වෙනදා වගේම එදාත් ටෙහෙරාන් නගරයට ඉර පෑව්වත් වැහි අඳුර නිසා හෝ වෙනයම් අදිසි හේතුවක් නිසා ඉරානයේ ඇමරිකන් තානාපති කාර්යාලයේ කාර්යය මණ්ඩලයටනම් දැනුනේ වෙනදා නොදැනෙන අමුත්තක්. "අල්ලාහු අක්බර්...මග්බර් අමරිකා" කියමින් ඉදිරිපස දොරටු ළඟ පෙරලි කරන ඇමරිකන් විරුද්ධවාදී ජනතාව ඔවුන්ට සුපුරුදු දසුනක් උනත් අන් කවරදාටත් වඩා එදා එය රළු සහ උණුසුම් මුහුණුවරක් ගත් බව කාටත් වැටහුනා.
ඉරාන ජනතාව විසින් ප්‍රතික්ෂේප කර රටින් නෙරපා දැමූ, ඉරානයේ අවසාන රජු හැටියට සැළකෙන "
මුහම්මද් රීzසා ෆලාවී (
Mohammad Rezā Shāh Pahlavī)" ට ඇමරිකාව විසින් රැකවරණය සැලසීම නිසා ඇමරිකානු පුරවැසියෙක් දැකීමත් වහ කදුරු තරමට තිත්ත වූ ඉරාන වැසියන් පවත්වන උද්ගෝෂණ වලිනුත් මිනිස් සංහාර වලිනුත් ටෙහෙරානය පිරී තිබූ කාලයකි ඒ.
දිනය - 1979 නොවැම්බර් 4
ස්ථානය - ඇමරිකන් තානාපති කාර්යාලයය
ඉදිරිපස ගේට්ටුව ළඟ අරගල කළ කැරලි කරුවන් බලෙන් ගේට්ටු අරවාගෙන ඇතුලට එන බව දුටු කාර්ය මණ්ඩලය භීතියට පත් උනත් අවස්ථාවේ හැටියට ඔවුන්ට කළ හැකි සෑම දෙයක්ම කිරීමට වගබලා ගත්තා. ඇතැමෙක් වීසා මුද්‍රණ අච්චු විනාශ කරද්දී තවත් අය, ඉරානයින් අතට පත් නොවිය යුතු ලියවිලි ආදිය විනාශ කරමින් අවසාන මොහොතේත් තමන්ගේ රාජකාරිය ඉටු කරා. මේ අතර ගොඩනැගිල්ලේ විදුලි සැපයුම කපා දැමූ කැරලි කරුවන් වහලට නැග දුම් බෝම්බ දැමීම අරඹා තිබුණා. ගඟක් ගලන්නා සේ ගේට්ටුවෙන් ඇතුලට ඇදී ආ කුපිත වූ ජනතාව අතරෙන් වෙඩි හඬ කිහිපයක් ඇසෙත්ම එහි තව දුරටත් රැඳීම කිසි සේත්ම නුවණට හුරු නොවන බව ඇමරිකන් සේවකයින්ට වැටහුණා.
වාසනාවකට මෙන් ඔවුන් සේවය කළ ගොඩනැගිල්ලෙන් කෙලින්ම වීදියකට බසින ආකාරයට පිට වීමේ දොරටුවක් තිබුණු නිසා පැන යාමට මාර්ගයක් තිබුණා. ඔවුන්ගේ සැලසුම උනේ පුද්ගලයින් පහක් හෝ හයක් බැගින් කුඩා කණ්ඩායම් සැදී මුලින්ම තානාපති කාර්යාලයේ සේවය කළ ඉරාන සේවකයින්ද, දෙවනුව විවාහක ජෝඩු ද, අවසානයට ඉතිරි ඇමරිකන් සේවකයින්ද වශයෙන් විවිධ දිශා වලට පලා යාමයි. එම ගොඩ නැගිල්ලේ ඇමරිකානුවන් 12 දෙනෙක් ද ඉරානයින් 40 ක 50 ක පමණ ප්‍රමාණයක්ද සේවය කළා. සැලසුම් කළ ආකාරයට වීදි බට ඔවුන් විවිධ දිශාවන්ට ගමනාරම්භ කළා.
උතුරු දිශාවට ගිය කණ්ඩායම වැඩි වෙලාවක් නොගොස් කැරලි කරුවන් අතට අසු වූ නිසා නැවතත් තානාපති පරිශ්‍රය ට ගෙන එනු ලැබුවා. බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට ඇතුල් වීමේ අදහසින් බටහිර දෙසට ගිය තවත් කණ්ඩායමක් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය පෙනෙන මානයටම ආවත් එහිදී තවත් ඇබැද්දියකට මුහුණ දෙන්න ඔවුන්ට සිද්ධ වෙනවා. මේ කණ්ඩායමට අයත් උනේ "
ජෝෂප් සහ කැතලින් ස්ටැෆඩ් යුවළ", "
මාක් සහ කෝරා ලිජේක් යුවළ", "
රොබට් ඇන්ඩර්ස් නම් ජේෂ්ට නිලධාරියෙක්" සහ ඉරාන සේවකයෙක් පමණයි. බ්‍රිතාන්‍ය කාර්යාලය පෙනි පෙනී තිබෙද්දී ඔවුන්ට දකින්න ලැබුනේ උද්ගෝෂකයින්ගේ තවත් පෙළපාලියක්. ඔවුන්ට ඒ දෙසට නොයන ළෙසට අවවාද කරපු කණ්ඩායමේ සිටි ඉරාන සේවකයා සෙනගත් සමග මිශ්‍ර වී නොපෙනී ගියා.
ඉතිරි වූ ඇමරිකානුවන් පස් දෙනාට ඉතිරි උනේ එක විකල්පයයි. කැරලි කරුවන් මග හරිමින් සිග් සැග් ගමනක යෙදුනු ඔවුන් අවසානයේ "රොබට් ඇන්ඩර්ස්" ගේ කුලී නිවස වෙත ලඟා උනා. ගෙතුලට වැදුණු ඔවුන් මුලින්ම කළේ රේඩියෝව දමා තානාපති කාර්යාලයේ තොරතුරු ජාලයට සම්බන්ධ වී තත්ත්වය පිරික්සීම. ට්‍රක් වල පටවා ගෙනෙන රයිෆල් ඇතුළු ආයුධ, කැරලි කරුවන් විසින් බිමට බාමින් තිබූ අයුරු ඔවුන්ට දැන ගන්නට ලැබුණා. මේ අතර වෙනත් ගොඩනැගිලි වල සේවය කළ ඇමරිකානුවන් 52 ක් ප්‍රාණ ඇපකරුවන් ලෙස අල්ලාගෙන තිබුණා. තවත් ටික වෙලාවක් යද්දී තොරතුරු ජාලයෙන් ඇසුණු ඉංග්‍රීසි කටහඬවල් නැත්තටම නැති වෙලා "පාසි" භාෂාව පමණක් ඇහෙන්න ගත්තා. මේ වෙලාවේදී ඔවුන්ට තේරුණා අනුන්ගේ රටක කාගේවත් පිළිසරණක් නැතුව තමන් කොටු වෙලා බව. දින කීපයක්ම එකිනෙකාගේ නිවෙස් වල සැඟවී සිටියත් එය වැඩිකල් කළ හැකි සෙල්ලමක් නොවන බව වීදි පුරා තමන් සොයමින් සිටි "මරණය" දුටු ඔවුන්ට තේරුම් යන්න වැඩි කලක් ගියේ නැහැ. දුරකථන ඇමතුමක් ගැනීම පවා අවස්ථාවේ හැටියට අන්තරාදායක උනා.
අවසානයේදී අන්තරාය පසෙක ලා රොබට් විසින් ඇමතුමක් ගන්නවා කැනේඩියන් එම්බසියේ වැඩ කරන "
ජෝන් ශියර්ඩවුන්" නම් ඔහුගේ මිතුරෙකුට. දෙවියන් එවූ මිතුරෙකු සේ ඔවුන්ට පිහිට වූ කැනේඩියන් ජාතික ජෝන්, ඔවුන්ගෙන් විමසා සිටියේ ඊට කලින් ඔහුට කතා නොකළේ ඇයි දැයි යන්නයි. අසරණ වූ ඇමරිකානුවන් තම වාසස්ථානයට ගෙන ගිය පසු තවත් "
හෙන්රි" නම් පණ බේරා ගත් ඇමරිකන් තානාපති කාර්යාල සේවකයෙන් ඔහු වෙත පැමිණෙනවා .
සේවකයින් සය දෙනා එවකට ජනාධිපති සමග
පසුව ආරක්ෂාව සළකා කණ්ඩායම දෙකට බෙදන ශියර්ඩවුන්, ඉන් තිදෙනෙක් කැනේඩියන් තානාපති "
කෙන් ටේලර්" ගේ නිවසට පිටත් කරනවා. මේ ආකාරයට ඉඳුම් හිටුම් ලැබෙන ඔවුන්ට සියළුම සුඛෝපභෝගී කෑම බිම සහ වෙනත් දේ ලැබුනත් නිවසින් එලියට එක අඩියක් තැබීමට අවස්ථාවක් නැහැ. එය කොයි තරම් වෙහෙසකර දෙයක් වන්නට ඇත්ද? ඔවුන්ට එසේ සැඟවෙමින් සිටීමට සිදු වූ කාලය දින 444 ක්.
~~~~~~~~~~~~~~~
මේ අතර ඉරාන කැරලිකරුවන් විසින් අත්පත් කරගත් තානාපති කාර්යාලයේ අමුතුම මාදිලියේ කටයුත්තක් සිද්ධ වෙමින් තිබුණා. සේවක මණ්ඩලය පලා යාමට පෙර ශ්රෙඩර් යන්ත්‍ර ආධාරයෙන් කීතු කරනු ලැබූ ලිය කියවිලි මිනිස් ශ්‍රමය යොදා ගෙන නැවතත් කෑලි අමුණා සම්පූර්ණ කෙරෙමින් තිබුණා. සේවකයින් ගණන, ඔවුන්ගේ ඡායා රූප සහ විස්තර මේ හැම දෙයක්ම අනාවරණය වෙමින් තිබුණා. ඒ වගේම සේවකයින් කිහිප දෙනෙක් ඔවුන්ගෙන් මිදී පැන ගොස් ඇති බව අනාවරණය වෙන්නත් වැඩි දවසක් ගියේ නැහැ.
මේ හැම දෙකින්ම පැන නැගුන එකම අවශ්‍යතාවය නම් කෙසේ හෝ මොවුන් හය දෙනා ඉරානයෙන් පිට කර ගැනීමයි. ඇමරිකන් සහ කැනේඩියන් ආණ්ඩු දෙකම මේ සඳහා සැළසුම් අඳිමින් සිටියා. මේ සඳහා ඉදිරිපත් උන එක යෝජනාවක් නම් දේශ සීමාව පනින තුරු බයිසිකල් පැදගෙන ඒමට ඔවුන්ට දැනුම් දීමයි. මෙවැනිම තවත් ප්‍රායෝගික නොවන යෝජනා කීපයක් ඉදිරිපත් උනත් අවසානයේ ඇමරිකන් CIA නිලධාරී "
ටෝනි මෙන්ඩේස්" විසින් වෙනස්ම විදියේ සැළසුමක් ඉදිරිපත් කරනවා.
එහි පළමු පියවර උනේ මේ හය දෙනාට කැනේඩියන් අනන්‍යතාවයන් (ගමන් බලපත්‍ර, වීසා ඇතුළු) සාදා දී ඔවුන් කැනේඩියන් වැසියන් බවට පත් කිරීම. කැනේඩියන් වැසියන්ට ඉරාන ගුවන් තොටුපලේදී ප්‍රශ්න ඇති වීමේ ප්‍රවණතාව ඉතාමත් අඩුයි. ඇමරිකානුවන් සහ කැනේඩියානුවන් බොහෝ දුරට සමාන බවක් උසුලන නිසා මෙය ඉතාමත් ප්‍රායෝගිකද උනා. මේ කාර්යය ඉතාමත් පහසු උනේ ඔවුන්ට කැනඩා රජයේ අනුග්‍රහය නොමදව ලැබුණු නිසා. එහෙත් ප්රශ්නය එතනින් කෙලවර උනේ නැහැ. කැනේඩියානුවන් සය දෙනෙකුට උනත් ඉරානයට පැමිණීමට පිළිගත හේතුවක් තිබිය යුතුයි. ඔවුන් පිටව යන අවස්ථාවේදී ඔවුන් මෙහි පැමිණි කාරණය ගැන ප්‍රශ්න කරනු නියතයි. එම ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ නොදුන්නොත් ඔවුන්ට නිසැකවම සිදු වන්නේ මරු වැළඳ ගැනීමටයි.
මේ රඟ දැක්වීම සඳහා යෝජනා කීපයක් ඉදිරිපත් උනා. ඉන් එකක් තමයි ඔවුන්ව ජාත්‍යන්තර පාසල්වල ගුරුවරු ලෙස හඳුන්වා දීම. එහෙත් සියලුම ඉංග්‍රීසි පාසල් වසා දමා තිබූ නිසා එය ප්‍රායෝගික උනේ නැහැ. තවත් යෝජනාවක් තමයි කෘෂි කාර්මික පරීක්ෂකවරුන් ලෙස රඟපෑම. ඒත් ඒ 1980 ජනවාරියෙදී ඉරානයට හිම සහිත සීත කාලය ලබා තිබූ බැවින් කෘෂිකාර්මික කටයුතු ගැන කතා කිරීම විහිළුවක් උනා. මේ යෝජනාවලට විරුද්ධ උන ටෝනි මෙන්ඩේස් සතියක්ම කල්පනා කරලා ඉතා නිවැරදි, ප්‍රායෝගික සැළසුමක් ඉදිරිපත් කළා. ඒ තමයි ව්‍යාජ හොලිවුඩ් චිත්‍රපටයක් ඉරානයේ රූ ගත කිරීම සඳහා ස්ථාන පරික්ෂාවකට ගිය චිත්‍රපට කණ්ඩායමක් මෙන් රඟපෑම.
ටෝනි මෙන්ඩේස් මෙය කොයි තරම් නිවැරදිව සැලසුම් කරාද කිව්වොත් දවස් හතරක් ඇතුලත ඔහු සමත් උනා ව්‍යාජ හොලිවුඩ් නිෂ්පාදන ආයතනයක් නිර්මාණය කර සිර වී සිටින ඇමරිකානුවන් හය දෙනාටම එහි නොයෙක් තනතුරු අනුයුක්ත කර (තිර රචක, අධ්‍යක්ෂක, දෙබස් රචක ආදී ) බිස්නස් කාඩ් පත් මුද්‍රණය කරන්නත්, චිත්‍රපටය සඳහා කතාවක් සොයාගෙන නියම ආකාරයෙන් තිර රචනයක් සකසන්නත්. මේ සඳහා ඔහුට හොලිවුඩයේ සිටි ඔහුගේ මිතුරු සබඳතා ("
ජෝන් චේම්බර් සහ
බොබ් සයිඩෙල්") බෙහෙවින් උපකාරී උනා. පිට සක්වල සහ අනාගත ජීවින් තේමාව කරගත් මේ ව්‍යාජ චිත්‍රපටයේ නම උනේ,
"
ආ(ර්)ගෝ - Argo"
මේ චිත්‍රපට ආයතනය ගැන ඉරානයෙන් සොයා බැලීමක් කළොත් කිසිම සැකයක් ඇති නොවන ආකාරයට ලිපින, දුරකථන අංක ඇතුළුව සියළු දේ සැබෑ ආයතනයක ආකාරයට ස්ථාපිත කරන්න ඔවුන් වග බලා ගත්තා.ආයතනයේ දොරේ "
studio six productions" නමින් පුවරුවකුත් එල්ලුවා. "six" කියන වචනය ඒ කටයුත්තට හරියටම ගැලපුනා :). ඒ විතරක් නෙමෙයි චිත්‍රපටය සඳහා පෝස්ටර් නිර්මාණය කර මසකට සරිලන රූ ගත කිරීම් සඳහා තිර සැකසුමක්ද ලියනු ලැබුවා.
~~~~~~~~~~~~
කිසිමඅඩුවක් නොවන ආකාරයට සියළු දේ ස්ථාපිත කළ ටෝනි, 1980 ජනවාරි 25 වන දින යුරෝපය හරහා ඉරානය බලා දෛවෝපගත ගමනක් අරඹනවා. ඔහු කැනේඩියන් පුරවැසියෙකු ලෙස "කෙවින්" නම් අන්වර්ථ නමක් අරගන්නවා. ඉරාන වීසා ලබා ගන්නේ ජර්මනියේදී. ඉරානයේ ගුවන් තොටුපළට ගොඩ බැසි ටෝනිට දකින්න ලැබුනේ බිහිසුණු කැරලි කරුවන් විසින් ගුවන් තොටුපළ අත්පත් කරගෙන තිබුණු ආකාරය. හැමදේම සිදු උනේ ඔවුන්ගේ අධීක්ෂණය යටතේ. සියුම් හිරියක් තමන්ගේ කොඳු නාරටිය දිගේ ඉහළට යනු දැනුනත් හැකි තරම් සන්සුන්ව තුවක්කු අතින්ගත් කැරලි කරුවන් අතරින් ඉදිරියට ඇදී කැනේඩියන් තානාපති කෙන් ටේලර් හමු වෙනවා. ටෝනි, කලින්ම ඔහුගේ මෙවලම් මල්ල ටේලර් වෙත තැපැල් මගින් එවා තිබුණා. එහි තිබුනේ මොනවද? දක්ෂ බුද්ධි නිලධාරියෙකුට හැඟෙන පරිදි අවශ්‍ය වෙන හැම පුංචි මෙවලමක්ම.
ව්‍යාජ කැනේඩියානු සෞක්‍ය / රියදුරු බලපත්‍ර
කැනේඩියානුවන් ඇඳුමට සවි කරන මේපල් කොළ ලාංඡන
කැනඩාවේ ටොරන්ටෝ හි ආපන ශාලා වලින් ආහාර ගත් බව සනාථ කරන බිල් පත්
Studio Six බිස්නස් කාඩ්ස්
චිත්‍රපට රූ ගත කරන කැමරා කාච
ආ(ර්)ගෝ චිත්‍රපටයේ තිර සටහන්, පෝස්ටර් සහ අනෙකුත් දේ
ඇමරිකානුවන් 6 දෙනා සඳහා තැනූ කැනේඩියන් ගමන් බලපත්‍ර
ටේලර් ගේ තානාපති කාර්යාලයේදී ඔහුව හමු වන ටෝනි, ගමන් බලපත්‍ර හයට ඉරාන වීසා ප්‍රින්ට් කර ගන්නේ ටේලර්ගේ උදව්වෙන්. පසුව එහි දින සටහන් යොදනවා ඔවුන් රටට ඇතුල් උනේ ටෝනි පැමිණි දිනයේම බව ඒත්තු ගැන්වීම සඳහා.
මේ සියල්ල මෙසේ සූදානම් කළත් එකම පරහක් ඉතිරි වෙනවා. ඉරානයට ගොඩ බසින්නෙකුට සුදු සහ කහ පැහැයෙන් ෆෝරම දෙකක් ලැබෙනවා පිරවීම සඳහා. සුදු පිටපත ඔවුන් භාරයේ තබා ගන්නා අතර කහ පිටපත මගියාට දෙනවා. නැවත ඔහු පිටව යන දිනක මගියා ළඟ ඇති කහ පිටපතත් ආගමන විගමන නිලධාරීන් ළඟ ඇති සුදු පිටපතත් සැසඳීමක් කෙරෙනවා. මේ ඇමරිකානුවන් 6 දෙනාට කහ පිටපත් 6 ටෝනි සහ ටේලර් එකතු වී සකස් කළත් ඒවාට අදාළ සුදු පිටපත් ඉරාන නිලධාරීන් ළඟ නැහැ. ඒ නිසා ඔවුන් පිටව යද්දී පිටපත් සැසඳීමක් කළොත් ප්‍රශ්නයක් ඇති වීම නිසැකයි. මෙවන් අවස්ථාවලදී වාසනාව උරගා බලනු හැර වෙනත් විසඳුමක් බුද්ධි නිළධාරීන් සතුවත් නැහැ. අනෙක් සියළු දේ නිවැරදි නිසා සුදු පිටපත් ගුවන් තොටුපලේ නිලධාරීන් අතින් අස්ථානගත වී ඇති බව ඒත්තු ගැන්වීමයි කළ හැකි එකම පිළියම.
මේ සියල්ල සකසාගෙන එදින රාත්‍රී භෝජනයේදී ටේලර් විසින් ඇමරිකානුවන් සය දෙනාට ටෝනිව හඳුන්වා දෙනු ලබනවා. ටෝනි තමාගේ සැළසුම ඔවුන්ට පැහැදිලි කළ පසු මුලින් ඔවුන් එයට අදිමදි කළත් පසුව එකඟ වෙනවා.
මේ අතර ඔවුන්ගේ Studio Six ආයතනයේ සිටි ජෝන් සහ බොබ් ට වැඩ අධික කාලයක් උදා වී තිබුණා. ඔවුන්ට ලබා දී තිබුණු දුරකථන වලින් දෙකක් විනාඩියක් පාසා නාද වෙමින් තිබුණා. ඒ පත්තර/සඟරා කරුවන්ගෙන් සහ චිත්‍රපටවල රැකියා සොයන්නන්ගෙන්. කොයි මොහොතක හෝ එම ඇමතුම් වලින් එකක් ඉරානයෙන් විය හැකි බැවින් ඔවුන් මහන්සි නොබලා එම ඇමතුම් වලට පිළිතුරු දෙමින් සිටියා. එම දුරකථන දෙකේ අංක පමණයි ප්‍රසිද්ධ කර තිබුනේ. ඉතිරි දුරකථනය ඔවුන්ට සහ CIA ආයතනයට පමණක් විශේෂ වූ රහසිගත එකක්. වැරදිලාවත් එය නාද උනොත් එහි තේරුම ටෝනි ඇතුළු පිරිස විශාල කරදරයකට මුහුණ පා ඇති බව හෝ ඔවුන් යහතින් ඇමරිකාවට පැමිණ ඇති බව වග ඔවුන් දැන සිටියා. එනිසා ඔවුන් ඒ දුරකථනය දෙස බැලුවේ විස්තර කළ නොහැකි නොඉවසිල්ලකින්.
1980 ජනවාරි 28 වන දින උදෑසන ටෝනි සහ ඇමරිකානුවන් 6 දෙනා "මෙහ්රාබාද්" ගුවන් තොට වෙත යාම සඳහා සැරසී සිටියා. සැළකිය යුතු වෙස් වලා ගැනීමක් නොකළ ඔවුන් කොන්ඩ මෝස්තර, රැවුල් පමණක් වෙනස් කරගෙන තිබුණා. ටෝනි අන් අයට පෙර ගුවන් තොටුපළ වෙත ලඟා වී අනතුරක සේයාවක් ඇත්දැයි විමිසිලිමත් වෙමින් සියලු ආරක්ෂක කපොළු ගැන පරීක්ෂාවෙන් සිටියා. මේ අතර වෑන් රථයකින් ගුවන් තොට වෙත පිටත් වූ "සය දෙනා" රථය තුලදී තමන්ගේ අන්වර්ථ නම්, ගම් සියල්ල කටපාඩම් කරමින් තම දේශය බලා ඉගිලී යාමට හැකි පමණ සූදානම් වෙමින් සිටියා.
ටෝනි ඔවුන්ගේ පිටත් වීම සඳහා තෝරා ගෙන තිබුනේ මෙහ්රාබාද් ගුවන් තොටුපළ කලබලකාරී නොවන උදෑසන වෙලාවක්. මේ නිසා ඒ වෙලාවට එහි කටයුතු වලට ඇඟිලි ගැසීමට එතරම්කැරලි කරුවන් පැමිණෙන්නේ නැහැ. අවසානයේ ටෝනි ගේ සංඥාවකට අනුව අපේ චිත්‍රපට කණ්ඩායම ගැහෙන පා වලින් ගුවන් තොටුපලට ඇතුළු වෙනවා. අවුරුද්දකට වැඩි කාලයක්ම ඔවුන් වාසස්ථානයෙන් එලියට පය තියා තිබුනේ නැහැ. ඒ වගේම ඔවුන් හඳුනා ගනීවිද යන සැකය නිතරම සිතට වද දුන් කාරනාවක් උනා.
"ස්විස් එයාර්" කවුන්ටරයෙන් ගමන් මළු බාර දීම කරදරයක් නැතුව සිදු උනත් විගමන නිලධාරියා ඔවුන්ගේ ගමන් බලපත්‍ර රැගෙන ඉවතට යාම නිසා දියෙන් ගොඩ දැමූ මාළුන් මෙන් ගැහෙමින් ඔවුන් බලා සිටියේ ඔහු නැවත පැමිණෙන්නේ මරණය අතැතිව විය හැකි බැවිනි. එහෙත් තේ කෝප්පයක්ද රැගෙන නැවත පැමිණි නිලධාරියා ඔවුන්ට පිටත් වීමේ වේදිකාවට යන ලෙස සන් කළේය. ඔහු කහ සහ සුදු පිටපත් පරීක්ෂා කිරීමක් කර තිබුනේ නැහැ. දෙවියන්ට ස්තුති කරමින් ඒ ස්ථානය පියමන් කළ කණ්ඩායම ගුවන්යානයට ගොඩ වැදීමට බලා සිටියේ බිමට නවා ගත් හිසින් යුතුව.
මේ වන විට කැරලි කාර භටයින් ගුවන් තොටට පැමිණීමට පටන් ගෙන තිබූ නිසා ගුවන් යානය කාර්මික දෝෂයක් හේතුවෙන් විනාඩියෙන් විනාඩිය පමා වෙද්දී ඔවුන්ගේ හද ගැස්ම ඊට සමානුපාතිකව ඉහළ යනු දැනුනා. ටෝනි විසින් ප්‍රමාදය ගැන විමසීමක් කළ අතර එය ඉක්මනින්ම ගමනට සූදානම් කරන බව දැනගන්නට ලැබුණා. කල්පයක් සේ දැනුනු විනාඩි කිහිපයකට පසු ඔවුන්ගේ ගැලවුම්කාර කුරුල්ලා වූ ස්විස් 363 යානයට ගොඩ වීමට ඔවුන්ට වරම් ලැබුණා. ගුවන් යානයේ ඉදිරිපස "ආර්ගවු" යන වචනය ලියා තිබෙනු දුටු ඇන්ඩර්ස්, ටෝනි ගේ අත කොනිත්තා මෙසේ ඇසුවේය
"
You guys arrange everything, don’t you?"
ටෝනි ගේ මුහුණට නැගුනේ සිනහවකි.
ආර්ගවු යනු ඒ ස්විස් ගුවන් යානය උපත ලද ප්‍රදේශයේ නමයි. එය "ආර්ගෝ" යන නමට සමාන වීම දෛවෝපගත සිදු වීමක් ලෙස ඔවුන් දිටීය.
යානය රෝද හකුලා ඉරාන පොළවෙන් ඉහළට නගිද්දී වෙන කවරදාකවත් නොදැනුනු තරමේ ආත්ම තෘප්තියකින් එළිය වුනු ටෝනි ගේ මුහුණේ ලාවට සිනහවක් ඇඳි තිබෙනු කිසිවෙකු දුටුවේ නැත. ඉරාන දේශ සීමාවෙන් එළියට පැමිණි යානයේ මත් පැන් හල විවෘත කළ පසු තම පසු පසින් අසුන් ගෙන සිටි කණ්ඩායම වෙත මධු විතක් ඉහළට එසවූ ටෝනි සව්දිය පිරුවේ හදවතින්මය...
"
We’re home free..."
තවත් පැය කිහිපයකට පසුව Studio Six ආයතනයේ තුන්වන දුරකථනය හැඬවිනි. ඒ එය ලැබූ පළමු සහ අවසාන ඇමතුමයි..
"
It’s over, They made it out."
~~~~~~~~~~~~~~~~
ඇමරිකන් තානාපති සේවකයින් සය දෙනා ගලවා ගැනීම සඳහා තම දිවි පරදුවට තබා කටයුතු කළ
ටෝනි මෙන්ඩේස් ට "ඉන්ටෙලිජන්ට් ස්ටාර්" සම්මානය ලබා දුන්නේද රහසේමයි. මෙහෙයුම පිලිබඳ තොරතුරු ජනාධිපති බිල් ක්ලින්ටන් විසින් 1997 දී අනාවරණය කරන තුරු මේ සම්මානයද රහසක්ව පැවතුණා. සම්මානය ලොවට ප්‍රදර්ශනය කිරීමට වඩා බුද්ධි නිලධාරියෙකුට තම ආත්ම තෘප්තිය වැදගත් වනු ඇත.
ටෝනි වර්තමානයේ
මෙහෙයුමත් සමගම අතුරුදන් වී ගිය "ආ(ර්)ගෝ" චිත්‍රපටය, වසර 32 කට පසු 2012 දී රිදී තිරයට පැමිණ ඇත. එහෙත් එහි අඩංගු වන්නේ පිට සක්වල සම්බන්ධ කතා පුවතක් නොවේ.
බෙන් ඇෆ්ලෙක් විසින් නිෂ්පාදිත ආ(ර්)ගෝ චිත්‍රපටයේ දිග හැරෙන්නේ, ටෝනි ගේ "සය දෙනා ගලවා ගැනීමේ රහස් මෙහෙයුම" සම්බන්ධ කතා පුවතයි. කෙසේ හෝ අවසානයේ, ආ(ර්)ගෝ කරලියට පැමිණ ඇත.
ප. ලි - ස්තුතිය...බලෙන්ම මට ආ(ර්)ගෝ පෙන්නවූ සයුරු ට. එය පසු පස ඇති සැබෑ කතාව සොයා ලිපියක් ලිවිම සිතුනේ එය ඒ තරම් සිත් ගන්නා සුළු චිත්‍රපටයක් වූ නිසයි. ( නාට්‍ය රසය සහ ත්‍රාසය දැනවීම සඳහා ඇත්ත කතාවේ නොමැති සිදු වීම් කිහිපයක් චිත්‍රපටයට එක් වී තිබුනත් එයද අනර්ඝ ආකාරයේ නිර්මාණයක් බව නොකියාම බැරිය).