Showing posts with label භොතික තලයෙන් එහා. Show all posts
Showing posts with label භොතික තලයෙන් එහා. Show all posts

Wednesday, October 5, 2011

මයර්ස් ගේ සත් මහල - මරණින් මතු ජීවිතය 2



මම මරණින් මතු ජීවිතය ලිපියෙදි කිව්වනේ මයර්ස් ගේ සත් මහල ගැනත් කවද හරි ලියන්නම් කියලා. ඔන්න අද ඒ ගැන තමයි ලියන්න යන්නේ.

"ෆ්‍රෙඩ්රික් මයර්ස්" කියන්නේ එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්යවරයෙක් (මේ පින්තූරේ ඉන්නේ එයා තමයි). මේ මහාචාර්ය තුමා ජීවත්ව ඉන්න කාලේ ඉඳලම මරණය සහ මරණින් මතු ජීවිතය ගැන ගොඩක් පරීක්ෂණ කරපු කෙනෙක්. 1901 දී මෙතුමා මිය ගියාට පස්සෙත් මේ පරීක්ෂණ අත ඇරලා නැහැ. එයා ජීවත් වෙලා ඉන්න අයගේ මාර්ගයෙන් තමන්ගේම මරණින් මතු අත්දැකීම් ස්වයංක්‍රීයව සටහන් විදියට ලියෙව්වාලු. මුලදිනම් මේ අසිහියෙන් ලියවෙන සටහන් කාටවත් තේරුම් ගන්න පුළුවන් වෙලා නැහැ.  "මයර්ස්" කියන අත්සනත් සහිතව තමයි මේ සටහන් ලියවිලා තියෙන්නේ. කොහොමහරි සටහන් ප්‍රමාණය වැඩි වෙද්දී මේවා එකට එකතු කරලා තේරුම් ගන්න එතුමාගේ අනුගාමිකයින්ට පුළුවන් වෙලා තියනවා. එතකොට තමයි මේ සත් මහල ගැන විස්තර එලියට ඇවිත් තියෙන්නේ.

මයර්ස් කියන ආකාරයට  මිනිසෙක් මැරුණාම ඔහු එකිනෙකින් ස්වායත්ත මහල්, එහෙම නැත්නම් තල 7 ක ගමන් කිරීම අරඹනවා ලු. එක තලයකින් අනෙක් තලයට පිවිසෙන අතර එක තලයක (මහලක) සිටින කාලය ගැන නිශ්චිතවම කියන්න බැහැ. මේ මහල් 7 එකිනෙකින් ස්වායත්ත උනත් මේ තල හතේම ඉන්න අය භොතික වශයෙන් නම් ඉන්නේ එකම තලයක (අපි ජීවත් වෙන භොතික ලෝකයම තමයි). වෙනස තියෙන්නේ ආධ්‍යාත්මික මට්ටම් වල. මේ මහල් 7 ආධ්‍යාත්මික වශයෙන් කරපු බෙදීමක් පමණයි. එනිසා මෙය තට්ටු 7 කින් යුතු ගෙයක් ආකාරයෙන් සිතීම වැරදියි.

හරි, මෙන්න මහල් 7 ගැන විස්තර...

පළමු මහල (Earth Realm)  :  "භොතික තලය" ලෙස හඳුන්වන මෙය අප ජීවත් වන තලයමයි. මිනිසෙක් මිය ගිය විගසම ඔහු මේ තලයෙන් වෙන් වෙන්නේ නැහැ. මෙහිදී ඔහුට තමන්ගේම මිය ගිය ශරීරය, පවුලේ අය හඳුනා ගැනීමට පුළුවන්. එනිසා ඔහු තවමත් පියවි ලෝකයටම බැඳුනු කෙනෙක් විදිහට තමයි හඳුන්වන්නේ. කොහොම උනත් කෙනෙක් මේ පළමු මහලේ සිටින කාලය සාපේක්ෂව ගොඩක් අඩුයි. ඉතාමත් ඉක්මනින් ඔහු දෙවැනි මහලට ඇතුල් වෙනවා. එහෙත් තමා මිය ගිය බව පිලි ගැනීමට අකමැති හෝ එය අවබෝධ නොවුණු කෙනෙක් වසර ගණනක් උනත් මෙහි රැඳීමට ඉඩකඩ තියනවා.

දෙවැනි මහල (Intermediate Realm) : "අතරමැදි තලය" ලෙස හඳුන්වන මෙහි පැමිණෙන අය තමන්ගේ ඊ ලඟ පියවර ගැන තීරණ ගනු ලබන්නේ මෙහිදීයි. ඇතැම් අය ඉතාමත් ඉක්මනින් නැවතත් ඉපදීමට තීරණය කර මව් කුසකට ඇතුල් වන අතර ඇතැම් අය ඉහළ තල වලට පිවිසීමට තීරණය කරයි. මේ මහල අඳුරු මීදුම ගහන පරිසරයක් ලෙස හඳුන්වා ඇත. ඉහළ මහල් වලට ගමන් කිරීමට තීරණය කරන අය ඊ ලඟට ඇතුල් වෙන්නේ තුන් වන මහලට.

තුන් වන මහල (Realm of Illusion) :  මෙය "මායා තලය" ලෙසද හඳුන්වනු ලබයි. මෙහි පිවිසෙන්නවුන් භෞතික තලයේ මෙන් සාමාන්‍ය ජිවන රටාවක් අනුගමනය කරනවලු. මෙය ඔවුන් විසින් සිතින් මවා ගත් ජිවන රටාවක්. මේ ලෝකය කොයි තරම් සුන්දර උනත් කාටවත් දිගටම එහි රැඳෙන්න ඉඩක් නැහැ. ඉහළ මහල් වල අය මෙහි සිටින අයට කරුණු තේරුම් කර දී ඉහළ මහලට පැමිණෙන ලෙස ආරාධනා කරනවලු. ඒත් සමහරු එයට කැමති වෙන්නේ නැහැ. ඔවුන් නැවත ඉපදීමට තීරණය කරනවා. අනිත් අය සිව් වන මහලට පිවිසෙනවා.

සිව් වන මහල (Realm of Color) :  "වර්ණ තලය" ලෙස හඳුන්වන මෙය ඉතාමත් සුන්දර ලෝකයක් ලෙස තමයි මයර්ස් හඳුන්වන්නේ. මෙහි පිවිසෙන්නේ සිත දියුණු කළ බුද්ධියෙන් වැඩි පිරිසක්. ඔවුන් මෙහෙදී භොතික ලෝකය මගින් ආපසු ඇද ගැනීමට තැත් කිරීමේ ක්‍රියාවලියෙන් නිදහස් වෙනවා. ඔවුන්ට වැඩි නිදහසකුත් ලැබෙනවා. ඇතැම් බුද්ධියෙන් වැඩි අයට මරණින් පසු කෙලින්ම මෙහි පිවිසීමටත් හැකියාව තියනවලු. මයර්ස් මේ තොරතුරු ලබා දෙද්දී ඔහු ඉඳල තියෙන්නේ මේ සිව් වන මහලේ.

පස් වන මහල (Realm of  Flame) : මෙම තලය සහ ඉහළ තල ගැන මයර්ස් විස්තර කර ඇත්තේ අන් අයගෙන් අසා දැනගත් දේ වලිනි. මෙහි සිටින අය කණ්ඩායම් වශයෙන් සංවිධානය වී පහල තල වල සිටින අයට කරුණු අවබෝධ කර ඉහළ තලයට ගෙන ඒමට තැත් කරයි. තවමත් ඇතැම් අය විශේෂ හේතු නිසා (ජීවත් වන අයට අනුකම්පාවෙන්, අත්හදා බැලීම් සඳහා) නැවතත් ඉපදීමට තීරණය කරයි.

හය වන මහල (Realm of Light) : මෙහි ලඟා වීමට ඉතාමත් අපහසුය. මෙහි සිටින අය ඉතාමත් පරිණත අය වන අතර ඒ ඔවුන් භොතික ලෝකයේදී  ලබා ගත් පරිණත බවක් හෝ මරණින් පසු බුද්ධි මට්ටමෙහි සිදු වූ පරිණාමයක් විය හැක. මේ මහලද අතිශයින්ම අලංකාර ය.

සත් වන මහල (Timelessness) : මෙහි ලඟා වෙන්නේ ඉතාමත් සීමිත පිරිසකි. මෙම ඉහළ මහල් විස්තර කිරීමටත් ඉතාමත් අපහසු බව මයර්ස් ගේ අදහසයි. ඔහු දන්නා ආකාරයට ඒවා අතිශයින්ම අලංකාර වන අතර   එහි සිටින්නවුන් බුද්ධියෙන් ඉතාමත් ඉහළ හා පරිණත අය වෙති. කෙසේ වුවත් ඔවුන් ඕනෑම මොහොතක නැවත භොතික තලයට පැමිණීමට ඉඩකඩ තිබේ.

බුදු දහමේ සඳහන් වන දෙව් ලොව නැතහොත් "Heaven" යන සංකල්පය, මෙම ඉහළ මහල් වීමටත් බැරි නැත.
මයර්ස් අත්දුටු ගමන් මාර්ගයට අමතරව වෙනත් ගමන් මාර්ග, වෙනත් තල (අසුර ලෝක, අපාය ආදී) තිබීමටත් බැරි නැත. ඒවා හුදෙක් සංකල්ප පමණක් යැයි බැහැර කිරීම හෝ ඒ අයුරින්ම පිළි ගැනීමද බුද්ධි ගෝචර නැත :) 

Monday, September 26, 2011

මරණින් මතු ජිවිතය


කවුරු උනත් මැරෙන්න බයයි නේද? (එහෙම නැති අයත් ඇති). මේ භයට හේතුව තමන් ආදරය කරන අය දාලා යන්න වෙන එකද? මරණයේදී දැනෙන වේදනාවද? එහෙමත් නැත්නම් මැරුණට පස්සේ අපිට වෙන දේ ගැන අදහසක් නැති කමද? මේ හැම දේම බලපානවා කියලයි මට හිතෙන්නේ.

කොහොම උනත් මටනම් ඒ කාලේ ආසාවක් තිබුණා ඔය මැරුණට පස්සේ වෙන දේ ගැන හොයල බලන්න. (මැරිලා බැලුවේ නැද්ද කියල අහන්න එපා big grin ) .  සමහරු නම් පුනරුප්පත්තියක් ගැන විශ්වාස කරන්නෙත් නැහැනේ. මම නම් විශ්වාස කරනවා ඔන්න. මට හිතෙන විදියට ඒකට ඕන තරම් සාක්ෂි තියනවා. තමන්ගේ පෙර ආත්මේ  ගැන කියන අයත් ඒ කියන විස්තර හොයා ගෙන ගිහින් ඒවා ඇත්ත කියලා සනාථ කරපු  අවස්ථාත් අපි දැකල තියනවනේ.


ඊ ළගට ගොඩක් අය විශ්වාස කරනවා ගන්ධබ්බ අවස්ථාවක් ගැන. කෙනෙක් මැරුණම තවත් කලලයකට ඇතුල් වෙන්න කලින් ටික කලක් (දිග කාලයක් වෙන්නත් පුළුවන්) ගන්ධබ්බයෙක් විදියට ඉන්නවා ලු. හැබැයි සමහරු මේ කතාව පිළිගන්නේ නැහැ. එයාලා කියන්නේ කෙනෙක් මැරුණ ගමන්ම වෙනත් කලලයකට ඇතුල් වෙනවා කියලා. හරියට කූඩල්ලෙක් ගමන් කරනවා වගේ එක තැනක් අත ඇරපු ගමන් තව තැනක් අල්ල ගන්නවලු. මම නම් පිළිගන්නේ පළවෙනි මතය.  මොකද ඔය පෙර ආත්මේ ගැන කියපු අය විස්තර කරන විදියට සමහරු මැරුණ දවසත් නැවත ඉපදුන දවසත් අතර අවුරුදු ගණනක පරතරයක් තියන අවස්ථාත් තියනවා. අනිත් එක එහෙම උනානම් මේ කාරණය පැහැදිලි කරන්න බැරි වෙනවා. අපි හිතුවොත් ජීවීන්ගේ ආරම්භය ගැන, ඒ වගේ ඉතාමත් සුළු ප්‍රමාණයක් ජීවීන් ඉඳපු කාලෙක කැමති එකක් තෝර ගන්න තරම් කළල කොහෙන් හොයන්නද? එතකොට අද ජිවත් වෙන ගොඩක් අය ඒ කාලේ ඉන්න ඇත්තේ  ගන්ධබ්බ ස්වරූපයෙන් නේද? thinking


කොහොම උනත් මේ ගැන ඇත්ත හොයන එකනම් අමාරු වැඩක්. ප්‍රායෝගිකව කරලා බලන්න බැහැනේ. හැබැයි බෙල්ලන ඥානවිමල හිමියන්ගේ පොතක තිබුණා එහෙම කරපු කෙනෙක් ගැන, මහාචාර්ය "මයර්ස්". එයා මැරුණම එයාගේ විස්තර ස්වයංක්‍රීය පැන්සල් වලින් ලියෙව්වලු. එයා ගන්ධබ්බ අවස්ථාව විස්තර කරලා තියෙන්නේ මහල් (layers) හතකින් යුත් ගෙයක ගමන් කරන්නෙක් විදියට. මයර්ස් ගේ සත් මහල ගැන වෙනම ලිව්වොත් හොඳයි (ඒත් මේ ලිපියට කවුරු හරි කැමති උනොත් විතරයි :). අපි ඒ ලෙවල් කරන කාලේ හැම කෙනාම ප්‍රොජෙක්ට් එකක් කරන්න ඕන කියලා නීතියක් ඇවිත් තිබුණා. ඉතින් මම තෝර ගත්තේ මේ මාතෘකාව. රිපෝට් එක හදලා මිස් ට දුන්නම ඇස් පියාගෙනම A එකක් දුන්නා "මට වල පයයි ගොඩ පයයි ඉඳගෙන ඕව කියවන්න බෑ" කියලා big grin


මේ ගැන නම් නොවිසඳුණු ප්‍රශ්න ඕන තරම් තියනවා. ඒත් කවුරු හරි මේ ප්‍රශ්නෙට උත්තරේ දන්නවනම් කියල දුන්නොත් ලොකු දෙයක්..


විශ්වයේ (ජන ගහනය + සත්ව ගහනය  + ගන්ධබ්බයින් ගණන) නියතයක් ද? උදාහරණයක්‌ විදියට ජන ගහනය වැඩි වෙද්දි ඊට සාපේක්ෂව සත්ව ගහනය + ගන්ධබ්බ ගහනය අඩු වෙනවද? (හැමෝම එක පාර ළමයි හැදුවොත් ගන්ධබ්බ හිඟයක් ඇති වෙයිද? thinking) එහෙම නැත්නම් කාලයත් සමග අලුතෙන්  ගන්ධබ්බයින් උත්පාදනය වෙනවද? එහෙමත් නැත්නම් මේවා ගැන හොයන අපිට පිස්සුද? big grin



Related Posts Plugin for WordPress, Blogger...