Tuesday, January 31, 2012

එම්බා මැති සඳ











බන්දා ජය දද
පෙන්නා ඔද තෙද
නංවන සිහ නද
එම්බා පින් කඳ,

සිනහව පොදි බැඳ
මැන මැන දෙන සඳ
පතුරන ජය නද
මිසදිටු ජන කඳ,

අදරැති මැති සඳ
සිරි සර විඳ විඳ
මතු මහලට වැද
ජය පැන් බොන සඳ,

කරදර පොදි බැඳ
ඔහු වෙත යන සඳ
කරමින් ගොර නද
රිදවයි උන් හද

"ආධාරෙට විද
තොප හට මඳ මඳ
දුන්නා මදිවද
නොහදව් මට පද "

හිරු තරු සහ සඳ
අප හට නැති සඳ
මේ අපෙ මැති සඳ
මොනව කරන්නද?

"එම්බා පින් කඳ
අහිතක් නැත හද
අපි හෙට මෙන් අද
ඔබටම දෙමු හද"

Sunday, January 29, 2012

දැහැමි රජවරු සහ ක්‍රිස්තු වර්ෂ මාරුව - රාජාවලිය X


අපි පහුගිය ලිපියෙන් කතා කලේ අනුලා රැජිණ මරලා කුටකණ්ණතිස්ස රජතුමා ලංකාවේ රජ උන හැටි. එතුමා අවුරුදු 22 ක් එනම්, ක්‍රි. පූ. 42 -සිට 20 දක්වා (බු. ව. 502 - 524) සාමකාමීව රජකම් කරනවා. 


ඉන් පස්සේ රජකම ලැබෙන්නේ කුටකණ්ණතිස්ස රජුගේ පුත් "භාතිකාභය" කුමාරයා. එතුමා ඉතාමත් ධර්මානුකූලව අවුරුදු 28 ක් එනම්, ක්‍රි. පූ 20 සිට ක්‍රි. ව. 08 දක්වා (බු. ව. 524 - 552) රජකම් කරනවා. මෙතැනදී ඔයාලට පේනවා ඇති ක්‍රි. පූ. මිනුම ක්‍රි. ව. වලට මාරු වෙලා තියන හැටි. ඒ කියන්නේ භාතිකාභය රජතුමා අභිෂේක ලබලා අවු. 20 කට පස්සේ (බු. ව. 544 දී) තමයි බෙත්ලෙහෙමේ  දී ක්‍රිස්තු උපත සිද්ධ වෙලා තියෙන්නේ. ජේසු බිලිඳා බලන්න පෙරදිගින් ගිය රජවරු තුන් දෙනා අතරෙන් භාතිකාභය රජතුමා ත් එක්කෙනෙක් කියලා මතයක් තියනවා. ඇත්ත නැත්ත මම හරියට දන්නේ නැහැ. 


එහෙමනම් ක්‍රි. ව. 0 කියන්නේ බු. ව. 544 ට. ඉන් පසුව ඕනෑම ක්‍රිස්තු වර්ෂයකට 544 ක් එකතු කළ විට අදාළ බුද්ධ වර්ෂය ලැබෙනවා. ඒ නිසා මම මින් පස්සේ කාල සීමා සඳහන් කරද්දී බුද්ධ වර්ෂ අත ඇරලා ක්‍රි. වර්ෂ වලින් විතරක් සඳහන් කරන්නම්.   


ඉතින් මේ භාතිකාභය රජතුමා රුවන්වැලි සෑය සම්බන්ධ විශාල පින්කම් කිහිපයක්ම පැවැත්වුවා ලු. එක වතාවක් සඳුන් කල්ක තවරා ඒ මත සමන් මල් අතුරා අහසින් සුවඳ පැන් ඉස්සා ලු. තවත් වතාවක් රෝමයෙන් ගෙන්වූ අනර්ඝ පබළු වලින් සෑය සැරසුවාලු. මහා විහාරයටත් අභය ගිරියටත් කිසිම වෙනසක් කරන්නේ නැතුව එකම විදියට සළකපු මේ රජතුමාගේ රාජ්‍ය කාලය ඉතාමත් දැහැමි කාලයක් විදියට තමයි සැලකෙන්නේ. එතුමා රජ කරපු අවු. 28 තුල නොවරදවාම වෙසක් උත්සව ත් පවත්වලා තියනවා. 

භාතිකාභය රජතුමා ගේ මරණයෙන් පස්සේ රජ කම ලැබුනේ ඔහුගේ සොහොයුරු "මහාදාඨික මහානාග" රජතුමා (ක්‍රි. ව. 9 - 21) ට.  එතුමා ගේ රාජ්‍ය කාලයේ දී සුවිශේෂ සිද්ධි සිදු උන බවට සඳහනක් නැහැ. එතුමාගෙන් පසුව රජකම ලැබෙන්නේ ඔහුගේ පුත් "ආමන්ඩගාමිණි අභය" (ක්‍රි. ව. 21 - 30). මෙතුමා ත් ඉතාමත් දැහැමි පාලකයෙක් විදියට තමයි සැළකෙන්නේ. දන් පාත්‍ර පුරවා මුළු භික්ෂු සාසනයට ම පිළිගැන්වූ හෙයින් "ආමන්ඩගාමිණි" යන නම ලැබුන බව ට ත් මතයක් තියනවා. 

මේ විදිහට සැලකිය යුතු කාල පරාසයක් පුරා සාමකාමිව ගලාගෙන ගිය සිංහල රාජාවලිය ට ක්‍රි. ව. 30 දී නැවතත් කැළලක් ඇති වෙනවා. ඒ, ආමන්ඩගාමිණි රජුට ඔහුගේ සොහොයුරු වන "කනිරාජනුතිස්ස" අතින් මැරුම් කන්න සිද්ධ වෙන නිසා. මේ වෙලාවේදී ආමන්ඩගාමිණි රජුගේ බිසව ත් පුත්‍රයා "චූලාභය" ත් දියණිය වන "සිංහවල්ලි" ත් තිවක්ක ග්‍රාමය ට පලා යනවා.

මේ පලා ගිය පිරිස නැවත පැමිණ තමන්ගේ උරුමය තහවුරු කර ගන්න හැටි අපි ඊ ළඟ රාජාවලිය ලිපියෙන් කතා කරමු. 


Tuesday, January 24, 2012

හොර අත්සන



ජීවිතේට කී පාරක් හොර අත්සන් ගහලා තියනවද? කියලා මම ඇහුවොත් කැම්පස් ගිය කෙනෙක්නම් කියාවි "අනන්ත සංඛ්‍යාවක්" කියලා. මමත් ඉතින් ඕක ඕන තරම් කරලා තියනවා.

අපේ ඩිපාර්ට්මන්ට් එකේ නම් සමහර ලේක්චරර්ස් ලා අපේ ඇටෙන්ඩන්ස් ගත්තා. ලෙක්චර් එක පටන් ගනිද්දී කොලයක් එවනවා නම ලියලා අත්සන් කරන්න. ඒ දවස්වල ඕක මහ වදයක් වෙලා තිබුනේ. හරි ගානට ඇටෙන්ඩන්ස් තිබුනේ නැත්නම් ෆයිනල් එක්සෑම්  එකට ලියන්න දෙන්නේ නැහැ කියලා නීතියකුත් දාලා තිබුනා.  ඔය නීතිය දාන්න හේතුවක් වෙලා තිබුනේ ළමයිගේ ලෙක්චර්ස් කට් කිරිල්ල තමයි. ඇයි දෙයියනේ 50 ක් ඉන්න පන්තියේ 30 ක් විතර අඩු උනාම අහු වෙන්නේ නැතුව තියේවිද. හැබැයි අපේ කට්ටිය හැම ලෙක්චර් එකම මේ විදියට කට් කරේ නැහැ. එක පාරක් මැත්ස් සබ්ජෙක්ට් එකකට හරී තරුණ, ලස්සන මැඩම් කෙනෙක් දාලා හිටියා. හප්පා...ඒකෙදි ගෑණු ළමයිට හැමදාම වාඩි වෙන්න උනේ අන්තිම පේලියේ. මොකද අපේ කොල්ලෝ සෙට් එක කුකුලත් අතින් අරන් ඇවිත් ඉස්සරහම පේලි වල වාඩි වෙන හින්දා. අපේ කැම්පස් එකේ එහෙමකට ලස්සනයි කියලා කියන්න පිරිමි ලේක්චරර්ස් ලා නම් හිටියේ නැහැ.

එක සැරයක් ටිකක් දරුණු සබ්ජෙක්ට් එකක් උගන්නන්න විසිටින් ලෙක් කෙනෙක් ආවා. හපෝ..මුල් විනාඩි 10 විතරයි ඇහැරගෙන ඉන්න පුළුවන් උනේ. එකාට එකා කවර් වෙලා නිදි. සර් ටත් මේක මීටර් වෙලාද කොහෙද ලෙක්චර් එක මැදදී ඉන්ටර්වල් එකක් දෙන්න පටන් ගත්තා. අන්න එතන තමයි සර් වරද්දගත්ත තැන. ඉන්ටර්වල් එකෙන් පස්සේ පන්තියට ආවේ සර් ගැන අනුකම්පා කරපු හතර පස් දෙනෙක් විතරයි. අන්තිමට ඔය වැඩේ අපේ ඩිපාර්ට්මන්ට් හෙඩ් ට ආරංචි වෙලා අපිට තර්ජනාංගුලියක් එල්ල කරා. ඊට පස්සේ ඉතින් බැච් රෙපා ළමයිට නොවඳිනා වැඳුම් වැඳලා ඉන්ටර්වල් එකෙන් ඉස්සෙල්ලා පන්තියේ ඉන්න ටික දෙනෙකුත් ඉන්ටර්වල් එකෙන් පස්සේ පන්තියේ ඉන්න තව ටික දෙනෙකුත් කැමති කරව ගත්තා. එතකොට ඉතින් මූණු වෙනස් උනාට ළමයි ගණනේ වෙනසක් තේරෙන්නේ නැහැ නේ.  අන්න එහෙමයි  එදා ඉඳං අපේ කට්ටිය සහයෝගෙන් තට්ටු මාරු ක්‍රමේට (මධුරංග ගේ වචනයක් :) ලෙක්චර්ස් ගියේ.




ඉතින් අර අත්සන් කරන නීතිය දාන්න ඔන්න ඕවත් හේතු උනා. ඒත් එහෙම දැම්මා කියලා ලෙක්චර්ස් කට් කිරිල්ල නවත්තන්න පුළුවන්ද? ඒකට හොයා ගතිපු පිළියම තමයි "හොර අත්සන්". ගොඩක් වෙලාවට ලෙක්චර් එකකට කලින් ලැබ් එක ඇතුලෙන් මෙන්න මේ වගේ කතා ටිකක් ඇහෙනවා..

"මචන් අද මට එන්න වෙන්නේ නෑ...මට අත්සනක් ගහපන්"
"අනේ මටත් ගහපන් බං"
"මටත්..මටත්"
"යකෝ මං කී දෙනෙක්ට ගහන්නදangry

"ශාලි..මට අත්සනක් ගහන්නකෝ"
"අනේ මට බැහැ..මම යන්නෙත් නැහැno talking
"හපෝ මුන් නම් නියම කෙල්ලෝ තමයි"

බැච් රෙපා : "අනේ මචන් 20 ක් වත් ඉන්න ඕන ලෙක්චර් එකට...නැත්නම් හෙඩ් මගේ ඔලුව කයි"

ඔන්න ඔහොමයි ඉතින් තත්වේ...

                                               ~~~~~~~~~~~~~~~~~~~~~~~

ඔන්න ඔය වගේ මම ලෙක්චර් එකට නොගිය දවසක මට හොර අත්සන ගහන්නම් කියලා අපේ වෙන්ඩ හස්බන්ඩ් ලෙක්චර් එකට ගියා. හැබැයි අපි දැනගෙන හිටියේ නැහැ ඔය වැඩේම තවත් හුඟ දෙනෙක් කරන්න හිතාගෙන ඉඳලා කියලා. ඉතින් එදා කට්ටිය අත්සන් ගහලා ඉවර උනාට පස්සේ කවදාවත් ඇටෙන්ඩන්ස් ෂීට් එකේ හරි වැරදි නොබලන සර් එදා කොලේ අතට අරගෙන ඒකෙ අත්සන් කරපු අයගේ නම් කියවන ගමන් එයාලට නැගිටින්න කිව්වලු. හප්පා...සිද්ධ වෙච්ච දේ කියන්න ඕන නැහැනේ ඉතින්. අන්තිමට සර් කියලා හොර අත්සන් ගහපු කට්ටිය හොර අත්සන් ගහන්න භාර දීපු කට්ටියවත් එක්කගෙන සර් ව හම්බ වෙන්න එන්න කියලා. ඉතින් ලෙක්චර් එකෙන් පස්සේ කට්ටියම ගියා සර් ගේ රූම් එක ලඟට. එතකොට තමයි අපි දැක්කේ ලෙක්චර්ස් කට් කරලා තියෙන්නේ ගැහැණු ළමයි බවත් එයාලට හොර අත්සන් ගහලා තියෙන්නේ එයාලගේ බෝයි ෆ්‍රෙන්ඩ් ලා බවත්...:)  කට්ටා ශශී ටත්, මගේ වෙන්ඩ හස්බන්ඩ් මටත්, ජයේ සමී ටත්..etc..etc..අත්සන් ගහල තිබුනා.

ඉතින් මුලින්ම රූම් එකට ගියේ කට්ටා යි  ශශී යි. දෙන්නා බොරුවක් ගහලා සර්ව ශේප් කරගෙන එලියට ආවා. ඊට පස්සේ අපේ වාරේ. මාත් ඉතින් මොකක්දෝ ලෙඩක් ගැන ලොකු බොරුවක් කියලා දැම්මා. සර් මේ ඔක්කොම බොරු බව දැන දැනත් ලාවට හිනා වේගෙන අහගෙන ඉඳලා අපිව එව්වා. අපි එලියට එද්දී තමයි සෝක් වැඩක් දැක්කේ..රූම් එක ඇතුලට යන්න ඉඳපු පෝලිමේ අන්තිමට තව කපල් එකක් ඉන්නවා..සුවඳ යි  බුද්ධික යි. හැමෝම හොර අත්සන් ගහල තිබුනේ තමන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ට. සුවඳා විතරක් බුද්ධික ට අත්සන ගහලා. හොඳම වැඩේ කියන්නේ බුද්ධික කිව්වෙත් නැතුවලු සුවඳා අත්සන ගහල තියෙන්නේ..big grin එදා ඉතින් ඒ දෙන්නත් කපල් එකක් හැටියට රෙජිස්ටර් උනා නිකන්ම.

Saturday, January 21, 2012

ඡන්දස රැක ගමු සඳැස ට රස දී


හුඟ කාලෙකින් කවියක් ලියන්නත් බැරි උන නිසා අද මට හිතුනා කවි ගැන ලිපියක් ලියන්න. කවි, හරියටම කිව්වොත් සඳැස්, ගැන කතා කරද්දී නිතරම ඇහෙන වචන දෙකක් ගැන තමයි මම අද කතා කරන්න යන්නේ.

මට ඉස්සර ඉඳලම තිබුණු ප්‍රශ්නයක් තමයි මේ ඡන්දස සහ විරිත කියන්නේ මොනවද කියන එක. එහෙන් මෙහෙන් කවි ලිව්වට මම නම් මේවයේ තේරුමක් හරියටම දැනගෙන හිටියේ නැහැ. ඉතින් මට හිතුණා පොඩ්ඩක් මේ ගැන හොයල බලන්න. අන්තර්ජාලයෙනුත් අපේ මාමණ්ඩියගෙනුත් තාත්තාගෙනුත් තරමක් කරුණු එකතු කරගෙන ඒවා අධ්‍යයනය කරාට පස්සේ මට පුළුවන් උනා  සෑහෙන තරමකට හොඳ, පිළිගන්න පුළුවන් කියලා හිතෙන නිගමනයකට එන්න. ඉතින් ඒ ගැන දැනගන්න ඔයාලත් කැමතිනම් මාත් එක්ක පාඩමට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා :)

                                     ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

මුලින්ම කියන්න ඕන මම කියන දේවල් වල වැරදි තැන් තියෙන්නත් පුළුවන්. ඒවා කාටහරි පෙනුනොත් නිවැරදි කරන්න කියලත් ඉල්ලනවා.

හරි. මුලින්ම මොකක්ද මේ "ඡන්දස" කියන්නේ? සරලව කිවුවොත් ඡන්දස කියන්නේ පද්‍යයක/සඳැස ක "ආකෘතිය" ට. එහෙම නැත්නම් "සැකිල්ල" ට. උදාහරණයක් විදියට වෙසක් කූඩුවක් ගැන හිතන්න. මුලින්ම අපි කරන්නේ සැකිල්ල හදන එක. කවියක් (පහසුව පිණිස සඳැස වෙනුවට කවිය යන වචනය ඉදිරියට භාවිතා කරමි. එය වැරදි බව මම දනිමි :) හදනකොට ත් අපි සැකිල්ලක් හදා ගන්නවා. කවියේ පද වලට කොච්චර මාත්‍රා ගණනක් දානවද? කොච්චර අකුරු ගණනක් දානවද? කියන දේවල් තීරණය කරාම තමයි සැකිල්ල සම්පුර්ණ වෙන්නේ. සැකිල්ල හදා ගත්තට පස්සේ එයට වචන, එලි වැට, එලි සමය, යතිය ආදිය එකතු කරාම සම්, මස්, නහර පිරි ජීවමාන සඳැස ක් බිහි වෙනවා.

ඉතින් මෙන්න මේ සැකිලි වලට තමයි ඡන්දස කියන්නේ. එතකොට "විරිත" ?

කලින් කියපු ඡන්දස නම් සැකිල්ලට එලි වැට, යතිය සහ වචන නම් සම්, මස් එකතු කර බිහි වන කවියේ, "තාලය / ලතාව" අනුව ඒවා වර්ගීකරණය කරන්න පුළුවන් (එකම ඡන්දසයෙන් බිහි උනත් යතිය යොදන ස්ථාන සහ ලඝු, ගුරු අක්‍ෂර පිහිටවන පිළිවෙල අනුව කවියක ලතාව වෙනස් වෙනවා. හරියට එකම විදියේ සම්, මස්, ඇට තිබුනත් මිනිසුන්ගේ ගතිගුණ එකිනෙකට වෙනස් වෙනවා වගේ). අන්න ඒ කියපු වෙනස් විදියේ තාල/ලතා වලට තමයි විරිත කියන්නේ. ලිපියේ ඉදිරියේදී මේක තවත් හොඳින් උදාහරණයක් ආශ්‍රයෙන් පැහැදිළි කරලා තියනවා.

හරි, නැවතත් ඡන්දස ට. ඡන්දස ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. "ලෞකික ඡන්දස" සහ "වෛයිදික ඡන්දස" ලෙස. වෛයිදික ඡන්දස අදාළ වෙන්නේ "වේද මන්ත්‍ර බන්ධනය" ට. ඒ නිසා අපි මේ ලිපියෙදි ඒ ගැන කතා කරන්නේ නැහැ. කාව්‍යය බන්ධනය ට අදාළ වෙන ලෞකික ඡන්දස ගැන තමයි අපි කතා කරන්නේ. 


ලෞකික ඡන්දසය ත් කොටස් දෙකකට බෙදෙනවා. "ඝන/වර්ණ ඡන්දස" සහ "මාත්‍රා ඡන්දස" ලෙස. මෙයිනුත් සිංහල කවිය සමග වඩාත්ම සම්බන්ධ වෙන්නේ මාත්‍රා ඡන්දස. වර්ණ ඡන්දස ගොඩක් දුරට භාවිතා වෙන්නේ සංස්කෘත කාව්‍ය වල දී. ඒත් වර්ණ ඡන්දස ගැනත් මම පසුව කියන්නම්. මුලින්ම මාත්‍රා ඡන්දස ගැන බලමු. 

                                      ~~~~~~~~~~ මාත්‍රා ඡන්දස ~~~~~~~~~

මෙහිදී කරන්නේ කවියක සැකිල්ල, කවියේ පද වලට යොදන මාත්‍රා ගණන අනුව තීරණය කිරීම. උදාහරණයක් විදියට කවි පදයකට මාත්‍රා 2 ක් පමණක් යොදන ක්‍රමය ට කියන්නේ "සඳ ඡන්දස" කියලා.

ඒ -
වී -
පේ -
වී -

මේ කවියේ පද හතරේ තියෙන්නේ ගුරු අකුරු (ගුරු අකුරකට මාත්‍රා 2 යි) 4 ක්. '-' භාවිතා කලේ අකුර ඇදෙන බව පෙන්වන්න. මේ කවිය අයිති වෙන්නේ "සඳ" ඡන්දස ට කියලා පැහැදිළියි නේද? ඒ වගේම මේක අයිති වෙන විරිත තමයි "සිරි විරිත". මාත්‍රා 2 පෙන්වන්න ගුරු අක්‍ෂරයක් යොදා ගත් නිසා තමයි එය සිරි විරිත ට අයිති වෙන්නේ. මේ කවියත් බලන්න...

කමු
බොමු
තුටු
වෙමු

මේකෙත් එක පදයක තියෙන්නේ මාත්‍රා 2 යි. ඒ නිසා "සඳ" ඡන්දස ට අයිති විය යුතුයි. හැබැයි මාත්‍රා දෙක පෙන්වලා තියෙන්නේ ලඝු අකුරු දෙකකින්. එනිසා මේක "සිරි" විරිත ට අයිති නැහැ. මෙය අයිති වෙන්නේ "ස්ත්‍රී විරිත" ට.

මේ කියපු උදාහරණයේදී විරිත් වර්ග උනේ ලඝු, ගුරු අක්‍ෂර පිහිටීම අනුව. අපි තවත් උදාහරණයක් බලමු.

විදි විහිගුම් සමුදුර වෙරළත හමුව
සුරපුර බිම බට මෙන් වඩවන ළමුව
සැදි පලරම් විසිතුරු ගෙඋයන් සුමුව
දකු මනරම් සව් සිරි පිරි තොට ගමුව     - තොටගමු වැනුම, සැළලිහිණි සංදේශය

මේ කවියේ මුල් පදය ගමු

වි දි වි | හි ගුම් _ | ස මු දු | ර වෙ ර | ළ ත හ | මු ව _

මෙහි මාත්‍රා 18 යි. (අදාළ ඡන්දසයේ නම නොදනිමි. X ඡන්දසය යයි කියමු). ඒ වගේම මෙය අයිති වෙන්නේ "සමුද්‍ර ඝෝෂ විරිත" ට.  දැන් අපි බලමු සමුද්‍ර ඝෝෂ විරිතට අයත් වෙන්න නම් කවියට තියෙන්න ඕන අමතර ලක්ෂණ මොනවද කියලා. එය තීරණය වෙන්නේ යතිය යොදන ස්ථාන වලින් (විරාම තබන ස්ථාන). සමුද්‍ර ඝෝෂය ට අයිති වෙන්න නම් 10 වන මාත්‍රාව ලඟින් සහ 18 වන මාත්‍රාව ලඟින් යතිය යෙදිය යුතුයි. එනම් "සමුදුර" යන වචනය ගායනා කර විරාමයක් තැබියයුතු අතර "හමුව_" ගායනා කර අනෙක් විරාමය තැබිය යුතුයි. මේ විදියට විරාම තියන්න හැකි විදියට කවිය ලිව්වොත් පමණයි එය සමුද්‍ර ඝෝෂ විරිතට අයත් වෙන්නේ. දැන් බලන්න මම කලින් ලියපු සයුරු මැදට බඹු අතහළ බිම කවි පන්තියෙන් ගත්ත මේ කවි පද දෙක...(පොඩ්ඩක් වෙනස් කරා)

සුනිල රුවට පැහැය දිදුල පිලක             සිකී
සොඳුරු මෙ බිම බැඳි අනුහස කිමද        සකී

මේකෙත් එක පදයක තියෙන්නේ මාත්‍රා 18 යි. ඒ නිසා මෙය අයිති වෙන්නෙත් X ඡන්දසය ට මයි. ඒත් 10 වන මාත්‍රාවෙන් යතිය තියන්න පුළුවන්ද? බැහැ නේද? මාත්‍රාව කැඩෙන්නේ "පැහැය දි" කියන තැනින්. එතනින් විරාමයක් තියලා මේ කවිය ගායනා කරන්න බැහැ. ඒක නිසා මෙය සමුද්‍ර ඝෝෂ විරිත ට අයිති වෙනවා කියලා කියන්න බැහැ.


විරිත් සඳහා තවත් නිදසුන් බොහොමයක් තිබුනත් දැනටමත් ලිපිය දිග වැඩියි වගේ පේන නිසා වෙනම ලිපියක වත් දාන්නම් (කැමති අය ඉන්නවනම් :)

දැන් එහෙනම් වර්ණ/ඝන ඡන්දස ගැනත් කියන්නම්.

                                     ~~~~~~~~~~ වර්ණ ඡන්දස ~~~~~~~~~~

වර්ණ චන්දස වැඩිපුර භාවිතා වෙන්නේ සිලෝ නම් පද්‍ය වර්ගයේදී. මෙහිදී සළකන්නේ මාත්‍රා ගණන නොවෙයි, ඝන පිහිටුවන ආකාරය. ඝන ගැන සවිස්තරාත්මක ලිපියක් "හද පතුල" බ්ලොගයේ තියනවා. එහි සංක්ෂිප්තයක් තමයි මේ

'ම' ගණය - ගුරු/ගුරු/ගුරු (උදා : ආවාරා)
'න' ගණය - ලඝු/ලඝු/ලඝු (උදා: සතොස)
'බ' ගණය - ගුරු/ලඝු/ලඝු (උදා: භාතිය)
'ය' ගණය - ලඝු/ගුරු/ගුරු (උදා: පරාටා)

'ජ' ගණය - ලඝු/ගුරු/ලඝු (උදා: වනාත)
'ර' ගණය - ගුරු/ලඝු/ගුරු (උදා: සෝබනා)
'ස' ගණය - ගුරු/ගුරු/ලඝු (උදා: සෝපාක)
'ත' ගණය - ලඝු/ලඝු/ගුරු (උදා: තුටිනා)

ඝන ඡන්දසයකදී කවියට පිහිටවිය යුතු ගණ වර්ග සහ පිළිවෙල නිශ්චිතව තීරණය කරනවා. මම දන්න විදියට නම් මෙහිදී එක ඡන්දසයකට විරිත් කිහිපයක් වැටෙන්නේ නැහැ. මොකද මාත්‍රා වලදී වගේ නෙවෙයි, ඝන පිහිටවන විදිය තීරණය කරාට පස්සේ කොහොම ලිව්වත් යතිය තබන ස්ථාන වත් ලඝු, ගුරු අක්ෂර පිළිවෙල වත් වෙනස් වෙන්න විදියක් නැහැ. එනිසා ඡන්දසය සහ විරිත ට මෙහිදී එකම නමක් තමයි කියන්නේ.

එවැන්නකට උදාහරණයක් තමයි "මාලනී විරිත". මේ විරිතේ/ඡන්දසයේ නිතිය තමයි ඝන පිහිටන්න ඕනේ 'න' 'න' 'ම' 'ය' 'ය' කියන පිළිවෙලට. මේ විරිතට ලියවුනු සිලෝ වර්ගයට අයත් කවියක් තමයි "නන්දා මාලිනී" ගයන...ඔබ මට කුමුදෙක්‌මැයි ගීය. බලන්න එහි ඝන පිහිටන ආකාරය...
සැ. යු. - ලඝු අකුරක් සමග හල් අකුරක් යෙදෙන විට එය ගුරු අකුරක් ලෙස ගනී.

ඔ  බ  ම       |  ට  කු  මු      | දෙක්  මැයි  ලා_  |  ස ඳේ_  රෑ_ | පි  පී_  ආ_
'න' ගණය      'න' ගණය      'ම' ගණය              'ය' ගණය       'ය' ගණය 
                           
ඝන ඡන්දසයකට තවත් නිදසුනක් තමයි "වසන්ත තිලකා විරිත". අපි කවුරුත් දන්න "ජය මංගල ගාථා" නිර්මාණය වෙලා තියෙන්නේ ඒ විරිතෙන්. එහි ඝන පිළිවෙල තමයි 'ත', 'බ', 'ජ', 'ජ', ගුරු 2 .

බා_ හුං ස   |  හස්  ස ම  |  භි නිම් මි     |  ත සා යු  | ධන්  තන්
'ත' ගණය      'බ' ගණය    'ජ' ගණය     'ජ' ගණය    ගුරු 2 


ජය මංගල ගාථා ගැනත් වෙනමම පෝස්ට් එකක් දාන්න හිතෙනවා. පස්සේ බලමුකෝ.

එහෙනම් ඉතින් ඔන්න ඕකයි ඡන්දස සහ විරිත ගැන මම තේරුම් ගත්ත විදිය. පද්‍යය ගද්‍යයෙන් වෙන් කරන්නේ ඡන්දසයෙන් කියල කියනවනේ. ඡන්දස නැත්නම් එතන සඳැසක් නැහැ. එතකොට තියෙන්නේ නිසඳැසක්. ඒ ගැන මට හිතෙන්නේ මෙහෙමයි

ඡන්දස රැක ගමු සඳැස ට රස දී - නැතිනම් එම සඳ නිසඳැස උපදී


ප. ලි. - ඒත් කවියක රිද්මය ඇඟට දැනෙන කෙනෙකුට කවි ලියන්න මේ දේවල් එකක් වත් දැන ගෙන ඉන්න ඕන නැහැ කියන එකයි මගේ හැඟීම. කවියක් ලියද්දි ඉබේම කවියට ඡන්දසයකුත් විරිතකුත් ලැබෙනවා..

Wednesday, January 18, 2012

සිංහලේ පළමු රැජිණ - රාජාවලිය IX



පසුගිය රාජාවලිය ලිපිය අවසානයේ සඳහන් උන විදියට, වළගම්බා රජතුමා ක්‍රි. පූ. 77 දී මිය පරලොව ගියාට පස්සේ මී ළඟට රජ කම ලැබෙන්නේ ඛල්ලාටනාග ගේත් අනුලා දේවිය (පසුව වළගම්බා රජු ගේ බිසව වූ) ගේත් පුත් "මහාචූලී මහාතිස්ස" ට - ක්‍රි. පූ. 76 -62 (බු. ව. 468 - 482). 


මේ රජතුමා සාමයෙන් අවුරුදු 14 ක කාලයක් රට පාලනය කරන අතරෙදි "නාග" කුමාරයා, එහෙමත් නැත්නම් වළගම්බා රජතුමා ගේත් සෝමා දේවිය ගේත් පුත්‍ර රත්නය, ජිවත් වෙන්නේ පෙරළි කාරයෙක් විදියට. සොරකම්, මං පැහැරීම් වැනි දේවල් කරපු නිසා ඔහුට "චෝරනාග" කියලා නමකුත් පට බැඳෙනවා. කට්ටියට මතක ඇති නේද කලින් ලිපියෙදි කිව්වා වළගම්බා රජ පවුල පලා යද්දී සෝමා දේවිය රථයෙන් බිමට බැහැලා අනිත් අයට පැනලා යන්න ඉඩ සලසලා දීපු හැටි. ඉන් පස්සේ සොලීන් දේවිය අල්ල ගෙන ගියා නේ. ඉතින් ඊට පස්සේ අවු. 14 ක් ගිහින් සෝමා දේවිය නැවත ගෙන්වා ගන්න තෙක්ම නාග කුමාරයා හැදුනේ වැඩුනේ මව් සෙනෙහස අහිමිව. වළගම්බා රජතුමාට වෙන බිරිඳක් හිටපු නිසාත් (අනුලා), ඇයටත් පුතෙක් ඉඳපු නිසාත් නාග කුමාරයා මොන වගේ පිඩනයක ඉන්න ඇත්ද කියලා අපිට හිතා ගන්න පුළුවන් නේද? එහෙම වෙන එක දැන් කාලේ වගේම ඒ කාලෙත් ඇත්තටම ස්වාභාවිකයි. ඉතින් "නාග", "චෝරනාග" බවට පත් වීම එතරම් පුදුම වෙන්න කාරණයකුත් නෙමෙයි මම හිතන්නේ.


කොහොම උනත් මහාචූලී මහාතිස්ස රජතුමා ක්‍රි. පූ. 62 දී මිය ගියාට පස්සේ චෝරනාග කුමාරයාට රජකම ලැබෙනවා - ක්‍රි. පූ. 62 - 50 (බු. ව. 482 - 494). මේ චෝරනාග රජතුමාගේ බිසවගේ නමත් "අනුලා". චෝරනාග රජ උනාට පස්සේ තමන් පෙරළිකාරයෙක් ව සිටි කාලයේදී තමන්ට සහය නොදීපු විහාර 18 ක් විනාශ කරලා දැම්මලු. මේ ආකාරයෙන් රජකම් කරපු චෝරනාග රජතුමා අවුරුදු 12 කට පස්සේ වස දීමක් නිසා මිය යනවා. එතුමාට වස දුන්නේ කවුද කියන එක ටිකක් විවාදාත්මකයි. සමහරු කියන්නේ වස දුන්නේ ඔහුගේ බිසව "අනුලා" විසින් කියලා. තවත් සමහරු කියන්නේ රජුගේ අරක්කැමියා විසින් වස දුන්නා කියලා. 

කොහොමහරි අන්තිමට චෝරනාග මිය ගියාට පස්සේ රජකම ලැබෙන්නේ මහාචූලී මහාතිස්ස ගේ පුත් "කුඩාතිස්ස" (ක්‍රි. පූ. 50 - 47) ට. ඔහුට රජකම් කරන්න ලැබෙන්නේ අවුරුදු 3 ක් පමණයි. ඔහුත් වස දීමක් නිසා මරණයට පත් වෙනවා. ඉන්පසු "ශිව" නම් රජ වාසල ආරක්‍ෂකයෙකු සමඟ විවාහ වන අනුලා බිසව ඔහුට රාජ්‍යය පවරා දෙනවා. වැඩි දවස් නොගොස් ඔහුටත් වස දී හදිසියේ මිය යන නිසා "වටුක" නම් දමිළ වඩු කාර්මිකයා සමඟ විවාහ වන අනුලා දේවිය ඔහුට රාජ්‍යය පවරා දෙනවා. වැඩි දවසක් යන්න මත්තෙන් ඔහුටත් අත් වෙන්නේ ශිව ට අත් උන ඉරණම මයි. ඉන්පසු අනුලාගේ ස්වාමියා සහ රජු බවට පත් වෙන්නේ "දාරුභාතිකතිස්ස" නම් දර ගෙන යන්නෙක්. ඔහුත් අභිරහස් ලෙස මරණයට පත් වීමත් සමඟම "නීලිය" නම් බමුණා සමඟ විවාහ වන අනුලා ඔහුට රාජ්‍ය බාර දෙනවා. මේ විදිහට වසරක් ඇතුලත කිහිප දෙනෙක්ම තමන්ගේ ස්වාමියා කරගෙන රජකම බාර දුන්නත් නොනිල වශයෙන් රාජ්‍යය පාලනයේ යෙදුනේ අනුලා බිසව කියලා හිතන්න පුළුවන්. මේ මරණ වලට වගකිව යුත්තා වන්නේ අනුලා බිසව බව බොහෝ දෙනෙකුගේ මතය වුවත් එය එසේමද යන්න ටිකක් අපැහැදිලි කාරණයක්. 

අවසානයේදී ඇය ස්වාමියන්ට රජකම බාර දීම පසෙක තබා තමාම රාජ්‍ය පාලනය බාර ගන්නේ හෙළයේ පළමු රැජිණ ලෙස ඉතිහාසගත වෙමින්.  සැමියන්ට වස දීමේ සිද්ධිවල ඇත්ත නැත්ත කෙසේ වෙතත් කාමාධික කාන්තාවක් ලෙස අනුලා චරිතය හංවඩු ගැසීම එතරම් සාධාරණ නොවන බව මගේ පුද්ගලික මතයයි. "අනුලා රැජිණ" (ක්‍රි. පූ. 46 - 42) මේ ආකාරයට රට පාලනය කිරීම ඇරඹුවත් ඇයට එය කරගෙන යන්න ලැබෙන්නේ අවුරුදු 4 ක් පමණයි. මහාචූලී මහාතිස්ස ගේ දෙවැනි පුත්, එහෙම නැත්නම් කුඩාතිස්ස ගේ සොහොයුරු වන "කුටකණ්ණතිස්ස" අනුලා රැජිණ මරා රාජ්‍ය පවරා ගන්නවා. 

ලක් ඉතිහාසයේ අඳුරු යැයි සම්මත කාල පරිච්චේදයක් මෙසේ නිමා වන අතර දරුණු විදියට හංවඩු ගැසූ චරිතයක් ලෙස අනුලා රැජිණ ඉතිහාසයට එක් වෙනවා. ඒක කොයි තරම් දුරට සාධාරණයි ද කියලා හිතන එක ඒ චරිතය දිහා සානුකම්පිතව බලන්න පුළුවන් අයට බාරයි :)

ඊ ළඟ රාජාවලිය ලිපියෙන් නැවත හමු වෙමු....

Friday, January 13, 2012

හිච්චා

"හිච්චා" යනු මගේ පළමු මිතුරා ය. වැටි වැටි නැගිටින අවධියේ සිට ම මගේ තනි නොතනියට සිටි සුහද සගයා ය. මා ඉපදෙන විට අපේ පවුල් වල වෙනත් කිසිම පොඩ්ඩෙකු නොසිටි නිසාවෙන් තනිව සෙල්ලම් කළ මගේ, කරදරය ට නිතර හසු වූ අසරණයා ය. අත්තම්මා "හිච්චෝ..." කියන විට වෙඩිල්ලක් සේ  දුව ගෙන එන, සැමට හිතවත් බලු මහතා ය (උඹට නිකන්ම නිකම් බල්ලෙක් යයි කියන්නට අද ද මම කැමති නැත).




රට බල්ලෙකු නොවූ මුත් නිකන්ම වල් බල්ලෙකු ද නොවූ හිච්චා ට දුඹුරු පාට, කොට බූල් සූට් එකකුත් සර්පිලාකාර නැට්ටකුත් තිබුණ බව මට මතකය. පුංචි බලු පොව්වෙක් ලෙස සීයාගේ අත් දෙකේ ලැග ගෙන ගමේ නිවසට ඌ පැමිණි දවස මට මතක නැත්තේ මම ඉපදුනේ ඌ ට පසුව බැවිනි. වෙනකක් තබා ඒ වෙද්දී අපේ තාත්තා ත් සැහැල්ලු තනි කඩයෙකි :). එදා පටන් අත්තම්මාත් සීයාත් තාත්තා, පුංචි තාත්තා සහ නැන්දලා ගේ සුරතලා මෙන්ම ආරක්ෂකයා වූයේ ද හිච්චා ය.


හිච්චාගේ නම "හිච්චා" වුවද වැඩ නම් කිසි සේත්ම "හිච්චි" නොවීය. වෙල් යායක් මැද උස් බිමක පිහිටි වැට කඩුළු නැති, සීයා ගේ නිවසට ආගන්තුකයෙකු ගේ පැමිණීම සිදුවන්නේ පිළිවෙත් මාලාවක් අනුගමනය කිරීමෙන් පසුව යි. වෙල මැදින් වැටුන පාරේ පැමිණෙන අමුත්තා දෙස මිදුලේ සිටින හිච්චා ඈත තියාම බලා සිටී. සීයා ගේ නිවස පසු කර යයි නම් ඔහුට පාඩුවේ යන්නට දෙන හිච්චා, වැරදිලාවත් නිවස දෙසට හැරුනොත් ඔහුට දෙවියන් බුදුන් සිහි කිරීමට අවස්ථාව සළසා දෙයි. එනිසා අමුත්තන්ගේ පිළිවෙත වූයේ පාරේම සිට නිවැසියෙකුට කතා කිරීමයි. කෙසේ වුවත් නිවසට නිතර යන එන හිතවතුන් ට මේ කරදරය නොදීමට හිච්චා වග බලා ගනී.

එවකට තරුණ කෙල්ලන් වූ නැන්දලා, හොර ගහ යට ලිඳට නාන්න යන විට නොවැරදීම හිච්චා ත් සහභාගී වේ. ලිඳ අසළ කණ්ඩියට නැග ගන්නා හිච්චා නැන්දලා ගොඩට එන තෙක්ම කිසිම පිරිමියෙකු ට ලිඳ ලඟට බැසීමට ඉඩ නොදේ. පසු කලෙක මමත් තාත්තාත් අම්මාත් මේ ලිඳට නාන්න යන  විට ද හිච්චා අප සමග ආවේ ආරක්ෂාවට නම් නොවේ. තාත්තා සමග යන අපිට අමුතු ආරක්ෂාවක් වුවමනා නැති බව ඌ දනී. ඌ ආවේ හොර ගහ යට ලිඳේ සීතල වතුරෙන් නාගෙන යන්නට ය. අපිත් සමගම ළිං මිදුලට බහින හිච්චා නාවන්නේ තාත්තා ය. බඩට වතුර ගසන විට ඌ කකුල් දෙකෙන් හිට ගන්නා හැටි මට තාමත් මතක ය. අපි නා අවසන් වන තෙක් අවුව තපින හිච්චා ගෙදර යාමට පෙරමුණ ගන්නේ නියරවල් උඩින් සීරුවට පය තබමිනි. මඩ ගා ගත්තොත් තාත්තාගේ මහන්සියත් වතුර ටිකත් අපතේ බව සමහර විට ඌ දන්නවා ඇත.

සීයා ගේ පවුල ටත් අම්මා පැමිණි පසු අම්මා ටත් එක ලෙස හිතවත් වූ හිච්චා, ඉන් පසුව පවුලට එකතු වූ අලුත් අමුත්තා වන මට ද එළෙසටම හිතවත් විය. මා නිවසට ගෙනා විට ඔළුව කරකවා මා දෙස බැලූ හැටිත් මා නිසා ඌ ට තහනම් කලාප බවට පත් වූ පුටු සෙටිය, නිදන කාමරය, පැත්ත පලාතට වත් නොඑන්නට ඌ වග බලා ගත් හැටිත් කීවේ අපේ ලොකු නැන්දා ය. අපේ අත්තම්මා හිච්චා සහ මා ගැන තවමත් රස කර කියන කතාවක් ඇත.

"ඔන්න පුතේ දවසක් අපි පුතා ව කාමරේ නිදි කරවලා තියලා කුස්සියේ ඉව්වා. ටිකකින් බලද්දී ඔයා ඇඳ උඩ නෑ. ඒ දවස්වල ඔයා ඇවිදින්න පටන් ගත්ත අලුත. අපි හොඳටම බය වෙලා කෑ ගගහා දරුවා හොයද්දි පාරේ යන මනුස්සයෙක් කෑ ගහනවා ඇහුනා මෙන්න බබෙක් පාරේ යනවා කියලා. අපිත් දුවගෙන ගියා. බලනකොට පුතා පාර දිගේ පුංචි අත්තලාගේ ගෙවල් පැත්තට යනවා. ඔයත් එක්කම හිච්චාත් යනවා. ඔයාව හොම්බෙන් පාරේ අයිනට කරගෙන පාර මැදට එන්න නොදී ඌ ගිය හැටි තමයි බලන්න ලස්සන....."






මට අවුරුදු 3 ක් වන විට තාත්තා ට මාරුවක් ලැබුන නිසා අපිට ගමේ ගෙදරින් යන්නට සිදු වන තෙක් හිච්චා අපේ සුමිතුරා විය. පසුව ගමේ පැමිණි ගමන්වලදී ද ඌ පෙර ලෙසටම අපිට ආදරය දැක්වීය. එවන් එක් දිනක අපිට දකින්න ලැබුනේ වෙනදා මෙන් දුව විත් දෙපා මුල වැතිරෙන හිච්චා නොව මිදුලේ කොනක නිසලව වැතිරී උන් හිච්චාය. උපරිම ආයු වළඳා අවසන් ගමන් ගිය අපේ ආදරණිය හිච්චා වැලලූ වල ට සෙවණ දෙන උණ පඳුර දැන්නම් සීයා ගේ මිදුලේ නැත. ඒ උණ පඳුර සිටවූ, හිච්චා එතැන වැලලූ, සීයා ද නැත.

Thursday, January 5, 2012

මහා කළු සිංහලයා - රාජාවලිය VIII



එදා අපි නතර කළේ වළගම්බා රජතුමා මහාරත්ථක ඇමති මරා රජ උන තැනින්. අද එතැන් සිට...


වළගම්බා රජතුමා ක්‍රි. පූ. 103 දී සිංහාසනාරූ  උනත් එතුමාට රාජ්‍ය කරන්න ලැබෙන්නේ මාස 5 ක් වැනි කෙටි කාලයක් පමණයි. සතුරු කරදර රාශියකට මුහුණ දෙන්න එතුමා ට සිද්ද වෙනවා. රෝහණ දේශයේ "තිස්ස (තීය)" නම් බමුණෙක් රාජ්‍ය ඉල්ලා රජු ට විරුද්ධව කැරලි ගහන අතරෙදි මහාතිත්ථ වරායෙන් ලංකාවට ගොඩ බහිනවා ද්‍රවිඩයින් සත් දෙනෙක් සහ ඔවුන්ගේ සේනාව. මේ ද්‍රවිඩයින් ගේ අපේක්ෂාව උනෙත් රාජ්‍ය අල්ලා ගැනීම ම තමයි. මේ විදියට දෙපැත්තකින් සතුරු කරදර ආවම රජතුමාත් පොඩි නුවණැති ක්‍රියාවක් කරල තියනවා. රජතුමා තීය බමුණාට මෙන්න මේ විදියේ පණිවිඩයක් යැව්වලු.


"දැන්නම් රාජ්‍ය නුඹගේ ය, නුඹ දෙමළුන් හා සටන් කොට රාජ්‍ය ගනුව


ඉතින් මේ පණිවිඩය දැකපු මෝඩ බමුණා දෙමළුන් සමග සටනට ගිහින් පැරදුනා ලු. ඒ සටනෙන් ජයග්‍රහණය කරපු දෙමළු හත් දෙනා ඉන්පස්සේ වළගම්බා රජු සමග සටනට ගියා ලු. කොලොම්භාලක නම් ස්ථානයේදී ද්‍රවිඩයින් හා කළ සටනින් පැරදුනු රජු, ද්‍රවිඩයින්ගෙන් බේරීමට රථයක නැගී පලා ගියා ලු. ද්‍රවිඩයින් විසින් ලුහුබැඳපු මේ රථය, තීර්ථකාරාමය පසු කර යද්දී එතන ඉඳපු "ගිරි" නම් නිඝන්ඨයෙක්,

"මහා කළු සිංහලයා පලා යනවෝ" යැයි උපහාසයෙන් ඝෝෂා කරා ලු. 

 මේ රථය ඇතුලේ ඉඳපු අනිත් සාමාජිකයින් තමයි, සෝමා දේවිය, ඇගේ පුත් නාග කුමරු, අනුලා දේවිය සහ ඇගේත් ඛල්ලාටනාග ගේත් පුත් මහාචූලී මහාතිස්ස. ඉතින් මේ පිරිසේ බර වැඩි උන හින්දා රථය ට වැඩි වේගයකින් ගමන් කරන්න අපහසු තත්ත්වයක් ආවා ලු. සතුරන් ලඟ ලඟම ලුහු බැඳගෙන එන නිසාත්,  කිරීමට වෙනත් පිලියමක් නොතිබුණු නිසාත් මේ වෙලාවේදී "සෝමා දේවිය" උදාර තීරණයක්‌ ගන්නවා. ඒ තමයි තමන් කරත්තයෙන් බැහැලා රජු ඇතුළු පිරිසට පළා යාමට ඉඩ සැලැස්වීම. අන්තිමේදී මේ තීරණයට එකඟ උන රජතුමා දේවිය ට බිමට බැසීමට සළස්වා සතුරන්ගෙන් බේරී පළා යනවා. සෝමා දේවිය අල්ලා ගත් එක් ද්‍රවිඩයෙක් ඇය ඉන්දියාවට රැගෙන ගියා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතුරු ද්‍රවිඩයන් 6 දෙනාගෙන් තවත් කෙනෙක් බුදුන් දන් වැළඳු පාත්‍ර ධාතුව රැගෙන ඉන්දියාවට පළා ගියා ලු.

ඔන්න ඔය විදියට ලංකාවේ නැවතුනේ ද්‍රවිඩයින් පස් දෙනෙක් පමණයි. එයින් මුලින්ම රජ කරන්නේ "පුලහත්ථ" (ක්‍රි. පූ 103 - 100). ඉන්පසු "බාහිය" නම් ද්‍රවිඩයා පුලහත්ථ මරා අවු. 2 ක් රජ කරනවා (ක්‍රි. පූ. 98 දක්වා). ඉන්පසු බාහිය මරා රජ වෙන්නේ "පණයමාර" නම් ද්‍රවිඩයා යි (ක්‍රි. පූ. 98 - 91). පණයමාර මරා දමා "පිලියමාර" රජ උනත් ඔහුට රජ කරන්න ලැබෙන්නේ මාස 7 ක් පමණ කාලයක් විතරයි. ඒ, අවසාන ද්‍රවිඩයා වන "දාඨික" ගෙන් ඔහු මැරුම් කන නිසා. ඉන් පස්සේ දාඨික අවු. 2 ක් (ක්‍රි. ව. 89 තෙක්) රජ කරනවා. 

මේ විදියට ද්‍රවිඩයින් පස් දෙනා එකිනෙකා මරා ගන්න අතරේ අපි බලමු අපේ වළගම්බා රජතුමා මොකද කළේ කියලා. රජු ඇතුළු පවුල පළා ගොස් වෙස්සගිරි වනයේ සැඟවී සිටිද්දී "කුපික්කලතිස්ස" නම් තෙර නමක් ඔවුන් පිණ්ඩපාතයෙන් පෝෂණය කළා ලු. රජ පවුල ට මුහුණ දෙන්න සිද්ද උනේ ඉතාමත් දුෂ්කර කාල පරිච්චේදයකට. ඒ කාලයේ ඇති වුන "බැමිණිතියාසාය" නම් දරුණු දුර්භික්ෂයක් නිසා රහතන් වහන්සේලා පවා විශාල ගණනක් අපවත් උනා ලු. ද්‍රවිඩයින් ගේ පාලන කාලයේදී වැව් අමුණු හරියාකාරව නඩත්තු නොකිරීම, ආක්‍රමණ අතරතුර වාරිමාර්ග විනාශ වීම වැනි පාලන අක්‍රමිකතා ත් නියඟය ට හේතුවක් වෙන්න ඇති. මේ නියඟය ට නම ලැබුන හැටි ගැනත් මතයක් තියනවා. තීය බමුණා කැරළි ඇති කළ සමයේ ආරම්භ උන නිසා "බමුණු+තීය+සාය" යන්න සන්ධි වී බැමිණිතියාසාය යන නම ලැබුනා ලු. 

වෙස්සගිරියෙන් නික්මුණු රජ පවුල මී ළඟට පිවිස ඇත්තේ මාතුවේලංග ප්‍රදේශයට. එහිදී ඔවුන්ට නැවතත් හමු වුනු කුපික්කලතිස්ස තෙරණුවෝ ඔවුන්ව "තනසීව" නම් ප්‍රාදේශීය පාලකයෙකු ට හඳුන්වා දී ඇත. ඉන්පසු රජ පවුල ඔහු ඇසුරේ වෙසෙන අතර තනසීව ගේ බිරිඳත් අනුලා දේවියත් අතර ඇති වුන සුළු රණ්ඩුවක් නිසා රජතුමා තනසීව මරා දමනවා. ඒ සිද්ධිය නිසා තමා කවුදැයි ප්‍රදේශ වාසීන්ට හෙළි කරන්න රජතුමා ට සිදු වෙනවා. 


 වළගම්බා රජතුමා සැඟවී සිටි අවුරුදු 14 ක කාලය තුල එතුමා රටේ ඇවිදපු නැති තැනක් නැති තරම්. මේ කාලයේදී රහසේම සේනා සංවිධානය කරන්නත් එතුමා වග බලා ගන්නවා. ඒ කාර්යයට ත් එතුමා ට නොසෑහෙන්න උදව් කළ කෙනෙක් තමයි කුපික්කලතිස්ස තෙරණුවෝ. ඉතින් අවුරුදු 14 කට පසුව අවසාන ද්‍රවිඩයා වූ දාඨික පරාජය කරන රජතුමා නැවත සිංහල රාජාවලිය හරි මග ට ගෙන අවුරුදු 12 ක් රජ කම් කරනවා ක්‍රි. පූ. 89 - 77 (බු. ව. 455 - 467). ද්‍රවිඩයින් ගෙන් පළා යද්දී තමා ට අපහාස කළ "ගිරි" නිඝන්යා ගේ ආරාමය බිඳවා එතැන "අභයගිරි" ආරාමය කරවා තමාට උදව් කළ කුපික්කලතිස්ස තෙරණුවන් ට පූජා කරන්න රජතුමා කටයුතු කරනවා. රජුගේත්  නිඝන්යා ගේත් නම් එකතු කොට ආරාමය ට නම් තැබූ බවයි කියවෙන්නේ. පසුව විනය චෝදනා මත මහා විහාරයෙන් මහාතිස්ස නම් හිමියන් නෙරපූ කල ඔහුගේ ගෝලයෙකු වන "බහලමස්සුතිස්ස" සහ තවත් 500 ක් තෙරුන් අභයගිරිය ට පැමිණීම නිසා බොදු ඉතිහාසයේ ප්‍රථම නිකාය භේදය ඇති වුන බව කියවෙනවා. 

සොලී රටට අල්ලා ගෙන ගිය සෝමා දේවිය නැවත ගෙන්වා ගන්න කටයුතු කරන රජතුමා ඇගේ නිර්භීත හා උදාර භාවය ට ගෞරවයක් වශයෙන් සෝමාරාමය කරවනවා.  රජතුමා ගේ අනුග්‍රහයෙන් සිදු වන තවත් වැදගත් ක්‍රියාවක් තමයි එතෙක් කල් කට පාඩමින් ගෙන ආ ත්‍රිපිටකය මාතලේ අළු විහාරයේදී ග්‍රන්ථාරූඨ කරවීම.  

මේ ආකාරයට සිංහල රාජාවලියේ තවත් වැදගත් පරිච්චේදයක් නිමා වෙනවා. 

Monday, January 2, 2012

උසස් පෙළ සහ අතීතයේ දවසක්

සේරටම කලින් හැම දෙනාටම සුබ නව වසරක් වේවා !!

අලුත් අවුරුද්දේ ඉස්සෙල්ලම කතා කරන්න යන මාතෘකාව නම් රසවත් මාතෘකාවක් නෙවෙයි.

2011 උසස් පෙළ ප්‍රතිඵල...කතා කරලම තිත්ත වෙච්ච මාතෘකාවක්....ඉතින් මමත් ඒකම තව ටිකක් පට්ට ගහන එකේ තේරුමක් නැති වුනත් මුකුත් නොලියම බෑ කියල හිතුනේ මෙන්න මේ වීඩියෝව දැක්කට පස්සේ..මේක දැකලා මට මැරෙන්න හිනා.




අනේ මම මේ මනුස්සයට අපහාස කරන්න හදනවා නම් නෙමෙයි. ඒත් එයා අපේ රටේ මිනිස්සු ගැන හිතන විදියනම් හරිම අන්තිමයි.

 "මේ සමීකරණය ඔබලාට පැහැදිළි කරන්න හරිම අමාරුයි. ඒ නිසා නොකිය ඉන්න එක හොඳයි" . ඔන්න මේ වගේ කතාවක් අයින්ස්ටයින් මහත්තයා කිව්වනම් අපිට ඔළුව නවාගෙන පැත්තකට වෙන්න තිබුණා. මෙතුමා ත් එහෙම කතාවක් කිව්වේ ඒ සමිකරණේ එච්චරටම දරුණු එකක් වෙන්ට ඇති මගෙ හිතේ. කිව්වොත් අපිට තේරෙන එකක් නැති හින්දා එතුමා මොළේ කල්පනා කරලා වචන නාස්ති කරන එකෙන් වළකින්න ඇති.

හැබැයි ඉතින් එතුමා කරපු ඇබ්ස්ට්‍රැක්ට් පැහැදිළි කිරීම දිහා බලන්නකෝ..

"පරණ නිර්දේශයේ ඉසෙඩ් අගය වෙනම ගණනය කරන්න...අළුත් නිර්දේශයේ ඉසෙඩ් අගය වෙනම ගණනය කරන්න...ඊට පස්සේ ඒ දෙක ඒකාබද්ධ කරලා...එකට එකතු කරලා...කම්බයින් කරලා...අවසාන ඉසෙඩ් අගය දෙන්න" . හිකිස්‌.... ඕක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක්ද? එතනම වචන කීයක් නම් නාස්තියි ද?

එකතු කලේ කොහොමද ඇහුවම "මෙන්න මෙහෙම" එකතු කරා ලු. අනේ ඒක ඇහුවමනම් මට තරහයි දුකයි එකට කම්බයින් වෙලා ඉබේම හිනා ගියා. මිනිස්සු අතින් වැරදි වෙනවා තමා. ඒත් ඒ වැරැද්ද වහන්න මිනිස්සුන්ව ගොනාට අන්දන්න හදන එක වැරදියි. "ඒකාබද්ධ කරලා...එකට එකතු කරලා...කම්බයින් කරලා"..... එකම තේරුම තියන මේ වචන ටික ඇද ඇද කියන්නෙත් තමන්ගේ ප්‍රකාශයේ තියන හිස් බව වහගන්න කියලයි මට නම් හිතෙන්නේ.

මොනව උනත් මටනම් දුක අපේ නංගිලා මල්ලිලා ගැන...මේ මනුස්සයා ගැනත් දුකයි මට. හැමෝම එයාට හිනා වෙනවා මේ දවස්වල :(

                                        ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~



දැන් ඉතින් අතීතයේ දවසට එන්නම්. මේ දවස මට මතක් කරලා දුන්නේ ශානි නංගිගේ මේ පෝස්ට් එක. උසස් පෙළ ප්‍රතිඵල ආවම හැම කෙනෙක්ටම වගේ අහගන්න ලැබෙන කතා ටිකක් එයා ලියල තිබුණා. ඉතින් ගොඩක් දෙනෙකුට වගේ මටත් ජීවිතේ අමතක නොවෙන දවසක් තමයි උසස් පෙළ ප්‍රතිඵල ආපු දවස. ඊටත් වඩා අමතක නොවෙන දවසක් තමයි ප්‍රතිඵල කියන්න ඉස්කෝලෙට ගියපු දවස.

ඒ දවස්වල අපේ ගෙදරට අන්තර්ජාල පහසුකම් තිබුනේ නැහැ. ඉතින් ප්‍රතිඵල ආපු දවසේ අපි හිටියේ ටවුන් ගිහින්. ලොකු අයියයි (ලොකු අම්මගේ පුතා) අක්කයි දෙන්නත් අපි එක්ක ආවා අක්කට ස්ටේෂන් එකට යන්න තියනවා කියලා. කෝකටත් කියලා විභාග අංකෙත් අරගෙනයි මම ගියේ. ප්‍රතිඵල ඇවිල්ලා නැති උනත් හැම කැෆේ එකකම වගේ ඒ වෙද්දීත් පෝලිම.  ඉතින් ඔය වගේ පෝලිම් කීපයක්ම පහු කරගෙන ගිහින් බැරිම තැන එක තැනකට මගේ අංකෙ දීලා ගියා අපි පස්සේ එන්නම් කියලා. මුලින්ම ලොකු අයියගේ අක්කව ට්‍රේන් එකට දැම්මා. ඊට පස්සේ ඉතින් රෙදි කඩවල් පැත්තේ රවුම් දෙක තුනක් ගැහුවා. හපෝ හිත එකලාසයක් කරගෙන ඇඳුම් තෝරන්න පුළුවන් කමක් තිබුනේ නැහැ එදා :-| මට ලැබෙන්න යන ප්‍රතිඵලේ ගැන යාන්තමට වගේ අදහසක් තිබුණත් පුදුම දෙගෙඩියාවකින් තමයි හිටියේ. ඔහොම ටික වෙලාවක් රවුම් ගහලා ආපහු ගියා අර කැෆේ එක ලඟට. හප්පේ එතන ළමයි මැස්සෝ වගේ පොරකනවා.

"තාමත් ප්‍රතිඵල ඇවිත් නැහැ වගේ", තාත්තා කියද්දි අපිට ඉන්න කියලා අම්මා ගියා තත්වේ බලාගෙන එන්න. මම පිටිපස්සේ වීදුරුවෙන් බලාගෙන හිටියේ අම්මා කැෆේ එකෙන් එලියට එනකන්. පැයකට විතර පස්සේ (ඒ මට දැනුන හැටි) ඔන්න අම්මා එනවා කොල කෑල්ලකුත් අතින් අරගෙන. ඔව්, අම්මගේ මුණේ හිනාවක්‌ :)

"ඔන්න ප්‍රින්ට් කරන්න වෙලාවක් නැහැ කියලා අතින් ලියලා දුන්නා"

එහෙම කියාගෙන අම්මා මගේ අතට දුන්නේ කොපි පොතක පිටුවක්. ඒකෙ කටු අකුරෙන් ලියලා තිබුණා මගේ ප්‍රතිඵලය. මම හිතපු විදියටම, සාමාන්‍යයෙන් ලේසියි කියලා සම්මත විෂයට B එකකුත් එක්ක අනිත් විෂයයන් දෙකට A දෙකක් ඇවිත් තිබුනා. මම පේපර් එකේ නටපු පිස්සුවෙ හැටියට ඔය B එක තිබුන එකත් ලොකු දෙයක්. රෑන්ක් එකත් ඕනෑවටත් වඩා හොඳ තැනක තිබුනා. එවෙලේ මට හිතුන දේ හරියටම මතක නැති උනත් "අම්මෝ ඇති යන්තං ආයේ විභාගේ කරන්න ඕන නෑ" වගේ දෙයක් තමයි හිතුනේ.  හැම දේටම වඩා මට මතක අම්මගෙයි තාත්තගෙයි ඇස් වල තිබුන සතුට.

ඔය අස්සේ අපේ ලොකු අයියා පිඹගෙන යනවා ස්ටේෂන් එක පැත්තට (අවුලක් නැහැ. එයා පළපුරුදු ඩ්‍රයිවර් කෙනෙක්නෙ).

"ට්‍රේන් එක තාම ගිහින් නැතුව ඇති. චන්දි ටත් කියමු"

ඉතින් ඔන්න ස්ටේෂන් එකේ කොනක වාහනේ නවත්තලා ලොකු අයියා ගියා අක්කට නිව්ස් එක දෙන්න. ටික වෙලාවකින් අක්කා දුවගෙන ඇවිත් "හොඳ නංගි" කියලා මාව බදා ගත්ත හැටි මට හොඳට මතකයි. ඒ හැම දෙයක්ම මට අද වගේ මතක, එදා මම වෙනුවෙන් අවංකව සතුටු උන ඒ අය, සැපේදී සතුටු වෙන්නත් දුකේදී දුක් වෙන්නත් තවමත් අපිත් එක්ක ඉන්න නිසා.

ඉතින් එදා ගෙදර යන ගමන් මම ගියේ, අදටත් මම දෙවියෙක්ට වගේ ගරු කරන, හුදෙක් ටියුෂන් ගුරුවරයෙක් හැටියට හඳුන්වන්න අකමැති, අපේ භෞතික විද්‍යාව ගුරුතුමා ට ප්‍රතිඵලය කියන්න. අම්මා තාත්තාගෙන් දැක්කා වගේම සතුටක් ඒ ඇස් වලිනුත් මම දැක්කා.

                                         ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ඊට පහුවදාම අපි ඉස්කෝලේ ගියේ ගුරුවරුන්ට ප්‍රතිඵල කියන්නත් යාළුවොන්ගේ ප්‍රතිඵල දැන ගන්නත් තමයි. උසස් පෙළ පන්තියේ මාත් එක්ක එකටම හිටපු චාරු ට වි.වි. ප්‍රවේශය නූලෙන් මිස් වෙලා තිබුනා (හැබැයි එයා දෙවැනි වතාවේ අපේ කැම්පස් එකටම ආවා. ඊට පස්සේ මාත් එක්ක දිගටම බෝඩිමේ හිටියේත්  එයා තමයි).  හැබැයි මට B තිබ්බ විෂය ට එයාට A. එයා මුලින්ම මගෙන් ඇහුවේ "කොහොමද මැට්ටියේ අච්චර ලේසි පේපර් එකට B එකක් ගත්තේ?" කියලා. දෙයියෝ දනී ඒකනම්.

ඉතින් ගුරුවරු වැඩි දෙනෙක් අපේ රිසල්ට් අහලා සතුටු උනා. අපිට රසායන විද්‍යාව උගන්නපු සර් ට නම් මගේ ප්‍රතිඵලය අදහ ගන්න බැරි උනා ෂුවර් එකටම. සර් පන්තියට එනකොට සර් ට පේන්නම පන්තියෙන් පැනල යන අපි ගැන ඉතින් කුමන කතාද :)

ඔය අස්සේ එහා පන්තියේ පන්ති බාර සර් කාටදෝ බනිනවා අම්බානකට. බලනකොට ඉසෙඩ් ක්‍රමය ට තමයි බනින්නේ. සර් ගේ පන්තියේ හොඳම ගෝලයා, අමා ට A 3 යි ලු. ඒත් මොරටුවට අහු වෙලා නැතිලු. ඒ වගේම B අකුරක් තියෙද්දිත් සමහරු අනිත් අයට වඩා හොඳ ඉසෙඩ් එකකුත් එක්ක මොරටුවට අහු වෙච්ච එක ප්‍රශ්නයක් ලු .  ඉතින් සර් ට ඒකට තද වෙලා. අනේ ඉතින් ඉසෙඩ් ක්‍රමය හැදුවේ මම නෙමෙයි නේ :-/. මම මොනා කරන්නද ඒකට? අමා පස්සේදි මාත් එක්ක කිවුවා "සර් ගේ කතාව නම් වැරදියි" කියලා. මොනවා උනත් මගේ පෞද්ගලික මතය නම් ඉසෙඩ් ක්‍රමය හොඳයි කියන එක. A, B අකුරු වලින් වත්, මුළු ලකුණු වලින් වත් ප්‍රතිඵල දෙකක් සසඳන්න බෑ කියන එකයි මගේ හැඟීම.

කාලෙකින් මුණ ගැහුනේ නැති යාළුවො ටිකත් එක්ක ඉස්කෝලේ ඇරෙනකන්ම ඕපා දූප කියවලා තමයි එදා අපි ගෙදර ගියේ. ඉතින් ඔය විදියට පැණි රස, ලුණු රස මිශ්‍ර උන තවත් දවසක් නිමා උනා.
Related Posts Plugin for WordPress, Blogger...