පෙරහැර ගියාට පස්සේ "සාදු" කියලා වැඩක් නැහැලු. ඒ හින්දා පෙරහැර යන අතරතුරේ ම සාදු කියන්නයි මම මේ හදන්නේ. මේ දවස්වල ලන්ඩන් නගරයේ 30 වන නූතන ඔලිම්පික් ක්‍රීඩා උත්සවය පැවැත්වෙන බව හැමෝම දන්නවා. ඉතින් ඔලිම්පික් ගැන සැඟවුණු විස්තර හොයලා ලියන්න මීට වඩා සුදුසු කාලයක් නැහැ. එහෙනම් පටන් ගමු :)
~~~~~~~~~~~~~~
ඔලිම්පික් ක්‍රීඩා ආරම්භ උනේ ග්‍රීසියේ. ඒක සිද්ධ උනේ මොන කාලයේද කියලා හරියටම නිශ්චිතව කියන්න අමාරු උනත් සංවිධානාත්මකව වසර හතරේ කාල සීමා වලින් ඔලිම්පික් පැවැත්වීම ආරම්භ කරලා තියෙන්නේ ක්‍රි. පූ. 776 දී කියලයි සඳහන් වෙන්නේ. හ්ම්ම්...අවුරුදු 2800 ක පමණ ඉතිහාසයක් නේද? ඒ ප්‍රථම ඔලිම්පික් උත්සවය පවත්වලා තියෙන්නේ ග්‍රීසියේ එලිස් නගරයේ පිහිටි "ඔලිම්පියා" නම් ප්‍රදේශයේ. ඔලිම්පියාව සැළකුනේ පූජ්‍ය භූමියක් විදිහට. Zeus (සියුස්) දෙවියා සහ ඔහුගේ බිරිඳ වන Hera (හේරා) දෙවඟන ඇතුළු බොහොමයක් ග්‍රීක දෙවිවරුන්ගේ පිළිම සහිත දේවස්ථාන තනා පුද පූජා සිදු කළ ස්ථානයක් තමයි ඒ. මේ මුල්ම ක්‍රීඩා භුමිය පිහිටලා තියෙන්නේ ඒ දේවස්ථාන වලට සමීපයෙන්.
ක්‍රි. පූ. 776 දී පැවැත්වුණු ප්‍රථම ඔලිම්පික් උත්සවයට ඇතුලත් වෙලා තියෙන්නේ එකම එක තරඟයක් විතරයි. ඒ, මීටර් 200 දිවීම. ඒ වගේම මේ කාලයේ තරඟ වලට සහභාගී වෙලා තියෙන්නේ ග්‍රීකයින් පමණයි (ග්‍රීක පිරිමින් පමණයි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ මම හිතන්නේ :). ක්‍රි. පූ. 724 දී තමයි මීටර් 400 තරඟය එයට ඇතුලත් වෙන්නේ. ඉතින් ඔලිම්පික් තරඟයකින් දිනනවා තරම් ගෞරවයක් වෙනත් විදිහකින් ලබන්න බැහැ කියලලු ඔවුන් හිතුවේ. ජයග්‍රාහකයින්ට ත්‍යාග විදියට ලැබුනේ ඔලිව් කොළ වලින් සැදූ හිස් පළඳනාවක් පමණයි. ඒත් එයින් ලැබුණ ගෞරවය අති මහත්.
ඔලිව් ගස ග්‍රීකන්ගේ පූජනිය ගසක්. ඔලිව් ගස ලෝකයට මැවුවේ සියුස් දෙවියාගේ දියණිය වන "ඇතීනා" දෙවඟන විසින් කියලා
මධුරංග ලියපු ලිපියක තිබුණා. ඉතින් මේ පළඳනාව හදන්න ඔලිව් කොළ අරගෙන තියෙන්නේ සියුස් දේවාලය පිටුපස තිබුණු ඔලිව් ගසකින්. ඒ ගස රෝපණය කළේ සියුස් දෙවියාගේ පුත්‍රයා වන "හර්කියුලිස්" විසින් කියලයි ග්‍රීකයින් විශ්වාස කරන්නේ.
දැන් අපි බලමු ග්‍රීක විශ්වාසවලට අනුව ඔලිම්පික් බිහි උනේ මොන විදියටද කියලා.
දැන් ඔය සියුස් දෙවියාගේ පුතා හර්කියුලිස් නේ. ඔහු අර්ධ දෙවියෙක් හැටියට තමයි සැළකෙන්නේ. ඒ කියන්නේ, ඔහුගේ මව මනුෂ්‍ය දුවක්. හර්කියුලිස්ට තිබුනලු පුදුමාකාර ශක්තියක් සහ දක්ෂ කම් ගොඩක් (මිශ්‍ර ළමයි කොහොමත් දක්ෂයි කියනවනේ). සාමාන්‍යයෙන් සිද්ධ වෙන විදිහටම හර්කියුලිස්, හේරා ගේ (ඔහුගේ කුඩම්මා ගේ) දැඩි ඉර්ශ්‍යාවට ලක් උනා. මේ හේරා දෙවඟන කරපු කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විදියට ඇපලෝ දෙවියා විසින් හරිකියුලිස්ට ඉතා අමාරු වැඩ 12 ක් නියම කරනවා. එයින් පස් වෙනි එක තමයි එවකට එලිස් නගරයේ රජතුමා වුනු "ඕගියස්" රජුගේ ජරාවාස වූ ස්තාල පිරිසුදු කිරීම. හර්කියුලිස් මේ රජතුමා හමු වෙලා ගිවිසුමකට එනවා රජුගේ ගව පට්ටියෙන් 1/10 ස්තාල පිරිසුදු කිරීමේ ගාස්තුව වශයෙන් ගන්නා බවට. ඉන් පස්සේ ඔහු මොකද කරන්නේ "ක්ලැඩිඕස්" සහ "ඇල්පිඕස්" ගංගා හරස් කරලා අර ස්තාල හරහා යන්න සළස්වනවා. වැඩේ ඉවර කරලා ගාස්තුව ඉල්ලාගන්න ගියත් ඔහුට එය ලැබෙන්නේ නැහැ. මෙයින් උරණ වෙන හරිකියුලිස්, රජතුමා මරා දමනවා. ඒ ජයග්‍රහණයේ සංකේතයක් විදිහට ඔහු ඔලිම්පික් ක්‍රීඩා උත්සවය ආරම්භ කරන්නේ තම පියා සියුස් දෙවියාටත් ගෞරවයක් වශයෙන්.
මේ නිල් පාටින් කියපු කතාව ග්‍රීකන්ගේ ආගමික විශ්වාසයක් පමණයි. හේරා, සියුස් සහ හර්කියුලිස්ගේ කතාන්දරය ටිකක් දිග එකක්. ඒක ඔයාලට කියන්න හොඳම කෙනා තමයි මධූ. හරි දැන් ආපහු අපේ කතාවට හැරෙමු.
ක්‍රි. පූ. 776 දී ආරම්භ වුනු ඔලිම්පික් උත්සවය නොකඩවා අවුරුදු 4 න් 4 ට අවු. 1100 ක් පමණ පැවතෙනවා. මේ අවු. 4 ක කාලය ඔවුන් හැඳින්වුවේ "ඔලිම්පියාඩ්" එකක් විදිහට. ඔවුන්ගේ නක්ෂත්‍රය පවා සැකසුනේ එය මුල් කරගෙන. ක්‍රි. පූ. 146 දී රෝමය විසින් ග්‍රීසිය යටත් කරගත්තාට පස්සේ ඔලිම්පික් උත්සවය රෝමයට ගෙන යනවා. එයින් පස්සේ තමයි ග්‍රීසිය හැරෙන්න අනෙක් රටවල් මේ උත්සවයට සහභාගී වීම අරඹන්නේ. ක්‍රි. ව. 393 දී තියඩෝසියස් නම් රෝම අධිරාජයා විසින් ඔලිම්පික් උත්සවය තහනම් කරන්නේ රෝමය ක්‍රිස්තියානිකරණය වීමේ ප්‍රතිඵලයක් විදියට. එහෙම කරේ මොන හේතුවකටද කියලානම් මම දන්නේ නැහැ (ප. ලි බලන්න). එතනින් තමයි පුරාණ ඔලිම්පික් යුගය අවසන් වෙන්නේ.
~~~~~~~~~~~~~~~~~
දැන් අපි බලමු නූතන ඔලිම්පික් ආරම්භ වෙන්නේ කවදද? කොහොමද? කියලා. 19 වන සියවසේදී කිහිප විටක්ම ඔලිම්පික් ක්‍රීඩා නැවත ස්ථාපිත කරන්න ප්‍රංශය මූලික තවත් අය උත්සාහ ගත්තත් එය අසාර්ථක වෙනවා. අවසානයේ, 1894 දී "බාරොන් පියරේ" නම් ප්‍රංශ ජාතිකයෙක් සමත් වෙනවා අන්තර්ජාතික ඔලිම්පික් කොන්ග්‍රසය (InternationalOlympic Committee - IOC) පිහිටුවා නැවතත් ඔලිම්පික් ස්ථාපිත කරන්න.
මෙහි ප්‍රතිඵලයක් විදියට 1896 දී ප්‍රථම නූතන ඔලිම්පික් උත්සවය පැවැත්වෙනවා. ඒ කොහෙද කියලා හිතන්න පුළුවන්ද? ඔලිම්පික් නිජබිම වුනු ග්‍රීසියේ. ඒ සඳහා ග්‍රීසිය ඇරෙන්න වෙනත් සුදුසු තැනක් තියනවද? අදට උනත් සමාරභක උත්සව වල ක්‍රීඩකයින්ගේ පෙළපාලියේ මුල්ම ස්ථානය හිමි වෙන්නේත් ග්‍රීසියට. "ඇතන්ස්" නුවර පැනතිනයිකෝ නම් ක්‍රීඩාගාරයේ සමාරම්භක උත්සවය පැවැත්වුණු හැටි තමයි මේ තියෙන්නේ.
මේ උත්සවය සඳහා රටවල් 13 කින් ක්‍රීඩකයින් 250 ක් පමණ සහභාගී වෙලා තියනවා. එහිදී මුල්ම තරඟය ජයග්‍රහණය කරලා තියෙන්නේ "ජේම්ස් කොනොලි" නම් ඇමරිකානුවෙක්. ඉතින් ඒ වෙද්දීත් ක්‍රීඩිකාවන්නම් ඉඳලා නැහැ. කාන්තාවන්ට ඔලිම්පික් සඳහා සහභාගී වෙන්න අවස්තාව ලැබිලා තියෙන්නේ 1900 දී පැරිසියේ පැවැත්වුණු උත්සවයේදී. ඉතින් ඔය විදියට ආරම්භ වුන නූතන ඔලිම්පික් තමයි අද දවස වෙනකන්ම පැවතෙන්නේ.
දැන් අපි කතා කරන්න යන්නේ මේ ඔලිම්පික් හා සම්බන්ධ ලස්සන සම්ප්‍රදායයන් හා සංකේත කිහිපයක් ගැන.
මුලින්ම "ඔලිම්පික් ලාංඡනය" සහ ධජය. ධජය ගැන කිව්වම ලාංඡනය ගැනත් ඉබේම කියවෙනවා. සුදු පැහැ පසුබිමක වර්ණ පහකින් රවුම් පහක් දැක්වෙන්නේ මහාද්වීප 5 නියෝජනය කිරීමට. දැන් කවුරුහරි අහවි "ඈ බොලේ මේ ලෝකේ මහාද්වීප 7 ක් තියනවා නේද කියලා". 7 ක් තියනවා තමයි. හැබැයි ඇන්ටාක්ටිකාවේ මිනිස්සු නැහැ. ඉතින් ඔලිම්පික් එන්න කවුරුත් නැහැ. ඊ ලඟට උතුරු සහ දකුණු ඇමරිකාව සැළකෙන්නේ එකක් විදියට. පාට 5 බෙදලා තියෙන්නේ මෙහෙමයි.
නිල් - යුරෝපය
කළු - අප්‍රිකාව
රතු - ඇමරිකාව
කහ - ආසියාව
කොළ - ඔස්ට්‍රේලියාව
මේ රවුම් පහ එකිනෙකට පටලවලා තියෙන්නේ බැඳීම එහෙම නැත්නම් සහයෝගය පෙන්නුම් කරන්නලු. සමාරම්භක උත්සවයේ ධජය ඔසවන වෙලාවේ
ඔලිම්පික් තේමා ගීතය ගායනා කරනු ලබනවා. ග්‍රීක බසින් ලියවුනු ගීතයේ ඉංග්‍රීසි පරිවර්තනයකුත් තියෙනවා.
ඊ ලඟට තමයි ලස්සනම එක. ඔලිම්පික් පහන සහ පන්දම් ගෙන ඒමේ සම්ප්‍රදාය. මේකට ආභාෂය ලැබෙන්නෙත් පැරණි ග්‍රීක සම්ප්‍රදායකින්. ඔලිම්පියා වල පැරණි ඔලිම්පික් ක්‍රීඩා පවත්වන විට ග්‍රීකන්ගේ සිරිතක් තිබුණලු ක්‍රීඩා පවත්වන කාලය පුරාවට "හෙස්ටියා" සහ "ඇතීනා" දෙවඟනන් වෙනුවෙන් ඔවුන්ගේ අල්තාර මත ගින්දර දල්වා තබන්න. ඇතීනා දෙවඟනගේ අල්තාරය දැල්වීමට ගින්දර රැගෙන ආවේ කිලෝ මීටර් ගණනක් ඈතින් පිහිටි ප්‍රොමිතියස් දෙවියාගේ (මිනිසා මැවූයේ මොහු යයි සැලකෙනවා) දේවස්ථානයේ සිට. මේ ක්‍රියාව සංකේතවත් කිරීම සඳහා 1928 දී නෙදර්ලන්තයේ පැවතී ඔලිම්පික් උත්සවයේදී ඔලිම්පික් පහනක් දල්වනු ලබනවා. ඒත් මෙය සම්ප්‍රදායක් විදිහට පවත්වාගෙන යන්න තීරණය කරන්නේ 1936 දී. මේ තියෙන්නේ එදා ජර්මනියේ පහන දල්වපු හැටි.

ඔලිම්පික් වීරයන් කිහිප දෙනෙක්ගේ අතින් ඔලිම්පික් පහන දක්වා පැමිණෙන මේ ඔලිම්පික් ගිනි සිළුව සැබවින්ම උපදින්නේ ග්‍රීසියේ කියලා ඔබ දන්නවාද? ඔව්, ඔලිම්පික් ගිනි සිළුව බිහි වෙන්නේ ග්‍රීසියේ ඔලිම්පියා වල (ක්‍රි. පූ. 776 දී ඔලිම්පික් පැවැත්වුණු ස්ථානයේ). හරියටම කිව්වොත් හේරා දෙවඟනගේ දේවස්ථානය අභියස. ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. පුරාණ ග්‍රීක සම්ප්‍රදායික ඇඳුමින් සැරසුණු ග්‍රීක කන්‍යාවන් කණ්ඩායමක් විසින් මුල්ම ගිනි සිළුව දල්වනවා. ඒකට යොදා ගන්නේ ලයිටරයක්වත් ගිනි ගලක්වත් නෙමෙයි. සූර්ය කිරණ. පරාවලීය කණ්නාඩියක් යොදාගෙන සූර්ය කිරණ නාභිගත කරලා තමයි ඒ ගිනි සිළුව ලබා ගන්නේ.

හේරා දේවස්ථානය ඉදිරිපිටදී දල්වන මේ ගිනි සිළුව මේ කාන්තාවන් විසින් රැගෙන එනවා ඒ අසළ ඇති ක්‍රීඩාගාරය ලඟට (ඉපැරණි ඔලිම්පික් තරඟ පැවැත්වුණු ස්ථානය). එතැනදී තමයි මුල්ම පන්දම් කරුගේ පන්දම අර ගිනි සිළුවෙන් දල්වන්නේ. ඉන් පස්සේ පන්දම් කරුවන් සිය ගණනක් අතින් අතට මාරු වෙවී මේ ගිනි සිළුව ග්‍රීසිය වටා ගොස් අවසානයේ ඇතන්ස් නුවර පැනතිනයිකෝ ක්‍රීඩාගාරයට පැමිණෙනවා (මතක ඇතිනේ...මේ තමයි මුල් වරට නූතන ඔලිම්පික් පැවැත්වුණු ස්ථානය). මෙහිදී තමයි ග්‍රීසිය විසින් ඒ අවුරුද්දේ ඔලිම්පික් පවත්වන රටට ගිනි සිළුව බාර දෙන්නේ. ඒකටත් අර කලින් කියපු කන්‍යාවන් පිරිසම සහභාගී වෙනවා. ඉන් පස්සේ ඒක තමන්ගේ රටට ගෙනියන විදිය තීරණය කරන්නේ ඔවුන්. ගමන් මාර්ගයට ගුවන් ගමන් ඇතුලත් වෙනවානම් ගිනි සිළුව ගෙනියන්න විශේෂ ලාම්පුවක් තියනවා. ඉතින් මේ ගිනි සිළුවේ ගමන් මාර්ගයෙන් අපි දන්නේ බොහොම ටිකයි. සමාරම්භක උළෙලේ දී දල්වන ඔලිම්පික් පහන නිමා කිරීමේ උළෙලේ දී නිවා දමන තෙක්ම නොනිවී දැල්වෙනවා.
මෙවර ලන්ඩන් හි පැවැත්වෙන ඔලිම්පික් උත්සවය සඳහා ඔලිම්පියා හිදී ගිනි සිළුව දල්වපු විදිහ මේ වීඩියෝවෙන් බලාගන්න පුළුවන්.
ඔන්න ඔහොමයි එහෙනම් ඔලිම්පික් ගැන කතාව. ලිපිය ටිකක් දිග වැඩිද මන්දා. ඒත් මේ විස්තර එකක් හරි මග අරින එක මේ තරම් ලස්සන ඔලිම්පික් සම්ප්‍රදායට කරන අසාධාරණයක් කියලා මට හිතුණා.
ප. ලි. තියඩෝසියස් අධිරාජයා ඔලිම්පික් තහනම් කළේ, සියුස් දෙවියා වෙනුවෙන් පවත්වපු ක්‍රීඩා උත්සවයට ක්‍රිස්තියානින් අකමැති වුනු නිසා වෙන්න ඇති කියලා හරී පහලින් අදහස් දක්වලා තියනවා.