Saturday, October 15, 2011

මිහි මවට........ආදරෙන්.........



සුවඳ දෙන මක රන්ද තුඩින් ගෙන රස වින්ද,
                                                    ගී කී සියොත් ද තරහා                    වී
බිම සිඹින පර මල් ද පර නොවෙන බොරු මල් ද
                                                    හැර දා දුරට ඉගිල යා                     වී
ගං තෙරට පෙම් බැන්ද පැන් පොදක සුව වින්ද,
                                                    උන් නැත තවත් නෙතට යා            වී
ගං තෙරෙහි තුරු සින්ද සත් නෙත් වෙතින් අන්ධ
                                                    සැන්ගී ගොසින් සඳට, සා               වී


සුව හස් තඹුරු ඉපිද මියැදෙන සුනිල් විල්ද
                                                    වියලී ගොසින් මින් පෙලා              වී
සිරි පා නිතින් වැන්ද තටු සිඳුණු සමනල් ද
                                                    දෙව් ලොව ගොසින් ගතු කියා        වී
හිරු සඳු ද මද නල ද තරු ද වැහි දෙව් ලියද
                                                     ඒ තතු අසා උරණ වේ                   වී
සක් දෙවි ගෙ සිත් බින්ද මනු සත වෙලා මුග්ධ
                                                     උන් දෙස දෙවිත් නොම බලා        වී


                                          ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

මතකද "තුරඟා වන්නම" ? සුළු මැදුම් දෙතිතෙන් උපන් අපූරු වන්නම.

"සත් වෙත් මහත් අදර ලත් යුත් සිදත් කුමර........"

බෞද්ධ අපේ සිත් වලට සමීපම තුරඟා කන්ථක නොවේද? තුරඟා වන්නම රචකයාට ද එය එසේම වන්නට ඇත. එහෙයින් ඔහු තුරඟා වැනුම කන්ථක ගෙන් අරඹා ඇත.

මා නම් තුරඟා වන්නම ට පෙම් බඳින්නට කාරණාව එහි ළය හා විරිතයි. සුළු මැදුම් දෙතිතට, හිතට එන අකුරු ටිකක් රිංගවා බලන්න...

ට ක | ට ක ට | ට ක | ට ක ට

තුරඟ ගමනේ රිද්මයත් මේ වගේ නේද?  ඉතින් අරුත් බර වචන ටිකකුත් එකතු උනාම කොයි තරම් ලස්සනද

ස ත් | වෙ ත් ම | හ ත් | අ ද ර | ල ත් | යු ත් සි | ද ත් | කු ම ර 


ඉතින් මේ සුසංයෝගය ට සිත් ඇද ගන්නා තනුවකුත් එකතු උනාම කොයි තරම් ලස්සනද? ඉතින් මමත් ඉස්සර ඉඳලම මේ අපූරු වන්නමට ආස කලා. කොටින්ම කියනවනම් අද මම ඒ ළය, විරිත ටිකකට හොරකම් කලා :)


                                   ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

හැබැයි ඉතින් මගේ අතින් කෙරුනේ වර්ණනාවක් නම් නෙමෙයි. දැන් එන්න එන්නම වර්ණනා කරන්න පුළුවන් දේවල් අඩු වේගෙන යනවා නේද කියල හිතුනා. මම ටිකක් අන්ත ගාමීව හිතුවත් මෙහෙම දවසක් ඉස්සරහට එන්නත් බැරි නැහැ.

පර මලුත් බොරු මලුත් විතරක් ඉතුරු උන ලෝකෙක කුරුල්ලෝ, සමනල්ලු තව දුරටත් ඉඳීවිද? ගස් වැල් නැති ගංගා සිඳුණු ලෝකෙකට වඩා හඳ උනත් හොඳයි නේද කියල හිතෙන්නේ නැද්ද? ඉතින් තණ්හාවෙන් අන්ධ උන මිනිස් ඇස් වලින් වහන් වෙලා හාවෝ උනත් මේ ලෝකේ දාල යාවි (හඳට...හි හි ).

නෙළුම් පිපුණු විල හිඳෙද්දී මාළු කොහොම ඉන්නද? සමනල්ලු රොන් ගන්නේ කොහෙන්ද? කරන්න තියන එකම දේ මේක ශක්‍රයා ට වාර්තා කරන එක තමයි. ඉතින් උන් ඒක නොකර ඉන්න එකක් නැහැ. මේවා ඇහුවම ශක්‍රයටයි වැස්ස වලාහක දෙවියන්ටයි ඉරටයි හඳ ටයි මෙකී නොකී හැම දෙනාටම තරහ යන්නේ නැතුව තියේවිද ? ඉතින් ඊට පස්සේ මේ මෝඩ මිනිස්සු දිහා දෙවියොවත් බලන එකක් නැහැ.

උඩ තියන කවි ටිකේ තියෙන්නේ ඔන්න ඔය අනියමාර්ථයෙන් කියපු දේවල් ඇත්ත උන දවසක් ගැන. එහෙම දවසක් නම් උදා වෙන්න එපා කියලා ප්‍රාර්ථනා  කරනවා.

                                           ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

                අපේ ළමා ලෝකය වර්ණවත් කළ ටයිටස් තොටවත්ත මහතාට නිවන් සුව ලැබේවා !!!

23 comments:

  1. තරහ වෙන්න එපා අනේ ඔය කවි ටිකනං මට මොකුත් තෙරුනේ නෑ....

    ReplyDelete
  2. @ ඔබ නොදු‍ටු ලොවක් : අයියෝ ඒක තරහ ගන්න කාරණාවක් නෙවෙයි..පුදුම වෙන්න කාරනාවකුත් නෙවෙයි :))

    ReplyDelete
  3. එහෙම දවසක් නම් උදා වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  4. ලෝක විනාසය ලං උනාම ඔහොම වෙයි කියලා හිතෙනවා. එතකොට ඉතින් මෙහෙම කවි සිතුවිලි ලියවෙන එක අරුමයක් නෑ. මම් පතන්නෙත් මෙහෙම දවසක් උදා වෙන්න එපා කියලා.

    කවි ටික තේරුනා කියලා කියන්න ඕනේ නෑනේ.ඔයාගේ කවියත් සුළු මැදුම් දෙතිතට හරියනවා වගේ. මම් ඒකට දාලා බැලුවා.

    සු ව | ඳ දෙ න | ම ක |රන් ද තු| ඩි න් |

    රන් කියන්නේ එක මාත්‍රාවකි (ප්ලුත අක්ෂරයකි). මම හරිද අක්කා ???

    අස්සයාත් ටක ටකස් ගාල දුවන එකේ මේ කවිය මෙහෙම වෙන එකේ අරුමයක් නෑ.

    කවි ලීවට තුති !!!!

    ReplyDelete
  5. @ වර්ෂා : හ්ම්ම්...එහෙම උනොත් ඒවා බලන්න අපි ඉපදෙන්නත් එපා

    @ මධුරංග : මම හිතුවා ඔයාට අනිවාර්යෙන් තේරෙයි කියලා. ඔව් මම කවි ටික ලිව්වේ ඔය තුරඟ වන්නමට සමාන විදියට.

    හ්ම්..මම දන්නේ මේ විදියට...
    "රන්" කියන්නේ ගුරු අකුරක්. මාත්‍රා 2 යි. (රා කිව්වත් රන් කිව්වත් එකම මාත්‍රා ගණන)

    ඒ නිසා

    සු ව | ඳ දෙ න | ම ක |රන් - ද |තු ඩි| න් ගෙ න | ර ස | වින් - ද

    ඔහොමයි මාත්‍රා ගණන සම්පුර්ණ වෙන්නේ....

    ReplyDelete
  6. ආ...කියන්න අමතක උනා, ඔය යටින් දාලා තියන කෑල්ල තමයි කවියට කියපු අටුවා ව. හි හි

    ReplyDelete
  7. මටත් මුලින් මුකුත් තේරුණේ නෑ. ටිකක් වෙලා ගිහින් තමා තේරුණෙ... :-D

    ReplyDelete
  8. එහෙනම් අපේ සංගීතය උගන්නපු මිස් අපට බොරු උගන්නලා. :(
    මට ඔය අටුවා ටීකා ටිප්පනි ඕනන්නේ නෑ අක්කා. කියලා තියෙන දේ ටක්කෙටම තේරුනා. :)

    ReplyDelete
  9. සිංහල බාෂාවෙ වර්ණනා කරන්න යොදා ගන්නා වචන හරිම ලස්සනයි...දැන් ඔය වගේ වචන භාවිතයේ නැති උනත්.....ඒ අපේම බාෂාවේ වචන...හොඳ ලිපියක් සයුරි....

    ReplyDelete
  10. @විසිතුරු : ඒත් කමක් නැහැ..තේරුනා නම් ලොකු දෙයක් අප්පා :))

    @මධුරංග : එල එල

    ඇහ් අපිටත් ඕව කියල දුන්නේ සංගීත මිස්. මම හිතන්නේ අපේ මිස් හරි..මොකද රන් කියන ඒක මාත්‍රා 1 යි නම් "සත්" "වෙත්" කියන ඒවත් මාත්‍රා 1 යි නේ...එතකොට තුරඟා වන්නම සුළු මැදුම් දෙතිතට හරි යන්නේ නහැ නේ.

    ReplyDelete
  11. @ දිල් : බොහොම ස්තුතියි දිල්...ඇත්ත තමයි, අපි එන්න එන්නම අපේ භාෂාවෙන් ඈත් වෙනවද මන්දා...

    ReplyDelete
  12. ටික වෙලාවක් ගිහින් තමයි ටියුබ් ලයිට් තත්වයෙන් මිදුනේ අක්කේ :D

    ReplyDelete
  13. @චම්මා : හොඳා හොඳා මල්ලි...ඒක සතුටක් :)

    ReplyDelete
  14. ඔලුව ටිකක් රිදෙනවා වගේ...
    අර අන්තිම ටිකනම් සහතික ඇත්ත. වැ‍ඩේ කියන්නෙ අපේ වල් හාවත් යයිද? එහෙම වුනොත් අපිට දානයක් කතෑනි :D

    ReplyDelete
  15. අම්මෝ දැන් නිදිය ගන්න ඕනැ වගෙයි

    ReplyDelete
  16. මම අද ටිකක් එන්න පරක්කු උනා..
    " දැන් එන්න එන්නම වර්ණනා කරන්න පුළුවන් දේවල් අඩු වේගෙන යනවා"
    ඒ කතාවනම් හරියටම හරි අක්කේ......

    ReplyDelete
  17. @සීතල අයියා : හි හි...හාවෝ නම් යයි තමා..ඒක නෙවෙයි, කවුද අනේ ඒ වල් හාවා? :)

    @බිඟූ : හපොයි කවියක් ලියලා මම කරපු දෙයක් :D

    @දිනේෂ් : ඒකනේ මල්ලි...වන්නම් 18 එහෙමම තමයි :)

    ReplyDelete
  18. කවිය හරිම අගෙයි .
    කවි ගැන, බස ගැන දැනුම නිර්මාණාත්මකව බෙදා දෙනවාට තුති!!

    ReplyDelete
  19. @රසික: බොහොම ස්තුතියි ඇගයුමට...එය මට සවියක්..

    ReplyDelete
  20. උදයංග ලක්මාල්October 29, 2011 at 12:54 AM

    ගොඩක් ලස්සන කවි නිර්මාණයක් සයුරි. ඒ වගේම ලස්සන අර්ථයකුත් තියෙනවා ඒ කවිවල. ඔයාට බොහොම ස්තූතියි. ඇත්තටම ඔයා කරපු ප්‍රාර්ථනාවත් අපිත් ඒ විදිහටම කරනවා...

    ReplyDelete
  21. @උදයංග : කමෙන්ටුවටත් ප්‍රාර්ථනාවටත් දෙකටම ස්තුතියි...:)

    ReplyDelete
  22. හ්ම්ම්ම්ම්ම් හලීම සසයි අලෙ ...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...