් රාත්‍රියටත් ලං වෙලා තිබුණේ. මළ ගෙදර නිසා පාර දෙපැත්තේ එල්ලලා තිබුණු සුදු කොඩි සට සට ගාලා හුළඟට සෙලවෙනවා. ගස්  අතරින් පෙරිලා එන මලානික හඳ එළියත් ත්‍රී වීල් වල ලාම්පු එලිත් ඇරෙන්න වෙන කිසිම එළියක් ඒ හරියේ නැහැ. පොඩි චකිතයක් දැනුනත් කට්ටිය ඉදිරියටම ගිහින්. සුදු කොඩි එල්ලපු, ගස් තියන සීමාව පැනලා වෙල අද්දරට ආවම කට්ටිය දැක්කලු මලානික හඳ එළියේ නෑවෙන වෙල් යාය.


පොඩ්ඩක්වත් වේගේ අඩු නොකර තුන් රෝද රථ දෙක එකා පස්සේ එකා ඇදෙන්න ගත්තේ පුළුවන් ඉක්මනින් වේල්ල තරණය කරලා කඳු ගැටේ නැගලා ගෙදරට යන අදහසින්. වේල්ලේ මැද හරියක් එද්දී ඉස්සරහින් ගියපු ලොකු අයියා එලවපු රථය ඉද්ද ගැහුවා වගේ එක පාරටම නතර උනාලු. ඒකෙ පිටි පස්සේ වාඩි වෙලා ඉඳල තියෙන්නේ චූටි අයියයි අක්කයි. පස්සෙන් ආපු සුදු අයියලත් ත්‍රීවිල් එක නතර කරගෙන. ඉස්සරහ එකේ ඉන්න එක්කෙනෙක්වත් බිමට බහින්නේ නෑ ලු. නවත්තගෙන එහෙමම ඉන්නවලු. ඉවසලා බැරිම තැන සුදු අයියා බැහැලා ඉස්සරහ බලලා.

වේල්ල ඉවර වෙලා කඳු ගැටේ නැග්ම පටන් ගන්න තැනම තියෙන්නේ තඩි ගොරක ගහක්. හඳ එළිය තිබුණත්  ඒ හරිය කළුවරයි. එදා හවස ලොකු තාත්තා භූමදානය කරලා තිබුණේ ඒ ගහට ටිකක් එහායින්. සුදු අයියා දැක්කලු "සුදු සරමක් ඇඳගත්ත මිනිහෙක් ගොරක ගහේ එල්ලිලා ඉන්න හැටි". ඔලුව පල්ලෙහාට හිටින්න. ඒ මදිවට හුලන් හමනකොට හයියෙන් එහාට මෙහාට පැද්දෙනවා ලු. මේක දැකලා කකුල් දෙක කිටි කිටියේ වෙවුලන්න ගතිපු හින්දා සුදු අයියා ආපහු ත්‍රී වීල් එකේ රියදුරු ආසනේට පැනලා. දැන් කට්ටියම මේක දිහා එබි එබි බලනවලු. ඉස්සරහ රථයෙන් කිසිම හාවක් හූවක් නෑ. ටික වෙලාවකින් ඔන්න චූටි අයියා එලියට බැහැලා ගොරක ගහ දිහාවට යන්න පටන් ගත්තලු. මහී අක්කා එපා කියලා කෑ ගහද්දීත් මෙයා පොර වගේ ගිහින් මොකද වෙන්නේ බලන්න.

චූටි අයියා ගොරක ගහට ලං වෙන අඩියක් අඩියක් ගානේ වේල්ල මැද ඉන්න කට්ටියගේ හාට් බීට් එක දෙගුණ උනාලු. මෙහෙම හෙමින් හෙමින් ගිහින් චූටි අයියා ගොරක ගහ යටට එනකොටම...

...පළාතම දෙදරන්න චූටි අයියා කෑ ගහද්දි අර එල්ලිලා හිටපු මිනිහා ගහෙන් බිමට පනිනවා දැක්කලු. ඊට වඩා දහ ගුණයක් සද්දෙන් විලාප දීපු අපේ අනිත් කට්ටිය හිස හැරුණු අතේ දුවන්න ගත්තලු. ඒ වෙනකොට බබෙක් ලැබෙන්නත් ඉඳපු රසී අක්කාව ත්‍රී වීල් එකේ එහෙමම දාලා සුදු අයියා දුවලා තිබුණේ මෙලෝ සිහියක් නැතුව. සමහරු දුවලා තිබුණේ ගොරක ගහ පැත්තටමයි. ඒක මීටර් වෙලා  ආපහු හැරිලා එන්න හැදුවට එන්න බැහැලු. එක තැන දිවවෙනවා වගේ තමයි දැනිලා තියෙන්නේ. අන්තිමේදී ලාහට ගෙම්බෝ එකතු කරනවා වගේ, දුවපු කට්ටියව ත්‍රී වීල් වලට දමාගෙන මේ ගොල්ලෝ උපරිම වේගෙන් ආපහු ලොකු අයියලාගේ ගෙදරට ඇවිත්. චූටි අයියට වෙච්ච දෙයක් ගැන කාටවත් හරි අදහසක් නෑ. කට්ටියට ඒ ගැන මතක උනෙත් අපි ඇහුවට පස්සේ. කෑ ගහගෙන චූටි අයියා කන්ද උඩට දුවන හැටි කට්ටිය යන්තම් දැකලා තිබුණා. එයාගේ ෆෝන් එකට දීපු කෝල් වලින් අන්තිම එකට යන්තම් උත්තරයක්‌ ආවා. කරදරයක් නැතුව ලොකු අම්මලාගේ ගෙදරට දුව ගත්තා කියලා කිව්වා. ඊට පස්සේ තමයි ඉතින් හැමෝම සැනසුම් සුසුමක් හෙළුවේ.

පහුවදා උදේ අපේ නෑයෝ සෙට් එක ගියා සිද්ධිය වෙච්ච තැනට, පශ්චාත් අධ්‍යයනයක් දාන්න. කලින් දා රෑ බය වෙලා ආපු අයියලත් වැඩර් ලා වගේ ගියා. වේල්ල හරියට යනකොට මෙන්න තියනවලු කට්ටියගේ පටි කැඩිච්ච සෙරෙප්පු එහෙම. ඒවා හතර අතේ විසි වෙලා. වේල්ලේ ඒ හරිය නිකන් හරක් දාලා මඩවලා වගේ ලු. කට්ටිය එච්චරට දුවලා තියනවා.

ඉතින් ගොරක ගහ යටට යද්දී අමුතු දෙයක්නම් එතන තිබුණේ නැහැ ලු. ගොරක අත්තක වනලා තිබුණු, ලොකු අම්මා ගොරක කඩන්න පාවිච්චි කරන සුදු පාට පෝර කොට්ට උරේ හුළඟට බිම වැටිලා තිබුණලු. චූටි අයියා ගහ යටට එනකොටම ඒක හුළඟට බිම වැටිච්ච එක තමයි සිරාම වැඩේ.

ඔන්න ඔහොමලු ඉතින් උනේ...

Thursday, August 9, 2012

ග්‍රීසියේ සිට එන ඔලිම්පික් ගිනි සිළුව

පෙරහැර ගියාට පස්සේ "සාදු" කියලා වැඩක් නැහැලු. ඒ හින්දා පෙරහැර යන අතරතුරේ ම සාදු කියන්නයි මම මේ හදන්නේ. මේ දවස්වල ලන්ඩන් නගරයේ 30 වන නූතන ඔලිම්පික් ක්‍රීඩා උත්සවය පැවැත්වෙන බව හැමෝම දන්නවා. ඉතින් ඔලිම්පික් ගැන සැඟවුණු විස්තර හොයලා ලියන්න මීට වඩා සුදුසු කාලයක් නැහැ. එහෙනම් පටන් ගමු :)

                                                              ~~~~~~~~~~~~~~



ඔලිම්පික් ක්‍රීඩා ආරම්භ උනේ ග්‍රීසියේ. ඒක සිද්ධ උනේ මොන කාලයේද කියලා හරියටම නිශ්චිතව කියන්න අමාරු උනත් සංවිධානාත්මකව වසර හතරේ කාල සීමා වලින් ඔලිම්පික් පැවැත්වීම ආරම්භ කරලා තියෙන්නේ ක්‍රි. පූ. 776 දී කියලයි සඳහන් වෙන්නේ. හ්ම්ම්...අවුරුදු 2800 ක පමණ ඉතිහාසයක් නේද? ඒ ප්‍රථම ඔලිම්පික් උත්සවය පවත්වලා තියෙන්නේ ග්‍රීසියේ එලිස් නගරයේ පිහිටි "ඔලිම්පියා" නම් ප්‍රදේශයේ. ඔලිම්පියාව සැළකුනේ පූජ්‍ය භූමියක් විදිහට. Zeus (සියුස්) දෙවියා සහ ඔහුගේ බිරිඳ වන Hera (හේරා) දෙවඟන ඇතුළු බොහොමයක් ග්‍රීක දෙවිවරුන්ගේ පිළිම සහිත දේවස්ථාන තනා පුද පූජා සිදු කළ ස්ථානයක් තමයි ඒ. මේ මුල්ම ක්‍රීඩා භුමිය පිහිටලා තියෙන්නේ ඒ දේවස්ථාන වලට සමීපයෙන්.

ක්‍රි. පූ. 776 දී පැවැත්වුණු ප්‍රථම ඔලිම්පික් උත්සවයට ඇතුලත් වෙලා තියෙන්නේ එකම එක තරඟයක් විතරයි. ඒ, මීටර් 200 දිවීම. ඒ වගේම මේ කාලයේ තරඟ වලට සහභාගී වෙලා තියෙන්නේ ග්‍රීකයින් පමණයි (ග්‍රීක පිරිමින් පමණයි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ මම හිතන්නේ :). ක්‍රි. පූ. 724 දී තමයි මීටර් 400 තරඟය එයට ඇතුලත් වෙන්නේ. ඉතින් ඔලිම්පික් තරඟයකින් දිනනවා තරම් ගෞරවයක් වෙනත් විදිහකින් ලබන්න බැහැ කියලලු ඔවුන් හිතුවේ. ජයග්‍රාහකයින්ට ත්‍යාග විදියට ලැබුනේ ඔලිව් කොළ වලින් සැදූ හිස් පළඳනාවක් පමණයි. ඒත් එයින් ලැබුණ ගෞරවය අති මහත්.


ඔලිව් ගස ග්‍රීකන්ගේ පූජනිය ගසක්. ඔලිව් ගස ලෝකයට මැවුවේ සියුස් දෙවියාගේ දියණිය වන "ඇතීනා" දෙවඟන විසින් කියලා මධුරංග ලියපු ලිපියක තිබුණා. ඉතින් මේ පළඳනාව හදන්න ඔලිව් කොළ අරගෙන තියෙන්නේ සියුස් දේවාලය පිටුපස තිබුණු ඔලිව් ගසකින්. ඒ ගස රෝපණය කළේ සියුස් දෙවියාගේ පුත්‍රයා වන "හර්කියුලිස්" විසින් කියලයි ග්‍රීකයින් විශ්වාස කරන්නේ.

දැන් අපි බලමු ග්‍රීක විශ්වාසවලට අනුව ඔලිම්පික් බිහි උනේ මොන විදියටද කියලා.

දැන් ඔය සියුස් දෙවියාගේ පුතා හර්කියුලිස් නේ. ඔහු අර්ධ දෙවියෙක් හැටියට තමයි සැළකෙන්නේ. ඒ කියන්නේ, ඔහුගේ මව මනුෂ්‍ය දුවක්. හර්කියුලිස්ට තිබුනලු පුදුමාකාර ශක්තියක් සහ දක්ෂ කම් ගොඩක් (මිශ්‍ර ළමයි කොහොමත් දක්ෂයි කියනවනේ). සාමාන්‍යයෙන් සිද්ධ වෙන විදිහටම හර්කියුලිස්, හේරා ගේ (ඔහුගේ කුඩම්මා ගේ) දැඩි ඉර්ශ්‍යාවට ලක් උනා. මේ හේරා දෙවඟන කරපු කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විදියට ඇපලෝ දෙවියා විසින් හරිකියුලිස්ට ඉතා අමාරු වැඩ 12 ක් නියම කරනවා. එයින් පස් වෙනි එක තමයි එවකට එලිස් නගරයේ රජතුමා වුනු "ඕගියස්" රජුගේ ජරාවාස වූ ස්තාල පිරිසුදු කිරීම. හර්කියුලිස් මේ රජතුමා හමු වෙලා ගිවිසුමකට එනවා රජුගේ ගව පට්ටියෙන් 1/10 ස්තාල පිරිසුදු කිරීමේ ගාස්තුව වශයෙන් ගන්නා බවට. ඉන් පස්සේ ඔහු මොකද කරන්නේ "ක්ලැඩිඕස්" සහ "ඇල්පිඕස්" ගංගා හරස් කරලා අර ස්තාල හරහා යන්න සළස්වනවා. වැඩේ ඉවර කරලා ගාස්තුව ඉල්ලාගන්න ගියත් ඔහුට එය ලැබෙන්නේ නැහැ. මෙයින් උරණ වෙන හරිකියුලිස්, රජතුමා මරා දමනවා. ඒ ජයග්‍රහණයේ සංකේතයක් විදිහට ඔහු ඔලිම්පික් ක්‍රීඩා උත්සවය ආරම්භ කරන්නේ තම පියා සියුස් දෙවියාටත් ගෞරවයක් වශයෙන්. 

මේ නිල් පාටින් කියපු කතාව ග්‍රීකන්ගේ ආගමික විශ්වාසයක් පමණයි. හේරා, සියුස් සහ හර්කියුලිස්ගේ කතාන්දරය ටිකක් දිග එකක්. ඒක ඔයාලට කියන්න හොඳම කෙනා තමයි මධූ. හරි දැන් ආපහු අපේ කතාවට හැරෙමු.

ක්‍රි. පූ. 776 දී ආරම්භ වුනු ඔලිම්පික් උත්සවය නොකඩවා අවුරුදු 4 න් 4 ට අවු. 1100 ක් පමණ පැවතෙනවා. මේ අවු. 4 ක කාලය ඔවුන් හැඳින්වුවේ "ඔලිම්පියාඩ්" එකක් විදිහට. ඔවුන්ගේ නක්ෂත්‍රය පවා සැකසුනේ එය මුල් කරගෙන. ක්‍රි. පූ. 146 දී රෝමය විසින් ග්‍රීසිය යටත් කරගත්තාට පස්සේ ඔලිම්පික් උත්සවය රෝමයට ගෙන යනවා. එයින් පස්සේ තමයි ග්‍රීසිය හැරෙන්න අනෙක් රටවල් මේ උත්සවයට සහභාගී වීම අරඹන්නේ. ක්‍රි. ව. 393 දී තියඩෝසියස් නම් රෝම අධිරාජයා විසින් ඔලිම්පික් උත්සවය තහනම් කරන්නේ රෝමය ක්‍රිස්තියානිකරණය වීමේ ප්‍රතිඵලයක් විදියට. එහෙම කරේ මොන හේතුවකටද කියලානම් මම දන්නේ නැහැ (ප. ලි බලන්න). එතනින් තමයි පුරාණ ඔලිම්පික් යුගය අවසන් වෙන්නේ.

                                                     ~~~~~~~~~~~~~~~~~

දැන් අපි බලමු නූතන ඔලිම්පික් ආරම්භ වෙන්නේ කවදද? කොහොමද? කියලා. 19 වන සියවසේදී කිහිප විටක්ම ඔලිම්පික් ක්‍රීඩා නැවත ස්ථාපිත කරන්න ප්‍රංශය මූලික තවත් අය උත්සාහ ගත්තත් එය අසාර්ථක වෙනවා. අවසානයේ, 1894 දී "බාරොන් පියරේ" නම් ප්‍රංශ ජාතිකයෙක් සමත් වෙනවා අන්තර්ජාතික ඔලිම්පික් කොන්ග්‍රසය (InternationalOlympic Committee - IOC) පිහිටුවා නැවතත් ඔලිම්පික් ස්ථාපිත කරන්න.

මෙහි ප්‍රතිඵලයක් විදියට 1896 දී ප්‍රථම නූතන ඔලිම්පික් උත්සවය පැවැත්වෙනවා. ඒ කොහෙද කියලා හිතන්න පුළුවන්ද? ඔලිම්පික් නිජබිම වුනු ග්‍රීසියේ. ඒ සඳහා ග්‍රීසිය ඇරෙන්න වෙනත් සුදුසු තැනක් තියනවද? අදට උනත් සමාරභක උත්සව වල ක්‍රීඩකයින්ගේ පෙළපාලියේ මුල්ම ස්ථානය හිමි වෙන්නේත්  ග්‍රීසියට. "ඇතන්ස්" නුවර පැනතිනයිකෝ නම් ක්‍රීඩාගාරයේ සමාරම්භක උත්සවය පැවැත්වුණු හැටි තමයි මේ තියෙන්නේ.



මේ උත්සවය සඳහා රටවල් 13 කින් ක්‍රීඩකයින් 250 ක් පමණ සහභාගී වෙලා තියනවා. එහිදී මුල්ම තරඟය ජයග්‍රහණය කරලා තියෙන්නේ "ජේම්ස් කොනොලි" නම් ඇමරිකානුවෙක්. ඉතින් ඒ වෙද්දීත් ක්‍රීඩිකාවන්නම් ඉඳලා නැහැ. කාන්තාවන්ට ඔලිම්පික් සඳහා සහභාගී වෙන්න අවස්තාව ලැබිලා තියෙන්නේ 1900 දී පැරිසියේ පැවැත්වුණු උත්සවයේදී. ඉතින් ඔය විදියට ආරම්භ වුන නූතන ඔලිම්පික් තමයි අද දවස වෙනකන්ම පැවතෙන්නේ.

දැන් අපි කතා කරන්න යන්නේ මේ ඔලිම්පික් හා සම්බන්ධ ලස්සන සම්ප්‍රදායයන් හා සංකේත කිහිපයක් ගැන.

මුලින්ම "ඔලිම්පික් ලාංඡනය" සහ ධජය. ධජය ගැන කිව්වම  ලාංඡනය ගැනත් ඉබේම කියවෙනවා. සුදු පැහැ පසුබිමක වර්ණ පහකින් රවුම් පහක් දැක්වෙන්නේ මහාද්වීප 5 නියෝජනය කිරීමට. දැන් කවුරුහරි අහවි "ඈ බොලේ මේ ලෝකේ මහාද්වීප 7 ක් තියනවා නේද කියලා". 7 ක් තියනවා තමයි. හැබැයි ඇන්ටාක්ටිකාවේ මිනිස්සු නැහැ. ඉතින් ඔලිම්පික් එන්න කවුරුත් නැහැ. ඊ ලඟට උතුරු සහ දකුණු ඇමරිකාව සැළකෙන්නේ එකක් විදියට. පාට 5 බෙදලා තියෙන්නේ මෙහෙමයි.

නිල් - යුරෝපය
කළු - අප්‍රිකාව
රතු - ඇමරිකාව
කහ - ආසියාව
කොළ - ඔස්ට්‍රේලියාව


මේ රවුම් පහ එකිනෙකට පටලවලා තියෙන්නේ බැඳීම එහෙම නැත්නම් සහයෝගය පෙන්නුම් කරන්නලු. සමාරම්භක උත්සවයේ ධජය ඔසවන වෙලාවේ ඔලිම්පික් තේමා ගීතය ගායනා කරනු ලබනවා. ග්‍රීක බසින් ලියවුනු ගීතයේ ඉංග්‍රීසි පරිවර්තනයකුත් තියෙනවා.

ඊ ලඟට තමයි ලස්සනම එක. ඔලිම්පික් පහන සහ පන්දම් ගෙන ඒමේ සම්ප්‍රදාය. මේකට ආභාෂය ලැබෙන්නෙත් පැරණි ග්‍රීක සම්ප්‍රදායකින්. ඔලිම්පියා වල පැරණි ඔලිම්පික් ක්‍රීඩා පවත්වන විට ග්‍රීකන්ගේ සිරිතක් තිබුණලු ක්‍රීඩා පවත්වන කාලය පුරාවට "හෙස්ටියා" සහ "ඇතීනා" දෙවඟනන් වෙනුවෙන් ඔවුන්ගේ අල්තාර මත ගින්දර දල්වා තබන්න. ඇතීනා දෙවඟනගේ අල්තාරය දැල්වීමට ගින්දර රැගෙන ආවේ කිලෝ මීටර් ගණනක් ඈතින් පිහිටි ප්‍රොමිතියස් දෙවියාගේ (මිනිසා මැවූයේ මොහු යයි සැලකෙනවා) දේවස්ථානයේ සිට. මේ ක්‍රියාව සංකේතවත් කිරීම සඳහා  1928 දී නෙදර්ලන්තයේ පැවතී ඔලිම්පික් උත්සවයේදී ඔලිම්පික් පහනක් දල්වනු ලබනවා. ඒත් මෙය සම්ප්‍රදායක් විදිහට පවත්වාගෙන යන්න තීරණය කරන්නේ 1936 දී. මේ තියෙන්නේ එදා ජර්මනියේ පහන දල්වපු හැටි.





ඔලිම්පික් වීරයන් කිහිප දෙනෙක්ගේ අතින් ඔලිම්පික් පහන දක්වා පැමිණෙන මේ ඔලිම්පික් ගිනි සිළුව සැබවින්ම උපදින්නේ ග්‍රීසියේ කියලා ඔබ දන්නවාද? ඔව්, ඔලිම්පික් ගිනි සිළුව බිහි වෙන්නේ ග්‍රීසියේ ඔලිම්පියා වල (ක්‍රි. පූ. 776 දී ඔලිම්පික් පැවැත්වුණු ස්ථානයේ). හරියටම කිව්වොත්  හේරා දෙවඟනගේ දේවස්ථානය අභියස. ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. පුරාණ ග්‍රීක සම්ප්‍රදායික ඇඳුමින් සැරසුණු ග්‍රීක කන්‍යාවන් කණ්ඩායමක් විසින් මුල්ම ගිනි සිළුව දල්වනවා. ඒකට යොදා ගන්නේ ලයිටරයක්වත් ගිනි ගලක්වත් නෙමෙයි. සූර්ය කිරණ. පරාවලීය කණ්නාඩියක් යොදාගෙන සූර්ය කිරණ නාභිගත කරලා තමයි ඒ ගිනි සිළුව ලබා ගන්නේ.


හේරා දේවස්ථානය ඉදිරිපිටදී දල්වන මේ ගිනි සිළුව මේ කාන්තාවන් විසින් රැගෙන එනවා ඒ අසළ ඇති ක්‍රීඩාගාරය ලඟට (ඉපැරණි ඔලිම්පික් තරඟ පැවැත්වුණු ස්ථානය). එතැනදී තමයි මුල්ම පන්දම් කරුගේ පන්දම අර ගිනි සිළුවෙන් දල්වන්නේ. ඉන් පස්සේ පන්දම් කරුවන් සිය ගණනක් අතින් අතට මාරු වෙවී මේ ගිනි සිළුව ග්‍රීසිය වටා ගොස් අවසානයේ ඇතන්ස් නුවර  පැනතිනයිකෝ ක්‍රීඩාගාරයට පැමිණෙනවා (මතක ඇතිනේ...මේ තමයි මුල් වරට නූතන ඔලිම්පික් පැවැත්වුණු ස්ථානය). මෙහිදී තමයි ග්‍රීසිය විසින් ඒ අවුරුද්දේ ඔලිම්පික් පවත්වන රටට ගිනි සිළුව බාර දෙන්නේ. ඒකටත් අර කලින් කියපු කන්‍යාවන් පිරිසම සහභාගී වෙනවා. ඉන් පස්සේ ඒක තමන්ගේ රටට ගෙනියන විදිය තීරණය කරන්නේ ඔවුන්. ගමන් මාර්ගයට ගුවන් ගමන්  ඇතුලත් වෙනවානම් ගිනි සිළුව ගෙනියන්න විශේෂ ලාම්පුවක් තියනවා. ඉතින් මේ ගිනි සිළුවේ ගමන් මාර්ගයෙන් අපි දන්නේ බොහොම ටිකයි. සමාරම්භක උළෙලේ දී දල්වන ඔලිම්පික් පහන නිමා කිරීමේ උළෙලේ දී නිවා දමන තෙක්ම නොනිවී දැල්වෙනවා.

මෙවර ලන්ඩන් හි පැවැත්වෙන ඔලිම්පික් උත්සවය සඳහා ඔලිම්පියා හිදී ගිනි සිළුව දල්වපු විදිහ මේ වීඩියෝවෙන් බලාගන්න පුළුවන්.



ඔන්න ඔහොමයි එහෙනම් ඔලිම්පික් ගැන කතාව. ලිපිය ටිකක් දිග වැඩිද මන්දා. ඒත් මේ විස්තර එකක් හරි මග අරින එක මේ තරම් ලස්සන ඔලිම්පික් සම්ප්‍රදායට කරන අසාධාරණයක් කියලා මට හිතුණා.



ප. ලි. තියඩෝසියස් අධිරාජයා ඔලිම්පික් තහනම් කළේ, සියුස් දෙවියා වෙනුවෙන් පවත්වපු ක්‍රීඩා උත්සවයට ක්‍රිස්තියානින් අකමැති වුනු නිසා වෙන්න ඇති කියලා හරී පහලින් අදහස් දක්වලා තියනවා. 
Related Posts Plugin for WordPress, Blogger...