Wednesday, May 15, 2013

මාළු කටු මන්තරේ



"ඕං රීං ඒස්වා... 
 භූත බන්ධ ප්‍රේත බන්ධ ඒස්වා හඃ.. 
 #&*&@#^*#$%#%$%^........"

 ඒ මන්තර හඬ ඇහෙන්නේ මගේ උගුරේ හිර වෙච්ච මාළු කට්ට එලියට අරන් දෙන්න ආපු ගුරුන්නාන්සේ ගෙන්. මට ඔය මාළු කට්ට හිර උනේ ඊට සති ගානකට කලින්. අර හීනි මාළු කුරීයෝ ජාතියක් ඉන්නේ හුරුල්ලෝ කියලා, උන් බැදලා කනකොට හරිම රහයි. ඒ උනාට මම වගේ පොඩි උන්ට (ඒ වෙද්දී වයස 7 ක් විතර) ඔය ජාතියේ මාළුන්ගෙන් ටිකක් අපලයි. මාළු කට්ටක් හරස් කරන්න තරම්වත් උගුර ඉඩ නැහැනේ.

කෝම හරි ඉතින් මේ කටුව හිර වෙච්ච එකෙන් මම සති ගානක් දුක් වින්දා. කිසිම දෙයක් හරියාකාරව කන්න බොන්න විදියක් නැහැ උගුරේ වේදනාව හින්දා. සේරටම වඩා අමාරු කට්ට යන්න කියලා අම්මා හදල දෙන බත් ගුලි ගිලින එක. කෙසෙල් ගෙඩිද අරවද මේවද හපන්නේ නැතුව කුට්ටි පිටින් ගිලලා එපා වෙලා තිබුනේ. කොච්චර කරත් ඒක තව හිර වෙනවා මිසක් ගැලවෙන පාටක් නැහැ. වැඩේ හරි යන්නෙම නැති තැන තමයි තාත්තගේ යාලුවෙක් ඔය ගුරුන්නාන්සේ එක්කගෙන ආවේ. ඇයි අප්පා නැත්නම් දොස්තර කෙනෙක් ලඟට ගිහින් අඬුවකින් කටුව අරන් දාගන්න කියලද? මන්තරේකින් කටුවක් අරන් දාන විදිහ ගැන හිතා ගන්නත් බැරි උනත් අන්තිම තුරුම්පුව හැටියට ඒකත්  කරලා බලන්න අම්මලා තීරණය කරා.

ඉතින් ගුරුන්නාන්සේ අර මතුරන්නේ බත් ගුලියකට. තඩිම තඩි බිත්තරයක හැඩේට ගුලි කරපු බත් ගුලියකට. ඒ ලඟම වතුර කෝප්පෙකුත් තියනවා. මම පැත්තකට වෙලා මන්තරෙත් අහගෙන අර තඩි බත් ගුලිය ගිලින ක්‍රමයක් ගැන හිත හිත ඉන්නවා. පැය බාගයක් විතර මතුරලා මතුරලා අන්තිමට අර බත් ගුලිය අම්මගේ අතට දුන්නා මට ගිල්ලවන්න කියලා. ඒ ගුලිය දෙකට කඩලා පුංචි ගුලියක් හැදුවට පස්සේ ඒකෙනුත් බාගයක් වගේ තමයි මට ගිලගන්න පුළුවන් උනේ. ඒත් එක්කම අර වතුර කෝප්පෙන් ටිකකුත් බිව්වා.

දැන් ඉතින් මට තියෙන්නේ කටුව යනකන් බලන් ඉන්න...විනාඩියක් හිටියා.. දෙකක් හිටියා.. මෙන්න බොලේ ටිකක් උගුරේ රිදිල්ල අඩුයි වගේ. ආපහු අර වතුර ටිකක් බීලා බැලුවා. කලින් වතුර බොද්දි දැනුනු රිදිල්ල දහ ගුණේකින් විතර අඩු වෙලා. ඔහොම ටිකෙන් ටික වතුර කෝප්පෙම බිලා ඉවර වෙද්දී මාළු කට්ට කොහේ ගියාද නෑ. වේදනාවත් අන්තරස්දාන වෙලා.

                                                                 ~~~~~~~~~~~~~~

යන්තර මන්තර කියන එව්වා සමහරු විශ්වාස නොකළට මේකනම් මමම අත්විඳපු දෙයක්. එහෙම වෙන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි උනත් එහෙම වෙච්ච බව අත්දැකීමෙන් දන්නවා.

අපේ සීයාත් (තාත්තගේ තාත්තා) හොඳ මන්ත්‍රාචාර්යවරයෙක්. ගොවිතැනට අමතරව සීයා ඒක රැකියාවක් හැටියට කළා. ගමේ අය සීයාව හැඳින්නුවේ "යකැදුරු  මහත්තයා" කියලා. මේකත් ඒ දවස්වල "වෙද මහත්තයා" තනතුර වගේම ගමකට වැදගත් තනතුරක්. අපේ ගමේ ගෙදර (හිච්චා ගේ කතාවේ මේ ගෙදර ගැන වතාවක් ලිව්වා මම) තොවිලයක් ශාන්තිකර්මයක් කෙරෙනවා කියන එක හරිම සාමාන්‍ය දෙයක්ලු ඒ කාලේ. ගමේ මිනිස්සු ලෙඩක් දුකක් උනාම වෙද මහත්තයාගේ බෙහෙත් අහන්නේ නැති වෙද්දී දුවගෙන එන්නේ සීයා ලඟට. මොකද අර මට උනා වගේ, ඒක තමයි අන්තිම තුරුම්පුව. ඉතින් ඒ මිනිස්සුන්ට සීයා දෙවි කෙනෙක් වගේ.

පොඩි කාලෙදී ඉනට බඳින කිරි කවඩි වැල, නින්දෙන් බය වෙනවට කොට්ට උරේ අස්සට දාන යන්තර, රත් හඳුන් කල්ක, අත් බෙහෙත්, සුර... මේ හැම දෙයක්ම අපිට සීයා මතක් කරවන දේවල්. ඒ දවස්වල කල්ක බොන්න මමනම් පුදුම කැමතියි. ඒවා බොන්න දෙන්නේ මිහිපිට තියන මිහිරිම දියරයක් එක්ක. මී පැණි ටිකකට දෙහි ඇඹුල් ටිකක් දාලා ඒකට ගම්මිරිස් කුඩු පොඩ්ඩකුත් දාගත්තම අන්න ඒ දියරය ලැබෙනවා. මම දැනටත් ඕක හදාගෙන බොනවා කල්ක නැතුව. හෙහෙ.

සියාගේ මේ යන්තර මන්තර සම්බන්ධ වැඩ හින්දා අපේ අත්තම්මානම් ටිකක් කරදර විඳලා තියනවලු. අත්තම්මා කියන හැටියට ඒ ගමේ ගෙදර ගෑනු කෙනෙක්ට ලෙඩක් දුකක් නැතුව ඉන්න අමාරුයි. ආත්තම්මට එහෙ ඉන්නකන් මොකක් හරි ලෙඩක් නැති දවසක් තිබුනේ නැහැලු. එක්කෝ වාත අමාරුවක් නැත්නම් සෙම. ඔය වගේ මොනවම හරි ලෙඩක් තියනවලු හැමදාම. හැබැයි කසාද බැඳලා එහෙන් ගියපු නැන්දලාටවත් අවුරුදු දෙක තුනක් විතරක් එහෙ පදිංචියට ගිය අපේ අම්මටවත් ඒවා බලපෑවේ නෑ. ගමේ ගෙදර අයිති වුනේ පුංචි තාත්තට. ඉතින් පුංචි තාත්තා කැන්දාගෙන ආපු පුංචිටත් ආත්තම්මට වගේ හැමදාම ලෙඩ තමා. සීයා තොවිල් වලට ගිහින් ආතුරයා හොඳ කරලා එනකොට ආතුරයාට වැහිලා හිටපු භූත ප්‍රේත යක්කු ඔක්කොම සීයා එක්ක ගෙදර එනවා කියන එක තමයි ආත්තම්මාගේ තියරිය :) අනේ මන්දා ඕවයේ ඇත්ත නැත්ත. මේ හින්දා සීයා තොවිලෙකට හරි ශාන්තිකර්මෙකට හරි පිට ගියපු දවස්වලට ආත්තම්මා ළමයි ටික ගෙට අරගෙන හතර වටේම දොරවල් වහලා වේලාසනින්ම නින්දට යනවලු. මොනම හදිසියකටවත් කාටවත් එලියට බහින්න දෙන්නේ නැහැලු. ඒ කාලේ ගෙවල්වල Attached bathroom කියලා ජාතියක් තිබුනේ නැහැ කියලත් මතක තියාගන්න ඕන :)

කොහොමහරි ඉතින් සීයා ගමට කරේ සුළු පටු සේවයක්නම් නෙමෙයි. ඒ බව අපිට හොඳින්ම වැටහුනේ සීයාගේ මළගම දවසේ. සීයා නැති පාඩුව අද අපිට දැනෙනවටත් වඩා ගමට දැනෙනවා. නවීන විද්‍යාවට පැහැදිලි කළ නොහැකි මහා දැනුම් සම්භාරයක් සීයත් එක්කම වැළලිලා ගියා කියලා මට හිතෙනවා. රාජ්‍ය පරිපාලන නිලයක් දරන අපේ තාත්තවත් විදුහල්පති කෙනෙක් වෙච්ච පුංචි තාත්තවත් නූතන උගත් පරපුරත් එක්ක මුහු උනා ඇරෙන්න මේ දේවල් ගැන උනන්දුවක් දක්වලා නැහැ. ලොකු තාත්තා විතරක් තරමක් දුරට විෂය ප්‍රගුණ කරලා තිබුනත් තෙල් මැතිරිමක් නූල් බැඳීමක් ඇරෙන්න ඊට වැඩි දෙයක් කරන්න තරම් දැනුමක් නෑ මගේ හිතේ. අපි නවීන ලෝකයේ ඉදිරියට යන තරමටම මේ දේවල්වලින් පසු පසට යනවා නේද? කොටින්ම මටත් මෙහෙම අත්දැකීම් නොතිබුනානම් මේ දේවල් සතේකටවත් විශ්වාස කරන එකක්වත් නැහැ.


ප. ලි. - කාලෙකින් ලිපියක් දැම්මට මට පහුගිය දවස් හතර පහක්ම කාගේවත් බ්ලොග් බලන්න ලැබුනේ නෑ. දවස් කීපයක්ම ගෙදරින් ඈත ගිහින් හිටියා පොඩි නිවාඩුවකට. ඊයේ තමා ආවේ. ඒ විස්තරත් "හඳ අල්ලපු රටේ විත්ති" ලිපියකින් කියන්නම් ඉස්සරහට.  දැන් ඉතින් අත ඇරිච්ච එව්වා කියවන්න ඕන. :)
Related Posts Plugin for WordPress, Blogger...