Monday, October 31, 2011

ගියේ දිය තලාවෙනම් කොහොමද කළු ගඟෙන් මතු උනේ ?


මේ කියන්න යන කතාව මට මතක් උනේ, සමහර බිරින්දෑවරුන් තමන්ගේ ස්වාමි පුරුෂයාව පාලනය කරගෙන ඉන්න විදිය ගැන පත්තරේක ගියපු ලිපියක් දැක්කම.

ඉස්සර අපේ තාත්තගේ ඔෆිස් එකෙන් හැම අවුරුද්දෙම වගේ ට්‍රිප් එකක් යනවා. අපිත් ඒකට යන්න සැදී පැහැදී තමයි ඉන්නේ. ඉතින් මේ ඔෆිස් එකේ අංකල් කෙනෙක් හිටියා "විජේ අංකල්" කියලා. එයාගේ නෝනා හරිම සැරයි ලු. කොටින්ම විජේ අංකල් ටත් පොඩි එකෙක්ට වගේ තහංචි ගොඩක් දාල ලු තියෙන්නේ shame on you.
හැබැයි මේ අන්කලුත් හොඳවයින් කණ මදයෙක්. ඒක නිසා තහංචි දැම්මට කමක් නෑ කියලයි මට නම් හිතුනේ.


ඉතින් දැන් විජේ අංකල්ට බයයි ලු  "ට්‍රිප් එක යන්නද?" කියලා නෝනගෙන් අහන්න. ඇහුවොත් කීයටවත් යන්න දෙන්නේ නැති බව හොඳටම ෂුවර් ලු. ඉතින් විජේ අංකල් මේකට මරු වැඩක් කලා. ඔපීසියේ ටයිප් රයිටරේකින් තමන්ටම ලියුමක් ටයිප් කර ගත්තලු මෙන්න මේ විදියට....

විජේපාල මහතා
--- නිවස
---- ගම
                                   පුහුණුව සඳහා කැඳවීම
                                  __________________


දියතලා ---- මුලස්ථානයේ පැවැත්වෙන දින 4 ක පුහුණුව සඳහා ඔබව කැඳවා ඇත. මේ පුහුණුව සඳහා ඔබේ සහභාගිත්වය අනිවාර්ය වන අතර පුහුණුව පිළිබඳ වැඩි විස්තර පහත සඳහන් වේ..
..........................
(පුහුණුව පළිබඳ ගල් පැලෙන විස්තර)
...........................

මොකක්දෝ සීල් එකකුත් හොයාගෙන ප්‍රොෆෙෂනල් ගතිය එන්න සීල් එකකුත් ගැහුවලු. අංකල්ගේ අපාය සහාය මිත්‍රයෝ ටික තමයි මේකට සප් එක දීලා තියෙන්නේ.  කොහොමහරි ඉතින් ඔය ටයිප් කර ගත්තු ලියුම සාක්කුවේ දාගෙන ගෙදර ගියපු විජේ අංකල් ෂර්ට් එක එල්ලලා තියලා නෝනට අහු වෙන විදියට. ඉතින් වැඩේ ටක්කෙටම හරි ගිහිල්ලා.ෂර්ට් එක හෝදන්න අරගෙන යද්දී ලියුම දැකපු නෝනා,

"දැන් ඉතින් යන්න වෙයි නේද?" කියල ඇහුවලු.

අංකල් (කටින්) : "හ්ම්"
අංකල් (හිතින්) : dancing

කොහොම හරි ගෙදරට ගල් පැලෙන බොරු කියලා අන්තිමේදී විජේ අන්කලුත් ආවා ට්‍රිප් එක යන්න. ඔන්න ඉතින් උඩ රට, මැද රට ඔක්කොම කවර් කර ගෙන අවසාන බාගේ දි අපි ආවේ කළුතර දිහාට. කට්ටියට ඕන උනා කළු ගඟේ බෝට්ටු සවාරියක් යන්න. ඉතින් හොඳටම පදම් වෙලා හිටපු විජේ අන්කලුත් ඇවිත් නැග්ගේ අපි හිටපු බෝට්ටුවට. දැන් ඔන්න බෝට්ටුව යන්න ගත්තා....

වැහැලා වැහැලා වතුර හොඳටම මඩ පාටයි. සැඩ පාරත් ඒ වගේ. බෝට්ටුවත් එහාට මෙහාට පැද්දෙන්න ගත්තම කටිටියම පොඩ්ඩක් බය උනා. ඉතින් කටිටියම බය නැති වෙන්නත් එක්ක එක එක කතා කියද්දී විජේ  අංකල් විතරක් පැත්තකට වෙලා ෆුල් අප්සෙට් එකේ ඉන්නවා worried

ඕක දැකපු අනිත් කට්ටිය විජේ පාල අංකල්ව බයිට් කරන්න ගත්තා. එක්කෙනෙක් කිව්වා "මැරෙන්න ඔච්චර බය වෙන්න එපා" කියලත්. ඒකට විජේ අංකල් දුන්නා මරු උත්තරයක්‌....

"කවුඩ අයිෂේ මැරෙන්ඩ බය?...... මම ගෑනිට කියල ආවේ දියතලාවේ යනවා කියලා....දැන් කළු ගඟෙන් මිනිය ගොඩ ගන්න උනොත් එහෙම....මට විෂුමක් වෙන එකක් නෑ"

බෝට්ටුව එළවපු කොලුවටත් හිනා මේ කතාව අහලා.....

Friday, October 28, 2011

මැමත් කේව්



මැමත් කේව් පිහිටල තියෙන්නේ හඳ අල්ලපු රටේ "කෙන්ටකි" ප්‍රාන්තයේ. කියන විදියට නම් මේක තමයි ලෝකේ ලොකුම / දිගම, පොළව යට පිහිටි (අන්ඩර් ග්‍රවුන්ඩ් :) හිරි ගල් ගුහාව. මේකට "මැමත් කේව්" කියල නම වැටිලා තියෙන්නෙත් ඔය විශාල කම හින්දලු (අලි ගුහාව කියන තේරුම වෙන්න ඇති).

"මැමත්" දන්නවා නේද? අර අයිස් ඒජ් ෆිල්ම් එකේ හිටපු අලියා. උන්ට කියන්නේ මැමත් ලා කියලනේ. ඉතින් මේ කියන ගුහාව බලන්න යන්න මටත් අවස්ථාවක් ආවා....ඉතින් මං හිතුවා ඒ ගැන විස්තර ටිකක් කිව්වොත් හොඳයි කියලා.

මේ ගුහාව පිහිටලා තියෙන්නේ සම්පුර්ණයෙන් ම පොළව යට. ඒකේ දිග හැතැප්ම 367 ක් ලු. ඉතින් හිතා ගන්නකො සයිස් එක. මේක හැදිලා තියෙන්නේ "හිරි ගල්" එහෙම නැත්නම් "ලයිම් ස්ටෝන්" වලින්. මේ රටේ ඔය හිරිගල් කියන ජාතිය බහුල යි නේ. ඒ නිසා මේ වගේ ගුහා ගොඩක් පිහිටලා තියනවා. ඇතුලට ගිහින් බැලුවම හිතා ගන්නත් බැහැ මෙහෙම නිර්මාණයක් කොහොම හැදුනද කියලා. ඒක හරියට පොළව යට පිහිටි ගංගා, කඳු, තැනිතලා, නිම්න වලින් සමන්විත වෙනමම ලෝකයක් වගේ.

 "ටොම් සෝයර්" පොත කියවල තියන අයට මතක ඇති නේද ටොම් සහ බෙකී අතරමං වෙච්ච ගුහාව ගැන. මෙන්න මේ වගේ ගුහාවක් ගැන තමයි ඒ පොතේ කියන්නේ. හපොයි..මේ ගුහාවේ අතරමං උනොත් ඉතින් දෙයියන්ගේම පිහිට තමයි. මොකද මේ ගුහාවේ තට්ටු 5 ක් තියනවා. යටම තට්ටුව ගඟක්.


පේනවා නේද වහලේ ඉඳං එල්ලෙන කූරු වගේ ඒවා. කාලාන්තරයක් තිස්සේ කැල්සියම් කාබනේට් දිය උන වතුර බින්දු වහලෙන් කාන්දු වෙද්දී තමයි මේවා නිර්මාණය වෙන්නේ. ඉතින් මේ බොහොමයක් ගුහා තවමත් සක්‍රීය යි. ඒවා තවමත් වර්ධනය වෙනවා. මේ වගේ ගුහාවක් ඇති වෙන්න හේතු හොයල බැලුවම මට හම්බ උනේ මෙන්න මේ විස්තර.

මේ රටේ පොළවේ ගොඩක් වෙලාවට මතුපිට පස් තට්ටුවට යටින් හිරි ගල් ස්ථර තියනවා. ඉතින් වැස්ස වැටෙන කොට වැහි වතුර පස් වලින් කාන්දු වෙලා මේ හිරිගල් ස්ථර අතරට යනවා. මේ වැහි වතුරේ තියන ආම්ලික ගතිය නිසා හිරිගල් දිය කරගෙන වතුර ටික පහලට බහිනවා. හිරි ගල් ස්ථර දිය උන තැන් වල ගුහා විදියට විශාල හිඩැස් හැදෙනවා. මෙතනට ගියොත් ඒ සංසිද්ධිය ලස්සනට බලා ගන්න පුළුවන්.  මේ පහළට බහින වතුර වලින් තමයි යටම තට්ටුවේදී ගංගාවක් හැදෙන්නේ.




ඉතින් මේ වගේ ගුහා ගවේෂණය කරන එක හරිම අපූරු වගේම ටිකක් භයානක වැඩක්. කොයි මොහොතේ ඔළුවට උඩින් ගල් පෙරලෙයිද කියන්න බැහැ. මොනවා උනත් ගුහාව ඇතුල නම් හරිම ලස්සනයි. කඳු, නිම්න, ගංගා, පුංචි දිය ඇලි, මහා ආගාධ මේ හැම දේම තිබුනා ඒකේ. ඇතුලේ දාල තිබුන ලයිට් නිවලා "තිත්ත කළුවර" කියන දේ අත් විඳින්න අවස්ථාවකුත් ලැබුනා අපිට.



නරඹන්නන්ගේ පහසුව සඳහා අත් වැටක් සහිත කෘතීම පාරවල් හදලා තිබුනා. නැත්නම් ඉතින් මේ පහලින් තියනවා වගේ අගාධෙකට වැටිලා තමයි නවතින්න වෙන්නේ. මේ පාරවල් හදපු මිනිස්සු කොච්චර දුකක් වින්දද කියලා හිතා ගන්න පුළුවන්.


මෙහෙම ඒවා ලංකාවේ තියනවද කියල නම් මම දන්නේ නැහැ. මම අහල නම් නැහැ. සමහර විට තියනවත් ඇති අපි දන්නේ නැති උනාට.

Wednesday, October 26, 2011

වඳින්න යන මේ නඩේ ට...3


                                                ස ක ල සතුන් මුදුනක පත් කිරුළ ලෙ           ස
                                                නි ස ල ගුණෙන් යුතු අප මුනි පෙර දව          ස
                                                එ කැ ල ණියෙ න් වැඩ අහසට සිතු විල         ස
                                                නි ම ල ලෙසින් තැබු සිරි පා වඳිමි තො         ස     -   සිරිපා අෂ්ටක

සිරිපා කරුණාව ගැන මම කලින් ලිපි දෙකක් ම ලිව්වා. බලන්න කැමති අයට මෙතනින් යන්න පුළුවන්.
වඳින්න යන මේ නඩේට...1
වඳින්න යන මේ නඩේට...2 

අපි තවමත් සීත ගඟුල පහු කළා විතරයි. සීත ගඟුලෙන් එහාට තමයි කන්දේ සැලකිය යුතු නැග්මක් දකින්න ලැබුනේ. තවත් ටික වෙලාවකින් අපි ආවේ ගෙත්තම් පාන (ඉදි කටු පාන කියලත් හඳුන්වනවා) කියන තැනට. බුදුන් ගේ ඉරුණ සිවුර පිලිසකර කරගත් ස්ථානය සංකේතවත් කරන්නේ මේ ගෙත්තම් පානෙනේ. මෙතැනදී හැමෝම වගේ, විශේෂයෙන්ම කෝඩු කාරයෝ ඉදි කටුවක රඳවපු නූලක් ගෙත්තමක් විදියට රඳවලා යනවා. සුදු පාවඩයක් එලුවා වගේ එතන එකම නූල් ගොඩක්. බලන්න ලස්සනයි. අපේ නඩේ කෝඩු කාරයින්වත් අල්ලගෙන අපිත් ගෙත්තමක් කරා :) තවත් ටික දුරක් යද්දී හමු වෙනවා හැරමිටි පාන කියලා තැනක්. එතැනදී ඉස්සර ඉඳලම කෝඩු කාරයින් හැරමිටි පූජා කරා කියල තමයි කියන්නේ. මම නම් ඒ ගැන වැඩිය කියන්න දන්නේ නැහැ.

තැන් තැන් වල නැවතෙමින් බොහොම හෙමින් ගමනක යෙදුන අපි "අහස් ගව්ව" කියන හරියට එද්දි රෑ 2 විතර වෙලා. අහස් ගව්ව තරණය කරපු අය දන්නවා ඇති ඒ හරියට අහස් ගව්ව කියන්නේ ඇයි කියලා. ඒකනම් විඳලාම බලන්න ඕන අත් දැකීමක්. පුළුන් කුට්ටි වගේ වලාකුළු අස්සෙන් සීතලේ ගැහි ගැහි යනකොට දැනෙන හැඟීම වෙන කොතැනකදීවත් මටනම් දැනිලා නැහැ.

අහස් ගව්ව පහු කරනවත් එක්කම වගේ තමයි ගමනේ අමාරුම හරියට අපි ආවේ..."මහ ගිරි දඹය".  මට නම් හිතුනේ මහ ගිරි දඹේ ආනතිය අංශක 90 ට පොඩ්ඩයි අඩු කියලා. බෑවුම ඒ තරමටම තීව්‍ර යි.

ඉතින් මෙච්චර දුරක් කන්ද නැගගෙන ඇවිල්ලා මහ ගිරි දඹේ දැක්කම කවුරුවත් පහු බහින්නේ නම් නැහැ. මහන්සිය පැත්තක දාලා මෙතෙක් වෙලා වෙන වෙනම කවි කියපු වන්දනා නඩ ඔක්කොම එකට එකතු වෙලා  තුන් සරණේ වෙනුවට වේග රිද්ම කවි කියමින් මහ ගිරි දඹ තරණය පටන් ගන්නවා.

අපේ බුදුන් - අපි වඳින්න
පෙරළි පෙරළි - අපි වඳින්න


අපෙ අම්මා - වන්දවන්න
කිරි කෝඩු ත් - වන්දවන්න


දෙදන නමා - අපි වඳින්න
මලුත් පුදා - අපි වඳින්න

හරියට පුංචි පෙළ පාලියක් වගේ. විශ්වාස කරන්න මේ කවි ගායනාවට එකතු උනාම හිතට දැනෙන්නේ පුදුම ජවයක්. මහ ගිරි දඹේ නගින මහන්සිය දැනෙන්නේවත් නැහැ. වැඳලා බහින නඩ මේ කවි කියන්නේ ටිකක් වෙනස් කරලා...

අපේ බුදුන් - අපි වැන්දා, පෙරළි පෙරළි - අපි වැන්දා
අපෙ අම්මා - වැන්දෙව්වා, කිරි කෝඩු ත් - වැන්දෙව්වා.......... කියලා හරි උජාරුවෙන් තමයි කියන්නේ. 

ඉතින් කොහොමහරි අපිත් මහ ගිරි දඹේ තරණය කරලා උඩ මළුවට සේන්දු උනා. පෝලිමේ තෙරපි තෙරපි ගිහින් සිරි පතුල වැඳලා දොළොස් මහේ පහන පැත්තටත් ගියා. ඊට පස්සේ සම්ප්‍රදායානුකුල විදියට තමන් පැමිණි වාර ගණනට සමාන වෙන විදියට ඝන්ටාරෙත් ගැහුවා (මගේ දෙපාරක් ඝන්ටාර ගැසීමේ සිහිනය සැබෑ උනා).

මළුවම වලාකුළු වලින් වැහිලා. අහසත් ටිකක් වැහි බරයි. ඒ වගේම හුළඟත් සැරයි. ඉර පායන්න පැයක් විතර තිබුන නිසා හැමෝම අයිනක් අල්ලගෙන වාඩි වෙලා හිටියේ. ඔහොම ඉන්න අතරේ සැරින් සැරේ අපිට දැනුනා කවුරු හරි අපේ ඇඟට කෙළ ගහනවා වගේ. හිටි ගමන් "චස්" ගාලා වතුර පාරක් වදිනවා. ඒ තමයි වතුර වල බර දරා ගන්න බැරි උණ වලාකුළු වලින් මිරිකිලා ඉවතට විසි වෙන "වැහි බින්දු". එහෙම අත් දැකීමක් නම් මම විඳලා ම තිබුනේ නැහැ. එච්චර කල් මම දැකලා තිබුනේ අහසෙන් වැස්ස වැටෙන හැටි විතරයි. ඒත් එදා මම වැස්ස ආරම්භ වෙන තැන ඉඳගෙන ඒක අත්වින්දා.

මේ වෙලාවේ නොකියා බැරි කතාවකුත් තියනවා. සිරි පා මළුවේ වැඩ කටයුතු භාරව හිටපු කෙනා බැතිමතුන්ට සැලකුවේ ටිකක් සැර පරුෂ විදියට. සෙනග වැඩි කම නිසා එයාට එපා වෙලා හිටියද දන්නෙත් නෑ. ඉර සේවේ බලන්න සැදී පැහැදී හිටපු මිනිස්සුන්ව මළුවෙන් එලව ගන්න තමයි එයා බැලුවේ.  "මේ වලාකුළු හින්දා ඉර සේවේ අද පේන්නේ නැහැ...ඒක නිසා මෙතනින් යන්න" කියල තමයි කිව්වේ. ඒත් වැඩි වෙලා කෑ ගහන්න උනේ නැහැ. අඳුරු වලාකුළු ඈත් මෑත් කරගෙන නැගෙනහිර අහස තැඹිලි පාට වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ තමයි සාදු හඬ මැද්දේ ලස්සනම ලස්සන දර්ශනයක් දැක්කේ..."ඉර සේවය".

කඳු මුදුනට පහලින් තිබුණ වලාකුළු ස්ථරයට හිරු කිරණ එක දෙක වැටිලා තැඹිලි පාට ට දිලිසෙන්න පටන් ගත්තා. කන්දට බටහිර පැත්ත පෙනුනේ හරියට කිරි සයුරක් වගේ. ඉර පායපු ගමන් අමතක නොකර බලන්න ඕන තවත් දෙයක් තමයි කන්දේ සෙවනැල්ල බටහිර අහසේ ඇඳෙන හැටි (shadow pyramid කියන්නේ මේකට.)



මෙහෙම සිරි නරඹන අතරේ තමයි මට මතක උනේ මගේ වෙන්ඩ මහත්තයාට කතා කරන්නවත් බැරි උනා නේද කියලා. මම ෆෝන් එකත් ඕෆ් කරලා තිබුනේ. ඉතින් ඉක්මනට ඒක ඇදලා අරගෙන ඔන් කරා. ඔන්න එතකොටම එස් එම් එස් බර ගානක් ලෝඩ් වෙන්න පටන් ගත්තා (මෙහෙමත් කෙල්ලෝ නේද? හි හි). ඉතින් ඒවා කියවන්නවත් පරක්කු වෙන්නේ නැතුව මම කෝල් එකක් ගත්තා මගේ අනාගත සහ කාරයාට. එහා පැත්තෙන් කට හඬ ඇහෙනකොටම මම පටන් ගත්තා කියවන්න....

"අපි දැන් උඩ මළුවේ ඉන්නේ...ඔව් වැඳලා ඉවරයි...ෆෝන් එක ඕෆ් කරලා තිබුනේ..හික් හික්, බය වෙන්න එපා අප්පා...ඉර සේවෙත් බැලුවා...හරිම ලස්සනයි අනේ..." කොච්චර දේවල් කියෙව්වද කියලා මට මතකත් නැහැ. අන්තිමට මෙහෙමත් කිව්වා...

"ඔයත් හිටියනම්.... :("
"හ්ම්...අපි දෙන්නා කවද හරි දවසක ආපහු එමු...දැන් ඔයා ඔතන නවතින්නේ නැතුව එන්න හොඳේ...:)"
"හ්ම්..."

ඔව් "අපි දෙන්නා අපි දෙන්නගෙම වෙන්න තිබුනේ සති තුනකටත් නොඅඩු කාලයක්. සිරිපා මළුවේ බැම්මට බර වෙලා පහල වලාකුළු තට්ටුව දිහා බලාගෙන ඒ ගැන හිතද්දී මට පුදුමත් හිතුනා. ඒ මම පුංචි කෙල්ලෙක් විදියට සිරි පා වැන්ද අන්තිම වතාව. අපේ ජීවිතත් මේ දිලිසෙන වලාකුළු වගේ ම සුන්දරයි නේද?

ඉතින් අපි දෙන්නගේ සිරිපා සිහිනය නුදුරු අනාගතේදී නම් ඉෂ්ට වෙන එකක් නැහැ වගේ. සමහර විට දෙන්නා තුන් දෙනා වෙනකන්ම සිරිපා කරුණා කරන්න ලැබෙන එකක් නැහැ. දැනට අපි ඉන්නේ පුංචි මුතු ඇටේට ගොඩක් දුරින් නිසා....ඒත් තුන් දෙනෙක් නැත්නම් හතර දෙනෙක් එක්ක හරි අපි දෙන්නා සිරිපා කරුණා කරනවමයි කවදාහරි...

ඒ සිතුවිල්ලත් සමගම මට පුළුවන් උනා මගේ හිතම ගිල ගත්තු සුන්දර සමනල අඩවියට සමු දෙන්න...

අපේ බුදුන්  අපි වැඳගෙන මෙහෙන් යන්න යනෝ...
එන මත්තෙදි කෝඩු සමග බුදු පුදයට එනෝ....

Tuesday, October 25, 2011

වඳින්න යන මේ නඩේ ට...2



මම කලින් ලිපියෙදි කිව්වනේ බොහොම අමාරුවෙන් පෙරුම් පුරලා ජීවිතේ දෙවෙනි වතාවටත් සිරිපා කරුණා කරන්න අවස්ථාවක් ලබා ගත්ත හැටි. අද කියන්න යන්නේ මගේ‍ ඒ සැබෑ උන සිරිපා සිහිනය ගැන තමයි. අපි කලින් වතාවේ සිරිපා කරුණා කරේ තාත්තගේ ඔෆිස් එකේ අයත් එක්ක ට්‍රිප් එකක් විදියට. ඒත් මේ ගමනට එකතු උනේ අපේ නෑදෑයෝ ටික නේ. ඒ නිසා මේ ගමන නියම සිරිපා වන්දනාවක් විදියට යන්න තමයි අපි හිතා ගත්තේ.....

ඉස්සර කාලේ මිනිස්සු සිරිපා වඳින්න යන්න කලින් තමන්ගේ ගමේ පන්සලට ගිහින් බාරයක් වෙන එක තමයි සිරිත. තමන්ට මේ ගමන කිසිම කරදරයක් නැතුව ගිහින් එන්න ලැබෙන්න කියල තමයි බාර වෙන්නේ. ඉතින් අපේ නඩේ කට්ටියත් තීරණය කරා බාරයක් වෙන්න. ඒකට නඩේ හැමෝම සහභාගි වෙන්න ඕනලු. එක්කෙනෙක් හරි මග ඇරුනොත් එයාට යහතින් ආපහු එන්න ලැබෙන්නේ නෑ කියලා කට්ටියම මාව බය කරපු නිසා ගමනට කලින් සති අන්තයේත් මට ගමේ එන්න උනා පන්සල් යන්න. බාරේ වෙන හැටි නම් හරිම සරලයි. කවුරුත් එක්ක ගිහින් බුදුන් වැඳලා සුදු රෙද්දක ඔතපු පඬුරු ටිකක් අරන් ප්‍රාර්ථනා කරනවා අපිට මේ ගමන කරදරයක් නැතුව ගිහින් එන්න පුළුවන් උනොත් ආපහු පන්සලට ඇවිත් මේ පඬුරු පුජා කරනවා කියලා. සිරිපා ගමනටත් මේ පඬුරු ටික අරගෙන යනවා. ඒවා අතර මගදී නැති කර නොගන්නත් ඒවායින් රස කැවිලි මිල දී නොගන්නත් වග බලා ගන්න ඕන :D   ඉතින් මේ පඬුරු පරෙස්සම් කිරීමේ වගකීම බාර ගත්තේ නිතරඟයෙන්ම නඩේ ගුරා උන අපේ එහා ගෙදර අංකල් (සිරි මාමා).

ඔන්‍න‍ දැන් ගමනට ඔක්කොම ලෑස්තියි. අපේ නඩේ ට කෝඩු කාරයෝ තුන් දෙනෙක් ඇතුලත්. එකෙක් අපේ මලයා. එයා නම් අයිති වෙන්නේ දඬු කෝඩු කැටගරියට. එයාගේ කිරි කෝඩු වයස පැනලා හුඟක් කල් නේ (වයසට ගිහින් පලවෙනි පාරට සිරිපා යන අයට කියන්නේ මූකලන් කෝඩු කියල ලු).  ඉතින් එක් පැහැදිලි සෙනසුරාදාවක උදේ අපි පිටත් උනා සිරිපා වන්දනාවට. අපේ නෑදෑයෝ සෙට් එකත් එක්ක ගමනක් යනවා කියන්නේ ඉතින් රස සාගරයක්. ඒත් ඉතින් මේ ලිපිය ලියන්නේ ඒවා ගැන කියන්න නෙමෙයිනේ....

කොහොමහරි එදා හවස 6 විතර වෙද්දී අපි "නල්ලතන්නිය" ට සේන්දු උනා (හැටන් පැත්තෙන් තමයි අපි ගියේ). ඒ දවස්වල නම් (2009) එන අයට කාලා නාලා එහෙම යන්න ඉතාම හොඳ තත්වයේ නවාතැන් පහසුකම් තිබුනා ඒ හරියේ. දැන් කොහොමද දන්නේ නැහැ. අපිත් ඉතින් හොඳට කාලා නාලා එහෙම පටන් ගත්තා සිරිපා කරුණා කරන්න.

වෙලාව රෑ 8 ට විතර ඇති. නල්ලතන්නි කඩ පලේ රේන් කෝට්, අයිස් කැප් විකුණන වෙළෙන්දන්ව පහු කරගෙන ගිහින් කඳු වළල්ලක් මැද තනි උන සමනල කන්ද දිහා බලද්දී අපි දැක්කේ අපූරු දසුනක්. කඳු පාමුල ඉඳලා කන්ද මුදුනට යනකන් ම විදුලි බල්බ පේලියක්. හරියට පහන් වැටක් දල්වලා වගේ තමයි පෙනුනේ. ඒත් ඒ ලස්සන කැමරාවකට ගන්න නම් කොහෙත්ම බැහැ.


අපිට මකර තොරණ ලඟට එන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. මකර තොරණ තමයි සිරිපා ගමන් මාර්ගයේ ආරම්භය විදියට සැලකෙන්නේ. මෙතැනදී හැමෝම පන්සිල් අරගෙන තමයි සමන් දෙවියන්ගේ සිරිපා අඩවියට ඇතුළු වෙන්නේ.

ඉතින් අපි මකර තොරණත් පහු කරගෙන හෙමින් ඇවිදගෙන ගියා. ඇත්තටම අපේ ගමන කෙරුනේ හුඟක් හෙමින්. මම පුංචි කාලේ ගියපු ගමනේදී මාව අතින් අල්ලගෙන හෙමින් පඩි පේලි නග්ගපු අපේ අම්මලා ට මේ වතාවේදී අත් වැලක් උනේ අපි. ඇත්තෙන්ම සමනල කන්ද මුදුනට පිම්මේ දුවන එක නම් තේරුමක් නැති වැඩක්. සමනල අඩවියේ ලස්සන විඳිමින් හෙමින් යන ගමන කොයි තරම් සුන්දරද?

මෙහෙම හෙමින් ගියපු අපි ටික වෙලාවකින් ආවේ සාම චයිත්‍යය ලඟට. මේ චයිත්‍යය හදල තියෙන්නේ "නිචි ෆුජි" කියන ජපන් භික්‍ෂුව. ඇත්තටම ඒකෙ ලස්සන පෙන්නේ කන්ද නගිද්දී නෙමෙයි බහිද්දී. මම උඩින්ම දාපු පින්තූරේ  තියෙන්නේ සාම චයිත්‍ය කන්ද බහින කොට පේන හැටි.

ඉතින් මෙතන ටිකක් වෙලා නැවතිලා ආපහු ගමන පටන් ගත්ත අපි ආවේ සීත ගඟුල ලඟට. ඉස්සරනම් සිරිපා කරුණා කරන හැමෝම වගේ මෙතනින් නාලා පිරිසුදු වෙලා සුදු පිරුවට ඇඳ ගන්නවා කියලා අපේ අම්මා කිව්වා. මේ පිරුවට ඇඳිල්ල දැන්නම් එච්චර කෙරෙන්නේ නැහැ වගේ. කොහොම උනත් අදටත් හුඟ දෙනෙක් මෙතනින් නාලා පඬුරක් ගැට ගහලා යන්න අමතක කරන්නේ නැහැ.

සීත ගඟුලෙ දී ඇඳ පේ වෙන    වා
එතැනදි සමහරු පඬුරු බඳින    වා
කෝඩු කාරයෝ ඉස්සර වෙන  වා
සමන් දෙවිඳුනේ අප රැක දෙන වා

මේ පඬුරු ගැට ගහනවා වගේ දේවල් කරන්නෙත් සමන් දෙවියන්ගෙන් ආරක්ෂාව ඉල්ලන්නෙත් සිරිපා ගමන ලේසි පහසු එකක් නොවන නිසා වෙන්න ඇති. දැන් වගේ නෙමෙයි ඉස්සර කාලේ සිරිපා වඳින්න යන අය අන්තිම කැමති පත්තරෙත් ලියල තියල ලු යන්නේ. ඒක ඒ තරමටම දුෂ්කර ගමනක්. දැන් වගේ ලේසියෙන් නගින්න පුළුවන් විදියේ පඩි පේලි එදා තියෙන්න නැතුව ඇති. තවමත් පැරණි මාර්ග වලින් ඉතුරු උන කම්බි කොකු වගේ සලකුණු සමහර තැන්වල දකින්න තියනවා.

ඉතින් ඒ තරම් දුෂ්කර ගමනක් කරදරයක් නැතුව ගිහින් එන්න ලැබෙන්න කියලා භාර හාර වෙන එක ඇත්තටම ප්‍රායෝගිකයි. ඒ වගේමයි සමන් දෙවියන්ගේ අඩවියෙදි "කට වරද්දගන්න එපා" කියල කතාවකුත් තියනවනේ. මකර තොරනෙන් මෙහා පැත්තට එද්දී,  භාවිතා කරන වචන මාලාවත් වෙනස් වෙනවා. හැමෝම කියන්නේ "කරුණාවයි කරුණාවයි" කියලා. කොයි තරම් බර උනත් ගමන් මල්ලට කියන්නේ "සැහැල්ලුව" කියලා. වඳින්න යන අයටත්, වැඳලා බහින අයටත් අනෙක් නඩ වලින් ආශීර්වාද කරන්නෙත් ඒ නිසයි. ඒ කවි වල තියෙන්නේ සිංහල අපේ ලෙන්ගතු කම කියලයි මට නම් හිතෙන්නේ.

අපේ නඩේ ගුරා, සිරි මාමා තමයි මේ කවි කීමේ මූලිකයා උනේ. ඉස්සරහට හම්බ වෙන හැමෝටම වගේ සිරි මාමා කවියකින් සංග්‍රහ කරා.

වැඳල බහින මේ නඩේට බුද්ධං සරණේ සරණයි 

ඒවාට පෙරලා පිලිතුරුත් ලැබුනා.

වඳින්න යන මේ නඩේ ට ධම්මං සරණේ සරණයි

ඒත් ඉතින් සමහර කොල්ලෝ සිරි මාමව විහිළුවට ගත්ත වෙලාවලුත් තිබුනා...සිරි මාමා "බෑනෝ" කියලා පටන් අරගෙන කවියක් කියද්දි "මාමේ දුව දෙනවද" කියල අහපු අයත් හිටියා. සිරි මාමා ඒවා ගණන් ගත්තේ නැහැ "ගෙදර එන්න....හෙට දෙනවා" කියල කවියෙන්ම උත්තර දුන්නා.

ඉතින් සීත ගඟුලත් පහු කරගෙන ගෙත්තම් පාන, හැරමිටි පාන, අහස් ගව්ව.....අප්පේ තව කොච්චර තියද? ඔක්කොම මේකේ ලිව්වොත් ඔයාල මගේ බ්ලොග් එක පැත්තේ එන එකත් නවත්තයි. ඒක නිසා මෙතනින් නවතින්නම්....

Wednesday, October 19, 2011

වඳින්න යන මේ නඩේ ට...



මම අවසාන වතාවට සිරි පා වැන්දේ මිට අවුරුදු 2 කට විතර කලින්. මහ ලොකුවට අවසාන වතාවට කියල කිව්වට මම ජීවිතේටම දෙපාරයි සිරිපා කරුණා කරල තියෙන්නේ.

 මුල්ම වතාවේ යද්දි මට අවුරුදු 8 යි. වැස්සේ තෙමි තෙමි ඔහේ නැගල බැස්සා විතරයි මතක. ලොකු තේරුමක් ඇතුව ගිය ගමනක් නෙමෙයිනේ. වැස්ස නිසා දොළොස් මහේ පහන වත් බලන්න බැරි උනානේ කියලා අම්මා කිව්වම තමයි මම දන්නේ එහෙම එකක් තිබුනා කියලත්. හැබැයි ඉතින් තාත්තා මාව උස්සලා සිරි පතුලේ ඔළුව ගාවලා වැන්දෙව්වා මතකයි...හයියෙන් ඔළුව වද්දන්න එපා කියලා අම්මා කියපු හැටිත් මතකයි. ආ...එතකොට සිරිපාදේ ඝන්ටාර සම්ප්‍රදාය ගැනත් කියල දුන්නා තාත්තා....තමන් සිරිපා වැඳපු වාර ගණනට ලු ඝණ්ටාව ගහන්නේ.

ඉතින් මම අමාරුවෙන් ලණුව ඇදලා එක පාරක් ඝන්ටාරේ ගැහුවා....තාත්තා දෙපාරයි...අම්මා තුන් පාරයි. ඉතින් මේක හරිම ලස්සන වැඩක් නේ කියලා මට එවෙලෙත් හිතුනා. කවදාහරි ඇවිත් දෙපාරක් ඝාන්ටාරේ ගහන හැටිත් මැවිලා පෙනුනා. 

අතර මගදී කට්ටිය ඉදි කටුවකුයි නූලකුයි අරගෙන මඩේ එරි එරී රවුමේ ගිය හැටිත් මතකයි. ඇයි තුන් සරණේ කියපු හැටි...අපි සිරි පතුල හරියට ලං වෙද්දී අපේ නඩේ ගොඩක් අය (තාත්තගේ ඔපීසියේ කස්ටිය) වැඳලා ඉවර වෙලා බහිනවා. මම හින්දා අම්මලා ගොඩක් හෙමින් නේ ගියේ (මේ නිසා ඉර සේවෙත් මිස් උනා අපිට). ඉතින් මේ බහින ගොඩක් දෙනෙක් මෙන්න මෙහෙම කිව්වා මතකයි.....

"වඳින්න යන මේ දෝණි ට, සුමන සමන් දෙවි පිහිටයි" 

සමහර අන්කල් ලා නම් "කිරි කෝඩු" කියා කියා මාව අවුස්සන්න ත්  අමතක කරේ නැහැ :) 

දැන් බලනකොට මට හුඟක් දේවල් මතකයි නේ... surprise 
කොහොම උනත් සිරිපා කරුණාව ත් එක්ක බැඳුනු ලස්සන සම්ප්‍රදායයන් හිතට කා වදින්න ඒ ගමන හොඳටම ප්‍රමාණවත් උනා. ඒ වතාවේදී මග අරුණු ඉර සේවය, දොළොස් මහේ පහන එහෙම බලා ගන්නත් එක්ක ඝාන්ටාරේ දෙපාරක් ගහන්න කොහොම හරි ආපහු එනවා කියලා මම තරයේම හිතා ගත්තේ ඒකයි.

ඉතින් මම කැම්පස් අවුට් වෙනකන්ම සිරිපාදේ ඝණ්ටාව දෙපාරක් ගහන්න අවස්ථාව ලැබුනේ නැහැ. ඒ වගේ වෙලාවක තමයි අපේ මලයා පිහිට ට එන්නේ...

                                  ~~~~~~~~~~~අවු 2 කට පෙර අතීතයට~~~~~~~~~~~

මල්ලිගේ A/L රිසල්ට් ඇවිත්. එයත් මොරටුව ට සිලෙක්ට් වෙලා. ඔන්න දැන් මෙයා තෑග්ග හැටියට ඉල්ලන්නේ සිරීපාද වන්දනාවක්. කලින් ගමන එයා පොඩි වැඩි නිසා ලොකු අම්මා ගාව තියලා තමයි අපි ගියේ. ඒ වාඩුව අල්ලන්නත් එක්ක තමයි මෙයා මේකම ඉල්ලන්නේ. දැන් අම්මලා මේකට වැඩි මනාපයක් නෑ. ලේසි ගමනකුත් නෙමෙයිනේ. ඉතින් එයා  ආවා මගේ පිහිට පතා ගෙන praying...(මේක සාමාන්‍ය දෙයක්, මම පවුලේ වැඩිමලා සහ නාහෙට අහන්නේ නැති වැඩ නොකරන හින්දා)

ඉබ්බා දියේ දැම්මම ඇන්නෑවේ කිව්වලු. මමත් පැනලා උදව් කරා. කලින් පාර එයාව දාල ගිය නිසා අම්මලටත් දුක හිතුනා මූ ගැන. ඉතින් අපි අම්මලත් කැමති කරගෙන නැන්දලා සෙට් එකයි සහෝදර සෙට් එකයි ත් එකතු කරගෙන දවසක් දා ගත්තා ගමනට. හැමෝටම පහසු විදියට සති අන්තයක්.....

දැන් ඔක්කොම හරි....ඒත්, අපේ මල්ලි කිව්වෙ නැතෑ

"ආ...ඔයාට යන්න වෙන්නේ නැහැ, ඔයා වෙන්ඩ මනමාලි නේ.....ඔයාට එහෙ මෙහෙ යන්න හොඳ නැහැ

මෙන්න බොලේ මෙයා කන්න දීපු අත හපා කන හැටි straight face.....හැබැයි කතාවත් ඇත්ත. දා ගතිපු දවසේ ඉඳල සති 3 කට වඩා නැහැ මගේ වෙඩිමට. මට සමහර යාලුවොන්ගෙන් උපදෙස් ලැබිල තිබුනේ මාස දෙකක් වත් තියලා සියලු ගමන් බිමන් අත අරින්න කියලා. අනික වෙඩින් එක ඉවර වෙලා අපි හඳ අල්ලපු රට ට එන්න හිටියේ....හැබැයි ඊට පස්සේ නම් සිරීපාදේ යනවා බොරු.

එව්වා කොහෙද මාත් එක්ක....අපරාදෙ කියන්න බෑ අම්ම නම් කිව්වා "වෙන්ඩ මනමාලි කෙනෙක් ට සිරීපාදේ යන්න තියනම් කොච්චර දෙයක් ද"  කියලා. ඉතින් අන්තිමට අත්තම්මා ඇතුළු පිරිස කැමති උනා මාව යවන්න.

අප්පේ...ඒ ගමන ගැන නම් කියන්න වචන නැහැ.....

හපොයි....දිග පෝස්ට් එකක් කම්මැලි නම් කියවන්න එපෝ...සිරිපා කරුණාවේ විස්තර ඊ ළඟ එකෙන්වත් දාන්නම්. (හිතුනොත් විතරක් :)

Saturday, October 15, 2011

මිහි මවට........ආදරෙන්.........



සුවඳ දෙන මක රන්ද තුඩින් ගෙන රස වින්ද,
                                                    ගී කී සියොත් ද තරහා                    වී
බිම සිඹින පර මල් ද පර නොවෙන බොරු මල් ද
                                                    හැර දා දුරට ඉගිල යා                     වී
ගං තෙරට පෙම් බැන්ද පැන් පොදක සුව වින්ද,
                                                    උන් නැත තවත් නෙතට යා            වී
ගං තෙරෙහි තුරු සින්ද සත් නෙත් වෙතින් අන්ධ
                                                    සැන්ගී ගොසින් සඳට, සා               වී


සුව හස් තඹුරු ඉපිද මියැදෙන සුනිල් විල්ද
                                                    වියලී ගොසින් මින් පෙලා              වී
සිරි පා නිතින් වැන්ද තටු සිඳුණු සමනල් ද
                                                    දෙව් ලොව ගොසින් ගතු කියා        වී
හිරු සඳු ද මද නල ද තරු ද වැහි දෙව් ලියද
                                                     ඒ තතු අසා උරණ වේ                   වී
සක් දෙවි ගෙ සිත් බින්ද මනු සත වෙලා මුග්ධ
                                                     උන් දෙස දෙවිත් නොම බලා        වී


                                          ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

මතකද "තුරඟා වන්නම" ? සුළු මැදුම් දෙතිතෙන් උපන් අපූරු වන්නම.

"සත් වෙත් මහත් අදර ලත් යුත් සිදත් කුමර........"

බෞද්ධ අපේ සිත් වලට සමීපම තුරඟා කන්ථක නොවේද? තුරඟා වන්නම රචකයාට ද එය එසේම වන්නට ඇත. එහෙයින් ඔහු තුරඟා වැනුම කන්ථක ගෙන් අරඹා ඇත.

මා නම් තුරඟා වන්නම ට පෙම් බඳින්නට කාරණාව එහි ළය හා විරිතයි. සුළු මැදුම් දෙතිතට, හිතට එන අකුරු ටිකක් රිංගවා බලන්න...

ට ක | ට ක ට | ට ක | ට ක ට

තුරඟ ගමනේ රිද්මයත් මේ වගේ නේද?  ඉතින් අරුත් බර වචන ටිකකුත් එකතු උනාම කොයි තරම් ලස්සනද

ස ත් | වෙ ත් ම | හ ත් | අ ද ර | ල ත් | යු ත් සි | ද ත් | කු ම ර 


ඉතින් මේ සුසංයෝගය ට සිත් ඇද ගන්නා තනුවකුත් එකතු උනාම කොයි තරම් ලස්සනද? ඉතින් මමත් ඉස්සර ඉඳලම මේ අපූරු වන්නමට ආස කලා. කොටින්ම කියනවනම් අද මම ඒ ළය, විරිත ටිකකට හොරකම් කලා :)


                                   ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

හැබැයි ඉතින් මගේ අතින් කෙරුනේ වර්ණනාවක් නම් නෙමෙයි. දැන් එන්න එන්නම වර්ණනා කරන්න පුළුවන් දේවල් අඩු වේගෙන යනවා නේද කියල හිතුනා. මම ටිකක් අන්ත ගාමීව හිතුවත් මෙහෙම දවසක් ඉස්සරහට එන්නත් බැරි නැහැ.

පර මලුත් බොරු මලුත් විතරක් ඉතුරු උන ලෝකෙක කුරුල්ලෝ, සමනල්ලු තව දුරටත් ඉඳීවිද? ගස් වැල් නැති ගංගා සිඳුණු ලෝකෙකට වඩා හඳ උනත් හොඳයි නේද කියල හිතෙන්නේ නැද්ද? ඉතින් තණ්හාවෙන් අන්ධ උන මිනිස් ඇස් වලින් වහන් වෙලා හාවෝ උනත් මේ ලෝකේ දාල යාවි (හඳට...හි හි ).

නෙළුම් පිපුණු විල හිඳෙද්දී මාළු කොහොම ඉන්නද? සමනල්ලු රොන් ගන්නේ කොහෙන්ද? කරන්න තියන එකම දේ මේක ශක්‍රයා ට වාර්තා කරන එක තමයි. ඉතින් උන් ඒක නොකර ඉන්න එකක් නැහැ. මේවා ඇහුවම ශක්‍රයටයි වැස්ස වලාහක දෙවියන්ටයි ඉරටයි හඳ ටයි මෙකී නොකී හැම දෙනාටම තරහ යන්නේ නැතුව තියේවිද ? ඉතින් ඊට පස්සේ මේ මෝඩ මිනිස්සු දිහා දෙවියොවත් බලන එකක් නැහැ.

උඩ තියන කවි ටිකේ තියෙන්නේ ඔන්න ඔය අනියමාර්ථයෙන් කියපු දේවල් ඇත්ත උන දවසක් ගැන. එහෙම දවසක් නම් උදා වෙන්න එපා කියලා ප්‍රාර්ථනා  කරනවා.

                                           ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

                අපේ ළමා ලෝකය වර්ණවත් කළ ටයිටස් තොටවත්ත මහතාට නිවන් සුව ලැබේවා !!!

Friday, October 14, 2011

අයියේ ඔයා හරි හෑන්ඩ්සම් නේ



බූලා කියන්නේ අපේ බැච් එකේ හිටපු යාලුවෙක්. මෙයාට බූලා කියල නම වැටුන විදියත් එක්තරා කතන්දරයක් තමයි. බල්ලෙක් ගැන සින්දුවක් කියන්න ගිහින් තමයි ඕක උනේ. අන්තිමට ඉතින් එයාට බල්ලා කියන්න බැරි කමට බූලා කිව්වා hee hee.

මේ බූලා ටිකක් විනෝදෙටත් බර අමුතුම ජාතියක කෙනෙක්. අනිත් අය හිතන දේවල් තඹේකටවත් මායිම් නොකර තමන්ගේම විදියට ජීවත් වෙන කෙනෙක්. මෙයා ටිකක් විතර පොෂ් හයිජෙනික් බූලෙක්. ඒ උනාට ඉතින් පහල බැච් වල නංගිලා කාලා ඉතුරු කරන වඩේ කෑලි එහෙමත් ඉල්ලගෙන කනවා කැන්ටින් එකේදි.

කොහොම හරි මෙයා කැම්පස් එකේ ටැප් වලින් වතුර බොන්නේ නැහැ. හැබැයි ජීවිතේට වතුර බෝතලයක් ගේන්නෙත් නැහැ. ඉතින් දවල්ට කන්න කැන්ටින් එකට ගිහින් කාලා ඉවර වෙලා වතුර බොන්න ඕන උනාම වට පිට බලනවා. වතුර බෝතලයක් තියාගෙන ඉන්න නංගි කෙනෙක් දැක්කොත් "නංගි මම වතුර ටිකක් ගන්නද?" අහනවා. එයා එපා කියන්නද ඉතින්. හැබැයි ඉතින් ඔය ගොඩක් නංගිලා වතුර පුරවගන්නෙත් කැම්පස් එකේ ටැප් වලින්ම තමයි big grin.

මේ බූලා ට තියනවා කාර් එකක්. එයා කාර් එකේ යද්දි පාර අයිනේ රස්තියාදු වෙවී ඉන්න සීයලා එහෙම දැක්කොත් සැලියුට් එකකුත් ගහගෙන ස්ලෝ කරලා පාර අයිනෙනේ නවත්තනවලු. අනේ අර සීයලා හිතනවා ඇති අඳුරන මහත්තයෙක් තමයි කියලා. ඉතින් සීයත් හිනා වෙවී දුවගෙන එනවලු. ඇවිත් කතා කරන්න හදනකොටම මෙයා අද්දලා යනවලු. ඔන්න ඔය වගේ අහිංසක ආතල් තමයි බූලා ගන්නේ.

 ඔන්න එක දවසක් බූලා කාර් එකෙන් කැම්පස් එනවලු. මෙහෙම එද්දි එයා දැකලා සීනියර් අයියා කෙනෙක් බස් හෝල්ට් එකක ඉන්නවා. ඉතින් මෙයා නවත්තලා කතා කරලා. මේ දෙන්නා වැඩිය අඳුරන්නෙත් නැතිලු. ඒත් ඉතින් බස් එකේ මිරිකිලා යනවට වඩා කාර් එකක යන්න චාන්ස් එකක් ලැබුනම කවුද බෑ කියන්නේ. කොහොමහරි අයියත් නැගලා. ඉතින් දැන් බූලා අයියගෙන් ප්‍රශ්න අහනවලු දිගටම .

"අයියේ ඔයාගේ ෂර්ට් එක හරි ලස්සනයි, කොහෙන්ද ගත්තේ?" වගේ ප්‍රශ්න.

දැන් එන්න එන්නම අයියගේ මුණ අප්සට් වෙනවලු worried
කොහොම හරි කැම්පස් එක ලගට ඇවිත් බූලා කාර් එක නවත්තලා. අයියා බහින්න දොර අරිනකොටම බූලා කිව්වලු

"අයියේ ඔයා හරි හෑන්ඩ්සම් නේ" කියලා blushing

අයියට තරු විසි වෙන්න ඇති. බූලා කියපු හැටියටනම් අයියා කාර් එකෙන් එලියට පැනලා වෙඩිල්ලක් වගේ දිව්වලු. සේරමත් හරි මේ බූලා ඒක කියලා හිනා වෙච්ච කැත විතරක්..straight face

කොහොම උනත් මෙයා මෙලෝ සිහියක් නැතුව හිටියට හරිම හිත හොඳ බූලා. දැන්නම් රැජිනගේ රටේ උසස් අධ්‍යාපනේ කරනවා කියලා තමයි ආරංචි .

Tuesday, October 11, 2011

අලිංගිත්වා ?


මාතෘකාවට එන්න කලින් මට තාමත් හොඳට මතක, අපිට 6 වසරෙදි උන වැඩක් ගැන කියල ඉන්නම්කෝ.

අපි 6 වසරට ඇතුල් වෙද්දි එච්චර කල් කරපු ගණිතය, සිංහල, විද්‍යාව වගේ විෂයන් වලට අමතරව "සමාජ අධ්‍යයනය" කියලා විෂයකුත් ආවා නේ. ඔය නම ඒ දවස්වල අපිට කියව ගන්නත් බෑ හරියට (ලියන්න කොහොමත් බෑ නේ ඉතින් :). අපි ඉතින් ඕක කියෙව්වෙත් ලිව්වෙත් "සමාජ අධ්‍යනය" කියලා ('ය' හලලා).

අපිට ඒ කාලේ නීතියක් දාලා තිබුනා දවස් පහේම කාල සටහන කළු ලෑල්ලේ පැත්තකින් ලියලා තියන්න ඕන. ඉතින් ඕක ලියන්න වොලන්ටියර් වෙච්ච ළමයාත් "සමාජ අධ්‍යනය" කියල තමයි ලිව්වේ. ඉතින් ඔය වැරැද්ද ඔය විදියටම කළු ලෑල්ලේ තිබුනා මාස ගානක් යනකන්ම. එක දවසක් අපේ පන්තියට ආවා ට්‍රේනින් දාපු සර් කෙනෙක් (එයාල එනවට අපිනම් හරිම කැමතියි. සැර නැහැනේ :). එයා ටික වෙලාවක් බෝර්ඩ් එක දිහා බලන් ඉඳලා මෙහෙම කිව්වා...

සර් : (ඉස්සරහ පේලියේ ඉඳපු සුරංගි ට ඇඟිල්ල දික් කරමින්) ඔය ළමයා නැගිටින්න
ඉතින් සුරංගි නැගිට්ටා.
සර් : ඔය ළමයගේ නම මොකද්ද?
සුරංගි : "සුරංගි"

ඉතින් සර් චෝක් කෑල්ලක් අරගෙන් මෙහෙම ලිව්වා බෝර්ඩ් එකේ   "සුංගි"

සර් : ඔයා කැමතිද කවුරු හරි ඔයාගේ නම මෙහෙම කියනවට?
සුරංගි : නැහැ worried
සර් : ආ... එහෙනම් සමාජ අධ්‍යයනයත් කැමති නෑ එයාගේ නමේ අකුරක් අඩුවෙන් ලියනවට

එදා ඉඳන් අද වෙනකන්  මටනම් ඔය වචනේ වැරදුනේ නැහැ. වැරැද්දක් උනත් මෙහෙම නිර්මාණශීලි විදියට කියල දුන්නම හොඳට හිතට වදිනවා නේද?

                                            ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~

හරි දැන් එන්නම්කෝ මාතෘකාවට. අකුරු අඩුවෙන් ලියනවා වගේම අපි කරන තවත් වැරැද්දක් තමයි වැරදි වචන පාවිච්චි කිරීම.


මේ බරපතල වැරැද්ද නම් අපිට පෙන්නලා දුන්නේ ගංගොඩවිල සෝම හාමුදුරුවෝ. දවසක් අපේ ඉස්කෝලෙට සෝම හාමුදුරුවෝ වැඩියා  බණ දේශනාවකට. හාමුදුරුවෝ අපිට කිව්වා තාත්තට වඳින ගාථාව කියන්න කියලා. හැමෝම පටන් ගත්තා ගාථාව කියන්න....

"වුද්දිකාරෝ අලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තකං..............." 
ඉවර වෙනකන්ම අහගෙන ඉඳලා හාමුදුරුවෝ මෙහෙම කිව්වා..

"ඔහොම වැන්දොත් නම් ඉතින් තාත්තට වෙන්නේ අපහාසයක්. "අලිංගිත්වා" කියන වචනේ තේරුම (මෙන්න මේක කියලා තේරුමත් කිව්වා). හරි වචනේ තමයි "ලිංගිත්වා", ආලිංගනය කරනවා එහෙම නැත්නම් වැළඳ ගන්නවා කියන එක" 


කොයි තරම් බරපතල වැරැද්දක්ද? ඒත් තවමත් සමහර හාමුදුරුවරු පවා මේ ගාථාව අර විදියට කියනවා මම අහල තියනවා. ඒක බොහෝ දුරට නොදන්න කම හෝ නොසැලකිල්ල වෙන්න ඇති. සමහර විට ගාථාවේ මාත්‍රා ගණන ගානට සෙට් වෙන නිසා වෙන්නත් ඇති. ඒත් ඒකෙන් අර්ථය නම් විකෘති වෙනවා. අපි නම් සෝම හාමුදුරුවෝ කියනකන්ම ඕක දැනගෙන හිටියේ නැහැ. දැනගත්තට පස්සෙ වරද්දන්නෙත් නැහැ. ඉතින් මට හිතුනා මේ ගැන නොදන්න ඒත් දැනගන්න කැමති අය හිටියොත් කියලා මේක බ්ලොග් එකේ දාන්න. එක්කෙනෙක් දෙන්නෙක් හරි ඒ වැරැද්ද හදා ගත්තොත්, අනාගත පරම්පරාවට කියල දුන්නොත් ඒක ලොකු දෙයක් වගේම සතුටක් :) 

Friday, October 7, 2011

ඉහළම තැනින් සොරකම් කරපු හැටි


"අදින්නාදානා වේරමණී සික්ඛා පදං සමාදියාමි"

මේකෙන් කියන්නෙ ඉතින් "අනුන් ගේ දේවල් නොගනිමි" කියලනේ. මේ කියන්න යන කතාව එහෙම එකක් නෙමෙයි.

අපි 9 වසරේ ඉඳිද්දී අපිට ක්‍රිකට් පිස්සුවක් බෝ වෙලා තිබුනා. ඉතින් ෆ්‍රී වෙලාවක් ලැබුන හැටියේම කට්ටිය දුවන්න බලාගෙන ඉන්නේ ක්‍රිකට් ගහන්න. පොතේ හැටියටනම් ඉස්කෝලේ වෙලාව ඇතුලත ළමයින්ට ෆ්‍රී තියෙන්නේ ඉන්ටර්වල් එක විතරයිනේ. අපි ඉතින් පටන් ගත්ත අළුත නම් ඉන්ටර්වල් එකේ ක්‍රිකට් ගැහුවා. පහු වෙද්දි ෆ්‍රී පීරියඩ් වලත් ගැහුවා. තවත් පහු වෙද්දි ෆ්‍රී නැති පීරියඩ් වලත් ක්‍රිකට් ගහන්න පටන් ගත්තා. මේවට බෝල, බැට් එහෙම සප්ලයි කරන්නේ අයියලා ඉන්න නංගිලා විසින්.

ඔන්න මේ කියන දවසේ බැට් එක ගෙනත් තිබුනේ අපේ වාස් (කෙල්ලෙක් හොඳේ). ඒක එයාගේ අයියගේ බැට් එකලු. අයියට හොරා තමයි ගෙනත් තියෙන්නේ hee hee.  ඉතින් පළවෙනි පීරියඩ් එක ඉවර උන ගමන්ම ඊ ළඟ එකේ මිස් එන්න කලින් අපි ගියා මේ කිරි කිරි බැට් එකෙන් ක්‍රිකට් ගහන්න. කෙල්ලොන්ගේ ක්‍රිකට් ගැහිලි ඉතින් දන්නවනේ. බැට්ස්මන් (බැට් වුමන්) වැරදිලාවත් බෝලේ ටිකක් ඈතට ගැහුවොත් එහෙම එයාම ගිහින් ඇහිඳගෙන එන්න ඕන. අනිත් එකෙක්වත් යන්නෙ නැහැ ඒක ඇහිඳින්න. කොහොම හරි ඕක ටිකක් වෙලා යද්දි එල්ලේ ගැහිල්ලක් බවට පත් වෙනවා.

ඉතින් එදා පීරියඩ් දෙක තුනක්ම කට් කරගෙන ඔය සෙල්ලම දිගට ඇදිල ගියා. ඔහොම සෙල්ලම් කරන අතරේ   අපි දැක්කා ඒ වගේ වෙලාවක නොදැකිය යුතු දර්ශනයක්. ප්‍රින්සිපල් මැඩම් smiley. අප්පා...දැන් මොනවා කරන්නද? පුළුවන් තරම් හයියෙන් දිව්වා පන්තියට (ආ..වාස් නම් බැට් එකත් අරගෙනමයි දිව්වේ, නයා මැණික අහුලගෙන දුවනවා වගේ). ඒත් ඉතින් දිවිල්ල පන්තියේ දොර ලඟදි ඇන හිටියා. මිස් කෙනෙක් උගන්නනවා පන්තිය ඇතුලේ. එතකොට තමයි අපිටත් මතක් උනේ අපි ක්‍රිකට් ගැහුවේ පීරියඩ් කට් කරගෙනනෙ කියලා. මිස් අපි දිහා කන්න වගේ බලනවා ...ඒ අස්සේ මැඩමුත් අපේ පස්සෙන්ම ඇවිත්. දැන් ඉතින් දෙයියොම බලා ගන්න ඕන praying.

මැඩම් : අවේලාවේ ක්‍රිකට් ගැහුවා මදිවට තව පීරියඩ් නුත් කට් කරාද? බ්ලා බ්ලා.....shame on you....
අපි :  ....................
මිස් : (පන්තිය ඇතුලේ සිට පෝර දමමින්) බ්ලා බ්ලා බ්ලා .... 
අපි : worried
මැඩම් : මෙහෙට දෙනවා ඔය බැට් එක bring it on.

හප්පා ඒ වෙලාවෙ වාස් ගෙ කට තමයි බලන්න ඕන. හඳ බාගේ අනිත් පැත්ත හරවලා වගේ.  මොනා කරන්නද ඉතින් ඉහළම තැනින් ආපු ඕඩරයක් නේ. එයත් ඉතින් බැට් එක දුන්නා මැඩම්ට. අපිට පන්තිය ඇතුලට යන්න කියලා අණ කරපු මැඩම් බැට් එකත් අරගෙන යන්න ගියා.

ඒ පාර වාස් අඬන්න පටන් ගත්තේ නැද්ද...."අයියෝ ඒ බැට් එක අපේ අයියගේ..එයා හරි සැරයි අනේ...අද එයා එද්දි බැට් එක ගෙදර නොතිබුනොත් මාව කයි....... බ්ලා බ්ලා බ්ලා  crying".

මේකිට පිස්සුද මන්දා ඔච්චර වසවර්ති අයියා කෙනෙක්ගේ බැට් එක හොරෙන් අරන් එන්න. දැන් කට්ටියම එක එක එව්වා කියලා මෙයාව සනසන්න හදනවා. කොහෙද ඒවා හරි යන්නෙ නෑ. එයාට ගෙදර යන්න කලින් බැට් එක ඕනමයිලු. නැත්නම් ගෙදර යන්න බැරිලු. ඉතින් මේ ඇඩිල්ල අහන් ඉන්න බැරි හින්දා කට්ටිය ඔන්න අන්තිම පීරියඩ් එක වෙද්දී විසඳුමකට ආවා. ඒ තමයි වාසුයි  පන්ති නායිකාවයි  (පල නොකියා ආයුබෝවන් කීම කතාවේ හිටපු සොමී තමයි අපේ 9 වසරේදීත් පන්ති නායිකාව. කරන තරමක් මගෝඩි වැඩ කරන්නේ එයා නිසා මේ පට්ටම කවුරුත් එකතු වෙලා එයාටම භාර දෙනවා) ගිහින් මැඩම් ගෙන් සමාව අරගෙන බැට් එක ආපහු ඉල්ලගෙන එන එක. ඉතින් සොමී පොර වගේ වාසුත් ඇදගෙන ගියා මැඩම්ගේ ඔෆිසියට.

අපිත් දැන් ඉතින් ඡන්ද ප්‍රතිඵල එනකන් ඉන්නවා වගේ බලාගෙන ඉන්නවා මෙයාලා එනකන්. ඔන්න විනාඩි 10 කින් විතර දෙන්නා දුවගෙන එනවා බැට් එකත් උස්සගෙන. අපි හිතුවා වැඩේ ෂේප් තමයි කියලා..

සොමී : (හති දමමින්) අපි බැට් එක ඉස්සුවා............
අපි : මොකක්
සොමී : වෙන කරන්න දෙයක් තිබුනේ නෑ, ඉස්කෝලෙ අරින්නත් ලගයි නේ. බැට් එක කොරිඩෝ එකේ බිත්තියට හේත්තු කරලා තිබුනේ. කවුරුවත් දැක්කේ නෑ අපි ඒක උස්සනවා..

මෙහෙමත් මොළ දෙකක්..උස්සනවා දැක්කේ නැති උනාට ඉස්සුවේ කවුද කියලා හිතා ගන්න බැරිනම් ඉතින් මැඩම් ට පුළුවනෑ අපේ ඉස්කෝලේ මැඩම් වෙන්න. කොහොම හරි වැඩි වෙලා නොගිහින් බෙල් එක ගහපු නිසා වාස් ඇතුළු හැමෝම සතුටින් ගෙවල් බලා ගියා. අර බැට් එක උස්සපු එකේ ප්‍රතිඵලේ ආවේ පස්සෙදි. සොමීටයි වාස්ටයි හොඳට අහගන්න හම්බු උනාලු not listening


ඒත් කමක් නැහැ ඉතින් වාස් ගෙ අයියගෙන් බැනුම් අහන්න උනේ නැති එකම ලොකු දෙයක්නේ නේද? වාස් කියපු හැටියටනම් අයියා වසවර්ති මාරයෙක්. එහෙම බලනකොට මැඩම් ගෙන් පොඩ්ඩක් බැනුම් ඇහුවම මොනවා වෙනවද?

Wednesday, October 5, 2011

මයර්ස් ගේ සත් මහල - මරණින් මතු ජීවිතය 2



මම මරණින් මතු ජීවිතය ලිපියෙදි කිව්වනේ මයර්ස් ගේ සත් මහල ගැනත් කවද හරි ලියන්නම් කියලා. ඔන්න අද ඒ ගැන තමයි ලියන්න යන්නේ.

"ෆ්‍රෙඩ්රික් මයර්ස්" කියන්නේ එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්යවරයෙක් (මේ පින්තූරේ ඉන්නේ එයා තමයි). මේ මහාචාර්ය තුමා ජීවත්ව ඉන්න කාලේ ඉඳලම මරණය සහ මරණින් මතු ජීවිතය ගැන ගොඩක් පරීක්ෂණ කරපු කෙනෙක්. 1901 දී මෙතුමා මිය ගියාට පස්සෙත් මේ පරීක්ෂණ අත ඇරලා නැහැ. එයා ජීවත් වෙලා ඉන්න අයගේ මාර්ගයෙන් තමන්ගේම මරණින් මතු අත්දැකීම් ස්වයංක්‍රීයව සටහන් විදියට ලියෙව්වාලු. මුලදිනම් මේ අසිහියෙන් ලියවෙන සටහන් කාටවත් තේරුම් ගන්න පුළුවන් වෙලා නැහැ.  "මයර්ස්" කියන අත්සනත් සහිතව තමයි මේ සටහන් ලියවිලා තියෙන්නේ. කොහොමහරි සටහන් ප්‍රමාණය වැඩි වෙද්දී මේවා එකට එකතු කරලා තේරුම් ගන්න එතුමාගේ අනුගාමිකයින්ට පුළුවන් වෙලා තියනවා. එතකොට තමයි මේ සත් මහල ගැන විස්තර එලියට ඇවිත් තියෙන්නේ.

මයර්ස් කියන ආකාරයට  මිනිසෙක් මැරුණාම ඔහු එකිනෙකින් ස්වායත්ත මහල්, එහෙම නැත්නම් තල 7 ක ගමන් කිරීම අරඹනවා ලු. එක තලයකින් අනෙක් තලයට පිවිසෙන අතර එක තලයක (මහලක) සිටින කාලය ගැන නිශ්චිතවම කියන්න බැහැ. මේ මහල් 7 එකිනෙකින් ස්වායත්ත උනත් මේ තල හතේම ඉන්න අය භොතික වශයෙන් නම් ඉන්නේ එකම තලයක (අපි ජීවත් වෙන භොතික ලෝකයම තමයි). වෙනස තියෙන්නේ ආධ්‍යාත්මික මට්ටම් වල. මේ මහල් 7 ආධ්‍යාත්මික වශයෙන් කරපු බෙදීමක් පමණයි. එනිසා මෙය තට්ටු 7 කින් යුතු ගෙයක් ආකාරයෙන් සිතීම වැරදියි.

හරි, මෙන්න මහල් 7 ගැන විස්තර...

පළමු මහල (Earth Realm)  :  "භොතික තලය" ලෙස හඳුන්වන මෙය අප ජීවත් වන තලයමයි. මිනිසෙක් මිය ගිය විගසම ඔහු මේ තලයෙන් වෙන් වෙන්නේ නැහැ. මෙහිදී ඔහුට තමන්ගේම මිය ගිය ශරීරය, පවුලේ අය හඳුනා ගැනීමට පුළුවන්. එනිසා ඔහු තවමත් පියවි ලෝකයටම බැඳුනු කෙනෙක් විදිහට තමයි හඳුන්වන්නේ. කොහොම උනත් කෙනෙක් මේ පළමු මහලේ සිටින කාලය සාපේක්ෂව ගොඩක් අඩුයි. ඉතාමත් ඉක්මනින් ඔහු දෙවැනි මහලට ඇතුල් වෙනවා. එහෙත් තමා මිය ගිය බව පිලි ගැනීමට අකමැති හෝ එය අවබෝධ නොවුණු කෙනෙක් වසර ගණනක් උනත් මෙහි රැඳීමට ඉඩකඩ තියනවා.

දෙවැනි මහල (Intermediate Realm) : "අතරමැදි තලය" ලෙස හඳුන්වන මෙහි පැමිණෙන අය තමන්ගේ ඊ ලඟ පියවර ගැන තීරණ ගනු ලබන්නේ මෙහිදීයි. ඇතැම් අය ඉතාමත් ඉක්මනින් නැවතත් ඉපදීමට තීරණය කර මව් කුසකට ඇතුල් වන අතර ඇතැම් අය ඉහළ තල වලට පිවිසීමට තීරණය කරයි. මේ මහල අඳුරු මීදුම ගහන පරිසරයක් ලෙස හඳුන්වා ඇත. ඉහළ මහල් වලට ගමන් කිරීමට තීරණය කරන අය ඊ ලඟට ඇතුල් වෙන්නේ තුන් වන මහලට.

තුන් වන මහල (Realm of Illusion) :  මෙය "මායා තලය" ලෙසද හඳුන්වනු ලබයි. මෙහි පිවිසෙන්නවුන් භෞතික තලයේ මෙන් සාමාන්‍ය ජිවන රටාවක් අනුගමනය කරනවලු. මෙය ඔවුන් විසින් සිතින් මවා ගත් ජිවන රටාවක්. මේ ලෝකය කොයි තරම් සුන්දර උනත් කාටවත් දිගටම එහි රැඳෙන්න ඉඩක් නැහැ. ඉහළ මහල් වල අය මෙහි සිටින අයට කරුණු තේරුම් කර දී ඉහළ මහලට පැමිණෙන ලෙස ආරාධනා කරනවලු. ඒත් සමහරු එයට කැමති වෙන්නේ නැහැ. ඔවුන් නැවත ඉපදීමට තීරණය කරනවා. අනිත් අය සිව් වන මහලට පිවිසෙනවා.

සිව් වන මහල (Realm of Color) :  "වර්ණ තලය" ලෙස හඳුන්වන මෙය ඉතාමත් සුන්දර ලෝකයක් ලෙස තමයි මයර්ස් හඳුන්වන්නේ. මෙහි පිවිසෙන්නේ සිත දියුණු කළ බුද්ධියෙන් වැඩි පිරිසක්. ඔවුන් මෙහෙදී භොතික ලෝකය මගින් ආපසු ඇද ගැනීමට තැත් කිරීමේ ක්‍රියාවලියෙන් නිදහස් වෙනවා. ඔවුන්ට වැඩි නිදහසකුත් ලැබෙනවා. ඇතැම් බුද්ධියෙන් වැඩි අයට මරණින් පසු කෙලින්ම මෙහි පිවිසීමටත් හැකියාව තියනවලු. මයර්ස් මේ තොරතුරු ලබා දෙද්දී ඔහු ඉඳල තියෙන්නේ මේ සිව් වන මහලේ.

පස් වන මහල (Realm of  Flame) : මෙම තලය සහ ඉහළ තල ගැන මයර්ස් විස්තර කර ඇත්තේ අන් අයගෙන් අසා දැනගත් දේ වලිනි. මෙහි සිටින අය කණ්ඩායම් වශයෙන් සංවිධානය වී පහල තල වල සිටින අයට කරුණු අවබෝධ කර ඉහළ තලයට ගෙන ඒමට තැත් කරයි. තවමත් ඇතැම් අය විශේෂ හේතු නිසා (ජීවත් වන අයට අනුකම්පාවෙන්, අත්හදා බැලීම් සඳහා) නැවතත් ඉපදීමට තීරණය කරයි.

හය වන මහල (Realm of Light) : මෙහි ලඟා වීමට ඉතාමත් අපහසුය. මෙහි සිටින අය ඉතාමත් පරිණත අය වන අතර ඒ ඔවුන් භොතික ලෝකයේදී  ලබා ගත් පරිණත බවක් හෝ මරණින් පසු බුද්ධි මට්ටමෙහි සිදු වූ පරිණාමයක් විය හැක. මේ මහලද අතිශයින්ම අලංකාර ය.

සත් වන මහල (Timelessness) : මෙහි ලඟා වෙන්නේ ඉතාමත් සීමිත පිරිසකි. මෙම ඉහළ මහල් විස්තර කිරීමටත් ඉතාමත් අපහසු බව මයර්ස් ගේ අදහසයි. ඔහු දන්නා ආකාරයට ඒවා අතිශයින්ම අලංකාර වන අතර   එහි සිටින්නවුන් බුද්ධියෙන් ඉතාමත් ඉහළ හා පරිණත අය වෙති. කෙසේ වුවත් ඔවුන් ඕනෑම මොහොතක නැවත භොතික තලයට පැමිණීමට ඉඩකඩ තිබේ.

බුදු දහමේ සඳහන් වන දෙව් ලොව නැතහොත් "Heaven" යන සංකල්පය, මෙම ඉහළ මහල් වීමටත් බැරි නැත.
මයර්ස් අත්දුටු ගමන් මාර්ගයට අමතරව වෙනත් ගමන් මාර්ග, වෙනත් තල (අසුර ලෝක, අපාය ආදී) තිබීමටත් බැරි නැත. ඒවා හුදෙක් සංකල්ප පමණක් යැයි බැහැර කිරීම හෝ ඒ අයුරින්ම පිළි ගැනීමද බුද්ධි ගෝචර නැත :) 

Sunday, October 2, 2011

පල නොකියා "ආයුබෝවන්" කීම



අපි 11 වසරේ ඉඳිද්දී අපේ පන්තියේ ළමයි ටික කරපු වැඩක් ගැන තමයි මේ කියන්න යන්නේ. ඒ කාලේ අපිට බුද්ධාගම උගන්නන්න ආවේ සර් කෙනෙක් (කෝටු සර්).  මේ සර් හරිම කැප වීමෙන් වෙලාවට පන්තියට එනවා. ආසාවට විනාඩි 10 ක් පරක්කු වෙන්නේ නැහැ. ඒ මදිවට ආපු ගමන් එදාට නියමිත පාඩමේ නම කියලා අපිට කියනවා පාඩම කෙටි කරලා පොතේ ලියන්නලු. ඕක කියන්න ඉතින් සර් කෙනෙක් ඕනයැ big grin.

එහෙම කියලා සර් පන්තියේ සක්මන් කර කර ඉන්නවා.  ඒ දවස්වල බුද්ධාගම පොත කියවනවා කියන්නේ ඉතින් මරනවා වගේ වැඩක්. කෝටු සර් බුද්ධාගම උගන්නනවා කියන්නේ ඒ කම්මැලි කම දෙගුණ වෙනවා කියන එක. ඉතින් ගොඩක් අය මේ වෙලාවට හොරෙන් ඕප දූප කියවන එක  තමයි කරන්නේ (ආ මගේ ඉස්කෝලේ බාලිකා පාසලක්‌ නේ) . ඒ මදිවට මේ සර් බෙල් එක ගහන්න කලින් කවදාවත් පන්තියෙන් යන්නේ නැහැ. අන්තිම තත්පරේ දක්වාම පන්තියේ තමයි :(. මේ පීරියඩ් එක අපිටනම් විනාඩි 40 ක දඬුවම් කාලයක් වගේ.

මේ කියන දවසෙත් සර් ඔය විදියටම අපිට පාඩම බලාගන්න කියලා ඇවිද ඇවිද හිටියා...අම්මෝ අපිට එදා තිබුන කම්මැලි කමක්...ඔය අස්සේ සහෝදර පාසලෙන් කට්ටියක් ඇවිත් හිටියා අපේ ඉස්කෝලෙට මොකක් හරි වැඩකට. එයාලව බලන්න යන්න ඕන කමකුත් තිබුණා අපේ කස්ටියකට. දැන් වෙලාව යන්නෙත්  හරිම හෙමින්. බෙල් එක ගහන පාටකුත් නැහැ. සර් පන්තියෙන් යන පාටකුත් නැහැ. කට්ටියගේ ඉවසීම පුපුරන්න ඔන්න මෙන්න කියලා තිබුණේ smiley එක පාරටම දෙවියෝ බැලුව වගේ මරු අදහසක් ආවා අපේ පියුමිට. එයා ඒක තනියම හිතේ තියා ගන්නේ නැතුව අනිත් අයත් එක්කත් බෙදා හදා ගත්තා. දැන් පන්තියම ඒක මතික තීරණයකට ඇවිත් ඉන්නේ..

පන්තියේ සක්මන් කර කර හිටපු සර් ගේ කකුල් රිදිලද කොහෙද පොඩ්ඩකට වාඩි උනා. ඔන්න දැන් කට්ටියම බලාගෙන ඉන්නවා සර් නැගිටිනකන්. වැඩි වෙලා බලාගෙන ඉන්න උනේ නැහැ. සර් නැගිට්ටා. එතකොටම...

1 යි.... 2 යි.... 3 යි.......

"ආ......යු බෝ ව න්"

හැමෝම නැගිටින ගමන් එහෙම කිව්වා. කෝටු සර් මොහොතකට අන්ද මන්ද උනා. අපි ඉතින් ගුරුවරයෙක් පන්තියට එනකොටයි ආපහු යනකොටයි "ආයුබෝවන්" කියන එකනේ සිරිත. කෝටු සර් පන්තියට එද්දි අපි ආයුබෝවන් කියලා හිටියේ. දැන් මේ දෙවනි "ආයුබෝවන්" එක සර් ට යන්න කියලා දීපු සංඥාව බව තේරුම් ගන්න සර්ට වැඩි වෙලාවක් ගියේ නැහැ. හප්පා...සර් ට ඉතින් අසූ හාරදාස් දහසයට මළ පැන්නා. සර් පන්තියෙන් එලියට ගියා නෙමෙයි විද්දා වගේ තමයි අපි දැක්කේ. ඔය කර ගත්තේ thinking

කොහොමහරි ඊ ළග දවසේ සර් පන්තියට අවේ නෑ. එදා උපරිම නිදහස භුක්ති වින්දා ළමයි ටික. ඊ ළග දවසෙත් සර් ආවේ නෑ. මේ විදියට මේක සතියක් විතර උනා (අපිත් එපා කියයි smiley). දවසක් ඕක අහු වුනා අපේ සෙක්ෂනල් හෙඩ් ට (සැර මිස් කෙනෙක්). පන්තියේ සද්දේ ඇහිලා මිස් කඩා බිඳගෙන ආවා.

මිස් : දැන් මොනවද තියෙන්නේ?
අපි : බුද්ධාගම
මිස් : කවුද උගන්නන්නේ??
අපි : කෝටු සර්
මිස් : අද සර් ආවේ නැද්ද?
අපි : දන්නේ නැහැ මිස්. තාම පන්තියටනම් ආවේ නෑ.
මිස් : ඒකනම් මටත් පේනවා. සර් ආවේ නැත්නම් බුද්ධාගම නායිකාව දන්නේ නැද්ද ගිහින් එක්කගෙන එන්න?

අපේ ඉස්කෝලේ හිටියා විෂය නායිකාවෝ කියලා ජාතියක්. හැම පන්තියකටම විෂයකට එක ගානේ නායිකාවෝ ඉන්නවා. මෙයාලා කරන වැඩක් නම් නැහැ. නියෝජ්‍ය ඇමතිලා වගේ නමට තමයි ඉන්නේ. ඉතින් අපේ පන්තියේ මේ නායිකා සෙට් එකේ නම් ටික රෙකොර්ඩ් බුක් එකේ ලියල තිබුණා මිසක් කවුරුවත් දන්නේ නැහැ ඒ කවුද කියලා.

මිස් : කවුද බුද්ධාගම නායිකාව?
අපි : ....
මිස් : කවුද පන්ති නායිකාව?
ඔන්න සොමී නැගිට්ටා (හි හි එයා දන්නේ කොහොමද, එයා අනිත් අයට එහා).
මිස් : සොමී, කවුද බුද්ධාගම නායිකාව?
සොමී : ඔළුව කසයි....
මිස් : රෙකොර්ඩ් බුක් එක අරගෙන බලනවා කවුද කියලා...නායිකාව හැමෝටම වඩා හොඳයිනේ (අනේ ඉතින් එයා මොනා කරන්නද...එයාටත් බලෙන් දීපු තනතුරක්නේ ඕක. )

ඉතින් මිස් ගියාම සොමී බැලුවා රෙකොර්ඩ් බුක් එක.

සොමී : ආ...බුද්ධාගම නායිකාව තමයි පියුමි.
පියුමි : මොකක්  surprise අනේ මට නම් බැහැ  (පව්, එයා දන්නෙත් නැතුව එයා නායිකාව කරලා )
සොමී : බෑ කියලා බෑ....ගිහින් එක පාරක් කතා කරන්න. ගොඩක් වෙලාවට සර් බෑ කියයි. එතකොට ඔයා එන්න..වැඩේ ඉවරයිනේ (ඔන්න ආදර්ශමත් නයිකාවොන්ගේ උපදෙස්)
පියුමි : හ්ම්....තනියමනම් යන්න බෑ
මම : හරි මම එන්නම්

ඔන්න අපි දෙන්නා ගියා ස්ටාෆ් රූම් එකට. මෙන්න සර් ඉන්නවා තනියම.

පියුමි : සර් අපිට දැන් බුද්ධාගම
සර් : ඉතින්
පියුමි : සර් පන්තියට එන්නෙ නැද්ද?smiley
සර් : (අනුකම්පා සහගත විදියට අපේ දිහා බලලා) මට තේරෙනවා ඔය ළමයි දෙන්නට ඉගන ගන්න උවමනාව තියනවා කියලා. ඒත් කරන්න දෙයක් නැහැ. බහුතරය නිසා සුළුතරයටත් පාඩු වෙනවා..ඔය දෙන්නා හොඳ ළමයි කියලා මම දන්නවා. ඒත් අනිත් අය එහෙම නැහැ. ඔයාලා පොත කියවලා ප්‍රශ්න තියනම් ඇවිත් මගෙන් අහන්න. පන්තියටනම් එන්නෙ නැහැ.

අපි දෙන්නත් ඉතින් ස්ටාෆ් රූම් එකෙන් එලියට ආවා නෙමෙයි විද්දා. හිනාව එලියට එන්න ඔන්න මෙන්න තිබුන නිසා. හප්පේ අන්තිමට සර් පන්තියෙන් එලව ගන්න මුල් උන පියුමි තමයි හොඳ ළමයා උනේ. කොහොම හරි අර සිද්ධිය උන දවස තමයි අපි ජීවිතේටම බුද්ධාගම ඉගන ගත්ත අන්තිම දවස.
Related Posts Plugin for WordPress, Blogger...