Monday, September 8, 2014

සතුරු වූ අර්ධ සොහොයුරන්ගේ කතාව - Thee O Jerusalem 2

ඔන්න අද මං ලියන්නේ අර කලින් මාගලක් වගේ ලියපු ජෙරුසෙලම ලිපියේ දෙවැනි කොටස. එදා මම ලිපිය නැවැත්තුවේ අර රෝමන් කාරයෝ සෑහෙන විනාශයක් කරලා ජෙරුසෙලම බිමට සමතලා කරපු තැනින්. ඒ සිද්ධිය උනේ ක්‍රි. ව. 70 දී. එවෙලේ සෑහෙන ජුදෙව්වෝ පිරිසක් වහල්ලු විදියට රෝමයට අල්ලාගෙන ගියාලු.











මේ අල්ලාගෙන ගිය අයගෙන් සෑහෙන පිරිසක් හොඳට කාසි බාගේ තියන ධනවත්තු වෙච්ච නිසා ඒ අයට පුළුවන් උනාලු සල්ලි ගෙවලා වහල් කමෙන් නිදහස් වෙලා යුරෝපයේ වැදගත් විදියට ජීවත් වෙන්න අවස්ථාව ලබා ගන්න. මේ අයගෙන් තමයි යුරෝපයේ යුදෙව් කොලනි බිහි වෙන්න පටන් ගත්තේ.

මේ කාලෙදි සිද්ධ වෙච්ච තවත් වැදගත් සිදු වීමක් තමයි ජුදා ආගමේත් කතෝලික ආගමේත් දෙකඩ වීම. මේ කියන කාලය වෙනකොට ජේසු තුමා මිය ගිහින් අවු. 40 ක් වත් නැහැ. ජේසුස් වහන්සේගේ අනුගාමිකයින් (ජුදා ආගමින් වෙන් වෙච්ච අය වගේම යුරෝපීය නවමු සාමාජිකයින්) වේගයෙන් බිහි වෙන්නට පටන් ගත්ත යුගය. පේන විදියටනම් කතෝලික ආගම යුරෝපයේ සීග්‍රයෙන් ව්‍යාප්ත වෙලා වගේ නේද? පේදුරු තුමා ධර්මය දේශනා කරේ රෝමය මුල් කරගෙන කියලා හරී කියනවා. එයින් පස්සේ බිහි වෙච්ච ඒ ආගමේ එක එක ප්‍රභේද (සභා) ගැනනම් මම කියන්න දන්නේ නැහැ. සමහරවිට හරී කියලා දෙයි. කොහොම උනත් "රෝමානු කතෝලික" ආගම සම්බන්ධයෙන් රෝමයට වැදගත් තැනක් හිමි වෙන්න ඕන කියලා හිතෙනවා (නමේ හැටියට එහෙම වෙන්න එපයි ඉතින් :). කොහොම හරි රෝම අධිරාජ්‍යයේ ව්‍යාප්තිය වගේම ඊශ්රායල් ආක්‍රමණයත් ආගම ව්‍යාප්තියට සෑහෙන උදව්වක් වෙන්න ඇති කියලා හිතෙනවා.

ජෙරුසෙලම දිහාවේ මේ දේවල් මෙහෙම වෙද්දී අර ලංකාද්වීපයේ මේ කාලෙදි උනේ මොනවද කියලා නිකමට බලමුද? කට්ටියට මතකද දන්නේ නෑ අර රජ්ජුරුවොයි දොරටු පාලයයි මාරුවෙලා එක විජ්ජුම්බරයක් උනේ. ඊට පස්සේ අර කුමන්ත්‍රණේකින් ගැළවිලා නූලෙන් ජීවිතේ බේර ගත්තු වසභ කියලා ශ්‍රේෂ්ඨ රජෙකුත් බිහි උනේ. මේං මේ කාලෙදි තමා.

හරි. ඉතින් ක්‍රි. ව. 131 දී රෝමයේ "හද්‍රියන්" අධිරාජයා විසින් ජුදයාවට අලුත් නමක් දුන්නලු. ඒ තමා "සිරියා පලස්තීනය".  අන්න එහෙම තමයි ඔය ප්‍රදේශයට පලස්තීනය කියන නම මුලින්ම වැටුනේ. මේ වෙලාවේ ඔහු ගලීලයේ ඉතිරි වෙලා හිටපු ජුදෙව්වන්ගෙනුත් විශාල ප්‍රමාණයක් මරලා දාලා ජෙරුසෙලම ඔවුන් වැරදිලාවත් අඩිය නොතැබිය යුතු තහනම් ප්‍රදේශයක් බවට පත් කළා ලු.

ඉන් පස්සේ තවත් වැදගත් සිද්ධියක් වෙනවා ක්‍රි. ව. 320 ගණන් වල. මේ වෙද්දීත් ඉතින් ලෝකේ බලවතා වෙලා ඉන්නේ රෝම අධිරාජ්‍යය තමා. ඔන්න එක පාරටම රෝම අධිරාජ්‍යය දෙකට කැඩිලා එයින් නැගෙනහිර කොටස "කොන්ස්තන්තිනෝපලය" අග නගරය කර ගත්තු "බයිසන්ටයින් අධිරාජ්‍යය" බවට පත් වෙනවා.






ඔන්න ඒ හින්දා පලස්තීනයත් (ඉස්සර ඊශ්‍රායලය :) දැන් අයිති මේ බයිසන්ටයින් අධිරාජ්‍යය ට. මේ වෙලාවේදී ජෙරුසෙලම සම්පූර්ණයෙන්ම ක්‍රිස්තියානි නගරයක් බවට පත් කළා ලු. යුදෙව්වන්ට පැත්ත පළාතේ එන එක තහනම්.

මෙන්න මේ කාලෙදි තමයි නියමාකාරයෙන් හීබෘ කැලැන්ඩරය බිහි වෙන්නෙත්. දන්න අය දන්නවා ඇති මේ කැලැන්ඩරය අපි පාවිච්චි කරන ග්‍රෙගෝරියන් කැලැන්ඩරේට වඩා සෑහෙන වෙනස්. යුදෙව් ආගමික කටයුතු වලට මේ කැලැන්ඩරේ ගොඩක් වැදගත් වෙනවා. ඒ ගැනත් හරීගෙන්ම දැන ගන්න පුළුවන්.

ඒ අව් අස්සේ බමුණු වෙස් වලා ගත්තු යුවළක් ඉන්දියන් සාගරයේ යාත්‍රා කරලා ගොඩ බහිනවා ලංකාද්වීපයට. හේමමාලා සහ දන්ත. හේමමාලාව ගේ මුහුලසේ සඟවා ගෙන ආපු බුදුන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතුව කිත්සිරිමෙවන් රජුට භාර කරන්නේ මෙන්න මේ කාලෙදි තමා.

කොහොමහරි ඔන්න යුදෙව්වන්ට තරමක් සැනසිල්ලක් ලැබෙන කාලයක් එනවා ක්‍රි. ව. 361 දී "ජුලියන්" අධිරාජයා පත් වෙනවත් එක්ක. මේ අධිරාජයා ටිකක් හිත හොඳ කෙනෙක්. යුදෙව්වන්ට ගෙවන්න තියන අමතර බදු වලින් ඔවුන්ව නිදහස් කරලා ජෙරුසෙලමට ඇතුල් වෙන්නත් අවසර දීලා කැමතිනම් ඔවුන්ට නැවත දේව මන්දිරයක් තනා ගන්නත් අවසර දුන්නලු.









අනේ ඉතින් මේක අහලා ප්‍රීතියෙන් ඉපිලිච්ච යුදෙව්වෝ ආපහු දේව මන්දිරයක් ඉදි කරන්න කියලා පර්සියන් දිස්ත්‍රික්කයේ ඉඳලා ජෙරුසෙලමට එද්දී, පර්සියන් සොල්දාදුවෝ මොකද කළේ, අර යුදෙව්වන්ව මරලා දාපු එක. ඊට පස්සේ එක පිට එක වගේ සිද්ධ වෙච්ච ජුලියන් අධිරාජයාගේ මරණයයි, මහා ගලීල භූමි කම්පාවයි නිසා මේ තෙවන වරට දේව මන්දිරය ඉදි කිරීමේ යුදෙව්වන්ගේ සිහිනය, සිහිනයක් විතරක්ම උනාලු, අද වෙනකන්ම.

පලස්තීනයේ මේ විදියට භූමි කම්පා වලින් වගේම මිනිසුන් විසිනුත් මිනිස් සංහාර කරද්දී ඈත පෙරදිග මිනිසුන් වගේම තිරිසන් සතුනුත් සුවපත් කරන මහා වෙදෙක් බිහි වෙලා හිටියා. ඒ අපේ බුද්ධදාස රජතුමා.

ඉතින් පස් වෙනි සියවස වෙනකොට පලස්තීනය සම්පුර්ණයෙන්ම වගේ ක්‍රිස්තියානි රටක් බවට පත් වෙලා තිබුනලු. ජන ගහනයෙන් 10% වගේ ලු යුදෙව්වෝ හිටියේ. ක්‍රි. ව. 611 දී ඔන්න බයිසන්ටයින් අධිරාජ්‍යය ට තර්ජනයක් එල්ල වෙනවා නැවතත් පර්සියන් අධිරාජ්‍යයෙන්. රෝමානු පාලනයෙන් පරිපීඩිත වෙලා හිටපු යුදෙව්වොත් මේ පර්සියානුවෝ එක්ක එකතු වෙලා ඔවුන්ට උදව් කරනවා. එහෙම කරන්නේ ඔවුන්ට ජෙරුසෙලමට ඇතුල් වීම, එහි යාඥා කිරීම වගේ දේවල් වලට අයිතිවාසිකම් දෙනවා කියන පොරොන්දු මත. ජෙරුසෙලම ඇතුළු පලස්තීනය යටත් කර ගත්තට පස්සේ පර්සියානුවෝ මොකද කරන්නේ අර යුදෙව්වන්ට වෙච්ච පොරොන්දු සේරම අමතක කරනවා. අසරණ යුදෙව්වෝ.

ඉතින් යුදෙව්වෝ වැලේ වැල් නැති වෙලා ඉන්නකොට ඔන්න ආපහු බයිසන්ටයින් අධිරාජ්‍යය අළු ගසා බසා දාලා නැගිටිනවා. ඉන් පස්සේ යුදෙව්වන්ට කියනවා "උඹලා පර්සියන් කාරයින්ව එළවන්න අපිට උදව් කළොත් උන් නොදීපු අයිතිවාසිකම් අපි දෙනවා" කියලා. ඉතින් පිදුරු ගහේ හරි එල්ලෙන්න බලාගෙන ඉන්න යුදෙව්වොත් ඔවුන්ට උදව් කරනවා. පර්සියානුවන් පරද්දලා ආපහු බයිසන්ටයින් අධිරාජ්‍යය ක්‍රි. ව. 628 දී නැවත පලස්තීනය අල්ලා ගත්තට පස්සේ අනේ ආපහු යුදෙව්වන්ට සිද්ධ වෙන්නේ අර සන්තෑසියම තමා. අයිතිවාසිකම් දෙනවා වෙනුවට ජුදා ආගම සම්පූර්ණයෙන්ම තහනම් කරලා දැම්මලු. ඒ හින්දා යුදෙව්වන් විශාල පිරිසකට ඊජිප්තුවට පැනලා යන්න සිද්ධ උනාලු.

ඔන්න ඊ ලඟට ක්‍රි. ව. 638 දී මේ බයිසන්ටයින් අධිරාජ්‍යය පරාජය කරනවා තවත් අධිරාජ්‍යයක් විසින්. ඒ තමා ඉස්ලාම් අධිරාජ්‍යය. මේ කාලෙදි තමා මුහම්මද් නබි තුමා ඉස්ලාම් ආගම බිහි කරන්නේ. මෙතෙන්දි මේ ඉස්ලාම් දහම සහ මුස්ලිමුන් ගැනත් වචනයක් දෙකක් කතා කරොත් හොඳයි කියලා හිතෙනවා. මොකද මෙයාලත් යුදෙව්වන්ට නෑ කම් කියන පිරිසක් හින්දා.


                                                     ~~~~~~~~~~~~~~~

ඔන්න දැන්නම් කලින් ලිපිය මතක් කර ගත්තොත් හොඳයි. මතකනේ අපි කිව්වා ආබ්‍රහම් දෙවියන්ට මොර ගහලා අන්තිමේ ලබා ගත්තු දරුවා අයිසෙක් (ඊසාක්) ගෙන් යුදෙව් ජාතිය බිහි උනා කියලා. හැබැයි ඉතින් දෙවියෝ පොරොන්දු වෙච්ච මේ දරුවා ලැබෙන තුරු ඉවසන්නේ නැතුව ආබ්‍රහම් ගේ බිරිඳ (සාරා ) එයාගේ ඊජිප්තු සේවිකාවගෙන් (හේගාර්) දරුවෙක් ලබා ගන්න කියලා ආබ්‍රහම් ට කියනවනේ. මේ විදියට සේවිකාවගෙන් ලබා ගත්ත දරුවා තමයි ඉස්මයෙල් කියන්නේ. ඉස්මයෙල් ලැබිලා අවුරුදු 12 ක් 13 ක් විතර ගියාට පස්සේ තමයි සුජාත දරුවා වෙච්ච ඊසාක් සාරා ගේ කුසේ පිළිසිඳ ගන්නේ. එතකන් ඉවසන්නේ නැතුව දෙවියන් කෙරෙහි විශ්වාසයක් නොතබා ඉස්මයෙල් නම් දරුවා ලබා ගැනීමේ වරද නිසා අදත් යුදෙව්වෝ දුක් විඳිනවා කියලයි කියන්නේ. මොකද මුස්ලිම් ජාතිය බිහි වෙන්නේ මේ ඉස්මයෙල් ගෙන්.

මෙන්න මේ රුක් සටහන පොඩ්ඩක් බලන්නකෝ.





ඔය තියෙන්නේ ෆැමිලි ට්‍රී එක ආදම් සහ ඊවා ගේ ඉඳලම. මේකේ හැටියට ඇඩම් ගෙයි ඇඩම්ගේ ඉල ඇටේකින් මවපු ඊවා ගෙයි දරුවෙක් තමා සෙත්. එයාගේ පරපුරේ කෙනෙක් තමා නෝවා කියන්නේ. මේ දවස්වල නෝවා චිත්තර පටියත් යන නිසා මේ ගැන කට්ටිය දන්නවා ඇති නේ. ඒ නැතත් ඉතින් නෝවා ගැන නොදන්න කෙනෙක් ඉන්න විදියක් නෑ. අර දෙවියන්ගේ නියෝගෙට අනුව ගං වතුරෙන් බේරෙන්න කියලා ලොකු නැවක් එහෙම හැදුවේ...

ඒ ගං වතුරෙන් බේරිච්ච එකම මනුස්ස පවුල නෝවා ගේ පවුල විතරනේ. එතකොට නෝවා ගේ එක පුතෙක් තමා "හැම්" කියන්නේ. ඔහුගේ පුතෙක් වෙච්ච කානාන් ගෙන් කානාන්වරුත් (කානාන්වරු තමා පස්සෙදී ඊශ්‍රායෙල් වරුන්ගෙන් බැට කන්නේ පොරොන්දු වූ දේශයට ඇතුල් වෙද්දී) තවත් පුතෙක් වෙච්ච "මිසරියම්" ගෙන් පිලිස්තිවරුන් සහ ඊජිප්තු වැසියනුත් බිහි වෙනවා.

එතකොට නෝවාගේ තවත් පුතෙක් තමා "ජාපෙත්". ඔහුගේ පුතා වෙච්ච "ජාවාන්" ගෙන් තමා ග්‍රීක ජාතිය බිහි වෙන්නේ.

දැන් එතකොට නෝවා ගේ අනෙක් පුතා තමයි "ශෙම්". අන්න එයාගේ පරපුරේ කෙනෙක් තමා අපි දන්න අඳුනන ආබ්‍රහම්. එතකොට  ආබ්‍රහම්ට බිරිඳගෙන් ලැබුණ පුතා ඊසක් බවත් එයාගෙන් යුදෙව් ජාතිය බිහි වෙච්ච බවත් අපි දන්නවනේ. අද කියන්න යන්නේ ආබ්‍රහම්ට සේවිකාවගෙන් ලැබුන පුතා ඉස්මයෙල් ට වෙච්ච දේ ගැන.

දැන් මේ රූපෙ බැලුවම කාට හරි හිතුනනම් "ඈ යකෝ, එතකොට ආර්යයෝ, රතු ඉන්දියන්වරු, ඇබෝරජින් ලා  වගේ එවුන් බිහි උනේ ඕපපාතිකවද? කියලා, ඔන්න මමනම් දන්නේ නෑ ඕන්.  

හරි කතාවට එමුකො. දැන් ඔන්න ආබ්‍රහම්ටයි සාරාටයි ඊසාක් ලැබුනට පස්සේ මේ දෙන්නට ඉතින් මාර සතුටුයි. අවුරුදු සීයක්ම බලාගෙන ඉඳලා අන්තිමේ ලැබුණ දරුවනේ. ඉතින් ඊසාක් ට ලැබෙන ආදරෙයි සැලකිළියි දකිද්දී ඉස්මයෙල්ට රුස්සන්නේ නැහැ. ඉතින් එයා කරන්නේ තමන්ගේ අර්ධ සොහොයුරා වෙච්චි ඊසාක් ට එක එක විදිහේ හිරිහැර කරන එක. තේරෙන බාසාවෙන් කිව්වොත් බයිට් එකට ගන්න එක. ඉතින් මේක දකින සාරාට හොඳටම තරහ ගිහින් ආබ්‍රහම්ට කියනවා ඉස්මයෙලුයි එයාගේ අම්මයි දෙන්නම පිටුවහල් කරන්න කියලා.












ආබ්‍රහමුත් ඒක ඒ විදියටම කරනවා. ඉතින් මේ අම්මයි පුතයි දෙන්නා සෑහෙන දවස් ගණනක් කාන්තාරේ ඇවිදලා ලඟා වෙන්නේ කොහාටද දන්නවද?

මක්කමට.



මක්කමේ තියන "කබා" නම් ඝනකාකාර ගොඩනැගිල්ල හැදුවේ ඉස්මයෙල් කියලයි කියන්නේ.









ඉතින් මක්කමේ පදිංචි වෙච්ච ඉස්මයෙල් විවාහ වෙලා ළමයි 12 ක් ලැබුනලු. මේ දොළොස් දෙනාගෙන් තමයි ලු අරාබි ජාතීන් පැවතෙන්නේ. අරාබි කරයේ පදිංචි වෙලා පස්සේ කාලෙක මුහම්මද් නබි ගේ ආගමනයත් එක්ක මුස්ලිමුන් බවට පත් වෙන්නේ මොවුන් තමයි.

දැන් බලමුකෝ නබි තුමා මුස්ලිම් ආගම බිහි කළා කියන කතාව ගැන. ඔහු උපත ලබලා තියෙන්නේ ජේසුස් වහන්සේ ඉපදිලා අවු. 500 කට විතර පස්සේ මක්කමේදී. ඒ කියන්නේ ක්‍රි. ව. 570 විතර. ඔහුට අවුරුදු 40 දී දෙවියන් විසින් එවපු ගේබ්‍රියෙල් නම් දූතයෙක් විසින් ඔහුට කුරානය ඉගැන්නුවා කියලයි කියන්නේ. මම තව කොහේදී හරි දැක්කා ඒ කුරානය උගන්නන්න ආවේ බුදුන්ගේ බුදු වීම නවත්තන්න දත කාපු මාරයා කියලත් :)

එයින් අවු. 3 කට පස්සේ, ඒ කියන්නේ ක්‍රි. ව. 622 දී නබි තුමා ඒ දහම ප්‍රසිද්ධියේ දේශනා කිරීම අරඹලා මක්කමේ අනුගාමිකයොත් එක්ක "මෙදීනා" නගරයට ගමන් කිරීම ඇරඹුවාලු. මෙන්න මෙතන තමා ඉස්ලාම් ආගමේ ආරම්භය හැටියට සැළකෙන්නේ. ඉස්ලාම් කැලැන්ඩරය ඇරඹෙන්නේත් ක්‍රි. ව. 622 න් ලු. ඉතින් මේ කණ්ඩායම මෙදීනා නගරයට ගිහින් අවුරුදු 8 ක් ඇතුලත සෑහෙන පිරිසක් ඉස්ලාම් ආගමට හරවා ගන්නවා. එවැනි අය 10000 ක ගෙන් පමණ සෑදුනු හමුදාවක් එක්ක නැවතත් මක්කමට ඇවිත් ඉස්ලාමය ප්‍රතික්ෂේප කරන්නන් මරා දැම්මාලු. අන්‍යාගමික පිළිම, දේවස්ථාන, පන්සල් සියල්ලම විනාශ කරලා දැම්මලු. මක්කමේ ඉඳපු අරාබි ගෝත්‍රිකයන් එකවරම මුහම්මද් නබි තුමාට අවනත නොවෙච්ච නිසා තමයි මේ මෙදීනාවට  ගිහින් හමුදාවක් එක්ක ඇවිත් සංහාරයක් කරන්නේ.

ක්‍රි. ව. 632 දී නබි තුමා මිය යනකොට මුළු අරාබිකරයම වගේ ඉස්ලාම් ආගමික රාජ්‍යයක් බවට පත් වෙලා තිබුණලු.


                                                 ~~~~~~~~~~~~~~~~~~~

දැන් එහෙනම් අපිට කලින් කිය කියා හිටපු කතාවට එන්න පුළුවන්.

ක්‍රි. ව. 638 දී ඉස්ලාම් අධිරාජ්‍යය විසින් බයිසන්ටයින් අධිරාජ්‍යය යටත් කර ගත්තා කියලනේ අපි කිව්වේ. කාල වකවානුව බැලුවොත් නබි තුමා මිය ගිහින් අවුරුදු 6 යි. ඔහුගේ ඉගැන්වීම් හරියටම පිළිපැදපු අනුගාමිකයින් වැඩිකල් නොගොස්ම ඉස්ලාම් අධිරාජ්‍යයයේ වපසරිය සෑහෙන පුළුල් කරනවා. ඉතින් පලස්තීනයටත් සිද්ධ උනේ ඉස්ලාම් අධිරාජ්‍යයේ කොටසක් වෙන්න. ජෙරුසෙලමේ Zion දේවමන්දිරය පිහිටි තැන මුස්ලිම් සිද්ධස්ථානයක් වන Dome of the Rock ඉදි කරලා Al-aqsa දේවස්ථානයත් ජෙරුසෙලමේ ඉදි කරලා යුදෙව්වන්ගේ ශුද්ධ වූ භූමිය ඉස්ලාම් ආගමේ ශුද්ධ භූමියක් බවට පත් කරනවා.











ක්‍රි. ව. 750 දී විතර තමන්ගේ ශුද්ධ භූමිය ආපසු  ලබා ගැනීම සඳහා යුදෙව්වන් එකතු වෙලා කැරැල්ලක් සංවිධානය කළත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ක්‍රි. ව. 1000 විතර වෙද්දී රාම්ලේ, ගාසා, හීබ්රොන් වගේ ප්‍රදේශවල සැළකිය යුතු යුදෙව් ජන ගහනයක් සිටියා ලු. විශේෂ බද්දක් ගෙවීමෙන් ඔවුන්ට එහි පදිංචි වීමේ අවසර ලැබිලා තියනවා.

මෙන්න මේ කාලේ වෙද්දී තමයි අපේ ලංකාවේ අනුරපුර රාජධාණිය චෝල බලයට නතු වෙලා අනුරපුර යුගයේ අවසානය සිද්ධ වෙන්නේ.

ඔන්න ඔය අතරේ තමයි ලතින් රෝමානු කතෝලික පල්ලියෙන් තමන්ගේ අහිමි වෙච්ච ශුද්ධ භූමි නැවත අත්පත් කර ගැනීම සඳහා Crusades කියන යුධමය කණ්ඩායම් මේ ප්‍රදේශයට එවන්නේ. මොකද ක්රිස්තියානින්ටත් ජෙරුසෙලම ශුද්ධ භූමියක්. ජේසුස් වහන්සේගේ ජිවිතයේ වැදගත් අවස්ථා ජෙරුසෙලමත් එක්ක බැඳී පවතිනවා කියලා කලිනුත් කිව්වනේ.

ඉතින් මේ කට්ටිය ඇවිල්ලා මුස්ලිම් සහ යුදෙව් දෙගොල්ලන්ටම පහර දෙනවා. දෙගොල්ලොන්ම ලොකු සංහාරයකට අහු වෙලා වහලුන් හැටියටත් විකිණෙනවා. Crusade කණ්ඩායම් වලට විරුද්ධව මුස්ලිමුන් කරපු සටන් වලට යුදෙව්වොත් සහය දුන්නලු. අන්තිමේ සුල්තාන් සලාදීන් විසින් මෙහෙයවපු සටනෙන් ඔවුන්ව පරාද කරලා පලස්තීනයෙන් වැඩි කොටසක් ආපහු අල්ල ගන්න සමත් උනාලු. ඉන්පස්සේ යුදෙව්වන්ටත් ජෙරුසෙලමට එන්න කියලා මේ සුල්තාන් ඔවුන්ට ආරාධනා කළා ලු. හරියට අර සෑහෙන කාලෙකට ඉස්සර බැබිලෝනියාවේ වහල්ලු වෙලා හිටපු යුදෙව්වන්ට ආපහු එන්න කියලා පර්සියන් අධිරාජයා අවසර දුන්නා වගේ (ඒ විස්තර කලින් ලිපියේ ඇති).ඉතින් මේ ආරාධනාව මත යුරෝපයෙන් සෑහෙන යුදෙව් පිරිසක් නැවත තමන්ගේ ශුද්ධ භූමිය ට ඇවිත් පදිංචි උනාලු.

ක්‍රි. ව. 1260 - 1290 කාලය ඇතුළත මේ ප්‍රදේශය ආක්‍රමණය කරන්න ආපු මොන්ගෝලියන් වරුන්ට එරෙහිව ඉදිරිපෙළ සටන් ඇවිලුනේ පලස්තීනයේ ලු.  මේ සටන්වලින් පලස්තීන සුල්තාන්වරු ජය ගත්තත් ඒකෙන් සෑහෙන ජිවිත හානියක් සිද්ධ උනාලු. සුල්තාන් සලාදීන් ගේ ආරාධනාව නිසා යුදෙව්වෝ නැවත පැමිණීම ඇරඹුවත් ඉන් පස්සේ ආපු සුල්තාන්ලාගෙන් ඔවුන්ට ආපහු කුඩම්මාගේ සැළකිලි හම්බ වෙන්න පටන් ගත්තා ලු.

යුදෙව් ජාතියේ ආදිතමයන් ලෙස සැලකෙන ආබ්‍රහම්, සාරා, ඊසාක්, ජේකොබ් යන අයගේ සිරුරු තැන්පත් කළා යයි විශ්වාස කරන ගුහාව පිහිටි තැන ඉදි කළ  Cave of the Patriarchs නම් ගොඩනැගිල්ල මුස්ලිම් ආයතනයක් බවට හරවා යුදෙව්වන්ටත් ක්‍රිස්තියානින්ටත් එහි ඇතුල් වීම තහනම් කළා ලු 1266 දී.







මේ තියෙන්නේ ඒ ගොඩනැගිල්ල ඇතුලේ තියන ආබ්‍රහම් ගේ සොහොන කියලයි කියන්නේ.

1967 දී යුදෙව්වන් නැවත එහි බලය ලබා ගන්නා තුරුම මේ තහනම දිගටම පැවතුනා ලු.



ක්‍රි. ව. 1400 ගණන් වල පලස්තීනයට සංක්‍රමණය වෙමින් හිටපු යුදෙව්වන් අත් අඩංගුවටත් ගත්තා ලු. යුදෙව්වන්ට ආපහු මේ විදියේ දුක්බර කාලයකට මුහුණ දෙන්න උනා.

ඔන්න ඉතින් ක්‍රි. ව. 1516 දී තුර්කි සුල්තාන්වරයෙක් විසින් පලස්තීනය අල්ලාගෙන එය සිරියාවේ කොටසක් බවට පත් කරනවා. නගර කිහිපයක් එකතු කරලා යුදෙව්වන්ට බයක් සැකක් නැතුව ඉන්න වෙනම ස්ටේට් එකකට මේ සුල්තාන්ගෙන් අවසර ගන්න යුදෙව්වන්ට හැකි වෙනවා. හැබැයි මේ සැළසුම සාර්ථක වෙලානම් නැහැ. ඒ වෙනුවට 1576 දී යුදෙව් පවුල් 1000 කට වැඩි ප්‍රමාණයක් සයිප්‍රසයට පිටුවහල් කරා ලු.

ඒ එක්කම කියන්න ඕනේ මේ කාලෙදි තමයි අර ලොරන්සෝ ද අල්මේදා ඇතුළු පිරිස ලංකාවට ගොඩ බැහැලා රජතුමා එහෙම බැහැ දැකලා ඒ පාරාදීසයේ පදිංචි වෙන්න තීරණේ කරේ.

ක්‍රි. ව. 1759 දී ආපු භූමි කම්පා මාලාවෙන් මේ ජුදා නගර වැඩි කොටසක් විනාශ වෙලා යනවා. එයින් මියයන මිනිසුන් 2000 ක් අතරේ යුදෙව්වන් ඉඳලා තියෙන්නේ 190 ක් වගේ ගණනක්. ඊ ළඟට ක්‍රි. ව. 1799 දී නැපෝලියන් බොනපාට් (මෙතනින් තවත් වංගුවක් ගැහුවොත් ප්‍රංශ විප්ලවේ ගැන එහෙමත් කතා කරන්න පුළුවන්. එව්වා ඕන නෑ) යුදෙව්වන්ට කැඳවීමක් කරනවා ජෙරුසෙලම යටත් කරගන්න උදව් කරන්න කියලා. හැබැයි මේ සැළසුම ක්‍රියාත්මක වෙන්නේ නම් නැහැ. ඊට කලින් ඔවුන් බ්‍රිතාන්‍ය ජාතිකයින්ට පරදිනවා. ඒ ඉතින් හිරු නොබසින අධිරාජ්‍යය නැගලා ආපු කාලේ නේ. ලංකාවත් ඔවුන්ට යටත් වෙන්නේ මිට ටික දවසකට පස්සේ තමා.

පස්සේ, ඊජිප්තුවේ මොහොමඩ් අලි ගේ කාලයෙන් පස්සේ කොහොමහරි ජෙරුසෙලමේ බහුතරය යුදෙව්වන් වෙලා හිටියලු, සමස්ථ ප්‍රදේශයේ යුදෙව් ගහනය 10% වගේ ප්‍රමාණයක් උනත්. පළවන ලෝක යුද්ධය අවසානයේ, ඒ කියන්නේ 1920 පමණ වෙද්දී පලස්තීනයේ බලය අල්ලාගෙන සිටියේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය.

පළමු ලෝක යුද්ධයෙන් පරාජය ලබන ජර්මනියේ, හිට්ලර් විසින් මහා යුදෙව් සංහාරය පටන් ගන්නේ මින් පස්සෙයි.








හිට්ලර් ඒ තරම් යුදෙව්වන්ට වෛර කළේ ඔවුන් කොමියුනිස්ට්වාදීන් වීම නිසා බව ප්‍රධාන වශයෙන් විශ්වාස කළත් තවත් සමහරු කියන්නේ හිට්ලර්ට  යුදෙව්වෙක් මරන්න උවමනා කරන එකම හේතුව ඔහු යුදෙව්වෙක් වීම විතරක් බවයි. ජේසු තුමාට මරණ දඬුවම නියම කරපු වෙලේ "එහෙනම් ඒ පාපය අප පිටත් අප දරුවන් පිටත් වැටිච්ච දෙන්" කියපු කතාව ඇත්තක් උනාදෝ කියලත් හිතෙනවා.

කොහොම උනත් ආපහු මැද පෙරදිග පැත්තට ආවොත්, 1940 ගණන් වෙද්දී බ්‍රිතාන්‍ය තමන්ගේ යටත් විජිත වලට නිදහස දී ගෙන යන්න පටන් ගන්නවනේ. ඉතින් පලස්තිනයෙනුත් අයින් වෙලා යන්න ඔවුන් තීරණය කරන්නේ 1947 දී. ඒත් එක්කම පළමු ලෝක යුද්ධය අතරතුර ඔවුන් මැදපෙරදිග වාසීන්ට දීපු පොරොන්දු දෙකක් ඉෂ්ඨ කරන්නත් වග බලා ගන්නවා. ඒ පොරොන්දු දෙක තමා,

1. මැද පෙරදිග බොහෝ අරාබි ප්‍රදේශ ඇතුළත් කරමින් අරාබීන්ට එක්සත් දේශයක්.
2. යුදෙව්වන්ට තමන්ගේම කියලා මව් බිමක්.

මෙන්න මේ දෙවැනි පොරොන්දුව අනුව තමයි 1948 දී ඊශ්‍රායලය (නැවත) බිහි වෙන්නේ.



ඉන් පස්සේ ලෝකය වටේ ඉඳපු යුදෙව්වෝ තමන්ගේ මව් බිමට ආපු හැටි, එදා පටන් ඔවුන් ලබපු දියුණුව, ඔවුන්ට මුහුණ දෙන්න සිද්ධ වුන යුධ ප්‍රහාර, මේ හැම දේම සියුස් ගේ ලිපියේ විස්තර සහිතව ලියලා තියෙනවා. මෙන්න මේ රට බෙදීමට පලස්තීනයේ ඇති අකමැත්තත් ඊශ්‍රායලයේ ඇති කැමැත්තත් නිසා හට ගත්  ගැටුම් තමා තාමත් ඉවරයක් නැතුව අද වෙනකන් පවතින්නේ.

ඔන්න ඔහොමයි ඉතින් ඊශ්‍රායලයේ කතාව. සෑහෙන්න දිග වැඩි උනා. තවත් කොටස් කරන්න තියන අකමැත්ත හින්දම එකේම ලියල දැම්මා ඔන්න. අසා සිටි ඔබ සැමට ස්තුතියි !!



Related Posts Plugin for WordPress, Blogger...