Wednesday, June 25, 2014

දියවන්නාවට මාරු වෙනා - රාජාවලිය XXXV

ඔන්න ගියපාර ලිපියෙන් අපි අන්තිමට කිව්වා වික්‍රමබාහු III රජතුමා ගම්පොළ රජ වෙච්ච බව. අද එතැන් සිට ඉදිරියට...



මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වකවානුව ගැන ඉතිහාසයෙන් හමු වෙන තොරතුරු ඉතාමත් පැටලිලි සහගත සහ පරස්පර විරෝධී බව. ලිපි කිහිපයකින්ම ගත්තු තොරතුරු අනුව කතාව ලියාගෙන ගියත් සත්‍ය අසත්‍ය බව ගැනනම් සහතික වෙන්න හරිම අමාරුයි. :)

මේ කාලය වෙද්දී  උතුරේ ආර්ය චක්‍රවර්ති ගොඩක් බලවත් වෙලයි හිටියේ. ගම්පොළ අවට ප්‍රදේශ වලින් පවා බදු එකතු කරන්න ඔවුන් පසුබට උනේ නෑ. මේ නිසා ඔවුන් යුධමය අතින් වගේම ආර්ථික අතිනුත් ශක්තිමත් උනා.

වික්‍රමබාහු රජතුමාට බොහොම උදව් කරපු කැරලි කාර සෙනෙවියෙක් තමා නිස්සංක අලගක්කෝනාර. ආර්ය චක්‍රවර්තිගේ බදු එකතු කිරිල්ල ගැනත් ඔහු හිටියේ එතරම් කැමැත්තෙන් නෙමෙයි. රජුට උනත් ඒවාට විරුද්ධ වෙන්න හැකියාවක් තිබිලා නැහැ. ඉතින් මේ අලගක්කෝනාර ට උවමනා වෙනවා සතුරාට විරුද්ධව ක්‍රියා කරන්න. ගම්පළ ඉඳගෙන එහෙම කරන එක ඒ තරම් ලේසි කටයුත්තක් නොවන නිසා ඔහු බටහිර මුහුදු තීරයට ආසන්නයේ බලකොටුවක් හදනවා. ඒ බලකොටුව තුන් පැත්තකින්ම දියවන්නා ඔයෙන් වට වෙලා තිබුණ නිසා හොඳ ආරක්ෂා සහිත ස්ථානයක් උනා. පස්සේ කාලෙකදී කෝට්ටේ බලකොටුව කියලා හැඳින්වෙන්නේ මේ බලකොටුව තමා.

ඉතින් මේ අලගක්කෝනාර සෙනෙවියා ආර්ය චක්‍රවර්තින් ට පහර දීලා බටහිර මුහුදුබඩ ප්‍රදේශයම තමන් යටතට ගන්න සමත් වෙනවා. මෙයින් උදහසටත් පරාජයටත් පත් වෙන ආර්ය චක්‍රවර්ති උතුරේ සිට හමුදා දෙකක් එවනවා, එකක් ගම්පලටත් අනෙක මුහුදින් කෝට්ටේටත්.  ඒත් ඒ සේනා දෙකම පරාජයට පත් කරන්න අපේ හමුදාවන්ට හැකි වෙනවා. කොහොම උනත් වික්‍රමබාහු රජතුමා නාමිකව රජ කමේ හිටියත් නියම විදියට රාජ්‍ය පාලනයේ යෙදුනේ අලගක්කෝනාර කියලා කීම සාධාරණයි.

ඉන් පස්සේ රජ වෙන්නේ වික්‍රමබාහු III රජුගේ සොහොයුරියගේ පුත් බුවනෙකබාහු V (ක්‍රි. ව. 1374 - 1392) රජතුමා. ඔහුගේ පියා අලගක්කෝනාර බවට මතයක්ද තියනවා. මේ කාලයේදී නැවතත් ආර්ය චක්‍රවර්ති මුහුදින් සහ ගොඩබිමින් සේනා ඒවා සිංහල පාලන ප්‍රදේශ අල්ලා ගන්න උත්සාහ කරනවා. මේ වෙලාවේ බුවනෙකබාහු රජතුමා අගනගරය සහ තමන්ගේ ජනතාව අතහැර රයිගමට පලා ගොස් සැඟවෙන නිසා ඔහු බියගුළු රජෙක් හැටියට හඳුන්වනවා. මෙවරත් සතුරාට විරුද්ධව සටන් කර ඔවුන් පලවා හැරීමට සමත් වෙන්නේ අලගක්කෝනාර ඇමති. මේ නිසා නාමික රජවරුන් ගේ කාර්ය භාරය තමා විසින් ඉටු කරමින් සිංහල උරුමය බේරා ගැනීමට කැප වූ අලගක්කෝනාර වීරයෙක් හැටියට සැළකෙනවා. ඔහුගේ මරණයෙන් පස්සේ ඔහුගේ පුත් "කුමාර අලකේශ්වර" බලයට පැමිණුනත් ඒ සමගම ඔහුට විරුද්ධ වෙන "වීර අලකේශ්වර" (අලගක්කෝනාර ගේ සොයුරියගේ පුතා) ඔහුගෙන් බලය පැහැර ගන්නවා. වීර අලකේශ්වර බලයට පැමිණීමත් සමගම ඔහුගේම බාල සොහොයුරු "වීරබාහු" ඔහුට විරුද්ධ වෙන නිසා දෙදෙනා අතර සටනක් රයිගමදී පවත්වනවා. එයින් පැරදෙන වීර අලකේශ්වර රටින් පලා යන අතර දිනුම ලබන්නේ වීරබාහු. ඒ අනුව වීරබාහු II රජතුමා (ක්‍රි. ව. 1392 - 1397) ට රජකම හිමි වෙනවා.

වීරබාහු II රජතුමා ශක්තිමත් පාලකයෙකු උනත් නොපැහැදිලි හේතුවක් නිසා ඔහු 1397 දී මිය යනවා. එය වීර අලකේශ්වරගේ සැළසුමක් නිසා වූ බවටත් මතයක් තියනවා. ඉන්පසුව ඔහුගේ පුතුන් දෙදෙනා විසින් රාජ්‍ය පාලනය ආරම්භ කළත් නැවතත් මෙරටට එන වීර අලකේශ්වර විජයබාහු VI (ක්‍රි. ව. 1397 - 1409) නමින් රජ වෙනවා. විජයබාහු VI රජුගේ බිසව තමා සුනේත්‍රා දේවී. ඇය වික්‍රමබාහු III රජුගේ දියණිය හැටියට සැළකෙනවා. මේ දෙපළට ඉන්නවා පුතුන් දෙදෙනෙක්. ඉතින් විජයබාහු රජතුමා මෙහෙම රට පාලනය කරමින් ඉන්න අතරේ අපේ රටට එල්ල වෙනවා අලුත්ම සතුරු තර්ජනයක්. ඒ චීනයෙන්.

 චීන අධිරාජයා දකුණු දිග රටවල් සංචාරය කරන මුවාවෙන් නැව් විශාල සංඛ්‍යාවකින් යුක්ත හමුදාවක් පිටත් කලත් ඒකේ යටි අරමුණක් වන්නේ දන්ත ධාතුව පැහැර ගැනීම බවට මතයක් තියනවා. මේ හමුදාව ලංකාවට මිතුරු වේශයෙන් ගොඩ බැස්සත් විජයබාහු රජතුමාට යම් වෙනසක් තේරෙනවා. මේ නිසා චීනුන්ට විරුද්ධ වීමට තීරණය කිරීමත් ඒ තීරණය චීනුන් විසින් දැන ගැනීමත් නිසා වහාම යුද්ධයක් ඇවිලී යනවා. කොහොමහරි අවසාන ප්‍රතිඵලය වෙන්නේ විජයබාහු රජතුමා ඇතුළු පිරිසක් සිරකරුවන් විදිහට චීනයට රැගෙන යාම. මෙවෙලේ සුනේත්‍රා දේවී සහ දරුවන් දෙන්නා විදාගම තෙරුන් ලඟට පලා ගොස් රැකවරණය ලබනවා.

මේ අතරවාරයේ ලංකාවේ රජ කරන්නේ පරාක්‍රමබාහු ඈපා (ක්‍රි. ව. 1409 - 1412) නම් අයෙක් බව සඳහන් උනත් ඒ ගැන නිශ්චිත තොරතුරක් කියන්න අමාරුයි. චීනයට රැගෙන ගිය පිරිස මරා දැමීමට තරම් චීන අධිරාජයා සැහැසි නොවන නිසා ඔවුන්ට ජිවිත දානය ලැබුනා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ අතර විදාගම තෙරුන් ඇසුරේ ඇති දැඩි වෙන විජයබාහු රජුගේ පුතුන් දෙදෙනා හොඳ අධ්‍යාපනයක් ලබනවා වගේම යුධ ශිල්පත් හදාරනවා. මේ කුමරුවන්ගේ කුඩා කාලය ගැන තොරතුරුත් විවිධාකාරයෙන් තැන් තැන් වල සඳහන් වෙන නිසා හරියටම නිවැරදි තොරතුරක් සොයා ගැනීම අපහසුයි. කොහොම උනත් රටේ මී ළඟ පාලකයා විදිහට පරාක්‍රමබාහු VI (ක්‍රි. ව. 1412 - 1467) නමින් රජ වෙන්නේ මේ වැඩිමහල් කුමරු බවට සඳහන් වෙනවා. එතුමා අවුරුදු තුනක් පමණ රයිගම වාසය කිරීමෙන් පසු කෝට්ටේ අග නගරය බවට පත් කරගන්නවා. ඒ නිසා අලගක්කෝනාර විසින් තැනූ කෝට්ටේ බලකොටුව, රාජධානිය බවට පත් කරගන්නේ පරාක්‍රමබාහු VI රජතුමා.

පරාක්‍රමබාහු VI රජතුමා ලංකා ඉතිහාසයේ වැදගත් රජ කෙනෙක්. ඔහුගේ බාල සොහොයුරා යුව රජ වශයෙන් "මායාදුන්නේ" ප්‍රදේශයේ වාසය කරනවා. පරාක්‍රමබාහු රජුට සහ කීරවැල්ලේ බිසවට ලෝකනාථා නමින් දියණියක් ලැබෙනවා. ගොඩක් අය දන්නා විදිහට ඇය "උලකුඩය දේවිය" නමිනුත් හැඳින්වෙනවා.  මේ රජතුමා කරපු වැදගත්ම කාර්යයක් තමයි ලංකාව එක්සේසත් කිරීම. ලංකාව අවසාන වරට එක්සේසත් කරපු රජතුමා වෙන්නෙත් මෙතුමා තමයි. මේ එක්සේසත් කිරීම එතුමා පටන් ගන්නේ වන්නියෙන්. ඒ වෙද්දී වන්නි ප්‍රදේශ වල ස්වාධින පාලකයින් 18 ක් පමණ ඉඳලා තියනවා ලු. මුලින්ම ඔවුන් එක්ක සටන් කරලා ඒ ප්‍රදේශ තමන් යටතට ගන්න පරාක්‍රමබාහු රජතුමා කටයුතු කරනවා.

ඒ විදිහට රට තරමක් ස්ථාවර උනාට පස්සේ තමයි උතුරේ ආර්යචක්‍රවර්තින් ට පහර දීම සැලසුම් කරන්නේ. ඒ සඳහා රජතුමා පිටත් කරන්නේ ඔහු හදාගත් පුත්‍රයෙක් විදියට සැළකෙන සපුමල් කුමරු. ඔහු උතුර ජය ගැනීමේ කාර්යය සාර්ථකව නිම කරනවා. ජයග්‍රාහී ළෙස කෝට්ටේට පැමිණි කුමාරයාට ගෞරව නම්බු නාම සහිත සැලකිළි ලබා දුන්නාලු. මේ අතරේ උඩරට කැරැල්ලක් ඇති කරපු ජෝතිය සිටුවරයා පරාජය කිරීමට සපුමල් කුමරාගේ සොහොයුරා වන අම්බුලුගල කුමාරයා පිටත් කර හරිනවා. මේ ආකාරයට නැවතත් ලංකාව එකම ධජයක් යටතට ගැනීමට හයවන පරාක්‍රමබාහු රජතුමාට හැකි වෙනවා.

මේ කාලය සාහිත්‍ය පැත්තෙනුත් ඉතා දීප්තිමත් යුගයක්. රජතුමාත් සාහිත්‍යට ලොකු අනුග්‍රහයක් දැක්වුවා ලු. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් "සැළලිහිණි සංදේශය" ලියන්නෙත් මේ කාලයේදී, උලකුඩය දේවියට පුතෙක් ලබා දීමේ පරමාර්ථයෙන්. මේ සංදේශ කාව්‍යයේ අනුහසින්ද කියන්න දන්නේ නැති උනත් දේවියට පුතෙක් නම් ලබුනවා. ඒ කියන්නේ පරාක්‍රමබාහු රජුට මුණුබුරෙක් ලැබෙනවා. අවුරුදු පනස් ගණනක් සාර්ථකව රට පාලනය කළ හයවන පරාක්‍රමබාහු රජතුමා මිය යාමෙන් පසු රාජ්‍ය හිමි වන්නේ මේ මුණුබුරාට. ඔහු ජයබාහු II (ක්‍රි. ව. 1467 - 1472) නමින් රජ වෙනවා.

මින් පසුව කෝට්ටේ තොරතුරු ගැන අපි ඊ ළඟ ලිපියෙන් කතා කරමු.


Related Posts Plugin for WordPress, Blogger...